වෙබ් ලිපිනය:

Wednesday, November 24, 2021

අපි දැන් මොකද කරන්නේ?


ලංකාව විශාල ආර්ථික අර්බුදයක සිර වී සිටින බව මේ වෙද්දී බොහෝ දෙනෙක් පිළිගන්නවා. මෙතෙක් ආ ක්‍රමයට හෝ ක්‍රම වලට තව දුරටත් ඉදිරියට යා නොහැකිය යන අදහසත් මේ වෙද්දී ප්‍රධාන ධාරාවේ අදහසක් වෙලා. එය හොඳ තත්ත්වයක්. ප්‍රශ්නයකට විසඳුම් හෙවීම සාර්ථක වීම සඳහා මූලික කොන්දේසිය ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමයි.

ප්‍රශ්නය යම් තරමකින් හෝ පැහැදිලි වුවත් ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් කා ළඟවත් පෙනෙන්න නැහැ. "අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම්. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න!" කියා කියපු ඇතැම් අයද ඇතුළුව බොහෝ දෙනෙක් "කළ යුත්තේ කුමක්ද?" කියා අපෙනුත් අහනවා. 

පැටලිලා තිබෙන නූල් බෝලයක පැටලුම් අරින එක ලේසි නැහැ. එක කොණකින් පටන් ගෙන සීරුමාරුවට වැඩේ කරගෙන යා යුතුයි. පැටළුම් අරින්න දරන උත්සාහය නිසාම නූල තව තවත් පැටලෙන්න පුළුවන්. 

ඉතා මෑතක් වන තුරුම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකට ආර්ථික අර්බුදයක් පෙනුණේ තමන් බලයේ නොසිටි වකවානු වලදී පමණයි. මේ පක්ෂ දෙකෙන් එකක් හෝ බලයේ සිටිද්දී බලයේ සිටි පක්ෂයට සාපේක්ෂව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වුනා. එම පක්ෂ දෙකටම අනුව, ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න ආණ්ඩුව මෙහෙයවූ අයගේ ප්‍රශ්න මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න වූයේ නැහැ. බලයට පත් වූ ආණ්ඩුව හැම විටම කළේ කලින් ආණ්ඩුවේ "වැරදි හදන" එකයි. 

මම මෙයින් අදහස් කළේ මේ පක්ෂ වල ලොක්කන් ඇත්තටම මේ විදිහට හිතුවා කියන එක නෙමෙයි. ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය ගැන යම් හෝ අවබෝධයක් තිබුණේ නැහැ කියා හිතන්න බැහැනේ. එහෙත්, දිගින් දිගටම ඔවුන් රටට කිවුවේ ඔය කලින් කී කතාව. 

මෙයින් වෙනස්ව ජනතා විමුක්ති පෙරමුණ විසින් දිගින් දිගටම ප්‍රශ්න දැක්කා. ඒවා ගැන කතා කළා. හැබැයි බොහෝ විට ඒ දැක්කේත් ආණ්ඩු බලය තිබුණු කවර හෝ පක්ෂයේ වැරදි මිසක් නිදන්ගත, ආකෘතිමය ප්‍රශ්න නෙමෙයි. එහෙම නැත්නම් වෙළඳපොල (ධනවාදී) ක්‍රමයේ ප්‍රශ්න. මේ වන විටනම් ජවිපෙ විසින් වෙළඳපොළ විවේචනය කරන්නේ ඉතා අඩුවෙන් හා පරිස්සමෙන්.

මේ ඉතිහාසය එක්ක බැළුවහම දැන් තත්ත්වය හොඳ තත්ත්වයක්. හැමෝම නැතත් ආණ්ඩු බලය හොබවන පක්ෂයේ බොහෝ දෙනෙක් මේ වෙද්දී රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබෙන බව පිළිගන්නවා. ඒ අනුව, මුල් වරට, රටේ ජන බලයක් තිබෙන පක්ෂ සියල්ලම අතර යම් කිසි ආකාරයක පොදු එකඟතාවයක් ඇති වී තිබෙනවා. පවතින ආණ්ඩුවට කඩේ යමින් රටේ විසඳිය යුතු ප්‍රශ්නයක් නැහැ කියා කියන සීමිත පිරිසගේ කටවල් මේ වෙද්දී වැහිලා තිබෙනවා. ඇත්තටම කියනවානම් ආණ්ඩු බලය තිබෙන පක්ෂයට වුවත් ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට අර්බුදය ඔඩු දුවා තිබෙනවා. 

රටේ විසඳුම් අවශ්‍ය ප්‍රශ්නයක් ඇති බව බොහෝ දෙනෙකුගේ පොදු පිළිගැනීම වීම ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය පළමු කොන්දේසියයි. දැන් ඒ කොන්දේසිය සැපිරිලා. දෙවන කොන්දේසිය වන්නේ ප්‍රශ්නය හෝ ප්‍රශ්න නිවැරදිව හඳුනා ගැනීමයි. හරි ප්‍රශ්නය තෝරා නොගත්තොත් හරි පිළිතුරක් හොයා ගන්න බැහැ. 

දෙවන කාරණය හා අදාළවද යම් පොදු එකඟතාවන් ඇති වී තිබුණත් මෙහිදී පළමු කාරණය හා අදාළව දැකිය හැකි තරමේ පුළුල් එකඟතාවයක් තවමත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මේ මොහොත වෙද්දීත් වැරදි විසඳුම් හොයාගෙන තවත් වටයකින් අමාරුවේ වැටෙන්න සිදු වීමේ අවදානම තිබෙනවා.

ගම්මන්පිල විසින් සංක්ෂිප්තව කියා ඇති "රටට ඩොලර් නැහැ රජයට රුපියල් නැහැ" කියන එක පවතින ප්‍රශ්නය පිළිබඳ සරල පැහැදිලි කිරීමක්. මේ පිළිබඳවත් දැන් බොහෝ දෙනෙකුට පුළුල් අවබෝධයක් තිබෙනවා. මේ වගේ තැනකට රට වැටුණේ කොහොමද?

ලංකාව නිදහස ලබද්දී රටට ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රජයට රුපියල් ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසු හදාගත් ප්‍රශ්න. මේ ප්‍රශ්න ඇති වීමට හේතු වූ "වැරදි" ප්‍රතිපත්ති මොනවාද?

නිදහසින් පසු ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධව පැවති හා පවතින දේශපාලන ප්‍රවේශයන් කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැකියි.

1. සංවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සම්ප්‍රදායික සමාජවාදය)

2. විවෘත, රාජ්‍යමූලික, මධ්‍යගත සැලසුම් ක්‍රමය (සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය)

3. විවෘත, ජාත්‍යන්තරවාදී, නිදහස් වෙළඳපොළ මූලික ක්‍රමය (නිදහස් වෙළඳපොළ ආර්ථිකය)

මේ ක්‍රම අතරින් පළමු ක්‍රමය 1970-77 කාලයේදී ලංකාව තුළ එහි උච්ඡස්ථානයට පැමිණ තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව තව දුරටත් එම ක්‍රමයට වලංගු භාවයක් නැහැ. 1990 පමණ වෙද්දී ලෝක මට්ටමෙන්ද මේ ක්‍රමය ප්‍රතික්ෂේප වුනා. 1993 පමණ වන තුරු මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රීලනිපය ඉන් පසුව දෙවන ක්‍රමයට මාරු වුනා. එතැන් සිට දිගටම මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ මේ වෙද්දී මේ ක්‍රමයෙන් විතැන් වීමට උත්සාහ කරමින්, පළමු හා දෙවන ක්‍රම අතර සංක්‍රමණික අවදියක සිටින බව පේනවා. දැනට මෙවැනි ක්‍රමයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ ජවිපෙන් කැඩී ගිය පෙසපෙ පමණක් විය යුතුයි. 

පළමු ක්‍රමයේ වැරදි හා අඩුපාඩු පෙන්වීම ඉතා පහසුයි. නමුත්, ඒ වැරදි හා අඩුපාඩු පෙන්වීමට අප මහන්සි නොවන්නේ ඒ වැරදි හා අඩුපාඩු පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට සැකයක් නැති නිසයි. කාට හෝ සැකයක් ඇත්නම් පැහැදිලි කළ හැකියි. කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ මේ ක්‍රමයේ සාධනීය ලක්ෂණ කිසිවක්ම නැති බව නෙමෙයි. 

ඉහත තෙවන ක්‍රමය ආසන්න වශයෙන් 1950දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන තුරුම අවම වශයෙන් වසර 130ක් පමණ ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ක්‍රමයයි. එම කාලය තුළ ලංකාවට ඩොලර් (පවුම්) ප්‍රශ්නයක් හෝ රුපියල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ පැවති හෝ දැන් තිබෙන ආකාරයේ ප්‍රශ්න තිබුණේත් නැහැ. 1950 දක්වා විධිමත් ලෙස සකස් කළ ආර්ථික වර්ධන ඇස්තමේන්තු නැතත්, පසුකාලීනව පර්යේෂකයින් විසින් වරින් වර සකස් කර තිබෙන ඇස්තමේන්තු හා ඓතිහාසික සාක්ෂි මත පදනම් වූ නිගමන අනුව නිදහසට පෙර ලංකාවේ ආර්ථිකය නිදහසින් පසු වර්ධනය වූ වේගයෙන්ම හෝ වැඩි වේගයකින් වර්ධනය වී තිබෙනවා.

නිදහසින් පසු ලංකාව විසින් තෙවන ක්‍රමය අතහැර තෝරාගත් දෙවන ක්‍රමය මේ වන තුරුද ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමයයි. දැන් අර්බුදයට ගොස් තිබෙන්නේ මේ ක්‍රමයයි. 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වීමෙන් පසුව තෙවන ක්‍රමයේ සිට දෙවන ක්‍රමය දක්වා ලංකාව මාරු වුනා. ඇතැම් විට එසේ කිරීමෙන් පළමු ක්‍රමය දක්වා මාරු වීමෙන් සිදු විය හැකිව තිබුණු විනාශය වැළකුණා වෙන්න පුළුවන්. 1993 පමණ දක්වාම පළමු ක්‍රමයට ලංකාව තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා. දැන් වුවත් 3%කට නොවැඩි පිරිසක් මේ ක්‍රමයට කැමතියි.

අසාර්ථක සමගි පෙරමුණු පරීක්ෂණය හරහා ලංකාව තුළ පළමු ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය වන තුරු දෙවන ක්‍රමය වුවත් හරියකට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ හැත්තෑ හතේදී. මුලින් ශ්‍රීලනිප ක්‍රමයට ප්‍රතිවිරුද්ධ එජාප ක්‍රමයක් වූ මේ ක්‍රමය පසුකාලීනව ඉදිරියට ගෙන ගියේ රාජපක්ෂලා විසින්. දැන් මේ ආණ්ඩුව පෙනී සිටින්නේත් අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය වෙනුවෙන්. ඉගිලෙන්න ඉඩ ලැබෙන තුරු කොකාගේ සුද හරියට පෙනෙන්නේ නැහැ. දැන්නම් කොකාගේ සුද හොඳින් පේනවා.

නිදහසින් පසුව විශාල කාලයක් යන තුරු තෙවන ක්‍රමයට ලංකාව තුළ පිළිගැනීමක් තිබුණේ නැහැ. එයට හේතුව එම ක්‍රමයට විරුද්ධ වීම බොහෝ දෙනෙකු විසින් අධිරාජ්‍ය විරෝධයක් ලෙස දැකීම විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුදැන වදාරන ක්‍රමයද මේ ක්‍රමයයි. නිදහසින් පසුව ලංකාව තුළ මේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2002-2003 හා 2015-2019 කාල වකවානු වල පමණයි. එහෙත්, ඒ අවස්ථා දෙකෙන් එකකදීවත් එම ක්‍රමයේ සාර්ථකත්වය දිගුකාලීනව පරීක්ෂා කිරීමේ අවස්ථාව ලංකාවට ලැබුණේ නැහැ. මේ ක්‍රමය ලංකාවේ දැනටත් බහුතර පිළිගැනීමක් තිබෙන ක්‍රමයක් නෙමෙයි. කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් තවමත් ලංකාවේ බොහෝ දෙනෙක් කැමති දෙවන ක්‍රමයටයි.

දෙවන ක්‍රමය මේ වෙද්දී අර්බුදයට ගොස් ඇති බව ඉතා පැහැදිලියි. එම අර්බුදය හමුවේ එජාපය විසින් යෝජනා කරන්නේ තෙවන ක්‍රමය හෝ ඒ පැත්තට විතැන් වූ ක්‍රමයක්. ජවිපෙ විසින් පළමු ක්‍රමය පැත්තට විතැන් වූ ක්‍රමයක් යෝජනා කරනවා. සජබෙ තුළ විවිධ පාර්ශ්ව දැකිය හැකියි. ඇතැම් අයගේ ප්‍රවේශය එජාප ප්‍රවේශයට සමානයි. චම්පික හා සජිත් වැනි අය ආණ්ඩුවේ ප්‍රවේශය දැඩි ලෙස විවේචනය කරන නමුත් ඔවුන් සතු විකල්ප ප්‍රවේශයක් ගැන පැහැදිලිව නොකියන්නට ප්‍රවේශම් වන බව පේනවා. බොහෝ විට ඔවුන් පෙනී සිටින්නේ පවතින ආණ්ඩුව මෙන්ම, දෙවන ක්‍රමය පිළිසකර කර දිගටම පවත්වා ගෙන යාම වෙනුවෙන් විය හැකියි. ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේම කොටස් වුවද සිටින්නේ මෙවැනි තැනක කියා හිතන්න පුළුවන්.

දැන් ප්‍රශ්නය දෙවන ක්‍රමය පිළිසකර කර තවත් ඇදගෙන යා හැකිද කියන එකයි. මහ බැංකු අධිපති කබ්රාල් වැනි අය එසේ කළ හැකිය යන විශ්වාසයේ සිටිනවා. ආණ්ඩුවේම ඇතැම් කොටස් වලට ඒ විශ්වාසය නැහැ. මේ ක්‍රමය මුළුමනින්ම අත හැර දැමිය යුතු, කිසිදු ගත යුත්තක් නැති ක්‍රමයක් නෙමෙයි. නිදහසෙන් පසුව මේ ක්‍රමය හරහා ලංකාව විසින් ලඟා කරගත් බොහෝ දේ තිබෙනවා. ඉදිරියට යා නොහැක්කේ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගත් ඇතැම් ප්‍රවේශයන් සමඟයි. 

පවතින ක්‍රමය එලෙසම ඉදිරියට ගියොත් එය කෙටි කලක් තුළ සිදුවන විශාල විනාශයකින් කෙළවර විය හැකියි. එය වලක්වා ගත හැකි ක්‍රමය යම් කාලයක් දක්වා හෝ පළමු හෝ තෙවන ක්‍රමය වෙත විතැන් වීමයි. දැනට ආණ්ඩුව මේ ප්‍රවේශ දෙක අතර දෝලනය වෙමින් සිටිනවා. පළමු ක්‍රමය වෙත විතැන් වීම දිගුකාලීනව හානිකර ප්‍රවේශයක්. තෙවන ක්‍රමයෙන් දිගුකාලීනව යහපතක් මිස අයහපතක් සැලසෙන්නේ නැහැ. හැබැයි ඔය දෙකෙන් කොයි එක කළත් ලංකාවේ කේතුමතියක් පහළ වෙන්නේ නැහැ. කෙටිකාලීනව ගෙවිය යුතු මිල කොහොමටත් ගෙවන්නම වෙනවා.

41 comments:

  1. 'අපි දැන් මොකද කරන්නේ?'

    පේරා ඩිග්රියක් කරලා ඇමරිකාවට පැනලා ලංකාවේ අයට නැව් ටොක් දෙමු රට ඉදන්.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ නෙවේ පිටසක්වල ඉඳන් නැව් දහයක ටෝක් දුන්නත් ඔහේ වගේ ගොන් මැට්ටො ඉන්නකන් මේ රට හදන්ට බෑ.....

      Delete
    2. එක පාරක් ඇමරිකානු කාරයෙක් ගෙ නැව් talks වලට අහු උන කෙනෙකුට ඇති වෙන සාධාරණ බියක්

      Delete
    3. Fool.you don't know what's happening here. Econo is analysing the problem. You can't understand it.

      Delete
    4. Don't you know that Sri Lanka is run by American citizens? People like you are the first problem in Sri Lanka: doing anything to serve your masters. Shame.

      Delete
    5. I think this is just frustration, there is no way to solve problems in SL, even Economist just proposing so much proposals seems to be impracticable & to be honest, I have no faith on any of the politicians in SL and the proposers all over the world as well. No option at all.

      Delete
  2. මට නම් හිතෙන්නේ කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගෙන ඊළඟ ආණ්ඩුවට මෙක තල්ලු කරලා dayi

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න තිබුන මේ දැන් තියෙන මුලු සමාජ ආර්ථික ප්‍රශ්න නැතුව තිබුන නම්

      Delete
    2. නවීන්, පේපේන විදියට නන්දෙට ඕන කොහොම හරි මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න, මිනිහා එක එක මගුල් කරනවා හැබැයි ඒ එකක් වත් වැඩ කරෙන්නේ නෑ ඒකයි අවුල තියෙන්නේ

      දැනට ලංකාවේ ප්‍රශ්න එකට පැටලිලා මහ නූල් බෝලයක් වගේ වෙලා තියෙන්නේ මේකට කාටවත් පැහැදිලි උත්තරයක් නෑ, ඉකොනොමැට්ටා ඇතුලු බොහෝ දෙනෙක් පැත්තක ඉඳන් එක එක යෝජනා ගේනවා, ඒවා කරාම සුටුස් ගාල නැත්නම් හරියනවා කියල ඒ අය හිතන් ඉන්නවා, ඉකොනොමැට්ටා නම් කපටි කමට එයාගේ යෝජනාව වන රුපියල අවප්‍රාමාන කරන එක කරාම මුලදි හෙන අමාරු වෙයි ඒත් දන්නෙම නැතුව තව අවුරුදු පහළොවක් විස්සක් යනකොට සේරම ප්‍රශ්න විසඳෙනවා කියල කියනවා, මොකෝ අපි අවුරුදු පහළොවක් බලන් ඉඳලා "කෝ දැන් විසඳුනාද?" කියලා අහන එකක්යෑ. මට නම් එකොනොලා සහ වෙනත් එක එක ඔස්තාර්ලා ගේ යෝජනා ගැන නම් දැන් මේ ගොබ්බ ආණ්ඩුව කරන විකාර මළ මගුල් ගැන තරම් වත් විශ්වාසයක් නෑ.

      Delete
    3. රුපියල පා කල පමනට රටවල් දියුනු වෙනව කියල ඉකොනො කියන්නෙ නෑ බන්. මිනිස්සුන්ට ඒ තුලින් වෙලද තරගයට මුහුන දෙන්න පුලුවන් වෙනව කියල ඉකොනො කියන්නෙ. ලන්කාවෙ කම්මැලි හරක් එක්කනම් ඉතින් මොනව වෙඉද දන්නෙ නෑ.

      Delete
    4. නන්දෙට කිසිම උවමනාවක් නෑ ඇනෝ. ඒවා මිනිස්සු රවට්ටන්න දාන බොරු සෝබන😅😅😅

      රුපියල අවප්‍රමාණය කරන එක ආනයන ආර්ථිකයක ඉන්න ලංකාවට සුභදායී නෑ
      @ඉකොනො ලංකාවට ඩොලර් ආර්ථිකයකට යන්න බැරිද?

      Delete
    5. //@ඉකොනො ලංකාවට ඩොලර් ආර්ථිකයකට යන්න බැරිද?//

      ඩොලර් ආර්ථිකයකට යනවා කියන්නේ සල්ලි අච්චු ගැසීමේ හැකියාව නැති වෙනවා කියන එක. සල්ලි අච්චු ගැසීම සීමා කරනවානම් රුපියල්ම තිබුණත් ඩොලර් ආර්ථිකයකට ගියා වගේ තමයි. ප්‍රශ්නය අයවැය හිඟය. සල්ලි අච්චු ගහන්නේ නැතුව අයවැය හිඟය පියවන්නේ කොහොමද? විසඳිය යුතු මූලිකම ප්‍රශ්නය අයවැය හිඟයයි.

      Delete
    6. //මට නම් එකොනොලා සහ වෙනත් එක එක ඔස්තාර්ලා ගේ යෝජනා ගැන නම් දැන් මේ ගොබ්බ ආණ්ඩුව කරන විකාර මළ මගුල් ගැන තරම් වත් විශ්වාසයක් නෑ.//

      බොහෝ දෙනෙක් කරන වැරැද්ද එකොනොලා සහ වෙනත් එක එක ඔස්තාර්ලාගේ යෝජනා විශ්වාස කරන්න යාමයි. කළ යුත්තේ විශ්වාස කිරීම නෙමෙයි. කාගේ වුවත් යෝජනාවක ශක්‍යතාවය ප්‍රශ්න කර, පරීක්ෂාවට ලක් කර එය ශක්තිමත් යෝජනාවක් සේ තමන්ටම පෙනේනම් අවබෝධයකින් යුතුව තමන්ගේම යෝජනාවක් කර ගෙන ඒ වෙනුවෙන් ජනමතයක් හැදීමයි.

      //රුපියල අවප්‍රාමාන කරන එක කරාම මුලදි හෙන අමාරු වෙයි ඒත් දන්නෙම නැතුව තව අවුරුදු පහළොවක් විස්සක් යනකොට සේරම ප්‍රශ්න විසඳෙනවා කියල කියනවා, මොකෝ අපි අවුරුදු පහළොවක් බලන් ඉඳලා "කෝ දැන් විසඳුනාද?" කියලා අහන එකක්යෑ.//

      ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධානම ප්‍රශ්නයක් මෙහි තිබෙනවා. ගොඩක් අය හොයන්නේ ක්ෂණික නූඩ්ල්ස් විසඳුම්. එහෙත් රටකට අවශ්‍ය වන්නේ ස්ථිර දිගුකාලීන ප්‍රතිපත්තියක්.

      Delete
    7. ඉකොනො අයවැය හිඟය නම් ඔඩුදුවපු ලොකු තුවාලක් නේද?

      අතිරික්ත රාජ්‍ය සේවකයන් ඉවත් කිරීම හා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය වගේ දේවල් නේද කරන්න වෙන්නෙ.

      ඒවා කරන්න ගියාම තවත් ප්‍රශ්න ඇති වෙනවා හැබැයි විරැකියාව වගේ. දීප්ති කියන උදාහරණය තමයි පාලක් හැදුවම තොටියන්ට රස්සා නැති වෙනවා වගේ කියලා.

      ආනයන ආර්ථිකයක ඉන්න ලංකාවට වඩාත් යහපත් වෙන්නෙ රුපියල අවප්‍රමාණයද?
      දිගුකාලීනව අයවැය හිඟය එහෙම අඩු කරගන්න පුලුවන් නම් රුපියල අධිප්‍රමාණය කර ගැනීමද?

      Delete
    8. //ඉකොනො අයවැය හිඟය නම් ඔඩුදුවපු ලොකු තුවාලක් නේද?//
      මේක තමයි අනෙක් හැම ප්‍රශ්නයකම මූල ප්‍රශ්නය.

      //අතිරික්ත රාජ්‍ය සේවකයන් ඉවත් කිරීම හා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය වගේ දේවල් නේද කරන්න වෙන්නෙ.

      ඒවා කරන්න ගියාම තවත් ප්‍රශ්න ඇති වෙනවා හැබැයි විරැකියාව වගේ. දීප්ති කියන උදාහරණය තමයි පාලක් හැදුවම තොටියන්ට රස්සා නැති වෙනවා වගේ කියලා.//

      ඔව්. ප්‍රශ්නය විසඳන්න යම් කාලයක් යන්නේ ඒ නිසා. ක්ෂණික නූඩ්ල්ස් විසඳුම් නැහැ. දැනට ඉන්න රාජ්‍ය සේවකයින් අස් කරලා දමන එක ප්‍රායෝගිකව කරන්න බැහැනේ. නමුත්, තව දුරටත් රාජ්‍ය සේවය විශාල නොකර ඉන්න පුළුවන්. ඉන්න අය විශ්‍රාම ගනිද්දී හෝ අස් වෙලා යද්දී පුරප්පාඩු ඒ තරමටම නොපුරවා ඉන්න පුළුවන්. අත්‍යවශ්‍ය පුරප්පාඩු දැනටම රාජ්‍ය සේවයේ වෙනත් තැනක ඉන්න අයගෙන් පිරවිය හැකියි. විරැකියාව ප්‍රශ්නයක්නම් කළ යුත්තේ නිකම් සල්ලි දෙන එක. එය දැන් සිදුවන දෙයට වඩා හොඳයි. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කියන එකත් දැන් සිදුවන ආකාරයේ ආකෘතිමය ප්‍රශ්නයක් තිබෙනවා. දැන් හැම විටම වගේ වෙන්නේ විදේශිකයන්ට විකුණන එක. එහිදී බොහෝ විට ඉලක්කය වන්නේ ක්ෂණිකව ඩොලර් ටිකක් හොයා ගන්න එක. එහෙත් එහිදී අනාගතයට outward cashflow එකක් හැදිලා විදේශ විණිමය ප්‍රශ්නය උග්‍ර වෙනවා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ ඉලක්කය විය යුත්තේ එය නෙමෙයි. මේවා දේශීය ව්‍යවසායකයන් සතු වන (ස්වභාවික) ක්‍රමයකුයි අවශ්‍ය වන්නේ. එය කළ හැකි දෙයක්. කෙටියෙන් ලියන්න බැහැ.

      //ආනයන ආර්ථිකයක ඉන්න ලංකාවට වඩාත් යහපත් වෙන්නෙ රුපියල අවප්‍රමාණයද?//
      ලංකාව දිගටම ආනයන ආර්ථිකයක සිටිය යුතුද? ඒ තත්ත්වය වෙනස් විය යුතුද? සැලසුම් හැදිය යුත්තේ ඉලක්කය දෙස බලාගෙන.

      //දිගුකාලීනව අයවැය හිඟය එහෙම අඩු කරගන්න පුලුවන් නම් රුපියල අධිප්‍රමාණය කර ගැනීමද?//
      ප්‍රශ්නය හරියටම තේරුණාද මන්දා. දිගුකාලීනව අයවැය හිඟය එහෙම අඩු කරගන්න පුලුවන් නම් රුපියල ඇත්තටම අධිප්‍රමාණය කර ගත හැකියි. සිංගප්පූරුව වැනි රටවල සිදු වුනේ එයයි.

      Delete
    9. බොහොම ස්තුති ඉකොනො,

      රාජ්‍ය සේවකයන්ගෙන් දැනට 50%ක්ම අතිරික්තයක් ලු.

      ලංකාව කුඩා රටක් නිසා ගොඩක් අත්‍යාවශ්‍ය දේවල් ආනයනය කරනවනෙ. හැමදේම නිපදවන්න ගියාම දරන්න වෙන අධික පිරිවැය ඔබ දන්නවනෙ මේ පිලිබදව....

      සාපේක්ෂ වාසි වගේ ඒවා එක්ක බලපුවාම අපිට සේවා අර්ථිකයකට යන එක වාසි දායක වෙන්න පුලුවන්ද?

      පිලිපීනය එහෙම ගොඩක් ශ්‍රමිකයො විදේශ රට වලට යවනවා වගේ එකක්.
      ලංකාවෙ ගොඩක් ජනග්‍රහනය ඔන්න නිසා ඒක කොච්චර ගැලපෙයිද?
      හැබැයි පවුල දුරස් වීම තුල සමාජ ප්‍රශ්න උද්ගත වෙන්න පුලුවන් නේද ගොඩක්?

      අනික් සිංගප්පූරුව කලු සල්ලි එහෙම මුලින් සෑහෙන්න ඇදලා අරගෙන සුදු කරාලු නේද?

      Delete
    10. //සාපේක්ෂ වාසි වගේ ඒවා එක්ක බලපුවාම අපිට සේවා අර්ථිකයකට යන එක වාසි දායක වෙන්න පුලුවන්ද?//

      මම කතා කරන්නේ භාණ්ඩ හා සේවා ආනයන/ අපනයන දෙකම සමස්තයක් ලෙස අරගෙන. භාණ්ඩ වෙළඳපොළ දෙස පමණක් බලලා නෙමෙයි, සේවා ගිණුමේ අතිරික්තයක් තිබේනම් වෙළඳ ගිණුමේ ඊට සමාන හිඟයක් තිබුණාට කමක් නැහැ. රුපියල අවප්‍රමාණය කිරීම සේවා ආර්ථිකයටත් වාසිදායකයි. හැබැයි ශ්‍රමික ප්‍රේෂණ මත පරායත්ත වීම දිගුකාලීනව හොඳ දෙයක් නෙමෙයි. දැනට වාසිදායක වුවත් එහි දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.

      Delete
  3. මෙතන 3 විකල්පෙ නිදහස් වෙළඳපොල කියන එකෙන් අදහස් කරන්නෙ පූර්ණ තරඟකාරී වෙලඳපොල ද?

    ReplyDelete
    Replies
    1. පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ සෛද්ධාන්තික අදහසක්නේ, නවීන්. මම මෙහි කළේ ප්‍රායෝගිකව පෙනෙන දේ මත පදනම්ව ලිහිල් හා දළ වර්ගීකරණයක් කරන එක. ඔය විදිහට බෙදුවත් සමහර කරුණු හා අදාළව ඔය අවස්ථා තුනේදීම රාජ්‍ය ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් දැකිය නොහැකියි. උදාහරණයක් විදිහට සුබසාධිත අධ්‍යාපනය, සුබසාධිත සෞඛ්‍යය, රාජ්‍ය බැංකු, විදුලිබල මණ්ඩලය ආදී දේවල් ගැන රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් වුවත් වෙනස් විදිහකට කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම වෙනස්කම් තියෙන්නේ අයවැය පරතරය, සල්ලි අච්චු ගහන ප්‍රමාණය, බදු ප්‍රතිපත්ති, විණිමය ප්‍රතිපත්ති ආදී සාර්ව ආර්ථික කරුණු සම්බන්ධව.

      Delete
    2. @ඉකොනො ඕවා නොදන්න උදවිය නෙමෙයි ආණ්ඩුවෙ, රජයෙ ආයතන වල ඉන්නෙ.

      ලංකාවෙ මිනිස්සු දැනුවත් නෑ. නියෝජිත ප්‍රජාතන්තවාදය නිසා හැම එකාලම ඡන්දෙ ගන්න පුලුවන් දේවල් තමයි කරන්නෙ ඒකයි අවුල.

      ඔය කියන සාර්ව ආර්ථික දේවල් මේ වන තුරු යම් කිසි වැරදි විදියකට උනා නම් එහෙම වෙන්න හේතුව විදියට මොකක්ද දකින්නෙ?

      Delete
    3. ඔබම කියල තියෙනවනේ "ලංකාවෙ මිනිස්සු දැනුවත් නෑ. නියෝජිත ප්‍රජාතන්තවාදය නිසා හැම එකාලම ඡන්දෙ ගන්න පුලුවන් දේවල් තමයි කරන්නෙ ඒකයි අවුල." කියලා.

      ඒ එක්කම මේකත් කියන්න අවශ්‍යයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයක් නැති කමේ ප්‍රශ්නයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ ජනගහණයෙන් ඡන්දයකට ඉදිරිපත් වන ප්‍රතිශතය කොපමණද? ඡන්දයකට ඉදිරිපත් වන අය කරන්නේ ඡන්දෙ ගන්න පුලුවන් දේවල්නම් ඡන්දයකට ඉදිරිපත් නොවන විශාල පිරිසක්ද ඒ දේවල් වෙනුවෙන්ම පෙනී සිටින්නේ ඇයි?

      Delete
    4. ප්‍රජාත්න්ත්‍රවාදය උදෙසා මිනිස්සුන්ට පූර්ණ දැනුමක්, පූර්ණ තොරතුරු තියෙන්න ඕනි රටේ බහුතරයක් මහජනයාට තාම තොරතුරු යන්නෙ tv ජනමාධ්ය හරහා. ඉතින් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නෙ?
      media වලින් හදන මත විතරයි තියෙන්නෙ.

      ඕ අනිවාරෙන්ම එකගයි ප්‍රජාතන්ත්‍රවාදයේ නෙමෙයි අවුල ඒක ක්‍රියාතමක වෙන විදියෙ..

      Delete
    5. @ නවීන්,

      ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලන ක්‍රමයක් මෙන් ම ජීවන ක්‍රමයක් ද වන අතරම මහජන
      කැමැත්ත පදනම් කර ගෙන ගොඩනැඟී ඇති පාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සරලව කියතහැකි. (සිංහල භාෂාවේ “ප්‍රජා” යන්නෙන් “මහජනතාවත්” තන්ත්‍රය යන්නෙන් “පාලනයත්” හැඳින්වේ. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනතාවගේ පාලනය ලෙස සරලව හැඳින්විය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයට ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන්නේ Democracy යන වචනයයි. එය ග්‍රීක භාෂාවේ Dimos, හා Kratos, යන වචනවලින් ගොඩනැඟී Dimos, යන වචනයෙන් ජනතාවත්, Kratos, යන
      වචනයෙන් පාලනය යන්නත් අර්ථ ගැන්වේ -Define.)

      Democracy = මහජනයා විසින් මහජනයා උදෙසා ක්‍රියාත්මක කරනු ලබන මහජන පාලන
      ක්‍රමයකි - ඒබ්‍රහම් ලින්කන්

      ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සියලු දෙනාට ම අයිතිවාසිකම් හිමි වන පාලන ක්‍රමයකි, ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් ලෙස මෙන් ම ජීවන ක්‍රමයක් ලෙස ද වැදගත් වේ. සෑම පුද්ගලයකු ම තම යුතුකම් ඉටු කරමින් අයිතිවාසිකම් භුක්ති විඳීම, අන්‍ය මත ගරු කිරීම, සාකච්ඡා මඟින් තීරණවලට එළඹීම, සමානාත්මතාව ගරු කිරීම වැනි ගුණාංග ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක ගති ලක්ෂණවලට නිදසුන් කිහිපයකි. එම ගුණාංග පුරවැසියාගේ ජීවන දර්ශනයක් බවට පත කර ගැනීම වැදගත්.

      වර්තමානයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන රටවල ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඍජුව මහජන කැමැත්ත විමසීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් ඉඩ සලසා ඇත. එලෙස භාවිතයට ගන්නා ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට නිදසුනක් ලෙස ජනමත විචාරණ හැඳින්විය හැකි, අප රටේ ද ජනමත විචාරණ පැවැත්වීම වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නීති ගත කර තිබේ.

      බහුතර කැමැත්ත මත නියෝජිතයන් මඟින් පාලන කටයුතු මෙහෙයවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික ලක්ෂණයයි,
      ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය තීරණය වීම කෙරෙහි බලපාන සාධක

      01. ජනතාවගේ දේශපාලන දැනුම සහ අවබෝධය ඉහළ මට්ටමක පැවතීම
      02. ජනතාව පාලකයන් තෝරා පත් කර ගැනීමේ දී බුද්ධිමත් තීරණ ගැනීම
      03. කැපවීමෙන් කටයුතු කරන අවංක සහ උදාර නායකත්වයක් පැවතීම
      04. රට තුළ යහපත් ආර්ථික මට්ටමක් පැවතීම
      05. ජනමාධ්‍ය නිදහස ක්‍රියාත්මක වීම
      06. රට තුළ නීතියේ ආධිපත්‍යය පැවතීම
      07. ආණ්ඩුවේ කාර්ය පැහැදිලිව හඳුනා ගත හැකි වන පරිදි බෙදා වෙන් කර
      තිබීම
      08. ප්‍රබල විරුද්ධ පක්ෂයක් තිබීම

      අයිතිවාසිකම් භුක්ති විඳීමේ දී අපෙන් සමාජයට ඉටු විය යුතු කාර්යභාරය යුතුකම් ලෙස හැඳින්විය හැකි ය. සෑම අයිතිවාසිකමක් ම හා බැඳුණු යුතුකමක් ද පවතී. අයිතිවාසිකම් හා යුතුකම් එක ම කාසියක දෙපැත්ත මෙන් එකට බැඳී පවතී. ලාංකිකයන් වන අපට යුතුකම් ඉටු කිරීම ඈත අතීතයේ සිට ම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවකි. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක සාමය, සහජීවනය, සමගිය
      සහ සමාජ ආරක්ෂාව තහවුරු වීමට ද යුතුකම් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ.

      1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි ව්‍යවස්ථාව මගින් ද පුරවැසියකු විසින් ඉටු කළ යුතු
      මූලික යුතුකම් කිහිපයක් දක්වා තිබේ. ඒවා පහත දක්වා ඇත.

      01. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම
      02. ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම
      03. තමන් විසින් තෝරා ගනු ලැබූ රැකියාවෙහි කටයුතු හෘදය සාක්ෂියට එකඟව
      නොපිරිහෙළා ඉටු කිරීම
      04. පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට
      ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහිව ක්‍රියා කිරීම
      05. සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම
      06. ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම

      Delete
    6. සෑම පුරවැසියකු ම අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ නීතිමය රාමුවට යටත්වයි. එසේ නොවුණහොත් තවත් කෙනකුගේ අයිතිය උල්ලංඝනය වී (පුරවැසියකුට මාර්ගයක ගමන් කිරීමට අයිතිය ඇතත් එසේ ගමන් කළ යුත්තේ මාර්ග නීතිරීතිවලට යටත්ව), රැකියාවක් කිරීමට සෑම පුද්ගලයකුට ම අයිතියක් ඇතත් එය නීත්‍යනුකූල රැකියාවක් විය යුතු ය.
      වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට අයිතිය ඇතත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග රටේ පවතින නීතියට පටහැනි නොවිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පොදු සමාජ ශුභසිද්ධිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සාමකාමී සමාජ පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ද අයිතිවාසිකම් භුක්ති විඳීමේ සීමා පනවා තිබේ. යුදමය තත්ත්වයක් පවතිද්දී මාධ්‍ය වාරණ පැනවීම, පොදු දේපළ හා ජීවිත හානි සිදු විය හැකි අවස්ථාවල දී උද්ඝෝෂණ, පෙළපාළි, පිකටින් තහනම් කිරීම ඒ සඳහා නිදසුන් කිහිපයකි. මෙවැනි අවස්ථාවල පනවන වාරණ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ. එය සමාජ යහපත සඳහා මෙන් ම ජාතික සංවර්ධනය සඳහා ද බෙහෙවින් ඉවහල් වේ.

      දේශපාලන පක්ෂයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ යම් ප්‍රතිපත්ති මාලාවක් පදනම් කර ගෙන ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සංවිධානය වූ පුද්ගල කණ්ඩායමකි.

      දේශපාලන පක්ෂයක කාර්යභාරය

      01. විසිරී ඇති මහජන මතය ඒකරාශි කිරීම
      02. තම පක්ෂයේ අරමුණ හා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කිරීම
      03. අනාගත නායකයන් පුහුණු කිරීම
      04. ජනතාව දැනුම්වත් කිරීම
      05. තම පක්ෂයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ
      ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලට ගරු කිරීම
      06. ආණ්ඩු බලය අල්ලා ගැනීම සඳහා අනෙක් දේශපාලන පක්ෂ සමග තරග වැදීම
      07. සමාජ ශුභසාධන සේවා සැපයීම

      යම් රටක පක්ෂ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ නම් එවැනි රටවල් බහු පක්ෂ ක්‍රියාත්මක වන රටවල් ලෙස හැඳින්වේ. ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පක්ෂ කිහිපයක් එකට එකතු වීම බහු පක්ෂ ක්‍රමයක් සහිත රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. (නිදසුන්- ලංකාව/ ඉන්දියාව etc.)

      රටක විවිධ අදහස් සහිත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිටිනු ඇත. ඒ සියලු දෙනා පොදු අරමුණක් කරා මෙහෙයවීම දේශපාලන පක්ෂ විසින් කළ යුතු කාර්යයකි. එහිදී දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පමණක් පක්ෂයක් කටයුතු නොකළ යුතු ය.

      රටක සමාජ සංවර්ධනය ඇති කිරීමේ ප්‍රබල වගකීමක් හිමි වන්නේ දේශපාලන පක්ෂවලටයි.

      රටක සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒවා ඉටු කර ගැනීම සඳහා සකස් කරන දිගු කාලීන වැඩපිළිවෙළ ජාතික ප්‍රතිපත්තියක් වේ. එය දේශපාලන පක්ෂ භේදයෙන් තොර විය යුතු ය, රටේ සංවර්ධනය ඉලක්ක කර ගත යුතු ය. ජාතික ප්‍රතිපත්ති, පාලකයන්ගේ පෞද්ගලික අවශ්‍යතා හෝ අභිමතාර්ථ හෝ ඉටු කර ගැනීම සඳහා නොව ජාතික අභිවෘද්ධිය උදෙසා විය යුතු ය. එය කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද අඛණ්ඩව ඉදිරියට ගලා යන එකක් විය යුතු ය.

      Delete
    7. බොහොම ස්තුති ඇනො. සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදයකට ඕනි කියන ලක්ෂණ එකක්වත් ලංකාවෙ නෑනෙ.ඉතින් ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නෙ ගොං තකතීරු ප්‍රජාතන්ත්‍රවාදයක්.

      හැබැයි රටේ නියම ජහමනයගෙ හරස්කඩක් අපිට පාර්ලිමේන්තුව දිහා බලපුවාම දැක ගන්න පුලුවන්. ඉතින් තව මොන කතාද?

      අයිතිවාසිකම් වල පරිසරය රැක ගන්න එක නම් කරන්න බෑනෙ කොහොමත්.

      Delete
    8. ඇනො. ලංකාවෙ ජහමනයා අඩුම ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔබ දැන් පලකරපි විස්තර ටිකවත් යුතුකම්, වගකීම් පිලිබඳව දන්නෙවත් නෑ.

      මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ගමේ පාර, ගමට කරන්ට් එක, ගෙවල්, රස්සා, මරණෙට ආවද, මගුලට ආවද, පරම්පරාවෙන් කාටද දුන්නෙ ඔන්න ඔය වගේ විකාර එක්ක බලලා.

      ඉතින් මිනිස්සුන් මුලින් දේශ්පාලනිකව සවිඥානික කල යුතු නොවේද?

      Delete
    9. //AnonymousNovember 25, 2021 at 7:30 AM//

      දිගු ප්‍රතිචාරයට ස්තුතියි!

      Delete
  4. පාර්ලි‌‌මේන්තුව ඇතුලෙ වට්ටක්කා වම්බටු ගැන කතා වෙනකොට ඒවයේ යටිපෙළ අරුත ගැන හොයන්න ඕන වගේ ගම්මන්පිල ඩොලර් නෑ සල්ලි නෑ කියනකොටත් යටිපෙල තමයි "මාටියා ගහන්න විදියක් නෑ" කියන එක.නැතුව රටේ ප්‍රශ්නෙ තේරිලා නෙවෙයි. ඉඩක් ලැබුනොත් ගැහිල්ලම තමයි. ඉන්දියාවෙන් ගෙන්නපු යුරියා පොහොර බෝතල්වලිනුත් ගහල තියෙන්නේ.

    ReplyDelete
  5. ක්‍රමය වැරදි- ප්‍රශ්න තිබේ- දැන් තේරේ
    කටේ නරිවදන් රෙදි පල්ලෙන් බේරේ
    උත්තර හොයන්නේ ඇත්තටමයිද? දොරේ
    හඬද පඩේ හඬද බලමු හුරේ!

    ReplyDelete
    Replies
    1. නිදි මාමෙ,
      ප්‍රශ්නයක් තියෙන බව සහ ඒකට ගන්න ඕනි ක්‍රියාමාර්ග මොනවද කියන එක හරි මිනිස්සු ටික ටික දැන ගන්න එක වටිනවා නේද?
      එතකොට නේද මතවාදයක් අලුතින් ගොඩ නගන්න පුලුවන්.

      සිස්ටම් එකේ අවුලක් කියන්නෙ අපි එකිනෙකා තමන් තුල තියෙන අවුල් වල එකතුවක්.

      අපි ඒකයි තේරුම් ගන්න ඕනි. අපේ අවුල අපි කරන වැරදි සිසටම් එකට දාලා හැමෝම අත් පිහදා ගන්නයි බලාගෙන ඉන්නෙ.

      මිනිස්සු සහ සමාජය වෙනස් කරන්න ඕනි මතවාදයකින් නේද?

      Delete
  6. මේ තියෙන්නේ ලංකාව ලෙහෙසියෙන් දියුණු කරන්න පුළුවන් පැහැදිළි ක්රමයක්,

    https://www.facebook.com/100044431986343/posts/437597447731318/

    ලංකාවේ තිරිකුණාමලය කියන එක දිස්ත්‍රික්කයක සම්පත්වලින් අපේ රට ගොඩ දාන්න පුළුවන් කියල අපිට විශ්වාසයි. අපිට අවස්ථාවක් දෙන්න;


    සම්පූර්ණ කතාව ;

    https://www.youtube.com/watch?v=WbWoX1dh4BU

    ReplyDelete
    Replies
    1. ජවිපෙ තවමත් ඉන්නේ ලංකාවට නිදහස ලැබෙද්දී බොහෝ දෙනෙක් අතර ජනප්‍රියව තිබුණු "මේක පින් බිමක්" ප්‍රවාදයේ. ඒ ප්‍රවාදයේ සාරාංශය ගත්තොත් මහන්සියෙන්, උත්සාහයෙන් හා කැපවීමෙන් තොරව පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් සම්පත් රටේ ඕනෑ තරම් තිබෙනවා (ජවිපෙ විසින් මහන්සිය, උත්සාහය හා කැපවීම නොසලකා හරිනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ නිශ්චිත ප්‍රවාදය හා අදාළ සන්දර්භය ගැන). නිදහසට කලින්නම් ඒවා සුද්දා හොරකම් කරගෙන හෝ පැහැරගෙන ගියා. නිදහසින් පසුව එක්තරා සීමිත පිරිසක් විසින් හොරකම් කරනවා. ඒ හොරකම් නැවැත්තුවොත් කේතුමතිය පහළ වෙනවා. රටේ හැමෝටම මහන්සියක්, උත්සාහයක්, කැපවීමක් නැතුව හොඳට කාලා, ඇඳලා ඉන්න පුළුවන්.

      නිදහසට පෙර සුද්දා අපේ සම්පත් අරගෙන යන එක නැවතුනොත් අපේ ජීවන තත්ත්වය බොහෝ යහපත් වෙනවා කියන අදහස ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා. මෙය ජනප්‍රිය වුනා නෙමෙයි මාක්ස්වාදීන් විසින් ජනප්‍රිය කළා. ඒ කතාව සූරාකෑම පිළිබඳ මාක්ස්ගේ සුරංගනා කතාව සමඟ වගේම රට තුළ ස්වභාවයෙන්ම පැන නැගුනු අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදය සමඟ හොඳින් පෑහුනා. සුද්දා ගියා. ඊට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට තමන් බලාපොරොත්තු වූ පරිදි මහන්සියක්, උත්සාහයක්, කැපවීමක් නැතුව රජයෙන් නොමිලේ දෙන සම්පත් පරිභෝජනය කරන්න අවශ්‍ය වුනා. සුද්දාව එළවීමත් සමඟ සුද්දා විසින් සිදු කළ අගය එකතු කිරීම්ද නැතුව ගිය නිසා සුද්දා ඉතිරි කර ගිය දේ ඉතා ඉක්මණින් අවසන් වුනා. ණය චක්‍රය පටන් ගත්තේ එයින් පසුවයි.

      සමාජවාදී පක්ෂ සෘජුව ලංකාවේ බලය ගත්තේ නැතත් එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු හරහා දිගටම සමාජවාදී ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක වුනා. එම පක්ෂ දෙකට අනෙකුත් වාමාංශික පක්ෂ වලට වඩා වඩා ජනප්‍රිය වෙන්න පුළුවන් වුනේ සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය (internalize) කර ගැනීම මගින්. හොරකම්, දූෂණ හා නාස්ති ඇති වුනේත්, ඇති වී තිබෙන්නේත් මේ සමාජවාදී රාජ්‍යකරණයේ ප්‍රතිඵලයක් විදිහට. රජයේ ඒකාධිකාරී බලය වැඩි කරමින් හොරකම්, දූෂණ හා නාස්ති පාලනය කරන්න අමාරුයි. හොරු නොවන මිනිස්සු හොයනවා වෙනුවට මිනිස්සු ඕනෑම වෙලාවක හොරු විය හැකියි කියන පදනමේ සිට හොරකම්, දූෂණ හා නාස්ති වලට ඉඩක් නැති ලෙස ක්‍රමය වෙනස් කිරීමයි කළ යුත්තේ. එය කළ හැක්කේ රජය සතු බලතල සීමා කිරීමෙන් පමණයි. ඔය හොරකම් කතාව සුද්දා එළෙවුවාම හැම දේම හරියනවා කියන කතාව වැරදුනාට පසු ඒ වෙනුවට හදාගත් ආදේශකයයි. මාක්ස්වාදීන්ට ඕනෑම ප්‍රශ්නයකට එකම හේතුව සූරාකෑම. ඉතිං කොහෙන් හරි සූරාකන්නෙක් ආදේශ කරන්නම වෙනවා. මෙයින් මම අදහස් කරන්නේ හොරකම්, දූෂණ හා නාස්ති සිදු නොවන බව හෝ ඒවා සිදු වීමේ ප්‍රශ්නයක් නැති බව නෙමෙයි. ඒවා ප්‍රශ්න තමයි. සමහර විට ජවිපෙට බලය ලැබුනොත් යම් කාලයක් දක්වා හොරකම්, දූෂණ හා නාස්ති අවම වෙයි. හැබැයි දිගුකාලීනව මනුෂ්‍ය ස්වභාවය වෙනස් කරන්න බැහැ. අවකාශ ඇති විට මිනිස්සු හොරකම් කරනවා. හැමෝම එසේ නොකළත් යම් පිරිසක් එසේ කරනවා. ඒ නිසා, විශාල රාජ්‍යයක් නඩත්තු කරන තුරු හැමදාම හොරු අල්ල අල්ල ඉන්න වෙනවා.

      මහන්සියක්, උත්සාහයක්, කැපවීමක් නැතුව ටයිටේනියම් විකුණලා සල්ලි හොයනවා කියා කියන්නෙත්, මහන්සියක්, උත්සාහයක්, කැපවීමක් නැතුව හම්බන්තොට වරාය විකුණලා සල්ලි හොයනවා කියන්නෙත් සංකල්පීය වශයෙන් එකම දෙය. මගේ තක්සේරුව අනුව ලංකාව කියන්නේ මහන්සියක්, උත්සාහයක්, කැපවීමක් නැතුව හොඳට කාලා, ඇඳලා ඉන්න පුළුවන් තරමට විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටක් නෙමෙයි. (සමන්ත විද්‍යාරත්නට අනුව හාරන්න අවශ්‍යත් නැහැ. ඉන්දියන් සාගරයෙන් අඛණ්ඩව වටිනා ලෝහ පුල්මුඩේ වෙරළට ගෙනත් දානවා. අපිට තියෙන්නේ හරි තාක්ෂනය හොයාගෙන නිස්සාරණය කරලා විකුණාගෙන කන්න විතරයි. මම භූ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් නොවන නිසා මේ කතාව පදනමක් නැතුව විවේචනය කරන්න යන්නේ නැහැ.) යම් හෙයකින් එවැනි විශාල සම්පත් ප්‍රමාණයක් ලංකාවෙන් හමු වුනත් එයින් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණයි. හොඳම උදාහරණය ලිබියාව.

      Delete
    2. ඉකොනො ඇයි හයිටියත් හොඳ උදාහරණයක් නේද සම්පත් විකුනන එකට. (ටයිටේනියම්)
      ලිබියාවට, ඉරානයට, හයිටියට විනාශ උනේ ධනවාදී ඇමරිකාව දුන්න ගේම් නිසා කියන එකත් අමතක කරන්න හොඳ නෑ.

      ලංකාවටත් චීනෙට විකිණෙන්න වෙන්නත් පුලුවන් දිගටම ගියොත්.....

      ජවිපෙට නම් ඕක කරන්න බැරි බව මගෙත් අදහස...

      මෙතනදි වැරදි නොකරන තත්වෙකට පත් කරන්න නම් රටට හොඳ නීති ඕනි වගේම මතවාදී වෙනසක් නේද ඕනි?

      මොකද මිනිස්සු ආකල්ප එක්ක නේද හැමදෙයක්ම වෙන්නෙ.

      මිනිස්සුන්ගෙ ආකල්ප හදාගන්න ගමන් රට හදාගන්න දිගුකාලීන වැඩපිලිවෙලක් මේ දැනට ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක ගැලපෙයි ද නොගැලපෙයි ද?

      Delete
    3. //මෙතනදි වැරදි නොකරන තත්වෙකට පත් කරන්න නම් රටට හොඳ නීති ඕනි වගේම මතවාදී වෙනසක් නේද ඕනි?//

      ඔබේ යෝජනා දෙක ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔය දෙකම ඉක්මණින් හෝ පහසුවෙන් කළ නොහැකි දේවල්. මගේ යෝජනාව රජයේ ප්‍රශ්න externalize කරලා නැවත මිනිස්සුන්ගේ ප්‍රශ්න බවටම පත් කිරීම. එවිට රජය නිදහස්. හැබැයි ඒ එක්කම රජයට තිබෙන බලයත් නැති වෙනවා. ජවිපෙ යෝජනා කරන එකේ අනෙක් පැත්ත. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මේ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ. නමුත් අර්බුදය ඔඩු දුවා ආණ්ඩු කිරීම රත් වූ හට්ටියක් අතේ තියා ගැනීමක් වූ විට මේ වැඩේ කර ගන්න ඉඩක් විවර වනවා. කෙටියෙන් කිවුවොත් යම් සීමාවක් තුළ බදු මුදල් වියදම් කරන ආකාරය බදු ගෙවන අයටම තීරණය කරන්න ඉඩ දීම. ලංකාවේ අයවැය ප්‍රශ්නය විසඳීම සඳහා මා දකින වඩාත්ම ශක්‍ය ක්‍රමය මෙයයි. විස්තරාත්මකව පැහැදිලි කළ යුතු දෙයක්.

      Delete
    4. දැනුත් ආණ්ඩුව ප්‍රශ්න ටික කෙලින්ම මිනිස්සුන්ට දැනෙන්නම දෙනවනෙ. ඕක සාර්ථක වෙන එකක් නෑ ලංකාවට මට පේන විදියට, අනික ශෝට්කට් වලට වඩා දිගු කාලීන් වැඩක් සෑම අතකින්ම වගේ යහපත් වේවි.
      අපි බලමූ ප්‍රශ්න සහගත යුගය කොහොම ඉවර වෙයි ද කියලා

      ලංකාවෙ අපනයන ගොඩක්ම විදේශ අමුද්‍රව්‍ය මත පදනම් වීම නිසා රුපියල අවප්‍රමාණය වීම මගින් අපනයන වල විදේශ තරඟකාරිත්වට පහල වැටෙන්නෙ පුලුවන් නේද? සේවා උනත් සමහර ඒවා එහෙමනෙ.

      ශ්‍රමික ප්‍රේෂන වල දිගුකාලීන අහිතකර භාවය ගැනත් පැහැදිලි කරල දෙන්න

      Delete
    5. ප්‍රශ්න දැනෙන්න දෙනවා මිසක් ප්‍රශ්න විසඳාගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැනේ. දැන් ආණ්ඩුව විසින් කරන පරිදි මිනිස්සු ඉල්ලන දේ කරලා ඇනගන්න අරින එකත් අතරමැදි පියවරක් ලෙස නරකම නැහැ.

      //ලංකාවෙ අපනයන ගොඩක්ම විදේශ අමුද්‍රව්‍ය මත පදනම් වීම නිසා රුපියල අවප්‍රමාණය වීම මගින් අපනයන වල විදේශ තරඟකාරිත්වට පහල වැටෙන්නෙ පුලුවන් නේද? සේවා උනත් සමහර ඒවා එහෙමනෙ.//

      කිසිසේත්ම නැහැ. මේ ප්‍රශ්නයට වාර ගණනාවක් විස්තරාත්මකව පිළිතුරු දී තිබෙනවා. හොයා ගන්න පුළුවන් වුනොත් ලින්ක් එකක් දමන්නම්. නැත්නම් නැවතත් ලියන්නම්.

      //ශ්‍රමික ප්‍රේෂන වල දිගුකාලීන අහිතකර භාවය ගැනත් පැහැදිලි කරල දෙන්න//

      අහිතකර භාවයකට වඩා අවදානමක් තිබෙන්නේ. කිසියම් අවස්ථාවක බාහිර හේතුවක් නිසා ශ්‍රමික ප්‍රේෂණ එක් වරම නොලැබී යන්න පුළුවන්.

      Delete
    6. හරි බොහොම පැහැදිලි. බොහොම ස්තුති ඉකොනො🤗

      Delete
  7. ඉකොනො,

    අද සූම් මීටින් එකක් ලෙස එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රැසක් සමග අද උදේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ දවස්වල ලංකාව මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ආයාචනා කර ඔවුන්ගේ උපදෙස් පරිදි වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් ලොව පුරා සිටින විවිධ මූල්‍ය සමාගම් සහ අනෙකුත් එබඳු ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ද පහසුවෙන්ම තව තවත් විදෙස් ණය ලෙස ස්වෛරීත්ව සහ සංවර්ධන බැඳුම්කර, වෙනත් ණය ආධාර ලෙස ඩොලර් ඇති තරමටත් වඩා ගැනීමේ හැකියාව ලැබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉතාමත් පැහැදිලිව විස්තර කළා. ඔබත් මේ සාකච්ඡාව නරඹන්නට ඇති නේද?

    කෙසේ හෝඅ ගෝලීය අර්බුදකාරී තත්වය නිසා සමස්ත ලෝකයත් ලංකාවත් යන දෙකම මේ වන විටත් මුහුණ දී සිටින වත්මන් බරපතල උග්‍ර අර්බුදකාරී තත්ත්වය යටතේ සාමාන්‍ය කාලවල ඔවුන් අපට දැඩි ලෙස බලපෑම කළ පරිදි රජයේ බහුතර සේවකයන් පිරිසක් එක්වරම රැකියා වලින් ඉවත් කිරීම වැනි භයානක අකාරයේ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී නොපැනවීමට් ඉඩ ඇති බවත් ඒ වෙනුවට එම ආයතන පුද්ගලික ව්‍යවසායයන්ට පැවරීමට පමණක් නියෝග කරනු ඇති බවටත් ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පාක්ෂිකයන්ට විස්තර කළා, මම හිතන්නේ මේ කතාව බොහෝඅ දුරට නිවැරැදි විය හැකි බවයි, ඔබ ඊට එකඟද?

    මෙහිදී ඔහු අවධාරණය කළ වඩාත් බරපතලම කාරණය නම් ලබන 2022 වසර මැද ඇමරිකන් ඩොලර් බිලියන 6 කට ආසන්න ණය මුදලක් අයි එස් බී සහ වෙනත් ණය වාරික ලෙස ගෙවීමට ඇති නිසාම අනිවාර්යයෙන් කවුරු කෙසේ කයිවාරු ගැහුවත් ලංකාවේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් රජයට නැති බව තමයි මෙතනදි ඉත ශක්තිමත් ලෙස ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, මේ නිසා 2022 ජනවාරි වෙනකොටම කබර පැටියට බඩගාගෙන ගිහින් අයි. එම්. එෆ්. එක ඉදිරියේ සිඟන්නට අනිවාර්යයෙන්ම වෙන බව හොඳටම සුවර්, කබරෙයා තමයි හොඳටම කළේ.

    කෙසේ හෝ බඩගාගෙන හරි එහෙම තව තවත් විදේශ විනිමය උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අවස්ථාවේදී මූල්‍ය අරමුදල වෙත ගිය විට අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාවට ණය දීමට ඉදිරිපත් වන බව ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර මෙය සත්‍ය බව ඔබත් පිළිගනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීමට ලැබෙන සහතිකයක් ලෙසට සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙතනදි තවදුරටත් පැහැදිලි කළා.

    එනිසා මෙහෙම අයි. එම්. එෆ්. මූල්‍ය අරමුදල සමග ඇති කරගන්නා ගිවිසුම ප්‍රකාරව එම කොන්දේසි යටතේ රුපියලේ අගය ඩොලර් එකක් රුපියල් 240 වන ලෙසට තබාගත හැකි වුවද අපි දැනට කරගෙන යන විදිහට මූල්‍ය අරමුදල සමග ගණදෙනු නොකළහොත් ඩොලරයකට ගෙවිය යුතු මුදල තව ටික දවසකින් රුපියල් 300 දක්වා ඉහල යාමට ඉඩ තිබෙන බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් අතර ඉත ඉක්මණින් රුපියල ඩොලර් එකක් රු. 250 වත වන ලෙස තව කලකට ස්ථාවරව තබා ගැනීමට අත්‍යවශ්‍ය බවත් එසේ කිරීමට නම් අනිවාර්යයෙන් ඩොලර් බිලියනය දෙකක් වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඔවුන්ගේ ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කරමින් විදේශ මුදල් ස්වෛරීත්ව බැඳුම්කර ආදිය හරහා තවත් ඩොලර් බිලියන පහක් වත් විදෙස් සංචිත ඉහළ නංවාගෙන එමගින් මේ ප්‍රශ්නය 2018 වසරේ කළ අයුරින් ලෙහෙසියෙන්ම විසඳිය හැකි බවයි. මම හිතන්නේත් එම ක්‍රමය සාර්ථක වන බවයි.

    ReplyDelete
    Replies
    1. //ඔබත් මේ සාකච්ඡාව නරඹන්නට ඇති නේද?//

      මම බැලුවේ නැහැ. ලින්ක් එකක් තියෙනවද?

      Delete
    2. See this link for a concise summary of what he explained in today's meeting;

      https://asianmirror.lk/news/item/33825-the-value-of-usd-could-rise-to-rs-300-if-the-govt-fails-to-seek-imf-support-former-pm

      Quoted;

      //Former Prime Minister and UNP leader Ranil Wickremesinghe has said that if the country goes to the International Monetary Fund to meet its acute dollar deficit, it will be able to borrow from other international financial institutions as well.

      Wickremasinghe also pointed out that the International Monetary Fund would not impose conditions such ascjob cuts given the current situation in the country.

      He said the government had no choice but to seek the help of the International Monetary Fund (IMF) as it had to repay nearly USD 6 billion by the middle of next year.

      The UNP leader made this remark during a special discussion with party seniors this morning (25).

      Wickremasinghe pointed out that at a time when foreign exchange has become a serious crisis, other international financial institutions will also come forward to lend to Sri Lanka when they go to the IMF.

      Wickremasinghe said that dealing with the International Monetary Fund could be considered as a guarantee when it comes to borrowing from other financial institutions.

      The former Prime Minister also pointed out that the value of a Dollar could be kept at Rs. 240 If the government chose to work with the IMF. If not it could increase to 300 rupees," he added.//

      Delete
    3. ඔය 2018 දි කරලා සාර්ථක වෙලා කියලා දැන් ආයෙත් කරන්නෙ යන්නෙ පොඩි කෙටිකාලීන දහංගැටයක් ද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: