මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන විට "උද්ධමනය නිෂ්පාදනය කරමින්" සිටීමයි.
විදේශ අංශයේ බලපෑම්, කාලගුණ සාධක ආදිය භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි බලපෑමක් කළද, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන මූලික සාධකය මුදල් සැපයුමෙහි සිදු වන වෙනස් වීමයි. මුදල් සැපයුම වෙනස් වීමට බලපාන එකම සාධකය මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වෙනස් වීම නොවුනත්, එය ඒ සඳහා බලපාන ප්රධාන සාධකය සේ සැලකිය හැකියි. "සල්ලි අච්චු ගැසීම" යනුවෙන් හඳුන්වන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කිරීමයි.
පහත තිබෙන්නේ පසුගිය වසර වල ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් සැපයුමෙහි සිදු වූ වෙනස සහ එම වෙනස්වීම් වල ප්රතිශතයි.
2020-2021 - රුපියල් බිලියන 196.1 (22.6%)
2021-2022 - රුපියල් බිලියන 387.5 (36.4%)
2022-2023 - රුපියල් බිලියන (-16.8) (-1.2%)
2023-2024 - රුපියල් බිලියන (-18.1) (-1.3%)
2024-2025 - රුපියල් බිලියන (242.5) (17.1%)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, එම කාලය තුළ මිල මට්ටම වෙනස් වූයේ පහත පරිදියි.
2020-2021 - 5.2%
2021-2022 - 54.6%
2022-2023 - 12.0%
2023-2024 - 1.7%
2024-2025 - (-0.6%)
මේ අනුව, මිල මට්ටම වෙනස්වීම (උද්ධමනය හෝ අවධමනය) සහ සංචිත මුදල් වෙනස් වීම අතර සම්බන්ධතාවය පැහැදිලිව දැක ගැනීමට අපහසු නැහැ. සංචිත මුදල් වෙනස් වීම මිල මට්ටම කෙරෙහි බලපෑමක් කරන්නේ වසර 1-2ක කාලයකින් පසුවයි.
රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම වාර්තාගත උද්ධමනයකින් අවසන් වූ අතර, ඉන් පසුව 2022-2024 කාලය තුළ සංචිත මුදල් සැපයුමේ සිදු වූ සුළු අඩුවීම වාර්තාගත අවධමනයකට හේතු වුනා. මේ වන විට නැවතත් මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරමින් සිටින අතර, එහි ප්රතිඵලයක් ලෙස අවධමනය ඉතා ඉක්මණින් අවසන් වී නැවතත් උද්ධමනය මුණ ගැසීමට නියමිතයි.
මෙහි සඳහන් 2020-2022 කාලය තුළ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම සහ දැන් සිදු වන සල්ලි අච්චු ගැසීම සසඳා බැලීමේදී ප්රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගත හැකියි. පළමු වෙනස්කම වන්නේ මේ වන විට මහ බැංකුවට ස්වාධීනව මුදල් ප්රතිපත්ති තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය ඉලක්ක සීමාව ඉක්මවා ඉහළ ගියහොත් රජය මත වරද පැටවීමේ ඉඩක් ඉතිරි වී නැහැ.
මෙයටම සම්බන්ධ දෙවන වෙනස වන්නේ මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසන්නේ රජයේ අයවැය හිඟය පියවීම සඳහා නොවීමයි. ඒ නිසා, මෙසේ අච්චු ගසන සල්ලි බැංකු පද්ධතියට එකතු වී පෞද්ගලික අංශයේ ණය බවට පරිවර්තනය වෙනවා. පෞද්ගලික අංශය රාජ්ය අංශයට වඩා කාර්යක්ෂමය යන උපකල්පනය මත එම ණය ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කරමින් තිබෙනවා විය යුතුයි.
මුදල් සැපයුම වැඩි කිරීමෙන් උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳව විශ්වාසනීය තක්සේරුවක් මහ බැංකුවට තිබෙනවා විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යාම වැනි බාහිර කම්පන නිසා උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ගැනද මහ බැංකුව විසින් සැලකිලිමත්ව සිටින්නේයැයි මා සිතනවා.
'මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි'
ReplyDeleteඅවධමනයක් තිබුණා කිව්වට ඉකුනුව ඇත්තටම මිනිස්සුන්ට දැනෙන්න මොනාද අඩු වුණේ?
ඕවා නිකං මහ බැංකුවෙන් ඉදිරිපත් කරන අංක විජ්ජා තමයි.
මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නෑ