වෙබ් ලිපිනය:

Showing posts with label සල්ලි අච්චු ගැසීම. Show all posts
Showing posts with label සල්ලි අච්චු ගැසීම. Show all posts

Monday, September 1, 2025

මුදල් ප්‍රමාණ සමීකරණය

මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා. 

මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය කරන්න බැහැ. නමුත් කිසියම් ප්‍රදේශයක තිබෙන්නේ එකම මුදල් වර්ගයක් පමණක්නම් සහ එම මුදල් වර්ගය සපයනු ලබන්නේ මහ බැංකුවක් විසින්නම්, ඒ මහ බැංකුවට මුදල් සැපයුම තීරණය කරන්න පුළුවන්. ඒ නිසාම, මුදල් ඉල්ලුම හරියටම දන්නවානම්, මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම ගලපන්න පුළුවන්. මුදල් සැපයුම තීරණය වන්නේ රන් හෝ රිදී සැපයුම වැනි බාහිර සාධකයක් මතනම්, මෙවැනි ගැලපීමක් සිදු කිරීමේ හැකියාවක් නැහැ. 

ප්‍රශ්නය වන්නේ මුදල් ඉල්ලුම දැන ගන්නේ කොහොමද කියන එකයි. මුදල් ප්‍රමාණ සමීකරණය මේ සඳහා ප්‍රවේශයක් සපයනවා. 

අපි පෙර කොටසේ කතා කළ පරිකල්පනීය දූපතට යමු. මේ දූපතට පැමිණෙන ආක්‍රමණිකයින් පිරිසක් විසින් දූපත් වැසියන්ට මුදල් භාවිතය හඳුන්වා දෙනවා. දූපත් වැසියෝ මුදල් වලින් ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. නමුත් කිසියම් හේතුවක් නිසා ටික කාලයකට පස්සේ ඔවුන් දූපතෙන් යනවා. ඒ යන්නේ දූපතේ සංසරණයට එකතු කර තිබුණු මුදල් ටිකත් එකතු කරගෙන. 

කෙසේ වුවත්, ආක්‍රමණිකයින් දූපතෙන් ගියාට පස්සේ එහි වැසියෙකු වූ ජෝන්ට ඔවුන්ට අමතක වී දමා ගොස් තිබුණු මුදල් ටිකක් හමු වෙනවා. අපි රුපියල් කාසි කියලම කියමු. රුපියල් කාසි දහයක මල්ලක්. මේ රුපියල් කාසි වලට දැන් දූපත ඇතුළේ වටිනාකමක් තිබෙනවා. ඒ දූපත් වැසියන්ගේ පිළිගැනීම නිසා ඇති වූ වටිනාකමක්. 

ජෝන් මේ මුදල් වලින් කාසි අටක් වැය කර බර්නිගෙන් එළදෙනක් මිල දී ගන්නවා. බර්නි අතට රුපියල් අටක් යනවා. ටික කාලයකට පසුව බර්නි එම මුදලින් රුපියල් හයක් වැය කර රුපියල් තුන බැගින් එමලිනාගෙන් එළුවන් දෙදෙනෙකු මිල දී ගන්නවා. එමලිනා එම රුපියල් හයෙන් රුපියල් තුනක් වැය කර බර්නිගෙන් කුකුළන් තුන් දෙනෙක් මිල දී ගන්නවා. ඉතිරි රුපියල් තුන වැය කර ජෝන්ගෙන් මාස තුනක් දිනපතා කිරි මිල දී ගන්නවා. වසරක කාලයක් තුළ සිදු වන්නේ මෙම ගනුදෙනු ප්‍රමාණය පමණයි.

දැන් මේ විදිහට වසරක කාලයක් ඇතුළත සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම රුපියල් 20ක් (= 8 + 6 + 3 + 3). එහිදී හුවමාරු වූයේ රුපියල් දහයක මුදලක් පමණයි. ඇත්ත වශයෙන්ම රුපියල් දහයෙන් රුපියල් දෙකක් හුවමාරු වුනේම නැහැ. රුපියල් දහයක් වෙන්නේ ඒ රුපියල් දෙකත් එක්ක. ඉතිරි රුපියල් අටෙන් හයක් තුන් වරක් අතින් අත මාරු වුනා. අනෙක් රුපියල් දෙක එක් වරක් අතින් අත මාරු වුනා. ඒ කියන්නේ අවස්ථා 20කදී රුපියලේ කාසි අතින් අත මාරු වී තිබෙනවා. සාමාන්‍ය අගයක් ලෙස එක් රුපියලේ කාසියක් (දිගටම ජෝන් අතේම තිබුණු රුපියල් දෙකද ඇතුළුව) දෙවරක් අතින් අත මාරු වී තිබෙනවා. 

ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණයෙහි මුදල් වල සංසරණ ප්‍රවේගය කියා සංකල්පයක් තිබෙනවා. කෙටියෙන් මුදල් ප්‍රවේගය කියා කියමු. මෙයින් අදහස් වන්නේ නිශ්චිත කාලයක් තුළ, එක් රුපියලක් (හෝ එවැනි වෙනත් මුදලක්) සාමාන්‍ය වශයෙන් කොපමණ වාරයක් ගනුදෙනු සඳහා භාවිතා වුනාද කියන එකයි. මෙම අගය සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණයෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර, අර්ථදැක්වීම අනුවම, අදාළ කාලයේදී සිදු වූ මුදල් ගනුදෙනු වල වටිනාකමට සමානයි. 

කිසියම් රටක ගනුදෙනු සිදු වන්නේ එක් මුදල් වර්ගයකින් පමණක්නම් සහ එම මුදල් සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුවක් වැනි ඒකාධිකාරයක් විසින්නම්, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය පහසුවෙන්ම, හරියටම දැනගන්න පුළුවන්. බිට්කොයින් වැනි නූතන මුදල් වර්ග කිසියම් නිශ්චිත කාලයක් තුළ කොපමණ වාරයක් අතින් අත මාරු වුනාද කියලා පහසුවෙන්ම හරියටම දැන ගන්න පුළුවන් වුනත්, ලෝහ කාසි වැනි සම්ප්‍රදායික මුදල් හා අදාළව මෙවැන්නක් පහසුවෙන් කරන්න බැහැ. නමුත් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම දන්නවානම්, එම අගය මුදල් සැපයුමෙන් බෙදලා මුදල් ප්‍රවේගය වක්‍ර ලෙස හොයා ගන්න පුළුවන්.

කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම මැනිය හැකි ක්‍රමයක් තියෙනවද?

රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම සේ සලකන්න පුළුවන්. විශේෂයෙන්ම හුදෙකලා දූපතක් වැනි සංවෘත ආර්ථිකයක් සැලකුවොත්, ගනුදෙනු ලෙස හුවමාරු වෙන්නේ කිසියම් කාලයක් තුළ රට තුළ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම භාණ්ඩ හා සේවා වල තත්කාලීන වෙළඳපොළ වටිනාකමයි. ඒ නිසා, නාමික දළ දේශීය නිෂ්පාදිතය ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් සේ සලකන්න පුළුවන්. මේ අනුව, නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් සැපයුමේත්, මුදල් ප්‍රවේගයේත් ගුණිතයට සමාන විය යුතුයි.

නාමික දළ දේශීය නිෂ්පාදිතය =  මුදල් සැපයුම x මුදල් ප්‍රවේගය

සාමාන්‍යයෙන් වසරෙන් වසර රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරනවා. ඒ වගේම, මුදල් සැපයුමේ වෙනස් වීම පිළිබඳවත් දත්ත තිබෙනවා. ඒ නිසා, ඔය සංඛ්‍යාලේඛණ දෙක ඇසුරෙන් මුදල් ප්‍රවේගය ඇස්තමේන්තු කර එහි වෙනස්වීම පරීක්ෂා කරන්න පුළුවන්. මේ පරීක්ෂාව මගින් තහවුරු කර ගැනීමෙන් පසුව, එක්තරා කාලයකදී පිළිගැනීමට ලක් වූ කරුණක් වන්නේ දිගුකාලීනව නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මුදල් සැපයුම වෙනස් වන පරිමාණයට සාපේක්ෂව මුදල් ප්‍රවේගය වෙනස් නොවන බැවින් මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මුදල් ප්‍රවේගය නියතයක් සේ සැලකිය හැකි බවයි. එසේ උපකල්පනය කිරීමෙන් පසුව මුදල් ප්‍රවේගය මැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. 

මුදල් ප්‍රවේගය වෙනස් නොවන නියතයක්නම්, මුදල් සැපයුම වැඩි වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යා යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්ම නාමික දළ දේශීය නිෂ්පාදිතයද වර්ධනය විය යුතුයි. එහෙත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය හේතු දෙකක් නිසා වර්ධනය විය හැකියි. පළමුවැන්න මූර්ත ආර්ථික වර්ධනයයි. දෙවැන්න උද්ධමනයයි.

මුදල් සැපයුමේ වර්ධන වේගය = මූර්ත ආර්ථික වර්ධන වේගය + උද්ධමනය

මේ අනුව, අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය මත පදනම්ව, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමට හැකි විය යුතුයි.

උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය

මුදල් සැපයුමේ වර්ධනය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන බව ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය වැනි අය පවා පෙන්වා දී තිබුණු පැරණි අදහසක් වුවත්, මෙය සිදු වන යාන්ත්‍රනය විස්තර කරමින් එම අදහසට ජවයක් ලබා දුන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනුයි. ඒ මහා ආර්ථික අවපාතය සමයේදී. ඒ වන විට පිළිගැනුණු අදහස වූයේ මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන බවයි. මුදල් සැපයුම වර්ධනය වෙද්දී, ඒ වේගයෙන්ම මූර්ත නිෂ්පාදිතයද වර්ධනය වේනම්, ඒ හේතුවෙන් උද්ධමනයක් ඇති වීමේ ඉඩක් නැහැ.

කේන්සියානු අදහස් ප්‍රචලිත වීමට පෙර ප්‍රධාන ධාරාව තුළ පිළිගැනීමට ලක්ව තිබුණු, මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන්නේය යන සම්භාව්‍ය ආර්ථික විද්‍යා අදහසේ පදනම වූයේ මුදල් සැපයුම වැඩි වීම නිසා නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ වෙනසක් සිදු වීමේ හැකියාවක් නොතිබීමයි. මෙම අදහස අනුව, මූර්ත ආර්ථික වර්ධන වේගය ආර්ථිකයක් සතු නිෂ්පාදන සාධක ප්‍රමාණය මත තීරණය වන්නක් බැවින් මුදල් සැපයුම වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් කේන්ස් විසින් පෙන්වා දුන්නේ ආර්ථිකය තුළ නිෂ්පාදනය සඳහා යොදා නොගැනෙන නිෂ්පාදන සාධක තිබේනම්, මුදල් සැපයුම වැඩි කිරීම මගින් එම නිෂ්පාදන සාධක නිෂ්පාදනය සඳහා යොදා ගැනීම උත්තේජනය කර මූර්ත ආර්ථික වර්ධන වේගය වැඩි කළ හැකි බවයි.

සම්භාව්‍ය අදහස අනුව, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බල නොපාන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ උද්ධමනයයි. කේන්සියානු අදහස අනුව, මුදල් සැපයුම වැඩි කිරීම මගින් යම් තත්ත්වයන් යටතේදී, යම් සීමාවක් දක්වා මූර්ත ආර්ථික වර්ධන වේගය ඉහළ දැමිය හැකියි. එසේ වුවද, එම සීමාවෙන් ඔබ්බට මුදල් සැපයුම වැඩි කිරීමෙන් සිදු වන්නේ උද්ධමනය ඉහළ යාම පමණයි.

මේ අනුව පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ, ඉහත කවර මතවාදය අනුව වුවද, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය ඉක්මවා යන්නේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව, එම වෙනසට සමාන උද්ධමනයක් ඇති විය යුතු බවයි. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින්, මහ බැංකුවකට උද්ධමනය පාලනය කළ හැකි විය යුතුයි.

නමුත් මෙහිදී මතු වන ඊළඟ ප්‍රශ්නය වනුයේ මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියන එකයි. අපේ පරිකල්පනීය දූපතේ සරල උදාහරණයෙහි මුදල් කියන්නේ ලෝහ කාසි වර්ගයක්. එකම වර්ගයක කාසි වෙනුවට විවිධ වටිනාකම් වල කාසි සංසරණයට එකතු කළත්, කාසි වෙනුවට නෝට්ටු එකතු කළත්, මූලික අදහසේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. රුපියල් සීයක මුදල් නෝට්ටුවක් අතින් අත මාරු වීම රුපියලේ කාසි සීයක් අතින් අත මාරු වීමට සමාන සේ සලකන්න පුළුවන්. නමුත්, වාණිජ බැංකු බිහිවීමෙන් පසුව ඇති වන තත්ත්වයන් සලකා බලද්දී, මුදල් වල ඉහත අර්ථ දැක්වීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා. 

විශේෂයන්ම ගනුදෙනු සඳහා චෙක්පත් භාවිතා කිරීම ප්‍රචලිත වී තිබීම තුළ ගනුදෙනු පියවීම සිදු වන්නේ කාසි හා නෝට්ටු වලින් පමණක් නෙමෙයි. ආකෘතිමය ලෙස වෙනස් කාසි හා නෝට්ටු ගෙවීම් සහ චෙක්පත් ගෙවීම් යන අවස්ථා දෙකේදීම යම් ආකාරයක මුදල් භාවිතයක් සිදු වෙනවා. 

වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමෙන් පසුව එම මුදල් මුදල් සේ ආපසු ලබා නොගෙන චෙක්පත් මගින් ගෙවීම් කිරීම ප්‍රචලිත වීමෙන් පසුවද මුදල් සැපයුම සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය පමණක් සේ සැලකුවහොත් ගනුදෙනු පරිමාවෙන් කොටසක් මග හැරෙනවා. එම කොටසද නාමික දළ දේශීය නිෂ්පාදිතයට අයත් කොටසක්. ඒ නිසා, කාසි හා නෝට්ටු වලට අමතරව චෙක්පත් හරහා ගෙවීම් සඳහා යොදා ගත හැකි ජංගම ගිණුම් තැන්පතුද මුදල් සැපයුමෙහි කොටසක් සේ සලකන්නට සිදු වෙනවා. එහෙත්, කාසි හා නෝට්ටු මෙන්, මෙම ජංගම ගිණුම් තැන්පතු ප්‍රමාණය ඒකාධිකාරී මහ බැංකුවකට වුවද සෘජුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ.

මේ වන විට මේ තත්ත්වය වඩා සංකීර්ණ වී තිබෙනවා. දැන් බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, අන්තර්ජාලය හරහා කරන ගෙවීම්, ජංගම දුරකථනය හරහා කරන ගෙවීම් ඇතුළු විවිධ ක්‍රම වලින්. ඒ නිසා, මුදල් සැපයුමේ අර්ථදැක්වීම විශාල ප්‍රශ්නාර්ථයක්. මේ හේතුව නිසාම බොහෝ රටවල මුදල් සැපයුම පිළිබඳ අර්ථදැක්වීම් එකකට වඩා තිබෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කළ යුත්තේනම්, මහ බැංකුවක් විසින් ඉලක්ක කළ යුත්තේ විවිධ මුදල් සැපයුම් අතරින් කවර මුදල් සැපයුමද? මෙය ප්‍රශ්නයක්. 

තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අභිලාශ හා ගැලපෙන ප්‍රවාද ආගමික ලෙස අදහන පිරිස් අප‍ට බොහෝ විට දකින්නට ලැබෙනවා. මේ සඳහා හොඳම උදාහරණය මාක්ස්වාදීන්. මෙවැනි අය තමන් අදහන ප්‍රවාදයේ සීමාවන් පැහැදිලිව දෘශ්‍යමාන වෙද්දී පවා ප්‍රවාදයේ සීමාවන් හඳුනා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ප්‍රවාදය ඇත්ත සේ සලකමින්, දෘශ්‍යමාන තත්ත්වය විකෘතියක් ලෙස අර්ථ දැක්වීමයි. මෙවැනි පිරිස් වාමාංශික අන්තයේ මෙන්ම දක්ෂිණාංශික අන්තයේද ඉන්නවා. මුදල්වාදය අදහන ඇතැම් අයට අනුව, මුදල් සැපයුම කවර ආකාරයෙන් මැන්නත් එහි වෙනසක් නැහැ. මෙය සාවද්‍ය අදහසක්. 


මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලා ඉහත කරුණ සනාථ කරගන්න අමාරු නැහැ. ඒ අනුව, පැහැදිලි වන්නේ මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් කාලයත් සමඟ විචලනය වී තිබෙන්නේ එකම ආකාරයකින් නොවන බවයි. එසේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ කවර මුදල් සැපයුමද?

මුදල් ප්‍රමාණ සමීකරණය මගින් විස්තර කරන්නේ මුදල් සැපයුම දිගුකාලීනව උද්ධමනය කෙරෙහි බලපාන ආකාරයයි. ඒ නිසා, කෙටිකාලීනව විවිධ මුදල් මිනුම් වල හැසිරීම් වෙනස් වීම හේතුවෙන් ප්‍රවාදය අභියෝගයට ලක් වන්නේ නැහැ. නමුත් මෙහිදී සලකා බලා තිබෙන්නේ වසර 34ක් වැනි දීර්ඝ කාලයක්. මෙම කාලය තුළ සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය 4.23 ගුණයකින්ද, සංචිත මුදල් (M0) 3.84 ගුණයකින්ද, පටු මුදල් සැපයුම (M1) 4.13 ගුණයකින්ද ඉහළ යද්දී, M2 පුළුල් මුදල් සැපයුම 11.4 ගුණයකින්ද, M2b පුළුල් මුදල් සැපයුම 11.9 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, මුදල් සැපයුම සේ සැලකිය යුත්තේ කවර මිනුමද යන්න මත පෙනෙන චිත්‍රය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා.

කෙසේ වුවද, අවසාන ඉලක්කය වන්නේ උද්ධමනය පාලනය කිරීම නිසා අපට ඉහත මිනුම් අතරින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා වඩා හොඳින් ගැලපෙන මිනුම තෝරා ගත හැකියි. එහෙත්, මෙයද කියන තරම් පහසු වැඩක් නෙමෙයි.

ඉහත කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය 8.03 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. වසරකට 14.2%ක සාමාන්‍ය වර්ධන වේගයක්. මෙම වේගය මූර්ත ආර්ථික වර්ධන වේගයේ සහ උද්ධමනයේ එකතුවයි. මේ අනුව පෙනී යනු ඇත්තේ මහ බැංකුව විසින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් හෝ පටු මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි. එමෙන්ම, M2 පුළුල් මුදල් සැපයුම හෝ M2b පුළුල් මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා අඩු උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි. 

ඉහත කිසිදු මිනුමක් මුදල් ප්‍රමාණ සමීකරණය හා හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, හුදෙක් මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් උද්ධමනය ප්‍රශස්ත ලෙස  කළමනාකරණය කිරීමේ හැකියාවක් නැහැ. මෙයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ ඇතැම් මුදල්වාදීන් විසින් උපකල්පනය කරන පරිදි මුදල් ප්‍රවේගය නියතයක් නොවීමයි. විවිධ මුදල් සැපයුම් හා අදාළ මුදල් ප්‍රවේග එකම ආකාරයකින් වෙනස් නොවීම මේ තත්ත්වය වඩා සංකීර්ණ කරනවා.

මුදල් ප්‍රමාණ සමීකරණයේ ප්‍රයෝජ්‍ය වටිනාකම සීමා කරන තවත් සාධකයක් වනුයේ ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑමයි. ලෝකයේ කිසිම රටක අපේ උදාහරණයෙහි ඇති පරිකල්පනීය දූපතේ වැනි හුදෙකලා වූ ආර්ථිකයක් නැහැ. ලංකාව වැනි බොහොමයක් රටවල් වල දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය කරන්නේ රටින් පිටත සිටින අයයි. එමෙන්ම රට තුළ පරිභෝජනය කෙරෙන බොහෝ දෑ ආනයනික භාණ්ඩයි. ඒ නිසා, රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අතර සම්බන්ධය කැඩී යනවා. 

රට තුළ ආනයනික භාණ්ඩ මිල දී ගන්නා ලංකාවේ පාරිභෝගිකයෙකු විසින් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ රුපියල් වලින් වුවත් අවසාන වශයෙන් අදාළ භාණ්ඩයේ නිෂ්පාදකයාට මුදල් ගෙවන්නේ රුපියල් වලින් නොවන නිසා රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතයද උද්ධමනය කෙරෙහි බලපෑම් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් ගනුදෙනු ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පමණයි.

ඇමරිකාව වැනි රටකට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් බලපානවා. ඇමරිකාව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු සිදු වන්නේද ඔවුන්ගේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් වලින්. එහෙත් ඇමරිකන් ඩොලර් භාවිතා වන්නේ ඇමරිකාව තුළ හෝ ඇමරිකාව සමඟ සිදු කෙරෙන ගනුදෙනු සඳහා පමණක් නොවන බැවින් ඩොලර් සඳහා වන ඉල්ලුම ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ පරිමාව ඉක්මවා යන්නක්. 

වෙනස තිබෙන්නේ කවර අතට වුවත්, අවසාන ප්‍රතිඵලය වනුයේ ගනුදෙනු වල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය ඇසුරෙන් මැන ගත නොහැකි වීමයි. ඒ නිසාම, මුදල් ඉල්ලුම නිවැරදිව තක්සේරු කළ නොහැකි වීමයි. 

මුදල් ඉල්ලුම මෙන්ම මුදල් සැපයුමද නිවැරදිව මැන ගැනීම පහසු නොවන්නාක් මෙන්ම මුදල් ප්‍රවේගය නියතයක්ය යන්න ඒ තරම් නිවැරදි උපකල්පනයක් නෙමෙයි. ආර්ථිකයේ චක්‍රීය විචලනයන් සමඟ මුදල් ප්‍රවේගයද වෙනස් වෙනවා. මේ හේතූන් නිසා, මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම අභියෝග කළ නොහැකි සර්වසාම්‍යයක් වුවද, ප්‍රායෝගික භාවිතාවේදී එය උපයෝගී කර ගත හැක්කේ කිසියම් මාර්ගෝපදේශනයක් සපයා ගැනීම සඳහා පමණයි. 

මහා අවපාතයෙන් පසුව, 1930 දශකයේදී කේන්සියානු අදහස් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. එහෙත්, 1950 පමණ වන විට ප්‍රධාන ධාරාව තුළ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මුදල්වාදය ඉස්මතු වෙන්න පටන් ගත්තා. 1970 දශකය මුලදී ඉහළ උද්ධමනයක් තිබියදී විරැකියා අනුපාතයද ඉහළ මට්ටමක පැවතීම තුළ කේන්සියානු අදහස් පහසුවෙන්ම අභියෝගයට ලක් කළ හැකි වාතාවරණයක් ඇති වීම නිසා මුදල්වාදයට විශාල පිළිගැනීමක් ලැබුණා. මෙම කාලයේදී ලෝකයේ ප්‍රධාන මහ බැංකු ගණනාවක්ම මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කළා.

මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස් පරිදි, එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිව සිටි පෝල් වෝකර් විසින් 1979-1982 කාලයේදී උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වෙනුවට කෙළින්ම මුදල් සැපයුම ඉලක්ක කිරීමට තීරණය කළා. මීට පෙර මෙන්ම මෙම අසාර්ථක පරීක්ෂණයෙන් පසු කාලයේදීද මහ බැංකු විසින් සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කළේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. ඒ හා අදාළ වැඩි විස්තර වෙනත් ලිපියකින්.

පෝල් වෝකර් පරීක්ෂණය සිදු කළ 1979-1982 කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා විශාල ලෙස විචලනය වීම නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල අස්ථාවරත්වයක් ඇති වුනා. අවසන් වශයෙන් මේ පරීක්ෂණය අත හැර දමනු ලැබුවා. මීට සමාන්තරව මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව යටතේ එක්සත් රාජධානියේද, ජර්මනිය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලද මේ පරීක්ෂණය සිදු කෙරුණා. එහෙත් ඒ කිසිදු තැනක මුදල් සැපයුම පාලනය කිරීම මගින් සෘජුව උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය කළමනාකරණය කිරීම ලෝකයේ ප්‍රධාන ආර්ථික ගණනාවකම ප්‍රයෝගිකව පරීක්ෂා කරනු ලැබ, ඉතා කෙටි කලකින්ම අත හැර දමා ඇති අසාර්ථක ක්‍රමයක්. 

මෙයින් පෙන්වා දෙන්නේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු නොවන බව හෝ මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කළ නොහැකි බව නෙමෙයි. මූලික අදහස මුදල් සැපයුම සෘජුව පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කරන්නට උත්සාහ කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි. ඊට සාපේක්ෂව, පොලී අනුපාතික පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීම දශක ගණනාවක් තිස්සේ අත්හදා බලා තිබෙන සාර්ථක ක්‍රමයක්. එහිදීද අවසාන වශයෙන් මුදල් සැපයුම පාලනය කිරීමක් සිදු වන නමුත් එය සිදු වන්නේ වක්‍ර ලෙසයි. මේ ගැන ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.

Sunday, August 31, 2025

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය


සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක් අතර පමණයි. 

නමුත් මේ විදිහට පොදු දැනුමක් වී තිබෙන්නේ සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන මූලික අදහස පමණයි. එය සිදු වෙන්නේ කොහොමද කියන එක තවමත් ඒ පොදු දැනුමේ කොටසක් වෙලා නැහැ. 

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන ආකාරය විවිධ අය තේරුම් අරගෙන තිබෙන්නේ විවිධ ආකාර වලිනුයි. එයට මේ දැනුම සමාජගත කිරීම සඳහා ඕනෑවට වඩා සරල ආකෘති යොදා ගෙන තිබීමත් එක් හේතුවක්. ඒ වැඩේට අපද දායක වී තිබෙනවා. 

යම් අදහසක් මුලින්ම සමාජගත කරද්දී අවශ්‍ය වැදගත්ම කරුණට පමණක් අවධානය යොමු කරමින් සරලව පැහැදිලි කිරීම සහ හැම දෙයක්ම විස්තර කිරීම අතර තේරීමක් තිබෙනවා. අවශ්‍ය වන්නේ කෙටි කලකින් වැඩි දෙනෙකු දැනුවත් කිරීම වූ විට පළමු ක්‍රමය තෝරා ගන්න සිදු වෙනවා. නමුත් එහි දිගුකාලීන බලපෑම් දිහා බැලුවොත් සමහර දේවල් බාගෙට දැන ගැනීම නොදැන සිටීමටත් වඩා භයානක වන අවස්ථාත් දැකිය හැකියි. 

මේ සම්බන්ධය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කුඩා දූපතක් වෙත යමු. දැන් මේ කරන්නේත් සරල පැහැදිලි කිරීමක්ම තමයි. 

ආරම්භයේදී ඔය දූපතේ අද අර්ථයෙන් මුදල් කියා දෙයක් නැහැ. දූපතේ මිනිසුන් අතර සිදු වන සීමිත ගනුදෙනු සිදු වන්නේ භාණ්ඩ හුවමාරු ලෙසයි. රජුට බදු ගෙවන්නේත් භාණ්ඩ වලින්.

ඔහොම තියෙද්දී ඔය දූපත විදේශිකයින් පිරිසක් විසින් යටත් කර ගන්නවා. එම විදේශික රජයේ හමුදාවට වැටුප් ගෙවන්නේ කිසියම් මුදල් වර්ගයකින්. මේ මුදල් දැන් රට පාලනය කරන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ රටින් රැගෙන ආ මුදල්. ඒවා එකම වර්ගයක ලෝහ කාසි. ඒ ලෝහ කාසි ගෙවා නැවේ තිබෙන ආහාර වැනි දේ මිල දී ගන්න පුළුවන්. ඒවාත් මුල් රටින් රැගෙන ආ ආහාර. ආහාර වල අයිතිය තිබෙන්නේත් ආක්‍රමණික කණ්ඩායමේ නායකයාටයි.

ඉතා ඉක්මණින් නැවේ ආහාර අවසන් වෙනවා. නමුත් විදේශිකයින් සතුව මුදල් තිබෙනවා. ඔවුන් එම මුදල් ගෙවා ස්වදේශිකයින්ගෙන් ආහාර මිල දී ගන්න උත්සාහ කළත් ඔවුන් එවැනි හුවමාරුවකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට මේ මුදල් වලින් වැඩක් නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක් නෙමෙයි.

මේ වෙලාවේ රටේ අලුත් පාලකයා වන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් සියලුම රටවැසියන්ට බද්දක් පනවනවා. එම බද්ද ගෙවිය යුත්තේ මුදල් වලින්. නමුත් ස්වදේශිකයින් සතුව මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට මුදල් ලබා ගැනීම සඳහා විදේශිකයින් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමට සිදු වෙනවා. ඒ හරහා රටේ නිපදවන භාණ්ඩ වලට මුදල්මය වටිනාකමක් ලැබෙනවා.

බදු ගෙවද්දී භාණ්ඩ හුවමාරුව හරහා ස්වදේශිකයින් අතට පත් වෙන මුදල් නැවත අලුත් රජය සතු වෙනවා. ඒ නිසා, ඒ මුදල් වලින් නැවත නැවත වැටුප් ගෙවිය හැකියි. වැටුප් ලබන අයට ඒ වැටුප් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ හැකියි. භාණ්ඩ හා සේවා විකුණන අයට ඒ මගින් බදු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකියි. 

මේ විදිහට මුදල් මත පදනම් වූ සීමිත ගනුදෙනු ආර්ථිකයක් හැදී රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලට මුදල් වටිනාකමක් ලැබීමෙන් පසුව ගනුදෙනු ආර්ථිකය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. දැන් ස්වදේශිකයෙකුට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය නොවුනත් මුදල් පිණිස භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන්. ඒ වගේම, ඒ මුදල් ගෙවා තමන්ට අවශ්‍ය, තමන් සතු නැති, භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. ඊට අමතරව මුදල් වලින් වත්කම් එකතු කරන්න පුළුවන්. 

ඔය විදිහේ ගනුදෙනු ආර්ථිකයක් හැදුනට පස්සේ රජය විසින් මුලින් පනවපු බද්ද ඉවත් කළත් මුදල් භාවිතය නැති වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ හැකියාව සහ අනාගත ගනුදෙනු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නිසාම මුදල් වලට වටිනාකමක් ඇති වෙනවා. ඒ සඳහා අදාළ මුදලේ නෛසර්ගික වටිනාකමක් තියෙන්න අවශ්‍ය නැහැ. 

අපි හිතමු මුලින්ම නැවෙන් ගෙනාවේ සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි කියලා. ඔය මුදල් ප්‍රමාණය ඉවර වෙනකම් රජයට පුළුවන් මුදල් සැපයුම වැඩි කරන්න. බදු ගෙවීම සඳහා පමණක් මුදල් අවශ්‍ය වන මුල් අවස්ථාව සැලකුවොත්, අවුලක් නැතිව මුදල් සැපයුම වැඩි කළ හැක්කේ බදු ලෙස එකතු කර ගත යුතු මුදල් ප්‍රමාණය දක්වා පමණයි. මිනිස්සුන්ට ඊට වඩා මුදල් අවශ්‍ය වන්නේ නැහැ. මුදල් සැපයුම ඊට වඩා වැඩි කළොත් ඒ මුදල් වැටුප් සේ ලබා ගන්නා අයට මුදල් සමඟ හුවමාරුවට භාණ්ඩ හා සේවා ලබා ගන්න අමාරු වෙනවා. එවැනි අය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තරඟ කරද්දී භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් උද්ධමනයක් ඇති වෙනවා.

නමුත් ගනුදෙනු ආර්ථිකයක් හැදී එය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ හේතුවෙන් මුදල් ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනයකට මුහුණ නොදී මුදල් සැපයුමත් දවසින් දවස ඉහළ දමන්න පුළුවන්. අලුතෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගන්න පුළුවන්. මේ මගින් රජය විශාල කර ගන්න පුළුවන්. 

ඔහොම ගිහින් නැවේ ගෙනාපු සල්ලි සියල්ලම සංසරණයට එකතු කර අවසන් කළාට පස්සේ වෙන්නේ කුමක්ද? නැවේ ගෙනාපු සල්ලි ඉවර නිසා මුදල් සැපයුම තවත් වැඩි කරන්න බැහැ. නමුත් රටේ ගනුදෙනු ව්‍යාප්ත වෙද්දී මුදල් වලට තිබෙන ඉල්ලුම එන්න එන්නම ඉහළ යනවා. ඒ නිසා, තිබෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න තරඟය වැඩි වෙලා මුදල් වල වටිනාකම ඉහළ යනවා. මුදල් වලට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල අඩු වෙනවා. ඒ කියන්නේ අවධමන තත්ත්වයක් ඇති වෙනවා. 

දැන් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තමයි උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ කිසියම් මුදල් වර්ගයකට තිබෙන ඉල්ලුම හා සැපයුම මත කියන එක. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් උද්ධමනයක් ඇති වෙනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් අවධමනයක් ඇති වෙනවා. මෙය වෙනත් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වීමට සමානයි.

මෙහි තිබෙන්නේ පරිකල්පනීය විස්තරයක් වුනත්, ඉංග්‍රීසි කාලයේදී ලංකාවේ ගනුදෙනු සංස්කෘතිය ව්‍යාප්ත වෙද්දී සිදු වූ දෙයත් මීට බොහෝ දුරට සමානයි. මුදල් ඉල්ලුම එන්න එන්නම වැඩි වුනා. නැවේ ගෙනාපු සල්ලි ඉවර වෙද්දී "තව නැවු වලින් සල්ලි ගේන්න පුළුවන් වූ නිසා" මුදල් සැපයුමත් එන්න එන්නම වැඩි වුනා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව මුදල් වල වටිනාකම වෙනස් වී උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වුනා. 

මේ විස්තරයේ තිබෙන පරිකල්පනීය දූපතේ මුදල් සැපයුම තීරණය කරන්නේ රජය විසින්. රජයක හෝ මහ බැංකුවක ඒකාධිකාරය යටතේ තනි මුදල් වර්ගයක් භාවිතා කරන රටකට මේ විස්තරය ගැලපෙනවා. නූතන ලෝකයේ බොහොමයක් රටවල් එවැනි රටවල්. (එවැනි ඒකාධිකාරයක් තිබුණත් ඒ ඒකාධිකාරයට තිබෙන සීමාවන් ගැන පසුව වෙනත් ලිපියකින් අවධානය යොදවමු.)

මුදල් සැපයුම පාලනය කරන රජයකට හෝ මහ බැංකුවකට එය හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා, මුදල් ඉල්ලුම දන්නවානම් හරියටම මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම ගලපන්න පුළුවන්. එවිට උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට මුදල් ඉල්ලුම හරියටම දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මහ බැංකුවකට හෝ රජයකට කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැහැ. එක්කෝ උද්ධමනයක් ඇති වෙනවා. නැත්නම් අවධමනයක් ඇති වෙනවා.

කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැති වුනත්, මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළව මහ බැංකුවකට හෝ රජයකට ඒකාධිකාරී බලයක් තිබේනම්, දිගුකාලීනව මුදලේ අගය ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ නැත්නම් දිගුකාලීනව ස්ථාවර වේගයකින් මුදලේ අගය අඩු වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඒ කියන්නේ උද්ධමනය දිගුකාලීනව ස්ථාවර මට්ටමක පවත්වා ගන්නවා කියන එක. මේ පරිකල්පනීය උදාහරණයේ මෙන් ඒකාධිකාරී බලයක් නැතත්, ලෝකයේ මහ බැංකු බොහොමයක් විසින් දැන් කරන්නේ මේ වැඩේ. 

ඉතිහාසයේ මුල් යුගයේ කෙසේ වෙතත් යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය වෙද්දී, දළ අදහසක් ලෙස, ලංකාවේ තිබුණේ රජුගේ අයිතියට යටත් වූ පොදු දේපොළ ක්‍රමයක්. ඔය ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිසුන් අතේ විශාල ලෙස වත්කම් සමුච්ඡනය වීමක් සිදු වුණේ නැහැ. නමුත් වෙනත් ඇතැම් සමාජ වල, විශේෂයෙන්ම යුරෝපයේ, පෞද්ගලික දේපොළ ක්‍රමය වඩා ප්‍රචලිතව තිබුණා. එවැනි රටවල වත්කම් ගබඩා කර ගැනීමේ මාධ්‍ය ලෙස රන් හා රිදී වැනි දුලබ ලෝහ භාවිතා වුනා. මෙවැනි ලෝහ වර්ග ගනුදෙනු සඳහාද යොදා ගැනුණා. ඒ සඳහා රජු හෝ රජය මගින් සම්මත කාසි නිකුත් කර ඒවාට බාහිරින් වටිනාකමක් ලබා දෙන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් වල වටිනාකමේ ප්‍රභවය එහි ලෝහ සංයුතිය මිස ඒ මත ඇති රජුගේ මුද්‍රාව වැන්නක් නොවේනම් මුදල් සැපයුම ඒකාධිකාරයක් වන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මුදල් "හොයා ගෙන" සංසරණයට එකතු කළ හැකියි. ඒ නිසා, මුදල් ඉල්ලුම වගේම මුදල් සැපයුමද විචලනය වෙනවා. මේ අනුව, අවධමනයක් හෝ උද්ධමනයක් ඇති වීම හෝ පැවතීම කිසිවෙකුට පාලනය කළ නොහැකියි. 

යුරෝපීයයන් ඇමරිකාව සොයා ගැනීමෙන් පසුව වටිනා ලෝහ සංචිත, විශේෂයෙන්ම එවකට මුදල් ලෙස වඩාත්ම ප්‍රචලිතව තිබුණු රිදී, විශාල ලෙස හමු වූ බැවින් යුරෝපය තුළ මුදල් සැපයුම වැඩි වී මුදලේ වටිනාකම අඩු වුනා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. උද්ධමනයක් ඇති වුනා. මේ විදිහට උද්ධමනයක් ඇති වෙද්දී තමන්ගේ වත්කම් රන් හා රිදී වලින් තබා ගෙන සිටි අයගේ එම වත්කම් වල වටිනාකමද පහත වැටුණා. උද්ධමනය නිසා හානියක් වෙනවා කියන අදහස පසුව ප්‍රචලිත වන්නේ ඔය යුගයේ නිරීක්ෂණ මත පදනම්වයි. උද්ධමනය කියා කිවුවත්, ඔය කාලය වෙද්දී උද්ධමනය කියන පසුකාලීන සංකල්පය වැඩි දියුණු වෙලා නැහැ.

මේ යුගයේ නිරීක්ෂණත් එක්ක පෙනී ගිය කරුණක් වූයේ මුදල් සැපයුම, නිශ්චිතව කිවුවොත් රන් හෝ රිදී සැපයුම, ඉහළ යද්දී පොදුවේ ජනතාව වඩ වඩා ධනවත් වීමක් සිදු නොවන බව සහ ඒ වෙනුවට මුදලේ වටිනාකම පහළ යාම හේතුවෙන් අවසාන වශයෙන් මුදල් සැපයුම ඉහළ යාමේ විශේෂ වාසියක් රටට හෝ එහි ජනතාවට නොමැති බවයි. ප්‍රංශ චින්තකයෙකු වන ෂෝන් බෝදන් (Jean Bodin) විසින් 1568දී මේ බව පෙන්වා දුන්නා. එම අදහස ඉදිරිපත් කළේ උද්ධමනයට හේතුව මුදල් බාල කිරීමය යන එවකට ප්‍රචලිතව පැවති අදහසට විකල්ප අදහසක් ලෙසයි. බෝදන්ටත් කලින් මාටින් ද අස්පෙල්ක්වේතා (Martín de Azpilcueta ) වැන්නන් මේ අදහස ඉදිරිපත් කර තිබුණත්, අදහස ඉදිරියට ගෙන ගියේ ෂෝන් බෝදන්.

පසුව ජාන් ලාක් (John Locke), ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය මේ අදහස වැඩි දියුණු කළා. ජෝන් ස්ටුවට් මිල්, ඇල්ෆ්‍රඩ් මාෂල් වැනි අය තවත් එකතු කිරීම් කළා. මේ සියලුම අය ප්‍රධාන වශයෙන් අවධානය කළේ මුදල් සැපයුම සහ පොදුවේ මිල ගණන් ඉහළ යාම අතර සම්බන්ධයටයි. එසේ නැත්නම් එය සිදු විය හැකි යාන්ත්‍රනයටයි.

කලකට පසුව, 1911දී අර්වින් ෆිෂර් විසින් මේ අදහස වඩා සම්පූර්ණ හා තර්කානුකූල ගණිතමය සමීකරණයක ආකාරයෙන් ඉදිරිපත් කළා. මෙය පසුව මුදල් ප්‍රමාණ සමීකරණය ලෙස ප්‍රචලිත වුනා. මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම සරල සර්වසාම්‍යයක්. මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව මීළඟ ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු.

ඔය කාලය වන විට ඇමරිකාවේ මහ බැංකුවක් තිබුණේ නැහැ. ඒ නිසා, මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් තිබුණේත් නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූයේ 1913 වසර අවසානයේදීයි. මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් නොමැති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම තීරණය වුනේ රන් සැපයුම මතයි. ඒ වෙද්දී රන් කැණීම කර්මාන්තයක් බවට පත් වී තිබුණා. 

රන් සංසරණයට එකතු කිරීමේ ඉහළ ආවස්ථික පිරිවැය නිසා පසුකාලීනව රන් සැපයුම ඉහළ ගියේ අඩු වේගයකින්. ඒ නිසාම, රන් සැපයුම හා ගැට ගැසී තිබුණු මුදල් සැපයුම ඉහළ ගියේද අඩු වේගයකින්. නමුත් යුරෝපයේත්, විශේෂයෙන්ම "අලුත් ලෝකය" වූ ඇමරිකාවේත් ගනුදෙනු ආර්ථික වේගයෙන් ප්‍රසාරණය වෙමින් පැවති නිසා මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවන වේගයකින් මුදල් ඉල්ලුම වර්ධනය වුනා. මෙහි ප්‍රතිඵලය වූයේ උද්ධමනයට වඩා අවධමනය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වීමයි. 

උද්ධමනය හේතුවෙන් මුදල් වල වටිනාකම විශාල ලෙස පහත වැටුණු, යුරෝපය විසින් අලුත් ලෝකය සොයා ගත්, 16 වන සියවසේදී මෙන්ම එහි විලෝමය සිදු වූ 19 වන සියවසේදීද මේ දේවල් සිදු වූයේ මධ්‍යගත අධිකාරයක් විසින් මුදල් සැපයුම පාලනය කළ තත්ත්වයක් යටතේදී නොව එවැන්නක් සිදු නොවූ තත්ත්වයක් යටතේදීයි. 

විශේෂයෙන්ම 1500-1650 අතර කාලයේදී බටහිර යුරෝපයේ භාණ්ඩ මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ ගියා. ස්පාඤ්ඤය විසින් දකුණු ඇමරිකාවේ වත්මන් බොලීවියාවෙන් එකතු කරගත් රිදී හා රන් යුරෝපයට රැගෙන ඒම නිසා මුලින්ම ස්පාඤ්ඤයේ ඇති වූ උද්ධමනය පසුව පෘතුගාලය, ඉතාලිය, ප්‍රංශය වැනි රට වලට ව්‍යාප්ත වී අවසාන වශයෙන් එංගලන්තය, ජර්මනිය හා ස්කැන්ඩිනේවියාව දක්වා ව්‍යාප්ත වුනා. 

මෙසේ සියවස් එකහමාරක පමණ කාලයක් එක දිගට පැවති උද්ධමනය යුරෝපයේ ධනවතුන්ගේ වත්කම් වල වටිනාකම විශාල ලෙස පහත හෙලුවා. ඔය කාලය යුරෝපයේ ධනවතුන් සීමිත පිරිසක් අතේ විශාල ධනයක් එක් රැස් වී තිබුණු, ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු කාලයක්. මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ යනවා කියන්නේ රන් හෝ රිදී සේ තබාගත් වත්කම් වල වටිනාකමෙන් 75%-83% අතර කොටසක් අහිමි වෙනවා කියන එකයි. නමුත් මෙලෙස වත්කම් අහිමිවීමක් සිදු වන්නේ ඒ වත්කම් රන් හෝ රිදී සේ තබාගත් නිසා. 

මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි මූර්ත වත්කම් වල වටිනාකම අඩු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස එළදෙනකගේ හෝ අශ්වයෙකුගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මෙවැනි මූර්ත වත්කම් වර්ධනය වනවා වගේම ඊට අමතරව උද්ධමනය නිසා නාමික වටිනාකම් ඉහළ යාමක්ද සිදු වෙනවා. උද්ධමනය නිසා ධනය අහිමි වීම නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි මූර්ත වත්කම් වෙනුවට, නාමික වටිනාකමක් පමණක් ඇති රන් රිදී ගොඩ ගසා ගෙන සිටි අයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රශ්නයක්. 

වාර්ෂික සාමාන්‍යයක් ලෙස බලන්නේනම් මේ කාලයේ පැවති උද්ධමනය 1-1.5% අතර අගයක්. අද තත්ත්වයන් හා සංසන්දය කළහොත් පෙනී යනු ඇත්තේ මෙය ඉතා අඩු මට්ටමක උද්ධමනයක් බවයි. නමුත් සියවස් ගණනාවක් මිල ගණන් ස්ථාවරව පැවතීමෙන් පසුව ඇති වූ මෙම තත්ත්වය යුරෝපයේ සමාජය, විශේෂයෙන්ම ධනවතුන්ව, විශාල ලෙස කම්පනය කළ සුවිශේෂී තත්ත්වයක්. චීනය වැනි රටවල මීට බොහෝ පෙරද මෙවැනි උද්ධමන තත්ත්වයන් ඇති වී තිබුණත් යුරෝපයට ඒ අත්දැකීම ලැබී තිබුණේ නැහැ.

කෙසේ වුවත්, ලෝහ වල සාපේක්ෂ වටිනාකම් අඩු වීම නිසා ලෝහ කැනීම සඳහා වූ උනන්දුව අඩු වීමත්, යුරෝපයේ ගණුදෙනු ආර්ථිකය ප්‍රසාරණය වී මුදල් ඉල්ලුම ඉහළ යාම මෙන්ම යටත් විජිතකරණය හරහා ගණුදෙනු ආර්ථිකයේ භූගෝලීය වපසරිය වර්ධනය වීමත් නිසා 1650 පමණ වන විට නැවතත් යුරෝපයේ මිල මට්ටම් ස්ථාවර වුනා. උද්ධමන යුගය අවසන් වුනා. ලංකාවේ පෘතුගීසි පාලන යුගය යුරෝපයේ උද්ධමන යුගයක්. ලන්දේසි පාලන කාලය යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවති යුගයක්. 

ඉහත කී පරිදි යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවතීමට හේතුව මුදල් වල වටිනාකම වෙනස් වීමට අනුරූපව රන් හා රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා වූ පෙළඹවීමද වෙනස් වීමයි. මුදල් ඉල්ලුමට වඩා මුදල් සැපයුම ඉහළ යද්දී රන් හා රිදී වල වටිනාකම පහත වැටී කැණීම සඳහා වූ පෙළඹවීම අඩු වුනා. මේ හේතුවෙන් සැපයුම පාලනය වී නැවතත් මිල ඉහළ ගියා. මිල ඉහළ යද්දී නැවතත් රන් රිදී සොයා ගැනීම සඳහා වන උනන්දුව ඉහළ ගියා. 

කෙසේ වුවත්, දහනව වන සියවසේ අග භාගයේදී දෙවන කාර්මික විප්ලවය හමුවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ ගොස් මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී ඊට අනුරූපව මුදල් සැපයුමේ ඉහළ යාමක් සිදු වූයේ නැහැ. ඒ වන විට, පහසුවෙන් හා අඩු වියදමකින් ලබා ගත හැකි රන් සංචිත අවසන් වෙලා. මෙහි ප්‍රතිඵලය වූයේ දැනෙන තරමේ විශාල හා දශක ගණනාවක් පැවතුණු අවධමන කාලයක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කෙරෙන්නේ ඇමරිකාවේ හා යුරෝපයේ පැවති මෙම අවධමන යුගයේ අවසානය සනිටුහන් වෙද්දීයි. මේ සියල්ල සිදු වන්නේ වසර පන්සීයකට පමණ පෙර සිට වසර සීයකට පෙර දක්වා වූ අතීත කාලයකදීයි. 

ඉතිහාසයේ ඉහත කාලය සැලකුවහොත්, ඉඩම් වැනි වත්කම් හිමි ධනවතුන් සහ ශ්‍රමය පමණක් හිමි දුප්පතුන් ලෙස සමාජයේ පැහැදිලි කොටස් දෙකක් සිටියා. දුප්පතුන් අතේ මුදල් එක්රැස් වී තිබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වීමට සිදු වී තිබුණේ එදිනෙදා උපයන ආදායමෙන්. එයින් වෙනස්ව, ධනවතුන් සතුව එක්රැස් කරගත් වත්කම් තිබුණා. සාමාන්‍ය කරුණක් ලෙස ධනය හා බලය එකට යන බව අප දන්නා කරුණක්. ජීවත්වීම පිණිස රැකියාවක් සොයන, සංවිධානය නොවූ, දුප්පතෙකුට ධනවතෙකු හා හෙට්ටු කර වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව සීමිතයි. ඊට සාපේක්ෂව ධනවතෙකුට ශ්‍රමය වෙනුවෙන් ශ්‍රමිකයින්ට ගෙවන මිල තීරණය කිරීමේ හැකියාවක් තිබුණා. මේ තත්ත්වයන් දැනට වුවත් මුළුමනින්ම අහෝසි වී නැතත්, ඉහත කාලයේදී වඩා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

රන් රිදී වැනි වටිනා ලෝහ හෝ එවැනි ලෝහ වල වෙළදපොළ වටිනාකම මත වටිනාකම නිර්ණය වූ මුදල් එක්රැස් කරගෙන සිටියේ සමාජයේ ධනවතුන් විසිනුයි. දුප්පතුන් සතුව එසේ එක්රැස් කරගත් ධනයක් තිබුණේ නැහැ. 

මුදල් වල වටිනාකම ලෝහ වටිනාකම අනුව තීරණය වෙද්දී, එක දිගට උද්ධමනයක් පැවති වකවානු වලදී ධනවතුන්ගේ වත්කම් අඩු වුනා. එක දිගට අවධමනයක් පැවති වකවානු වලදී ඔවුන්ගේ වත්කම් වල වටිනාකම ඉහළ ගියා. මෙය ශ්‍රමය පමණක් හිමිව තිබුණු දුප්පතුන්ට බලපෑවේ කෙසේද?

උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ යද්දී දුප්පතුන්ට කලින් ලබා ගත් වැටුපෙන් ජීවත් වීමට හැකි වූයේ නැහැ. ඒ නිසා, ධනවතුන්ට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට සිදු වුනා. නමුත් එවැනි වැටුප් වැඩිවීමක් ඔවුන්ට විශේෂ වාසියක් වූයේ නැහැ. ලැබෙන ආදායම අනෙක් අතට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය වුනා. 

අවධමනය දුප්පතුන්ට බලපෑවේ කොහොමද? අවධමන තත්ත්වයක් පවතිද්දී කලින් වැටුපම ලැබුණේනම්, එම වැටුපෙන් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිල දී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. නමුත් මිල ගණන් ඉහළ යාමක් කියන්නේ උද්ධමනයක් මිසක් අවධමනයක් නෙමෙයි. ඒ නිසා, එක දිගට අවධමනයක් පැවතීමෙන් පෙනී යන්නේ මෙවැන්නක් සිදු නොවූ බවයි. එක දිගට අවධමනයක් පැවතීමට හේතුව මිල ගණන් අඩු වෙද්දී ඊට අනුරූපව ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිලද පහත වැටීමයි.

උද්ධමනයක් එක දිගට පවතිද්දී ධනවතුන්ට ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි කරන්නට සිදු වෙනවා. එමෙන්ම, අවධමනයක් පවතිද්දී, ඔවුන්ට ශ්‍රමයේ මිල අඩු කිරීමට ඉඩකඩ ලැබෙනවා. ඒ අනුව, උද්ධමනය හෝ අවධමනය නිසා ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. 

මාක්ස්වාදයට පදනම් වූයේ මේ නිරීක්ෂණයයි. එනම්, ධනවතුන්ට ශ්‍රමිකයින්ට ඔවුන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම මිල පමණක් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය මිල දී ගත හැකි බවයි. අවම වශයෙන් ඉතිහාසයේ එක් යුගයක් හා අදාළව මේ නිරීක්ෂණය පදනමක් නැති එකක් නෙමෙයි. 

උද්ධමනයක් හෝ අවධමනයක් පැවතීම ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයෙකුගේ ජීවන තත්ත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්නේ නැහැ. කෙටිකාලීනව බලපෑමක් සිදු විය හැකි වුවත්, ඊට හේතුව ඔවුන්ගේ සීමිත හෙට්ටු කිරීමේ හැකියාව මිසක් උද්ධමනය හෝ අවධමනය නෙමෙයි. එය ආර්ථික කරුණකට වඩා දේශපාලනික කරුණක්. දිගුකාලීනවනම් බලපෑමක් වන්නේම නැහැ. 

එහෙත්, තමන්ගේ වත්කම් රන් හෝ රිදී වැනි වටිනා ලෝහ වලින් හෝ එවැනි ලෝහයක ව්‍යුත්පන්නයක් වූ මුදලකින් තබා ගන්නා ධනවතෙකුට උද්ධමනය පැහැදිලි අවාසියක්. අවධමනය වාසියක්. එය එසේ වන්නේ රන් හෝ රිදී වල තිබෙන්නේ සැබෑ වටිනාකමක් නොවන නිසා. මේ අතින් රන් හා රිදී ෆියට් මුදල් වලට සමානයි. රන්, රිදී, ෆියට් මුදල්, බිට්කොයින් ආදී කිසිවක් සැබෑ ආයෝජන නෙමෙයි. සැබෑ ආයෝජනයක් හෙවත් මූර්ත ආයෝජනයක් සේ සැලකිය හැක්කේ අනාගතයේදී භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි යන්ත්‍ර සූත්‍ර, කෘෂිකාර්මික උපකරණ, වෙනත් යටිතල පහසුකම් ආදියයි. එවැනි ආයෝජන වල ප්‍රතිලාභ කෙරෙහි උද්ධමනයේ හෝ අවධමනයේ කිසිදු දිගුකාලීන බලපෑමක් නැහැ.

මේ සඳහන කළත්, මේ ලිපියේ සහ ඉදිරි ලිපි වල ප්‍රධාන ඉලක්කය සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය අතර සම්බන්ධය පැහැදිලි කිරීමයි. වර්තමාන සන්දර්භය තුළ උද්ධමනයේ හා අවධමනයේ වාසි අවාසි කාටද කියන එකත් වෙනම ලිපියක විස්තරාත්මකව කතා කරමු. ඊට කලින්, පෙර සඳහන් කළ, මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව පැහැදිලි කර ගනිමු. 

මේ සමඟ පළ කරන රූපය අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් 2000 නෝට්ටුවේ නිදර්ශකයක්. මෙය අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් කෙරෙන මුල්ම මුදල් නෝට්ටුව විය හැකියි.මෙම නෝට්ටුව ඉදිරි කාලය තුළ විශාල වශයෙන් සංසරණය වීමට නියමිතයි. එහෙත් එය ආර්ථික විද්‍යා අර්ථයෙන් සල්ලි අච්චු ගැසීමක් හෝ මුදල් සැපයුම වැඩි කිරීමක් නෙමෙයි. මහ බැංකුව විසින් මෙම නෝට්ටු සංසරණයට එකතු කරනු ඇත්තේ පැරණි නෝට්ටු සංසරණයෙන් ඉවත් කර විනාශ කිරීමෙන් පසුව ඒ වෙනුවටයි.

Tuesday, July 1, 2025

අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?


මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන විට "උද්ධමනය නිෂ්පාදනය කරමින්" සිටීමයි. 

විදේශ අංශයේ බලපෑම්, කාලගුණ සාධක ආදිය භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි බලපෑමක් කළද, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන මූලික සාධකය මුදල් සැපයුමෙහි සිදු වන වෙනස් වීමයි. මුදල් සැපයුම වෙනස් වීමට බලපාන එකම සාධකය මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වෙනස් වීම නොවුනත්, එය ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය සේ සැලකිය හැකියි. "සල්ලි අච්චු ගැසීම" යනුවෙන් හඳුන්වන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කිරීමයි.

පහත තිබෙන්නේ පසුගිය වසර වල ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් සැපයුමෙහි සිදු වූ වෙනස සහ එම වෙනස්වීම් වල ප්‍රතිශතයි.

2020-2021 - රුපියල් බිලියන 196.1 (22.6%)
2021-2022 - රුපියල් බිලියන 387.5 (36.4%)
2022-2023 - රුපියල් බිලියන (-16.8) (-1.2%)
2023-2024 - රුපියල් බිලියන (-18.1) (-1.3%)
2024-2025 - රුපියල් බිලියන (242.5) (17.1%)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, එම කාලය තුළ මිල මට්ටම වෙනස් වූයේ පහත පරිදියි.

2020-2021 - 5.2%
2021-2022 - 54.6%
2022-2023 - 12.0%
2023-2024 - 1.7%
2024-2025 - (-0.6%)

මේ අනුව, මිල මට්ටම වෙනස්වීම (උද්ධමනය හෝ අවධමනය) සහ සංචිත මුදල් වෙනස් වීම අතර සම්බන්ධතාවය පැහැදිලිව දැක ගැනීමට අපහසු නැහැ. සංචිත මුදල් වෙනස් වීම මිල මට්ටම කෙරෙහි බලපෑමක් කරන්නේ වසර 1-2ක කාලයකින් පසුවයි. 

රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම වාර්තාගත උද්ධමනයකින් අවසන් වූ අතර, ඉන් පසුව 2022-2024 කාලය තුළ සංචිත මුදල් සැපයුමේ සිදු වූ සුළු අඩුවීම වාර්තාගත අවධමනයකට හේතු වුනා. මේ වන විට නැවතත් මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවධමනය ඉතා ඉක්මණින් අවසන් වී නැවතත් උද්ධමනය මුණ ගැසීමට නියමිතයි. 

මෙහි සඳහන් 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම සහ දැන් සිදු වන සල්ලි අච්චු ගැසීම සසඳා බැලීමේදී ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගත හැකියි. පළමු වෙනස්කම වන්නේ මේ වන විට මහ බැංකුවට ස්වාධීනව මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය ඉලක්ක සීමාව ඉක්මවා ඉහළ ගියහොත් රජය මත වරද පැටවීමේ ඉඩක් ඉතිරි වී නැහැ. 

මෙයටම සම්බන්ධ දෙවන වෙනස වන්නේ මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා නොවීමයි. ඒ නිසා, මෙසේ අච්චු ගසන සල්ලි බැංකු පද්ධතියට එකතු වී පෞද්ගලික අංශයේ ණය බවට පරිවර්තනය වෙනවා. පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා කාර්යක්ෂමය යන උපකල්පනය මත එම ණය ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කරමින් තිබෙනවා විය යුතුයි.

මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව විශ්වාසනීය තක්සේරුවක් මහ බැංකුවට තිබෙනවා විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම වැනි බාහිර කම්පන නිසා උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ගැනද මහ බැංකුව විසින් සැලකිලිමත්ව සිටින්නේයැයි මා සිතනවා. 

Wednesday, October 30, 2024

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු ගහන තාක්ෂණික කටයුත්ත නෙමෙයි. ඒ නිසා, සල්ලි අච්චු ගහන වැඩේ සිද්ධ වෙන්න අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම, අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දැම්මත් එපමණකින් එය සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. අවශ්‍යනම් පරණ මුදල් නෝට්ටු වෙනුවට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න පුළුවන්. එයින් සංචිත මුදල් සැපයුමේ වෙනසක් වෙන්නේ නැහැ.

කොහොමටත් සල්ලි අච්චු ගැසීම කියද්දී එයින් අදහස් වෙන්නේ රටේ සංසරණය වන කාසි හා මුදල් නෝට්ටු ප්‍රමාණයේ වැඩි වීම පමණක් නෙමෙයි. මහ බැංකුවේ තිබෙන රජයේ හෝ බැංකුවක ගිණුමකට මහ බැංකුව විසින් මුදල් බැර කළත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. නමුත් කලින් සටහනේ පැහැදිලිව ලියපු පරිදි පසුගිය මාසයේ එහෙම දෙයක් වෙලා නැහැ. මුදල් නෝට්ටු වැඩි වී නැතත් වෙන ක්‍රමයකට හෝ සල්ලි අච්චු ගැසීමක් සිදු වී ඇත්නම් සල්ලි අච්චු ගහලා නැහැ කියලා මෙහි ලියන්නේ නැහැ. 

සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි එයින් එක කොටසක්. මහ බැංකුවේ තිබෙන බැංකු ගිණුම් වල ශේෂ අනෙක් කොටස. පහත තිබෙන්නේ ඔය කොටස් දෙකේම එකතුව පසුගිය මාසයේදී වෙනස් වූ ආකාරය.

දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.

2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0

2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9

සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි පමණක් සැලකුවොත් තත්ත්වය මෙවැන්නක්.

2024 සැප්තැම්බර් 27 = රුපියල් බිලියන 1,331.0

2024 ඔක්තෝබර් 25 = රුපියල් බිලියන 1,315.3

මේ අනුව පෙනෙනවා ඇති සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් බිලියන 15.7කින් අඩු වී තිබෙන බව. ඒ ජනාධිපතිවරණ සමයේ මුදල් සංසරණය ඉහළ යාමේ සහ ජනාධිපතිවරණයෙන් පසුව එසේ තාවකාලිකව සංසරණයට එකතු මුදල් නැවත බැංකු පද්ධතියට පැමිණීමේ ප්‍රතිඵලය. 

සමස්තයක් ලෙස සංචිත මුදල් ප්‍රමාණය දෙස බැලුවොත් ඔය කාලය තුළ රුපියල් බිලියන 16.1ක අඩුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නෝට්ටු හා කාසි කොටස පැත්තකින් තියා ඉතිරි කොටස දෙස බැලුවත් රුපියල් බිලියන 0.4ක පමණ අඩු වීමකුයි සිදු වී තිබෙන්නේ. කිසිදු වැඩිවීමක් වෙලා නැහැ. ඒ කතාව එච්චරයි. 

දැන් ඊළඟ කතාව.

එතකොට economynext.com වෙබ් අඩවියේ තියෙන්නේ ඔය කතාවමද? 

නෑ. එහි තියෙන්නේ ඔය කතාව නෙමෙයි. ඉතා පැහැදිලිවම අදාළ සටහනේ මාතෘකාවේ තියෙන්නේ "Sri Lanka prints Rs100bn through open market operations" කියලයි. 

"ශ්‍රී ලංකාව විවට වෙළඳපොළ කටයුතු හරහා රුපියල් බිලියන 100ක් අච්චු ගසයි!"

ඒ ලිපියේ තියෙන්නේ මෙසේ වුවත් ප්‍රශ්නය වන්නේ එම ලිපියේ මාතෘකාව ඇතුළු ප්‍රධාන කරුණු ගණනාවක් තාක්ෂණිකව නිවැරදි නොවීමයි. 

විවට වෙළඳපොළ කටයුතු හරහා සල්ලි අච්චු ගැසීමක් වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් බැංකුවකින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් වෙනවා. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදු වී නැහැ. 


දැන් මේ සටහනේ රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ මේ සමඟ පළ කර ඇති රූප සටහනේ රතු හා තැඹිලි පාට තීරු වලින් අවසාන එක ගැනයි. එම තීරුවෙන් රුපියල් බිලියන 106ක් පෙන්වනවා. රතු කොටස රුපියල් බිලියන 36ක් සහ තැඹිලි පාට කොටස රුපියල් බිලියන 70ක් ලෙස.

මේ රුපියල් බිලියන 106ම පසුගිය ඔක්තෝබර් 25 දින වන විට මහ බැංකුවෙන් බැංකු වලට ලබා දී තිබුණු ණය. එයින් රුපියල් බිලියන 36.16ක් දවසකට දුන් ණයක්. ඉතිරි රුපියල් බිලියන 70 ඔක්තෝබර් 22 දින සතියක කාලයකට දුන් ණයක්. මේ ණය මුදල් දෙකම මේ වන විට පියවා අවසන්. කොහොම වුනත් දවසකට වුනත් මහ බැංකුව සල්ලි ණයට දෙද්දී සිදුවන්නේ සල්ලි අච්චු ගැසීමක් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එවැනි තර්කයකට යම් පදනමක් තිබෙනවා.

ඔය ප්‍රස්ථාරයේම දිගටම දැකිය හැකි රතු හා තැඹිලි තීරු වලින් පෙන්වන්නේ එක් එක් දින මහ බැංකුව විසින් ඔය විදිහට ණයට දී තිබුණු මුදල් ප්‍රමාණ. එයින් රතු කොටස දවසකට. තැඹිලි පාට කොටස සතියකට. ඔය ප්‍රස්ථාරය අනුවම බැලුවත් පැහැදිලිව පෙනෙන පරිදි මෙය අලුතෙන් සිදු වූ අමුතු දෙයක් නෙමෙයි. හැමදාම වගේ සිදු වෙන දෙයක්. 

මේ විදිහට බැංකුවක ඉතා කෙටිකාලීන ද්‍රවශීලතා හිඟයක් පියවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ණයට දෙන මුදල් සල්ලි අච්චු ගැසීමක් ලෙස සලකන්නේ නැහැ. මොකද ඒ සල්ලි ඉතා ඉක්මණින් මහ බැංකුවට ආපසු එන නිසා එයින් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සල්ලි ණයට දෙද්දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පතක් ඇපයට තියා ගන්නා නමුත් එය මිල දී ගන්නේ නැහැ. 

මේ වැඩෙන් දවසකට හරි මුදල් සැපයුම වැඩි වෙනවාද? 

ඔන්න ඔක තමයි මේ ලිපියේ තිබෙන ප්‍රධානම වැරැද්ද. සාමාන්‍යයෙන් මේ විදිහට දවසකට ණයට සල්ලි දීමේදී එළියට යන රුපියල් සංචිත මුදල් වැඩිවීමක් සේ සලකන්නේ නැහැ. නමුත් අපි මේ කොටස සංචිත මුදල් වලට එකතු කරනවානම්, ඒ විදිහටම දවසකට මහ බැංකුවේ තැන්පත් කරන මුදල් ප්‍රමාණය සංචිත මුදල් වලින් අඩු කරන්නත් වෙනවා. ඔය කියන ඔක්තෝබර් 25 දින ඒ විදිහට දවසකට මහ බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 192.4ක්.

මේ වැඩේට රජයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ තනිකරම මහ බැංකුවේ වැඩක්. දැන් මහ බැංකුව අඩු වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් අලුතෙන් සංසරණයට එකතු කරලා තියෙනවද? ඒ නිසා, රුපියලේ වටිනාකම අඩු වෙනවද?

පැහැදිලිවම එහෙම දෙයක් මෙතැන නැහැ. වෙලා තියෙන්නේ බැංකුවට දවසකට රුපියල් බිලියන 192.4ක් තැන්පතු විදිහට එකතු වෙද්දී එම මුදල් වලින් රුපියල් බිලියන 106.2ක් ණය විදිහට දෙන එක. ඔය වැඩේට අලුතෙන් සල්ලි නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. 

හැබැයි මේ වැඩෙන් දිගුකාලීනව මුදල් සැපයුම වැඩි වීමට බලපෑමක් වෙනවා. එය වෙන්නේ පොලී අනුපාතික පහත වැටීමේ ප්‍රතිඵලයක් විදිහට. දැනට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබෙනවා. දිනපතා මහ බැංකුවේ තැන්පත් කරන්නේ ඒ සල්ලි. බැංකු වල මේ විදිහට සල්ලි එකතු වී තිබෙන්නේ පෞද්ගලික අංශය තවමත් ණය ගන්න උනන්දුවක් නැති නිසා. පොලී අනුපාතික අඩු වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා පෞද්ගලික අංශයේ ණය ඉහළ ඉල්ලුම ඉහළ යන්න පුළුවන්.

පෞද්ගලික අංශයේ ණය ඉහළ යන එක නරක දෙයක් නෙමෙයි. ණය නිසා ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට හේතු වෙනවා. එහිදී economynext ලිපියේ කියන පරිභෝජන ඉහළ ගොස් ආනයන වියදම් ඉහළ යාමේ අවදානමත් තිබෙනවා. ඒ කතාව ඇත්ත. නමුත් දැනට එවැනි ප්‍රශ්නයක් නැහැ.

මේ වෙලාවේ රටේ තියෙන්නේ අවධමන තත්ත්වයක්. මහ බැංකුවේ කාර්ය භාරය 5%ක උද්ධමනයක් පවත්වා ගැනීම. එය හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, මේ වෙලාවේ කිසිම උද්ධමන අවදානමක් නැහැ. උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ තියා ගන්නවා කියලා හිතුවත් කෙටිකාලීන පොලී අනුපාතික 6.5% -7% වැනි මට්ටමකට පහත වැටෙන්න ඕනෑ. දැන් තියෙන්නේ විකෘති තත්ත්වයක්. අනෙක් ගොඩක් දේවල් නිවැරදි වී තිබුණත් පොලී අනුපාතික තවමත් අවශ්‍ය මට්ටමට පහත වැටිලා නැහැ.

අගෝස්තු මාසය වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තයෙන් සමස්ත අයවැය හිඟයෙන් බාගයක් පමණ පියැවී තිබුණා. පොලී අනුපාතික තවත් පහත වැටුනොත් අයවැය හිඟය තවත් අඩු වෙලා රජයේ ණය අවශ්‍යතාවය පහත වැටෙනවා. එවිට ඉතිරි වන සල්ලි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම රජයේ ණය තිරසාරත්ව ඉලක්ක වලටත් ඉක්මණින් යන්න පුළුවන්. 

මේ කරන වැඩෙන් බැංකු පද්ධතිය විසින් කරන මුදල් මැවීමේ කාර්යය උත්තේජනය වීමක් වෙනවා. නමුත් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීමක් ලොවෙත් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලර් ගන්න තිබෙන සල්ලි නාස්ති වීමක් වගේ දෙයක් වෙන්නෙත් නැහැ. 

වෙබ් ලිපිනය: