පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියන්නේ ඉල්ලුම හා සැපයුම අනුව විණිමය අනුපාතය තීරණය වන ක්‍රමයක්. ඒ ක්‍රමයේදී සාමාන්‍යයෙන් විණිමය වෙළඳපොලට මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නේ නැහැ. පුද්ගලයින්ට සහ සමාගම් වලට ලැබෙන විදේශ විණිමය ඔවුන් විසින් වාණිජ බැංකු වලට විකුණනවා. වානිජ බැංකු විසින් එම විදේශ විණිමය නැවත පුද්ගලයින්ට සහ සමාගම් වලට විකුණනවා. ඔය වැඩේට මහ බැංකුව සම්බන්ධ වෙන්නේ නැහැ.
අපනයන කරද්දී, ශ්‍රමික ප්‍රේෂණ ලැබෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය එකතු වෙනවා. අනයනකරුවෝ ඔය විදේශ විණිමය මිල දී ගන්නවා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව විණිමය අනුපාතය තීරණය වෙනවා. ඒ හරහා ආනයන අවශ්‍ය මට්ටමට සීමා වෙනවා. අවශ්‍ය මට්ටම කියා කියන්නේ බැංකු පද්ධතියට ලැබෙන විදේශ විණිමය වැය කර ආනයන සිදු කළ හැකි මට්ටම.
මේ ක්‍රමයේදී රටට එන විදේශ විණිමය අඩු වෙද්දී ආනයනද ඊට අනුරූපව අඩු වෙනවා. නමුත් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කළ නොහැකි තරමට විදේශ විණිමය ලැබීම් අඩු වුනොත් එය ප්‍රශ්නයක් වෙනවා. මහ බැංකුව විසින් යම් විදේශ විණිමය ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගැනීම මගින් එවැනි අවදානම් වලට මුහුණ දෙන්න පුළුවන්. මහ බැංකුවක් සංචිත තියා ගන්නේ එවැනි අවදානම් අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න.
රටකට කොපමණ සංචිත අවශ්‍යද?
රටකට අවශ්‍ය සංචිත ප්‍රමාණය නිර්ණය කෙරෙන ක්‍රමවේදයක් මූල්‍ය අරමුදල විසින් සකස් කර තිබෙනවා. ඒ ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හා නොදුන් රටවල් පිළිබඳව සිදු කර තිබෙන පුළුල් අධ්‍යයන කිහිපයකින් පසුවයි. සමීකරණය මෙවැන්නක්.
A = මාස 12ක භාණ්ඩ හා සේවා අපනයන ආදායමෙන් 5%ක්.
B = කෙටිකාලීනව (වසරක් තුළ) ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයෙන් 15%ක්.
C = සමාගම් කොටස්, දිගුකාලීන ණය ආදී අනෙකුත් බැරකම් වලින් 5%ක්.
D = පුළුල් මුදල් සැපයුමෙන් 10%ක්.
අවම සංචිත අවශ්‍යතාවය = A + B + C + D
තබාගත යුතු උපරිම සංචිත ප්‍රමාණය = අවම සංචිත අවශ්‍යතාවය මෙන් 150%ක්.
මෙහිදී ඔබට පෙනී යනු ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවයද ඉහළ යන බවයි. එනම් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීමේ අවදානම ඉහළ යන බවයි. නමුත් ආනයන වැඩි වෙද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ නැහැ. ඒ ඇයි?
භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යන තරමට කම්පන තත්වයකදී එම ආදායම් අඩු වීමේ අවදානමද ඉහළ යනවා. ඒ නිසා, අපනයන ආදායම ඉහළ යන තරමට සංචිතද වැඩියෙන් තබා ගත යුතුයි.
කෙටිකාලීන හා දිගුකාලීන ණය ප්‍රමාණ ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ ඇයි කියන එකනම් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මෙහිදී ආනයන වියදම් සලකා බලා නැත්තේ ඇයි?
ආනයන සිදු කරන අය ඒ සඳහා වැය කරන්නේ රුපියල් මිස ඩොලර් නෙමෙයි. බැංකුවකින් විදේශ විණිමය මිල දී ගන්නේ රුපියල් දීලයි. ඒ නිසා ආනයන වැඩි වීමේ අවදානම වැඩි වන්නේ රුපියල් සැපයුම වැඩි වූ විටයි. මේ අනුව, ආනයන පාලනය කිරීම සඳහා කළ යුත්තේ රුපියල් සැපයුම අඩු කිරීමයි. එනම් පුළුල් මුදල් සැපයුම අඩු කිරීමයි. සල්ලි අච්චු ගැසීම පාලනය කිරීම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පහසුවෙන්ම මෙය කළ හැකියි. අවම සංචිත අවශ්‍යතාවය ගණන් බැලීමේදී පුළුල් මුදල් සැපයුමෙන් 10%ක් එකතු කරද්දී ආනයන වැඩි වීමේ අවදානම ආවරණය වෙනවා. ඊට අමතරව, පසුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්, රුපියල් ඩොලර් කර තබා ගැනීමේ නැඹුරුව නිසා ඩොලර් හිඟවීමේ අවදානමද එයින් ආවරණය වෙනවා.
මේ අනුව තව දුරටත් පැහැදිලි වනු ඇත්තේ මුදල් සැපයුම නිවැරදිව කළමනාකරණය කරන්නේනම් විදේශ විණිමය ප්‍රශ්නද සෑහෙන තරමකින් විසඳෙන බවයි. සංචිත තබා ගත යුත්තේ එසේ නොවිසඳිය හැකි බාහිර කම්පන වලට මුහුණ දීමටයි.
පසු ගිය ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ සංචිත ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයෙන් ගොඩක් පහතට වැටුනා. මේ වන විට සංචිත යම් ප්‍රමාණයකට ගොඩ නගාගෙන තිබෙනවා. පසුගිය වසර අවසන් වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,122 මට්ටමට වැඩි වී තිබුණා. නමුත් එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 50.5%ක් පමණයි. එයින්ද කොටසක් ප්‍රයෝජනයට ගත නොහැකි චීන මුදල් හුවමාරු ණයයි. ඒ කොටස ඉවත් කළ විට තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,686ක් පමණයි. එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 38.6%ක් පමණයි.
විදෙස් සංචිත සාමාන්‍යයෙන් ආනයන සඳහා ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ සංචිත අඩුව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හදිසියේ යම් බාහිර කම්පනයකට මුහුණ දෙන්න සිදු වුනොත් ප්‍රමාණවත් සංචිත නොමැති වීම ප්‍රශ්නයක් වෙනවා. මූල්‍ය අරමුදල විසින් සංචිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන්නේ ඒ නිසා.
සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක මෙහෙමයි.
2025 අවසානය - ඩොලර් මිලියන 7,255 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 60.3%ක්)
2026 අවසානය - ඩොලර් මිලියන 9,273 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 75.5%ක්)
2027 අවසානය - ඩොලර් මිලියන 12,974 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 100.0%ක්)
ඉන් පසුව, උපරීම වශයෙන් අවශ්‍ය අවම ප්‍රමාණය මෙන් 150% දක්වා සංචිත ගොඩ නගා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සංචිත තබා ගැනීම අනවශ්‍ය නාස්තියක්. අර්බුදයකදී වුවද ඊට වඩා සංචිත අවශ්‍ය වන්නේ නැහැ.
දැන් මේ ඉලක්ක වලට යන්න බැරි වුනොත් වෙන්නේ කුමක්ද? කිසිම බරපතල දෙයක් වෙන්නේ නැහැ. 2027 අවසානයේදී 100% මට්ටමට යන්න බැරි වී 90% වැනි මට්ටමට පමණක් යන්න පුළුවන් වුනොත් 2028දී 100% මට්ටමට යන්න පුළුවන්. ඒ අතර ලොකු බාහිර කම්පනයක් ඇති වුනොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. නමුත් ඒ සඳහා විකල්ප විසඳුමක් තිබෙනවා. ඒ නැවත වරක් මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන එක. අවශ්‍ය අවම සංචිත ප්‍රමාණය එකතු කරගෙන ඒ මට්ටම පවත්වා ගත්තොත් සිදුවන වෙනස නැවත මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන්න අවශ්‍ය නොවීමයි.
අවශ්‍ය ප්‍රමාණයට සංචිත ගොඩ නගා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් එය නොකා නොබී මට්ටකුණ්ඩලී ක්‍රමයට කළ යුතු දෙයක් නෙමෙයි.
තවත් අමතර කරුණක් ලෙස, මේ නිර්ණායකය මූල්‍ය අරමුදල විසින් පොදුවේ හදපු එකක් මිසක් ලංකාවට විශේෂයෙන් හදපු එකක් නෙමෙයි. විශාල ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. හදිසියේ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීම නිසා ඇති විය හැකි අවදානම පිළිබඳව නිර්ණායකය සංවේදී නැහැ. ඒ නිසා, ලංකාවේ සංචිත අවශ්‍යතාවය ගණනය කරද්දී රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් යම් ප්‍රතිශයකුත් එකතු කරන එක නරක අදහසක් නෙමෙයි.
ඉකොනෝ
ReplyDeleteඇත්තටම රටක විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කිරීම කියන්නේ සංකීර්ණ ආර්ථික විද්‍යාත්මක කාරණයක්. මේකට විවිධ ක්‍රමවේදයන් සහ දර්ශක පාවිච්චි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වගේ ආයතනත්, චීනය, රුසියාව වගේ රටවලුත් මේ ගැන වෙනස් විදියට හිතනවා. ලංකාව වගේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ (remittances) මත දැඩිව යැපෙන රටකට මේක තවත් සංකීර්ණ වෙනවා.
විදේශ විනිමය සංචිත කියන්නේ රටක මහ බැංකුව සතුව තියෙන විදේශ මුදල්, රත්‍රං, විශේෂ මුදල් ගැනීම් අයිතිය (SDRs) වගේ විදේශ වත්කම්. මේවා අවශ්‍ය වෙන්නේ රටක ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන්න, ආනයන සඳහා ගෙවීම් කරන්න, විදේශ ණය ගෙවන්න, විනිමය අනුපාතිකය ස්ථාවරව තියාගන්න සහ ආර්ථික කම්පනවලට මුහුණ දෙන්නයි.
සාමාන්‍යයෙන් විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කරන්න පාවිච්චි කරන ප්‍රධාන දර්ශක කිහිපයක් තියෙනවා:
ආනයන ආවරණය (Import Cover): මේක තමයි වඩාත් බහුලව පාවිච්චි කරන ක්‍රමය. රටක තියෙන විදේශ විනිමය සංචිතවලින් මාස කීයකට ආනයන ආවරණය කරන්න පුළුවන්ද කියලා මේකෙන් බලනවා. උදාහරණයක් විදියට, "මාස 3ක ආනයන ආවරණයක්" කියන්නේ, රටේ තියෙන සංචිතවලින් ඉදිරි මාස 3ට අවශ්‍ය ආනයන සඳහා ගෙවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියන එකයි. IMF එක සාමාන්‍යයෙන් අවම වශයෙන් මාස 3ක ආනයන ආවරණයක් නිර්දේශ කරනවා. නමුත් මේක රටේ ආනයන ව්‍යුහය, අපනයන ආදායම වගේ දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන්.
කෙටිකාලීන ණය ආවරණය (Short-term Debt Cover): රටක තියෙන කෙටිකාලීන විදේශ ණය ගෙවීමට සංචිත කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා මේකෙන් බලනවා. ආර්ථික අර්බුදයකදී හෝ ආයෝජක විශ්වාසය බිඳවැටීමකදී, මේ කෙටිකාලීන ණය එකවර ගෙවීමට සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ ණය ප්‍රමාණය ආවරණය කරන්න ප්‍රමාණවත් සංචිත තියෙන්න ඕනේ.
පුළුල් මුදල් සංචිත ආවරණය (Broad Money Cover): රටක තියෙන සමස්ත මුදල් සැපයුමෙන් කොපමණ ප්‍රමාණයක් විදේශ විනිමය සංචිතවලින් ආවරණය වෙනවද කියලා මේකෙන් මනිනවා. බැංකු පද්ධතියේ විශ්වාසය පවත්වාගෙන යන්න සහ බැංකු පද්ධතියේ ඇතිවිය හැකි ගැටලුවලට මුහුණ දෙන්න මේක වැදගත්.
ප්‍රාග්ධන ගලා ඒම් ආවරණය (Capital Flow Cover): රටකට ඇතුළුවන සහ පිටවන ප්‍රාග්ධන ප්රවාහයන්ගේ ස්වභාවය අනුව සංචිත අවශ්‍යතාවය ගණනය කිරීම. හදිසි ප්‍රාග්ධන ගලා ඒම් ආපසු හැරීමකදී ඇතිවන බලපෑම් අවම කර ගැනීමට මෙය වැදගත්.
IMF නිර්දේශ සහ චීනය-රුසියාවේ වෙනස්කම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පොදුවේ ආනයන ආවරණය, කෙටිකාලීන ණය ආවරණය වැනි සාම්ප්‍රදායික දර්ශක මත පදනම්ව විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය නිර්දේශ කරනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ රටක බාහිර අවදානම් කළමනාකරණය කර ගැනීමට සහ ගෙවුම් ශේෂ අර්බුද වළක්වා ගැනීමට සහාය වීමයි. ඔවුන් රටවල් වල ආර්ථික ව්‍යුහයන් සහ අවදානම් පැතිකඩයන් මත පදනම්ව මෙම නිර්දේශයන් වෙනස් කරනවා.
නමුත් චීනය සහ රුසියාව වැනි රටවල් විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීමේදී වඩාත් උපායමාර්ගික සහ දේශපාලනික ප්රවේශයන් අනුගමනය කරනවා.
නමුත් වෙනත් රටවල් විශේෂයෙන්ම චීනය රුසියාව වගේ රටවල් මීට වඩා ඇඩ්වාන්ස් විදියට හිතලා ඉතාමත්ම උපායමාර්ගික විදියට ලස්සනට සංචිත ප්‍රමාණය කළමණාකරණය කරනවා
චීනය: චීනය සතුව ලෝකයේ විශාලතම විදේශ විනිමය සංචිත ප්‍රමාණය තිබෙනවා. ඔවුන්ගේ සංචිත කළමනාකරණය කරන්නේ ආනයන ආවරණයට වඩා විශාල ප්‍රමාණයකින්. මේකට හේතු කිහිපයක් තියෙනවා:
Deleteආර්ථික ස්ථාවරත්වය: ඔවුන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑමටත්, ගෝලීය ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමටත් විශාල සංචිත ප්‍රමාණයක් අවශ්‍ය බව විශ්වාස කරනවා.
විනිමය අනුපාතික කළමනාකරණය: ඔවුන්ගේ අපනයන ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා යුවාන් (renminbi) හි අගය කළමනාකරණය කිරීමට ඔවුන් විශාල සංචිත භාවිතා කරනවා.
භූ දේශපාලනික ස්ථාවරත්වය: ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කර ගැනීමට සහ ඔවුන්ගේම මුදල් ඒකකය වන යුවාන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට ඔවුන් උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන් රත්‍රං සංචිත වැඩි කිරීම සහ වෙනත් මුදල් ඒකකවලින් සංචිත පවත්වාගෙන යාම සිදු කරනවා.
රුසියාව: රුසියාවේ සංචිත කළමනාකරණය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස වෙනස් වුණා, විශේෂයෙන්ම බටහිර සම්බාධකවලට මුහුණ දීමෙන් පසුව.
ඩොලර් මත යැපීම අඩු කිරීම: ඔවුන් ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කර, යුරෝ, චීන යුවාන් සහ රත්‍රං වැනි වත්කම්වලින් තම සංචිත විවිධාංගීකරණය කර තිබෙනවා.
භූ දේශපාලනික අවදානම් අවම කිරීම: සම්බාධක වැනි දේශපාලනික අවදානම්වලින් ආරක්ෂා වීමට ඔවුන් විශාල සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. රත්‍රං සංචිත වැඩි කිරීම මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා.
දේශීය මුදල් ඒකකය ශක්තිමත් කිරීම: රුසියාව, චීනය සමඟ එක්ව දේශීය මුදල් ඒකකවලින් වෙළඳාම් කිරීම වැඩි කරමින්, ඩොලර් මත යැපීම තවදුරටත් අඩු කිරීමට උත්සාහ කරනවා.
මෙම වෙනස්කම්වලට ප්‍රධාන හේතු වන්නේ රටක ආර්ථික ව්‍යුහය, දේශපාලන අභිලාෂයන්, භූ දේශපාලනික තත්ත්වය සහ ගෝලීය ආර්ථිකය තුළ ඔවුන්ගේ භූමිකාවයි. IMF වැනි ආයතන සාමාන්‍යයෙන් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ බාහිර සමතුලිතතාවය කෙරෙහි අවධානය යොමු කරන විට, චීනය සහ රුසියාව වැනි රටවල් ස්වෛරීත්වය, ආර්ථික බලය සහ භූ දේශපාලනික ස්ථාවරත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.
ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තීරණය කිරීම සහ ශ්‍රමික ප්‍රේෂණ වල බලපෑම
ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තීරණය කිරීමේදී ඉහත සාකච්ඡා කළ සාම්ප්‍රදායික දර්ශක (ආනයන ආවරණය, කෙටිකාලීන ණය ආවරණය) බොහෝ දුරට බලපානවා. මීට අමතරව, ආර්ථිකයේ අස්ථාවරත්වය, ගෙවුම් ශේෂයේ ගැටලු, ණය ගෙවීමේ හැකියාව සහ ආයෝජක විශ්වාසය වැනි සාධක ද සලකා බලනවා.
ලංකාව වගේ රටවල තියෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණ වල බලපෑම:
ලංකාව අතිවිශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රමිකයන් ප්‍රේෂණ ලෙස එවන රටක් නිසා, මෙම ප්‍රේෂණ විදේශ විනිමය සංචිත තීරණය කිරීමේදී අතිශය වැදගත් සාධකයක් වෙනවා.
ස්ථාවර ආදායම් මාර්ගයක්: විදේශ ශ්‍රමික ප්‍රේෂණ යනු රටකට ලැබෙන ස්ථාවර විදේශ විනිමය ප්‍රවාහයක්. මෙය අපනයන ආදායම් වැනි වෙනත් විදේශ විනිමය ප්රභවයන්ට වඩා ස්ථායි ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන්ම, ගෝලීය ආර්ථිකයේ උච්චාවචනයන් හමුවේ අපනයන ආදායම් අඩුවන විට, ප්‍රේෂණ රටට විශාල සහනයක් ලබා දෙනවා.
ගෙවුම් ශේෂයට දායකත්වය: ප්‍රේෂණ ගෙවුම් ශේෂයේ වත්මන් ගිණුම (Current Account) ශක්තිමත් කිරීමට සෘජුවම දායක වෙනවා. මෙය වෙළඳ හිඟයන් අවම කිරීමට සහ විදේශ විනිමය සංචිත ගොඩනැගීමට උපකාරී වෙනවා.
අර්බුදවලදී පිටුවහලක්: ආර්ථික අර්බුදයකදී හෝ විදේශ විනිමය හිඟයක් ඇතිවන විට, ප්‍රේෂණ මඟින් රටට යම් ස්ථාවරත්වයක් ලබා දිය හැකියි. උදාහරණ ලෙස,
ලංකාව මෑතදී මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ප්‍රේෂණවලින් ලැබුණු සහයෝගය අතිවිශාලයි.
විදේශ විනිමය සංචිත ගණනය කිරීමේදී ප්‍රේෂණවල ප්‍රතිශතයක් එකතු කිරීම:
ඉකොනෝ සඳහන් කළ පරිදි, ලංකාව වැනි රටකට විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කිරීමේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ වලින් යම් ප්‍රතිශතයක් එකතු කිරීම වඩාත් යථාර්ථවාදී ප්‍රවේශයක් විය හැකියි.
IMF සාම්ප්‍රදායික ආනයන ආවරණය වැනි දර්ශක පමණක් සලකා බැලීමේදී, ප්‍රේෂණවලින් ලැබෙන සැලකිය යුතු දායකත්වය මඟහැරී යා හැකියි.
ප්‍රේෂණවලින් ලැබෙන මුදල් සෘජුවම රටට විදේශ විනිමය ලෙස ලැබෙන නිසා, එය සංචිත ගණනය කිරීමේදී "අතිරේක බාහිර ද්‍රවශීලතා ප්‍රභවයක්" ලෙස සැලකිය හැකියි. මේ නිසා, සංචිත අවශ්‍යතාවය ඇස්තමේන්තු කිරීමේදී, නියමිත ආනයන ආවරණය හෝ ණය ආවරණයට අමතරව, ප්‍රේෂණවලින් ලැබෙන ස්ථාවර ප්රවාහයේ යම් ප්‍රතිශතයක් "සංචිත ශක්තිය" ලෙස ඇතුළත් කිරීම සාධාරණයි. මෙය රටේ බාහිර අවදානම් දරා ගැනීමේ හැකියාව වඩාත් නිවැරදිව පිළිබිඹු කරාවි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිශතය තීරණය කිරීමේදී ප්‍රේෂණවල ස්ථාවරත්වය, විචලනය සහ ඒවායේ භාවිතය (පරිභෝජනයට එදිරිව ආයෝජනය) වැනි සාධක සැලකිල්ලට ගත යුතු බවයි මගේ හැඟීම.
කෙසේ වුවත් විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කිරීම ගැන මට තියෙන ලොකුම ප්‍රශ්න මේවායි
Deleteවිදේශ විනිමය සංචිත ගණනය කරන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුව සාම්ප්‍රදායික සංචිත අවශ්‍යතා ආකෘතිවල සීමාවන්:
1. IMF විසින් නිර්දේශ කරනු ලබන ආනයන ආවරණය (Import Cover) වැනි සාම්ප්‍රදායික විදේශ විනිමය සංචිත අවශ්‍යතා ගණනය කිරීමේ ආකෘති, නූතන ගෝලීය ආර්ථිකයේ පවතින ප්‍රාග්ධන ප්‍රවාහවල අස්ථාවරත්වය, භූ දේශපාලනික අවදානම් සහ රටවල් අතර විවිධ වූ ආර්ථික ව්‍යුහයන් (උදා: ශ්‍රමික ප්‍රේෂණ මත දැඩිව යැපෙන ආර්ථිකයන්) ආවරණය කිරීමට ප්‍රමාණවත්ද? එසේ නොවේ නම්, මෙම ආකෘති පුළුල් කළ යුත්තේ කෙසේද?
චීනය සහ රුසියාවේ සංචිත උපාය මාර්ගවල බලපෑම:
2. චීනය සහ රුසියාව වැනි රටවල් ඩොලර් ආධිපත්‍යයෙන් මිදීම සහ භූ දේශපාලනික ස්ථාවරත්වය සඳහා විශාල විදේශ විනිමය සංචිත (විශේෂයෙන් රත්‍රං) රැස් කිරීමේ උපාය මාර්ග අනුගමනය කිරීම, ගෝලීය මූල්‍ය පද්ධතියේ සහ ජාත්‍යන්තර මුදල් ඒකකවල භූමිකාවට දිගුකාලීනව බලපාන්නේ කෙසේද? මෙවැනි උපාය මාර්ග කුඩා, විවෘත ආර්ථිකයන්ට (ලංකාව වැනි) සංචිත කළමනාකරණය කිරීමේදී අලුත් අභියෝග එල්ල කරන්නේද?
ශ්‍රමික ප්‍රේෂණ සංචිත ගණනය කිරීමට ඇතුළත් කිරීම:
3. ලංකාව වැනි රටකට, විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කිරීමේදී, විදේශ ශ්‍රමික ප්‍රේෂණවල ස්ථාවර ප්‍රවාහය සැලකිය යුතු ප්‍රතිශතයක් ලෙස ඇතුළත් කිරීම සඳහා ආර්ථික විද්‍යාත්මක සාධාරණීකරණයක් ලබා දිය හැකිද? ඔහේ මේ පෝස්ට් එකේ දාල තියෙන ප්‍රතිශත වගේ, මෙම ප්‍රතිශතය තීරණය කිරීම සඳහා සුදුසු ගණනය කිරීමේ ක්‍රමවේදයක් (quantitative model) යෝජනා කළ හැකිද? මෙහිදී ප්‍රේෂණවල අස්ථාවරත්වය, විනිමය අනුපාතික සංවේදීතාව සහ ඒවායේ අවසාන භාවිතය (පරිභෝජනය හෝ ආයෝජනය) වැනි සාධක ඇතුළත් වන්නේ කෙසේද?
සංචිත ප්‍රමාණය සහ ආර්ථික වර්ධනය අතර සම්බන්ධය:
4. අධික විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යාම, ඒවායින් ලැබෙන ආදායමට වඩා වැඩි අවස්ථිතික පිරිවැයක් (opportunity cost) දරන බවට සමහරු තර්කයක් කරනවා, මාත් එක්කත් ඔය ගැන මිතුරන් තර්ක කර තිබෙනවා කාලෙකටඉස්සර. සංචිතවල ප්රශස්ත මට්ටම තීරණය කිරීම සඳහා, ආර්ථික වර්ධනය, බාහිර අවදානම් සහ සංචිත රඳවා තබා ගැනීමේ පිරිවැය අතර සමතුලිතතාවයක් සොයාගත හැක්කේ කෙසේද?
ලංකාව වැනි රටකට, මෙම ප්රශස්ත මට්ටම සාම්ප්‍රදායික නිර්දේශයන්ට වඩා වෙනස් විය හැක්කේ කුමන හේතු නිසාද?
සංචිත ගණනය කිරීමේදී නව ආර්ථික විද්‍යාත්මක ප්රවේශයන්:
5. ගෝලීය දේශගුණික විපර්යාස, වසංගත, සයිබර් ප්‍රහාර වැනි සාම්ප්‍රදායික නොවන ආර්ථික කම්පන සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය සංචිත අවශ්‍යතාවය ගණනය කිරීම සඳහා නව, වඩාත් ගතික සහ අනුකලිත ආර්ථික විද්‍යාත්මක ආකෘති (dynamic and integrated economic models) යෝජනා කළ හැකිද? විශේෂයෙන්ම, මෙම අර්බුද විදේශ විනිමය සංචිත මත ක්ෂණිකව සහ අනපේක්ෂිත ලෙස බලපාන ආකාරය මෙම ආකෘතිවලට ඇතුළත් කරන්නේ කෙසේද?
ඉකොනෝ මේවා පිළිබඳව විස්තර සහිතව පැහැදිලි කරමින් ඊළඟ පෝස්ට් එක දාන්න ඇහැකිද?