Monday, November 4, 2019

අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට!


පසුගිය දවසක මගේ උගත් මිත්‍රයෙක් ඔහුගේ වත්පොත් පිටුවේ ප්‍රසිද්ධ කරල තිබුණු බැනරයකට අනුව, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා, අටමස්ථානය සීගිරියද ඇතුළුව ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට විකිණීමේ ගිවිසුමකට සජිත් ප්‍රේමදාසගේද අනුමැතිය ලැබී තිබෙනවා. මේ කියන ගිවිසුම පෙන්වන්න කියා වෙනත් අයෙක් ඉල්ලා සිටි විට බැනරයේ තිබෙන කරුණු උපකල්පනයන් පමණක් බවත්, මේ ආකාරයට බැනරයක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ ගිවිසුම ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට බල කිරීම බවත් ඔහු කියනවා.

ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයම අක්කර මිලියන 16.2ක්. එයට අභ්‍යන්තර ජලාශ, වනාන්තර, ආර්ථික ප්‍රයෝජනයක් නැති ඉඩම් ආදියත් ඇතුළත්. එහෙම බැලුවහම අක්කර මිලියන 1.2ක් කියන්නේ රටෙන් විශාල කොටසක්. බැනරයේ ලකුණු කර තිබෙන ආකාරයටනම් මේ ප්‍රදේශය ඊටත් වඩා ගොඩක් විශාල රටෙන් තුනෙන් එකක වගේ කොටසක්.

බැනරයේ ඉහළ දකුණු කෙළවරේ තිබෙන ලාංඡනය අනුව, මේ කතා කරන්නේ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන බව පැහැදිලියි. ඔය කියන ගිවිසුම රහසිගත එකක් නෙමෙයි. මගේ මිතුරා අදාළ ප්‍රතිචාරය වත්පොතේ දමන විටත් මුදල් අමාත්‍යංශය විසින් ගිවිසුමේ පිටපතක් ප්‍රසිද්ධ කරලයි තිබුණේ. ඔය කියන විදිහට ඇමරිකාවට ඉඩම් විකුණන කතාවක් ගිවිසුමේ කොතැනකවත් නැහැ.

රටේ ඉඩම්, විශේෂයෙන්ම සීගිරිය වගේ තැන්, විකුණන්න යන කතාවනම් විවිධ පුද්ගලයින් විසින් වරින් වර නැවත නැවත විකුණන කතාවක්. කාලෙකට ඉස්සර නන්දා මාලිනී එක්ක එකතු වෙලා සුනිල් ආරියරත්නත් ඔය කතාව සෑහෙන ගාණකට විකුණ ගත්තනේ. තරුණ කාලය ගෙවෙනකම් සීගිරි නගින්න බැරි වුන, සීගිරිය එක්ක ඇරියස් තියෙන අය සීගිරිය විකුණන කතාව විකුණන වෙළෙන්දන් අතර ඉස්සරහින්ම ඉන්නවා. ඔය වගේ කතා මිල දී ගන්න පාරිභෝගිකයෝ ඉන්න තුරු කතා විකුණන අයට වෙළඳපොළක් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ චරිතය හංවඩු ගහලා තියෙන්නේ හැම දේම විකුණන වික්කමසිංහ කෙනෙක් විදිහටනේ. හැබැයි ඔය මනුස්සයා විකුණපු කෙහෙම්මලක්නම් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අඩු ගානේ තමන්ගේ ප්‍රතිපත්ති හෝ කළ වැඩ ටිකවත් විකුණගන්න අසමත් මනුස්සයෙක්. ඒ වුනත්, වික්කමසිංහ නමනම් වෙළඳපොළේ විකිණෙනවා.

දැන් මේ කියන සහශ්‍ර අභියෝගිතා ගිවිසුමෙන් ඇමරිකාවට ඉඩම් විකිණීමක් වෙන්නේ නැත්නම් එයින් වෙන්නේ කුමක්ද?

මේ ගිවිසුම යටතේ ලංකාවට ඇමරිකානු රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලැබෙනවා. එය ආපසු ගෙවිය යුතු ණය මුදලක් නෙමෙයි.

ඇමරිකාව ඔය විදිහට ලංකාවට සල්ලි දෙන්නේ ඇයි?

ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට ආධාර දීම අද ඊයේ කළ දෙයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේම විවිධ ව්‍යාපෘති යටතේ ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට මෙවැනි ආධාර ලබා දී තිබෙනවා. ඇමරිකාව වගේම වෙනත් බටහිර රටවලුත්, සෝවියට් දේශය වැනි පැරණි සමාජවාදී රටවලුත් වෙනත් රටවලට ආධාර දීම කාලයක් තිස්සේ කළ දෙයක්. ලෝකයේ ඇතැම් රටවල් දියුණු නොවී තිබෙන්නේ ප්‍රාග්ධනය හිඟකම නිසා බව පසුගිය සියවස තුළ ප්‍රචලිතව තිබුණු අදහසක්. ඒ අනුව, ධනවත් රටවල් දුප්පත් රටවල් වලට ආධාර කිරීම මඟින් ලෝකයේ රටවල් අතර තිබෙන ආදායම් විෂමතා තුරන් වනු ඇතැයි ඒ කාලයේ බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඇමරිකාවේ යූඑස්ඒඩ් වැනි ආයතන පිහිටවනු ලැබුවේ මේ ආකාරයට විදේශ ආධාර ලබා දීම කළමනාකරණය කරන්නයි.

සහශ්‍ර අභියෝගිතා සමාගම කියන්නේ මොකක්ද?

ප්‍රාග්ධන ආධාර දුන් පමණින් දුප්පත් රටවල් දියුණු නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස ආධාර ලබා දීමේදී අලුත්, වෙනස් ආකෘතියක් අනුගමනය කළ යුතු බව මේ සහස්‍රය මුලදී ඇමරිකාව තීරණය කළා. මේ අනුව, 2004දී ඇමරිකානු ක්‍රොන්ග්‍රසය විසින් සහශ්‍ර අභියෝගිතා සමාගම නම් වූ ඇමරිකානු රජයට අයත් අලුත් ආයතනයක් ස්ථාපිත කළා. ඒ වගේම, මේ වෙනුවෙන් 2003දී සහස්‍ර අභියෝගතා පණත ඇමරිකානු කොංග්‍රසයේ සම්මත කෙරුණා. සහස්‍ර අභියෝගතා පණත යටතේ සහස්‍ර අභියෝගතා සමාගම හරහා ආධාර ලබා දීම සිදු වන්නේ මූලධර්ම තුනක් මතයි.
- ආධාර ලබාදෙනු පිණිස රටවල් හා ව්‍යාපෘති තරඟකාරී පදනමකින් තෝරා ගැනීම
- ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ රටවලට ඉඩ හැරීම
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ රටවලටම භාර දීම

අනෙක් බොහෝ රටවල් ණය ලබා දීමේදී පවා ඒ ණය මුදල් යෙදවිය යුතු අංශ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කොන්දේසි දමා ණය සේ ලබාදුන් මුදල් නැවත තමන්ගේ රටටම ඇද ගන්නා පසුබිමක මෙහි වෙනස පැහැදිලි විය යුතුයි.

ආධාර ලබාදෙනු පිණිස රටවල් තෝරා ගන්නා පදනම කුමක්ද?

ඇමරිකාවේ රාජ්‍ය මුදල් වැය කරන්නේ නිශ්චිත හා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුවයි. කිසියම් රටක් හා අදාළ වාස්තවික නිර්ණායක දෙස බලා මිස ජනාධිපති හෝ අගමැති කවුද, එසේ නැත්නම් බලයේ සිටින දේශපාලන පක්ෂය කවුද වැනි කරුණු මත රටකට ආධාර දීම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත්, එවැනි කරුණු වක්‍ර අයුරකින් සලකා බලනු ලබන වාස්තවික නිර්ණායක කෙරෙහි බලපෑමක් කළ හැකියි. මේ ආධාර ලංකාවට ලැබෙන්නේ රනිල් නිසා හෝ යහපාලන ආණ්ඩුව නිසා නෙමෙයි. ආධාර ලබා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්.

රටවල් තෝරා ගන්නා නිර්ණායක මේවායි.

1. පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් විය යුතුයි.
2. ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රටක් නොවිය යුතුයි.
3. පරීක්ෂා කරන විෂයයන් 20කින් අනිවාර්ය විෂයයන් ඇතුළුව අවම වශයෙන් විෂයයන් 10කට සමත් ලකුණු ලබාගත යුතුයි.

පසුගිය වසරේදී මේ කාර්යය හා අදාළව පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් සේ සැලකුණේ සලකා බලන අවස්ථාවේදී (මා හිතන පරිදි 2017 ඒක පුද්ගල ආදායම අනුව) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල්. ඒ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,840ක් වූ නිසා ලංකාව නූලෙන් මේ රටවල් ලැයිස්තුවට අයිති වුනා. එහෙත්, මේ වන විට ලංකාව ආදායම පහළ මැදි ආදායම් මට්ටම ඉක්මවා ඉහළ මැදි ආදායම් මට්ටමට ගොස් ඇති නිසා 2020 වසරේදී සලකා බලන රටවල් ලැයිස්තුවේ ලංකාව නැහැ. යම් හෙයකින් මේ වෙලාවේ ගිවිසුම අත්සන් කිරීම කල් දැමුවොත්, මෙම ආධාරය ලංකාවට නැවත කිසිදා නොලැබී යා හැකියි.

පසුගිය 2019 වසරේදී සහශ්‍ර අභියෝගතා ආධාර ලබා දීම සඳහා සලකා බලන අවස්ථාවේදී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල් 40ක් තිබුණත්, ඒ අතරින් රටවල් 10කට විවිධ සම්බාධක පනවා තිබුණු නිසා එම රටවල් තරඟයෙන් ඉවත් කෙරුණා. එවිට ඉතිරි වුණේ රටවල් 30ක් පමණයි. ඒ රටවල් අතරින් ප්‍රමුඛයින් තෝරා ගැනුණේ මා පෙර කී නිර්ණායක 20 මතයි. මේ නිර්ණායක 20 ආර්ථික නිදහස, පාලනයේ නීතිගරුක බව හා මානව සංවර්ධනය ලෙස කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. නිර්ණායක මේවායි.

කාණ්ඩය I : ආර්ථික නිදහස
1. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති 
2. උද්ධමනය
3. නියාමනයේ ගුණාත්මක භාවය
4. වෙළඳ ප්‍රතිපත්ති
5. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය 
6. ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව 
7. ණය ලබා ගැනීමේ පහසුව
8. අලුත් ව්‍යාපාර ආරම්භ වීම

කාණ්ඩය II : පාලනයේ නීතිගරුක බව
9. දේශපාලන අයිතිවාසිකම්
10. සිවිල් නිදහස
11. දූෂණ පාලනය කිරීම
12. රජයේ ඵලදායීතාව
13. නීතියේ ආධිපත්‍යය
14. තොරතුරු දැනගැනීමේ නිදහස 

කාණ්ඩය III : මානව සංවර්ධනය
15. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය 
16. මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය 
17. ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම
18. ප්‍රතිශක්තිකරණ අනුපාතය
19. ගැහැණු ළමුන්ගේ ද්වීතියික අධ්‍යාපනය ලැබීමේ අනුපාතය
20. ළමා සෞඛ්‍යය

දැන් මේ විභාගය සමත් වෙන්නනම් පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුයි.
- අවම වශයෙන් විෂයයන් 10ක් සමත් විය යුතුයි
- සෑම කාණ්ඩයකින්ම අවම වශයෙන් එක් විෂයක් සමත් විය යුතුයි
- දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් නිදහස යන විෂයයන් දෙකෙන් එකක් සමත් විය යුතුයි
- දූෂණ පාලනය කිරීම විෂය අනිවාර්යයෙන් සමත් විය යුතුයි

ලංකාව අනිවාර්යය විෂයයන් ඇතුළුව විෂයයන් 13ක් සමත් වී මේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය හා ළමා සෞඛ්‍යය විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා ඉහළින්ම සමත් වී තිබෙනවා. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය විෂයය අසමත් වී ඇතත් ඒ යාන්තමින්. ලකුණු අඩුවෙන්ම ලබා තියෙන්නේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය, සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව විෂයයන්ටයි. රතු පාට අකුරින් තිබෙන්නේ අසමත් වූ විෂයයන්.

මේ නිර්ණායක හරහා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වියදම් වැඩි කිරීමටත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් රජයට බල කෙරෙන බව පැහැදිලි විය යුතුයි. සමහර අය කියන්නේනම් ඕකේ අනිත් පැත්තයි.

ආධාර ලබාදෙනු පිණිස ව්‍යාපෘති තෝරා ගන්නා පදනම කුමක්ද?

සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර ලබා දීම පිළිබඳව සලකා බැලෙන රටවල් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අදාළ රටවලට ආධාර ඉල්ලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකියි. ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ අදාළ ව්‍යාපෘති හේතුවෙන් රටේ කොපමණ පිරිසකට සෙත සැලසෙනවද කියන එකයි. එවැනි ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා සහශ්‍ර අභියෝගිතා සමාගමත් උදවු කරනවා.

ලංකාවට ආධාර ලැබෙන්නේ කවර ව්‍යාපෘති වෙනුවෙන්ද?

ලංකාවේ රජය විසින් ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකන් ආධාර ඉල්ලා තිබෙනවා.
1. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 350ක්
2. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 67ක්

මෙම මුදල් සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර සේ ලබා දීමට එකඟ වී ඇති අතර එයට අමතරව ශක්‍යතා අධ්‍යයන, ව්‍යාපෘති කළමනාකරණය, පුහුණු වැඩ සටහන්, ව්‍යාපෘති සැලසුම්, නිරීක්ෂණ කටයුතු හා පසු විපරම් කිරීම ආදිය වෙනුවෙන් වැය කිරීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 63ක මුදලක්ද සමඟ මුළු ආධාර මුදල ඇමරිකන් ඩොලර් මිලියන 480ක් වෙනවා.

ප්‍රවාහන ව්‍යාපෘතියෙන් මිලියන 7ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 19%ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඉඩම් ව්‍යාපෘතියෙන් මිලියන 5ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 26%ක්. ව්‍යාපෘති දෙකෙන්ම මිලියන 11.3ක පිරිසකට (ඇතැම් අයට ව්‍යාපෘති දෙකෙන්ම වාසි සැලසෙන නිසා) සෙත සැලසෙන අතර මේ පිරිස ලංකාවේ ජනගහණයෙන් 54%ක්. ඇමරිකානු රජය මේ ආධාරය අනුමත කර තිබෙන්නේ එපමණ පිරිසකට සෙත සැලසෙන නිසයි.

ව්‍යාපෘති දෙකම ලංකාවේ රජයට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වූ රටේ ජාතික භෞතික සැලැස්මේ කොටස්. එසේ නැතුව මේ ව්‍යාපෘති ඇමරිකානු රජයෙන් සැලසුම් කළ ව්‍යාපෘති නෙමෙයි.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ අනු ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා.
- කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය අවම කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 159.9ක්.
- කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 50ක්.
- රටේ මධ්‍යම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 140.1ක්.

මාර්ග තදබදය අවම කරන්නේ කොහොමද?

මේ ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් දේවල් සිදු වෙනවා.
- කොළඹ හා තදාසන්න වාහන තදබදය ඉතා අධික මාර්ග අටක මං සන්ධි 132ක් රථවාහන ආලෝක සංඥා සහිතව වැඩි දියුණු කිරීම හා පාර මාරු වන ස්ථාන 50ක් අලුතින් ඉදි කිරීම.
- රථවාහන තදබද පිළිබඳ දත්ත එසැණින් ලබා ගෙන, අලුතින් ස්ථාපිත කරන ස්වයංක්‍රීය රථවාහන තදබද කළමනාකරණ මධ්‍යස්ථානයකදී විශ්ලේෂණය කර රථවාහන තදබදය අවම වන පරිදි ස්වයංක්‍රීය ලෙස රථවාහන සංඥා ආලෝක පුවරු හැසිරවීම.
- සීසීටීවී කැමරා සහ ජීපීඑස් උපකරණ යොදා ගනිමින් හදිසි මාර්ග තදබද අවස්ථා වලදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයක් ඇති කිරීම
- ඉහත පද්ධති නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය.

පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්නේ කොහොමද?

මෙහිදී මූලික වශයෙන් අවධානය යෙදවෙන්නේ බස් සේවය නවීකරණය කිරීමටයි. ඒ යටතේ,
- ජීපීඑස් තාක්ෂනය සහිතව බස් රථ නවීකරණය කිරීම,
- බස් රථ තුළ මගීන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම,
- සීසීටීවී කැමරා යොදාගනිමින් නිරීක්ෂනය කිරීම,
- ප්‍රමුඛතා මං තීරු ඇති කිරීම,
- මුදල් ගෙවනු වෙනුවට කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීම, ඇතුළු තවත් කටයුතු හරහා පොදු ප්‍රවාහන සේවා වඩා ජනප්‍රිය කර රථවාහන තදබදයට හේතුවන පෞද්ගලික මෝටර් රථ භාවිතය අඩු කිරීම අපේක්ෂාවයි.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ පදික මං තීරු ආදියද සහිතව පහත මාර්ග සංවර්ධනය කෙරෙනවා.
- අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කිලෝමීටර 40ක්
- බෙරගල සිට වැල්ලවාය දක්වා කිලෝමීටර 31ක්
- දඹුල්ල සිට නාඋල දක්වා කිලෝමීටර 21ක්
- දඹුල්ල ආසන්නව මධ්‍යම හා උතුරුමැද පළාත් සීමාවේ කිලෝමීටර 18ක කොටසක්
- රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර 22ක්

ඉඩම් ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොනවාද?

මේ යටතේ අනු ව්‍යාපෘති පහක් තිබෙනවා.
1. ලංකාවෙන් 28%ක් ආවරණය වන දිස්ත්‍රික් 7ක ඇති ඉඩම් වල සිතියම් පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 23.4ක්.
2. ඉඩම් හිමිකම් ලේඛණ (ඔප්පු) ස්කෑන් කර පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 11.4ක්.
3. ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම - ඩොලර් මිලියන 6.5ක්.
4. රජයට අර්ධ අයිතියක් ඇති පුද්ගලයින් සතු ඉඩම් වල අයිතිය අදාළ පුද්ගලයින්ට ලබා දීම - ඩොලර් මිලියන 19.3ක්.
5. ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණායතනයක් ඇති කිරීම - ඩොලර් මිලියන 6.7ක්.

මා හිතන හැටියට, ඉහත අනු ව්‍යාපෘති අතරින් බොහෝ දෙනෙකු විසින් විවේචනය කරන්නේ පළමු හා සිවුවන අනු ව්‍යාපෘති දෙකයි.

ඉඩම් වල සිතියම් මෙන්ම ඔප්පුද පරිගණකගත කිරීම කළ යුතුම දෙයක්. පරණ කඩදාසි ඔප්පු හා සිතියම් සමඟ ඉදිරියට යාමේ අකාර්යක්ෂම බව ගැන කතාකරන්න කාලය යොදවන එකේත් තේරුමක් නැහැ. මේ කටයුතු දිවයින පුරාම සිදු විය යුතුයි. දැනට මෙය දිස්ත්‍රික් හතකට සීමා කර තිබෙන්නේ රට පුරාම මේ කටයුතු ක්‍රියාත්මක කරන්න තරම් මුදල් ප්‍රතිපාදන නැති නිසයි.

මුඩුබිම් පණත යටතේ, කිසිවෙකුට ඉංග්‍රීසි ක්‍රමයට හිමිකම් තහවුරු කළ නොහැකි වූ ඉඩම් සියල්ල රජයේ ඉඩම් බවට පත් වුනා. ඉන් පසු මේ ඉඩම් වරින් වර වගා කටයුතු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් පුරවැසියන්ට ලැබුණා. එහෙත්, ඒ විදිහට ලැබුණු ඉඩම් පෞද්ගලික ඉඩම් වුනේ නැහැ.

මෙවැනි ඉඩම් මුලින්ම ක්‍රවුන් ග්‍රාන්ට් ඉඩම් ලෙසත්, ඉන්පසු එල්ඩීඕ (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන්) ඉඩම් ආදී ලෙසත් විවිධ නම් වලින් හැඳින්වුනා. ඉඩම් හිමියන්ට රජයෙන් ලැබුණු බලපත්‍රයක් මිස පූර්ණ හිමිකමක් තිබුණේ නැහැ. පොළොවෙන් යට අයිතිය තිබුණේ රජයට. මේ ඉඩම් කොටස් කිරීමට හා විකිණීමට හැකියාවක් තිබුණේ නැහැ. පවුලේ අයෙකුට පැවරීමට පමණක් හැකිකම තිබුණා. ඒ වගේම බැංකුවට තබා ණයක් ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. විවිධ ආණ්ඩු  යටතේ ස්වර්ණභූමි, ජයභූමි, රත්නභූමි, රන්බිම ආදී වශයෙන් ඔප්පු ප්‍රදානය කෙරෙද්දී මේ සීමාවන් ටිකින් ටික ලිහිල් වුනත් මුළුමනින්ම නැති වුනේ නැහැ.

ඉහත කී ආකාරයේ හිමිකමක් තිබෙන අයෙකුට ඉඩම අවශ්‍ය පරිදි කැබැලි කළ නොහැකි නිසා දරුවන් අතර ඉඩම බෙදා දීම අසීරුයි. ඉඩම විකුණා මුදල් බෙදා දිය හැක්කේ දරුවන්ගෙන් අයෙක් එය මිල දී ගන්න කැමැතිනම් පමණයි. මිල දී ගැනීමක් කියා කිවුවත් ගනුදෙනුව සිදු කරන්න වෙන්නේ අත යටින්. නීත්‍යානුකූලව සිදු වන්නේ පැවරුමක්. ඒ නිසා, ඉඩම එහි වටිනාකමට විකිණෙන්නේ නැහැ. ඉඩම් ගනුදෙනුවෙන් රජයට බදු මුදලක් ලැබෙන්නෙත් නැහැ. ඉඩම පැවරිය හැක්කේ පවුලේ අයෙකුට පමණක් වුවත් බොහෝ විට මොකක් හෝ වංගුවක් දමා ඉඩම පිටට විකුණන එක දුලබ දෙයක් නෙමෙයි.

රජයට අයත් හැම ඉඩමක්ම මේ වර්ගයේ ඉඩම් නෙමෙයි. උදාහරණ විදිහට මාර්ග රක්ෂිත, දුම්රිය මාර්ග රක්ෂිත, ඇළ රක්ෂිත, ජලපෝෂක ආදී ලෙස වෙන් කළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, මේ ඉඩම් බොහොමයක්ද මේ වන විට කවුරු හෝ විසින් අල්ලාගෙන ස්ථිර ගොඩනැගිලි ඉදි කරලා. මගේ ලංකාවේ ගෙදර කිට්ටුව ඇළ රක්ෂිතයක මේ විදිහට අනවසරයෙන් එක් අයෙක් මුලින් හදපු ගෙයක් දැන් ජනපදයක් වෙලා. ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ උදවුවෙන් මුලින් එක ගෙදරකට විදුලි බලය ලබාගත්තාට පසුව අනෙක් ගෙවල් වලටත් විදුලි බලය සැපයීමට විදුලි බල මණ්ඩලයට සිදු වී තිබෙනවා. මේ ඉඩම් වලට බදු ඔප්පු හෝ නැහැ. නමුත්, ගෙවල් සහිත ඉඩම් කැබලි වෙනත් අයට විකිණීම පවා සිදු වෙනවා. ඔප්පුවක් නැතත් ගන්න අයත් ඉන්නවා. ඒ නැවත කාට හෝ විකුණන්න පුළුවන් බව දන්නා නිසයි. මා දන්නා තවත් පැති වල බලය ඇති ඇතැම් අය හොර ඔප්පු හදාගෙන ඉඩම් විකුණනවා. කිහිප වරක් ඉඩමක් විකිණූ පසු, පසුව මිල දී ගන්නා අයෙකුට ඉඩමේ අයිතියේ සම්භවය ගැන සැක හිතෙන්නේ නැහැ. ඉඩම් හිමිකම් හා සිතියම් ලේඛනගත වී ඇත්නම් මෙවැනි වංචා කරන්න අමාරුයි. ඒ වගේම, බාග අයිතියක් ඇති ඉඩම් අත යටින් හුවමාරු වීම ඉතා අකාර්යක්ෂමයි.

මේ දෙආකාරයේම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ රජයට වුවත්, කවුරු හෝ පවුලක් ස්ථිර ගෙයක් හදාගෙන කාලයක් පදිංචි වී සිටින තැනකින් ඒ අයව එළියට ඇදලා දාන එක සිදු නොවන දෙයක්. එවැනි දේ කර දේශපාලනිකව අප්‍රසාදයට පත් වෙන්න කිසිදු ආණ්ඩුවක් කැමති නැහැ.

තෝරාගෙන තිබෙන දිස්ත්‍රික් හතේ හෝ රජයට නීත්‍යානුකූල අයිතිය තිබෙන ඉඩම් නැවත මැන, සිතියම් පරිගණක ගත කළොත් හා එසේ කරන අතරතුර ඉඩමේ දැන් තත්ත්වය ගැන දත්ත එකතු කර ගත්තොත් රජයට අයිති දැනට නිදහස්ව තිබෙන ඉඩම් ගැන කිසියම් අදහසක් ගත හැකියි. ඉන් පසුව, අවශ්‍යනම් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් ඒ ඉඩම් යොදා ගත හැකියි. ආණ්ඩුව තීරණය කරනවානම් ඇමරිකාවට විකුණන්න වුනත් පුළුවන්. ඒ වගේම, කවුරු හෝ ස්ථිර ඉදිකිරීම් කර ඇති ඉඩම් අවශ්‍යනම් ඒ අයටම ප්‍රදානය කළ හැකියි. එවිට ඒ අයට ඒ ඉඩම් ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට විකුණන්න හෝ බැංකුවට උගස් කර ණයක් ගන්න පුළුවන්. කොහොම වුනත්, ඒ වැඩි වැඩ කිසිවක් සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ නැහැ. ගිවිසුම අනුව සිදු වන්නේ ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණකගත කිරීම පමණයි.

ගිවිසුමේ කොන්දේසි මොනවාද?

ගිවිසුමේ මුලින්ම විශේෂ කොන්දේසි හතරක් තිබෙනවා.
1. මේ මුදල් හමුදා, පොලීසි, නිල නොවන හමුදා ආදිය පුහුණු කිරීම වෙනුවෙන් යොදාගත නොහැකියි.
2. මේ මුදල් ඇමරිකාවේ රැකියා හෝ නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු කෙරෙන කටයුත්තක් සඳහා යොදාගත නොහැකියි.
3. පරිසරයට, මහජන සෞඛ්‍යයට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් යෙදවිය නොහැකියි.
4. ගබ්සා කිරීමට හෝ ගබ්සා වලට අනුබල දීමට හෝ බලහත්කාරයෙන් හෝ මුදල් දී වන්ධ්‍යාකරණය කිරීමට මේ මුදල් යෙදවිය නොහැකියි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් පිහිටුවිය යුතුයි. නමුත්, මේ සමාගම ඇමරිකානු සමාගමක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය සමන්විත වන්නේ පහත අයගෙන්.

1. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
2. අගමැතිවරයාගේ නියෝජිතයෙක්
3. මුදල් අමාත්‍යාංශයේ ලේකම්
4. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්
5. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
6. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
7. අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
8. වනිතා හා ළමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
9. පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
10. සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්

කාලයක් තිස්සේ ඉතුරු කරගත්ත මුදල් ටිකක් යොදවලා සීගිරියෙන් කෑල්ලක් ගන්න කියලා හිතලා හොයලා බැලුවත් ඔය තියෙන දේවල් වලට වඩා වැඩි දෙයක්නම් තාම හොයා ගන්න බැරි වුනා.

පසු සටහන: අමතර ප්‍රශ්න වලට පිළිතුරු පහත ලිපියේ තිබෙනවා.

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!



47 comments:

  1. අර පාදෙණිය, වීරවංශ නඩේ මේකට විරුද්ධ වෙලා බෙරිහන් දෙන්නේ නොදන්නා කමට ද, කපටි කමටද?

    ReplyDelete
    Replies
    1. ගොමා (GMOA) ගොං මෙඩ්ඩන් නොදන්නේ මෙඩිසින් පමණයි. මුං අන්තර් ජාතික සබඳතා (ඉන්දියානු, සිංගප්පූරු, ඇමරිකානු) ගැන නම් එක්ස්පර්ට්ලා ය.

      Delete
    2. ගොං ද නැද්ද කියල නං මං දන්නේ නෑ. මෙඩ්ඩියක් ඉතින් ගෙදරම ඉන්නවනේ.

      Delete
    3. ඇනෝ,
      ගොමා හෙවත් GMOA යනු වෘත්තීය සමිතියකි. එහි නිලධාරීන් පත් වන්නේ සාමාජික ඡන්දයෙනි.

      විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරූ හැම අයෙකුම ඒ වෘත්තීය සමිතියේ සාමාජිකයින් නොවෙති.

      සාමාජිකයින් වන සැමදෙනාම දැන් නිලධාරි මණ්ඩලයේ සිටින පාදෙණිය ඇතුළු පිරිසට ඡන්දය දී නොමැත. ඡන්දයකින් දිනීමට අවශ්‍ය වන්නේ ‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහට වඩා එක ඡන්දයක් පමණි.

      Delete
    4. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි.
      එත් ඉතින් ගොං ද නැද්ද කියල නං මං දන්නේ නෑ...

      Delete
  2. ඔබ දාල තියෙන headline එක අගට "? " ලකුණක් දාන්න. නැත්නම් ඔය හෙඩ්ලයින් එක වැරදි විදියට අර්ථ දක්වලා දේශපාලන වාසි ගන්න පුළුවන්.

    ReplyDelete
  3. Why don't you put what US is getting out of this, there is no such thing as free lunch.
    Current govt came to power by distributing same kind of disinformation, nothing new there.

    ReplyDelete
    Replies
    1. Wijebahu, you may not know that there is still such a thing as free lunch. basically free meal to be precise.

      Delete
  4. ඉඩම් ගැටළුව බරපතලයි

    ReplyDelete
  5. දැක්කමනම් ඇඟ හීතල වෙලා ගියා.. මොකෝ අපේ ගෙවල් ටිකත් ඇමරිකාවෙන් අල්ලගෙන මේ සිතියමේ හැටියට..

    මමත් අහලා තියන හැටියටනම් මේ ලෝකෙ කිසිම රටක් තව රටකට නිකං උදව් කරන්නේ නෑ.. මේකෙන් ඇමරිකාවට ලැබෙන මොකක් හරි වාසියක් අනිවාර්‍යයෙන් තියෙන්න ඕනා.. ඒක එක්කෝ ඉකොනොගෙ සර්ච් එකට අහුවෙලා නෑ, එහෙම නැත්නම් හිතාමතාම යට ගහලා.. වික්කමසිංහ වගේ. මිනිහා හැංගි මුත්තං වලට දක්ෂයා නිසා මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නෑ.. හැනිබල්ට හොරෙන් ප්‍රභාකරන්ට උතුර ලියලා දුන්නා වගේ ඇමරිකාවට ලංකාවෙන් භාගයක් ලියලා දෙයි කියලා මිනිස්සුන්ට බය ඇති..

    ReplyDelete
    Replies
    1. මේ තවත් මෝඩයෙක් තියුණු අසිපතක සෙවණ යට ගරි gota's war කියවලා තියෙනවාද?

      Delete
  6. ///අවශ්‍යනම් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් ඒ ඉඩම් යොදා ගත හැකියි. ආණ්ඩුව තීරණය කරනවානම් ඇමරිකාවට විකුණන්න වුනත් පුළුවන්. ඒ වගේම, කවුරු හෝ ස්ථිර ඉදිකිරීම් කර ඇති ඉඩම් අවශ්‍යනම් ඒ අයටම ප්‍රදානය කළ හැකියි. එවිට ඒ අයට ඒ ඉඩම් ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට විකුණන්න හෝ බැංකුවට උගස් කර ණයක් ගන්න පුළුවන්./// හැකෑස්ස්ස්!!!

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි ඉකොන්...

    ඇත්තට ඇමරිකාවට ඇති ප්‍රතිඵලය මොකද්ද මේකෙන්?

    ReplyDelete
  8. හිත නිවන කතා ...

    ReplyDelete
  9. මෙයාලා හදිස්සියේම මේකට දඟලන්නේ මෙයාලගෙ කාලෙදි ලංකාවට මේ දේ අරන් දුන්නා කියලා කියවගන්න.

    එයාලා මේක පරක්කු කරන්න හදන්නෙ එයාල අාවහම අත්සන් කරලා ව්‍යාපෘති වල උප්පැන්නෙ එයාලගෙ නමට ලියාගන්න.

    සරළයි.

    ReplyDelete
  10. ඔබතුමා කියන හැටියට මේක හොඳ දෙයක්නම් ඝෝඨාභය මහත්තයා ලවා මේක කරවා ගම්මු. සජිත් ලවා කරවා ගන්නවාට වඩා පොඩි හරි වැඩි වාසියක් සිංහලයන්ට එතකොට වෙයි.

    විමල් වීරවංශ මහත්තයාට මම ගරුකරනවා. ඒත් ඔහු ජාතිකත්වය සහ සමාජවාදය අනාගත්ත කෙනෙක්.
    හැමදේටම ආර්ථික විද්‍යාව ගැලපීමේ කසිකබල් වැරැද්ද ඔහු නිතරම කරනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලංකා දේශපාලනයේ ඉන්න ජරාම සතා වෙන පචවංශට ගරු කරන්නේ මොකටද?ඔය යකාට වඩා මර්වින් සිල්වා හොඳයි.

      Delete
    3. ජාතිකත්වය සහ සමාජවාදය අනාගත්ත ඔබ වගේ කෙනෙක් විමලසිරි මලයට, නලින් මැන්ටලේට කැමතිවෙන එක කියන්නත් දෙයක්ද.

      අනික ඝෝඨාභය කියල කෙනෙක් නැහැ ගෝටාබය (එතුමගේ නියම ඇමරිකන් ගමන් බලපත්‍රයේ තියෙන්නේ Gotabaya). නොදන්නා පයනු කතා නොකර හිටු.

      Delete
    4. kumaraNovember 5, 2019 at 6:38 AM
      //ලංකා දේශපාලනයේ ඉන්න ජරාම සතා වෙන පචවංශට ගරු කරන්නේ මොකටද?

      බාශා දෙකක් යනු එක රටකි එක බාශාවක්නම් රටවල් දෙකකි කියලා කියපු එකා තමයි මටනම් ජරාම සතා. ජෝශෆ් ස්ටාලින් වගේ කෙනෙක් ඉස්සරහා ඕක කිව්වනම් අනිවාර්යයෙන්ම ධනේශ්වර ප්‍රතිගාමියෙක් කියලා නම්කරලා පවුල පිටින්ම මරයි.

      AnonymousNovember 5, 2019 at 1:36 PM
      //එතුමගේ නියම ඇමරිකන් ගමන් බලපත්‍රයේ තියෙන්නේ Gotabaya
      ඔරුමත්තුනාඩුවේ මහජාතිය එරට සුළුජාතිකයන්ට සලකන විදිය තමයි ඔය.
      ඔබ දන්නවද මේ වනවිට ඇංග්ලිකන් බලපෑම මත පෝටෝරිකෝ රටේ (අනාගත ජනපදයේ) ඉංග්‍රීසි ප්‍රධාන බාශාව කරලා කියලා.

      Delete
    5. udaya book shop නෙවේ හවස බේකරි,

      අම්මප ඔහේ හරි!
      එකමත් එක කාලයක වැදි භාෂාව අතෑරල සිංහල භාෂාව රජඋනේ ඉන්දියන් සාගරේ දුපතක.

      Delete
  11. පෝස්ටුව හොඳයි, සැඟවුණු දේවල් රැසක් කියවෙනවා තමයි. ඒත් තව මොනවාම හරි යට තියෙනවා වගෙත් හිතෙනවා.............

    ReplyDelete
  12. https://m.youtube.com/watch?v=atzmR-FWtUw

    ..Watch this. Explain in simple term ...

    ReplyDelete
  13. There was also a news item about govt is issuing free hold titles liberally for occupied govt lands, so that people can sell it anyone including US.

    Just imagine if our plantation lands (former SLSPC/JEDB) given free hold to plantation companies?

    ReplyDelete
    Replies
    1. Foreigners cannot buy our lands. Even apartments below 6th Floor of condos. Please read land law,

      Delete
  14. මෙක ක්‍රියාත්මක් කරපු අනිත් රටවල් වල සාර්ථක වුනේ නෑලු

    ReplyDelete
    Replies
    1. ශුවර්ද?
      මේක ටිකක් රිෆර් කලානම් ඔය "නෑලු" කියන එක හරියටම කරුණු සහිතව හරිද වැරදිද කියල ඔබටම දැනගන්න පුලුවන්...
      https://www.mcc.gov/where-we-work

      Delete
  15. https://now.tufts.edu/articles/truth-about-conspiracy-theories

    ReplyDelete
  16. We are not beggers and fools. Any one can justify this situation but truth no one can spoil. More than enough this type status rather than peace.

    ReplyDelete
    Replies
    1. America never did anything without a hidden agenda.
      Truth behind Lybia : Explained by an American.
      https://m.youtube.com/watch?v=XorKTwkFPDU

      Delete
  17. Don't fall for USA's cunning acts
    Reality of Lybia:
    https://m.youtube.com/watch?v=XorKTwkFPDU

    ReplyDelete
  18. ඔබේ නිවස ගිනිගෙන ඇතිවිට ඔබ මුලින්ම කලයුත්තේ කුමක්ද?
    මුලින්ම කලයුත්තේ නිවසෙන් ඉවතට දිවයෑම නේද?

    ගෙදරින් ගියොත් ඉන්නේ කොහෙද? වගේ ප්‍රශ්න ගැන හිතුවොත් වෙන්නේ පිච්චිලා මැරෙන්න.
    (ඉහත ප්‍රකාශය මට වඩා උගත් කෙනෙක්ගේ)

    ඒ වගේ මේ පාර අපි (සිංහළු) ඝෝඨාභයට චන්දේ දාමු. ඊට පස්සේ එන ප්‍රශ්නගැන පස්සේ කල්පනා කරමු.

    ReplyDelete
    Replies
    1. අන්න රයිට්.
      මුලින්ම අපි මේ ගිවිසුම අස්සං කරමු.
      ඊට පස්සේ එන ප්‍රශ්නගැන පස්සේ කල්පනා කරමු

      Delete
  19. ඩොලර් මිලියන 480 ක් කියන්නේ 'මහා ලොකු' මුදලක් නෙවෙයි නේද? ප්ලාන් එකේ තියෙන ප්‍රොජෙක්ට් ටික දැක්කමනම් ඒ 480 නුත් වැඩි කොටහක් පිල්ලි යයි කියල හිතෙනවා.. බොරු පිඹ පිඹ මේ කොරහේ කිඹුල්ලු පෙන්නන එවුන් අස්සේ මේ පොස්ට් එක සෑහෙන්න වටිනවා.. ඒත් pros and cons දෙකම ඇනලයිස් කරානම් තවත් වටිනවා.

    ReplyDelete
  20. මේ වෙලාවෙ ඇමරිකාවට කිඹිහුමක් ගියත් ලංකාවට ඒක දැනෙන්නෙ රට බෙදන්න පත්තුකරපු වෙඩිල්ලක් වගේ!

    ReplyDelete
  21. කෙසේ කිව්වත් මෙයින් රටට සිදුවන වාසියට වඩා අහිතකර බලපෑමක් සිදුවන බව මගේ අදහසයි. ජන්දය පාවිච්චි කිරීමේ දී සිතා බැලීමක් කළ යුත්තේ ඒ නිසයි. මෙවැනි ආධාර ගිවිසුම් මගින් ලංකාවට අනිසි ලෙස විදේශීය ඇගිලි ගැසීම් සිදුවිය හැකියි.ඇමෙරිකාවෙි ඉලක්කය තිරිකුණාමල වරාය විය නොහැකිද? ඔඛට විරැද්ධ සියල්ලෝම ගොංමැට්ටෝ නොවෙති

    ReplyDelete
  22. ගිවිසුමේ පිටපතක් කියල Link කරලා තියෙන්නෙ වෙන කොහෙද වෙබ්සයිට් එකක දාලා තියෙන එකක් නෙ. රජය මගින් ප්‍රසිද්ධ කරපු Link එක ඇයි දැම්මෙ නැත්තේ ??

    ReplyDelete
    Replies
    1. රජය මෙය උඩුගත කළේ නොවැම්බර් 5. මේ ලිපිය පළ කළේ නොවැම්බර් 4. කෙසේ වුවත්, දැන් ලින්ක් එකේ යොමුව වෙනස් කරලයි තියෙන්නේ.

      Delete
  23. කැල්ගරි විශ්වවිද්‍යාලයේ ජනක රුවන්පුර මේ ආධාර ගිවිසුම ගැන ලියූ ලිපිය මෙන්න
    https://www.facebook.com/janaka.ruwanpura/posts/10157349834435199

    ReplyDelete
  24. උක්ත ගිවිසුමේ පිටු දෙකක් අඩු ඇයි?

    ReplyDelete
  25. මෙහෙමයි... ඇමරිකාව කියන්නෙ තම වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත ආහාරද්‍රව්‍ය ගැනුම් කරුවෙක් නොමැති අවස්ථාවලදී මුහුදුබත් කරන රජයක්...
    එහෙව් රජයක් අපිට ආදරේ නිසා වෙන්ටෑ ඩොලර් මිලියන 480ක් නිකම් දෙන්නෙ... මාර සෙනෙහසක් ඒක...

    ReplyDelete
  26. Very informative. Actually what puzzles me is Americas' gain is not noted. Is silent on that aspect...

    ReplyDelete
    Replies
    1. Did you read the second part?

      ඇමරිකාව සල්ලි නිකම් දෙන්නේ ඇයි?

      මේක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. කිසි කෙනෙක් තමන්ට වාසියක් නැතිව හිඟන්නෙක්ට රුපියලක්වත් නොදෙන මා මේ වියුණුව හරහාම පසුගිය වසර කිහිපය තිස්සේ සමාජගත කර තිබෙන අදහසක්. ඒ නිසා, බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ඇසීම ගැන මට තිබෙන්නේ සතුටක්. හිතන්න අවශ්‍ය නිවැරදි ආකාරය මෙයයි....

      https://economatta.blogspot.com/2019/11/blog-post_6.html

      Delete
  27. Very informative. Actually what puzzles me is Americas' gain is not noted. Is silent on that aspect...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.