වෙබ් ලිපිනය:

Tuesday, July 8, 2025

SDR කියන්නේ මොනවාද?


මේ වෙද්දී ලංකාවට මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලැබී තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේත්, එම ණය ආපසු ගෙවිය යුත්තේත් SDR වලිනුයි. සරල අර්ථදැක්වීමක් ලෙස, SDR කියා කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් කියා කියන්න පුළුවන්. එහෙත් මූල්‍ය අරමුදල විසින් SDR හඳුන්වන්නේ වත්කමක් ලෙස මිස මුදලක් ලෙස නෙමෙයි. මේ විදිහට SDR ලෙස කෙටි කර තිබෙන්නේ special drawing rights යන්නයි. මෙය සිංහලෙන් "විශේෂ ආදාන හිමිකම්" ලෙස හැඳින්විය හැකි වුවත්, SDR ලෙසම හැඳින්වීම වඩා පහසුයි. 

ඇමරිකන් ඩොලර් හෝ ජපාන යෙන් මෙන් SDR කිසිදු රටක සාමාන්‍ය ගනුදෙනු සඳහා භාවිතා වෙන්නේ නැහැ. එහෙත් රටවල් අතර සිදු කෙරෙන ගනුදෙනු වලදී SDR යොදා ගත හැකියි. SDR නිකුත් කරන්නේ මූල්‍ය අරමුදල විසිනුයි. සාමාජික රටවලට මෙසේ නිකුත් කරන SDR මිල දී ගත හැකියි. කිසියම් සාමාජික රටකට මිල දී ගත හැකි SDR ප්‍රමාණය පදනම් වන්නේ අදාළ රටට මූල්‍ය අරමුදල විසින් ලබා දෙන SDR කෝටාව මතයි. එම කෝටාව තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳාම තුළ අදාළ රටේ පංගුව අනුවයි. 

ලංකාවට අරමුදලේ ණය අනුමත වන අවස්ථාවේදී ඇමරිකාව සතු SDR කෝටාව මිලියන 82,994.2ක් වූ අතර නාවුරු රාජ්‍යයේ කෝටාව SDR මිලියන 2.8ක් පමණයි. ලංකාවේ කෝටාව SDR මිලියන 578.8ක්. සාමාජික රටවල් 191කට ලබා දී තිබුණු මුළු SDR කෝටා ප්‍රමාණය මිලියන 476,372ක්. 

මූල්‍ය අරමුදල තුළ එක් එක් රටට හිමි වන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේද මෙම SDR කෝටාව අනුවයි. ඒ අනුව, සෑම SDR 100,000ක් වෙනුවෙන්ම එක් ඡන්දයක් හිමි වෙනවා. ඊට අමතරව සෑම රාජ්‍යකටම යම් මූලික ඡන්ද ප්‍රමාණයක් හිමි වෙනවා. එම ප්‍රමාණය ඡන්ද 1,452ක්. මේ අනුව, SDR මිලියන 578.8ක කෝටාවක් හිමි ලංකාවට ඒ වෙනුවෙන් ඡන්ද 5,788ක් සහ කාටත් හිමි වන මූලික ඡන්ද 1,452 ලෙස ඡන්ද 7,240ක් හිමිව තිබෙනවා. අරමුදල තුළ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබෙන්නේ වැඩිම SDR කෝටාවක් හිමි ඇමරිකා එක්සත් ජනපදයටයි. 

මේ වන විට SDR එකක මිල ආසන්න වශයෙන් රුපියල් 410ක් පමණ වෙනවා. ඒ අනුව, ලංකාවේ කෝටාව වන  SDR මිලියන 578.8 රුපියල් වලින් බිලියන 240ක් පමණ වෙනවා. කිසියම් රටක SDR කෝටාව මිල දී ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු මුදලින් 75%ක් තමන්ගේම මුදලින් ගෙවිය හැකියි. ඉතිරි 25%ක මුදල මුල් කාලයේදී රන් වලින් ගෙවිය යුතුව තිබුණු අතර දැන් ඩොලර්, පවුම් වැනි ප්‍රධාන මුදල් වර්ගයකින් ගෙවිය යුතුයි. 

ලංකාවේ ණය අනුමත වීමෙන් පසුව, 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කෙරුණු අතර ඒ අනුව මුළු SDR ප්‍රමාණය බිලියන 476 සිට බිලියන 715ක් පමණ දක්වා ඉහළ යා යුතු වුවත් මේ වන විටද සියලුම රටවල් තමන්ට හිමි අමතර SDR කෝටාව සඳහා මුදල් ගෙවා නොමැති බැවින් මේ දක්වා නිකුත් කර ඇති මුළු SDR ප්‍රමාණය බිලියන 660.7ක් පමණයි. එම මුදලට ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සතුව තිබෙන SDR සහ අරමුදලේම දෙපාර්තමේන්තු ගිණුමක තිබෙන SDR යම් ප්‍රමාණයක්ද ඇතුළත්. 

මෙසේ අරමුදලේ සාමාජිකත්වය ගැනීමේදී සහ පසුව වරින් වර කෝටාව ඉහළ දැමීමේදී තමන්ගේ කෝටාවේ තරමට SDR මිල දී ගත යුතු බැවින් සෑම සාමාජික රටක් සතුවම SDR වත්කම් යම් ප්‍රමාණයක් තිබෙනවා. එසේ සාමාජික රටවල් විසින් SDR මිල දී ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අරමුදල සතුව සෑම සාමාජික රටක් විසින්ම නිකුත් කරන මුදල් වර්ග තිබෙනවා. ණය ලෙස ලබා දෙන්නේ මෙම අරමුදල්. 

කිසිදු රටකට තමන්ගේම රටේ මුදල් අරමුදලෙන් ණයට ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වෙනත් රටක මුදල්. එහෙත්, ලෝකයේ වෙනත් කිසිදු රටක් අරමුදලෙන් ශ්‍රී ලංකා රුපියල් ණයට ඉල්ලන්නේ නැහැ. බොහෝ රටවලට අවශ්‍ය වන්නේ ඩොලර්, යුරෝ, යෙන් වැනි මුදල් වර්ගයක්. මේ හේතුව නිසා, ප්‍රායෝගිකව ණය සේ ලබා දිය හැක්කේ අරමුදල සතු විදේශ මුදල් වලින් කොටසක් පමණයි. 

කිසියම් රටකට ලබා දෙන ණය ප්‍රමාණය තීරණය වන්නේද අදාළ රටේ කෝටාව මතයි. ආජන්ටිනාව හා යුක්‍රේනය වැනි රටවලට ලොකු ණය මුදල් ලැබෙන්නේ ඒ නිසා. ලංකාව විසින් ලබාගත් විස්තීර්ණ ණය පහසුකම ලබා දීමේදී සාමාජික රටකට උපරිම වශයෙන් තමන්ගේ කෝටාව මෙන් 435%ක මුදලක් ලබා ගත හැකි වුවත්, අදාළ ණය ඉල්ලුම් කරන විට ලංකාව විසින් ඊට පෙර ලබා ගෙන ගෙවා නොතිබුණු ණයද යම් ප්‍රමාණයක් තිබුණු බැවින් අලුතෙන් ලබාගත හැකි වූයේ කෝටාව මෙන් 395%ක මුදලක් පමණයි. එම ප්‍රමාණය SDR මිලියන 2,286ක් වූ අතර සමාන වාරික නවයකින් ලැබුණු බැවින් එක් වාරිකයක් SDR මිලියන 254ක් වුනා. පසුගිය සතියේ ලැබුණේ SDR මිලියන 254ක පස් වන වාරිකයයි. 

බොහෝ අවස්ථා වලදී මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා රටවල් විසින් එසේ ලබා ගන්නා අරමුදල් තමන්ගේ සංචිත වලට එකතු කරගන්නවා මිස වියදම් කරන්නේ නැහැ. ඒ නිසා, ලබා ගන්නා SDR වෙනත් මුදල් ඒකකයකට මාරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් SDR ලෙසම තියා ගන්න පුළුවන්. එහෙත්, මෙම අරමුදල් වියදම් කිරීමට අවශ්‍යනම් ඩොලර්, යුරෝ වැනි මුදලක් සමඟ හුවමාරු කළ හැකියි. අරමුදල සතුව සෑම මුදල් වර්ගයක්ම තිබෙන නිසා සාමාන්‍යයෙන් මෙය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එසේ වෙනත් මුදල් වර්ගයකට මාරු කළහොත් ණය ආපසු ගෙවන විට නැවතත් SDR මිල දී ගැනීමට සිදු වෙනවා. මේ ආකාරයෙන් SDR විකිණීමේ සහ මිල දී ගැනීමේ ගනුදෙනු අරමුදල හරහා වෙනත් සාමාජික රටක් සමඟ කළ හැකි අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟද කළ හැකියි.

SDR විණිමය අනුපාතය තීරණය වන්නේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට වුවත් එක් මුදල් වර්ගයකට සාපේක්ෂව නෙමෙයි. ඩොලර්, පවුම්, යෙන්, යුරෝ සහ යුවාන් යන මුදල් වර්ග පහ අඩංගු මුදල් මල්ලක වටිනාකමට සාපේක්ෂවයි. ඒ නිසා මේ මුදල් වර්ග පහේ වටිනාකම් වෙනස් වෙද්දී SDR වල වටිනාකමද වෙනස් වෙනවා.

මෙම මුදල් මල්ලේ ආසන්න වශයෙන් ඩොලර් 0.578ක්, යුරෝ 0.293ක්, යුවාන් 1.099ක්, පවුම් 0.081ක් සහ යෙන් 14.452ක් අඩංගුයි. ඒ නිසා, වෙනත් මුදලකින් SDR එකක වටිනාකම වන්නේ ඉහත මුදල් වර්ග පහේ ඉහත ප්‍රමාණ වල වටිනාකමයි. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් වල වටිනාකම ඉහළ යද්දී ඩොලර් වලින් ඩොලර් ඩොලර් 0.578ක මිල එම ප්‍රමාණයම වුනත්, අනෙකුත් මුදල් අදාළ ප්‍රමාණ වල මිල ඉහළ යන නිසා ඩොලර් වලින් SDR එකක මිලද ඉහළ යනවා. මේ වන විට SDR එකක මිල ඇමරිකන් ඩොලර් 1.37ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සාමාන්‍යයෙන් ලෝකයේ සෑම මහ බැංකුවක් විසින්ම නිරන්තරයෙන් මුදල් සැපයුම වැඩි කරනවා. සරලව කිවුවොත් සල්ලි අච්චු ගැසීමක් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර්, පවුම්, යෙන් වැනි සියලුම මුදල් වර්ග  නිරන්තරයෙන් බාල්දු වෙනවා. ඒ අනුව, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණ නිරන්තරයෙන් ඉහළ යනවා. එසේ වෙද්දී ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය වන SDR ප්‍රමාණයද ඉහළ යනවා. මේ නිසා මූල්‍ය අරමුදල විසින් ඊට අනුරූපව අවස්ථා හතරකදී SDR සැපයුම වැඩි කර තිබෙනවා. එහිදී අලුතෙන් SDR මැවීමක් හෙවත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. එසේ "අමුද්‍රව්‍ය නොමැතිව" අලුතෙන් "නිපදවන" SDR සාමාජික රටවල් අතර ඔවුන්ගේ කෝටා අනුපාතයට බෙදා දෙන අතර ඒ සඳහා සාමාජික රටවල් විසින් මුදල් ගෙවිය යුතු වන්නේ නැහැ. 

පසුගිය වසංගත සමයේදී (2021 අගෝස්තු) SDR බිලියන 456.5ක දැවැන්ත මුදලක් මේ අයුරින් අලුතින් "අච්චු ගසා" සාමාජික රටවල් අතර බෙදා දුන්නා. මේ සමඟම ඒ වන විට නිකුත් කර තිබුණු මුළු SDR ප්‍රමාණය වූ බිලියන 204.2ක් වූ SDR ප්‍රමාණය බිලියන 660.7 දක්වා ඉහළ ගියා. ඊට පෙර ලෝක ආර්ථික අවපාතය හමුවේදීද  (2009 අගෝස්තු) මේ අයුරින්ම SDR බිලියන 161.2ක මුදලක් අලුතෙන් "අච්චු ගසා" සාමාජිකයින් අතර බෙදා දුන්නා. මෙම අවස්ථා දෙකම ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව ඇතුළු ලෝකයේ ප්‍රධාන මහ බැංකු විසින් විශාල ලෙස මුදල් සැපයුම ඉහළ දැමූ අවස්ථා දෙකක්. 

මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා සාමාජික රටවල් විසින් ඒ වෙනුවෙන් පොලියක් ගෙවිය යුතුයි. අරමුදල නඩත්තු වන්නේ මෙසේ ලැබෙන පොලී ආදායමෙන්. ඊට අමතරව ණය ලෙස ලබා නොදෙන අරමුදල් ආයෝජනය කිරීමද සිදු වෙනවා. සාමාජික රටකට අරමුදලෙන් ණය ලබා ගත හැකිවාක් මෙන්ම, "නොමිලේ බෙදා දුන්" SDR ඇතුළු තමන්ගේ කෝටාව ප්‍රයෝජනයනට ගන්නත් පුළුවන්. මෙහිදී ගිණුමේ ශේෂය කෝටාවේ ප්‍රමාණයට වඩා පහත වැටෙනවා. එසේ තමන්ගේ කෝටාවේ ප්‍රමාණයට වඩා ගිණුම් ශේෂය පහත වැටුණු විට අඩු ප්‍රමාණය වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ අර්ථයෙන් මෙය ණය ගැනීමකට සමානයි. සාමාන්‍ය ණය ගැනීමකට සාපේක්ෂව මෙහි ඇති වෙනස වන්නේ ලබාගත් මුදල් ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නොමැති වීමයි. 

මූල්‍ය අරමුදල විසින් SDR ප්‍රමාණය වැඩි කරන එකම ක්‍රමය ඉහත සඳහන් "නොමිලේ බෙදා දීමේ" ක්‍රමය නෙමෙයි. අරමුදලට අලුතෙන් රටවල් එකතු වෙද්දී මෙන්ම ලෝක ආර්ථිකය තුළ කිසියම් රටක පංගුව ඉහළ ගිය විටද එම රටවලට SDR ප්‍රමාණයක් හිමි වෙනවා. එහෙත් මේ අයුරින් ලැබෙන SDR වෙනුවෙන් (විශේෂ අවස්ථා වලදී හැර) මුදල් ගෙවන්නට සිදු වෙනවා. 

මේ වන විට ලංකාවේ ගිණුමේ SDR නොමැති තරම්. ඒ නිසා, එහි අඩුව වෙනුවෙන් ලංකාව විසින් දිගටම පොලියක් ගෙවිය යුතුයි. එමෙන්ම ලබා ගෙන තිබෙන හා ලබා ගැනීමට නියමිතව ඇති SDR වෙනුවෙන්ද පොලියක් ගෙවිය යුතුයි. මෙසේ ණයට හෝ නොමිලේ ලබා ගන්නා SDR වෙනත් රටකට විකිණූ විට එම රටේ ගිණුමේ ඇති SDR ප්‍රමාණය අදාළ කෝටාවට වඩා වැඩි වෙන්න පුළුවන්. එවිට එම අමතර ප්‍රමාණය වෙනුවෙන් ඒ රටට පොලියක් ලැබෙනවා.

පෙර කී පරිදි 2023 දෙසැම්බර් මාසයේදී මුළු කෝටා ප්‍රමාණය 50%කින් වැඩි කළද එය සමානුපාතික වැඩි කිරීමක් නෙමෙයි. සෑම රටකම කෝටාවේ ප්‍රමාණය වැඩි වී ඇතත්, අරමුදලේ නිර්ණායක අනුව ඇතැම් රටවල කෝටා පංගුව වැඩි වී වෙනත් රටවල එම පංගුව අඩු වී තිබෙනවා. ලංකාවේ පංගුව වැඩි වී ඇති බැවින් කෝටාව 50%කට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දැන් කෝටාව SDR මිලියන 950.2ක්. එහෙත් මේ වන විට ලංකාවේ ගිණුමේ තිබෙන්නේ SDR මිලියන 1.7ක් පමණයි. ඒ කියන්නේ ගිණුම අඩියටම හිඳිලා. ලංකාව විසින් අරමුදලෙන් ලබා ගෙන තිබෙන සහ ඉදිරියේදී ලබා ගන්නා ණය ආපසු ගෙවනවාට අමතරව මෙම ගිණුම නැවත පිරවීමද කළ යුතුයි. එතෙක් හිඟ මුදල වෙනුවෙන් පොලී ගෙවන්නට සිදු වෙනවා. 

4 comments:

  1. ඇත්තටම මම මූල්‍ය විෂය ගැන හෝ මහබැංකු ක්‍රියාකාරිත්වය ආර්ථික විද්‍යාව ගැන දන්නේ නෑ මම හිතාගෙන හිටියේ SDR කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී සහ ණය ගෙවීම් වලදී උපකාර වන, IMF විසින් පාලනය කරන, ප්‍රධාන මුදල් ඒකක 5ක වටිනාකම මත පදනම් වූ "කෘත්‍රිම" මුදල් ඒකකයක් වැනි දෙයක් කියලා. ඩොලරයේ දුර්වල වීම නිසා අපිට SDR වලින් ලැබෙන ණයවල ඩොලර් වටිනාකම වැඩි වීම ලංකාවට යම් වාසියක් බවත් මම හිතුවා

    නමුත් මම වැඩ කරන IT ක්ෂේත්‍රය අනුව මේ ඩොලර් නැති රටේ ඩොලර් හොයන උන්ට රුපියල් වලින් බදු ගහන විගඩම - IT සේවාවලට VAT ගැසීමේ මහා විනාශය ගැන ඔයාට කියන්නම්

    මගේ අත්දැකීම මේ ආණ්ඩුවේ "ආර්ථික දැක්මේ" තියෙන බරපතල අඩුපාඩුව පැහැදිලි කරන කදිම උදාහරණයක් රට මේ තරම් ඩොලර් නැතිව ලෝකේ වටේටම හිඟනවා. ආණ්ඩුව හැම තැනින්ම ණය කඩා පාගෙන, බදු බරින් ජනතාව හෙම්බත් කරලා, රටේ ආර්ථිකය ගොඩගන්න හදනවා කියලා බයිලා කියනවා. ඒත් ඇත්තටම වෙන්නේ ඩොලර් හොයන අතළොස්සක් දෙනාගේ බඩටත් මේ NPP ආණ්ඩුව පයින් ගහන එකයි!

    මගේ අත්දැකීම අපට ඩොලර් 2300ක ප්‍රොජෙක්ට් එකක් මගහැරෙන හැටි

    අපිට ඊශ්‍රායලෙන් ආපු ඩොලර් 2300ක වටිනාකමකින් යුත් IT සේවා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. UI එකේ ඉඳන් හැමදේම ලංකාවේ හැදෙන්නේ. අපි මේකේ Quotation එක යැව්වේ ගිය මාසේ 6 වෙනිදා. අපි Client එක්ක මේක Discuss කර කර ඉන්න මේ දවස් ටිකේ තමයි මේ අලුත් VAT එක ගැහුවේ

    දැන් බලන්න මේකෙන් වෙන විනාශය:

    VAT පෙර මිල: $2300
    VAT පැනවීමෙන් පසු මිල (ඔබ දුන් ගණන් අනුව):
    * $1100ක සේවාවකට 18% VAT: $1298
    * $8.88ක සේවාවකට 18% VAT: $10.47
    * $25ක සේවාවකට 18% VAT: $29.5
    සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ මිල VAT පෙර: $2300
    VAT පැනවීමෙන් පසු මිල (දළ වශයෙන්): $2714
    වැඩිවීම රුපියල් වලින්: රුපියල් 124,369ක් පමණ!
    මේක AWS (Cloud Services), DB Backup, Zendesk වගේ SaaS (Software as a Service) වලට යන වියදම් නැතුව! ඒවටත් මාසිකව VAT වදිනවා.

    මහපොළොවේ යථාර්ථය: Project එක නැතිවෙන හැටි

    දැන් මම මේ වැඩි වුණු ගාණ ගැන Client ට කියන්න ඕනේ. Client අහනවා "ඇයි ඒ වැඩි කරේ?" කියලා. මට "ආණ්ඩුව බදු ගැහුවා" කියලා ගාණ වැඩි කරන්න පුළුවන්ද? බැහැ!

    Client ගේ ප්‍රතිචාරය: "Tax ගහනවා නම් මගේ ගාණ වැඩි කරන්න බෑනේ" කියලා ඕක කෙලින්ම ඉන්දියාවේ එකෙක්ට දෙනවා. ඉන්දියාවේ, පිලිපීනයේ, බංග්ලාදේශයේ ඩොලර් වලින් වැඩ කරන IT සේවකයන්ට මෙහෙම අසාධාරණ බදු නෑ.

    අනාගත ගැටලුව: VAT වදින්න තව මාසයක් තියෙන නිසා මට දැන්ම Service ටික Buy කරලා මේක හදන්න පුළුවන්. හැබැයි VAT වැදුනට පස්සේ මේවායින් ගොඩක් ඒව Monthly ගෙවන්න ඕනේ. එතකොට ගිය මාසේ ගාණට වඩා වැඩි වුණාම ඔන්න Client එනවා යකා ආවේශ වෙලා.

    අනික SaaS: අපි Customer Help Desk, Project Management Tools වගේ සේවාවලට (Zendesk, Jira වගේ) ගෙවන්න ඕනේ. මේ ආණ්ඩුව ඒවටත් Tax ගහනවා! මේවාටත් VAT වැදිලා මිල වැඩි වුණාම කොහොමද තරගකාරී මිලට සේවා දෙන්නේ?

    Project නැතිවෙනවා: බොහෝ දුරට වෙන්නේ මේ ප්‍රොජෙක්ට් අපිට නැති වෙන එක. මේ මාසේ දාපු ගානට වඩා ලබන මාසේ ඉඳලා 18% ක් දාලා Quotation එක යවන්න එපෑ. මට Client ට ඕක කියන්නත් වෙනවා. එතකොට අලුතෙන් වැඩ ගන්න බෑ.

    මේ NPP ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති සහ රටට සිදුවන විනාශය

    මොළයක් තියෙනවා නම් හිතන්න එපෑ ඩොලර් නැති රටේ, ඩොලර් හොයන උන්ට රුපියල් වලින් බදු ගැහුවම වෙන්නේ මොකක්ද?

    ඩොලර් ගලාඒම අඩාල වීම, රටට ඩොලර් ගෙන එන ප්‍රධාන මාර්ගයක් තමයි මේ IT Services. මේ වගේ බදු නිසා Clientලා ලංකාවෙන් ඈත් වෙනවා. එතකොට රටට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා.

    තරගකාරීත්වය නැතිවීම: ලංකාවට වඩා අඩු වියදමකින්, බදු බරක් නැතිව මේ සේවා සපයන්න ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය වගේ ඕනෑතරම් රටවල් ඉන්නවා. අපිට ඒගොල්ලෝ එක්ක තරග කරන්නම බැරි වෙනවා.

    රැකියා අහිමිවීම: මේ ව්‍යාපෘති නැති වුණාම, මේ කර්මාන්තයේ ඉන්න අයට රැකියා අහිමි වෙනවා.

    ආණ්ඩුවේ අසාර්ථකත්වය: රටට තියෙන්නේ රුපියල් නැති අර්බුදයක් නෙවෙයිනේ. ඩොලර් හොයන උන්ගෙන් මිරිකලා රුපියල් ගත්තා කියමුකෝ. ඒත් ඒ ඩොලර් හොයන ප්‍රොජෙක්ට් ටික නැවතුණාම, ඊට පස්සේ ආණ්ඩුව ඩොලර් ගන්නේ කාගෙන්ද?
    මේක සරල තර්කයක්. රටට අවශ්‍ය ඩොලර් නම්, ඩොලර් හොයන කර්මාන්ත දිරිමත් කළ යුතුයි. ඔවුන්ට පහසුකම් සැලසිය යුතුයි, බදු බර අඩු කළ යුතුයි. ඒ වෙනුවට, ඩොලර් හොයන අයටත් රුපියල් වලින් බදු ගහලා, තියෙන එකත් නැති කරගන්න හදන මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති, රට තව තවත් අගාධයටම තල්ලු කරනවා.

    මේ ගැන ඔබේ අදහස කුමක්ද? මේ විනාශය නතර කරන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි රටවල් තොරතුරු තාක්ෂණ (IT) සේවා ක්ෂේත්‍රයට බදු පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරනවා. මේ රටවල් බොහොමයක් තමන්ගේ IT අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා බදු සහන සහ නිදහස් කිරීම් ලබා දෙනවා.
      ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය සහ IT සේවාවලට බදු ප්‍රතිපත්ති
      ඔබ සඳහන් කළ රටවල් ලෝකයේ ප්‍රධානතම IT සේවා අපනයනකරුවන් අතරට වැටෙනවා. ඔවුන් මෙම ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා විවිධ බදු ප්‍රතිලාභ සහ දිරිගැන්වීම් ලබා දෙනවා.

      1. ඉන්දියාව (India)

      ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම IT සහ මෘදුකාංග සේවා අපනයනකරුවෙක්. ඔවුන් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා සැලකිය යුතු බදු සහන සහ දිරිගැන්වීම් ලබා දී තිබෙනවා:

      විශේෂ ආර්ථික කලාප (Special Economic Zones - SEZs): ඉන්දියාවේ SEZ තුළ පිහිටා ඇති IT සහ IT-සබල කළ සේවා (ITeS) ඒකක සඳහා සැලකිය යුතු ආදායම් බදු නිදහස් කිරීම් ලබා දෙනවා.

      පළමු වසර 5 සඳහා අපනයන ආදායම් මත 100% ආදායම් බදු නිදහස් කිරීමක්.

      ඊළඟ වසර 5 සඳහා 50% ක ආදායම් බදු නිදහස් කිරීමක්.

      තවත් වසර 5ක් සඳහා නැවත ආයෝජනය කරන ලද ලාභ මත 50% ක ආදායම් බදු නිදහස් කිරීමක්.

      සේවා අපනයන දිරිගැන්වීම් (Service Exports from India Scheme - SEIS): සේවා අපනයනය දිරිමත් කිරීම සඳහා ඉන්දියාව SEIS යටතේ අපනයනකරුවන්ට duty scrip credit (තීරුබදු කපා හැරීම්) වැනි දිරිගැන්වීම් ලබා දෙනවා.

      GST අනුකූලතාව: IT ව්‍යාපාර Goods and Services Tax (GST) සඳහා ලියාපදිංචි විය යුතු වුවද, අපනයනය සඳහා වන සේවාවන්ට බොහෝ විට ශුන්‍ය-බදු අනුපාතයක් (Zero-rated) යටතේ බදු පැනවෙනවා. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට ගෙවූ ආදාන බදු ආපසු ලබා ගත හැකි බවයි.

      Startup Benefits: නව IT startups සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සහ අනෙකුත් බදු ප්‍රතිලාභ ලබා දෙනවා.


      2. පිලිපීනය (Philippines)

      පිලිපීනය ද තොරතුරු තාක්ෂණ-සබල කළ සේවා (ITES) සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) කර්මාන්තය සඳහා ප්‍රමුඛ ස්ථානයක්. ඔවුන් ද ආයෝජන දිරිගැන්වීම් සපයනවා:

      ආදායම් බදු නිවාඩු (Income Tax Holidays - ITH): ආයෝජන ප්‍රවර්ධන ඒජන්සි යටතේ ලියාපදිංචි වූ අපනයන ඉලක්ක කරගත් IT ව්‍යාපාර සඳහා වසර ගණනාවක් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් ලබා දෙනවා. (සාමාන්‍යයෙන් වසර 4 සිට 7 දක්වා).

      විශේෂ ආයතනික ආදායම් බදු (Special Corporate Income Tax - SCIT): ITH කාලයෙන් පසු අඩු ආයතනික ආදායම් බදු අනුපාතයක් (උදා: 5%) ලබා දෙනවා.

      වැඩි දරාගැනීම් (Enhanced Deductions): පර්යේෂණ හා සංවර්ධන, ශ්‍රම වියදම්, පුහුණු වියදම් වැනි ඇතැම් වියදම් සඳහා වැඩිපුර අඩු කිරීම් (deductions) ලබා දෙනවා.

      * VAT බදු ප්‍රතිපත්ති:

      * පිලිපීනය 2025 ජුනි 1 සිට ඩිජිටල් සේවා සැපයුම්කරුවන්ට 12% ක VAT එකක් පනවලා තියෙනවා. නමුත්, මෙය ප්‍රධාන වශයෙන් පිලිපීනය තුළම සේවා පරිභෝජනය කරන අවස්ථාවලට අදාළ වන අතර, විදේශයන්ට අපනයනය කරන සේවාවන්ට බොහෝ විට VAT ශුන්‍ය-බදු අනුපාතයක් යටතේ හෝ නිදහස් කිරීම් යටතේ පවතිනවා. (B2B (ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට) ගනුදෙනු වලදී, පිලිපීන ව්‍යාපාරික ගැනුම්කරුවන් විසින් VAT රඳවා තබා ගැනීම (withholding) සහ ගෙවීම (remittance) කළ යුතුයි. විදේශීය සේවා සපයන්නන් සඳහාද ලියාපදිංචි වීමේ අවශ්‍යතා තිබෙනවා.)
      * අධ්‍යාපනික ඩිජිටල් සේවා වැනි ඇතැම් සේවා සඳහා VAT නිදහස් කිරීම් තිබෙනවා.

      Delete
    2. 3. බංග්ලාදේශය (Bangladesh)

      බංග්ලාදේශය ද IT සහ ITES ක්ෂේත්‍රය දිරිමත් කිරීමට සක්‍රීයව කටයුතු කරනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් ආදායම් බදු නිදහස් කිරීම් ලබා දෙනවා:

      ආදායම් බදු නිදහස් කිරීම්: මෘදුකාංග සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණ-සබල කළ සේවා (ITES) සඳහා 2027 ජුනි 30 දක්වා ආදායම් බදු නිදහස් කිරීමක් ලබා දී තිබෙනවා. මෙය AI, Blockchain, Robotics, SaaS, Cyber Security, Mobile Application Development, Web Development, IT Freelancing, Call Center Services වැනි පුළුල් පරාසයක සේවාවන් ආවරණය කරනවා.

      මෙම නිදහස් කිරීම් වලට සුදුසුකම් ලැබීමට: ආදායම් බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීම, BASIS (Bangladesh Association of Software and Information Services) සාමාජිකත්වය ලබා ගැනීම සහ බදු නිදහස් කිරීමේ සහතිකයක් (Tax Exemption Certificate) ලබා ගැනීම වැනි කොන්දේසි පවතිනවා.

      අධි තාක්ෂණික උද්‍යාන (Hi-Tech Parks): අධි තාක්ෂණික උද්‍යාන තුළ පිහිටි ආයෝජන සඳහා ද බදු නිදහස් කිරීම් සහ අනෙකුත් පහසුකම් සපයනවා.

      සාරාංශය ගත්තාම පැහැදිලිවම පෙනී යන්නේ ඉන්දියාව, පිලිපීනය, සහ බංග්ලාදේශය වැනි රටවල් තම IT සහ ITES අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීම සඳහා සැලකිය යුතු බදු සහන සහ නිදහස් කිරීම් ලබා දෙන බවයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති සකස් කර ඇත්තේ ඩොලර් උපයන ක්ෂේත්‍රවලට බදු බර පටවා ඔවුන්ගේ තරගකාරීත්වය නැති කරනවා වෙනුවට, එම ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය කිරීමට පහසුකම් සැලසීමයි.

      ලංකාවේ IT සේවාවලට VAT පැනවීම, මේ රටවල් අනුගමනය කරන උපාය මාර්ගයට හාත්පසින්ම විරුද්ධයි. අපේ අත්දැකීමෙන් පැහැදිලි වන පරිදි, මෙම බදු බර නිසා ලංකාවේ IT සේවා සපයන්නන්ගේ තරගකාරීත්වය නැති වී, රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගලා ඒම අඩාල වෙනවා. ඩොලර් නැති රටක, ඩොලර් හොයන කර්මාන්ත දිරිමත් කරනවා වෙනුවට, ඔවුන්ට බදු පැනවීම මෝඩ ප්‍රතිපත්තියක් බව අපේ අත්දැකීමෙන්ම මනාව පැහැදිලි වෙනවා.

      Delete
  2. ඉකෝන් එස් ඩී ආර් වගේද ලංකාවේ ජනතාවට කණ පැලෙන්න ගහල තියෙන අධික බදු බර??? මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරුව අනාථ තත්ත්වයට පත්වෙලා නන්නත්තාර වෙලා තියෙන්නේ විෂමචක්‍රයක හිරවෙලා ඉන්න ජනතාවට නැවතත් මේකෙන් තහවුරු වෙන්නේ එකම එක දෙයයි ඒ ඕනම දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය තීරණය කරන්නේ අරමුදල් දෙන සම්පත් දායකයෝ මිසක් මහජනතාව නෙමෙයි. තිත්ත වුනත් ඇත්ත ඒකයි!

    විශේෂයෙන්ම ලංකාවට නම් මේක තමයි පරම සත්‍යය!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: