වෙබ් ලිපිනය:

Saturday, June 7, 2025

ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ප්‍රමාණවත්ද?



ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.

බංග්ලා දේශය - කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)
ඉන්දියාව - කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,481)
නේපාලය - කිලෝවොට් පැය 321 (ඩොලර් 1,378)
පකිස්ථානය - කිලෝවොට් පැය 606 (ඩොලර් 1,365)
ශ්‍රී ලංකාව - කිලෝවොට් පැය 684 (ඩොලර් 3,828)
දකුණු ආසියාව - කිලෝවොට් පැය 956 (ඩොලර් 2,303)

සිංගප්පූරුව - කිලෝවොට් පැය 10,143 (ඩොලර් 84,734)
තායිලන්තය - කිලෝවොට් පැය 2,867 (ඩොලර් 7,182)
මැලේසියාව - කිලෝවොට් පැය 4,986 (ඩොලර් 11,379)
ඉන්දුනීසියාව - කිලෝවොට් පැය 1,257 (ඩොලර් 4,876)
මියන්මාරය - කිලෝවොට් පැය 354 (ඩොලර් 1,233)

වියට්නාමය - කිලෝවොට් පැය 2,624 (ඩොලර් 4,282)
චීනය - කිලෝවොට් පැය 6,112 (ඩොලර් 12,614)

පහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 905 (ඩොලර් 2,416)
ඉහළ මැදි ආදායම් රටවල් - කිලෝවොට් පැය 4,286 (ඩොලර් 10,451)
ලෝකය - කිලෝවොට් පැය 3,486 (ඩොලර් 13,170)

කවුරු කැමති වුනත්, අකැමති වුනත්, ඒක පුද්ගල විදුලි පරිභෝජනය සහ ඒක පුද්ගල ආදායම අතර සෘජු සම්බන්ධයක් තියෙනවා. එය කරුණුමය සත්‍යයක්. රටක් සංවර්ධනය වෙද්දී ඒක පුද්ගල විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි. 

ඉහත දත්ත දෙස බලා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි, තෝරාගත් රටවල් අතර, ලංකාවට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන හැම රටකම ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවට වඩා වැඩියි. ලංකාවට වඩා අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනයක් කරන හැම රටකම ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා අඩුයි. 

පෞද්ගලික හෝ ජාතික ඉලක්කයක් විදිහට අඩුවෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව කාටවත් විරුද්ධ වෙන්න බැහැ. නමුත් ඒ ඉලක්කය සහ රටේ ඒක පුද්ගල ආදායම වැඩි ගැනීම කියන ඉලක්ක දෙක කිසිසේත්ම එකට යන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙද්දී විදුලි පරිභෝජනය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුයි.

මෙහිදී මම කතා කරන්නේ නාස්තිය අඩු කිරීම මගින් කළ හැකි සංරක්ෂණය ගැන නෙමෙයි. පරිභෝජනය හා නාස්තිය කියන්නේ කරුණු දෙකක්. නාස්තිය අඩු කිරීම පරිභෝජනය අඩු කිරීමක් විය යුතු නැහැ. 

ඒක පුද්ගල ආදායම් මට්ටම දෙස බලද්දී ලංකාවේ අඩු ඒක පුද්ගල විදුලි පරිභෝජනය කැපී පෙනෙනවා. ඒක පුද්ගල විදුලි පරිභෝජනය අතින් ලංකාව ඉන්නේ පකිස්ථානය සහ බංග්ලා දේශය ඉන්න තැනට කිට්ටුව. ඒ දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න රටවල්. විශේෂයෙන්ම පකිස්ථානය. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න වියට්නාමයේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ලංකාවේ මෙන් හතර ගුණයක්. 

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් මට්ටමක ඉන්න ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය. මේ ගණන් සංසන්දනය කළ විට පැහැදිලි විකෘතියක් පේනවා. ලංකාවේ ජීවන තත්ත්වය ඇත්තටම ඉන්දියාවේ ජීවන තත්ත්වයට වඩා වැඩිද? ඒක පුද්ගල ආදායම් වෙනස එවැන්නක් පෙන්නුවත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය දෙස බලද්දී එවැනි තත්ත්වයක් පේන්නේ නැහැ.

ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ මට්ටමක තිබෙන නිසා සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන දකුණු ආසියාවේ සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජන අගය සැලකුවත් ලංකාව ඉන්නේ ඊට වඩා පහළින්. ඒ වගේම, ලංකාව දැන් ඉන්න පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල සාමාන්‍ය අගය සැලකුවත් ලංකාවේ අගයට වඩා වැඩියි. 

දැන් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටී සිටියත්, ලංකාව කියන්නේ ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ හිටපු රටක්. ඉහළ මැදි ආදායම් රටවල සාමාන්‍ය ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 4,286ක්. ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය වන කිලෝවොට් පැය 684 ඉහළ මැදි ආදායම් කාණ්ඩයට කිසිසේත්ම නොගැලපෙන අගයක්. ලංකාවට කවදා හෝ සංවර්ධිත රටක් වීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබේනම් මේ කරුණ ගැන දැන් සිටම බරපතල ලෙස හිතන්න වෙනවා.

මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? 

පළමුව ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීම හා බෙදා හැරීම කළේ සහ කරන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා. හැබැයි එපමණකින්ම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවලත් විදුලි බල කර්මාන්තය තුළ රාජ්‍ය බලපෑම දකින්න පුළුවන්.

මේ ප්‍රශ්නයට හේතු වී තිබෙන්නේ ලංකාවේ විදුලි ගාස්තු සුබසාධනය කළ ආකෘතිය. දිගින් දිගටම සිදු වුනේ සුබසාධනයේ බර රාජ්‍ය අයවැයෙන් ඉවත් කරලා ලංවිම ගිණුම් ඇතුළේ සඟවපු එක. ඒ නිසා ලංකාවේ විදුලි බල කර්මාන්තයට ආර්ථිකයත් එක්ක ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය එකතු කරගන්න ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ හැකියාවක් කර්මාන්තයට තිබුණේ නැහැ.

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදකයෙක් උත්සාහ කරන්නේ තමන්ගේ නිෂ්පාදනය පුළුවන් තරම් විකුණාගන්න. ඒ කියන්නේ පරිභෝජනය වැඩි කරවාගන්න. නමුත් විදුලිබල මණ්ඩලය තමන්ගේ පාරිභෝගිකයින්ට කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පරිභෝජනය කරන්න කියලයි. ඇත්තටම මේ කර්මාන්තය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ සලාක ක්‍රමයකට ආසන්න ක්‍රමයක්. 


ඉන්දියාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය මේ තරමටම ඉහළ ගොස් තිබීමට එරට විදුලි බල කර්මාන්තයට පෞද්ගලික අංශය සම්බන්ධ වීම විසින් සෑහෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර පහළොවක පමණ කාලය ඇතුළත. පසුගිය කාලය තුළ ඉන්දියාවේ විදුලි බල කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ ගොස් ඇති ආකාරය මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට පැහැදිලිව දැක ගත හැකියි. 

මෙයට විසඳුම විදුලි ගාස්තු සුබසාධනය කිරීම මගින් පරිභෝජනය දිරිමත් කිරීම නෙමෙයි. ඒ ක්‍රමය හරි ගියානම්, ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඔය තරම් පහළ මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. 

විදුලිබල කර්මාන්තයේ ආයෝජන ඉහළ යන තරමට ඒකක පිරිවැය අඩු කළ හැකි ආයෝජන එකතු වී ඒකක පිරිවැය අඩු වෙනවා. ආයෝජන සිදු වෙන්නේ නැත්නම් විදුලිය නිපදවන්න වෙන්නේ ඒකක පිරිවැය වැඩි අකාර්යක්ෂම ක්‍රමවේද අනුව. යම් කාලයකදී කාර්යක්ෂම ක්‍රමයක් කාලයක් යද්දී අකාර්යක්ෂම ක්‍රමයක් වෙනවා. දිගටම ආයෝජන අවශ්‍ය වෙන්නේ ඒ නිසා. නමුත් අවශ්‍ය ආයෝජන කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න බැරි ආයතනයකට මේ සෙල්ලම කරන්න බැහැ. තියෙන්නේ එකම ආයතනයක් පමණක්නම් එය රටේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. 

මම හිතන්නේ ඔය හිරවීම ඉන්දියාවේ රාජ්‍ය අංශයේත් වෙන්න ඇති. නමුත් පෞද්ගලික ආයෝජන නිසා කර්මාන්තය ප්‍රසාරණය වෙනවා. අලුත් ආයෝජන වැඩි වැඩියෙන් එද්දී ඒකක පිරිවැය වැඩි පැරණි ආයෝජන වලින් විදුලිය හදලා ලාබයක් ගන්න බැරි වෙනවා. අලුත් ආයෝජන වලින් පරණ ආයෝජන විස්ථාපනය වෙනවා. එහෙම වෙද්දී විදුලි ගාස්තුත් අඩු වෙනවා. 

11 comments:

  1. 2022 power cuts නිසා, සාමාන්‍ය වසරකදී මීට වඩා පාරිභෝජනය වැඩි විය හැකි නේද?

    ReplyDelete
    Replies
    1. උඩ ප්‍රස්ථාරය දැම්මේ ඒ නිසා. 2022දී අඩුවීමක් තිබෙනවා. නමුත් වෙන අවුරුද්දක් ගත්තත් ලොකු වෙනසක් නැහැ.

      Delete
  2. අපේ රට හොඳයි වෙසෙසියි සෑම අතින්
    පරිභෝජනය අඩු වූවත් 'බිල' ඉහළින්
    ජාවාරම්ලු හැංගුණු - නැහැ තවම හොයන්
    අනුන් කරන වැරදිත් යයි අපේ පිටින්

    ReplyDelete
  3. විදුලි බලය සුරකිමු

    ReplyDelete
  4. ලංකාවේ ආණ්ඩුව සහ පුද්ගලික අංශය නිපදවන විදුලිය ප්‍රමාණය ගැන සංසන්දනාත්මක විග්‍රහයක් කල හැකි ද ?

    ReplyDelete
    Replies
    1. ආසන්න වශයෙන් හතරෙන් එකක් පමණ නිපදවන්නේ පෞද්ගලික අංශය විය යුතුයි.

      Delete
  5. බොන්ඩ්ස් මිලදී ගනිද්දි රෙපො එකක් දාන්ව කියන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් සහිත පැරණි ලිපියක් ඇති. ඔබම මේ ප්‍රශ්නය කලිනුත් අහලා ලින්ක් එකත් හොයලා දැම්මා වගේ මතකයකුත් තියෙනවා. කෙටි පිළිතුරක් ලෙස වෙනත් කෙනෙකු විසින් කලින් මිල දී ගත් බිල්පතක් එය කල් පිරෙන්නට පෙර යම් කෙටිකාලයකට "කුලියට ගැනීමක්' කියලා හිතන්න. අදාළ කාලයේ පොලිය ඔබට ලැබෙනවා. නමුත් යම් මුදලක් අඩු වෙලා. එය ඔබට "කුලියට දෙන" තැනැත්තා විසිනුත් ලාබයක් තියා ගන්නවා.

      Delete
    2. @ Economatta

      ඇත්තටම බොන්ඩ් (බැඳුම්කර) ගනුදෙනු වලදී "රෙපෝ එකක් දානවා" යන්නෙන් අදහස් කරන්නේ නැවත මිලදී ගැනීමේ ගිවිසුමක් (Repurchase Agreement - Repo) ඇති කර ගැනීමයි. මෙය මූල්‍ය වෙළෙඳපොළේ, විශේෂයෙන්ම බැඳුම්කර වෙළෙඳපොළේ, කෙටි කාලීන ණය ගැනීම් සහ ණය දීම් සඳහා බහුලව භාවිත වන ක්‍රමවේදයක්.

      ඒ ගැන වඩාත්ම සරලවම කිවහොත්, රෙපෝ ගනුදෙනුවක් යනු; ආයෝජකයෙක් (ණය දෙන්නා): යම් මුදලක් අවශ්‍ය ආයතනයකට (සාමාන්‍යයෙන් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක්) ණයට දෙනවා.
      එවිට ඒ මුදල් ලබා ගන්නා ආයතනය (ණය ගන්නා): එම ණයට ගත් මුදල වෙනුවට, තමන් සතු බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් වැනි සුරැකුම්පත් (securities) ඇපයක් ලෙස ආයෝජකයාට තාවකාලිකව විකුණනවා.

      මෙතනදී නැවත මිලදී ගැනීමේ පොරොන්දුව ඉතාම වැදගත්: මෙහිදී වැදගත් වන්නේ, එම සුරැකුම්පත් නියමිත අනාගත දිනයකදී (සාමාන්‍යයෙන් ඉතා කෙටි කාලයකදී, දිනක් හෝ සතියක් වැනි), මුලින් විකුණූ මිලට වඩා වැඩි මිලකට (එය පොලිය ලෙස ක්‍රියා කරයි) ආපසු මිලදී ගැනීමට මුදල් ලබා ගන්නා ආයතනය පොරොන්දු වීමයි.

      මම මේකට උදාහරණයක් දෙන්ම්:

      දැන් හිතන්න ඔහේ ආයෝජකයෙක් කියලා. බැංකුවකට හදිසියේ මුදල් අවශ්‍ය වී තිබෙනවා.

      පියවර 1: බැංකුව ඔහෙගෙන් රුපියල් මිලියන 100ක් ණයට ඉල්ලනවා.

      පියවර 2: බැංකුව ඔහේට රුපියල් මිලියන 100ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඇපයක් (collateral) ලෙස තාවකාලිකව විකුණනවා. (මේක හැබැයි තාක්ෂණික වශයෙන් විකිණීමක් වුවත්, මේක ඇත්තටම ණයට ගැනීමක් විදියටයි ක්‍රියා කරන්නේ හරිය).

      පියවර 3: බැංකුව පොරොන්දු වෙනවා, දින 7කින් එම බැඳුම්කර රුපියල් මිලියන 100.1ක මුදලකට (මුදල් + පොලිය) ඔහේගෙන් ආපසු මිලදී ගන්න බව.
      මේ ආකාරයේ ගනුදෙනුවක් තමයි රෙපෝ (Repo) ගනුදෙනුවක් කියලා හඳුන්වන්නේ ලංකාව තුල නම්. ආයෝජකයාගේ පැත්තෙන් බලන කොට, මේකට රිවර්ස් රෙපෝ (Reverse Repo) ගනුදෙනුවක් කියලායි කියන්නේ.

      රෙපෝ ගනුදෙනු වල වැදගත්කම ගැනත් කියන්න ඕනේ, ඇත්තටම රෙපෝ කෙටි කාලීන ද්‍රවශීලතාව කළමනාකරණය කරන්න බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන වලට දෛනිකව හෝ කෙටි කාලීනව ඇතිවන මුදල් හිඟතා කළමනාකරණය කර ගැනීමට රෙපෝ ඉතා ප්‍රයෝජනවත්.

      ඒ වගේම අවදානම අඩු වීම: බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් වැනි රාජ්‍ය සුරැකුම්පත් ඇපයක් ලෙස භාවිතා කරන නිසා, රෙපෝ සාපේක්ෂව අඩු අවදානම් ආයෝජනයක් ලෙස සැලකෙනවා. මොකද, ණය ගන්නා ආයතනයට මුදල් ආපසු ගෙවීමට නොහැකි වුවහොත්, ඇපයට තැබූ සුරැකුම්පත් ආයෝජකයාට හිමි වෙනවා.

      ඊළඟට පොලී ආදායම්: ආයෝජකයන්ට ඉතා කෙටි කාලයක් සඳහා වුණත් තමන්ගේ අතිරික්ත මුදල් යොදවා පොලී ආදායමක් උපයා ගැනීමට මෙය අවස්ථාවක් සලසනවා.

      රෙපෝ මුදල් වෙළෙඳපොළේ මෙවලමක්, අනෙක මහ බැංකුවෙනුත් මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය (liquidity) පාලනය කිරීමට රෙපෝ සහ රිවර්ස් රෙපෝ ගනුදෙනු භාවිතා කරනවා.
      සරලව කෙටියෙන් කිවහොත්, "බොන්ඩ් බැඳුම්කර මිලදී ගැනීමේදී රෙපෝ එකක් දානවා" කියන්නේ, බැඳුම්කර ඇපයට තබාගෙන කෙටි කාලීන ණය ගැනීමක් හෝ දීමක් කිරීමයි.

      Delete
  6. @ ඉකොනොමැට්ටා

    ලංකාවේ විදුලි පරිභෝජනය සහ ඉකොනොමැට්ටාගේ "පොතේ ගුරු" ආර්ථික විද්‍යාව දෙකෙන් සැබෑ සත්‍යය කුමක්ද?

    ඉකොනෝමැට්ටාගේ පටු දැක්ම අනුව – "ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය අඩු නිසා ලංකාවේ ජීවන තත්ත්වය ඉන්දියාවටත්, වියට්නාමයටත් වඩා පහළයි." හැබැයි මේක කියන්නේ ඉකොනොමැට්ටා වගේ "පොතේ ගුරු" ආර්ථික විද්‍යාඥයන් පමණයි. නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදි, අර්ධ සත්‍ය කරුණු මත ගොඩනැඟූ පුස් තර්කයක්!

    ජීවන තත්ත්වය කියන්නේ විදුලි බිල විතරද?

