වෙබ් ලිපිනය:

Wednesday, January 28, 2026

උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?


ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම ඉහළ යනවා. ඒ අතර, ඇමරිකන් ඩොලරයක මිල පහත යන අවස්ථාද තිබුණත්, දිගුකාලීනව හැම විටම මෙන් සිදු වෙන්නේ මිල ඉහළ යන එකයි. 

ඇමරිකන් ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. විවිධ සාධක ගණනාවක් මත ඉල්ලුම හා සැපයුම තීරණය වෙනවා. මෙහි ඒ සාධක එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිතුර මගින් දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. 

මේ විදිහට දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දිගින් දිගටම ඉහළ යාමට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන උද්ධමන මට්ටමට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඉලක්ක කිරීමයි. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක සාමාන්‍ය වාර්ෂික උද්ධමනයක් ඉලක්ක කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය පුරාම ඉලක්ක කර තිබෙන්නේ ඊට වඩා වැඩි උද්ධමන මට්ටමක්.

මෙහි කතා කරන්නේ උද්ධමන ඉලක්කය ගැන මිසක් සැබෑ උද්ධමනය ගැන නෙමෙයි. 2022 ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 2022 සැප්තැම්බර් මාසයේදී ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියා. නමුත් ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියේත්, ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියේත් අදාළ මහ බැංකු වලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. යමක් ඉලක්ක කළ පමණින් හැම විටම ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න බැහැ. 

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් කාලයක් තිස්සේම ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නයි. නමුත් ලංකාව දැනට ඉලක්ක කරන්නේ උද්ධමනය 5% මට්ටමේ තියා ගන්නයි. මේ විදිහට ඇමරිකාව ඉලක්ක කරන උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය දිගින් දිගටම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමට ඉඩ සලස්වනවා කියන එක. 

ඇමරිකාව 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ හිතාමතාම ඩොලරයක වටිනාකම වසරකට 2%කින් අඩු වීමට ඉඩ සලස්වනවා කියන එකයි. ඇමරිකාව වගේම එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝ කලාපය ඇතුළු තවත් රටවල් ගණනාවක්ම 2%ක උද්ධමනයක් ඉලක්ක කරන නිසා අදාළ මුදල් ඒකක වල වටිනාකමද වසරකට 2%කින් අඩු වෙනවා. නමුත් මේ විදිහට ඒ මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී ඊට සමානව ඇමරිකන් ඩොලරයේ වටිනාකමද අඩු වෙන නිසා දිගුකාලීනව ඒ මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්නේ නැහැ.  

මෙයින් අදහස් වෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව විණිමය අනුපාතය ස්ථාවරව තිබෙනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම අනුව දිනපතාම විණිමය අනුපාත විචලනය වෙනවා. නමුත් දීර්ඝ කාලයක් සැලකූ විට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1997 ජනවාරි 2 දින සහ 2026 ජනවාරි 2 දින වලදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා විවිධ මුදල් ඒකක වලින් ගෙවිය යුතු වූ මුදල සහ එම මුදල් ප්‍රමාණය වෙනස් වූ අනුපාතයයි. ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම වසර 29කට පෙර සඳහා කැනේඩියන් ඩොලර් 1.374ක් ගෙවන්න සිදු වී තිබෙනවා. කොයි තරම් උච්ඡාවචනයන් සිදු වුනත් වසර 29කට පසුව නැවතත් එම මිල ඒ මට්ට්මටමට පැමිණ තිබෙනවා. 

ඔය අතරවාරයේ කැනේඩියන් ඩොලරයක් ඇමරිකන් ඩොලරයකට වඩා වැඩියෙන් මිල වූ අවස්ථා තිබුණා. ඇමරිකන් ඩොලරයක් සඳහා දැන් මිලට වඩා වැඩියෙන් ගෙවිය යුතු වූ අවස්ථාත් තිබුණා. ඔය වගේ විචලනයන් සිදු වුනත්, රටවල් දෙකේ වෙළඳපොළවල් විවෘතව තිබීම, විණිමය වෙළඳපොළට මහ බැංකු මැදිහත් නොවීම සහ දිගුකාලීනව රටවල් දෙකම 2%ක උද්ධමනයක් ඉලක්ක කිරීම හේතුවෙන්, දිගුකාලීනව විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තිබෙනවා. 

ලෝකයේ ප්‍රධාන රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ තියාගන්න ඉලක්ක කරනවා. ඒ නිසා, ඒ රටවල මුදල් ඒකක වල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කෙටිකාලීනව විචලනය වුනත් දිගුකාලීනව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ඉහත වගුව දෙස බලද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව පසුගිය වසර 29ක කාලය තුළ යම් තරමකින් හෝ ශක්තිමත් වී තිබෙන්නේ චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල මුදල් ඒකක පමණයි. මේ රටවල් තුන අනෙක් රටවල් වලට වඩා වෙනස් වන විශේෂ කරුණ වන්නේ එම රටවල් තුනේම දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබීමයි. මේ ගැන පෙර ලිපි වල කතා කර තිබෙන නිසා මෙම ලිපියෙහි වැඩිපුර කතා කරන්නේ නැහැ. 

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගුකාලීනව අවප්‍රමාණය වී ඇති මුදල් ඒකක දෙස බැලුවත්, බොහොමයක් මුදල් ඒකක හා අදාළව එය සැලකිය යුතු තරමේ අවප්‍රමාණය වීමක් නෙමෙයි. වගුවේ මුදල් ඒකක අතරින් වැඩිපුරම අවප්‍රමාණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා රුපියලයි. ඉන් පසුව, දකුණු අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ මෙක්සිකෝවේ මුදල් ඒකක දකින්න පුළුවන්. 

දකුණු අප්‍රිකාව මෑතක් වන තුරුම ඉලක්ක කළේ 4.5%ක පමණ (3%-6% පරාසයේ) උද්ධමනයක්. මාස කිහිපයකට පෙර දකුණු අප්‍රිකාව මෙම ඉලක්කය 3% දක්වා (2%-4% පරාසය) අඩු කර තිබෙනවා. ඉන්දියාව ඉලක්ක කරන්නේ 4%ක (2%-6% පරාසය) උද්ධමනයක්. මෙක්සිකෝව ඉලක්ක කරන්නේ 3%ක (2%-4% පරාසය) උද්ධමනයක්. මේ රටවල් තුනේ පොදු සාධකයක් වන්නේ ඇමරිකාවේ උද්ධමනය වන 2% මට්ටම ඉක්මවන උද්ධමනයක් ඉලක්ක කිරීමයි. එම රටවල මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කාලයත් සමඟ දිගින් දිගටම අවප්‍රමාණය වන්නේ ඒ නිසා.

උද්ධමන ඉලක්කය 4.5%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයක මිල 3.51 ගුණයකින් ඉහළ යද්දී, උද්ධමන ඉලක්කය 4%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව එම මිල 2.51 ගුණයකින්ද, උද්ධමන ඉලක්කය 3%ක් වූ මෙක්සිකෝවේ මුදල් ඒකකයට සාපේක්ෂව 2.26 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 5.46 ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නේ ලංකාවේ උද්ධමන ඉලක්කය ඉහත හැම රටකටම වඩා ඉහළ මට්ටමක පැවති නිසයි. 

අලුතෙන් සම්මත කරගත් මහ බැංකු පණත අනුව, 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අත්සන් කළ ගිවිසුමක් මගින් මහ බැංකුවට 5%ක උද්ධමන ඉලක්කයක් ලබා දුන්නා. 2023 ඔක්තෝබර් 5 දින මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු ගැසට් කර තිබෙනවා. ගැසට් නිවේදනය අනුව අදාළ ගිවිසුම අවලංගු වන දිනයක් නැතත්, මහ බැංකුවේ අනෙකුත් ප්‍රකාශන අනුව මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙන්නේ වසර තුනක කාලයක් සඳහායි. ඒ අනුව, ඉදිරි කාලයේදී අදාළ ඉලක්කය නැවත විමර්ශනය කර රජය සහ මහ බැංකුව අතර අලුත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

ගිවිසුම අලුත් කරද්දී 5% උද්ධමන ඉලක්කය තවදුරටත් ඒ මට්ටමේම පවත්වා ගත යුතුද?

ක්ෂණිකව කළ හැකි දෙයක් නොවුනත්, ශ්‍රී ලංකාව විසින් දිගුකාලීනව උත්සාහ කළ යුත්තේ උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර එම ඉලක්කය පවත්වා ගෙන යාමයි. එසේ කළ හැකිනම්, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම දිගුකාලීනව ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ කළ හැකිනම්, ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව විණිමය අනුපාතය තව දුරටත් දිනපතා වෙනස් වනු ඇති නමුත්, දැන් මෙන් දිගුකාලීනව ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙන එකක් නැහැ. නමුත් ඒ තත්ත්වයට යන්නනම් උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර ගත යුතුයි.

හේතු ගණනාවක් නිසා ලංකාවේ උද්ධමන ඉලක්කය එකවරම 2% මට්ටම දක්වා අඩු කරන්න බැහැ. නමුත් ඉදිරි වසර තුනක කාලය සඳහා මෙම ඉලක්කය 4% මට්ටම දක්වා අඩු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. 

දැනට මහ බැංකුවට දී තිබෙන උද්ධමන ඉලක්කය 5% වන අතර එය 3%-7% පරාසය තුළ විචලනය විය හැකියි. මෙම පරාසය 2%-6% දක්වා පහතට ගන්න බැරිකමක් නැහැ. ඉන්දියාවේ උද්ධමන ඉලක්කය වන්නේද 2%-6% පරාසයම බැවින්, ලංකාවේ ඉලක්කය එම මට්ටම දක්වා අඩු කළහොත්, දිගුකාලීනව ඩොලරයක මිල තවදුරටත් (අඩු වේගයකින්) ඉහළ යනු ඇති නමුත් ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල අතර විණිමය අනුපාතය දිගුකාලීනව වෙනස් වෙන්නේ නැහැ. එහි වාසි ගණනාවක් තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2025 අවසාන කාර්තුව දක්වාම මහ බැංකුවට රජය විසින් ලබා දුන් ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වී නැහැ.

මෙහිදී සිදු වූයේ උද්ධමනය ඉලක්කය ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. ඒ නිසා, විරෝධයක් හෝ විවේචනයක් ආවේ නැහැ. එසේ වුවත්, මෙයින් පෙනෙන පළමු කරුණ වන්නේ මහ බැංකුවට උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම තවමත් අපහසු බවයි. දෙවන කරුණනම්, ලංකාවට දිගුකාලීනව උද්ධමනය 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි. එබැවින්, පළමු කරුණ මත පදනම්ව +/- 2% පරාසය එලෙසම තබා ගන්නා අතර ඉලක්කය 4% දක්වා අඩු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. 

ඉන්දියාව උද්ධමන ඉලක්කය සංශෝධනය කරන්නේ වසර පහකට වරකුයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ඉන්දියාව විසින් 2031 දක්වා වසර පහක කාලය සඳහා උද්ධමන ඉලක්කය තීරණය කිරීමට නියමිතයි. දැනට පළ වී ඇති අදහස් අනුව පෙනී යන්නේ ඉන්දියාව 4% ඉලක්කය වෙනස් නොකරනු ඇති බවයි. යම් හෙයකින් ඉන්දියාව එම ඉලක්කය අඩු කළහොත්, ඉදිරි සංශෝධනයකදී ලංකාවට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඉදිරි වසර තුන සඳහා වන ඉලක්කය 1%කින් අඩු කළ හැකිනම් දැනට එය ප්‍රමාණවත්. 

ඉදිරි වසරේ විශේෂ තත්ත්වයක් පැවතියත්, දැනට රජයේ ඉලක්කය වන්නේ දිගුකාලීනව ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීමයි. එයින් අදහස් වන්නේ දිගුකාලීනව බැංකු පද්ධතියෙන් රජයට ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වන බවයි. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය වර්ධනය ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතරම මුදල් සැපයුමේ වර්ධනය පාලනය කර ගැනීමේ හැකියාවක් සහ එමගින් අඩු උද්ධමනයක් ඉලක්ක කිරීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. මෙම තත්ත්වය තුළ 5%ක උද්ධමනයක් ඉලක්ක කිරීමෙන් වුවද, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමාව ඉක්මවා ඉහළ යන්න පුළුවන්. ඒ නිසා, දැනට තිබෙන 5% ඉලක්කයට වඩා 4% ඉලක්කය ගැලපෙනවා. ඒ වගේම, අවශ්‍යනම් උද්ධමනය 2% මට්ටම දක්වා අඩු මට්ටමක පවත්වා ගැනීමටද මහ බැංකුවට ඉඩ ලැබෙනවා.

ලංකාවේ උද්ධමනය කළමනාකරණය කිරීමේදී මහ බැංකුවට මුහුණ දෙන්නට වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඉන්ධන මිල, විදුලි ගාස්තු ආදිය වෙළඳපොළ තුළ තීරණය නොවීමයි. මෙම වෙළඳපොළවල් නිදහස් වීමේ ඉඩක් ළඟපාතක පෙනෙන්නට නොමැති පසුබිමක මේ සඳහා විකල්ප විසඳුමක් වන්නේ මිල ස්ථායිකරණ අරමුදල් පිහිටුවීමයි. එවැන්නක් සිදු විය යුත්තේ රජය පැත්තෙනුයි. පසුගිය කාලයේ මහ බැංකුවට උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේද මෙවැනි පාලිත මිල ගණන් වල සිදු වූ මහ බැංකුවේ පාලනයෙන් තොර වෙනස් වීමයි. පසුගිය කාලයේ එය සිදු වූයේ උද්ධමනය ඉලක්කයට වඩා අඩු වන ආකාරයකින් වුවද, එහි අනෙක් පැත්තද සිදු විය හැකියි.

ඉන්දියානු රුපියල වේගයෙන් ලෝකයේ ශක්තිමත් මුදල් ඒකකයක් බවට පත් වෙමින් තිබෙනවා. ආනයන අපනයන පැත්තෙන් වගේම ආයෝජන පැත්තෙන් බැලුවත් ලංකාවට ප්‍රායෝගිකව ප්‍රවේශ වීමට පහසු ඉන්දියාව ප්‍රධාන කලාපීය වෙළඳපොළ වෙතයි. විනිමය අනුපාතයේ ඒකමිතියක් තිබීම එය පහසු කරනවා පමණක් නොව කලාපයෙන් බාහිර පාර්ශ්වයන්ට ලංකාව ඉන්දියානු ආර්ථික කලාපයේම තවත් සංරචකයක් ලෙස දකින්නටද උදවු කරනවා. 

ඓතිහාසික විකාශනය අනුව, ලංකාවේ රුපියල සැලකිය හැක්කේ ඉන්දියානු රුපියලේ දරුවෙක් ලෙසයි. එහෙත්, ඉන්දියානු පෙකණි වැල කැපූ තැන් පටන් සිදු වී තිබෙන්නේ මේ දරුවා අයාලේ යාමයි. ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතා අනුව ලොකු පිළිගැනීමක් නොමැති මුදල් ඒකක වලට අනාගතයේදී අනිවාර්යයෙන්ම ප්‍රධාන මුදල් ඒකකයක් සමඟ යම් ආකාරයකින් ගැට ගැසෙන්නට සිදු වෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික පියවරක් වන්නේද ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කිරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තියන්න පුළුවන්.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: