නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.
පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි.
ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.
පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.
මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ.
ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.
මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.
ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.
ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.
මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.