වෙබ් ලිපිනය:

Saturday, January 10, 2026

විභව ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ කොහොමද?


නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැන පෙර ලිපියක පැහැදිලි කළා. මේ දෙක අතරින්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ඉවහල් වෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමයි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි.

රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේනම් පමණයි. ඒ නිසා රටකට වඩා වැදගත් වන්නේ දිගුකාලීනව, සාමාන්‍ය වර්ධන වේගය ඉහළ දමා ගැනීමයි. මෙම දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, කිසියම් නිශ්චිත වසරක් ගත්තොත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගයට හරියටම සමාන වෙන්නේ නැහැ. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයක් දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් වැදගත් වන්නේ ගාල්ල දක්වා යන්න කොපමණ කාලයක් ගත වුනාද කියන එකයි. මේ ගමන හැකි ඉක්මණින් යන එක වැදගත් වුනත්, ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම උපාය මාර්ගය පුලුවන්ම තරම් වේගයෙන් ගමන යන එක නෙමෙයි. 

වංගු වැනි අවදානම් තැන් වලදී වේගය අඩු කරන්න සිදු වෙනවා. ලොකුවට වැස්සොත් වේගය අඩු කරන්න සිදු වෙනවා. ඒ වගේ තැන් වල සහ ඒ වගේ අවස්ථා වල වේගය අඩු කළේ නැත්නම් අනතුරක් වී ගමන වඩා ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහන තදබදය වැනි හේතු නිසාත් වේගය අඩු කරන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්නයක් නැති තැන් වල සහ අවස්ථා වල වැඩි වේගයකින් වාහනය ධාවනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගාල්ලට යන්න ගත වන කාලය තීරණය වන්නේ සාමාන්‍ය වේගය මතයි.

පසුගිය වසර 75ක පමණ කාලය දෙස ආපසු හැරී බැලුවොත්, ලංකාවේ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4%ක පමණ සාමාන්‍ය වේගයකින්. 1977 සිට වසර 50කට ආසන්න කාලය සැලකුවත්, මෙම වේගය 4.6%ක් පමණ. ඇතැම් වසර වල සත්‍ය වර්ධන වේගය මෙම අගයට වඩා වැඩි වුවත්, එවැනි ඉහළ වර්ධන වේගයක් පැවති හැම විටකම මෙන් පසුව එම වර්ධන වේගය අඩු වී තිබෙනවා. ඒ වගේම, වර්ධන වේගය අඩු වූ වකවානු වලින් පසුව නැවත වර්ධන වේගය වැඩි වී තිබෙනවා. අවසාන වශයෙන්, පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ, සත්‍ය වර්ධන වේගය වරින් වර වෙනස් වුවද, එහි සාමාන්‍ය අගය, එනම් විභව වර්ධන වේගය, 4.5%ට ආසන්න මට්ටමක නොවෙනස්ව තිබී ඇති බවයි.

අපට මෙවැනි ගණනයක් වෙනත් රටවල් හා අදාළවද කළ හැකියි. එවිට පෙනී යන්නේ බොහොමයක් ඉහළ ආදායම් රටවල විභව ආර්ථික වර්ධන වේගය 2%-3% අතර මට්ටමක නොවෙනස්ව ඇති බවයි. ලංකාවට ආසන්න ආදායම් මට්ටමක සිටින රටවල වර්ධන වේගය බොහෝ විට 4%-5% වැනි මට්ටමක්. මෙය සාමාන්‍ය තත්ත්වයයි. ඔය අතර යම් කාලයක් වඩා අඩු වේගයකින් හෝ වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති රටවල්ද තිබුණත් එය පොදුවේ දැකගත හැකි තත්ත්වයක් නෙමෙයි.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් වසරක, කිසියම් රටක සිදු වන භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපට ශ්‍රමය, ප්‍රාග්ධනය සහ තාක්ෂනය අවශ්‍ය වෙනවා. මේ අතරින්, අද වන විට, නිෂ්පාදිතය වැඩි කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි. අද වන විට මූලික ශ්‍රමය ඒ තරම්ම වැදගත් සාධකයක් නෙමෙයි. පුහුණු ශ්‍රමයේ කාර්ය භාරය අප‍ට තාක්ෂනය යටතේම සලකා බලන්න පුළුවන්. ඒ නිසා, ප්‍රායෝගිකව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට ඉවහල් කර ගත හැක්කේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි.

රටක ප්‍රාග්ධන සංචිතය තිරසාර ලෙස වැඩි කර ගැනීමට ඉවහල් වන්නේ ඉතිරි කිරීමේ අනුපාතිකයයි. විදේශ ණය ගැනීම මගින්ද ප්‍රාග්ධන සංචිතය වැඩි කරගත හැකි නමුත් එම ණය ආපසු ගෙවන විට නැවතත් ප්‍රාග්ධන සංචිතය අඩු වෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ප්‍රාග්ධනය වැඩි කරගෙන තාවකාලිකව ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ වර්ධනය තිරසාර වර්ධනයක් නෙමෙයි. ඒ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න අමාරුයි.

රටක ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියහොත් තිරසාර ලෙස ප්‍රාග්ධන සංචිතයද ඉහළ යනවා. ඒ හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද විශාල වෙනවා. මෙය සිදු වන කාලය තුළ ආර්ථික වර්ධන වේගයද ඉහළ යනවා. නමුත් ආර්ථිකයක් විශාල වන තරමට ආර්ථිකය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන සංචිතයයේ ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා, ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියත් ඒ හේතුවෙන් ආර්ථිකය දිගින් දිගටම වර්ධනය වෙන්නේ නැහැ. විදේශ ණය ගැනීමට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධාන වෙනස වන්නේ වර්ධන වේගය පසුව අඩු වුනත්, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනය අහිමි නොවීමයි. නමුත් විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය ප්‍රසාරණය කළ විට වර්ධන වේගය අඩු වීමට අමතරව, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනයේ ප්‍රතිලාභ වුවද අහිමි වෙන්න පුළුවන්. 

රටක ආර්ථිකයේ ප්‍රමාණය තිරසාර ලෙස දිගින් දිගටම ප්‍රසාරණය වන්නේ ඵලදායීත්වය ඉහළ යාම නිසායි. මෙය බොහෝ දුරට සිදු වන්නේ තාක්ෂනය වැඩි දියුණු වීම නිසා. 

ඇමරිකාව වැනි ඉහළ ආදායම් රටක තාක්ෂනය වැඩි දියුණු වී ඵලදායීත්වය ඉහළ යාම සඳහා නවෝත්පාදන අවශ්‍ය වෙනවා. දිගින් දිගටම නවෝත්පාදන බිහි කිරීම පහසු කාර්යයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ආර්ථිකය දිගුකාලීනව 3%ක පමණ වේගයකින් වර්ධනය වෙනවා. මෙයින් පෙනී යන්නේ ඇමරිකන් සමාජය තුළ නවෝත්පාදන බිහි වීම සඳහා උපකාරී වන තත්ත්වයන් දිගින් දිගටම පැවතී ඇති ආකාරයයි. 

වසර 75කට පෙරත් (1950දී) ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම 2024 ඩොලර් වලින් 20,327ක්. ලංකාවේ 2024 ඒක පුද්ගල ආදායම වුවද ඩොලර් 4,516ක් පමණයි. ඒ කියන්නේ වසර 75කට පෙරත්, ඇමරිකාවේ ඵලදායීතා මට්ටම ලංකාවේ දැන් මට්ටම මෙන් හතර ගුණයකටත් වඩා වැඩියි. වෙනත් අඩු හා මැදි ආදායම් රටවල් සැලකුවත්, ඒ රටවල් තවමත් ඉන්නේ ඉහළ ආදායම් රටවල් සියවසකටත් කලින් හිටපු මට්ටමටත් වඩා පහළින්. 

මේ වගේ විශාල ඵලදායීතා පරතරයක් පැහැදිලිව පෙනෙන්න තියෙද්දී, ලංකාව වැනි රටකට සිය නිෂ්පාදිතය සහ ආදායම් මට්ටම වැඩි කරගැනීම සඳහා ඇමරිකාව මෙන් නවෝත්පාදන බිහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, ප්‍රායෝගිකව අද ලෝකයට අවශ්‍ය නවෝත්පාදන ලංකාව වැනි රටක සිට බිහි කරන එක පහසු කටයුත්තකුත් නෙමෙයි. ඇමරිකාව වැනි රටක් අද ඉන්න තැනට ආවේ කොහොමද කියන එක දිහා බලාගෙන අවශ්‍ය දේවල් කිරීමෙන් පමණක් ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන මට්ටම මෙන් විසි ගුණයක් පමණ දක්වා විශාල කර ගන්න පුළුවන්. 

ඉහත කී විභවය තිබුණත්, ලංකාව වැනි රටකට වසරක් හෝ වසර කිහිපයක් ඇතුළත රටේ ඵලදායීතාව ඇමරිකාවේ මට්ටමට වැඩි කරගන්න බැහැ. දැනට වෙනත් රටක තිබෙන තාක්ෂනය ලබා ගන්න වුනත් රටකට සැලකිය යුතු කාලයක් යනවා. 

ඇමරිකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ නවෝත්පාදන බිහි කර ගැනීම මගින් ඵලදායීත්වය ඉහළ දමා ගන්නා වේගය. ලංකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ඇමරිකාව වැනි රටක දැනටම දියුණු කර තිබෙන තාක්ෂනය සහ ඵලදායීත්වය වැඩි කරන ක්‍රමවේද උකහා ගන්නා වේගය. දැනටම කවුරු හෝ කළ දෙයක් ඒ විදිහටම කරන එක ඵලදායීත්වය තවත් වැඩි කරගත හැකි ක්‍රම අලුතෙන්ම හොයා ගන්න එක තරම් අමාරු නැහැ. චැට්ජීපීටී වගේ මෙවලමක් හදන්න විශාල ආයෝජනයක් කරන්න වෙනවා. නමුත් එවැනි මෙවලමක් කවුරු හෝ විසින් හැදුවට පස්සේ එය ප්‍රයෝජනයට ගන්න එක පහසුවෙන් කළ හැකි දෙයක්. 

ඉහත හේතුව නිසා, අඩු ආදායම් රටකට වැඩි වේගයකින් වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී ඒ හැකියාවත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට හේතුව ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී වෙනත් අයගෙන් ගත හැකි දේවල් අවසන් වෙන්න පටන් ගැනීමයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ ජපානය, සිංගප්පූරුව වගේ මට්ටමකට පැමිණියාට පසුවයි. ලංකාව වගේ රටකට තවත් විශාල කාලයක් මේ ක්‍රමයට වර්ධනය වෙන්න පුළුවන්.

ලංකාව වගේ රටක් හා අදාළව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනටම වෙනත් රටවල් විසින් අනුගමනය කරන සාර්ථක ක්‍රම උකහා ගන්නා වේගය වැඩි කර ගැනීම. ලංකාව වැනි රටකට අවශ්‍ය ව්‍යවසායකත්වය කියා කියන්නෙත් මේක. මේ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නම්, වෙනත් අයගෙන් ගත හැකි දේවල් ගන්න තිබෙන බාධාවන් හඳුනාගෙන ඒවා ඉවත් කරගන්න වෙනවා.

මේ කාර්යයේදී වුවත්, ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය සීමාකාරී සාධක වෙනවා. ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් දියුණු රටවල් කරන සමහර දේවල් කරන්න බැහැ. ප්‍රාග්ධනය තිබුණත් අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් දියුණු ක්‍රමවේද උකහා ගන්න බැහැ. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයකට එක දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්න බැහැ. වේගය අවශ්‍ය පරිදි අඩු වැඩි කරන්න වෙනවා. නමුත් බොරළු පාරක් කාපට් පාරක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය අඩු වෙනවා.  කාපට් පාර අධිවේගී මාර්ගයක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය තවත් අඩු වෙනවා. ඔය බැව් දැනගෙන හිටියත්, පාර කාපට් කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය නැත්නම්, කරන්න දෙයක් නැහැ. ප්‍රාග්ධනය තිබුණත්, අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් සමහර දේවල් කරන්න බැහැ. මැදපෙරදිග රටවල් බොහොමකට විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසා.

ඔය සීමාවන් නිසා රටකට වෙනත් රටවල් වලින් ගත හැකි දේ අරගෙන වුවද ඵලදායීතාවය වැඩි කරගත හැකි වන්නේ ප්‍රාග්ධනය සහ මානව ප්‍රාග්ධනයද ක්‍රමයෙන් වැඩි කරගන්නා අතරයි. ලංකාව හා අදාළව මානව ප්‍රාග්ධනය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට අවශ්‍ය ආකාරයේ දියුණුවක් ලබා ගන්න නොබෙල් තෑග්ග ගන්න පුළුවන් මට්ටමේ අය අවශ්‍ය වන්නේ නැහැ. විදේශගත වන ලංකාවේ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ ඵලදායීතාවය ක්ෂණිකව ඉහළ යන්නේ අවශ්‍ය මානව ප්‍රාග්ධනය ඔවුන් සතුව තිබෙන නිසා. ලංකාවේ සීමාකාරී සාධකය භෞතික ප්‍රාග්ධනය.

භෞතික ප්‍රාග්ධනය සීමාකාරී සාධකයක් වන්නේ ලංකාවට පමණක් නෙමෙයි. මෙය අඩු ආදායම් රටවලට පොදු තත්ත්වයක්. ප්‍රශ්නයට විසඳුමක් ලෙස කාලයක් තිස්සේ ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම. නමුත් ඒ ක්‍රමයට ගොඩ ගිය රටවල් දකින්න නැහැ. අඩු ආදායම් මට්ටමක සිට වේගයෙන් ඉහළට ආ රටවල් බොහොමයක් එසේ කර තිබෙන්නේ ඉතිරි කිරීම් අනුපාතය කාලයක් තිස්සේ එක දිගටම ඉහළ මට්ටමක තබා ගැනීම මගින්. 

ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගැනීම මගින් ලංකාව වැනි රටකට යම් කිසි කාලයක් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වගේ රටවල් බොහොමයක් ආදායම් මට්ටම වෙනම තලයකට උස්සා ගත්තේ ඔය ක්‍රමයට. හදිසියේ තෙල් නිධියක් හමු වීම වැනි හේතුවක් නිසාත් ප්‍රාග්ධන සංචිතය ඉහළ ගිහින් රටක තත්ත්වය ඉහළට එසැවෙන්න පුළුවන්. නමුත් ඒවා වාසනාවට වෙන දේවල් මිසක් සැලසුම් කර කළ හැකි දේවල් නෙමෙයි.

ඉතිරි කිරීම් අනුපාතය ඉහළ දමා ගැනීම සඳහා රජයට කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. නමුත් මෙය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ රටේ ජනතාවගේ චර්යාවන් මතයි. තනි තනි පුද්ගලයින් විසින් තමන්ගේ පරිභෝජනය සීමා කර ඉතිරි කිරීම් වැඩි කරද්දී සමස්තයක් ලෙස රටේ ඉතිරි කිරීම්ද ඉහළ යනවා. මේ ක්‍රමයට ආර්ථිකයේ විභවය දිගින් දිගටම වැඩි වෙන්නේ නැතත්, වසර 20ක පමණ කාලයක් වේගවත් වර්ධනයක් පවත්වා ගැනීම මගින් වෙනම මට්මකට යන්න පුළුවන්.

මීට අමතරව, විභව වර්ධන වේගය වැඩි කරගැනීම සඳහා කළ හැකි වෙනත් දේවල්ද තිබෙනවා. ඒ දියුණු රටවල් දියුණු වීමට හේතු වූ දේ අනුගමනය කිරීමට බාධාවක් වන මානසික හා සංස්කෘතික සීමා වලින් මිදීම. එම බාධා වැඩි රටවල් වල ආදායම් මට්ටම අඩු වුනත්, දියුණු රටවල් එක්ක පරතරය වඩා වැඩි වුවත්, විභව වර්ධන වේගය සීමා වෙලයි තියෙන්නේ. මේ බාධාවන් ඉවත් කරගත් සමාජ කෙටි කාලයක් ඇතුලත වේගයෙන් දියුණු වී තිබෙනවා. ඒ එක්කම සමාජයේ වේගවත් සංස්කෘතික පරිවර්තනයකුත් වෙනවා. ඒ සංස්කෘතික පරිවර්තනය ජපානයේ, සිංගප්පූරුවේ, දකුණු කොරියාවේ සිට තායිලන්තය දක්වා දකින්න පුළුවන්.

මෙවැනි සංස්කෘතික පරිවර්තනයක් සමාජය වේගයෙන් බටහිරකරණය වීමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අපි කැමති වුනත් අකැමැති වුනත්, නූතන සංවර්ධනයේ තිඹිරිගෙය බටහිර සංස්කෘතිය කියන එක අපට අමතක කරන්න බැහැ.

1 comment:

  1. මහත්තයා ඉතිරි කිරීමේ බැංකුවේ සුළු සේවකයෙක්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: