වෙබ් ලිපිනය:

Monday, June 23, 2025

රක්ෂණයක් මිල දී ගත යුත්තේ ඇයි?



මෙම වසරේ (2025) පළමු කාර්තුව තුළ රක්ෂණ සේවා සැපයීම් වල 17.4%ක වර්ධනයක් දකින්න තිබෙනවා. ඒ පෙර වසර (2024) තුළ සිදු වූ 14.0%ක හැකිලීමකින් පසුව. රක්ෂණ ගිවිසුමක් මිල දී මිල දී ගැනීම කෙනෙකුගේ ප්‍රමුඛතාවයක් වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වැනි මූලික අවශ්‍යතා වලින් පසුවයි. රක්ෂණ සේවා අංශය ප්‍රසාරණය වෙමින් තිබීමෙන් පෙනෙන්නේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිමින් තිබෙන ආකාරයයි. එය සිදු වෙන්නේ ඉහළ මට්ටමක තිබුණු පොලී අනුපාතික නැවතත් සාමාන්‍ය මට්ටමකට පැමිණීම සහ රටේ දේශීය ඉල්ලුම ඉහළ යාමට සමාන්තරවයි.

යමෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගත යුත්තේ ඇයි?

මේ ගැන කතා කරන්න කලින් මුලින්ම රක්ෂණ ගිවිසුමකින් සිදු වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර ගත යුතුයි. රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ තමන්ට මුහුණ දෙන්නට සිදු වන කිසියම් අවදානමක් වෙනත් අයෙකුට (අදාළ රක්ෂණ සමාගමට) පැවරීම සහ එම අවදානම තමන්ගෙන් ඉවත් කර භාර ගැනීම වෙනුවෙන් මිලක් ගෙවීමයි. 

අනාගතයේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත දෙයක් අපට අවදානමක් සේ හඳුනා ගන්න පුළුවන්. එසේ වුවත්, ආර්ථික විද්‍යාවේදී අවදානම් (risk) සහ අවිනිශ්චිතතා (uncertainty) ලෙස හඳුන්වන්නේ ප්‍රවර්ග දෙකක්. සෑම ආකාරයකම අවිනිශ්චිතතා අවදානම් සේ හඳුනා ගැනෙන්නේ නැහැ. අවදානමක් සේ හඳුනා ගන්නේ සිදු විය හැකි ප්‍රතිඵලය අවිනිශ්චිත වුවත්, සිදු වීමේ කිසියම් සම්භාවිතාවක් ඇති ප්‍රතිඵල මොනවාද කියාත්, අදාළ ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතා ගැනත් දැනුමක් ඇති තත්ත්වයනුයි. එවැනි පූර්ව දැනුමක් නැත්නම් එය අවිනිශ්චිතතාවයක් ලෙස මිස අවදානමක් ලෙස හඳුනා ගැනෙන්නේ නැහැ. 

උදාහරණයක් ලෙස කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියා කිසිවෙකුට කලින් කියන්න බැහැ. නමුත් එම ප්‍රතිඵලය සිරස හෝ අගය බව කියන්න පුළුවන්. ඒ වගේම සිරස හෝ අගය වැටීමට තිබෙන සම්භාවිතාව 1/2 බැගින් බවත් කියන්න පුළුවන්. ඒ වගේම, කැට ක්‍රීඩාවේදී කිසියම් අගයක් වැටෙන්න ඉඩ තිබෙන සම්භාවිතාව 1/6ක් බව අපි කලින්ම දන්නවා. නමුත් වැටෙන අගය හරියටම දන්නේ නැහැ. මෙහිදී කාසියක් උඩ දමන්නෙකු හෝ කැට ක්‍රීඩාවේ යෙදෙන්නෙකු මුහුණ දෙන තත්ත්වය අවදානමක් ලෙස පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්.

බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් වලදී අවදානම් සහ අවිනිශ්චිතතා අතර තිබෙන්නේ සියුම් වෙනසක්. බැංකුවක් ණයක් දුන විට එම ණය ගිවිසුම් පරිදි ආපසු ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන්. පූර්ව දත්ත ඇසුරෙන් දුන් ණයක් ආපසු නොලැබීමේ සම්භාවිතාව ගණනය කරන්න පුළුවන්. මෙම සම්භාවිතාව සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකිනම්, එය අවදානම් තත්ත්වයක් ලෙස හඳුනාගන්න පුළුවන්. නමුත් ණය පැහැර හැරීමේ සම්භාවිතාව ගැන නිවැරදි තක්සේරුවක් නැත්නම් එය අවිනිශ්චිතතා තත්ත්වයක්. 

අවදානම් තත්ත්වයන් විශ්ලේෂණය කිරීම සාපේක්ෂව පහසුයි. අවිනිශ්චිතතා තත්ත්වයන් විශ්ලේෂණය කිරීම ඊට වඩා සංකීර්ණයි.

ලැබෙන්නට ඉඩ තිබෙන විවිධ ප්‍රතිඵල දන්නා නමුත් අදාළ සම්භාවිතාව මිස ප්‍රතිඵලය හරියටම නොදන්නා තත්ත්වයන් ආර්ථික විද්‍යාවේදී ලොතරැයි ලෙස පොදුවේ හඳුන්වනවා. මෙහිදී ලැබෙන්නට ඉඩ තිබෙන ප්‍රතිඵලය වාසියක් හෝ අවාසියක් වෙන්න පුළුවන්.

සමහර වෙලාවට අපි "මිනිහට මාර ස්වීප් එකක් ඇදුනනේ!" කියලා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත වාසියක් ගැනයි. නමුත් "අපිට ඇදුනොත් ඇදෙන්නේ ඉතිං ඔය වගේ ස්වීප් එකක් තමයි!" කියා කියද්දී එයින් අදහස් කරන්නේ අනපේක්ෂිත පාඩුවක් පිළිබඳවයි. ඔය යෙදුම් දෙකේම ආර්ථික විද්‍යාවේදී භාවිතා වෙන ලොතරැයි කියන අර්ථය තිබෙනවා. 

රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අයෙක් එහිදී කරන්නේ තමන්ට මුහුණ දෙන්න සිදු වී තිබෙන අවදානමක් මුදල් ගෙවා බැහැර කිරීම කියලා කලින් කිවුවනේ. එය හරියට මුදල් ගෙවා කුණු බැහැර කරනවා වගේ වැඩක්. කෙනෙක් මුදල් ගෙවා බැහැර කරන්නේ තමන් තියා ගන්න අකැමැති දෙයක්. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නා අය එහිදී බැහැර කරන්නේ තමන් ළඟ තියා ගන්න කැමති නැති අවදානමක්.

පොදුවේ ගත්තහම ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. නමුත් හැමෝම ඒ ගොඩේ නැහැ. අවදානම් වලට කැමති අයත් ඉන්නවා. එවැනි අය අවදානම් වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් කැමතියි. සාමාන්‍යයෙන් පුද්ගලයින් අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස වර්ග කරන්න පුළුවන්. මේ ලක්ෂණ කුඩා කාලයේ සිටම පුද්ගලයින් වෙතින් ප්‍රදර්ශනය වෙනවා.

පාසැල් කාලයේදී සමහර අය බයිසිකල් පදින ගමන් එහි ඉදිරි රෝද ඔසොවන එක වගේ දේවල් කරනවා. ඒ අවදානමට කැමති අය. නමුත් බයිසිකලයක් පදින්න පවා බය අයත් ඉන්නවා. අවදානමට කැමති අය සහ අවදානමට අකැමැති අය ලෙස පුද්ගලයින් වර්ග කළ හැකි වුනත්, සන්දර්භය අනුව පුද්ගලයෙකු සිටින ගොඩ වෙනස් වෙන්න පුළුවන්. සමහර තත්ත්වයන් යටතේ කැමැත්තෙන්ම අවදානම් ගන්න සමහර අය වෙනත් තත්ත්වයන් යටතේදී අවදානම් ගන්න බය වෙනවා.

ලොකු සැඩ පහරක් දැක දැක ඒ හරහා පීනන්න ඉදිරිපත් වෙන්නේ එක්කෝ පීනන්න හොඳටම දක්ෂ කෙනෙක්. එහෙම නැත්නම් තමන් කරන්න යන වැඩේ තිබෙන අවදානම ගැන නිසි අවබෝධයක් නොමැති කෙනෙක්. බරපතල වගකීම් භාර ගනිද්දීත් ඔය තත්ත්වයන් දෙකම දකින්න පුළුවන්. 

සාමාන්‍ය කරුණක් ලෙස ඔබ අවදානම් වලට කැමති කෙනෙක්ද නැත්නම් අකැමැති කෙනෙක්ද? 

මෙය තේරුම් ගැනීම සඳහා අපි සරල ක්‍රීඩාවක් ගැන සිතමු. මෙය කාසිය උඩ දැමීමේ ක්‍රීඩාවක්. සිරස වැටුනොත් ඔබට රුපියල් 2000ක් ලැබෙනවා. අගය වැටුනොත් කිසිවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩාවට සහභාගී වීම සඳහා රුපියල් 1000ක් අය කරන්නේනම් ඔබ මේ ක්‍රීඩාවට සහභාගී වෙනවාද?

මේ ක්‍රීඩාව එක දිගටම කළොත් අවසාන වශයෙන් ඔබ දිනන්න හෝ පරදින්න තිබෙන්නේ සමාන ඉඩක්. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ ක්‍රීඩාවට සහභාගී වීමේ විනෝදය පමණයි. එය මුළුමනින්ම නොවුනත් බොහෝ දුරට අවදානමක් ගැනීම නිසා ලැබෙන විනෝදයක්. සාමාන්‍යයෙන් සූදු ක්‍රීඩා වලට සහභාගී වන්නේ ඒ විදිහට අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය.

අවදානමක් ගැනීමෙන් සතුටක් ලබන අය ඒ වෙනුවෙන් මිලක් ගෙවන්න වුනත් පැකිලෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඉහත ක්‍රීඩාව සඳහා සහභාගී වීමට රුපියල් 1100ක් අය කළත් ඇතැම් අය ක්‍රීඩාවට සහභාගී වෙනවා. මෙහිදී සෑම ක්‍රීඩා වාරයක් අවසානයේදීම ක්‍රීඩාව මෙහෙයවන්නාට රුපියල් 100ක වාසියක් ලැබෙනවා. එහිදී වෙන්නේ ක්‍රීඩා කිරීමේ විනෝදයත් එක්කම අවදානම විකිණීමක් කියා කියන්න පුළුවන්. සමහර "භයානක" ක්‍රීඩා ප්‍රචලිතව තියෙන්නේම අවදානම ගන්න කැමති අය අවදානමක් ගැනීම වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති නිසා.

නමුත් පොදුවේ ගත්තහම සමාජයක ඉන්න වැඩි දෙනෙක් ඔය ගොඩේ ඉන්න අය නෙමෙයි. ගොඩක් අය අවදානම් වලට කැමති නැහැ. එවැනි අයට සූදු ක්‍රීඩා වගේ දේවල් වලට සහභාගී නොවී ඉන්න පුළුවන් වුනත්, සමහර "ක්‍රීඩා අවස්ථා" ඒ විදිහට නොගෙන ඉන්න බැහැ. ජීවත් වෙනවා කියන්නෙම අවදානම් සූදුවක් ක්‍රීඩා කරන එක.

කාලගුණ තත්ත්වයන් එක්ක වී අස්වැන්න වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්. වී මිල අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. මැද පෙරදිග තත්ත්වයන් එක්ක තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. පාරේ යද්දී මාර්ග අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඔය විදිහේ සමහර අවදානම් සූදුවට යනවා වගේ තෝරා ගැනීමක් හෝ මිල දී ගන්නා දෙයක් නෙමෙයි. 

සෑම අවදානමක්ම බැහැර කරන්න බැහැ. කෙනෙක් හදිසියේ මිය ගියොත් ඔහුගේ හෝ ඇයගේ දරුවන්ට මවක් හෝ පියෙකු නොමැති වීමේ අඩුව වෙනත් අයෙකුට ඒ විදිහටම පුරවන්න බැහැ. නමුත් එහිදී සිදු වන මූල්‍ය පාඩුව වෙනත් අයෙකුට පුරවන්න පුළුවන්. පොදුවේ ගත් විට මූල්‍ය පාඩුවක් සිදු වීමේ අවදානම මුදල් ගෙවා බැහැර කරන්න පුළුවන්. රක්ෂණ ගිවිසුමක් හරහා සිදු වෙන්නේ ඒකයි. 

රක්ෂණ ගිවිසුමක් ඔබට ඉදිරිපත් කරන රක්ෂණ සමාගමක් විසින් එසේ කරන්නේ ලාබයක් ලැබීමට මිසක් ඔබට තිබෙන ආදරයකට නෙමෙයිනේ. ඒ නිසා, රක්ෂණ සමාගමක් මේ වැඩේ පාඩුවට කරන්නේ නැහැ. අපි හිතමු වාහන රක්ෂණයක් ගැන. රක්ෂණ සමාගමක් වාහන රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කොහොමද?

අපි හිතමු රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නා අයගෙන් 5%ක් කුමක් හෝ හානි පූරණ ඉල්ලීමක් කරනවා කියලා. ගෙවන්න සිදු වන සාමාන්‍ය මුදල රුපියල් 200,000ක් කියලා හිතමු. පැරණි දත්ත ඇසුරෙන් මේ ගණන් හොයා ගන්න පුළුවන්. 

මෙයින් අදහස් වෙන්නේ ගිවිසුම් සීයක් අත්සන් කරද්දී එයින් පස් දෙනෙක් හානි පූරණ ඉල්ලීමක් කරනවා කියන එකයි. ඒ එක්කෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන්න රුපියල් මිලියනයක මුදලක් වැය වෙනවා. ඒ මුදල හොයා ගැනීම සඳහා ඒ අයෙකුගෙන් රුපියල් 10,000 බැගින් අය කරන්න වෙනවා.

හැබැයි ඔය විදිහට රුපියල් මිලියනයක් එකතු කරගෙන අනෙක් අතට බෙදලා දමනවා කියන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්නේ. එතකොට සමාගමේ සේවකයින්ගේ පඩිනඩි, කොමිස් මුදල්, අනෙකුත් වියදම් ආවරණය වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම වියදම් වලින් පස්සේ ලාබයක් ගන්නත් වෙනවනේ. ඒ නිසා, රක්ෂණ ගිවිසුමක් තරමක් වැඩියෙන් මිල කරන්න වෙනවා. එම මුදල රුපියල් 15,000ක් පමණ වෙන්න පුළුවන්.

දැන් ඔබ රුපියල් 15,000ක මුදලක් ගෙවලා රක්ෂණ ගිවිසුමක් මිල දී ගත් විට ඔබට එයින් ලැබෙන්න නියමිත අපේක්ෂිත වාසිය ඊට වඩා අඩු මුදලක්. ඊට හේතුව, අනෙකුත් අමතර වියදම් හා සමාගමේ ලාබ ආදියද ඒ  මුදල තුල ඇතුළත්ව තිබීමයි. එහෙමනම්, රක්ෂණ ගිවිසුම් කියන්නේ මිල දී නොගත යුතු දෙයක්ද?

මෙය තීරණය වන්නේ ඔබ අවදානම් වලට කොපමණ අකැමැතිද කියන එක මතයි. රුපියල් ලක්ෂයක පාඩුවක් සහ රුපියල් ලක්ෂයක ලාබයක් ඔබට දැනෙන්නේ එක විදිහටද? රුපියල් ලක්ෂයේ පාඩුව නිසා ඔබට දැනෙන දුක රුපියල් ලක්ෂයක වාසියකින් පහසුවෙන්ම කැපී යනවානම් ගොඩක් වෙලාවට ඔබට රක්ෂණ ගිවිසුමක් ආකර්ශනීය වන එකක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට රුපියල් ලක්ෂයක පාඩුවක් දැනෙන තරමටම රුපියල් ලක්ෂයක වාසියක් දැනෙන්නේ නැහැ. ඒ දුක තුනී වෙන්නනම් රුපියල් ලක්ෂ එක හමාරක හෝ දෙකක වාසියක් වෙන්න ඕනෑ. ඔබත් ඒ විදිහේ කෙනෙක්නම් රක්ෂණයක් ඔබට වාසිදායකයි.

(මේ සටහන ලිවුවේ පාඨකයෙක් පෞද්ගලිකව අහපු ප්‍රශ්නයක් නිසා)

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: