ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.
මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?
මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.
පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.
මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.
නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.
නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.
මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා.
ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.
පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන නීති විරෝධී තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.