වෙබ් ලිපිනය:

Sunday, May 15, 2022

රනිල්ගේ ගෝටාගෝගම ගමන


සජිත් ප්‍රධාන සජබ විසින් තමන් කිසිසේත්ම ආණ්ඩුව සමඟ එකතු නොවෙන බව දැඩි ලෙස කියනවා. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ අරගලකරුවන්ව පාවා දිය නොහැකි බවයි. එසේ කීමෙන් සජිත් ඇතුළු සජබ විසින් පෙන්වන්න හදන්නේ ඔවුන් අරගලකරුවන් සමඟ ඒකාත්මිකව සිටින බවයි. 

ටික දවසකට කලින් සජිත් ගොටාගෝගම ගිය බවත්, එහිදී සජිත්ට ලැබුණු ප්‍රතිචාරත් කවුරුත් දන්නවා. ඊට සමගාමීව ගොටාගෝගම ගිය අනුර කුමාරට එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනේ නැහැ. මෙය විවිධ ආකාරයන්ගෙන් අර්ථකථනය වුනා. සජබ පැත්තෙන් කියවුනේ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූ බවයි. ඇත්තටම සිදු වුනේ එවැන්නක් වෙන්න පුළුවන්.

වඩා වැදගත් කරුණ අරගලකරුවන් අතර සිටි ජවිපෙ සාමාජිකයින් විසින් සජිත්ට එරෙහි ක්‍රියාකාරකම මෙහෙයවූවාද නැද්ද කියන එක නෙමෙයි. ඔවුන් එසේ කළේනම්, ඔවුන්ට අරගල භූමිය තුළ එසේ කළ හැකි වුනා කියන එකයි. මීට පෙර පාර්ලිමේන්තුව අසලදීත් මීට සමාන දෙයක් සිදු වුනා. මේ සිද්ධි හා අදාළව ජවිපෙට කරන විවේචන ඇත්ත සේ සැලකුවත්, එයින් පැහැදිලිව ගම්‍ය වන්නේ සජබට අරගලය තුළ කළ නොහැකි වූ දෙයක් ජවිපෙ විසින් අරගලය තුළ කර තිබෙන බවයි.

මේ සිද්ධිය හා අදාළව අනුර කුමාර විසින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු කිවුවේ සජිත් විසින් අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කළ සංස්කෘතිය නියෝජනය කරමින් එහි පැමිණීම හා තමන් එසේ නොකිරීම වෙනස් ප්‍රතිචාර වලට හේතු වූ බවයි. අදාළ සිද්ධිය පැත්තකින් තිබ්බත් අනුර කුමාර කියන මේ කතාව ඇත්තක්. සජිත් විසින් මෙන්ම බොහෝ දුරට සජබ විසින් නියෝජනය කරන්නේද අරගල බිමේ හා එයින් පිටත සිටින අරගලකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියයි.

ගෝටාගෝගම බිහිවද්දී ඒ තුළ, රටේ සුළුතරයක් වන, ලිබරල් අදහස් ඇති නාගරික නිරාගමිකයන් බලවත්ව සිටියා. ඔවුන්ගේ සටන් පාඨ වලින් කොටසක්, විශේෂයෙන්ම දූෂණ විරෝධය හා සමානාත්මතාව, ජවිපෙ/පෙසප සටන් පාඨ සමඟ අතිපිහිත වුවත්, ආර්ථික නිදහස හා සම්බන්ධ ජවිපෙ/පෙසප සම්ප්‍රදායික අදහස් අරගලය තුළ කැපී පෙනෙන ලෙස නියෝජනය වූයේ නැහැ. "225ම එපා" කියන ඉල්ලීම රාජපක්ෂලා විසින් ජනගත කළ බොරු ඉල්ලීමක් නෙමෙයි. ප්‍රධාන පක්ෂ වලට තරම් නොවුනත් ජවිපෙ කෙරෙහිද යම් විරෝධයක් හෝ කළකිරීමක් අරගලය තුළ තිබුණා.

කෙසේ වුවත්, මෙවැනි මහජන ව්‍යාපාරයක් හා බද්ධ විය හැකි ආකාරය ගැන ප්‍රධාන පක්ෂ වලට නොතිබුණු අත්දැකීම් ජවිපෙ/පෙසප පක්ෂ වලට තිබුණා. ඔවුන් තමන්ගේ එම දැනුම හා අත්දැකීම් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගනිමින් අරගලය හා බද්ධ වී තමන්ගේ අදහස් ඒ තුළට පොම්ප කළා. අනුර කුමාර ගෝටාගෝගම යන්නේ අවශ්‍ය පමණ අරගලයේ අරමුණු හා ජවිපෙ අරමුණු සුසර වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඊට පෙර, ජවිපෙ/ජාජබ පාගමන ගෝටාගෝගම යාමේ උත්සාහය හරහා දමා බැලූ මුට්ටියට පොලු පාර වැදීමෙන් ජවිපෙ විසින් පසු එම උත්සාහය අතහැර දමනු ලැබුවා.

මා පෙර ලිපියක සඳහන් කළ පරිදි අරගලයේ දිශානතිය ගැන සෑහීමකට පත් නොවන කෙනෙකු විසින් කළ යුතු වූයේ අරගලය හා බද්ධ වීමයි. අරගලය තුළ ඒ සඳහා දොරටු විවරව තිබුණා. ජවිපෙ/පෙසප මුලින්ම එහි ප්‍රයෝජනය ගත්තා. එම පක්ෂ වලට තිබෙන අත්දැකීම් යම් පමණකින් තිබෙන චම්පිකගේ කණ්ඩායමද ඔවුන්ට හැකි පරිදි අරගලය තුළට රිංගා ගත්තා. අරගලයට බෞද්ධ සංස්කෘතිකාංග එකතු වුනේ ඉන් පසුවයි. එහෙත්, චම්පික විසින් සජිත් ගත් අවදානම ගන්න ගියේ නැහැ.

සජිත් ප්‍රධාන සජබ විසින් මුල සිටම කළේත්, දැන් කරන්නේත්, අරගලයෙන් ආත්මික ලෙස දුරස්ථව සිටිමින් සම්ප්‍රදායිකව ලංකාවේ දේශපාලනඥයින් විසින් කළ ලෙස අරගලයේ නියෝජනය තමන් අතට ගන්න උත්සාහ කරන එකයි. එය හරියන වැඩක් නෙමෙයි. අරගලය හා ආත්මික ලෙස සම්බන්ධ නොවී භෞතික ලෙස ඒ හා සම්බන්ධ විය නොහැකියි. ගෝටාගෝගමින් සජිත්ව හෝ සජබ නියෝජනය නොවනවාක් මෙන්ම ගෝටාගෝගම ගොඩ නැගෙන්නේ සජිත් විසින්ද නියෝජනය කරන දේශපාලන සංස්කෘතියට එරෙහිවයි.

මේ අතින් බැලූ විට රාජපක්ෂලා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන්. අරගලයේ ප්‍රධානම ඉල්ලීම රාජපක්ෂලා වී තිබීම තුළ පවා ඔවුන් අරගලය හා ඒකාත්මික වීමේ උත්සාහය අත ඇරියේ නැහැ. අරගලකරුවන්ගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වෙද්දී  රාජපක්ෂලාගේ ප්‍රොෆයිල් වලට ජාතික කොඩි එකතු වීම උදාහරණයක්.

රාජපක්ෂලාට තිබෙන්නේ ජලය වැනි, අඩංගු භාජනයේ හැඩය ගන්නා, ගඳක් සුවඳක් නැති අවර්ණ දේශපාලනයක්. ඔවුන් අවශ්‍ය පරිදි එයට ගඳ සුවඳ හා වර්ණ එකතු කර ගන්නවා. රාජපක්ෂලාගේ ජාතිකවාද, ආර්ථික ප්‍රතිපත්ති ආදී හැම දෙයක්ම මේ විදිහට පිටින් එකතු කරගත් වර්ණ, ගන්ධ හා හැඩතල පමණයි. අවශ්‍ය මොහොතේදී තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේ ඕනෑම දෙයක් වෙනස් කර ගන්නවා. මම හිතන්නේ මේ ගැනනම් විපක්ෂයේ සියළු පක්ෂ වලට මෙන්ම බොහෝ අරගලකරුවන්ටද හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ අනෙක් හැම ඉල්ලීමකටම උඩින් රාජපක්ෂලා ගෙදර යා යුතු බවට වන ඉල්ලීම තියන්නේ ඒ නිසා.

තමන්ට බලයේ සිටිය හැකි තාක්, පීඩනය හමුවේ, රාජපක්ෂලා අනෙක් ඕනෑම ඉල්ලීමක් ඉටු කරනවා. මේ තත්ත්වය හමුවේ සජබ, ජාජබ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ වල උපක්‍රමය වී තිබෙන්නේ රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරු සටන අත් නොහැරීමයි.

කොහොම වුනත්, රාජපක්ෂලා කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔවුන් තේරී පත්ව සිටින්නේ නීත්‍යනුකූල ලෙස මහජන කැමැත්තෙන්. නීතිය අනුව ඔවුන්ගේ ජනවරම නැති වී නැහැ. ඉල්ලා අස් වන සේ බල කිරීම හැර ගෝඨාභයව නීත්‍යානුකූල ලෙස ඉවත් කළ හැකි ක්‍රමයක් නැහැ. මේ කාරණයේදී පවතින නීති රාමුවට පිටින් යාමට ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ පැකිලෙන්නේ නැතත් එය කිසිසේත්ම බහුතර කැමැත්ත නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටෙනවාට රටේ බහුතරය කැමති නැහැ. එවැනි අපේක්ෂාවන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකට පමණයි. අරගලය තුළ වුවද මෙවැනි අදහස් ඇති අයට සාපේක්ෂව වැඩි නියෝජනයක් මිස බහුතරය නියෝජනයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ අන්ත දෙක අතර රනිල්ගේ ප්‍රවේශය මධ්‍යස්ථ හා ප්‍රායෝගික එකක්. මෙහිදී රනිල් කරන්නේ අරගලය තුළ ජවිපෙ/පෙසපෙ වැනි පක්ෂ විසින් කළ දෙයමයි. 

අරගලය ආරම්භ වුනේ අඩු වැඩි වශයෙන් ජවිපෙටද එරෙහිවයි. එහෙත්, අරගලය හා සුසර වීම මගින් ජවිපෙ එහි බල කේන්ද්‍රය සැලකිය යුතු තරමින් තමන් දෙසට ආකර්ෂණය කර ගත්තා. මා ඒ දවස් වලම කියූ පරිදි, අරගලයේ දිශානතියට බලපෑම් කළ යුතු වූ අයෙකු විසින් කළ යුතු වූයේ අරගලයට සහයෝගය දෙමින් ඒ හා එක් වීමයි. දැන් ආණ්ඩුව සම්බන්ධවද මෙයම කළ හැකියි. රනිල් කරන්නේ එයයි.

රනිල් කරන දෙයම විපක්ෂයේ අනෙකුත් පක්ෂ විසින්ද කළේනම් ආණ්ඩුව තුළ රාජපක්ෂලා දුර්වල කර අවසාන වශයෙන් රාජපක්ෂලා ඉවත් කළ හැකිව තිබුණා. එහෙත්, රනිල්ට තනිව ඒ තරම් දුරක් යා නොහැකියි. එවැනි ඉලක්කයක්ද නොතිබිය හැකියි.

ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම නොවුනානම්, මේ වන විට රාජපක්ෂලාත් ගෝටාගෝගම ගිහින්. එහෙත්, ප්‍රමුඛ සටන් පාඨය රාජපක්ෂලා ගෙදර යැවීම වීම තුළ ඔවුන්ට ඒ සඳහා වූ අවකාශය මුළුමනින්ම වාගේ ඇහිරී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව තුළ සිටි කොටස් එළියට යාමට ඉඩ සැලසුවත් එයින්ද අවශ්‍ය වැඩේ සිදු වුනේ නැහැ. 

රාජපක්ෂලා කොහොම වුනත් රනිල් මේ වෙද්දී ගෝටාගෝගම පදිංචි වෙලා. රනිල් ඒ වැඩේ කර තිබෙන්නේ තනිකරම සජිත්ගේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසයි. සජිත් අරගලයෙන් අධ්‍යාත්මික ලෙස දුරස්ථව සිටිමින් භෞතිකව එහි යාමට උත්සාහ කර ඇන ගනිද්දී, රනිල් අරගල භූමිය පැත්ත පළාතක නොගොත් එහි අදෘශ්‍යමාන කූඩාරමක් අටවා ගන්නවා. අනුර කුමාරලා මුලින් කරපු දෙයමයි. 

තමන් අරගලය පාවා නොදෙන බව සජබ කිවුවත්, සෛද්ධාන්තික ලෙසම මෙය කළ නොහැකියි. සජබ විසින් නියෝජනය කරන්නේද අරගලයට සක්‍රිය ලෙස සහභාගී වී සිටින්නන් විසින් ප්‍රතික්ෂේප කරන දේශපාලන සංස්කෘතියයි. අරගලය වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම සජබ දේශපාලනයද අවසන් වීමයි.

කොහොම වුනත්, සජබටද අරගලය තුළ නියෝජනයක් තිබෙනවා. එහෙත් එය තිබෙන්නේ සක්‍රිය අරගල භූමිය තුළ නෙමෙයි. අරගලයට සහයෝගය දෙමින් අරගලයෙන් පිට සිටින වැඩිහිටි වයස් කාණ්ඩය තුළයි. ඒ අයට අරගලය තුළ සක්‍රියව සිටින "තමන්ගේ දරුවන්ට" සහයෝගය දෙන්නේ ආර්ථික හේතු මතයි. ඔවුන්ට දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න ඇතත් එය ප්‍රමුඛ ප්‍රශ්නය නෙමෙයි. ඒ වගේම, අරගලයට සහයෝගය දුන්නත්, මේ කණ්ඩායම ප්‍රශ්නයේම කොටසක්. 

තමන්ට නියෝජනය කළ හැකි, අරගලයට පිටින් සිටින අරගලකරුවන් ඉලක්ක කරනවානම් සජබ විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුවට එකතු වී ආණ්ඩුව තුළ රාජපක්ෂ බලය දුර්වල කිරීමයි. එහෙත්, ඒ වෙනුවට සජබ විසින් සක්‍රිය අරගලකරුවන් නියෝජනය කරන්නට යාමෙන් කරගන්නේ යම් ආකාරයක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්. ඔවුන්ව නියෝජනය කරන්නට අවශ්‍යනම් සජබට තමන්ගේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කර ගන්න වෙනවා. කෙටියෙන් කිවුවොත් ජවිපෙ වගේ වෙන්න වෙනවා. එය ප්‍රායෝගිකව සජබට කළ නොහැකි දෙයක්. එවැනි තත්ත්වයක් යටතේ යම් ආකාරයකින් රාජපක්ෂලා ගෙදර යැවුවොත් එයින් පසුව අනිවාර්යයෙන්ම ඔය විරෝධයම සජබ පැත්තටත් හැරෙනවා.

මේ වන විට සජබට නියෝජනය කළ හැකිව තිබුණු, අරගලය තුළ සක්‍රියව නොසිටින, පැත්තකට වී අරගලයට සහයෝගය දෙන විශාල පිරිසකගේ වීරයා වී ඉන්නේ රනිල් වික්‍රමසිංහයි. ආර්ථික ස්ථායීකරණය සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වීමට සජබට කිසිසේත්ම හැකි වන්නේ නැහැ. ඒ නිසා, එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නැගෙන ජනමතයේ වාසිය කිසිසේත්ම සජබට ගත හැකි වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම ප්‍රතිසංස්කරණ  නොකරම බැරි බව පිළිගන්නා පිරිසට නායකත්වය දීමේ හැකියාවද සජබ විසින් ප්‍රයෝජනයට අරගෙන නැහැ. 

ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ "කුලී හේවායෙක්". නලින් ද සිල්වා වැනි අය නොකියා කියන්නෙත් ඒකයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සාර්ථක වුවහොත් රාජපක්ෂලා කියනු ඇත්තේ අවශ්‍ය පරිදි "කුලී හේවායින්" යොදාගෙන අවශ්‍ය දේ කර ගැනීමට තමන්ට හැකි බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාගේ කුලී හේවායෙක්නම් දැන් ඒ කුලී හේවායා ගෝටාගෝගම කූඩාරමකුත් අටෝගෙන.

8 comments:

  1. ඉකොනෝ මහත්තයා දැන් ඉන්නේ රනිල් මහත්තයාගේ කුඩාරමේ කියන්නේ ඇත්තද?

    ReplyDelete
  2. රනිල් යනු හනුමාට බිලිවෙන්න ගිය රට නැවත රාවණ පරපුරටම උරුමකරදුන් විභීෂණ දෙවිගේ අවතාරයක්.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා සජිත් ප්‍රේමදාස මහතාව දැඩි ලෙස අවතක්සේරු කළත් මේ කෙටි වීඩියෝ එකේ පාලිත තෙවරප්පෙරුම ඔහු ගැන කරුණු සහිතව විස්තර කරමින් පෙන්වා දී ඇති අදහස් අනුව එසේ සිතීම උගහටයි.

    https://fb.watch/d0YUf2V3Ij/

    අනෙක් පැත්තෙන් අරගලය ගැන ඉකොනොමැට්ටා නොදන්න බොහේ දේ අරගලය මුල ඉඳලම එයට ඉතා මැනවින් සක්‍රීය ලෙස සම්බන්ධ වූ මෙම සමාජ ක්‍රියාකාරීකයා සඳහන් කරන කරුණු කාරණා ගැන ගැඹුරින් කල්පනා කල යුතු බව තමයි මගේ අදහස;

    https://www.facebook.com/KUSHiamback0754000162/videos/1233357527196109/

    ReplyDelete
  4. තැනින් තැන හිඳ බලනකොට එක
    දෙයක් වුව දකිතැකි වෙසින් නෙක
    යථාවම දැක ගන්න වෙන්නේ
    එහෙමමත් කෙනෙකුටය දවසක

    සතිර නැති අස්ථිරවූ ලෝකෙක
    වෙනස් වෙන්නැති දේ තිබේවිද?
    හේතු එකිනෙක වෙනස් වෙයි නම්
    ලැබෙන ඵල පෙර ලෙසම වේවිද?

    ReplyDelete
    Replies
    1. එහෙමම නෙවෙයි නිමල් අංකල් අපි හැඟීම් වලට වඩා බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතුයි. උදාහරණයක් විදියට මගේ අත්දැකීම් අනුව යමක් පවසන්න පුළුවන් ඉතාමත්ම තුරුණු වියේ සිට මගේ විසාල ආසාවක් තිබුණ යකඩ කඟවේනෙක් ගැනීමට...

      "උඹට ඕනේ මෝටර් බයිසිකල් එකද.. එහෙම නැත්නම් මාවද කියලා දෙකෙන් එකක් දැන්ම තීරණය කරපන් !!!.."

      දබර ඇඟිල්ල මගේ දිහාට දික්කරලා ඒ කිව්ව විදියෙන් මම දැනගත්තා එතනින් එහාට තවත්නම් අම්ම එක්ක මේ ගැන කතා කරලා වැඩක් නෑ කියලා.

      මගේ හොඳම යහලුවෙක් ජොබ් එකකට රට යන නිසා එයාගේ අලුත්ම ජපන් ටූ ෆිෆ්ටි සීසී මෝටර් බයික් එක විකුණනවා, කැමති නම් ගන්න කිව්ව දවසේ ඉඳලා මට පුදුම අමාරුවක් තිබුනේ ඕක ගන්නකම්. හොඳයිද බලන්න රවුම් දෙක තුනක් ඒක පැද්ද ගමන් පිස්සුව දෙගුණ වුනා. වාඩිවෙලා ස්ටාර්ට් කලාම ඇඟට දැනුන ගැම්ම දන්නේ ඉතින් ඕවා පදින අයම විතරයි. ගියර් දෙක තුනකින්ම අසූවට ලං වෙන්න සද්දෙට රේස් කරගෙන කඟවේනා වගේ පදින්න මේක කොහොම හරි ගන්නම ඕනේ කියලා මම හිතාගත්තා.

      අපේ අම්මාට අදහස කියපු වේලේ ඉ‍ඳන් මට ලැබුනේම මෝටර් බයිසිකල් නම් ගන්නම එපා කියන විදියේ උත්තරමයි. දවස් ගානක් කර කර හිටපු මගේ පෙරැත්තය අන්තිමට නතර වුනේ උඩින්ම කියල තියෙන වචන ටිකෙන්. මගේ ආසාව ඉෂ්ඨ නොකිරීම නිසා මම දවස් ගානක් අම්මාත් එක්ක කතා නොකරම හිටියා.

      බෝ මළුවේ පිහිටි පහළ මලුවේ අයිනකට වෙන්න හෙමින් හෙමින් පස්සෙන් පස්සට ආව මගේ කකුල මොකක්දෝ රෝදයක වදිනවා දැනිලා පිටිපස්ස බලපු මම දැක්කේ රෝද පුටුවක වාඩිවෙලා ඉන්න අවුරුදු විස්සක විතර කඩවසම් තරුණයෙක්. සිද්ධවුන වැරැද්දට "සොරි" කියලා මම ඒ රෝද පුටුව පැත්තකින් හිටගත්තා. ආයෙමත් ඒ තරුණයා දිහා බලද්දී මම ඒ පැත්ත බලනවා දැකලා මෑන් මාත් එක්ක යන්තම් හිනාවුනා. ඒ හිනාව යට හැංගුන මොකක් හෝ වේදනාවක් තියෙනවා කියලා මට දැනුණු නිසා මම තවත් හො‍ඳින් ඔහු දිහා බැලුවා. මොනවා හෝ දෙයක් නිසා අසනීප බවක් ඔහුගෙන් පේන්න තිබුනා. ඔහුගේ වම් අතේ පොඩි වෙවුලන ගතියත් වම් කකුල තියාගෙන ඉන්න විදියෙන් කකුල පණ නැති බවත් මම දැක්කේ එතකොට. තරුණයා මමත් එක්ක හිනාවුන නිසා මම ඔහුත් එක්ක කතා කරන්න හිතාගෙන ඔහු ඉදිරියට ගියා.

      "ඇයි මල්ලී.. මොකද වුණේ ඔයාට.. මොනවා හරි අසනීපයක්ද? .."

      එහෙම් අහනකොට තමයි මම ඔහුගේ ඔලුවේ තිබුන අමුතු හැඩය දැක්කේ. හරියට යකඩෙන් හදපු ෆුට් බෝලයක් බිම අතහැරියාට පස්සෙ එබිලා ගිහිල්ලා වගේ තැල්මක් ඔලුවේ නලලට උඩින් මැද හරියේ.

      "බයික් ඇක්සිඩන්ට් එකක් අයියා.. දැන් මාස අටක් වෙනවා.. මාසයක් සිහි නැතුව හිටියේ දැඩි සත්කාර එකේ.." පැටලි පැටලි ඔහු උත්තර දුන්නා.

      එයා එක්ක කතා කරනව දැකලා වෙන්න ඇති එයාගේ තාත්තා කියල හිතෙන කෙනෙක් අපි ලඟට ආවා.

      "හරි අමාරුවෙන් මෙයාගෙ ජීවිතේ බේරගත්තෙ පුතේ... කවදා ඇවිදගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ කියලා තමයි දොස්තර මහත්තුරු කිව්වේ... අපි අද බාරයක් වෙන්න අනුරාධපුරේ ආවේ.." තාත්තාගේ කතාව අහලා ඉවරවෙනකොට මගේ ඇස් බොඳවෙලා. ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණ ලස්සන තරුණයෙක්ගේ අහගෙන ඉන්න බැරිතරම් දුක්බර කතාවක්. ඒ තාත්තා කොයිතරම් දුකක් විඳිනවා ඇත්ද? මට මගේ අම්මා එදා කරපු තර්ජනය මතක් වුනා.

      ඒ වගේම බයික් අනතුරුවලින් මම ල‍ඟින්ම ආශ්‍රය කරපු යාලුවෝ තුන්දෙනෙක් අවුරුදු පහක් ඇතුලට ජීවිතය හැරගියා. ඒ අතරින් කොළ‍ඹ මමත් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරපු ගාල්ලේ යාලුවෙක්ගේ අවසන් කටයුතු වලින් මාසෙකට පස්සෙ අපිට ස්තූති කරල යන්න එයාගෙ අම්මයි තාත්තායි අපේ ඔෆිස් එකට ආවා.

      අම්මා අපෙන් පොඩි ඉල්ලීමක් කලා එයාගෙ පුතා අවසන් වරට වැඩකල මේසය බලන්න. ඒ වෙනකම්ම ඒ මේසයේ සහ පුටුවේ කවුරුවත් වැඩකලෙත් නෑ. එයාගේ අම්මා එතන වාඩිවෙලා මේසයේ ඔලුව ගහගෙන ඉකිගසමින් සෑහෙන වෙලාවක් ඇඬුවා. ඒක දැකලා දරාගෙන ඉන්න පුලුවන් උනේ ඔෆිස් එකේ දෙතුන් දෙනෙකුට විතරයි. එකම පුතා ගැන තිබුන මොනතරම් බලාපොරොත්තු කන්දක් සුනු විසුණු වෙලා යන්න ඇතිද ඒ අම්මගේ?

      මේ සිදුවීම එක්ක තවමත් මම මෝටර් බයිසිකල් එකක් අරන් නෑ. ජීවිතේටම ගන්න එකකුත් නෑ. කැපෙන පිහිය වගේ මෝටර් බයිසිකලුත් ඇතුවත් බෑ නැතුවත් බෑ. පරෙස්සම් වෙන්න, මාරක ක‍‍ඟවේනා හීලෑ කරගන්න, හෙමින් පදින්න කියලා විතරයි කියන්න පුළුවන්.

      ඒ නිසා ස්ථිර නැති අස්ථිර ලෝකයක ජීවය තණ අග පිනිබිඳු වැනි නිසා තමන් ආරක්ෂා වෙන එක අපි හැමෝගෙම වගකීමක්. පැරණි රුසියානු මහා පීටර් සාර් අධිරාජ්‍යයා පැවසුවේ තමා ආරක්ෂා වෙනවා නම් දෙවියන් ද ඔහුව ආරක්ෂා කරන බවයි. මම හිතන්නේ මේ කියන "තම ආරක්ෂාව තමාගේ වගකීම" වගේම තමයි ආර්ථිකය ගැනත් හැමෝම තමාගේ වගේම රටේම ආර්ථිකය ගැන වගකීමක් අවම වශයෙන් වගවීමක් (accountability) ගන්න ඕන බවයි. නැත්නම් ලංකාවේ ආර්ථිකයට වෙච්ච දේ දිගටම තියෙයි.

      Delete
  5. අරගලයේ වර්ථමාන සතුරා සිටින්ගේ අරගලයට පිටින් නොව අරගලය තුලමයි.එනම් ජවිපෙ,පෙරටු ගාමින් සහ බෞද්ධ භික්ෂුවයි.මේ කණ්ඩායම් තුනම කොටස් තුනක් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන්ම දේශපාලනික වශයෙන් එකම අදහස් ඇති තනි කණ්ඩායක් ලෙස සැලකිය හැකියි.ජාතිවාදී සහ පිළුනු වු වාමාංශික අදහස් දරන කොටස් බලවත් විම ඉදිරියේදී මෙහි සිටින ලිබරල්වාදින් අරගලයෙන් ඉවත් වීමට හේතු වේවි.

    ReplyDelete
  6. හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. තෙල් පෝලිමේ ඉන්න ගමන් කරන්න වැඩකුත් නැති එකේ මේක කියවහන්. එතකොට තේරෙනවා නියමෙට. අන්තිමට තියෙන gamestop එකේ කතාවත් අනිවාර්යයෙන්ම කියවහන්. මම මෙච්චර මේ ගැන ලියන්නෙ ඇයි කියලා එතකොට තේරෙනවා. 😊

    මුලින්ම කියන්නම් උඹලට පුපෙන් හිනා වෙන්න දෙයක්. දැන් වෙද්දි ඩොලර් එකේ ඇත්ත වටිනාකම (රටේ තියෙන ඩොලර් සහ රුපියල් ප්‍රමාණය අනුව) රුපියල් 280 ක් විතර වෙන්නෙ. ඒකට හොඳට හිනා වෙලා මේ ටික කියවමු. 🤣

    උඹලා දන්නවානෙ තෙල් පෝලිමේ කතාව. තෙල් නැහැ කියපු ගමන් හැම එකාම වැඩියෙන් තෙල් ගහනවා. එතකොට තියෙන තෙල් ටිකත් ඉවර වෙනවා. බවුසරේ එනකල් පෝලිම දික් වෙනවා. පෝලිමේ ඉන්න අමාරු අයට, තෙල් එන් නැති පැතිවල අයට හොර පාරෙන් කෑන් විකිණෙනවා. රටේ සාමාන්‍ය දෛනික තෙල් demand එක double විතර වෙනවා.

    රටේ ඩොලර් තත්ත්වයත් ඔච්චරයි. ඩොලර් නෑ කියපු ගමන් හැමෝම අරන් පොදි ගහනවා. පුළුවන් උන් විවිධ ක්‍රමවලින් රටෙන් පන්නනවා. ඉස්සරහට වැඩි වෙයි කියලා හංග ගන්නවා. ඔය කතාවම කියලා හොර පාරෙන් අනිත් උන්ට විකුණන මාකට් හැදෙනවා. ඩොලර්වල ඉල්ලුමත් double විතර වෙනවා.

    හැබැයි දවස් ගාණක් එකදිගට තෙල් එන්න ගත්තාම මොකද වෙන්නෙ? ගහනවා ගහනවා ඉවර කරගන්නත් බැරි නිසා කට්ටිය ටිකක් පෝලිමේ නොයා නිකන් ඉන්නවා. ශෙඩ්වල පෝලිම් අඩු වෙනවා. තෙල් තියෙන නිසා කෑන් විකුණන මාකට් එක නැති වෙනවා. ඒවා ටිකත් එන්න ගත්තාම කෘත්‍රිම demand එක වාශ්ප වෙලා රටේ තෙල් මුලින්ම demand එක තිබුණාටත් වඩා බැහැලා හිමීට සාමාන්‍ය අගයට settle වෙනවා.

    ඩොලර් කතාවත් එච්චරයි. වෙනසකට තියෙන්නෙ තෙල් මිල demand එක නිසාම වෙනස් නොවෙන එක තමයි. ඩොලර්වලට demand ආපු ගමන් මිල වෙනස් වෙනවා. හැබැයි තනිකරම ප්‍රෝඩාවක් විතරයි. ඉස්සරහටත් ඩොලර් හිඟ වෙයි කියලා හිතාගෙන එහෙම වුණොත් එන ගණන් නියම කිරීමක් විතරයි.

    ඉස්සරහට ටිකෙන් ටික ඩොලර්/යෙන් එන්න ගත්තාම ඔය විදිහටම ඒකටත් තියෙන කෘත්‍රිම demand එක බැහැලා හිමීට සැබෑ අගයට settle වෙනවා. හැබැයි තෙල් කෑන් පුරවා ගත්තු උන්ට, කෑනුත් වැඩි ගාණට අරන් පාවිච්චි නොකර පොදි ගහගෙන ඉස්සරහට විකුණන්න ඉන්න උන්ට ඕක කිව්වාම අරහන්. උන්ගෙ interest එක තියෙන්නෙ මේක කෙළවෙලාම ගිහින් උන්ට කීයක් හරි හම්බෙනකොට. අවුල කියන්නෙ උන් කොච්චර ඩෙඟා නැටුවත් යථාර්ථය නවත්තන්න බැහැ.

    දැන් ඕක මතක තියාගෙන අපි රුපියල් 280 ට පුපෙන් හිනා වුණ තැනට යමු. නිකමට හිතහන් කබ්‍රාල් මේක 200 අල්ලගෙන ඉඳලා black market 260 ට විතර ගියාම අත අරින්නෙ නැතිව, ස්වාභාවික විදිහට වැඩි වෙද්දි වැඩි වෙන්න දුන්නා කියලා. කොරෝනායි, සංචාරක කර්මාන්තයයි ඔය සේරම ප්‍රශ්න නිසා ඩොලර් එක වැඩි වුණා තමයි. එහෙම වෙද්දි පුකෙන් rates අදින්නෙ නැතිව හැබෑ මට්ටමේ තියලා fix එක ටික ටික උඩට ගෙනිච්චා කියලා හිතමු.

    රුපියල් 280 කියන්නෙ මම ගණනය කරාම දැන් එන්න ඕන අන්න ඒ සැබෑ ඩොලර් තිබිය යුතු අගය. මේක අපේ තෙල් උදාහරණය ගත්තොත් සාමාන්‍ය විදිහට රටේ තියෙන තෙල් demand එක කියලා ගන්න පුළුවන්. කොරෝනා සීන් එක ගලපන්න උදාහරණයක් විදිහට අලුතින් සද්ධන්ත ඩීසල් power plant එකක් ගැහුවා වගේ කියලා හිතමු. එතකොට රටේ ඩීසල් demand එක වැඩි වෙලා තෙල් demand එක සැබෑවටම වැඩි වෙනවා. දවසට ටොන් ලක්ෂයක් තිබ්බ සැබෑ තෙල් demand එක 140,000 වුණා වගේ. කොරෝනා නිසා ඩොලර් එකේ සැබෑ වැඩි වීමත් ඔහොම 200 ඉඳලා 280 වගේ වුණා. ඒක නැහැ කියන්න බැහැ. කැමති නම් අපිට ඕකට පුළුවන් organic demand කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් ඩොලර් එක 355 හරි, සමහරු හිතාගෙන ඉන්න රු. 400, 500 හරි යන කතා තනිකරම තෙල් බෙදන්නෙ නැති කාලෙ තියෙන ප්‍රශ්නය වගේ. තෙල් නෑ කියපු ගමන් demand double වෙලා ඒ ගාණට තෙල් බෙදීමක් බලාපොරොත්තු වෙනවා. ඩොලර්වලටත් අවශ්‍ය ප්‍රමාණය වෙනුවට එක එකාට පොදි ගහන්නත් එක්ක dollar supply එකක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණාම හිඟයි කියලා පේනවා. ඩොලර් නිසා ඒවායෙ මිලත් එහෙමම වැඩි වෙනවා.

      හැබැයි මේකත් ඉතින් තෙල් බෙදන්න ගත්තාම හිමීට ඉබේම විසඳෙනවා වගේ අනිවාර්යයෙන්ම විසඳෙනවා. මොකද දැනටමත් ඔය ගන්න ඩොලර්වලින් කරන්න පුළුවන් වැඩි දෙයක් නෑ. තියාගෙන ඉන්න පුළුවන්, නැත්නම් විකුණන්න පුළුවන්. මොනවත් import කරන්නත් බෑ. කෙලින්ම දීලා යමක් ගන්න ගියත් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ මාරු කරන එක.

      රටේ ඩොලර් supply එකක් නැති කතාව බයිලාවක්. (මේ කියන්නෙ සංචිත නෙවෙයි, supply එක) organic demand එක වැඩි නිසා පොඩි හිඟයක් තියෙනවා. හැබැයි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය එක එකාට ගොඩ ගහගන්නත් එක්ක ඩොලර් සපයන්න බැරි එක. ගොඩ ගැහිල්ලට (එක එකාට වගේම පුළුවන් ප්‍රමාණයක් සංචිතවලට) මුල් තැන දුන්නාම අත්‍යාවශ්‍ය දේට ඩොලර් හිඟ වෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය. එහෙමයි 280 තියෙන්න ඕන එක දැන් 355 වෙලා තියෙන්නෙ.

      හැබැයි ඔය මාකට් එක හරි විදිහට function වෙන්න ගත්තාම ඉබේම ඕක හරි යනවා. දැන් තියෙන 280 ටම settle වෙනවා කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මම නිතරම කියපු විදිහට සැප්තැම්බර් විතර වෙද්දි ඉබේටම ඒ කාලෙ තියෙන organic demand එකේ වටිනාකම හෙවත් රු. 290-300 වගේ ප්‍රමාණයක settle වෙනවා.

      ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කබ්‍රාල් වගේ විගඩම් ප්‍රතිපත්ති ගේන්නෙ නැති බුද්ධිමත් මිනිස්සු පත් කරලා දිගටම පවත්වාගෙන යන එක තමයි.

      ඉතින් එහෙම නම් මොකක්ද gamestop කතාව සහ මට මොකක්ද මෙච්චර මේක ගැන ලියන්න තියෙන පුපේ අමාරුව? උඹලා සමහරු අහලත් ඇති gamestop කියන සමාගමේ කොටස්වලට වෙච්ච දේ. කැමති නම් හොයලා බලහන්. මම මෙතන සාරාංශය කියන්නම්.

      ගොඩක් broker කරන ආයතන මේ gamestop එක බංකොලොත් වෙයි කියලා ඇස්තමේන්තු කරලා ඒක කුණු ගොඩටම දාලා තිබුණෙ. පස්සෙ අඩුවට ගන්න හිතාගෙන තදබල විදිහට short sell කිරීම සිදු වුණා. ඉතින් ඒකෙ කොටස් මිල හරිම අඩු මට්ටමක පැවතිලා ඇත්තටම බංකොලොත් වෙන්න ගියා. හැමෝම කුණු ගොඩට දාපු නිසා කවුරුත් ඒ ගැන වැඩිය හොයලා බැලුවෙ නැහැ.

      හැබැයි එක්තරා පුපේ අමාරුව තියෙන මනුස්සයෙක් එක එකාගෙ ඇස්තමේන්තු වෙනුවට gamestop එකේ සැබෑම financial දත්ත ටික අරගෙන research එකක් කරා. මිනිහට තේරුණේ මේක මේ කියන තරම් සවුත්තු සමාගමක් නෙවෙයි කියන එක. පොර ඕක සවිස්තරව reddit එකේ දැම්මා.

      මුලින් වැඩි අවධානයක් නොලැබුණත් ටිකෙන් ටික මිනිස්සු මේ ගැන හොයලා බැලුවා. Broker ලගෙ ඇස්තමේන්තුවලට බම්බු ගහගන්න කියලා gamestop එකේ කොටස් ගත්තා. මේක මහා විප්ලවයක් බවට පත් වෙලා Wallstreet එකේ මහා පරිමාණ broker සමාගම් පවා දණ ගස්වන්න සමත් වුණා. අද gamestop එක නැවතත් ශක්තිමත්ව ඉන්න සමාගමක්.

      මම මේ කියන්නෙත් නිකන්ම ඩොලර් එක තව අවප්‍රමාණය වෙනවා, රටට හෙණ ගහනවා, කෙළවෙනවා, නැතිබංගස්තාන වෙනවා කියලා කියන කතා අහන එක පොඩ්ඩක් නවත්තලා මේ ගැන හරියට හිතලා බලන්න. මේ තත්ත්වයෙන් වාසි අරගෙන ලාබ ගන්න හදන උන්ගෙ කතාවලට රැවටෙන්නෙ නැතිව රට ගැන සුබවාදීව දකින්න පටන් ගන්න.

      අපි එකතු වුණොත් මේක ආපහු හරවන්න බැරි නෑ gamestop එක වගේම. මොනවා වුණත් මේක අපේ රටනෙ බං. එක්තරා පිරිසකට නිකන්ම සමාගමක් ගැන ආපු කැක්කුම අපිට අපේම රට ගැන ඇති කරගන්න පුළුවන් නේද මචං? මේ උත්සාහය උඹලා යම් පිරිසකට එහෙම හිතෙනවා දකින්නයි.

      ජය වේවා එහෙනම්. කැමති නම් මේක share කරලා, copy paste කරලා වැඩි පිරිසක් අතරට ගෙනියන්න උදව් වෙයන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: