වෙබ් ලිපිනය:

Saturday, April 6, 2024

ගෙවූ ණය හා ගත් ණය


ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් වරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ මාධ්‍ය ප්‍රකාශයකට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ගෙවුණු මාස දහ අටක පමණ කාලය තුළ ඩොලර් මිලියන 1,338.8ක මුදලක් බහුපාර්ශ්වීය ණය හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙම තොරතුරු රාජ්‍ය ආයතනයක් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, ඉදිරිපත් කර තිබෙන විස්තරාත්මක තොරතුරු අනුව නිවැරදි සේ සැලකිය හැකියි. 

ඉහත තොරතුරු වල මූලාශ්‍රය විදේශ කටයුතු දෙපාර්තුමේන්තුව බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෙවූ ණය පිළිබඳ විස්තර විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් (දන්නා තරමින්) ප්‍රසිද්ධ කර නැතත්, 2023 වසර තුළ ලබාගත් ණය පිළිබඳ තොරතුරු එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වගුවේ තිබෙන්නේ එම තොරතුරුයි.

පසුගිය (2023) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 2,510.1ක විදේශ ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගෙන තිබෙනවා. රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සඳහන් කර ඇති ඩොලර් මිලියන 1,338.8ක මුදල ගෙවා තිබෙන්නේ 2023 වසර ඇතුළත් මාස 18කට වැඩි කාලයක් තුළයි. එම මුදලෙන් 2023 වසර තුළ ගෙවූ මුදල හරියටම නොදනිතත්, එම ප්‍රමාණය අනිවාර්යයෙන්ම පෙර සඳහන් ඩොලර් මිලියන 1,338.8ක මුදලට වඩා අඩු මුදලක් විය යුතුයි. මේ අනුව, වසර තුළ ණය වාරික ආපසු ගෙවීම හා පොලී ගෙවීම වෙනුවෙන් වැය කර තිබෙන්නේ ලබා ගත් විදේශ ණය වලින් කොටසක් පමණක් බව පැහැදිලියි.

මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පසුගිය වසර තුළ රජයේ බැඳුම්කර ණය හැර අනෙකුත් විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 23,562 සිට ඩොලර් මිලියන 25,988 දක්වා ඩොලර් මිලියන 2,487කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩිවීමෙන් ඩොලර් මිලියන 368කට හේතුව නොගෙවූ පොලිය ණය ලෙස එකතු වීමයි. 

වසර තුළ අලුතෙන් ඩොලර් මිලියන 2,510.1ක් ලබා ගැනීම හා ඩොලර් මිලියන 368ක පොලී එකතු වීම සැලකූ විට ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,878කින් වැඩි විය යුතු වුවත්, එම වැඩි වීම ඩොලර් මිලියන 2,487ක් පමණක් වී ඇත්තේ ණය ආපසු ගෙවීම නිසා බව පැහැදිලියි. මෙම ගණන් දෙක අතර වෙනස ඩොලර් මිලියන 451ක්. මෙම මුදලට පොලී ගෙවීම සඳහා වැය කළ මුදල් ඇතුළත් නැහැ.

මීට අමතරව, පසුගිය වසර තුළ රජය විසින් විදේශිකයින්ට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන් ඩොලර් මිලියන 179කට සමාන මුදලකුත්, භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් තවත් ඩොලර් මිලියන 30කට සමාන මුදලකුත් රුපියල් වලින් ලබා ගෙන තිබෙනවා. එකතුව ඩොලර් මිලියන 209ක්. එයින් ඩොලර් මිලියන 22ක් විදේශිකයින්ගේ සංවර්ධන බැඳුම්කර පියවීම සඳහා වැය කර තිබෙනවා. මේ අනුව, තවත් ඩොලර් මිලියන 187ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. 

ඉහත විස්තර කර ඇති පරිදි, වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,614ක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 777ක් පමණ, රුපියල් වලින් විදේශිකයින්ට සිදු කළ ගෙවීම්ද ඇතුළුව, පොලී ගෙවීම් වෙනුවෙන් වැය කර තිබෙනවා. ඒ අනුව, ඩොලර් 1,837ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් වසර තුළ රජය විසින් විදේශ විණිමය වෙළඳපොළට පොම්ප කර තිබෙනවා.

"ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!" සටහනෙහි විස්තර කර ඇති පරිදි, පසුගිය වසර තුළ ලංකාව විසින් වැය කළ ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් ඉතිරි කර තිබෙනවා. මෙම මුදලට ඉහත සඳහන් රජයේ ශුද්ධ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,837 එකතු කර විට ඩොලර් මිලියන 3,336ක්. මෙම මුදල විදේශ වත්කම් ලෙස රට තුළ ඉතිරි විය යුතුයි. 

"රටේ විදේශ වත්කම්" සටහනෙහි විස්තර කර ඇති පරිදි පසුගිය වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,495කින් සහ වාණිජ බැංකු වල විදේශ සංචිත ඩොලර් මිලියන 1,005කින් ලෙස බැංකු පද්ධතිය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,500කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් ආසන්න වශයෙන් බාගයක් පමණ උපයා ඉතිරි කරගත් විදේශ විණිමය වන අතර ඉතිරි කොටස රජය විසින් ණය සේ ලබා ගෙන පොම්ප කළ විදේශ විණිමයයි.

රජය විදේශ විණිමය වෙළඳපොළට මේ අයුරින් විදේශ විණිමය පොම්ප කරද්දී ඩොලර් සැපයුම ඉහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එවිට, ආනයන ඉල්ලුම ඉහළ ගොස් එම ඩොලර් ප්‍රමාණය රටින් එළියට යනවා. 2010-2012 වැනි වසර වල සිදු වුනේ මෙයයි.

මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් අතිරික්ත ඩොලර් ප්‍රමාණය මිල දී ගැනීම මගින් ණයට ගන්නා ඩොලර් ආනයන ලෙස රටින් පිටව යාම වලක්වා ගත හැකියි. මේ වන විට ඩොලරයක මිල පහත වැටී ඇතත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන නිසායි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව මෙම තත්ත්වයේ යම් වෙනසක් සිදු විය හැකියි. 

පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බව වාර්තා වී තිබුණා.

"අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා."

තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නැතත්, රනිල් වික්‍රමසිංහට නැවතත් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ අභිලාශ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රටේ ආර්ථිකය මනින දර්ශකය ඩොලරයක මිල නිසා ඩොලරයක මිල පහත වැටීම රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව වාසිදායකයි. ඒ නිසා, මේ ප්‍රකාශය තේරුම් ගැනීම අපහසු නැහැ.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙරද විණිමය අනුපාතය සම්බන්ධව මෙවැනි ප්‍රකාශ සිදු කර තිබුණා. ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට පහත දමා ගැනීමට අවශ්‍ය වුවත් ඔහුට එසේ කළ හැකිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ඩොලරයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. ඒ අනුව, මිල තීරණය කරන්නේ ලංකාවට කීයක් හෝ සොච්චමක් එවන අප වැනි අය සහ ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකිකයින් ඇතුළු විශාල පිරිසක් විසිනුයි. එහෙත් සාමාන්‍ය පුද්ගලයෙකුට වෙළඳපොළ ඉල්ලුම හෝ සැපයුම මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

කෙසේ වුවත්, රජය හා මහ බැංකුව සාමාන්‍ය පුද්ගලයින් නෙමෙයි. එම ආයතන විසින් විදේශ විණිමය වෙළදපොළට කරන සෘජු හා වක්‍ර මැදිහත් වීම් හරහා රටේ විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම විශාල ලෙස වෙනස් කළ හැකියි. ඒ මගින් ඩොලරයක මිල පාලනය කළ හැකියි.

මේ මොහොතේ රජය විසින් ඩොලරයක මිල පාලනය කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. වාහන ආනයන වාරණය එයින් එකක්. මෙය රජයේ තීරණයක් මිසක් මහ බැංකුවේ තීරණයක් නෙමෙයි. ඒ වගේම දේශපාලනික තීරණයක්. මේ තීරණය සම්බන්ධව රනිල් වික්‍රමසිංහට බලපෑමක් කළ හැකියි. ඒ හරහා ඩොලරයක මිලෙහි දිශානතියද රනිල් වික්‍රමසිංහට තීරණය කළ හැකියි. ඊට අමතරව, රජය විසින් කොපමණ විදේශ ණය ලබා ගන්නවාද, කොපමණ ණය ප්‍රමාණයක් ආපසු ගෙවනවාද වැනි දේවල්ද රජයේ තීරණ. ඒ වගේම දේශපාලනික තීරණ.

මේ මොහොතේ වාහන ආනයනයට ඉඩ ලැබෙන තුරු බලා සිටින සැලකිය යුතු පිරිසක් රටේ ඉන්නවා. වාහන ආනයනයට නැවත ඉඩ දීම මගින් රනිල් වික්‍රමසිංහට ඒ කණ්ඩායමේ අයගේ ප්‍රසාදය ආකර්ශනය කර ගත හැකියි. එහෙත්, ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීම මගින්ද ඒ කණ්ඩායමේ ප්‍රසාදය දිනා ගන්න පුළුවන්. මීට අමතරව, මේ හේතුවෙන්  සිදුවන ආනයනික භාණ්ඩ වල මිල පහළ යාම පහළ ආදායම් ස්ථර වල සිටින තවත් විශාල පිරිසක් සතුටු කරවන්නක්. ඒ නිසා, ,ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික ප්‍රමුඛතාවය වී තිබෙන්නේ ඩොලරයක මිල තවදුරටත් පහත වැටෙන්නට ඉඩ හැරීම බව පෙනෙන්නට තිබෙනවා.

මහ බැංකුවේ විණිමය අනුපාතික කළමනාකරණ ප්‍රතිපත්තිය වනුයේ විණිමය අනුපාතයේ දිශානතිය කෙරෙහි බලපෑම් නොකරමින් එහි තාවකාලික විචලනයන් පාලනය කිරීමයි. ඊට අමතරව සංචිත ගොඩ නගා ගැනීමේ හා ණය ගෙවීමේ ඉලක්කද තිබෙනවා. 

මහ බැංකුවේ පැත්තෙන් ගත් විට, රජය විසින් විණිමය වෙළඳපොලට සිදු කරන මැදිහත් වීම් කියන්නේත් වෙළඳපොළ සමතුලිතතාවයේම කොටසක්. එම මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතය වෙනස් වේනම් මහ බැංකුව විසින් මැදිහත්වීම් කර එය වෙනස් කළ හැක්කේ මහ බැංකුවේ ඉලක්ක හා ගැටෙන්නේනම් පමණයි. 

මේ වන විට මහ බැංකුව විසින් සාර්ථක ලෙස විදේශ සංචිත ඉලක්ක හඹා යමින් සිටින අතර ඩොලරයක මිල පහත වැටීමද පාලනය කරමින් සිටිනවා. එහෙත්, ඩොලරයක මිලෙහි දිශානතිය කෙරෙහි මහ බැංකුව විසින් බලපෑම් කරන්නේ නැහැ. එසේ කිරීම අනවශ්‍ය පරිදි රජයේ ඉලක්ක සමඟ ගැටීමක්. 

පවතින මිල තුළ රටේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම්, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යාමට සැලැස්වීමට හේතුවක් නැහැ. එහෙත් ඉදිරි කාලයේදී මිල ඉහළ යාමට ඉඩ තිබීම හා සංචිත ඉලක්ක මත පදනම්ව මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කරනවා. 

මේ පහත වැටීම කොතැනින් නවතියිද? 

මෙය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නොව රජය විසින් වෙන්න පුළුවන්. ඉදිරියේදී ඩොලරයක මිල රුපියල් 280 වන බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරන්නේනම් එය විය හැකි දෙයක්. රජය විසින් ඉදිරි කාලයේදී ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශ ණය ගැනත්, වාහන ආනයන සීමා ඉවත් කරන කාලය ගැනත් හොඳින්ම දන්නේ ඔහුයි. 

ඩොලරයක මිල රුපියල් 280 මට්ටමට ගත්තොත් එය ඒ මට්ටමේ තියා ගන්න පුලුවන්ද?

පසුගිය වසරේ ඉපැයූ ඩොලර් වලින් මිලියන 1,559ක් ඉතිරි කරගෙන ඇති බව සැලකූ විට, එම මට්ටම දක්වා වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද ඩොලර් ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත හැකියි. එවිට ඉතිරි වන ප්‍රශ්නය දැනට නොගෙවන ණය ආපසු ගෙවීමයි.

පසුගිය වසර අවසන් වන විට ගෙවන්නට තිබුණු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක්. මෙම ණය වසර ගණනාවක් යන තුරු ආපසු ගෙවන්නේ නැතත් පොලිය ගෙවන්නට සිදු වෙනවා. පසුව වෙනස් විය හැකි වුවත්, යෝජිතව තිබුණේ 1.5%ක වාර්ෂික පොලියක්. ඒ අනුව, මේ සඳහා වැඩිපුර අවශ්‍ය වන්නේ වසරකට ඩොලර් මිලියන 162ක මුදලක් පමණයි. 

ප්‍රශ්නය තිබෙන්නේ වාණිජ ණය සම්බන්ධවයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,741ක්. මෙයින් 30%ක් කපා හැරියොත් ඩොලර් මිලියන 10,219ක් පමණ ආපසු ගෙවන්නට සිදු වෙනවා. එම මුදල වසර හයක කාලයක් තුළ ආපසු ගෙවන්නේනම් ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 1,720ක් අවශ්‍ය වෙනවා. කූපන් පොලී ලෙස 4%ක් ගෙවුවොත් ඒ සඳහා වසරකට තවත් ඩොලර් මිලියන 204ක් පමණ අවශ්‍ය වෙනවා. මේ සියල්ල එකතු කළ විට ඉදිරි වසර හයක කාලය තුළ විදේශ අංශය මත ඩොලර් බිලියන 2.1ක පමණ අමතර බරක් වැටෙනවා.

මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ පසුගිය වසර තුළද රජය විසින් ඩොලර් බිලියන 1.8ක් විණිමය වෙළඳපොළ වෙත පොම්ප කර ඇති බවයි. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද, ද්විපාර්ශ්වික ව්‍යාපෘති ණය ලෙසද, මීට ආසන්න හෝ වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ නිසා, මේ ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මහ බැංකුව විසින් සංචිත ගොඩ නගා ගැනීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරිව තිබෙනවා. ඩොලරයක මිල ඉහළ යාම තීරණය වනු ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තරම් විදේශ විණිමය අමතර ව්‍යාපෘති ණය, සෘජු ආයෝජන හා කෙටිකාලීන ආයෝජන ලෙස රටට පැමිණීම මතයි. එසේ නොවුවහොත් ඩොලරයක මිල ඉහළ යාම මගින් ආනයන ඉල්ලුම සීමා වීමට නියමිතයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා වාහන ආනයනයට ඉඩ දීම සිදු වී ඉහත තත්ත්වය ඇති වන විට මේ වසර අවසන් වී තිබිය හැකියි. ඊට පෙර ජාතික මැතිවරණ පැවැත්වීමට සිදු වෙනවා. ඒ නිසා, අලුත් තත්ත්වය කළමනාකරණය කරගන්නට සිදු වන්නේ ඉදිරි ආණ්ඩුවකටයි. ඊට පෙර විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමට හේතුවක් නැහැ.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් වන්නේ ලැබෙන්නට නියමිත බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය ව්‍යාපෘති ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන සමඟ ගැට ගැසී ඇති බවයි. එම වැඩසටහනේ ප්‍රගතිය අඩාල වුවහොත්, වසරකට ඩොලර් බිලියන 2 ඉක්මවන ඉහත සඳහන් විදේශ විණිමය ප්‍රවාහ රටට එන්නේ නැහැ. ඒ නිසාම, දැනට නොගෙවන විදේශ ණය ආපසු ගෙවන්නට වෙන්නේත් නැහැ. එහෙම වුනත්, ණය නොගෙවා, දැන් කරගෙන යන විදිහට, රටට එන ඩොලර් ප්‍රමාණය කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න බැරිද?

මෙය ඒ තරම්ම සරල නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් පිට පැන්නොත් ඒ හරහා ඇති වන අස්ථාවරත්වය නිසා දැනට රටේ තිබෙන විදේශ විණිමය විවිධ ආකාර වලින් රටින් පිටවෙන්නට පටන් ගන්නවා. ඒ එක්කම, ඩොලරයක මිල මත පීඩනයක් ඇති වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය නැවත අස්ථාවර වෙන්න පුළුවන්. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙන් මුළුමනින්ම පිට පනින්නට කිසිදු ආණ්ඩුවකට ඉඩක් ලැබෙන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ වෙනස්කම් සඳහා කිසිදු ඉඩක් නැති බව නෙමෙයි. සමස්ත වැඩපිළිවෙළෙන් ඉවත් වීමට නොහැකි බව පමණයි. 

7 comments:

  1. තටු කපනවයි කියලා බලයට ආව
    ආවට පස්සෙ හැදිලා බල තණ්හාව
    දාලා නොගිය -යන්නේ නැති උදවියව
    එලවන්නට බලං ඉන්නව ජනතාව!

    ReplyDelete
  2. ජාතික ජන බලවේගයට අනුව ඔවුන් බලයට පැමිණීමෙන් පසු රටේ ආර්ථික වර්ධන වේගය අවුරුදු 5 කාලය තුල 5% මට්ටමට ගෙන ඒමත් ඉන් පසු 6% මට්ටමේ තබා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ.මෙය කල හැක්කක්ද?

    ReplyDelete
    Replies
    1. මෙය සිදු වන ක්‍රමය කියා නැත්නම් විශ්වාසනීය ප්‍රකාශයක් නෙමෙයි. නමුත් කිසිසේත්ම විය නොහැකියි කියා බැහැර කරන්නට වෙන තරමේ ඉලක්කයකුත් නෙමෙයි. ඉලක්ක කිරීම සඳහා හොඳ මට්ටමක්.

      Delete
    2. කොහොමත් ලන්කාවෙ ආර්තිකේ වර්දනේ සාමන්‍ය වේගය 4%-5% වගේ නෙ. බන්කොලොත් උනාට පස්සෙ 6%කට ටික කාලයක් තියාගන්න අමාරු වෙන්නෙ නෑ.

      Delete
  3. යහපාලන බෝඩ් ලෑල්ල යටතේ වික්කමසිංහගෙ විනාශකාරී ප්‍රතිපත්ති කරේ තියාගෙන රටේ ආර්ථිකයට විශාලතම විනාශය කරන්න බාල්දි කරේ තියාගෙන ගිය ඊණියා ආර්ථික ඔස්තාද්ලා වෙච්ච ඉකොනොමැප්පලා හර්ශද සිල්වා හෙවත් ෆ්‍රෙඩී සිල්වා ජෝකරේ වගේ කොමිටල් ගොන් ඩයල්, තව එරාන්ලා කබීර්ලා වගේ විහිළුකාරයන්ට දැන් තියෙන එකම චැලෙන්ජ් එක මාලිමාව තමයි.. උන්දැලාට අදටත් වික්කමසිංහගේ මේ ගඳගහන කුජීත දූෂිත මජර සිස්ටම් එක කිසි අවුලක් නෑ.. ඒවාට විවාද ඕනැත් නෑ.. උන්ගෙ පැවැත්මට ගේම කෝල් වෙන්නෙ මාලිමාවෙන් බව දැන් උන් හැම එකාගෙම ඇගටම දැනෙනවා..

    හරිම සතුටුයි.. රට කෑ ජහපාලන ආර්ථික ඔස්තාද්ලට ලැජ්ජා නැතුව බාල්දි කරේ තියාගෙන යන මැදමුලන සහ සුවාදීන බයි බඩීලා කියන මැටි මීහරකුන් ටික දැක්කම ඊට වඩා සතුටුයි..

    ඔය බඩීලා සෙට් එකම එකට තියලා පරද්දන්න ඉඩ ලැබෙන දිනය ලං ලං වෙන්න වෙන්න හැම බඩියම නොදැනුවත්වම එක ගොඩට තල්ලු වෙනවා වගේම හැම එකාගෙම නැටි වැඩි වැඩියෙන් 🔥 ඇවිලෙන බව නායක මට්ටමේ සිට බුකී බඩියන් බ්ලොග් බඩියන් දක්වා කල්ලියම හැසිරෙන ආකාරයෙන් දැන් මනාව පේනවා.. ඉතිං සතුටු නොවී කොහොමද..

    මාලිමාවට ජයම වේවා.. 🎯

    ReplyDelete
    Replies
    1. ගෝටාට පසුගිය වතාවේ සහාය දුන් අය දැන් නිර්ලජ්ජිතව NPPට සහාය දක්වන බව දැකීම ඉතා ආකර්ෂණීයයි. ඔවුන්ට එදා තමන් කුමක් සඳහා ඡන්දය දුන්නේද යන්න කිසිදු අදහසක් නොවී තිබුණි, දැන් NPPට සහාය දක්වන්නේ ඇයි යන්නත් ඔවුන්ට කිසිදු ඉඟියක් නැත.

      Delete
  4. පසුගිය වසරේ ප්‍රාථමික අය වැය අතිරික්තයක් වාර්ථා වූයේ, ඉහත දැනට නොගෙවන ලබන ණය අය වැය ලේඛනය ට ඇතුලත් නොවන නිසාද? එමෙන්ම, සියලු ණය ගෙවන්නේ නම්,( බලාපොරොත්තු වන ප්‍රතිවියුහ ගත කිරීමෙන් පසුව) වසරකට කොපමණ ඩොලර් ප්‍රමාණයක් අවශය වේද? එම ණය රජයේ සහ මහා බැංකුවේ ලෙස වෙන් වෙන්ව දන ගැනීමට හැකිනම් හොඳය

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: