රටක ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එකත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැනත් පෙර සටහනෙන් පැහැදිලි කළා. මේ ලිපිය තේරුම් ගැනීම සඳහා එම ලිපියෙහි පැහැදිලි කර ඇති සංකල්ප මුලින් තේරුම් ගත යුතුයි. ඒ නිසා, පෙර ලිපිය කියවූයේ නැත්නම් කරුණාකර මුලින් එම ලිපිය කියවන්න.
සංඛ්‍යාලේඛණයක් ලෙස වැදගත් වුනත්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් විදිහට නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් කිසිම වැඩක් නැහැ. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යද්දී.
රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය ඉහළ යනවානම්, ඒ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ හෝ පහළ යාමේ ලොකු වැදගත්කමක් නැහැ. ඔබට අවසාන වශයෙන් හාල් කිලෝවක් හා පොල් ගෙඩියක් අනිවාර්යයෙන්ම පරිභෝජනය කරන්න ලැබෙනවානම්, හාල් හා පොල් වල මිල කීයද කියන එකේ විශේෂ වැදගත්කමක් නැහැ. ඒ කියන්නේ මූර්ත ආර්ථිකය වර්ධනය වේනම්, උද්ධමනය ජීවන තත්ත්වය කෙරෙහි සෘජුව බලපාන සාධකයක් නෙමෙයි.
උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමන්නේ නැහැ. ඒ වගේම, පහළ දමන්නේත් නැහැ. ඒ නිසාම, මූර්ත ආර්ථිකය වර්ධනය නොවී උද්ධමනය අඩු වුනා කියලා රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේත් නැහැ. මිල මට්ටම පහළ ගියත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. අවසාන වශයෙන් වැදගත් වන්නේ මූර්ත ආර්ථික වර්ධන වේගය පමණයි.
උද්ධමනය නිසා සිදු වන නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම ඇඟට දැනෙන එකක් නෙමෙයි. ඇඟට දැනෙන්නනම් එහි සැබෑ බලපෑමක් තිබිය යුතුයි. සැබෑ බලපෑමක් නැති, නාමික වෙනසක් කොහෙත්ම ඇඟට දැනෙන්නේ නැහැ.
නමුත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම එවැනි දෙයක් නෙමෙයි. එය ඇඟට දැනෙනවා. නයිජීරියාවේ ජීවන තත්ත්වයට වඩා ඕස්ට්‍රේලියාවේ ජීවන තත්ත්වය ඉහළ බව හයේ පන්තියේ පෙළ පොත් කියවපු දරුවෙක් වුනත් දන්නවා. ඒ පෙළ පොතේ නැතත්, නයිජීරියාවේ අද ජීවන තත්ත්වය වසර තිහකට පමණ පෙර එහි ජීවන තත්ත්වයට වඩා ගොඩක් හොඳයි. අද ලංකාවේ සාමාන්‍ය ජීවන තත්ත්වය සහ අවුරුදු තිහකට පෙර තත්ත්වය අතර විශාල වෙනසක් තිබෙනවා. සමහර අය පිළිගන්න අකැමැති විය හැකි නමුත් මෙය ඇඟට දැනෙන වෙනසක්.
කෙසේ වුවත්, මේ විදිහට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ සැලකිය යුතු වෙනසක් ඇති විට හෝ එවැනි වෙනසක් සිදු වීමෙන් පසුවයි. වසරක් තුළ සිදුවන 2%ක නොව 5%ක ආර්ථික වර්ධනයක් වුවත් ඒ විදිහට ඇඟට දැනෙන්නේ නැහැ. ඇතැම් විට එවැනි කෙටිකාලයක් තුළ සිදුවන ආර්ථික වර්ධනයක ප්‍රතිලාභ සමාජයේ ඇතැම් කොටස් වෙත ඇත්තටම ගිහින් නැති වෙන්න පුළුවන්. සමාජයේ සියළුම ස්ථර වලට ආර්ථික වර්ධනය දැනෙන්න ඇතැම් විට වසර දහයක් පමණ වුවත් යන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් මෙය සිදු වෙනවා.
සාර්ව ආර්ථික විද්‍යාවේදී ආර්ථික වර්ධනය ප්‍රවාදගත කරද්දී එය දිගුකාලීන ආර්ථික වර්ධනය සහ කෙටිකාලීන ආර්ථික වර්ධනය ලෙස වෙන් කරනවා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා කෙටිකාලීනව ආර්ථික වර්ධනය කෙරෙහි බලපෑමක් කරන්න පුළුවන්. නමුත් දිගුකාලීනව මෙවැනි බලපෑම් වල දායකත්වය නිශේධනය වෙනවා. ඒ නිසා, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් දිගුකාලීන ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්න බැහැ.
රටක ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේත්, අවසාන වශයෙන් ඇඟට දැනෙන්නේත්, දිගුකාලීනව සිදු වන ආර්ථික වර්ධනයයි. කිසියම් රටකට දිගුකාලීනව තිරසාර ලෙස පවත්වා ගත හැකි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා. එය සාමාන්‍යයෙන් ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් අමාරුයි.
විභව ආර්ථික වර්ධන වේගය ලේසියෙන් වෙනස් නොවුනත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය වසරින් වසර වෙනස් වෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති හරහා සත්‍ය ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්නත් පුළුවන්.
සමහර වසර වලදී විවිධ ස්වභාවික හේතු නිසා සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා අඩු වෙනවා. නමුත්, කිසිදු මැදිහත්වීමකින් තොරව වුවත්, බොහෝ විට පසුව නැවත ආර්ථික වර්ධනය ඉහළ ගොස් විභව මට්ටමට එනවා. මේ වගේ වෙලාවක රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් වඩා ඉක්මණින් ආර්ථික වර්ධනය විභව මට්ටමට එසැවීමට උදවු කරන්න පුළුවන්. දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියේ බලපෑම උදාහරණයක්.
ඉහත කී ආකාරයේ අවශ්‍යතාවයක් නැති අවස්ථා වලදී වුවත්, කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති මගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. එහෙත්, එහිදී ඇති වන තත්ත්වය ස්ථායී තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයක් යටතේදී සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගයට වඩා වැඩි වෙනවා. එසේ වූ විට එම වේගය නැවත විභව මට්ටම දක්වා පහත වැටීමේ ස්වභාවික නැඹුරුව නිසා මෙවැනි අස්ථායී වර්ධනයක් බොහෝ විට කෙළවර වන්නේ ආර්ථිකයේ කඩා වැටීමකින්. ඔය ක්‍රමයට ආර්ථිකය වැඩියෙන් පුම්බවන තරමට කඩා වැටීමේ හානියද ඉහළ යනවා. ඒ නිසා, හොඳ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ ඉලක්කය වන්නේ රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව මට්ටමට ආසන්නව පවත්වා ගැනීමයි.
මේ සමඟ පළ කරන රූප සටහනෙහි නිල් පැහැති කඩ ඉරෙන් නිරූපණය කරන රේඛාවේ බෑවුම 0.044ක්. රතු ඉරෙන් සලකුණු කර තිබෙන්නේ 2024 රුපියල් වලින් ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගයයි. රූප සටහන දෙස බැලූ විට ඔබට පැහැදිලිව පෙනී යනු ඇත්තේ රතු ඉරේ ගමන් පථය නිල් ඉර මගින් මාර්ගෝපදේශනය වී ඇති ආකාරයයි. මෙයින් අදහස් වන්නේ, සාමාන්‍ය අගයක් ලෙස, රතු ඉරේ බෑවුමද 0.044ක් බවයි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය වසරකට 0.044කින් ඉහළ යාම මගින් පෙන්වන්නේ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වසරකට 4.4%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී ඇති බවයි.
මෙහි අප බලන්නේ වසර 75කට ආසන්න දීර්ඝ කාලයක් දෙසයි. එම දීර්ඝ කාලය තුළ, ආර්ථික වර්ධන වේගය කෙටිකාලීනව වෙනස් වී ඇතත්, දිගුකාලීනව ඇහැට පෙනෙන වෙනසක් වී නැහැ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් හා වෙළඳපොළ ආර්ථිකයක් ඇති වෙනත් රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය දෙස බැලුවද බොහෝ විට මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. විභව වර්ධන වේගය රටින් රටට වෙනස් වුවද, සත්‍ය වර්ධන වේගය එම කවර හෝ විභව වර්ධන වේගය වටා විචලනය වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. දත්ත දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන කරුණක් බැවින්, ආර්ථික විද්‍යා ප්‍රවාද මගින් පැහැදිලි කෙරෙන මෙය සිදු වන යාන්ත්‍රනය මා මෙහි විස්තර කරන්නේ නැහැ.
උදාහරණ ලෙස 1970-77 සමාජවාදී පරීක්ෂණ කාලය තුළ රතු ඉර ගමන් කරන්නේ නිල් කඩ ඉරට පහතින් වුවත්, පසුව නැවත නිල් කඩ ඉර වෙත පැමිණෙනවා. ඉන් පසුව නැවතත් 1988/89 භීෂණ කාලයේදී ආර්ථික වර්ධනය පහත වැටෙනවා. යළි විභව මට්ටම කරා පැමිණෙනවා. 2001 කටුනායක ප්‍රහාරයෙන් පසුවද මෙවැන්නක් සිදු වෙනවා.
රාජපක්ෂ දශකය තුළ සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ ගොස් ඇති ආකාරය අපට දැකිය හැකියි. මින් පෙර මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වූයේ 1950 දශකයේ මුල් භාගයේදී කොරියන් යුද්ධය නිසා රබර් මිල ඉහළ යාම තුළ ඇති වූ ලංකාවට වාසිදායක තත්ත්වයයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ රටට විදේශ විණිමය පැමිණුනේ විදේශ ණය ලෙස මිස ආදායම් ලෙස නෙමෙයි. හේතුව කුමක් වුවත්, රටක සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව වේගය ඉක්මවා ඉහළ මට්ටමක පැවතීම ස්ථායී තත්ත්වයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් කොයි වෙලාවේ හෝ නිවැරදි වෙනවා.
රටක විභව වර්ධන වේගය දිගටම එකම මට්ටමක තිබිය යුතුද? එය වෙනස් වෙන්න බැරිද?
ඉහත කොටස කියවීමෙන් පසුව, රටක විභව වර්ධන වේගය යනු වෙනස් කළ නොහැකි ස්ථිර දෙයක් වැනි අදහසක් එන්න පුළුවන්. වෙනත් ඕනෑම දෙයක් මෙන් විභව වර්ධන වේගයද වෙනස් වන සහ වෙනස් කළ හැකි දෙයක්. මා කියා තිබෙන්නේ සාමාන්‍යයෙන් වෙනස් නොවන බව සහ වෙනස් කිරීම අසීරු බව පමණයි.
මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මගින් කෙටිකාලීනව සත්‍ය වර්ධන වේගය වෙනස් කිරීම සාපේක්ෂව පහසුවෙන් කළ හැකි දෙයක්. එහෙත් මෙහිදී විභව වර්ධන වේගයේ වෙනසක් සිදු වන්නේ නැහැ. එසේ වුවද, රටක ජනතාවගේ ජීවන තත්ත්වය තිරසාර ලෙස ඉහළ යාමටනම් වෙනස් විය යුත්තේ විභව ආර්ථික වර්ධන වේගයයි.
අර්ථදැක්වීම අනුවම, විභව ආර්ථික වර්ධන වේගය යනු දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. ඒ නිසා, එහි සැබෑ වෙනස් වීමක් නිරීක්ෂණය කළ හැක්කේ දීර්ඝ කාලයකට පසුවයි. ඇතැම් විට, විභව ආර්ථික වර්ධන වේගය වෙනස් නොවී, වසර දහයක් පමණ වන දීර්ඝ කාලයක් තිස්සේ වුවද සත්‍ය ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවතින්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් ප්‍රතිපත්ති සම්පාදකයින් හා වෙනත් විශ්ලේෂකයින් විසින් විභව ආර්ථික වර්ධන වේගය ඉහළ යාමක් ලෙස වරදවා තේරුම් ගන්නත් පුළුවන්.
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව තීරණාත්මකම හැරවුම සේ සැලකිය හැක්කේ 1977 වෙනසයි. මෙය තීරණාත්මක හැරවුමක් වන්නේ එම වසරේදී ක්ෂණිකව සිදු වූ වෙනස්කම් නිසාම නෙමෙයි. ඉන් පසු වරින් වර ආණ්ඩු වෙනස් වුවද නැවත 1970-77 ආකාරයේ ප්‍රතිපත්ති කරා ආපසු නොගිය නිසා. මේ පදනම මත, 1977ට පෙර යුගය ඉවත් කර ඉහත නිල් කඩ ඉර නැවත ඇන්දොත් අපට පෙනෙන්නේ ඉන් පසු කාලය තුළ ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය 4.6% මට්ටමේ තිබී ඇති බවයි. මේ අනුව, පැහැදිලි වන්නේ ප්‍රතිපත්ති වෙනස්කම් මගින් විභව ආර්ථික වර්ධන වේගය වුවද වෙනස් කර ගත හැකි බවයි. එහෙත්, එක වර විශාල වෙනසක් කළ නොහැකියි.
දත්ත අනුව දැකිය හැකි පරිදි, රාජපක්ෂ දශකය සත්‍ය වර්ධන වේගය විභව මට්ටමට වඩා ඉහළින් පැවති කාලයක්. එම කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්. මෙම ඉහළ වර්ධන වේගය විභව වර්ධන වේගයේ වැඩි වීමක් ලෙස අපට සැලකිය නොහැකිද?
අදාළ කාලයේ මේ ප්‍රශ්නය කිසිවකු විසින් ඇසුවේනම් ප්‍රශ්නයට පිළිතුරක් දෙන එක අසීරු වැඩක්. එහෙත්, මේ වෙද්දී ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. ඇතැම් අයට අනුව, ඒ කාලයේ ඉහළ මට්ටමක පැවති වර්ධන වේගය අඩු වීමට හේතුව ආණ්ඩු වෙනසයි. අප එය එසේයැයි පිළිගතහොත්, එම තර්කය මගින්ම පෙන්වා දෙන්නේ රාජපක්ෂ දශකය තුළ විභව වර්ධන වේගයේ ඉහළ යාමක් සිදු වී නොමැති බවයි. එසේ වීනම් ආණ්ඩු වෙනසකින් පසුව වර්ධන වේගය අඩු වන්නේ නැහැ. විභව වර්ධන වේගය කියන්නේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් නඩත්තු කරන වර්ධන වේගයක් නෙමෙයි.
මෙය පෙන්වා දීම දැන් වඩා පහසු වුවත්, ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම ගැන අදහසක් ඇති අයෙකුට මේ බැව් තේරුම් ගැනීම අපහසුව තිබුණේ නැහැ. අප විසින්ම වසර ගණනකට පෙර සිට අපේක්ෂිත කඩා වැටීම පිළිබඳව පුරෝකථනය කර තිබුණේ එසේ කළ හැකිව තිබුණු නිසා. ඒ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා කළ හැකිව තිබුණු දේ නොකිරීම කණගාටුවට කරුණක්. එහෙත් මේ වෙද්දී එම කඩා වැටීම සිදු වී අවසන්. ඒ වගේම, ඒ හරහා කළ යුතුව තිබුණු නිවැරදි කිරීමක් ඉබේටම සිදු වී ආර්ථිකය ස්ථාවර වීමක් සිදු වුනා. දැන් කරන්නට තිබෙන්නේ පරණ වැරදි නැවත නොකර මේ තත්ත්වය දිගටම පවත්වා ගෙන යාමයි.
පරණ වැරදි නැවත නොකර සිටිය යුතු බැවින් ඇතැම් විට ඉතිහාසය දෙස පසු විපරමක් කළ යුතු වුවත්, අප වඩා උනන්දුවක් දක්වන්නේ අනාගතවාදීව ලියන්නටයි. දැන් අපි ඉහත සංකල්ප ඇසුරෙන් ලංකාවේ අනාගතය දෙස බලමු.
අතීත වාර්තාව අනුව, ලංකාවට 7%ක් වැනි විභව වර්ධන වේගයක් ඉලක්ක කිරීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, වත්මන් සාර්ව ආර්ථික සැලසුම තුළ ඉලක්ක කර තිබෙන මට්ටම 3.1% විභව වේගයයි. එය ලංකාවේ සැබෑ විභවයද?
මෙයට මගේ පිළිතුර වන්නේ ලංකාවේ සැබෑ විභවය 3.1% මට්ටමට වඩා වැඩි විය යුතු බවයි. එසේනම්, මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ සාර්ව ආර්ථික සැලසුම තුළ 3.1% මට්ටම ඉලක්ක කර තිබෙන්නේ ඇයි?
රාජපක්ෂ දශකය තුළ ඉදිරියට ගෙන ගියේ ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියයි. ඉතා පුළුල් පදනමකින්, වෙළදපොළ ආර්ථිකයක් ඇති රටවල ආර්ථික ප්‍රතිපත්ති අපට කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි.
1. විශාල රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (ස්කැන්ඩිනේවියානු ක්‍රමය)
2. අඩු රාජ්‍ය ආදායමක් හා අඩු රාජ්‍ය වියදමක් සමඟ තුලිත අයවැයක් (දකුණු ඉවුර කණ්ඩායම විසින් යෝජනා කරන ක්‍රමය)
3. අඩු රාජ්‍ය ආදායමක් හා විශාල රාජ්‍ය වියදමක් සමඟ රාජ්‍ය ණය මගින් පියවන අයවැයක් (ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුද වලට මුහුණ දුන් රටවල් බොහොමයක් විසින් අනුගමනය කළ ක්‍රමය)
මේ වෙන් කිරීම තුළ මූලික ආර්ථික විද්‍යා සංකල්ප වලින් එහාට ගිය දේශපාලනික බෙදීමක් දකින්න පුළුවන්. මේ එක් එක් ක්‍රමයේ වාසි හා අවාසි තිබෙනවා. කෙසේ වුවත්, දැනට අපට මේ සාකච්ඡාව ගෙන යාමට අවශ්‍ය එතැනට නෙමෙයි.
ඇත්ත වශයෙන්ම ජේ ආර් ජයවර්ධන විසින් ඉහත තුන් වන ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1977දී නෙමෙයි. ඔහු එය කළේ 1947දී මුදල් ඇමති වූ වහාමයි. 1977දී ඔහු එය වෙනම මට්ටමකට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ විසින් එය තවත් ඉහළ මට්ටමකට ගෙන ගියා. මේ හැම මට්ටමකදීම ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබුණත් ආර්ථික අස්ථායීතාවය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. මේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කළේ රනිල්ගේ පාලන කාල වලදී පමණයි. එය ඉහත දෙවන ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. දැන් මාලිමා ආණ්ඩුව විසින් අනුගමනය කරන්නේද එම ක්‍රමයයි.
ආර්ථික අර්බුදය දක්වා ලංකාවේ වර්ධන ගමන් මග දෙස ආපසු හැරී බලන්නේනම්, ලංකාවට අපහසුවකින් තොරව 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, මෙහිදී අපට අමතක කළ නොහැකි කරුණක් වන්නේ එම වර්ධන වේගය පවත්වා ගෙන ගියේද දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරමින් බවයි. එසේ දිගින් දිගටම ණය නොගෙන 4.4%ක වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වාගෙන යා හැකිද? එසේ නැත්නම් එසේ පවත්වා ගෙන යා හැකි වර්ධන වේගය 3.1% පමණක්ද?
රාජපක්ෂ දශකය තුළ පවත්වා ගත් 6.4%ක වර්ධන වේගය තිරසාර නොමැති බව ඉතා පැහැදිලියි. නමුත් 1977 සිට අඩු වශයෙන් වසර 30ක් පමණ එක දිගට 4.8%ක පමණ සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගැනීම ලංකාවට අසීරු කරුණක් වූයේ නැහැ. මෙවැන්නක් සිදු කළේ දිගින් දිගටම ණය ගනිමින් වුවත්, එම ණය ගැනීම් ණය පැහැර හැරීමට සිදු වන අර්බුදයක් දක්වා වර්ධනය වූයේ නැහැ. වරින් වර ගෙවුම් ශේෂ අර්බුද ආවත් මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගත හැකි වුනා. ඒ නිසා, එසේ කළ යුතුයැයි සිදු කෙරෙන යෝජනාවක් නොවුනත්, නැවතත් යම් මට්ටමකින් ණය ගනිමින් 4.8%ක පමණ වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගෙන යාම නොකළ හැක්කක් නෙමෙයි.
මෙහි අප ගොනු කළ තර්ක අනුසාරයෙන් ලංකාවේ විභව වර්ධන වේගයේ පරාසය 3.1%-4.8% ලෙස අපට සැලකිය හැකියි. එය කවර අගයක් වුවද, ඉහත ප්‍රස්ථාර අනුව පෙනී යන්නේ මේ වන විට ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ විභව මට්ටමට වඩා පහතින් බවයි. එවැනි තත්ත්වයක් යටතේ, විභව වර්ධන පථය දක්වා යන තුරු, ආර්ථිකය විභව මට්ටමට වඩා වේගයෙන් වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයයි. ඒ නිසා, ඉදිරි වසර කිහිපය තුළ විභව මට්ටම ඉක්මවා යන වර්ධනයක් ලඟා කර ගැනීමේ විභවයක් ලංකාවට තිබෙනවා. ඒ වගේම, රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මගින් මේ වර්ධනයට තල්ලුවක් දීමේ හැකියාවද තිබෙනවා. එහෙත්, එසේ කළ යුත්තේ ස්ථායීතාවය අවදානමේ නොහෙලමිනුයි.
මොනවද ඉකොනො මේ මෙලෝ වැඩක් නැති පල් හෑලි
ReplyDeleteපුහුනු / නොපුහුනු වොශින් මැසින් ක්‍රියාකරු,හා පිටු ගැලවීම් කරු තනතුර සදහා පලපුරුදු ඩෝබි වරුන් අවශ්‍යයි.
ReplyDeleteඉහල වැටුප්
ආහාර නවාතැන් නොමිලේ
ප්‍රදාන කාර්යාලය
පැලවත්ත
බත්තරමුල්ල පුහුනු / නොපුහුනු වොශින් මැසින් ක්‍රියාකරු,හා පිටු ගැලවීම් කරු තනතුර සදහා ඩෝබි වරුන් අවශ්‍යයි
ඉහල වැටුප් ආහාර නවාතැන් මහජන බදු මුදලින් නොමිලේ ලබාදෙනු ලැබේ
අමතන්න
ටිංටිං ඩයි මයිනා සිල්වා මහතා
ප්‍රදාන කාර්යාලය
පැලවත්ත
බත්තරමුල්ල