    පළමුවෙන්ම තේරුම් ගත යුතුයි, ජීවන තත්ත්වය (Quality of Life) කියන්නේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය වගේ එක සාධකයකින් මනින දෙයක් නෙමෙයි. එයට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආයු අපේක්ෂාව, මානව සංවර්ධන දර්ශකය (Human Development Index - HDI), යටිතල පහසුකම්, ආදායම් බෙදී යාම වගේ බොහෝ සාධක ඇතුළත් වෙනවා. මේ දර්ශක ගණනාවකදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා.

    නමුත් ඇයි ලංකාවේ ඒකපුද්ගල විදුලි පරිභෝජනය දත්තවලින් අඩු වෙලා පෙනෙන්නේ?

    මෙතන තමයි ඉකොනොමැට්ටා වගේ කිසිම ප්‍රායෝගික දැනුමක් නැති "පොතේ ගුරු" ආර්ථික විද්‍යාඥයන්ට මගහැරෙන ප්‍රායෝගික පැත්ත !

    ඇත්තටම ලංකාවේ ආර්ථිකය වැඩි වශයෙන් රඳා පවතින්නේ සේවා අංශය (Service Sector) මතයි. සංචාරක, තොරතුරු තාක්ෂණ, මූල්‍ය සේවා වැනි ක්ෂේත්‍ර සඳහා දැවැන්ත කර්මාන්තශාලා මෙන් විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්දියාව, වියට්නාමය, චීනය වැනි රටවල විදුලි පරිභෝජනය ඉහළට යන්නේ ඔවුන්ගේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත පදනම නිසයි. ලංකාවේ නිෂ්පාදන අංශය දුර්වල වීම විදුලි පරිභෝජනය අඩු වී පෙනීමට ප්‍රධාන හේතුවක්.

    මීට අමතරව සූර්ය බලශක්තියේ බලපෑම (Solar Power Revolution) තව දෙයක්, මොකද ලංකාවේ ඉන්ස්ටෝල්ඩ් විදුලි ධාරිතාව කිලෝවොට් 4000ක් පමණ වෙනවා. මේකෙන් හතරෙන් එකකටත් (කිලෝවොට් 1000කට වඩා) වැඩි ප්‍රමාණයක් මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන සූර්ය බල විදුලි පද්ධති මගින් නිපදවනවා. මෙයින් අති විශාල ප්‍රමාණයක් ජාතික විදුලිබල මණ්ඩලයේ දත්තවලට නිසි ලෙස වාර්තා වෙන්නේ නැහැ! ඒ නිසා ලාංකිකයින් ගෙදරදී පාවිච්චි කරන සූර්ය විදුලිය ගැන මේ "පොතේ ගුරුවරු" කතා කරන්නේ නැහැ.

    ඒ වගේම මේ පෝස්ට් එකේ දත්තවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා, මොකද බලශක්ති ක්ෂේත්‍රයේ බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සංඛ්‍යා ලේඛන බොහොමයක් වැරදි සහ අසත්‍ය විය හැකි බවයි. විශේෂයෙන්ම, ස්වාධීනව නිපදවන විදුලිය (Distributed Generation) පිළිබඳ දත්ත නිවැරදිව වාර්තා කිරීමේ ගැටලු පවතිනවා.


    ඒ නිසාම සංවර්ධනය යනු විදුලි මීටරය පමණක්ම නොවේ, රටක් සංවර්ධනය වෙද්දී කර්මාන්ත වර්ධනය වෙලා විදුලි පරිභෝජනය ඉහළ යා යුතුයි. ඒක අපි හැමෝම අපේක්ෂා කරන දෙයක්. නමුත්, අපේ විදුලි පරිභෝජනය අඩු වෙලා පෙනීමට සැබෑ හේතු, මේ පොතේ ගුරුවරුන්ට තේරුම් ගන්න බැරි "ප්‍රායෝගික යථාර්ථය" බව පැහැදිලියි.
    ඉතින්, විදුලි බිල දිහා විතරක් බලලා ලංකාවේ ජීවන තත්ත්වය මනින්න හදන "පොතේ ගුරුවරුන්ගේ" වෙනත් ආර්ථිකය පිළිබඳව මහජනතාවට සම්ප්‍රේෂණය කරන අදහස් ගැනත් දෙපාරක් නෙවෙයි ඊටත් වඩා හිතන්න වෙනවා! ප්‍රායෝගික ලෝකයේ සත්‍යය ඊට වඩා සෑහෙන සංකීර්ණයි ඉකොනොමැට්ටා !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: