වෙබ් ලිපිනය:

Thursday, December 31, 2020

Do you love me? සුබ නව වසරක්!



ගෙවුණු වසර මුලදී සුබ නව වසරක් කියා අපි බොහෝ දෙනෙක් විසින් කරපු ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වුනා කියා කියන්න අමාරුයි. මම හිතන්නේ ගෙවුණු අවුරුද්ද අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත වල අත්දැකපු නරකම අවුරුද්දක්. ඒ නිසාම, එළැඹෙන අවුරුද්ද ගෙවෙනු වසරට වඩා යහපත් වසරක්විය යුතුමයි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනත්, අඩු වශයෙන් එළැඹෙන වසර වඩා යහපත් වසරක් කර ගන්න අපට හැකි පමණින් අපි උත්සාහ කරමු.


වසරක් ගණනක් සිදු තිස්සේ සිදු වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරමින් යුරෝපීය සංගමය හා බ්‍රිතාන්‍යය අතර සංචරණය සඳහා වූ පූර්ණ නිදහස අදින් අවසන් වෙනවා. ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ 521-73 ලෙස විශාල බහුතරයකින් සම්මත වූ වෙළඳ ගිවිසුම අනුව බ්‍රිතාන්‍ය-යුරෝපීය සංගම් දේශ සීමාව හරහා තීරු බදු හෝ කෝටා කිසිවක් රහිතව තව දුරටත් භාණ්ඩ හුවමාරු වනු ඇතත්, භාණ්ඩ හුවමාරුව සඳහා තිබෙන ඒ නිදහස සේවා හුවමාරුවට තවදුරටත් හිමි වන්නේ නැහැ. මේ අනුව, බ්‍රිතාන්‍ය හා යුරෝපීය සරසවි අතර පැවති සිසු හුවමාරු වැඩසටහන් ඇතුළු බොහෝ ගිවිසුම් අවසන් වෙනවා.

පසුගිය සියවස පුරා ලෝකයේ රටවල් අතර භාණ්ඩ වෙළඳාම සඳහා වූ බාධාවන් විශාල සේ අඩු වුනත්, සේවා හුවමාරු හා සංක්‍රමණය හා අදාළව එවැනි තත්ත්වයක් ඇති වුනේ නැහැ. හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම ලෙස නිපදවෙන භාණ්ඩ හා සේවා වලට වගේම වඩා කාර්යක්ෂම ලෙස භාණ්ඩ හා සේවා නිපදවන ශ්‍රමිකයන්ටද වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව හිමිවන නමුත් එය අකාර්යක්ෂම ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි කිරීමද සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක පැත්තකින් සුබසාධනවාදය වෙතටත්, අනෙක් පැත්තෙන් ජාතිකවාදය වෙතටත් රටවල් තල්ලු වෙනවා. එහෙත්, ප්‍රශ්නයේ මුල කාර්යක්ෂමතාවය නිසා ජාතිකවාදී විසඳුම් වලින් කළ හැක්කේ ප්‍රශ්නය තාවකාලිකව යටපත් කිරීම පමණයි. 

හැම විටම කාර්යක්ෂමතාවය හොයා යන ධනවාදය තුළ වඩා කාර්යක්ෂම සංක්‍රමණිකයෙකු අකාර්යක්ෂම ස්වදේශිකයෙකු වෙනුවෙන් ආදේශ කළ නොහැකි වූ විට, තාවකාලිකව ස්වදේශිකයෙකුගේ රැකියා අවස්ථා ඉහළ යන නමුත් දිගුකාලීනව සිදු වන්නේ අකාර්යක්ෂම මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය හා ස්වයංකරණය ආදේශ වීමයි. ඔබේ සේවා ආයතනයේ ඔබ සමඟ සේවය කරන සහායකයා මිනිස් මිනිස් ශ්‍රමිකයෙකු නොවී යාන්ත්‍රික ශ්‍රමිකයෙකු වීමට වැඩි කළක් යන එකක් නැහැ. ඒ එක්කම, වේගවත් ලෙස ස්වයංකරණය හඹා යන හා එසේ නොකරන රටවල් අතර පරතරය එන්න එන්නම පුළුල් වෙන එකත් නොවැලැක්විය හැකි දෙයක්.



***
You broke my heart
'Cause I couldn't dance
You didn't even want me around
And now I'm back
To let you know
I can really shake 'em down
Do you love me?
(I can really move)
Do you love me?
(I'm in the groove)
Now do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Watch me now, hey
(Work, work)
Ah, work it all baby
(Work, work)
Well, you're drivin' me crazy
(Work, work)
With a little bit of soul now
(Work)
I can mash-potato
(I can mash-potato)
And I can do the twist
(I can do the twist)
Now tell me baby
(Tell me baby)
Do you like it like this
(Do you like it like this)
Tell me
(Tell me)
Tell me
Do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now, do you love me?
(Do you love me)
Now that I can dance
(Dance)
Dance
Watch me now, hey
(Work, work)
Ah, shake


සුබ නව වසරක්!!! Happy New Year!!!


Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


Tuesday, December 29, 2020

කෝවිඩ් ජාතිකත්වය


මා පෙර ලිපියක විස්තර කළ පරිදි, ඇමරිකාව විසින් කෝවිඩ් එන්නත් වැඩි දියුණු කිරීම සඳහා කරන ආයෝජන වශයෙනුත්, එන්නත් මිල දී ගැනීම සඳහා කරන පෙර ගෙවුම් ලෙසත්, සමාගම් ගණනාවකට ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මේ ආයෝජන හා පෙර ගෙවුම් සිදු කර තිබෙන්නේ අදාළ එන්නත් සාර්ථක වනු බවට කිසිදු සහතිකයක් නැතිවයි. වෙනත් විදිහකට කිවුවොත් නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ගේ බදු මුදල් වලින් ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මේ ආකාරයෙන් එන්නත් හදන්නත් කලින් එන්නත් මිල දී ගත් එකම රට ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් සියල්ලම මෙන්ම නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා. මේ විදිහට සමාගම් ගණනාවකට අදාළ එන්නත් හදන්න කලින්ම පෙර ගෙවුම් කිරීමෙන් කර තිබෙන්නේ ඔට්ටු ඇල්ලීමක්. එම රට වලට ගත් අවදානම වෙනුවෙන් මේ වෙද්දී ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. 

විවිධ රටවල් විසින් පෙර ගෙවුම් ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවම වශයෙන් එන්නත් බිලියන 8ක් මේ වන විට විකිණී අවසන්. එය ලෝක ජනගහණය ඉක්මවන ප්‍රමාණයක්. එක් අයෙකුට බොහෝ විට එන්නත් දෙකක් අවශ්‍ය වන නිසා මේ එන්නත් ප්‍රමාණය අවම වශයෙන් ලෝක ජනගහණයෙන් බාගයකට ප්‍රමාණවත් වුවත්, එම එන්නත් ලෝකයේ රටවල් අතර ජනගහණයට සමානුපාතිකව බෙදී යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. උදෙන්ම ඇහැරුණු කුරුල්ලෝ වැඩියෙන් පණුවෝ අල්ලයි.

ඇමරිකාව වෙනුවෙන් සමාගම් හයකින් දැනටමත් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 550 කට ප්‍රමාණවත්. එහෙත්, ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණයි. ඒ අනුව, රටේ ජනගහණය මෙන් 167%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකාව මේ වන විට මුදල් ගෙවා අවසන්. එහෙත්, මේ එන්නත් වලින් මේ වන තුරු අනුමත වී තිබෙන්නේ සමාගම් දෙකක එන්නත් පමණයි. එම සමාගම් දෙකෙන් මිල දී ගැනෙන එන්නත් වුවත් ජනගහණයෙන් 60%කට ප්‍රමාණවත්. එම මට්ටමේදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඊයේ උදේ වෙද්දී ඇමරිකානුවන් 2,127,143 දෙනෙකු විසින් කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබුණා. මේ ප්‍රමාණය ලෝකයේ කිසියම් රටක ලබා දී තිබෙන වැඩිම එන්නත් ප්‍රමාණය වුවත්, එම ප්‍රමාණය ඇමරිකාවේ ජනගහණයෙන් 0.64%ක් පමණයි.

මේ කාර්යයේදී වෙනත් බටහිර රටවල් ගණනාවක්ම ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. මිලියන 38ක ජනගහණයක් සිටින කැනඩාව විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 117කට, එනම් රටේ ජනගහණය මෙන් 308%කට, ප්‍රමාණවත්.දැනට අනුමත වී තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් පමණක් වුවත් කැනේඩියානුවන්ගෙන් 80%කට ප්‍රමාණවත්. ඒ මට්ටමේදී කැනඩාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවන්නට හේතුවක් නැහැ. මේ වන විට අවම වශයෙන් කැනේඩියානුවන් 52,324 දෙනෙකු විසින් එන්නත ලබා ගෙන තිබෙනවා. එහෙත්, එම ප්‍රමාණය කැනඩාවේ ජනගහණයෙන් 0.16%ක් පමණයි.

එක්සත් රාජධානිය විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය එරට ජනගහණය මෙන් 290%කට ප්‍රමාණවත්. එහෙත්, එක්සත් රාජධානිය විසින් මේ වන තුරු අනුමත කර තිබෙන්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණයි. එම එන්නතෙන් මිල දී ගෙන ඇති ප්‍රමාණය එරට ජනගහණයෙන් 30%කට ප්‍රමාණවත්. එක්සත් රාජධානිය විසින් වැඩිපුර ඔට්ටු දමා තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවෙනුයි. ඇස්ට්‍රසෙනිකා එන්නත එක්සත් රාජධානිය තුළ ඉතා ඉක්මණින් අනුමත වේයැයි අපේක්ෂිතයි. එම එන්නත අනුමත වුවහොත්, එක්සත් රාජධානියේ ජනගහණයෙන් ඉතිරි 70% සඳහා අවශ්‍ය වන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එරටට ලැබෙනවා. දැනට ලැබී තිබෙන දත්ත අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීත්වය අඩු නිසා එරටට සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ජනගහණයෙන් 90%ක් පමණ එන්නත් කරන්න අවශ්‍ය විය හැකියි. එක්සත් රාජධානිය තුළ මේ වන විට අවම වශයෙන් 625,981 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එම ප්‍රමාණය ජනගහණයෙන් 1.18%ක්. මේ අනුව, එන්නත්කරණය අතින් එක්සත් රාජධානිය ඇමරිකාවට හා කැනඩාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

යුරෝපීය සංගමය විසින්ද කලාපයේ රටවල ජනගහණය මෙන් 170%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් සමාගම් හයකට පෙර ගෙවුම් කර තිබෙනවා. දැනට අනුමත කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙන් යුරෝපීය සංගමයට ලැබෙන ප්‍රමාණය කලාපයේ ජනගහණයෙන් 22%කට ප්‍රමාණවත්. යුරෝපීය සංගමය විසින් මේ වන විට ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හා ජැන්සෙන් (ජොන්සන් සහ ජොන්සන්) එන්නත් අනුමැතිය සඳහා සලකා බලමින් සිටිනවා. එම සමාගම් වලට කර ඇති පෙර ගෙවුම් මත යුරෝපීය සංගමයට ලැබෙන එන්නත් ප්‍රමාණය ජනගහණයේ ඉතිරි 78% සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

ඕස්ට්‍රේලියාව එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 230% කටද, නවසීලන්තය එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 247% කටද පෙර ගෙවුම් කර ඇතත් එම රටවල් විසින් තවමත් කිසිදු එන්නතක් අනුමත කර නැහැ.

ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් එන්නත්කරණයෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රට ඊශ්‍රායලයයි. මිලියන 9ක පමණ ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විටද 495,000 දෙනෙකු එන්නත් කර අවසන්. මේ ප්‍රමාණය එරට ජනගහණයෙන් 5.7%ක් පමණ වන අතර එරටෙන් මෙතෙක් හඳුනාගෙන තිබෙන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වන 409,338ද ඉක්මවනවා. ඊශ්‍රායලය විසින් පයිසර්-බයෝඑන්ටෙක් සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව එන්නත් මිලියන 8ක්ද, මොඩර්නා සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව තවත් එන්නත් මිලියන 6ක්ද, එරටට හිමි වෙනවා. මෙම ප්‍රමාණය මිලියන 7කට, එනම් ඊශ්‍රායලයේ ජනගහණයෙන් 80%කට පමණ, ප්‍රමාණවත්. මේ එන්නත් දෙකේම ඵලදායීතාවය 95% මට්ටමේ තිබෙන නිසා ලෝකයේ මුලින්ම සාමූහික ප්‍රතිශක්තිය ලබන රට ඊශ්‍රායලය විය හැකියි. හරියටම දිනන අස්සයින්ට ඔට්ටු දමමින් අඩුම වියදමකින් ඉලක්කයට යන්නට සමත්වීම ඊශ්‍රායලය සතු උපාය මාර්ගික හැකියාව හොඳින් පෙන්වා දෙනවා.


උදෙන් ඇහැරුණු කුරුල්ලන් ලොකු පණුවන් කලින්ම අල්ලා ගනිද්දී, දවල් වන තුරු නිදා ගන්නා කුරුල්ලන්ගේ අහිංසක පැටවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ අයගේ පිහිටට ඉන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව විසින් එන්නත් දැනටමත් ඇනවුම් කර නැති රටවල් වලට අවම එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත්, ඒ එන්නත් අතරින් එළැඹෙන 2021 වසර තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතට පමණයි. 

ලෝක බැංකුව විසින් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින යූබීඅයි එන්නත තවමත් තිබෙන්නේ සතුන් යොදවා පරීක්ෂා කරන අදියරකයි. ලෝක බැංකුව විසින් තවත් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින සනෝෆි එන්නත මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත්ව නැහැ. එම එන්නත වෙනුවෙන් වැය කළ ඩොලර් බිලියන 2.1ක ඇමරිකානු බදු මුදල්ද, යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව විසින් වැය කළ මුදල්ද දැනට පෙනෙන විදිහටනම් වතුරේ. 

කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක බැංකුවට දැනට ලැබෙන බවට සහතිකයක් තිබෙන්නේ මිලියන 150කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් පමණයි. මේ එන්නත් ලබා ගන්නට බලා සිටින රටවල ජනගහණය සැලකූ විට, ලෝක බැංකුවේ ඉලක්කය සෑම රටකම අවම වශයෙන් 20%ක්වත් එන්නත් කෙරෙනු ඇති බවට වගබලාගැනීම වුවත්, සැබැවින්ම යා හැක්කේ 2% මට්ටමට පමණයි. 


Monday, December 28, 2020

මැදවච්චි නොයන කිලිනොච්චි හරක්



ඉහත ඡායාරූප හා තොරතුරු උපුටා ගත්තේ කිලිනොච්චිහි ජීවත්වන මාධ්‍යවේදියෙකු ලෙස තමන්ව හඳුන්වාදෙන තමිල්සෙල්වන් මුරුගයියාගේ වත්පොත් පිටුවෙන්. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. 

මුරුගයියා කියන විදිහට මේ වෙද්දී කිලිනොච්චි හරක් සාගින්නෙන් මිය යමින් සිටිනවා. ඡායාරූප වල දැකිය හැකි හරකුන්ගේ අයිතිකරු සුවේන්ද්‍රන් නමැත්තෙක්. ඔහුගේ පියා එළු තංගවේල් එහෙමත් නැත්නම් හරක් තංගවේල් ලෙස කවුරුත් දැන සිටි, හරක් දහස් ගණනක් අයිතිව සිටි කෙනෙක්ලු. 

මේ හරක් කාලයක් තිස්සේම පොදු ඉඩම් වල තණකොළ උලා කමින් ජීවත්ව තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. කිලිනොච්චි ඉඩම් වගා බිම් ලෙස සංවර්ධනය වෙද්දී හරකුන්ට තණකොළ කන්න තිබෙන ඉඩම් ටිකෙන් ටික අඩු වෙලා. හරක් තැන් තැන් වල වගා පාළු කරන විට එහි වගකීම අයිතිකරුට ගන්න වීමේ අවසන් ප්‍රතිඵලය විදිහට හරකුන්ට බඩගින්නේ ඉන්න වෙන එකයි වෙලා තියෙන්නේ. දැනටම හරක් අට දෙනෙක් මැරිලලු.

කිලිනොච්චි දිස්ත්‍රික්කය මඩකලපුව, අම්පාර, වවුනියාව, අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් පසුව ලංකාවේ වැඩිම හරක්ගහණයක් සිටින දිස්ත්‍රික්කයයි. ඉහත කී අනෙකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව පසුගිය වසර වලදී කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ මස් පිණිස හරක් මරා තිබෙන්නේ ඉතාම අඩුවෙන්. 

එහෙම වුනා කියා කිලිනොච්චි හරක්ගහණය අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා වේගයෙන් වර්ධනය වී නැහැ. කිරි නිෂ්පාදන කාර්යය තුළ ඵලදායී නොවන කිලිනොච්චි හරක් එම දිස්ත්‍රික්කය තුළදී මස් වුනේ නැතත් වෙනත් දිස්ත්‍රික්කයකදී මස් වුනු බව විශ්වාස කරන්න අමාරු නැහැ. සමහර විට කිලිනොච්චි හරක් මැදවච්චියේදී මස් වෙන්න ඇති!

මාස කිහිපයකට පෙර ආණ්ඩුව විසින් මස් පිණිස හරක් මැරීම තහනම් කිරීමට තීරණය කළා. ආණ්ඩුවේ ඉලක්කය ලෙස සඳහන් කළේ රට තුළ හරක්ගහණය වර්ධනය කර ගැනීමයි. ලංකාව වැනි රටේ ජනගහණයට සාපේක්ෂව සීමිත වගා ඉඩම් ප්‍රමාණයක් ඇති රටක වී වවන්න තිබෙන්නේත්, බඩ ඉරිඟු වවන්න තිබෙන්නේත්, කහ වවන්න තිබෙන්නේත්, හරකුන්ට තණකොළ කන්න තියෙන්නේත් ඔය තියෙන සීමිත ඉඩම් ටිකේ. ලංකාවේ කෘෂිකර්මය දියුණු කළ හැක්කේ රටේ තිබෙන ඉඩම් ප්‍රමාණයේ සීමාව තුළයි.

මස් පිණිස නොමැරෙන හරකුන්ගේ අවසන් ඉරණම සාගින්නෙන් මැරෙන එකද?

Sunday, December 27, 2020

කෝවිඩ් එන්නත් හා ඇමරිකන් සල්ලි



ඊයේ (26) උදේ වන විට ඇමරිකානුවන් මිලියන දෙකකට ආසන්න පිරිසක් (1,944,585 දෙනෙකු) විසින් කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. එතරම්ම නරක තත්ත්වයක් නෙමෙයි.

මේ වන විට කෝවිඩ් එන්නත් තරඟය තුළ ඉදිරියෙන්ම සිටින්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි. මෙම එන්නත සඳහා හෝ වෙනත් කෝවිඩ් එන්නතක් සඳහා ඇමරිකාව තුළ පූර්ණ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, පවතින හදිසි තත්ත්වය යටතේ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ඇමරිකාව තුළ තාවකාලිකව භාවිතා කිරීම සඳහා මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා.

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 16ට වඩා වැඩි අයටයි. මොඩර්නා එන්නත අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 18ට වඩා වැඩි අයටයි. ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් 20%ක් පමණ වයස අවුරුදු 16ට අඩු අයයි. ඒ අනුව, වයස අවුරුදු 16ට වැඩි ඇමරිකානුවන් ප්‍රමාණය මිලියන 264ක් පමණ වෙනවා. කෝවිඩ් එන්නත් සඳහා ඉල්ලුම එන්නේ මේ පිරිස අතරිනුයි.

ඇමරිකානු රජය විසින් පසුගිය ජූලි මාසයේදී ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා (එක් එන්නතක් ඩොලර් 19.50 බැගින්) එම සමාගම් සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඒ එම සමාගම් විසින් තෙවන අදියරේ සායනික පරීක්ෂණ ආරම්භ කරමින් සිටියදී. මේ වෙද්දී ඇමරිකාව තුළ බෙදා හැරෙමින් තිබෙන්නේ එම ගිවිසුම අනුව ඇමරිකාවට හිමි විය යුතු පළමු වටයේ නිපදවන එන්නත්. මේ එන්නත් වලින් මිලියන 25ක් දෙසැම්බර් 31 වන විටත්, ඉතිරි එන්නත් මිලියන 75 මාර්තු 31 වන විටත් ලැබෙන්නට නියමිතයි.

ඉන් පසුව, පසුගිය සතියේ ඇමරිකානු රජය හා පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් අතර දෙවන ගිවිසුමක්ද අත්සන් කළා. ඒ අනුව, ඩොලර් බිලියන 1.95ක මුදලකට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත් තවත් මිලියන 100ක් ඇමරිකානු රජය විසින් මිල දී ගෙන තිබෙනවා. ගිවිසුම අනුව මේ එන්නත් වලින් මිලියන 70ක් ජූනි මාසය අවසන් වන විටත්, ඉතිරි මිලියන 30 ජූලි මාසය තුළත් ඇමරිකානු රජයට සැපයිය යුතුයි.

මේ අයුරින්ම ඇමරිකානු රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී මොඩර්නා එන්නත් මිලියන 100ක් මිල දී ගැනීම සඳහාද ගිවිසුම් අත්සන් කළා. ඒ ඩොලර් බිලියන 1.525ක මුදලකට. ඒ වන විට ඇමරිකානු රජය විසින් එන්නත වැඩි දියුණු කිරීම සඳහා එම සමාගමට ඩොලර් මිලියන 955ක මුදලක්ද ලබා දී තිබුණා. එම එන්නත් වලින් මිලියන 20ක් දෙසැම්බර් 31 වන විට ලැබෙන්නට නියමිතයි. 

ඇමරිකානු රජය හා මොඩර්නා සමාගම අතර ඇති කරගත් මුල් ගිවිසුම අනුව ඇමරිකානු රජයට අවශ්‍යනම් තවත් එන්නත් මිලියන 400ක් දක්වා එන්නතක් ඩොලර් 16.50 බැගින් මිල දී ගත හැකියි. ඒ අනුව, මේ වන විට ඩොලර් බිලියන 1.65ක මුදලකට මිලියන 100ක දෙවන එන්නත් තොගයක්ද ඇමරිකානු රජය විසින් මොඩර්නා සමාගමෙන් මිල දී ගෙන තිබෙනවා. එම එන්නත් මිලියන 100ද ඇතුළුව ඉතිරි එන්නත් මිලියන 180ක ප්‍රමාණය ජූනි අවසානය වන විට ලැබෙන්නට නියමිතයි.

මේ අනුව, මේ වන විට අනුමත කර තිබෙන එන්නත් දෙකෙන් එකකින් මිලියන 200 බැගින් එන්නත් මිලියන 400ක් ජූලි මාසය අවසාන වන විට ඇමරිකානු රජය වෙත ලැබෙනවා. ඇමරිකානු රජය විසින් මිලක් අය නොකර මෙම එන්නත් ඇමරිකානුවන් වෙත බෙදා හරිමින් සිටිනවා. 

මිලියන 264ක් පමණ වන වයස අවුරුදු 16 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසකට මෙම එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත්. ඊට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණේද යන්න සැක සහිතයි. දැනට කර ඇති සමීක්ෂණ අනුව එන්නත ලබා ගැනීමට සූදානමින් ඉන්නේ ඇමරිකානුවන්ගෙන් 60%ක් පමණයි. වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 75%ක් පමණ මේ එන්නත් දෙකෙන් එකක් ලබා ගත්තොත් ඇමරිකාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වී වසර මැද වන විට කෝවිඩ් උවදුර ඇමරිකාවෙන් තුරන් වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එසේ සිදු නොවුනොත් ඒ අවශ්‍ය පමණ ඇමරිකානුවන් පිරිසක් විසින් එන්නත ලබා නොගැනීම නිසා මිස එන්නත් ප්‍රමාණවත් නොවීම නිසා නෙමෙයි. 

එන්නත් තරඟය තුළ මුලින්ම ඉදිරියෙන් සිටියේ ඇස්ට්‍රසෙනිකා එන්නතයි. මා සේවය කරන ආයතනය මුල්වද මාස ගණනක සිට ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සසම්භාවී සායනික පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතිනවා. ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 1.2ක මුදලකට ඇස්ට්‍රසෙනිකා එන්නත් මුල් තොගයෙන් මිලියන 300ක් ඇණවුම් කර තිබුණත්, මේ වන විට මේ එන්නතේ ඵලදායීතාවය පිළිබඳ සැක සංකා මතු වී තිබෙනවා. සාර්ථක වුවහොත්, මේ එන්නත සාපේක්ෂව මිල අඩු එන්නතක් වනු ඇති.

ඇමරිකානු රජය විසින් ජොන්සන් සහ ජොන්සන් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 456ක් ලබා දී තිබෙන අතර එම එන්නත සාර්ථක වුවහොත් ඩොලර් බිලියනයක මුදලකට එන්නත් මිලියන 100ක් ලබා ගැනීමට නියමිතයි. දැනට සිදු කෙරෙන එම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ වල ප්‍රතිඵල ජනවාරි මාසයේදී ලැබෙන්නට නියමිතයි. මේ එන්නත සාර්ථක වුවහොත් ප්‍රතිශක්තිකරණය ඇති වීමට තනි එන්නතක් ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා එන්නත් මිලියන 100 එම ප්‍රමාණයේ පිරිසකට ප්‍රමාණවත්.

සනෝෆි සමාගමේ එන්නත වැඩි දියුණු කිරීම සඳහා සහ එන්නත් මිලියන 100ක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන 2.1ක් වැය කළා. එහෙත්, මේ වන විට පෙනී ගොස් ඇති පරිදි එම එන්නතෙන් අපේක්ෂා කළ පරිදි ප්‍රතිශක්තිය ඇති වී නැහැ. 

ඇමරිකානු රජය විසින් නොවාවැක්ස් සමාගමටද එන්නත් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දී තිබෙනවා. මෙම එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණද මේ වන විට පැවැත්වෙනවා. එන්නත සාර්ථක වුවහොත් ලබන වසරේ පළමු කාර්තුව තුළ ඇමරිකාවට නොවාවැක්ස් එන්නත් මිලියන 100ක් ලැබෙනවා.

මේ අනුව, සහතිකයක් නැතත්, ඉදිරි මාස කිහිපය තුළ ඇස්ට්‍රසෙනිකා, ජොන්සන් සහ ජොන්සන් හා නොවාවැක්ස් එන්නත් වල ඵලදායීතාව තහවුරු වී ඇමරිකාවට තවත් එන්නත් මිලියන 500 දක්වා ප්‍රමාණයක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. එම ප්‍රමාණය මිලියන 300කට ප්‍රමාණවත්. එසේ වුවහොත්, ඇමරිකාවේ එන්නත් ඉල්ලුම ජූලි මාසයට මාස ගණනක් කලින්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. 

සමහර විට ඇමරිකන් රජය විසින් වැඩියෙන් ඇණවුම් කළ වෙන්ටිලේටර් රටින් රටට බෙදා ගෙන ගියා වගේ ලබන වසර මැද වෙද්දී අඩු ආදායම්ලාභී රටවලට එන්නත් බෙදාගෙන යන්න වුනත් බැරිකමක් නැහැ.

දැනට වැඩි දියුණු වී තිබෙන හා වැඩි දියුණු වෙමින් පවතින කෝවිඩ් එන්නත් ඉක්මණින් බිහිවීම සඳහා ඇමරිකන් රජයෙන් ලැබුණු තල්ලුවේ දායකත්වය ඉතාම විශාලයි. ඇමරිකන් රජය විසින් එන්නත් සංවර්ධනය සඳහා ලෝබ නැතිව වියදම් කරන්නේ ණයට ගන්නා සල්ලි. ඒ සල්ලි වලින් ඇමරිකානුවන්ට වැඩක් වුනත්, ඇමරිකානුවන් නොවන අයට වැඩක් වුනත්, කාටවත් වැඩක් නොවී අපතේ ගියත්, අවසාන වශයෙන් මේ ණය ගෙවන්න වෙන්නේ ඇමරිකානුවන්ටයි.


Thursday, December 24, 2020

නත්තලට එන්නතක්!


ලොකු සාද හෝ එකතු වීම් නැතිව, පවුලේ සාමාජිකයින් පමණක් එකතුව පවත්වන මෙවර නත්තල ඇමරිකානුවන්ට සරු නත්තලක් කියා මොන විදිහකින්වත් කියන්න බැහැ. මේ වන විට ඇමරිකානුවන්ගෙන් දහසකට එක් අයෙක් කෝවිඩ්-19 හේතුවෙන් මිය ගිහින්. මේ වන විටත් දිනකට තවත් මරණ තුන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඉහත ගණනට එකතු වෙනවා. කොහොම වුනත්, මෙවර නත්තලේදී නත්තල් සීයා අරගෙන එන වටිනාම තෑග්ග කෝවිඩ්-19 එන්නතක්.

කෝවිඩ්-19 සඳහා වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට පසුගිය 11 වනදාත්, මොඩර්නා එන්නතට පසුගිය 18 වනදාත් පවතින හදිසි තත්ත්වය යටතේ ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඊයේ (දෙසැම්බර් 23) උදෑසන වන විට ඇමරිකානුවන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විසින් මේ එන්නත් දෙකෙන් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% තරම් ඉහළ අගයක්. මුල් අදියරේදීම මෙතරම් ඉහළ ඵලදායීතාවයක් තිබෙන එන්නත් නිපදවා ගැනීමට හැකි වීම අපේක්ෂා කළාට වඩා ගොඩක් හොඳ තත්ත්වයක්. 70% තරමේ ඵලදායීතාවයක් ඇති එන්නතකට වුවත් මුල් අදියරේදී හදිසි භාවිතාව සඳහා අනුමැතිය ලැබිය හැකිව තිබුණා. ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයා විසින් මෙතරම් සාර්ථක ලෙස හා මෙවැනි කෙටි කලකින් මෙවැනි දරුණු වසංගතයකට මුහුණ දිය හැකි සාර්ථක ක්‍රමයක් සොයාගත් මුල් අවස්ථාව මෙය විය හැකියි.

අවම වශයෙන් ලෝකයේ රටවල් ගණනාවක සමාගම් දෙසීයකට අධික ප්‍රමාණයක් කෝවිඩ්-19 සඳහා එන්නත් නිපදවීමේ කාර්යය තුළ සිටියා. ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න හේතු වුනේ මේ එන්නත් නිෂ්පාදකයින් අතර වූ තරඟයයි.

මේ විදිහට තරඟ නොකර කවුරුත් එකතු වී එක එන්නතක් නිපදවූවානම් මීට වඩා හොඳ නැද්ද?

පැහැදිලිවම නැහැ. එන්නතක් "සොයා ගැනීමේ" මූලික කටයුතු ටික කරන්න මහා විශාල පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම, ඒ වැඩේට විශාල කාලයක් යන්නේත් නැහැ. සමහර විට අවශ්‍ය දැනුම හා පුහුණුව තිබෙන හත් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට සති කිහිපයක් තුළ කළ හැකි දෙයක්. මේ දැනුම හා පුහුණුව තිබෙන අය ලෝකයේ බොහෝ රටවල ඉන්නවා. ඒ හැමෝම එකතු වුනා කියලත් ඔය වැඩේ ඔයිට වඩා හොඳින් හෝ ඉක්මණින් කරන්න බැහැ. එහෙම වුනානම් වෙන්නේ දැන් තිබෙන දෙසිය ගණනක් වන විකල්ප වෙනුවට එක් විසඳුමක් පමණක් ඉතිරි වීමයි. එහි ඵලදායීතාවය ඉහළ මට්ටමක නොතිබෙන්න පුළුවන්.

එහෙමනම් එන්නතක් හදන්න අවුරුද්දකට කිට්ටු කාලයක් ගියේ ඇයි?

ඇත්තටම එන්නත් හදන්න සති කිහිපයකට වඩා කාලයක් ගත වී නැහැ. ඉතිරි කාලය අවශ්‍ය වන්නේ මේ එන්නත් වල සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කරන්නයි. ඒ සඳහා නිශ්චිත අවම කාලයක් යනවා. එන්නත ලබා දී වසර දෙකකට පසුව එහි අතුරු ආබාධයක් නොඑන බව තහවුරු කරගන්නනම් අඩුම වශයෙන් වසර දෙකක් ඉන්නම වෙනවා. වැඩියෙන් මුදල් හා පිරිස් බලය යෙදෙවූවා කියා මේ කාලය අඩුකරන්න පුළුවන්කමක් නැහැ. 

අපි හිතමු වෙනත් කිසියම් විකල්ප ක්‍රමයකින් කෝවිඩ්-19 වැළැක්විය හැකි ක්‍රමයක් ඉක්මණින් හොයා ගත්තා කියලා. එහෙම හොයා ගත්තත් එහි සුරක්ෂිතතාව හා ඵලදායීතාවය පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා ඔය වගේම කාලයක් ගතවෙනවා. එහෙම නැතුව එය කෝවිඩ්-19 වලක්වන බව නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ. යම් කෙනෙකුට එවැනි නිසි පරීක්ෂාවකින් තොරව අදාළ විකල්ප ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබීමේ හැකියාව තිබෙනවා. එය සමාන කළ හැක්කේ කෝවිඩ්-19 සඳහා වන එන්නතක් එය "සොයා ගත්" වහාම නිසි පරීක්ෂාවකින් තොරව භාවිතා කිරීමටයි. 

උදාහරණයක් විදිහට මොඩර්නා එන්නත වැඩි දියුණු කළ වහාම, සායනික පරීක්ෂණ කිසිවක් සිදු නොකර කිසියම් රටක රජයක් මැදිහත් වී එය මහා පරිමාණයෙන් ඒ රටේ මිනිස්සුන්ට ලබා දුන්නා කියා හිතමු. එසේ කළානම් ඒ රට කෝවිඩ් වලින් සම්පූර්ණයෙන්ම වාගේ බේරෙන්න ඉඩ තිබුණා. හැබැයි එය එසේ විය හැකිව තිබුණු බව අප දන්නේ දැනුයි. යම් හෙයකින් මේ එන්නත ඵලදායී නොවූවානම් ඒ විදිහට එන්නත ලබා දුන්නා කියා කිසිම වැඩක් වෙන්නේ නැහැ. 

එන්නතක ඵලදායීතාවය කියා කියන්නේ කුමක්ද?

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් දෙකේම ඵලදායීතාවය ආසන්න වශයෙන් 95% පමණ බව ගොඩක් අයට ඇහිලා ඇතිනේ. මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? එන්නත ලබාගත්තාට පසුවත් කෝවිඩ්-19 හැදෙන්න 5%ක ඉඩක් තිබෙනවා කියන එකද? 

පැහැදිලිවම නැහැ. එය අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු සම්භාවිතාවක්. 

එන්නතක් ලබා ගත්තත් නැතත් හැමෝටම කෝවිඩ්-19 හැදෙන්නේ නැහැ. ඒ නිසා, එන්නතක් (හෝ වෙනත් විකල්පයක්) ලබා ගැනීමෙන් පසුව එය ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ්-19 හැදුනේ නැතත්, එසේ කෝවිඩ්-19 හැදුනේ නැත්තේ අදාළ එන්නත හෝ වෙනත් විකල්පය නිසා කියා කියන්න බැහැ. 

තෙවන අදියරේ සායනික පරීක්ෂා වලදී මොඩර්නා එන්නත 15,185 දෙනෙකුට ලබා දී තිබෙනවා. නොවැම්බර් 21 දින වන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන නමුත් ඉතිරි කිසිවෙකුට කෝවිඩ්-19 ආසාදනය වී නැහැ. මේ අනුව එන්නත ලබා ගෙන සති 9කට පමණ පසුව එය ලබාගත් අයගෙන් 99.9%ක්ම කෝවිඩ් වලින් බේරී සිටිනවා. 

ඉහත ප්‍රතිඵලය මත පදනම්ව මොඩර්නා එන්නත 99.9%ක් සාර්ථක බව කියන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. සමහර විට මේ එන්නත ලබා දුන්නේ ලංකාවේනම් එන්නත ලබාගත් කාටවත්ම කෝවිඩ් නොහැදෙන්න වුනත් ඉඩ තිබුණා. එන්නත ලබා ගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් නොහැදුනේ ඔවුන් වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය හේතුවෙන් මිස එන්නත නිසා නොවෙන්න පුළුවන්. එහෙමනම්, එන්නතේ ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද?

එන්නතක හෝ වෙනත් ඖෂධයක ඵලදායීතාවය හොයා ගන්න සසම්භාවී සායනික පරීක්ෂණ පවත්වන්නේ එන්නත ලබා නොගත්තත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳෙන්නේ නැති නිසයි. තෙවන අදියරේ මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා 30,350 දෙනෙකු යොදාගෙන තිබෙන අතර පයිසර්-බයෝඑන්ටෙක්  සායනික පරීක්ෂණ සඳහා 43,651 දෙනෙකු යොදා ගෙන තිබෙනවා. සසම්භාවී සායනික පරීක්ෂණයකදී කරන්නේ මේ අයගෙන් ආසන්න වශයෙන් බාගයකට නියම එන්නතත්, අනෙක් බාගයට බොරු එන්නතකුත් ලබා දෙන එකයි. බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ අයට කෝවිඩ් වැඩියෙන් හැදී ඇත්ත එන්නත ලබාගත් අයට අඩුවෙන් හැදෙනවානම් එයින් පැහැදිලි වන්නේ එන්නත වැඩ කරන බවයි.

මේ වගේ පරීක්ෂණයක් සාර්ථක වෙන්නනම් කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. සසම්භාවී සායනික පරීක්ෂණයක මූලික උපකල්පනයක් වෙන්නේ කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් දෙකක් බවයි. දහ දෙනෙකුගේ පමණ කුඩා කණ්ඩායමක් අහඹු ලෙස පහේ ගොඩවල් දෙකකට දැම්මා කියා ඒ කණ්ඩායම් දෙක හරියටම සමාන වන්නේ නැහැ. එහෙත්, තිස් දහසක පමණ විශාල කණ්ඩායමක් අහඹු ලෙස ගොඩවල් දෙකකට බෙදූ විට එම කණ්ඩායම් දෙක අතර අසමානතා නැති තරම්. පරීක්ෂණය සඳහා යොදා ගන්නා කණ්ඩායම් දෙක සමාන සේ සැලකිය හැක්කේ විශාල පිරිසක් පරීක්ෂණය සඳහා යොදා ගන්නා තරමටයි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය වෙනවා. ඒ වගේම, එන්නතේ අතුරු ආබාධ තිබිය හැකි නිසා මෙය අවදානම් කටයුත්තක්. 

සායනික පරීක්ෂණ සඳහා විශාල පිරිසක් යොදවා ගැනීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මුලින්ම තෝරාගත් සුළු පිරිසකට එන්නත ලබා දිය යුතුයි. ඊට පෙර, එහි සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා වෙනත් පරීක්ෂණ කළ යුතුයි. මේ එක් එක් අදියරේ පරීක්ෂා සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. ඒ කාලය අඩු කරන්න බැහැ. කාලය අඩු කිරීම අවදානම වැඩි කිරීමක්.

සසම්භාවී සායනික පරීක්ෂණයක් සඳහා විශාල පිරිසක් යොදවා ගත්තත්, එය ලබාගත් පිරිස කෝවිඩ් ආසාදනය කරන වෛරසයට නිරාවරණය වුනේ නැත්නම් කොහොමටවත් කෝවිඩ් නොහැදෙන නිසා එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කරන්න විදිහක් නැහැ. එහෙමයි කියලා පරීක්ෂණයට සහභාගී වුනු අයට කෝවිඩ් හැදීමේ ඉඩකඩ වැඩි කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා, මේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛරසයට නිරාවරණය වන තුරු බලා ඉන්න වෙනවා. 

මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් අයගෙන් 15,185 දෙනෙකුට ඇත්ත එන්නත ලබා දුන්නා. ඉතිරි 15,165 දෙනෙකුට ලබා දුන්නේ බොරු එන්නතක්. ඇත්ත එන්නත ලබාගත් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වෙද්දී බොරු එන්නත ලබාගත් 185 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. කණ්ඩායම් දෙක සමාන කණ්ඩායම් නිසා, එන්නත ලබා නොදුන්නානම් එය ලබාගත් කණ්ඩායමේද 185 දෙනෙකු ආසාදිතයින් විය හැකි බව අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව, එම ප්‍රමාණය 11 දක්වා අඩු වී තිබෙන්නේ එන්නත නිසා බව උපකල්පනය කළ හැකියි. ඒ කියන්නේ එන්නත ලබා ගැනීම නිසා 185 - 11 = 174 දෙනෙකු කෝවිඩ් වලින් බේරිලා.

මේ ආකාරයේ සසම්භාවී සායනික පරීක්ෂාවක් නොකළේනම් අපට පෙනෙන්නේ එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,174 දෙනෙකුම එන්නත නිසා කෝවිඩ් වලින් බේරුණු බවයි. ඇමරිකාවේ කෝවිඩ් මේ තරමටම ප්‍රචලිතව නොතිබුණානම්, දැනට ලංකාවේ ප්‍රචලිතව ඇති මට්ටමේ තිබුණානම්, එන්තත ලබාගත් කිසිවෙකුට කොවිඩ් නොවැළඳෙන්න ඉඩ තිබුණා. ඒ වගේම නියැදිය මෙපමණ විශාල නොවී, නියැදියේ ප්‍රමාණය දහසක් පමණ වුනානම් බොහෝ විට එම නියැදියෙන් කොවිඩ් වැළඳුනු කිසිවෙකු හමු නොවෙන්න ඉඩ තිබුණා. 

එන්නත ලබාගත් 15,185 දෙනෙකුගෙන් 15,000කටම කෝවිඩ් නොවැළඳුනේ එන්නත නිසා නොව වෛරසයට නිරාවරණය නොවූ නිසා හෝ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා මිස එන්නත නිසා නොවන බව අප දන්නේ සසම්භාවී සායනික පරීක්ෂාවක් කළ නිසයි. එන්නත නොතිබුණත් කෝවිඩ්-19 හැදෙන්නට ඉඩ තිබුණේ ඉතිරි 185 දෙනාට පමණයි. ඒ 185 දෙනාගෙන් 11 දෙනෙකුට මොඩර්නා එන්නත අරගෙනත් කෝවිඩ් හැදිලා. ඒ නිසා, එන්නත නිසා රෝගය වැලකී තිබෙන්නේ 185 දෙනෙකුගෙන් 174 දෙනෙකුගේ පමණයි. මෙය ප්‍රතිශතයක් ලෙස 174/185 = 94%ක්. මොඩර්නා එන්නත ආසන්න වශයෙන් 95%ක් ඵලදායී බව කියන්නේ මේ පදමිනුයි. 

සැබෑ එන්නත හෝ බොරු එන්නත ලබාගෙන කාලය ගත වෙද්දී කණ්ඩායම් දෙකේම අය වැඩි වැඩියෙන් වෛරසයට නිරාවරණය වෙමින් සිටිනවා. එහිදී, කණ්ඩායම් දෙකේ වෛරස් ආසාදිතයින් ප්‍රමාණ අතර පරතරය එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා. 


මේ ආකාරයෙන්ම පයිසර්-බයෝඑන්ටෙක් සායනික පරීක්ෂණ වලදී 21,823 දෙනෙකුට සැබෑ එන්නතත්, 21,828 දෙනෙකුට සේලයින් දියරය අඩංගු බොරු එන්නතකුත් ලබා දී තිබෙනවා. බොරු එන්නත ලබාගත් 162 දෙනෙකුට කොවිඩ්-19 වැළඳෙන විට ඇත්ත එන්නත ලබාගත් කණ්ඩායමෙන් කෝවිඩ්-19 ආසාදිතයින් හමු වී තිබෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ අනුව, පයිසර්-බයෝඑන්ටෙක් එන්නත නිසා 162 දෙනෙකුගෙන් 154 දෙනෙකු කෝවිඩ්-19 වලින් බේරී තිබෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස 154/162 = 95%ක්.


එන්නතක් ලබා ගැනීම පෞද්ගලික තීරණයක් වුවත් එය පෞද්ගලික යහපත වගේම පොදු යහපත සැලසෙන තීරණයක්. කිසියම් රටක හෝ ප්‍රදේශයක එන්නතක් ලබා ගන්නා පිරිස ඉහළ යන තරමට එන්නත ලබා නොගන්නා අයට රෝගය ආසාදනය වීමේ අවදානමත් විශාල ලෙස පහත වැටෙනවා. ඊයේ වෙද්දී ඇමරිකාව තුළ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා  කෝවිඩ් එන්නත් 9,465,725ක් බෙදා හැර තිබුණු අතර ඇමරිකානුවන් 1,008,025 දෙනෙකු විසින් මේ එන්නතක පළමු මාත්‍රාව ලබා ගෙන තිබුණා. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් අය දින 21කට පසුවත්, මොඩර්නා එන්නත ලබාගත් අය දින 28කට පසුවත් එන්නතේ දෙවන මාත්‍රාවක් ලබාගත යුතුයි. මේ එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය ලබා ගත හැකි තරමේ එන්නත් සැපයුමක් තවමත් නැතත් මාර්තු අවසානය පමණ වන විට බොහෝ ඇමරිකානුවන්ට එන්නතක මාත්‍රාවක් ලබා ගන්න පුළුවන් වෙයි. 

දැනට තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වැඩි ප්‍රමුඛතාවයක් අවශ්‍ය අයට ලබා දෙන නිසා අපටනම් නත්තල් තෑගි විදිහට කෝවිඩ් එන්නත් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත්, සිංහල අවුරුදු තෑග්ගක් විදිහටවත් අපට කෝවිඩ් එන්නතක් ලැබෙයි. එතකන් ඉතින් අත්ත බිඳෙයි පය බුරුලෙන් තමයි!


Thursday, December 17, 2020

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයිද?


ඇමරිකාවේ පැවැත්වුණු පසුගිය ජනාධිපතිවරණ පහෙන් දෙකකදීම තේරී පත් වුනේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නෙමෙයි. තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ පාරත් ඒ වැඩේම වෙනවා. ලංකාවේ ගොඩක් අය වගේම ඇමරිකාවෙන් හා ලංකාවෙන් පිටත වෙනත් රටවල ගොඩක් අයත් මෙය අවුලක් සේ දකිනවා. එහෙත්, ඇමරිකාව ඇතුළේ මේ සම්බන්ධව තිබෙන්නේ බෙදුණු මතයක්.

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය වගේම රිපබ්ලිකන් පක්ෂයත් මූලික වශයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන පක්ෂ. එසේ වූ පමණින් මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන නොවන බව කවුරුත් දන්නා කරුණක්. රිපබ්ලිකන් පක්ෂයට ජාතිකවාදී නැඹුරුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තරවාදී පක්ෂයක්. පක්ෂ දෙකම යම් තරමකින් ධනවාදය නමනවා. හැබැයි එකම විදිහට නෙමෙයි. ඩිමොක්‍රටික් ක්‍රමයේ යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙනවා. එයින් වෙනස්ව රිපබ්ලිකන් පක්ෂය ධනවාදය නමන්නේ ආර්ථික ආරක්ෂණවාදය හරහා. සංක්‍රමනික විරෝධයත් එහිම කොටසක්.

ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වූ වහාම, හරියටම කියනවානම් බලයත් පත් වීමට නියමිත බව පැහැදිලිව පෙනී ගිය වහාම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය වගේ කරුණු උඩට පැමිණ තිබෙනවා. සුළුතර ප්‍රජාවන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන කණ්ඩායම් වල වැඩි සහයෝගය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට කියන එකත් ප්‍රචලිත කරුණක්. අනෙක් පැත්තෙන් බැළුවහම ඒකීය පුද්ගලයෙක් කියා කියන්නේ කුඩාම මට්ටමේ සුළුතරය. රාජ්‍ය නියාමනයට එරෙහිව ඒකීය පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඉදිරියෙන් ඉන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක නෙමෙයි. හැමෝගෙම අදහස්  සැලකිල්ලට ගෙන පොදු එකඟතාවයකට එන එක. මෙහිදී ඇතැම් අදහස් යටපත් වෙනවා. ඇතැම් අදහස් මතු වෙනවා. හැම විටම උඩට මතු වන්නේ බහුතර මතය නෙමෙයි. බහුතරයට එකඟ විය හැකි මතය. එය සුළුතර මතයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ වෙන්නේ හැමෝගෙම අදහස් වලට හැමෝම සවන් දෙන තරමේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබේනම් පමණයි. හැමෝම තම තමන්ගේ මත වල දැඩිව එල්බ සිටින විට වෙන්නේ හැම විටම බහුතරයේ මතය උඩට මතු වීම. එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස හඳුන්වන්න බැහැ. ඒ කියන්නේ හැම විටම කිහිප දෙනෙකුගේ හෝ සුලුතරයක මතය උඩට මතු වෙන ක්‍රමයක් හොඳයි කියන එක නෙමෙයි. එය කොහොමත් නරකයි.

බහුතරයකට එකඟ විය නොහැකි සුළුතරයකගේ මතයක් ක්‍රියාත්මක වීමට සාපේක්ෂව බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීම සාධනීයයි. හැබැයි බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීමට වඩා බහුතරයකට එකඟ විය හැකි කාගේ හෝ වඩාත්ම පිළිගත හැකි මතය සාකච්ඡා, සම්මුති ආදියෙන් පසුව අවසානයේදී පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක වීම හැම විටම වඩා සාධනීයයි. වඩා විශාල පිරිසකට එකතු වී මෙවැනි පොදු සම්මුතියක් ඇති කර ගැනීම අසීරුයි. අඩු පිරිසකට එය වඩා පහසුයි.

ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය පහළ මට්ටමේ සිට ඉහළට ජනතා කැමැත්ත එසැවෙන ක්‍රමයක්. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. තමන් තරඟ කරන්නේ ප්‍රධාන  දේශපාලන පක්ෂයකින්ද, සුළු පක්ෂයකින්ද, තමන් විසින් අළුතින් හදා ගන්නා දේශපාලන පක්ෂයකින්ද, එහෙමත් නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද කියන එක මුලින්ම තීරණය කරන්න වෙනවා. මොන ආකාරයෙන් තරඟ කළත් ඡන්ද පත්‍රිකාවට නම දමා ගන්න පුළුවන් වෙන්නේ අවම අත්සන් ප්‍රමාණයක් හෝ අවම සහයෝගයක් ඇත්නම් පමණයි. ඒ මට්ටමට යන්න බැරි කෙනෙකුට ඡන්ද පත්‍රිකාවේ නම නැතත් ඡන්ද ලබා ගන්න පුළුවන්කමක්ද තිබෙනවා. එවැනි අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දදායකයෙකු විසින් නම ලියා ඡන්දය දිය යුතුයි.

තමන්ට සහයෝගය ලබා ගන්න වැඩිම ඉඩක් තිබෙන්නේ දැනටම ක්‍රියාත්මකව පවතින දේශපාලන පක්ෂයක සාමාජිකයින් අතරෙන්නම් එවැනි පක්ෂයක අපේක්ෂකත්වය වෙනුවෙන් කැමති කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. පක්ෂයට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රාථමික මැතිවරණ වලදී වෙන්නේ එයයි. ප්‍රාථමික මැතිවරණ වලට ඉදිරිපත් වන කෙනෙක් පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා උඩට එනවානම් ඔහු හෝ ඇය පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්ද ආදී අවශේෂ කරුණු වැදගත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ දේශපාලන පක්ෂ කාගෙවත් පෞද්ගලික බූදල් නෙමෙයි. 

ඇමරිකාවේ ප්‍රාථමික මැතිවරණ ක්‍රමය ඉතාම පහළ මට්ටමෙන් පටන් අරන් උඩට යන ක්‍රමයක්  නිසා මේ ක්‍රියාවලියේ එක් එක් අදියරේදී එයට සහභාගී වන හැමෝගෙම වගේ අදහස් සලකා බලන්න යම් තරමක ප්‍රායෝගික ඉඩක් ලැබෙනවා. මුළු රටේ සියලු දෙනාගේම කැමැත්ත එකවර විමසන අවස්ථාවකදී එවැන්නක් කරන්න අමාරුයි. එවිට සිදු වෙන්නේ තම තමන් දැනට එල්බ සිටින මත ප්‍රකාශ වීමක් පමණයි. අදහස් ගැටීමක් හෝ සංවාදයක් නැහැ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවසන් අදියරේදී ඒ කටයුත්තට සහභාගී වෙන්නේ 538 දෙනෙක් පමණයි. එවැනි පිරිසකට කතාබහ කරලා හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන හොඳම තීරණය ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඒ විදිහටම සිදු නොවීම වෙනම කරුණක්.

මේ විදිහට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කටයුත්තට සහභාගී වෙන 538 දෙනා එක් එක් ප්‍රාන්ත වල නියෝජිතයෝ. ඒ අයව පත් කර එවන්නේ අදාළ ප්‍රාන්ත විසිනුයි. ඒ තේරීම කරන්නේ කොහොමද කියන එක අදාළ ප්‍රාන්තයට භාර කටයුත්තක්. ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට අවශ්‍යනම් තේරීම කරන ක්‍රමය වෙනස් කර ගන්න බාධාවක් නැහැ. දැනට ප්‍රාන්ත දෙකක් හැර අනෙක් සියළුම ප්‍රාන්ත විසින් කරන්නේ ප්‍රාන්තයේ වැඩිම සහයෝගයක් තිබෙන දේශපාලන පක්ෂය විසින් නම් කරන නියෝජිතයින්ට අවස්ථාව ලබා දෙන එකයි. ප්‍රාන්ත දෙකක් අනුපාතික ක්‍රමයක් අනුගමනය කරනවා. එම ප්‍රාන්ත වල ප්‍රාන්තයේ බහුතරය මත වගේම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශීය මැතිවරණ කලාප වල බහුතර කැමැත්ත මත නියෝජිතයින් පත් කර ගැනෙනවා.

ඇමරිකාවේ ජනාධිපති ලෙස රටේම වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා පත් නොවෙන්න පුළුවන්නේ. ඒ වගේම, එය කිහිප වරක්ම සිදු වෙලත් තිබෙනවනේ. මෙය මේ විදිහට නොවන බවට වග බලාගන්න අවශ්‍යනම් කරන්න තිබෙන්නේ පොඩි වැඩක් පමණයි. එක් එක් ප්‍රාන්ත විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් පත් කර යැවීමේදී තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත ගැන නොසලකා රටේ බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කරන එක. වැඩේ එතැනින්ම ඉවරයි.

මේක යුරෝපයට ආදේශ කළොත්, මුළු යුරෝපයම පාලනය කරන්න තනි නායකයෙක් තීරණය කරනවා කියා හිතමු. එය කරන්නේ යුරෝපීය සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්ගේ ඡන්දයෙන්. එක් එක් රටට හිමි වන සාමාජිකයින් ප්‍රමාණය එම රටේ ජනගහණයට සමානුපාතිකව අඩු වැඩි වෙනවා වගේම හැම රටකටම සමානව බෙදී යන කිසියම් අවම නියෝජිතයින් ගණනකුත් ඉන්නවා. දැන් ඩෙන්මාර්කය වැනි රටක අති මහත් බහුතරය කිසියම් අපේක්ෂකයෙකුට කැමති නැති වුනත් සමස්තයක් ලෙස යුරෝපයේ වැඩි දෙනෙක් කැමති ඒ අපේක්ෂකයාටනම් ඩෙන්මාර්කය නියෝජනය කරන නියෝජිතයින් විසින්ද අර යුරෝපයේ වැඩි දෙනෙක් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙනවා වගේ වැඩක්. 

මේ ආකාරයට රටේම බහුතර කැමැත්ත ලබන පුද්ගලයාව ජනාධිපති ධුරයට පත් කර ගැනීම පිළිබඳ අදහස මෑත ඉතිහාසය තුළ ඇමරිකාවේ ප්‍රබලවම මතු වුනේ 2000 ජනාධිපතිවරණයෙන් පසුව කියා කියන්න පුළුවන්. 2016 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිළිබඳ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, ඉහත අවස්ථා දෙකේදීම "අවාසිය" සිදු වුනේ ඩිමොක්‍රටික් පක්ෂයට නිසා මේ අදහස වැඩිපුරම එහෙමත් නැත්නම් මුළුමනින්ම වාගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරියට ගෙනගිය අදහසක් කියා කියන්න පුළුවන්.

මේ අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස යෝජනා වුනේ අන්තර්-ප්‍රාන්ත එකඟතා ගිවිසුමක්. යෝජිත ගිවිසුම අනුව, ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් තෝරා පත් කර යැවීමේදී ප්‍රාන්ත අතර ඇති කර ගන්නා පොදු එකඟතාවයක් අනුව එම එකඟතාවයට යටත් ප්‍රාන්ත විසින් තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත නොසලකා රටේම බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කර යැවිය යුතුයි. 

උදාහරණයක් විදිහට දකුණු කැරොලයිනා ප්‍රාන්තය මේ ගිවිසුම අත්සන් කළා කියා හිතමු. දැන් මැතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකයා දකුණු කැරොලයිනා ඡන්ද වලින් 43%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 55%ක් ගන්නවා. එහෙත් මුළු රටේම ඡන්ද භාවිතාව බැලුවහම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ඡන්ද වලින් 51%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 47%ක් ගන්නවා. හරියම මේ අවුරුද්දේ ත්ත්වය වගේ. දැන් ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ එම ප්‍රාන්තයේ වැඩිම ඡන්ද ලබාගත් රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්. එහෙත්, යෝජිත ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ මුළු රටෙන්ම  වැඩිම ඡන්ද ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්.

අපි හිතමු අවම වශයෙන් නියෝජිතයින් 270 දෙනෙකු පත් කර යැවීමේ අයිතිය තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ යෝජනාවට කැමති වී අන්තර්-ප්‍රාන්ත ගිවිසුමක් අත්සන් කළා කියලා. එවැනි ගිවිසුමකින් පසුව, මේ ප්‍රාන්ත සියල්ලේම ඡන්ද ලැබෙන්නේ රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාටයි. එම ඡන්ද ප්‍රමාණය 270 ඉක්මවන නිසා රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වෙනවා. 

මේ වන විටත් ප්‍රාන්ත 16ක් (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කරගෙන අවසානයි. එයින් ප්‍රාන්ත 4ක්ම අදාළ නීති සම්මත කරගත්තේ පසුගිය වසරේදී. ඒ අනුව, මේ ක්‍රමයට දැනටමත් පක්ෂව සිටින ප්‍රාන්ත සතුව මේ වන විටත් නියෝජිතයින් 196 දෙනෙකු සිටිනවා. තවත් නියෝජිතයින් 74 දෙනෙකු ලබා දීමේ හැකියාව තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කර ගැනීමෙන් පසුව අදාළ අන්තර්-ප්‍රාන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවත් ප්‍රාන්ත ගණනාවක මේ වන විටත් මේ යෝජනාව නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම හා එය තව සුළු ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුනානම් එම ජයග්‍රහණය නොලැබී යන්නට ඉඩ තිබීම යන කරුණු මත ඉහත කී සම්මුතියට තවත් ප්‍රාන්ත අලුතෙන් එකතු වීමේ ශක්‍යතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත කී සම්මතය සමඟ මෙතෙක් එකඟව සිටින හැම ප්‍රාන්තයක්ම වාගේ ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන ප්‍රාන්ත. එහෙත්, ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන හැම ප්‍රාන්තයක්ම වුවත් මේ යෝජනාවට කැමති නැහැ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වල ඡන්දදායකයින් සතු බලය අඩු වී, නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වැනි ජනගහණය වැඩි ප්‍රාන්ත කිහිපයක අවශ්‍යතාවය මත ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී පත් වීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මෙය එක ආකාරයක කාටල ක්‍රමයක්. කාටලය බලවත් වූ පසු කාටලයට අයත් නැති ප්‍රාන්ත වලට දේශපාලන බලයක් නැති වනවා වගේම කාටලය තුළ සිටින කුඩා ප්‍රාන්ත වලටද තමන්ගේ ස්වාධීනත්වය නැති කර ගන්න වෙනවා. කලින් ඉදිරිපත් කළ යුරෝපීය උදාහරණයට ගිහින් ඩෙන්මාර්කය පත් වන තත්ත්වය දිහා බැලුවොත් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තරවාදී දෘෂ්ඨිවාදයක ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයට රටේ සාමූහික එකඟතාවය තුළ ප්‍රාදේශීය අනන්‍යතා යටපත් වී ගිලී යාම ප්‍රශ්නයක් නෙමෙයි.

දේශපාලන දෘෂ්ඨිවාදයක් විදිහට සාමූහික කැමැත්තට පෞද්ගලික කැමැත්ත යටපත් වෙන්න අරින එක පිළිගත් පසුව සුළුතර ප්‍රශ්න ලෙස හැඳින්විය හැකි ප්‍රශ්න මතු වීම ඉතාම ස්වභාවිකයි. එවිට එම ප්‍රශ්න වලට විසඳුම් දීමටද සිදු වෙනවා. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වීම දේශපාලන දෘෂ්ඨිවාදයේම කොටසක් කර ගන්න සිදු වෙනවා. සමාජවාදීන්ට බොහෝ විට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වෙන්නේ මේ හේතුව නිසයි. යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වී තිබෙන්නේත් මේ හේතුව නිසයි.

සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වල මුල තිබෙන්නේ සාමූහික කැමැත්ත තුළ පෞද්ගලික කැමැත්ත යටපත් වීමයි. එය එසේ නොවන්නේනම් කිසිදු ඒකීය පුද්ගලයෙක් වෙනත් අයෙකුට සාපේක්ෂව බහුතරයක හෝ සුළුතරයක කොටසක් වෙන්නේ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට විශේෂ අවධානය යොමු කරන්න යාමේදී සුළුතරයක් සේ පොදුවේ හඳුනා නොගැනෙන කණ්ඩායම් වල ඉන්න අයට තමන්ට අසාධාරණයක් වන බව දැනෙන්න පටන් ගන්නවා. ඒ ඔවුන්ද ඒකීය පුද්ගලයින් ලෙස ඉතාම කුඩා සුළුතරයක් වන නිසයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන්ටත් කවර හෝ සාමූහිකයක කොටසක් වෙන්න සිදු වෙනවා. එවැනි ප්‍රති-සාමූහිකයක් හැදෙන්නේ සුළුතර විරෝධයක් එක්කයි. 

යම් හෙයකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මුල් කාලයේදී එහි වාසිය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙයි. ඒ එක්කම, සුළුතර සේ හඳුනා ගැනෙන කණ්ඩායම් වලට වාසිදායක හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති යම් කාලයක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම, ආර්ථික තලයේදී කාර්යක්ෂමතාවය වෙනුවට යම් තරමකින් සමානාත්මතාවය ප්‍රමුඛතාවයක් බවට පත් වෙයි. හැබැයි මේ දේවල් වලින් දිගුකාලීනව වෙන්නේ ඒකීය පුද්ගලයින් ලෙස ක්‍රියා කරන පොදුවේ බහුතරයේ සාමාජිකයින් ලෙස හැඳින්වෙන කොටස් සාමූහිකයක කොටස් බවට පත් කර එකම කණ්ඩායමක් බවට පත් කරන එකයි. මෙය දැනටමත් කාලයක් තිස්සේ සිදු වෙමින් තිබෙන දෙයක්. ට්‍රම්ප්ව බලයට ගෙනාවේ එවැනි සාමූහික මානසිකත්වයක්.

ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මේ තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? දැනට පෙනෙන්න තිබෙන චිත්‍රය අනුවනම් මේ වැඩෙන් වාසිය ඩිමොක්‍රටික් පක්ෂයටයි. එහෙත්, මේ චිත්‍රය වෙනස් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජේආර් ජයවර්ධන ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය හැදුවේ එජාපය දිගටම බලයේ තියා ගැනීමේ අරමුණින්. 1977 දක්වා මැතිවරණ ප්‍රතිඵල දැන් ක්‍රමයට නැවත ගණනය කළොත් එජාපයට ලැබිය හැකිව තිබුණු වාසිදායක ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙනවා. එහෙත්, අතීතයේ සිදු වූ දේවල් ඒ දේවල් සිදු වූ පසුබිම තුළම මිස අප විසින් උපකල්පනය කරන වෙනත් පසුබිමක එළෙසම සිදු විය හැකිව තිබුණේයැයි සිතීම මුලාවක්. අනාගතය ගැන කියන්න තිබෙන්නේත් එවැනිම දෙයක්. ජේආර්ගේ මැතිවරණ ක්‍රමය නිසා අවසාන වශයෙන් වුනේ එජාපය නැත්තටම නැති වී යාමයි.


Monday, December 14, 2020

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය


කලින් ලිපියෙන් මම පෙන්වා දුන්නේ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය යාන්තමින් තීන්දු වූවක් බවයි. ඒ එක්කම මම කියපු තවත් දෙයක් වුනේ මේ වෙද්දී ඇමරිකානු සමාජය ඉතා විශාල ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි. ඒ නිසා, දෝලන ප්‍රාන්ත කිහිපයක අවසන් ප්‍රතිඵලය "කෙස් ගහෙන්" තීරණය වුනත්, අනෙකුත් ප්‍රාන්ත ගණනාවකම අපේක්ෂකයින් දෙදෙනා අතර ඉතා විශාල පරතරයක් දැකිය හැකියි. 

හරියටම කියනවානම් වොෂින්ටන් ඩීසීද ප්‍රාන්තයක් සේ සැලකුවොත් ඇමරිකාවේ ප්‍රාන්ත 51න් 31කම අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය 15% ඉක්මවනවා. මේ බෙදීම කාලයක් තිස්සේම වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක්. ට්‍රම්ප් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 17කදීම ඔහු බයිඩන්ට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම බයිඩන් විසින් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 13කදී හා වොෂින්ටන් ඩීසීහි ඔහු විසින් ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශතයට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.

ඉහත දත්ත අනුව පැහැදිලි වෙන්නේ අදාළ ප්‍රාන්ත වල ඡන්දදායකයින්ගේ ඡන්ද වලට ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරීමේ කටයුත්තේදී ආන්තික වටිනාකමක් ඇත්තේම නැති තරම් බවයි. මම කලින් ලිපියෙන් ඡන්දදායකයෙකුගේ ඡන්දය දීමේ හෝ නොදීමේ තීරණය සූත්‍රගත කළානේ. ඒ අනුව ඡන්දය දැමීමෙන් ඡන්දදායකයෙකුට ලැබෙන වාසිය B ලෙස සැලකුවොත් එම අගය අපට පහත පරිදි ලියන්න පුළුවන්.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 

C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

දැන් අර 15%ක පරතරයක් තිබෙන ප්‍රාන්ත වල ඡන්දදායකයෙකුගේ තත්ත්වය සලකා බැලුවොත් එවැන්නෙකු හා අදාළව ඉහත p අගය ඉතාම අඩුයි. ඒ කියන්නේ එවැන්නෙකු ඡන්දය දැම්මා හෝ නොදැම්මා කියා ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ප්‍රාන්ත වල ඡන්දදායකයෝත් වැඩියෙන් ඡන්දය දැම්මේ ඇයි? 

එක හේතුවක් වන්නේ U1 හා U0 අතර පරතරය විශාල ලෙස ඉහළ යාම. එවිට (U1 - U0) අගය ඉහළ යන නිසා p අගය අඩු වීමේ අවාසිය නිශේධනය වෙනවා. දෙවැන්න පෙර ලිපියෙන්ද කියූ පරිදි C අගය ඉහළ යාම. එය සෘණ අගයක් බව සැලකුවහොත් එහි මාපාංකය අඩු වීම. 

ඇත්තටම කියනවානම් මේ 15%ක පරතරය මගින් ඉහත සූත්‍රය පැහැදිලි කරනවාට වඩා සූත්‍රය ඇසුරෙන් පරතරය පැහැදිලි කිරීම පහසුයි. මෙවැනි පරතරයක් ඇති වී තිබෙන්නේම පක්ෂ දෙකේ ආධාරකරුවන් එක් එක් ප්‍රාන්තයේදී ඡන්දය දැමීම හෝ නොදැමීම සිදු වී තිබෙන්නේ එකම රටාවකට නොවන නිසා. 

කොහොමටත් රිපබ්ලිකන් පක්ෂය දිනන ප්‍රාන්තයක ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. තමන් කාට ඡන්දය දුන්නත් ප්‍රාන්තයේ ඡන්ද ටික යන්නේ රිපබ්ලිකන් පක්ෂයට බව එවැනි අයෙකු දන්නවා. ඒ වගේම, කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂය දිනන ප්‍රාන්තයක රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේත්  නැහැ. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙපැත්තෙන් එක පැත්තකට පැහැදිලිවම බර ප්‍රාන්තයකදී දිනන පක්ෂයේ අපේක්ෂකයා උඩින්ම දිනන එකයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන එකම හේතුව ඉහත කරුණ නෙමෙයි. ප්‍රාන්තයක බලයේ ඉන්නේ බහුතරය කැමති පක්ෂයේ ආණ්ඩුවක්. ඒ වගේම ඇමරිකාවේ ප්‍රාන්තයක මැතිවරණ නීතිය හා මැතිවරණය ක්‍රමවේදය හැදෙන්නේ අදාළ ප්‍රාන්තයේ ආණ්ඩුවට, ඒ කියන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර ඡන්දදායකයින්ට අවශ්‍ය විදිහටයි. ඒ කියන්නේ බහුතරයට වාසිදායක වන ආකාරයට. මෙවර මැතිවරණයේදී මේ තත්ත්වය විශේෂයෙන්ම පෙනෙන්නට තිබුණා.

ඉතාම සරල හා අසම්පූර්ණ විග්‍රහයක් වුනත් කෝවිඩ් වසංගතය හමුවේ රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය වුනේ රට වසා නොදමා, වසංගතයට බය නොවී, සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බවයි. ඩිමොක්‍රටික් පක්ෂය වසංගතය හමුවේ පසු බැස සැඟවී සිටින ස්ථාවරයක හිටියා. මේ පක්ෂ දෙකේ ඡන්දදායකයින්ගෙනුත් මේ වෙනස පිළිබිඹු වුනා. ඡන්දය දමන්න ඡන්ද පොළට යන්න බය අය වැඩිපුර සිටියේ ඩිමොක්‍රටික් කඳවුරේ. ඒ කියන්නේ, ඉහත සූත්‍රයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ C අගය රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ C අගයට වඩා විශාල සෘණ අගයක්ව පැවතුණා. ඒ නිසා, සාමාන්‍ය ආකාරයට ඡන්දය පැවැත්වුවානම් සමස්තයක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂයට අවාසියක් වෙනවා. 

මේ තත්ත්වය හමුවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් කළේ ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල තැපැල් ඡන්ද ක්‍රමය ඇතුළු ක්‍රමවේද හඳුන්වා දී ඡන්දදායකයින්ගේ C අගය විශාල ලෙස පහළ දැමීමයි. ඒ නිසා, එම ප්‍රාන්ත වල ඩිමොක්‍රටික් ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ ගියා. නමුත්, රිපබ්ලිකන් ප්‍රාන්තයට බලය තිබුණු ප්‍රාන්ත වල එවැන්නක් සිදු වුනේ නැහැ. රිපබ්ලිකන් පාක්ෂිකයින් ඡන්ද පොළට යාමට බය නොවූ නිසා එම ප්‍රාන්ත වල රිපබ්රිකන් ඡන්ද අඩු නොවුනත් ඩිමොක්‍රටික් ඡන්ද අඩු වුනා. එයින් වුණෙත් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ සර්ව සම්පූර්ණ ක්‍රමයක් නෙමෙයි. කොයි රටක වුනත් ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එක වලක්වන්න බැහැ. පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියා කීවත් බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාමුව හැදෙන්නේ බලය ඇති පාර්ශ්වයේ අවශ්‍යතාවය ඉටු වන ආකාරයටයි. එයින් කියන්නේ ඒකාධිපති ක්‍රමයක් වඩා හොඳයි කියන එක නෙමෙයි. ඒක කොහොමටත් නරකයි. 

බලය විමධ්‍යගතව තිබීම ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එකේ අවාසිය හෝ අසාධාරණය නිශේධනය කෙරෙන එක් ප්‍රධාන යාන්ත්‍රණයක්. ඇමරිකාවේ බොහෝ දේවල් සිදු වන්නේ ප්‍රාන්තයේ බහුතරයේ මතය අනුව නිසා ප්‍රාන්ත වැසියන්ට රටේ වැසියන්ගේ බහුතර මතයට යටත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රාන්තයේ බහුතරයේ මතයට යටත් වෙන්න වීම විශාල ප්‍රශ්නයක් සේ පෙනෙන කෙනෙකුට වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වෙන්න බාධාවකුත් නැහැ. 


Sunday, December 13, 2020

ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණය හෙටයි!


මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම හා වොෂින්ටන් ඩීසීහි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිල ප්‍රතිඵල නිකුත් වුනේ ගෙවුණු සතියේදීයි. ඒ අනුව, මේ වන විට බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙස සමස්ත නියෝජිතයින් ගණන බෙදී ගොස් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජිතයින් බෙදී ගියේ හරියටම අනික් අතට, ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙසයි.

ඉහත කී ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කරන්නේ හෙටයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන්නේ හෙට (දෙසැම්බර් 14) කියා කිව හැකියි. එහිදී බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙසින්ම ඡන්ද බෙදී යාම අනිවාර්ය දෙයක් නෙමෙයි. පසුගිය වර ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙස නියෝජිතයින් බෙදී ගොස් තිබුණත් ඔවුන්ට සැබෑවටම ලැබුණේ පිළිවෙලින් ඡන්ද 304ක් හා 227ක් පමණයි. ඉතිරි ඡන්ද 7, කොලින් පවල්ට 3ක්, බර්නි සැන්ඩර්ස්ට 1ක්, රොන් පෝල්ට 1ක්, ජෝන් කේසික්ට 1ක් හා ෆේත් ස්පොටඩ් ඊගල්ට 1ක් ලෙස බෙදී ගියා. මෙවර ප්‍රතිඵලය දැනගන්න ලැබෙන්නේ ජනවාරි 6 වනදා ප්‍රාන්ත නියෝජිතයින්ගේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි.

පැහැදිලිවම පෙනෙන්නට ඇති පරිදි මෙවර ජයග්‍රාහකයා බයිඩන් වුවත් එම ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. බයිඩන්ට සහයෝගය දීමට නියමිත නියෝජිතයින් ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය වන 270ට වඩා වැඩි වන්නේ 36කින් පමණයි. බයිඩන් යාන්තමින් ජයග්‍රහණය කළ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල නියෝජිතයින් ප්‍රමාණය 37ක්. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය ඡන්ද 1,274කින් අඩු වී තිබෙනවා. විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව එහි පරතරය ඡන්ද 87කින් වැඩි වී තිබෙනවා. ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල අවසන් නිල ප්‍රතිඵල මෙහෙමයි. 


ඉහත සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිව පෙනෙන පරිදි මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කර තිබෙන්නේ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල ආන්තික ඡන්දදායකයින් 43,349 දෙනෙකු විසිනුයි. එම එක් එක් ප්‍රාන්තය තුළ ලිබටේරියන් අපේක්ෂිකාව වූ ජෝ ජෝර්ගන්සන් විසින් ලබා ගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉක්මවනවා.

ජනාධිපති ට්‍රම්ප්ව ගෙදර යවන්න හේතු වුනේ මෙවර මැතිවරණයේදී ඡන්ද භාවිතය වාර්තාගත ලෙස ඉහළ යාම බව පැහැදිලි කරුණක්. ඡන්ද භාවිතය ඉහළ ගියේ පසුගිය වසර වලදී පැවැත්වුණු ප්‍රධාන මැතිවරණ වලට සාපේක්ෂවයි. එහෙම වුනේ ඇයි?

මැතිවරණයකදී කිසියම් පුද්ගලයෙකු විසින් ඡන්දය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගනිද්දී සවිඥානිකව හෝ අවිඥානිකව තමන්ට ලැබෙන ආකාර දෙකක වාසි හෝ අවාසි ගැන සලකා බලනවා.

1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර ගැනීමේ හැකියාව නිසා දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වන නමුත් දෙවැන්න ධන හෝ සෘණ අගයක් විය හැකියි. බොහෝ විට සෘණ අගයක්. ඒ වගේම පළමුවැන්න තමන්ගේ ඡන්දය නිසා ප්‍රතිඵලය වෙනස් වීමට තිබෙන සම්භාවිතාව මත වෙනස් වන දෙයක්. 

ඇමරිකානු ජනාධිපතිවරණය වැනි අවස්ථාවකදී ඡන්දය දැමීමේ ක්‍රියාවලිය හරහා ඡන්දදායකයෙකුට ලැබෙන ශුද්ධ වාසිය පහත ආකාරයට සරල ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. මෙහිදී පහසුව සඳහා තෙවන අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් සාධක වල බලපෑම් බැහැර කර තිබෙනවා.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 
C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

දැන් මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

ඇමරිකාව වැනි රටක මැතිවරණ ප්‍රතිඵල මත ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. කවුරු ජනාධිපති වුනත් අපි හම්බ කළොත් අපි කනවා. ඒ නිසා, U1 හා U0 අතර ලොකු වෙනසක් නැහැ. පරතරය අඩුයි. ඒ වගේම, තමන් වාසය කරන්නේ දෝලන ප්‍රාන්තයක නොවේනම් p අගය ඉතාම අඩුයි. ඒ නිසා, සමස්තයක් ලෙස (U1 - U0)p අගය ගොඩක් විශාල නැහැ. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය තුළ සතුටක් ලබන අයෙකුට C>0 නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එවැන්නෙකු හා අදාළව සමස්තයක් ලෙස B>0 නිසා ඔවුන් ඡන්දය දමනවා. එහෙත්, ඡන්දය වෙනුවෙන් වෙනත් වැඩ පැත්තක දමා පැය කිහිපයක් රස්තියාදු වීම වදයක් සේ සලකන අයට C<0 නිසා (C වල ලකුණ නොසලකා මාපාංකය පමණක් ගත්තොත්) ඉහත සූත්‍රය B = (U1 - U0)p - C බවට පත් වෙනවා. එවැන්නෙකුට B>0 වෙන්නේ (U1 - U0)p > C වුවහොත් පමණයි. ඒ කියන්නේ ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය ඡන්දය දමන්නට යාමේ කෙටිකාලීන අවාසියට වඩා වැඩිනම් පමණයි.

සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අය බොහෝ විට ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය එතරම් විශාල සේ සලකන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට ඡන්දය දැමීමේ ක්‍රියාවලිය වියදමක් සේ සලකනවා. ඒ නිසා එවැනි අය සාමාන්‍යයෙන් ඡන්දය දැමීමට දක්වන උනන්දුව අඩුයි.

මේ වෙද්දී ඇමරිකාව විශාල ලෙස දේශපාලනිකව බෙදුණු රටක්. දේශපාලනික බෙදීම තීව්‍ර වන තරමට U1 හා U0 අතර පරතරය විශාල වෙනවා. එවිට (U1 - U0)p ඉහළ ගොස් B ඉහළ යනවා. ඡන්ද භාවිතය ඉහළ යනවා. මෙවර වගේම 2016 මැතිවරණයේදීත් ඇමරිකාවේ ඡන්ද භාවිතය යම් තරමකින් ඉහළ යාමට මේ සාධකය ඉවහල් වුනා.

කෝවිඩ් නිසා ඡන්දය දමන්නට ඡන්ද පොළට යාමේ හා එහි පැය කිහිපයක් ගත කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ ගියා. ඒ කියන්නේ C අගය ඉහළ ගියා. ඒ අනුව, සිදු විය හැකිව තිබුණේ (U1 - U0)p - C අගය පහළ ගොස් ඡන්ද භාවිතය අඩු වීමයි. මෙය සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. ඒ වගේම කෝවිඩ් වලට වැඩිපුර බය අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. මේ දෙකෙන්ම විය හැකිව තිබුණේ රිපබ්ලිකන් ඡන්ද අඩු ප්‍රමාණයක් අඩු වෙද්දී ඩිමොක්‍රටික් ඡන්ද වැඩි ප්‍රමාණයක් අඩු වීමයි.

මේ තත්ත්වය කලින් අවබෝධ කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල C අගය අඩු කිරීමට කටයුතු කළා. කොන්දේසි විරහිතව තැපැල් ඡන්ද දැමීමට ඉඩ දීමෙන් කළේ එයයි. මේ නිසා, එසේ නොකළේනම් B<0 විය හැකිව තිබුණු බොහෝ දෙනෙකුට B>0 වුනා. ඒ බොහෝ දෙනෙක් පැයේ ශ්‍රමයට රැකියා කරන අඩු ආදායම්ලාභීන්, සංක්‍රමණිකයින්, සුළු ජාතිකයින් වැනි ඩිමොක්‍රටික් නැඹුරුවක් තිබුණු අයයි. එහි වාසිය බයිඩන්ට ලැබුණා. මෙය එක අතකින් කෝවිඩ් නිසා ලැබුණු අනපේක්ෂිත වාසියක්.



Sunday, November 29, 2020

මොකක්ද මේ z-ස්කෝර් කියන්නේ?

පහුගිය දවස් වල ලංකාවේ එක් එක් සරසවි වල විවිධ පාඨමාලා සඳහා බඳවා ගැනෙන අවම ලකුණු ප්‍රකාශයට පත් කළානේ. අවම ලකුණු කියා කිවුවත් ප්‍රකාශයට පත් කළේ අවම z-ස්කෝර් අගයන්. මේ අවම අගයයන් සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවා. ඊට අමතරව මෙවර මේ අවම z-ස්කෝර් අගයයන් සිසුවෙකු විභාගයට මුහුණ දුන්නේ නව නිර්දේශය යටතේද නැත්නම් පැරණි නිර්දේශය යටතේද කියන එක මතත් වෙනස් වෙනවා. 

මේ විදිහට මෙවර නිර්ණායක දෙකක් යොදා ගන්න හේතු වී තිබෙන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකට අනුව වසර අටකට පසුව උසස් පෙළ විෂය නිර්දේශ සංශෝධනය කිරීමයි. මේ කරුණ හා අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දු ගණනාවක් ඇතුළු තවත් පසුබිම් කරුණු රැසකුත් තිබෙනවා.

හේතු මොනවා වුනත්, සමස්තයක් ලෙස බැලුවහම කිසියම් සරසවියක කිසියම් නිශ්චිත පාඨමාලාවක් සඳහා නව නිර්දේශය යටතේ මුහුණ දුන් සිසුවෙකු හෝ සිසුවියක බඳවා ගැනීමේදී සලකා බලන අවම z-ස්කෝර් අගයයන් පැරණි නිර්දේශය යටතේ මුහුණ දුන් සිසුවෙකු හෝ සිසුවියක බඳවා ගැනීමේදී සලකා බලන අවම z-ස්කෝර් අගයයන්ට වඩා සැලකිය යුතු තරමකින් වැඩියි. ඇතැම් විට එසේ නොවන අවස්ථාද තිබෙනවා විය හැකි වුවත් පොදුවේ දැකිය හැකි තත්ත්වය මෙයයි. උදාහරණ කිහිපයක් පහත පෙන්වා දී තිබෙනවා.


කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.4546

පැරණි නිර්දේශය: 2.1010


කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.5010

පැරණි නිර්දේශය: 2.1076


මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.0676

පැරණි නිර්දේශය: 1.7248


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.1944

පැරණි නිර්දේශය: 1.7664


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.0630

පැරණි නිර්දේශය: 1.6234


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 1.8391

පැරණි නිර්දේශය: 1.7238


දැන් මේ අනුව බැලූ බැල්මටම පෙනෙන්නේ නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකුට හෝ සිසුවියකට සාපේක්ෂ අවාසියක් හෝ අසාධාරණයක් සිදු වී ඇති බවයි. එහෙත්, එවැනි නිගමනයකට එළැඹිය හැක්කේ නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ z-ස්කෝර් අගයයන් වලින් අදහස් වන්නේ එකම දෙයක්නම් පමණයි. මේ සිසු කණ්ඩායම් දෙකේ  z-ස්කෝර් අගයයන් ගණනය කර තිබෙන්නේ වෙන වෙනම, එකිනෙකින් ස්වායත්තව නිසා එවැනි සංසන්දනය කිරීමක් නිවැරදි නැහැ. සංසන්දනයක් කළ හැක්කේ මේ z-ස්කෝර් අගයයන් වලින් අදහස් වෙන්නේ කුමක්ද කියා නිවැරදිව තේරුම් ගැනීමෙන් පසුව පමණයි.

z-ස්කෝර් අගයයන් ගණනය කරන්නේ කොහොමද?

පිළිතුරක් ලෙස මෙය ගණනය කරන සමීකරණය ඉදිරිපත් කරන එක ඉතාම පහසුයි. නමුත්, එසේ කළ පමණින් බොහෝ දෙනෙකුට මේ අණ්ඩර දෙමළය තේරෙන එකක් නැහැ. ඒ නිසා, අපි මේ ගණනය කිරීමේ මූලධාර්මික පසුබිම දෙස මුලින්ම බලමු.

උසස් පෙළ විභාගයේ කිසියම් විෂයයකට පෙනී සිටින සිසුවෙකු හෝ සිසුවියක විසින් ලබා ගන්නට ඉඩ තිබෙන ලකුණු ප්‍රමාණය හරියටම දැන ගන්නට වෙන්නේ පිළිතුරු ඇගයීමෙන් පසුවයි. එතෙක්, ඒ පිළිබඳව තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. මෙය කාසියක් හෝ කැටයක් උඩ දැමීමට සමාන කළ හැකියි.

කාසියක් උඩ දැමූ විට සිරස හෝ අගය වැටෙන්න පුළුවන්. වැටෙන්නේ සිරසද අගයද කියා කලින් දැන ගන්න විදිහක් නැහැ. නමුත්, ඔය දෙකෙන් එකක් බව පැහැදිලියි. ඉතාම කලාතුරකින් දාරය වැටෙන්නත් පුළුවන්. එය අපි නොසලකා හරිමු. ඒ වගේම, කැටයක් උඩ දැමූ විට එහි පැති හයෙන් කවර හෝ එකක් වැටෙන්න පුළුවන්. වැටෙන පැත්ත කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ.

මේ ආකාරයටම උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ වැනි විභාගයක විෂයකට මුහුණ දෙන අයෙකුට 0-100 අතර ලකුණක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ප්‍රතිඵල 101න් කවර හෝ එකක් ලැබෙන්න පුළුවන්. ඒ කොයි එකද කියා කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. කාසියක් හෝ කැටයක් උඩ දැමීමේදී වගේමයි.

හැබැයි මේ දෙකේ වෙනසක් තිබෙනවා. කාසියක් හෝ කැටයක් උඩ දැමූ විට ලැබිය හැකි කවර හෝ ප්‍රතිඵලයක් ලැබෙන්න තිබෙන්නේ සමාන ඉඩක්. කාසියක් උඩ දැමූ විට සිරස ලැබෙන්න තිබෙන ඉඩකඩ ආසන්නව 1/2ක්. කැටයක් උඩ දැමූ විට 3 වැටෙන්න තිබෙන ඉඩකඩ 1/6ක්. නමුත්, විභාගයකදී හරියටම ලකුණු 73ක් ලැබෙන්න තිබෙන ඉඩකඩ 1/101ක් නෙමෙයි. ඒ වගේම ඕනෑම ලකුණක් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ලකුණු 100ක් ලැබෙන්න තිබෙන ඉඩකඩට වඩා ලකුණු 60ක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

මෙය අපිට උසස් පෙළ විභාගයේ කිසියම් විෂයයකට පෙනී සිටි සිසු සිසුවියන් විසින් ලබාගත් සැබෑ ලකුණු ප්‍රමාණ වල ව්‍යාප්තිය දෙස බලා පහසුවෙන් තේරුම් ගත හැකියි. අපි ආර්ථික විද්‍යාව විෂය ගනිමු. මම කැමතිම විෂයයක් නිසාම නෙමෙයි. පළමු වර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ජනප්‍රියම විෂය ආර්ථික විද්‍යාව නිසා. පසුගිය වර නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් වැඩිම පිරිසකගේ තේරීම වූ විෂය ආර්ථික විද්‍යාවයි. සතුටු විය හැකි කරුණක්!

හැබැයි පොඩි අවුලකට තිබෙන්නේ මේ ලකුණු ව්‍යාප්තිය ප්‍රසිද්ධ අවකාශයක සොයා ගත නොහැකි වීමයි. 2016 වසර දක්වා ආපසු ගියොත්, හරියටම ලකුණු ප්‍රමාණ නැතත්, ලකුණු කාණ්ඩ පිළිබඳ තොරතුරු සොයාගත හැකියි. බත් නැත්නම් කොස් හරි තියෙන එක කොයි තරම් දෙයක්ද? අදාළ තොරතුරු පහත වගුවේ තිබෙනවා.


වගුවේ දත්ත වලින් පැහැදිලි වන පරිදි, විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 66.8ක්ම, ඒ කියන්නේ තුනෙන් දෙකකටත් වඩා, අරගෙන තිබෙන්නේ 31-70 අතර ලකුණක්. අසූවට වැඩි හෝ 20ට අඩු (20ද ඇතුළුව) ලකුණක් ලබා ගෙන තිබෙන්නේ සිසුන්ගෙන් 10.6%ක් පමණයි. අහඹු ලෙස සිසුවෙක්ව අරගෙන ඔහුගේ හෝ ඇයගේ ලකුණු ගණන සොයා බැලුවොත් එය 50 වැනි මැද හරියේ ලකුණක් වෙන්න තිබෙන ඉඩකඩ 0 හෝ 100 වැනි අන්තයක ඇති ලකුණක් වෙන්න තිබෙන ඉඩකඩට වඩා ගොඩක් වැඩියි. 

මෙහෙම වෙන්න හේතුවක් තිබෙනවා. කාසියක් උඩ දැමීම හා සංසන්දය කළ හැක්කේ විභාගයක එක ලකුණක් මිසක් සමස්ත විභාගය නෙමෙයි. අපි හිතමු විභාගයේ ලකුණු දෙන්නේ කාසියක් උඩ දමලා කියලා. දැන් එක් එක් සිසුවාට කාසිය 100 වරක් උඩ දමන්න අවස්ථාව ලැබෙනවා. අගය වැටුණොත් ලකුණයි. සිරස වැටුණොත් ලකුණක් නැහැ. මේ අනුව කිසියම් සිසුවෙකුට ලකුණු 0-100 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ලකුණු 100ම ගන්නනම් සියපාරම අගය වැටෙන්න ඕනෑ. එවැන්නක් විය හැක්කේ ඉතාම කලාතුරකින් බව ඉතාම පැහැදිලියි. ඒ වගේම, එකම එක වරක්වත් අගය නොවැටී ලකුණු 0 ලැබීමත් ඉතා කලාතුරකින් පමණක් විය හැකි දෙයක්. බොහෝ දෙනෙක්ට ලැබෙන්න ඉඩ තිබෙන්නේ 50ට ආසන්න ලකුණු ප්‍රමාණයක්. විභාගයකදී වෙන්නේත් ඔය වගේ දෙයක්. 


උසස් පෙළ විභාගය වැනි 0-100 අතර ලකුණු දෙන විභාගයකදී එක් එක් ලකුණු ප්‍රමාණය ලබාගත් සිසුන් ගණන ප්‍රස්ථාරයකින් පෙන්වූ විට එම ප්‍රස්ථාරය ඝණ්ඨාවක හැඩය ගන්නා බව බොහෝ විට දැකිය හැකියි. ඉහත වගුවෙහි ලකුණු කාණ්ඩ මිස හරියටම ලකුණු ප්‍රමාණ නැති නිසා මෙය ගොඩක්ම පැහැදිලිව නොපෙනුණත් යාන්තමින් හෝ ඝන්ඨා හැඩයක් දැක ගන්න බැරිකමක් නැහැ. 

මේ ආකාරයේ ප්‍රස්ථාරයක් සංඛ්‍යාන ව්‍යාප්තියක් ලෙස හඳුනා ගත හැකියි. එවැන්නක හැඩය ඉහත කී ආකාරයේ ඝන්ඨා හැඩයක් ගන්නා බව පෙනෙන විට එවැන්නක් ප්‍රමත ව්‍යාප්තියක් හෙවත් ගවුසියානු ව්‍යාප්තියක් යොදා ගනිමින් ආකෘතිගත කළ හැකියි. ප්‍රමත ව්‍යාප්තියක් කියා කියන්නේ ගණිත සමීකරණයක් මගින් විස්තර කළ හැකි හැඩයක් තිබෙන සංඛ්‍යාන ව්‍යාප්ති පවුලක්. ඒ පවුලේ එක් විශේෂ සංඛ්‍යාන ව්‍යාප්තියක් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලෙස හැඳින්වෙනවා. සම්මත නොවන ප්‍රමත ව්‍යාප්තියක් පහසුවෙන් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් බවට පරිවර්තනය කළ හැකියි. 

විභාගයක ලකුණු බොහෝ විට ප්‍රමත ව්‍යාප්තියක් යොදාගෙන ආකෘතිගත කළ හැකි වුවත්, එක් එක් විභාගය සඳහා ගැලපෙන්නේ වෙනස් ප්‍රමත ව්‍යාප්තීන් නිසා ඒවා සංසන්දනය කරන්න අමාරුයි. එහෙත්, මේ වෙනස් ප්‍රමත ව්‍යාප්තීන් සම්මත ප්‍රමත ව්‍යාප්තීන් බවට පරිවර්තනය කළ පසු එවැනි සංසන්දනය කිරීමක් කළ හැකියි. උසස් පෙළ විභාගයේදී සිසුන් ලබා ගන්නා සැබෑ ලකුණු z-අගයයන් බවට හැරවීමේ අරමුණ මෙවැනි සැසඳීමක් කිරීමට ඉඩ ලබා ගැනීමයි.

මුලින්ම අපි සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියන්නේ මොන වගේ එකක්ද කියා බලමු. අපි හිතමු ඕනෑම ලකුණු ගණනක් ලැබිය හැකි ක්‍රීඩාවක් හෝ විභාගයක් ගැන. අපි කවුරුත් දන්නා උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයකදී ලැබෙන්නේ 0-100 අතර ලකුණු ගණනක් වුවත් මේ විභාගයේ එවැනි සීමාවක් නැහැ. කැමති තරම් ඉහළ හෝ පහළ ලකුණු ගණනක් ගන්න පුළුවන්. කැමති තරමක් පහළ කියා කියන්නේ ලකුණු ගණන විශාල සෘණ අගයක් වුනත් වෙන්න පුළුවන්. 

මේ වගේ සෘණ ලකුණු ලැබෙන විභාගත් තියෙනවද? අපි ප්‍රශ්න 100ක් තිබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ගැන හිතමු. හරියන ප්‍රශ්නයකට ලකුණක් ලැබෙනවා. වැරදෙන ප්‍රශ්නයකට ලකුණක් අඩු වෙනවා. දැන් හරියන ප්‍රශ්න ගණනට වඩා වැරදෙන ප්‍රශ්න ගණන වැඩි වුනොත් ලකුණු ගණන සෘණ පැත්තට යනවනේ. ඔය වගේ විභාග ලකුණු ක්‍රමයක් ගැන හිතන්නකෝ.

එතකොට දැන් ඔය ගොඩක් විභාග පරිගණක ආශ්‍රිතව පවත්වනවනේ. මුද්‍රිත විභාගයකදී වගේ පරිගණක ආශ්‍රිත විභාගයකදී නිශ්චිත ප්‍රශ්න ගණනක්ම දෙන්න අවශ්‍ය නැහැනේ. අපි හිතමු අපේක්ෂකයෙකුට තමන් කැමති තරමක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඉඩ දෙනවා කියලා. කැසිනෝ වගේ සූදුවක අවසන් ප්‍රතිඵලයත් මේ ආකාරයේ විභාග ප්‍රතිඵලයකට සමාන කරන්න පුළුවන්. දිනුවොත් ධන ගණනක්. පැරදුනොත් සෘණ ගණනක්. 

මේ වගේ ක්‍රීඩාවකදී විශාල ධන ගණනක් හෝ සෘණ ගණනක් ප්‍රතිඵලය විය හැකි වුවත් එසේ වෙන්නේ කලාතුරකින්. බොහෝ විට ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න ගණනක්. මේ ආකාරයේ ක්‍රීඩාවක හෝ විභාගයක ලකුණු ව්‍යාප්තිය සම්මත ප්‍රමත ව්‍යාප්තියකින් පැහැදිලි කළ හැකියි. පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන්නේ එවැනි සම්මත ප්‍රමත ව්‍යාප්තියක්.


සම්මත ප්‍රමත ව්‍යාප්තියක සුවිශේෂී ගුණාංග රාශියක් තිබෙනවා. 

- සම්මත ප්‍රමත ව්‍යාප්තියක වඩාත්ම සුලභ "ලකුණ" බිංදුව. බිංදුවෙන් ඈත් වන තරමට කිසියම් ලකුණක් ලැබෙන්න තිබෙන ඉඩකඩ අඩු වෙනවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මාතය 0යි.

- සමස්ත ගහණයෙන් හරියටම 50%ක් බිංදුවට වඩා වැඩි, එනම් ධන, ලකුණු ලබා ගන්නවා. ඉතිරි 50% සෘණ ලකුණු ලබා ගන්නවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මධ්‍යස්ථය 0යි.

- හැමෝගෙම ලකුණු එකතු කළාම ධන සෘණ අවලංගු වී ගිහින් ප්‍රතිඵලය බිංදුව වෙනවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මධ්‍යන්‍යය 0යි.

- මුළු ගහණයෙන් 34.13%ක් 0 හා 1 අතර ලකුණු ලබා ගන්නවා. ඒ වගේම, මුළු ගහණයෙන් තවත් 34.13%ක් -1 හා 0 අතර ලකුණු ලබා ගන්නවා. ඒ අනුව, මුළු ගහණයෙන් 68.26%ක් -1 හා 1 අතර ලකුණු ලබා ගන්නවා. මේ ලකුණු ගණන් ඕනෑම දශම ගණනක් විය හැකියි. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ සම්මත අපගමනය 1යි.

- මේ ආකාරයටම ඕනෑම ලකුණු දෙකක් අතර, උදාහරණයක් විදිහට 0.789 හා 1.237 අතර ලකුණු ගන්නා අය කී දෙනෙක්ද කියන එක ගණිත සමීකරණයක් ඇසුරෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

මේ අවසන් ලක්ෂණයේ ප්‍රායෝගික වැදගත්කමක් තිබෙනවා. අපි හිතමු මේ තරඟයෙන් ලකුණු 4කට වඩා ලබා ගන්නා අයට කිසියම් ත්‍යාග මුදලක් දෙනවා කියලා. එම ත්‍යාග මුදල් ලබා ගන්නේ කවුද කියා කලින් දැන ගන්න විදිහක් නැතත්, කී දෙනෙක් එම ලකුණු ප්‍රමාණය ඉක්මවයිද කියන එක කලින්ම නිවැරදිව ඇස්තමේන්තු කරන්න පුළුවන්. තව දුරටත් විස්තර කළොත්  සම්මත ප්‍රමත ව්‍යාප්තියක ඕනෑම ලකුණකට වඩා අඩුවෙන් හා වැඩියෙන් ලකුණු ගන්නා ප්‍රතිශතය පහසුවෙන් හොයා ගන්න පුළුවන්. 

සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියා කියන්නේ ප්‍රමත ව්‍යාප්ති පවුලේ එක් සාමාජිකයෙක් කියා මම කිවුවනේ. සම්මත ප්‍රමත ව්‍යාප්තියක ලක්ෂණ සියල්ලම නොවුණත් ලක්ෂණ ගණනාවක්ම එම පවුලේ පොදු ලක්ෂණ. 

අපි කලින් කියපු ක්‍රීඩාවට හෝ විභාගයට නැවත යමු. මේ ක්‍රීඩාවේ හෝ විභාගයේ ලකුණු ව්‍යාප්තියේ වඩාත්ම සුලබ ලකුණ බිංදුව. මාතය කියා කියන්නේ ව්‍යාප්තියක වඩාත්ම සුලබ අගයටයි. මාතය වගේම මධ්‍යස්ථය හා මධ්‍යන්‍යයත් බිංදුවයි. මධ්‍යස්ථය කියා කියන්නේ තරඟකරුවන් 50% බැගින් දෙපැත්තට බෙදන ලකුණ. තරඟකරුවන්ගෙන් අඩක් මධ්‍යස්ථයට වඩා වැඩියෙනුත්, අනෙක් අඩ මධ්‍යස්ථයට වඩා අඩුවෙනුත් ලකුණු ලබා ගන්නවා. මධ්‍යන්‍යය කියා කියන්නේ සියළුම තරඟකරුවන්ගේ ලකුණු එකතු කර තරඟකරුවන් ගණනින් බෙදූ විට ලැබෙන පිළිතුර.

දැන් මේ විභාගයේ සියලුම තරඟකරුවන්ට පොදුවේ "පිනට" ලකුණු පහ බැගින් දුන්නා කියා හිතමු. කලින් 0 ලබාගත් අයට දැන් ලකුණු 5යි. කලින් 5 ලබාගත් අයට දැන් ලකුණු 10යි. කලින් -5 ලබාගත් අයට දැන් ලකුණු 0යි. දැන් සංඛ්‍යාන ව්‍යාප්තියට මොකද වෙන්නේ? 

දැන් වඩාත්ම සුලභ ලකුණ, එනම් මාතය තව දුරටත් 0 නෙමෙයි. අලුත් මාතය 5. ඒ වගේම අළුත් මධ්‍යස්ථය හා මධ්‍යන්‍යයත් 5. මුළු සංඛ්‍යාන ව්‍යාප්තියම ඒකක පහකින් දකුණට තල්ලු වෙලා. නමුත්, තරඟකරුවන්ගේ සාපේක්ෂ පිහිටීම් වෙනස් වෙලා නැහැ. කලින් තරඟකරුවන් 34.13%ක් හිටියේ 0 හා 1 අතර. දැන් තරඟකරුවන් 34.13%ක් ඉන්නේ 5 හා 6 අතර. ඒ වගේම කලින් -1 හා 0 අතර සිටි තරඟකරුවන් 34.13 දැන් ඉන්නේ 4 හා 5 අතර. කලින් 0 ආශ්‍රිතව සිදු වුනු දේවල් දැන් වෙන්නේ 5 ආශ්‍රිතව.

මේ විදිහටම ලකුණු 5ක් එකතු කරනවා වෙනුවට අඩු කරන්නත් පුළුවන්. එවිට හැම දෙයක්ම වෙන්නේ -5 කේන්ද්‍ර කරගෙන. පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන්නේ අදාළ ප්‍රමත ව්‍යාප්තීන් දෙකයි.


ඔය විදිහට හැමෝටම ලකුණු එකතු කරන්නේ හෝ අඩු කරන්නේ නැතුව හැමෝගෙම ලකුණු ගණන් දෙගුණ කළොත් මොකද වෙන්නේ? සීයෙන් ලකුණු දෙන විභාගයකට දෙසීයෙන් ලකුණු දුන්නා වගේ වැඩක්නේ. බිංදුව ගත් අයට කොහොමත් එකයි. නමුත්, 1 ගත් අයගේ ලකුණ දැන් 2ක් වෙලා. -1 ගත් අයගේ ලකුණ -2ක් වෙලා.

මේ වැඩෙන් ව්‍යාප්තියේ මාතය, මධ්‍යන්‍යය හෝ මධ්‍යස්ථය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ව්‍යාප්තියේ වෙනසක් වෙනවා කියන එක පැහැදිලියිනේ. කලින් 0 හා 1 අතර සිටි 34.13%ක පිරිස දැන් ඉන්නේ 0 හා 2 අතර. කලින් -1 හා 0 අතර සිටි පිරිස දැන් ඉන්නේ -2 හා 0 අතර. තාක්ෂණික ලෙස මෙහිදී සිදු වෙලා තිබෙන්නේ සම්මත අපගමනය 1 සිට 2 දක්වා වැඩි වීමයි.


ප්‍රමත ව්‍යාප්ති පවුලේ සාමාජිකයින් එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ මධ්‍යන්‍යය හා සම්මත අපගමනය කියන පරාමිතීන් දෙකේ වෙනස් වීම අනුවයි. මධ්‍යන්‍යය කියන්නේ ව්‍යාප්තියේ මැද හා එහි උසම තැනයි. සම්මත අපගමනය කියා කියන්නේ ව්‍යාප්තිය මධ්‍යන්‍යය වටා කොයි තරම් දුරට පැතිරී ඇත්ද කියන එක පිළිබඳ මිනුමක්. ප්‍රමත ව්‍යාප්තියක මධ්‍යනය 0 හා සම්මත අපගමනය 1 වූ විට එය සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලෙස හඳුන්වනවා. සම්මත ප්‍රමත ව්‍යාප්තියකට කිසියම් ධන හෝ සෘණ ගණනක් එකතු කිරීමෙන් හා/හෝ කිසියම් ගණනකින් ගුණ කිරීමෙන් වෙනත් ප්‍රමත ව්‍යාප්තීන් අනන්ත සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට සම්මත ප්‍රමත ව්‍යාප්තියක් 10න් ගුණ කර 50ක් එකතු කළොත් අපට මධ්‍යන්‍යය 50 හා සම්මත අපගමනය 10 වූ ප්‍රමත ව්‍යාප්තියක් ලැබෙනවා. එය පහත රූප සටහනේ පෙන්වා දී ඇති ආකාරයේ ව්‍යාප්තියක්.


ඉහත ව්‍යාප්තිය 50 වටා කේන්ද්‍ර වී ඇති බවත්, එහි "ලකුණු" 0-100 අතර පරාසයේ පැතිරී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. 0-100 අතර ලකුණු දෙන බොහෝ විභාග වල සංඛ්‍යාන ව්‍යාප්තිය මෙවැන්නක්. මෙවැන්නක් කියන එකෙන් අදහස් කළේ මධ්‍යනය හරියටම 50 වන බව හෝ සම්මත අපගමනය හරියටම 10 වන බව නෙමෙයි. එහෙත් එසේ වෙන්නත් පුළුවන්. එවැනි වෙනත් ගණනක් වෙන්නත් පුළුවන්.

දැන් අපි මේ සංඛ්‍යාන ව්‍යාප්තිය හදා ගත්තේ සම්මත ප්‍රමත ව්‍යාප්තියක් 10න් ගුණ කරලා 50ක් එකතු කිරීමෙන්නේ. ඒ කියන්නේ මේ හදාගත් සංඛ්‍යාන ව්‍යාප්තියේ හැම අගයකින්ම 50 බැගින් අඩු කරලා 10න් බෙදුවොත් අපට නැවතත් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලැබෙනවා. 

සාධාරණ වශයෙන් කිවුවොත්, ඕනෑම ප්‍රමත ව්‍යාප්තියක සියළුම අගයන්ගෙන් එහි මධ්‍යන්‍ය අගය අඩු කරලා ලැබෙන ප්‍රතිඵලය එහි සම්මත අපගමනයෙන් බෙදුවොත් අපට සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලබා ගන්න පුළුවන්. ආරම්භක ප්‍රමත ව්‍යාප්තියේ මධ්‍යන්‍යය හා සම්මත අපගමනය කවර අගයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මේ පියවර දෙකෙන් පස්සේ අපට ලැබෙන්නේ සම්මත ප්‍රමත ව්‍යාප්තියක්. 

විභාග ප්‍රතිඵල වගේම කිසියම් ගහණයක මිනිසුන්ගේ උස වැනි ස්වභාවික විචල්‍යයන් බොහොමයක් ප්‍රමත ව්‍යාප්තියක් ඇසුරෙන් ආකෘතිගත කළ හැකියි. ඉන් පසුව, සම්මත ප්‍රමත ව්‍යාප්තියක් බවට පරිවර්තනය කළ හැකියි. z-ස්කෝර් අගය සේ හැඳින්වෙන්නේ මේ ආකාරයට කිසියම් ප්‍රමත ව්‍යාප්තියක අගයක් සම්මත ව්‍යාප්තියක් බවට පත් කිරීමෙන් පසු ලැබෙන අගයයි.

z-ස්කෝර් අගය = (මුල් අගය - ව්‍යාප්තියේ මධ්‍යන්‍ය අගය)/(ව්‍යාප්තියේ සම්මත අපගමනය)

අදට ඇති නේද?



Friday, November 27, 2020

අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවරද?


මොකක් හරි ලොකු අකරතැබ්බයකින් යාන්තමින් බේරුනාම අපි කියනවා අනූ නවයෙන් බේරුනා කියලා. මේ කාලය අපි කවුරුත් අනූ නවයෙන් බේරී ජීවත් වන කාලයක්. ඒ වෙනුවෙන් ඇල් වතුරත් නිවලා බොන කාලයක්. වසංගතය ඉවර වුන දවසක ඒ ගැන සමාලෝචනයක යෙදෙන්න තරම් වාසනාවක් තිබුණොත් ඒ වන තුරු ජීවත්ව සිටින අපට මේ විදිහට අනූ නවයෙන් බේරුණු යුගය ගැන ගොඩක් දේවල් කතා කරන්න ඉතිරි වෙයි.

රටක් විදිහට ගත්තොත් ලංකාව සෑහෙන කාලයක් කෝවිඩ්-19 වසංගතයෙන් අනූ නවයෙන් බේරී හිටියා. නමුත්, දැන්නම් ඒ කාලය ඉවරයි වගේ.

මේ වෙද්දී ලංකාවෙන් හඳුනා ගැනුණු කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 22,501ක් දක්වා ඉහළ ගිහින්. ආසාදිතයින් ප්‍රමාණය අනුව කාලයක් තිස්සේම ලංකාව හිටියේ ලෝකයේ රටවල් අතරින් 99 වන තැන හෝ පහළින්. ඊයේ වෙද්දී ලංකාව 99 පහු කරලා 98 වන තැනට ඇවිත්.

ලංකාව කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වුනු ඊයේ දිනයේම කෝවිඩ්-19 මරණ ප්‍රමාණයත් 99 මට්ටමේ සිට 107 දක්වා ඉහළ ගිහින්. ඒ අනුව, මරණ ගණන අනුව බැලුවත් අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවර වෙලා.

ඒ විතරක් නෙමෙයි. ජනගහණයේ අනුපාතයක් ලෙස මෙතෙක් ලංකාවේ කෝවිඩ්-19 රෝගීන් හමු වී තිබුණේ ලක්ෂයකට 99 කට වඩා අඩු ප්‍රමාණයක්. මේ වෙද්දී ඒ ගණනත් ජනගහණය ලක්ෂයකට 105 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලංකාවේ දාහකින් එකකට වඩා මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් වෙලා. 

ඇමරිකාව එක්ක බැලුවහමනම් මේ එකක්වත් ලොකු දේවල් නෙමෙයි. ඇමරිකානු ජනගහණයෙන් 4%ක් මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන අවසන්.

කෝවිඩ් වසංගතය හා අදාළව ලංකාව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වෙද්දී ලංකාවට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ දිගුකාලීන ණය අවදානම් ශ්‍රේණිය CCC මට්ටම දක්වා පහත දමලා. කෙටිකාලීන ණය අවදානමද C මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දෙමසකට පෙර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළුවා. මේ අනුව, ෆිච් ආයතනය විසින් කර තිබෙන්නේ ලංකාව සම්බන්ධ මූඩීස් ආයතනයේ දැක්ම තහවුරු කිරීමක්. 

ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන අතරින් මේ වන තුරුත් ලංකාවේ ණය අවදානම B කාණ්ඩයේ (B-) ඇති සේ සලකන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය පමණයි. එයද තව කොපමණ කාලයක් නොවෙනස්ව තිබේදැයි සැක සහිතයි.


Saturday, November 21, 2020

කළු කපුටා සුදු වන තුරු...


මේ දවස් ටික ඉතාම කාර්ය බහුලයි. ලියන්නනම් ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, අනෙකුත් ප්‍රමුඛතා අවසන් කරලා බ්ලොග් එක පැත්තේ එන්න තවත් දවස් ගණනාවක් යන්න පුළුවන්. එතෙක් පරණ ලිපි කිහිපයක් ගැන නැවත මතක් කරන්නම්. 

මේ වෙද්දී මේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ගැන මොනවා හරි ලියල තියෙනවනේ. පළමුවෙන්ම කපුටා ගැන ලියපු ලිපි කිහිපයකින් එකක් ගැන නැවත මතක් කිරීමක්. අර කපුටා කියලා පියාසර කරන කළු සතෙක් ඉන්නේ. අන්න ඒ සතා ගැන. 

කපුටා කිවුවහම පොඩි කතාවක් මතක් වුනා. මේ කතාවත් කතාවක් ගැන කතාවක්. මගේ පුතෙක් පොඩි කාලේ දවසක් අපේ නැන්දම්මා එයාට කතාවක් කියා දෙනවා. ඒ කතාව ගැන අපි කතා නොකර ඉඳිමු. ඒ ගැනත් කතා කරන්න ගියොත් මේ කතාව කථා සරිත් සාගරයේ කතාව වගේ කදලු (nested) ආකෘතියේ කතාවක් වෙනවනේ. 

ඔය නැන්දම්මා පුතාට කියා දෙන කතාවේත් කපුටෙක් ඉන්නවා. ඒ කපුටාට කෑමක් හම්බ වෙලා කෑම බෙදා ගන්න තවත් කපුටන්ට කතා කරනවා. කපුටෝ ඉතිං එහෙමනේ. සම්පත් සාමූහිකව බෙදා ගන්නවා. හැබැයි සමසමව හරි නිර්ධන පංතියේ කපුටන්ගේ ආඥාදායකත්වයකට අවශ්‍ය පිළිවෙලට හරි නෙමෙයි. ඕනෑනම් මොනවා හරි කෑමක් එළියට දමලා පොඩ්ඩක් කාක් කියලා බලන්න.

පොඩ්ඩක් පාරෙන් එළියට ගියා. හරි. ආපහු පාරට දාගත්තා. ඉතිං දැන් අර කපුටා කාක් කාක් කියලා වටේපිටේ ඉන්න අනෙක් කපුටන්ට කතා කළාට පස්සේ සිදු වුන දේ අපේ නැන්දම්මා පුතාට විස්තර කළේ මේ විදිහටයි. 

"ඔන්න එතකොට වටේම ඉන්න කපුටෝ ටික හනිකට දුවගෙන දුවගෙන ආවා."

ඔහොම කියපු ගමන්ම අපේ පුතා මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

"ඉතිං ආච්චි කපුටෝ ටික පියාඹාගෙන එන්නේ නැතිව දුවගෙන ආවේ ඇයි?"

සාධාරණ ප්‍රශ්නයක්නේ. දැන් ඉතිං දීපංකෝ උත්තර.

කපුටෝ සාමාන්‍යයෙන් එන්නේ පියාඹාගෙන මිසක් දුවගෙන නොවන බව පුතා විසින් ඒ වෙද්දී බොහෝ වර නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ නිරීක්ෂණය ඔහු සාධාරණීකරණය කරගෙන. ඔහු එවැනි සාධාරණීකරණය කිරීමක් කරලා තිබෙන්නේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණු නිසා නෙමෙයි. ඒ වෙද්දී වයස අවුරුදු තුනයි. 

දැකලා තිබෙන බොහෝ අවස්ථා වලදී කපුටෙක් ඔය වගේ වෙලාවක පියාඹාගෙන මිසක් දුවගෙන එන්නේ නැති නිසා පුතා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගන්නවා. එහෙම නොවෙන්නනම් විශේෂ හේතුවක් තිබිය යුතුයි. එවැනි විශේෂ හේතුවක් තියෙනවාද කියලයි පුතා නැන්දම්මාගෙන් ඇහුවේ. ලංකාවේ ජීවත් වූ සම වයසේ දරුවෙක් තරමටම සිංහල භාෂාව හුරු වී තිබුණානම් භාෂාවේ මේ යෙදීම ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, ඔහු ඒ තරම්ම සිංහල භාෂාවට නිරාවරණය වෙලා නැති නිසා දුවගෙන ආවේ කියන එක තේරුම් ගත්තේ එහි වචනාර්ථය අනුව යමිනුයි.

කපුටා කියන්නේ පියාසර කරන සතෙක් වනවාක් මෙන්ම කළු සතෙක්. කපුටා කලුයි කියන එක බොහෝ දෙනෙක් සාධාරණ ප්‍රකාශයක් ලෙස පිළිගන්නවා. කළු නැති සුදු කපුටෙක් දකින්න මෝල් ගහේ දළු එන තුරු බලා ඉන්න ඕනෑ. දුවගෙන එන කපුටන්ව දැකපු අය සාපේක්ෂව ටිකක් වැඩිපුර හිටියත්, සුදු කපුටන් දැකපු අයනම් ගොඩක් දුර්ලභයි. 

කවදාවත් සුදු කපුටෙක්ව දැකලා නැති කෙනෙක්ට සුදු කපුටෙක්ව පරිකල්පනය කර ගැනීම අසීරු දෙයක් නෙමෙයි. සුදු කපුටන් ගැන කතා බොහෝ සංස්කෘතීන් වල තිබෙනවා. එක ස්වදේශික ඇමරිකානු ජන කතාවකට අනුව ඉස්සර සියලුම කපුටෝ සුදුයිලු. කපුටා කළු වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකයෙන් මිනිස්සුන්ට ගින්දර අරන් එද්දී වැදුණු දුම නිසා. දුම් හට්ටි අල්ලපු නිසානම් නෙමෙයි. කවදාහරි මිනිස්සුන්ගේ කල්කිරියාව හොඳ වුනු දවසක නැවතත් කපුටෝ සුදු වෙනවා කියලා ඒ ස්වදේශික ඇමරිකානුවෝ විශ්වාස කරනවා. ඒක වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදුනු දවසකද දන්නේ නැහැ.


(Photos by Mike Yip)

ඉතාම දුර්ලභ වුනත් සුදු කපුටෝ ඉන්නවා. ඇතැම් අය සුදු කපුටන්ව ඡායාරූපගත කරලා තිබෙනවා. උඩ ඉන්න සුදු කපුටාව හමු වෙලා තියෙන්නේ කැනඩාවේ වැන්කුවර් දිවයිනෙන්. සමහර විට කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ඔය වගේ ධනවාදී රටකින් නිසා වෙන්න ඇති.

කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ධනවාදී රටකින් කියන එක මගේ විශ්වාසයක්. එය මගේ නිරීක්ෂණ මත පදනම් වූ විශ්වාසයක්. කපුටා කෑමක් කන්න කතා කළාම පියාඹා ගෙන මිසක් දුවගෙන නොඑන බව වගේම විශ්වාසයක්. ඒ එන්නේ කළු කපුටෝ මිසක් සුදු කපුටෝ නොවන බව සිතීම වගේම විශ්වාසයක්. කපුටා පියාඹන කළු සතෙක් කියා සිතීම වැනිම විශ්වාසයක්. මේ විශ්වාස නිවැරදි වන්නේ කිසියම් සන්දර්භයක. එසේ සිතීමත් මගේ විශ්වාසයක්.

සුදු කපුටෝ පැත්තකින් තියමුකෝ. ලංකාවේ නෙමෙයි කැනඩාවේ පැත්තකින්. කළු කපුටෝ ඇත්තටම කළුද? එහෙමනම් කපුටා කළු වෙන්නේ කොහොමද? කපුටාට "කළු" කියා හැඳින්විය හැකි ගුණයක් තිබෙන නිසාද නැත්නම් කපුටා කළු සේ මා දකින නිසාද?

පරණ ලිපි කිහිපයකට සබැඳි පහත තිබෙනවා.

කළු, කැත කපුටා හා ලස්සන මොණරා

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!

කපුටා කළු නැත්නම් තැඹිලි තැඹිලි පාටද?

තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)

තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)

ප්‍රතිචාර කියවා පිළිතුරු ලියන්න වෙලාව හොයා ගන්න අමාරුයි. හදිසි වැඩ ටික ඉවර කර ගන්න දවස් කිහිපයක් යයි. කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළු එන තුරු තරම් කාලයක්නම් යන එකක් නැහැ.



වෙබ් ලිපිනය: