වෙබ් ලිපිනය:

Thursday, April 25, 2024

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අදාළව සුවිශේෂී වසරක්. පෙර වසර තුළ සිදු වූ දැවැන්ත කඩා වැටීමකින් පසුව වුවත්, පසුගිය වසර තුළ ලංකාවේ ආර්ථිකය නැවත සුන්බුන් මතින් නැගී සිටියා. 

පෙර වසරේදී ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණු රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේදී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464 සිට ඩොලර් 3,830 දක්වා වැඩි වී තිබෙනවා. 

රටේ ආර්ථිකය 2.3%කින් හැකිලෙද්දී මේ අයුරින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දේශීය මිල ගණන් වල ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොයාමයි. ඊට අමතරව රටේ ජනගහණය අඩුවීමෙන්ද සුළු දායකත්වයක් ලැබී තිබෙනවා.

ඩොලරයක මිල පහළ යාමෙන් රටේ විදේශ අංශය ස්ථාවර වීම පිළිබිඹු වෙනවා. 1978 වසරෙන් පසුව මුල් වරට පසුගිය වසරේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර එය දදේනියෙන් 1.8%ක්. මූල්‍ය ගිණුමට ලැබුණු විදේශ විණිමයද ඇතුළුව වසර තුළ  ඩොලර් මිලියන 2,826ක සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ අයුරින් විදේශ අංශය ස්ථාවර වීමට රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ යහපත් දිශානතිය බොහෝ සේ උපකාරී වී තිබෙනවා. රජයේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2,720.6 දක්වා 55.4%කින් වර්ධනය වී ඇති අතර සමස්ත ආදායම රුපියල් බිලියන 3,048.8 දක්වා 54.0%කින් වැඩි වී තිබෙනවා. මීට සාපේක්ෂව පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් වල රුපියල් බිලියන 6.4ක සුළු අඩුවීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ රුපියල් බිලියන 173.3ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%කට සමාන මුදලක්.

කෙසේ වුවත්, පැරණි ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,455.6ක මුදලක් අවශ්‍ය වී ඇති අතර, ඉතිරි කරගත් ප්‍රාථමික අතිරික්තය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදලෙන් රුපියල් බිලියන 2,282.3ක්ම ගෙවා තිබෙන්නේ අළුත් ණය වලිනුයි. මෙයින් රුපියල් බිලියන 494.7ක මුදලක් විදේශ මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 1,787.6 දේශීය මූලාශ්‍ර වලින්ද ලබාගෙන තිබෙනවා. 

මේ අනුව, රටේ ණය ඉහළ ගොස් ඇතත්, දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩියෙන් ඉහළ යාම හේතුවෙන් දදේනිහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 114.2% සිට 103.9% දක්වා පහත වැටී තිබෙනවා.

රුපියල් බිලියන 2,455.6ක මුදලක් පොලී ලෙස ගෙවීමට අමතරව, රුපියල් බිලියන 1,807.7ක මුදලක් වසර තුළ ණය වාරික ලෙස ආපසු ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුළු ණය සේවාකරණ පිරිවැය රුපියල් බිලියන 4,263.3ක් වන අතර එයින් රුපියල් බිලියන 470.5ක් වැය වී තිබෙන්නේ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. 

Sunday, April 21, 2024

ණයහිමියන්ගේ උපාය මාර්ගය


ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් අතර සාකච්ඡා දැනට නැවතිලා තිබෙන තැනට ආපහු ගියොත්, ලංකාවේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයේ තක්සේරු අතර වෙනසක් දකින්න පුළුවන්. ණයහිමියන් විශ්වාස කරන විදිහට ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ලංකාව විසින් සහ IMF එක විසින් පෙන්වනවාට වඩා වැඩියි.

අලුත්ම (2023 දෙසැම්බර්) IMF ඇස්තමේන්තු අනුව, 2023-2027 අතර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහත පරිදියි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 83.2

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 81.8

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 83.4

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 87.2

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 84.2

මෙම ඇස්තමේන්තු අවුරුද්දකට කලින්, 2023 මාර්තු වලදී, IMF එක විසින්ම හදා තිබුණු ඇස්තමේන්තු වලට වඩා වැඩියි. පහත තියෙන්නේ එම ඇස්තමේන්තු.

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 75.3

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 76.0

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 78.4

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 81.3

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 85.0

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 81.6

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වෙයි කියලා. එහෙම වෙන්න පුලුවන්ද?

ඔය අගය, ඒ කියන්නේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය, IMF එක කියන ඇමරිකානු ඩොලර් බිලියන 84.2 වුනොත්, 28%ක ණය කප්පාදුවක් කරන්න ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියෝ කැමතියි. මොකද එහෙම ණය කප්පාදුවක් නොකර ලංකාවට තිරසාර ලෙස ණය ගෙවාගෙන යන්න බැරි නිසා. හැබැයි මේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 96.3ක් වුනොත් ලංකාවට ඔය තරම් කප්පාදුවක් නොකළත් ණය ආපහු ගෙවන්න පුළුවන්. ඒ නිසා, කප්පාදුව 7.3%කට සීමා විය යුතුයි. ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන්ගේ තර්කය ඒක.

දැන් ඔය IMF ඇස්තමේන්තුව හරියයි කියලා ලංකාවට හොඳටම විශ්වාසනම් බයක් සැකක් නැතුව ණයහිමියන්ගේ යෝජනාවට කැමති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ණයහිමියන්ගේ ඇස්තමේන්තුව නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි.

ඔය IMF ඇස්තමේන්තු හදන විට දැනගෙන නොසිටියත් 2023 ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය දැන් අපි දන්නවා. එම අගය ඩොලර් මිලියන 84.5ක්. එම අගය IMF එකේ 2023 මාර්තු ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 75.3ට වගේම දෙසැම්බර් ඇස්තමේන්තුව වූ ඩොලර් බිලියන 83.2ටත් වඩා වැඩියි. ඒ වුනත්, දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96.3ක් තරම්ම වැඩි වෙන්න පුලුවන්ද?

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්න හේතු තුනක් බලපානවා.

1. මූර්ත ආර්ථික වර්ධනය 

2. මිල මට්ටමේ වෙනස් වීම (උද්ධමනය)

2. ඩොලරයක මිල වෙනස් වීම 

ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විසින් යෝජනා කරන අලුත් ණය උපකරණ වර්ගයට ආර්ථික වර්ධනය හා බැඳුනු බැඳුම්කර කියන්නේ නැතිව සාර්ව ආර්ථිකය හා බැඳුනු බැඳුම්කර කියන හේතුවත් මේ අනුව පැහැදිලි විය යුතුයි. ආර්ථිකයේ මූර්ත අංශයේ ප්‍රසාරණය නිරූපණය කරන ආර්ථික වර්ධන වේගය ඉහත හේතු තුනෙන් එකක් පමණයි. මිල මට්ටම වැඩි වීම මගින් රටේ මුදල් අංශයේ ප්‍රසාරණය නිරූපණය වෙනවා. ඩොලරයක මිල වෙනස් වීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් වීම හෝ දුර්වල වීම නිරූපණය වෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වෙනස් වීමට රටේ මූර්ත, මුදල් හා විදේශ අංශ තුනේම සිදු වන දේවල් බලපානවා.

පහත තියෙන්නේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව IMF එකේ 2023 මාර්තු පුරෝකථන.

2023 -  (-3.0)

2024 - 1.5

2025 - 2.6

2026 - 3.0

2027 - 3.1

මිල මට්ටමේ වෙනස් වීම පුරෝකථනය කරලා තිබුණේ මේ විදිහටයි.

2023 -  30.0

2024 - 10.7

2025 - 5.2

2026 - 5.1

2027 - 5.0

මේ අනුව, නාමික ආර්ථික වර්ධන වේගය මේ විදිහට පුරෝකථනය කරලා තිබුණා.

2023 -  26.0

2024 - 12.3

2025 - 8.3

2026 - 8.4

2027 - 8.3

ඩොලරයක මිල පුරෝකථනය කරලා තිබුණේ මෙහෙමයි.

2023 - 396

2024 - 441

2025 - 462

2026 - 484

2027 - 502

ඔය ඇස්තමේන්තු 2023 දෙසැම්බර් වෙද්දී මේ විදිහට වෙනස් වෙනවා. මුලින්ම ආර්ථික වර්ධන වේගය.

2023 -  (-3.6)

2024 - 1.8

2025 - 2.7

2026 - 3.0

2027 - 3.1

ඊළඟට මිල මට්ටමේ වෙනස් වීම.

2023 - 20.4

2024 - 10.1

2025 - 6.3

2026 - 5.4

2027 - 5.3

මේ අනුව, 2023 දෙසැම්බර් වෙද්දී නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු මේ විදිහට වෙනස් වෙලා තිබුණා.

2023 - 16.1

2024 - 12.1

2025 - 9.1

2026 - 8.6

2027 - 8.5

හොඳින් පරීක්ෂා කර බැලුවොත් ආර්ථික වර්ධන ඇස්තමේන්තු තරමක් එහා මෙහා වෙලා තිබුණත් ලොකු වෙනසක් නැහැ. උද්ධමන ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් නැහැ. ඒ නිසා, නාමික ආර්ථික වර්ධන වේගය පිළිබඳ ඇස්තමේන්තු වලත් විශාල වෙනසක් වෙලා නැහැ. එහෙමනම්, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වුනේ කොහොමද?

මේ වෙනස් වීමට ලොකුවටම බලපා තියෙන්නේ ඩොලරයක මිල පිළිබඳ ඇස්තමේන්තු.

2023 - 334

2024 - 385

2025 - 419

2026 - 446

2027 - 463

දැන් අපි 2023 දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව හරියටම දන්නවනේ. ඔය පුරෝකථන සහ සැබෑ අගයන් කොයි තරම් සමීපද?

ආර්ථික වර්ධන වේගය: (-2.3)

මිල මට්ටම වෙනස් වීම: 17.5

නාමික ආර්ථික වර්ධන වේගය: 14.8

ඩොලරයක මිල: 327

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය: 84.5

නාමික ආර්ථික වර්ධන වේගය දෙසැම්බර් ඇස්තමේන්තුවට වඩා තරමක් අඩු වෙලා වුනත්, ඩොලරයක මිල ඇස්තමේන්තුවට වඩා අඩු වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය තරමක් වැඩි වෙලා තිබෙනවා. 

දැන් මේ අගය IMF ඇස්තමේන්තු වල විදිහට 2025-2027 අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 84.2 මට්ටමේ තියෙයිද? එහෙම නැත්නම් බැඳුම්කර හිමියෝ හිතන විදිහට ඩොලර් බිලියන 96.3 මට්ටමට යයිද? 

මෙය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඩොලරයක මිල වෙනස් වීම මතයි. මුලින් IMF එක විසින් ඇස්තමේන්තු කර තිබුණු විදිහට 2027දී ඩොලරයක මිල රුපියල් 502ක් නොවුනත්, සංශෝධිත ඇස්තමේන්තු වල විදිහට රුපියල් 463 මට්ටමට යයිද? 

මේ අවුරුද්දේ මාස තුනහමාරක් යද්දී ඩොලරයක මිල රුපියල් 300 මට්ටමට බැහැලා. එහෙමනම් මේ අවුරුද්දේ සාමාන්‍ය අගය රුපියල් 385 දක්වා යයිද? ඩොලරයක මිල මේ අවුරුද්දේ ඒ තරම් ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ඒ වගේම, උද්ධමනය දැනටමත් 5% මට්ටමේ ස්ථාවර වෙලා. මහ බැංකුවට උද්ධමනය ඒ මට්ටමේ තියා ගැනීමට දැන් නීතිමය වගකීමක් තියෙනවා.

අපි හිතමු උද්ධමනය දිගටම 5% මට්ටමේ තිබිලා ආර්ථික වර්ධන වේගය IMF දෙසැම්බර් පුරෝකථන වලට කිට්ටුවෙන් යයි කියලා. එහෙම වෙද්දී ඩොලරයක මිල පහත ආකාරයෙන් වෙනස් වුනා කියලා හිතමු.

2024 - 320

2025 - 335

2026 - 360

2027 - 390

ඔය වගේ තත්ත්වයක් යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ මෙහෙමයි. 

2023 - ඇමරිකානු ඩොලර් බිලියන 84.5

2024 - ඇමරිකානු ඩොලර් බිලියන 92.3

2025 - ඇමරිකානු ඩොලර් බිලියන 95.1

2026 - ඇමරිකානු ඩොලර් බිලියන 95.7

2027 - ඇමරිකානු ඩොලර් බිලියන 98.1

2025-2027 සාමාන්‍ය අගය - ඇමරිකානු ඩොලර් බිලියන 96.3

ඒ කියන්නේ ඩොලරයක මිල ඉහත ආකාරයෙන් වෙනස් වුනොත් ණයහිමියන්ගේ ඇස්තමේන්තුව පහසුවෙන්ම හරියන්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙයිද?

මෙය තීරණය වෙන්නේ ඉදිරි වසර වලදී රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ මත. එම විදේශ විණිමය ප්‍රවාහ යහපත් මට්ටමක තිබුණොත් ඩොලරයක මිල ඔය මට්ටම් වල තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලරයක මිල IMF පුරෝකථන වල මට්ටමට ඉහළ යන්න පුළුවන්.

ඉදිරි වසර වලදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වෙන්නේ ආර්ථික වර්ධනය අනුව හෝ උද්ධමනය අනුව නෙමෙයි. ඒවා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. මේ අගය ලොකුවට වෙනස් විය හැක්කේ ඩොලරයක මිල වෙනස් වීම අනුවයි. එය සිදු වන්නේ රටට ගලා එන විදේශ විණිමය ප්‍රවාහ අනුවයි. 

ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ. ඒ අය ඔය තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩි වුනොත් වැඩියෙන් ණය ආපසු ගෙවිය යුතුයි කියා කියන එකෙන් ඔවුන් අදහස් කරන්නේ ඉදිරි වසර වලදී රටට වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ ගලා ආවොත් ඒ විදේශ විණිමය යොදාගෙන ඔවුන්ගේ ණය වලින් වඩා වැඩි කොටසක් ගෙවන්න කියන එකයි. 

එහෙම වැඩියෙන් විදේශ විණිමය ප්‍රවාහ රටට ගලා ආවේ නැත්නම් ඔවුන්ට කොහොමටවත්ම තමන්ගේ ණය වලින් ලොකු කොටසක් ආපහු ගන්න බැහැ. දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අඩුනම් වැඩි ණය කප්පාදුවකට ඔවුන් නොපැකිල කැමති වෙන්නේ ඒ නිසා.

Wednesday, April 17, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල


අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. 

ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය හැකි නරකම තත්ත්වය ලෙස සලකන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත්, අවම වශයෙන් මෙම අප්‍රේල් යෝජනාවෙන් ලංකාවට ලැබෙන වාසි ටික ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

ඒ වගේම, බැඳුම්කරහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජයේ යෝජනාව, බැඳුම්කරහිමියන්ගේ මාර්තු යෝජනාව හා ඔවුන්ගේ මෙම අප්‍රේල් යෝජනාව අතර පොදු කරුණු ගණනාවක් තිබෙනවා. දැනටමත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙන මෙම පොදු කරුණු ඉදිරියේදී වෙනස් වීමට ඉඩක් නැහැ. 

ඔය කොයි යෝජනාව අනුව වුනත්, 2028 වසර වන තුරු ලංකාව ණය ගෙවන්න පටන් ගන්නේ නැහැ. දැනට ගෙවා නැති පොලී කොටස වුවද ගෙවන්නේ කොටස් වශයෙනුයි. යෝජනා වෙනස් වන්නේ එයින් පසුව කාලය හා අදාළවයි. ඒ අනුව, මෙම අප්‍රේල් යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවට පොලී ගෙවීම සඳහා කොපමණ අමතර මුදලක් අවශ්‍ය වෙනවාද?

පසුගිය වසර අවසන් වන විට ගෙවා නොතිබුණු කූපන් පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,678ක්. මෙම මුදල ආපසු ගෙවන්නට යෝජනා වී තිබෙන්නේ පහත පරිදියි.

2024 - ඩොලර් මිලියන 336

2025 - ඩොලර් මිලියන 336

2026 - ඩොලර් මිලියන 336

2027 - ඩොලර් මිලියන 336

2028 - ඩොලර් මිලියන 336

ඉන් පසුව, 2029-2038 අතර කාලය තුළ ණය ආපසු ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 12,550ක් වන මුළු ණය ප්‍රමාණයෙන් 28%ක් කපා හැරෙන අතර ආපසු ගෙවන්නේ ඩොලර් මිලියන 9,036ක් පමණයි. ඒ පහත දැක්වෙන පරිදියි.

2029 - ඩොලර් මිලියන 650

2030 - ඩොලර් මිලියන 650

2031 - ඩොලර් මිලියන 900

2032 - ඩොලර් මිලියන 900

2033 - ඩොලර් මිලියන 900

2034 - ඩොලර් මිලියන 800

2035 - ඩොලර් මිලියන 800

2036 - ඩොලර් මිලියන 1250

2037 - ඩොලර් මිලියන 1093

2038 - ඩොලර් මිලියන 1093

කෙසේ වුවද, මෙම 28% ණය කප්පාදුව සිදු වන්නේ IMF එක විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2025-2027 කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2 මට්ටමේ පැවතුනොත් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඊට වඩා වැඩි වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 7.3% දක්වා ක්‍රමයෙන් අඩු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉලක්ක අගයට වඩා අඩු වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 54.7% දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. 

මෙම අවසන් කොටස පිළිබඳව තවමත් එකඟතාවයක් ඇති කරගෙන නැති නිසා ඒ ගැන කතා කතා කරන එක අපි පසුවට තබමු. නමුත්, එක දෙයක් දැනටමත් තීරණය වී අවසන්. ඒ, 2029 වසර දක්වා ණය ආපසු ගෙවීමක් සිදු නොකෙරෙන බවයි.

කෙසේ වුවත්, ඉහත සඳහන් ඩොලර් මිලියන 9,036ක ණය මුදල වෙනුවෙන් මෙන්ම හිඟ කූපන් පොලී ගෙවා අවසන් කරන තුරු ඒ වෙනුවෙන්ද වාර්ෂිකව ආසන්න වශයෙන් 4%ක පමණ පොලියක් ගෙවන්නට සිදු වෙනවා. එම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 400ක් පමණ. 2024 වසර සැලකුවහොත් ඩොලර් මිලියන 428ක පමණ මුදලක්. මෙම මුදලට ඉහත සඳහන් ඩොලර් මිලියන 336ක හිඟ කූපන් පොලී මුදල එකතු කළ විට මෙම වසර තුළ පොලී ගෙවීම සඳහා අමතර ඩොලර් මිලියන 764ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 දක්වා ඉදිරි වසර වලදීද මීට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා.

මීට අමතරව ඩොලර් මිලියන 10,810ක ද්විපාර්ශ්වීය ණය ඉතා ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කර අවසන් කෙරෙනු ඇති අතර දැනට තිබෙන තොරතුරු අනුව මෙම ණය ආපසු ගෙවන තුරු වාර්ෂිකව 2%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 216ක් අවශ්‍ය වෙනවා. චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 2,191ක මුදල වෙනුවෙන් 4%ක වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකි අතර එසේ වුවහොත් ඒ සඳහා තවත් ඩොලර් මිලියන 88ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ සියල්ල එකතු කළ විට, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ විට, ණය ගෙවීම අරඹන්නට පෙර කාලය තුළ, වාර්ෂික පොලී ගෙවීම් ලෙස ඩොලර් මිලියන 1,068ක පමණ අමතර විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 100කට කිට්ටුයි. 

මීට අමතරව මහ බැංකුවට සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. එහෙත්, වාහන ආනයන සිදු නොකරන්නේනම්, ඉහත පොලී වියදම් වලින් පසුවද දැනට පවතින තුලනය පවත්වා ගැනීම අසීරු නැහැ. නමුත් කලින් මෙන් විවෘත ලෙස වාහන ආනයනයට ඉඩ දිය හැකි තත්ත්වයක් තවමත් නැහැ. යම් තරමක විවෘත කිරීමක් සඳහා අවකාශ තිබෙනවා. 

කෙසේ වුවද, විණිමය වෙළඳපොළ හා අදාළව මතුවන තාවකාලික අමතර ප්‍රශ්නයක් තිබෙනවා. 

ඩොලර් මිලියන 12,550ක ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් මිලියන 1,750ක පමණ ප්‍රමාණයක ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසිනුයි. බොහෝ දුරට මේ ආයෝජන කර තිබෙන්නේ බැංකු විසින්. දැන් තිබෙන තත්ත්වය තුළ, 2029 වසර දක්වා ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙනාවක් මෙන්ම එසේ ලැබෙන්නේද ලැබිය යුතුව තිබුණු මුදලින් 72%ක් පමණයි. ඒ කියන්නේ ඔවුන්ට ඩොලර් මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. ඊට අමතරව ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට වෙනවා.

මෙම තත්ත්වය තුළ බැංකු විසින් ඉදිරි මාසයක හෝ දෙකක පමණ කාලය තුළ තමන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් එකතු කරන්නට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නැවතත් ඩොලරයක මිල මත පීඩනයක් ඇති වීමයි. කෙසේ වුවද මෙය තාවකාලික තත්ත්වයක් වන අතර බැංකු විසින් ප්‍රමාණවත් විදේශ සංචිත එකතු කර ගැනීමෙන් පසුව ඩොලරයක මිල නැවතත් ස්ථාවර වීමට නියමිතයි.  

Tuesday, April 16, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී ඇත්තේ නැවත සාකච්ඡා ආරම්භ කරන දිනයක් පිළිබඳව එකඟතාවයක් නැතිවයි. ඒ අනුව, මෙම කටයුත්ත ඉක්මණින් අවසන් වීමේ ඉඩක් මේ මොහොතේ පෙනෙන්නට නැහැ. 

මේ තත්ත්වය සාකච්ඡා බිඳ වැටීමක් සේ සැලකිය නොහැකි වුවත් ණයහිමියන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමක් සේ හඳුනා ගත හැකියි. ඒ අනුව, ශ්‍රී ලංකා රජයට මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා තව දුරටත් නම්‍යශීලී වීමට සිදු වෙනවා. මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, පසුගිය සති තුනකට වැඩි කාලය තුළ එක දිගටම පහළ ගිය ඩොලරයක මිල එහි ප්‍රවණතාව වෙනස් කර තිබෙන නමුත් කරුණු විමසා බලන විට ඒ තරම්ම කලබල වෙන්නට තරම් හේතු පෙනෙන්නේ නැහැ. 

ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අයදුම් කිරීමට පසුගිය අප්‍රේල් 10 දින දක්වා කාලය ලබා දී තිබුණා. ඔවුන්ගේ විමසීම් වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර තිබුනේ ඔවුන්ට පත් වීම් ලැබුණු වහාම "වැඩ පටන් ගන්නට" සිදු වනු ඇති බවයි. මේ අනුව පෙනී යන්නේ පැවති සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වනු ඇති බව ශ්‍රී ලංකා රජය විසින් විශ්වාස කළ බවයි. 

පසුගිය සති කිහිපය තුළ රහසිගතව සිදු වූ සාකච්ඡා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එයින් පෙනී යන්නේ එම සාකච්ඡා ඉලක්ක කළ කාල රාමුව තුළ සාර්ථක ලෙස අවසන් නොවීම නිසා ඇති වූ ඉච්ඡා භංගත්වය විය හැකිවාක් මෙන්ම මෙම ක්‍රියාවලියේ අවසානය කිට්ටුවටම දැනටමත් පැමිණ අවසන් නිසා තවත් හංගන්නට දෙයක් නොමැති වීමද විය හැකියි. 

සාකච්ඡා වල ප්‍රගතිය ඇණහිට ඇති බවක් මතුපිටින් පෙනුණත්, ණයහිමියන් සමඟ මේ වන විට සෑහෙන මට්ටමක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බැවින් මෙම ක්‍රියාවලියේ අනාගතය පිළිබඳව ඕනෑවට වඩා කනස්සළු විය යුතු නැහැ. එමෙන්ම, ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡාද මේ වන විට අවසන් අදියර ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡා පැවතුණේ ප්‍රධාන ණයහිමියන් දහ දෙනෙකුගේ කමිටුවක සාමාජිකයින් නව දෙනෙකු සමඟයි. ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 50%කට වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ මෙම දහ දෙනා සතුව බැවින් සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම ඉතාම වැදගත්. ඔවුන් අතරින්ද එක් අයෙකු සාකච්ඡා සඳහා කැමැත්ත පළ කර නොමැති බව පෙනී යනවා. 

මෙහිදී සිදුව ඇති දේ පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

- 2024 මාර්තු 27 හා 28 දින වල පැවති සාකච්ඡා වලට පෙර ණයහිමියන් (ඉහත ණයහිමියන් නව දෙනා) විසින් 2024 මාර්තු 11 දින ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.

- ශ්‍රී ලංකාව විසින්ද 2024 මාර්තු 25 දින තමන්ගේ යෝජනා ණයහිමියන් වෙත ලබා දී ඇති අතර ණයහිමියන් විසින් එම යෝජනා එක හෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

- මේ අනුව, සාකච්ඡා පාදක කර ගෙන තිබෙන්නේ ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනා මතයි. 

ඉහත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ යෝජනා (මේ වන විට ප්‍රසිද්ධ කර ඇතත්) පිළිබඳව විස්තර කතා කිරීමේ තේරුමක් නැති නිසා ණයහිමියන්ගේ මාර්තු යෝජනා සාරාංශගත කළහොත් එම යෝජනා වල මූලික කරුණු මෙසේයි.

- මුහුණත අගයෙන් 20%ක් කප්පාදු කෙරෙන අතර හිඟ පොලී කප්පාදු කිරීමක් කෙරෙන්නේ නැහැ.

- හිඟ පොලී බැඳුම්කර වලට පරිවර්තනය කර 2024-2028 අතර ගෙවා අවසන් කෙරෙන අතර එම කාලය තුළ 4%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි.

- මුහුණත අගය ආපසු ගෙවිය යුත්තේ 2029-2040 කාලය තුළයි. මෙම ණය වෙනුවෙන් 7.00%-8.25% අතර ක්‍රමයෙන් වැඩි වන වාර්ෂික කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2027 දක්වා එසේ ගෙවිය යුතු පොලියෙන් 3%ක් මුදලින් ආපසු ගෙවිය යුතු නැහැ. එම පොලිය පසුව ආපසු ගෙවිය හැකියි. එම කාලය තුළ මුදලින් ගෙවිය යුතු පොලිය 4.00%-4.50%ට සීමා වෙනවා. 

මෙම ඉල්ලීම ලංකාවේ පැත්තෙන් අසාධාරණ බව බැලු බැල්මටම කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත්, ණයහිමියන්ගේ තර්කය වන්නේ ඉදිරි වසර වලදී ලංකාවේ ආර්ථිකය IMF පුරෝකථන ඉලක්ක ඉක්මවා වර්ධනය වනු ඇති බවයි. ඔවුන් ඉහත ගෙවීම් ඉල්ලා සිටින්නේ ණය ආපසු ගෙවිය හැකි පරිදි රටේ ආර්ථිකය වර්ධනය වුවහොත් පමණයි. එසේ නොවුවහොත්, ලබා ගන්නා පොලී අනුපාතික අඩු වන අතර මුහුණත අගයද තව දුරටත් කප්පාදු කෙරෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය අඩු වෙන්නේ පහත ආකාරයටයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3ට වැඩිනම් - 20%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2- 86.3 අතරනම් - 20%කට අමතරව තවත් 11%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 84.2 අතරනම් - 20%කට අමතරව තවත් 19%ක කප්පාදුවක්. 

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 20%කට අමතරව තවත් 36%ක කප්පාදුවක්. 

මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව 2028 සිට ගෙවිය යුතු කූපන් පොලී අනුපාතිකයද පහළ යනවා. 

ඇමරිකන් ඩොලර් බිලියන 93.9ට වැඩිනම් - 8.2%ක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1- 93.9 අතරනම් - 7.3%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3- 90.1 අතරනම් - 6.1%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 - 86.3 අතරනම් - 5.4%ක් පමණයි.

ඇමරිකන් ඩොලර් බිලියන 80.5ට අඩුනම් - 5%ක් පමණයි. 

මෙම යෝජනාවෙන් අදහස් වන්නේ සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර නිකුත් කිරීමක්. යෝජනාවේ මෙම කොටසෙහි පරාමිතීන් වලට ශ්‍රී ලංකා රජය එකඟ වී නැහැ. එහෙත් ණයහිමියන් විසින් තර්ක කර තිබෙන්නේ මෙම යෝජනාව ඉතාම සාධාරණ බවයි.

පසුව ණයහිමියන් විසින් යහපාලන දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ අදහස මතු කර තිබෙන අතර ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් එයට යහපත් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව 2024 අප්‍රේල් 3 දින අදාළ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව සාර්ව-ආර්ථික දර්ශක හා බැඳුනු බැඳුම්කර පිළිබඳ සංශෝධිත යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංශෝධිත යෝජනාව මුල් යෝජනාවෙන් වෙනස් වන්නේ එහි පරාමිතීන් වෙනස් වීම මත පමණයි. ආකෘතියෙහි වෙනසක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුනහොත් ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට එකඟ වීමට ඉඩ තිබෙනවා. 

බැඳුම්කරහිමියන්ගේ අප්‍රේල් යෝජනා පහත පරිදි සාරාංශගත කළ හැකියි. 

දළ දේශීය නිෂ්පාදිතය (2025-2027 සාමාන්‍ය අගය) අනුව ආපසු ගෙවිය යුතු මුහුණත අගය හා 2028-2038 අතර ගෙවිය යුතු කූපන් පොලී අනුපාතික වෙනස් වෙන්නේ පහත ආකාරයටයි. මෙම යෝජනාව අනුව 2038 වන විට සියලු ණය ගෙවා අවසන් කෙරෙනවා.

ඇමරිකන් ඩොලර් බිලියන 96.3 නම් - 7.3%ක ණය කප්පාදුවක් සහ 8.5%ක කූපන් පොලියක්.

(ණයහිමියන්ගේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 93.9 නම් - 10.2%ක ණය කප්පාදුවක් සහ 8.1%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 90.1 නම් - 13.2%ක ණය කප්පාදුවක් සහ 7.4%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 86.3 නම් - 22.1%ක ණය කප්පාදුවක් සහ 6.8%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 84.2 නම් - 28.0%ක ණය කප්පාදුවක් සහ 6.4%ක කූපන් පොලියක්.

(IMF වැඩසටහනේ පුරෝකථනය)

ඇමරිකන් ඩොලර් බිලියන 80.5 නම් - 41.6%ක ණය කප්පාදුවක් සහ 6.0%ක කූපන් පොලියක්.

ඇමරිකන් ඩොලර් බිලියන 77.6 නම් - 54.7%ක ණය කප්පාදුවක් සහ 5.8%ක කූපන් පොලියක්.

ණයහිමියන් විසින් ඉදිරිපත් කරන කරුණු ඇත්තටම නිවැරදියි. ප්‍රායෝගිකව බොහෝ විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය IMF ඇස්තමේන්තුව වන ඩොලර් බිලියන 84.2 ඉක්මවීමට සහ ණයහිමියන්ගේ පුරෝකථනය වන ඩොලර් බිලියන 96.3ට ආසන්න වීමට ඉඩකඩ වැඩියි. මේ අයුරින් දදේනි ඉහළ යද්දී එහි ප්‍රතිශතයක් ලෙස ණය සේවාකරණ වියදම පහළ යනවා. ඒ නිසා, ණය තිරසාරත්වය නැති වී ඇතිය යන IMF තර්කය වලංගු නැතිව යනවා. 

ඉහත හේතුව නිසා ලංකාවට ණයහිමියන් සමඟ තර්ක කළ හැකි පදනමක් නැහැ. ලංකාව කියන විදිහට සහ IMF ඇස්තමේන්තු අනුව ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 2025-2027 සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2ක් පමණක් වුනොත් 28.0%ක ණය කප්පාදුවකට ඔවුන් කැමතියි. නමුත් ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඊට වඩා විශාල විය හැකි නිසා මේ යෝජනාව අනුව අවසාන වශයෙන් ලංකාවට ලොකු ණය කප්පාදුවක් නොලැබෙන්න ඉඩකඩ වැඩියි.

ඉදිරි මැතිවරණ එක්ක මෙය දේශපාලන ප්‍රශ්නයක් බවටද පත් වෙනවා. සජබ (විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා) කලින්ම මේ යෝජනාවට විරුද්ධව කතා කර තිබුණා. ඇතැම් විට මාලිමාව විසින් වුවද සජබ තර්කය ඉදිරියට අරගෙන යන්න ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් හමුවේ සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණයක් පිළිබඳ විශාල විශ්වාසයක් නොමැති පසුබිමක ආණ්ඩුව මේ කටයුත්ත ඉදිරි ආණ්ඩුවකටම කරගන්නට ඉඩ හරියිද? 

සංශෝධිත යෝජනාවට යෝජනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබුණහොත් සහ රට තුළ විශාල දේශපාලන ප්‍රතිරෝධයක් ඇති නොවුනහොත් මේ යෝජනාව මාසයක් වැනි කාලයක් ඇතුළත ඉදිරියට යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත අවසන් බව නෙමෙයි. ඇතැම් පාර්ශ්ව තව දුරටත් බැඳුම්කර හුවමාරුවකට එකඟ නොවිය හැකි බැවින් වැඩේ තවත් කාලයක් ඇදෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. 

අනෙක් අතට ලොකු දේශපාලනික විරෝධයක් මතු වුනොත් ආණ්ඩුව වැඩේ ඉවරයක් කරන්න හදිස්සි නොවී මැතිවරණ අවසන් වන තුරු කල් මරන්න ඉඩ තිබෙනවා.

Monday, April 15, 2024

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. 

ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද?

කාරක සභා ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සුවිශේෂී අංගයක්. පාර්ලිමේන්තුවක් වැනි නියෝජිතයින් සිය ගණනක් සිටින සභාවකට කිසියම් කරුණක් සාකච්ඡා කර තීරණයකට පැමිණීම සඳහා තිබෙන්නේ සීමිත කාලයක් පමණයි. මෙම කාලය තුළ අවශ්‍ය හැම දෙයක්ම ප්‍රමාණවත් තරමින් සාකච්ඡා කරන්න අමාරුයි. මෙයට විසඳුමක් ලෙස කාලය යොදවා අධ්‍යයනය කළ යුතු දේවල් එසේ අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය කාරක සභාවකට පැවරෙනවා. කාරක සභාවක් තෝරාගත් නියෝජිතයින් සීමිත පිරිසකගෙන් සමන්විතයි. 

ඇතැම් කාරක සභා ස්ථාවර කාරක සභා. මෙවැනි කාරක සභා වලට පැවරුණු නිශ්චිත කාර්යයන් තිබෙනවා. එම කාර්යයන් සාකච්ඡාවට ගෙන  පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ ස්ථාවර කාරක සභාවේ කාර්යයක්. සාමාජිකයින් වරින් වර වෙනස් වුනත් මෙවැනි කාරක සභා දිගටම තිබෙනවා. මීට අමතරව වරින් වර විශේෂ කාර්යයන් සඳහා කාරක සභා පත් කෙරෙනවා. ක්‍රම සහ විධි කාරක සභාව එවැනි විශේෂ කාර්යයන් සඳහා ස්ථාපනය කළ කාරක සභාවක්.

ක්‍රම සහ විධි කාරක සභාව පිහිටුවා තිබෙන්නේ රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කරන කාරක සභාවක් ලෙසයි. බදු අය කිරීම්, තීරුබදු සහ රජයේ අනෙකුත් ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අදාළ සියලු කරුණු පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය අවස්ථා වල බදු සහ තීරුබදු සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති වල වෙනස්කම් යෝජනා කිරීමටත් මෙම කාරක සභාවට බලය තිබෙනවා. කෙටියෙන් කිවුවොත් මෙම කාරක සභාව පිහිටුවීමේ අරමුණ රජයේ බදු ආදායම් වැඩි කර ගත හැකි ආකාරය සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

සාමාන්‍යයෙන් මෙවැනි කාරක සභාවක කාර්යය නිර්දේශ ඉදිරිපත් කිරීමට සීමාවෙනවා. ඒවා නීති හෝ නියෝග නෙමෙයි. එම නිර්දේශ සලකා බලා කළ යුතු දෙයක් ඇත්නම් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යයක්.

ක්‍රම සහ විධි කාරක සභාවේ ඉන්නේ කවුද?

මෙහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයයි. මේ අතරින් අයෙකු වන පාඨලී චම්පික රණවක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.

ඔය කියන කාරක සභා වාර්තාව කුමක්ද?

මේ කියන්නේ පසුගිය (2024) අප්‍රේල් 1 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවන වාර්තාවයි. මෙම වාර්තාවෙහි ආදායම් එකතු කර ගැනීම ගැනත්, වෙනත් කරුණු කිහිපයක් ගැනත් කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. 

වෙළෙන්දන් "අයුතු" ලාබ ලබන බවක් මේ වාර්තාවේ කියා තිබෙනවාද?

එහෙම කතාවක් මේ වාර්තාවේ නැහැ. "අයුතු" ලාබ ගැන කතා කළ හැක්කේ "යුතු ලාබ" වලට සාපේක්ෂවයි. කවුරු හෝ අයෙක් රටේ පවතින නීති රාමුව යටතේ, එම නීති උල්ලංඝනය නොකර, ලාබ උපයනවානම් ඒවා "යුතු ලාබ" මිසක් "අයුතු ලාබ" නෙමෙයි. "අයුතු ලාබ" කියන වචනය හෝ ඒ ආකාරයේ "අයුතු ලාබ" ගැන මෙම වාර්තාවේ කිසිවක් සඳහන්ව නැහැ. "අසාධාරණ ලාබ" වැනි වචනද මේ වාර්තාවේ නැහැ. එහෙත් වෙළෙන්දන් විසින් "විශාල ලාභයක්" උපයා ඇති බව මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මෙය "අසාධාරණ" හෝ "අයුතු" ලාභ ගැන කෙළින්ම නොකියා එවැන්නක් ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. හරියටම කිවුවොත්, වාර්තාවේ සඳහන්ව ඇත්තේ පහත ඇති පාඨයයි.  

"2022 හා 2023 වසර වලදී විශේෂයෙන්ම බී ලූණු, අර්තාපල්, වියලි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී පාරිභෝගිකයාට අතිවිශාල වියදමක් දැරීමට සිදු වී ඇති අතර එමගින් වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත."

මෙවැන්නක් කියන පදනම කුමක්ද?

මෙම කමිටුවේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය වල ආනයනික මිලට බදු එකතු කර වෙළෙන්දන්ගේ පිරිවැය ගණනය කරනවා. ඉන් පසුව, එම අගය අදාළ ආහාර ද්‍රව්‍ය වල සිල්ලර මිල සමඟ සංසන්දනය කර මෙම අගයයන් අතර වෙනස වෙළෙන්දන්ගේ ලාබය ලෙස පෙන්වනවා. 


මේ විදිහට ලාබය ගණනය කරන එක නිවැරදිද?

කිසිසේත්ම නැහැ. ඒ බව මෙම වාර්තාවේම සඳහන් පහත පාඨයෙන් වුවද සනාථ වෙනවා.

"භාණ්ඩයක වෙළඳපොළ මිල තුළ ද්‍රව්‍යමය හානි, ප්‍රවාහන වියදම් හා වෙළෙන්දන් විසින් උපයන ලාබ ඇතුළත් වේ."

එහෙත්, මෙම කමිටුව විසින් ලාබ ගණන් හදද්දී ඔවුන් විසින්ම සඳහන් කරන ද්‍රව්‍යමය හානි හා ප්‍රවාහන වියදම් නොසලකා හරිනවා. ඊට අමතරව ගබඩා කර තබා ගැනීමේ වියදම්, මූල්‍ය පිරිවැය, සේවක පඩිනඩි ඇතුළු ශ්‍රමයේ මිල සහ අනෙකුත් අමතර වියදම් (ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ප්‍රචාරණ වියදම් ආදිය) නොසලකා හරිනවා. ලාබය ගණනය කළ හැක්කේ මේ සියලු පිරිවැය අඩු කිරීමෙන් පසුවයි. මෙම කමිටුව විසින් එවැනි නිවැරදි හා අංග සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කර නැහැ. මෙම වාර්තාවේ තිබෙන්නේ මතුපිටින් බලා සිදු කළ අසම්පූර්ණ සංසන්දනයක්. ඒ නිසාම, වාර්තාවේ සඳහන් "විශාල ලාභයක් උපයා ඇති බව" යන ප්‍රකාශයේ පදනම දුර්වල එකක්. එය එසේ විය හැකි වුවත්, මෙම වාර්තාවේ ඇති කරුණු වලින් එය පැහැදිලි ලෙස තහවුරු වන්නේ නැහැ.

ඒ වගේම, මෙම වාර්තාවෙහි ආනයනකරුගේ සිට තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා දක්වා සිදු වන අගය එකතු වීම සහ ඔවුන් අතර ලාබ බෙදී යාම අධ්‍යයනය කිරීමක් සිදුව නැහැ. ඒ වෙනුවට, මේ සියලු පාර්ශ්වයන්ගේ අමතර පිරිවැය හා ලාබ "වෙළෙන්දන් විසින් උපයන ලාබ" ලෙස එක ගොඩකට දමා තිබෙනවා. ඒ නිසා, යම් හෙයකින් මෙහි "විශාල ලාබ" තිබුණත් ඒ විශාල ලාබ එකතු වන්නේ කවර අදියරේදීද යන ප්‍රශ්නයට මෙම වාර්තාව පිළිතුරු සපයන්නේ නැහැ.

එහෙමනම්, මේ වාර්තාවේ ගතයුත්තක් නැද්ද?

ඉහත අඩුපාඩු තිබුණත් වාර්තාවේ ගත යුත්තක් නැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එහි ඇස්තමේන්තු වලින් වෙළෙන්දන්ගේ ලාබ අදහස් නොවෙතත්, 2018 සිට 2023 දක්වා සිදු කරන සංසන්දනය වැදගත්. සමස්තයක් ලෙස ගත් විට, 2018-2021 කාලයට සාපේක්ෂව 2022 හා 2023 වසර වලදී ඇස්තමේන්තු කර තිබෙන ආන්තිකයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, මෙය වෙළෙන්දන්ගේ ලාබ වැඩි වීමක්ද යන්න ප්‍රශ්න කිරීමට පසුබිමක් තිබෙනවා. ඊට අමතරව, මෙහි සඳහන් ආනයනික පාරිභෝගික භාණ්ඩ වල ආනයනික මිලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල තරඟකාරිත්වය පිළිබඳවද මෙහි සඳහන් තොරතුරු ඇසුරෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, වාර්තාවේ මෙම කරුණට අමතරව වෙනත් කරුණු ගණනාවක් පිළිබඳව අධ්‍යයනය කර කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දෙවසර තුළ මෙහි සඳහන් "ලාබ ඇස්තමේන්තු" ඉහළ ගොස් ඇත්තේ කෙසේද?

බී ලූණු

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 145

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 87

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 58

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 289

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 98

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 191


අර්තාපල් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 155

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 100

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 55

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 209

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 103

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 106


වියලි හාල්මැස්සන් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 789

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 401

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 388

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1424

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 508

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 916


උම්බලකඩ 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1916

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 926

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 990

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 3065

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 872

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 2193


මුං ඇට 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 545

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 215

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 330

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1113

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 438

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 675


ඉහත දත්ත දෙස බැලූ විට පෙනී යන්නේ කුමක්ද?

පළමු නිරීක්ෂණය වන්නේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගියද පෙර දෙවසරට සාපේක්ෂව, පසුගිය දෙවසර තුළ, ඉහත පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමේ සෘජු පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් නොමැති බවයි. ඊට හේතුව ඩොලරයක මිල ඉහළ යද්දී මෙම භාණ්ඩ ආනයනය කෙරෙන රට වල එම භාණ්ඩ වල මිල ගණන් අඩු වී තිබීමයි. (මුං ඇට හා අදාළව මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි.) එහෙත්, දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබීමෙන් වෙළෙන්දන්ගේ ලාභ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ.

මෙහි වෙළෙන්දන් ලෙස පොදුවේ හඳුන්වා තිබෙන්නේ අතරමැදියන් ගණනාවක් සිටින දාමයක්. එහි අවසාන අදියරේ ඉන්නේ පාරිභෝගිකයාට සෘජුව සම්මුඛ වන සිල්ලර වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දන් බොහෝ විට විශාල ධනවතුන් නෙමෙයි. ඔවුන් සුළු ව්‍යාපාරිකයින්. මෙවැනි අය බොහෝ විට තමන් විසින්ම ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රමය යොදවන අයයි. ඇතැම් විට පවුලේ වෙනත් සාමාජිකයින් විසින්ද මෙවැනි ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රමය යොදවනවා. මෙසේ යොදවන ශ්‍රමය වෙනුවෙන් මොවුන් වෙනම වැටුප් ගන්නේ නැහැ. එම වැටුප් කොටස තිබෙන්නේද ව්‍යාපාරයේ ලාබ කොටස තුළයි.

පසුගිය දෙවසර තුළ සමස්තයක් ලෙස රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. එසේ බඩු මිල වැඩි වෙද්දී තමන්ගේ ශ්‍රමයේ මිල වැඩි කර ගත හැකි අය බඩු මිල වැඩි වීමට අනුරූපව තමන්ගේ ශ්‍රමයේ මිලද වැඩි කර ගෙන තිබෙනවා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ පෙර පැවති ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ. ක්‍රම සහ විධි කාරක සභා කාරක සභාවේ ඇස්තමේන්තු තුළ මෙය පිළිබිඹු වන්නේ වෙළෙන්දන්ගේ ලාබ ඉහළ යාමක් ලෙසයි. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු ආදිය ඉහළ යාමේ බලපෑමද පිරිවැය කොටසට එකතු වන නිසා තොග වෙළෙන්දාගේ මිල සහ සිල්ලර වෙළෙන්දාගේ මිල අතර පරතරය පසුගිය දෙවසර තුළ අනිවාර්යයෙන්ම ඉහළ ගොස් තිබිය යුතුයි. එයින් ඔවුන්ගේ ලාබ ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ.

මෙම දාමයේ සිල්ලර වෙළෙන්දාට පෙර සිටින්නේ තොග වෙළෙන්දා. ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් වියදම් ඉහළ යාම තොග වෙළෙන්දාටද බලපානවා. ඊට අමතරව තොග ගබඩා කරගෙන සිටීමේ පිරිවැය, විශේෂයෙන්ම මූල්‍ය පිරිවැය, පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. බඩු තොගයක වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත්, එම මුදල 12%ක බැංකු ණයක් යොදවා කළ ආයෝජනයක්නම්, මාසයක් මේ බඩු වෙනුවෙන් සල්ලි යට කර තැබීමේ පිරිවැය රුපියල් දහසක්. පොලිය 24% වන විට එම පිරිවැය දෙගුණ වෙනවා. 

සුපිරි වෙළඳසැලක් බොහෝ විට තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ කාර්යයන් දෙකම කරනවා. ඒ නිසා, ශ්‍රමයේ මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම, විදුලි ගාස්තු වැනි වියදම් ඉහළ යාම, බැංකු පොලී ඉහළ යාම ආදී හැම දෙයක්ම මිල වෙනස ඉහළ දමනවා. ලාබ වැඩි වී ඇත්ද යන්න නිගමනය කළ හැක්කේ මේ සියලු සෘජු හා වක්‍ර වියදම් ඉවත් කිරීමෙන් පසුවයි.

දාමයේ මුල සිටින ආනයනකරු සැලකුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනකරුගේ මූල්‍ය පිරිවැය පිළිබඳව සලකා නැහැ. එම මූල්‍ය පිරිවැය පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. 

ඒ කියන්නේ වාර්තාවේ සඳහන් "වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත" කියන ප්‍රකාශය බොරුවක්ද?

මේ ප්‍රකාශය ඇත්තක්ද බොරුවක්ද කියා හරියටම කියන්න පුළුවන් වන්නේ සියලුම පිරිවැය නිවැරදිව සලකා බලා ඇස්තමේන්තුවක් කළහොත් පමණයි. මෙම වාර්තාවේ එවැනි නිවැරදි ගණනය කිරීමක් සිදු කර නැහැ. තමන් විසින් කවදාවත්ම ව්‍යාපාරයක් කර නැති අය වෙනත් අයගේ ලාබ ගණන් හදන්න යන විට ඔය වගේ අඩුපාඩු සිදු වෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා, වාර්තාවේ සඳහන් ප්‍රකාශය නිවැරදි වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

කොහොම වුනත්, මෙම වාර්තාවෙහි ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. ඒ සඳහා එහි යෝජනා කර තිබෙන විසඳුම් මොනවාද?

ප්‍රධාන යෝජනා දෙකක් දැකිය හැකියි.

1. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවත්වා ගෙන යාම. මෙහි අරමුණ බව පෙනී යන්නේ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම මිස පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල අඩු කිරීම නෙමෙයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පවත්වා නොගැනීම නිසා රජයේ බදු ආදායම අඛණ්ඩව අඩු වෙමින් පවතින බව කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

2. ආනයනික ආහාර ද්‍රව්‍ය වල ආනයනකරුවන්ට හා වෙළෙන්දන්ට ඒවායේ මිල ගණන් අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට තිබෙන ඉඩකඩ වලක්වමින් මෙම වාර්තාවේ සිදු කර ඇති පරිදි භාණ්ඩ වල බදු පැනවීමෙන් පසු පිරිවැය මාස්පතා ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම භාණ්ඩ වල වෙළඳපොළ මිල ගණන්ද එලෙසම ප්‍රසිද්ධ කිරීම.

මෙම වාර්තාවේ අදාළ භාණ්ඩ වල මිල පාලනය කළ යුතු බව හෝ වෙළඳපොළ නියාමනය කළ යුතු බව සඳහන්ව තිබේද?

එවැනි යෝජනා මෙම වාර්තාවේ නැහැ. 

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් අධික ලාභ ලබන බව මෙම වාර්තාවේ ඇති කරුණු වලින් තහවුරු නොවෙතත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් තිබේද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. මෙහි සඳහන් පාරිභෝගික භාණ්ඩ වර්ග පහම රට තුළ නිපදවන දේවල්. එම භාණ්ඩ ආනයනය කර ඉහළ මිලකට විකිණිය හැකි වීමෙන් පෙනෙන්නේ දේශීය නිෂ්පාදනය කොයි තරම් අකාර්යක්ෂමද යන්නයි. වෙළඳපොළක මිල තීරණය වන්නේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයාගේ පිරිවැය මතයි. 

වියලි හාල්මැස්සන් උදාහරණයකට ගත්තොත්, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ කිලෝග්‍රෑමයක් ලංකාවට එන විට මිල රුපියල් 396ක් පමණයි. විදේශ ධීවරයාගේ, හාල්මැස්සන් වියලා සකස් කරන්නාගේ, පැකට් කරන්නාගේ, සිල්ලර හා තොග වෙළෙන්දන්ගේ සිට අපනයනකරු දක්වා සියල්ලන්ගේම පිරිවැය හා ලාබ මෙන්ම අපනයන බදු ඇත්නම් ඒවාද තිබෙන්නේ මෙම රුපියල් 396 තුළයි. මෙසේ රුපියල් 396කට ලංකාවට එන වියලි හාල්මැස්සන් කිලෝව ලංකාවේ විකිණෙන්නේ රුපියල් 1308කටයි. පාරිභෝගිකයා විසින් ගෙවන එම මිලෙන් රුපියල් 812ක් රට තුළ ඉතිරි වෙනවා. 

වෙළෙන්දන්ගේ ලාබ කෙසේ වුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනික භාණ්ඩ වල දේශීය අගය එකතු කිරීම නිවැරදිව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1308කට විකිණෙන විට රුපියල් 812ක දේශීය ගය එකතු වීමක් සිදු වෙලා. එම මුදල කෙසේ බෙදී ගියත් එසේ බෙදෙන්නේ ශ්‍රී ලාංකිකයින් අතරයි. ඒ නිසා, ආනයනික හාල්මැස්සන් කිලෝවක් පාරිභෝගිකයෙක් විසින් මිල දී ගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 812කින් ඉහළ ගිහින්.

රටේ නිපදවන වියලි හාල්මැස්සන් කිලෝවක් විකිණෙන්නේත් ඔය මිලටයි. එවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයට කොපමණ මුදලක් එකතු වෙනවාද? මෙය තීරණය වන්නේ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා යන දේශීය පිරිවැය කොපමණද යන්න මතයි. යම් හෙයකින් එම පිරිවැය රුපියල් 396ට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ආනයනය නොකර රට තුළ නිපදවන සෑම වියලි හාල්මැස්සන් කිලෝවක් ගණනේම රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යන බවයි!

බොහෝ විට ලංකාව තුළ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා වැය වන පිරිවැය රුපියල් 396ට වඩා වැඩි විය හැකියි. එය එසේ නොවේනම්, ආනයනික වියලි හාල්මැස්සන් කිලෝවක් මෙවැනි වැඩි මිලකට විකුණන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පාරිභෝගිකයාගේ පැත්ත ගැන හෝ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසින් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නය මෙය බවයි. බී ලූණු, අර්තාපල්, උම්බලකඩ හා මුංඇට සම්බන්ධව වුවද මේ කතාවේ වෙනසක් නැහැ.

මෙවැනි තත්ත්වයක් තුළ ආනයනකරුවන්ට "අධික ලාභයක්" ලැබීමේ අවස්ථාවක් ඇත්තටම තිබෙනවා. තරඟය වැඩි වුනා කියා එම අධික ලාභය අඩු වෙන්නේ හෝ මිල පහළ යන්නේ නැහැ. එසේ විය හැක්කේ ආනයන විශාල ලෙස ඉහළ ගොස් දේශීය නිෂ්පාදිතය නැත්තටම නැති වී යන තත්ත්වයකදී පමණයි.

මෙම භාණ්ඩ වල මිල පාලනය කළහොත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙයිද?

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් විසින් අධික ලාභ ලබා ගන්නේනම් මිල පාලනය කළ විට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙයින් දේශීය නිෂ්පාදනය නැත්තටම නැති වී යාම හෝ විශාල ලෙස කඩා වැටීමද නොවැලැක්විය හැකියි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ දේශීය නිෂ්පාදන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වීම එයට හේතුවයි. ආනයනකරුවන් විසින් අධික ලාභ ලබයිනම් එය අතුරු ප්‍රතිඵලයක්. රජයට එක්කෝ පාරිභෝගිකයින්ගේ පැත්ත අමතක කර නිෂ්පාදනය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය වැඩි කර ගැනීම අමතක කර මිල අඩු කර ගැනීම ගැන හිතන්න පුළුවන්. ඔය දෙකම කරන්න බැහැ.

මෙම කාරක සභා වාර්තාවෙහි යෝජනා කරන පරිදි මිල හා පිරිවැය ප්‍රසිද්ධ කිරීම ප්‍රයෝජනවත් නැද්ද?

මෙහි තිබෙන්නේ බඩුමිල ඉහළ යාමේ වැරැද්ද තෙවන පාර්ශ්වයක් පිට පැටවීමේ උත්සාහයක් මිසක් ප්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි. එසේ වුවත්, මේ වැඩේ නරක වැඩක් නෙමෙයි. එයින් හොඳක් සිදු වීමේ යම් ඉඩක් ඇති අතර නරකක් වීමට හේතුවක් නැහැ. මෙම අතරමැදි කර්මාන්තයේ ලාබ ඇත්තටම ගොඩක් වැඩිනම් තවත් අය කර්මාන්තයට ආකර්ශනය වී තරඟය නිසා මිල අඩු වීමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයින්ට තරඟ කිරීම වඩා අසීරු වෙන්න පුළුවන්.

සමුපකාර ක්‍රමය මේ ප්‍රශ්නයට විසඳුමක්ද?

සමුපකාර කියන්නේ පොදු වචනයක්. විවිධ වර්ග වල සමුපකාර තියෙන්න පුලුවන්. මෙම කර්මාන්තයේ අධික ලාභ තිබේනම්, පාරිභෝගිකයින්ගේ සමුකාරයකට එහි වාසිය ලබා ගන්න පුළුවන්. නමුත්, මෙහිදීද අවසාන වශයෙන් දේශීය නිෂ්පාදකයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය තීරණය වන්නේ කර්මාන්තයේ අධික ලාභ තිබේනම් එම ලාබ තිබෙන්නේ කවර අදියර තුළද යන්න මතයි.

බදු වැඩි කිරීම ප්‍රශ්නයට විසඳුමක්ද?

ඇත්තටම කර්මාන්තයේ අධික ලාබ තිබේනම් බදු වැඩි කිරීම මගින් එම ලාබ වලින් කොටසක් රජයේ ආදායම් බවට හරවා ගන්න පුළුවන්. මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවන මිල ඉහළ යන්නේ නැහැ. ඊට හේතුව, එම මිල තීරණය වන්නේ ආනයනික පිරිවැය මත නොව දේශීය නිෂ්පාදකයාගේ පිරිවැය මත නිසයි.

Friday, April 12, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මත හා අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මත එමගින් සිදු විය හැකි බලපෑම, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ලොකුම අවදානම ලෙස හඳුනා ගන්නවා.

"Risks to the outlook tend to the downside. Among them, the most important is uncertainty associated with the upcoming elections, including any possible impact on fiscal policy and reform implementation."

පසුගිය වසර අවසාන වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 37,334.5ක විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 6,231.1ක්ම ගෙවිය යුතු වූයේ ආසියානු සංවර්ධන බැංකුවටයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංවර්ධන හවුල්කරු සේ සැලකිය හැකි ආසියානු සංවර්ධන බැංකුව විසින් තවමත් ලංකාවට දිගින් දිගටම ණය ලබා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින්ද දිගටම ආසියානු සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් ගෙවනවා. 



ශුභ සූර්ය මංගල්‍යයක්!

 



ගෙවුණු මැදින් අමාවක පෝය දවස (අප්‍රේල් 8) සුවිශේෂී දවසක්. ඒ ජීවිතයේ පළමු වරට පූර්ණ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි වූ නිසා. අවුරුදු එකහමාරකට පමණ වරක් පෘථිවියේ කොහේ හෝ තැනක සිට පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹිය හැකි වුනත්, යම් නිශ්චිත තැනකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ සියවස් එකහමාරකට පමණ වරක්. ඒ වගේම, මේ කාලාන්තර විශාල ලෙස විචලනය වන පරාසයක ආසන්න සාමාන්‍ය අගයයන් පමණයි. 

මෙම පූර්ණ සූර්යග්‍රහණය වැඩි මහන්සියක් නැතිව ගෙදර සිටම නිරීක්ෂණය කළ හැකි වුනා. එය අපූරු අත්දැකීමක්. මීට වසර හතකට පෙර 2017දීද ඇමරිකාවට පෙනුණු පූර්ණ සූර්යග්‍රහණයක් තිබුණා. පැය පහක හයක ගමනකින් පසු එය නිරීක්ෂණය කළ හැකිව තිබුණත්, අදාළ දිනයේ තිබුණු වැඩ රාජකාරි නිසා එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, තවත් අවුරුදු හතක් බලා ඉන්න වුනා. 2017 සූර්යග්‍රහණය නිවසට පෙනුණේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසයි. එහිදීද ඉරෙන් 92%ක් ආවරණය වනු දැකගත හැකි වුවත්, එය කිසිසේත්ම පූර්ණ සූර්යග්‍රහණයක් දැකීමේ අත්දැකීමට සම කළ නොහැකියි.

සූර්යග්‍රහණ සිදු වන්නේ අමාවක පෝය දින වලයි. අමාවක පෝයෙන් ලංකාවේ චන්ද්‍ර මාස අවසන් වෙනවා. සඳුගේ ගමන මත පදනම් වූ ඉන්දීය කලාපයේ විවිධ දින දර්ශන පූර්ණිමාන්ත දින දර්ශන හා අමාන්ත දින දර්ශන සේ වර්ග කෙරෙනවා. පූර්ණිමාන්ත ක්‍රමයේදී මාස මාරු වෙන්නේ පසළොස්වක පෝය දිනයෙන්. අමාන්ත ක්‍රමයේදී අමාවක පෝය දිනයෙන්. ලංකාවේ භාවිතා වෙන්නේ අමාන්ත ක්‍රමයයි. 

ඇමරිකාවේ කොටසකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වූ මැදින් අමාවක දිනයෙන් පසු ලංකාවේ භාවිතා කරන චන්ද්‍ර-සූර්ය දින දර්ශනය අනුව බක් මාසය උදා වුනා. එම දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයක් නොවී චන්ද්‍ර-සූර්ය දින දර්ශනයක් වන්නේ මාස පදනම් වන්නේ චන්ද්‍රයාගේ ගමන මත වුවත්, අවුරුද්ද පදනම් වන්නේ සූර්යයාගේ ගමන මත නිසයි. 

මෙයින් වෙනස්ව ඉස්ලාම් දින දර්ශනය තනිකරම චන්ද්‍ර දින දර්ශනයක්. ඒ නිසා, එහි වසරක කාලය සූර්ය දින දර්ශනයක වසරක කාලයට වඩා දින 11කින් පමණ කෙටියි. සිංහල චන්ද්‍ර-සූර්ය දින දර්ශන ක්‍රමයේදී වසර තුනකට පමණ වරක් අධික මාසයක් එකතු කිරීම මගින් මෙම වෙනස ගලපනවා. එය කරන්නේ මේෂ සංක්‍රාන්තිය බක් මාසය තුළ සිදු වන ලෙසයි. ඒ අනුව, බක් අමාවක දිනය සිංහල අවුරුද්දෙන් පසුව එළැඹෙන පළමු අමාවක දිනයයි. 

මෙවර, ඉස්ලාම් දින දර්ශනය අනුව ශව්වාල් මාසයේ පළමු දිනට යෙදෙන, ඉස්ලාම් ආගමිකයින්ගේ ඊද් උත්සව දිනයද සිංහල අවුරුදු දිනය කිට්ටුවටම ඇවිත් තිබෙනවා. දින දර්ශන වල වෙනස නිසා එසේ සිදු වන්නේ වසර 33කට පසුවයි. 

පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ඉර හා හඳ එකවර එකතැන තිබෙනු දැකිය හැකි දුලබ අවස්ථාවක්. අර්ධ සූර්යග්‍රහණයකදී ඉරෙන් 99%ක් පමණම වැසී ගියද, පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් එය පියවි ඇසින් බැලිය නොහැකියි. විශේෂ කණ්නාඩියක් පැළඳ මේ  නිරීක්ෂණය කළ හැකි වුවත්, එය පියවි අතින් පූර්ණ සූර්යග්‍රහණයක් දකින තරම් අපූරු අත්දැකීමක් නෙමෙයි. 

ඇමරිකාවේ සිට පූර්ණ සූර්යග්‍රහණයක් පියවි ඇසින් නරඹද්දී, මගේ මනසේ චිත්‍රණය වන්නේ බක් අමාවක පෝය දිනයක් වූ ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක් තුළ ලංකාවේ නාගදීපයට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය හා එවැනි අවස්ථාවක සිදු විය හැකිව තිබුණු සිදුවීම්යි මාලාවයි. 

බක් මාසය ශ්‍රී ලාංකිකයින්ගේ උත්සව මාසයයි. මම හිතන්නේ කාලයකට පසුව මේ උත්සව මාසය ශ්‍රී ලාංකිකයින් විසින් සතුටෙන් සමරන බවයි. පාස්කු ප්‍රහාරය, වසංගතය හා ආර්ථික අර්බුදය නිසා වසර ගණනාවක්ම මේ උත්සව සමය ගෙවුනේ ලොකුවට සතුටු විය හැකි විදිහට නෙමෙයි. 

සිංහල අලුත් අවුරුද්ද ඇතුළු විවිධ සූර්ය මංගල්‍යයන් සමරන සියලු දෙනාටත්, ඊද් උත්සවය සැමරූ ඉස්ලාම් භක්තිකයින්ටත්, මේ කිසිවක් සමරන්නේ නැති අයටත් සුබ උත්සව සමයක්! 

Thursday, April 11, 2024

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය


ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. 

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි. ඔවුන් මෙවැනි හුවමාරුවක් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින් ඒ සඳහා අයැදුම් කළ යුතුයි. මෙය දේශීය ණය (සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර) ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ දෙයට සමාන දෙයක්.

මෙවැනි කාර්යයකදී රජය විසින් මුහුණ දෙන ප්‍රධානම අවදානම "බැහැරවීමේ අවදානම (Holdout risk)" ලෙස හැඳින්වෙනවා. එයින් අදහස් වන්නේ බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් බැඳුම්කර හුවමාරු කිරීමට කැමති නොවීමයි. "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" අනුව බැඳුම්කරහිමියන්ගෙන් යම් අවම ප්‍රමාණයකගේ කැමැත්ත ලබා ගත හැකිනම් රජයට මෙම බැහැර වීමේ අවදානම වලක්වා ගත හැකියි.

ඉහත සඳහන් පරිදි,  බැහැර වීමේ අවදානමෙන් බැහැර වීමටනම්, පළමුව අදාළ බැඳුම්කර නිකුත් කරන විට අදාළ ගිවිසුමට "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" ඇතුළත්ව තිබිය යුතුයි. දෙවනුව, එම වගන්ති වල සඳහන් අවම ප්‍රතිශතය ඉක්මවන ණයහිමියන් පිරිසක් ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කළ යුතුයි. 

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති ඇතුළත්ව ඇත්ද යන්න පැහැදිලි නැහැ. එය එසේ නොවිය හැකියි. එය එසේ නොවුවද, දැන් ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. කෙසේ වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම නොවේනම් ඒවායින් කොටසකට හෝ මෙවැනි වගන්ති ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව, බැහැර වීමේ අවදානමෙන් බැහැර වීම සඳහා ණයහිමියන්ගෙන් කිසියම් නිශ්චිත අවම ප්‍රතිශතයක් (උදාහරණයක් ලෙස 75%ක් හෝ 66.6%ක්) ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා අයදුම් කළ යුතුයි.

මෙසේ ණයහිමියන් සැලකිය යුතු පිරිසක් ස්වේච්ඡා ණය හුවමාරුවකට පොළඹවා ගැනීම අසීරු වැඩක්. ගාස්තුවක් ගෙවීමේ පොරොන්දුව මත ගනුදෙනු කළමනාකරුවන් බඳවා ගන්නේ මේ කටයුත්ත කිරීමටයි. ඔවුන් ඒ සඳහා අයදුම් කිරීමේදී මේ සඳහා වන තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි.

ගනුදෙනු කළමනාකරුවෙකු ලෙස අයදුම්කරන අයෙකුට එය කරන විදිහ පිළිබඳ තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර වලට සාපේක්ෂව එම බැඳුම්කර වල කල් පිරෙන කාලය කොයි තරම් දිගද? කූපන් පොලී හා මුහුණත අගය කොයි තරම් අඩුද? 

ඇතැම් පාර්ශ්ව විසින් තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකා රජයේ පිළිතුර වී තිබෙන්නේ තවමත් මේ දේවල් සම්බන්ධව අවසන් තීරණයකට පැමිණ නැති බවයි. එවැනි තීරණයකට පැමිණි වහාම වැඩි විස්තර දැනුම් දෙන බවද සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, මෙම තොරතුරු ඉතා ඉක්මණින් දැනගන්නට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

දැනට වාර්තා වී ඇති පරිදි, අවසන් තීරණය නොවිය හැකි වුවත්, ද්විපාර්ශ්වීය ණය ආපසු ගෙවීමේ කාලය 2028-2042 දක්වා දිගු කිරීමටද, වාර්ෂික පොලී අනුපාතිකය 2%කට සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. මෙය, මගේ අදහස අනුව, මුදලේ කාල වටිනාකම සැලකූ විට 20%ක පමණ ණය කප්පාදුවකට සමාන විය හැකියි. ඒ නිසා, ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් වෙතද බොහෝ විට ඊට කිට්ටුවෙන් යන යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙනවා. 

ඔවුන්ට විකල්ප තේරීම් කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මුහුණත අගය අඩු කර ඉක්මණින් ණය ආපසු ගෙවීමක් සහ මුහුණත අගය අඩු නොකර පරිණත කාලය දිගු කිරීමක් විකල්ප අතර තියෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව විසින් 2019 ජූනි 28 දින නිකුත් කළ, 2030 මාර්තු 30 දින කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකි ඵලදා අනුපාතිකය මේ වන විට 9.281% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මාස 17කට පෙර (2022 නොවැම්බර් මාසයේදී) මෙම ඵලදා අනුපාතිකය පැවතුණේ 48.569% තරම් ඉහළ මට්ටමකයි. එම කාලය තුළ, ඩොලර් 100ක මුහුණත අගයක විකිණිය හැකි මිල ඩොලර් 21.211 සිට ඩොලර් 58.273 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මෙයින් පෙනෙන්නේ දැනටමත් ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළ සක්‍රිය වී බැඳුම්කර සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති බව සහ ලොකු ණය කප්පාදුවක් වෙළඳපොල විසින් අපේක්ෂා නොකරන බවයි.

මේ වන විට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවධානය ලංකාවේ රුපියල් බැඳුම්කර වෙත යොමු වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරනවා. මෙයට හේතුව විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කෙරෙද්දී කෙටිකාලීනව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකයද ඉක්මවන ප්රතිලාභ අනුපාතිකයක් ඔවුන්ට ලබා ගත හැකි වීමයි.

Wednesday, April 10, 2024

ඩොලරය බැහැලා ඉවරද?


මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා, මේ අතර වෙනස ඩොලර් මිලියන 1,688ක්.

මෙම වසර තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,200ක් මිල දී ගෙන තිබෙනවා.

ජනවාරි - ඩොලර් මිලියන 245.3

පෙබරවාරි - ඩොලර් මිලියන 239.5

මාර්තු - ඩොලර් මිලියන 715.1

එකතුව - ඩොලර් මිලියන 1199.9

මේ අනුව, මාර්තු අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,592 දක්වා වැඩි විය යුතු වුවත් ඇත්තටම වැඩි වී තිබෙන්නේ ඩොලර් මිලියන 4,951 දක්වා පමණයි. ඒ අනුව, මෙම ගණන් දෙක අතර වෙනස වන ඩොලර් මිලියන 641 හෝ ඊට ආසන්න මුදලක් මහ බැංකුවේ ණය ගෙවීම සඳහා යොදවා ඇති බව පැහැදිලියි.

ඉහත ප්‍රමාණයට සමාන ණය මුදලක් මහ බැංකුව විසින් ආපසු ගෙව්වේනම් මේ වන විට මහ බැංකුවේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,440 දක්වාත් ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 488 දක්වාත් අඩු වී තිබිය යුතුයි. IMF තෙවන වාරිකයද ලැබෙන නිසා, එම අඩුවද මේ (2024 අප්‍රේල්) මාසය තුළ ආවරණය වනු ඇතැයි සිතිය හැකියි.

රජය විසින් මෙම වසර අවසන් වන තුරු වාහන ආනයනයට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැහැ. මෙය දේශපාලනික තීරණයක්. දේශපාලන තීරණ බොහෝ විට හසුරුවනු ලබන්නේ ජනමතය විසිනුයි.

ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ධමනය 70% මට්ටමට ගියත් ඉන් පසුව 5% සීමාවෙන්ද පහළට වැටුණා. මේ හේතුවෙන් ජනමතයේ යම් වෙනසක් සිදුවුවත්, විශාල වෙනසක් සිදු වූයේ නැහැ. බොහෝ දෙනෙකුගේ චෝදනාව හා කණස්සල්ලට හේතුව වූයේ උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු නොවීමයි. 

උද්ධමනය ඉහළ යද්දී යම් පිරිසකගේ, විශේෂයෙන්ම භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ, ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වූ විට එම ආදායම්ද එසේ ඉහළ ගිය මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ. එහෙත්, බඩු මිල අඩු වුවහොත්, විශේෂයෙන්ම රටේ නිපදවන බඩු වල මිල අඩු වුනොත්, භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ ආදායම්ද පහත වැටෙනවා. 

උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු වී නැති බව චෝදනාවක් සේ ඉදිරිපත් කරන්නේ මාසික වැටුප් ලබා ගන්නා අයයි. ඔවුන්ගේ වැටුප් උද්ධමනයට අනුරූපව ඉහළ ගියේ නැහැ. ඊට අමතරව ඒ අතරින් වැඩි වැටුප් ලබන අයට බදු ලෙසද වැඩි මුදලක් ගෙවන්නට සිදු වී තිබෙනවා. මෙම පිරිස රටේ ජනමතය හසුරුවන, දේශපාලන බලයක් ඇති පිරිසක්. ඒ නිසා, දේශපාලනය හරහා ප්‍රායෝගිකව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු වෙනවා. 

ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීමෙන් ආනයනික බඩු මිල පහත දැමිය හැකියි. වාහන ආනයනය කල් දැමීමෙන් ඩොලරයක මිල දිගින් දිගටම පහත වැටෙන්නට ඉඩ සැලැස්විය හැකියි. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 715.1ක අති විශාල විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමෙන් පසුවද මාර්තු මාසය තුළ ඩොලරයක මිල රුපියල් 9කින් පමණ පහත වැටී තිබෙනවා. 

විශාල ලෙස ඉහළ ගොස් ඇති සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉදිරි මාස වලදීද ඒ ආකාරයෙන්ම ගලා නොඒමට හේතුවක් නැහැ. ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටම තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.

Monday, April 8, 2024

පෝල් සිංගර් එ. ආජන්ටිනාව


"ණයකාරයෝ අකැමති වුනත් ගෙවන්නේ නැහැ කිවුවොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද?"

මේක කිහිප දෙනෙක්ම අසා තිබෙන ප්‍රශ්නයක්. මේ සටහන "උන්ට කරන්න පුළුවන් දේවල්" ගැන උදාහරණයක්.

ආජන්ටිනාව කියන්නේ ආර්ථික අර්බුද ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක්. දැන්නම් දක්ෂිණාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය අතර ජනප්‍රිය රටක්. කොහොම වුනත් මේ සටහනෙහි දේශපාලන කරුණු කතා කරන්නේ නැහැ. 

ආජන්ටිනාව 1998-2002 අතර කාලයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා [1]. ආර්ථිකය 28%කින් පමණ හැකිළුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 2001 වසර අවසානයේදී ආජන්ටිනාවට ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙද්දී ගෙවන්න තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 132ක් පමණ. එයින් ඩොලර් බිලියන 82ක් පමණ අරගෙන තිබුණේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා.

ආජන්ටිනාව විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් කිසියම් එකඟතාවයකට එන්න උත්සාහ කළත් මේ වැඩේ සාර්ථක වුනේ නැහැ. අන්තිමට 2005 වර්ෂයේදී සාකච්ඡා පැත්තක දමලා ආජන්ටිනාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.

ආජන්ටිනාව විසින් මෙම යෝජනාව ඒකපාර්ශ්වීය ලෙස ඉදිරිපත් කරන විට මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වල නොගෙවූ පොලිය විදිහට තවත් ඩොලර් බිලියන 20.8ක් එකතු වී තිබුණා. ඒ අනුව, ණයහිමියන්ට ලැබිය යුතු වූ මුදල ඩොලර් බිලියන 102.6ක්. (මීට අමතරව IMF එකට හා වෙනත් රටවලට ගෙවිය යුතු ණයත් තිබුණා.) මෙය ඉතිහාසයේ රජයක් විසින් තියපු ලොකුම පොල්ලක් කියා කියන්න පුළුවන්.

අපේක්ෂා කළ හැකි පරිදිම, ආජන්ටිනාව විසින් කළ යෝජනාව ණයහිමියන්ට බොහෝ අවාසිදායක එකක්. එහෙම නැත්නම් ප්‍රශ්නය කතා කරලා විසඳාගන්න තිබුණනේ. ඒ නිසා, ණයහිමියෝ මේ යෝජනාවට කැමති වීමේ ඉඩක් ලොකුවට තිබුණේ නැහැ. 

මේ තත්ත්වය තුළ, කොහොම හරි ණයහිමියන්ව කැමති කර ගැනීම සඳහා, ආජන්ටිනාව පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරගත්තා. එම නීතිය අනුව, ආජන්ටිනාවේ රජයට මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා අයට අනාගතයේදී මීට වඩා හොඳ ඩීල් එකක් ලබා දිය නොහැකියි. ඒ වගේම, මේ ඩීල් එකේ දිනය අවසන් වූ පසු නැවත විවෘත කරන්නත් බැහැ. ඒ කියන්නේ දෙන දේ ගන්න වෙනවා. නැත්නම් ඒකවත් ලැබෙන්නේ නැහැ.

ඔය ඒකපාර්ශ්වීය යෝජනාව ඉදිරිපත් කරන කොට ණයහිමියන්ට වසර හතරකට කිට්ටු කාලයක් තිස්සේ තමන්ගේ ආයෝජනය වෙනුවෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ. ඒ වගේම ඔය බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම නැත්තටම නැති වෙලා නිසා ඒවා කාටවත් විකුණන්නත් බැහැ. මේ තත්ත්වය යටතේ, කොයි තරම් අවාසිදායක වුණත්, සැලකිය යුතු පිරිසක් ආජන්ටිනාවේ යෝජනාවට කැමති වුනා.

මුහුණත අගය ඩොලර් බිලියන 81.8ක් වූ ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් බිලියන 62.3ක් ඔය විදිහට ස්වේච්ඡාවෙන් හුවමාරු වුනා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 32.2ක අලුත් බැඳුම්කර ලබා දුන්නා. ඒ කියන්නේ මුහුණත අගයෙන් 51.7%ක්. නොගෙවූ පොලිය ගෙවීමක් සිදු වුනේ නැහැ. නමුත් හුවමාරු කර අලුතෙන් ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ආජන්ටිනාව නියම පිළිවෙළට පොලී ගෙවුවා. ඒ නිසාම, ඒ බැඳුම්කර වලට ද්වීතියික වෙළඳපොළකුත් හැදුනා.

මේ අනුව, බැඳුම්කර වලින් 76.2%ක් හුවමාරු වුනා. මුදලේ කාල වටිනාකමද සැළකු විට හුවමාරුවට කැමති වූ අයට ලැබුණේ ලැබිය යුතුව තිබුණු මුදලින් 30%ක පමණ මුදලක්. හැබැයි ස්වෛරිත්ව බැඳුම්කර වලින් 24%ක් පමණ ඔය විදිහට හුවමාරු වුනේ නැහැ. ඒ අය ගේමම ඉල්ලුවා. අධිකරණ ක්‍රියමාර්ග වලට ගියා. 

ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය 2002 වන විට ඩොලර් බිලියන 10.4 දක්වා අඩු වෙලයි තිබුණේ. දිගින් දිගටම සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් එහි උදවුවෙන් ජංගම ගිණුමේ අතිරික්තයකුත් පවත්වා ගැනීම මගින් මෙම සංචිත ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 52.2 දක්වා වර්ධනය කර ගැනීමට ආජන්ටිනාව සමත් වුනා. ඔය අතර 2006දී ආජන්ටිනාව විසින් IMF එකට ගෙවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 9.5ක ණය මුදලද එක පාරම ගෙවලා දැම්මා. මේ කාලයේදී ආජන්ටිනාවේ ආර්ථික වර්ධන වේගයද ඉහළ ගියා.

ඔහොම තියෙද්දී ආජන්ටිනාවට නැවත ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න අවශ්‍ය වුනා. නමුත්, කලින් කරපු "වැරැද්ද" නිසා රෙද්දක් ඇඳගෙන ආපහු ණය ඉල්ලන්න අමාරු තත්ත්වයකුයි ඇති වෙලා තිබුණේ. ඒ නිසා, පාර්ලිමේන්තුව විසින් කලින් නීතිය වෙනස් කරලා කලින් සැරේ ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත් අයට නැවත අවස්ථාවක් දුන්නා. මේ අවස්ථාවේදී පුද්ගල ආයෝජකයින්ට මුළු මුහුණත අගයම ආපසු ලැබුණා. ආයතනික ආයෝජකයින්ට එයින් 66.3%ක් ලැබුණා.

ඒ වෙද්දී කලින් අවස්ථාවේදී ණය හුවමාරුවට කැමති වුන අයට සල්ලි ලැබෙනවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒ අයගෙන් කොටසක් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් හිටියා. ඉතිරි අය ඒ අයගේ පානෙන් එළිය බලන්න බලාගෙන හිටියා. එහෙම හිටපු බොහෝ දෙනෙක් ලොකුකම පැත්තකින් තියලා දෙවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 91.3%ක් දක්වා හුවමාරු වුනා. හැබැයි ඉතිරි අය ඒ පාරත් ඩීල් එකට කැමති වුනේ නැහැ. ඒ අය දිගටම ගේමේම හිටියා.

මේ වෙද්දී හුවමාරු කර නොගැනුණු බැඳුම්කර වල මුහුණත අගය ඩොලර් බිලියන 6.8ක් වූ අතර එම කාලයට දිගටම කූපන් පොලී එකතු කළහොත් තවත් බිලියන 4.4ක් එකතු වී ඩොලර් බිලියන 11.2ක් වෙනවා. ණයහිමියන් විසින් මෙම මුදල ඩොලර් බිලියන 15ක් ලෙස ගණන් හදා තිබුණා. ඔවුන්ගෙන් කොටසක් එයින් තමන්ගේ පංගුව ලබා ගැනීම සඳහා දිගින් දිගටම අධිකරණ ක්‍රියාමාර්ග වල නියැලී සිටියා.

මෙම කාලය ඇතුළත (2012 දක්වා) අඩු වශයෙන් ණයහිමියන් හෝ කණ්ඩායම් 151ක් නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් තමන්ගේ අරමුදල් වෙනුවෙන් සටන් කළා. ඔවුන් ඉල්ලා සිටි සහනය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් උත්සාහ කළේ පාඩුව අවම වන සේ හැකි තරම් වැඩි මුදලක් ලබා ගෙන ගනුදෙනුව බේරාගන්නයි. දෙවන කණ්ඩායම උත්සාහ කළේ අන්තිම සතය දක්වා තමන් ඉල්ලන මුදල කෙසේ හෝ ලබා ගන්නයි. පළමු කණ්ඩායමේ අයගෙන් කොටසක් දෙවන වරට සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඉවත් වුනා. එහෙත්, ඔවුන්ගෙන් කොටසක් හා දෙවන කණ්ඩායම වැඩේ අත ඇරියේම නැහැ.

ඔය දෙවන කණ්ඩායමේ සිටියේ හෙජ් අරමුදල්. ඔවුන් මෙම බැඳුම්කර මිල දී ගෙන තිබුණේ ඒවායේ මිල කඩා වැටුණු පසුව කුණු කොල්ලයටයි. කවුරුවත් මිල දී නොගන්නා වෙලාවක ඒ විදිහට මේ බැඳුම්කර මිල දී ගන්නේම කාලයක් තිස්සේ නඩු කියා කෙසේ හෝ අධික ලාබයක් ලබා ගැනීමේ අරමුණිනුයි. පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම එවැනි අරමුදලක්. මෙවැනි අරමුදල් ඇතැම් අය විසින් වල්චර් අරමුදල් ලෙසද හඳුන්වනවා.

පෝල් සිංගර්ගේ NML කැපිටල් සමාගම විසින් තවත් සමාගම් හා පුද්ගලයින් 19 දෙනෙකු හා එක්ව ආජන්ටිනාවට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව අවසානයේදී ඔවුන්ට වාසිදායක ලෙස ලැබුණු අතර ආජන්ටිනාව විසින් ඩොලර් බිලියන 2.4ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ගෙවිය යුතු බව තීන්දු වුනා. 

මෙම නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ආජන්ටිනාව විසින් ඇමරිකාවේ තිබුණු ආජන්ටිනාව සතු වත්කම් ඉවත් කර ගැනීමට උත්සාහ කරද්දී ඇමරිකාවේ තිබෙන ආජන්ටිනාවේ වත්කම් එළිදරවු කර ගැනීමට ඉඩ දෙන මෙන් පෙත්සම්කරුවන් විසින් කළ ඉල්ලීමටද අධිකරණය අනුමැතිය දුන්නා. මෙම ඉල්ලීමට එරෙහිව ආජන්ටිනාවට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නැති බවද අධිකරණය විසින් තීරණය කළා. 

මෙම තීන්දුව ලැබෙන්නත් පෙර, 2012දී, NML කැපිටල් සමාගම විසින් ඝානාවේ අධිකරණයකින් නියෝගයක් ලබාගෙන ආජන්ටිනාවේ නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ඝානාවේදී රඳවා ගනු ලැබූ අතර මෙය ආජන්ටිනාව විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයක්. අවසානයේදී එම යාත්‍රාව බේරාගන්නට සිදු වුනේ ජාත්‍යන්තර අධිකරණයකට ගිහින්. මෙම සිද්ධියෙන් පසු ආජන්ටිනාවේ ජනාධිපතිවරයාට ඔහු ගමන් ගන්නා රජයට අයත් ගුවන් යානය වෙනත් රටකදී අත්පත් කර ගැනීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වූ අතර, පෞද්ගලික ගුවන් යානා වලින් ගමන් කරන්නට සිදු වුනා. 

අවසාන වශයෙන් ආජන්ටිනා රජයට ඇමරිකාවේ අධිකරණ නියෝගය අනුව පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවනු හැර වෙනත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. මෙම මුදල 2014 වසරේදී ගෙවනු ලැබුවා. වසර 14ක අඛණ්ඩ සටනකින් පසු පෝල් සිංගර් විසින් ඔහුගේ ආයෝජනය වෙනුවෙන් 20.5 ගුණයක ප්‍රතිලාභයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මුහුණත අගය ඩොලර් මිලියන 617ක් වූ මෙම ස්වෛරිත්ව බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ ඩොලර් මිලියන 117ක් පමණයි. 

මේ විදිහට රටක් අමාරුවේ වැටුනට පස්සේ මස් රාත්තලම ඉල්ලන එක වැරදිද?

ස්වෛරිත්ව බැඳුම්කර වල ආයෝජනය කරන කෙනෙක් එහෙම කරන්නේ ආයෝජනය කරන්න වෙන විකල්ප නැති නිසා නෙමෙයි. ගන්න අවදානමට සාපේක්ෂව වැඩි අවදානමක් තිබෙන නිසා. ලංකාවම ගත්තත්, ඉතිහාසයේ කවදාවත් ණය පැහැර හැරලා නැති බව, රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන බව, සාර්ව ආර්ථික තුලනය ඉතාම හොඳින් තිබෙන බව වගේ දාහක් දේවල් කියලා තමයි ඔය ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජකයින්ගේ ඇඟේ ගහලා තියෙන්නේ. 

එහෙම කොයි තරම් දේවල් කිවුවත් ලංකාව වගේ රටක් අන්තිමට පොල්ල තියයි කියන සැකය නැති කරන්න අමාරුයි. පොල්ල තිබ්බොත් පුද්ගලයෙක්ගෙන් හෝ සමාගමකින් වගේ ලේසියෙන් රජයකින් ණය ආපසු අය කර ගන්න බැරි බව ආයෝජකයෝ දන්නවා. මොකද රජයකට නීතියෙන් පුද්ගලයින්ට හෝ සමාගමකට නැති මුක්තියක් හිමි වෙනවා. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට රජයන් විසින් ස්වෛරිත්ව බැඳුම්කර විකුණද්දී ඔය රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අත හරින්න පොරොන්දු වෙනවා. ඊට පස්සේ කොන්දේසි කඩ කරලා නඩු වැටුනට පස්සේ ආයි ඥාව් ගාන්න බැහැ.

ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරන රජයයන්ට මතු ආරක්ෂාවට පිණිස කළ හැකි තවත් දෙයක් තියෙනවා. ඒවාට කියන්නේ Collective Action Clause (CAC) provisions කියලා. ගිවිසුමට මේ කොන්දේසි ඇතුළත් කර ගත්තොත්, ණය පැහැර හැරීමකදී බහුතර ණයහිමියන් කැමති වන ඩීල් එකක් ඉතිරි අයටත් භාර ගන්න වෙනවා. ආජන්ටිනාව මේ ගැන බරපතල ලෙස හිතලා තිබුණේ නැහැ. 

ආජන්ටිනාව දමා ගත්තේ නැතත්, ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරද්දී Collective Action Clause (CAC) provisions දමාගෙන තිබෙනවා. මේක ලංකාවට වාසියක්. ඒ නිසා, කොහොම හරි බැඳුම්කරහිමියන්ගෙන් 75%ක කැමැත්ත ගත්තොත් ඉතිරි 25%ට කරන්න දෙයක් නැහැ. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් බැඳුම්කරයකින් 25%ක්ම එකතු කරගෙන තියෙන්නේ මේ නිසා. හැබැයි තනි තනි බැඳුම්කර වලට නැතුව මුළු ලොට් එකටම එකම හුවමාරු කොන්දේසි ඉදිරිපත් කළොත් ඔය 75% සීමාව 66.6% දක්වා අඩු වෙනවා. ඊට අමතරව එක් එක් තනි බැඳුම්කරයේ ණයහිමියන්ගෙන් 50%ක කැමැත්තත් අවශ්‍ය වෙනවා [2]. 

ලංකාවට තියෙන අභියෝගය ඔය සීමා පන්නගන්න එක. එහෙම කරගත්තොත් සුළුතරයට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය විදිහට බහුතරය කැමති කරගන්නනම් හොඳ ඩීල් එකක් දෙන්න වෙනවා. වැඩිපුර වාසි ගන්න හදලා වැඩි දෙනෙක් අකැමැති වුනොත් ඊට පස්සේ දිගින් දිගටම නඩු තමයි.

Sunday, April 7, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම- ප්‍රගතිය හා අවදානම්


ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සාගල රත්නායකව උපුටා දක්වමින් ජපානයේ නිකේ පුවත් සේවය විසින් වාර්තා කර තිබුණා. ජපානය මේ සම්බන්ධ බහුපාර්ශ්වීය සාකච්ඡා වල සභාපතිත්වය දරන රටක් වන අතර ලංකාවේ ද්විපාර්ශ්වීය ණය වලින් චීන ණය හැරුණු විට වැඩිම කොටස ලබා ගෙන තිබෙන්නේද ජපානයෙනුයි.

මෙම පුවත අනුව, අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ වසර 6කට ආසන්න ණය පමා කාලයක් වන අතර ඉන් පසුව වසර 15ක් තුළ, එනම් 2028 සිට 2042 දක්වා, ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අතර, 2%ක වාර්ෂික පොලියක්ද ගෙවිය යුතුයි. 

මුලින්ම ශ්‍රී ලංකාව විසින් 1%ක පොලියක් සහ වසර 10ක ණය පමාවක් ඉල්ලා සිටි අතර මේ සඳහා පැරිස් සංසදයේ සහයෝගය ලැබෙන බවක් පෙනෙන්නට තිබුණා. එහෙත්, චීනය මේ තරමේ සහනයක් වෙනුවෙන් කැමැත්ත පළ කර තිබුණේ නැහැ. සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදිය යුතු බව පැරිස් සංසදයේ මූලධර්මයක් වන නිසා මෙහිදී ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහනය කොපමණද යන්න තීරණය වී තිබෙන්නේ චීනයේ තීරණය මත බව පැහැදිලියි. 

කෙසේ වුවත් පෙර යෝජනාව අනුවද ණය ගෙවා අවසන් කිරීමට නියමිතව තිබුණේ 2042දීයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක් වූ අතර, ඒ වෙනුවෙන් 2%ක වාර්ෂික පොලියක් ගෙවීම සඳහා වසරකට ඩොලර් 216ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 වසරේ සිට, වසරකට ඩොලර් මිලියන 721 පමණ බැගින් මෙම ණය ආපසු ගෙවන්නට සිදු වන අතර එසේ ගෙවද්දී පොලී වියදමද ක්‍රමයෙන් අඩු වෙනවා. ඇතැම් විට 2028 සිට ගෙවිය යුතු ණය වාරික හා පොලිය සම-වාරික ලෙස ගෙවනවා විය හැකියි.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 14,741ක වාණිජ ණයද ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබෙන අතර එයින් ඩොලර් මිලියන 2,191ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් මිලියන 12,550 ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ලබාගත් ණයයි. 

චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 535.2ක තවත් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබුණත් ඒ සඳහා චීනය එකඟ වී ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතයි. ද්විපාර්ශ්වීය ණය වලින් ඩොලර් මිලියන 4,013ක් ලබා ගෙන තිබෙන්නේ චීන එක්සිම් බැංකුවෙන්. මෙම දෙවන කොටසට පමණක් හෝ කොටස් දෙකටම වාර්තා වී ඇති වසර 6කට ආසන්න ණය සහනය හා 2% පොලිය අදාළ වන බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. 

චීනයෙන් ලබාගත් චීනය විසින් වාණිජ ණය සේ සලකන ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ණය පමා කාලයකින් තොරව වහාම ආපසු ගෙවන්නට සිදු විය හැකි අතර ණය පමාවක් වෙනුවට ණය කප්පාදුවක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මුලින් වාර්තා වී තිබුණේ 30%ක ණය කප්පාදුවක් සහ 4%ක පොලියක් ඉලක්ක කෙරෙන බවයි. මේ හා අදාළ සාකච්ඡා තවමත් අවසන්ව නොමැති බැවින් අවසන් ප්‍රතිඵලය ගැන දැන ගැනීමේ හැකියාවක් නැහැ.

ණය සහනය ලබා ගන්නා ආකාරය කුමක් වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වනු ඇත්තේ ස්වේච්ඡා ණය හුවමාරුවක් ලෙසයි. මෙය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ ආකාරයට සමාන කළ හැකියි. 

ස්වේච්ඡා ණය හුවමාරුවක් සාර්ථක වීමටනම් බැඳුම්කරහිමියන්ගෙන් විශාල ප්‍රතිශතයක් මෙම හුවමාරුව සඳහා ස්වේච්ඡාවෙන් අයදුම් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ව පොළඹවා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. මෙය කළ හැකි ආකාර යෝජනා කරමින් ණය කළමණාකරුවන් සේ කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වන මෙන් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට දැනුම් දී ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. 

මෙම අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන යෝජනා වල ශක්‍යතා, ඔවුන්ගේ පෙර පළපුරුද්ද සහ ඉල්ලා සිටින ගාස්තු සලකා බලමින් ණය කළමනාකරුවන් බඳවා ගැනීමද ඉදිරි සති කිහිපය තුළ සිදු විය හැකියි. ඒ අතරවාරයේ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සැලකිය යුතු ප්‍රමාණයක් ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා කැමති කර ගැනීම රජයේ ඉලක්කය හා අපේක්ෂාව බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් ස්වේච්ඡා ණය හුවමාරුවකට කැමති වීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් දැනටමත් ඔවුන්ගේ බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් (ඩොලර් මිලියන 250ක් පමණ) එකඟ වූ පරිදි නොගෙවීමට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා.

ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නට නියමිත බවත්, 2022 ජූලි මාසයේදී ආපසු ගෙවන්නට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය එදින ආපසු ගෙවන්නට ඉඩක් නැති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබියදී හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් 2021 අගෝස්තු මාසයේ සිට එම බැඳුම්කරයේ කොටස් වලින් හතරෙන් එකක් පමණ කුණු කොල්ලයට මිල දී ගන්නේම නඩු කියා හෝ මුළු මුදලම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලට සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. 

මේ අනුව ගෙවුණු පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලුවා. හැමිල්ටන් රිසර්ව් බැංකුව එම ඉල්ලීමට එකඟ නොවෙමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට එයට ප්‍රති-ප්‍රතිචාර ලෙස කරුණු දක්වා තිබෙනවා. 

බොහෝ විට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම වාරණ නියෝගයේ කාලය මාස කිහිපයකින් දිගු විය හැකියි (මේ වන විට එම තීන්දුව ලබා දී නැත්නම්). ඒ අතරවාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කරන්නට ඉඩ තිබුණත්, හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව විසින් එම යෝජනා වලට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, තවත් බැඳුම්කරහිමියන් යම් පිරිසක් ඒ පාරේම ගමන් කරන්නට ඉඩ තිබෙනවා. 

කෙටියෙන් කිවුවොත් ණය ප්‍රතිව්‍යුහගත කරන එක මාසයකින් දෙකකින් හෝ ලේසියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. කාලයක් යන, අමාරු වැඩක්. 

Saturday, April 6, 2024

ගෙවූ ණය හා ගත් ණය


ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක තොරතුරු අනුව නිවැරදි සේ සැලකිය හැකියි. 

ඉහත තොරතුරු වල මූලාශ්‍රය විදේශ කටයුතු දෙපාර්තුමේන්තුව බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෙවූ ණය පිළිබඳ විස්තර විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් (දන්නා තරමින්) ප්‍රසිද්ධ කර නැතත්, 2023 වසර තුළ ලබාගත් ණය පිළිබඳ තොරතුරු එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වගුවේ තිබෙන්නේ එම තොරතුරුයි.

පසුගිය (2023) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 2,510.1ක විදේශ ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගෙන තිබෙනවා. රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සඳහන් කර ඇති ඩොලර් මිලියන 1,338.8ක මුදල ගෙවා තිබෙන්නේ 2023 වසර ඇතුළත් මාස 18කට වැඩි කාලයක් තුළයි. එම මුදලෙන් 2023 වසර තුළ ගෙවූ මුදල හරියටම නොදනිතත්, එම ප්‍රමාණය අනිවාර්යයෙන්ම පෙර සඳහන් ඩොලර් මිලියන 1,338.8ක මුදලට වඩා අඩු මුදලක් විය යුතුයි. මේ අනුව, වසර තුළ ණය වාරික ආපසු ගෙවීම හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙන්නේ ලබා ගත් විදේශ ණය වලින් කොටසක් පමණක් බව පැහැදිලියි.

මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පසුගිය වසර තුළ රජයේ බැඳුම්කර ණය හැර අනෙකුත් විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 23,562 සිට ඩොලර් මිලියන 25,988 දක්වා ඩොලර් මිලියන 2,487කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩිවීමෙන් ඩොලර් මිලියන 368කට හේතුව නොගෙවූ පොලිය ණය ලෙස එකතු වීමයි. 

වසර තුළ අලුතෙන් ඩොලර් මිලියන 2,510.1ක් ලබා ගැනීම හා ඩොලර් මිලියන 368ක පොලී එකතු වීම සැලකූ විට ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,878කින් වැඩි විය යුතු වුවත්, එම වැඩි වීම ඩොලර් මිලියන 2,487ක් පමණක් වී ඇත්තේ ණය ආපසු ගෙවීම නිසා බව පැහැදිලියි. මෙම ගණන් දෙක අතර වෙනස ඩොලර් මිලියන 451ක්. මෙම මුදලට පොලී ගෙවීම සඳහා වැය කළ මුදල් ඇතුළත් නැහැ.

මීට අමතරව, පසුගිය වසර තුළ රජය විසින් විදේශිකයින්ට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් ඩොලර් මිලියන 179කට සමාන මුදලකුත්, භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් තවත් ඩොලර් මිලියන 30කට සමාන මුදලකුත් රුපියල් වලින් ලබා ගෙන තිබෙනවා. එකතුව ඩොලර් මිලියන 209ක්. එයින් ඩොලර් මිලියන 22ක් විදේශිකයින්ගේ සංවර්ධන බැඳුම්කර පියවීම සඳහා වැය කර තිබෙනවා. මේ අනුව, තවත් ඩොලර් මිලියන 187ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. 

ඉහත විස්තර කර ඇති පරිදි, වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,614ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 777ක් පමණ, රුපියල් වලින් විදේශිකයින්ට සිදු කළ ගෙවීම්ද ඇතුළුව, පොලී ගෙවීම් වෙනුවෙන් වැය කර තිබෙනවා. ඒ අනුව, ඩොලර් 1,837ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් වසර තුළ රජය විසින් විදේශ විණිමය වෙළඳපොළට පොම්ප කර තිබෙනවා.

"ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!" සටහනෙහි විස්තර කර ඇති පරිදි, පසුගිය වසර තුළ ලංකාව විසින් වැය කළ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් ඉතිරි කර තිබෙනවා. මෙම මුදලට ඉහත සඳහන් රජයේ ශුද්ධ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,837 එකතු කර විට ඩොලර් මිලියන 3,336ක්. මෙම මුදල විදේශ වත්කම් ලෙස රට තුළ ඉතිරි විය යුතුයි. 

"රටේ විදේශ වත්කම්" සටහනෙහි විස්තර කර ඇති පරිදි පසුගිය වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,495කින් සහ වාණිජ බැංකු වල විදේශ සංචිත ඩොලර් මිලියන 1,005කින් ලෙස බැංකු පද්ධතිය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,500කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් ආසන්න වශයෙන් බාගයක් පමණ උපයා ඉතිරි කරගත් විදේශ විණිමය වන අතර ඉතිරි කොටස රජය විසින් ණය සේ ලබා ගෙන පොම්ප කළ විදේශ විණිමයයි.

රජය විදේශ විණිමය වෙළඳපොළට මේ අයුරින් විදේශ විණිමය පොම්ප කරද්දී ඩොලර් සැපයුම ඉහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එවිට, ආනයන ඉල්ලුම ඉහළ ගොස් එම ඩොලර් ප්‍රමාණය රටින් එළියට යනවා. 2010-2012 වැනි වසර වල සිදු වුනේ මෙයයි.

මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් අතිරික්ත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීම මගින් ණයට ගන්නා ඩොලර් ආනයන ලෙස රටින් පිටව යාම වලක්වා ගත හැකියි. මේ වන විට ඩොලරයක මිල පහත වැටී ඇතත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන නිසායි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව මෙම තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැකියි. 

පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බව වාර්තා වී තිබුණා.

"අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා."

තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නැතත්, රනිල් වික්‍රමසිංහට නැවතත් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ අභිලාශ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රටේ ආර්ථිකය මනින දර්ශකය ඩොලරයක මිල නිසා ඩොලරයක මිල පහත වැටීම රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව වාසිදායකයි. ඒ නිසා, මේ ප්‍රකාශය තේරුම් ගැනීම අපහසු නැහැ.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙරද විණිමය අනුපාතය සම්බන්ධව මෙවැනි ප්‍රකාශ සිදු කර තිබුණා. ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට පහත දමා ගැනීමට අවශ්‍ය වුවත් ඔහුට එසේ කළ හැකිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ඩොලරයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ අනුව, මිල තීරණය කරන්නේ ලංකාවට කීයක් හෝ සොච්චමක් එවන අප වැනි අය සහ ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකිකයින් ඇතුළු විශාල පිරිසක් විසිනුයි. එහෙත් සාමාන්‍ය පුද්ගලයෙකුට වෙළඳපොළ ඉල්ලුම හෝ සැපයුම මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

කෙසේ වුවත්, රජය හා මහ බැංකුව සාමාන්‍ය පුද්ගලයින් නෙමෙයි. එම ආයතන විසින් විදේශ විණිමය වෙළදපොළට කරන සෘජු හා වක්‍ර මැදිහත් වීම් හරහා රටේ විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම විශාල ලෙස වෙනස් කළ හැකියි. ඒ මගින් ඩොලරයක මිල පාලනය කළ හැකියි.

මේ මොහොතේ රජය විසින් ඩොලරයක මිල පාලනය කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. වාහන ආනයන වාරණය එයින් එකක්. මෙය රජයේ තීරණයක් මිසක් මහ බැංකුවේ තීරණයක් නෙමෙයි. ඒ වගේම දේශපාලනික තීරණයක්. මේ තීරණය සම්බන්ධව රනිල් වික්‍රමසිංහට බලපෑමක් කළ හැකියි. ඒ හරහා ඩොලරයක මිලෙහි දිශානතියද රනිල් වික්‍රමසිංහට තීරණය කළ හැකියි. ඊට අමතරව, රජය විසින් කොපමණ විදේශ ණය ලබා ගන්නවාද, කොපමණ ණය ප්‍රමාණයක් ආපසු ගෙවනවාද වැනි දේවල්ද රජයේ තීරණ. ඒ වගේම දේශපාලනික තීරණ.

මේ මොහොතේ වාහන ආනයනයට ඉඩ ලැබෙන තුරු බලා සිටින සැලකිය යුතු පිරිසක් රටේ ඉන්නවා. වාහන ආනයනයට නැවත ඉඩ දීම මගින් රනිල් වික්‍රමසිංහට ඒ කණ්ඩායමේ අයගේ ප්‍රසාදය ආකර්ශනය කර ගත හැකියි. එහෙත්, ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීම මගින්ද ඒ කණ්ඩායමේ ප්‍රසාදය දිනා ගන්න පුළුවන්. මීට අමතරව, මේ හේතුවෙන්  සිදුවන ආනයනික භාණ්ඩ වල මිල පහළ යාම පහළ ආදායම් ස්ථර වල සිටින තවත් විශාල පිරිසක් සතුටු කරවන්නක්. ඒ නිසා, ,ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික ප්‍රමුඛතාවය වී තිබෙන්නේ ඩොලරයක මිල තවදුරටත් පහත වැටෙන්නට ඉඩ හැරීම බව පෙනෙන්නට තිබෙනවා.

මහ බැංකුවේ විණිමය අනුපාතික කළමනාකරණ ප්‍රතිපත්තිය වනුයේ විණිමය අනුපාතයේ දිශානතිය කෙරෙහි බලපෑම් නොකරමින් එහි තාවකාලික විචලනයන් පාලනය කිරීමයි. ඊට අමතරව සංචිත ගොඩ නගා ගැනීමේ හා ණය ගෙවීමේ ඉලක්කද තිබෙනවා. 

මහ බැංකුවේ පැත්තෙන් ගත් විට, රජය විසින් විණිමය වෙළඳපොලට සිදු කරන මැදිහත් වීම් කියන්නේත් වෙළඳපොළ සමතුලිතතාවයේම කොටසක්. එම මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතය වෙනස් වේනම් මහ බැංකුව විසින් මැදිහත්වීම් කර එය වෙනස් කළ හැක්කේ මහ බැංකුවේ ඉලක්ක හා ගැටෙන්නේනම් පමණයි. 

මේ වන විට මහ බැංකුව විසින් සාර්ථක ලෙස විදේශ සංචිත ඉලක්ක හඹා යමින් සිටින අතර ඩොලරයක මිල පහත වැටීමද පාලනය කරමින් සිටිනවා. එහෙත්, ඩොලරයක මිලෙහි දිශානතිය කෙරෙහි මහ බැංකුව විසින් බලපෑම් කරන්නේ නැහැ. එසේ කිරීම අනවශ්‍ය පරිදි රජයේ ඉලක්ක සමඟ ගැටීමක්. 

පවතින මිල තුළ රටේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම්, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යාමට සැලැස්වීමට හේතුවක් නැහැ. එහෙත් ඉදිරි කාලයේදී මිල ඉහළ යාමට ඉඩ තිබීම හා සංචිත ඉලක්ක මත පදනම්ව මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කරනවා. 

මේ පහත වැටීම කොතැනින් නවතියිද? 

මෙය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නොව රජය විසින් වෙන්න පුළුවන්. ඉදිරියේදී ඩොලරයක මිල රුපියල් 280 වන බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරන්නේනම් එය විය හැකි දෙයක්. රජය විසින් ඉදිරි කාලයේදී ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශ ණය ගැනත්, වාහන ආනයන සීමා ඉවත් කරන කාලය ගැනත් හොඳින්ම දන්නේ ඔහුයි. 

ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට ගත්තොත් එය ඒ මට්ටමේ තියා ගන්න පුලුවන්ද?

පසුගිය වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,559ක් ඉතිරි කරගෙන ඇති බව සැලකූ විට, එම මට්ටම දක්වා වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත හැකියි. එවිට ඉතිරි වන ප්‍රශ්නය දැනට නොගෙවන ණය ආපසු ගෙවීමයි.

පසුගිය වසර අවසන් වන විට ගෙවන්නට තිබුණු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක්. මෙම ණය වසර ගණනාවක් යන තුරු ආපසු ගෙවන්නේ නැතත් පොලිය ගෙවන්නට සිදු වෙනවා. පසුව වෙනස් විය හැකි වුවත්, යෝජිතව තිබුණේ 1.5%ක වාර්ෂික පොලියක්. ඒ අනුව, මේ සඳහා වැඩිපුර අවශ්‍ය වන්නේ වසරකට ඩොලර් මිලියන 162ක මුදලක් පමණයි. 

ප්‍රශ්නය තිබෙන්නේ වාණිජ ණය සම්බන්ධවයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,741ක්. මෙයින් 30%ක් කපා හැරියොත් ඩොලර් මිලියන 10,219ක් පමණ ආපසු ගෙවන්නට සිදු වෙනවා. එම මුදල වසර හයක කාලයක් තුළ ආපසු ගෙවන්නේනම් ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 1,720ක් අවශ්‍ය වෙනවා. කූපන් පොලී ලෙස 4%ක් ගෙවුවොත් ඒ සඳහා වසරකට තවත් ඩොලර් මිලියන 204ක් පමණ අවශ්‍ය වෙනවා. මේ සියල්ල එකතු කළ විට ඉදිරි වසර හයක කාලය තුළ විදේශ අංශය මත ඩොලර් බිලියන 2.1ක පමණ අමතර බරක් වැටෙනවා.

මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ පසුගිය වසර තුළද රජය විසින් ඩොලර් බිලියන 1.8ක් විණිමය වෙළඳපොළ වෙත පොම්ප කර ඇති බවයි. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද, ද්විපාර්ශ්වික ව්‍යාපෘති ණය ලෙසද, මීට ආසන්න හෝ වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ නිසා, මේ ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මහ බැංකුව විසින් සංචිත ගොඩ නගා ගැනීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරිව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාම තීරණය වනු ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තරම් විදේශ විණිමය අමතර ව්‍යාපෘති ණය, සෘජු ආයෝජන හා කෙටිකාලීන ආයෝජන ලෙස රටට පැමිණීම මතයි. එසේ නොවුවහොත් ඩොලරයක මිල ඉහළ යාම මගින් ආනයන ඉල්ලුම සීමා වීමට නියමිතයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා වාහන ආනයනයට ඉඩ දීම සිදු වී ඉහත තත්ත්වය ඇති වන විට මේ වසර අවසන් වී තිබිය හැකියි. ඊට පෙර ජාතික මැතිවරණ පැවැත්වීමට සිදු වෙනවා. ඒ නිසා, අලුත් තත්ත්වය කළමනාකරණය කරගන්නට සිදු වන්නේ ඉදිරි ආණ්ඩුවකටයි. ඊට පෙර විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමට හේතුවක් නැහැ.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ ලැබෙන්නට නියමිත බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය ව්‍යාපෘති ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන සමඟ ගැට ගැසී ඇති බවයි. එම වැඩසටහනේ ප්‍රගතිය අඩාල වුවහොත්, වසරකට ඩොලර් බිලියන 2 ඉක්මවන ඉහත සඳහන් විදේශ විණිමය ප්‍රවාහ රටට එන්නේ නැහැ. ඒ නිසාම, දැනට නොගෙවන විදේශ ණය ආපසු ගෙවන්නට වෙන්නේත් නැහැ. එහෙම වුනත්, ණය නොගෙවා, දැන් කරගෙන යන විදිහට, රටට එන ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න බැරිද?

මෙය ඒ තරම්ම සරල නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් පිට පැන්නොත් ඒ හරහා ඇති වන අස්ථාවරත්වය නිසා දැනට රටේ තිබෙන විදේශ විණිමය විවිධ ආකාර වලින් රටින් පිටවෙන්නට පටන් ගන්නවා. ඒ එක්කම, ඩොලරයක මිල මත පීඩනයක් ඇති වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්න පුළුවන්. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙන් මුළුමනින්ම පිට පනින්නට කිසිදු ආණ්ඩුවකට ඉඩක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ වෙනස්කම් සඳහා කිසිදු ඉඩක් නැති බව නෙමෙයි. සමස්ත වැඩපිළිවෙළෙන් ඉවත් වීමට නොහැකි බව පමණයි. 

Friday, April 5, 2024

නිල සංචිත ඩොලර් බිලියන 5ට ආසන්න වෙයි!


වසරේ පළමු කාර්තුව අවසන් වන විට (2024 මාර්තු 31) නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,951 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය තවමත් මීට වඩා වැඩි වුනත්, මෙම සංචිත ප්‍රමාණය ඉදිරි වසර කිහිපය ඇතුළත මහ බැංකුව විසින් ඉන්දියාවට, චීනයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩි මුදලක්. 

රටේ විදේශ සංචිත


මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ නොහැකි වීමයි.

රටට පැමිණෙන විදේශ විණිමය හා රටෙන් එළියට යන විදේශ විණිමය අතර වෙනස රටේ විදේශ සංචිත වලට එකතු වෙනවා. නමුත්, අනිවාර්යයෙන්ම මහ බැංකුවේ නිල සංචිත වලට එකතු වෙන්නේ නැහැ. එසේ වන්නේ මහ බැංකුවට කෙළින්ම විදේශ විණිමය ලැබුනොත් හෝ මහ බැංකුව විසින් මැදිහත් වී එම විදේශ විණිමය මිල දී ගත්තොත් පමණයි.

පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත, එනම් මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,392 දක්වා ඩොලර් මිලියන 2,495කින් ඉහළ ගියා. ඊට අමතරව වාණිජ බැංකු සතු විදේශ වත්කම් ප්‍රමාණයද ඩොලර් මිලියන 3,976 සිට ඩොලර් මිලියන 4,981 දක්වා ඩොලර් මිලියන 1,005කින් ඉහළ ගොස් තිබෙනවා. බැංකු පද්ධතියෙන් පිට පුද්ගලයින් හා ආයතන සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,956 සිට ඩොලර් මිලියන 3,173 දක්වා ඩොලර් මිලියන 17කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව, 2022 වසර අවසානයේදී රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 8,830 වසර අවසාන වන විට ඩොලර් මිලියන 12,546 දක්වා ඩොලර් මිලියන 3,716කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටේ විදේශ වත්කම්- 2019 ජූනි 30:

මහ බැංකුව - ඩොලර් මිලියන 8,865

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 2,637

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,549

එකතුව - ඩොලර් මිලියන 14,051


රටේ විදේශ වත්කම්- 2022 මාර්තු 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 3,441

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,715

එකතුව - ඩොලර් මිලියන 8,073


රටේ විදේශ වත්කම්- 2023 දෙසැම්බර් 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 4,392

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 4,981

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 3,173

එකතුව - ඩොලර් මිලියන 12,546


මහ බැංකුවේ මෙන්ම සමස්තයක් ලෙස රටේද විදේශ වත්කම් ඉහළ ගොස් තිබීම හොඳ තත්ත්වයක්. එහෙත් රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙම විදේශ වත්කම් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩියි. මෙම තත්ත්වය මෑතකදී ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම කෙටි කාලයකින් විසඳාගත හැකි ප්‍රශ්නයකුත් නෙමෙයි. නමුත් විසඳාගත යුතු ප්‍රශ්නයක්. 2023 දෙසැම්බර් 31 වන විට ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 63,986ක්. මෙයින් ඩොලර් මිලියන 54,832ක් විදේශ ණයයි. ඉතිරි කොටස විදේශිකයින් සතු කොටස් ආයෝජන.

මේ අනුව, 2023 වසර අවසානයේදී රටේ ශුද්ධ විදේශ බැරකම් හිඟය ඩොලර් මිලියන 51,440ක්. මෙම ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළ බැරකම් ගණනය කර තිබෙන්නේ දැනට එම බැඳුම්කර අලෙවි වන මිල ගණන් මත පදනම්ව බැවින් සැබෑ බැරකම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි. 

ලංකාව නිදහස ලබන විට, රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ වත්කම් ප්‍රමාණයක් එකතු වී තිබුණා. එහෙත්, රජය විසින් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරද්දී විදේශ සංචිත ටිකෙන් ටික අඩු වී විදේශ ණය ටිකෙන් ටික ඉහළ ගියා. 1963 වන විටද ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, 1964 වන විට මේ තත්ත්වය කණපිට හැරී ලංකාව ශුද්ධ ණයකරුවෙකු බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගන්නට සිදු වුනා.

ලංකාව විසින් 1965 ජූනි 15 දින පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගත්තා. එම ණය මුදලේ උදවුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගත් නමුත් එසේ රටේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු වූ පාදක කරුණු ගැන සැලකිලිමත් වී ප්‍රශ්නයේ මුල් ගලවා දැමීමට උනන්දු වුනේ නැහැ. ඒ නිසා, ලංකාවට 1964 ගෙවුම් ශේෂ අර්බුදය වැනි අර්බුද වලට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදු වුනා. මෙය අවසන් වුනේ විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින්නට සිදු වන තරමේ අර්බුදයකින්.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන්ට මුහුණ නොදීමටනම් රටේ විදේශ බැරකම් වලට සාපේක්ෂව විදේශ වත්කම් ඉහළ දමා ගත යුතු වෙනවා. ඒ සඳහා, අඩු වශයෙන් යම් කාලයක් යන තුරු, උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩු විදේශ විණිමය ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙනවා. රාජ්‍ය අයවැය තුලනය පවත්වා නොගෙන මෙය කළ නොහැකියි. 

Wednesday, April 3, 2024

මාලිමාව ආවොත් මොකක් වෙයිද?


මම හිතන්නේ, දැනට සිදු කෙරෙන ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව, මාලිමාව ආවොත් මොකක් වෙයිද කියන එක තව දුරටත් මග හැර යා නොහැකි ප්‍රශ්නයක්. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ වගේම, ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම එජාප හා පොහොට්ටු කඳවුරු, මැතිවරණ සටනට සෘජුව අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා, ඉදිරි කාලයේදී ජනමතයේ විය හැකි වෙනස්කම් ගැන දැන්ම පූර්ව නිගමන වලට එන්න අමාරු වුනත්, ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව මේ වන විට මාලිමා කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා.

මාලිමා කඳවුර සමඟ එකතු වී හෝ එකතු වෙමින් සිටින අති මහත් බහුතරය එසේ කරන්නේ "ඒ අයටත් අවස්ථාවක් දීලා බලමු" කියන ප්‍රවේශයෙන් මිසක් ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලලා නෙමෙයි. එසේ වුනත්, මාලිමා ප්‍රතිපත්ති පිළිබඳව රටේ සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ වගේ සංවාදයක් ඇති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් මාලිමා කඳවුරේ ඇතැම් අය විසින් මෙතෙක් කිසිම කෙනෙක් ලඟ නොතිබුණු අරුම පුදුම වැඩ පිළිවෙළක් ඔවුන් ළඟ තිබෙන බව පෙන්වන්න උත්සාහ කිරීම සහ ඇතැම් විට ඇත්තටම විශ්වාස කිරීම. දෙවන හේතුව එම කඳවුරට විරුද්ධ අයට ඇති වී තිබෙන සහේතුක බිය. මේ බියට හේතුව ජවිපෙ අතීත ක්‍රියාකාරකම් සහ ලෝකයේ වෙනත් සමාජවාදී පක්ෂ විසින් කර තිබෙන දේවල්.

මාලිමා ප්‍රතිපත්ති ලෙස සාකච්ඡාවට භාජනය වෙන්නේ 2019 මැතිවරණය ඉලක්ක කරගෙන එළිදැක්වූ ප්‍රතිපත්ති සහ ඉන් පසුව ආර්ථික අර්බුදය මුවවිටට පැමිණ තිබියදී 2021 වසර අවසානයේදී ඉදිරිපත් කළ "කඩිනම් ප්‍රවේශය". මේ ප්‍රතිපත්ති පැරණි සෝවියට් දේශයේ තිබුණු මධ්‍යගත සැලසුම් ක්‍රමය, මධ්‍යගත සැලසුමක් යටතේ වෙළඳපොළ හසුරුවන චීන ක්‍රමය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එකතු කරලා හදපු අච්චාරුවක් කියලා ගොඩක් අය කියන කතාව බොරුවක් නෙමෙයි. දේශපාලන පක්ෂයක් සම්ප්‍රේෂනීය අවදියක සිටිද්දී ඒ වගේ ප්‍රතිපත්ති අච්චාරුවක් හැදෙන එක සාමාන්‍ය තත්ත්වයක්.

ඇතැම් මාලිමා නායකයින් සඳහන් කර තිබුණු පරිදි ඔවුන් විසින් මේ වන විට ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරමින් ඉන්නවා. එසේ තිබියදී හිතාමතාම ඊට කලින් මේ විචාරය සිදු කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කලින් එවැන්නක් කිරීම වඩා යෝග්‍යයැයි අප සිතන නිසා. කණ්ඩායමක් විසින් කාලය යොදවා ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කළාට පස්සේ කාලයක් යන තුරු නැවත ඒවා සංශෝධනය කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

හැම දෙයක්ම වැරදි පැත්තෙන් ගන්නේ නැත්නම්, මේ වගේ විචාර දිහා බලලා අඩුපාඩු හදාගන්න ඔවුන්ට අවස්ථාවක් තිබෙනවා. "කලින් කියන්න තිබුණානේ" කියන විවේචනයට ඉඩ නොතබා දැන්ම මේ විචාරය කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති වල අඩුපාඩු අඩු කරගැනීමට ඉඩක් ඉතිරි කරමිනුයි.

ඉහත කී ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉලක්කය වූ 2019 ජාතික මැතිවරණ වලදී හෝ ඊට පෙර ජවිපෙට ආණ්ඩු බලය ලබා ගැනීමේ ප්‍රායෝගික ඉඩක් තිබුණේ නැහැ. එවැනි ඉඩක් තිබුණා කියලා ඔවුන් විශ්වාස කළා කියලත් මම හිතන්නේ නැහැ. අධි තක්සේරුවක හිටියත්, මාලිමාව හැදීමෙන් පසුව 2019 ඉලක්කය වුනේ ඡන්ද ප්‍රමාණය 15%-20% වගේ මට්ටමකට ඔසොවා ගන්න එක කියලයි මම හිතන්නේ. 

නමුත් දැන් තත්ත්වය වෙනස්. අර අන්දරේගේ හෝ නස්රුදීන්ගේ හෝ දෙන්නාගේම කතාවකට අනුව ලොකු ගලක් උස්සලා කරෙන් තිබ්බොත් එය ගෙනිහින් දෙන්නම් කිවුවා කියනවනේ. ඒ වගේ නිකමට කිව්වට පස්සේ හදිසියෙවත් මිනිස්සු එකතු වෙලා ගල උස්සලා කරෙන් තිබ්බොත් මොකද වෙන්නේ? 

ඔය වගේම, මිනිස්සු මාලිමාවට ආණ්ඩු බලය ලබා දුන්නොත් කිවුවා වගේම කරන්නත් වෙනවා. එම පක්ෂය විසින් දැනට ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරද්දී "කිවුවා වගේම කරන්නත් වෙන එක" ගැන බරපතල ලෙස හිතන්න ඉඩ තිබෙන නිසා දැනට ඉදිරිපත් කර තිබෙන ලියැවිලි මීට වඩා ප්‍රායෝගික ලියැවිලි බවට පත් වෙයි කියා මම විශ්වාස කරනවා. 

මම මේ විචාරය තුළ මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ එම දේශපාලන ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන්න ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. ඒවා අනුමත කිරීම හෝ නොකිරීම ඡන්දදායකයින්ගේ වැඩක්. ප්‍රධාන වශයෙන්ම මම අවධානය යොමු කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය (consistency) වෙතයි. සංගත නැති ප්‍රතිපත්ති පැකේජයක් සමස්තයක් ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි.

සංගත නැහැ කියන්නේ ප්‍රායෝගිකව කරන්න බැහැ කියන එකම නෙමෙයි. ප්‍රායෝගික නැති ප්‍රතිපත්ති සංගත වෙන්න පුළුවන්. නමුත් සංගත නැත්නම් කිසිසේත්ම ප්‍රායෝගිකව කරන්න බැහැ. 

අවුරුද්දකට බිත්තර 250ක් දමන කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කරනවා කිවුවොත් එය සමහර විට ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ප්‍රායෝගික නැති සේ පෙනෙන දෙයක් වෙනත් අයෙකුට ප්‍රායෝගික වෙන්න පුළුවන්. හැබැයි ඔය විදිහට කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කිරීම මගින් රටේ බිත්තර පරිභෝජනය දෙගුණ කරනවා කිවුවොත් ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්. මොකද බිත්තර 500ක් නැතිව ඒ වැඩේ කොහොමටවත් කරන්න බැහැ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය පරීක්ෂා කරන එක ඉහත උදාහරණය වගේ සරල නැහැ. ඒ සඳහා විචල්‍ය විශාල ප්‍රමාණයක අන්තර් සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. විශාල කාලයක් වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන දේශපාලන දර්ශනයක් එක්ක ගොඩ නැගුනු පක්ෂයක් වෙළඳපොළ පැත්තට පොඩි හැරවුමක් ගනිද්දී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් එක පාරටම හොයා ගන්න අමාරු වීම පුදුමයට කරුණක් නෙමෙයි. නමුත්, 2019 සිට වසර පහක කාලයක් තුළ මාලිමාව විසින් උගත් පාඩම් හා එකතු කරගත් අමතර මානව සම්පත් නැති වෙන්න හේතුවක් නැහැ. 

දැනට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ආර්ථික ක්‍රම තුනක අච්චාරුවක් වුනත්, ඇත්තටම ඒවා වැඩියෙන්ම බර චීන ක්‍රමයට. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ලක්ෂණ දැකිය හැක්කේ ඉතාම අඩුවෙන්. ඒ කොටස් ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ. ඒවා පැරණි පක්ෂයේ දැඩි මතධාරීන් වෙනුවෙන් ඉතිරි කරපු සීනි තැවරුම් පමණයි කියන එකයි මගේ අදහස. මම මේ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන දේවල් ගැන මිසක් ඇතැම් ජවිපෙ නායකයින් විසින් වරින් වර කියන දේවල් ගැන නෙමෙයි. පක්ෂයක් විශාල වෙද්දී එහි සාමාජිකයින්ගේ හා නායකයින්ගේ අදහස් පරාසය පුළුල් වීම සාමාන්‍ය තත්ත්වයක්.

රජය විසින් රටේ නිෂ්පාදන බලවේග වල පාලනය මුළුමනින්ම මෙන් ලබා නොගෙන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැහැ. වර්තමාන ලෝක තත්ත්වය සහ ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකූ විට ඡන්දයකින් පත් වෙන ආණ්ඩුවකට ඒ තරම් දුර යාමේ හැකියාවක් නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව ගියේ එහෙම යන්න පුළුවන් උපරිම දුර. ඒ ගියේ අදට වඩා ගොඩක් වෙනස් ලෝක තත්ත්වයක් තිබියදී. අද වෙද්දී ඒ මට්ටමේ මධ්‍යගත සැලසුමක් ආරක්ෂා කර ගත හැකි ලෝක තත්ත්වයක් නැහැ.

ප්‍රශ්නය තියෙන්නේ චීන, වියට්නාම් ආර්ථික ක්‍රම වුනත් ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ වලින් බලයට පත් වූ ආණ්ඩු විසින් නොවීමයි. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට ඒ තරම් දුරක් යන එක වුනත් විශාල අභියෝගයක්. ඒ නිසා, දැනට යෝජිත 2019 ප්‍රතිපත්ති වුනත් වඩා ප්‍රායෝගික අන්තයකට තල්ලු වීමේ ඉඩකඩ වැඩියි.

සමහර දොරවල් වලින් ඇතුළු වුනාට පස්සේ ආපසු හැරෙන්න බැහැ. කූඩුවක දමලා හදන සතෙක්ට එළියට යන්න දුන්නට පස්සේ නැවත කූඩුවටම එන්න පුළුවන් වුනත්, කාලයක් එළියේ ඉඳලා පුරුදු වුනාට පස්සේ කැමැත්තෙන් නැවත කූඩුවේ හිර වෙන්නේ නැහැ. ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන ආකාරය අත් දැකීමෙන් තේරුම් ගත්තට පස්සේ ඒ අවබෝධය ආපසු හැරෙන්නේ නැහැ. මෙය පුද්ගලයින්ට වගේම දේශපාලන පක්ෂයකටත් පොදු කරුණක්. ධනවාදය මානුෂික කරන බව කියමින් හැරවුමක් ගත්ත ශ්‍රීලනිපය නැවත ආපසු හැරුණේ නැහැ. 

ජවිපෙ කියන්නේ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැරගෙන තමන්ගේ පරමාදර්ශ මත පදනම් වූ රාජ්‍යයක් හැදීම සඳහා පිහිටුවා ගත් පක්ෂයක්. ඒ සඳහා කළ උත්සාහයන් දෙවරක්ම අසාර්ථක වුනා වගේම විශාල විනාශ වලින් කෙළවර වුනා. ඔය අතරවාරයේ වරින් වර එම පක්ෂය මැතිවරණ වලට ඉදිරිපත් වුනත් එසේ කළේ මැතිවරණයක් ජයගෙන ආණ්ඩුවක් පිහිටවීමට නොවන බව රහසක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ ටීම් එක ප්‍රධාන අරමුණ වෙනුවෙන් ආරක්ෂා කරගෙන බී ටීම් එකක් මැතිවරණ වලට ඉදිරිපත් කරන එකයි කළේ. 

කොහොම වුනත්, "සෙල්ලමට කරපු" ඔය වැඩේ කෙළවර වුනේ ජවිපෙ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වෙලා. මෑතකාලීනව ගොඩක් අවස්ථා වලදී මැතිවරණ මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙකේ පක්ෂ වලටත් වඩා වැඩියෙන් ජවිපෙ මැදිහත් වෙලා තිබෙනවා. අරගලය වෙලාවේනම් නැවත පොඩ්ඩක් පාරෙන් එළියට පැන්නා. හැබැයි ඊට පස්සේ වුනත් නොපැවැත්වුණු පළාත් පාලන මැතිවරණ සඳහා මාලිමා අපේක්ෂකයින් තෝරා ගනිද්දී අනෙක් දේශපාලන පක්ෂ වල නැති විවෘත ප්‍රවේශයක් නිරීක්ෂණය වුනා.

ජනමතය පිළිබඳව දැනට කළ හැකි නිරීක්ෂණ අනුව, අවාසිදායකම තත්ත්වයක් යටතේ වුනත්, මාලිමා කණ්ඩායමට ප්‍රධාන විපක්ෂය වෙන්න පුළුවන්. මාලිමා කණ්ඩායම බලයට ආවොත් හෝ ප්‍රධාන විපක්ෂය වුනොත් මාලිමාව ඇතුළේ ජවිපෙ දිය වී යන එක වලක්වන්න බැහැ. ඒක හරියට මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙ පැරණි විභවයන් නැති වෙලා ගියා වගේ වැඩක්. 

ජවිපෙ විසින් විවිධ සන්ධාන හැදීම අලුත් දෙයක් නෙමෙයි. නමුත් මීට කලින් ජවිපෙ විසින් හදපු සන්ධාන කිසිවක් ආර්ථික-දේශපාලන දැක්ම හා අදාළව ඔවුන්ගේ ආරම්භක පරමාදර්ශ වලින් බැහැර වුනේ නැහැ. මාලිමාව හැදීමත් එක්ක ඒ දේ වුනා වගේම ඒ වෙනස සාර්ථක වී තිබෙන බව ඇස් පනා පිට පේන දෙයක්. තවමත් පරණ හොල්මන් වරින් වර පේන්න ගන්නවා තමයි. නමුත් ඒවා නොපෙනී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

ජාජබ 2019 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව (ආර්ථික, 4 පිටුව), 2025 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරනවා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ 2019දී. ඒ වන විට තිබුණු අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,102ක්. නමුත්, 2023 වන විට රටේ ඒක පුද්ගල ආදායම බොහෝ විට ඩොලර් 4000ට වඩා අඩුයි. ඉතා පැහැදිලිවම රටේ ඒක පුද්ගල ආදායම අවුරුදු දෙකකින් දෙගුණ කරන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් අල්ලගෙන මාලිමා ප්‍රතිපත්ති විවේචනය කරන එක විහිළුවක්. නමුත්, වසර හයක කාලයක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරන්න පුළුවන්ද කියන එක තව දුරටත් වලංගු ප්‍රශ්නයක්. 

අප මාලිමා ප්‍රතිපත්ති දෙස සමස්තයක් ලෙස බලනු මිස තැනින් තැනින් කෑලි අරගෙන විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම, මේ ප්‍රතිපත්ති ප්‍රකාශන 2019දී සකස් කළ ඒවා බව අමතක කරන්නෙත් නැහැ. 

මීට අමතරව, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන පූර්ණ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට ආදේශකයක් ලෙස අප සලකන්නේ නැහැ. මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් විසින් එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරලත් නැහැ. ඒ නිසාම, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන අංග සම්පූර්ණ නොවීම අප විසින් ප්‍රශ්නයක් සේ සලකන්නේ නැතත්, ඇතැම් අය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධව එසේ සිතා සිටින නිසාත්, ප්‍රතිපත්ති අංග සම්පූර්ණ නොවුනත් සංගත විය යුතු නිසාත් යම් විචාරයක් සිදු කිරීම යෝග්‍යයයි සිතනවා. 

රටක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විදේශ අංශය පිළිබඳ කොටස හා අදාළව රජයකට කළ හැකි බලපෑම සීමිතයි. ගොඩක් දේවල් තීරණය වන්නේ රටෙන් පිටත ලෝක තත්ත්වයන් අනුවයි. ඒ වගේම, මුදල් හා මූල්‍ය අංශය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කරන්නේ මහ බැංකුවයි. එම ප්‍රතිපත්ති වලට බලපෑම් කළ හැක්කේ මහ බැංකුවේ කටයුතු වලට රජය බලපෑම් කරන්නේනම් පමණයි. ලංකාව වැනි රටක රජයට මූර්ත අංශය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකි වුවත්, සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුමකට නොයන්නේනම් රටේ මූර්ත අංශයේ වර්ධනයන් බොහෝ දුරට තීරණය කරන්නේ පෞද්ගලික අංශයයි. මාලිමා ආණ්ඩුවක් ආවත් මේ තත්ත්වය විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් නැහැ.

ඉහත පැහැදිලි කළ පරිදි, ආණ්ඩුව වෙනස් වූ පමණින් රටක මුදල් හා මූල්‍ය, විදේශ හා මූර්ත අංශයන්ගේ වර්ධනයන් සම්බන්ධව මුළුමනින්ම බලපෑම් කළ හැකි වන්නේ නැහැ. එහෙත්, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධ පාලනය තනිකරම තිබෙන්නේ රජය අතේ. අනෙක් අංශ වලට බලපෑම් කළ හැක්කේ ඒ හරහා වක්‍ර ලෙසයි. මේ හේතුව නිසාම, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධව කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන වල සඳහන්ව ඇති දේ එලෙසින්ම සිදු වීමේ ඉඩක් තිබෙනවා. මහින්ද චින්තන ප්‍රතිපත්ති මේ සඳහා උදාහරණයක්. මෙය මාලිමාවේ ප්‍රකාශිත නිල ප්‍රතිපත්ති වලටත් අදාළයි.

මෙයින් අදහස් කරන්නේ මාලිමා ආණ්ඩුවක් විසින් කියා ඇති දේ එලෙසම කරනු ඇති බවට අප‍ට සහතික විය හැකි බව නෙමෙයි. ඔවුන්ට අවශ්‍යනම් සහ ප්‍රතිපත්ති පැකේජය සංගතනම්, එසේ කිරීමේ තාක්ෂණික හැකියාවක් ඇති බවයි. කරන්නට අවශ්‍ය වුනත් ආර්ථිකයේ අනෙකුත් අංශ හා සම්බන්ධව රජයකට ඒ මට්ටමේ බලපෑමක් කළ නොහැකියි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය යනු, කෙටියෙන්, රජයේ ආදායම් හා වියදම්. සමස්තයක් ලෙස මාලිමා ප්‍රතිපත්ති තුළ දැකිය හැක්කේ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ ප්‍රවේශයක්. එසේ වැඩි කෙරෙන වියදම් ආවරණය කර ගැනීම පිණිස ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලන ක්‍රමයකදී සිදු වන දෙයයි. 

මේ සමඟම මතක් කළ යුතු තවත් දෙයක් වන්නේ ආසන්න වශයෙන් 2019 සිට ජවිපෙ විසින් තමන්ගේ ප්‍රතිපත්ති වල අනෙකා ලෙස නවලිබරල්වාදය තෝරාගෙන ඇති බවයි. මෙය බොහෝ දුරට නැති පිදුරු පඹයෙකු හදා ඒ නැති පිදුරු පඹයාට පහර දීමේ ප්‍රවේශයක්. නවලිබරල්වාදය ලෙස පොදුවේ සැලකෙන්නේ රජය කුඩා කර බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. එහෙත් මෙතෙක් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති දෝලනය වුනේ බදු ආදායම් වලට සාපේක්ෂව විශාල රජයක් නඩත්තු කරමින් ණය වීමේ සිට අයවැය හිඟය අඩු කර ගැනීම ඉලක්ක කරගෙන බදු වැඩි කිරීම දක්වා වන පරාසය තුළයි. ඒ නිසා, ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සඳහා විශාල වෙනස්කම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී බොහෝ විට සිදු විය හැක්කේ වෙනස්කම් කිරීමට වඩා වෙනස්කම් නොකර සිටීමයි. විශේෂයෙන්ම දැනට ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසාය හා අදාළව.

මාලිමා ප්‍රතිපත්ති හදන විට ලංකාවේ රාජ්‍ය අයවැය තුලනය වෙමින් තිබුණේ කොහොමද? 

පහත තිබෙන්නේ 2018 රාජ්‍ය අයවැයෙහි සාරාංශයක්. සියල්ල දදේනිහි ප්‍රතිශත ලෙස. (මේ සංඛ්‍යාලේඛණ පසුව සංශෝධනය වුනත්, මාලිමා ප්‍රතිපත්ති හදද්දී ප්‍රකාශිතව තිබුණේ මේ සංඛ්‍යාලේඛණයි.)

ආදායම =13.4%

පොලී හැර වියදම = 12.7%

ප්‍රාථමික අයවැය ශේෂය = 0.6%

පොලී වියදම = 5.9%

අයවැය ශේෂය = (-5.3%)

මෙම සංඛ්‍යාලේඛණ අතරින් රටේ ආර්ථික ස්ථාවරත්වය හා අදාළව වඩාත්ම වැදගත් වන්නේ අයවැය ශේෂයයි. මෙම ශේෂය හිඟයක්නම් අඩුව පුරවන්නට සිදු වන්නේ ණය ගැනීම මගිනුයි. මේ හා සම්බන්ධ මාලිමා ප්‍රතිපත්තිය වූයේ කුමක්ද? 

"අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" (ආර්ථික, 18 පිටුව). 

මෙයින් අදහස් වන්නේ මාලිමා ආණ්ඩුවක් යටතේද පැවති අයවැය හිඟය ආසන්න වශයෙන් එම මට්ටමේ නඩත්තු කරනවා කියන එකයි. පහත පෙන්වා ඇත්තේ 2018ට ආසන්න පෙර වසර වල අයවැය හිඟයයි. මැතිවරණ වසරක් වූ 2015 වසරේදී මෙම හිඟය වැඩි වූ අතර අනෙකුත් වසර වලදී 5% සීමාවට තරමක් ඉහළින් පැවති බව නිරීක්ෂණය කළ හැකියි. එම අනෙකුත් වසර වලදීද ඉලක්කය වූයේ මෙම හිඟය 5% හෝ අඩු මට්ටමක පවත්වා ගැනීමයි.

2012 - 5.6%

2013 - 5.4%

2014 - 5.7%

2015 - 7.6%

2016 - 5.3%

2017 - 5.5%

2018 - 5.3%

අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම යන්නේ අදහස් වන්නේද එම සීමාව දක්වා අළුතෙන් ණය ලබා ගන්නට සිදු වන බවයි. මීට අමතරව, පැරණි ණය ගෙවීම සඳහා විශාල ණය ප්‍රමාණයක් අලුතෙන් ගන්නට සිදු වෙනවා. මෙය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙන්නේ මාලිමා ආණ්ඩුවක් පැමිණි විට රජය අලුතෙන් ණය නොගෙන පරණ ණයද ගෙවාගෙන යනු ඇතැයි සිතාගෙන සිටින බොහෝ දෙනෙක් සිටින නිසයි.

කෙසේ වුවත්, පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ, ආණ්ඩුව කාගේ වුනත්, තවත් කාලයක් යන තුරු දිගින් දිගටම ණය නොගෙන ඉන්න බැහැ. ඒ නිසා, මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙන මෙම ඉලක්කයේ වරදක් නැහැ. ඒ වගේම, එම ඉලක්කය හා අනෙකුත් ආණ්ඩු යටතේ පැවති අයවැය ශේෂ ඉලක්ක අතර ලොකු වෙනසකුත් නැහැ.

කොහොම වුනත්, මැතිවරණ අවුරුද්දක් වූ 2019දී රජයේ වියදම් ඉහළ ගියා. ඒ වගේම, කවුරුත් දන්න "බදු කැපිල්ලෙන්" පස්සේ රජයේ ආදායම් විශාල ලෙස අඩු වුනා. මේ හේතු නිසා 2021 වන විට අයවැය හිඟය 11.7% දක්වා ගියා. ඊට පස්සේ සිදුවුණු දේවල් තවම අමතක නැහැනේ. 

අයවැය හිඟය 11.7% වගේ මට්ටමකට යනවා කියන්නේ, අනෙකුත් පැවති තත්ත්වයන් එක්ක, ණය තිරසාරත්වය නැති වෙනවා කියන එක. ඒ කියන්නේ, පැවති ආණ්ඩු වල වගේම මාලිමාවේද ප්‍රකාශිත ප්‍රතිපත්තිය වූ, ණය අරගෙන ණය ගෙවන එක වුනත් තව දුරටත් කරගෙන යන්න බැහැ කියන එක. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනේ ඒ නිසා. මීට සමාන්තරව සකස් කළ IMF වැඩ සටහන අනුව රජයේ අයවැය හිඟය පහත ආකාරයෙන් ටිකෙන් ටික අඩු වී යා යුතුයි.

2023 - 8.0%

2024 - 6.4%

2025 - 5.0%

2026 - 4.8%

2027 - 4.7%

2028 - 4.2%

මේ ඉලක්ක සහ මාලිමාවේ 2019 ප්‍රතිපත්තිය වූ "අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" යන්න අතර ලොකු නොගැලපීමක් නැහැ. ඒ නිසා, මාලිමාවට පහසුවෙන්ම දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ රාජ්‍ය අයවැය ඉලක්ක සමඟ එකඟ වෙන්න පුළුවන්. 

හැබැයි මාලිමාව ඔය අයවැය ඉලක්කයට යන්න ඉඩ තියෙන්නේ දැන් වැඩ පිළිවෙළේ ක්‍රමයටම නෙමෙයි. මාලිමාවේ ආදායම් ඉලක්කය වගේම වියදම් ඉලක්කත් වඩා වැඩියි. 

"රජයේ ආදායම වැඩි කිරීමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම 20-25% දක්වා මට්ටමට ගෙන ඒම සඳහා විධිමත් සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම" (ආර්ථික, 17 පිටුව)

මේ ඉලක්කය IMF වැඩ සටහනේ ආදායම් ඉලක්ක වලට වඩා වැඩි ඉලක්කයක්. IMF වැඩ සටහනේ රාජ්‍ය ආදායම් ඉලක්ක පහත පරිදියි.

2023 - 11.0%

2024 - 13.3%

2025 - 14.9%

2026 - 15.0%

2027 - 15.1%

2028 - 15.3%

මේ අනුව, මාලිමාවේ ඉලක්කය තවත් 5%-10%කින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමයි. එවිට, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන 25%-30% දක්වා වියදම් වැඩි කරන්න පුළුවන්. නමුත් IMF වැඩ සටහන අනුව වියදම් ඔය තරමට වැඩි වෙන්නේ නැහැ. එම වියදම් ඇස්තමේන්තු පහත පරිදියි. 

2023 - 19.0%

2024 - 19.73%

2025 - 19.9%

2026 - 19.9%

2027 - 19.6%

2028 - 19.4%

දැන් මාලිමාව ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන හැටියට රාජ්‍ය ආදායම 20-25% දක්වා වැඩි කරගත්තොත්, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන වියදම් වැඩි කරන්න ඉඩක් ලැබෙනවනේ. එම වියදම් වැඩි වීම මොන විදිහට වෙයිද?

මාලිමා ආර්ථික ප්‍රතිපත්ති යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රාජ්‍ය වියදම් වැඩි කරන ආකාරය නිශ්චිත ලෙස සඳහන් කරලා තියෙනවා. එම වැඩි කිරීම් සාධාරණීකරණය කරමින් දීර්ඝ ලෙස හේතු දක්වලාත් තිබෙනවා. ඒ වගේම, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කිරීම (චීන සමාජවාදී ක්‍රමයේ කොහොම වුනත්) සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක විශේෂ ලක්ෂණයක්. මේ හේතු සියල්ල නිසා මාලිමාව තවමත් මේ ඉලක්ක වල ඉන්නවා කියලා අපට හිතන්න පුළුවන්. 

"ක්‍රමිකව සහ සැලසුම්සහගතව දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම" (කඩිනම්, පිටුව 12)

"සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් අවම වශයෙන් 5%ක්" (කඩිනම්, පිටුව 13).

මාලිමාවේම සංඛ්‍යාලේඛණ අනුව, 2017දී සෞඛ්‍යය වෙනුවෙන් රජය වැය කර තිබෙන්නේ 1.48%ක් පමණයි (සෞඛ්‍යය, පිටුව 8). මෙම ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එහි සඳහන්. 

මුදල් අමාත්‍යංශයේ දත්ත අනුව ඉහත ප්‍රකාශය නිවැරදියි. 2022දී රජය සෞඛ්‍යය වෙනුවෙන් රුපියල් බිලියන 308.5ක් වැය කර තිබෙන අතර එය දදේනියෙන් 1.28%ක් පමණයි. ඒ වගේම පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 298.1ක් සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 75.6ක් ලෙස රුපියල් බිලියන 373.7ක් වැය කර තිබෙනවා. මෙම මුදල දදේනියෙන් 1.55%ක්. ඒ අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විසින් 2022 වසරේදී වැය කර තිබෙන්නේ දදේනියෙන් 2.83%ක් පමණයි (මෙම මුදල දදේනියෙන් 2.83%ක් පමණක් වුනත් රාජ්‍ය ආදායමෙන් 34%කට වඩා වැඩියි. එය වෙනම කතාවක්).

දැන් මාලිමාව මෙම වියදම 11% (= 5% + 6%) දක්වා වැඩි කරන්නයි යන්නේ. ඒ කියන්නේ තව 8.2%කින් පමණ. අපි මේ වැඩේට 2028 වසර දක්වා කල් යනවා කියා හිතමු. ආණ්ඩුවකට ඔය වගේ දෙයක් හදිසියේ කරන්න බැහැනේ. දැනට අපේක්ෂිත 2028 රාජ්‍ය වියදම 19.4%ක් පමණයි. ඕකට තව 8.2%ක් එකතු කළ විට රාජ්‍ය වියදම 27.6% දක්වා ඉහළ යනවා. ආර්ථිකය ස්ථාවරව තියාගන්න 2028දී අයවැය හිඟය 4.2%කට සීමා කරන්න වෙනවා. ඒ අනුව, අවම වශයෙන් 23.4% දක්වා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න වෙනවා.

මාලිමාවේ ඉලක්කය රාජ්‍ය ආදායම් 20%-25% දක්වා වැඩි කර ගන්න එකනේ. අපි මෙම පරාසයේ උපරිම සීමාව වන 25% ගනිමු. අධ්‍යාපනය සහ සෞඛ්‍යය හා අදාළ ඉලක්ක වලට යන්න පමණක් වුනත් රාජ්‍ය ආදායම 23.4% දක්වා වැඩි කරගන්න වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. තව 1.6%ක් දක්වා වියදම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මාලිමා ප්‍රතිපත්ති වල වියදම් යන වැඩ තව මහ ගොඩක් තියෙනවා. 

ප්‍රතිපත්ති ප්‍රකාශ වල තිබෙන හැම දෙයකටම අනිවාර්යයෙන්ම වියදම් යන්නේ නැහැ. දැනට තිබෙන සම්පත් යොදාගෙන කළ හැකි දේවල් ගොඩක් තිබෙනවා. ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් කරන්න අනිවාර්යයෙන්ම අමතර මුදල් අවශ්‍ය වෙනවා. පහත තියෙන්නේ එවැනි දේවල් කිහිපයක්. 

රාජ්‍ය ආයෝජන සහිතව නිෂ්පාදන කර්මාන්ත ශාලා 100ක් පිහිටුවීම (ආර්ථික, පිටුව 5)

නවීන තාක්ෂනය හා උපාංග සහිතව කිරි නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ආරම්භ කිරීම (ආර්ථික, පිටුව 6) 

කොළඹ වරායට ප්‍රමුඛත්වය දෙමින් සියලු ප්‍රධාන වරාය නවීකරණය කිරීම (ආර්ථික, පිටුව 6) 

නැවු ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (ආර්ථික, පිටුව 6) 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය (ආර්ථික, පිටුව 7) 

සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීම සහ නව පිරිපහදු අංගනයක් ඉදි කිරීම (ආර්ථික, පිටුව 7) 

පවුල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි දීමනාව වැඩි කිරීම (ආර්ථික, පිටුව 9)

සමෘද්ධි පවුල් වල උසස්පෙළ සමතුන්ට වසරක් ඇතුළත රැකියා හෝ රැකියා අවස්ථා ලබා දීම (ආර්ථික, පිටුව 9)

රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන සුළු පරිමාණ ණය කපා හැරීම (ආර්ථික, පිටුව 10)

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධනය සහිතව ක්ෂුද්‍ර පොකුරු සමාගම් 15,000ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 11)

මස් නිෂ්පාදනය කරන ආයතන වලට අවශ්‍ය යෙදවුම් අඩු මිලට ලබා දීම (ආර්ථික, පිටුව 12)

මහා පරිමාණ වෙළඳ හා හුවමාරු මධ්‍යස්ථාන 24ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 13)

විදුලි බස් පද්ධතියක් ඇති කිරීම, මාර්ග ඇති කිරීම, දුම්රිය විදුලිනය සහ සැහැල්ලු දුම්රිය පද්ධතියක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ඇති කිරීම (ආර්ථික, පිටුව 28)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා මූල්‍ය පහසුකම් (ආර්ථික, පිටුව 5)

4% අඩු පොලියට කෘෂිකාර්මික ණය ලබා දීම (කෘෂි, පිටුව 5)

ඒකාබද්ධ කෘෂිබිම් සංවර්ධනය සහ අස්වනු නෙලීම සඳහා යන වියදමෙන් 50%ක් රජය මගින් දැරීම (කෘෂි, පිටුව 6)

වී සඳහා සහතික මිලක් සහ දිරි දීමනා (කෘෂි, පිටුව 6)

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන ණය (කෘෂි, පිටුව 6)

ශීතන පහසුකම් සහිත ප්‍රවාහන ජාලයක් (කෘෂි, පිටුව 19)

ඒකාබද්ධ ගොවිබිම් ආසන්නයේ රජයේ වියදමින් තට්ටු නිවාස (කෘෂි, පිටුව 10)

බහුජාතික සමාගම් වෙත ලබා දී ඇති ඉඩම් නැවත පවරා ගැනීම (කෘෂි, පිටුව 10)

මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීම (කෘෂි, පිටුව 9)

කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම (කෘෂි, පිටුව 9)

කෘෂිකර්ම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2000ක් (කෘෂි, පිටුව 9)

කිරි වලට සහතික මිලක් (කෘෂි, පිටුව 12)

ඔය තිබෙන්නේ කරන්න යන දේවල් වලින් කොටසක්. මේ දිග ලැයිස්තුවේ තිබෙන දේවල් කරන්න කොයි තරම් මුදලක් වැය වෙනවාද කියා මම ඇස්තමේන්තු කරන්න යන්නේ නැහැ. නමුත්, දදේනියෙන් 1.6%කින් එනම් රුපියල් බිලියන 400-450කින් පමණ, මේ හැම දෙයක්ම කරන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැනි සමහර දේවල් අඩු වියදමකින් සංදර්ශනාත්මක ලෙස පමණක් කරන්න ඉඩ තිබුණත් ගොඩක් දේවල් එහෙම කරන්න බැහැ. සෘජුවම අරමුදල් වෙන් කරන්න සිදු වෙනවා. 

ඒ කියන්නේ, රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත්තත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ඉලක්කගත වියදම් වෙන් කළාට පස්සේ ඔය ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් කළ හැක්කේ සුළු ප්‍රමාණයක් පමණයි. එහෙම නැත්නම්, එක්කෝ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වියදම් අඩු කරන්න වෙනවා. නැත්නම් අයවැය හිඟය වඩා වැඩි කරගෙන තව තව ණය වෙන්න වෙනවා. එහෙම කරන්න ගියොත් නැවත ණය තිරසාරත්වය නැති වී ආර්ථිකය කඩා වැටෙන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඔය ටික කරන්නත් රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත යුතුයිනේ. පසුගිය වසර වල කරපු බදු වැඩි කිරීම් වලින් පසුව සහ ඉදිරියේදී පැනවීමට නියමිත ධන බද්ද වැනි අලුත් බදු වලින් පසුවත් රාජ්‍ය ආදායම වැඩි වීමට නියමිත 15.3% මට්ටම දක්වා පමණයි. මෙය තවත් 10%කින් පමණ වැඩි කර ගැනීම සඳහා තිබෙන යෝජනා මොනවාද?

රාජ්‍ය ආදායම වැඩි වෙන යෝජනා කෙසේ වුවත් අඩු වන යෝජනානම් ගණනාවක් තිබෙනවා. පහත තිබෙන්නේ ඒවායින් කිහිපයක්.

ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ආදිය වැට් බදු වලින් නිදහස් කිරීම (ආර්ථික, පිටුව 17)

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුද්ගලික අංශය සහභාගී කර ගැනීම සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

නවෝත්පාදන හා අංකුර නිෂ්පාදකයන් සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා බදු සහන (ආර්ථික, ආර්ථික, පිටුව 5)

සියලු කෘෂි යන්ත්‍රෝපකරණ බදු වලින් නිදහස් කිරීම (කෘෂි, පිටුව 5)

වක්‍ර බදු 40% දක්වා අඩු කිරීම (ආර්ථික, පිටුව 17)

අනවශ්‍ය අතරමැදි ක්‍රියාකාරකම් ඉවත් කිරීම (ආර්ථික, පිටුව 14)

විදේශ ශ්‍රමිකයන්ට බදු සහන (ආර්ථික, පිටුව 23)

මේ හැම දෙයකින්ම වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ඊට අමතරව, බදු අනුපාතික වැඩි නොකිරීම (ආර්ථික, පිටුව 17) ගැනද සඳහන් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම් වැඩි වෙන යෝජනාත් එකක් දෙකක් තිබෙනවා.

බලශක්ති භාවිතය මත පරිසර බදු (ආර්ථික, පිටුව 28)

වාහන නගර වලට ඇතුළු වීමේදී අවහිරතා බද්දක් (ආර්ථික, පිටුව 29)

මීට අමතරව, වරණ තීරු බදු (ආර්ථික, පිටුව 5 හා 15) ගැන සඳහන්ව තිබෙන අතර රාජ්‍ය ආදායම කෙරෙහි එම බදු වල බලපෑම අවිනිශ්චිතයි. මෙම බදු හා අදාළ ප්‍රතිපත්තිය ආරක්ෂණවාදයයි. එනම්, බදු වැඩි කිරීම මගින් රටේ නිපදවා ගත හැකි දේ ආනයනය කිරීම සීමා කර බදු සහන හරහා අපනයන දිරි ගැන්වීමයි. වරණ තීරු බදු මගින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ඉලක්කයක් ගැන නිශ්චිතව සඳහන් කර නැහැ. 

ඉතා පැහැදිලිවම ඉහත ප්‍රතිපත්ති වලින් සිදු වන්නේ රාජ්‍ය ආදායම කීයකින් හෝ අඩු වීමයි. එසේනම්, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ගය කුමක්ද?

එක් උපාය මාර්ගයක් විය හැක්කේ රාජ්‍ය ව්‍යවසාය වලින් ආදායම් ලැබීමයි. එහෙත්, විවිධ තැන් වල සඳහන්ව ඇති දේවල් අනුව පෙනෙන්නේ මාලිමාව විසින් රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් පවත්වාගෙන යාමේ අරමුණ ලාබ ලැබීම නොවන බවයි. ඊට අමතරව, දැනට පෞද්ගලික අංශය විසින් කරන කටයුතු වලට රාජ්‍ය අංශය වැඩියෙන් මැදිහත් වීමේ ප්‍රතිඵලය වන්නේ පෞද්ගලික අංශයේ ලාබ අඩු වී රජයේ බදු ආදායම් අඩු වීමයි. 

මම මේ විචාරයේදී මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ ඒ සමඟ ගැට ගැසී ඇති ආර්ථික ප්‍රතිපත්ති විචාරයකට ලක් කරලා නැහැ. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය පිලිබඳව පමණයි විමසා බලා තියෙන්නේ. ඒ වගේම, චෙරි පික් නොකර මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියට අදාළ නිශ්චිත දේවල් හැම එකක්ම වගේ අරගෙන තිබෙනවා. එහෙම ගත්තට පස්සේ පැහැදිලිව පෙනෙන පරිදි, වියදම් වැඩි වෙන දේවල් තියෙන තරමට ආදායම් වැඩි වෙන දේවල් නැහැ. ආදායම් අඩු වෙන දේවල්නම් තියෙනවා. 

මෙම ප්‍රකාශන වල සඳහන්ව නැතත්, අයවැය හිඟය වැඩි නොකර තියා ගන්න පුළුවන් වෙන ක්‍රම නැද්ද?

වේදිකා වල කාලයක් තිස්සේ කියපු විදිහටනම් විදේශ රටවල හංගලා තිබෙන සල්ලි ආපහු රටට අරගෙන ඇවිත් මේ හිඟය පියවගන්න පුළුවන්. මේ හා අදාළව ලොකු ගණන් හිලවු ඉදිරිපත් කරමින් ඒ දවස් වල කිවුවේ "මේ අයිස් කන්දේ ශිඛරය විතරයි" කියලා. හැබැයි දැන් විමසිල්ලෙන් කල්පනා කරලා බැලුවොත් ඔය කතාව හෙමිහිට ජන විඥානයෙන් අමතක වෙන්න ඇරලා කියලා තේරෙන්නේ නැද්ද? ආණ්ඩු බලය ලැබීමේ "අවදානම" නැති තාක් ඔය වගේ කතා කියන්න පුළුවන්. 

ඊළඟ කතාව නොගෙවූ බදු අය කර ගැනීම. මේ කතාවනම් පදනමක් තිබෙන කතාවක්. නියම විදිහට බදු එකතු වෙනවානම් රජයේ බදු ආදායම මීට වඩා වැඩි විය යුතුයි. නමුත් මේ ප්‍රමාණය කොපමණද? දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට පමණ සමාන අමතර බදු ප්‍රමාණයක් වාර්ෂිකව එකතු කර ගන්න පුලුවන්ද? එහෙම කරන්න පුළුවන්නම් ඔය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සෑහෙන දුරකට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

බදු පදනම වැඩි කර ගැනීමේ හා බදු දැල ශක්තිමත් කර ගැනීමේ වැඩ පිළිවෙලක් දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා. සියල්ලන්ටම බදු අංක ලබා දීම, වාහන මිල දී ගැනීම හා ඉඩම් මිල දී ගැනීම වැනි අවස්ථා වලදී බදු ගොනු විවෘත කිරීම වගේ විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරලා තමයි බදු ආදායම 2028 වන විට 15.3% මට්ටමට උස්සා ගන්න හදන්නේ. ඒ මට්ටමට යන එකත් විශාල අභියෝගයක්. එහෙම තියෙද්දී 25% වගේ මට්ටමකට යනවා කියන්නේ ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්. 20% වුනත් ලේසි නැහැ.

මේ වැඩේ කරන්න හදන්නේ වක්‍ර බදු වැඩි නොකර බවත් අමතක නොකළ යුතුයි. 2022 වසරේදී එකතු කරගත් සෘජු බදු (ආදායම් බදු) ප්‍රමාණය දදේනියෙන් 2.2%ක් පමණයි. බදු ආදායමෙන් 60%ක් පමණ සෘජු බදු වලින් ගන්න යනවා කියන්නේ වක්‍ර බදු ආසන්න වශයෙන් දැන් තියෙන මට්ටමේම තියාගෙන සෘජු බදු 15% පමණ දක්වා වැඩි කරන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ හය හත් ගුණයකින් එම බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. 

දැනට සෘජු බදු ගොඩේ වැඩිපුරම තියෙන්නේ සමාගම් මත අය කරන බදු. පළමුව, සමාගම් වල ලාබය මුළුමනින්ම, ඒ කියන්නේ 100%ක්ම බදු විදිහට අය කර ගත්තත් ඔය තරම් බදු ආදායමක් එකතු වෙන්නේ නැහැ. සමාගම් බදු අනුපාතය දැනටත් 30%ක්. ඔය අනුපාතය දෙගුණයක් කළත් බදු ආදායම දෙගුණ වෙන එක පමණයි වෙන්නේ. මේ කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ගැන නිසා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්නවා කියන එක පිළිතුරක් නෙමෙයි.

දෙවනුව, සමාගම් බදු වැඩි කළ විට ඒ බදු පාරිභෝගිකයා මත පැටවෙන එකයි වෙන්නේ. ඒ නිසා, එයත් වක්‍ර බද්දක් වගේම වෙනවා. හරියටම සෘජු බදු කියා කියන්න පුළුවන් පුද්ගල ආදායම් බදු වලටයි. පුද්ගල ආදායම් බදු නොගෙවන අයව බදු දැලට අල්ලා ගන්න එක කළ යුතුම දෙයක් වුනත්, ඒ වැඩෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගත හැකි සීමාවක් තියෙනවා. ඊට අමතරව පුද්ගල ආදායම් බදු විශාල ලෙස වැඩි කර ගැනීමේ දේශපාලන ශක්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒ ගැන අපි කතා නොකර ඉමු. 

මේ කතා කළේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ගැන පමණයි. රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරද්දී සංගත ලෙස හදන්න ලේසිම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති කොටස. ඒ සඳහා කළ යුත්තේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු නිවැරදිව ගැලපීම පමණයි. එතැනින් එහාට විදේශ අංශය, මුදල් හා මූල්‍ය අංශය හා මූර්ත අංශය හා අදාළ ප්‍රතිපත්ති සංගත ලෙස සකස් කරන එක වඩා සංකීර්ණයි. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදා නොගෙන ඒවා ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදාගත්තත් ඔය ප්‍රකාශන වල ලොකු ඉඩක් වෙන් කර තිබෙන විදේශ අංශය සම්බන්ධ ප්‍රතිපත්ති වල අසංගතතා මීට වඩා ගොඩක් වැඩියි. ඒ නිසාම, ඔය පැකේජ් එකත් එක්ක එහි සඳහන් මූර්ත අංශයේ ඉලක්ක වලට යාම කළ නොහැකි දෙයක්. ප්‍රායෝගික නැති නිසා නෙමෙයි. කොහොමටවත්ම යන්න බැරි තරම් අසංගත නිසා. මේ අසංගතතා විස්තර කරන එක රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රතිපත්ති වල අවුල පෙන්වන තරම්ම සරල නැහැ. ඒ නිසා, එම අවුල තේරුම් ගන්න අමාරු කෙනෙකුට එතැනින් එහාට විස්තර කරන එකේ තේරුමක් නැහැ.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන 2019 මැතිවරණ ඉලක්ක කරගත් සහ මාලිමාව හදද්දී එහෙන් මෙහෙන් කෑලි එකතු කර හදා තිබෙන ප්‍රතිපත්ති ඉදිරි මැතිවරණ ඉලක්ක කර සංශෝධනය කරද්දී මීට වඩා සංගත ලෙස එම ප්‍රතිපත්ති සකස් වනු ඇතැයි අපි හිතමු. එම ප්‍රතිපත්ති වල අවුල් ඇත්නම් ඒවා වඩා නිශ්චිත ලෙස පෙන්වා දීම එතෙක් කල් දමමු. මොකද මේ ලියා තිබෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්නේ. 

අලුත් ප්‍රතිපත්ති ආවට පස්සෙත් එහෙම වෙනස්කම් වෙලා නැත්නම්, ඔය විදිහටම වියදම් කරන ක්‍රම ගැන මිසක් ආදායම් එන විදිහ ගැන පැහැදිලි විස්තරයක් නැත්නම්, වෙන්නේ කුමක්ද?

ඒක කියන්න ඒ තරම් අමාරු නැහැ. ආණ්ඩුවකට මුලින්ම කරන්න වෙන දේ රාජ්‍ය අයවැය හදන එක. හැබැයි ඔය වැඩේ කරන්නේ දේශපාලනඥයෝ නෙමෙයි. මුදල් අමාත්‍යංශයේ ඉන්න වෘත්තිකයෝ. මුදල් ඇමතිවරයා විසින් ඔය වගේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මල්ලක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතට දීලා ඊට ගැලපෙන පරිදි අයවැය හදන්න කිවුවහම ඒ අය මෙම ලිපියේ විස්තර කළ අසංගත බව කරුණු සහිතව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඔය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එකින් එක අකුළා ගෙන අයවැය තුලනය වන පරිදි ගැලපීම් කරන්න වෙනවා. අන්තිමට අයවැය යෝජනා වලට දමන්න වෙන්නේ අඩු වශයෙන් ඉලක්ක කරන්න හෝ පුළුවන් දේවල් පමණයි.

ඉදිරි අවුරුදු වලදී කවර හෝ ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන විශේෂී තත්ත්වය අයවැය හිඟය හිතුමනාපෙට වැඩි කරන්න බැරි වීම. එහෙම කරන්න ගියොත් ඉතා කෙටි කලක් තුළ ආර්ථිකය නැවත අර්බුදයට යනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් අර්බුදයට යනවා. ඒ නිසා, ප්‍රායෝගිකව රජයේ වියදම් වැඩි කරන්න පුළුවන් වෙන්නේ ආදායම් වැඩි කර ගැනීමට සමාන්තරව පමණයි. 

ලිපියේ පැහැදිලි කළ පරිදි ආදායම් වැඩි කරගන්න එක හිතන තරම් ලේසි නැහැ. එහෙම ක්‍රමයක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විස්තර කරලත් නැහැ. ඒ කොටස මග ඇරලා, ආදායම් වැඩි කර ගන්නවා කියන උපකල්පනය යටතේ වියදම් කරන හැටි විස්තර කරන එකයි ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ. ඒ නිසාම, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල මොනවා තිබුණත්, අවශ්‍ය අරමුදල් නැති නැති නිසා ඒ ගොඩක් දේවල් ලේසියෙන් හෝ හදිසියෙන් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වය නරක තත්ත්වයක් කියලා මම හිතන්නේ නැහැ.

කලින් කිවුවා වගේම මාලිමාව වටේට එකතු වෙන ගොඩක් අයට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් වැඩක් නැහැ. ඒ ගොඩක් අය හොයන්නේ නිදහසේ හොඳින් කාලා ඇඳලා ඉන්න පුළුවන් තත්ත්වයක්. ඒක වෙන්නේ කොහොමද කියන එක ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ක්‍රියාත්මක වැඩ පිළිවෙළේ මූලික ඉලක්ක වලින් පිට පැන්නේ නැත්නම් ලොකු අවුලක් හදාගන්නේ නැතිව බේරෙන්න පුළුවන්. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හෝ නොකිරීම වගේ දේවල් මූලික ඉලක්ක නෙමෙයි. 

දැනට රටේ ආර්ථිකය ගමන් කරන දිශානතිය ගැන ගොඩක් අයට අවුලක් නැහැ. ගොඩක් අය කියන කුලකයට මාලිමාව එක්ක මේ වන විට ඉන්න අයත් ඇතුළත්. ඒ අයට තිබෙන අවුල මේ දේවල් රනිල් විසින් හෝ පොහොට්ටු ආණ්ඩුවක් යටතේ කෙරෙන එක පමණයි. ඔය දේවල්ම මාලිමාව ඇවිත් කළොත් ඒ අය ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. නමුත් ට්‍රැක් පැනලා හැම දේම අනාගත්තොත් ජනමතය ආණ්ඩුවට විරුද්ධව යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඉහත හේතුව නිසා, මාලිමා නංගිව ඉස්සරහට දමලා පරණ ජේවීපී අක්කාම වැඩේට බහියි කියන කතාවට මම ලොකු බරක් තියන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම එවැනි අපේක්ෂා තිබෙන අය කණ්ඩායම ඇතුළේ නැති වෙන්න බැහැ. නමුත් එහෙම අය ජනමතය එක්ක වෙනස් වුනේ නැත්නම් ඒ අයට කණ්ඩායමෙන් ගැලවිලා යන්න වෙන ඉඩකඩ වැඩියි. ජවිපෙ මැතිවරණ දේශපාලනයට ආවට පස්සේ වුනෙත් ඔය වගේම දෙයක්නේ. 

ඔය මාලිමාව දිනුවොත් විය හැකි දේ ගැන මම හිතන දේ. ජනමත සමීක්ෂණ ප්‍රතිඵල වල දැන් ඉන්න තැන දිහා බලද්දී ගොඩක් අසීරු ඉලක්කයක් වගේ පෙනෙන දෙයක් වුනත් එජාප-පොහොට්ටු සන්ධානයක් විසින් ආණ්ඩුවක් පිහිටුවලා මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනා කියා හිතමු. එහෙම වුනොත් ඒ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන්නේ වඩා අමාරු දේශපාලන අභියෝගයකට. 

මාලිමාව දිනලා මේ යන පාරට ගොඩක් වෙනස් නැති පාරක ගියොත් එජාපය එක්ක සන්ධානයකට යාමේ ඉඩක් නැති පොහොට්ටුවේ කොටසකට හැර විපක්ෂයේ අනෙක් පාර්ශ්ව වලට ඒ ගැන ලොකු විරෝධයක් දක්වන්න බැහැ. නමුත් මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනොත් ඒකේ අනෙක් පැත්ත වෙන්නේ නැහැ. එහෙම වුනොත් ඔවුන්ගේ සම්ප්‍රදායික විරෝධතා දේශපාලනයට පියාපත් එන එකයි වෙන්නේ. ඒ නිසා, මාලිමාව දිනුවත් පැරදුනත් දක්ෂිණාංශික අදහස් දරන අය අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ලේසියෙන් කෙරෙන එකක් නැහැ.

වෙබ් ලිපිනය: