Friday, January 6, 2017

සෝවියට් ශිෂ්‍යත්ව වලට ගෙවුවේ බටහිර රටවල්ද?


සෝවියට් ශිෂ්‍යත්වලාභීන් ගැන සාකච්ඡා වටයක් දැන් අළුතින් ඇරඹී තිබේ. මේ සමඟ, මා හිතන පරිදි, බොහෝ දෙනෙක් නොදැන සිටි කරුණක් සෝවියට් ශිෂ්‍යත්වලාභීන් දෙදෙනෙකු විසින්ම එළිදරවු කර ඇත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඇති පරිදි, "සිසුන් ගේ අධ්‍යාපනය සඳහා එක් සෝවියට් වැසියෙක් කොපෙක් එක බැගින් ගෙව්වෝය​. මේ හැර වාර්ශිකව එක්සත් ජාතීන් ගේ අරමුදලට සෑම රටක්ම යම් ගෙවීමක් කල යුතුය​. සෝවියට් දේශය ලෝකයේ බොහෝ රට වල සිසුන්ට නොමිලේ ඉගැන්වීම නිසා එක්සත් ජාතීන් ගේ අරමුදලට වාර්ශිකව ගෙවන ලද මුදලෙන් අධ්‍යාපන වියදම් කපා ඉතිරිය පමණක් ගෙව්වේය​."

අජිත් ධර්ම විසින් මේ කරුණ නැවත තහවුරු කරයි.


"එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. "

"ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත."

"දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි."

"මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ."


නිල ලේඛණ කිසිවක් දැක නැති බැවින් මේ කතාව ඇත්තක්දැයි මා ස්ථිරවම දන්නේ නැත. එහෙත්, කතාව ඇත්තනම් එයින් පෙනෙන්නේ සෝවියට් ශිෂ්‍යත්ව දීම හරහා සෝවියට් රජය විසින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරාගෙන ඇති බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන බිහි කෙරුණේ නැවතත් එවැනි විනාශකාරී "තෙවන ලෝක යුද්ධයක්" ඇති වීම වලක්වා ගැනීමේ අරමුණිනි. මේ සංවිධාන පිලිබඳ කවර විවේචන තිබුණත් ඒ මූලික අරමුණ ඇත්තටම ඉටුවූ බව බොරුවක් නොවේ.

අජිත් ධර්ම හා රුවන් ජයතුංග විසින් සඳහන් කර ඇති පරිදිම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල වියදම් නිශ්චිත ක්‍රමවේදයකට සාමාජික රටවල් අතර බෙදාහැරේ. වඩා විශාල ආර්ථිකයක් තිබීම හා වැඩි ජනගහණයක් තිබීම ගෙවිය යුතු මුදල වැඩිවීමට හේතුවකි. ලංකාව විසින්ද මේ මුළු වියදමින් 0.25%ක් ගෙවිය යුතුය.

අජිත් හා රුවන් කියා ඇති කරුණ නිවැරදිනම් ඒ කාලයේ සෝවියට් දේශය විසින් කර ඇත්තේ ඔවුන් ලබා දුන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වල වියදම ඔවුන් විසින් ගෙවිය යුතුව තිබුණු ඉහත වියදමෙන් අඩුකරගැනීමයි. මේ අනුව, මෙම ශිෂ්‍යත්ව සඳහා සෝවියට් දේශයට අමතර වියදමක් දරන්නට සිදු වී නොමැත!

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටි මහා බලවතුන්ගෙන් අයෙක් වන සෝවියට් දේශයට මෙවැනි ඉල්ලීමක් අනුමත කර ගැනීම අපහසු නොවන්නට ඇත. කවර ආකාරයකින් හෝ කිසියම් රටක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන මුදල් ප්‍රමාණය අඩු වූ විට ඒ අඩුව ඉතිරි රටවල් අතර බෙදී යයි. මේ අනුව, ලංකාව ඇතුළු අනෙකුත් සියළු රටවල් විසින් ගෙවිය යුතු මුදල ඉහළ යයි.

සෝවියට් ශිෂ්‍යත්ව දීමේ මෙන්ම සෝවියට් පොත් අඩු මිලට ලබා දීමේද අරමුණ වුණේ එවකට සෝවියට් දේශයේ පැවති දේශපාලන ක්‍රමය හා සෝවියට් සංස්කෘතිය එවකට තෙවන ලෝකයේ රටවල් ලෙස හැඳින්වුණු ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකානු රටවල් කරා ව්‍යාප්ත කිරීම බව නොරහසකි. මේ වන විට බටහිර රටවලට සංක්‍රමණය වී සිටින ඇතැම් සෝවියට් ශිෂ්‍යත්වලාභීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ අරමුණ ඉටු නොකරමින් සෝවියට් ක්‍රමය විවේචනය කරන බව කෙනෙකුට කියන්නට පුළුවන. සෝවියට් අත්දැකීම් ඇති අය තමන් එවකට එහි පැවති සමාජ ක්‍රමය තේරුම්ගත් ආකාරයට එය එහි ඇතැම් අංග ඇගයීමත්, වෙනත් අංග විචේචනය කිරීමත් කරති. මෙහි වරදක් නැත. එය පුද්ගල නිදහසයි. එහෙත්, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වුණේ දේශපාලනික අරමුණු සහිතව යන කරුණ එයින් නිශේධනය නොවේ. මේ අනුව, මේ ශිෂ්‍යත්ව ලබා දීම හරහා සෝවියට් රජය වාසියක් ලැබුවේය.

සෝවියට් රජයේ අරමුණු කුමක් වුවත් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලැබූ මෙන්ම අඩු මිලට පොත් කියවන්නට ලැබුණු ලංකාව වැනි එවකට තෙවන ලෝකය ලෙස හැඳින්වුණු රටවල ජනතාවටද මෙයින් නරකක් වුණේ නැත. ලංකාවේ සරසවියක තමන්ට අවශ්‍ය  පාඨමාලාවකට ඇතුලත්වීමේ සුදුසුකම් නොලැබූ හෝ කිසිම පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ බොහෝ දෙනෙකුට මේ ශිෂ්‍යත්ව නිසා විකල්ප අවස්ථාවක් ලැබුණු අතර ඒ හරහා බොහෝ දෙනෙකුට ජීවිත සාර්ථක කරගන්නට ලැබුණේය. සෝවියට් රජයේ අරමුණ කුමක් වුවත්, ශිෂ්‍යත්වලාභීන් නොවූ, අඩු මිලට රුසියන් පරිවර්තන පොත් කියවන්නට මෙන්ම ඇතැම් ප්‍රකාශන නොමිලේම ගෙන්වා ගන්නට ඉඩ ලැබුණු, මා වැනි බොහෝ දෙනෙකුටද හොඳක් මිස නරකක් වුණේ නැත.

සෝවියට් ශිෂ්‍යත්ව වල වියදම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු මුදලින් අඩු කරගත්තේනම් එම බරෙන් කොටසක් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් මතත් වැටෙන්නට ඇති නමුත් මෙම ශිෂ්‍යත්ව හරහා එම රටවලට ලැබුණු වාසිය ඊට වඩා වැඩි විය යුතුය. එසේනම්, සෝවියට් ශිෂ්‍යත්ව වලින් එම ශිෂ්‍යත්ව පිරිනැමූ සෝවියට් රජයට මෙන්ම ශිෂ්‍යත්ව ලැබූ තුන්වන ලෝකයේ රටවලටද ශුද්ධ අලාභයක් සිදු වී නොමැත.

එසේනම්, මේ ශිෂ්‍යත්ව වල වියදම ඇත්තටම වැටී ඇත්තේ එමඟින් කිසිදු වාසියක් නොලබමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු කෝටා මුදල වැඩි කරගත් පළමුවන ලෝකයේ රටවල කරපිටද?


(Image: http://www.cnn.com/WORLD/9707/26/russia.university/link.university.jpg)

40 comments:

  1. ඇත්තටම අනිත් රටවල කෝටා එක වැඩි වුනාද ? ඒ ඒ රටවල් ගෙවිය යුතු නිශ්චිත කෝටා එක තීරණය වුනායින් පස්සේ වෙන්න ඇති නේද් සෝවියට දේශය කියන්න ඇත්තේ අපි මේකෙන් ශිෂ්‍යත්ව වලට යන ගාන කපලා ගෙවනවා කියලා.. එහෙම කිව්වා කියලා අනිත් රටවල් තමන්ගේ කෝටා එක වැඩි කරගනීද ?

    කොහෝ වුනත් සෝවියට් දේශය කරපු වැඩේ හොඳයි..එහෙම නොවුනනම් අපි සමහර විට ‍තෝල්ස්‍තෝයිලා, ගොගොල්ලා, පුෂ්කින්ලා ගැන දැන ගන්න විසි එක්වන සියවස වෙනකම්ම ඉන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. උදාහරණයක් ලෙස හිතන්න UN එකේ වියදම ඩොලර් 100යි, USSR කෝටා එක 10%යි, USA 25%යි, UK 10%යි, අනෙක් රටවල් 55%යි කියලා. දැන් USSR ඩොලර් 10 නොගෙවා 5ක් ගෙවනවා. අනෙක් රටවල් නියම ගණන ගෙවනවා. දැන් එකතුවෙන්නේ ඩොලර් 95යි. UN වියදම් අඩු නොවුනොත් අඩු ඩොලර් 5 බෙදී යන්නේ එක් එක් රටේ කෝටා එක අනුවයි. USA වලට මුලින් ඇස්තමේන්තු කළ වියදමෙන් 25% වන $ 25ත්, අඩු $5 න් 25% වන $1.25කුත් ගෙවන්න වෙනවා. එකතුව 25%ට වැඩියි. අනෙක් රටවලටත් එහෙමයි. UN එක වියදම අඩු කළත් USA ගෙවූ ප්‍රතිශතය (25/95) 25%ට වඩා නිකම්ම වැඩි වෙලා. කෝටා එක වැඩි කරන්න අනෙක් රටවල් කැමති නොවුනත් වක්‍රව වෙන්නේ එයයි.

      Delete
    2. එක්සත් ජාතීන් වැඩ කරන්නේ සමාගමක් ලෙස නොව සංවර්ධන සමිතියක ආකාරයෙන් නම් මෙහෙමත් වෙන්න පුළුවනි, සංවර්ධන සැලැස්මේ කියනවා තෙවැනි ලොව රටවල සිසුන්ට ශිෂත්ව n ප්‍රමාණයක් ලබාදීමට, සොවියට් දේශය පැනලා බාරගන්නවා එම ප්‍රමාණයෙන් ලොකුම කුට්ටිය, ඒ සඳහා සියළු බරපැන සෝවියට් දේශය දරණ නිසා අනෙකුත් සාමාජික රටවලට ඇත්තේ සැලැස්මේ ඉතිරි කාර්යයන්ගේ බරපැණ බෙදාගැනීමයි, පාසැල් සංවර්ධන සමිති, මරණාධාර සමිති, දන්සැල්, දාන මාන, වැනි ස්වෙච්ඡා ව්‍යාපාර වල බෝහෝවිට සිදුවන්නේ එයයයි (දානෙට යෝගට් 100ක් මගෙන්,හෝ මම පාසලට ගේට්ටුවක් හදා දෙන්නම් වැනි ඇතොත් ‍හොඳ නැතුවත් අවුලක් නැති දේ) එහිදී බරපැණ දරණ සාමාජිකයන් තමන් වඩාත් ප්‍රිය සහ පහසු දේ ලබාදෙන නමුත් ප්‍රතිලාබ බුක්ති විඳින්නන්හට තමුන් වඩාත් ප්‍රිය කරන දේ ලබාගැනිමට අවශ්තාව අහිමිවිය හැකියි.

      Delete
    3. ඇණයා, අපි හිතමු මෙය වුණේ ඔබ කියන විදිහටයි කියලා. එහෙමනම් ඇත්තටම මේවා සෝවියට් ශිෂ්‍යත්ව නෙමෙයි UN ශිෂ්‍යත්ව. සෝවියට් දේශය විසින් කරල තියෙන්නේ තුන්වන ලෝකයේ රටවල සිසුන්ගේ අධ්‍යාපනය ඉහළ දැමීමේ UN ව්‍යාපෘතියේ කොටසක් ක්‍රියාත්මක කිරීම පමණයි. එහි වියදමින් සෝවියට් දේශයේ වියදම වී ඇත්තේ ඔවුන්ගේ UN කෝටා ප්‍රතිශතය පමණයි. වැඩි වියදමක් දරා ඇත්තේ වැඩි කෝටා ප්‍රතිශතයක් තිබුණු රටවල්. ඒ අතරම ඔවුන්ගේ සංස්කෘතිය හා සමාජ-දේශපාලන ක්‍රමය ව්‍යාප්ත කිරීම ඔවුන් අමතර වියදමක් නැතුව කරගෙන තියෙනවා.

      ඇත්තටම මෙය මෙලෙසම සිදුවුණාද කියන එක මට ස්ථිර නැහැ. ඇතැම් විට සිදුවුණේ වඩා සංකීර්ණ දෙයක් වෙන්න ඇති. සිදුවුණේ රුවන් සහ අජිත් (හා ඔබ) විසින් ලියා ඇති දෙයනම් එයින් ගම්‍ය වන්නේ මෙයයි. මෙසේ අමතර වියදමක් නොදැරුවාට අමතරව රුවන් විසින් ලියා ඇති පරිදි මේ (රජය හරහා ලබාදුන්) ශිෂ්‍යත්ව වෙනුවෙන් කියා සෝවියට් වැසියන්ගෙන් සෘජුව හෝ වක්‍ර ලෙස කොපෙක් එක බැගින් අය කරගත්තනම් ඔවුන්වත් යම් තරමකින් රවටලා වෙන්නත් පුළුවන්. ඇතැම් විට ඒ මුදල් වැය කරන්න ඇත්තේ මිත්‍රත්ව සංගම් හරහා ලබාදුන් ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන්න ඇති.

      Delete
    4. ඉකොන් ඔන්න ඔය කටහ්ව් කියන්න ගිහින් තමා මම බැනුම් ඇහුවේ. අර ජවිපෙ සමාජිකය මම සෝවියට් දේශයට අකෘතන්ඥ වුවා කියා. ම රජයේ ශිෂ්‍යත්වයක් ලබා ගිය කෙනෙක්. එය UN එකට සම්බන්ධ බව කිවේ රුස්සෙක්මයි. මා ඊයේ සොයා බැලුවා. ඉහත ඇණයා කියා ඇති ආකාරයටම UNDP එකෙන් ශිෂ්‍යත්ව දෙන බව දන ගන්නට ලැබුණා . ශ්‍රී ලංකාවත් UNDP එකට ශිෂ්‍යත්ව දෙක තුනක් දෙන බවත් බංගලා දේශ නේපාල අය ශ්‍රී ලනක්වේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න බවත් දැන ගන්නට ලැබුන. නමුත් ලංකාවට එසේ එන අය අඩු බවත් දැන ගන්නට ලැබුණ. මා මගේ පොස්ට් එකේ දැමු මේ ලිපියේ ඇමෙරිකාව 1987 ඩොලර් මිලියන් 400 UN එකට ණය බවත සෝවියට් දේශය මිලියන් 197 ණය බවත් දැන ගන්නට ලැබුණා.
      http://www.nytimes.com/1987/10/16/world/soviet-in-switch-says-it-is-paying-un-all-it-owes.html?pagewanted=all

      Delete
  2. මෙව්වා නම් මහා මෝඩ තර්ක................
    ඔවා හොදයි ආශ්චර්යට , යහපාලනෙට, වොක්ස්වැගන් වලට ඵහෙම රැවටෙන බුද්දිනත් ජනතාවට..............
    ඵක්සත් ජාතීන්ගේ සන්විදානය කියන්නේ අසාර්තක ආයතනයක්.............
    හරියට පැරනි ජාතීන්ගේ සන්විදානය වගේමයි..............

    නැවත ලෝක යුද්දයක් ඇතිවීම වැලැක්වීමේ අරමුණින් බිහිවුනාට ඵය කිසිම යුද්දයක් වැලක්වීමට සමත් වී නෑ..............

    ඵ.ජා.ස යනු සුදු අලියෙක් කියන ඵකයි පිලිගැනීම................

    විශේශයෙන් තුන්වන ලෝකයේ රටවල දුප්පත්කම නූගත්කම නැතිකිරීමට ඵ.ජා.ස කරපු මගුලක් නැති තරම්..............

    ලෝක මට්ටමේ සන්ඛ්‍යා ලේඛන අරන් බලන්න...............

    නූගත්කමේ, දුප්පත්කමේ, යුද්දයේ ප්‍රමානය අඩු වී නෑ වැඩි වීමක් මිසක්................

    රටකින් අද්‍යාපනය සදහා කියලා මහ ලොකු ගානක් ඵක්සත්ජාතීන්ගේ සන්විදානයට වැයකරන්නේ නෑ............

    ඔය අසාර්තක සන්විදානයට සල්ලි පොම්පකරනවාට වඩා ලුමුම්බා විශ්ව විද්‍යාලය වගේ විශ්ව විද්‍යාල හඩන ඵක ඉතාම සාර්තකයි..............

    මොකද ඵ්වායින් සිසුන්ට කෙලින්ම අද්‍යාපනය සහ පහසුකම් ලබෙනවා..................

    ඵක්සාත් ජාතීන්ගේ සන්විදානයට දෙන මුදල් නම් අපරාදයක්..................අන්තර්ජාතික කඉවාරුකරුවන්ට සැප විදීම සදහා ස්පොන්සර් කිරීමක් පමනයි..................

    අනික රුසියාවේ මේ වැඩෙන් ලන්කාවට වැඩිපුර ගෙවන්න උනා කියන ඵක අමු බොරුවක්..............ඵහෙම කිසිම වැඩිවීමක් උනේ නෑ............ඵජා ස වෙනුවෙන් ලoකාව වැනි රටවල් ගෙවන්නේ සොච්චම් නාමික මුදලක් විතරයි......................

    කොහොමත් සමාජවාදී රටවල අද්‍යාපන ක්‍රමය ඉතාම ශක්තිමත්.ඔවුන් තම රටේ ජාතික ආදායමෙන් ඉතා වැඩි කොටසක් අද්යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවා..........

    වියයුත්තේ ඵයයි..................


    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතින් ගේ සංවිධානයට මුදල් ගෙවනවාට වඩා ශිෂ්‍යත්ව දීම ඒ අවස්ථාවේ ගත හොඳ තීරණයක් ලෙස මාත් දකිනවා. ඇමෙරිකාව පවා ඒ සංවිධානය විවේචනය් කරලා තිබෙනවා. 2004 සුනාමියේදී ලංකාවේ හැසිරුණ හැටි දැක්කද?

      Delete
    2. //එක්සත් ජාතින් ගේ සංවිධානයට මුදල් ගෙවනවාට වඩා ශිෂ්‍යත්ව දීම ඒ අවස්ථාවේ ගත හොඳ තීරණයක් ලෙස මාත් දකිනවා. ඇමෙරිකාව පවා ඒ සංවිධානය විවේචනය් කරලා තිබෙනවා.//
      අජිත්, උඩ කමෙන්ට් එකේ ඇනෝ ඔහුගේ හෝ ඇයගේ අදහස් ලියා තිබුණත් ඒ ලියා ඇති දේවල් කියන්නේ කවර පදමකින්ද කියා කියා නැති නිසා මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මා ලියා ඇති කරුණු වල පදනම මගේ ලිපියේ බොහෝ දුරට තියෙනවා.

      ඔබේ ඉහත කමෙන්ට් එකත් ඇනෝ කමෙන්ටුවේ පහත කොටසුත් ගැන පමණක් අදහසක් දක්වන්නම්.

      //ඔය අසාර්තක සන්විදානයට සල්ලි පොම්පකරනවාට වඩා ලුමුම්බා විශ්ව විද්‍යාලය වගේ විශ්ව විද්‍යාල හඩන ඵක ඉතාම සාර්තකයි//

      මේ තීරණය සෝවියට් දේශයට ඒ කාලයේ ගත හැකිව තිබුණු තීරණයක්. නමුත්, එදා සිට අද දක්වාම සෝවියට් දේශය ඇතුළු හැම රටක්ම මේ ජාත්‍යන්තර සංවිධාන තුළ තමන්ගේ කෝටා එක වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට සටන් කර නැහැ. මේ සංවිධාන නඩත්තු කිරීම තේරුමක් නැති දෙයක් කියා හිතනවානම් ඕනෑම රටකට ස්වේච්ඡාවෙන් එම සංවිධාන වලින් ඉවත් විය හැකිව තිබුණා. නමුත්, ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර 'ටෝක් දෙන තරමට' එවැන්නක් ඇත්තටම සිදු වුණේ නැහැ.

      යම් රටක කෝටා එක කියන්නේ එම රටේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්ද බලයේ (තීරණ වලට බලපෑමක් කිරීමට තිබුණු හැකියාවේ) ප්‍රමාණය. කෝටා එක වැඩියි කියන්නේ ලෝකය මත තමන්ගේ ආධිපත්‍යය පැතිරවීමේ හැකියාව වැඩියි. හරියටම ප්‍රමාණය දන්නේ නැති වුවත් ඒ කාලයේ සෝවියට් දේශයට දැනට වඩා විශාල කෝටා එකක් වගේම නිශේධ බලයත් තිබුණා. ෆොර්මියුලා එක අනුව ඇමරිකාවට ලැබිය යුතු කෝටා එක 25%ට වැඩි වුණත් එක් රටක කෝටා එක 25%කට නොවැඩි වල ලෙස සීමා කර තිබුණු නිසා ඇමරිකාවට ලැබුණු කෝටා එක 25%යි (දැන් 22%යි). මේ උපරිම සීමාවට යටත්ව වුවත් ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විශාල බලයක් තිබුණා. හැබැයි පැරණි සෝවියට් දේශය බිඳෙන තුරුම ඇමරිකාව ප්‍රමුඛ එවක පළමු ලෝකයේ රටවල් සමඟ කරට කර සිටිය හැකි බලයක් සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබුණා. මේ බල තුලනය නිසා ඉතා කුඩා කෝටා තිබුණු එවක තෙවන ලෝකයේ රටවල් ලෙස හැඳින්වුණු රටවලටත් අර මෑතකදී එළි දැක්වුණු වචනයක් වන "රිමෝට් කන්ට්‍රෝල්" ආකාරයේ බලයක් තිබුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනය තීරණය වුණේ මේ ප්‍රධාන බල කඳවුරු දෙක විසින් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ගන්නා උත්සාහයන් හා උපක්‍රමශීලී වූ තෙවන ලෝකයේ රටවල් (නොබැඳි සංවිධානයේ රවවල් වැනි) දෙපැත්ත සමතුලනය කරමින් වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයන් අතරේයි.

      මේ කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ගැණුනු ඇතැම් තීරණ ප්‍රධාන කණ්ඩායම් දෙකේම ඒකමතික අනුමැතියට යටත් වුණේ නැහැ. ඇතැම් විට ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් ගන්නා තීරණ වලට සෝවියට් කඳවුර විරුද්ධව සිටියදී වැඩි කැමැත්තට එවැනි තීරණ ක්‍රියාත්මක වුණා. ඇතැම් විට එහි අනිත් පැත්ත වුණා. මෙවැනි අවස්ථා වල විරෝධය දැක්වීමක් ලෙස ඇතැම් විට ඇමරිකාවත්, තවත් අවස්ථා වල සෝවියට් දේශයත් කළ දෙයක් වුනේ එම රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු කෝටා මුදල් නොගෙවා සිටීම. එහෙත් මේ හැමවිටකම වගේ ටික කලක් විරෝධය පෙන්වීමෙන් පසුව මේ රටවල් දෙකම කළේ සියළු පැරණි හිඟ මුදල් ගෙවා දැමීමයි. කලින් කලට ඇමරිකාව වගේම සෝවියට් දේශයත් මේ සංවිධාන විවේචනය කළේ මෙසේ තමන්ගේ දේශපාලනික අරමුණු එම සංවිධාන හරහා ක්‍රියාත්මක කරගැනීම අපහසු වන විටයි.

      (අවසන් නැත.)

      Delete
    3. //නැවත ලෝක යුද්දයක් ඇතිවීම වැලැක්වීමේ අරමුණින් බිහිවුනාට ඵය කිසිම යුද්දයක් වැලක්වීමට සමත් වී නෑ//
      මෙය මම ඉහත කමෙන්ට් එක දැමූ ඇනෝට හෝ අජිත්ට ඉලක්ක කර ලියන පිළිතුරක් නෙමෙයි. ඒ දෙදෙනා ඇතුළු කියවන සියල්ලන් වෙනුවෙන් මගේ අදහස් ලියා දැක්වීමක්. මේවා මගේ අදහස් නිසා එකඟ නොවන කෙනෙක් සමඟ වාද කරන්න මට අවශ්‍ය නැහැ.එහෙත් සාකච්ඡාවට විවෘතයි.

      මම අජිත්ව විශේෂයෙන් සඳහන් කළේ අජිත් මෙවැනි දේ ගැන විශේෂ උනන්දුවක් දක්වන හා ලියන නිසා. දෙවන ලෝක යුද්ධයට පෙර හා පසුව ඇති වුනු යුද්ධ වල ආකෘතිමය වෙනසක් තියෙනවා. පෙර යුගයේ ඇති වූ යුද්ධ ගැන හදාරා ඇති අයෙක් දන්නවා, ඒ කාලයේ යුද්ධ ඇති වුනේ කොහොමද කියලා. තමන් සතුව යුද්ධ ශක්තිය ඇත්නම් සාධාරණ හේතුවක් ඇතුව හෝ නැතුව වෙනත් රටක් ආක්‍රමනය කර තමන්ගේ රටට ඈඳා ගැනීම ඒ යුගයේ සාමාන්‍ය දෙයක්. මේ දෙවන ලෝක යුද්ධය දක්වා මෙවැනි සිදුවීම් යුරෝපයේ නිතර සිදු වුණා (මේ කාලය දක්වාම වගේ 'ලෝකය' ලෙස හඳුන්වන්නේ යුරෝපයනේ. ඒක වෙනම කතාවක්!) මම හිතන හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ව්‍යුහය නිසා මේ තත්ත්වය වෙනස් වුණා. ඉන් පසුව දෙවන ලෝක යුද්ධය වැනි 'ෆුල් ස්කේල්' යුද්ධයක් ලෝකයේ ඇති වී නැහැ. එවැන්නක් ඇති වුනානම් තිබුණු ආයුධ කන්දරාව එක්ක එය මානව ශිෂ්ඨාචාරයේ අවසානය විය හැකිව තිබුණා. මේ ලෝක සංවිධාන නිසා බටහිර හා සමාජවාදී කඳවුරු අතර කොයිතරම් විරසක තිබුණත් ඒවා මුහුණට මුහුණ හමුවී කතාකරන්න කිසියම් ඉඩකඩක් ඉතිරි වුණා. එම සංවිධාන වලින් මහා ලොකු දෙයක් වී නැතත් (මේ ගැන පසුව කතා කරන්නම්!) මම හිතන විදිහට එවැනි දැවැන්ත විනාශයක් සිදු නොවීමම වුනත් විශාල ජයග්‍රහණයක්.

      සියල්ලන්ම සමාන 'පොලිටිකලි කරෙක්ට්' සමාජයක් කියන එක ස්වභාවික දෙයක් නෙවෙයි. අමාරුවෙන් පවත්වාගත යුතු දෙයක්. ස්වභාව ධර්මයේ නීතිය වන්නේ වැඩි ශක්තියක් ඇති තැන වැඩි බලයක් තිබීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදුවා කියා මිනිස්සුන්ගේ තියෙන මේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. යුද්ධ, මැදිහත්වීම් වලට අකැමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි තැන්වල ප්‍රසිද්ධියේ කියමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර වගේම සෝවියට් කඳවුරත් කළේ රහස් ඔත්තු සේවා ආදිය හරහා තමන්ගේ බල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමයි. දැන් අර පෙර යුගයේ මෙන් කතා කරන්න ප්‍රශ්නයක් නැති නිසා (කිසිදු පාර්ශවයක් තමන් රහසින් කරන දේ පිළි නොගන්නා නිසා) එක්සත් ජාතීන්ගේ සාකච්ඡා මේසයට ගෙන විසඳා ගත හැකි ප්‍රශ්නයක් නැහැ. නමුත්, ප්‍රශ්න සැඟවී තිබෙනවා. ඒ ප්‍රශ්න උඩට මතු වූ විට යුද්ධ ඇති වෙනවා. නමුත්, බොහෝ විට මේ යුද්ධ වල ගොදුරු වෙන්නේ බටහිර හෝ සෝවියට් කඳවුරේ ප්‍රධාන රටවල් වෙනුවට පැත්තක සිටින රටවල්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලනයේ ඇතිවූ මේ වෙනස පැහැදිලිවම සිදුවිය හැකිව තිබුණු හොඳම දෙය නොවෙයි. නමුත්, ඒ හේතුවෙන් ජාත්‍යන්තර සංවිධාන වලින් කිසිදු වැඩක් සිදු නොවූ බව කියන්න බැහැ.

      (අවසන් නැත.)

      Delete
    4. පසුගිය සියවසේ අවසන් කාලය වන විට ත්‍රස්තවාදී සංවිධාන විශාල ලෙස කරලියට එන්නෙත්, අදවන විට ලෝකයේ ඇති වන යුද්ධ හැම එකකම වාගේ එක පැත්තක ත්‍රස්තවාදී සංවිධානයක් ගෑවී ඉන්නෙත් මේ ලෝක සංවිධාන ව්‍යුහය තවමත් සක්‍රිය ලෙස ක්‍රියාත්මක වී පවතින නිසයි. ගැටුම සිදුවන්නේ රාජ්‍ය දෙකක් අතරනම් මේ ජාත්‍යන්තර සංවිධාන වලට මැදිහත් වීමක් කළ හැකියි. එහෙත් එක පැත්තක ඉන්නේ මුහුණ වසාගත් කෙනෙක් වූ විට එවැන්නක් කිරීමේ හැකියාවක් නැහැ. ඇතැම් විට වෙන්නේ එක් පාර්ශ්වයකට පමණක් (මුහුණ වසා නොගත් පාර්ශ්වය වන රජයට) බලපෑම් කිරීමයි.

      දෙවන ලෝක යුද්ධයට පෙර පැවති රාජ්‍ය අතර යුද්ධ වලට වඩා වත්මන් යථාර්තය වන රාජ්‍ය හා වෙනත් නිල බලයක් නැති සංවිධාන අතර ඇතිවන යුද්ධ හොඳද නරකද කියන එක කියන්න අමාරු දෙයක්. යුද්ධයක එක් පාර්ශ්වකරුවෙක් නිල බලයක් නැති, කිසිවකුට වග නොකියන සංවිධානයක් වූ විට ඔවුන්ට ලෝක සම්මත සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කෲර ලෙස හැසිරෙන්න පුළුවන්. අනෙක් අතට යුද්ධ සිදුවන්නේ නිල රාජ්‍ය අතර වූ විට මිනිස් සම්පත් ඇතුළු සම්පත් යුද්ධ වෙනුවෙන් යොදාගන්න වගේම වඩා විනාශකාරී ආයුධ හදන්න රාජ්‍ය වලට නීත්‍යනුකුලවම ඉඩක් ලැබෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික අදහසනම් අද පවතින යුද්ධ කොයිතරම් විනාශකාරී හා කෲර වුනත් රාජ්‍ය අතර සිදුවිය හැකිව තිබුණු යුද්ධ වලට වඩා අඩුවෙන් විනාශකාරී බවයි.

      මෙයට අදාළ තවත් ලිවිය යුතු කරුණක් තියෙනවා. එය පසුව ලියන්නම්.

      Delete
    5. ඔබගේ මේ අදහස් සමග මම යම් තාක් දුරට එකඟයි. ඒ කියන්නේ තවත් මහා යුද්ධයක් ඇති නොවීම. නමුත් කුඩා යුද්ධ හා ඇමෙරිකාවේ හෙජමොනිය නැවැත්වීමට ඔවුන්ට හැකිවී නැහැ.
      //අජිත් හා රුවන් කියා ඇති කරුණ නිවැරදිනම් ඒ කාලයේ සෝවියට් දේශය විසින් කර ඇත්තේ ඔවුන් ලබා දුන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වල වියදම ඔවුන් විසින් ගෙවිය යුතුව තිබුණු ඉහත වියදමෙන් අඩුකරගැනීමයි. මේ අනුව, මෙම ශිෂ්‍යත්ව සඳහා සෝවියට් දේශයට අමතර වියදමක් දරන්නට සිදු වී නොමැත!// කොටසකට පමණක්. කොමියුනිස්ට් පක්ෂයට, ඇණයා වැනි අය පැමිණි, මිත්‍ර සංගමය ආදියේ වියදම් ඔවුන් දැරුවේ. තවත් යමක් ලියන්න තියනවා. හවසට නැවත එන්නම්.

      Delete
    6. //මේ ලෝක සංවිධාන නිසා බටහිර හා සමාජවාදී කඳවුරු අතර කොයිතරම් විරසක තිබුණත් ඒවා මුහුණට මුහුණ හමුවී කතාකරන්න කිසියම් ඉඩකඩක් ඉතිරි වුණා. // මෙයද වැදගත් අදහසක්. සාමකාමී සහජීවනය කියල ඒ දවස්වල හැඳින්වුයේ මෙයයි. මම මේ ගැන විශේෂයෙන් ලියන්නේ සෝවියට් සමාජවාදය ඒ තැන දක්වා පැමිණියේ කොහොමද කියා සොයා බලන්න. සෝවියට් දේශය UNDP ශිෂ්‍යත්ව දුන්නේ එයින් ඩොලර් ඉතිරි කර ගැනීමට වගේම සංවර්ධනය වෙන රටවලට උදව්වක් වශයෙනුයි. මේ නිසා සුපිරි රටවලට වැඩිපුර ගෙවනං වුණා කියා මා සිතන්නේ නැහැ. නමුත් ඇමෙරිකාව හම වීමට කොක්කක් දැම්මා සෝවියට් දේශය අඩුවෙන් ගෙව්වා කියල. නමුත් ඔවුන් බ්‍රිතාන්‍යයට වඩා ගෙව්වා. අනික් වානේ කම්හල ආදිය හැදුවේ සම්පුර්ණයෙන්ම නොමිලේ. නමුත් පසු කලෙක සෝවියට් මිනිසුන් ම ඒවා විවේචනය කලා.

      Delete
    7. තවත් දෙයක් මට මතකයි. ඔය UN කතාව කියල මම වරක් ඇහුව ඇයි අපට මාක්ස්වාදය උගන්වන්නේ කියල. කරිකයුලම් එකට තියෙන නිසාය කිව්වා. මම නිතරම පක්ෂ ඉතිහාසය, දර්ශනවාදය උගන්වන ගුරුවරුන් එක්ක වාද කරන නිසා ඔවුන් මම හරි උත්තර දුන්නත් ලකුණු අඩුකරන අවස්ථා තිබුන. (ගණිත , විද්‍යා හා උපාධියේ විෂයන්ට නොවේ.) සෝවියට් එකොනොමි එක උගන්වන ඒවා වල වාද කලා. ඔය අතරේ ඒ දර්ශනවාදය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය කට පාඩම් කරලා ගියහම විභාගේ පාස් කලා. කොමියුනිස්ට් පක්ෂයට පක්ෂයි කියල හිතුන අයටත් එහෙමයි. ඔය තත්වය ගැන මට මාර කලකිරීමක් තිබ්බ. යුරෝපයෙන් පැමිණි අනිත් නිදහස් ව හිතන සිසුන්ටත් තිබ්බ. විජේවීර වුනත් අවසානයේ වෙනස් අදහසකින් නේ ගියේ. පසන් කොඩිකාරත් විවේචනාත්මකව කතා කලා කියල තමා දන්නේ. ටියුඩර් වීරසිංහ බොහොමයක්ම තිබුන සිස්ටම් එකට අනුගතව හිටියේ. අපි ඒ සිස්ටම් එකට ආදරේ කල බව ඇත්ත. නමුත් කොමියුනිස්ට් බලාධිකාරය හා එහි නියෝජිත ගුරුවරු මට ඇල්ලුවේ නැහැ. අවසන් වසරේ දර්ශනවාදය හා විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය ඉගැන්වූ ගුරුවරයා පමණක් ඉතා හොදින් ම සමග කථා කලා. බලාගෙන යනකොට ඔහු පක්ෂ සමජිකත්වයනුත් අයින් වෙලා. රට වැටෙන්න යනවය කියන හැඟීම ඔහුට ඇවිල්ල තිබුනේ. ඒ 1990 විතර.

      Delete
    8. //නමුත් කුඩා යුද්ධ හා ඇමෙරිකාවේ හෙජමොනිය නැවැත්වීමට ඔවුන්ට හැකිවී නැහැ.//
      මේ කියන නිරීක්ෂණ දෙක ගැන එකඟයි. නමුත්, මේ කරුණු දෙකෙන් ජාත්‍යන්තර සංවිධාන වල අසාර්ථකත්වය ගම්‍ය වෙනවා කියල මම හිතන්නේ නැහැ. මේ කුඩා යුද්ධ ගැන මම හිතන්නේ මහා පරිමාණ යුද්ධ සිදු නොවීමේ යාන්ත්‍රණයේ කොටසක් ලෙස වරින් වර කුඩා යුද්ධ ඇති වුණු බවයි. හරියට පවුලක අඹු සැමියන් අතර ඉඳහිට ඇති වන ආරවුල් (දිනපතා සිදුවන ගුටි ඇනගැනීම් නෙමෙයි) දිගුකාලීන සම්බන්ධතාවය පවත්වාගන්න කිසියම් උදවුවක් කරනවා වගේ. මේ පොඩි ආරවුල් වලින් තමන්ගේ සීමාවන්, නොකළ යුතු දේ ගැන ප්‍රධාන පාර්ශ්වයන්ට වරින්වර ගැඹුරින් සිතා අවබෝධ කරගන්න ඉඩක් ලැබෙනවා. 'සීමාව ඉක්මවන' සමහර හදිසි තීරණ ගත් විට නැවත ආපසු හැරෙන්න බැහැ. දෙවන ලෝක යුද්ධය අවසන් වූ තැන් සිට සෝවියට් දේශය බිඳ වැටීම දක්වා කාලය තුළ වාර ගණනක්ම මෙවැනි 'කුඩා යුද්ධ' තුන්වන ලෝක යුද්ධයක් කිට්ටුවට ගියත් එවැන්නක් සිදුවුනේ නැහැ. ඒ කාලය තුළ ඇමරිකාවෙන් හෝ සෝවියට් දේශයන් අනෙක් පාර්ශ්වයට ඉතා සුළු හෝ සෘජු යුදමය තර්ජනයක් (පර්ල් වරාය පහරදීම වගේ) වුනානම් 'ඇමරිකන් අභිමානය' හෝ 'සෝවියට් දේශප්‍රේමය' ඉස්මතු වී කකුල නැවත පස්සට ගන්න අමාරු වෙනවා. නමුත්, සෝවියට් හෝ ඇමරිකන් ආධාර ලැබූ වෙනත් පොඩි රටකදී අනෙක් පාර්ශ්වයට වක්‍ර ලෙස කෙනිත්තීමක් කළ විට මහා පරිමාණ යුද්ධයකට යාමේ අන්තිම පියවර නොගෙන තවත් ටිකක් කල් ඇදගන්න ඉඩක් ලැබෙනවා. අනෙක් අතට එවැනි පොඩි යුද්ධ සිදු නොවුණානම් එක් පාර්ශ්වයකට තමන්ගේ යුධ ශක්තිය අනෙක් පාර්ශ්වයට පෙන්වන්න ඉඩ නොලැබෙන නිසා සතුරාගේ බලය අවතක්සේරු කිරීම තුළින් (ජර්මනිය සෝවියට් දේශය ගැන හිතුවා වගේ) ආක්‍රමණයක් සිදුවී එය මහා පරිමාණ යුද්ධයක් වෙන්නත් තිබුණා. මේ පොඩි යුද්ධ හරහා තමයි බලතුලනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ. උදාහරණයක් ලෙස ඇමරිකාව එක් පාර්ශ්වයකට කිසියම් ආයුධයක් සපයන විට සෝවියට් දේශය අනෙක් පාර්ශ්වයට එයට මුහුණ දිය හැකි ආයුධයක් සපයනවා. මම මේ 'පොඩි යුද්ධ' අනුමත කරනවා හෝ ඒ යුද්ධ වලින් සිදුවූ හානි අවතක්සේරු කරනවා නෙමෙයි. නමුත් මේ පොඩි යුද්ධ වලින් තමයි බලතුලනය සිදුවී හැමවිටම වගේ ප්‍රධාන පාර්ශ්ව අතර සාකච්ඡා වලට පසුබිම හැදුණේ.

      ඇමෙරිකාවේ හෙජමොනිය ගැන කතා කරනවානම්, ලෝක සංවිධානයක් හැදුවා කියලා ඇමෙරිකාවේ හෙජමොනිය හෝ සමස්තයක් ලෙස ලෝක දේශපාලන බලය රටවල් අතර බෙදී ඇති සංයුතිය වෙනස් කරන්න බැහැ. ලෝක සංවිධානයක් තුළ හැම විටම වාගේ ලෝකයේ පවතින සැබෑ තත්ත්වය පිළිබිඹු විය යුතුයි. එසේ නොවනවානම් සංවිධානයක් පවත්වාගෙන යන්න බැහැ. සරල උදාහරණයක් ගත්තොත් සභාග ආණ්ඩුවකට එකතු වන කිසියම් පක්ෂයක් රටතුල තියෙන තමන්ගේ දේශපාලන බලයට අනුපාතික ඇමති තනතුරු ප්‍රමාණයක් ඉල්ලීම සැලකිය හැකියි. අඩුවෙන් ලැබුණොත් එකතු වෙන්නේ නැහැ, වැඩියෙන් දුන්නොත් වෙනත් පක්ෂයකට අඩුවෙනවා. ඒ නිසා නියම සංයුතිය පැවතිය යුතුයි. ඒ නිසා මෙය ලෝක සංවිධානයක් හරහා ඉටු කර ගත හැකි අරමුණක් නෙමෙයි.

      සාමාජිකයන්ගෙන් ලැබෙන ආර්ථික හා දේශපාලන බලය හැරුණු විට තමන්ගේම වූ බලයක් නැති ලිහිල් ව්‍යුහයක් වන ලෝක සංවිධානයකට කළ හැක්කේ ඉතාම සීමිත වැඩ කොටසක් පමණයි. මම හිතන විදිහට ඒ සීමිත වැඩ කොටස වෙලා තියෙනවා.

      Delete
    9. //නමුත් ඇමෙරිකාව හම වීමට කොක්කක් දැම්මා සෝවියට් දේශය අඩුවෙන් ගෙව්වා කියල. නමුත් ඔවුන් බ්‍රිතාන්‍යයට වඩා ගෙව්වා.//
      එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කිසියම් රටකට එහි ඇති තීරණ ගැනීමේ බලය මතයි. සමාගමක වැඩි කොටස් ඇති අයෙකුට වැඩි බලයක් ලැබෙනවා වගේ. සමාගම් වල ඡන්ද විමසීම් වලදී හැම කොටස් හිමියෙක්ම සමාන ලෙස සලකන්නේ නැහැ. කොටස් 100ක් තියෙන කෙනාට කොටස් 50ක් ඇති කෙනා මෙන් දෙගුණයක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහයත්. හැම රටක්ම සමාන නැහැ. මේ කාලයේ සෝවියට් ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය හැරුණු විට ලොකුම ආර්ථිකය වෙන්න ඇති කියා මම හිතනවා (ඔවුන් පෙන්වූ ආකාරයට). මෙය බ්‍රිතාන්‍ය ආර්ථිකයට වඩා විශාලව තියෙන්න ඇති. ඒ වගේම සෝවියට් ජනගහණයත් වැඩියි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බ්‍රිතාන්‍යයට වඩා වැඩි ඡන්ද බලයක් සෝවියට් දේශයට තියෙන්න ඇති. තමන්ගේ කෝටා එකට සමානුපාතිකව ප්‍රතිලාභ ලැබීමට වගේම යුතුකම් ඉටුකිරීමටත් හැම රටක්ම බැඳී හිටියා. මොනවා හෝ නිදහසට කරුණක් කියා කණ්ඩායමක එක සාමාජිකයෙක් තමන්ගේ වගකීම් මඟ හැරිය විට එහි බර අනෙක් අයගේ පිටට වැටීම සරල දෙයක්. ඇමරිකාව කොක්ක දමද්දීත් කතාවක් හදාගෙන තමන්ගේ සාමාජික මුදල් පැහැර හැරීමට පවා සෝවියට් දේශයට හැකි වීමෙන් පෙනෙන්නේ (මේවා මෙලෙස වුනානම්) සෝවියට් දේශයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එවකට තිබී ඇති බලය සහ ඇමරිකන් හෙජමොනියේ සීමාවනුයි.

      Delete
    10. //අනික් වානේ කම්හල ආදිය හැදුවේ සම්පුර්ණයෙන්ම නොමිලේ.//
      ඇමරිකාව ඇමරිකන් හෙජමොනිය පවත්වා ගත්තෙත්, පවත්වා ගන්නෙත් "අතින් කයිට් කරගෙන" නෙමෙයි. වෙනත් රටවල ඇමරිකන් ආධිපත්‍යය පතුරන අතරම ඇමරිකාව එයින් ලාභයකුත් ලබනවා. අඩුම වශයෙන් පාඩු කරගන්නේ නැහැ. නමුත්, තෝරාගත් රටවල 'සෝවියට් හෙජමොනිය' පවත්වා ගන්න හැකිවුණේ අතින් කයිට් කරගෙනයි. ඇමරිකාවේ පාර්ශ්වකරුවන් අතර ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් ගණනාවක්ම හිටියා. සෝවියට් පාර්ශ්වකරුවන් වුණේ හැමවිටම වාගේ සෝවියට් ආර්ථිකය මත යැපුණු රටවල්. සෝවියට් දේශය බිඳවැටුණු විට මේ රටවලුත් වැටුණේ ඒ නිසයි. සෝවියට් ආර්ථිකය එහි පීක් එකේදීවත් ඇමරිකන් ආර්ථිකයෙන් අඩකට වඩා විශාල වුණේ නැහැ (සංසන්දනාත්මකව චීන ආර්ථිකය දැන් ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි හෝ සමානයි). ඒ නිසා ඇමරිකන් හෙජමොනියට එරෙහිව ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමට සෝවියට් දේශය විසින් අතින් කයිට් කරගෙන කළ උත්සාහයෙන් වුනේ සෝවියට් දේශයේ සම්පත් ක්ෂය වීම හා ආර්ථිකය ඇමරිකන් ආර්ථිකයට සාපේක්ෂව එන්න එන්නම දුර්වල වීම පමණයි.

      Delete
    11. //තවත් දෙයක් මට මතකයි. ඔය UN කතාව කියල මම වරක් ඇහුව ඇයි අපට මාක්ස්වාදය උගන්වන්නේ කියල. කරිකයුලම් එකට තියෙන නිසාය කිව්වා.//
      මෙයනම් මම වැරැද්දක් ලෙස දකින්නේ නැහැ. යම් හෙයකින් තෙවන ලෝකයේ රටවලට ශිෂ්‍යත්ව දීම UN එකේ අරමුණක් වුණානම් (එහෙමනම් ඇමරිකාවේ චෝදනාවත් වැරදියි) එය බෙදාගත් රටවලට උගන්වන්න වෙන්නේ එක් එක් රටේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුවයි. එවකට සෝවියට් දේශය විශ්වාස කළ පරිදි නිවැරදි හා සාර්ථක සමාජ-ආර්ථික-දේශපාලන ක්‍රමය වුනේ ඔවුන්ගේ ක්‍රමයයි. ඔවුන් ඒ ක්‍රමය ඉගැන්වුවා. ඒ කාලයේ සෝවියට් අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන්ට මේ ශිෂ්‍යත්වලාභීන්ට වෙනස් විදිහකට සැලකීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙය UN අරමුණක් නොවී, සාමාජික මුදල් අඩුවෙන් ගෙවීමට කළ උප්පරවැට්ටියක්නම් ඒත් වැරැද්ද වන්නේ එසේ සාමාජික වගකීම් පැහැර හැරීම මිස මාක්ස්වාදය ඉගැන්වීම නෙමෙයි. ශිෂ්‍යත්වලාභීන්ට මාක්ස්වාදය උගන්වන්න එපා කියන්න UN එකට රීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

      Delete
    12. ලිබටේරියන් අදහස වන්නේ අධ්‍යාපනය රජය මඟින් දීම වැරදි බවයි. ඔවුන්ගේ තර්කය වන්නේ එසේ කළ විට රජය විසින් උගන්වන්නේ ඔවුන්ට අවශ්‍ය දේ බව. මෙය මාක්ස්වාදය, වෙනත් බටහිර චින්තනයක් හෝ ආගමික අන්තවාදයක් විය හැකියි. මේ ලිබටේරියන් තර්කය සමඟ මම එකඟ වුවත්, අධ්‍යාපනය පෞද්ගලික කටයුත්තක් විය යුතුයි කියා නොසිතන්නේ ඔවුන්ගේ විකල්පය වන "ළමයින්ට ඉගැන්විය යුතු දේ තීරණය කළ යුත්තේ දෙමවුපියන් විසින්" කියන එක පිළිබඳව මට එතරම්වත් එකඟ වෙන්න අමාරු නිසයි. දෙමවුපියන්ට සිය දරුවන් සාර්ථක පුද්ගලයින් කිරීමේ ස්වභාවික පෙළඹුමක් තිබුණත් ඒ සඳහා එක් එක් පුද්ගලයාට ඇති හැකියාව ඔවුන් ලබා ඇති අධ්‍යාපනයට හා අනෙකුත් සාධක වලට සාපේක්ෂයි. මේ විෂමතාවය පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යනවාට වඩා කිසියම් පොදු අධ්‍යාපනයක් හරහා සමනය කිරීම හොඳ බවයි මම හිතන්නේ. මේ පොදු අධ්‍යාපනය රජය හරහා ලැබෙන දෙයක් හෝ වෙනත් ආකාරයක දෙයක් විය හැකියි. (වැඩිහිටියන් වූ පසු ලබාදෙන අධ්‍යාපනයට මෙය අදාළ නැහැ) දරුවෙකුට සාර්ථක පුද්ගලයෙක් වෙන්න වැඩිම ඉඩක් ලැබෙන්නේ පවතින සමාජ-දේශපාලන ක්‍රමයට අනුගත වූ විටයි. ඒ නිසා එක් එක් රටේ පොදු අධ්‍යාපනය තුළ එම රටේ වැඩි දෙනෙක් විශ්වාස කරන සමාජ-ආර්ථික-දේශපාලන ක්‍රමය ඉගැන්වීම වරදක් නැහැ.

      Delete
    13. ඒ ලිබටේරියන් අදහසට මම ටිකක් එකඟයි. අරුණි ශපිරෝ මේවා ගැන ලියනවා නේද?//ඇමරිකාව ඇමරිකන් හෙජමොනිය පවත්වා ගත්තෙත්, පවත්වා ගන්නෙත් "අතින් කයිට් කරගෙන" නෙමෙයි. වෙනත් රටවල ඇමරිකන් ආධිපත්‍යය පතුරන අතරම ඇමරිකාව එයින් ලාභයකුත් ලබනවා. අඩුම වශයෙන් පාඩු කරගන්නේ නැහැ. නමුත්, තෝරාගත් රටවල 'සෝවියට් හෙජමොනිය' පවත්වා ගන්න හැකිවුණේ අතින් කයිට් කරගෙනයි. ඇමරිකාවේ පාර්ශ්වකරුවන් අතර ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් ගණනාවක්ම හිටියා. සෝවියට් පාර්ශ්වකරුවන් වුණේ හැමවිටම වාගේ සෝවියට් ආර්ථිකය මත යැපුණු රටවල්. සෝවියට් දේශය බිඳවැටුණු විට මේ රටවලුත් වැටුණේ ඒ නිසයි. සෝවියට් ආර්ථිකය එහි පීක් එකේදීවත් ඇමරිකන් ආර්ථිකයෙන් අඩකට වඩා විශාල වුණේ නැහැ// ඔය අතින් කයිට් ප්‍රශ්නය අපි හිටිය අන්තිම කාලවල කතා වුණා . බොහෝ රුසියනුන්ට ඕක නැවත වන්න ඕන වෙලා තිඋන. නමුත් විදේශික ශිෂ්‍යයන්ට විරුද්ධව මතයක් තිබුනේ නැහැ. තිබුන නම් ඔවුන් අපට පෙන්නුවේ නැහැ.
      මම මාක්ස්වාදය කැමැත්තෙන් ඉගෙන ගත්තේ. මගේ අන්තිම ගුරුතුමා (දර්ශනවාදය ) ගැන ඉතා හොඳයි. ඔහු මට කතා කරන්න බොහෝ ඉඩ දී තිබුන. මගේ චෝදනාව ඒක නෙමේ. සමහර කොමියුනිස්ට් ගුරුවරු කට පාඩම් කර උත්තර දුන් අයට මිස නිදහස් ව සාකච්චා කරන අයට කැමති නොවීම. මම මාක්ස්වාදයට අපහස කරන කෙනෙකු නොව එය ඉගෙන ගත් කෙනෙක්. අදත් අපහාස කරනෙන් නැහැ. පිටුවක් දෙකක් කියවූ අය මෙන්.
      තවත් එකක් නම් ඇමෙරිකාව අද ඔය තත්වයට ආවේ. අවුරුදු 300 ක ක්‍රමික දියුණුවකින්. සෝවියට් දේශය ට වයස 70 දී ඔවුන් ඇමෙරිකාවේ දියුණුව තැනක අභිබවා ගියා . තැනක අඩුයි. එනිසා දෙවන ලෝක යුද්ධය හා සාගතයකින් පස්සේ ඒ තත්වෙට ආව කියන්නේ ලොකු දෙයක්. මිනිසුන්ට ඔයිට වැඩිය නිදහස දුන්න නම් ක්‍රමය සාර්ථක වෙන්න ඉඩ තිබුන කියල මම හැම වෙලේම හිතන දෙයක්.

      Delete
    14. //තවත් එකක් නම් ඇමෙරිකාව අද ඔය තත්වයට ආවේ. අවුරුදු 300 ක ක්‍රමික දියුණුවකින්. සෝවියට් දේශය ට වයස 70 දී ඔවුන් ඇමෙරිකාවේ දියුණුව තැනක අභිබවා ගියා . තැනක අඩුයි. එනිසා දෙවන ලෝක යුද්ධය හා සාගතයකින් පස්සේ ඒ තත්වෙට ආව කියන්නේ ලොකු දෙයක්. මිනිසුන්ට ඔයිට වැඩිය නිදහස දුන්න නම් ක්‍රමය සාර්ථක වෙන්න ඉඩ තිබුන කියල මම හැම වෙලේම හිතන දෙයක්.//
      සෝවියට් දේශය බිඳ වැටුණේ සහ අසාර්ථක වුණේ මිනිස්සුන්ට ප්‍රමාණවත් නිදහසක් නොදීම නිසා කියන එක කතාවේ එක පැත්තක් විතරයි. එය බොහෝ දුරට මතුපිටින් පෙනෙන සැබෑ ප්‍රශ්නයේ ප්‍රකාශනයක් මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. මූලික ප්‍රශ්නය වුණේ නිදහස් වෙළඳපොළ ක්‍රමයකට සාපේක්ෂව මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයේ ඇති අසාර්ථකත්වයයි. ඇමරිකාව විසින් ප්‍රවර්ධනය කළ සහ තවමත් ප්‍රවර්ධනය කරන ධනවාදී ක්‍රමය තුළ ඇමරිකාව ලාභ ගන්නවා කියන්නේ වෙනත් අයෙකු පාඩු ලබනවා කියන එක නෙමෙයි. නිදහස් වෙළඳාමේ ස්වභාවය අනුව ස්වේච්ඡා ගණුදෙනු සිදුවනවා කියන්නේ දෙපාර්ශ්වයටම කිසියම් ලාභයක් ලැබෙනවා කියන එකයි. මෙහිදී එක් එක් පාර්ශ්වය විසින් අනෙක් පාර්ශ්වයේ ලාභ තමන් වෙත ඇද ගැනීමේ උත්සාහයන් හා එහිදී ප්‍රබල පාර්ශ්වය විසින් වැඩි ලාභ ගැනීමේ ඉඩක් තිබුණත් දුබල පාර්ශ්වයටත් කිසියම් ලාභයක් ලැබෙනවා. ඒ නිසා ක්‍රමය ගැන සියළු පාර්ශ්වයන් දැනුවත්නම් එය පවත්වා ගන්න අමුතු මහන්සියක් දැරිය යුතු නැහැ. මධ්‍යගත සැලසුම් ක්‍රමය ධනවාදී නිදහස් ආර්ථික ක්‍රමයට සාපේක්ෂව අකාර්යක්ෂම ක්‍රමයක්. ඒ නිසා දිගුකාලීනව මධ්‍යගත සැලසුම් සහිත ආර්ථිකයකට නිදහස් ආර්ථිකයක් පසු හඹන්න අමාරුයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ ඇතැම් ක්ෂේත්‍ර වලට ප්‍රාග්ධනය වැඩිපුර පොම්ප කර විශාල දියුණුවක් ලැබිය හැකියි. නමුත් එහි ආවස්ථික පිරිවැය විශාලයි. වෙනත් ක්ෂේත්‍ර වලට වගේම සමස්ත ආර්ථිකයටත් එහි බලපෑම දැනෙනවා. අකාර්යක්ෂම ක්‍රමයක් පවත්වාගෙන යෑමට සහ ව්‍යාප්ත කිරීමට මානසික මෙහෙයුම් දිගින් දිගටම කරන්න වෙනවා. ඒ සඳහා සම්පත් දිගින් දිගටම යොදවන්න වෙනවා. මේ සඳහා වන පිරිවැය වලින් අවසාන වශයෙන් වුනේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර (ආර්ථිකයන්ගේ) පරතරය එන්න එන්නම වැඩි වීමයි. ඇතැම් අංශ වලට වැඩිපුර සම්පත් පොම්ප කළ 'ඇමරිකාව අභිබවන' සාර්ථකත්වයක් ලබා ගැනීම, අඩු මිලට හෝ නොමිලේ පොත් ලබා දීම වගේම ශිෂ්‍යත්ව ලබා දීමත් මෙසේ ක්‍රමය පවත්වා ගැනීම සහ/හෝ ව්‍යාප්ත කිරීම සඳහා රට තුළ හා රටින් පිටත සිදුකළ මානසික මෙහෙයුමේ කොටස්. ධනවාදී ආර්ථිකයක් සහ මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් අතර මෙවැනි වෙනසක් තියෙනවා වගේම විප්ලවයට පෙර රුසියාවේ තිබුණු වැඩවසම් ක්‍රමයට සාපේක්ෂව සෝවියට් මධ්‍යගත සැලසුම් ක්‍රමය කාර්යක්ෂමයි. ඒ නිසා විප්ලවයෙන් පසු මුල් දශක වල සෝවියට් දේශය ලැබූ ආර්ථික ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්. ඒ සඳහා රටේ තිබුණු විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයෙනුත් උදවුවක් ලැබුණා. නමුත් මේ මධ්‍යගත සැලසුම් හරහා යා හැකි සීමාවට සෝවියට් දේශය පසුකාලීනව ළඟා වුණා. බොරු සාර්ථකත්වයක් පෙන්වන්න වුණේ එයින් පසුවයි. වෙනස පැහැදිලි කිරීම සඳහා ශිෂ්‍යත්ව වලට නැවත ආවොත්, අදටත් ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරන විදේශ සිසුන් අති මහත් බහුතරයකට 'ශිෂ්‍යත්ව' ලැබෙනවා. (එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ මේ තත්ත්වය නැහැ). ශිෂ්‍යත්ව කියා කියුවත් ඇත්තටම මේවා පර්යේෂණ සහකාර තනතුරු. ශිෂ්‍යත්ව ලබා ගන්නා බොහෝ විදේශ සිසුන්ට මෙය ඉතා ලොකු මුදලක් වුවත් (මේ මුදලින් ගෙදරට මාසිකව ඩොලර් 200ක් යවන අයත් ඉන්නවා) මේ අයගෙන් ආචාර්ය උපාධිය හදාරන කාලය තුළ ලබා ගන්නා ප්‍රතිලාභ වැය කරන වියදමට වඩා වැඩියි. ඒ නිසා සෝවියට් ශිෂ්‍යත්ව වලින් මෙන් රටට බරක් නැහැ.

      Delete
    15. //මගේ චෝදනාව ඒක නෙමේ. සමහර කොමියුනිස්ට් ගුරුවරු කට පාඩම් කර උත්තර දුන් අයට මිස නිදහස් ව සාකච්චා කරන අයට කැමති නොවීම.//
      මෙය ලංකාව වැනි තෙවන ලෝකයේ රටවල වගේම ඇතැම් බටහිර රටවල පවා තිබෙන තත්ත්වයක්. ඇමරිකාවේ මේ තත්ත්වය සාපේක්ෂව අඩුයි. ඇමරිකාවේ සරසවි සිසුන් බොහෝ විට තමන්ට හරි පිළිතුර පැහැදිලි නැති බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු නොලියා ඉතුරු කරනවා. ලංකාවේ සහ අනෙක් රටවල අත්දැකීම් අනුව මෙය මට මුලින් තේරුම් ගත නොහැකි වුණු දෙයක්. (ඇමරිකාවේ ගොඩක් දේවල් තේරුම් ගන්න කලක් යනවා. ඒ අප දශක ගණනක් හිතන්න පුරුදු වී සිටින ක්‍රමයෙන් බැහැර වෙන්න අමාරු නිසා) ඇමරිකාවේදී වුවත් විදෙස් සිසුවෙකුනම් මෙවැන්නක් කරනු කවදාවත් දැක නැහැ. මෙය මට මුලදී පෙනුනේ තර්කානුකූල නොවන හැසිරීමක් ලෙසයි. නමුත් එය එසේ වන්නේ අධ්‍යාපනයේ අරමුණ විභාග සමත් වීම වූ විටයි. තමන්ගේ අතින් මුදල් වැය කර සැබෑවටම යමක් ඉගෙන ගන්න එන කෙනෙක් විභාග හරහා බලාපොරොත්තු වෙන්නේ තමන් යමක් හරියට ඉගෙනගෙන ඇති බව තහවුරු කර ගැනීමයි. අහඹු පිළිතුරක් ලකුණු කර ලකුණක් ගැනීමෙන් ඒ අරමුණ ඉටුවෙන්නේ නැහැ. ඒ වගේම ඇමරිකාවේ රැකියාවක්/ ඉහළ වැටුපක් ලැබෙන්නේ අධ්‍යාපන සහතික නිසා නොව අධ්‍යාපන සහතික වලින් පිළිබිඹු වන දැනුම හා කුසලතා නිසා බව මේ සිසුන් දන්නවා. සහතික පෙන්වා රැකියාවක් ලබාගත හැකි වුවත් අකාර්යක්ෂමනම් රැකියාව තියා ගන්න අමාරුයි. මෙය සරසවි ඇදුරන්ටත් අදාළයි. සිසුන්ගේ ඇගයීම් හොඳ නැත්නම් සරසවියක ගුරුවරයෙකු ලෙස රැඳී සිටින්න අමාරුයි (පර්යේෂණ වලින් ගොඩක් ඉදිරියෙන් සිටින අයට හැර). විදෙස් සිසුන්ගේ කෙසේ වුවත් ඇමරිකන් සිසුන්ගේ ඇගයීම් බොහෝ දුරට ඔවුන් ඇත්තටම ලබාගත් දැනුම/ කුසලතා මත තීරණය වෙනවා. ඒ නිසා කටපාඩම් කර පිළිතුරු ලියන සිසුන් හදන ගුරුවරුන් එළියට විසිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. (මේ දවස්වල කාර්යබහුල නිසා බ්ලොග් වලට එන්න වෙන්නේ අඩුවෙන්.)

      Delete
    16. //මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ ඇතැම් ක්ෂේත්‍ර වලට ප්‍රාග්ධනය වැඩිපුර පොම්ප කර විශාල දියුණුවක් ලැබිය හැකියි. නමුත් එහි ආවස්ථික පිරිවැය විශාලයි// ඔබ මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මධ්‍යගත නිසාම නොව කිසියම් ඒකාධිපති ක්‍රමයක් නිසා මේ දියුණුව ඇති වුනේ කියල මම හිතන්නේ. මධ්‍යගත හා එක පක්ෂයක පාලනය. 1939 වන විටජර්මනිය, සෝවියට් දේශය, චීනය ආදී වශයෙන් ගත්තහම. එක්තර අන්දමක ධනවාදයම තමයි. ලාභය ගියේ තනි පක්ෂයේ නිලධාරවාදයේ උන්නතිය සඳහා මෙන්ම අර ඔබ පහත සඳහන් කළ දේ කරන්න. ඉන් වුනේ ව්‍යාපාරයේ/රජයේ හෝ වේවා උන්නතිය උදෙසා නැවත ආයෝජනයක් නොමැති වීම, කාර්මික දියුණුව ඇණ හිටීම

      Delete
    17. මගේ ප්‍රධාන ක්ෂේත්‍රය ආර්ථික විද්‍යාව නිසා 'මධ්‍යගත සැලසුම්' හා 'රාජ්‍ය ඒකාධිකාරය' කියන වචන භාවිතා කරන්න මම වඩා කැමතියි. ඒකාධිපති ක්‍රමයක් කියූ විට වඩා දේශපාලනිකයි. (ඔබ ඒ වචනය යොදා ගැනීම ගැන ලොකු අවුලක් නැහැ) ඒකාධිපති ක්‍රමයක් කියන වචනයට වඩාත්ම ගැලපෙන්නේ තනි පුද්ගලයෙක් මත සියල්ල (හෝ බොහෝ දේ) තීරණය වන ක්‍රමයක්. තනි පුද්ගල ඒකාධිකාරයකට සාපේක්ෂව තනි පක්ෂයක ඒකාධිකාරයක් තරමක් හොඳයි (ප්‍රගතිශීලීයි?). හැම දෙනාගේම නොවුණත් කිසියම් පිරිසකගේ අදහස් ගැටෙන නිසා. මෙහි ඇති ප්‍රයෝගික ප්‍රශ්නය වන්නේ කල් යාමේදී මේ පක්ෂ තීරණය කියන එක පක්ෂයේ නායකයාගේ (ප්‍රසිද්ධියේ සිටින හෝ තිරය පිටුපස සිටින) හෝ සීමිත කණ්ඩායමක තීරණ බවට ඌණනය වීමයි. (සමාජවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී කියන රටවලත් අඩුවැඩි වශයෙන් මෙය වෙනවා.) මේ කරුණ හා අදාළව 'ධනවාදී' රටක් ලෙස බොහෝ දෙනා සලකන සිංගප්පූරුව සහ සෝවියට් දේශය අතර වගේම හිට්ලර් යටතේ ජර්මනියත් එක පොදු කුලකයකට වැටෙනවා. පළමු හා දෙවන ලෝක යුද්ධ අතර ජර්මනියත් හැම අතින්ම විශාල දියුණුවක් ලැබුවා. මෙය තීරණය වන්නේ ඒකාධිකාරී බලයක් ඇති පාලකයෙකුට හෝ පක්ෂයකට සුදුසු දෙයට සුදුසු කෙනා තෝරා ගැනීමට ඇති හැකියාව අනුවයි. ජර්මනිය මෙය සෑහෙන දුරකට කළා. මම හිතන විදිහට සෝවියට් දේශයත් මුල් කාලයේදී මෙය කළා. සිංගප්පූරුව තවමත් කරනවා. නමුත් මෙහි සීමාවන් තිබෙනවා. ධනවාදී ක්‍රමයක් කියන්නේ කාගෙවත් සැලසුමකින් තොරව මෙය ඉබේටම සිදුවන ක්‍රමයක්. නිශ්චිත දුර්වලතා කිහිපයක් තිබුණත් ධනවාදී ක්‍රමයක් තුල අදිසි හස්තයක් ලෙස ක්‍රියා කරන 'මිල' කියන සාධකය විසින් සියළු මානව හා ප්‍රාග්ධන සම්පත් නිෂ්පාදනය සඳහා ප්‍රසස්ථ ලෙස යොදා ගත හැකි ස්ථාන වලට ස්වයංක්‍රීය ලෙස යොමු කරනවා. ඒ නිසා අඩුවෙන් කාර්යක්ෂම වෙනත් ක්‍රමයකට ධනවාදී ක්‍රමයක් පසු හඹන්න අමාරුයි. සමහර නිෂ්පාදන ක්‍රමවේද ස්වභාවිකවම වඩා කාර්යක්ෂම ඒකාධිකාරයක් යටතේ. ඒ නිසා නිදහස් ආර්ථික ක්‍රමයක් තිබියදී වුවත් ඇතැම් නිෂ්පාදන අංශ වල ඒකාධිකාර හැදෙනවා. සෝවියට් දේශයේ රාජ්‍ය ඒකාධිකාරය යටතේ මෙවැනි නිෂ්පාදන අංශ වල ප්‍රගතියක් ඇතිවුණා economy of scale කියන සාධකය නිසා.

      //මධ්‍යගත හා එක පක්ෂයක පාලනය. 1939 වන විටජර්මනිය, සෝවියට් දේශය, චීනය ආදී වශයෙන් ගත්තහම. එක්තර අන්දමක ධනවාදයම තමයි.//ධනවාදය පිළිබඳ සමාජවාදී අර්ථදැක්වීම අනුව මෙසේ කියන්න පුළුවන්. එහෙත් ධනවාදය කියන්නේ තනි පුද්ගලයින් තමන්ට හොඳම දේ තෝරාගැනීම තුළ ස්වයංක්‍රීය ලෙස වඩාත්ම කාර්යක්ෂම ලෙස සම්පත් බෙදී යාම සිදුවන ක්‍රමයක්. එහිදී මුදල විසින් කරන්නේ වෙනත් අයකුගේ අවශ්‍යතා හඳුනාගන්න උදවුවෙන සංඥාවක් ලබා දීමයි. උඩ තියෙන ලැයිස්තුවේ රටවල වගේම ධනවාදී රටවල් කියා කියන රටවල් වැඩි ගණනකත් ධනවාදයක් හරියටම නැහැ. ලංකාවට ජේආර් විසින් හඳුන්වා දුන්නේත්, තවමත් තියෙන්නෙත් රාජ්‍යය මුල් වූ මධ්‍යගත සැලසුම් ක්‍රමයක්. සිදුවුණු වෙනස ආර්ථිකය බටහිර රටවල් වෙත වඩා විවෘත කිරීමයි. ඇතැම් අංශ වල රාජ්‍ය ඒකාධිකාරය නැති කළත් (විදුලි සංදේශ, ප්‍රවාහන වැනි) රාජ්‍යය දිගින් දිගටම ප්‍රසාරණය වුණා. බොහෝ යුරෝපීය රටවලත් රාජ්‍ය අංශය සැලකිය යුතු තරම් ලොකුයි. ශීතල යුද්ධය කාලයේ සෝවියට් දේශයට තරඟයක් ලෙස ඇමරිකාව අභ්‍යවකාශ වැඩසටහන් වලට ගියෙත් රාජ්‍ය ඒකාධිකාරය තුළ. ඔය එකක්වත් ධනවාදය නෙමෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ධනවාදය කියන දෙය ටිකක් හෝ ඇඟට දැනෙන තරමකට ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවේ. කලින් පෝස්ට් එකකට ප්‍රතිචාරයක් ලෙස රසික අහල තිබුණා 'ඇමරිකාව තවම මෙට්‍රික් ක්‍රමයට නොගිහින් රාත්තල් සැතපුම් ආදිය භාවිතා කරන්නේ ඇයි?' කියා. මේ වගේ සරල දෙයක් වුනත් තේරුම් ගන්න ඇමරිකාවේ කලක් ජීවත් වෙන්න ඕනෑ (මම කියන්නේ මට සාපේක්ෂව). මොකද ඇමරිකාවේ මේ වගේ වෙනස්කම් කරන කෙනෙක් නැහැ. ඒවා ස්වයංක්‍රීයව සිදුවිය යුතුයි. නමුත් අප පුරුදු වී සිටින්නේ කවුරු හෝ කරන තුරු බලා සිටින්නයි. ඇමරිකාවට එන්න කලින් ඇමරිකාව ගැන මට තිබුණු ගොඩක් ගැටළු මට තේරුම් ගියේ බොහෝ කලක් ගිහින්. ඇත්තටම තියෙන ප්‍රශ්නය ඇමරිකාව විසින් සෝවියට් දේශය ඒ කාලයේ කළාක් මෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක නොයෙදීමයි. (මේකත් ධනවාදයේ සහ සමාජවාදයේ ඇති වෙනස නිසා සිදුවන දෙයක්. එවැනි ප්‍රචාරණයක යෙදුනා කියා ඇමරිකාවට ඇති ලාභයක් නැති නිසා එය කරන්නේ නැහැ.) ඒ නිසා ඇමරිකාව තේරුම් ගන්න ඇමරිකාවටම ඇවිත් ජීවත් වෙන්න වෙනවා. අජිත් සෝවියට් දේශයට යාමෙන් පසු එම ක්‍රමය පිළිබඳ ගැටළු පෙනුනාක් මෙන් මට වුණේ එහි අනිත් පැත්ත. මම කලින් ගැටළු මෙන් දුටු බොහෝ දේ මට පැහැදිලි වුණේ මෙහි පැමිණි පසුවයි. (ඒ කියන්නේ ප්‍රශ්න ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි.)

      Delete
  3. ඇණයත් ඉනෙගත්තේ සොවියට් දේශයේනේ, ඇවිලී ගොස් ඇති ගින්නට “ගිනිපුපුර“ ඇතිවුනෙත් ඇණයා කොළඹ ගමයාගේ සහ ඩ්‍රැකියුලාගේ දේශයේ (Transylvania)බ්ලොග්වල රශියන් භාෂාවෙන් නව වසරට සුභ පැතීමේ කොමෙන්ටුවේ යටද කොහෙද, ඇණය බ්ලොග් නොලියා කොමෙන්ටු පමණක් දාන නිසා පරක්කුවෙලා වුනත් බිජුලන්න වෙන්නෙත් කූඩු හදන පක්ෂියකුගේ කූඩුවේම තමා.

    ඇණයා සෝවියට් දේශයට ඉගෙනගන්න ගියේ අජිත්ලා රුවන්ලා වගේ රජයෙන් ලැබූ ශිෂත්ව වලින් නොවෙයි, තාත්තා හොඳ සමාජවාදියෙක් වූ නිසයි, සෝවියට් දේශය වාර්ශිකව නොදන්නා සිසත්ව ප්‍රමාණයක් ලංකාවේ හිත්ගත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වෙත ලබා දුන්නා, මා පසුව දැනගත් පරිදි මට ලැබීතිබුනේ කොම්සමෝලය හෙවත් සෝවියට් රුසියානු තරුණ සංවිධානයෙන් (All-Union Leninist Young Communist League)ප්‍රධානය කරන ලද ශිෂත්වයක්, සෝවියට් දේශයේ බොහොමයක් වෘත්තීය/ දේශපාලන/ ස්වෙච්ඡා සංවිධාන ඔවුන්ගේ අරමුදල් යොදවා එවැනි ශිෂත්ව ප්‍රධානය කර තිබුනා, ලංකාවේ සමූපකාර සේවකයන් සඳහා පවා වෙන්වූ සෝවියට් ශිෂත්ව තිබුනා (අපි එයට කීවේ මීයන්ගේ විශ්ව විද්‍යාලය කියා), එම ගණන නොදන්නා සොවියට් සිසත්ත නම් එක්සත් ජාතීන්ගේ අරමුදල් ප්‍රතිපූරණය කිරීමකින් තොරව හුදෙක් ප්‍රචාරණ අරමුණු සහ වෙනත් රටවල සමාජවාදය වෙනුවෙන් ලබාදෙන ටොපියක් වෙන්නැති.

    ඇණයා නිකමෙක් ද නැද්ද කියා මම නොදනිමි, නමුත් කතාවක් ඇත; දුෂ්කර ප්‍රදේශයක ජීවත්වුනු ඇණයා උපෙ යන්තම් පාස්වුනේ තුන්වෙනි වතාවේ ලීවාම ජෙනරල් ඩිග්‍රියකට තේරුනත් ඒ වෙනකොට සෝවියට් දේශයේ, ඇණය සාපෙ කරනකොටත් තාත්තා දේශපාලනය කරල රැකියාව අහිමිකරගෙන පුර්ණතාලීන දේශපාලනයක් කරා, ඇණයා කවදාවත්ම ටියුෂන් නොගියේ පාසල් යාමට සිසන් ටිකට්එකට මුදල් සපයාගත්තෙත් අසීරුවෙන් නිසයි, සාමාන්‍යෙපළත් ගණිතය පේල්වූ නිසා අවුරුද්දක් හේන් කෙටුවා, උසස්පෙළ පළවෙනිවතාව ලියල කුඹුරු කෙටුවා. කොහොමටත් ඉස්කොලේ ගියේ සල්ලි නැති අයගේ දරුවෝ විතරයි, ඇති අය කොළඹ/ නුවර/ මාතර/ ගම්පහ ටියුෂන් ගියා ඒ අතුරින් හිත හොඳ දෙදෙනෙකු මට තැපෑලෙන් ටියුට් එව්වා. පළවෙනිවතාවේ විභාග ප්‍රතිපල වලින් විද්‍යාගනිත ගුරුපත්වීමක් ලැබුනා වැඩකලේ පස්සෙන් පහුකාලෙක කොටිකපපු ගම්මානෙක, ඒ ඉස්කොලේ ඉන්නකොට තමා නොට්ස් ටියුට් එකතුකරගෙන තුන්වෙනිවර උසස්පෙළ ලීවේ, සෝවියට් සිසත්තේ නොලැබුනානම් ගුරුකම සහ ටියුෂන් එකක් කරගෙන ජීවත්වෙන්න ඉඩ තිබ්බේ ලංකාවේ විශ්වවිද්‍යාෙලකට යන්න වියදම් කරන්න මුදලත් ඒවෙනතොටත් ඇණයාට තොතිබූ නිසයි, ඒ වගේම මගේ යාළු ජෙප්පෝ තාත්තාව මරන්න ප්ලෑන් කරනවා කියලා දැනගත්ත නිසා ඇතිවුන ආරවුලකුත් ඒ ගමනට හේතුවුනා.

    කියන්න අමතක වුනා, අජිත්ලා රුවන්ලාට වගේ නොවෙයි මට පාස්පෝට් හදන්නවත් ටිකට්වලටවත් අතින් මුදල් වැය වුනේ නෑ, ඒ සියල්ල කොම්සමෝල් සංවිධානයෙන් දරා තිබුනා.නමුත් 1992-3න් පසු ජීවත්වුනේ සුළු සුළු බිස්නස් කරලා උපයගත් මුදලින්, ලංකාවට ආපසු ආවේ IOM ටිකට් එකකින්.

    ඇණයා වසරකීපයකට පෙර සැබෑ නමින් විවේචනාත්මක කොමෙන්ටු ලියා ( සිංහල බ්ලොග් වල නොවේ)මුහුණදීමට සිඳුවූ ඉතා අමිහිරි සිඳුවීම් නිසා සහ දැනට කරන රැකියාව සහ ජීවත්වන පරිසරයේ සාමය පතා ඇනෝවෙකුම වෙමි.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඔය විස්තර ටික කිව්වම උඹගේ විස්තර පවුද්ගලිකව දන්නා උන් ඇණය කියන්නේ උඹ කියලා දැනගන්නවනේ

      Delete
    2. ඔබේ දීර්ඝ කමෙන්ටුවට ස්තුතියි, ඇණයා. කියවගෙන යද්දී අහන්න අවශ්‍යම වෙලා සිටි ප්‍රශ්නයකට පිළිතුර කමෙන්ටුවේ අන්තිමට තිබුණා.

      //කියන්න අමතක වුනා, අජිත්ලා රුවන්ලාට වගේ නොවෙයි මට පාස්පෝට් හදන්නවත් ටිකට්වලටවත් අතින් මුදල් වැය වුනේ නෑ, ඒ සියල්ල කොම්සමෝල් සංවිධානයෙන් දරා තිබුනා.//

      ඔය තත්ත්වයට මාව පත් වුනානම් ශිෂ්‍යත්වය ලැබුණත් ගුවන් ටිකට් පතේ මුදල (අසූව දශකයේදී රුපියල් 15,000ක් වැනි මුදලක්) සොයාගැනීම ඉතාම විශාල අභියෝගයක්. ලැබෙන ඕනෑම මුදලක් අනික් අතට වියදම් කරනු මිස කිසිවක් ඉතිරි නොකළ මගේ පියා අතට මුලින්ම එක් වර ලොකු මුදලක් ලැබුණේ විශ්‍රාම පාරිතෝෂිකය ලෙස පමණයි. සමහර විට සෝවියට් ශිෂ්‍යත්ව සඳහා ඉහළ හා පහළ මධ්‍යම පාන්තිකයින්ගේ දරුවන් වැඩිපුර යන්න මෙයත් හේතුවක් වෙන්න ඇති.

      වසර හය හතක් සියළු වියදම් දැරුවත් ගුවන් ටිකට්පත් සඳහා මුදල් නොඑවීමට හේතුව වෙන්න ඇත්තේ සෝවියට් දේශය මුහුණ දුන් විශාල ගෙවුම් ශේෂ අර්බුදය. අනෙක් වියදම් සියල්ල රූබල් වියදම්. ගුවන් ටිකට්පත් සඳහා ගෙවන්න වෙන්නේ ඩොලර්. සමහරවිට එයරොෆ්ලොට් තිබුණු රටවල සිසුන්ට ගුවන් ටිකට්පත් දුන්නද කියන එක හොයල බලන්න වටින දෙයක්.

      Delete
    3. //වසර හය හතක් සියළු වියදම් දැරුවත් ගුවන් ටිකට්පත් සඳහා මුදල් නොඑවීමට හේතුව වෙන්න ඇත්තේ සෝවියට් දේශය මුහුණ දුන් විශාල ගෙවුම් ශේෂ අර්බුදය. අනෙක් වියදම් සියල්ල රූබල් වියදම්. ගුවන් ටිකට්පත් සඳහා ගෙවන්න වෙන්නේ ඩොලර්.// මටත් හිතෙනවා එහෙම.

      Delete
    4. ආපසු ඒමට විශ්වවිද්‍යාලයෙන් ටිකට් පතක් ලැබුනත් එහි නියමිත දින ආපසු නොපැමිණ IOM හී ලියා පදිංචි වුනා, ලංකාවේ සරණාගතයන් රාශියක් ඒ වන විට රුසියාවේ රැදී සිටි නිසා බටහිර රටක වීසා ලබා ගැනීමට නොහැකිවුනා, වීසා ලබාගැනීමට උත්සහ කරන අතරේ මාස කීපයක් වුස්ක් (වර්ල්ඩ් යුනිවර්සිටි සරවිස්)එකේ ඉදිකිරීම් රැකියා කළා.

      Delete
    5. අමතක වුනා රූබලය ඉතා ස්‍රීඝයෙන් බාල්දු වූ වත් ස්ටෙපෙන්ඩියාව රූබල් 300න් එහා ගියේ නෑ, එය ලබාගැනීමට නගරෙයේ වෙනත් කොටසක තිබූ ප්‍රධාන ගොඩනැගිල්ලට යාමට ඊ්ට වැඩි මුදලක් වැයවන නිසා අවුරුද්දක්ම ස්ටෙපෙන්ඩියා ගන්න ගියේ නෑ.

      එයරොෆ්ලොට් ටිකට් වසරගණනාවක්ම මිළ වැඩිකලේ නෑ, නමුත් ඇතුලේ හිතවත් කම් නැතුව ටිකට් වෙන් කරවන්න හැකියාවත් නැති වුනා, සබඳකම් ඇති අය කොළඹ නුවරයනවා වගේ නිතර නිතරම ලංකාවට ආවා, සමහරු හිල්ටන් එකට කළුපාන් සැපයීම බාරගෙන තිබූ බවටත් විහිළු තිබ්බා. මමත් වාරදෙකක් සෝවියට් වඩු යන්ත්‍ර / වායුසමීකරණ ලංකාවට ගෙනාවා ඒවා මෙහිදී විකුණා විකුණා රුපියල් 50 දාහකට වැඩි මුදලත් සොයාගත්තා, නමුත් සෝවියට් ක්‍රමය සම්පූර්ණයෙන් බිඳ වැටුණු පසු සියල්ල වෙනස්වුනා, අවසාන වසර දෙක ජීවත්වූයේ රුසියානු මිතුරු මිතුරියන්ගේ ගම් වලින් ලැබුණු සැපයුම් වලින්.

      Delete
    6. //ඇණය බ්ලොග් නොලියා කොමෙන්ටු පමණක් දාන නිසා පරක්කුවෙලා වුනත් බිජුලන්න වෙන්නෙත් කූඩු හදන පක්ෂියකුගේ කූඩුවේම තමා.//
      ඔබ ලියා ඇති විස්තරය රසවත්. ඔබට අවශ්‍යනම් කාලය යොදවා මෙවැනි දීර්ඝ කරුණු දැක්වීමක් කරන විටක මගේ බ්ලොග් එකේ ලිපියක් ලෙස පළ කළ හැකියි.

      Delete
  4. ශිෂ්‍යත්ව විලින් රුසියාවට ගිය අය ගැන මගේ විරා්ධයක් නෑ. ඒත් ඔය ශෂ්‍යත්ව දුන්නේ මොකක් හරි බලපෑමක් කරපු අයට සහ කොමිනියුස් පක්‍ෂවල අයට විතරයි. කෙච්චර හොඳ ප්‍රතිඵල තිබ්බත් වැඩක් නෑ බල පෑමක් නැතිව.

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්ව දෙන්නේ කාටද කවර පදනමකින්ද කියන එක මුදල් යොදවන අයගේ කැමැත්ත අනුව නේද සිදුවිය යුත්තේ?

      Delete
    2. මම දන්න අධ්‍යාපන නිලධාරියෙකුගේ දුවල දෙන්නටම රුසියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්ව හම්බවුනා.

      Delete
    3. මම දන්නා අධ්‍යාපන නිලධාරීන්ගේ දරුවන් ඉන්නවා. සමහරු හොඳ යහළුවෝ. ඒ නිසා ඕව අමතක කරලා දාල ඉන්නේ. ඕක රටේ හැටි යයි සිතල.
      //ඒත් ඔය ශෂ්‍යත්ව දුන්නේ මොකක් හරි බලපෑමක් කරපු අයට සහ කොමිනියුස් පක්‍ෂවල අයට විතරයි// මගේ අදහස අසූ ගණන්වල ලකුණු තිබු අයට, වෙනයම් දේ කළ අයට දුන්නා. (ක්‍රීඩා හා ඉගෙනීම) එහෙම පුල නැතුව. මම හිතන්නේ මම ගියේ පුල නැතුව කියල. දෙන්න එහෙම කෙනෙක් නැති නිසා. අපේ විශ්ව විද්‍යාලේ හිටිය A 4 ගත මල්ලි කෙනෙක්. තව එකක A 2 B 2 තිබ්බ කෙනෙක්. 87, 88, 89 කාලවල ආව අයගෙන් භාගයකටත් වැඩිය ලංකාවේ යන්න පුළුවන් වුනු කට්ටිය.

      Delete
  5. රෂියන් කල්චරල් සෙන්ටර් එකේ නෙත්තිකුමාර වගේ නමක් තියෙන නිලධාරියෙක් හිටියා මිනිහා පගාව අරගෙන ශිෂ්‍යත්ව වික්කා

    ReplyDelete
  6. කවුරු වියදම් කළත් මොකෝ... අධ්‍යාපනය ලබපු හොඳ මනුස්සයෙක් කොහේ ගිහිල්ල වුණත් හොඳක් කරන්නෙ.

    ReplyDelete
  7. රුසියාවෙ ශිෂ්‍යත්ව ක්‍රමයෙ පොත් බෙදිල්ලෙ ප්‍රධාන අරමුණ කොමියුනිස්ට් දැනුම සහ සංස්කෘතිය කූට ලෙස ආසියාතික රටවල ස්ථාපිත කිරිමට ඒජන්තයන් බිහිකිරීම. නිර්මාණශීලී රුසියන් සාහිත්‍ය කොමියුමිස්ට්වාදයේ ප්‍රතිපලයක් නෙමෙයි. හැබැයි රුසියාව ඒක දේශපාලනයට පාවිච්චි කළා. මේකෙන් වුන එක අවාසියක් තමා ලංකාව රුසියන් සාහිත්‍යට ඕනවට වඩා නිරාවරණය වීම. ඒ නිසා අපිට අනිත් විශ්ව සාහිත්‍ය ගවේෂණයට තියෙන ඉඩ ඇහිරුණා. හැබැයි දැන් ඒ තත්වෙ නෑ ආර්ථිකේ විවෘත නිසා. මේ කොමියුනිස්ට් ඒජන්තයන් බිහිකිරීම අසාර්ථකයි කියන්න බෑ. තාමත් ලංකාවේ විශ්වවිද්යාල වල කොමියුනිස්ට් සාහිත්‍ය සහ සංස්කෘතිය තමා රජකරන්නේ. වෙන මුකුත් ඕන නෑ කොමියුනිස්ට් බලපෑම ඉතාමත් අඩු කොළඹ විශ්ව විද්‍යාලෙ සයන්ස් ෆැකල්ටියේ ෆ්‍රෙෂස්ලට කියන්නෙ මෙඩි රූම් එකට කියුබාව කියපන් කියල. ලෝකෙ නිකන් බෙහෙත් දෙන එකම රට කියුබාවලු ! (ඕකට ලංකාව කිව්වනම් නරකද. මුන් කැම්පස් උනාට මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙ) ඕන රෙද්දකට ඇමරිකාවට, එක්සත් ජාතීන්ගේ සවිධානයට එහෙම නැත්නම් ධනවාදයට බැන බැන කමෙන්ට් දාන නමට රැඩිකල් කොමියුනිස්ට් බුවාලා බොරු දේශප්‍රේමී කුහක ජාති(ක)වාදියො සහ ඒ මතවාද ෆලෝ කරන කස්තියගෙන් තාම අඩුවක් නම් නෑ. වැඩේ කියන්නෙ ඔය රිබරල් ඇමරිකාවයි ඒකෙ තියෙන දේශපාලන මානව සහ ආර්ථික නිදහසයි නොතිබෙන්න මුන්ට මඟුල් නටන්න බ්ලොගර් එකක් බිහිනොවෙන්න තිබ්බ.
    https://www.google.com/about/company/
    https://abc.xyz/

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.