වෙබ් ලිපිනය:

Friday, December 5, 2025

විදේශ සංචිත පහළට!


නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි. 

ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.

පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ. 

ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.

මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.

ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.

ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.

මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා. 

8 comments:

  1. ඉකොනෝමැට්ටා, ජල ගැලීම් සහ නායයාම් නිසා හානියට පත් වූ අයට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් වැයවේද? එම මුදල් සොයා ගන්නේ කෙසේද? (ජිවිත, ජංගම සහ චංචල දේපල සියල්ලටම, රජයේ සහ ව්‍යාපාරිකද ඇතුළුව.)

    ReplyDelete
    Replies
    1. ජනාධිපති දිසානායකගේ කතාවට අනුව මෙම වසරේ ඉදිරි දින 15 තුළ රුපියල් බිලියන 72.2ක් සහ ඉදිරි වසරේදී රුපියල් බිලියන 500ක් ආපදා වියදම් (සහන සහ අනෙකුත් වියදම්) වෙනුවෙන් වැය කිරීමට නියමිතයි. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක මුදලක් පෙර සම්මත කරගෙන ඇති අයවැය ප්‍රතිපාදන මගින් සිදු කෙරෙන අතර ඉතිරි රුපියල් බිලියන 550 සඳහා අතුරු අයවැය දෙකක් ඉදිරිපත් කෙරෙනවා. ඊට වඩා වැඩි විස්තරයක් ඉදිරිපත් කර නැතත්, මෙයින් අදහස් වන්නේ අලුතෙන් රුපියල් බිලියන 550ක ණය ලබා ගන්නවා කියන එකයි.

      Delete
    2. 'ඉතිරි රුපියල් බිලියන 550 සඳහා අතුරු අයවැය දෙකක් ඉදිරිපත් කෙරෙනවා. ඊට වඩා වැඩි විස්තරයක් ඉදිරිපත් කර නැතත්, මෙයින් අදහස් වන්නේ අලුතෙන් රුපියල් බිලියන 550ක ණය ලබා ගන්නවා කියන එකයි. '

      කොපමණ කාලයක් ගත වේද මේ සදහා?

      Delete
    3. මේ අවුරුද්දේ බිලියන 50 සඳහා දැනටම ඉදිරිපත් කරලා මම හිතන්නේ. ඉතිරි බිලියන 500 සඳහා බොහෝ විට මේ මාසය ඇතුළත ඉදිරිපත් කරයි.

      Delete
    4. ඉකොනෝට මතකද 2020 (කොවිඩ් වසංගතය කාලයේ) බුර්වී කියන සුලිකුනාටුව ලංකාවට ආවා.මේ තරමටම ලොකු එකක් නෙමෙයි. හැබැයි ඒකත් විශාල විනාශයක් කළා පූර්ව සුදානම මෙයට වඩා දහස් ගුණයක මට්ටමේ තිබුනේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වෙලා මිනිසුන් 75,000 කට වඩා අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරලා ඔවුන්ට අවශ්‍ය සහන සලස්වූවා. නිකන්ම අයින්වෙන්න කිව්වේ නැහැ. යන්න තැනක් , ආරක්ෂාවක්, කෑමබීම , මේ සියල්ල ලස්සනට සොයා බලුවා. කුණාටුව උතුරු නැගෙනහිර මිමි 250 වර්ෂාවක් ඇතිකරලා ගියා. ගෙවල් 99 සම්පුර්ණයෙන් විනාශ වෙලා, 3500 අර්ධ වශයෙන් විනාශවුණා.මට හිතුනේ මේක තමයි අපිව පරික්ෂා කරේ කියලා.

      මේ වතාවටත් දෙවියන් වහන්සේ
      අපිට දුන්න simulation test එක.අපි එකෙන් සමත් ද?

      2020 බුරවි එකට සාර්ථකව මුහුණ දුන්න නිසා යාන්ත්‍රණයක් නැතිවෙන්න බැහැ , මේකෙදි හොයන්න ඕනේ පූර්ව දැනුම් දීම අනුව රජය හරියට ක්‍රියාත්මක වුණාද කියලා.

      කුණාටුවල සති ගණනකට පෙර දැනුවත්කිරීමක් නොකරත් ජනාධිපතිට හොයන්න පුළුවන්, ඉතා කෙටි දැනුම් දීමකින් අදාල යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ගැනත් ලියන්න පුළුවන්ද?

      ඒ වගේම මේ වගේ ආපදාවකින් පස්සේ post disaster management පසු ආපදා කළමනාකරණය කරන ආකාරය ගැන විශේෂයෙන්ම එක්සත් ජනපදය වගේ රටවල FEMA වගේ ආයතන ක්‍රියාත්මක වන ආකාරය ගැන සහ ඒවායින් ලංකාවට උගතහැකි පාඩම් සහ එක්සත් ජනපදයේ සහයෝගය ලබාගැනීමට හැකිවේ ද යන්න ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

      Delete
  2. දිට්ටාගේ පීහිටෙන් මීට්ටා ඉතුරු අවුරුදු හතර ඇදගන්න මොනවා හරි ටොම් පච ඇදබාගෙන ගේමක් දෙන්න පුළුවන්ද කියල බලන අතරේ තව ටික දවසකින් මිනිස්සු කියයි ඇයි දෙයියනේ දිට්ටා මේ අමන මිට්ටා අරන් ගියේ නැත්තේ කියලා, ඇත්තටම අපට මේ අමන මිට්ටා දීලා මේ සාහසික ව්‍යසනය නිසා රටට නැතිවෙච්ච අහිංසක ජනතාව නැවත ගන්න පුළුවන් වූණා නම් කොච්චර හොඳද?

    ReplyDelete
  3. @ Economatta

    මේ ව්‍යසනය පාලනය කිරීම සම්බන්ධව ජනපති අනුරගේ කතාව අහලා හිනා ගිය තැන් තුනක් තිබුණා.

    ඇත්තටම අනුර ජීවිත කාලෙම බිස්නස්කාරයො විවේචනය කරපු මිනිහෙක්.

    බිලියනපති ව්‍යාපාරිකයන්ට 'කළු මුදලාලිලා' , 'ජාවාරම්කාරයො' , 'ගජ මිතුරු කල්ලිය' කියන නම් හැදුවේ අනුර.

    හැබැයි අනුර තිරය පසුපස ඒ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තා. ඒක වෙනම දෙයක්.

    නමුත් කැමරාව ඉදිරියේ, මයික් එක ඉස්සරහා ඔහු හැමදාම ව්‍යාපාරිකයො විවේචනය කළා.

    නමුත් අද ?

    අද අනුර, එදා තමන් ජාවාරම්කාරයො කියපු බිස්නස්කාරයො හෝදලා, චරිත සහතිකයක් දුන්නා.

    ඒ බිස්නස්කාරයො රටට ආදරේ, අවංක මිනිස්සු කියලා අනුර කිව්වා.

    දුමින්ද හුලංගමුව ලා, සරත් ගනේගොඩ ලා, හනීෆ් යුසූෆ් ලා රටට ආදරේ, අවංක, පිරිසිදු මිනිස්සු කිව්වා.

    ඒ මිනිස්සුන්ට 'ජාවාරම්කාරයො' කියලා කීම පවක් කියලා කිව්වා. ඒ මිනිස්සුන්ට ජාවාරම්කාරයො කියලා කියන විපක්ෂ මන්ත්‍රීලා විවේචනය කළා.

    එදා ඒ මිනිස්සු විවේචනය කළ අනුරමයි. කළු ජාවාරම්කාරයො, ගජමිතුරු කල්ලිය කියලා සරත් ගනේගොඩලාට එදා කියපු අනුරමයි.

    මිනිහෙකුට තමන් කියපු කතාවම වෙනස් කරලා, ඔහොම වෙනස් වෙන්න පුලුවන්ද?

    ඒ වගේම ඊළඟ එක ගංවතුර එක්ක රැස් වුණු පක්ෂ නායක කමිටුවේ දී අනුරට මේ වෙලාවේ කරන්න පුලුවන් දේ ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ.

    "මොකක්ද දැන් අපි කරන්න ඕන විපක්ෂ නායකතුමා" කියලා අනුරමයි ඇහුවේ.

    ඒ මොහොතේ තමයි සජිත් සහ දිලිත් වගේම පොදුජන පෙරමුණේ නාමල් මේ ව්‍යවසනය කලමනාකරනයට හදිසි නීතිය පනවමු කියලා යෝජනා කළේ.

    අනුර ඒ යෝජනාවට මුලින් කැමති වුණේම නැහැ. විපක්ෂය පස්සේ වැඩේ විවේචනය කරයි කියලා අනුර බය වුණා.

    නමුත් විපක්ෂයෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ඒ අය පක්ෂ නායක රැස්වීමේදී සහතිකයක් දුන්නා.

    ගංවතුර ඇවිත් තුන්වෙනි දවසේ තමයි හදිසි නීතිය දාන්නේ. ඒක විපක්ෂයෙන් ඉතාමත්ම සද්භාවයෙන් කළ උදව්වක්.

    ඊට පස්සේ අනුර පාර්ලිමේන්තු ඇවිත් මොකද කිව්වේ ?

    සජිත්ව කිච කරලා, නැතිම කළා.

    හදිසි නීතිය පැනවීම තමන්ගේ තනි අදහසක් කියලා කෙලින්ම කිව්වා. කිසිඳු කෘතගුණයක් නැහැ.

    ඒ වගේම සමහරු කියනවා IMF එක්ක කතා කරන්නම්, ප්ලීස් එපා කියලා සජිත්ව ලැජ්ජ කළා.

    සජිත්ගේ සද්භාවයට කිසිඳු ස්තූතියක් නැහැ.

    සජිත්ට මේක හොඳ පාඩමක්.

    අනුර අසරණ වෙන හැම වෙලාවෙම සජිත්ගේ හොඳකම හෝ ගොන්කම යූස් කරනවා.

    යූස් කරලා පොඩ්ඩක් කම්ෆර්ටබල් වුණ ගමන් අනිත් පැත්තට ගහනවා.

    අනුර එක්ක දේශපාලනය කරන්න සජිත් ස්මාර්ට් නැහැ. අනුර එක්ක හැරෙන්නවත් සජිත්ට බැහැ.

    ඊළඟ එක රටේ ආපදා කළමනාකරණ පනතක් තියෙනවා කියලා අනුර දැනගත්තේ පාටලීගේ යූටියුබ් වැඩසටහනක් බලලා.

    ඊටපස්සේ අනුර පාටලීට කෝල් කරනවා.

    ඒ පනත ගැන විස්තර අහගන්නවා. ඇයි චම්පික ඔයා මේ ගැන මට කළින් නොකිව්වේ කියලත් අහනවා.

    හැබැයි අනුර කතාවෙදි මොකක්ද කිව්වේ?

    ඒ පනත ගැන විශාරදයෙක් වගේ, ඒ පනතේ අඩුපාඩු කියෙව්වා.

    රටට ගැලපෙන්නේ ආපදා කලමනාකරන පනතට වඩා හදිසි නීතිය කියලා කිව්වා.

    මේ පාඨලීගෙන් ඒ නීතිය ගැන දැනගෙන, සජිත් සහ දිලිත්ගේ ඉල්ලීම නිසා හදිසි නීතිය පනවපු බුවා.

    අද පනත සහ හදිසි නීතිය ගැන විශාරදයෙක් වගේ කතා කළා.

    මේ තමයි ක්ලැසික් අනුර. මේ තමයි අනුර දක්ෂම තැන.

    අනුර කාබන් කොලයක් වගේ. ඉක්මනට දේවල් උරා ගන්නවා. ඊටපස්සේ ඒ ගැන තමන්ට උගන්නපු මිනිහටත් ලෙක්චර්ස් දෙනවා.

    හැබැයි ඩීප් කියවීමක්, අවබෝධයක් නැහැ.

    මිනිස්සු කන්වින්ස් කරන්න එහෙම අවබෝධයක්, හැකියාවක් අවශ්‍යයත් නැහැ. මේක තමයි අනුරලගේ තියෙන තක්කඩි දේශපාලන තත්වය මේ ගැන විස්තර සහිතව සාකච්ඡා කරන්න ඔයා කැමතිද?

    ReplyDelete
  4. පසුගියදා දිවයිනට බලපෑ වර්ෂාව සහ ජලගැලීම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝට් 300 ක පමණ අලාභ හානි සිදුව ඇති බව කියැවේ.

    විශ්ව විද්‍යාලය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත.

    ඒ අනුව සිංහල බ්ලොග් කරුවන් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රසික සූරියාරච්චි මහතා රුපියල් 5,000 කින් ආධාර කොට ඇත.

    එසේම ඇමරිකාවේ වාසය කරන ඉකොනොමැට්ටා ඇමරිකන් ඩොලර් දහයකින් එනම් රුපියල් 3,000 කින් පමණ ආධාර කොට ඇත.

    ඔවුනට අපගේ ස්තුතිය පිරිනමමු.

    එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආදරය කරන ඔබටද එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ගොසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග සිදු කළ හැක.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: