වෙබ් ලිපිනය:

Thursday, July 18, 2024

ජනාධිපති හටන


තවමත් නිල වශයෙන් ලංකාවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් රටේ පවතින නීතිය අනුව, තවත් මාස තුනක් ඇතුළත (ඔක්තෝබර්ජ 16 දිනට පෙර) ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නීතිය අනුව, ඊයේ (ජූලි 17) සිට, ඕනෑම මොහොතක මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකියි. මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව මේ මාසය අවසන් වීමට පෙර එම කාර්යය සිදු වීමට නියමිතයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 63ක කාලයක් ඇතුළත එම මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව, අනපේක්ෂිත දෙයක් සිදු නොවුවහොත්, සැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත ජනාධිපතිවරණය පවත්වනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙම ජනාධිපතිවරණය පිළිබඳව මීට පෙර කිසිදු ජනාධිපතිවරණයකට පෙර නොපැවති තරමේ උනන්දුවක් දැකිය හැකියි. ඊට පැහැදිලි හේතු තිබෙනවා. ඒවා කවුරුත් දන්න නිසා වීස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ආර්ථිකය ගැන කතා කරද්දී මෙන් නොව දේශපාලනය ගැන කතා කරද්දී මත ගැටුම් වලට වැඩියෙන් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න වෙද්දී. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වීමට නියමිත නිසා දේශපාලනයට සම්බන්ධ මාතෘකා ගැන කතා කරන එක කල් දමන එකේ තේරුමක් නැහැ. 

ලේඛකයා දේශපාලන විශ්ලේෂකයෙක් නොවුනත්, දේශපාලන විශ්ලේෂණ කියන්නෙත් ආර්ථික විශ්ලේෂණ වලම කොටසක්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ පුද්ගල චර්යාවන් ගැන හදාරන විද්‍යාවක්. සමහර අය හිතාගෙන ඉන්න විදිහට මුදල් ගැන හෝ ලාබ ගැන පමණක් හදාරන විද්‍යාවක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේදී මුදල් ගැන හැදෑරීමක් සිදු වෙන්නෙත් පුද්ගල චර්යාවන් ගැන හැදෑරීමේ දිගුවක් වීදිහටයි. ආර්ථික විද්‍යාවේදී ගොඩක් වෙලාවට වෙළඳපොළ ගැන කතා කරන්නේ වෙළඳපොලක් කියන්නේ පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක් නිසා.

ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කියා කියන්නෙත් හරියටම පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක්. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ මූලධර්ම යොදාගෙන ජනාධිපතිවරණයක් ගැනත් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට අමතරව, මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කිරීම්දී යොදා ගන්නේ ආර්ථිකමිතියේදීද යොදා ගන්නා සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද. ඒ නිසා, ඔය විෂයයන් ගැන තිබෙන පොඩි පුහුණුව අනුසාරයෙන් සහ ප්‍රසිද්ධ අවකාශයේ තිබෙන තොරතුරු යොදා ගනිමින් ජනාධිපතිවරණය ගැන යම් විශ්ලේෂණයක් කරන එක අමාරු වැඩක් නෙමෙයි.

මේ ජනාධිපතිවරණයේදී උදෙන්ම අවදි වූ කුරුල්ලෙක් ඉන්නවා. ඒ අනුර කුමාර දිසානායක. හරියටම කිවුවොත් අනුර කුමාර දිසානායක උදෙන්ම අවදි වූ කුරුල්ලෙකුත් නෙමෙයි. අවදි වෙන්න නිදා ගන්න ඕනෑනේ. ජනාධිපතිවරණය හා අදාළව අනුර කුමාර දිසානායක කියන්නේ රෑ එළිවන තුරු නිදි වරා අවදිව සිටින කුරුල්ලෙක්. උදෙන්ම අවදි වූ කුරුල්ලා කියා කියන්න පුළුවන් දෙවනුව පිටියට බැහැපු සජිත් ප්‍රේමදාසටයි. 

මැතිවරණ සමීක්ෂණ ලංකාවට සාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් මෙවර එක් ආයතනයක් විසින් මාස ගණනාවක් පුරා ජනාධිපතිවරණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනවා. එහි ප්රතිඵල අනුව ඉදිරියෙන්ම සිටින්නේ අනුර හා සජිත්. රනිල් වික්‍රමසිංහ දුරස්ථ තෙවන ස්ථානයක ඉන්නවා.

බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස හඳුනාගෙන ඇතත් ඔහු තවමත් ඒ බව පැහැදිලි ලෙස නිවේදනය කර නැහැ. ජනාධිපතිවරණ තරඟය තුළ රනිල් වික්‍රමසිංහ කියන්නේ තවමත් අවදි නොවූ කුරුල්ලෙක්. සමහර විට හොරට නිදාගෙන ඉන්න කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්. 

ප්‍රමුඛ අපේක්ෂයින් දෙදෙනා අතර නැතත්, මේ මොහොතේ අපේක්ෂයෙක් විදිහට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙතයි. මොකක් හෝ ගේමක් ගසා ඔහු අනෙක් අපේක්ෂකයින් අභිබවා ඉදිරියට එනු ඇතැයි ඔහුට කැමැත්තක් දක්වන අය හිතාගෙන ඉන්නවා. ඒ වගේම, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඉන්න මාලිමා කණ්ඩායමත් රනිල්ව අභියෝගයක් විදිහට භාරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ හැසිරීම් අනුව වුනත් ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳ යම් විශ්වාසයක් පේන්න තිබෙනවා. මේ තත්ත්වය සමීක්ෂණ වාර්තා සමඟ ගැලපිය හැක්කේ කොහොමද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනමත සමීක්ෂණ මත පදනම් වූ අලුත්ම (2024 ජූනී 24 දත්ත මත පදනම්ව, 2024 මැයි මාසය සඳහා ඉදිරිපත් කළ) ඇස්තමේන්තුව අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ශක්තිය පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 39%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 15%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

පළමු ප්‍රශ්නය මේ ඇස්තමේන්තු කොයි තරම් නිවැරදිද?

කෙටි පිළිතුර ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ දිශානතිය පිළිබඳව අදහසක් ගන්න තරම් නිවැරදියි. නමුත් හරියටම නිවැරදි නැහැ. 

මේ විදිහට ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ ආයතනය විසින් එකතු කරගත් "අමු" සමීක්ෂණ ප්‍රතිඵල නෙමෙයි. ඒවා ඇසුරෙන් එම ආයතනය විසින් සකස් කළ ඇස්තමේන්තු. එවැනි ඇස්තමේන්තු සකස් කළ හැකි සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද පරිපූර්ණ නැහැ. අදාළ ආයතනයට අනුවම මෙම ඇස්තමේන්තු වල 1%-4% අතර වරදක් තිබිය හැකියි. මගේ පෞද්ගලික අදහසනම් ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද ඊටත් වඩා වැඩි විය යුතු බවයි.

පහත තියෙන්නේ ඉහත ආයතනය විසින් තෙමසකට පෙර, 2024 මාර්තු 24 දත්ත මත පදනම්ව, 2024 පෙබරවාරි මාසය සඳහා ඉදිරිපත් කළ ඇස්තමේන්තු. 

අනුර කුමාර දිසානායක - 53%

සජිත් ප්‍රේමදාස - 34%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

රනිල් වික්‍රමසිංහ - 6%

මෙම ඇස්තමේන්තු හා අලුත් ඇස්තමේන්තු සංසන්දනය කළහොත් පෙනී යන්නේ අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය තෙමසක් තුළ 15%කින් පහත වැටී රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය 9%කින් ඉහළ ගොස් ඇති බවයි. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතයද 4%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අලුත් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරද්දී පෙර ඉදිරිපත් කළ ඇස්තමේන්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 2024 පෙබරවාරි මාසයේදී පැවති මහජන කැමැත්ත පහත ආකාරයෙන් වෙනස් වී තිබෙනවා. 

අනුර කුමාර දිසානායක - 46%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 8%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 8%

මේ අනුව පැහැදිලි වන පරිදි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඒ වන විට 18%ක පරතරයක් තිබුණත්, දැන් ඔවුන් කියන විදිහට ඒ වෙද්දී ඇත්තටම තිබී ඇති පරතරය එයින් තුනෙන් එකක් එනම් 6%ක් පමණයි!

ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද 1%-4% මට්ටමට වඩා වැඩි බව තේරුම් ගැනීමට මේ වෙනස වුවද ප්‍රමාණවත් විය යුතුයි. මෙය එම ආයතනය විසින් හිතාමතා කළ වරදක් කියා මා කියන්නේ නැහැ. මෙය මෙවැනි සංඛ්‍යානමය ආකෘති ඇසුරෙන් පුරෝකථන සිදු කිරීමේදී සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. 

මෙම ඇස්තමේන්තු වැනි වෙනත් ඇස්තමේන්තුද තිබේනම් අප‍ට එක් සංඛ්‍යානමය ආකෘතියක තිබිය හැකි වැරදි වෙනත් සංඛ්‍යානමය ආකෘතියක් සමඟ සසඳන්න පුලුවන්. එහෙත් ලංකාවේ වෙනත් මෙවැනි ජනමත සමීක්ෂණ සිදු වන්නේ නැහැ. 

අඩුපාඩු තිබුණත්, මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනමතය වෙනස්වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. මාලිමාවට තිබුණු සහයෝගය අඩුවෙමින් තිබීම සහ සජිත්ගේ හා රනිල්ගේ ජනප්‍රියතාවය ඉහළ යමින් තිබීම එසේ පැහැදිලිව හඳුනාගත හැකි එක් ප්‍රවණතාවක්.

සුදත්ත තිලකසිරි විසින් රට පුරා කරගෙන යන අවිධිමත් සමීක්ෂණ මාලාවෙන්ද ඉහත ප්‍රවණතා පිළිබිඹු වෙනවා. ඊට අමතරව, වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කරන සමීක්ෂණ මාලාවක ප්‍රතිඵලය අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ප්‍රමාණය කෙටි කලක් තුළ කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. එය සෘජුව ජනාධිපතිවරණය හා සම්බන්ධ වූ සමීක්ෂණයක් නොවුනත්, ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ හා සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ ප්‍රතිඵල හා ගැලපෙනවා. විධිමත් ක්‍රමවේදයක් නොවුනත්, පෞද්ගලිකව ඇසුරු කරන විවිධ දේශපාලනික අදහස් දරන නියැදියක් හා කතා කරද්දී නිරීක්ෂණය වන ඔවුන්ගේ ජනමතයද මේ ප්‍රවණතා පෙන්නුම් කරනවා. ඒ නිසා, වඩා හොඳ ඇස්තමේන්තුවක් නොමැති තත්ත්වයක් යටතේ විශ්ලේෂණයක් සඳහා පාදක කරගන්නට වෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අලුත්ම ඇස්තමේන්තුවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානම අඩුපාඩුවක් සේ සැලකිය හැක්කේ "හතරටම නැති" කොටස බැහැර කර තිබීමයි. සුදත්ත තිලකසිරිගේ අවිධිමත් සමීක්ෂණ අනුව, යම් අඩුවීමක් දැකිය හැකි වුවත්, මෙම කොටස මේ වන විටද අවම වශයෙන් 25%ක් පමණ වෙනවා. එම කොටස ඉවත් කළ විට දැකිය හැක්කේ පහත තත්ත්වයයි.

අනුර කුමාර දිසානායක - 29%

සජිත් ප්‍රේමදාස - 28%

රනිල් වික්‍රමසිංහ - 11%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 5%

වෙනත් - 25%

මෙම ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි වුවත්, පහත නිරීක්ෂණ නිවැරදි නොවන තරමට විශාල විය නොහැකියි. එම නිරීක්ෂණ මේවායි.

1. දැනට පවතින තත්ත්වය තුළ කිසිදු අපේක්ෂකයෙකුට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එයින් අදහස් වන්නේ දෙවන හා තෙවන මනාප ගණන් කරන්නට සිදු විය හැකි බවයි.

2. ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාසයි. රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට කිට්ටුවක නැහැ.

දැනට පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට දෙවන වටයට යාමේ හැකියාවක් නැහැ. ජනාධිපති ධුරයට පත් විය හැක්කේ දෙවන වටයට යා හැකි අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුට පමණයි.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති වීමේ අපේක්ෂාවක් ඇති බව පෙනෙනවා. සජිත් ප්‍රේමදාසට හා අනුර කුමාර දිසානායකටද එවැනි අපේක්ෂා තිබෙන බව පැහැදිලි හා ප්‍රකාශිත කරුණක්. ඔවුන්ගෙන් අයෙකු අභිබවා පළමු අපේක්ෂයින් දෙදෙනා අතරට පැමිණීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට තිබේද?

මේ සඳහා රනිල් වික්‍රමසිංහට යම් හැකියාවක් තිබුණේනම් එය වේගයෙන් ක්ෂය වෙමින් යනවා. එයට ප්‍රධානම හේතුව ඔහු තවමත් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තරඟයට අවතීර්ණ වී නොසිටීමයි. කෙසේ වුවත්, එය ඔහුට තනිව කළ නොහැක්කක්. යම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්නටනම් ඔහුට කළ එළි බසින්නට වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලබන අපේක්ෂකයෙකු ලෙසයි.

එජාපය කියන්නේ පසුගිය මහ මැතිවරණයේදී 2% මට්ටමට වැටුණු පක්ෂයක්. මාලිමාව හා සජබය හා සසඳන විට එජාපය සතුව මේ වන විට රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන යාන්ත්‍රණයක් නැති තරම්. ඒ නිසා, පොහොට්ටුවේ පූර්ණ සහයෝගය නොමැතිව මුල් තැන් දෙකෙන් එකකට පැමිණීම රනිල් වික්‍රමසිංහට හිතන්නවත් බැරි දෙයක්. පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලැබුනහොත් තත්ත්වය වෙනස් වෙනවා. එහෙත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. 

ලංකාවේ ඡන්දදායකයින් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය භාවිතා කරන්නේ "හානිය අවම කර ගැනීමේ" පදනම මතයි. "වාසි බලාගෙන" ඡන්දය භාවිතා කිරීම අදාළ වන්නේ ඡන්දදායකයින්ගෙන් සීමිත කොටසකට පමණයි.

මේ හේතුව නිසා, ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද බෙදී ගොස් තිබුණු දිගු කාලය තුළ බොහෝ විට සිදු වුනේ දිනන්නට ඉඩ නැති පක්ෂයට සහයෝගය දැක්වූ සැලකිය යුතු පිරිසක් ඡන්දය දීමෙන් වැළකීම තුළ අනෙක් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාමයි. එසේ ඡන්දය නොදී සිටීම මගින් තමන් මුලින් සහයෝගය දැක්වූ පක්ෂයෙන් කැඩෙන කොටස් වෙනත් පක්ෂයක් වෙත ආකර්ෂණය වීම යම් කාලයකට පසුව සිදු වූ දෙයක්. පාවෙන ඡන්දදායකයින් කියන්නේ මේ චක්‍රය මැතිවරණ චක්‍රයට වඩා කෙටි කාලයකින් සම්පූර්ණ කරන අයයි.

ඉහත හේතුව නිසා ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී බොහෝ විට ප්‍රමුඛ උපාය මාර්ගය වන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම නොව තමන්ගේ පිලේ සිටින ඡන්දදායකයින් දිගටම රඳවා ගැනීමයි. මෙය සාර්ථක උපාය මාර්ගයක්. 

කාලයක් තිස්සේ සිදු වුනේ කුමක් හෝ නිසා තමන්ගේ පිලෙන් තාවකාලිකව ඉවත් වන ඡන්දදායකයින්ගෙන් කොටසක් අනෙක් ප්‍රධාන පක්ෂය වෙත විතැන් වීමයි. නමුත් මෙවර කෙටිකලක් තුළ ප්‍රධාන පක්ෂ දෙකම අසාර්ථක වීම නිසා පොහොට්ටුවෙන් විතැන් වූ සැලකිය යුතු කොටසක් මාලිමාව වෙත විතැන් වුනා. මාලිමාව දිගින් දිගටම වෙර දරන්නේ එම පිරිස දිගටම තමන් සමඟ රඳවා ගැනීමටයි.

මාලිමාව වෙත විතැන් වී ඇති පිරිසට අමතරව යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් සජබ වෙතද විතැන් වී ඇති අතර රනිල්ගේ 15% (හෝ 11%) කියන්නේද වැඩි වශයෙන්ම පොහොට්ටු ඡන්දයි. මේ ඡන්ද ජනධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති නමුත් ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී එජාපයට ලැබේයයි සිතිය නොහැකියි. කෙසේ වුවද, ඔය කිසිම ගොඩකට ගොස් නැති, පොහොට්ටු ඡන්දද සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් තිබෙන බව මගේ අදහසයි.

සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී "වෙනත්" ගොඩට වැටෙන ඡන්ද සියල්ලම නොවුනත් එයින් සැලකිය යුතු කොටසක් පොහොට්ටු ඡන්දයි. මේ අයට තිබෙන ප්‍රශ්නය තමන් තවමත් පොහොට්ටුව සමඟ බව කටක් ඇර ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරමේ සමාජ පීඩනයක් තවමත් තිබීමයි. මීට අමතරව, සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී මෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයේ ජනමත සමීක්ෂණ වලදීදීද අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පරිශීලනය නොකරන, වයස්ගත හා ග්‍රාමීය කොටස් ප්‍රමාණවත් තරමින් නියෝජනය වෙන්නේ නැහැ. එම කණ්ඩායම් අතර තවමත් පොහොට්ටුව සමඟ රැදී සිටින පිරිස් සිටින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

දැනට අකර්මන්‍ය වී තිබුණත් පොහොට්ටුව සතුව රට පුරා පැතිරුණු සංවිධාන ජාලයක් තිබෙනවා. එහි පහළ ස්ථරයට රෙද්දක් ඇඳගෙන ජනතාව වෙත යාමට තිබුණු නොහැකියාව මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ විසින් යම් තරමකින් නැති කර තිබෙනවා. එම යාන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සක්‍රිය වුවහොත්, රනිල් වික්‍රමසිංහ හා ඉදිරි පෙළ අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය විශාල ලෙස අඩුවිය හැකියි. එසේ වුවද, සජබයෙන් ලොකු පළුවක් කඩා නොගෙන රනිල් වික්‍රමසිංහට දෙවන තැනට යාමේ හැකියාවක් නැහැ. ඒ වගේම, පොහොට්ටු වැඩපිළිවෙළ ඇතුළේ ඔය පහළ ස්ථරයට ලබා ගත හැකිව තිබුණු පෞද්ගලික වාසි රනිල්ගේ වැඩපිළිවෙළ ඇතුළේ පෙනෙන්නට නැති පසුබිමක පොහොට්ටු යාන්ත්‍රණය රනිල් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

රටේ ආර්ථිකය කෙටි කලක් තුළ ස්ථාවර කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී එකක්. මෙය අදට වඩා විශාල ලෙස අගය කෙරෙනු ඇත්තේ අනාගතයේදී. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අතේ දැනට තිබෙන බැටන් පොල්ල වෙනත් අයෙකු අතට ඉක්මණින් මාරු වන තත්වයක් යටතේදී. කෙසේ වුවත්, මේ දායකත්වය පහසුවෙන් ඡන්ද බවට හැරවෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේනම් එය මුලාවක්.

රටේ ආර්ථික අර්බුදයට හේතුව හොරකම් පමණක් නොවන බව සිතන ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, හොරු එළවීම ප්‍රමුඛ අභිප්‍රාය කරගත් විශාල පිරිසක් තවමත් රටේ ඉන්නවා. මාලිමාව වටා එකතු වූ පිරිස් තවමත් බොහෝ දුරට මාලිමාව සමඟ රැඳී ඉන්නවා. මේ අයගෙන් යම් කොටසක් මාලිමාව ජයගනු ඇතැයි පෙනුණු පසුබිමක "හානි අවම කර ගැනීමේ" ප්‍රවේශයෙන් මාලිමාව වටා එකතු වූ අයයි. මාලිමාව සම්බන්ධව බොහෝ දෙනෙකු හිතන ආකාරය සහ එම පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් හැසිරෙන ආකාරය අනුව මාලිමාව ජයගන්නා බව පෙනේනම්, ඒ පැත්තට හේත්තු වෙන එක කෝකටත් හොඳ බව ලංකාවේ සැලකිය යුතු පිරිසක් හිතන ආකාරයයි.

මාලිමාව අභිබවා සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණෙන බව පෙනෙන පසුබිමක ඔවුන්ගෙන් කොටසක් මාලිමා කඳවුරෙන් හෙමින් සැරේ ලිස්සා යා හැකි අතරම එහි අනෙක් පැත්ත වුවහොත් මාලිමා රැල්ල ඉහළ යන්නත් පුළුවන්. ඒ අනුව, සජබ ඡන්ද රනිල්ගේ පැත්තට විතැන් වුවහොත් එයින් වක්‍ර ලෙස මාලිමාවට වාසියක්ද සිදු වෙනවා. කෙසේ වුවත්, දැනට පවතින තත්ත්වය තුළ අනුර කුමාර දිසානායකට (හෝ වෙනත් අපේක්ෂයෙකුට) 50% සීමාවට පැමිණීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. 

අනුර කුමාර දිසානායක විසින් මුළු ඡන්ද ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක් ලබාගතහොත් රනිල් හා  සජිත් අතර බෙදී යන්නේ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට අඩු කොටසක්. ඒ අනුව, ගණිතමය ලෙස අනුර කුමාර දිසානායකව අභිබවිය හැක්කේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි. මේ ගලඋඩ සටන තුළ දැනට ඉදිරියෙන් සිටින්නේ සජිත් බැවින් ඔහු රනිල්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් දීමේ ඉඩක් නැහැ. සජිත් රනිල්ට වඩා ඉදිරියෙන් සිටින තාක් සජබ සමඟ සිටින පිරිස් රනිල් කරා විතැන් වන්නේ නැහැ. එවැන්නක් සිදු විය හැක්කේ පොහොට්ටුව සක්‍රිය වී එහි උදවුවෙන් රනිල් සජිත්ගේ මට්ටමට ආසන්න වුවහොත් පමණයි. එසේ වුවහොත්, සජබ සමඟ සිටින පිරිස් රනිල්ගේ පිලට මාරු වීම ගැන දෙවරක් හිතන්නේ නැහැ. නමුත් රනිල් කඳවුරට මාස තුනක් ඇතුළත මේ තරම් පිම්මක් පනින එක ලේසි වැඩක් නෙමෙයි.

අනුර කුමාර දිසානායකට කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකු පළමු වටයේදීම ඔහුව තෝරාගන්නා බැවින් දෙවන වටයකදී ඔහුට ලබා ගත හැක්කේ සුළු ඡන්ද ප්‍රමාණයක් පමණයි. නමුත් රනිල්ට ඡන්දය දෙන සැලකිය යුතු පිරිසක් සජිත්ට දෙවන මනාපයක් දීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමටනම්, පළමු වටයේදී සජිත්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් ඉන්නට සිදු වෙනවා. මෙම පරතරය කුඩා එකක්නම්, පළමු වටයේදී අනුර කුමාර දිසානායක ජය ගත්තද දෙවන වටය ජයගෙන ජනාධිපති වනු ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අපේක්ෂකයා වුවද ඔහුට ආකර්ෂණය කරගත නොහැකි පොහොට්ටු ඡන්ද යම් ප්‍රමාණයක් තිබෙනවා. හරියටම කිවුවොත් වාම ජාතිකවාදී ඡන්ද. රනිල්, සජිත් හා අනුර අතරින් මේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩි විභවයක් තියෙන්නේ අනුරටයි. දිලිත් වැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම තුළ එම ඡන්ද මාලිමාව කරා යාමට නොදී රඳවා ගැනීමට හැකි අතර එහි වාසිය ලැබෙන්නේද සජිත්ටයි. 

සියලුම තත්ත්වයන් සලකා බැලූ විට, ජනාධිපතිවරණය ජයගැනීම රනිල් වික්‍රමසිංහට දුරස්ථ ඉලක්කයක්. එවැනි තත්ත්වයක් තුළ ඔහු තරඟයට පිවිසෙයිද? එසේ නැත්නම් ධම්මික පෙරේරා වැනි අයෙකු පොහොට්ටු අපේක්ෂයා ලෙස කරලියට එයිද? 

බැඳුම්කර ණයහිමියන් එක්ක මූලික එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව ඇතත්. මේ වගේ අවිනිශ්චිත පසුබිමක බැඳුම්කර හුවමාරු නිකුතුවක් සඳහා ඉල්ලුම්පත් කැඳවුවහොත් බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් පස්ස ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, මේ වැඩේ මැතිවරණ අවසන් වන තුරු කල් දැමිය යුතු බව අදාළ ජාත්‍යන්තර උපදේශකයින් හා අනෙකුත් මැදිහත්කාර පාර්ශ්වයන් විසින් යෝජනා කරන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ඒ වැඩෙත් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ. 

6 comments:

  1. ඉකොන් මගේ අදහස නම් සුදත්ත ගේ සමීක්ෂණය කිසිසේත්ම විද්‍යාත්මක එකක් නෙවෙයි. පාරේ හෝ පොලවල් වල සිටින අයගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පමණක් සමාජයේ පැතිකඩක් ලබා ගන්න බැරි බව තමයි මගේ හැඟීම. ඒ නියැදියේ රැකියාවල නියුතු මැද පන්තියේ අය සහ වැඩිපුර නිවෙස් වල රැඳී සිටින අය නැහැ. ඒවගේම මාලිමාවට සහයෝගය දෙන අය ඒ බව ප්‍රදර්ෂනය කිරීම කැපී පෙනෙනවා. අන් අයට සහයෝගය දෙන අය ඔවුන් තදින් විවේචනය කරනවා. ඒ නිසා මාලිමාවට සහයෝගය නොදෙන අය සමහරක් අදහසක් ප්‍රකාශ නොකර සිටිනවා කියලයි මට හිතෙන්නේ. විශේශයෙන්ම කැමරාවක් මානගෙන ඒ ප්‍රශ්ණ කිරීම වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ එලෙස එලිපිට ප්‍රකාශ නොකරන ප්‍රමාණය සජිත්, රනිල්, සහ පොහොට්ටුව තර බොහෝවිට ඔවුන්ට කැමැත්ත ප්‍රකාශ කරන අයගේ ප්‍රතිශතයට ආසන්න ප්‍රතිශත වලින් බෙදෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. මෙය කිසිසේත්ම විද්‍යාත්මක නැහැ. නමුත් කරන්නේ එකම ක්‍රමයකට නිසා ප්‍රවණතාවය වෙනස්වීම පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. මුලින් දිගටම ඉදිරියෙන් සිටියේ මාලිමාව. දැන් සජිත් සහ තරමක් දුරට රනිල් ඉදිරියට පැමිණීම IHP ඇස්තමේන්තු වල ප්‍රවණතා සමඟ ගැලපෙනවා.

      Delete
    2. රනිල් කෙසේ හෝ ජනාධිපති වන බව මම යාලුවෙකුට කිව්වේ 2015. ඌ මට හිනාවුණා. එක හරි ගියා. මහින්ද 2015 පරදිනවා කියද්දී ඒත් උන් හිනා උනා. ගෝටාභය දිනනවා කියද්දී අපේ ගෙදර වික්ටර් අයිවන් තාත්තාට කිව්වා එයා දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා. 😂😂😂. මේ සැරේ මම කියනවා අනුර දිනනවා කියලා. මොනවද ඔට්ටු ලක්ෂ 100 ක්‌.

      Delete
  2. මේ විග්‍රහයෙදි උතුරු නැැගෙනහිිර දමිල වන්දවල හා වතුකරයේ වන්දවල හැසිරීම නොසලකා හැර තිබීම අඩුවක්

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් IHP ඇස්තමේන්තු සකස් කර තිබෙන්නේ ලංකාවම නියෝජනය වන ලෙසටයි.

      Delete
  3. ඇසල නිකිණි බිනර - ජනා පිනා ගෙදර
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: