වෙබ් ලිපිනය:

Saturday, January 31, 2026

සංචිත මුදල් සැපයුම සහ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම


පසුගිය (2025) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 712.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 2,298.5කට සමානයි. ශුද්ධ විදේශ වත්කම් යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුව සතුව ඇති දළ විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ශේෂයයි. 

පෙර (2024) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 222.1ක් වූ අත්ර අතර එය ඩොලර් මිලියන 759.3කට සමාන මුදලක්. ඒ අනුව 2025 වසර තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 1,539.2කින් ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය වසර තුළ මහ බැංකුවේ දළ නිල සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 734ක් පමණයි. ඒ අනුව පෙනී යන්නේ දළ නිල සංචිත ඉහළ යාමට අමතරව මහ බැංකුවේ විදේශ බැරකම් වලද සැලකිය යුතු අඩු වීමක් සිදු වී ඇති බවයි. 

ආර්ථික අර්බුදය ඇති වීමට දෙවසරකට පෙර, 2020 පෙබරවාරි මාසය වන විට මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම, එනම් මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු රුපියල් ප්‍රමාණය, බිලියන 963.3ක්. ඒ වන විට මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම බිලියන 971.0ක්. 

මෙයින් අදහස් වන්නේ යම් හෙයකින් මහ බැංකුව විසින් ඒ දක්වා නිකුත් කර තිබුණු රුපියල් සියල්ලම ආපසු ලබා ගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීමට අවශ්‍ය වුවද එය කළ හැකි තරම් විදේශ වත්කම් ප්‍රමාණයක් මහ බැංකුව සතුව ඒ වන විට තිබුණු බවයි. ශ්‍රී ලංකා රජය කාලයක් තිස්සේම ණය ගොඩ ගසාගෙන හිටියත් මහ බැංකුව ඒ වන විටද ස්ථාවර තත්ත්වයක සිටියා.

සංසරණයේ ඇති මුදල් සියල්ල මහ බැංකුව විසින් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඩොලර් ලබා දීම තනිකරම මනඃකල්පිත අදහසක් වුවත්, එවැනි හැකියාවක් තිබීම යන්නෙන් අදහස් වන්නේ රුපියලට ශක්තිමත් හා ස්ථාවර පදනමක් ඇති බවයි. එය රන් සම්මතයකට තරමක් සමාන තත්ත්වයක්. ඊට හේතුව එවැනි ස්ථාවර තත්ත්වයක් ඇත්නම් ඩොලර් වෙනුවට රන් සංචිතම වුවද පවත්වා ගත හැකි වීමයි. 

ආර්ථික අර්බුදයට පෙර මෙම ශක්තිමත් පදනම ක්‍රමක්‍රමයෙන් දුර්වල වුනා. රජයේ ආර්ථික පදනම කාලයක පටන්ම දුර්වල වෙමින් පැවතියත්, මහ බැංකුවේ ස්ථාවරත්වය මේ ආකාරයෙන් දුර්වල වූයේ පළමු වරටයි. විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගැනීම සඳහා රටේ විදේශ සංචිත විකිණීම සහ අනෙක් පැත්තෙන් රුපියල් සැපයුම වැඩි කිරීම (සල්ලි අච්චු ගැසීම) හේතුවෙන් 2021 ජූලි මාසය වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා. 

ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණු පසුවද විණිමය අනුපාතය නිදහස් කිරීමක් සිදු වූයේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ චීනයෙන්, ඉන්දියාවෙන් මෙන්ම බංග්ලා දේශයෙන්ද ණය ගනිමින් විණිමය අනුපාතය නොවෙනස්ව පවත්වා ගනු ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත මුදල් සැපයුම මෙන් දෙගුණයකයත් වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුනා. සංචිත මුදල් සැපයුම අඩුවෙන් පෙනුණේ එසේ එකතු කළ රුපියල් වලින් අඩක් පමණ මහ බැංකුව විසින් නැවතත් ණයට ගත් ඩොලර් සමඟ හුවමාරු කරගත් නිසයි. ඒ අනුව, මෙය මහ බැංකුව විසින් එක වර රුපියල් මෙන්ම ඩොලර්ද වෙළඳපොළට නිකුත් කිරීමක් සේ සැලකිය හැකියි. 

පසුව මහ බැංකුව විසින් සිය ස්ථාවරය වෙනස් කර විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ දමා ගත් නමුත් 2024 ඔක්තෝබර් මාසය වන තුරුම මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් නැවත ධන අතට හැරුනේ නැහැ. මේ වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී ඇතත්, දැනටද මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් සැපයුමෙන් 39.7%ක් පමණයි. 2020දී පැවති ස්ථාවරත්වය නැවත ඇති කරගැනීමටනම්, අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 3.5ක පමණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමට සිදු වෙනවා. 

ඉදිරි දෙවසර තුළදීද සැලකිය යුතු ජංගම ගිණුම් අතිරික්තයක් පවත්වා ගතහොත්, 2028 වන විට මෙම ස්ථාවරත්වය ලඟා කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේ කළ හැකිනම්, 2028 වසරේදී ණය ආපසු ගෙවීම සඳහා නැවතත් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම (2025) වසරේ ජංගම ගිණුම් අතිරික්තයට නොඅඩු (ඩොලර් බිලියන 2ක පමණ) ජංගම ගිණුම් අතිරික්තයක් 2026 හා 2027 වසර වලදීද පවත්වා ගන්නා අතර, සංචිත මුදල් සැපයුමේ වර්ධනයට අනුපාතිකව ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හරින්නේනම් මේ ඉලක්කයට යා හැකියි. 

ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා මුදල් සැපයුමේ යම් වර්ධනයක් අවශ්‍යයි. එහෙත් මුදල් සැපයුම ඕනෑවට වඩා වැඩියෙන් වර්ධනය වේනම් ඊට අනුරූපව ඩොලරයක මිලද ඉහළ යාමට ඉඩ සලස්වන්න වෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, ඩොලරයක මිල පාලනය කිරීමටනම් මුදල් සැපයුම පාලනය කර උද්ධමනය පාලනය කරන්නට සිදු වෙනවා. අවසාන වශයෙන් මෙය මුදල් සැපයුම, ඩොලරයක මිල, ජංගම ගිණුම් ශේෂය සහ ආර්ථික වර්ධනය ඇතුළු සියලු සාර්ව ආර්ථික විචල්‍ය වල ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. රජය විසින් ඊළඟ වටයේදී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කළහොත් මේ ස්ථාවරත්වය ලබා ගැනීම වඩා පහසු වෙනවා. 

1 comment:

  1. ඉකොනෝමැට්ටා

    ඔයාගේ මේ පෝස්ට් එක ආර්ථික විද්‍යාවේ එන ඉතා සංකීර්ණ දත්ත කිහිපයක් ගෙන ඒවා තමන්ට අවශ්‍ය පරිදි "අලවා" සකස් කරන ලද, බැලූ බැල්මට නිවැරදි යැයි සිතෙන නමුත් මූලික ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඉතාමත් දෝෂ සහිත එකක් බව කණගාටුවෙන් වුවත් පෙන්වා දීමට සිදුවෙනවා.

    ඔබ තරහා ගන්නේ නැතිනම් මගේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඇති අවබෝධය අනුව මෙම ප්‍රකාශයේ ඇති ප්‍රධාන මිත්‍යාවන් සහ වැරදි දත්ත අර්ථකථනයන් මම මෙසේ විග්‍රහ කරමි.

    ​1. ශුද්ධ විදේශ වත්කම් (NFA) පිළිබඳ මිත්‍යාව සහ "රන් සම්මතය"

    ​මෙම පෝස්ටුවේ සඳහන් වන විශාලතම මෝඩ කතාව වන්නේ "මහ බැංකුව නිකුත් කර ඇති රුපියල් ප්‍රමාණයට සමාන ඩොලර් ප්‍රමාණයක් තිබේ නම් එය රන් සම්මතයකට සමානයි" යන්නයි.

    නවීන ආර්ථික විද්‍යාව ක්‍රියාත්මක වන්නේ "Fiat Money" (විශ්වාසය මත පදනම් වූ මුදල්) පද්ධතියක් මත මිස 19 වැනි සියවසේ පැවති "රන් සම්මතය" (Gold Standard) මත නොවේ.

    එනිසා සැබෑ යථාර්ථය නම් ලෝකයේ කිසිදු දියුණු රටක් (ඇමරිකා එ.ජ., එංගලන්තය හෝ ජපානය) තමන් නිකුත් කර ඇති මුළු මුදල් ප්‍රමාණයට (Reserve Money) සමාන විදේශ වත්කම් ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගන්නේ නැත. එසේ කිරීම ආර්ථික වශයෙන් ඉතා අකාර්යක්ෂමයි.

    ​උදා: ඔබ රුපියල් 100 ක් මුද්‍රණය කර එය සංසරණයට යවා, ඒ වෙනුවෙන් ඩොලර් 100 ක් පෙට්ටියක දමා වසා තැබුවහොත්, එම මුදලින් ආර්ථිකයට ලැබෙන ප්‍රයෝජනයක් නැත. ආර්ථික වර්ධනය සඳහා එම මුදල් ආයෝජනය විය යුතුය.

    ​2. මහ බැංකුවේ ස්ථාවරත්වය සහ රජයේ ණය

    ​ඔබ මෙහි පවසන්නේ "රජය ණය ගත්තත් මහ බැංකුව 2020 දී ස්ථාවරව සිටියා" කියායි. මෙය ආර්ථික විද්‍යාව නොදන්නා අයෙකුට කරන ලොකුම මුලාවකි.

    ​සැබෑව නම් මහ බැංකුව සහ රජය යනු වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින "සාර්ව ආර්ථික පද්ධතියක" කොටස් දෙකක් බවයි

    ​සාක්ෂි ලෙස රජය අයවැය හිඟය පියවා ගැනීමට දිගින් දිගටම විදේශ ණය ගන්නා විට, එම ණය අවසානයේ මහ බැංකුවේ විදේශ බැරකම් (Foreign Liabilities) ලෙස සටහන් වේ. රජයේ මූල්‍ය පදනම දුර්වල වන විට මහ බැංකුවේ ස්ථාවරත්වය රැකගත නොහැක. 2020 වන විටත් ශ්‍රී ලංකාව පැවතියේ විශාල අතිභයානක ණය අර්බුදයක අද්දර මිස "ශක්තිමත් පදනමක" නොවේ. කොවිඩ් නිසා මේ අර්බුදය වඩාත් තීව්‍ර වුණා මිස ඒ නැතත් මේ අර්බුදය මෙලෙසම ඒමට නියමිතව තිබුණේ 2015 - 19 අතර කාලයේ පැවති බරපතල ආර්ථික පරිහානිය සහ අධික පොලී කෙටිකාලීන ISB ණය බර නිසයි

    ​3. ශුද්ධ විදේශ වත්කම් (NFA) ධන අතට හැරීම සහ ණය පැහැර හැරීම

    ​2025 දී NFA ඉහළ යාම විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වීමට මෙයින් ඔබ උත්සාහ කරයි. නමුත් මෙහිදී ඔබ හිතාමතාම සඟවන කරුණක් ඇත.

    එනම් ශ්‍රී ලංකාව දැනට විදේශ ණය වාරික ගෙවීම නතර කර ඇත (Debt Moratorium).

    ලංකාවේ අපි ණය ගෙවන්නේ නැති විට, මහ බැංකුව සතු ඩොලර් එලියට යන්නේ නැත. එලියට නොගොස් එකතු වන ඩොලර් දෙස බලා "සංචිත වැඩි වෙලා, අපි දැන් ශක්තිමත්" යැයි කීම මුලාවකි.

    ​සැබෑ තත්ත්වය නම් මේ NFA ධන අතට හැරී ඇත්තේ අපේ ආර්ථිකය දියුණු වූ නිසා නොව, අප "ණය නොගෙවන බංකොලොත් රටක්" ලෙස තවමත් සිටින නිසාය.

    ​4. 2028 වන විට ස්වෛරිත්ව බැඳුම්කර (ISB) නිකුත් නොකිරීම

    ​මෙම පෝස්ටුවේ ඔබ පවසන්නේ 2028 වන විට ණය ගෙවීමට නැවත ණය (ISB) ගැනීමට අවශ්‍ය නොවන බවයි. මෙය ඉතා භයානක සහ පදනම් විරහිත ප්‍රකාශයකි.

    ​ආර්ථික විද්‍යාව අනුව ලෝකයේ කිසිම රටක් තමන්ගේ සංවර්ධන ණය ගෙවන්නේ ජංගම ගිණුමේ අතිරික්තයෙන් පමණක් නොවේ. ඔවුන් කරන්නේ "Debt Rollover" කිරීමයි (එනම් පරණ ණය ගෙවීමට නව ණය සාධාරණ පොලියකට ලබා ගැනීමයි).

    ​අවශ්‍යතා අනුව 2028 වන විට ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට (ISB) පිවිසීමට නොහැකි වුවහොත්, අපට ණය වාරික ගෙවීමට නොහැකි වී නැවතත් බංකොලොත් වීමට සිදු වේ. "ණය ගන්නේ නැතිව ඉන්නවා" කීම ආර්ථිකයේ හැකිලීමක් මිස ප්‍රසාරණයක් නොවේ.

    ​5. මුදල් සැපයුම සහ ඩොලරයේ මිල පිළිබඳ අවුල

    ​ඔබ පවසන්නේ ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ දී හෝ මුදල් සැපයුම පාලනය කර ස්ථාවරත්වය ලැබිය හැකි බවයි.

    නමුත් මෙය "Impossible Trinity" (අසම්භාව්‍ය ත්‍රිත්වය) නම් ආර්ථික සංකල්පය පිළිබඳ නොදැනුවත්කමයි.

    එනම් රටකට එකවර
    (1) ස්ථාවර විණිමය අනුපාතයක්, (2) නිදහස් ප්‍රාග්ධන චලනයක් සහ (3) ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගත නොහැක.

    ​ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ දීම යනු උද්ධමනය ඉහළ යාමයි. එවිට පාරිභෝගිකයාගේ ජීවන වියදම ඉහළ ගොස් ආර්ථිකය තවදුරටත් අස්ථාවර වේ.

    ඉකොනොමැට්ටා මෙම පෝස්ටුව ලියා ඇත්තේ ආර්ථික විද්‍යාත්මක දත්ත "චෙරි-පික්" (Cherry-picking) කරමින්, එනම් තමන්ට වාසිදායක දත්ත පමණක් ගෙන අවාසිදායක දත්ත (ණය පැහැර හැරීම, ආයෝජන බිඳවැටීම) සඟවමිනි.

    නමුත් රටක සැබෑ ආර්ථික ස්ථාවරත්වය ඇති වන්නේ
    ​මහ බැංකුවේ ගිණුම් වල ඇති "කෘත්‍රිම ධන අගයන්" වලින් නොව, ​රටේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය වීමෙන් සහ ණය ගෙවීමේ හැකියාව (Solvency) නැවත ඇති කර ගැනීමෙනි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: