පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියන්නේ ඉල්ලුම හා සැපයුම අනුව විණිමය අනුපාතය තීරණය වන ක්‍රමයක්. ඒ ක්‍රමයේදී සාමාන්‍යයෙන් විණිමය වෙළඳපොලට මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නේ නැහැ. පුද්ගලයින්ට සහ සමාගම් වලට ලැබෙන විදේශ විණිමය ඔවුන් විසින් වාණිජ බැංකු වලට විකුණනවා. වානිජ බැංකු විසින් එම විදේශ විණිමය නැවත පුද්ගලයින්ට සහ සමාගම් වලට විකුණනවා. ඔය වැඩේට මහ බැංකුව සම්බන්ධ වෙන්නේ නැහැ.
අපනයන කරද්දී, ශ්‍රමික ප්‍රේෂණ ලැබෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය එකතු වෙනවා. අනයනකරුවෝ ඔය විදේශ විණිමය මිල දී ගන්නවා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව විණිමය අනුපාතය තීරණය වෙනවා. ඒ හරහා ආනයන අවශ්‍ය මට්ටමට සීමා වෙනවා. අවශ්‍ය මට්ටම කියා කියන්නේ බැංකු පද්ධතියට ලැබෙන විදේශ විණිමය වැය කර ආනයන සිදු කළ හැකි මට්ටම.
මේ ක්‍රමයේදී රටට එන විදේශ විණිමය අඩු වෙද්දී ආනයනද ඊට අනුරූපව අඩු වෙනවා. නමුත් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කළ නොහැකි තරමට විදේශ විණිමය ලැබීම් අඩු වුනොත් එය ප්‍රශ්නයක් වෙනවා. මහ බැංකුව විසින් යම් විදේශ විණිමය ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගැනීම මගින් එවැනි අවදානම් වලට මුහුණ දෙන්න පුළුවන්. මහ බැංකුවක් සංචිත තියා ගන්නේ එවැනි අවදානම් අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න.
රටකට කොපමණ සංචිත අවශ්‍යද?
රටකට අවශ්‍ය සංචිත ප්‍රමාණය නිර්ණය කෙරෙන ක්‍රමවේදයක් මූල්‍ය අරමුදල විසින් සකස් කර තිබෙනවා. ඒ ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හා නොදුන් රටවල් පිළිබඳව සිදු කර තිබෙන පුළුල් අධ්‍යයන කිහිපයකින් පසුවයි. සමීකරණය මෙවැන්නක්.
A = මාස 12ක භාණ්ඩ හා සේවා අපනයන ආදායමෙන් 5%ක්.
B = කෙටිකාලීනව (වසරක් තුළ) ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයෙන් 15%ක්.
C = සමාගම් කොටස්, දිගුකාලීන ණය ආදී අනෙකුත් බැරකම් වලින් 5%ක්.
D = පුළුල් මුදල් සැපයුමෙන් 10%ක්.
අවම සංචිත අවශ්‍යතාවය = A + B + C + D
තබාගත යුතු උපරිම සංචිත ප්‍රමාණය = අවම සංචිත අවශ්‍යතාවය මෙන් 150%ක්.
මෙහිදී ඔබට පෙනී යනු ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවයද ඉහළ යන බවයි. එනම් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීමේ අවදානම ඉහළ යන බවයි. නමුත් ආනයන වැඩි වෙද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ නැහැ. ඒ ඇයි?
භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යන තරමට කම්පන තත්වයකදී එම ආදායම් අඩු වීමේ අවදානමද ඉහළ යනවා. ඒ නිසා, අපනයන ආදායම ඉහළ යන තරමට සංචිතද වැඩියෙන් තබා ගත යුතුයි.
කෙටිකාලීන හා දිගුකාලීන ණය ප්‍රමාණ ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ ඇයි කියන එකනම් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මෙහිදී ආනයන වියදම් සලකා බලා නැත්තේ ඇයි?
ආනයන සිදු කරන අය ඒ සඳහා වැය කරන්නේ රුපියල් මිස ඩොලර් නෙමෙයි. බැංකුවකින් විදේශ විණිමය මිල දී ගන්නේ රුපියල් දීලයි. ඒ නිසා ආනයන වැඩි වීමේ අවදානම වැඩි වන්නේ රුපියල් සැපයුම වැඩි වූ විටයි. මේ අනුව, ආනයන පාලනය කිරීම සඳහා කළ යුත්තේ රුපියල් සැපයුම අඩු කිරීමයි. එනම් පුළුල් මුදල් සැපයුම අඩු කිරීමයි. සල්ලි අච්චු ගැසීම පාලනය කිරීම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පහසුවෙන්ම මෙය කළ හැකියි. අවම සංචිත අවශ්‍යතාවය ගණන් බැලීමේදී පුළුල් මුදල් සැපයුමෙන් 10%ක් එකතු කරද්දී ආනයන වැඩි වීමේ අවදානම ආවරණය වෙනවා. ඊට අමතරව, පසුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්, රුපියල් ඩොලර් කර තබා ගැනීමේ නැඹුරුව නිසා ඩොලර් හිඟවීමේ අවදානමද එයින් ආවරණය වෙනවා.
මේ අනුව තව දුරටත් පැහැදිලි වනු ඇත්තේ මුදල් සැපයුම නිවැරදිව කළමනාකරණය කරන්නේනම් විදේශ විණිමය ප්‍රශ්නද සෑහෙන තරමකින් විසඳෙන බවයි. සංචිත තබා ගත යුත්තේ එසේ නොවිසඳිය හැකි බාහිර කම්පන වලට මුහුණ දීමටයි.
පසු ගිය ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ සංචිත ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයෙන් ගොඩක් පහතට වැටුනා. මේ වන විට සංචිත යම් ප්‍රමාණයකට ගොඩ නගාගෙන තිබෙනවා. පසුගිය වසර අවසන් වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,122 මට්ටමට වැඩි වී තිබුණා. නමුත් එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 50.5%ක් පමණයි. එයින්ද කොටසක් ප්‍රයෝජනයට ගත නොහැකි චීන මුදල් හුවමාරු ණයයි. ඒ කොටස ඉවත් කළ විට තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,686ක් පමණයි. එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 38.6%ක් පමණයි.
විදෙස් සංචිත සාමාන්‍යයෙන් ආනයන සඳහා ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ සංචිත අඩුව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හදිසියේ යම් බාහිර කම්පනයකට මුහුණ දෙන්න සිදු වුනොත් ප්‍රමාණවත් සංචිත නොමැති වීම ප්‍රශ්නයක් වෙනවා. මූල්‍ය අරමුදල විසින් සංචිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන්නේ ඒ නිසා.
සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක මෙහෙමයි.
2025 අවසානය - ඩොලර් මිලියන 7,255 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 60.3%ක්)
2026 අවසානය - ඩොලර් මිලියන 9,273 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 75.5%ක්)
2027 අවසානය - ඩොලර් මිලියන 12,974 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 100.0%ක්)
ඉන් පසුව, උපරීම වශයෙන් අවශ්‍ය අවම ප්‍රමාණය මෙන් 150% දක්වා සංචිත ගොඩ නගා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සංචිත තබා ගැනීම අනවශ්‍ය නාස්තියක්. අර්බුදයකදී වුවද ඊට වඩා සංචිත අවශ්‍ය වන්නේ නැහැ.
දැන් මේ ඉලක්ක වලට යන්න බැරි වුනොත් වෙන්නේ කුමක්ද? කිසිම බරපතල දෙයක් වෙන්නේ නැහැ. 2027 අවසානයේදී 100% මට්ටමට යන්න බැරි වී 90% වැනි මට්ටමට පමණක් යන්න පුළුවන් වුනොත් 2028දී 100% මට්ටමට යන්න පුළුවන්. ඒ අතර ලොකු බාහිර කම්පනයක් ඇති වුනොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. නමුත් ඒ සඳහා විකල්ප විසඳුමක් තිබෙනවා. ඒ නැවත වරක් මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන එක. අවශ්‍ය අවම සංචිත ප්‍රමාණය එකතු කරගෙන ඒ මට්ටම පවත්වා ගත්තොත් සිදුවන වෙනස නැවත මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන්න අවශ්‍ය නොවීමයි.
අවශ්‍ය ප්‍රමාණයට සංචිත ගොඩ නගා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් එය නොකා නොබී මට්ටකුණ්ඩලී ක්‍රමයට කළ යුතු දෙයක් නෙමෙයි.
තවත් අමතර කරුණක් ලෙස, මේ නිර්ණායකය මූල්‍ය අරමුදල විසින් පොදුවේ හදපු එකක් මිසක් ලංකාවට විශේෂයෙන් හදපු එකක් නෙමෙයි. විශාල ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. හදිසියේ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීම නිසා ඇති විය හැකි අවදානම පිළිබඳව නිර්ණායකය සංවේදී නැහැ. ඒ නිසා, ලංකාවේ සංචිත අවශ්‍යතාවය ගණනය කරද්දී රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් යම් ප්‍රතිශයකුත් එකතු කරන එක නරක අදහසක් නෙමෙයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.