වෙබ් ලිපිනය:

Monday, May 16, 2022

අලුත් විණිමය ප්‍රතිපත්තිය කුමක්ද?


කිහිප දෙනෙක් විසින්ම ලංකාවේ දැන් ක්‍රියාත්මක වන විණිමය ප්‍රතිපත්තිය ගැන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටියා. මම පොදුවේ විණිමය ප්‍රතිපත්ති ප්‍රවර්ග ගැන විස්තරයක් කරන්නම්. මෙය කලිනුත් විස්තර කර තිබෙන නිසා ඇතැම් කොටසක් කෙළින්ම පැරණි ලිපියකින් උපුටා ගන්නවා.

1. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (clean float)

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) යටතේ විණිමය අනුපාතය (ඩොලරයක මිල) තනිකරම තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. බටහිර රටවල තිබෙන්නේ මෙවැනි ක්‍රමයක්. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ කිසිදු විටෙක රටේ ඩොලර් හිඟයක් හෝ ඩොලර් අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ. නිල සංචිත විශාල ලෙස එකතු වීමක් වෙන්නෙත් නැහැ. එසේ සංචිත නොතිබීම ඒ හේතුව නිසාම රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එහෙත්, මෙවැනි ක්‍රමයක් යටතේ ලංකාව වැනි කුඩා හා පටු ආර්ථිකයක් ඇති රටක විණිමය අනුපාතය කෙටි කාලාන්තර තුළ රටට ඔරොත්තු නොදෙන සේ විචලනය විය හැකියි.

2. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමය (dirty float)

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදීද (dirty float) විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වුවත්, මහ බැංකුව විසින් විටෙක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම හා තවත් විටෙක එම සංචිත විකුණා වෙළඳපොළට ඩොලර් මුදා හැරීම හරහා වෙළඳපොළ සැපයුම පාලනය කරනවා. ඒ හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව වෙනස් කර වක්‍ර ලෙස ඩොලරයක මිල පාලනය කරනවා. 2001 වසරේ සිට නිල වශයෙන් ලංකාවේ තිබුණේ මේ ක්‍රමයයි. මැදිහත් වීම් කරන්නේ විචලනයන් පාලනය කිරීමට පමණක්නම්, මිල පාලනයක් කෙරෙන්නේ නැත්නම්, යම් නිශ්චිත සංචිත ප්‍රමාණයක් නඩත්තු කරමින් මේ ක්‍රමය පවත්වා ගෙන යා හැකියි. ආසන්න වශයෙන් වෙළඳපොළෙන් මිල දී ගන්නා හා විකුණන ඩොලර් ප්‍රමාණ සමානයි. ඒ නිසා, කෙටි කාලයකදී සංචිත අඩු වැඩි වුවත් දිගුකාලීනව සංචිත ලොකුවට වෙනස් වෙන්නේ නැහැ.

3. ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Fixed exchange rate system)

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි කිසියම් වෙනත් විදේශ මුදලකට (උදාහරණයක් ලෙස ඇමරිකන් ඩොලරයට) සාපේක්ෂව "තිබිය යුතු" විණිමය අනුපාතය තීරණය කරනවා. මෙය හරියටම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන විණිමය අනුපාතය වීම සිදු නොවිය හැකි තරමේ අහම්බයක් පමණක් නිසා, මෙහි ප්‍රතිඵලය ලෙස රට තුළ ඩොලර් අතිරික්තයක් හෝ හිඟයක් ඇති වෙනවා. ඩොලර් අතිරික්තයක් ඇති වූ විට එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීමටත්, ඩොලර් හිඟයක් ඇති වූ විට සංචිත විකිණීමටත් සිදු වෙනවා. 1977 දක්වා ලංකාවේ තිබුණේ මෙවැනි ක්‍රමයක්. අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මේ ක්‍රමයේදී මිල දී ගැනීම් හා විකිණීම් සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම වෙළඳපොළ මිලට වඩා පහළින් මිල පවත්වා ගත්තොත් සංචිත දිගින් දිගටම විකිණීම නිසා සංචිත අවසන් විය හැකියි. එවිට, ආනයන පාලනය වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. එසේ නැත්නම් "තිබිය යුතු" විණිමය අනුපාතය වෙනස් කරන්න සිදු වෙනවා. ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා ගැනීමට උත්සාහ කිරීමේදී සංචිත හිඳී ගියේ මේ ක්‍රමය තුළයි. 

4. ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමය (Crawling Peg)

සිංහල වචනය මගේ වචනයක්. වෙනත් නිවැරදි සිංහල වචනයක් තිබිය හැකියි. මෙහිදීද ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් කිසියම් බලධාරියෙකු විසින් අභිමතය පරිදි විණිමය අනුපාතය තීරණය කර දැනුම් දෙන නමුත් එය ස්ථිරව එකම මට්ටමේ තියන්නේ නැහැ. කාලයත් සමඟ විණිමය අනුපාතය වෙනස් විය යුතු ආකාරයද කලින්ම තීරණය කර දැනුම් දෙනවා. උදාහරණයක් ලෙස ඩොලරයක මිල දිනපතා හරියටම රුපියල බැගින් ඉහළ යවන බව කලින් දැනුම් දෙන්න පුළුවන්. බොහෝ විට රටක් මේ ක්‍රමය තෝරා ගන්නේ ගෙවුම් ශේෂ අර්බුදයකින් ගොඩයාමේ සැලසුමක කොටසක් ලෙසයි. රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටි ඩොලරයේ මිල නිදහස් කරන අවස්ථාවේදී මගේ නිර්දේශය වූයේ මේ ක්‍රමයයි.

5. ලංකාවේ අලුත්ම ක්‍රමය (Trading band)

මෙය පාවෙන විණිමය අනුපාත ක්‍රමය පවත්වා ගන්නා අතරම මිල යම් ආකාරයකින් නියාමනය කිරීමක්. මෙහිදී ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යාමට ඉඩ ඇතත්, ඒ නිශ්චිත සීමාවක් තුළ පමණයි. ඊට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ඩොලර් ගනුදෙනු කළ නොහැකියි. මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයක හා ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක සම්මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි. මෙහිදී ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මෙන් මහ බැංකුව විසින් අභිමතය පරිදි ඩොලරයක මිල තීරණය කරන්නේ නැහැ. එහෙත්, උපරිම හා අවම මිලක් නියම කරනවා. වෙළඳපොළ මිල මේ උපරිම මිල හා අවම මිල අතර මිලක්නම් මෙම ක්‍රමය පාවෙන විණිමය අනුපාත ක්‍රමයකින් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එහෙත් දිනපතාම ඩොලරයක මිල මහ බැංකුව විසින් දැනුම් දෙන උපරිම (හෝ අවම) සීමාව දක්වා ගොස් නවතිනවානම් එය තවදුරටත් පාවෙන විණිමය අනුපාතයක් සේ සලකන්න බැහැ. එහිදී මෙය ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකට සෑහෙන තරමකින් සමාන වෙනවා. ඒ එවිට දෛනිකව මිල තීරණය වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදි මිස වෙළදපොළ විසින් නොවන නිසා. 

ලංකාවේ දැන් පවතින තත්ත්වය තුළ මේ ක්‍රමය පරීක්ෂාවට ලක් කිරීම හොඳ තීරණයක් කියා මම හිතනවා. මා පෙර නිර්දේශ කළ ලිස්සන ස්ථිර විණිමය අනුපාත ක්‍රමයට සාපේක්ෂව මේ ක්‍රමය වෙළඳපොළ මත වඩා පදනම් වූ ක්‍රමයක්. පහුගිය කාලයේ ඇතැම් දින වල ඩොලරයක මිල රුපියල් 10කින් පමණ ඉහළ ගියේ තනිකරම වාගේ සමපේක්ෂණය මතයි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත 2001 වසරට සාපේක්ෂව බැලුවොත් අප්‍රේල් අවසානයේදී ඩොලරයක මිල රුපියල් 282.50ක් පමණ විය යුතුයි. දැන් වෙළඳපොළ මිල ඊට වඩා ගොඩක් වැඩියි. මම කාලයක් තිස්සේ දිගින් දිගටම කිවුවේ අපනයනකරුවන්ට හා ශ්‍රමික ප්‍රේෂණ එවන අයට ලැබිය යුතු නියම මිල නොලැබෙන බවයි. එහෙත් දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. 

පසුගිය කාලය තුළ බැංකු පද්ධතිය තුළ විශාල ඩොලර් හිඟයක් ඇති වී තිබීමද මෙසේ ඩොලරයක මිල ඉහළ යාමට හේතුවක්. එම හිඟය නිසා බැංකු වලට වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් වලින් කොටසක් තමන්ගේ හිඟය පියවා ගැනීම සඳහා  යොදාගත යුතුව තිබෙනවා. වෙළඳපොලෙන් ඩොලර් එකතු කරගෙන මේ හිඟය පියවා ගැනීමෙන් පසුව ඩොලරයක මිල අඩු වීමේ ඉඩක් තිබෙනවා. ඒ වගේම, රජය කෙසේ හෝ ඩොලර් ප්‍රමාණයක් හොයා ගත්තොත් එයින්ද ඩොලරයක මිල අඩු විය හැකියි. මෙවැන්නක් ක්ෂණිකව සිදුවෙනු ඇතැයි මා සිතන්නේ නැතත් මිල නියාමනය කර තිබීම නිසා දෛනිකව ඕනෑවට වඩා වේගයෙන් ඩොලරයක මිල ඉහළ යාම මෙන්ම හදිසියේ මිල කඩා වැටීමේ ඉඩකඩද වැලකී තිබෙනවා. 

මේ ක්‍රමයට වෙළඳපොළ හැඩ ගැසෙන්නේ කොහොමද කියන එක ඉදිරි සතියේදී බලාගත හැකි වෙයි. එක්කෝ රුපියල් 360 මට්ටම ආසන්නව මිල ස්ථාවර වෙයි. එසේ නැත්නම් දෛනිකව රුපියල් 2කින් පමණ බැගින් මිල ඉහළ යයි. කලින් මෙන් දවසකට රුපියල් 5-10කින් මිල ඉහළ යාමනම් සිදුවන එකක් නැහැ. 

18 comments:

  1. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ crawling peg කියන එකට "පැන්නුම් සීහුම් ක්‍රමය " වගේ නමක් හොඳයි. අනෙක Dirty float එක ඍජුවම වචනය පමණක් භාවිතා කරලා පරිවර්තනය නොකර big picture එක බලලා පරිවර්තනය කිරීම සුදුසු බව මගේ පුද්ගලික අදහස.

    1. Clean float - නිදහස් පාවුම් සීහුම් ක්‍රමය

    2. Dirty float - පාලිත පාවුම් සීහුම් ක්‍රමය

    3. Fixed - ස්ථිර

    4. Crawling peg - පැන්නුම් සීහුම් ක්‍රමය

    5. Trading band - පැන්නුම් පාවුම් මිශ්‍ර ක්‍රමය

    මේ වගේ එකක් හොඳයි කියලා මට හිතෙනවා.

    මීට අමතරව මේකේ පාඨක සහෘදයන් ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ දවස් වල ලංකාවේ නිවාඩුවට ගිහින් ඉන්න කට්ටිය හැමෝගෙන්ම වැදගත් ඉල්ලීමක් කරන්න තියෙනවා, මේ දවස් වල වෙසක් උත්සවය සමරන්නට ලංකාවේ බොහෝ තැන්වල බත් හා ආහාර දන්සැල් තිබුණා, මේ අමාරුවෙන් දෙන දන්සැල්, ඒ නිසා හැකිනම් ලංකාවේ අයට පමණක් සීමා වී පිටරටවල සිට ඇමරිකානු ඩොලර් එකකට, දිරාම්, රියාල් දිනාර් වොන් යුරෝ එකකට වැඩි මුදලක් ලැබෙන එක ගැන හිතලා අපි වගේ නිවාඩුවට ආපු අය දන්සැල් වලින් කෑම නොගන්න කටයුතු කරන ලෙස හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරනවා. කෑමට බීමට සිදුවෙනවා නම් කෑමට හැකි ප්‍රමාණයට පමණක් බෙදා ගන්න. මොකද මේ දවස්වල ලංකාවේ වගේ ආහාර පාන ඉතා මිල අධික සහ හිඟ කාලයක් නිසා කෑම අපතේ යවන එක මහා පවක්.

    ඒ වගේම තමයි දිවුලපිටිය පසු කර යන විට ගුණවත් මහතෙකු සිය පවුලේ සැම සමග සංවිධානය කර තිබූ අඹ අච්චාරු දන් සල සහ කුඩා පුතුන් කණ්ඩායමක් පිලියෙල කර තිබූ කොත්තමල්ලි දන් සල වගේම, කොලඹ සිට අනුරාධපුරය දක්වා මග දෙපස දුටු මඤ්ඤොක්කා, තේ, කෝපි දන් සල් සෑහෙන ප්‍රමාණයක් දුටු විට ඒවා මට ඒත්තු ගැන්වුයේ කාටත් අමාරු, නැති බැරි කාලේ වුනත් අපේ මිනිස්සු පිනටත්, දන් දිමටත් ලැදි සොදුරු අය වගයි. සියලු දෙනාට ම නිරෝගී සුව ලැබේවා ! මගේ රටටත්, සියළුම දෙනාටත් දළදා සමිදු පිහිටයි!

    ReplyDelete
    Replies
    1. අපේ පල්ලියේ හරක් මස්සෙක්ක බත් දෙන දන්සැලටත් නෝනාමහත්තයාව එක්කන් එන්න.

      Delete
    2. සිංහල වචන ගැන යෝජනාවට ස්තුතියි!

      Delete
  2. //ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත 2001 වසරට සාපේක්ෂව බැලුවොත් අප්‍රේල් අවසානයේදී ඩොලරයක මිල රුපියල් 282.50ක් පමණ විය යුතුයි. //

    මට හිතෙන විදිහට මෙම estimate එක වැදගත් කරුණු කීපයක් මග හරිනවා.

    1. රජය දිගටම මුදල් අච්චු ගසනවා, එක නවත්වන්න එක පාරට බැහැ. මේ අනුව අනාගත inflation එක ගොඩක් වැඩි මට්ටමක තිබිය යුතුයි.Market එක factor කරනවා.

    2. රටේ political risk එකත් ඉතාම ඉහලයි, එකත් factor කල යුතුයි.

    3. Fed rate hike cycle එකක් පටන් ගත්තා පමණයි,

    මේ අනුව ~30% (360/260-1) premium එක මදි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි කියන කරුණු තුනම හරි. ඒ තුනම විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ අවිනිශ්චිතතාව මත පදනම් වූ සමපේක්ෂණය හරහා.

      //මේ අනුව ~30% (360/260-1) premium එක මදි කියලයි මට හිතෙන්නේ.//

      මෙහි 260 කුමක්ද?

      Delete
    2. සමාවෙන්න එය 282 විය යුතුයි.

      Delete
  3. මරදානේ දන්සැලකට ආ අගමැති රනිල් කහබත් බෙදලා

    වෙසක් පොහොය නිමිත්තෙක් ඊයේ කොළඹ මරදානේ පැවති බත් දන්සලකට පැමිණි නව අගමැති රනිල් වික්‍රමසිංහ එහි සිටි පිරිස සමග සුහදව කටයුතු කර තිබෙන අතර පසුව ඔවුන්ගේ දානයට දායක වෙමින් රනිල්ද පැමිණි පිරිසට බත් බෙදීමට කටයුතු කර ඇත.

    ඔහු එහිදී කහබත් පිරිනැමූ බවද වාර්තා විය.

    රනිල් වික්‍රමසිංහ ප්‍රදර්ශන දේශපාලනයේ නිරත නොවන්නෙකු ලෙස ප්‍රකට බැවින් ඔහුගේ මෙම වෙනස ගැන බොහෝ අය විමතිය පළ කර ිතබේ. ඔහුගේ යහපාලන කාලය තුළදීවත් මෙවැනි අවස්ථා සඳහා එක්වූයේ නැති අතර ප්‍රදර්ශන දේශපාලකයෙකු බව කියමින් මහින්ද රාජපක්ෂව ඒකාලයේ රනිල් විවේචනයව කළේය.

    ReplyDelete
  4. කල්පිටියේ උච්චමුණෛ වෙරළ තීරය අඩංගු වන දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී.

    නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්‍ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්‍රසිද්ධියේ සාවද්‍ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

    අදාළ උච්චමුණෛ වෙරළ සහිත දූපත විකුණා නොමැති අතර, අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDIs) ගෙන ඒමේ උත්සාහයක් ලෙස විදේශීය ආයෝජකයෙකුට වසර 30 ක කාලයක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කරන ලදී. SLTDA සඳහා ආදායම වන්නේ බදු කුලියයි. බදු කුලිය පදනම් වී ඇත්තේ ගිවිසුම අවසන් කරන ලද 2020 ඔක්තෝම්බර් මාසයේදී සිදු කරන ලද රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන ලද වටිනාකම මතය. ප්‍රකාශිත ඩොලර් මිලියන 417.5 ක් යනු අදියරෙන් අදියර ක්‍රියාත්මක කෙරෙන සංචාරක ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයා විසින් ඇස්තමේන්තු කර ඇති ව්‍යාපෘති පිරිවැයයි. ව්‍යාපෘතිය ආරම්භ කළ හැක්කේ වෙරළ සංරක්ෂණය, පරිසර අධිකාරිය ඇතුළු රේඛීය ආයතනවලින් අවශ්‍ය සියලුම අනුමැතියන් ක්‍රියාත්මක වූ විට පමණි.

    2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, සැලසුම් සහගතව සහ තිරසාර ලෙස සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා SLTDA සතු ඉඩම් විභව ආයෝජකයින්ට බදු දීමට (විකුණුම් නොකිරීමට) SLTDA වෙත නියම කර ඇත. SLTDA අතීතයේ දී මෙන් විදේශීය හා දේශීය ආයෝජන ආකර්ශනය කර ගනිමින් එය අඛණ්ඩව සිදු කර ඇති අතර, දැනටමත් අනුමත කර ඇති ව්‍යාපෘති සඳහා බදු ගිවිසුම් අත්සන් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වෙත වගකීම දරයි.

    කල්පිටියේ උච්චමුණෛ වෙරළාශ්‍රිත දූපත සම්බන්ධයෙන්, SLTDA විසින් 2019 ජූලි මාසයේදී භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් හරහා අනාගත ආයෝජකයින් කැඳවා ඇත. ව්‍යාපෘති යෝජනා ඇගයීම් කමිටුවේ ඇගයීම සහ අනුමැතියෙන් පසු, එය කර්මාන්ත පාර්ශවකරුවන් සහ රජයේ නියෝජිතයින් ඇතුළත් වන SLTDA මණ්ඩලය විසින් 2020 පෙබරවාරි මාසයේදී අනුමත කරන ලදී. 2020 අගෝස්තු මාසයේදී සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා සංචාරක අමාත්‍යවරයා බදු ගිවිසුමක් අත්සන් කිරීම අනුමත කළේය. තාක්ෂණික කරුණු අනුව බදු ගිවිසුම සඳහා කෙටුම්පත 2020 ඔක්තෝම්බර් මාසයේදී අවසන් කරන ලද අතර 2020 දෙසැම්බර් මාසයේදී ගිවිසුම් කෙටුම්පත අවසන් කරන ලදී. එය 2021 මාර්තු මාසයේදී අත්සන් කිරීමට සූදානම් විය.

    කෙසේ වෙතත්, වසංගත තත්ත්වය සහ ආයෝජකයාගේ අභ්‍යන්තර කටයුතු හේතුවෙන් ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද විය. 2022 අප්‍රේල් මාසයේදී, ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2022 මැයි 11 වැනි දින හෝ ඊට පෙර කල්බදු ගිවිසුම අත්සන් කිරීමට ආයෝජකයාට අවසාන නිවේදනයක් ලබා දුන් අතර, එය අසමත් වුවහොත් අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට සිදුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, SLTDA සමඟ බදු ගිවිසුම අත්සන් කරන ලෙස ආයෝජකයා ඉල්ලා සිටියේ 2022 මැයි 9 හෝ 10 යන දිනවලය. කෙසේ වෙතත්, 2022 මැයි 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් සහ ආයෝජන මණ්ඩලයේ මුල් ඉල්ලීම ලබා දී, SLTDA කළමනාකාරිත්වය විසින් ඉඩම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තියට අනුව වසර 30 ක බදු දීම සඳහා බදු ගිවිසුම අත්සන් කිරීමට 2022 මැයි 11 දින කටයුතු කරන ලදී.

    ජනප්‍රිය මතය තිබියදීත්, මෙම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස SLTDA හෝ ශ්‍රී ලංකා රජය හෝ ඊට සම්බන්ධ කිසිදු පාර්ශවකරුවෙකු USD මිලියන 417.5ක් ලබා නොගන්නා බව SLTDA පැහැදිලි කිරීමට කැමතිය. ගිවිසුම සම්පූර්ණයෙන්ම වසර 30 කට ඉඩම් බදු දීමට අවසන් අයිතිය SLTDA සතු විය.

    SLTDA සඳහා, කලින් නැවත අවධාරණය කළ පරිදි, ආදායම් මාර්ගය වන්නේ කල්බදු කුලියට දීමයි. එහිදී ආයෝජකයා විසින් 2020 වසරේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුව මත පදනම්ව වසර 30ක කාලයක් සඳහා ස්ථාවර කුලී ගාස්තුවක් මාසිකව ගෙවනු ලැබේ. USD මිලියන 417.5 ක මුළු පිරිවැය හුදෙක් ඉහත කී ආයෝජකයා විසින් කරන ලද ආයෝජනයේ මුළු වාණිජ වටිනාකම නියෝජනය කරයි.

    ශ්‍රී ලංකාවේ සංචාරක පාර්ශවකරුවන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ ප්‍රවේශම් වන ලෙසත් අසත්‍ය හා වැරදි තොරතුරුවලට නොරැවටෙනු කියායි.

    ReplyDelete
  5. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

    පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

    මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.

    2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.



    ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.

    2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.

    මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා. ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගතයුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා.

    විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.

    ReplyDelete
    Replies


    1. ේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.

      මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.

      මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.

      ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්.2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

      රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

      මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.



      කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

      මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව. නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.

      Delete
    2. මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

      දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

      එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන - මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.

      මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.

      මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.

      ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

      Delete
    3. මේ කතාව ගැන ඉකොනො මොකද හිතන්නේ? ඒ වගේම ඔබත් පිළිගනීවි රනිල් දේශපාලනිකව සියදිවි නසාගත්තෙ, යහපාලන කාලෙදි, ඔහුට ආයෙ නැති වෙන්න දෙයක් නෑ. ඒත් රනිල්ට ආයෙ අවස්ථාවක් ලැබිලා තියනවා. අවසාන චාන්ස් එක ඔහු හොඳින් ස්කෝර් කරයි කියලා හිතෙනවා, මෙලෝ හසරක් නැති මෙලොවින් මෙලෝ වැඩක් කරන්න බැරි මෙලෝ රසක් නැති ලංකාවේ පවට පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න සජිත්, අනුර ඇතුළු වැඩ බැරි ටාසන් කල්ලි සහ නිදහස් පක්ෂයේ සහ පොහොට්ටු කල්ලියේ සිග්නල් කණු දෙවැනි පෙළ නායකයන් බහුතරයක් දෙනාගේ එකම වට්ටෝරුවකට කටින් බතල-ලිස්සන ප්‍රතිපත්තියත් එක්ක, කවුරු හරි මේක බාරගන්න ඕනෙ. රනිල් මේ වෙලාවේ එහෙම බාර ගන්න ගටක් ඇති එකම ඔප්ෂන් එක, නමුත් ඔහුට ඉතාමත් ඉක්මනින් විශාල වෙනසක් කරන්න ඕන වෙනවා.

      අනික ලංකාවේ ගෝල්ෆේස් අරගලය සහ එහි මෙහෙයවීම කරවන විදේශ හස්ත සමග රනිල් ඉතාමත් සමීප සම්බන්ධයක් තිබෙන නිසා අරගලකරුවන්ගෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්තවාදීන් සුළු පිරිසක් හැරුණුකොට අති බහුතරය රනිල් වික්‍රමසිංහට හීලෑ නිසා ඔහුට අරගලයෙන් වෙන බලපෑම් ද මනාව පාලනය කරගන්න පුළුවන්. මේ නිසා රනිල් මේ වෙලාවේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් නේද?

      Delete
  6. කළු මැයි සංහාරයට මග පෑදූ නීතිඥයන්

    ම්ලේච්ඡ කළු මැයි සංහාරයට මග පෑදු ප්‍රධාන පාර්ශවයක් වන්නේ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ය. මිනිසුන් මහමග නිරුවත් කොට පහර දී කපාකොටා හෝ ජීවිතක්‍ෂයට හෝ පත් කර ඔවුන්ගේ නිවාස සහ වාහන ගිනිබත් කිරීමට හැකියාව ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට ලබා දුන්නේ එම නීතිඥයන් විසිනි.

    මිරිහානේ පුද්ගලික නිවසකට පහර දී දේපළ ගිනි තබා විනාශ කළ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් ආරක්ෂා කළේ එම නීතිඥයන්ය. එතැන් සිට දිවයින පුරා භීෂණකාරී ක්‍රියාවන් සිදුකළ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව කියමින් එම ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් නීතියේ රැහැනෙන් මුදා ගැනීමට කටයුතු කළේ එම නීතිඥයන්ය.

    අරගලයේ නාමයෙන් සිදුකළ බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා උත්කර්ෂයට නංවමින් ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට අත්පුඩි ගසමින් ප්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමෙන් සිදුවූයේ නීතිය හා සාමය රැකීමේ සිය රාජකාරිය පොලිස් නිලධාරීන්ට කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. 2022 මැයි 9 වැනිදා ඇති වූ ගැටුම් නැවැත්වීමට පොලීසියට නොහැකි වූයේ ඒ නිසාය.

    අනුන්ට කැමති දේශපාලන මතයක් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ මානව නිදහස අමුඅමුවේ උල්ලංඝනය කිරීමට ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට අනුබල දුන්නේ එම නීතිඥයන්ය. අරගලකරුවන්ට පමණක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට මුල් වූයේ එම නීතිඥයන්ය.

    ලංකාවේ අහිංසක වැසියන් ප්‍රාණ බියට පත් කරමින් දියත් වූ ම්ලේච්ඡ කළු මැයි සංහාරයට වගකිව යුතු ප්‍රධාන පාර්ශවයක් වන්නේ එම නීතිඥයන්ය. හිංසනයට පත් සියලු දෙනා වෙනුවෙන්ද සාධාරණය ඉටු කිරීමට එම නීතිඥයන් නොමිලේ ඉදිරිපත් වෙන බව කීවේ නැත්තේ ඇයි! එයින් ඔප්පු වෙන්නේ ඔවුන් පැහැදිලිවම ප්‍රචණ්ඩත්වය මුදාහළ අරගලකරුවන්ට පක්ෂපාතී බවයි.

    මේ අසාධාරණය ලෝකයා ඉදිරියේ හඬගා කියමු! නීතිය රැකීමට සිටි නීතීඥයන් මේ ආකාරයෙන් කටයුතු කිරීමට පෙලඹවූ අදාළ නියමුවන් වහාම නීතිය ඉදිරියට පමුණවා විනිශ්චය කළ යුතුය! තම වෘත්තීය ආචාරධර්ම පාවා දී ප්‍රචණ්ඩත්වයට සහාය දුන් සියලු නීතිඥයන් නීතිය ඉදිරියට පමුණවා විනිශ්චය කළ යුතුය!

    The lawyers who caused the Black May massacre

    One of the main parties that caused the brutal Black May massacre were the lawyers who represented the perpetrators of violence. A group of lawyers gave the violent protesters the ability to strip people naked and beat them to death on the streets and burn their homes and vehicles to ashes.

    This group of lawyers defended the violent protesters who attacked a private house in Mirihana and set fire to public property. Since then, these lawyers acted to free the violent attackers from the law, claiming that they will represent the suspects free-of-charge.

    These lawyers applauded the violent protesters, glorifying the horrific acts of violence in the name of the #gohomegota protest; which made it impossible for the police to carry out their duty of maintaining law and order. Which is why the police were unable to stop the clashes on May 9, 2022.

    These lawyers encouraged the violent protesters to blatantly violate the freedom to express political views by all citizens. These lawyers protected only the freedoms of the protesters while letting the violent protesters take away the human rights of the others.

    These lawyers are one of the main culprits in the brutal Black May massacre that terrorized the innocent people of #SriLanka. Why did they not say that they will come forward free-of-charge to represent all victims! This proves that they are clearly loyal to those who unleashed violence.

    Let us speak this injustice before the world! The relevant leaders who persuaded the lawyers to act in this manner should be brought before the law! All lawyers who betrayed their professional ethics and supported violence must be brought to justice!

    - Avihimsa Vadiya

    https://www.facebook.com/108855728494961/posts/108868425160358/

    ReplyDelete
    Replies
    1. මෙය ද්වේශ සහගත හා දේශපාලනික අභිප්‍රාය සහිත ප්‍රකාශයක් කියා මම යෝජනා කරනවා. පසුගිය කාලයේ රටේ විවිධ ප්‍රදේශ වල නීතිඥයින්ගේ ක්‍රියාකාරකම් මා ඉතා සමීපව නිරීක්ෂණය කළා. ඇතැම් නීතිඥයින් දේශපාලන පක්ෂ වලට සෘජුව සම්බන්ධව සිටියත් සමස්තයක් ලෙස නීතිඥ ප්‍රජාව විසින් මේ වෙලාවේ කළ කාර්ය භාරය ඉතාම සාධනීයයි. සිදුවිය හැකිව තිබුණු මීට වඩා විශාල විනාශයක් වලක්වා ගත්තේ නීතිඥයින් විසින්. එසේ කළ අය ගැන මම පෞද්ගලිකවම දන්නවා.

      "අනුන්ට කැමති දේශපාලන මතයක් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ මානව නිදහස අමුඅමුවේ උල්ලංඝනය කිරීමට ප්‍රචණ්ඩකාරී අරගලකරුවන්ට අනුබල දුන්නේ එම නීතිඥයන්ය."

      එසේ කළ නීතිඥයින් සිටීනම් ඔවුන්ව කෙළින්ම නම් කළ යුතුයි.

      Delete
  7. අගමැති තුමා කියන open market එකෙන් USD ගන්නවා කියන එක ගැන අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. ඒක කොහොමටත් කරන දෙයක්.

      Delete
    2. පොඩ්ඩක් ඒ ක්‍රමවේදය පැහැදිලි කරන්නපුලුවන්ද?

      Delete
    3. ආනයනකරුවන් වැනි අනෙක් අය කරන විදිහටම ඩොලර් විකුණන අයගෙන් ඩොලර් මිල දී ගන්න එක. උදාහරණයක් ලෙස අපනයනකරුවන්ගෙන්. සමහර විට බැංකු වලින් වක්‍ර ලෙස.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: