වෙබ් ලිපිනය:

Showing posts with label ඉල්ලුම හා සැපයුම. Show all posts
Showing posts with label ඉල්ලුම හා සැපයුම. Show all posts

Saturday, March 28, 2026

පෝලිමක පැයක්!


කාලයකට පසුව අද පැය බාගයක පමණ කාලයක් පෝලිමක හිටියා. අඩු වශයෙන් සැතපුම් බාගයක්වත් දිග පෝලිමක්. සාමාන්‍ය තත්ත්වයක් නොවුනත්, ඇමරිකාවේ ඔය වගේ පෝලිම් හැදෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. 

වෙළඳපොළක ඉල්ලුම සහ සැපයුම තුලනය වෙනවානම්, පෝලිම් හැදෙන්නේ නැහැ. නිදහස් වෙළඳපොළක ඉල්ලුම සහ සැපයුම තුලනය වෙන්නේ මිල යාන්ත්‍රනය හරහායි.

පවතින කවර හෝ මිල යටතේ, සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම්, භාණ්ඩයක් අත්පත් කර ගැනීම සඳහා පෝලිම් හැදෙනවා. මේ විදිහට පෝලිම් හැදෙද්දී සැපයුම්කරුවන් විසින් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන මිල වැඩි කරනවා. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම, තවත් සැපයුම්කරුවන් ඉදිරිපත් වෙනවා. ඒ මගින්, ඉල්ලුම අඩු වී සැපයුම ඉහළ යනවා. ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. පෝලිම නැති වෙනවා.

යම් හෙයකින් පවතින මිල ඉල්ලුම හා සැපයුම තුලනය වන මිලට වඩා අඩු නම්, ඒ මිල යටතේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා, පෝලිමක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට, වෙසක් දන්සැල් වලදී මෙන්, යමක් මුදල් අය නොකර දෙන බොහෝ අවස්ථා වලදී පෝලිම් ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෝලිම් දකින්න ඇත්නම්, එයින් පෙන්නුම් කරන්නේ සැපයුමට වඩා ඉල්ලුම වැඩියි කියන එක.

නමුත් අද පෝලිමක ඉන්න සිදු වූ හේතුව මීට වඩා තරමක් වෙනස්. මේ පෝලිම හැදෙන්න හේතු වී තිබුනේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීමයි. 

ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් පෝලිමක් හැදුනේ කොහොමද? 

මේ පෝලිම ගන්න හැදුනු පෝලිමක් නෙමෙයි. දෙන්න හැදුනු පෝලිමක්. වෙනත් විදිහකින් කිවුවොත් භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා හැදුනු පෝලිමක් නෙමෙයි. භාණ්ඩ බැහැර කිරීම සඳහා හැදුණු පෝලිමක්. 

ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ අත්පත් කර ගැනීම. ප්‍රමාණවත් තරම් මුදල් නැත්නම්, අප‍ට අප‍ට අවශ්‍ය සියලුම භාණ්ඩ අත්පත් කර ගැනීමේ අවස්ථාව නැති වෙනවා. නමුත් ඇමරිකාව වගේ රටක තමන්ට අවශ්‍ය භාණ්ඩ අත්පත් කර ගැනීම වගේම, අනවශ්‍ය භාණ්ඩ බැහැර කිරීමත් විශාල ප්‍රශ්නයක්.

මාසයකට දෙකකට කලින් අපේ රෙදි සෝදන යන්ත්‍රයේ ස්පිනර් එක හරියට වැඩ කරන්නේ නැතිව ගියා. ඒ වෙද්දී මේ යන්ත්‍රය අවුරුදු හත අටක් පාවිච්චි කරලයි තිබුණේ. සාමාන්‍යයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් අවුරුදු දහයක් දොළහක් පාවිච්චි කරන්න පුළුවන්.

ප්‍රශ්නයට හේතුව එහි ශොක් ඇබ්සෝබර් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, ස්පිනර් එක යන්ත්‍රයට සම්බන්ධ වන සැකිල්ලේ (ස්පයිඩර් ආම් එකේ) ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇත්ත ප්‍රශ්නය කුමක්ද කියන එක අනුව, ඩොලර් පණහක පමණ සිට ඩොලර් දෙසිය පණහක පමණ දක්වා මුදලක් අමතර කොටස් සඳහා වැය කරන්න වෙනවා. 

මේ වගේ වැඩකට කාර්මිකයෙකු ගෙන්වා ගත්තොත්, තවත් සැලකිය යුතු මුදලක් ගෙවන්න සිදු වෙනවා. එහෙම කාර්මිකයෙකු ගෙනත් අලුත්වැඩියා කරගත්තත්, ඔය වගේ යාන්ත්‍රික උපකරණයක් නැවත ලෙඩ දෙන්න පුළුවන්. මෙය තනියම ගොඩ දාගන්න බැරි තරම් අමාරු වැඩක් නොවුනත්, ඒ වගේ වැඩක් වෙනුවෙන් ඒ වෙලාවේ කාලය යෙදවීමේ ආවස්ථික පිරිවැය වඩා වැඩියි. ඒ වගේම, රෙදි සෝදා වේලා ගැනීම සති ගණනක් කල් දමන්න හෝ නොකර ඉන්න බැහැ. අලුත් යන්ත්‍රයක් මිල දී ගත්තොත්, බොහෝ විට, අවුලක් නැතිව තව අවුරුදු දහයක් පමණ පාවිච්චි කරන්න පුළුවන්. 

කලින් තිබුණු රෙදි සෝදන යන්ත්‍රය සහ රෙදි වේලන යන්ත්‍රය කොරියන් සන්නාමයක්. රෙදි සෝදන යන්ත්‍රය කැඩුනේ අවුරුදු අටක් හෝ නවයක් පාවිච්චි කළාට පසුව නිසාත්, රෙදි වේලන යන්ත්‍රය තවත් අවුරුදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙන නිසාත්, ඒ සන්නාමයේම අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න එක ගැන මුලින්ම හිතා බැලුවා. 

හරියටම ඔය දවස් වල තමයි ජනාධිපති ට්‍රම්ප් තීරුබදු ක්‍රීඩාව කරමින් සිටියේ. ඇමරිකාවේ රෙදි සෝදන යන්ත්‍ර සහ රෙදි වේලන යන්ත්‍ර වෙළඳපොළට තීරු බදු ප්‍රතිපත්තියේ විශාල බලපෑමක් තිබෙනවා. පිරිවැයේ විශාල වෙනසක් නැති තත්ත්වයක් යටතේ, කොරියන් සන්නාමය ඇමරිකන් සන්නාම එක්ක අමාරුවෙන් තරඟකරමින් සිටියේ සම තරඟයක් තිබුණු නිසා. තීරු බදු දමපු ගමන්, කොරියන් සන්නාමයට තරඟ කරන්න අමාරු වෙනවා. රෙදි සෝදන යන්ත්‍ර සහ රෙදි වේලන යන්ත්‍ර ඇමරිකානු වෙළඳපොළේ විකුණන්නනම්, තීරු බද්දෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයාට සම්ප්‍රේෂණය නොකර සමාගම විසින් දරාගන්න වෙනවා.

හැබැයි මිල කියන්නේ පාරිභෝගික තීරණ වලට බලපාන එකම සාධකය නෙමෙයිනේ. මිල සහ ගුණාත්මක භාවය සමාන තත්ත්වයක් යටතේදී, පාරිභෝගිකයින් විසින් "දේශීය නිෂ්පාදන" ලේබලය වෙනුවෙන් වැඩි බරක් තියන්න පුළුවන්. "ඇමරිකන් ෆස්ට්" වගේ ස්ලෝගන් එකක් රටේ දේශපාලන රැල්ලක් හදා තිබෙන පසුබිමක ඔය බලපෑම වඩා වැඩියි. ඔය වෙලාවේ තිබුණෙත් ඔය වගේ තත්ත්වයක්. ඒ නිසා, කොරියන් සන්නාමය විකුණාගන්න පුළුවන් වෙන්නේ පාරිභෝගිකයාට සැලකිය යුතු මිල වාසියක් දුන්නොත් පමණයි. 

ඇත්තටම කොරියන් සමාගම විසින් කරලා තිබුණේ ඔය වැඩේ. එම සමාගම විසින් තෝරාගත් පාරිභෝගික කණ්ඩායම් වලට විශාල වට්ටමක් ලබා දී තිබුණා. උදාහරණයක් විදිහට හමුදා පවුල් වල සාමාජිකයින්ව. 

දැන් මේ වගේ වට්ටමක් ලබා දීමේදී හමුදා පවුල් වල සාමාජිකයින් වැනි කණ්ඩායම් ඉලක්ක කර තිබෙන්නේ ඇයි? සාමාන්‍ය කරුණක් විදිහට, හමුදා සාමාජිකයින්ගේ "දේශප්‍රේමය" වැඩියි. ඒ නිසා, විශාල මිල වෙනසක් නැත්නම්, හමුදා පවුලක කෙනෙක් ඇමරිකන් නිෂ්පාදනය වෙනුවට කොරියන් නිෂ්පාදනය මිල දී ගන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ ඉන්න කොරියන් සංක්‍රමණිකයෙක් වගේ කෙනෙක් සැලකුවොත් තත්ත්වය වෙනස්. එවැනි පාරිභෝගිකයෙක් විසින්, දෙකේම මිල සමානනම්, බොහෝ විට මිල දී ගන්නේ කොරියන් සන්නාමය. ඒ නිසා සමාගමේ පැත්තෙන් බලද්දී, පොදුවේ මිල අඩු කිරීමක් කරන එකේ තේරුමක් නැහැ. ඉලක්කගත වට්ටමක් දෙන එක වඩා වාසිදායකයි. 

ඔය විදිහට වට්ටම් ලබා ගත හැකි කණ්ඩායම් බලද්දී, ඒ එක් කණ්ඩායමකට මාවද අයත් වන බව පෙනුනා. ඒ අනුව, අලුත් රෙදි සෝදන යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා වැය වන්නේ කලින් හිතාගෙන හිටපු සාමාන්‍ය මිලට වඩා සැලකිය යුතු අඩු මිලක්. කැඩුණු යන්ත්‍රය ගලවලා බැලුවානම් ප්‍රශ්නය හරියටම හඳුනා ගන්න තිබුනා. එසේ හඳුනාගැනීමෙන් පසුව, ප්‍රශ්නය ශොක් ඇබ්සෝබර් වල ප්‍රශ්නයක්නම්, ඩොලර් සීයකින් පමණ වැඩේ ගොඩ දාගෙන තවත් අවුරුදු තුන හතරක් ඇදගන්න තිබුණා. නමුත් මේ වෙනුවෙන් වෙලාව වැය කළාට පස්සේ ලෙඩේ තියෙන්නේ සැකිල්ලේනම්, එය මාරු කරන එකට වඩා අලුත් යන්ත්‍රයක් ගන්න එක වාසියි. වට්ටම් සමඟ අලුත් යන්ත්‍රයක මිල එක්ක බලද්දී, ගලවන්න කාලය යොදවන්නේ නැතිව, තීරණය කලින්ම ගන්න එක වාසියි. ඒ නිසා, අලුත් යන්ත්‍රයක් ඇනවුම් කළා.

මේ හා අදාළව ගන්න තිබුණු තීරණය මේ වගේ එකක්.

යන්ත්‍රය පරීක්ෂා කිරීමෙන් පසු ඇති විය හැකි තත්ත්වය: ඩොලර් පණහක වියදමක් හෝ ඩොලර් දෙසිය පණහක වියදමක් සමඟ ශ්‍රමය. ශ්‍රමයේ වියදම, ප්‍රශ්නයේ ස්වභාවය අනුව, තවත් ඩොලර් සීයක් හෝ එකසිය පණහක් පමණ. මේ වෙලාවේ මගේ කාලයේ ආවස්ථික පිරිවැය වඩා වැඩි නිසා, මේ වැඩේට වෙනත් අයෙකු යොදවා ගැනීම වාසිදායකයි. ඒ අනුව, පරීක්ෂා කිරීමෙන් පසු, මුළු වියදම ඩොලර් එකසිය පණහක් තරම් අඩු හෝ ඩොලර් හාරසීයක් තරම් වැඩි වෙන්න පුළුවන්. 

අලුත් රෙදි සෝදන යන්ත්‍රයක් ඩොලර් හයසීයකට පමණ මිල දී ගන්න පුළුවන්. අලුත්වැඩියා කිරීමෙන් පසුවද, පරණ යන්ත්‍රය අලුත් යන්ත්‍රයකට සමාන නොවන නිසා, එහි වටිනාකම වැඩිම වුනොත් ඩොලර් දෙසිය පණහක් පමණ. ඒ නිසා, ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් වැඩක් වෙන්නේ සැකිල්ලට හානි වී නැත්නම් පමණයි. එසේ වුවද, ලැබිය හැකි වාසිය ඩොලර් සීයක පමණ වාසියක්. ඒ නිසා, පරීක්ෂා නොකරම තීරණය ගන්න එක වාසියි. එමගින් පරීක්ෂා කිරීම සඳහා යන කාලය හෝ මුදල ඉතිරි වෙනවා. 

මේ පරීක්ෂාව සඳහා වෙනත් අයෙකු කැඳවුවහොත්, ඒ වෙනුවෙන් ඩොලර් පණහක් පමණ ගෙවන්න සිදු වෙනවා. ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් පසුව වැඩේ භාර දුන්නොත්, සාමාන්‍යයෙන් ඒ මුදල අඩු කරනවා. ඒ නිසා, සැකිල්ලට හානියක් වී නැත්නම්, ඩොලර් එකසිය පණහකින් වැඩේ ඉවර වෙනවා. නමුත් සැකිල්ලට හානි වී ඇත්නම්, වඩා වාසිදායක අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න එකයි. ඒ නිසා, කැඳවීම වෙනුවෙන් මුදල් ගෙවන්න වෙනවා. එය අළුත් යන්ත්‍රය මිල දී ගන්න යන වියදමට අමතර වියදමක්. ඔය තත්ත්වයත් එක්ක අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. 

හැබැයි මෙය පරීක්ෂා කරන්න වෙලාව තිබුණානම් තත්ත්වය වෙනස්. මේ වගේ අලුත්වැඩියාවක් තනිව කරන එකෙන් ලැබෙන සතුටටත් වටිනාකමක් තිබෙනවා. සමහර වෙලාවට, මූල්‍යමය වාසියක් නැතත්, මම ඔය වගේ වැඩ කරනවා. යන්ත්‍රය කැඩුනේ ශීත සෘතුවේ කාලගුණය නරකම දවසක නොවී උණුසුම් දවසක වුනානම්, යන්ත්‍රය ගලවා නැවත සවි කරන්න තිබෙන කැමැත්ත උඩට එනවා. 

අලුත් යන්ත්‍රයක් මිල දී ගනිද්දී එය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් සහ සවි කිරීම වෙනුවෙන් වෙනම මිල ගණන් ගෙවන්න වෙනවා. අලුත් යන්ත්‍රය ගත්තට පස්සේ පරණ යන්ත්‍රය බැහැර කිරීමත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඔය වැඩේට ඩොලර් පණහක් පමණ ගන්නවා. අලුත් යන්ත්‍රය ප්‍රවාහනය කිරීම සහ සවි කිරීම කරන කොන්ත්‍රාත්කරු විසින් පරණ යන්ත්‍රය අරගෙන යනවා. අවශ්‍ය මිල ගෙවුවට පස්සේ ප්‍රශ්නය ඉවරයි.

අලුත් යන්ත්‍රය ප්‍රවාහනය කර සවි කරන්න නියමිතව තිබුණු දවසේ කාළගුණය ගොඩක් නරක අතට හැරුණා. අඩියකට කිට්ටුව හිම වැටුණා. ඒ නිසා, එය ප්‍රවාහනය කිරීම සහ සවි කිරීම සඳහා පැමිණි කොන්ත්‍රාත්කරුට දවස තුළ දමාගෙන තිබුණු වැඩ අවසන් කරන්න වැඩි වෙලාවක් ගොස් තිබුණා. සාමාන්‍යයෙන් දවසක් තුළ මෙවැනි ප්‍රවාහනය කිරීම් සහ සවි කිරීම් හත අටක් කරනවා. ඇප් එකක් මගින් දැන් වැඩේ කරන තැන බලාගන්න පුළුවන්. දිගටම වැඩේ සිදු වුනේ කාලසටහනට වඩා ප්‍රමාදයකින්. අන්තිමට අපේ ගෙදරට ආවේ රාත්‍රී අටට පමණ. ඔහුට ඒ වෙලාවේ වැඩේ අවසන් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 

කොන්ත්‍රාත්කරු විසින් එදින කළේ යන්ත්‍රය ප්‍රවාහනය කිරීම පමණයි. එය සවි කිරීම හෝ පරණ යන්ත්‍රය රැගෙන යාමක් සිදු වුනේ නැහැ. මේ ගැන ආයතනයට පැමිණිලි කළ විට වෙනත් දවසක් ලැබුනත් එය තවත් සතියකින් පසු දවසක්. එතෙක් කාලයක් බලා සිටිය නොහැකි නිසා අන්තිමට යන්ත්‍රය ඊට පෙර සවි කරගන්න සිදු වුනා. පැරණි යන්ත්‍රය ගෙදර ඉතිරි වුනා. එය රැගෙන යාම සඳහා අය කළ මුදල ආපසු ලැබුනත්, ඒ මුදලින් එය බැහැර කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එම සේවාව සපයන්නේ අලුත් යන්ත්‍රයක් ප්‍රවාහනය කර සවි කරන විට පමණයි. 

අද පැය බාගයකට වඩා කාලයක් පෝලිමේ සිටියේ මාස දෙකකට පමණ පසු මේ යන්ත්‍රයෙන් නිදහස් වීම සඳහා. මාස හයකට වරක් අපේ කවුන්ටියේ ප්‍රතිචක්‍රීකරණ දිනයක් තිබෙනවා. එදිනට, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් නොමිලේ බැහැර කළ හැකියි. පොදු ස්ථානයකදී මේවා භාර ගන්නවා. පිළිස්සුනු විදුලි බුබුළු, පරණ බැටරි, ඉතිරි වූ තීන්ත ඇතුළු සාමාන්‍ය කුණු බක්කියකට දැමිය නොහැකි තවත් බොහෝ දේ නොමිලේ බැහැර කිරීම සඳහා මේ දිනය පැමිණෙන තෙක් බලා ඉන්න සිදු වෙනවා.

අනවශ්‍ය දේවල් බැහැර කිරීම අපට පමණක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවේ පොදු ප්‍රශ්නයක්. මේ දවසට විශාල පෝලිමක් හැදෙන්නේ ඒ නිසා.

අනවශ්‍ය දේවල් බැහැර කළ හැකි වඩාත්ම වාසිදායක ක්‍රමය සුළු මුදලකට විකිණීමයි. එසේ කළ නොහැකිනම්, නිකම් දීමයි. එහෙත්, නිකම් දුන්නත් කවුරුවත් ගන්නේ නැත්නම්, බැහැර කිරීම සඳහා මිලක් ගෙවන්නට වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් සල්ලිත් එක්ක බඩුව දෙන්න වෙනවා.

මෙයින් අදහස් වන්නේ මෙවැනි භාණ්ඩ නොවටිනා භාණ්ඩ කියන එක නෙමෙයි. රෙදි සෝදන යන්ත්‍රයක් "මස් කර" එහි අමතර කොටස් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එක වර්ගයේ යන්ත්‍ර කිහිපයකින් එකක් "මස් කර"තවත් යන්ත්‍ර ගණනාවක් අලුත් වැඩියා කරන්න පුළුවන්. කාලය සහ කුසලතාවය තිබේනම්, මෙවැන්නක් කර මුදල් සොයන්න පුළුවන්. එසේ කරන අය ඉන්නවා. ඇත්තටම ප්‍රශ්නය ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීම සහ සමතුලිත මිල සෘණ අගයක් වීමයි.

පසුගිය වසංගත සමයේ එක් අවස්ථාවක බොරතෙල් මිල සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ සල්ලිත් එක්ක බොරතෙල් ලබාගත හැකි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙලාවේ ඇමරිකාවේ රජය ඉන්ධන වෙළඳපොළට මැදිහත් වී ඉන්ධන මිල දී ගත්තා. ඕනෑම භාණ්ඩයක් හා අදාළව මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ කාලයක් ලංකාවට ආ ඇතැම් ජපන් වාහන ජපානය තුළ මිලක් ගෙවා බැහැර කළ යුතු වූ සේ සැලකිය හැකි වාහනයි. 

අද අමාරුවෙන් බැහැර කළ මට්ටමේ රෙදි සෝදන යන්ත්‍රයක් ලංකාව වැනි රටකදීනම් සැලකිය යුතු වටිනාකමක් තිබෙන භාණ්ඩයක්. කාලය තිබේනම් එවැන්නක් පහසුවෙන් අලුත්වැඩියා කළ හැකියි. පෝලිමේ සිටි අනෙක් බොහෝ දෙනෙකු විසින් මේ විදිහට ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා රෙදි වේලන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, වැකියුම් ක්ලීනර්, තණකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ රැසක් නොමිලේ බැහැර කරනු දැකිය හැකි වුනා. මේ උපකරණ අතර, අනිවාර්යයෙන්ම වැඩ කරන මට්ටමේ උපකරණද තිබෙනවා.

ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල සෘණ මිලක්නම්, මිල ශුන්‍ය මට්ටමේදීද ඉල්ලුමට වඩා සැපයුම වැඩියි. ඒ නිසා, ඉල්ලුම්කරුවන් පසුපස සැපයුම්කරුවන්ට පෝලිමේ ඉන්නට සිදු වෙනවා. ඒ නිසා, ඇතැම් තත්ත්වයන් යටතේදී, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීම හේතුවෙන් හැදුනු පෝලිම්ද දැක දැකගන්න පුළුවන්. 

Thursday, October 24, 2024

එලොව පොල් හා මෙලොව පොල්

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා.

සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ රජයේ සරසවියකට ගිහින් තියෙන ගොඩක් අයගේ අත්දැකීමක්. හැබැයි ඔය නවක වදය කියන එක තියෙන්නේ සරසවි වල පමණක් නෙමෙයි. පාසැල් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන, හමුදා වගේ තවත් ගොඩක් තැන් වල ඔය වැඩේ වෙනවා. 

නවක වදය වගේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ තමන් අත් දැකපු ක්‍රමය හරි වුනත් වැරදි වුනත් ඒ විදිහටම පවත්වාගෙන යාමට සමාජයන්හි තිබෙන නැඹුරුව නිසා. සමාජ විද්‍යාවේදී මෙය විස්තර කරන ඉංග්‍රීසි වචනය "Path dependence" කියන එක. මම දැනට සිංහලෙන් "භාව පරායත්තතාව" කියා කියන්නම්. කවුරු හෝ කෙනෙක් නිවැරදි පාරිභාෂික වචනය දන්නවානම් කියන්න.

"භාව පරායත්තතාව" නිසා මිනිසුන් විසින් ගන්නා අනාගතයට බලපාන තීරණ වලට වර්තමානයේ පවතින තත්ත්වයන් පාදක කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වර්තමානය අනාගතයෙහි ප්‍රතිනිර්මාණය වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ සමාජයක් අතීතයේ සිරකරුවන් වෙන එක. 

ටිකක් සරල කරලා කිවුවොත්, වෙනස් වෙන්න තිබෙන අකැමැත්ත නිසා කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් ඒ විදිහටම කරන්න මිනිස්සු පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට කාලයක් තිස්සේ අත් විඳින නරක අත්දැකීම් වලින් ගැලවෙන්න තිබෙන අවස්ථාව මග හැරෙනවා. මේ තත්ත්වය රටක දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන ආකාරය මෙවර නොබෙල් තෑග්ග දිනූ ආජෙමෝලු , ජොන්සන් සහ රොබින්සන් විසින් පැහැදිලි කර තිබෙනවා.  

කාලයක් තිස්සේ රජයෙන් නොමිලේ ලැබෙන සහල් සලාකයකට හුරු වූ මිනිස්සුන්ට ඒ සහල් සලාකය නැතිව ජීවත් වන විදිහ හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ රජයේ ස්ථිර රැකියාවක් කළ අයෙකුට පෞද්ගලික අංශයේ රැකියාවක රැකියා අවදානම එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ පාලන මිලකට බඩු ගන්න පුරුදු වී සිටින සමාජයකට ඉල්ලුම හා සැපයුම අනුව මිල වෙනස් වෙන තත්ත්වයක් ගැන හිතාගන්න අමාරුයි. ඔය වගේ ගොඩක් නිදර්ශන සපයන්න පුළුවන්. 

පාසැල් වැනි තැන් වල තිබෙන නවක වදයට ආසන්න තත්ත්වයන් බුලි කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. බුලි කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ "කළුවා" "තඩියා" "බට්ටී" වගේ නමක් කියන එක වැනි ලංකාවේනම් "සාමාන්‍ය" දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලක වැඩිමහල් අයෙක් විසින් බාල සහෝදර සහෝදරියන් බුලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහල පහළ ගෙදරක කෙනෙක්. මේ වගේ දේවල් ඉතාම පොඩි වයස් වලදී පවා වෙනවා. 

එලොව පොල් පෙන්වන එකත් ඔය වගේ වැඩක්. මෙහිදී බුලි කරන්නා විසින්, බොහෝ විට තමන්ට වඩා වයසින් හා ශරීර ප්‍රමාණයෙන් කුඩා කෙනෙකුගෙන්, මෙවැනි ප්‍රශ්නයක් අහනවා.

"එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"එහෙනං පෙන්නන්නද?"

ඊට පස්සේ කරන්නේ ඔලුවේ දෙපැත්තෙන් කන් දෙක වැහෙන්න අත් දෙක තියලා උස්සන එක. ඔන්න එතකොට එලොව පොල් පේනවා. එක පාරක් එලොව පොල් දැකපු කෙනෙක් ආයෙත් එලොව පොල් බලන්න කැමති වෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව තමන්ට වඩා කුඩා කෙනෙකුට එලොව පොල් පෙන්නන්න පෙළඹෙන්න පුළුවන්. ඊට හේතුව "භාව පරායත්තතාව".

සමහර අය කියන විදිහට මේ දවස් වල කඩේ පොල් ගණන් අහද්දීත් එලොව පොල් පේනවා. ඔය "හාල් ගණන්" "පොල් ගණන්" කතාව අවුරුදු කීපයකට වරක් අහන්න ලැබෙන කතාවක්. 

ලංකාවේ පොල් මිල තීරණය වෙන්නේ බොහෝ දුරටම ඉල්ලුම හා සැපයුම මතයි. ඉල්ලුම බොහෝ දුරටම ස්ථාවරයි. නමුත් සැපයුම කාලගුණික තත්ත්වයන් අනුව විචලනය වෙනවා. ඒ අනුව, පොල් ගෙඩියක වෙළඳපොළ මිලද සැපයුමට අනුරූපව උච්ඡාවචනය වෙනවා.

මේ සමඟ පළ කර තිබෙන ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි, දිගුකාලීන සාමාන්‍යය සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය වසරකට ගෙඩි මිලියන 2,800ක් පමණ. නමුත් මෙය වසරකට ගෙඩි මිලියන 200කින් පමණ අඩු හෝ වැඩි වෙනවා. සමහර විට වසරකට ගෙඩි මිලියන 400කින් හෝ ඊටත් වැඩි ගණනකින් සැපයුම වෙනස් වෙන්න පුළුවන්.

මේ විදිහට ලංකාවේ පොල් නිෂ්පාදනය විචලනය වෙන ආකාරයේ යම් චක්‍රීය බවක් දකින්න පුළුවන්. ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය ඉහළ යනවා. ඒ වගේම ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය පහළ යනවා. මෙය මම වසර විස්සකට පමණ පෙර නිරීක්ෂණය කර තිබුණු දෙයක්. මේ තත්ත්වය ඉන් පසුවද එලෙසම තිබී ඇති බව පේනවා. වසර හතරකට වරක් කිවුවත් වසර 3-5 වගේ කාලයකින් මේ චක්‍රය පුනරාවර්තනය වෙන්න පුළුවන්. 

දැකිය හැකි රටාව අනුව මීට හේතුව එල් නිනෝ - ලා නිනා චක්‍ර වල බලපෑම වෙන්න පුළුවන්. නමුත් මම කාලගුණ විද්‍යාව හදාරලා නැහැ. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ පොල් වලට වුනත් සහල් හා අදාළවද මේ චක්‍රයේ බලපෑම දැකිය හැකියි. 

ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි 1995, 2000, 2004, 2008, 2012, 2015, 2019, 2022 වසර වලදී ලංකාවේ පොල් නිෂ්පාදනය ආසන්න වසර වල සාමාන්‍ය අගයට වඩා වැඩි වී තිබෙනවා. 1998, 2002, 2006, 2010, 2013, 2017, 2020 වසර වලදී නිෂ්පාදනය අඩු වී තිබෙනවා. මෙම රටාව අනුව, 2024/2025 ආසන්න වන විට පොල් නිෂ්පාදනය අඩු විය යුතුයි. ඒ නිසා, ඉදිරියට එන්නේ පොල් ගණන් යන කාලයක්. ඒ වගේම, මේ හේතුව නිසාම, සහල් මිලද ඉහළ යා යුතුයි. 

මේ ආකාරයෙන් සැපයුම පහත වැටීම නිසා පොල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට කළ හැකි හොඳම දෙය ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල තීරණය වීමට ඉඩ හැරීමයි. එයට බාධා කරන තරමට සිදු විය හැක්කේ මිල පීඩනය තවත් ඉහළ යාමයි. මේවැනි වෙළඳපොළකට මැදිහත්වීම් සිදු කිරීමෙන් කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද යහපතක් සිදු වන්නේ නැහැ. 

ලංකාවේ පොල් පරිභෝජනය වසරකට ගෙඩි මිලියන 1,850ක් පමණ. නිෂ්පාදනය අඩු වසරකදී වුවද, රටේ නිෂ්පාදනය මීට වඩා වැඩියි. පසුගිය (2023) වසර සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය ගෙඩි මිලියන 3,170ක්. මෙම අමතර සැපයුම ප්‍රධාන වශයෙන්ම පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් (Desiccated coconut) නිපදවීම සඳහා යොදා ගැනෙනවා. 

පොල් ගෙඩි විශාල කාලයක් කල් තබා ගන්න බැරි වුනත් පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් වැඩි කාලයක් නරක් නොවී තියා ගන්න පුළුවන්. ඒ නිසාම, පොල් සැපයුම ඉහල ගොස් මිල අඩු වන වසර වලදී මෙම නිෂ්පාදන කරන අයට වැඩි ලාබයක් ගන්න ඉඩ සැලසෙනවා. පොල් සැපයුම අඩු වී මිල ඉහළ යද්දී එම ලාබ නැති වෙනවා. ඒ නිසාම, මිල වැඩි වෙද්දී මෙවැනි අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් මිල දී ගන්නේ අඩුවෙන්. ඒ හේතුවෙන් ඉල්ලුම අඩු වී වෙළඳපොළ විසින්ම මිල නියාමනය කෙරෙනවා.

අනෙක් අතට, පොල් සැපයුම ඉහළ ගොස් මිල පහත වැටෙද්දී අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් වැඩියෙන් මිල දී ගන්නවා. ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා මිල පහත වැටීම සීමා වෙනවා. පොල් තෙල් හා ආදේශක වැනි දේ ආනයනයට බාධා නැති වූ තරමට මේ ස්වයංක්‍රීය ල නියාමනය වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

මෙය වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස මිල නියාමනය කරන එකම විදිහ නෙමෙයි. පොල් බහු වාර්ෂික භෝගයක් බැවින් පොල් වගාකරුවෙකුට සාමාන්‍ය වසරකදී වැය කරන්නට වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රමයේ පිරිවැයයි. ගස් වල පොල් හැදෙන්නේ අඩුවෙන් වුනත් වැඩියෙන් වුනත් කඩන්න යන්නේ එකම මහන්සිය නිසා අවශ්‍ය වන ශ්‍රමයේ වෙනසක් නැහැ. පොල් අඩුවෙන් හැදෙන වසරකදී මිල ප්‍රමාණවත් තරමින් ඉහළ ගියේ නැත්නම් වෙන්නේ පොල් කඩන එකම පාඩු වී සැපයුම අඩු වීමයි. මිල ඉහළ යාම තුළින් කෙටිකාලීනව සැපයුමේද යම් නියාමනයක් සිදු වෙනවා. මිල ඉහළ යාමට ඉඩ නොදුනහොත් මෙය සිදු වන්නේ නැහැ. 

(කියවන්න: "බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය" - 2020 ඔක්තෝබර් 15)

රජය සැලසුම් කර පොල් නිෂ්පාදනය වැඩි කළහොත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැද්ද?

කවර හෝ ආකාරයකින් රටේ පොල් නිෂ්පාදනය වැඩි කළහොත් වෙන්නේ ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවයක් ඇති වී පොල් අතිරික්තයක් ඇති වීමයි. එම අතිරික්තය අවශෝෂණය කර ගැනීම සඳහා පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් නිෂ්පාදනය ඉහළ යා යුතු වෙනවා. පොල් නිෂ්පාදනය ඉහළ යාම හෝ මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදුවීම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එය පොල් මිල වසර කිහිපයකට වරක් විශාල ලෙස වැඩි වීමට පිළියමක් වන්නේ නැහැ.

පොල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් නිසා අතරමැදියන්ට පොල් අඩු කාල වලදී අඩුවට පොල් මිල දී ගෙන මිල වැඩි වූ පසු වැඩි මිලකට විකිණීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් එසේ කරන්න පෙළඹෙන්නේ ලාබයක් බලාගෙනයි. මෙවැනි අතරමැදියන් වැඩි වන තරමට පොල් සැපයුම වැඩි කාල වලදී වෙළඳපොළෙන් පොල් ඉවත් වී සැපයුම අඩු කාල වලදී වෙළදපොළට පොල් එනවා. එයින් ඇත්තටම සිදු වන්නේ මිල උච්ඡාවචනයන් අඩු වීමයි. මෙය පාරිභෝගිකයින්ට මෙන්ම නිෂ්පාදකයින්ටද වාසිදායක තත්ත්වයක්. ඒ වගේම, පොල් පොල් ලෙසම දිගු කාලයක් තබාගත නොහැකි නිසා, මේ අතරමැදියන් හරහා අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය වීමක්ද සිදු වෙනවා. සහල් වෙළඳපොළේ අතරමැදියන් හරහා සිදු වෙන්නේද මීට කිට්ටු දෙයක්. 

Sunday, August 13, 2023

මවුකිරි වල මිල


මෙලොවට මුලින්ම බිහිවන දරුවෙකුට අනෙක් හැම දෙයකටම වඩා වටින්නේ මවු කිරි. ළදරුවෙක් වෙන ඕනෑම දෙයක් ඉල්ලන්න කලින් ඉල්ලන්නේ මවු කිරි. මෙය ඕනෑම මිනිසෙකුට වගේම වෙනත් ක්ෂීරපායී සතුන්ටත් පොදු අත්දැකීමක්. අපි කතාවට කියන්නේ අම්මා ලේ කිරි කර පොවනවා කියලා. මවකගේ අසීමිත ආදරය එක්ක ලේ කිරි වී ඇගේ තනපුඩු වලින් වෑහෙන මවු කිරි වල වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කියන්න පුළුවන්. මවු කිරි වලටත් මිලක් නියම කරන එක අශිෂ්ඨ වැඩක් කියා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. නමුත්, මේ වගේ කියමන් ගැලපෙන්නේ කෙනෙකුගේ පරිකල්පනීය ලෝකයට හෝ සාහිත්‍යයට මිසක් සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්ට නෙමෙයි.

වෙන ගොඩක් දේවල් වලට වගේම මවුකිරි වලටත් මිලක් තිබෙනවා. කිසියම් දෙයකට මිලක් තිබීම සඳහා වෙළඳපොළක් තිබීම අනිවාර්ය නැහැ. වෙළඳපොළක් ඇති විට අපට යමක මිල පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත්, වෙළඳපොළක් නැති වුනත් මිල කියන දෙය තිබෙනවා. වෙළඳපොළක් නැති නිසා සැඟවී තිබෙන මිලක් වුවත්, ආර්ථික විද්‍යාඥයෙකුට ඇස්තමේන්තු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්. එය අසීමිත නැහැ. ඒ විදිහටම මවුකිරි වගේ දේකටත් අසීමිත වටිනාකමක් නැහැ. 

අම්මා කුස්සියේ උය උයා ඉන්න කොට ඇගේ බිළිඳු දරුවා නින්දෙන් ඇහැරී අඬනවා ඇහුනොත් ඈ හොද්ද බත අමතක කරලා දරුවා වෙත දුවනවා. ඇගේ තනපුඩුව දරුවාගේ කටේ ගහනවා. දරුවා තනපුඩුව අත ඇරියේ නැත්නම් ගොඩක් වෙලාවට අම්මා ඕක බලෙන් ගලවන්නේ නැහැ. ඔය අතරේ බත රොස් වෙන්න පුළුවන්. හොද්ද හිඳෙන්න පුළුවන්. ගගා හිටපු පොල් ටිකට පූසා හොම්බ ඔබන්න පුළුවන්. මේ ඔක්කොම දරුවාට කිරි දීම වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන මිලේ කොටස්. ඇය ඒ ගැන වැඩිපුර නොහිතන්නේ දරුවාට කිරි දෙන එක ඇයට ඊට වඩා වටින නිසා.

ඔය විදිහට ඔය උයා ඉන්න වෙලාවක දරුවා ඇහැරිලා ඒ ගැන බලන්න දුවද්දී ලාම්පුවේ අත වැදිලා බිම වැටිලා පාපිස්සක් වගේ දෙයක් ගිණි ගත්තා කියමු. ඔය වගේ වෙලාවක අර අම්මා කරන්නේ මුලින්ම ගින්දර නිවලා ඉන්න එකද නැත්නම් දරුවාට කිරි දීලා ඉවර කරලා ඒ ගැන බලන එකද? සිහි බුද්ධියක් තියෙන අම්මෙක්නම් කරන්නේ මුලින්ම ගින්දර නිවන එක. ඇය ගින්දර පැතිරී ගේ ගිණි ගැනීමේ අවදානම ගන්නේ නැහැ. එය ඇය දරුවාට කිරි දීම වෙනුවන් නොගෙවන මිලක්. 

ඕනෑම මවක් දරුවෙකුට කිරි දීම වෙනුවෙන් අත හරින දේවල් වගේම අත නොහරින දේවල්ද තිබෙනවා. මේ දේවල් නිරීක්ෂණය කිරීමෙන් අප‍ට ඇයට සාපේක්ෂව දරුවාට කිරි දීමේ වටිනාකමේ උපරිම හා අවම සීමාවන් හොයා ගන්න පුළුවන්. නිරීක්ෂණ වැඩි වන තරමට ඔය සීමා දෙක අතර පරතරය කුඩා වෙනවා. ඒ කියන්නේ දරුවාට කිරි දීමේ ඇයට සාපේක්ෂ වටිනාකම වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකි වෙනවා. මෙය කීයක් වුවත් අසීමිත නැති බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

වත්මන් ලෝකයේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලීන්ට දායක වන ආකාරය නිරීක්ෂණය කරලා මේ ඇස්තමේන්තුව මීට වඩා පහසුවෙන් සකස් කරන්න පුළුවන්. දරුවන් නිසා කාන්තාවන් ආර්ථික ලාබ තිබෙන වෙනත් කටයුතු අත හරිනවා. උදාහරණයක් විදිහට රැකියාවකට නොගොස් ගෙදර ඉන්නවා. නමුත් මේ විදිහේ කැප වීමකට සීමාවක් තිබෙනවා. දරුවෙකු වෙනුවෙන් කියලා මවක් ඕනෑම දෙයක් කැප කරන්නේ නැහැ. යම් නිශ්චිත අවස්ථා වලදී දරුවන් වෙනුවෙන් හිතා ගන්න බැරි තරම් විශාල කැපකිරීම් කරන මවුවරු ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය තත්ත්වය ඒක නෙමෙයි. මේ කියන කරුණ තේරුම් ගන්න බැරිනම් එය තර්ක බුද්ධිය පැත්තකට දමා ඕනෑවට වඩා හැඟීම් වල සිරකරුවෙකු වීමේ ප්‍රශ්නයක්. 

කාන්තාවන් රැකියා සඳහා නිවසින් පිටත දිගු කාලයක් ගත කිරීම මිනිස් ඉතිහාසයේ ඉතාම මෑත කාලයකදී සිදු වූ දෙයක්. මේ එක්කම මවුවරුන්ට මුදල් වෙනුවෙන් දරුවන්ට කිරි දෙන එක අත හරින්න සිදු වුනා. වෙළඳපොළ විසින් මේ ප්‍රශ්නයට ලබා දුන් විසඳුම ළදරු පිටි කිරි. නමුත් ළදරු පිටි කිරි කියන්නේ මවුකිරි වලට සියයට සියයක්ම ආදේශකයක් නෙමෙයි. 

තාක්ෂණයේ හා වෙළඳපොළ දියුණුව විසින් මේ ප්‍රශ්නයටත් විසඳුම් ලබා දී තිබෙනවා. දැන් ගොඩක් මවුවරුන් සේවයට යන්න කලින් කිරි දොවා ශීතකරණයක දමා යනවා. ඒ කිරි එක්ක අම්මාගේ ආදරය මුසු උණුසුම ලැබෙන්නේ නැහැ තමයි. නමුත් අඩු වශයෙන් අම්මාගේ කිරි ළදරුවෙකුට ලැබෙනවා.

මේ හැම අවස්ථාවකම සිදු වී තිබෙන්නේ වෙළදපොළ විසින් වැඩියෙන් තේරීම් ලබා දීම. කාන්තාවකට කැමතිනම් රැකියාවකට නොගොස් දරුවන් බලාගෙන ගෙදර ඉන්න පුළුවන්. කැමතිනම් රැකියාවකට යන්න පුළුවන්. එය ඇගේ තේරීමක්. රැකියාවකට යාමේ අවස්ථාව හිමිවුණා කියලා අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නැහැ. නමුත් රැකියාවකට නොගියොත් සිදු වන පාඩුවක් තිබෙනවා. ඒ වගේම, රැකියාවකට යාම නිසා සිදු වන පාඩුත් තිබෙනවා. මේ පාඩු කිරා මැන බලන එක පෞද්ගලික තේරීමක්.

රැකියාවකට යන්න තීරණය කළොත් දරුවන්ට කිරි දීමේ ප්‍රශ්නය මතු වෙනවා. ළදරු කිරිපිටි එයට එක් විසඳුමක්. කිරි දොවා ශීතකරණයේ දමා යාම තවත් විසඳුමක්. කරන්නේ කුමක්ද කියන එක පෞද්ගලික තේරීමක්. තේරීම කුමක් වුවත් එම තේරීම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ළදරු කිරි පිටි, ශීතකරණ, කිරි දොවන පොම්ප ආදිය වෙළඳපොළ විසින් සපයනවා. වෙළඳපොළ නොවන්නට මේ තේරීම් නැහැ. ඒ වගේම වෙළඳපොළ පවතින්නේ කාගේ හෝ ලාභාපේක්ෂාවන් නිසා. කිරි දෙන මවක් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ තේරීම් කරනවාක් මෙන්ම වෙනත් අය ලාභාපේක්ෂාවෙන් එම තේරීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා.

මවකගේ අවසන් තීරණය කුමක් වුවත් සාමාන්‍යයෙන් බොහෝ මවුවරුන්ට අවශ්‍යනම් තමන්ගේ දරුවන්ට මවුකිරි දීමේ අවස්ථාව තිබෙනවා. එම තේරීම තෝරාගන්නවාද කියන එක ඇගේ පෞද්ගලික තීරණයක්. එහෙත්, අවාසනාවන්ත ලෙස මේ තේරීම නැති වන අවස්ථාද තිබෙනවා. දරුවකු බිහි කරද්දී දරුවා ජීවත් වී මව මිය යන අවස්ථා තිබෙනවා. දරුවා බිහි කිරීමෙන් පසුව විවිධ සෞඛ්‍ය හේතු හා රෝග නිසා මවට දරුවාට මවු කිරි දිය නොහැකි අවස්ථා තිබෙනවා. මවු කිරි දිය හැකි වුවත් ප්‍රමාණවත් තරම් දිය නොහැකි අවස්ථා බොහෝ විට තිබෙනවා. විශේෂයෙන්ම දරුවෙකු නියමිත මාස ගණන සම්පූර්ණ නොකර ඉපදුණු විට මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ වඩා වැඩියි. 

ඇතැම් විට අඩු වයසින් ඉපදුනු දරුවෙකු ජීවත් කරවීම සඳහාම මවුකිරි අවශ්‍ය වෙනවා. තවත් අවස්ථා වල දරුවන් මවුකිරි හැර අනෙකුත් ආදේශක වලට අසාත්මික වෙන අවස්ථා තිබෙනවා. වෙනත් ආදේශක ලබා දිය හැකි වුවත් වඩාත්ම හොඳ දෙය වන මවු කිරි දරුවෙකුට ලබා දෙන්න දෙමවුපියෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. 

ඉතිහාසය ඇවිස්සුවොත් දරුවන්ට වෙනත් කාන්තාවක් හෙවත් කිරිමවු කෙනෙකු විසින් කිරි දුන් අවස්ථා අපට හමු වෙනවා. යම් හේතුවක් නිසා දරුවෙකුට මවුකිරි ලබා දීමේ හැකියාවක් නැත්නම්, කිරිමවු කෙනෙකු සොයා ගත හැකිනම්, එය හොඳ විකල්පයක්. නමුත්, මේ වැඩේ හිතන තරම්ම පහසු නැහැ. තමන්ගේ බිළිඳු දරුවාට කවුරු හෝ මවකගේ කිරි ලබා දීමට අවශ්‍ය දෙමවුපියන් ඕනෑ තරම් ඉන්නවා. ඒ ඇතැම් අය ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න සූදානම් අයයි. ඒ නිසා, මවුකිරි කියන්නේ සැලකිය යුතු වෙළඳපොළ ඉල්ලුමක් තිබෙන දෙයක්. 

අනෙක් අතට, දරු ප්‍රසූතියකදී මවක මියයාමට තිබෙන ඉඩකඩට වඩා දරුවෙකු මියයාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, මවුන් අහිමි දරුවන්ට වඩා දරුවන් අහිමි වූ මවුවරුන් වැඩියි. ඒ මවුවරුන්ටත් කිරි උනනවා. එය ස්වභාවික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත්, එවැනි මවකට කිරි වල වටිනකාම්ක් නැහැ. ඇත්තටම කිරි ඉනීම වදයක්. යම් කාලයක් යන තුරු එසේ උනන කිරි දොවා ඉවත් කරන්න සිදු වෙනවා. දරුවන් අහිමි වූ මවුවරුන් හා තමන්ගේ දරුවාට දෙන්නට කිරි නැති මවක් සංසන්දනය කළ හොත් වෙනත් ඕනෑම භාණ්ඩයකට වගේම මවුකිරි වලටත් තියෙන්නේ වාස්තවික වටිනාකමක් නොව සාපේක්ෂ වටිනාකමක් කියන එක පැහැදිලි වෙයි.

වටිනාකම් සාපේක්ෂ නිසා හුවමාරුවකින් එයට සම්බන්ධ වන පාර්ශ්ව දෙකටම වාසියක් සිදු වෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයයි. එහිදී වෙන්නේ එක් අයෙකුගේ ලාබය වෙනුවෙන් වෙනත් අයෙකු පාඩු විඳීමක් නෙමෙයි. දරුවකු අහිමි වූ මවකට මවුකිරි වල වටිනාකමක් නැහැ. නමුත්, තමන්ගේ දරුවාට දෙන්නට තරම් ප්‍රමාණවත් කිරි උරන්නේ නැති මවකට මවුකිරි වල වටිනාකම ගොඩක් වැඩියි. ඒ නිසා, මවුකිරි වලට වෙළඳපොළ ඉල්ලුමක් හැදෙනවා මෙන්ම එම ඉල්ලුම සැපිරිය හැකි මවුකිරි සැපයුමක්ද තිබෙනවා. ඉල්ලුමක් හා සැපයුමක් ඇත්නම් වෙළඳපොළක් බිහි විය යුතුයි.

මවුකිරි අලෙවි වන වෙළඳපොළක් තිබෙනවා. මේ වෙළඳපොළ තුළ කටයුතු සිදුවන ආකාරය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. වෙළඳපොළ තුළ සිටින ප්‍රධානම ධාවක බලවේගය මවුකිරි බැංකු. මෙවැනි බැංකු බොහෝ විට ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතන. ලාබ ලැබීම ඉලක්ක නොකර කටයුතු කරන ආයතනයක් කියන්නේ ලාබ නොලබන ආයතනයක් නෙමෙයි. එවැනි ආයතනද ලාබ ලබනවා. ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයකට සාපේක්ෂව මෙවැනි ආයතනයක වෙනස වන්නේ ලබන ලාබයද කිසියම් අරමුණක් වෙනුවෙන් වැය කිරීමයි. 

මුල් කාලයේදී මවුකිරි බැංකු විසින් මවුවරුන්ගෙන් කිරි මිල දී ගත්තේ නැහැ. දැනුත් බොහෝ මවුකිරි බැංකු කිරි සඳහා දායක මවුවරුන්ට මුදල් ගෙවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙන් කිරි ලබා දෙන මවුවරුන්ගෙන් කිරි එකතු කර ගැනීමයි. මේ කටයුත්තේදී ඔවුන් දැඩි තත්ත්ව පාලනයක් සිදු කරනවා. කිරි ලබා ගන්නේ අවශ්‍ය සෞඛ්‍යමය හා වෙනත් කොන්දේසි සපුරන මවුවරුන්ගෙන් පමණයි. මේ අයුරින් එකතු කරගන්නා මවුකිරි කල් තබා ගත හැකි පරිදි පැස්චරීකරණය කර ශීත කර කරනවා.

මවුකිරි බැංකු වලට කිරි එකතු කරගන්නේ මුදල් ගෙවා නොවුනත් එම කිරි වල තත්ත්ව පාලනය කිරීමට, සකස් කිරීමට, ගබඩා කර තබාගැනීමට හා බෙදාහැරීමට මුදල් වැය වන නිසා මෙවැනි ආයතන වල ඉලක්කය ලාබ ලැබීම නොවුනත් කිරි අලෙවි කරන්නේ මුදලටයි. මවු කිරි අවුන්සයක මිල ඩොලර් පහක් පමණ දක්වා විය හැකියි. ඒ නිසා, දරුවෙකුට අවශ්‍ය මවු කිරි මිල දී ගැනීම සඳහා දිනකට ඩොලර් සීයක පමණ මුදලක් වැය විය හැකියි. එය ළදරු කිරිපිටි සඳහා වැය වන මිලට සාපේක්ෂව විශාල මුදලක්. 

ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ මෙන්ම ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හා ඉන්දියාව වැනි රටවලද තිබෙන මෙවැනි කිරි බැංකු විසින් කරන්නේ ලාබ හෙවීමක් නොව සේවයක් කියා බොහෝ දෙනෙක් කියන්න පුළුවන්. කිරි බැංකු වලින් බොහෝ විට පාරිභෝගිකයින්ට සෘජුව මවුකිරි විකිණීම වෙනුවට රෝහල් වලට මවුකිරි අලෙවි කරනවා. ඇතැම් සෞඛ්‍ය රක්ෂණ වලින් දරුවන්ට ලබාදෙන මවුකිරි වල වියදම ප්‍රතිපූරණය කරනවා. එහෙත්, කාය වර්ධන ක්‍රීඩකයින් වැනි අයට මවුකිරි අලෙවි කරන අවස්ථාද තිබෙනවා. 

ඉහත ආකාරයේ මවුකිරි බැංකු විසින් මවුකිරි සඳහා වෙළඳපොළක් ගොඩ නගා ඇති නිසාම මවුකිරි සඳහා සිල්ලර වෙළඳපොළක්ද බිහි වී තිබෙනවා. මෙහි අතරමැදියන් නැහැ. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු වෙනවා. මෙම සිල්ලර වෙළඳසැල හරහා මවකට තමන්ගේ කිරි නොමිලේ මවුකිරි බැංකුවකට ලබා නොදී ඒ වෙනුවෙන් යම් මිලක් අය කරගැනීමට අවස්ථාව සැලසෙනවා. අනෙක් පැත්තෙන් මවුකිරි මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වඩා අඩු මිලකට මවුකිරි ලැබෙනවා. මේ සිල්ලර වෙළඳපොළේ මවුකිරි අවුන්සයක මිල ඩොලර් ශත පණහක් තරම් අඩු විය හැකියි.

මවුකිරි බැංකුවකින් කරන්නේ කාගේ හෝ මවකගේ අපතේ දමන මවුකිරි මවුකිරි අවශ්‍ය දරුවෙකුට ලබා ගැනීමට සැලැස්වීමයි. ඒ සඳහා යන වියදම ඔවුන් ආවරණය කර ගන්නවා. සිල්ලර වෙළඳසැල තුළ සිදු වන්නේද එයමයි. මෙහිදී පාරිභෝගිකයාට මෙන්ම කිරි සපයන මවටද වැඩි වාසියක් ලැබෙනවා. එහෙමනම්, කිරි බැංකු හොඳ වී සිල්ලර මවු කිරි වෙළඳාම නරක වෙන්න පුළුවන්ද?

සිල්ලර වෙළඳපොළෙන් (අන්තර්ජාලය හරහා) කිරි මිල දී ගනිද්දී ඇති වන ප්‍රශ්නය මිල අඩු වුවද, කිරි බැංකුවකින් ලැබෙන තත්ව පාලන සහතිකය නොලැබීමයි. ඒ නිසා, මෙහිදී තිබෙන්නේ මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක්. කිසියම් ලාබ ලබන සමාගමක් විසින් මේ ප්‍රශ්න දෙකම විසඳන අතර ලාබ ගන්නවානම් එහි කවර හෝ ආචාර ධර්මීය වැරැද්දක් තිබෙනවාද?

අපි හිතමු කිරි සපයන මවුවරුන්ට තරඟකාරී මිලක් ගෙවමින්, කිරි බැංකු තරමටම ගුණාත්මක භාවයද පවත්වා ගනිමින්, කිරි බැංකු වල මිලට හෝ අඩු මිලකට මවුකිරි විකුණා ලාබ ගන්නා සමාගමක් ගැන. දැන් මේ සමාගම විසින් ගන්නා ලාබ වලින් කාට හෝ වාසියක් මිසක් පාඩුවක් වෙනවාද? මිල්ක්ස්ටෝර්ක් වැනි සමාගම් මේ වැඩේ කරනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව මේ වන විට ඔවුන් රටවල් 122කට මවු කිරි අවුන්ස මිලියන 7කට වඩා සපයා තිබෙනවා. මේ හරහා ඇතිව තිබෙන තරඟකාරිත්වය නිසාම ඇතැම් මවුකිරි බැංකු විසින්ද දායක මවුවරුන්ට මුදල් ගෙවන්න පටන් ගෙන තිබෙනවා.

මේ වෙළඳපොළ තවමත් නියාමනය වන්නේ නැහැ. තවමත් නියාමකයින්ගේ අවධානය යොමු නොවීම ඊට හේතුව වෙන්න පුළුවන්. නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය සිදු වෙයි. ලාබ ලබන සමාගම් පැවතීම නිසා ලාබ ලැබීම ඉලක්ක නොකරන කිරි බැංකු වලටද මිල හා ගුණාත්මක භාවය තරඟකාරී මට්ටමක තියාගන්න වෙනවා. එවැනි සමාගම් නොපැවතියේනම් ඒ වැඩේ වෙන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපන වැනි සේවාවන් සැපයීමේ වෙළඳපොළ වල සිදු වන්නේද මෙවැන්නක්. 

ලාබ ලබන සමාගම් පැවතීම නිසා සිදු වන්නේ අඩු වයසෙන් ඉපදෙන, ජීවත් වීම සඳහා මවු කිරි නැතුවම බැරි ළදරුවන් තවත් කිහිප දෙනෙකුට හෝ ජීවත්වීමේ අවස්ථාව ලැබීමයි. මවුකිරි වලටත් මිලක් අය කිරීම වැරදියැයි කෙනෙකුට පුරුද්දෙන් මෙන් කියවන්න පුළුවන්. වෙළදපොළට විරුද්ධ එවැනි අදහසක් හරහා කළ හැක්කේ ළදරුවන් යම් පිරිසකගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම පමණයි. එය මානුෂිකද අමානුෂිකද? එවැන්නක් කිව හැකි අයෙකු සැලකිය හැක්කේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ලෙසද නැත්නම් ශිෂ්ඨ සම්පන්න, සාධාරණ මිනිසෙකු සේ පෙනී සිටින්නට උත්සාහ කරන අශිෂ්ඨ, ම්ලේච්ඡ, ගෝත්‍රිකයෙකු ලෙසද? හැඟීම් වලට වහල් නොවී පොඩ්ඩක් නිදහසේ හිතා බලන්න!

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

Monday, January 9, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (දෙවන කොටස)


මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා. 

පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?

බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා. 

හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා. 

බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා. 

වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු  සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.

වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි. 

අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද? 

බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද? 

ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා. 

මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ.  නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ. 

නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ. 

මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.

ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා. 

ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.

බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

Thursday, November 17, 2022

වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?

ඩොලර් එක දැන් තියෙන මට්ටමේ තියෙන්නේ පාලිත තත්ත්වයක් යටතේ කියලා කවුරුත් වගේ දන්නවා. ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න ඇරිය යුතු බව IMF එකේත් නිර්දේශයක්. ඒ විදිහට ඩොලරය නැවත පා කළහම කීයට යයිද කියන එක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම පුළුවන්නම්, මම ඒ ගැන සටහනක් නොදා ඉන්නේ නැහැ. මේ වැඩේ මූලධාර්මික ලෙසම කළ නොහැකි වැඩක්. මොකද එහෙම පුළුවන්නම්, එයින් අදහස් වන්නේ ඩොලරයට වෙළඳපොළෙන් ස්වායත්ත කිසියම් ආකාරයක වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක. 

ඩොලරයක මිල පමණක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක වටිනාකම සම්බන්ධ ධනවාදී අදහස භාණ්ඩයකට හෝ සේවාවකට එවැනි වාස්තවික (objective) වටිනාකමක් නැහැ කියන එක. භාණ්ඩයකට ඒ මත යෙදවූ ශ්‍රමය මත පදනම් වන විශ්වීය (universal), වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක මාක්ස්වාදී අදහසක්. මාක්ස්වාදයේ එන සූරාකෑම කියන කතාව ප්‍රබන්ධ කර තියෙන්නේ ඔය උපකල්පනය මත පදනම්වයි.

ධනවාදී ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම කියන්නේ ආත්මීය (subjective) කරුණක්. එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. රජයට හෝ වෙනත් පුද්ගලයෙක්ට කවදාවත් ඒක හරියටම දැන ගන්න බැහැ. වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වන්නේම මේ හේතුව නිසා. ගනුදෙනු හරහා භාණ්ඩයකට අඩු ආත්මීය වටිනාකමක් දෙන අය අතේ තිබෙන භාණ්ඩ එම භාණ්ඩයටම වැඩි ආත්මීය වටිනාකමක් දෙන අය අතට යනවා. මේ හරහා අගය එකතු වීමක් (value addition) සිදු වෙනවා. ගනුදෙනු වැඩි වන තරමට භාණ්ඩය මත අගය එකතු වීම වැඩියි. 

"වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?


කාගෙවත් ඇස නොගැටෙන 

ඇති නිසා හැමතැනම අපමණව 

ගස් යට වැටී කුණුවන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


දහදියෙන් පෙඟී ගිය 

අත් මිටක මොලවාන 

උතුරනා සෙනෙහසින් අපමණව 

ඔබට දෙන්නට 

සඟවාගෙන ආ වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


නැති නිසා ඔබ ආවේ 

සොවින් පිරි හදවතින් අපමණව 

වීසි කළ ලාච්චුව මුල්ලකට 

කුණු වී දිරා යන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?"


උඩින් තියෙන ජනක විජයකුලසූරියගේ කවියේ භාණ්ඩයක වටිනාකම පිළිබඳ ධනවාදී අදහස ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, ලාච්චුව මුල්ලේ කුණු වී දිරා යන වෙරළු ගෙඩියටත් ආත්මීය වටිනාමක් තිබෙනවා. නමුත් එය විශ්වීය වටිනාකමක් නෙමෙයි. වටිනාකම තියෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාටම වුනත්, ඒ වෙරළු ගෙඩියේ තිබෙන ආත්මීය වටිනාකම සර්වකාලීන වටිනාකමක් නෙමෙයි. කාලයත් එක්ක වටිනාකම් වෙනස් වෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් භාණ්ඩයකට දෙන ආත්මීය වටිනාකම අපිට හරියටම දැන ගන්න බැරි වුනත්, ඒ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි එය කළ හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. මෙය ඩොලරයක මිලටත් අදාළයි.

කවුරු හෝ කෙනෙක් රුපියල් 360කට ඩොලරයක් මිල දී ගන්නවානම් එයින් අදහස් වෙන්නේ එම පුද්ගලයා ඩොලරයට දෙන ආත්මීය වටිනාකම අවම වශයෙන් රුපියල් 360ක් බවයි. එය ඊට වඩා වැඩි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, එය විකුණන පුද්ගලයා ඩොලරයකට දෙන උපරිම ආත්මීය වටිනාකම රුපියල් 360යි. එය ඊට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

දැන් එතකොට ඩොලරයක මිල කියා කියන්නේ කුමක්ද? 

ඕනෑම භාණ්ඩයක, මේ උදාහරණයේදීනම් ඩොලරයක, වෙළඳපොළ මිල කියන්නේ සමස්තයක් ලෙස අදාළ භාණ්ඩයට වැඩිම සමුච්ඡිත ආත්මීය වටිනාකමක් ලබා දෙන මිලයි. ඒ ඇයි?

වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. අපි හිතමු ඩොලරයක ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 400ක් කියලා. එයින් කියැවෙන්නේ කුමක්ද? 

ඩොලරයකට රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් දෙන ඕනෑම කෙනෙකුට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ගෙවන්නේ තමන්ට සාපේක්ෂ ඩොලරයක ආත්මීය වටිනාකමට වඩා අඩු මිලක්. අනෙක් අතට තමන් අතේ තිබෙන ඩොලරයක රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් නොදකින ඕනෑම කෙනෙකුට තමන්ගේ ආත්මීය වටිනාකමට වඩා වැඩි මිලකට ඩොලරයක් විකුණන්න පුළුවන්. මේ වැඩෙන් වෙන්නේ ඩොලර් විකුණන වගේම මිල දී ගන්නා හැම කෙනෙක්ම අතිරික්ත තෘප්තියක් ලබන එක. අතිරික්ත ආත්මීය වටිනාකමක් එකතු කර ගන්න එක.

දැන් ඔය මිල රුපියල් 400 නොවී රුපියල් 360 මට්ටමේ හිර කර ගෙන ඉඳිද්දී වෙන්නේ කුමක්ද? ඩොලරයට රුපියල් 360ක ආත්මීය වටිනාකමක් නොදෙන අය තමන්ගේ ඩොලර් විකුණනවා. ඒ අයට වගේම ඒ ඩොලර් මිල දී ගන්න අයටත් කලින් වගේම වාසියක් වෙනවා. නමුත් රුපියල් 360ක් ගෙවා ඩොලර් මිල දී ගන්න අවශ්‍ය සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය අතෘප්තිමත්. ඒ ඇතැම් අය ඩොලරයකට රුපියල් 400ක් වුවත් ගෙවන්න කැමතියි.  ඒ වගේම, ඩොලර් එකකට රුපියල් 380ක ආත්මීය වටිනාකමක් දෙන කෙනෙකුට එය රුපියල් 360 බැගින් විකුණන්න අවශ්‍ය නැහැ. නමුත් මිල රුපියල් 400 වුනොත් තමන් අතේ තිබෙන ඩොලරය විකුණා රුපියල් 20ක වාසියක් ලබන්න පුළුවන්. මිල පාලනය නිසා ඒ වාසිය නැති වෙනවා. 

වටිනාකම් වල තිබෙන ආත්මීය ස්වරූපය නිසාම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන වෙළඳපොළ මිල හරියටම දැනගන්න පුළුවන් එකම ක්‍රමය නිදහස් ගනුදෙනු වලට ඉඩ හරින එකයි. එහෙම නොකර ඒ මිල කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කරන්න හදනවා කියන එකම රජය විසින් ව්‍යවසායකයින් පුහුණු කරනවා වගේ විරුද්ධාභාෂයක්.

කොහොම වුනත් විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීම පැහැදිලි කරන ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය වගේ මූලධර්ම තිබෙනවා. ඒ ඇසුරෙන් විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි සටහනක කියවමු.



Tuesday, August 16, 2022

උද්ධමනය හා බිස්කට් මිල


උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි. 

වෙනත් බොහෝ දේවල් වගේම බිස්කට් හදන්නත් පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය අවශ්‍යයි. බිස්කට් ඔතන්න ඇසුරුම් අවශ්‍යයි. එතකොට යන්ත්‍ර ක්‍රියා කරවන්න විදුලි බලය අවශ්‍යයි. ඔය හැම දෙයක් සඳහාම අවශ්‍ය පිරිවැය වලට පොදුවේ විචල්‍ය පිරිවැය කියා කියන්න පුළුවන්. 

අපි හිතමු මේ විදිහට බිස්කට් පැකට් එකක් හදන්න යන විචල්‍ය පිරිවැය රුපියල් 100ක් කියලා. ඒ කියන්නේ පැකට් දෙකක් හදන්න වියදම රුපියල් දෙසීයයි. දාහක් හදන්න රුපියල් ලක්ෂයයි. බිස්කට් පැකට් මිලියනයක් හදන්න වියදම රුපියල් මිලියන සීයයි. පැහැදිලියිනේ. 

හැබැයි ඔය වගේ නිෂ්පාදනයක් කරන්න යන්නේ විචල්‍ය පිරිවැයක් පමණක් නෙමෙයි. ඊට අමතරව ස්ථිර පිරිවැයකුත් තිබෙනවා. ඒ කියන්නේ සේවක වැටුප්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් යන මුදල. එයිනුත් සේවක වැටුප් මාස්පතා ගෙවිය යුතු බව කාටත් පැහැදිලියිනේ. බිස්කට් හදනවද නැද්ද කියන එක අදාළ නැහැ. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එකවර වුනත්, පැහැදිලි කිරීමේ පහසුවට මේ වියදම් දරා තිබෙන්නේ බැංකු ණයක් අරගෙන කියා අපි හිතමු. සෑම මාසයකදීම ඔය බැංකු ණය වෙනුවෙන් පොලිය හා ණය වාරික ගෙවිය යුතුයි. බිස්කට් හැදුවත් නැතත් ඒ වියදමත් යනවා. මේ සමස්ත වියදම මාසයකට රුපියල් මිලියන 50ක් කියලා අපි හිතමු. 

දැන් බිස්කට් හැදුවත් නැතත් මාසයකට රුපියල් මිලියන 50ක වියදමක් යනවා. මාසයකට හදන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයක් කියා අපි හිතමු. එතකොට එකකට රුපියල් 100 බැගින් තව රුපියල් මිලියන 100ක වියදමක් යනවා. මුළු වියදම රුපියල් මිලියන 150යි. ඒ නිසා, පාඩු නොවෙන්නනම් බිස්කට් පැකට් එකක් අඩු වශයෙන් රුපියල් 150කට විකුණන්න වෙනවා. 

දැන් ඔහොම තියෙද්දී උද්ධමනය නිසා පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය හැම එකකම මිල දෙගුණ වෙලා විචල්‍ය පිරිවැය රුපියල් 200ක් වෙනවා. එහෙම වුණාම, කලින් විකුණපු රුපියල් 150 මිලට බිස්කට් පැකට් එකක් විකුණන්න බැරි බව කාට වුනත් තේරෙනවනේ. අඩුම වශයෙන් රුපියල් 100කින්, ඒ කියන්නේ රුපියල් 250 දක්වා, මිල වැඩි කරන්න වෙනවා. 

ස්ථිර පිරිවැය වැඩි නොවී ඒ විදිහටම තිබුණා කියා අපි හිතමු. කලින් රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එකක් දැන් රුපියල් 250 වුනා කියලා ගොඩක් අය ඕක ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. උද්ධමනය නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් බව කාට වුනත් තේරෙනවනේ. නමුත්, ඔය මිල රුපියල් 250 නොවී රුපියල් 450ක් වුනොත් ඔන්න ගොඩක් අය අවුල් වෙනවා. මොකද මෙතැන ගොඩක් අයට පැහැදිලිව නොපෙනෙන කතාවකුත් තියෙනවා.

දැන් ඔය විදිහට උද්ධමනය නිසා බඩු මිල ඉහළ යද්දී තවත් දේවල් වෙනවා. ගොඩක් අයට තමන්ගේ ආදායමෙන් කලින් මිල දී ගත් දේවල් සියල්ලම මිල දී ගන්න බැහැ. එහෙමයි කියලා හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය දේවල් මිල දී නොගෙන ඉන්නත් බැහැ. කපා හරින්න වෙන්නේ අත්‍යවශ්‍ය නොවන වියදම්. බිස්කට් කියා කියන්නේ ගොඩක් අයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ නිසා, මිල වැඩි නොවුනත් යම් පිරිසක් බිස්කට් මිල දී ගන්න එක නවත්වනවා. නැත්නම් අඩු කරනවා. 

දැන් මෙහි ප්‍රතිඵලයක් විදිහට මාසයකට විකිණෙන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයේ සිට මිලියන බාගයට අඩු වුනා කියමු. ඒ කියන්නේ මාසයකට යන විචල්‍ය පිරිවැය (රුපියල් 200 බැගින්) නැවතත් මිලියන 100 දක්වා අඩු වෙනවා. ස්ථිර පිරිවැය තවම වැඩි වෙලා නැති නිසා ඒ මිලියන 50 තවම ඒ විදිහටම තියෙනවා. එතකොට මුළු වියදම රුපියල් මිලියන 150යි. හැබැයි හදන්නේ බිස්කට් පැකට් මිලියන බාගයක් නිසා පැකට් එකක පිරිවැය දැන් රුපියල් 300ක් වෙලා. 

නමුත්, ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ. බිස්කට් පැකට් එකක මිල වැඩි වෙද්දී ඒ හේතුව නිසාත් ඉල්ලුම අඩු වෙනවා. ඒකත් කාටත් පැහැදිලියිනේ. අපි හිතමු දැන් මාසයකට විකිණෙන්නේ බිස්කට් පැකට් ලක්ෂ දෙකක් පමණයි කියලා. විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 40ට බහිනවා. හැබැයි ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 90යි. බිස්කට් පැකට් ලක්ෂ දෙකයි. පැකට් එකක අවම පිරිවැය රුපියල් 450යි.

බිස්කට් හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල, ඒ කියන්නේ විචල්‍ය පිරිවැය, වැඩි වෙලා තියෙන්නේ රුපියල් 100කින් පමණයි. ස්ථිර පිරිවැය වැඩි වෙලාම නැහැ. සමාගමේ ලාබ සතේකින්වත් වැඩි වෙලත් නැහැ. හැබැයි රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එක දැන් රුපියල් 450ක් වෙලා.

මොන හේතුවකින් හරි මාසයකට විකිණෙන බිස්කට් පැකට් ගණන ලක්ෂය දක්වා අඩු වුනොත් මොකද වෙන්නේ? දැන් විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 20ට බහිනවා. ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 70යි. බිස්කට් පැකට් එකක් විකුණන්න වෙන්නේ අවම වශයෙන් රුපියල් 700කට. නමුත්, ඔය මිලට ඇතැම් විට බිස්කට් පැකට් ලක්ෂයක් විකුණාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ තරඟකාරී සමාගම් අතරින් අල්ලාගෙන ඉන්න වඩාම අමාරු සමාගම වැහිලා යන එක. 

කලින් තිබුණේ සමාගම් දෙකක් පමණක්නම්, දැන් ඒ දෙකෙන් එකක් වැහුණු ගමන් නැවතත් තත්ත්වය වෙනස් වෙනවා. මාසයකට පැකට් ලක්ෂය බැගින් සමාගම් දෙකක් අතර බෙදී ගිහින් තිබුණු ඉල්ලුම එක සමාගමකට යනවා. එතකොට ඉල්ලුම පැකට් ලක්ෂ දෙකක් වෙනවා. ඒ ගාණ විකිණෙනවානම් පැකට් එක රුපියල් 450 බැගින් දීලා වියදම ආවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය දිගටම ඉහළ මට්ටමක තිබුණොත් ඔය වැඩේ වෙලා දැනට ක්‍රියාත්මකව තිබෙන කර්මාන්තත් එකින් එක වැහිලා යන්න පුළුවන්. ඉල්ලුම අඩුවෙන තරමට වැඩේ ඉක්මන් වෙයි.

ලංකාවේ ඇතැම් නිෂ්පාදන අංශ වල සමාගම් සීයක් දෙසීයක් නැතිව දෙක තුනක් පමණක් තියෙන්නේ ඇයි කියන එකත් මේ කතාව ඇසුරෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒක කිසියම් පිරිසකගේ ඒකාධිකාරයක් හෝ මාෆියාවක් නෙමෙයි. ස්ථිර පිරිවැය සැලකිය යුතු දෙස වැඩි කර්මාන්තයකට ක්‍රියාත්මකව පවතින්න කිසියම් අවම ඉල්ලුමක් අවශ්‍යයි. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි. එහෙම පුළුවන් වෙන්නේ අපනයන වෙළඳපොළ ඉලක්ක කළ හැකිනම් පමණයි. නමුත් මේ වගේ කර්මාන්තයකට අපනයන වෙළඳපොළ වෙත පිවිසෙන්න පුළුවන් වෙන්නේත් රට ඇතුළේ පාදක ඉල්ලුමක් තිබේනම් පමණයි. 

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදන කර්මාන්තයක සැලකිය යුතු ස්ථිර පිරිවැයක් තිබෙනවා. සේවා නිෂ්පාදන වලට මේ ප්‍රශ්නය නැහැ. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක දේශීය ඉල්ලුම පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කරන්න යාමේදී මතු වන අභියෝගය මේකයි. ස්වීඩනය වගේ විශාල ජනගහණයක් නැති, එහෙත් දියුණු, රටවල දැකිය හැක්කේ වොල්වෝ, එරික්සන්, ඊකෙයා වගේ ලෝක වෙළඳපොළේ තරඟ කරන සමාගම් මිසක් දේශීය වෙළඳපොළ අල්ලගන්න එකිනෙකා එක්ක තරඟ කරන සමාගම් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ලොකු දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාව වගේ රටවල් තුළයි. ජනගහණය අඩු රටකට ගොඩ යන්න ලොකු සමාගම් කිහිපයක් ඇති. 

Friday, June 3, 2022

ආයෙත් ඩොලර් එක හිර කරගෙනද?

දවසකට දෙකකට සැරයක් රුපියල් පහකින් හෝ දහයකින් ඉහළ ගිය ඩොලරයක මිල දැන් ඒ විදිහට ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල රුපියල් 360 ආසන්නයේ ස්ථාවර වෙලා. හැබැයි ස්ථාවර වෙලා කිවුවට මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ මහ බැංකුව මැදිහත් වී මිල ස්ථාවර කිරීමක් කියන එක කාටවත් රහසක් නෙමෙයි.

මීට කලින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන ඉඳලා වෙච්ච සන්තෑසිය කාටවත් රහසක් නෙමෙයිනේ. දැන් ආයෙත් නැවත වටයකින් ඒ වගේම දෙයක් වෙන්නද යන්නේ?

කලින් පාර ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගන්න ගිහින් මහ බැංකුවේ සංචිත බිංදුවටම හිඳුනා. දැන් මහ බැංකුව සතුව සංචිත නැහැ. එහෙමනම් ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්නේ කොහොමද? එහෙම කරන එකේ මොකක් හෝ තේරුමක් තියෙනවද? 

වෙළඳපොළ තුළ ඩොලරයක මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා ඩොලර් සැපයුම මත. අපනයන, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරකයින්, රජය විසින් ගන්නා ණය, බැංකු වලට එන ඩොලර් තැන්පතු ආදිය හරහා රටට ඩොලර් එනවා. ආනයන, විදේශ සංචාර, ණය ආපසු ගැනීම් ආදිය ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට ඩොලර් අවශ්‍ය අයට වෙළඳපොළේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීමට තරඟ කරන්න වෙනවා.  ඒ තරඟය නිසා ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ මිල ඉහළ ගියාම ආනයන ඉල්ලුම, විදේශ සංචාර ආදිය අඩු වෙලා ඩොලර් ඉල්ලුමත් පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඕක තමයි ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන සාමාන්‍ය ක්‍රමය.

එතකොට පහුගිය කාලයේ වුනේ කුමක්ද? විශාල ලෙස සල්ලි අච්චු ගහපු නිසා ආනයන ඉල්ලුම ඉහළ ගියා. ඇයි අතේ තියෙන රුපියල් වියදම් කරන්න ක්‍රමයකුත් හැදෙන්න ඕනෑනේ. නමුත් සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වැඩි නොවන නිසා මිල දී ගන්න වෙන්නේ ආනයනය කරන දේවල්. 

දැන් ඔය විදිහට ආනයන ඉල්ලුම වැඩි වෙද්දී ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. හැබැයි ඩොලර් සැපයුම වැඩි වෙන්නේ නැහැනේ. මහ බැංකුව විසින් කළේ සංචිත විකුණමින් ඉල්ලුමට සරිලන තරමට ඩොලර් සපයන එක. එවිට එම ඩොලර් ආනයන සඳහා යොදා ගන්න පුළුවන්. මොන විදිහෙන් හෝ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන නිසා මිල ඉහළ යන්නේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් අවසාන වශයෙන් රටේ ඩොලර් සංචිතය බිංදුවටම හිඳුනා කියලා අපි දන්නවනේ.

දැන් මහ බැංකුවට ඔය වැඩේ කරන්න බැහැ. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් සංචිත අතේ තියෙනවානම් පමණයි. ඒ කියන්නේ ඩොලරයක මිල කීයට ගියත් මහ බැංකුවට උඩ බලාගෙන ඉන්නවා මිසක් කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල ඉහළ යාමෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතුයි.

මේ වෙද්දී මිල ඉහළ ගොස් තියෙන තරමට හා වෙනත් ක්‍රියාමාර්ග නිසා හරිනම් ලංකාවේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ඕනෑ. නමුත් තවමත් ඒක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව කලින් ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ඒ විදිහටම නොලැබීම. ඒකට හේතුව දේශපාලන හේතු නිසා පිටරට වල ඉන්න අය සල්ලි එවන්නේ නැතුව සිටීම වගේ සරල දෙයක් නෙමෙයි. හේතුව මම පැහැදිලි කරන්නම්.

ස්ටීව් හැන්කි ගැන දැන් හැමෝම වගේ දන්නවනේ. ඔහු ලංකාවේ උද්ධමනය ගණනය කරන්න ගන්නේ ඩොලරයක කළුකඩ මිල. මේ දත්ත ගන්නේ රුපියල් ගෙවා ක්‍රිප්ටෝ ඇතුළු වෙනත් මුදල් වර්ග මිල දී ගත හැකි වෙබ් අඩවියකින්. පසුගිය පෙබරවාරි මාසය පමණ දක්වා මේ වෙබ් අඩවියේ රුපියල් ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහර විට දවස් ගාණකට එකක්. ගනුදෙනු සිදුවන මිලත් බැංකු වල මිලට ආසන්නයි. 

පෙබරවාරි මාසයේදී පමණ එකවර හදිසි වෙනසක් වෙනවා. දෛනික රුපියල් ගනුදෙනු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනවා. බැංකු වල මිල හා කළුකඩ මිල අතර පරතරයද විශාල ලෙස වැඩි වෙනවා. 

පහත රූප සටහන දිහා බැලුවහම මෙය හොඳින් දකින්න පුළුවන්. දැන් මේ වුනේ කුමක්ද?

විණිමය සමපේක්ෂකයෝ කියලා ජාතියක් ලෝකයේ ඉන්නවා. මේ අය බලාගෙන ඉන්නේ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලින් තමන්ට ලොකු ලාබයක් ගන්න පුළුවන් අවස්ථාවක් එළැඹෙන තුරු. රටක මහ බැංකුවක් පිස්සු කෙලිනවා කියන්නේ ඒ වගේ වාසියක් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ජෝජ් සෝරෝස් ඔය විදිහට වෙලාව බලලා එංගලන්තයේ මහ බැංකුවටත් ගේම දුන්න හැටි අහල ඇතිනේ. 

ලංකාවේ මහ බැංකුව සංචිත විකුණමින් ඩොලරයේ මිල ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එකත්, ඔය වැඩෙන් කොයි වෙලාවක හෝ කෙළවගන්නවා කියන එකත් අපි වගේ මැට්ටන්ට පවා කලින්ම තේරුණ එකේ ඕවා ගැන නිරන්තර අවධානයෙන් ඉන්න විණිමය සමපේක්ෂකයන්ට ඕක මීටර් නොවී තියෙන්නේ නැහැනේ. හැබැයි මේ ගොල්ලෝ හදිස්සි වෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා.

ඔහොම ගිහින් ගිහින් ලංකාවේ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. දැන් කොයි වෙලාවේ හෝ ඩොලර් එක අතාරින්න වෙනවා කියන එක සහසුද්දෙන්ම පේනවා. ඔන්න ඔය වෙලාවේ සමපේක්ෂකයෝ වැඩ පටන් ගන්නවා. බැංකු ඩොලර් වලට රුපියල් 200ක් පමණක් ගෙවද්දී ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයට රුපියල් 240-260 වගේ ගණන් දීලා ඒ ඩොලර් මිල දී ගන්නවා. මේ විදිහට වැඩි මිලට ඩොලර් මිල දී ගන්නවා කියන්නේ අඩු මිලට රුපියල් විකුණනවා කියන එක. හැබැයි විකුණන්නේ නැති රුපියල්. ඉංග්‍රීසියෙන් කිවුවොත් රුපියල් ෂෝර්ට් සෙල් කරනවා.

මේ වැඩේ අවදානම් වැඩක්. හැබැයි ඔය වගේ වැඩ වලට අතගහන්නේ පළපුරුද්දක් තිබෙන අය. ඒ එක්කම ලංකාවේ රුපියලේ අපේක්ෂිත කඩා වැටීම, උද්ධමනය ආදිය තිබෙනවාටත් වඩා අතිශයෝක්තියට නංවලා මිනිස්සු බය කළාම ලංකාව ඇතුළේ රුපියල් ඉල්ලුම පහළ ගිහින් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ඩොලරයකට විශාල මුදලක් ගෙවන්න සූදානම් වන වාතාවරණයක් හැදෙනවා. ඊට පස්සේ අතින් සල්ලි යට නොකරම ලාබ එකතු කරන්න පටන් ගන්න පුළුවන්. 

ලංකාවට එවන්න ඉන්න ඩොලරයක් රුපියල් 240ට අරගෙන ගෙදර අයට ඒ සල්ලි දෙන්න පොරොන්දු වුනා කියමු. අනෙක් පැත්තෙන් ඒ ඩොලර් එක රුපියල් 260ට ලංකාවේම කාට හරි විකුණලා අවශ්‍ය රුපියල් ටික එකතු කරගන්න ගමන් ලාබෙකුත් තියා ගන්නවා. ඔය වැඩේ දිගටම කරද්දී එකතු වන රුපියල් ලාබ ටිකත් ඔය ක්‍රමයෙන්ම ඩොලර් කර ගන්න පුළුවන්, අන්තිමේදී සල්ලි යට නොකරම ඩොලර් වලින්ම විශාල ලාබයක් ලැබිලා. විණිමය සමපේක්ෂණය කියන්නේ ඔය වගේ වැඩක්. 

මම හිතන විදිහට මේක ලංකාවට එන ශ්‍රමික ප්‍රේෂණ නොලැබී යන්න ප්‍රධානම හේතුවක්. විණිමය සමපේක්ෂකයා විසින් තමන්ට ලාබ හොයන්න කරන අතරමැදි ක්‍රියාවලිය හරහා ශ්‍රමික ප්‍රේෂණ ලංකාවට නොපැමිණ රටින් පිට නවතිනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අතේ රුපියල් තියෙන අය ඒ රුපියල් ක්‍රිප්ටෝ වලට හැරවීම සඳහා හෝ ඩොලර් වලට හැරවීම සඳහා සමපේක්ෂකයා හරහා මේ ඩොලර් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය වෙන්නේ ලංකාවේ ඉන්න අතේ රුපියල් වත්කම් තිබෙන බොහෝ දෙනෙක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටෙයි කියා තිබෙන බය නිසා. ඒ බය නැත්නම් ඒ අය වැඩි මිලක් දීලා ක්‍රිප්ටෝ මිල දී ගන්නේ නැහැ. එහෙම ඩොලර් හෝ ක්‍රිප්ටෝ ගන්න කෙනෙක් නැත්නම් විණිමය සමපේක්ෂකයන්ට ක්‍රියාත්මක වී රුපියල් ෂෝට්සෙල් කිරීමෙන් ලාබ ගන්නත් බැහැ. 

පෙබරවාරි මාසයේදී විතර විණිමය සමපේක්ෂකයෝ ලංකාවේ රුපියලට ඇටෑක් කරනවා. එහෙම කරලා පෙබරවාරි අවසානය වෙද්දී ඩොලරයක කළු කඩ මිල රුපියල් 270 පමණ දක්වා ඉහළ දමනවා. මේක කරන්නේ ගණන් හදලා. රුපියල් 270 කියන්නේ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව බැලුවොත් (ආසන්න වශයෙන්) රුපියල තිබිය යුතු මිල. මේ විදිහට කළුකඩ මිල එහි "නියම මිල" දක්වා ඉහළ යාමෙන් පසුව මහ බැංකුවට රුපියල අත නොහැර බැරි වෙනවා. 

මේ වගේ වැඩක් කලින්ම කළානම් මහ බැංකුව වැඩිපුර සංචිත ටිකක් විකුණලා රුපියලේ පාලනය අතට ගන්නවා. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්න පෙබරවාරි වනකම් බලා ඉන්නේ ඒ නිසා. විණිමය සමපේක්ෂකයන්ගේ සාමාන්‍ය උපාය මාර්ගය වන්නේ හොඳටම දුර්වල වෙනකම් ඉඳලා එක පාරෙන් නොකවුට් කරන එක. 

සමපේක්ෂකයින් ක්‍රියාත්මක වුනේ නැත්නම් ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ටමකට යාමෙන් පසුව මිල ස්ථාවර විය යුතුව තිබුණා. නමුත් සමපේක්ෂකයින් විසින් ශ්‍රමික ප්‍රේෂණ එවන අයට රුපියල් ෂෝට් සෙල් කරමින් රුපියලේ පාලනය අතට ගත්තා. ඉන්පසුව දවසකට දෙකකට වරක් ඩොලරය රුපියල් පහකින් දහයකින් වැඩි වෙන්න පටන්ගත්තා. මහ බැංකුවට සංචිත මුදා හැරීම හරහා තත්ත්වය පාලනය කිරීමට ඉඩක් ඉතිරි වී තිබුණේ නැහැ. 

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයක මිල කීයට ගියත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ නැහැ. මිල ඉහළ යාමේදී ආනයන ඉල්ලුම ආදිය පහළ යනවා වුවත් එක් සීමාවකින් පසුව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉන්ධන, ආහාර, ඖෂධ ආදිය මිල වැඩි කිරීමෙන් පමණක් ලොකුවට සීමා කරන්න බැහැ. ඒ නිසා, ඩොලරයක මිල 360 දක්වා ඉහළ ගියාට පස්සේ එම මිල තවදුරටත් ඉහළ යන්න දීමෙන් ඩොලර් ඉල්ලුම විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල දවසින් දවස ඉහළ යද්දී ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා, තවදුරටත් දිගින් දිගටම මිල ඉහළ යන්න දෙනවා වෙනුවට මිල මාර්ගෝපදේශනය ඇතුළු තවත් ක්‍රියාමාර්ග හරහා සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන්න උත්සාහ දැරීම හොඳ ප්‍රවේශයක්. 

රූප සටහන දිහා බැලුවහම මේ කරුණ තහවුරු වෙනවා. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගන්න කියලා බැංකු වලට කියලා නැහැ. දවසක් ඇතුළත මිල ඉහළ දැමිය හැකි ප්‍රමාණය පමණයි සීමා කරලා තිබෙන්නේ. නමුත් මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ මේ මිල සම්බන්ධව බැංකු වලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. හැබැයි මහ බැංකුව විසින් නොනිල ලෙස බැංකු වල විණිමය අනුපාතය පාලනය කරනවාද කියලා අපි දන්නේ නැහැ. එහෙමත් වැඩ වෙනවනේ. 

වැදගත්ම දේ ඒක නෙමෙයි. මොන විදිහෙන් හෝ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව පැහැදිලිව පේනවනේ. මේ මිල නියම මිල නෙමෙයිනම්, නියම මිල වඩා වැඩි මිලක්නම්, ඔහොම කරද්දී ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙන නිසා කළුකඩ මිල ටිකෙන් ටික ඉහළ යා යුතුයිනේ. නමුත් ඇත්තටම වෙමින් තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මහ බැංකුව මේ වැඩේ පටන් ගත් දවසේ ඉඳලා කළුකඩ මිල ටිකෙන් ටික පහළ වැටෙන්න පටන් අරන්. ඒ ඇයි?

සමපේක්ෂකයන්ගේ ගේම් එක වැඩ කරන්නේ දවසින් දවස ඩොලර් එක වැඩි වෙද්දී ඇති වන බය එක්ක. ඔය බයට ලංකිකයෝ කීය හෝ දීලා ඩොලර් ගන්නවා. වැඩේ පාඩුවකුත් නැහැනේ. අද අරන් හෙට ආපහු විකිණුවත් රුපියල් දහයක් විතර වාසියි. රට ඇතුළේ ඔය ඉල්ලුම තියෙන තුරු සමපේක්ෂකයින්ට බය නැතුව රුපියල් ෂෝට් සෙල් කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැඩි මිලක් ගෙවලා ශ්‍රමික ප්‍රේෂණ ටික එකතු කරගන්න පුළුවන්. 

මහ බැංකුවේ තීරණය නිසා දැන් වැඩේ බැක්ෆයර් වෙලා.  රට ඇතුළේ තිබුණු සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම එක පාරටම අඩු වෙලා. ඒ එක්ක කළුකඩ මිල ටිකෙන් ටික පහත වැටෙනවා. මැයි 15 වන විට රුපියල් 442.74 දක්වා ඉහළ ගොස් තිබුණු ඩොලරයක කළුකඩ මිල ඊයේ (ජූනි 2) වෙද්දී රුපියල් 411.06 දක්වා පහත වැටිලා. මහ බැංකුවේ මිල එලෙසම තිබියදී කළුකඩ මිල අඩු වීමෙන් පෙනෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම අඩු වෙමින් තිබෙන බවයි.

මේ අනුව, මහ බැංකුවේ උපක්‍රමය සාර්ථක වී තිබෙන බව පේනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති විට මිල ඉහළ යන්න දීමේ අරමුණ ඉල්ලුම අඩු කර එම පරතරය නැති කිරීමයි. පවතින සුවිශේෂී තත්ත්වය තුළ එය අසීරු වුවත් මහ බැංකුව විසින් වෙනත් ක්‍රමයකින් ඩොලර් ඉල්ලුම අඩු කිරීමට සමත් වී තිබෙනවා.

එහෙමනම් මේ වැඩේ කරන්න ඩොලරයක මිල රුපියල් 360 වන තුරු හිටියේ ඇයි? ඔය වැඩේ කලින්ම කරන්න තිබුණනේ?

එහෙම කරන්න බැහැ. මේක මහ බැංකුව සහ විණිමය සමපේක්ෂකයින් අතර ගේම් එකක්. මහ බැංකුව ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ එය තිබිය යුතු නියම මිල ඊට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව තිබියදී. තමන් කරන වැඩේ "වැරැද්දක්" තිබෙන බව ඒ වෙලාවේ මහ බැංකුව දැනගෙනයි ඉන්නේ. විණිමය සමපේක්ෂකයින් විසින් ඇඟිල්ලෙන් ඇනලා මහ බැංකුව හෙළුවෙන් බව පෙන්නූ  වහාම මහ බැංකුවට විලි වහගන්න සිදු වුනේ ඒ නිසා.

දැන් තත්වය හරියටම අනෙක් පැත්ත. ඩොලරයක මිල රුපියල් 360ක් කියන්නේ ඕනෑවට වඩා වැඩි මිලක් බව සමපේක්ෂයෝ දන්නවා. මහ බැංකුව විසින් දැන් ඒ බව ඔවුන්ට පෙන්වා දී තිබෙනවා. මිල රුපියල් 300 පමණ මට්ටමක තියෙද්දී ඔය වැඩේම කළානම් බොහෝ විට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඔය වගේ වැඩකින් ප්‍රතිඵලයක් ලැබෙන්නනම් ඩොලරයක මිල දැන් තිබෙන මිලට වඩා අඩු විය යුතු බව මහ බැංකුව විතරක් හිතලා හරියන්නේ නැහැ. අනෙක් පැත්තේ ඉන්න විණිමය සමපේක්ෂයින් විසින්ද ඒ විදිහටම හිතන්න ඕනෑ. ඔවුන් හිතන්නේ තව දුරටත් මිල වැඩි විය යුතු බවනම් වැඩේ බැක්ෆයර් වෙනවා.

මහ බැංකුව පැත්තෙන් ගත් තීරණය තරමක් අවදානම් තීරණයක්. නමුත් ප්‍රතිඵල වලින් පෙනෙන්නේ මහ බැංකුවේ විනිශ්චය නිවැරදි බවයි. 

Monday, May 16, 2022

අලුත් විණිමය ප්‍රතිපත්තිය කුමක්ද?


කිහිප දෙනෙක් විසින්ම ලංකාවේ දැන් ක්‍රියාත්මක වන විණිමය ප්‍රතිපත්තිය ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටියා. මම පොදුවේ විණිමය ප්‍රතිපත්ති ප්‍රවර්ග ගැන විස්තරයක් කරන්නම්. මෙය කලිනුත් විස්තර කර තිබෙන නිසා ඇතැම් කොටසක් කෙළින්ම පැරණි ලිපියකින් උපුටා ගන්නවා.

1. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (clean float)

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) යටතේ විණිමය අනුපාතය (ඩොලරයක මිල) තනිකරම තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. බටහිර රටවල තිබෙන්නේ මෙවැනි ක්‍රමයක්. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ කිසිදු විටෙක රටේ ඩොලර් හිඟයක් හෝ ඩොලර් අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ. නිල සංචිත විශාල ලෙස එකතු වීමක් වෙන්නෙත් නැහැ. එසේ සංචිත නොතිබීම ඒ හේතුව නිසාම රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එහෙත්, මෙවැනි ක්‍රමයක් යටතේ ලංකාව වැනි කුඩා හා පටු ආර්ථිකයක් ඇති රටක විණිමය අනුපාතය කෙටි කාලාන්තර තුළ රටට ඔරොත්තු නොදෙන සේ විචලනය විය හැකියි.

2. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (dirty float)

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදීද (dirty float) විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වුවත්, මහ බැංකුව විසින් විටෙක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම හා තවත් විටෙක එම සංචිත විකුණා වෙළඳපොළට ඩොලර් මුදා හැරීම හරහා වෙළඳපොළ සැපයුම පාලනය කරනවා. ඒ හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව වෙනස් කර වක්‍ර ලෙස ඩොලරයක මිල පාලනය කරනවා. 2001 වසරේ සිට නිල වශයෙන් ලංකාවේ තිබුණේ මේ ක්‍රමයයි. මැදිහත් වීම් කරන්නේ විචලනයන් පාලනය කිරීමට පමණක්නම්, මිල පාලනයක් කෙරෙන්නේ නැත්නම්, යම් නිශ්චිත සංචිත ප්‍රමාණයක් නඩත්තු කරමින් මේ ක්‍රමය පවත්වා ගෙන යා හැකියි. ආසන්න වශයෙන් වෙළඳපොළෙන් මිල දී ගන්නා හා විකුණන ඩොලර් ප්‍රමාණ සමානයි. ඒ නිසා, කෙටි කාලයකදී සංචිත අඩු වැඩි වුවත් දිගුකාලීනව සංචිත ලොකුවට වෙනස් වෙන්නේ නැහැ.

3. ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Fixed exchange rate system)

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි කිසියම් වෙනත් විදේශ මුදලකට (උදාහරණයක් ලෙස ඇමරිකන් ඩොලරයට) සාපේක්ෂව "තිබිය යුතු" විණිමය අනුපාතය තීරණය කරනවා. මෙය හරියටම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන විණිමය අනුපාතය වීම සිදු නොවිය හැකි තරමේ අහම්බයක් පමණක් නිසා, මෙහි ප්‍රතිඵලය ලෙස රට තුළ ඩොලර් අතිරික්තයක් හෝ හිඟයක් ඇති වෙනවා. ඩොලර් අතිරික්තයක් ඇති වූ විට එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීමටත්, ඩොලර් හිඟයක් ඇති වූ විට සංචිත විකිණීමටත් සිදු වෙනවා. 1977 දක්වා ලංකාවේ තිබුණේ මෙවැනි ක්‍රමයක්. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මේ ක්‍රමයේදී මිල දී ගැනීම් හා විකිණීම් සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම වෙළඳපොළ මිලට වඩා පහළින් මිල පවත්වා ගත්තොත් සංචිත දිගින් දිගටම විකිණීම නිසා සංචිත අවසන් විය හැකියි. එවිට, ආනයන පාලනය වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. එසේ නැත්නම් "තිබිය යුතු" විණිමය අනුපාතය වෙනස් කරන්න සිදු වෙනවා. ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා ගැනීමට උත්සාහ කිරීමේදී සංචිත හිඳී ගියේ මේ ක්‍රමය තුළයි. 

4. ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Crawling Peg)

සිංහල වචනය මගේ වචනයක්. වෙනත් නිවැරදි සිංහල වචනයක් තිබිය හැකියි. මෙහිදීද ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි විණිමය අනුපාතය තීරණය කර දැනුම් දෙන නමුත් එය ස්ථිරව එකම මට්ටමේ තියන්නේ නැහැ. කාලයත් සමඟ විණිමය අනුපාතය වෙනස් විය යුතු ආකාරයද කලින්ම තීරණය කර දැනුම් දෙනවා. උදාහරණයක් ලෙස ඩොලරයක මිල දිනපතා හරියටම රුපියල බැගින් ඉහළ යවන බව කලින් දැනුම් දෙන්න පුළුවන්. බොහෝ විට රටක් මේ ක්‍රමය තෝරා ගන්නේ ගෙවුම් ශේෂ අර්බුදයකින් ගොඩයාමේ සැලසුමක කොටසක් ලෙසයි. රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටි ඩොලරයේ මිල නිදහස් කරන අවස්ථාවේදී මගේ නිර්දේශය වූයේ මේ ක්‍රමයයි.

5. ලංකාවේ අලුත්ම ක්‍රමය (Trading band)

මෙය පාවෙන විණිමය අනුපාත ක්‍රමය පවත්වා ගන්නා අතරම මිල යම් ආකාරයකින් නියාමනය කිරීමක්. මෙහිදී ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යාමට ඉඩ ඇතත්, ඒ නිශ්චිත සීමාවක් තුළ පමණයි. ඊට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ඩොලර් ගනුදෙනු කළ නොහැකියි. මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයක හා ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක සම්මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි. මෙහිදී ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මහ බැංකුව විසින් අභිමතය පරිදි ඩොලරයක මිල තීරණය කරන්නේ නැහැ. එහෙත්, උපරිම හා අවම මිලක් නියම කරනවා. වෙළඳපොළ මිල මේ උපරිම මිල හා අවම මිල අතර මිලක්නම් මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයකින් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එහෙත් දිනපතාම ඩොලරයක මිල මහ බැංකුව විසින් දැනුම් දෙන උපරිම (හෝ අවම) සීමාව දක්වා ගොස් නවතිනවානම් එය තවදුරටත් පාවෙන විණිමය අනුපාතයක් සේ සලකන්න බැහැ. එහිදී මෙය ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකට සෑහෙන තරමකින් සමාන වෙනවා. ඒ එවිට දෛනිකව මිල තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදි මිස වෙළදපොළ විසින් නොවන නිසා. 

ලංකාවේ දැන් පවතින තත්ත්වය තුළ මේ ක්‍රමය පරීක්ෂාවට ලක් කිරීම හොඳ තීරණයක් කියා මම හිතනවා. මා පෙර නිර්දේශ කළ ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට සාපේක්ෂව මේ ක්‍රමය වෙළඳපොළ මත වඩා පදනම් වූ ක්‍රමයක්. පහුගිය කාලයේ ඇතැම් දින වල ඩොලරයක මිල රුපියල් 10කින් පමණ ඉහළ ගියේ තනිකරම වාගේ සමපේක්ෂණය මතයි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත 2001 වසරට සාපේක්ෂව බැලුවොත් අප්‍රේල් අවසානයේදී ඩොලරයක මිල රුපියල් 282.50ක් පමණ විය යුතුයි. දැන් වෙළඳපොළ මිල ඊට වඩා ගොඩක් වැඩියි. මම කාලයක් තිස්සේ දිගින් දිගටම කිවුවේ අපනයනකරුවන්ට හා ශ්‍රමික ප්‍රේෂණ එවන අයට ලැබිය යුතු නියම මිල නොලැබෙන බවයි. එහෙත් දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. 

පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය තුළ විශාල ඩොලර් හිඟයක් ඇති වී තිබීමද මෙසේ ඩොලරයක මිල ඉහළ යාමට හේතුවක්. එම හිඟය නිසා බැංකු වලට වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් වලින් කොටසක් තමන්ගේ හිඟය පියවා ගැනීම සඳහා  යොදාගත යුතුව තිබෙනවා. වෙළඳපොලෙන් ඩොලර් එකතු කරගෙන මේ හිඟය පියවා ගැනීමෙන් පසුව ඩොලරයක මිල අඩු වීමේ ඉඩක් තිබෙනවා. ඒ වගේම, රජය කෙසේ හෝ ඩොලර් ප්‍රමාණයක් හොයා ගත්තොත් එයින්ද ඩොලරයක මිල අඩු විය හැකියි. මෙවැන්නක් ක්ෂණිකව සිදුවෙනු ඇතැයි මා සිතන්නේ නැතත් මිල නියාමනය කර තිබීම නිසා දෛනිකව ඕනෑවට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම හදිසියේ මිල කඩා වැටීමේ ඉඩකඩද වැලකී තිබෙනවා. 

මේ ක්‍රමයට වෙළඳපොළ හැඩ ගැසෙන්නේ කොහොමද කියන එක ඉදිරි සතියේදී බලාගත හැකි වෙයි. එක්කෝ රුපියල් 360 මට්ටම ආසන්නව මිල ස්ථාවර වෙයි. එසේ නැත්නම් දෛනිකව රුපියල් 2කින් පමණ බැගින් මිල ඉහළ යයි. කලින් මෙන් දවසකට රුපියල් 5-10කින් මිල ඉහළ යාමනම් සිදුවන එකක් නැහැ. 

Saturday, May 14, 2022

ඩොලර් එකට වෙන්න යන දේ


පෙර ලිපියෙහි අනුමාන කළ මහ බැංකු තීරණය හා අදාළ නිල නිවේදනය හොයා ගත හැකි වුනා. මහ බැංකුව විසින් වාණිජ බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කර ඇති 2022 මැයි 12 දාතම දරන හා අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් අනුව 2022 මැයි 13 දින සිට මහ බැංකුව විසින් වාණිජ බැංකු වල තැන් ගනුදෙනු (spot transactions) එක්තරා ආකාරයක නියාමනයකට ලක් කරනවා. මෙහිදී සිදුවන්නේ අදාළ ගනුදෙනු සිදුවිය යුතු උපරිම හා අවම සීමාවක් නියම කිරීමයි.

මීට පෙර මහ බැංකු අධිපති ධුරය දැරූ කබ්රාල්ගේ සයමාසික සැලැස්ම තුළද මෙවැනි දෙයක් සිදු වුනා. එය පවතින අර්බුදයටද හේතු වුනා.  දැන් සිදු වෙන්න යන්නේත් එවැන්නක්ද?

මෙය එවැන්නක් මෙන් පෙනුනත් එවැන්නක්ම නෙමෙයි. වෙනස මේකයි. කලින් වාරයේද මෙවැනිම උපරිම හා අවම සීමා නියම කිරීමක් (විධිමත් හෝ අවිධිමත් ආකාරයෙන්) සිදු වුනත් අදාළ සීමා නියම කෙරුණේ හිතුමතේට, පුද්ගල විනිශ්චයන් මතයි. එහෙත්, මෙවර මෙම සීමා නියම කෙරෙන්නේ එසේ කාගෙවත් හිතු මනාපෙට නෙමෙයි. වෙළඳපොළ මත පදනම්වයි.

මේ අනුව, එක් එක් දිනයේ සිදුවන අන්තර්බැංකු තැන් ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය මහ බැංකුව විසින් ගණනය කරනවා. මේ ගණනය කිරීම අලුත් දෙයක් නෙමෙයි. මහ බැංකුව විණිමය අනුපාතය ලෙස දිනපතා ප්‍රසිද්ධ කරන්නේ මෙම අගයයි. මේ අගය වෙළඳපොළ මත තීරණය වන්නක්. දැන් සිදුවන අලුත් වෙනස වන්නේ ඕනෑම දිනක අන්තර්බැංකු තැන් ගනුදෙනු සිදු කළ හැකි මිල මෙසේ මහ බැංකුව විසින් නිවේදනය කරන පෙර දින පැවති සාමාන්‍ය මිලෙන් වෙනස් විය හැක්කේ නිශ්චිත සීමාවක් තුළ පමණක් වීමයි.

මෙහිදී සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීමක්. එහෙත්, වෙළඳපොළ සංඥාව මග හැර යාමක් සිදු වන්නේ නැහැ. අවිනිශ්චිතතාවය අඩු කිරීමක් පමණක් සිදු වෙනවා. ඕනෑම දවසක ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම අනුව ඉහළ හෝ පහළ යා හැකියි. එහෙත්, එසේ ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාවක් තිබෙනවා. ඒ නිසා, ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට හා අනෙකුත් අයට ඩොලරයේ මිල වෙනස් වීම ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.

ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් වල බලපෑම තීරණය වන්නේ මහ බැංකුව විසින් නිවේදනය කරන විචල්‍යතා සීමාව මතයි. පෙර දින බරිත සාමාන්‍ය තැන් මිල තීරණය වන්නේ මහ බැංකුවෙන් ස්වායත්ත ලෙස තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත වුවත්, විචල්‍යතා සීමාව තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය මතයි. එය තීරණය කරන ආකාරය ඉහත කී අංක 33/04/12/0012/004 දරන මෙහෙයුම් උපදෙස් මාලාවේ නැහැ.

ඉන් පසුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2022 මැයි 13 දාතම දරන හා අංක 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අපට වෙනත් මූලාශ්‍රයකින් ලැබී තිබෙනවා. මහ බැංකු වෙබ් අඩවියෙන් මෙහි මුල් පිටපතක් සොයා ගත නොහැකි වුවත්, පෙනෙන ආකාරයට මෙය සැබෑ ලේඛණයක් කියා සිතිය හැකියි. එය පදනම් වන්නේ පෙර දින නිකුත් කළ මෙහෙයුම් උපදෙස් මතයි.

දෙවනු කී 33/04/12/0012/005 දරන මෙහෙයුම් උපදෙස් අනුව අන්තර්බැංකු තැන් අනුපාතය පෙර දින පැවති අනුපාතය වූ රුපියල් 360 සිට අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. මෙම සීමාව ගණනය කළ ආකාරය පැහැදිලි නැහැ. කෙසේ වුවද, මෙම මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලරයක තැන් මිල පෙර දින පැවති රුපියල් 360 මට්ටමේම ස්ථාවර වී තිබෙනවා. මහ බැංකු උපදෙස් නොකඩමින් රුපියල් 362.60 දක්වා මිලකට ඩොලර් අලෙවි කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ.

මගේ පෙර ලිපියෙහි මා අනුමාන කළ අයුරින් පාරිභෝගිකයන්ට ඩොලර් විකිණිය යුතු හා ඔවුන්ගෙන් ඩොලර් මිල දී ගත යුතු මිල මහ බැංකුව විසින් සෘජුව තීරණය කර නැහැ. සීමා පනවා ඇත්තේ තැන් අනුපාතිකයටයි. කෙසේ වුවත්, මහ බැංකුවේ මේ තීරණයෙන් අනතුරුව විකුණුම් මිල තැන් මිලට වඩා ආසන්න වශයෙන් රුපියල් 5ක් වැඩියෙනුත් ගැනුම් මිල ආසන්න වශයෙන් රුපියල් 5ක් අඩුවෙනුත් ස්ථාවර වී තිබෙනවා. 

පවතින තත්ත්වය තුළ, මේ තීරණය නරක එකක් ලෙස මා දකින්නේ නැහැ. මෙහිදී සිදු වන පළමු දෙය විවිධ බැංකු අතර විණිමය අනුපාතයේ තිබෙන වෙනස්කම් අවම වීමයි. එවැනි ස්ථාවරත්වයක් තිබීම කාට වුවත් හොඳයි. දෙවැනි ප්‍රතිඵලය හෙට ඩොලරය කීයක් වෙයිද කියන අවිනිශ්චිතතාවය අවම වීමයි. ඒ හැර, මේ තීරණයෙන් ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාම වලක්වා නැහැ. 

තවමත් අවිනිශ්චිත කරුණකට තිබෙන්නේ මහ බැංකුව විසින් විචල්‍යතා සීමාව තීරණය කරන්න යන්නේ කොහොමද කියන එකයි. ලබන සතිය තුළ මෙයද දැන ගන්න ලැබෙයි. 

දැනට පෙනෙන්නට තිබෙන රුපියල් 2.60 දිනකට ඩොලරයක මිල ඉහළ යා හැකි උපරිම ප්‍රමාණය සේ සැලකුවත්, මේ හරහා ලැබෙන යහපත් ප්රතිඵල ගණනාවක් තිබෙනවා. අපනයනකරුවෙකුට දැන් වඩා පහසුවෙන් තමන් අතේ තිබෙන ඩොලර් විකුණනවාද තියා ගෙන ඉන්නවාද කියන තීරණය ගන්න පුළුවන්. ඒ වගේම ආනයනකරුවන්ට තමන් ඩොලරයකට ගෙවිය යුතු සාධාරණ මුදල පිළිබඳව වඩා නිවැරදි තක්සේරුවකට එන්න පුළුවන්. මූල්‍ය වෙළඳපොළකට අවශ්‍යම දෙය ස්ථාවරත්වයයි.

දැනට පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ ඩොලරයක මිල නැවත විශාල ලෙස පහත වැටේයැයි මා හිතන්නේ නැහැ. යම් හෙයකින් එසේ පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති වුනත් මේ තීරණය නිසා එකවර ඩොලරයක මිල කඩා වැටීමේ ඉඩ ඇහිරෙනවා. ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ ටික දවසකට හෝ ස්ථාවර වෙයිද නැත්නම් හෙමින් හෙමින් ඉහළ යයිද කියන එක බලා ගන්න වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර අනුවයි. බොහෝ විට එළැඹෙන සතිය තුළ මේ දිශානතිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි.

Wednesday, March 23, 2022

දෙසිය අනූවේ සිට...


සල්ලි කියන්නේ මොනවාද කියලා විස්තර කරලා ලිපියක් ලියන්න හිටියත් එය පොඩ්ඩක් කල් දැම්මා. එය පසුව ලියන්නම්. අද වන විට ප්‍රධාන පෞද්ගලික බැංකු වල ඩොලරයක මිල රුපියල් 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් බැංකු බොහොමයකත් රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. මෙය කොතැනින් නවතියිද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා.

මහ බැංකුව හා රජය විසින් ඩොලරයක මිල රුපියල් 300 මට්ටම ඉක්මවන්න නොදී නවත්වාගන්න විශාල ඉඩක් තිබෙන නමුත් ඒ මට්ටමේදී රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන එකනම් සිදු වෙන එකක් නැහැ. මෙයට ප්‍රධානම හේතුව රට තුළ දැවැන්ත සමුච්ඡිත ආනයන ඉල්ලුමක් (accumulated import demand) තිබීමයි.

මේ වන විට දෙවසරක පමණ කාලයක් තිස්සේ රටේ ආනයන පාලනය කෙරෙමින් තිබෙනවා. ආනයන පාලනය නිසා, ආනයනය කිරීම් අඩු වුනත් ආනයන ඉල්ලුම අඩු වන්නේ නැහැ. ආරම්භයේදී මේ ඉල්ලුම සැපිරෙන්නේ සමුච්ඡිත තොග (accumulated inventories) වලින්. ගමේ සිල්ලර වෙළඳසැලෙන් පාරිභෝගිකයා වෙත ආනයන භාණ්ඩ ලැබෙන්නට පෙර සිදුවන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අදියර ගණනාවකදී තොග පවත්වා ගැනීමක් සිදු වෙනවා. අවසානයේදී පාරිභෝගිකයාගේ මට්ටමේදීත් තොග නඩත්තු වෙනවා. මගුල් ගෙදරක යන්න තියෙන කෙනෙක් හැම විටම සපත්තු දෙකක් ගන්න කලින් දවස දක්වා ඉන්නේ නැහැ. හැමදාම ගන්න බෙහෙත් ටික මාසයකටවත් කලින් ගන්නවා.

පාරිභෝගිකයාගේ සිට ඉහළට යද්දී, ගමේ සිල්ලර වෙළෙන්දා, ආසන්න නගරයේ තොග වෙළෙන්දා, පිටකොටුවේ තොග වෙළෙන්දා, වරායේ බහලුම් තිබෙන ආනයනකරු, නැවේ ආනයනය කෙරෙමින් තිබෙන බඩු, ඇණවුම් කර ලැබෙන්නට නියමිත බඩු ආදී වශයෙන් තොග එකතු වන ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ නිසා, ආනයන තහනම් කිරීමෙන් පසුව පාරිභෝගිකයාට එකවර භාණ්ඩ හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ දාමයේ ඉහළ සිට පහළ දක්වා තිබෙන තොග ක්‍රමයෙන් හිස් වෙද්දී අවශ්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරෙනවා. හැබැයි අවුරුදු දෙකක් යද්දී ඔය සමස්ත දාමයේම තොග අවසන් වෙලා. 

දැන් නැවත ආනයන සඳහා නිදහසේ ඩොලර් නිකුත් කළොත් පාරිභෝගිකයාගේ සාමාන්‍ය ආනයන ඉල්ලුම පමණක් සම්පූර්ණ වෙලා වැඩේ නවතින්නේ නැහැ. කාලයක් තිස්සේ හිස් වූ තොග එකතු නැවත පිරෙන්න ඕනෑ. මිල ඉහළ යාම නිසා පාරිභෝගික මට්ටමේදී ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන නමුත් තොග එකතු පිරෙන තුරු (backlog) එක වර ඇති වන (one-off) විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. නමුත්, අනෙක් පැත්තෙන් එවැනි තත්ත්වයක් නැහැ. ලංකාවේ අපනයන වෙනුවෙන් එසේ සමුච්ඡිත ඉල්ලුමක් ගොඩ නැගී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් එසේ සමුච්ඡනය වූ ඩොලර් ප්‍රමාණයක් එකවර රටට ලැබෙයි. 

ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයි. ඒක කොහොමටත් වෙන දෙයක්. හැබැයි ඒ මිල කීයටවත් රුපියල් 300 වැනි පහළ මට්ටමක් නෙමෙයි. 

ඩොලරය රුපියල් 300 වැනි මට්ටමක ස්ථාවර කර ගැනීම අසීරු වෙන්න තවත් නිශ්චිත හා පැහැදිලි හේතුවක් තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය මුළු සංචිත මුදල් ප්‍රමාණයට සමාන වන තුරු ඩොලරයේ මිල ඉහළ යනවා. එහෙම නැතුව අවුරුද්දක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ රුපියලේ දිගුකාලීන ස්ථායීතාවය තීරණය වෙන්නේ ඔය මූලධර්මය අනුවයි. 

මේ වෙද්දී (මාර්තු 16) සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370ක්. ඔය ගණන 300න් බෙදුවොත්, ඩොලර් බිලියන 4.5ක් පමණ. ඒ කියන්නේ, දිගුකාලීනව ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක මට්ටමට යා යුතුයි. නමුත් දැන් කලක සිටම ලංකාවේ මහ බැංකුව බංකොලොත්. මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 2ක පමණ හිඟයක්. 

පහත තිබෙන්නේ පසුගිය වසර මැද පළ කළ ලිපියක්. 

මහ බැංකුව බංකොලොත්ද?

ඒ කියන්නේ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 6.5ක් පමණ එකතු කර ගන්න වෙනවා කියන එකයි. ඩොලරය රුපියල් 400 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා වුවත් මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 5.4ක් පමණ එකතු කර ගත යුතුයි. දැනට තිබෙන තත්ත්වය අනුව, මේ වගේ දෙයක් හදිසියේ සිදු විය හැකි එකම ක්‍රමය IMF එකෙන් ඩොලර් බිලියන 5ක පමණ ණයක් ලැබෙන එක පමණයි. 

පොලී අනුපාතික අනිවාර්යයයෙන්ම ඉහළ දැමිය යුතුයි වගේම එයින් සැලකිය යුතු වාසියක් ලැබෙයි. එහෙත්, පොලී අනුපාතික 30-40% මට්ටමකට ඉහළ දමන එක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයිනේ. එසේ කිරීමෙන් සිදුවන අතුරු ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තියක් මේ වෙලාවේ ආණ්ඩුවට නැහැ. පොලී අනුපාතික යම් තරමකින් හෝ වැඩි කිරීමෙන් (15% පමණ මට්ටමකට) කිසියම් සහනයක් ලැබෙනු ඇති නමුත් එවැනි වැඩි කිරීමකින් ඩොලරය ස්ථාවර වෙන එකනම් සිදුවන එකක් නැහැ. එසේ වුවත්, මෙය අනිවාර්යයෙන්ම කරන්න සිදු වන දෙයක් නිසා එකවර වෙළඳපොළ කම්පනය නොකර දැන්ම වැඩේ පටන් ගන්න එකයි කළ යුත්තේ. 

දැන් ඩොලරය ස්ථාවර කළ හැකි එකම දෙය IMF එකෙන් ලැබෙන මුදල, ලැබෙන දිනය හා අදාළ වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත නිවේදනයක් පමණයි. එය IMF එක පැත්තෙන් හෝ එකවර දෙපැත්තෙන්ම පැමිණිය යුතුයි. එය සිදු වන තුරු ඩොලරය ඉහළ යන එක නැවැත්තුවොත් මිසක් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී නවතින්නේ නැහැ. ඩොලරයේ මිල ස්ථාවර වීම කෙසේ වුවත් ස්ථාවර කිරීමක් මේ සතිය අවසාන වෙද්දී වෙයි කියා මට හිතෙනවා. ඇතැම් විට ලබන සතියේ. 

Friday, March 18, 2022

බලු පූට්ටුවෙන් මිදිය යුතු ඇයි?


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කිරීමෙන් පසුව විණිමය අනුපාතයේ යම් ස්ථාවර වීමක් පෙනෙන්නට තිබෙනවා. සතිය අවසන් වෙද්දී, සම්පත් බැංකුවේ හා DFCC බැංකුවේ ඩොලරයක විකිණුම් මිල රුපියල් 280යි. සෙලාන් බැංකුවේ 277.50යි. NDB බැංකුවේ හා HSBCහි රුපියල් 276යි. රාජ්‍ය බැංකු දෙකේ සහ තවත් බැංකු ගණනාවක මෙම මිල තවමත් රුපියල් 275 සීමාවේ රැඳී තිබෙනවා. 

මා ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යා යුතු බවත්, එසේ නොකරන තාක් කල් ලංකාව විසින් කරන්නේ වැටී සිටින වල තව තවත් හාරා ගැනීමක් බවත් දිගින් දිගටම කියූ අයෙක්. පසුගිය කාලයට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව පැවති කාලය තුළ රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වුනා. එම වකවානු වලදී ඩොලරයේ මිල ඉහළ යාම ගැන ආණ්ඩුවට චෝදනා කළ අය ඕනෑ තරම් හිටියත්, ඩොලරයක මිල තවදුරටත් ඉහළ යා යුතු බව කරුණු සහිතව පෙන්වා දෙමින්, සෘජුව ප්‍රකාශ කළ අය නොසිටි තරම්. 

මා පහත සබැඳි මෙහි පළ කරන්නේ "ඔන්න බලන්න. අපි මේ ටික කලින්ම කිවුවා!" කියා පෙන්වන්න නෙමෙයි. ඩොලරයක මිල ඉහළ යා යුත්තේ ඇයි කියා පැහැදිලි කරමින් එම ලිපි වල ලියා තිබෙන කරුණු හැමදාටම වලංගු බැවින් එම කරුණු නැවත නැවත ලියා ලිපි දිග් ගැස්සිය නොහැකි නිසා. 


2016 මාර්තු 

එකසිය පණහයි! ලාබයි!!


2018 අප්‍රේල් 

එකසිය හැටයි! ලාබයි!!


2018 සැප්තැම්බර් 

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


"ඉකොනොමැට්ටාගේ බොජුන්හල" වියුණුවේ (bojunhala.economatta.com හෝ economatta. blogspot.com) විශාල ලිපි ප්‍රමාණයක් ඇතත්, එම ලිපි වලට යා හැකි සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. වත්පොතේ සබැඳි පළ කළ හැක්කේ සතපහ වියුණුවේ (sathapaha.economatta.com හෝ emgesathapaha.blogspot.com) පළ කර තිබෙන ලිපි වලට යාමට  පමණයි. එහෙත් අවශ්‍යනම් බොජුන්හල වියුණුවේ පළ කර තිබෙන පැරණි ලිපි වල පිටපත් වරින් වර යාවත්කාලීන කෙරෙන ඡායා වියුණුවකට (2.economatta.com හෝ econometta.blogspot.com) වත්පොතේ සිට යා හැකියි.  

මෙය වත්පොතෙන් කියවන අයට මතු විය හැකි අතුරු ප්‍රශ්න බොහොමයකට විස්තරාත්මක පිළිතුරු සහිත ලිපි විශාල ප්‍රමාණයක් බොජුන්හල වියුණුවේ තිබෙනවා. එම ලිපි වලට සබැඳි වත්පොතේ පළ කළ නොහැකියි. 

කෙසේ වුවද, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කර තියා ගනිමින් පසුගිය වසර තුළ ආණ්ඩුව නා ගත්තා. පැවති තත්ත්වය 2021 දෙසැම්බර් 10 දින පළ කළ "ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව" ලිපිය අවසානයේදී ඉකොනොමැට්ටා විසින් විග්‍රහ කර තිබුණේ මේ විදිහටයි.

"දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ... ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!"

ඒ අවලස්සන දේවල් දැන්නම් කාටත් පේනවා. කොණ්ඩ රැවුල් පාට කරලා, හමේ රැළි වහලා ලස්සනට ඉන්න කෙනෙකුගේ වකුගඩු කොයි තරම් නරක් වෙලාද කියලා ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් දැන ගන්නේ ශරීරය විවෘත කරන්න ගොඩක් කලින්. කපලා බලලා ඒ තීරණය ගන්නේ නැහැ. දැනටම වෙලා තියෙන නමුත් බොහෝ දෙනෙකුට නොපෙනෙන දේවල් වගේම වෙන්න තිබෙන දේවලුත් දැන ගන්න ඒ දේවල් ඇස් දෙකට පේන තුරු ඉන්න අවශ්‍ය නැහැ. ආර්ථික විද්‍යාව කියා නිශ්චිත විද්‍යාවක් තියෙන්නේ ඒකට. 

නිශ්චිත කියා කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් විග්‍රහ කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා කියන එක මිසක් නිශ්චිත සංඛ්‍යාත්මක පිළිතුරු හොයා ගන්නවා කියන එක නෙමෙයි. ආර්ථිකයක් ක්‍රියා කරන සංකීර්ණ ආකාරය උසස් පෙළට භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී වගේ තනි සමීකරණයකට ඌණනය කරලා තේරුම් ගන්න බැහැ. සාධක විශාල ගණනක අන්තර්ක්‍රියාව සමස්තයක් ලෙස තේරුම් ගන්න ඕනෑ. එය පුහුණුවක් අවශ්‍ය වැඩක්. 

කාලයක් තිස්සේම ප්‍රශ්නයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම වන්නේද ඩොලරය අවප්‍රමාණය වන්නට ඉඩ හැරීම බව පුන පුනා කියපු ඉකොනොමැට්ටා පසුගිය මාර්තු 8 වනදා ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ යාමෙන් පසුව කිවුවේ මෙවැන්නක් බවත් අමතක කරන්න එපා.

"දිගුකාලීන ස්ථිර විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත්, එය මේ වෙලාවේ ක්ෂණිකව කරන්නට යාම භයානක දෙයක්. ... දැන් තත්ත්වය යටතේ රුපියල පා කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සමාන්තරව පමණයි."

දියවැඩියාව තියෙන කෙනෙක් මාසයක් බෙහෙත් නොබී ඉඳලා දිනපතා ගත යුතු වූ මෙට්ෆෝමින් පෙති තිහම එක දවසේ බිව්වොත් වෙන්නේ මොකක්ද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. කොහොම වුවත් දැන් ඩොලරය රුපියල් 275-280 මට්ටමට ගිහින් අවසන් නිසා කරපු මෝඩකම් ගැන කතා කරලා වැඩක් නැහැ.

ඩොලරයේ මිල අවශ්‍ය පරිදි ටිකෙන් ටික ඉහළ යන්න දුන්නානම් මේ වගේ විශාල ආනයන අපනයන පරතරයක් හැදෙන්නේ නැහැ. දැන් ඩොලරය ඉහළ ගියා කියලා එක පාරටම ඒ පරතරය නැති වෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඇස්තමේන්තුව අනුව, ඩොලරය ඉහළ යාමෙන් ඩොලර් බිලියන හතක වාසියක් ලැබෙනවා. මගේ ඇස්තමේන්තුව ඊට වඩා ටිකක් අඩුයි. කොහොම වුනත් ඔය වාසිය ලැබෙන්නේ අවුරුද්දක පමණ කාලයක් ඇතුළතයි. ඒ කාලය ඇතුළතත් තත්ත්වය කළමනාකරණය කර ගත යුතුයි. එය කළ හැක්කේ මොන විදිහකින් හෝ රටේ විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමෙන්ම පමණයි. 

ඩොලරයේ "සැබෑ" මිල තීරණය වන්නේ ලංකාව ඇතුළේ ඩොලර් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි. මේ වෙලාවේ සැපයුමට වඩා ඉල්ලුම ගොඩක් වැඩියි. ඩොලර් හිඟ වී තිබෙන්නේ ඒ නිසා. ඩොලර් සැපයුම බොහෝ දුරට බාහිර සාධක මත තීරණය වන නිසා ලංකාවට ඩොලර් සැපයුම කෙරෙහි විශාල බලපෑමක් කරන්න බැහැ. ඊට සාපේක්ෂව ඩොලර් ඉල්ලුම කෙරෙහි වැඩි බලපෑමක් කළ හැකියි. 

ඩොලර් මිල පහළින් තියාගෙන ආනයන සීමා කළා කියලා ආනයන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ  ඒ නිසා, මේ ක්‍රමය කිසිසේත්ම  ස්ථිරසාර ක්‍රමයක් නෙමෙයි. නමුත්, ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයන ඉල්ලුම පහළ යනවා. එය ස්ථිරසාර ක්‍රමයක්. ඒ වගේම යම් තරමකින් හෝ අපනයන ඉල්ලුමද ඉහළ යනවා. ඒ නිසා, ඩොලරයේ මිල ඉහළ යද්දී රට ඇතුළේ තිබෙන ඉල්ලුම් සැපයුම් පරතරය යම් ප්‍රමාණයකින් පහළ යනවා.

ඉල්ලුම් සැපයුම් පරතරයට හේතු වී තිබෙන්නේ කෘතීම ලෙස පහළින් තබා ගත් ඩොලරයේ මිල වුවත් මේ වන විට මිල ඉහළ දැමීමෙන් පමණක් විසඳිය නොහැකි තරමට ප්‍රශ්නය ඔඩු දුවලා ඉවරයි. දැන් තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඒ ලංකාවෙන් ඩොලර් ආපසු ගෙන යාමේ හැකියාව පිළිබඳ විශ්වාසය පලුළු වීමේ ප්‍රශ්නය. මේ හේතුව නිසා මෙතෙක් පසුව මුදල් ගෙවීමේ පදනම මත බඩු විකිණූ අයෙකු වුවත් අත්පිට ඩොලර් ඉල්ලන්න පෙළඹෙනවා. එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු විසින් සාමාන්‍යයෙන් ගහගෙන යන රෝල ගහගෙන යන්නත් බැරි වෙනවා. ඒ නිසා, දැන් කළ යුත්තේ වහාම මේ විශ්වාසය නැවත ඇති කිරීමයි. 

සියළුම තැන්පත්කරුවන් විසින් තමන්ගේ තැන්පතු මුදල් එකවර ආපසු ඉල්ලා සිටියොත් ලෝකයේ කිසිම බැංකුවකට එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ. එහෙමයි කියලා බැංකු බංකොලොත් වෙන්නේ නැහැ. බැංකුවක් විසින් නිරන්තරයෙන් තැන්පතු ආපසු ගැනීම සඳහා වන ඉල්ලුම පුරෝකථනය කර ඒ සඳහා අවශ්‍ය වන මුදල අතේ තියා ගැනීමට සැලකිලිමත් වෙනවා. මුදල් ආපසු ගැනීම් ඉහළ යද්දී පොලී අනුපාතික ඉහළ දමා එය සීමා කර ගන්නවා. පොලී අනුපාතික වෙනස් වීමට ඉඩ හැරීම මගින් බැංකුවට එන හා බැංකුවෙන් යන මුදල් පාලනය කරනවා. 

එසේ නොකර පොලී අනුපාතික වැඩි නොකර එක තැන තියාගෙන හිටියොත් බැංකුවෙන් එළියට යන තරමට මුදල් බැංකුවට ආපසු නොඑන නිසා බැංකුවේ තිබෙන මුදල් සංචිත ටිකෙන් ටික හිඳෙන්න පටන් ගන්නවා. මෙයට පිළියමක් ලෙස බැංකුවෙන් මුදල් ආපසු ගැනීම සීමා කළොත් වෙන්නේ එම බැංකුව ගැන විශ්වාසය බිඳ වැටී කවුරුවත් සල්ලි දාන්නේ නැති වීමයි. මොකද සල්ලි දාන්න පුළුවන් වුනත් ගන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නැහැ. අර ඉස්සර කතාවක් තිබුණේ ලංකා බැංකුවේ ලාංඡනය සඳහා සුදුසු සංකේතය බලු පූට්ටුව කියලා. පෞද්ගලික බැංකු ව්‍යාප්ත වෙන්න පෙර කාලයේ කතාවක්!

මේ විශ්වාසය නැති වුනාට පස්සේ පොලී අනුපාතික වැඩි කළා කියලත් ප්‍රශ්නය එකවර විසඳෙන්නේ නැහැ. ඒ සඳහා, මුලින්ම බැංකුවේ දාන සල්ලි අවශ්‍ය වෙලාවක ආපසු ලබා ගත හැකි බවට වන විශ්වාසය නැවත තහවුරු කළ යුතු වෙනවා. 

ලංකාවේ ඩොලර් ප්‍රශ්නයත් දැන් තියෙන්නේ මේ වගේ තැනකයි. රටේ විදේශ ණය දිහා බැලුවොත්නම් ඩොලර් බිලියන පණහක් හැටක් තියෙනවා. ඔය ණය ඔක්කොමනම් කොහොමටත් ආපහු ගන්න බැහැනේ. ඒ වුනාට, එහෙම ඔය ණය ඔක්කොම එකවර ආපසු ගෙවන්න අවශ්‍යත් නැහැ. නමුත්, එයින් යම් කොටසක් හැම වසරකම ආපසු ගෙවිය යුතුයි. ගෙවන ප්‍රමාණයට හරියන තරමට ණය දෙන්න අය ඉන්න තුරු වැඩේ අවුලක් නැතුව ඇදගෙන යන්න පුළුවන්. බැංකු කරන්නෙත් ඔය වැඩේමනේ. 

හැබැයි මේක බලු පූට්ටුවක් වෙලා දාන ලේසියට ගන්න බෑ කියලා තේරුණාට පස්සේ කවුරුවත් රටට ඩොලර් ණයට දෙන්න බය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකේ තියෙන වාසිය ණයට ලැබෙන ඩොලර් බිලියන හතර පහ පමණක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණයක් දෙන්නේ දෙන ණය ආපසු ලැබෙන බවට සහතිකයක් ඇත්නම් පමණයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය ගමන්ම අනෙක් අයගේත් බය ඇරෙනවා. වෙන තැනකින් ඔය මුදලම ගත්තා කියලා ඒ විදිහට බය ඇරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වරදින වෙලාවල් තිබුණත් ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. මොකද ඔවුන් ණය දෙන්නේ වසර හතර පහක් දිව යන ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙලකට අදාළ රට එකඟ වීමෙන් පසුවයි. එවැනි වැඩ පිළිවෙලක් හදාගන්න මාස පහක් හයක් යනවා. මොකද මේක විචල්‍ය සිය ගණනක් තිබෙන සමීකරණ සිය ගණනක් එකවර විසඳා සොයා ගත යුතු පිළිතුරක්. උසස් පෙළ බහුවරණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී උඩ දාපු ගලක් බිම වැටෙන වෙලාව හොයා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි.

භෞතික විද්‍යාවෙන් ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු නොලැබෙන බව ඉංජිනේරු විද්‍යාව හදාරපු අය දන්නවා. එහෙම නිශ්චිත පිළිතුරු ලැබෙනවානම් සේෆ්ටි මාජින් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කොයි තරම් සංකීර්ණ ආකෘතියක් හදන්න පුළුවන් වුනත්, හැම වෙලාවෙම සැබෑ ලෝකයේ සිදුවන ක්‍රියාවලිය ආකෘතියකට වඩා සංකීර්ණයි. කොයි තරම් සංකීර්ණ ආකෘතියකට වුවත් මග හැරෙන දේවල් ගණනාවක් තිබෙනවා. ඒකට විසඳුම ආකෘති අත හැරලා සරල කණාපල්ලං විසඳුමකට යන එක නෙමෙයි.

ඉකොනොමැට්ටාගේ ලිපි සාමාන්‍යයෙන් දිගයි. කාලය වැය කරලා මේ ලිපි ලියන්නේ තමන්ගේ කාලය ආයෝජනය කරලා කියවන්න කැමති අය වෙනුවෙන්. වත්පොතේ ඉන්න ගොඩක් අය එවැනි අය නොවන බව මම දන්නවා. ඒ අය කැමැති වොයිස්කට් විග්‍රහ වලට. එහෙම අයට ඉකොනොමැට්ටාගේ ලිපි නොගැලපෙන්න පුළුවන්. සමහර දේවල් බාගෙට දැන ගන්නවාට වඩා නොදැන ඉන්න එක හොඳයි.

වෙබ් ලිපිනය: