Saturday, January 28, 2017

සේනා සිංහ ප්‍රශ්නය

සමරිසි අයිතීන් ගැන ඇති වූ කැබිනට් සාකච්ඡාවකදී අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඇසුවේයැයි මාධ්‍ය වල වාර්තා වී තිබුණු ප්‍රශ්නයක් නිසා සුජීව සේනසිංහ සමාජ මාධ්‍ය තුළ බයිට් වී තිබුණේය. වාර්තා වී ඇති පරිදි අදාළ ප්‍රශ්නය මෙවැන්නකි.

"දැන් මේ නීතිමය වෙනසින් පසුව සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාද?"

ඇතැම් අය මේ ප්‍රශ්නය අර්ථකථනය කර තිබුණේ සුජීව සේනසිංහගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් ලෙසිනි. තවත් අය මෙය ඔහුගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබුණේය.

සේනාසිංහගේ ප්‍රශ්නය කලින් කලට ඇතැම් සේනා වල අයිතිකාරයින් සිංහයින් වන්නට අසන ආකාරයේ ගොංපාට් ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබේ. නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා නීති වෘත්තිකයෙකු ලෙස කටයුතු කරන සේනාසිංහගේ ප්‍රශ්නය තේරුමක් තිබුණු, ඇසිය යුතු ප්‍රශ්නයක් වූවා විය හැකිය. උඩ පාවෙන කොස් කොළ, ක්‍රෝටන් කොළ මෙන් පරිධියේ ඇති දේවල් මාධ්‍ය තුළ උඩට පැමිණීම අමුතු දෙයක් නොවේ. පාඨකයින්ගේ ඉල්ලුම ඇත්තේ මෙසේ උඩ පාවෙන කොස් කොළ හා ක්‍රෝටන් කොළ වලටය.

සමලිංගික සම්බන්ධතා පැවැත්වීම ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය මත පදනම්වය. ඉංග්‍රිසීන් විසින් 1883දී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව "පිරිමියෙකු, ගැහැණියක හෝ සතෙකු සමඟ සිය කැමැත්තෙන් අස්වාභාවික (against the order of nature) ලෙස ලිංගික සේවනයේ යෙදෙන ඕනෑම තැනැත්තෙකුට වසර දහයක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දිය හැකි අතර එයට අමතරව දඩයක්ද නියම කළ හැකිය."

මුල් පණතේ 365A වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව පිරිමියෙකු සමඟ අවිනීත ලෙස හැසිරෙන වෙනත් පිරිමියෙකුට වසර දෙකක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දීම, දඩයක් නියම කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබා දිය හැකි වූ අතර ඊට අමතරව කසපහර දීමද කළ හැකි විය.

දණ්ඩ නීති සංග්‍රහය මේ වන විට වාර ගණනක් සංශෝධනය වී ඇතත් ඉහත 365 වගන්තිය තවමත් එසේම පවතී. එම මුල් වගන්තියට අමතරව බාලවයස්කරුවන් සමඟ පවත්වන ලිංගික සම්බන්ධතා සඳහා දඬුවම් වඩා දැඩි කරමින් අමතර කොටසක් ඉහත වගන්තියට එකතු වී තිබේ. ඒ අතර, 365A වගන්තිය සැලකිය යුතු ලෙස පුළුල් වී ඇති අතර "පිරිමියෙකු" යන්න "පුද්ගලයෙකු" ලෙස වෙනස් කර තිබේ. දඬුවමින් කසපහර දීම ඉවත් කර ඇත.

මට හිතෙන හැටියටනම් මේ "අස්වාභාවික" හා "අවිනීත" ආදී යෙදුම් වල තියෙන්නේ සංස්කෘතික අර්ථයකි. අස්වාභාවික ලිංගික හැසිරීම් ගැන කතා කළ හැක්කේ ස්වභාවික ලිංගික හැසිරීම් යනු කවරේදැයි නිශ්චිතව හඳුනාගත හැකිනම් පමණි. එහෙත්, සෑම කලකම, සෑම සංස්කෘතියක් තුළම ස්වභාවික ලිංගික හැසිරීම් ලෙස හඳුනා ගැනෙන්නේ එකම දෙයම නොවේ. 

රෝස කැලෙන් ළමයි ඇහිඳ මිනිස් ජනගහණය ස්ථාවරව තබා ගත නොහැකි බව කලක සිටම පොදු දැනුමක් වූ නිසා දරුවන් බිහි කිරීමේ හැකියාව ඇති ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් ස්වභාවික ලෙස සැලකිය හැකි වුවත් මේ අදහස වුවද අදටත් එක ලෙස සෑම සමාජයකම පිළි නොගැනේ. විවාහයෙන් බාහිර සම්බන්ධතාවක් වීම, අවම වයස් සීමාවන්, වයස් පරතරයේ වෙනස්කම්, ලේ ඥාතිත්වයේ සීමාවන්, කැමැත්ත ප්‍රකාශ කිරීමෙහි සීමාවන් ආදී විවිධ හේතු මත ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමක් කිසියම් සංස්කෘතියක් තුළ "අසම්මත" "අසාමාන්‍ය" හෝ "අස්වාභාවික" හැසිරීමක් ලෙස අර්ථ දැක්වෙන්නට පුළුවන.

ලංකාවට දණ්ඩ නීති පණත හඳුන්වාදෙන කාලයේ ඉංග්‍රීසින් විසින් ස්වභාවික ලිංගික හැසිරීමක් ලෙස සැලකුවේ විවාහය තුළ ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන "සාමාන්‍ය" ලිංගික හැසිරීමකි. මේ අනුව, විවාහය තුළ වුවද ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන වෙනත් ආකාරයේ ලිංගික හැසිරීම් "අස්වාභාවික" හැසිරීම්ය. එමෙන්ම, සමරිසි හා සත්වරිසි  හැසිරීම් "ස්වභාවික" නැත. මේ දැක්ම තනිකරම වාගේ එවක ඉංග්‍රීසි සදාචාරය මත පදනම් වූවකි. කෙසේවුවද, මෙවැනි ඇතැම් හැසිරීම් "අස්වාභාවික" ලෙස නීතියෙන් හඳුනාගන්නට සිදුවීමෙන්ම පෙනෙන්නේ එවැනි හැසිරීම් "ස්වභාවික" ලෙස කාලයක් තිස්සේ සමාජයේ පැවතී ඇති බවයි.

අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට දඬුවම් පමුණුවන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියෙන් ප්‍රායෝගිකව ඉටු වූ කාර්යයක් හෝ සිදු වූ බලපෑමක් ඇතැයි ම
නොසිතමි. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් පෞද්ගලිකව සිදුවන ලිංගික කාර්යයන් සොයා බලමින් අස්වාභාවිකත්වය පදනම් කරගෙන නඩු පැවරීම ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. මෙය මේ නීතිය ඉවත් කර දැමිය යුතු එක් හේතුවකි. ක්‍රියාත්මක නොවන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නීති පොතේ පමණක් තබාගෙන සිටීමෙන් වෙන්නේ සමස්තයක් ලෙස නීතිය හෑල්ලුවට ලක්වීම පමණි.

කෙසේ වුවද, මේ නීතිය ඉවත් කරන්නට හදන්නේ (GSP කතාව පැත්තකින් තිබ්බොත්) ඉහත පදනමින් නොවේ. සමරිසි හැසිරීම් "ස්වභාවික" හැසිරීම්ය යන මතය මුල් කර ගනිමිනි. මේ මතය අනුව, කිසියම් පුද්ගලයෙකුගේ සමරිසි චර්යාව මුළුමනින්ම හෝ යම් කිසි දුරකට ඔහුගේ හෝ ඇයගේ උපතින් ගෙන ආ මිනිස් ස්වභාවය සම්බන්ධ එකකි. එය එසේනම්, ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කරන්නට අවශ්‍ය වන්නේද නැත. ඒ, එම වගන්තිය යටතේ "ස්වභාවික" ලිංගික හැසිරීමකට දඬුවම් කළ නොහැකි බැවිනි.

ස්වභාවික ලිංගික හැසිරීම් පිළිබඳ බටහිර මතය පසුගිය සියවසකට වැඩි කාලය තුළ සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. සමරිසි හැසිරීම් ස්වභාවික බව අද පිළිගැනෙන අතර සමරිසි අයිතීන් තහවුරු කරන නීති හඳුන්වා දීමේ රැල්ලක්ද බටහිරින් ඇරඹී පැතිරී යයි. වසර දහයකට පෙර ලෝකයේ රටවල් 92 ක සමරිසි හැසිරීම් නීති විරෝධී ලෙස සැලකුණු අතර ඉහත රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් මේ රටවල් ගණන 72 දක්වා අඩු වී තිබේ. 


අනෙක් අතට, සත්වරිසි චර්යාවන් සම්බන්ධව රැල්ල හමන්නේ තනිකරම ප්‍රතිවිරුද්ධ අතටය. සතුන් සමඟ ලිංගික හැසිරීම් තහනම් කරමින් නීති පැනවීමේ රැල්ලක්ද පසුගිය දශකය තුළ බටහිර රටවල් තුළ හමායමින් පවතී. එමෙන්ම මෙවැනි හැසිරීම් මානසික රෝග ලෙසද හඳුනා ගැනේ. සත්ව හිංසනයේ සීමාවන්ගෙන් ඔබ්බට මෙවැනි චර්යාවන්ට එරෙහිව පැනවෙන නීති සැලකිය හැක්කේ සදාචාරාත්මක නීති වශයෙනි. සදාචාරාත්මක නීති සඳහා ඉල්ලුමක් ඇති වන්නේ කිසියම් සංස්කෘතියක් තුළය. ලංකාවේ පොහොය දින මත්පැන් නොවිකිණීම උදාහරණයකි.

ලංකාවේදී සත්වරිසි ලිංගික චර්යාවක් වරදක් වන්නේ සමරිසි චර්යාවන් හා "අස්වාභාවික" විෂමලිංගික චර්යාවන් නීති විරෝධී ලෙස නම් කෙරෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුවය. සමරිසි චර්යාවන්ට හා "අස්වාභාවික" ලෙස සැලකෙන විෂමලිංගික චර්යාවන්ට ඉඩ සලසනු පිණිස ඉහත වගන්තිය මුළුමනින්ම ඉවත් කළහොත් සත්වරිසි චර්යාවන්ටද නීතිමය ආවරණයක් ලැබේ. සුජීව සේනසිංහ විසින් විමසුවේ මේ කරුණ වන්නට පුළුවන.

36 comments:

  1. ඔය 'ප්‍රශ්නය' ගැන කතා කරන විට බොහෝ දෙනා පටලවන තව දෙයක් තමා ළමා අපයෝජනය නීතිගත කිරීමක් නේද මෙය කියන එක. වැඩිහිටියන් දෙදෙනෙකුගේ (දෙදෙනා කැමැත්තෙන් පවත්වාගෙන යන) සඹදතාවයක් හා දරුවන් සමග කෙරෙන කිසියක් ආකාරයේ අපයෝජනයක් සමාන කිරීමේ උත්සාහයක් හෝ ඒ ගැන ඇත්තටම කල්පනා නොකිරීමක් ගොඩක් වෙලාවට දකින්න හැකියි. සත්ත්වයන් මෙතැනට පැටලවිමත් එයිටම සමානයි. සත්ව හිංසාවට එරෙහි නීති ගොඩක් රටවල දැනටම තියනවානේ.

    මේ ගැන කියන කොට මට මතක් වුනේ ඕස්ට්‍රේලියානු මන්ත්‍රීකෙනෙක්ද වසර 2012 දී කියපු කතාවක්. ඒ ගැන මා සඳහන් කරන්නේ විශේෂයෙන් සමාජ ප්‍රගමනයේ අප ගොඩක් දුර ඇවිත් තිබුණත්, ආගමික මතාන්තර ලෞකික නීති පද්ධතියට ඇතුල් කරන්න වලිකන පිරිස් හැම සමාජයකම ඉන්න බව කියන්න.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අය හැම සමාජයකම ඉන්නවා. වෙනස තියෙන්නේ එවැනි අයට සමාජයට බලපෑමක් කිරීමට තිබෙන හැකියාවේයි. ඔබ පෙන්වන සිද්ධියේදී බහුතර/ පොදු මතයෙන් මේ පුද්ගලයාගේ මතය යටපත් වී තිබෙනවා. ඇතැම් තැන් වල ඒ වෙනුවට වෙන්නේ මෙවැනි පුද්ගලයන්ට අනුගාමිකයින් එකතු වී සැලකිය යුතු ජනමතයක් ගොඩනඟන්න හැකි වීමයි.

      Delete
    2. මා එම ප්‍රවුර්තිය මා දැමුවේ, ඔබ ඔය කියන කරුණ තේරුම් යන්නත් එක්කම තමා ඉකෝ. එකම අදහසට, සමාජ දෙකක දී ලැබුන ප්‍රතිචාරය පෙනෙන අතරම, ඔබත් කියන අනුගාමිකයන් ගොඩ නගන්න හැකියාව තිබීම මතම නේද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේත්.

      එය වෙනත් ප්‍රශ්න හෝ පිළිවෙත් වලටත් එකසේ ගලපා ගන්න පුළුවන්. මහජන දේපොළ, පෞද්ගලික සුඛ විහරණයට යොදා ගැනීම, ගැන මහජනතාවගේ විරෝධයක් නොමැති නම් (ඒ කියන්නේ ඒ වෙනුවෙන් පෙනී ඉන්න "සැලකිය යුතු අනුගාමිකයන්" පිරිසක් ඉන්නවා නම්, එය ප්‍රමුඛ මතය බවට ඉබේම පත් වනවා නේද?

      මැරේජ් ඉක්වලිටි කරුණට ආවොත්, ඕස්ට්‍රේලියානු සමාජයේ බහුතරය ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියා මත සමීක්ෂණ හෙළි කෙරුවත්, මහජනතාව විසින් තමන් වෙනුවෙන් පත්කර යවා තියන පිරිසෙන් බහුතරය ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා ද කියන එක තවම පැහැදිලි නැහැ. කෙසේ වුවත් මෑත කාලීන වඩාත් ගතානුගතික (කොන්සේවර්ටිව්) අගමැති යටතේ පවා, අර ප්‍රකාශය කරපු මන්ත්‍රීට මහජන අනුග්‍රහයක් ලැබුනේ නැහැ.

      මෙවැනි සමාජයක පවා, සමාජ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව තියන කුඩා කණ්ඩායම් වල ප්‍රතිරෝධය (විශේෂයෙන් ආගමික කණ්ඩායම් වල) මෙතැනදී තේරුම් ගන්න හැකියි. හැබැයි, එයට මෙහා ප්‍රතිසංස්කරණ, අවශ්‍ය සමාජයකදී, මෙවැනි කරුණක් මුලට ගැනීම අයහපත් ප්‍රතිපල ගෙන දෙන්න තියන ඉඩකඩ වැඩියි.

      කුඩා දරුවන් විවාහ කර දීමට හා කුඩා දරුවන් ආගමික ස්ථාන වලට අපයෝජනය සඳහා බාර දීමට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම, කෙනෙකුට විවාහ වන්න හැකි ගණන (විරුද්ධ ලිංගික) සැමටම එක නීතියකට ගෙන ඒම(එක්කෝ සැමටම ඒක පුරුෂ/භාර්යා හෝ සැමටම බහු පුරුෂ, බහු භාර්යා) යනාදිය, ඉහත ප්‍රතිසංස්කරණයට වඩා ප්‍රමුඛයි සමහර සමාජ වලට. එයට ලංකාවත් අයිතියි.

      Delete
    3. //අනුගාමිකයන් ගොඩ නගන්න හැකියාව තිබීම මතම නේද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේත්//
      මෙය ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාරයක් තමයි. මම මෙය "ප්‍රශ්නයක්" ලෙස දකින්නේ නැහැ. ඔබ පෙන්වා දෙන ඊළඟ කරුණට ආවොත්,

      //මහජන දේපොළ, පෞද්ගලික සුඛ විහරණයට යොදා ගැනීම, ගැන මහජනතාවගේ විරෝධයක් නොමැති නම් (ඒ කියන්නේ ඒ වෙනුවෙන් පෙනී ඉන්න "සැලකිය යුතු අනුගාමිකයන්" පිරිසක් ඉන්නවා නම්, එය ප්‍රමුඛ මතය බවට ඉබේම පත් වනවා නේද?//

      ඔවු, පැහැදිලිවම එය එසේ වෙනවා. එය ප්‍රමුඛ මතයනම් එය වෙනස් කර වෙනත් සමතුලිතතාවයකට මාරු වීම අපහසු කාර්යයක් වනවා පමණක් නොව බොහෝ විට නොකළ යුතු දෙයක් කියා මම හිතනවා. කිසියම් සමාජයක් ඓන්ද්‍රීය ලෙස පරිණාමය වන රටාව (දිශාව හා වේගය) අමතක කර බලහත්කාරයෙන් ගෙන එන ප්‍රතිසංස්කරණ සාර්ථක වීමේ ප්‍රවණතාව එසේ නොවීමේ ප්‍රවණතාවයට වඩා බොහෝ අඩුයි.

      නමුත්, එසේ වුණා කියා තමන් විශ්වාස කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යමෙක් පෙනී නොසිටිනවානම් සහ හඬක් නොනඟනවානම් සමාජයක් එක් සමතුලිතතාවයක සිට වඩා හොඳ වෙනත් සමතුලිතතාවයකට යන එක ප්‍රමාද වෙනවා. ප්‍රමුඛ මතයට තිබෙන සහයෝගය ගොඩක් වැඩිනම් මෙය දැඩි අවදානමක් ගත යුතු කාර්යයක් විය හැකියි. ඒ වගේ වෙලාවට "මුට්ටි දමා බැලීම" හොඳ උපාය මාර්ගයක්. කොහොම වුණත් අවසාන වශයෙන් ප්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ සමාජය විසින් ඉල්ලා සිටින්නේ නැත්නම් අඩුවශයෙන් සමාජයේ සහයෝගය හෝ අනුකම්පාව ලැබෙනවානම් පමණයි.

      මේ දවස් වල මෙහෙ විධායකය විසින් ගන්නා ඇතැම් තීරණ කාලයක් තිස්සේ ස්ථාපිතව තියෙන ආයතන වල දිගුකාලීන අරමුණු සමඟ ගැටෙන ආකාරය හා එයට ප්‍රතිචාර දැක්වෙන ආකාරය මම ප්‍රායෝගිකව දිනපතා අත්විඳිනවා. මේ වගේ තැනක වැඩි විස්තරයක් ලියන්න බැහැ. කොහොම වුණත් මම එහිදී බොහෝ දෙනෙක් තනි පුද්ගලයින් ලෙස තමන්ට කළ හැකි දේ කරමින් ඉතා සක්‍රිය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරවන ආකාරය දකිනවා.

      ඔබ කියන කුඩා කණ්ඩායම් කියන කරුණට ආවොත් මේ කුඩා කණ්ඩායම් ගැනත් මගේ වෙනම කියවීමක් තියෙනවා. ඔබ විසින්ම කලින් තැනක ලියා තිබුණු අදහසක් වන්නේ මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකරන පිරිස් විසින් ඉතිරි අය විසින් ගන්නා ඕනෑම තීරණයක් අනුමත කර ඇති බවයි. මෙය මේ කුඩා කණ්ඩායම් වලටත් අදාළයි. කුඩා කණ්ඩායමකට ප්‍රබල මතයක් ඇති කරමින් සක්‍රිය ලෙස ක්‍රියාත්මක විය හැකි වී තිබෙන්නේ වඩා විශාල කණ්ඩායමක වක්‍ර සහයෝගය හෝ අනුකම්පාව ලැබීම තුළයි. එසේ නැතුව ඔවුන්ට වැඩි දුරක් යන්න බැහැ. උතුරේ වගේම 1987 සිද්ධි ආරම්භයේදී දකුණේ තිබුණේ මෙවැනි තත්ත්වයක්. ඒ නිසා කුඩා කණ්ඩායම් කුඩා වූ පමණින්ම අවතක්සේරු කරන්න බැහැ. ඔවුන් බොහෝ විට අයිස් කන්දක ශිඛරය.

      ප්‍රමුඛතා ගැන මගේ අදහස වන්නේත්, මගේ ප්‍රමුඛතා (පෞද්ගලික ප්‍රමුඛතා නොවෙයි- මට සාපේක්ෂව සමාජයේ ප්‍රමුඛතා) වෙනුවෙන් මට පෙනී සිටිය හැකි වුවත් මගේ ප්‍රමුඛතා සමාජයේ ප්‍රමුඛතාද නැද්ද යන්න මට තනිවම තීරණය කළ නොහැකි බවයි. ඒ වගේම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඵලදායී වුවත් අසීරු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගතකරන කාලය අඩුවෙන් ඵලදායී වුවත් කළ හැකි සුළු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යෙදවීම වඩා කාර්යක්ෂම බවයි මට හිතෙන්නේ. මෙය මා අවදානම් ගැනීමට සූදානම් සීමාව පිළිබඳ ප්‍රශ්නයක්, සියළු දෙනාම එසේ කළ යුතුයැයි මම හිතන්නේ නැහැ.

      අනුගාමිකයින් ගොඩනැඟීම කියන කරුණට නැවත ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ මෙවැනි "ප්‍රමුඛ චරිත" විසින් කෙරෙන ද්විත්ව කාර්ය භාරයක් තියෙනවා. ඒ නායකයකු ලෙස හා නියෝජිතයෙකු ලෙස. "අවස්ථාවාදී" හෝ "රැල්ලට යන" අයෙකු ඇත්තටම හොඳ නියෝජිතයෙක්. මෙහිදී මම අවස්ථාවාදී කියන්නේ හොරාකෑම වැනි දේවල් ගැන නෙමෙයි. එවැන්නෙකු වටා එකතුවන "අනුගාමිකයින්ගෙන්" අදහස් වන්නේ ඇත්තටම අනුගාමිකයින් ගොඩනැඟීමකට වඩා සමාජයේ දැනටමත් පවතින ප්‍රමුඛ මතයක ප්‍රකාශකයෙකු හෝ නියෝජතයෙකු වීම පමණයි. මේ සඳහා විශාල දක්ෂතාවයක් අවශ්‍ය වන්නේ නැහැ. සැඟවී ඇති ප්‍රමුඛ මතය හඳුනාගැනීමේ ඉවක් පමණයි අවශ්‍ය වන්නේ. වැඩි දක්ෂතාවයක් අවශ්‍ය වන්නේ නියෝජිත කාර්යය ඉක්මවා සැබෑ නායකයෙකු ලෙස මතු වීමටයි. මෙවැන්නෙකු පවතින ප්‍රමුඛ මතයට එරෙහිව යමින් වඩා හොඳ තැනකට ප්‍රමුඛ මතය යොමු කරවීමක් කළ යුතුයි. වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති සමාජයක මෙය අභියෝගත්මක කටයුත්තක් වුවත් අවසන් ප්‍රතිඵලය හොඳ එකක් වෙන්නේ තියෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නැති, තමන් වෙනුවෙන් හොඳ දේ තෝරා දීම වෙනත් අයෙකු කරන තුරු බලා සිටින අය වැඩි සමාජයක එය සාපේක්ෂව පහසු කටයුත්තක්. එහෙත්, එසේ අන්ධ අනුගාමිකයින් හැදීම හරහා සමාජය පරිවර්තනයකට ලක් කරන හැම විටම එය වඩා හොඳ තැනකට තල්ලු නොවෙන්න පුළුවන්. මෙයත් පුළුල් අර්ථයෙන් සමාජ පරිනාමයේම කොටසක්.

      Delete

  2. මේ ප්‍රශ්නය ගැන , බුකියේ මා මිතුරෙක් සටහනක තබා තිබුනේ ( ටිකක් වයිරල් වුනු ) , සමලිංගිකත්වය ස්වාභාවිකයි නම් කුමර ලිංගිකත්වය (pedophilia ) , සත්වයින් සමග , මළමිනී සමග ලිංගික ක්‍රියාවන් රබර්ද කියාය .

    මේ ගැන දිගටම සිතීමේදී මා පැමිණි නිගමනය නම්
    1) මෙය මානව අයිතිවාසිකම් මතම තීරණය කළ යුතුය . එනම් තීරණය කළ හැකි වැඩිහිටියන් දෙදෙනෙක් විසින් කරන ලිංගික ක්‍රියාවන් හි යෙදීම උන් ගේ අයිතිවාසිකමක් බවයි . මෙය two consenting adults විසින් තීරණය කළ යුතුය
    . ඉහත උදාහරණ වලදී two consenting adults නැත. ඉතින් එහිදී මේ අයිතිවාසිකම පිලිබඳ තත්වය අභිබවා යයි .
    මේවා හැරුනු කොට අවශේෂ ලිංගික පැවතුම් ගැන කෙනෙක් අසන්නට පුළුවන , තර්කය සම්පුර්ණ වීමට දෙවැනි පොයින්ට් එක ද සලකමි

    2) ආහාර පැවතුම් , ඇඳුම් මෙන්ම ලිංගිකත්වයද සමාජයක සංස්කෘතික රාමුව තුළ විය යුතුය . නමුත් සංස්කෘතික රාමුව ස්ථිතික යක් නොව ගතිකයකි . මිනී මස් කෑම , උඩු කය නිරුවත්බව මෙන්ම බහු භාර්යා සේවනය එක් සන්සිද්ධිස්ථායකදී අසම්මත වන්නේ සංස්කෘතික රාමුවේ හැකිලෙන ස්වභාවය නිසාය. ගව මස් කෑම අපේ රටේ සම්මත වන්නේ සංස්කෘතියේ ලිහිල් වීමේ ස්වභාවය නිසාය . ඉතින් අපි අපේ සංස්කෘතික රාමුව තුළ දරා ගත හැකි දේ සොයා ගත යුතුය . දෙවියන් මැවීමක් ගැන නොඅදහන . පිරිමියා සඳහා ගැහැණිය මැවුවා යයි නොසිතන , බුද්ධ දර්ශනය තුළ , සමලිංගිකත්වය ට , අනෙක් ආගම් මෙන්ම , න්‍යායාත්මක විරෝධාකල්පයක් මට නොපෙනේ . එහෙත් අපි තීරණය කළ යුත්තේ අපේ සංස්කෘතිය කුමක්ද එය යා යුතු දිශානතිය කුමක්ද යන්නයි .

    ඇත්තටම බැලුවොත් අපි මේ සිංහල සංස්කෘතිය යයි හිස තබා ගෙන සිටින පොට්ටනියේ වැඩිපුර ඇත්තේ එක්දාස් අටසිය ගණන් වල පරණ වික්ටෝරියානු කෝට් සහ ගවුම් ය .

    අවසන මෙසේද කියමි . මටද තරමකට හෝමෝෆෝබියා ව ඇතැයි මට දැන් සිතේ . මෙය සමාජයේ සැලකිය යුතු පිරිසකට අඩු වැඩි වශයෙන් ඇති බවද දනිමි . සමලිංගිකත්වය මානසික ආබාධයක්දැයි හරියටම මා නොදන්නාමුත් , හෝමෝෆෝබියාව නම් මානසික ව්‍යාධියක් බව දනිමි

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම බැලුවොත් අපි මේ සිංහල සංස්කෘතිය යයි හිස තබා ගෙන සිටින පොට්ටනියේ වැඩිපුර ඇත්තේ එක්දාස් අටසිය ගණන් වල පරණ වික්ටෝරියානු කෝට් සහ ගවුම් ය .// ඕක තමා පේන්නේ නැත්තේ කට්ටියට. සුද්දට බනින්නෙත් ඔය සෙට් එකමයි. හැබැයි සුද්දා ඕව අත හැරලා ගොඩක් කල්.

      Delete
  3. මටද තරමකට හෝමෝෆෝබියා ව ඇතැයි මට දැන් සිතේ . මෙය සමාජයේ සැලකිය යුතු පිරිසකට අඩු වැඩි වශයෙන් ඇති බවද දනිමි . සමලිංගිකත්වය මානසික ආබාධයක්දැයි හරියටම මා නොදන්නාමුත් , හෝමෝෆෝබියාව නම් මානසික ව්‍යාධියක් බව දනිමි

    මෙ ටික තව තේරෙන ආකාරයට පැහැදිලි කලොත් .......

    ReplyDelete
    Replies

    1. සමලිංගිකත්වය හැම කියන සමහරු කියන්නේ එය රෝගයක් බවයි .ඒ ගැන නම් අනේ මන්දාය .

      ඒත් හෝමෝෆෝබියාව යනු , සමලිංගිකත්වය, සමලිංගිකයන් හමුවේ ඇතිවන මානසික කැළඹීමයි . (එය දරුණුම දරුණු වූ විට උන්ගෙන් දිව යාම , පහර දීම , හීනෙන් පෙනීම වගේ දේවල් වෙනවාලු . හැක් හැක් ) හැම ෆෝබියාවක් වගේම මෙය මානසික ව්‍යාධියක් . හැදුනු වැඩුනු සංස්කෘතිය නිසාද මන්දා , මට ද සමලිංගිකත්වය හමුවේ තරමක මානසික නොසන්සුන් බවක් , තරමක අපහසුවක් (uncomfortable feeling ) එකක් ඇතැම් විට දැනේ

      Delete
    2. මෙය සිදුවන්නේ ඔබ අනෙක් සංස්කෘති වලට නිරාවරණය වී නැති නිසා. හෝමෝෆෝබියාව පමණක් නොව අනෙක් සියලු දෑ පිළිබඳව ඔබේ ආකල්ප මෙවැනිය.

      Delete
    3. අපි එකඟ නොවීමට එකඟ වෙමු.

      Delete
    4. ජාලිය,
      එවැනි අය ළඟින් ඇසුරු කරන්නට ලැබුණොත් ඔය තත්වය මග හැරී යනවා.

      Delete
    5. ළගින් ඇසුරු කරන්න ? ඩබල් මීනින් ද මන්දා . කමක් නෑ , සැකයේ වාසිය පිතිකරුට .

      එහෙම අය , මා හැසිරෙන කව වලත් ඇත . ඒ ගැන ප්‍රශ්නයක් නැත . මෙය මගේ සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ නැත . නමුත් මෙය default setting එකක් ලෙස හඳුනා ගෙන ඇති නිසා මගේ තීරණ , ආකල්ප බැලන්ස් කරගත හැකිය.

      අපි හැමෝටම මෙහෙම අන්ධ බින්දු ඇත . ඒත් පිස්සන් කොටුවේ පිස්සන් එකෙක්වත් නැත, ඉන්නේ ඔක්කොම දොස්තරලාය

      Delete
    6. Two consenting adults නම් OK කිව්වම incest OK ද?

      Delete
    7. ජාලියගේ දිගු අදහස් දැක්වීමට ස්තුතියි! මේ ගැන දැක්විය යුතු ප්‍රතිචාරය වෙනම පෝස්ට් එකක් ලෙසම දැමීම වඩා සුදුසුයැයි සිතේ.

      Delete
    8. සත්වයන් සමග මෙන්ම ළමයින් සමග හැසිරීමද rape හෙවත් දුෂණයක් බව මගේ හැඟීමයි. මේ දෙගොල්ලටම ලිංගික ක්රියවට් කැමැත්ත පළ කළ නොහැකිය. ළමයෙකු කැමති වීම නිදන්න කම නිසා විය හැකිය. එනිසා දෙකට ම නීතිමය වශයෙන් දඬුවම් කිරම නිවැරදිය.

      Delete
    9. සතා පිරිමි සතෙක්නම් සහ අනෙක් අන්තයේ ඉන්නේ කාන්තාවක්නම් තත්ත්වය ගැන හිතන්නේ කුමක්ද?

      Delete
    10. ඒත් වෙනස් වෙන්න විධිහක් නැහැ.ඇයි ගැහැනුන්ට දුෂණය කරන්න බැහැ කියල ඔබේ හිතේ තියනවද? ගැහැණු ඕන තරම් දුෂණ වලට දඬුවම් විඳ තිබෙනවා.

      Delete
    11. පැහැදිලිවම මම එහෙම හිතන්නේ නැහැ.

      Delete
    12. කලින් දිගු පිළිතුරක් දමන්න වෙලාවක් තිබුණේ නැහැ. කාන්තාවකට පිරිමියෙකු අකැමැත්තෙන් සිටියදී බලහත්කාරයෙන් ලිංගික ඇසුරක් ලබන්න පුළුවන්. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි එම පිරිමියාට පසුව එවැන්නක් වූ බව නිශ්චිතව ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. බාලවයස්කාර දරුවෙකු ගැන තත්ත්වයත් අපි පැත්තකින් තියමු. එවැන්නක් වැරදි බව කියන්න අපට වෙනත් තර්ක ගෙන එන්න පුළුවන් පසුකාලීන මානසික බලපෑම වැනි. මෙහි දිගුවක් ලෙස බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක් වන කාන්තාවක් එම සතාගේ අකැමැත්තෙන් බලහත්කාරකමක් කරනවා විය හැකි බව කියන්න පුළුවන්. නමුත්, අපට එය තහවුරු කිරීමේ හැකියාවක් නැහැ. සමහර විට සතා මෙය කරන්නේ කැමැත්තෙන් විය හැකියි. අපට එය දැනගන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් අප නීතිය හරහා දඬුවම් දීම මඟින් කරන්නේ ඒ සතා වගේම කාන්තාව (හෝ පිරිමියා) කරන්න කැමති දෙය වැළැක්වීමයි. වෙනත් කාටවත් පාඩුවක් සිදු නොවෙද්දී සතාගේ වගේම මිනිසාගේත් නිදහස පැහැර ගැනීමයි. ඒකත් අමතක කර අපි මේ ගැහැණිය හෝ මිනිසා විසින් සතාව රේප් කළා කියා කියමු. සතා ඇත්තටම කැමති නැති බවත් හිතමු. අප දැන් ඔහුට හෝ ඇයට දඬුවම් දෙනවා. එහි පදනම වන්නේ සතාගේ කැමැත්ත නොගැනීම. නමුත්, මේ සතාවම අපි අපේ ආහාර පිණිස මරාගෙන කනකොට සතාගේ කැමැත්ත ගන්නේ නැහැ. ලිංගික ක්‍රියාවට සතාගේ කැමැත්තක් තියෙන්න කිසියම් හෝ ඉඩක් තිබුණත් මැරෙන්න කැමැත්තක් ඇති බව කිසිසේත් හිතන්න බැහැ. නමුත්, මෙය වරදක් ලෙස සැලකෙන්නේ නැහැ. දඬුවම් නැහැ. මම මෙහිදී කියන කරුණ මේ දේවල් වෙනස් කළ යුතුයි කියන එක නෙමෙයි. අපි හරි වැරදි තීරණය කරන්නේ ආගමික/සංස්කෘතික පසුබිමක මිස නිරපේක්ෂ පසුබිමක නෙමෙයි කියන එකයි.

      Delete
    13. //. නමුත්, මේ සතාවම අපි අපේ ආහාර පිණිස මරාගෙන කනකොට සතාගේ කැමැත්ත ගන්නේ නැහැ.// ඔව් ඒ අනුව බැලුවොත් නීතිය මෙතන විහිළුවක් වෙනවා තමයි. අපි බල්ලෝ මරණ කන්නේ නැහැ. නමුත් චිනේ මරනවා. සතෙකුගේ කැමැත්ත ගන්න ක්‍රමයක් නැති නිසා එය සත්ව හිංසාව ලෙස හඳුවල නීතියෙන් දඬුවම් දෙනවා. ළමයෙකුගේ කැමැත්ත දුන්නත් අවුරුදු 16 හෝ 15 (සමහර රටවල) ඒ කැමැත්ත ගණන් ගන්නේ නැහැ නීතියෙන්. මේ රටේ තියනවා එහම සංගමයකුත්. ඔය දෙකම නීතියෙන් නිදහස් කරනන් කියා. මම නම් විරුද්ධයි. හේතුව එතනට් ගියොත් සන්ක්රුතිමය වශයන් සමාජය කිසයම් බිඳ වැටීමකට ලක්වේවි.

      Delete
    14. ළමා අපචාර වලට ලක්වන කුඩා දරුවන් ඒ අවස්ථාවේදී එයට ප්‍රතිරෝධයක් නොදැක්වුවත්, ඇතැම් විට කැමැත්තෙන් හිටියත් ඔවුන් වැඩිහිටියන් වූ පසු ඒ කුඩා කාලයේ අත්දැකීම් ගැන සතුටු නොවන බවත්, තමන්ට සිදුවූ පීඩාවක් ලෙස සලකන බවත් සැලකූ විට එයට එරෙහිව නීති පැනවීමට පැහැදිලි පදනමක් තියෙනවා. මත්පැන්, දුම්වැටි ආදිය භාවිතයට වයස් සීමා පැනවීමේ පදනමත් එයයි. මේ අවස්ථා වලදීත්, ළමයා සහ වැඩිහිටියා වෙන් කරන්නේ වැඩිහිටියන් විසින්. අවුරුදු 21කට දවසක් අඩු කෙනෙක් හා අවුරුදු 21ක කෙනෙක් අතර ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවේ විශාල වෙනසක් නැහැ. නමුත්, අපට කොතනින් හෝ ඉරක් අඳින්න වෙනවා. එකම දේ මේ ඉර සෑම කාලයකටම සෑම සංස්කෘතියකටම සාපේක්ෂව එකම තැන තිබිය යුතු නොවීමයි. ඒ නිසා අද නිර්ණායක අනුව සියවස් ගණනකට පෙර ජීවත් වූ පුද්ගලයෙක් ළමා අපචාර කළා කියා අද හඳුන්වන්න බැහැ. සත්ව හිංසා නීති වල තියෙන්නේ ආගමික පසුබිමක්. දෙවියන් සතුන් මැවුවේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා (ආහාර පිණිස) වුවත් සතුන් සමඟ ලිංගික හැසිරීම් දෙවියන් විසින් අනුමත කර නැහැ. ඒ වගේම තමන්ට වාසියක් නැතුව සතෙකුට හිංසා කිරීම දෙවියන් වහන්සේගේ මැවීමට අභියෝග කිරීමක්. තාක්ෂණය දියුණු වන මාර්ගයට වගේම මිනිසා විසින් ජෛව ගෝලයේ පරිණාමය තීරණය කරන ආකාරයටත් අපේ මේ අතීතයෙන් ගෙන එන අවිඥානකව අප තුළ තියෙන විශ්වාස වල සැලකිය යුතු බලපෑමක් තියෙනවා. ආගම් ප්‍රතික්ෂේප කළා වුවත් ආගම් වල බලපෑමෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේ නැහැ. අපි මස් පිණිස මැරීමට අඩු වියදමකින් හා කෙටි කලකින් වැඩිපුර මාංශ පේශි සහිතව වැඩෙන සත්ව ප්‍රභේද දියුණු කරනවා. නමුත්, හොඳ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් විය හැකි, එයින් සතුටක් ලබන සත්ව ප්‍රභේද දියුණු කරන්නේ නැහැ. ඉස්ලාම් සංස්කෘතිය ලෝකයේ ප්‍රමුඛ සංස්කෘතිය වුනානම් මස් පිණිස ඌරන් වැඩි දියුණු කරන්නේ නැහැ.

      Delete
    15. //මම නම් විරුද්ධයි. හේතුව එතනට් ගියොත් සන්ක්රුතිමය වශයන් සමාජය කිසයම් බිඳ වැටීමකට ලක්වේවි.//
      මෙන්න මේකයි මගේ පොයින්ට් එක. අජිත් (හෝ මම හෝ වෙනත් කෙනෙක්) මෙහෙම කියන්නේ අජිත්ගේ (හෝ මගේ හෝ වෙනත් කෙනෙකුගේ) සංස්කෘතියට සාපේක්ෂව. එහි කිසිම වැරැද්දක් නැහැ. ඕනෑම කෙනෙක් හරි වැරදි තීරණය කරන්නේ තමන්ගේ දැනුමට වගේම සංස්කෘතියට සාපේක්ෂව. ඒ නිසා අපි හිතන ආකාරයෙන් වෙනස්ව වෙනත් අය හරි වැරදි දකින්න පුළුවන්. ඒ නිසා, මගේ මතය වෙනුවෙන් මා පෙනී සිටියත් එය ක්‍රියාත්මක කළ හැක්කේ මගේ මතය සමාජයේ ප්‍රමුඛ මතය බවට පත් කිරීමෙන් පසුව පමණයි. එසේ නැතුව සමාජ ප්‍රතිසංස්කරණයක් කරන්න කවුරු හෝ උත්සාහ කරනවානම් එය බලහත්කාරකමක් වනවා පමණක් නොවෙයි දිගින් දිගටම බලය යොදවන්නේ නැතුව පවත්වා ගැනීමත් අසීරු වෙනවා.

      Delete
  4. //මේ මතය අනුව, කිසියම් පුද්ගලයෙකුගේ සමරිසි චර්යාව මුළුමනින්ම හෝ යම් කිසි දුරකට ඔහුගේ හෝ ඇයගේ උපතින් ගෙන ආ මිනිස් ස්වභාවය සම්බන්ධ එකකි. එය එසේනම්, ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉවත් කරන්නට අවශ්‍ය වන්නේද නැත. ඒ, එම වගන්තිය යටතේ "ස්වභාවික" ලිංගික හැසිරීමකට දඬුවම් කළ නොහැකි බැවිනි.//
    ලිපියේ අපැහැදිලි තැනක්.
    ඇත්තටම දණ්ඩ නීතියේ කියල තියෙන්නේ මොකක්ද? අස්වාභාවික ලිංගික හැසිරීම් වලට දඬුවම් දියයුතු බව කියල ඒ යටතේ අස්වාභාවික ලිංගික හැසිරීම් කියන්නේ මොනවද කියල අර්ථ දක්වල නැතිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, 1995 සංශෝධනයෙන් කොටස් එකතු වී ඇතත් කතා කළ කරුණට අදාළ වන්නේ මුල සිටම ඇති පහත කොටස්ය.

      “365. Whoever voluntarily has carnal intercourse against the order of nature against any man, woman, or animal shall be punished with…”
      “Explanation: Penetration is sufficient to constitute the carnal intercourse necessary to the offence in this section.”

      It is clear that whoever drafted this originally considered that anal, oral intercourse within a marriage also is against the “order of nature” in addition to the acts outside the marriage.

      අර්ථදැක්වීම අපැහැදිලි මෙවැනි අවස්ථාවක (1883දී එවැනි අපැහැදිලි කමක් නොතිබෙන්නට ඇත) අනුගමනය කෙරෙන්නේ පූර්ව විනිශ්චිත නඩු තීන්දුය. මේ වගන්තිය අදාළ කරගෙන පැවරුණු නඩු ගැන මා හැදෑරීමක් කර නැති නිසා වැඩි යමක් කියන්නට නුපුළුවන. කෙසේවුවද, සමරිසි චර්යාවන් (හෝ ස්වභාවික නොවන ලෙස ඇතැම් අය විසින් සලකන වෙනත් චර්යාවක්) අස්වාභාවික නොවන බවට විනිසුරුවරයෙකු විසින් ලබා දෙන එක් නඩු තීන්දුවකින් ව්‍යවස්ථාදායකයේ මැදිහත්වීමකින් තොරව ඉහත වගන්තියේ කාර්ය භාරය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකිය. මේ වගන්තිය මත පදනම්ව යම් කිසිවෙකුට නඩු පැවරීමක් මෑතකදී සිදු වුනේනම් මෙය මේ වන විටත් සිදු විය හැකිව තිබුණි. එමෙන්ම, යම් කිසි අයුරකින් ඉදිරියේදී පැවරෙන නඩුවකදී විශේෂඥ සාක්ෂි කැඳවීමේ හැකියාවක් විනිසුරුවරයෙකුට තිබේ.

      Delete
    2. එතකොට මේක ආවේ කොහෙන්ද?
      //මුල් පණතේ 365A වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව පිරිමියෙකු සමඟ අවිනීත ලෙස හැසිරෙන වෙනත් පිරිමියෙකුට වසර දෙකක් දක්වා වන බරපතල වැඩ සහිත හෝ රහිත සිර දඬුවමක් ලබා දීම, දඩයක් නියම කිරීම හෝ මේ දඬුවම් දෙකම ලබා දිය හැකි වූ අතර ඊට අමතරව කසපහර දීමද කළ හැකි විය.//

      මේ කොටස කියෙව්වම හිතෙන්න දණ්ඩ නීති සංග්‍රහයේ පිරිමි දෙදෙනෙකු ලිංගිකව හැසිරීම වරදක් කියල විශේෂයෙන් අර්ථ දක්වා තිඑනවා කියලනේ

      Delete
    3. ඇනෝ, 1883දී වගන්තිය තිබුණේ මේ ආකාරයෙන්. එයින් පිරිමින් විශේෂ කොට සැලකුණු බව පැහැදිලියි. 1995 සංශෝධනයේදී (අවුරුද්ද හරියටම නිවැරදි නොවිය හැකියි) මෙහි පිරිමියෙක් (male) යන්න පුද්ගලයෙක් (person) ලෙස වෙනස් කෙරුණා. ඒ අනුව, මේ 365A වගන්තිය මේ වන විට පිරිමින්ට පමණක් නොව සියල්ලන්ටම අදාළ "අවිනීත ලෙස හැසිරීම" වරදක් ලෙස අර්ථ දැක්වෙන වගන්තියක් ලෙස ජෙනරලයිස් වී තිබෙනවා.

      Delete
    4. 365A දැන් තිබෙන නීතිය නීති පොතේ තිබෙන විදිය සඳහන් කරන්න පුලුවන්න්ද? නැතිනම් තියෙන බලන්න ලිනක එකක් දුන්නත් කමක් නැහැ.

      Delete
    5. මෙහි 18 ඡේදය (14 පිටුව බලන්න). මෙහි person වෙනුවට මුලින් තිබුණේ male යන්නයි.

      http://eugc.ac.lk/ge_eq/wp-content/uploads/2016/04/Penal-Code-Amendment-Act-No.-22-of-1995.pdf

      මෙය 2006 දී නැවත වෙනස් වුනත් එය සුළු වෙනසක්. මේ කරුණට එතරම්ම අදාළ නැහැ.

      http://www.commonlii.org/lk/legis/num_act/pca16o2006213/s12.html

      Delete
    6. බොහොම ස්තුතියි.
      මේ නීතිය අනුවනම් සමලිංගික ක්‍රියාව පමණක් විශේෂයෙන් නීතිවිරෝදී වන බවක් පෙන්නේ නැහැ නේද? දැන් මේ කට්ටිය ගිරිය පුප්පගෙන කැගහන්නේ සමලිංගික ක්‍රියා නීතිගත් කරන්න යනවා කියල පරණ නීතිය ගැන හිතේ තියාගෙනද? පරණ නීතිය අනුව දුන්න නඩු තීන්දු උනත් අලුත් නීතියට අදාළ වෙන්නේ නැහැ නේද? අනේ මන්ද මට තේරෙන්නේ නැහැ නීතිය පැටලිලි සහගතද, නැතිනම් මෙච්චර සරල දේ මිනිස්සු පටලගෙනද කියල

      Delete
    7. හොඳම විහිලුව තමයි සමලින්ගිකයන්ගේ අයිතිවාසිකම් ඉල්ලන Equal Ground වගේ ආයතනවත් නිවැරදි නීතිය මොකක්ද කියල දන්නේ නැතිද නැතිනම් දැනගෙන හන්ගනවද වාසි තකා?
      බලන්න මේ ලිපිය
      http://www.divaina.com/2017/01/29/feature07.html

      Delete
    8. අදාළ ලේඛකයාගේ 1995 සංශෝධනය ගැන දැනුමේ අඩුවක් නොපෙනේ. ඔහු එම සංශෝධනය ගැනද පසුව සඳහන් කර තිබීමෙන් එය පැහැදිලිය. ලිපියේ ඇති කරුණු වලින් මා හරියටම නොදන්නා දෙය මේ කරුණයි.

      "එහෙත් පොලීසිය විසින් 365 අ උප වගන්තිය ප්‍රකාරව සමලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ නිසි අර්ථකථනයක්‌ නොමැති, පදනමක්‌ හෝ තාර්කික බවක්‌ නොමැති වගන්තියක්‌ පසුපස එළවමින් වීම කනගාටුවට කරුණකි."

      මේ කියන විදිහට පොලීසිය විසින් සමලිංගික පුද්ගලයින් සොයා කාමර වල රිංගමින් අත්අඩංගුවට ගනිමින් සිටින බවක් මා දන්නේ නැත. යම් හෙයකින් එවැන්නක් සිදුවෙනවානම් කරන්නට තියෙන්නේ සුළු දෙයකි. මානව හිමිකම්, විශේෂයෙන්ම සමරිසි හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් එකතු වී ස්වේච්ඡාවෙන් හෝ මේවා ගැන කතා කරන සංවිධාන/ පුද්ගලයින් විසින් නීතිඥයෙකු වෙනුවෙන් මුදල් ගෙවා සමරිසි හැසිරීම් අස්වාභාවික නොවන බව හා ඒ නිසා පවතින නීතිය අනුව වරදක් සිදු වී නැති බව පෙන්වා දීමයි. තේරුමක් නැති නීතිය ඉවත් කිරීම සුදුසු වුවත්, අවශ්‍ය වන්නේ සමරිසි අයිතිය සුරැකීමනම් නීතිය ඉවත් නොකළද සමරිසි පුද්ගලයන්ට කියන තරම් විශේෂ නීතිමය අවාසියක් සිදු නොවන බව මගේ අදහසයි. එසේ සිදුවනවානම් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගය මා ඉහත විස්තර කර තිබේ.

      බහුතර ජනතාව ගැනනම් කියන්නට තියෙන්නේ අදාළ කරුණට පක්ෂ සහ විපක්ෂ වැඩි දෙනෙක් කරන්නේ කරුණු සොයා නොබලා ලෝකය පෙරළෙනවා කියමින් දුවන එක බවයි. වෙනත් බොහෝ කරුණු හා අදාළවද වෙන්නේ ඔය ටිකමය.

      Delete
    9. නමුත් මේ ලිපිය ලියපු පුද්ගලයා ඉන්නේ සමරිසි ලිංගික ක්‍රියා නීතියට පටහැනි කියල නීතියෙන් අර්තදක්වල තියෙනවා කියන ස්ථාවරයේ බවයි දීවයිනේ ලිපිය කියෙව්වම තේරෙන්නේ. පැහැදිලිවම ඔබ කියන පරිදි මානව හිමිකම් නඩුවකින් මෙය වෙනස් කරන්න පුළුවන් බවයි මගෙත් අදහස. එතැනදී උසාවිය මේ නීතියට අර්ථකතනයක් දුන්නොත් නීතිය ඉවත් කිරීමේ සටන්පාටය ඉන්පසුව ඉදිරියට ගතයුත්තක් කියල මට හිතෙන්නේ. රජයකට උනත් මේවගේ නීති ඉවත් කරන්න අමාරුයි එක පාරට පොලිටික්ස් ගැන හිතන්නේ නැතිව.

      Delete
    10. ඔබ සමඟ එකඟයි. මෙවැනි දෙයක් ගැන හිතන්න ඔබ මෙන් කවුරු හෝ පෙළඹෙයි කියන එකයි මම ලිපිය ලියද්දීත් අදහස් කළේ. අරමුණක් තියෙනවනම් තේරුමක් නැතුව කෑගහනවට වඩා ප්‍රායෝගිකව ඒ අරමුණ වෙත ලඟා විය හැක්කේ කොහොමද කියල හිතන එකයි වැදගත්.

      Delete
  5. අවස්ථාවාදී දේශපාලුවන් විසින් මෙවැනි තැන්වල දී මනාප වැඩි පැත්තට උඩ ගෙඩි දීම කොහෙත් දැකිය හැකි තත්වයකි.

    ReplyDelete
  6. ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සැලකීම
    අසීමිත ලෙස ඉන්ද්‍රිය පිනවීම දුරාචාරයක් ලෙස නොසැලකීම
    සාමූහිකත්වයට වඩා පෞද්ගලිකත්වයට මුල්තැනක් දීම යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මුලික අංගයි.
    සමරිසි පුද්ගලයන් අතීතයේ පටන් සිටියත්, සමරිසි අයිතිවාසිකම් ගැන අදහස පැහැදිලිවම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අයිති එකක්.

    ReplyDelete
  7. "බටහිර ක්‍රිස්තියානි නූතනත්වය"? ��

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.