පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්.
"රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.
රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.
1975: $64,000/බාර්
2025: $1,300,000/බාර්
රත්තරන් මිල වැඩි වෙලා නෑ.
ගෙවල් මිල වැඩි වෙලා නෑ.
මහ බැංකු ක්‍රමය නිසා ෆියට් ඩොලරයේ අගය අඩු වෙලා සහ ඒ හා සමානව වේතන වැඩි වෙලා නෑ.
නමුත් 1975 වගේ නෙමේ දැන් ඇමෙරිකාවේ තරුණ පරපුරට ගෙයක් ගන්න ඉතා අපහසු වෙලා."
මම හිතන විදිහට මේ ප්‍රතිචාරයේ මූලික අදහස 1975-2025 අතර කාලයේදී ඇමරිකාවේ නිවාස මිලට සාපේක්ෂව රන් මිල ස්ථාවරව පැවතී ඇතත්, ඇමරිකන් ඩොලරයක මිල විශාල ලෙස අඩු වී ඇති බවයි. එම මූලික අදහස පමණක් සැලකුවොත් කරුණුමය වශයෙන් මෙහි ඇති දේ නිවැරදියි.
නිවුයෝර්ක් සරසවියේ මහාචාර්ය දමෝදරන් විසින් මහත් පරිශ්‍රමයකින් පිළියෙල කර ඇති සංඛ්‍යාලේඛණ අනුව, 1975-2024 කාලයේදී ඇමරිකාවේ නිවාස මිල 13.08 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙය නිවාස මිලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම එම අනුපාතයෙන් අඩු වීමක් ලෙසත් සලකන්න පුළුවන්. නමුත් මෙම කාලය තුළ රන් මිල 14.00 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත් විට රන් මිල හා නිවාස මිල වැඩි වී තිබෙන්නේ එකම අනුපාතයකින්. ඇත්ත වශයෙන්ම රන් මිල තරමක් වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, 1975දී නිවසක් මිල දී නොගෙන ඒ සඳහා ප්‍රමාණවත් වූ තමන් සතු වත්කම් රන් වල ආයෝජනය කළ අයෙකුට 2024දී එම රන් මුදල් කර පහසුවෙන්ම නිවසක් මිල දී ගත හැකියි. යමෙක් තමන් සතු වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තබා ගත්තේනම්, 1975දී එවැනි නිවෙස් 13ක් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් වූ මුදල් ප්‍රමාණය තිබුණත් එය නොකළ හැකියි.
සංසන්දනය හා ඒ මත පදනම් වූ ගණනය නිවැරදි වුවත්, මේ සංසන්දනය සිදු කෙරෙන්නේ වැරදි උපකල්පනයක් මතයි. එනම් මිනිසුන් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු වල ආයෝජනය කරන බවයි. සිහි බුද්ධියක් තිබෙන කෙනෙක් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තියා ගන්නේ නැහැ. එසේ තබා ගන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි.
ෆියට් මුදල් ක්‍රමයක් යටතේ මුදල් වල වටිනාකම අඩුවෙනවා කියන එක ඇත්ත. නමුත් තමන් සතු මුදල් කිසියම් වෙනත් වත්කමක ආයෝජනය කිරීම මගින් එහි හානිය ඉක්මවන වාසියක් ලබා ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකු සතුව තිබෙනවා. 1975දී මුදල් ගෙවා නිවසක් මිල දී ගත හැකි තරමේ ධනයක් තිබුණු කිසිම කෙනෙක් තමන්ගේ එම ධනය මුදල් නෝට්ටු සේ වසර 50ක් තියා ගන්නේ නැහැ. රන් වල ආයෝජනය කිරීමද මෙහිදී පුද්ගලයෙකු සතු විකල්පයක්. නමුත් කොටස් ආයෝජනය හා බැඳුම්කර ආයෝජන වැනි ඊට වඩා හොඳ ආයෝජනද තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු විසින් 1975දී තමන්ගේ මුදල් දස අවුරුදු බැඳුම්කර වල ආයෝජනය කළේනම් වසර 50කට පසුව එම මුදල 18.84 ගුණයකින් වැඩි වෙලා. රන් වල ආයෝජනය කළේනම් එම වැඩිවීම 14.00ක් පමණයි. මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත (Baa) සාංගමික බැඳුම්කර වල ආයෝජනය කළේනම් එම මුදල 62.44 ගුණයකින් වැඩි වෙලා. 1975දී ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් 2024දී ගෙවල් හතරක් අරගෙන ඒ ගෙවල් වලට ගෘහභාණ්ඩ ගන්නත් සල්ලි ඉතිරි වෙනවා. වැඩි අවදානමක් නැති (S&P 500) කොටස් වල ආයෝජනය කළේනම් මෙම මුදල 235.05 ගුණයකින් වැඩි වෙලා. වඩා වැඩි අවදානමක් සහිත (Small cap) කොටස් වල ආයෝජනය කළේනම් මුදල 435.90 ගුණයකින් වැඩි වෙලා. 1975 එක ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් ගෙවල් 33කටත් වඩා ගන්න පුළුවන්!
ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව රන් කියන්නේ වත්කමක් මිසක් මුදලක් නෙමෙයි. වත්කම් වල ප්‍රතිලාභ වෙනත් වත්කම් සමඟ මිස මුදල් වල ප්‍රතිලාභ සමඟ සංසන්දනය කරන්න බැහැ. මුදල් කියන්නේ ගෙවීම් සඳහා යොදා ගන්නා උපකරණයක් මිසක් ආයෝජන උපකරණයක් නෙමෙයි.
ආයෝජන උපකරණයක් ලෙස රන් කොයි තරම් හොඳද?
රන් වල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභය අඩු නිසාම රන් නරක ආයෝජනයක් කියන නිගමනයට එන්න බැහැ. මෙහිදී අපට අවදානම ගැනද සලකා බලන්න වෙනවා. මූල්‍යකරණයේදී සහ මූල්‍ය ආර්ථික විද්‍යාවේදී වත්කම් ප්‍රතිලාභ වල සම්මත අපගමනය එහි අවදානම පිළිබඳ නිර්ණායකයක් ලෙස යොදා ගන්නවා. පහත තිබෙන්නේ 1975-2024 කාලයේදී විවිධ වත්කම් වර්ග වල වාර්ෂික ප්‍රතිලාභ වල ජ්‍යාමිතික සාමාන්‍ය අගය සහ සම්මත අපගමනයයි. වරහන් තුළ තිබෙන්නේ සම්මත අපගමනය.
නිවාස හා දේපොළ - 5.38% (5.71%)
රන් - 5.42% (23.74%)
භාණ්ඩාගාර බැඳුම්කර (වසර 10) - 6.05% (10.14%)
සාංගමික බැඳුම්කර (Baa) - 8.62% (8.74%)
සමාගම් කොටස් (S&P 500) - 12.26% (16.34%)
සමාගම් කොටස් (Small cap) - 12.92% (25.46%)
මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.
නිවාස මිල වසරින් වසර ඉහළ යාමට මුදල් සැපයුමෙහි බලපෑමක් තිබුණත් එයට ප්‍රධාන හේතුව ෆියට් මුදල් ක්‍රමයක් පැවතීම නෙමෙයි. රන් සම්මතයක් තිබුණු කාලයේදීද මෙය මෙසේම සිදු වුනා. 1935-1967 කාලය තුළ ඇමරිකාවේ නිවාස මිල වසරකට සාමාන්‍ය වශයෙන් 4.06%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ වසර 33ක කාලයක් තුළ 3.72 ගුණයක මිල වැඩි වීමක්. මෙම කාලයේදී රන් වල මිල වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ 1967දී නිවසක් මිල දී ගැනීම සඳහා 1935දී අවශ්‍ය වූ රන් ප්‍රමාණය මෙන් 372%ක් අවශ්‍ය වුනා. මෙයින් අදහස් වන්නේ නිවාස මිලට සාපේක්ෂව අදාළ කාලයේදී රන් 73%කින් බාල්දු වූ බවයි. මෙහිදී සිදු කර තිබෙන්නේද මුදල් හා වත්කම් සංසන්දනයක් නිසා මේ සංසන්දනය නිවැරදි නැහැ. 1935දී නිවසක් මිල දී ගැනීමට තරම් වත්කම් තිබුණු අයෙකුට එම මුදල් කොටස් වෙළපොළෙහි (Small cap) ආයෝජනය කිරීම මගින් 271 ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබුණා. එමගින් එක ගෙයක් වෙනුවට ගෙවල් 73ක් පමණ මිල දී ගත හැකිව තිබුණා.
ධනවාදී ක්‍රමයක් පවතිද්දී රටක ධනය උත්පාදනය වීම හොඳින් සිදු වෙනවා. නමුත් එහිදී සුළු පිරිසක් අතේ ධනය ඒකරාශීවීමද සිදු වෙනවා. රට පොහොසත් වූ පමණින් රටේ සෑම අයෙකුගේම ආදායම් ඉහළ යන්නේ නැහැ. ධනවත් වන සීමිත පිරිස නිසා ඉහළ යන ඉල්ලුමෙන් නිවාස දේපොළ වල මිල ඉහළ යද්දී ඒ වේගයෙන්ම අඩු ආදායම් ලබන අයගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදු වන්නේ නැහැ. මෙය ධනවාදී ක්‍රමයේම ප්‍රශ්නයක් මිසක් මුදල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.