ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව එහි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අනුව ජපානය පරදවා යමින් ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය බවට පත් වී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 4.18ක්.
ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් වන ඉන්දියාවේ එම වර්ධනය තිරසාර වර්ධනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ උද්ධමනය සහ විරැකියා අනුපාතිකය පහළ මට්ටමක තබා ගන්නා අතරම, එනම් ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බැවිනුයි.
මෙම වර්ධන නැමියාව එලෙසම පවත්වා ගනිමින්, ඉදිරි වසර තුනක කාලය ඇතුළත, ජර්මනිය අභිබවා ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට පත් වීම ඉන්දියාවේ ඉලක්කයයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3ක මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි.
උද්ධමනය පහළ මට්ටමක පවතින අතරම වර්ධන වේගය වැඩි වන තත්ත්වයක් ආර්ථිකයේ ගෝල්ඩිලොක්ස් කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. එවැනි තත්වයකදී වර්ධන වේගය ඉහළ යන්නේ සාර්ව ආර්ථික මැදිහත්වීම් හරහා ලබා දෙන තල්ලු වල උදවුවෙන් නෙමෙයි. ඒ නිසා, වර්ධනය තිරසාර එකක්.
ගෝල්ඩිලොක්ස් සුරංගනා කතාවේ වලසුන් තිදෙනාගේ නිවහනට ඇතුළු වන දැරිය විසින් තෝරා ගන්නේ වඩා උණුසුම්ද නැති, වඩා ශීතලද නැති කැඳ කෝප්පයයි. ආර්ථික වර්ධනය හා අදාළවද ප්‍රශස්ත තේරීම වන්නේ ආර්ථික තිරසාරත්වය පවත්වා ගත හැකි වර්ධන වේගයක් මිස එය අවදානමට ලක් කෙරෙන කඩි කුලප්පු වර්ධන වේගයක් නෙමෙයි.
ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය තවමත් (2024දී) ඩොලර් 2,650ක් පමණයි. විශාල ජනගහණයක් සිටින ඉන්දියාවේ දකුණු කොටස සංවර්ධනය වී ඇති තරමට සාපේක්ෂව උතුරු කොටස සංවර්ධනය වී නැහැ. ඒ නිසා, ලෝකයේ සිවුවන විශාලතම ආර්ථිකය වුවත්, ඉන්දියාව තවමත් පහළ මැදි ආදායම් රටක්.
ඉන්දියාවේ ඉලක්කය වනුයේ 2047දී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමයි. මෙවැනි ජාතික ඉලක්ක හඹා යන රටකට එවැනි ඉලක්කයක් සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වනුයේ අදාළ ඉලක්කය ප්‍රායෝගික ඉලක්කයක් වන්නේනම් පමණයි. නිකම්ම නමට ලොකු ඉලක්ක ඉදිරිපත් කළ පමණින් එවැනි ඉලක්ක අත්පත් කරගත හැකි වන්නේ නැහැ.
දැනට පවතින ප්‍රක්ෂේපිත තත්ත්වයන් තුළ ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 300ක් වනු ඇත්තේ 2046දී වන අතර, ඩොලර් බිලියන 200ක් වනු ඇත්තේ 2038දීයි. ප්‍රතිපත්ති වෙනස්කම් නිසා මෙන්ම බාහිර කම්පන නිසාද මෙම ප්‍රක්ෂේපනයන් පහසුවෙන්ම වෙනස් විය හැකි වුවත්, එවැනි වෙනස්වීම් වලටද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. කිසියම් විචල්‍යයක් වසරකට 7%ක වේගයකින් වර්ධනය වුවද, එය තෙගුණයක් වීම සඳහා වසර 17ක කාලයක් යනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.