පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා.
1956 වසරෙන් පසුව, පසුගිය ආර්ථික අර්බුදය ඇති වන තුරු, ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ දෙවසරකදී පමණයි. අනෙක් හැම වසරකදීම දැකගත හැකි වූයේ ජංගම ගිණුම් හිඟයක්.
ජංගම ගිණුමේ හිඟයක් ඇති විට එම හිඟය පියවෙන්නේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනයෙන්. මේ විදේශ ප්‍රාග්ධනය බොහෝ විට විදේශ ණයයි. විදේශ ණය ප්‍රමාණය ඉහළ යන තරමට ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදමද ජංගම ගිණුමට බරක් වී ජංගම ගිණුමේ හිඟය තවත් ඉහළ දමනවා.
ජංගම ගිණුමේ හිඟයක් යන්නෙන් අදහස් වන්නේ උපයන විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා විදේශ විණිමය වැය කරනවා කියන එකයි. ඒ අනුව, ජංගම ගිණුමේ අතිරික්තයකින් පෙන්නුම් කරන්නේ ඉපැයූ විදේශ විණිමය වැය නොකර ඉතිරි කර ගැනීමක්.
කාලයක් ප්‍රචලිත කර තිබුණු අදහසක් වූයේ ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් "පවතින" නිසා එම හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ගන්නට සිදු වන බවයි. අප විසින් පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නේ එය එසේ නොවන බව සහ විදේශ ණය ගන්නා නිසාම ජංගම ගිණුමේ හිඟයක් පවතින බවයි. පසුගිය වසර දෙස බලද්දී අප විසින් පෙන්වා දුන් කරුණ ඉතා හොඳින් සනාථ වී තිබෙනවා.
මෙහිදී පසුගිය වසර ගැන විශේෂයෙන් සඳහන් කළේ පසුගිය වසරේදී ආනයන සිදු කිරීම බාධාවකින් තොරව සිදු වූ නිසයි. නිදහසේ වාහන ඇතුළු ආනයන සිදු කළද රටේ කිසිදු විදේශ විණිමය හිඟයක් ඇති වූයේ නැහැ. ජංගම ගිණුමේ හිඟයක් ඇති වූයේත් නැහැ. රජය විසින් විදේශ ණය ලබා ගෙන වෙළඳපොළට විදේශ විණිමය පොම්ප කරන්නේ නැත්නම් විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම වෙළඳපොළ තුල තුලනය වෙනවා.
මහ බැංකුව විසින් මැදිහත් වී වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්. එවිට ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණය හා විදේශ විණිමය ඉල්ලුම තුලනය වී රටේ විදේශ විණිමය යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හරින්නේනම් රටේ විදේශ විණිමය හිඟයක් ඇති වන්නේ නැහැ.
පසුගිය දශක ගණනාවක් පුරාම මෙවැන්නක් කළ නොහැකි වූයේ රජයේ අයවැය හිඟය පියවා ගැනීම පිණිස විදේශ ණය යොදා ගත් නිසා. රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසුව මේ තත්වය වෙනස් වී තිබෙනවා.
වසර තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 13,581.4
සේවා ආදායම් - ඩොලර් මිලියන 7,065.7
(මෙයින් ඩොලර් මිලියන 3,219.2ක් සංචාරක ආදායම්)
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 621.2
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 8,076.2
එකතුව - ඩොලර් මිලියන 29,344.5
වසර තුළ ජංගම ගිණුමෙහි වැය:
ආනයන වියදම් - ඩොලර් මිලියන 21,479.9
සේවා වියදම් - ඩොලර් මිලියන 3,358.5
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 2,645.5
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 130.4
එකතුව - ඩොලර් මිලියන 27,614.3
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.