වෙබ් ලිපිනය:

Friday, November 25, 2022

ආරක්ෂක වියදම්


රජය කුඩා කිරීම වෙනුවෙන් මේ වෙද්දී සැලකිය යුතු ජනමතයක් තිබෙනවා. මේක අලුත් තත්ත්වයක්. විශේෂයෙන්ම ජවිපෙ වැනි සමාජවාදී ආකෘතියක ගොඩ නැගුනු පක්ෂයක් වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල්ට කාලයක සිටම කරන්න අවශ්‍යව තිබුණා විය හැකි වුවත්, ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්කමක් නොතිබුණු ඇතැම් දේවල් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වන තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල් කියන දේවල් හමුවේ, පූස් පැටවු වගේ ඒ දේවල් අහගෙන වක්‍රව හෝ අනුමත කරන තැනකට රාජපක්ෂ කඳවුරේ හිටපු බොහෝ අයව තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. බලය ලබා ගන්න ඉන්න විපක්ෂ බලවේග වලට රජය කුඩා කිරීමට එරෙහිව කතා කර ලකුණු රැස් කර ගැනීමේ හැකියාව, ඇතැම් විට තාවකාලිකව විය හැකි වුවත්, අහෝසි වී තිබෙනවා. මෙය වසර හත අටකට පෙර අප මේ සටහන් බ්ලොග් එක හරහා ලියන්න පටන් ගනිද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

රජය කුඩා කළ යුතුයි කියන තැනට රටක් විදිහට එන්න පුලුවන්නම් එය ඉතා හොඳ තත්ත්වයක්. එතැනින් එහාට, එය කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව, පුළුල් එකඟතා අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. රටේ ජනතාවට ඒ විදිහේ තේරීමක් තියෙන එක නරක දෙයක් නෙමෙයි. 

දේශපාලනඥයින්ගේ නාස්තිකාර වියදම් අඩු කළ යුතුයි කියන එක ජනප්‍රිය අදහසක් වන තරමටම ප්‍රතිඵලදායක අදහසක් නෙමෙයි. මේක කලින් සටහනකින් පැහැදිලි කළා. ඒ කියන්නේ අනවශ්‍ය වියදම් සීමා කිරීම නොකළ යුතු බව නෙමෙයි. එය අනිවාර්යයෙන් කළ යුතු, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති දෙයක්. මම හිතන්නේ මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් මේ බව දන්නවා. ඒ නිසාම, රජයේ වියදම් අඩු කළ හැකි වෙනත් ආකාර ගැන බොහෝ දෙනෙක් හිතන්න පටන් අරන් තිබෙනවා.

ආරක්ෂක වියදම් මේ ගොඩක් අයගේ ඇහැ ගිහින් තියෙන තැනක්. අරගලය දවස් වල ආරක්ෂක වියදම් අඩු කළ යුතුයි කියා අදහස් පළ කළ අය අතර රාජපක්ෂ කඳවුර හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හැම එකම වගේ සිටියා. 2023 අයවැය ඇස්තමේන්තු එළියට ආවට පස්සේ ඒ අතරින් ඇතැම් අය ආරක්ෂක වියදම් ගැන බර තබා කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.

රටක ජාතික ආරක්ෂාව කියන්නේ වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි සේවාවක්. මේ වැඩේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජයක් විසින් කළ යුතු මූලික කාර්යයයක් ලෙසයි. ඇත්තටම කිවුවොත් ජාතික ආරක්ෂාව කියන්නේ රටක රජය ආරක්ෂා කර ගැනීම. රටක් කියා දෙයක් තියෙන්නේම රජයක් තිබෙන නිසා බැවින් මෙය රට ආරක්ෂා කර ගැනීමක් කියා කියන්නත් පුළුවන්. රටේ ජනතාව ආරක්ෂා වෙනවානම් වෙන්නේ වක්‍ර විදිහට. සමහර වෙලාවට රජයට ආරක්ෂා වෙන්න සිදු වන්නේ රටේ ජනතාව අතරින්ම කොටසකගෙන් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාද ඇතුළුව හැම විටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන පිරිවැය දරන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට. 

වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි නිසාම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව විසින් ගෙවිය යුතු මිල කීයද කියලා තීරණය කළ හැක්කේ දේශපාලනය තුළ පමණයි. ඒ හැර මේ ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැහැ. ඒ නිසාම, මේ මොහොතේ හෝ වෙනත් මොහොතක, ආරක්ෂක වියදම් අඩු කළ යුතුද, වැඩි කළ යුතුද, එසේම පවත්වා ගත යුතුද වගේ ප්‍රශ්න වලට දේශපාලනික නොවන පිළිතුරක් දෙන්න බැහැ. ඒ නිසාම, මම එවැනි පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කර අවසාන වශයෙන් පොදු එකඟතාවය මත නිර්ණය විය යුතු දෙයක්. මම මේ සටහනින් කරන්න හදන්නේ ඒ වැඩේට උදවුවක් ලෙස තොරතුරු ටිකක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමහර අය කියන විදිහට මෙවර අයවැයෙන් ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 539ක් වෙන් කරලා. ඒ කතාව ඇත්තද?

මේ ගණන ඇවිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ වල එකතුව ලෙසයි. ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක හමුදා වල වියදම්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියා කියන්නේ පොලීසියේ වියදම්.

මෙතැනින් එහාට යන්න කලින් එක දෙයක් පැහැදිලි කළ යුතුයි. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක වියදම් ගැන කතා කරද්දී අදහස් කරන්නේ හමුදා වල වියදම් ගැන. එහෙමත් නැත්නම් මිලිටරි වියදම් ගැන. පොලීසියේ වියදම් ආරක්ෂක වියදම් විදිහට සැලකෙන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නීතිය හා සාමය රැකීමේ වියදම් විදිහට. සාමාන්‍යයෙන් පොලීසියේ කාර්යය රජය හෝ රට ආරක්ෂා කිරීම නෙමෙයි. සිවිල් ආරක්ෂාව. ඒ නිසා, පොලීසියේ වියදම ආරක්ෂක වියදමක් ලෙස අරගෙන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් වලට එකතු කරලා පෙන්වන එක හරිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

දෙවන ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් ගත්තත් ඒ සියල්ලම ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් නොවීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම වගේ ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනවා. ඒ වගේම, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ තිබෙන "රණවිරු මාපිය රැකවරණ දීමනා" වගේ වියදම් සැලකිය හැක්කේ සුබසාධන වියදම් ලෙසයි. 

ඉහත තත්ත්වයන් යටතේ වුනත් ලංකාවේ ආරක්ෂක වියදම් වැඩියි කියන තර්කය නිශේධනය වන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ පොලීසිය විසින් කරන ප්‍රධාන කාර්යයත් රජය ආරක්ෂා කරන එකම තමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. 

පහළින් තියෙන්නේ පොලීසියේ වියදම්ද ඇතුළත්ව, ආරක්ෂක වියදම් ලෙස පැහැදිලිව හඳුනා ගත හැකි වියදම්. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් මිලියන 209,716 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් මිලියන 75,739 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් මිලියන 66,628 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 19,913 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 435 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් මිලියන 157 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් මිලියන 12,519 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 116,380 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් මිලියන 740 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් මිලියන 85 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් මිලියන 2,985යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් මිලියන 6,188 යි 

එකතුව - රුපියල් මිලියන 511,485 යි 

පෙර වසරට සාපේක්ෂව ඉහත වියදම් වල 11.2%ක වැඩි වීමක් තිබෙනවා. රුපියල් වලින් මිලියන 51,582ක්. ණය හා පොලී ගෙවීම් ඉවත් කළ පසු රජයේ ඉතිරි වියදම් වැඩි කර තිබෙන්නේ 9.7%කින් පමණයි. මේ අනුව, ඉහත අයිතමයන් යටතේ ආරක්ෂක වියදම් වැඩි වීම, සුළු වශයෙන් වුනත්, අනෙක් වියදම් වැඩි වීමට වඩා වැඩියි.

ඉහත එකතුව රුපියල් බිලියන 511ක්. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යංශ වල මුළු වියදම රුපියල් බිලියන 539ක්. මේ ගණන් දෙක අතර වෙනස වන රුපියල් බිලියන 28ම ආරක්ෂක වියදම් නොවුනත්, එයින් යම් කොටසක්ද ආරක්ෂක වියදම්. ඒ කොටස හරියටම හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඒ ටික අමතක කළත්, පැහැදිලිව හඳුනාගත හැකි ඉහත කොටස පොලී හා ණය ගෙවීම් හැර රජයේ මුළු වියදමෙන් 14.0%ක්. එක පවුලකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක්.

ඕනෑම රටකට ජාතික ආරක්ෂාව වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ජාතික ආරක්ෂාව ලාබ නැහැ. දැන් මට්ටමින් ආරක්ෂාව ලබන්නනම් ලංකාවේ පවුලක් ඒ වෙනුවෙන්ම වසරකට රුපියල් ලක්ෂය ඉක්මවන බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ඒ තරමට බදු ගෙවිය නොහැකිනම් ආරක්ෂාව අඩු කරන්න වෙනවා.

එක් එක් හමුදා අංශ හා පොලීසිය වෙනුවෙන් රටේ එක් පවුලක් විසින් 2023දී ගෙවිය යුතු බදු මුදල ආසන්නව පහත තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් 41,120 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් 14,850 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් 13,060 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 3,900 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 90 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් 30 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් 2,450 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් 22,820 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් 150 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් 20 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් 590 යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් 1,210 යි 

එකතුව - රුපියල් 100,290 යි 


එහෙමනම් මේ වියදම් අඩු කළ යුතුද? 

මම කලින්ම කිවුවනේ මෙය දේශපාලන ප්‍රශ්නයක් කියලා. එය එක් එක් පුද්ගලයා විසින් තනි තනිව තීරණය කළ යුතු දෙයක්. පොලීසිය වෙනුවෙන් එක පවුලක් විසින් ගෙවිය යුතු බදු මුදල රුපියල් 22,820ක්. පොලීසිය සිටීමේ වාසි ඊට වඩා වැඩිනම් මේ වියදම දරන එකේ පාඩුවක් නැහැ. අනෙකුත් හමුදාවන් වෙනුවෙන් වසරකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 77,470ක්. 

පහළින් තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල් වල ජාතික ආදායමෙන් (දදේනියෙන්) ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල. මූලාශ්‍රය ලෝක බැංකුව. 2020 වසරේ දත්ත.

1. ඕමානය - 10.9%

2. සවුදි අරාබිය - 8.4%

4. කුවේට් - 6.5%

5. ඊශ්‍රායලය - 5.6%

10. රුසියාව - 4.3%

11. යුක්රේනය - 4.1%

14. ඉරාකය - 4.1%

15. පකිස්ථානය - 4.0%

16. ඇමරිකා එක්සත් ජනපදය - 3.7%

22. සිංගප්පූරුව - 3.2%

27. ඉන්දියාව - 2.9%

29. ග්‍රීසිය - 2.8%

41. එක්සත් රාජධානිය - 2.1%

48. ඕස්ට්‍රේලියාව - 2.1%

52. නෝර්වේ - 1.9%

53. ශ්‍රී ලංකාව - 1.9%

63. චීනය - 1.8%

76. නවසීලන්තය - 1.5%

85. කැනඩාව - 1.4%

90. නේපාලය - 1.4%

94. බංග්ලා දේශය - 1.3%

103. මැලේසියාව - 1.1%

115. පිලිපීනය - 1.0%

118. ජපානය - 1.0%

138. ඉතියෝපියාව - 0.5%

147. කොස්ටරිකා - 0.0%

ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අනුව රටවල් බෙදී ගොස් ඇති ආකාරයෙන් පෙනෙන්නේ එය එක් එක් රටේ ජනතාවගේ තේරීමක් බවයි. දත්ත තිබෙන රටවල් 147ක් අතරින් ලංකාවේ ස්ථානය 53. 

කෙසේ වුවත්, එක් එක් රට ආරක්ෂාව වෙනුවෙන් මුදල් වැය කරන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක ආරක්ෂක වියදම් වලින් සැලකිය යුතු කොටසක් යුද උපකරණ ආදිය සඳහා යන වියදම්. මෙයින් වෙනස්ව ලංකාව කියන්නේ "මිනිස්සුන්ගෙන්" යුද්ධ කරන රටක්. උපාය මාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ 2021 වාර්තාව අනුව, සක්‍රිය සේවයේ නිරතව සිටින හමුදා සාමාජිකයින් ගණන ලංකාවේ ජනගහණයෙන් 1.13%ක්. මෙම දර්ශකය අනුව, ලෝකයේ රටවල් 172ක් අතරින් ලංකාව ඉන්නේ 13වන තැනයි.

1. උතුරු කොරියාව - 5.04%

2. එරිත්‍රියාව - 3.38%

3. ඊශ්‍රායලය - 2.01%

9. ඕමානය - 1.22%

12. දකුණු කොරියාව - 1.16%

13. ශ්‍රී ලංකාව - 1.13%

17. සිංගප්පූරුව - 0.85%

23. රුසියාව - 0.71%

25. සවුදි අරාබිය - 0.69%

31. කුවේට් - 0.60%

44. කියුබාව - 0.44%

50. නෝර්වේ - 0.43%

52. ඇමරිකා එක්සත් ජනපදය - 0.42%

66. මැලේසියාව - 0.36%

76. පකිස්ථානය - 0.31%

91. ඕස්ට්‍රේලියාව - 0.25%

108. එක්සත් රාජධානිය - 0.21%

111. ජපානය - 0.20%

127. චීනය - 0.16%

135. පිලිපීනය - 0.14%

137. ඉතියෝපියාව - 0.13%

141. ඉන්දියාව - 0.11%

143. බංග්ලා දේශය - 0.10%

172. කොස්ටරිකා - 0.00%

ජනතා කැමැත්ත මත පදනම්ව ලංකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීමට අවශ්‍ය වන තත්ත්වයක් යටතේ වුවත්, එවැන්නක් වහා කිරීම අපහසු ඇයි කියා ඉහත සංඛ්‍යාලේඛනය පෙන්වා දෙනවා. ලංකාවේ සන්දර්භයේ ආරක්ෂක වියදම් අඩු කිරීම යනු ආරක්ෂක හමුදා සාමාජිකයින් ගෙදර යැවීමයි. 

ඉහත දත්ත වල පෙන්වා ඇති පරිදි, ලංකාවේ ආරක්ෂක වියදම් වලින් වැඩිම කොටස එනම් රුපියල් බිලියන 210ක් පමණම වැය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්. පහළින් තිබෙන්නේ එම වියදම් මොනවාද යන්නයි. 

වැටුප් හා දීමනා - රුපියල් මිලියන 152,897 යි.

ආහාර හා නිල ඇඳුම් - රුපියල් මිලියන 33,500 යි.

වෛද්‍ය සැපයුම් - රුපියල් මිලියන 1,000 යි.

අනෙකුත් සැපයුම් - රුපියල් මිලියන 3,350 යි.

ජල හා විදුලිබිල් - රුපියල් මිලියන 3,300 යි.

දුරකථන හා අනෙකුත් බිල් හා බදු - රුපියල් මිලියන 767 යි.

ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් - රුපියල් මිලියන 9,325 යි.

ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් - රුපියල් මිලියන 4,427 යි.

වාහන හා යන්ත්‍ර සූත්‍ර නඩත්තුව - රුපියල් මිලියන 1,150 යි.

එකතුව - රුපියල් මිලියන 209,716 යි.

මුළු වියදමෙන් 89.4%ක්ම හමුදා සෙබළුන්ගේ වැටුප්, ආහාර, නිල ඇඳුම් හා වෛද්‍ය සැපයුම්. ඉතිරි සියලුම වියදම් මුළු වියදමෙන් 10.6%ක් පමණයි. හමුදාවේ වියදම් විශාල ලෙස සීමා කර ඇති බව බැලූ බැල්මටම පේනවා. 

එහෙමනම් හමුදාවේ වියදම් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

වැටුප් හා දීමනා වියදම් පෙර වසරේ වියදමට ආසන්නව සමානයි. පෙර වසරට වඩා රුපියල් මිලියන 13,570කින් හමුදාවේ වියදම් ඉහළ ගොස් ඇතත්, එයින් රුපියල් මිලියන 13,118ක්ම වැඩි වී තිබෙන්නේ ආහාර හා නිල ඇඳුම් කාණ්ඩය තුළයි. එය 64%ක වැඩිවීමක්. මේ වැඩි වීම මූලික වශයෙන්ම ආහාර මිල වැඩි වීම නිසා සිදු වූවක් බව ඉතාම පැහැදිලියි. ඉන්ධන වියදම් වලද රුපියල් මිලියන 560ක පමණ වැඩි වීමක් තිබෙනවා. යුද හමුදාවේ වියදම් වැඩි වී තිබෙන රටාවට සමාන රටාවක් අනෙකුත් හමුදා අංශ වල වියදම් වැඩි වී ඇති ආකාරය තුළද දැකිය හැකියි.

දිගුකාලීනව හමුදා කුඩා කරනවද, දැන් මට්ටමේම පවත්වා ගන්නවද කියන එක දේශපාලනික තීරණයක්. දැන් මට්ටටේම පවත්වා ගන්න එක වෙනුවෙන් පෙනී සිටින අය ඒ වෙනුවෙන් බදු ලෙස තමන්ට ගෙවන්න වෙන මිල ගැනත් අවබෝධයෙන් අදාළ තීරණය ගන්නවානම් වඩා හොඳයි. 

අනෙක් අතට ආරක්ෂක වියදම් අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටින අය දැනගත යුතු දෙය එය කළ හැක්කේ හමුදා භටයින් ගෙදර යැවීම මගින්ම පමණක් බවයි. හමුදා භටයින් සේවයෙන් මුදා හැරලා නිකම්ම ගෙදර යවන්න බැහැ. එක්කෝ යම් වන්දියක් හෝ විශ්‍රාම වැටුපක් වගේ දෙයක් දෙන්න වෙනවා. ඒවටත් සල්ලි යනවා. 

ඊට අමතරව, හමුදා පුහුණුව ලැබූ විශාල පිරිසක් හදිසියේ සේවයෙන් මුදා හැරියොත් ඒ අය ගම් වලට ගිහින් කුලී වැඩ කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් කරනවානම් සැලසුමක් ඇතුව, ක්‍රමිකව කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, දිගුකාලීනව කොහොම වුනත් කෙටිකාලීනව, ආරක්ෂක වියදම් අඩු කරන එක කියන තරම්ම ලේසි නැහැ. 

Thursday, November 24, 2022

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද?


මේ ප්‍රශ්නය කිහිප දෙනෙක් විසින්ම වරින් වර අසා ඇති, හරියකට පිළිතුරක් දෙන්න ඉඩ නොලැබුණු, ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ ප්‍රශ්නය අහපු අයට අමතරව යම් පිරිසක් විසින් මේ ප්‍රශ්නය හෝ කිට්ටුවෙන් යන ප්‍රශ්න පෞද්ගලිකවත් අහල තියෙනවා. පෞද්ගලිකව අහපු ප්‍රශ්න පහත ආකාරයේ ප්‍රශ්න.

"මා ලඟ අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් xxxක මුදලක් තියෙනවා. මේ සල්ලි ආයෝජනය කිරීම (බැංකුවක දැමීම/ භාණ්ඩාගාර බිල්පත් වල දැමීම) සම්බන්ධව ඔබ දෙන උපදෙස කුමක්ද?"

පොදු යහපත සලසා මේ සටහන් ලිවුවත්, මේ ලේඛකයා විසින් ඉහත ආකාරයේ පෞද්ගලික උපදේශන සපයන්නේ නැහැ. තමන්ගේ සල්ලි ගැන තීරණ ගැනීම එක් එක් පුද්ගලයා විසින් සැලකිල්ලෙන් හිතාමතා කළ යුතු දෙයක්. ආයෝජනයක ප්‍රතිලාභ එක්කම ඒ හා බැඳුණු අවදානම්ද තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුනත්, අප ලියන දේවල් වලින් ඇතැම් විට මේ ප්‍රතිලාභ හා අවදානම් කිරා බැලීමේදී යම් උදවුවක් වෙන්න පුළුවන්. 

ගොඩක් අය ඉහත ආකාරයේ ප්‍රශ්න අහන පසුබිම කුමක්ද?

උද්ධමනය නිසා අපිට හරිම අමාරුයි, අතේ සතේ නැහැ කියා පෙන්නගෙන හිටියත් ලංකාවේ ගොඩක් අය අතේ සල්ලි තිබෙනවා. ණය වෙලා හිරවෙලා ඉන්නේ රජය මිසක් රටේ මිනිස්සු නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙනුත් කොටසක් ණය වෙලා, හිර වෙලා බව ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත්තහම මිනිස්සු අතේ ණය වලට වඩා සල්ලි තියෙනවා. උද්ධමනය ඇති වෙන්නේම මිනිස්සු අතේ අතිරික්ත මුදල් තිබෙන නිසා. 

රට ණය වුනාට ඒ ණය වලට හරියන තරමේ වත්කම් රටේ නැහැ කියන බොරුව ගැන මම කලින් සටහනක පැහැදිලි කළා. ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ, 2021දී, ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

එහෙම තත්ත්වයක් තුළ ණය ගෙවාගන්න බැරි වී තිබෙන්නේ හේතු තුනක් නිසා. එකක් ඔය වත්කම් රටේ වත්කම් වුනත් රජයේ වත්කම් නෙමෙයි. රටේ වත්කම් රජයේ වත්කම් වෙන්නේ බදු හරහා. පසුගිය කාලය මුළුල්ලේම රජය විසින් වියදම් කළ තරමට බදු එකතු කරගෙන නැහැ. වියදම් කළේ කා වෙනුවෙන්ද, මොනවටද කියන එක වෙනම කතාවක්. දෙවන හේතුව ඔය වත්කම් සියල්ලම ද්‍රවශීල වත්කම් නොවීම. උදාහරණයක් විදිහට නිවාස ඒකක වල වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ගෙවල්, ඉඩම්, වාහන වගේ මූර්ත වත්කම් මිසක් මූල්‍ය වත්කම් නෙමෙයි. තුන්වෙනි කරුණ, තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය වුනත්, රුපියල් වත්කම් මිසක් ඩොලර් වත්කම් නෙමෙයි. විදේශ ණය ගෙවා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඔය තුන්වන කාරණාව.

දේශීය ණය ගැන කතා කරද්දී ඉහත තුන්වන කරුණ අදාළ නැහැනේ. නමුත්, දෙවන කරුණ සෑහෙන දුරකට අදාළයි. රජයට රටේ තිබෙන මූර්ත වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න බැරිකමක් නැතත්, ඒ වැඩේ අමාරු වැඩක්. මූල්‍ය වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු අතේ මූල්‍ය වත්කම් කොපමණ තියෙනවද? 

සංචිත මුදල් ප්‍රමාණය හා මුදල් සැපයුම අතර වෙනස මම පෙර සටහනක පැහැදිලි කළා. සංචිත මුදල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාසි හා නෝට්ටු. හැබැයි කාසි හා නෝට්ටු පමණක් නෙමෙයි. මහ බැංකුවේ ගිණුම් වල තිබෙන කාගේ හෝ සල්ලිත් සංචිත මුදල්. 

සාමාන්‍ය මිනිස්සුන්ට මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න බැහැනේ. මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න පුළුවන් බැංකු වලට. ඒ නිසා, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලි කියා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු වල සල්ලි. මීට අමතරව මහ බැංකුවේ තවත් ගිණුම් තිබෙනවා. එයින් සමහරක් රජයේ ගිණුම්. මේ ගිණුම් ගැන මම විශේෂයෙන් සඳහන් නොකළේ සාමාන්‍යයෙන් ඔය ගිණුම් වල ශේෂය අයිරා (overdraft) වී තිබෙන නිසා. තාක්ෂනික ලෙස නිවැරදි වෙන්නනම් සංචිත මුදල් අර්ථ දක්වද්දී මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුම් වල ශේෂයන්ද එකතු කළ යුතුයි.

හැබැයි, කලින් සටහනක පැහැදිලි කළ පරිදිම, ගණුදෙනු සඳහා රට ඇතුළේ භාවිතා කෙරෙන මුදල් ප්‍රමාණය ඉහත කී සංචිත මුදල් ප්‍රමාණය පමණක් නෙමෙයි. එම ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ඒ, බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය තුළ සංචිත මුදල් ප්‍රමාණය ගුණනය වීමක් සිදු වෙන නිසා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් අවසානයේදී රුපියල් දහයක් වගේ ගණනක් වෙන්න පුළුවන්. මුදල් ගුණකය කියා කියන්නේ මේ අනුපාතයට. ඒ විදිහට ගුණනය වීමෙන් පසු මුදල් ප්‍රමාණ M1, M2, M2b, M4 ලෙස හැඳින්වෙනවා. මේවාට පොදුවේ මුදල් සමස්ත කියාත් කියනවා. පහළ තියෙන්නේ මහ බැංකු වෙබ් අඩවියෙන්ම උපුටාගත් ලංකාවේ මුදල් සමස්ත වල අර්ථදැක්වීම්.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් (M0) - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ."

ඔය ටික මගේ වචන වලින්ම ලිවුවනම් වඩා හොඳින් තේරෙයි. නමුත්, මුදල් සමස්ත අර්ථ දක්වන්නේ මහ බැංකුව විසින් නිසා  මහ බැංකුවේ නිර්වචනම යොදා ගන්න එක කෝකටත් හොඳයිනේ.

හරි. දැන් ඔය තියෙන්නේ නිර්වචන. පහළින් තියෙන්නේ 2022 සැප්තැම්බර් අවසානයේදී  M0, M2b, M4 මුදල් සමස්ත වල ප්‍රමාණය.

සංචිත මුදල් (M0) - රුපියල් බිලියන 1,379 යි.

පුළුල් මුදල් (M2b)  - රුපියල් බිලියන 12,051 යි.

පුළුල් මුදල් (M4)  - රුපියල් බිලියන 14,540 යි.

සරලව කිවුවොත්, පළමු කොටස නෝට්ටු හා කාසි සහ මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි. සැප්තැම්බර් අවසානයේ ගණන හරියටම දන්නේ නැතත්, 2022 ජූනි අවසානයේදී කාසි හා නෝට්ටු විදිහට මිනිස්සු අතේ තිබුණු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 797,471ක්. ලංකාවේ ගෙවල් ගණන වන මිලියන 5.1න් බෙදුවොත්, එක ගෙදරක සාමාන්‍ය වශයෙන් ගත්තහම කාසි හා නෝට්ටු වලින්ම රුපියල් 156,000කට වඩා තිබිය යුතුයි. 

ගොඩක් ගෙවල් වල ඔය සල්ලි ප්‍රමාණය නැතුව ඇති. හැබැයි මෙය තමයි සාමාන්‍ය ගණන. ඒ කියන්නේ, එක ගෙදරක මේ ගණන නැත්නම්, වෙන ගෙදරක ඒ අඩු ප්‍රමාණයත් තියෙනවා. මතක තියා ගන්න මේ බැංකු වල තියෙන සල්ලි අත ඇරලා. කෑෂ් වලින්ම ගෙවල් වල තිබෙන කොටස පමණයි. 

මිනිස්සු අතේ තිබෙන සල්ලි වලට බැංකු වල තියෙන සල්ලිත් එකතු කරලා ගණන තමයි දෙවන ගණන. නමුත් එහි තියෙන්නේ වාණිජ බැංකු වල තියෙන සල්ලි පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ වාණිජ බැංකු නොවන බැංකු වල දමා තියෙන සල්ලි එහි නැහැ. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල දමපු සල්ලිත් නැහැ. ඒ ටික ඔක්කොම එකතු කළාම ගණන තමයි රුපියල් බිලියන 14,540 යි.

දැන් මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදුවහම ගාන කීයද? රුපියල් ලක්ෂ 28.5ක්! ඒ කියන්නේ බැංකු වල දමපුවත් එක්ක සාමාන්‍ය වශයෙන් එක ගෙදරක තිබෙන සල්ලි ප්‍රමාණය රුපියල් ලක්ෂ 28.5ක්. ලක්ෂ එකහමාරක් පමණ කෑෂ් වලින්. ඉතුරු ලක්ෂ 27 බැංකු ගිණුම් වල!

මේවා ඇස්තමේන්තු නෙමෙයි. බැංකු ලේඛණ වල ඔය රුපියල් බිලියන 14,540න් හැම සතයක්ම අයිති කාටද කියන එක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. කෑෂ් වලින් තියෙන සල්ලි තියෙන්නේ කා ළඟද කියන එකනම් හරියටම හොයාගන්න බැහැ. හැබැයි ගාණ හරියට සතේටම දන්නවා. 

මේ ගණනට EPF, ETF ආදියේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි නැහැ. මිනිස්සු තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල දමපු සල්ලි නැහැ. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ. තිලිණි ප්‍රියමාලිලා වගේ අය ළඟ ආයෝජනය කරපු සල්ලි නැහැ. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වලින් වුනත් කොටසක් විතරයි මේ ගණන ඇතුළේ තියෙන්නේ. ගෙවල්, වාහන වගේ මූර්ත වත්කම් කොහොමටවත් නැහැ. 

පසුගිය සතිය අවසාන වෙද්දී (2022 නොවැම්බර් 16) රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 12,480ක්. එයින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණයි. ඒ කියන්නේ, ඉතිරි රුපියල් බිලියන 12,455 රටේම සල්ලි. එයින් මහ බැංකුව සතු වූ කොටස රුපියල් බිලියන 2,571ක්. ඒ ටිකත් අඩු කළාම රුපියල් බිලියන බිලියන 9,884ක්.

දැන් ඔය සල්ලි කාගේ සල්ලිද? එක්කෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙම නැත්නම්, රටේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුවක දැම්මට පස්සේ එම බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙමත් නැත්නම්, EPF එක විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපු රටේ මිනිස්සුන්ගේම සල්ලි. 

රජයට ඔය සල්ලි ආපසු නොගෙවා ඉන්න අවශ්‍යනම් එය ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම වැඩේ ඉවරයි. විදේශ ණය වගේ ජාත්‍යන්තර නීති වලින් බැඳීමක් නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රජයකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙනත් විකල්ප දෙකක් තියෙනවා. එකක් බදු වැඩි කරන එක. අනෙක් එක සල්ලි අච්චු ගහන එක.

දැන් බොහෝ දුරට බදු වැඩි කරලා ඉවරයි. බදු තවත් වැඩි කරයි කියලා මම හිතන්නේ නැහැ. කියන විදිහට සල්ලි අච්චු ගහන්නෙත් නැහැ. එහෙමනම්, ඒත් ඔය ණය ප්‍රශ්නයක් නැතිව ගෙවන්න පුලුවන්ද? 

අපි නැවතත්, කලින් සටහනේ කතා කළ, යෝජිත 2023 අයවැය ඇස්තමේන්තු වෙත යමු. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශ ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

පියවා ගත යුතු හිඟය - රුපියල් බිලියන 4,446යි.


දැන් මේ හිඟය පියවා ගන්න යන්නේ කොහොමද? 

විදේශ ණය හා ආධාර - රුපියල් බිලියන 619 යි.

දේශීය මූලාශ්‍ර - රුපියල් බිලියන 3,827 යි. 

ආසන්න වශයෙන් බැලුවොත්, විදේශ ණය හා ආධාර ගන්න යන්නේ විදේශ ණය හා පොලී ගෙවීම් සඳහා. මේ වැඩේ කොහොමටත් මේ විදිහට කරන්නම වෙනවා. සල්ලි අච්චු ගහලා හෝ දේශීය වෙළඳපොළෙන් රුපියල් ණයට අරගෙන විදේශ ණය හා පොලී ගෙවීම් කරන්න බැහැනේ. වැදගත් දෙය ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්නේ නැති එක. 

ඒ කියන්නේ දේශීය මූලාශ්‍ර වලින් අරමුදල් සම්පාදනය කර ගන්න යන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම් වලට හා දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්. දැනට රජයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දේශීය ණය දීලා තියෙන්නේ (මහ බැංකුව හැරුණු විට), අතිරික්ත අරමුදල් තියෙන අයනේ. මේ අයට ඔය සල්ලි ආපසු මුදල් කරන්න හදිස්සියක් නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තිබෙන තුරු, ආපසු ලැබෙන ණය හා පොලිය නැවත ආයෝජනය කරන්න මේ ණයහිමියෝ පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, රජයට එම මුදල් ප්‍රමාණය හොයාගන්න එක කිසිම අමාරුවක් නැති වැඩක්. ඊට පස්සේ තව අඩු රුපියල් බිලියන 241ක් පමණයි. 

දේශීය මූලාශ්‍ර වලින් එකතු කර ගැනීමට අදහස් කරන රුපියල් බිලියන 3,827න් රුපියල් බිලියන 3,586ක්ම ඔය විදිහට ලේසියෙන්ම හොයා ගත්තට පස්සේ (rollover කළාට පස්සේ), ඉතුරු රුපියල් බිලියන 241 හොයා ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් මිනිස්සු ඉතිරි කරනවා. රජයේ වත්කම් විකුණා සල්ලි හොයා ගැනීමේ විකල්පයත් තියෙනවා. ඔය මොකක්වත් හරිගියේ නැත්නම් ඔය වගේ ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වුනත් පුළුවන්. එහි හානියක් තිබුණත් සාපේක්ෂව අඩු හානියක්. මේ හේතු නිසා දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

හැබැයි අවදානම් නැතුව නෙමෙයි. ප්‍රධානම අභියෝගය ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු නොවීමේ අවදානම. ලංකාවේ සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු වෙන්නේ නැහැ. මේ පාරත් ඔය වැඩේ වෙනවා කියන්නේ ඇස්තමේන්තුවට වඩා අයවැය හිඟය වැඩි වෙනවා කියන එක. එහෙම වුනා කියලත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යම නැහැ. දෙවන අවදානම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දී මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාව. ඒ අවදානමටත් මම ගොඩක් බර තියෙන්නේ නැහැ. 

Wednesday, November 23, 2022

වියදම් අඩු කිරීමේ රජයේ ප්‍රවේශය


"වියදම් කැපිය යුත්තේ අයවැය හිඟය පියවන්න අවශ්‍ය නිසා නෙමෙයි. පාලකයන් විසින් රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා තමන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති බව මහජනතාවට පෙන්වා ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතු නිසා."

ඉහත මගේ වචන වලින් මම නැවත ලියා තිබෙන්නේ පාඨක ප්‍රතිචාර එකක හෝ වැඩි ගණනක ගැබ් වී ඇතැයි මම හිතන අදහසක්. අදහස් පළ කර නැති, නිහඬව කියවන, සැලකිය යුතු පිරිසකගේ මතයද මෙය විය හැකියි. මෙහි "වියදම්" යන්නෙන් අදහස් වන්නේ දේශපාලනඥයින් නඩත්තු කිරීමේ වියදම්.

ලංකාවේ දේශපාලන බෙදීම් තුළ මේ වන විට ඉහත මතයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වී සිටින්නේ ජවිපෙ/ජාජබ. ඒ වගේම, මහජනතාව කියන වියුක්ත අදහසින් නියෝජනය වන විෂමජාතීය කණ්ඩායම ඇතුළේ සිටින සියළු දෙනාම ඉහත අදහසේ ප්‍රකාශකයින් කියා මම හිතන්නේ නැහැ. තමන්ට අත දිග හැර වියදම් කළ හැකි තරමේ ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම් දේශපාලනඥයින් විසින් මොන මගුලක් කර ගත්තත් කමක් නැතැයි ප්‍රසිද්ධියේ නොකිවුවත්, යටි හිතෙන් හෝ ඒ විදිහට හිතන විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. අර්බුදය හමුවේ මේ ප්‍රමාණය අඩු වෙලා ඇති. 

ඉහත සියළු කරුණු හමුවේ වුවත්, අඩු වශයෙන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ වියදම් කැපිය යුතුයි කියන එක පුළුල් අදහසක්. එය එක් දේශපාලන කඳවුරක පමණක් අදහසක් නෙමෙයි. අයවැය කෙරෙහි දැනෙන සෘජු බලපෑමක් නැතත්, ප්‍රදර්ශනාත්මක ලෙස නොව ඇත්තටම අනවශ්‍ය වියදම් අඩු කළ යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එය බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කිරීම හෝ ගෙදරින් බත් එකක් ගෙන ඒම වැනි ප්‍රදර්ශනාත්මක වැඩක් වීම ප්‍රමාණවත් නැහැ.

රාජ්‍ය අයවැය තමන්ට දැනෙන ආකාරය අනුව මහජනතාව කියන වියුක්ත කුලකය පහසුවෙන්ම ගොඩවල් කිහිපයකට දැමිය හැකියි. මොන විදිහකින් හෝ රජයට සම්බන්ධ අයට රාජ්‍ය වියදම් වැඩි වීම ප්‍රශ්නයක් නෙමෙයි. එම පිරිස හා පවුල් වල අය විශාල පිරිසක්. රජයෙන් මොනවා හෝ සෘජු සහන ලබා ගන්නා අයටත් එය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම රජය සමඟ ව්‍යාපාර කර ලාබ ඉපැයූ අයටද ප්‍රශ්නයක් වී තිබෙන්නේ රාජ්‍ය වියදම් අඩු වීමයි. ඔවුන් යටතේ සේවය කළ අය එසේ නොකියනවා විය හැකි වුවත්, ඔවුන් පැමිණිලි කරන ප්‍රශ්න වලට ආසන්න හේතුවද රාජ්‍ය වියදම් අඩුවීමයි.

රාජ්‍ය වියදම් ප්‍රශ්නයක් සේ දකින වැඩි දෙනෙකු පෞද්ගලික අංශයේ සාපේක්ෂව ඉහළ ආදායම් ලැබිය හැකි රැකියා කරන, තමන්ගේ ආදායමෙන් කෙළින්ම රජයට බදු ගෙවන්නට සිදු වී ඇති පිරිසයි. විශේෂයෙන්ම 2020 බදු කැපිල්ලේ වාසිය ලැබූ, දැන් එය අහිමි වී සිටින පිරිසයි. එම පිරිස සමාජ මාධ්‍ය තුළ කොයි තරම් කෑ ගැසුවත්, "මහජනතාව" කියන ගොඩේ වැඩිපුර ඉන්නේ උඩින් කියූ කණ්ඩායම් බව ලංකාවේ හැම ප්‍රධාන දේශපාලන පක්ෂයකම නායකයින් දන්නවා.

රජය කිසියම් බද්දක් පැනවූ පසු එය මූලික වශයෙන්ම පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. බදු වලට විරුද්ධව කොයි තරම් කෑ ගැසුවත්, බදු ගෙවිය යුතු අයෙකු වෙත "බිල එද්දී" බිල නොගෙවා පැන යා නොහැකියි. අඩු වශයෙන් ලොකු බලවතෙකු නොවන අයෙකුට නීත්‍යනුකූල මාර්ගයකින් බදු වලින් ගැලවෙන්න අමාරුයි. බදු බරට කර ගහන පිරිසට සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්න එකත් පහසු නොවන්නේ රටේ සැලකිය යුතු පිරිසක් බදු ගැන පැමිණිලි කළත්, වියදම් කපන තැනට පැමිණි වහාම අනිවාර්යයෙන් එම පැමිණිලි ඉල්ලා අස් කර ගෙන අනෙක් පැත්තට හැරෙන නිසා. හැම ප්‍රධාන දේශපාලන කඳවුරක්ම මේ තත්ත්වය හොඳින්ම දන්නවා.

රජයේ වියදම් කපන එක ඉතාම අසීරු වැඩක්. වියදම් කැපීම කෙසේ වුවත්, වියදම් වැඩි නොකිරීම වුවත්, අසීරු වැඩක්. මේ සඳහා දෙවන කණ්ඩායමේ සහයෝගය කොහොමටත් තිබෙනවා. ප්‍රශ්න මතු වන්නේ පළමු කණ්ඩායමෙන්. ආණ්ඩුවේ ඉහළ තට්ටුවට "විශ්වාසය තහවුරු කරන්නට" සිදුව ඇත්තේ එම කණ්ඩායම තුළයි.

කාලයක් තිස්සේම ලංකාවේ "රජය" විසින් අත දිග හැර වියදම් කළේ රජය තුළ සිටි ඉහළම තට්ටුව හා පහළ තට්ටු අතර මනා සහයෝගයකින්. මේ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය පෙන්වා දෙන්න පුළුවන්. සම්පීඩිත ඩොලර් මිල යටතේ වාහන බලපත්‍රලාභීන් විසින් මේ වාහන මිල දී ගත්තේ එහි නියම මිලෙන් 60%ක පමණ මිලක් ගෙවමින්. ඉතිරි 40% හා පොලිය විදේශ ණය වලට එකතු වී තිබෙනවා. ඒ වගේම, රට තුළ පැවති වෙළඳපොල මිලට වඩා බොහෝ අඩුවෙන්. දේශපාලනඥයින් අතර මේ වාසිය මුදල් කර නොගත් කිසිවකු ඇත්දැයි සැකයි. 

දේශපාලනඥයින් සුළු පිරිසක් විසින් ලැබූ ඉහත නීත්‍යනුකූල, එහෙත් අනිසි, වාසිය නඩත්තු කර ගැනුණේ විශාල රාජ්‍ය සේවකයින් පිරිසකටද එවැනිම අවස්ථාවක් ලබා දීම මගින්. මෙය කියවන බොහෝ පාඨකයින් මා හා එකඟ නොවනු ඇති වුවත්, යම් අසමානතා තිබියදී වුවත්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා දුන් බදු සහනද මේ ගොඩටම එකතු කරන්නට මා පැකිළෙන්නේ නැහැ.

තීරු බදු රහිත වාහන බලපත් එක් නිදසුනක් පමණයි. මෙවැනි තවත් දේ එකතු කළ හැකියි. මේ වාසි "රජය" තුළ සිටි පහළ ස්ථර වලට ගලා ආවේ එකම අයුරකින් නොවිය හැකියි. එහෙත්, ඔවුන්ද විවිධ ආකාර වලින් රාජ්‍ය වියදම් ඉහළ යාමේ වාසිය ලැබුවා. දැන් වියදම් කැපීම "අලෙවි කරන්නට" සිදු වී තිබෙන්නේ මේ පිරිසටයි. මේ සන්දර්භය තුළ "මහජනතාව" වන්නේ රජයම තමයි. 

ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව 2023 අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,879ක්. මේ ගණන ඇඟට දැනෙන්නේ නැත්නම්, එක පවුලකට රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි මුදලක්. අපේක්ෂිත ආදායම මෙයින් 44%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් අපේක්ෂිත පරිදි වැඩි කර ගැනීමෙන් පසුවත්, ණය ගෙවීම් ඇතුළු සමස්ත වියදම ආදායම මෙන් 230%ක්. 

මේ වියදම් මොනවාද?

වියදම් වලින් වැඩි කොටසක් වසර තුළ ආපසු ගෙවිය යුතු ණය හා පොලියයි. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 2,000 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - රුපියල් බිලියන 189 යි.

දේශීය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,585 යි.

විදේශ ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 440 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

කෙසේ වුවත්, ඉහත ණය හා පොලී ඇස්තමේන්තු සකස් කර ඇත්තේ ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළයි. නියම පිළිවෙළට ණය ගෙවනවානම්, ණය ලෙස මෙන්ම පොලී ලෙසද ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩියි. 

ඇස්තමේන්තු සකස් කිරීමේදී ඩොලරයක මිල කීයක් ලෙස උපකල්පනය කර ඇත්දැයි මා දන්නේ නැහැ. අපි දැනට තිබෙන රුපියල් 363.5 ලෙසම සලකමු. එහෙමනම්, මේ ඇස්තමේන්තු අනුව 2023දී ගෙවන්නට අපේක්ෂා කරන විදේශ ණය ප්‍රමාණය හා පොලිය කොපමණද?

විදේශ ණය ආපසු ගෙවීම් - ඩොලර් මිලියන 1,245 යි.

විදේශ ණය සඳහා වසරේ පොලී වියදම - ඩොලර් මිලියන 534 යි.

එකතුව -  ඩොලර් මිලියන 1,778 යි.

වසර තුළ රජය විසින් ලබා ගැනීමට අපේක්ෂිත විදේශ ණය හා ආධාර ප්‍රමාණය - රුපියල් බිලියන 619 යි =  ඩොලර් මිලියන 1,702 යි.

මෙම ගණන, මගේ පෙර සටහනක ඉදිරිපත් කළ ගණනට වඩා අඩුයි. පෙර ලිපියේ සඳහන් වූ ගණන ගත්තේ අයවැය කතාවේ ඇමිණුමෙන්. මෙහි සඳහන් ගණන ඊට වඩා අළුත්. ඒ වගේම, මෙම ගණන ප්‍රායෝගිකයි. මෙයින් අදහස් වන්නේ දැනට ගෙවිය යුතු විදේශ ණය වල වාරික හා පොලිය ගෙවීමට පමණක් අළුතෙන් ණය ගන්නවා කියන එකයි. අනෙක් පැත්තෙන් මෙයින් කියන්නේ ලබන වසරේ විදේශ ණය වාරික හා පොලිය ලෙස ආපසු ගෙවන්නේ රජයට විදේශ ණය හෝ ආධාර ලෙස ලැබෙන මුදල පමණක් බවයි. 

මෙසේ ලබන වසර තුළ දිගටම ගෙවාගෙන යන ණය වන්නේ, තවමත් පැහැර හැර නැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලින් ලබා ගත් ණය විය යුතුයි. ඒ ණය ආපසු ගෙවනු ඇත්තේ බොහෝ දුරට එම ආයතන වලින්ම නැවත ලබා ගන්නා ණය වලින්. මෙය කළ හැක්කක්. අනෙක් විදේශ ණයකරුවන්ට කැමති වුනත්, නැති වුනත්, 2023 වසර තුළ ණය හෝ පොලී ආපසු ලැබෙන්නේ නැහැ. 

දේශීය ණය සඳහා වසරේ ඇස්තමේන්තුගත පොලී වියදම රුපියල් බිලියන 2,000 ක්. දැනට රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 12,500ක් පමණ වෙනවා. ඒ අනුව, මෙයින් අදහස් වෙන්නේ 16%ක පමණ පොලී අනුපාතිකයක්. රජය හා මහ බැංකුව ඉලක්ක කරන්නේ ලබන වසරේදී පොලී අනුපාතික එවැනි මට්ටමකට අඩු කර ගන්නද? දැනට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවත්වා ගෙන යන්නේත් 14.5-15.5% මට්ටමේ.

මේ වන මහ බැංකුව විසින් වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය (රුපියල් හිඟය) අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2023 අප්‍රේල් පමණ සිට උද්ධමනය දැනෙන ලෙස අඩු වෙද්දී වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයද පහත වැටුණොත් පොලී අනුපාතිකද පහත වැටිය හැකියි. දැනට ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුවනම් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම, තවමත් එය දුරස්ථ ඉලක්කයක් නෙමෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර වැඩේ ගොඩදාගන්න අමාරු වුනත් පුළුවන්. 

ලිපිය පටන් ගත් රාජ්‍ය වියදම් වෙත නැවත ආවොත්, ණය ගෙවීම්ද සමඟ සමස්ත වියදම රුපියල් බිලියන 7,879ක්. මෙම වසරේ අදාළ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 6,231ක්. ඒ අනුව, බැලූ බැල්මටම 26%ක රාජ්‍ය වියදම් ඉහළ යාමක් තිබෙනවා. නමුත්, ණය ආපසු ගෙවීම් හා පොලී වියදම් ඉවත් කළ විට 2023 වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,665ක් පමණයි. 2022 වසරේ මෙම වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,342ක්. ඒ අනුව, 2022ට සාපේක්ෂව බැලුවත් රජයේ වියදම් ඉහළ ගොස් ඇතත් එම වැඩිවීම 9.7%ක් පමණයි. 

පවතින තත්ත්වය තුළ 9.7%කින් වුවත් වියදම් වැඩිවීම කෙනෙකුට පහසුවෙන් විවේචනය කළ හැකියි. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළත්, දැනට සිටින රාජ්‍ය සේවකයින්ට උසස්වීම්, වැටුප් වර්ධක ආදිය ලැබෙනවා. මා දන්නා තරමින් ඒවා අත්හිටුවා නැහැ. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. අනෙක් අතට පවතින ඉහළ උද්ධමනය තුළ මූර්ත පදනමකින් සිදු වන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩුවීමක්. ඒ වගේම, මිල මට්ටම 70%කින් ඉහළ යද්දී, රජය විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා 20%කින් අඩු කළත්, වියදම 36%කින් ඉහළ යනවා. උද්ධමනය හා ගැලපෙන පරිදි වියදම් වැඩි කර නොගන්නවා කියන්නේත් වියදම් අඩු කරගත හැකි වක්‍ර ක්‍රමයක්. 

ලබන වසරේ රාජ්‍ය වියදම මම තවත් විදිහකට විභේදනය කර පෙන්වන්නම්. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

නිකමට හිතමු රජය විසින් දේශීය ණය හා පොලී නොගෙවා ඉන්න තීරණය කළා කියලා. මේක විදේශ ණය පැහැර හරිනවා වගේ අමාරු වැඩකුත් නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ එය නීත්‍යානුකූල කටයුත්තක්. මම කියන්නේ රජය මේ වගේ දෙයක් කරයි කියලවත්, කළ යුතුයි කියලවත් නෙමෙයි. හැබැයි ඔහොම වැඩක් කළා කියන්නේ අයවැය ප්‍රශ්නය බොහෝ දුරට ඉවරයි.

රජයේ වියදම රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 15කට වඩා වැටෙන බව මම කලින් කිවුවනේ. රජය විසින් රට ඇතුළේ විකුණා තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රටේ පවුල් ගණනින් බෙදුවොත් පවුලකට ලක්ෂ 25කට කිට්ටුයි. ඒ කියන්නේ සෘජුව හෝ වක්‍රව එක පවුලක් විසින් රජයට ලක්ෂ 25ක් ණය දීලා තියෙනවා. රජය විසින් මේ ණය නොගෙවා පැහැර හරිනවා කියන්නේ එක පවුලකට තමන්ගේ වත්කම් වලින් රුපියල් ලක්ෂ 25ක් නැති වෙනවා කියන එක. 

රජය කරන්න සැලසුම් කර තියෙන්නෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්න කියන්නෙත්, 2024 වෙද්දී ප්‍රාථමික ශේෂය අතිරික්තයක් කරලා ඒ තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්න. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්. එහෙම කළා කියලා සමස්ත අයවැය හිඟය අතිරික්තයක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ණය වැඩි වෙන එක නවතින්නෙත් නැහැ. නමුත්, ණය කියලා අමුතුවෙන් සල්ලි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනටම අරන් තිබෙන ණය හා පොලිය ආපසු ගෙවන අතර එයින් කොටසක්ම තමයි ණය විදිහට ආපහු ගන්නේ. ඒ නිසා, මිනිස්සු අතට කීයක් හෝ සල්ලි එනවා මිසක් මිනිස්සුන්ගේ අතෙන් සල්ලි යන්නේ නැහැ. 

විදේශ ණය සම්බන්ධව දිගුකාලීනව කළ හැක්කේත් ඔය වගේම වැඩක්. එහෙම නැතුව ඒ ණය මේ හදිස්සියේ ගෙවලා ඉවර කරන්න බැහැ. දිගටම අලුතෙන් විදේශ ණය ගන්න සිදු වෙනවා. හැබැයි ඒ ණය වලින් දැනට තිබෙන විදේශ ණය වල වාරික හා පොලී ගෙවනවා මිසක් තවදුරටත් රජයේ අයවැය හිඟය පියවන්න විදේශ ණය ගන්න බැහැ. ඒ වැඩේ කරන්න පුලුවන්නම් විදේශ අංශය සමතුලිත කරගන්න පුළුවන්. 

මේ වැඩේට කෙටිකාලීනව ණයහිමියන් කැමති කර ගන්න වෙනවා. දිගුකාලීනව රටට එන ඩොලර් පමණක් වියදම් කරන්න වෙනවා. ඒ එන ඩොලර් වලිනුත් සුළු හෝ කොටසක් ණය ගෙවන්න ඉතිරි කරගන්න වෙනවා. එහෙම කරන්නනම් මහ බැංකුවට මැදිහත් වෙලා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. එසේ කරද්දී ඩොලරයේ මිල ඉහළ යනවා. එයට ඉඩ දෙන්න වෙනවා. විදේශ අංශය සමතුලිත වෙන්නේ ඩොලරයේ මිල නිදහසේ වෙනස් වෙන්න අවකාශ ඇත්නම් පමණයි.

Tuesday, November 22, 2022

දේශපාලනඥයින්ගේ වියදම්


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන හා ඒ සඳහා ආදායම් වැඩි කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන ලිපි කිහිපයකින්ම පෙන්වා දුන්නා. ආදායම් වැඩි කර ගැනීම අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා කළ හැකි එකම දෙය නෙමෙයි. වියදම් කැපීම මගිනුත් මෙය කළ හැකියි. 

කෙසේ වුවත්, මෙහි දිගින් දිගටම නැවත නැවත විස්තර කර ඇති පරිදි, ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් කැපීමේද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. ආදායම් පැත්ත ගැන තරමක් කතා කර ඇති නිසා දැන් අපි වියදම් පැත්තටත් එමු.

වියදම් කැපීම ගැන කතා කරන ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම්. මේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනාව පදනමක් නැති එකක් නෙමෙයි. ඇහැට පේන දෙයක්. මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ ආකාරයේ වියදම් කැපීම මගින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකි බව දරුණු මුලාවක්. 

මම පහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේ කිසිදු අයුරකින් අනවශ්‍ය, නාස්තිකාර වියදම් කපා හැරීම අධෛර්යය කරන්නට නෙමෙයි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නයි. යෝජිත 2023 අයවැයෙන් දේශපාලනඥයින්ගේ වියදම් ඇතුළත් වන වැය ශීර්ෂ පහත තිබෙනවා.

ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය = රුපියල් මිලියන 2,800

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් මිලියන 926

අමාත්‍ය මණ්ඩල කාර්යාලය = රුපියල් මිලියන 178

පාර්ලිමේන්තුව = රුපියල් මිලියන 3,699

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය = රුපියල් මිලියන 70

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය =  රුපියල් මිලියන 159

විපක්ෂ නායක කාර්යාලය = රුපියල් මිලියන 216


මේ වියදම් සියල්ලේ එකතුව = රුපියල් මිලියන 8,047


අපේක්ෂිත ආදායම = රුපියල් මිලියන 3,433,000

ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.23%


ණය ගෙවීම්ද ඇතුළුව මුළු වියදම = රුපියල් මිලියන 7,879,499

මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.10%

ඉහත වියදම් සියල්ල දේශපාලනඥයින්ගේ වියදම් නෙමෙයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් එහි සේවකයින්ගේ වියදම්. ඔවුන් දේශපාලනඥයින් හෝ දේශපාලන පත්වීම් ලැබූ අය නෙමෙයි. අනෙක් අතට, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ වියදම් මෙහි ඇතුළත්ව නැහැ. ඒ වගේම, වෙනත් වැය ශීර්ෂ යටතේ "සැඟවුණු" වියදම් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, මම මේ සංඛ්‍යාලේඛණ වලට ලොකුවට බර තබන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ සියල්ල ලිහිල් ලෙස (conservatively) සලකා බැලීමෙන් පසුව වුවත්, දේශපාලනඥයින්ගේ වියදම් මුළු වියදම් වලින් 0.5%ක්වත් විය නොහැකියි. ඒ නිසාම, මේ වියදම් කොයි තරම් අඩු කළත්, පවතින වියදම් වලින් 99.5%ක්වත් එළෙසම පවතිනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. බොහෝ විට එම ප්‍රමාණය 99.9%ක් පමණම විය හැකියි. 

මේ හේතුව නිසා අනවශ්‍ය වියදම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. අඩු වශයෙන් ආදර්ශයක් ලෙස හෝ දේශපාලනඥයින් විසින් හැකි හැම වියදමක්ම කපා දැමිය යුතුයි. ආරක්ෂක වියදම් ගැන ඉදිරි සටහනකින් කතා කරමු. 

Monday, November 21, 2022

උද්ධමනය අඩුවීම තහවුරු වේ!

 

මේ වන විට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ වෙනස් වීමම නිරූපණය කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනයද 73.7% සිට 70.6% දක්වා අඩු වී තිබෙනවා.

මීට පෙර ප්‍රකාශයට පත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ඔක්තෝබර් උද්ධමනය 69.8% සිට 66.0% දක්වා ප්‍රතිශතාංක 3.8%කින් පහළ ගියා. ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මත පදනම් වූ උද්ධමනය ප්‍රතිශතාංක 3.1%කින් අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය (80.9%) මෙන්ම ආහාර නොවන උද්ධමනය (61.3%) තුළද මේ අඩු වීමේ ප්‍රවණතාව දැකිය හැකියි.

පවතින තත්ත්වය විස්තර කිරීම සඳහා යොදා ගත හොඳම උපමාව මගේ පෙර සටහනක ලියා ඇති දෙයයි. මුහුදේ ගිලී ඇති බෝට්ටුව අඟල් කිහිපයක් උඩට ඉස්සී ඇතත්, එය තවමත් තියෙන්නේ අඩි ගණනක් මුහුද යටයි. 

උද්ධමනය දිගින් දිගටම ක්‍රමික ලෙස අඩු වනු ඇතත්, අඩු වශයෙන් 2023 අප්‍රේල් පමණ වන තුරු එය සිදු වනු ඇත්තේ සෙමින්. ඒ අතර, ඇතැම් මාසයක උද්ධමනය සුළුවෙන් වැඩි වෙන්න වුනත් බැරි කමක් නැහැ. උද්ධමනය වඩා වේගයෙන් පල්ලම් බසිනු ඇත්තේ 2023 අප්‍රේල් වලින් පසුවයි. කෙසේ වුවත්, මේ වන විට අධි උද්ධමන අවදානම, තිරසාර ලෙස නොවුණත්, පාලනය වී තිබෙනවා. 

උද්ධමනය ගැන මැසිවිලි නගන අයට ආර්ථික අර්බුදයේ තරම හරියටම අවබෝධ වනු ඇත්තේ උද්ධමනය අඩු වීමෙන් පසුවයි. රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන අයට උද්ධමනයේ බලපෑම දැඩි ලෙස දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත්, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, අයෙකුගේ වියදම් වැඩිවීම යනු තවත් අයෙකුගේ ආදායම් ඉහළ යාමයි. නිෂ්පාදන වල යෙදෙන අයට උද්ධමනය නරකම නැහැ. ඒ අයටද ආර්ථික අර්බුදය දැනෙන්නට පටන් ගනු ඇත්තේ උද්ධමනය අඩු වූ පසුවයි.

බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය පහළ වැටී තිබෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම නිසා මිස උද්ධමනය නිසා පමණක් නෙමෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ උද්ධමනය පැවතුණේ අඩු මට්ටමකයි. එහෙත්, තමන්ගේ ආර්ථිකය දුර්වල වී තිබීම ගැන ඒ කාලයේත් බොහෝ දෙනෙකුට මැසිවිලි තිබුණා. ඒවා පක්ෂ දේශපාලනය මත පදනම් වූ බොරු මැසිවිලිම නෙමෙයි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගයට ලංකාවේ බොහෝ දෙනෙක් හුරු වී සිටියා. යහපාලන ආණ්ඩුව කාලයේ එම ආර්ථික වර්ධනය පහළ බැස්සා. එය මිනිස්සුන්ට දැනුනා. එහෙත්, ඒ කාලයේදීත් ආර්ථිකය සෙමින් හෝ වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම ශ්‍රී ලාංකිකයින්ට නුපුරුදු අලුත්ම දෙයක්. එය කුමක්ද කියා බොහෝ දෙනෙකුට තවමත් හරි අවබෝධයක් නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම කියන්නේ රටේ නිෂ්පාදනය අඩු වීම. මිනිසුන්ගේ ආදායම් අඩු වීම. රැකියා අහිමි වීම. මේ වගේ තත්ත්වයක් වලක්වා ආර්ථිකය නැවත ප්‍රසාරණය කිරීමේ හැකියාවක් දැන් රජයට හෝ මහ බැංකුවට නැහැ. එසේ කිරීම සඳහා තවත් සල්ලි අච්චු ගැසුවොත් ප්‍රතිඵලය අධිඋද්ධමන තත්ත්වයක් ඇති වීමයි. අධිඋද්ධමන තත්ත්වයක් ඇති වුවහොත් කොහොමටත් ජීවිතය යහපත් වන්නේ නැහැ.

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ ඉලක්ක කරන්නේ දරුණු රෝග දෙකකින් එකකට පමණක් පිළියම් කරන්නටයි. ලෙඩ දෙකකටම පිළියම් කළ නොහැකිනම් හොඳම දෙය පුළුවන් එකට හෝ පිළියම් කිරීම වුවත් එසේ කිරීමෙන් අනෙක් රෝගයේ වේදනා නිමා වන්නේ නැහැ.

උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිල අඩු වෙනවා කියන එක නෙමෙයි. ඩොලරයක මිල නැවත කලින් මට්ටමට එන්නේ නැතුවාක් මෙන්ම වැඩි වූ බඩු මිල නැවත අඩු වන්නේද නැහැ. උද්ධමනය අඩු වීම යනු බඩු මිල තවත් ඉහළ යාමේ වේගය පාලනය වීමක් පමණයි. ඒ හේතුව නිසාම, රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට අර්බුදයට පෙර පැවති ජීවිතය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ ආදායම අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කරමින් අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හරින්නට සිදු වෙනවා. බොහෝ දෙනෙක්ට දැනටමත් එසේ කරන්න සිදු වෙලා.

කෙසේ වුවත්, ඊළඟ වටයේදී ජීවිතය වඩාත්ම අසීරු වනු ඇත්තේ ඉහත කී  රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන පහළ මධ්‍යම පාන්තිකයින්ට නෙමෙයි. ඔවුන්ට කෙසේ හෝ ජීවිතය ගැට ගහගන්න පුළුවන්. එහෙත්, කලින් මෙන් මරුටියක්, ඇල්ටෝ එකක් නඩත්තු කිරීම, හන්දියට වුනත් ත්‍රිරෝද රථයක යාම, විශේෂඥවරුන් චැනල් කිරීම, සති අන්ත විනෝද චාරිකා, චීන අවන්හල් වල සෙට් වීම්, පන්සල් පල්ලි වල "ප්‍රසාංගික" ආගමික කටයුතු ආදිය කරන්න බැරි වෙයි. ගෙවන්න ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු, ගෙවල් හැදීම් කරන්න අමාරු වෙයි. 

විශාල පිරිසක් ඉහත ආකාරයේ වියදම් කපා හැරීම නිසා අපනයන හෝ සංචාරකයින් ඉලක්ක කර නොගත් සේවා ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වීම වැළැක්විය නොහැකියි. මුල් කණ්ඩායමට මෙන් නොව මෙහිදී පහර වදින කණ්ඩායමට තමන්ගේ ආදායම් මාර්ගය මුළුමනින්ම මෙන් නැති විය හැකියි. ආර්ථිකය සංකෝචනය වීමේ වඩාත්ම භයානක ප්‍රතිඵලය එයයි. සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් නැත්තටම නැති වී තිබෙන්නේද ආර්ථිකය සංකෝචනය වීම නිසා මිසක් උද්ධමනය නිසා නෙමෙයි. ඒ හේතුව නිසාම, උද්ධමනය අඩු වූ පමණින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීම රජයට හෝ මහ බැංකුවට කළ නොහැකි දෙයක්. ආණ්ඩුව මාරු වුනා කියාත් කෙටිකාලීනව මේ තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ රට ඇතුළේම තිබෙන සම්පත් එහා මෙහා කිරීම පමණයි. නමුත් මේ වෙලාවේ රට ඇතුළේ එවැනි සම්පත් නැහැ. රටේ හැමෝටම අමාරුයි. රටේ තත්ත්වය හොඳ අතට හැරිය හැක්කේ රටට පිටින් ලැබෙන දෙයකින් පමණයි. මෙය තවතවත් ණය වීමක් ලෙස හැඳින්විය හැකි වුවත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය යම් මට්ටමකින් හෝ පවත්වා ගැනීමටනම් යම් හෝ විදේශ ණය ප්‍රමාණයක් අවශ්‍යයි. 

ණය පැහැර හැර ඇති රටකට තවත් ණය ලබා ගත හැකිද? මේ කරුණ මා මේ සටහනේ දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එහෙත්, මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයක් නෙමෙයි. එහෙත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ දැනට පැහැර හැර ඇති ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ණය හිමියන්ට ලබා දීමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ සිදු වන්නේ එවැනි දෙයක්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වී යම් ණය ප්‍රමාණයක් අලුතෙන් ලබා ගත හැකි වුවහොත් තාවකාලිකව අර්බුදයෙන් ගොඩ යා හැකියි. එහෙත් එයින් අදහස් වන්නේ නැවත 2019 සිටි තැනට යා හැකි බව නෙමෙයි. තත්ත්වය තවත් නරක අතට හැරෙන එක නවත්වා ගැනීම පමණයි. 

හොඳම තත්ත්වයක් යටතේ වුවත් ගත් ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය එලෙසම ඉතිරි වෙනවා. ඒ නිසා, නැවතත් ගිතෙල් කා සැප විඳි කාලයට ආපසු යන්න බැහැ. වසරකට ඩොලර් බිලියන තුනකින් පමණ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ සැලසුමක් ගැන ඇහුණා. මේ විදිහට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ ශක්‍යතාවය කෙසේ වුවත්, වසර දහයකින් පසුව හෝ නැවත පෙර සිටි තැනට පැමිණිය හැකි එකම ක්‍රමය එයයි. 

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

Saturday, November 19, 2022

සල්ලි අච්චු ගැසීම


මෙහි සටහන් ලියා පළ කරද්දී පුද්ගලයින් විවේචනය කරමින් හෝ අගය කරමින් ලියන්නට අප වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අප විමසුමට ලක් කරන්නේ විවිධ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සිදුවන හෝ සිදු විය හැකි දෙයයි. එහිදී අදාළ ප්‍රතිපත්ති තීරණ හෝ ක්‍රියාමාර්ග මිස එම තීරණ ගත් පුද්ගලයා කවුද යන්න අප අදාළ කර ගන්නේ නැහැ. අප නිවැරදි සේ දකින තීරණයක් කවුරු ගත්තත් අප ඒ බව කියන්නට පැකිලෙන්නේ නැහැ. වැරදි තීරණ සම්බන්ධවත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.

අප විමසුමට ලක් කරන බොහොමයක් ප්‍රතිපත්ති තීරණ තාක්ෂනික ලෙස ආයතනික තීරණ වුවත්, විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භය තුළ, අදාළ ආයතන පාලනය කරන පුද්ගලයින් එම තීරණ කෙරෙහි කරන බලපැම අපට මග හැර යා නොහැකියි. ඒ හේතුව නිසාම, ලියන කිසියම් කරුණකදී සෘජුව හෝ වක්‍ර ලෙස පුද්ගල සංසන්දනයන් සිදු වන්නේනම් අප එය ප්‍රශ්නයක් කර ගන්නේ හෝ වංගු ගසා මග හැර යන්නේද නැහැ.

මේ කතාව රජයේ හෝ මහ බැංකුවේ තීරණ බොහොමයකටද අදාළයි. මහ බැංකුවේ තීරණ යනු ආයතනික තීරණ මිසක් එහි අධිපතිවරයාගේ තීරණ නෙමෙයි. ඒ හේතුව නිසාම, මහ බැංකුව විසින් අධිපතිවරුන්ගේ ධුර කාල අනුව තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ වෙන් කර පෙන්වන්නේ නැහැ. එහෙත්, විවිධ පුද්ගලයින් විසින් එසේ කරනවා. 

මෑතකදී හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු වන ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාල වල හා වත්මන් අධිපතිවරයාගේ කාලය තුළ මහ බැංකුව විසින් කළ "සල්ලි අච්චු ගැසීම්" ගැනද එවැනි සංසන්දනයක් සිදුව තිබෙනවා. මේ සටහන ඒ ගැන කිහිප දෙනෙකු විසින් සිදු කළ විමසුම් වලට පිළිතුරක් කියා කියන්න පුළුවන්.

මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද? මහ බැංකුව අච්චු ගහන සල්ලි කියන්නේ මොනවාද?

මම හිතන්නේ කියවන බොහෝ දෙනෙකුට තේරෙන තැනකින් පටන් ගෙන මෙය පැහැදිලි කිරීම වඩා සුදුසු බවයි. කාගේ හෝ අතේ ඇති රුපියල් සීයේ, පන්සීයේ හෝ පන්දාහේ නෝට්ටුවක් සල්ලි කියා මම කිවුවොත් මෙය කියවන කිසිවෙකු එයට විරුද්ධ වෙන එකක් නැහැ. රුපියලේ හෝ රුපියල් දහයේ කාසියක් වුනත් සල්ලි බව කවුරුත් එකඟ වන දෙයක්.

ලංකාවේ සංසරණයේ ඇති සියලුම රුපියල් නෝට්ටු හා කාසි සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය මහ බැංකුව හරියටම, අන්තිම සතේටම, දන්නවා. මහ බැංකුව මේ තොරතුරු ප්‍රසිද්ධ කළොත් අපිත් දන්නවා. 

පහත තියෙන්නේ 2019 වසර අවසානයේ සංසරණයේ තිබුණු රුපියල් නෝට්ටු ප්‍රමාණය.

රුපියල් 5000 නෝට්ටු මිලියන 89.3ක පමණ වටිනාකම - රුපියල් මිලියන 446,313 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 2.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 4,044 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 134.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 134,368 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 83.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 41,697 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 128 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 236.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 23,663 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 114.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන  5,721 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 293.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,877 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 126.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,260 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන  663,139 යි. 


මේ විදිහටම අපට සංසරණයේ තිබුණු කාසි ප්‍රමාණයේ වටිනාකමත් බලාගන්න පුළුවන්.

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6,721 යි.

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4,696 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,477 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 964 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 14,828 යි. 

ඔය රුපියලෙන් පහළ කාසි ඇත්තටම දැන් සංසරණයේ නැහැ. නමුත්, ඒවාත් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම රුපියල් මිලියන 677,967ක්. ඔය 2019 අවසාන වෙද්දී තිබුණු තත්ත්වය. 

දැන් අපි 2021 අවසානයේදී තත්ත්වය දිහා බලමු. 

රුපියල් 5000 නෝට්ටු මිලියන 145.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 729,384 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 1.5ක පමණ වටිනාකම - රුපියල් මිලියන 2,951 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 160.8ක පමණ වටිනාකම - රුපියල් මිලියන 160,771 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 104.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 52,284 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 126 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 274.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 27,472 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 141.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන  7,087 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 361.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,235 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 124.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,249 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 988,628 යි.

රුපියල් 20 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 41 යි. 

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 7,674 යි. 

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 5,168 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,588 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,023 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි. 

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 16,472 යි. 

2021 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 1,005,099 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 677,967 යි 

2019-2021 කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 327,132යි. 

2022 මාර්තු 31 වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 1,099,324 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 421,352ක්. මෙය 62.2%ක වැඩි වීමක්.

මේ වැඩි වීමෙන් රුපියල් මිලියන 318,413ක් වැඩි වුනේ 2019 අවසානයේ සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේ කාලය තුළ. ඉතිරි රුපියල් මිලියන 102,944 වැඩි වුනේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ කාලය තුළ.

කොහොම වුනත්, මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහනවා කියන කතාව ඔය තරම්ම සරල නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසා සංසරණයට එකතු කරන ආකාරය මම කිහිප වරක්ම විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. පසුව නැවතත් පැහැදිලි කරන්නම්. එතෙක්, දැන් කියා තිබෙන ටික පැහැදිලියිනේ. රුපියල් නෝට්ටු හා කාසි කියන්නේ සල්ලි බව කවුරුත් දන්නවා. මෙය කිසිසේත්ම විවාදිත කරුණක් නෙමෙයි. තේරුම් ගන්න අමාරු කරුණකුත් නෙමෙයි. 

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නෝට්ටු හා කාසි තියෙන්නේ කොහේද? මෙයින් කොටසක් මිනිස්සුන්ගේ අතේ තියෙනවා. ඉතිරි කොටස බැංකු වල. මිනිස්සු කිවුවහම ව්‍යාපාරත් ඇතුළත්. මේකත් පැහැදිලියිනේ. පහළ තියෙන්නේ 2022 ජූනි 30 වෙද්දී තත්ත්වය. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 317,305 යි. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 797,471 යි. 

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

ඒ කියන්නේ 2022 මාර්තු හා ජූනි අතර සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වී තියෙන්නේ රුපියල් මිලියන 15,452කින්. අවශ්‍යනම් කලින් වකවානු එක්ක සංසන්දනය කරගන්න. 

දැන් ඔය මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයෙන් බැංකු වලින් පිට තිබෙන කොටස කොහොමටත් සංසරණයේ තිබෙන කොටසක්නේ. ඒ මිනිස්සුන්ගේ අතේම තිබෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒ වගේම, බැංකු වල තියෙන්නෙත් මිනිස්සුන්ගේම සල්ලිනේ. මිනිස්සුන්ට ඕනෑ වෙලාවක ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්. 

මේ ප්‍රමාණය බැංකු වල තියෙන මිනිස්සුන්ගේ මුළු සල්ලි ප්‍රමාණය නෙමෙයි. ඕනෑ වෙලාවක ආපහු දෙන්න බලාගෙන බැංකු වල ලාච්චු වල, සේප්පු වල හෝ ATM වල තියෙන සල්ලි ප්‍රමාණය. එහෙම නැත්නම් අදාළ දවසේ මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සල්ලි. ඒ කියන්නේ සංසරණයේ තියෙන, අතින් අත යන නෝට්ටු හා කාසි වලින්ම කොටසක්.

මහ බැංකුව විසින් එළියට දමලා සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි ඔය විදිහට මිනිස්සුන්ගේ අතේ තිබිලා බැංකු වලට එනවා. නැවත බැංකු වලින් මිනිස්සුන්ගේ අතට යනවා. හැබැයි මේ විදිහට කැරකෙන්නේ එකම නෝට්ටු හා කාසි ටික. 

උදාහරණයක් විදිහට මිනිස්සු අතේ තිබෙන රුපියල් සීයේ නෝට්ටු වලින් කොටසක් දේශපාලනඥයෙක් විසින් එකතු කරගෙන තමන්ගේ බැංකු ගිණුමේ දාගත්තා කියලා හරි, ඉන් පසුව ඒ සල්ලි පන්දාහේ කොළ වලින් බැංකුවෙන් අරගෙන මැතිවරණ ප්‍රචාරණ වැඩ වෙනුවෙන් වියදම් කළා හරි කියලා රටේ සංචිත මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු. 

මීට අමතරව තවත් දෙයක් වෙනවා. බැංකු වලට ඔය විදිහට සල්ලි ආපුවහම බැංකු වලට ඒ තරම්ම සල්ලි අවශ්‍ය නැත්නම් බැංකු විසින් ඔය සල්ලි මහ බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. එහෙම කරද්දී සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි නැවත මහ බැංකුවටම එනවා. මිනිස්සු බැංකු වලින් සල්ලි ආපසු ගන්නවා වගේම බැංකු වලට සල්ලි ඕනෑ වුනාම බැංකු ගිහින් මහ බැංකුවෙන් සල්ලි ගන්නවා. පැහැදිලියිනේ.

දැන් ඔය විදිහට මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ බැංකු වලට අයිති සල්ලි. ඒ සල්ලි කලින් මහ බැංකුව විසින්ම සංසරණයට එකතු කරපුවා වීම වෙනම කතාවක්. හැබැයි දැන් මේ සල්ලි මහ බැංකුවට අයිති නැහැ. ඒ නිසා, අදාළ බැංකුව ඉල්ලපු ගමන් ඔය සල්ලි ආපසු දිය යුතුයි. හරියටම බැංකුවේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි බැංකුවේ සල්ලි නොවෙනවා වගේ. 

දැන් නෝට්ටු හා කාසි සංසරණය වෙන ක්‍රමය තවත් පැහැදිලියිනේ. මිනිස්සු අතින් බැංකුවට. බැංකුවෙන් මහ බැංකුවට. මහ බැංකුවෙන් නැවත බැංකුවට. බැංකුවෙන් මිනිස්සු අතට. හැබැයි කැරකෙන්නේ එකම සල්ලි ටික. 

ඔය විදිහට සල්ලි සංසරණය වෙමින් මහ බැංකුවට එන වෙලාවට මහ බැංකුව විසින් පරණ වෙච්ච නෝට්ටු එකතු කරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අළුත් නෝට්ටු සංසරණයට එකතු කරනවා. සමහර විට දාහේ කොළ පහක් වෙනුවට පන්දාහේ කොළයක් එළියට දමනවා. හැබැයි ඔය වගේ දේවල් කළා කියලා මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ.

අපි කලින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය කියලා ගණන් හැදුවේ මිනිස්සු අතේ හා බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය විතරයිනේ. නමුත් මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති මුදල් ප්‍රමාණයත් සල්ලිම කියන එක දැන් පැහැදිලි ඇතිනේ. මොකද නැවත මහ බැංකුවට ඇවිත් තිබුණත් මේ සල්ලි මහ බැංකුවේ තියලා තියෙන්නේ තාවකාලිකව පරිස්සමට. මහ බැංකුවට ඒ සල්ලි වල අයිතියක් නැහැ. ඇත්තටම කිවුවොත් බැංකු විසින් හදිස්සියකට ගන්න ඒ විදිහට සල්ලි යම් ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනෑ කියන එක නීතිමය අවශ්‍යතාවයක්. අපි කතා කරන කරුණට ඒක ඒ තරම් වැදගත් නැහැ. 

දැන් අපි මේ පදනම මත බැලුවොත් සංසරණයේ, ඒ කියන්නේ මිනිස්සු අතේ හා බැංකු වල, තිබෙන නෝට්ටු හා කාසි වලට අමතරව මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලිත් සල්ලිනේ. ඒ නිසා, අපිට සල්ලි ගැන කතා කරද්දී ඒ ප්‍රමාණයත් එකතු කරන්න වෙනවා. මහ බැංකුවේ ගිණුමක තියෙන සල්ලි කියන්නේත් නෝට්ටු හා කාසි වගේම තමයි. බඩේ බත් වගේ ෂුවර් සල්ලි. මොකද ඉල්ලන වෙලාවට අච්චු ගහලා හරි සල්ලි ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. බැංකුවක තියෙන සල්ලි වගේ බැංකුව බංකොලොත් වෙයි කියන අවදානම නැහැ. 

ඔය ගොඩවල් තුන එකතු කරලා තමයි සංචිත මුදල් කියා කියන්නේ.

සංචිත මුදල් = බැංකු වලින් පිට තිබෙන නෝට්ටු හා කාසි + බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි + මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති සල්ලි.

මම හිතන්නේ මේ විදිහට කිවුවහම ඕනෑම කෙනෙක්ට මේක තේරෙයි. සල්ලි කියලා වඩාත්ම පහසුවෙන් ඕනෑ කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ඔය ගොඩවල් තුනෙන් එකක තිබෙන සල්ලි පමණයි. වෙන විදිහකට කිවුවොත් ෂුවර්ම සල්ලි. 

දැන් අපි 2019 අවසානයේ ඔය ගොඩවල් තුන වෙන වෙනම අරගෙන බලමු.

2019 අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 183,759 යි. 

2019 අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 494,208 යි.  

2019 අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 254,582 යි.  

2019 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 932,549 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් අච්චු ගසා එළියට දමා තිබුණු මුළු මුදල් ප්‍රමාණය තමයි ඔය. එම ගණනට නැවත මහ බැංකුවේම තැන්පත් කර තිබෙන සල්ලිත් ඇතුළත්. මොකද ඒ සල්ලි මහ බැංකුව විසින් නිකුත් කරපුවා වුනත්, දැන් තියෙන්නෙත් මහ බැංකුවේ සේප්පු වලම වුනත්, මහ බැංකුවට අයිති සල්ලි නෙමෙයිනේ. 

සංචිත මුදල් කියන්නේ ඔය සල්ලි ටික. මම හිතන්නේ මම විස්තර කර තිබෙන විදිහට ඕකේ පටලවගන්න කිසිම දෙයක් නැහැ. තේරුම් ගන්න අමාරු කිසිම දෙයක් නැහැ. එකඟ වෙන්න බැරි දේවල් නැහැ. ඒ වගේම, ඔය විස්තරය කියවලා තේරුම් ගන්න කිසිම ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යත් නැහැ.

දැන් අපි 2022 මාර්තු අවසන් වෙද්දී තත්ත්වය බලමු. ඒ කියන්නේ අලුත් අධිපති නන්දලාල් වැඩ බාර ගන්න සතියකට වගේ කලින්. 

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංචිත මුළු මුදල් ප්‍රමාණයේ වැඩි වීම = රුපියල් මිලියන 454,151ක්. මෙය 48.7%ක වැඩි වීමක්.

මේ විදිහට සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද?

මම හිතන්නේ සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක මම හොඳින් පැහැදිලි කළා. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුවේම නැවත තැන්පත් කර තිබෙන නෝට්ටු හා කාසිද ඇතුළුව, මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය. ඔය විදිහට තේරුම් ගත්තහම හරිම සරලයි. 

ඕකට භාණ්ඩාගාර බිල්පත් වගේ නොතේරෙන දේවල් පටලවා ගන්න අවශ්‍ය නැහැ. තේරෙන කෙනෙක්නම් පටලවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංචිත මුදල් හා භාණ්ඩාගාර බිල්පත් පටලවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ගොඩක් අය දැන් මේ සටහන සැලකිල්ලෙන් කියවා අවසන් කළ ඔබ හැමෝටම තිබෙනවායැයි මම හිතන ඒ මූලික අවබෝධයවත් නැති අයයි.

සංචිත මුදල් කියන්නේ මොනවාද කියා හොඳින් පැහැදිලි කළත් සංචිත මුදල් අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා මම මේ සටහනේ පැහැදිලි කළේ නැහැ. මීට කලින් වාර ගණනක්ම එය පැහැදිලි කර තිබෙනවා. එය පැත්තක තියා, සංචිත මුදල් වලට නැවත ආවොත්, මම ඔය මුලින් විස්තර කළ සල්ලි ප්‍රමාණය, ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය, මිනිස්සු, බැංකු හා මහ බැංකුව අතර නිරන්තරයෙන් කැරකෙනවා. සමහර විට මහ බැංකුව එක නෝට්ටුවක් විනාශ කරලා ඒ වෙනුවට වෙන නෝට්ටුවක් එළියට දමනවා. හැබැයි එහෙම කළා කියලා සංචිත මුදල් ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ මහ බැංකුව විසින් කිසියම් වියදමක් කරද්දී. උදාහරණයක් විදිහට මහ බැංකුව විසින් අධිපතිවරයාගේ වැටුප් ගෙවද්දී සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පරණ අධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් ඇරියස් ගණන් හදලා මුදලක් ගෙවද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මොකද මේ දේවල් වෙනුවෙන් රජය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. මහ බැංකුවට මිනිස්සුන්ගෙන් බදු අය කරන්නත් බැහැ. මහ බැංකුව කරන්නේ සල්ලි අච්චු ගහලා වියදම් කරන එක.

මහ බැංකුව විසින් මහ බැංකුවේ පාවිච්චියට පරිගණකයක් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ සංචිත තර කර ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් රජයෙන් හෝ වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් සංචිත මුදල් වැඩි වෙනවා. 

මහ බැංකුව වියදම් කරද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම, මහ බැංකුවට ආදායම් ලැබෙද්දී සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව මහ බැංකු ප්‍රකාශනයක් විකුණලා රුපියල් පන්සීයක් අය කරද්දී සංසරණයේ තිබෙන රුපියල් පන්සීයක් නැවත මහ බැංකුවට එනවා. ඒ එන්නේ තැන්පතුවක් විදිහට නෙමෙයි. මහ බැංකුව විසින් උපයපු ආදායමක් විදිහට. ඒ නිසා, මහ බැංකුවේ තිබෙන බැංකු වල තැන්පතු වගේ මේ රුපියල් පන්සීය පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම මහ බැංකුවේ එකතු කරගෙන තිබෙන විදේශ සංචිත විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතක් විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, ඒ දිහා බලලා මහ බැංකුව සල්ලි අච්චු ගහලද නැද්ද කියා තීරණය කරන්න බැහැ. ඒක අලියාගේ කණ අතගාලා අලියා ගැන ලොකු ප්‍රකාශ කරනවා වගේ වැඩක්. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මොකද මහ බැංකුව විසින් සතිපතාම සංචිත මුදල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරනවා.

මහ බැංකු අධිපති ධුරයට ලක්ෂ්මන් පත් වුනේ 2019 දෙසැම්බර් 24. කබ්රාල් එම ධුරයට ආවේ 2021 සැප්තැම්බර් 15. නන්දලාල් වැඩ භාරගත්තේ 2022 අප්‍රේල් 7. පහතින් තියෙන්නේ මේ දවස් වලට ආසන්නම දවස් වල සංචිත මුදල් ප්‍රමාණ.

2019 දෙසැම්බර් 26න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 941,498 යි.

2021 සැප්තැම්බර් 16න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,291,257 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 349,759 යි.


2022 අප්‍රේල් 7න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,425,822 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 134,565 යි.


2022 නොවැම්බර් 17න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,336,145 යි.

සංචිත මුදල් අඩු වීම - රුපියල් මිලියන 89,677 යි.

මේ විදිහට කාලයක් තිස්සේ විශාල ලෙස ඉහළ දමා තිබෙන සංචිත මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ අඩු කිරීම ඉතාම ආයාසකර කටයුත්තක්. මෙය තාක්ෂනික ලෙස බැලුවොත් මහ බැංකුවේ ආයතනික කටයුත්තක් වුවත්, එසේ කිරීම සඳහා මහ බැංකුවට නායකත්වය දීම පිළිබඳව වත්මන් මහබැංකු අධිපතිවරයාව අගය කරන එක අසාධාරණ කටයුත්තක් නෙමෙයි. 

තත්ත්වය එසේ තිබියදී, මහ බැංකුවට පිළිතුරු දිය නොහැකි වීමේ වාසිය ගනිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, වැරදි තොරතුරු ඉදිරිපත් කර රටේ ජනතාව නොමග යවමින්, ඇතැම් පුද්ගලයින් විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනඥයා මොන වගේ අයෙක්ද කියන එකයි. විමසිල්ලක් නොකර මේ වගේ පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.

Thursday, November 17, 2022

ඩොලර් එක කීයට යයිද?

නිදහස් වෙළඳපොළක සමතුලිත මිල මොකක්ද කියලා හරියටම බලාගන්න වෙන්නේ වෙළඳපොළ නිදහස් කිරීමෙන්ම පමණයි. වෙන ක්‍රමයක් නැහැ. වෙළඳපොළ නිදහස් කරන්නෙම ඒකට. සමතුලිත මිල කලින් හරියටම පුරෝකථනය කරන්න පුළුවන්නම්, නිදහස් වෙළඳපොළක් අවශ්‍ය නැහැ. 

මේ කතාව ඩොලරයක මිලටත් අදාළයි. මිල නිදහසේ තීරණය වෙන්න ඉඩ දුන්නට පස්සේ කීයක් වෙයිද කියන එක දැනගන්න වෙන්නේ එහෙම ඉඩ දීලම තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය තර්කය වලංගු වෙන්නේ ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න දුන්නොත්. එහෙම දෙයක් කවදාවත්ම වෙලා නෑ වගේම ඉදිරියේදී වෙන එකකුත් නැහැ. ඩොලරයට ලැබෙනු ඇත්තේ සාපේක්ෂ නිදහසක්. ඒ නිසා, අපිට මිල ගැන යම් අනුමාන කරන්න පුළුවන්. 

විණිමය අනුපාතයේ හැසිරීම ගැන විස්තර කෙරෙන එක් ආර්ථික විද්‍යා න්‍යායයක් තමයි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය. මේ ගැන මම වරින් වර විස්තරාත්මක පැහැදිලි කිරීම් කරලා තියෙනවා. දැන් මෙය කියවන ගොඩක් අය අලුතෙන් එකතු වූ අය නිසා අපි ඒ ගැන නැවතත් ටිකක් කතා කරමු. 

ක්‍රය ශක්ති සාම්‍ය න්‍යායයෙන් විස්තර කරන්නේ විණිමය අනුපාතය හා උද්ධමනය අතර සම්බන්ධය. අපි උදාහරණයක් විදිහට ලංකාව හා ඉන්දියාව ගනිමු. යම් කිසි නිශ්චිත මොහොතක ඉන්දියානු රුපියලක් හා ශ්‍රී ලංකා රුපියලක් සමානයි කියා හිතමු. 1965 වෙනකල්ම ඇත්තටම තිබුණු තත්ත්වයත් ඕකයි. ඊට පස්සේ ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට වඩා ශක්තිමත් වෙලා, ශත 65කට පමණ ඉන්දියානු රුපියලක් ගන්න පුළුවන් වූ කාලයකුත් තිබුණා. පසුව, ශ්‍රී ලංකා රුපියල දුර්වල වුනා. අපි මුල් උදාහරණයේ සඳහන් ඉන්දියානු හා ශ්‍රී ලංකා රුපියල් සමාන වූ තත්ත්වයෙන් පටන් ගනිමු.

දැන් අපි ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය වෙත ගියොත්, එම න්‍යාය අනුව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳාමට කිසිම බාධාවක් නැත්නම්, රටවල් දෙකේ බඩු වල මිල සමාන විය යුතුයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් සීයයි. ලංකාවේ හාල් කිලෝවක් රුපියල් දෙසීයනම් ඉන්දියාවේත් ඉන්දියානු රුපියල් දෙසීයයි. 

මේක තේරුම් ගන්න අපහසු නැහැනේ. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් පණහ වුනොත් ලංකාවේ පොල් විකුණන්නේ නැතිව ඉන්දියාවට යවන එක ලාබයි. මොකද එවිට රුපියල් සීයක් ලැබෙනවා. ඒ හේතුව නිසාම ලංකාවේ පොල් මිලත් සීය වෙනවා. අනෙක් අතට ලංකාවේ හාල් කිලෝ එක රුපියල් තුන් සීයනම් ඉන්දියාවෙන් රුපියල් දෙසීයට හාල් ගේන්න පුළුවන්. හාල් මිල බහිද්දී ලංකාවේ හාල් හදා විකුණන්නේ කිලෝව දෙසීය ගානේ විකුණලා ලාබ ගන්න පුළුවන් අය විතරයි. 

දැන් මේ වැඩේ වෙද්දී ඉන්දියාවෙන් හාල් ආනයනය කරන්න විදේශ විණිමය අවශ්‍ය වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් පොල් අපනයනය කරලා විදේශ විණිමය ලැබෙන නිසා අවුලක් නැහැ. ඉංග්‍රීසි කාලයේදී ඇත්තටම වුනෙත් ඔය වගේ දෙයක්. විණිමය අනුපාතය අවුලක් නැතිව සමානව තියා ගන්න පුළුවන් කියන්නේ ආනයන වියදම් හා අපනයන ආදායම් සමතුලිත වෙනවා කියන එකයි. රටවල් දෙක අතර ක්‍රය ශක්ති සාම්‍යය පවතිනවා කියන්නේ ඔය වගේ තත්ත්වයක්.

දැන් ඔහොම සමතුලිතතාවයක් තියෙද්දී ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරලා ඒ අඩුව පුරවන්න විශාල ලෙස සල්ලි අච්චු ගැහුවොත් මොකද වෙන්නේ? අපි නිකමට වගේ හිතමු ක්ෂණිකව මුදල් සැපයුම දෙගුණ කළා කියලා. දැන් ලංකාවේ හැම බඩුවක්ම වගේ දෙගුණ වෙනවා. ඒ කියන්නේ 100%ක උද්ධමනයක්. හැබැයි ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. 

මේ වැඩේ වෙච්ච ගමන් ලංකාවේ නිෂ්පාදකයෙක්ට කිසිම දෙයක් හදලා ලංකාවේ හෝ ඉන්දියාවේ විකුණන්න බැරුව යනවා. මොකද ඉන්දියාවේ බඩු බාගෙට බාගයක් ලාබයි. අපනයන ආදායම් නැහැ. ආනයන වියදම් විතරයි. 

ඔය වගේ දෙයක් වුණාම විණිමය වෙළඳපොළේ සමතුලිතතාවය නැති වෙනවා. හැමෝම ඉන්දියන් රුපියල් ඉල්ලුවත් විකුණන්න කවුරුවත් නැහැ. ඕක වෙච්ච ගමන් ඉන්දියානු රුපියලේ මිල ඉහළ යන්න පටන් ගන්නවා. වැඩේ නවතින්නේ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකා රුපියල් දෙකක් වුනාට පස්සේ. මොකද ඊට පස්සේ ආයෙත් අර මුලින් තිබුණු තත්ත්වය. විනිමය අනුපාතය සැලකුවහම රටවල් දෙකේම බඩු මිල සමානයි. ඉන්දියාවේ හාල් කිලෝවක් ඉන්දියානු රුපියල් දෙසීයනම් ලංකාවේ රුපියල් හාරසීයයි. ලංකාවේ පොල් ගෙඩියක් රුපියල් සීයනම් ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පණහයි. ආයෙමත් ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙලා.

දැන් මේ විදිහට එක් රටක හෝ රටවල් දෙකේම මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී නැවත ක්‍රය ශක්ති සාම්‍යය ඇති වෙන්නනම් රටවල් දෙක අතර උද්ධමන වෙනසට සමානව විණිමය අනුපාතය වෙනස් වෙන්න ඕනෑ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ උද්ධමනය 2%නම්, ලංකාවේ 10%නම්, ඩොලරයක රුපියල් මිල 8%කින් ඉහළ යා යුතුයි. නැත්නම් ලංකාවට කලින් වගේ අපනයන කරන්න බැහැ. ඒ වගේම ආනයන එක්ක තරඟ කරන්නත් බැහැ. 

ඔය කියන න්‍යාය කියන විදිහටම වැඩ කරනවද? වෙළඳාමට බාධා නැති රටවල් අතරනම් ඔය න්‍යාය වැඩ කරනවා. හැබැයි දිගුකාලීනව. කෙටිකාලීනව විණිමය අනුපාතය වෙනස් වෙන්න තව ගොඩක් දේවල් බලපානවා. ජාත්‍යන්තර වෙළඳාමට බාධා තිබෙන රටවල් අතර මේ වැඩේ දිගුකාලීනව වුනත් හරියටම වෙන්නේ නැහැ. 

වැදගත්ම කරුණ මේ ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය අදාළ වෙන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙද්දී. එහෙම නැතුව රජය හෝ මහ බැංකුව විසින් විණිමය අනුපාතය තීරණය කරනවානම් ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගන්න සැලකිලිමත් විය යුතුයි. ලංකාව මුල ඉඳලම, ඒ කිවුවේ නිදහස ලබපු කාලේ ඉඳලම, කරපු වැරැද්ද ඔය න්‍යාය අමතක කරපු එක.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට රජයේ අයවැය හිඟය තුලනය වෙනවානම්, සල්ලි අච්චු ගහන්න උවමනාවක් නැති නිසා, විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. සිංගප්පූරුව වගේ අයවැය අතිරික්තයක් තිබුණු රටවල් ඒ අතිරික්තය යොදවා විදේශ සංචිත එකතු කර ගනිද්දී සිංගප්පූරු ඩොලරය එන්න එන්නම ශක්තිමත් වුනෙත් ඔය ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුවයි. 

ගොඩක් අය හැත්තෑ හතෙන් පස්සේ කාලය ගැන කතා කළත් ලංකාව වැඩ වරද්දා ගත්තේ ඊට ගොඩක් කලින් නිදහස ලැබුණු දවස් වල ඉඳලමයි. විශේෂයෙන්ම 1956න් පස්සේ. අන්තිමට ලංකාවේ අයවැය අතිරික්තයක් තිබුණේ 1955 අවුරුද්දේ. ඊට පස්සේ අද දක්වාම දිගටම ආදායමට වඩා වියදම වැඩියි. 

රජයේ ආදායමට වඩා වියදම වැඩියි කියන්නේ අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගැහිල්ල ජයටම වෙනවා කියන එක. මේ විදිහට සුබසාධන වියදම්, "ජනසතු" කළ රාජ්‍ය ආයතන වල පාඩු, නාස්ති, දූෂණ පියවගන්න සල්ලි අච්චු ගහද්දී විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්නවා කියන්නේ ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙනවා කියන එකයි. ඔය වැරැද්ද හදන්නේ නැතුව "දේශීය ආර්ථිකය දියුණු කරන" ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 

ආනයන ඉහළ ගිහින් අපනයන අඩු වෙද්දී විදේශ විණිමය හිඟයක් ඇති වෙනවා. නමුත් නිදහස් ලංකාවේ මුල් ආණ්ඩු වලට මේ විදේශ විණිමය හිඟය ප්‍රශ්නයක් වුනේ නැහැ. රටේ විදේශ ණය ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් සුද්දා ඉතුරු කරලා ගිහින් තිබුණා. ඒ කාලයක් තිස්සේ අයවැය අතිරික්ත පවත්වා ගැනීම මගින්. මේ සංචිත ටික හිඳෙන තුරු ලංකාවේ ආණ්ඩු වලට අත දිග ඇරලා ආනයන වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වුනා. එහෙම ආනයනය කරන හාල් වගේ දේවල් සලාක විදිහට නිකම්ම හෝ ඉතා අඩු මිලකට බෙදා දෙන්න පුළුවන් වුනා. හරියට මෑතක් වන තුරු අඩුවට ඉන්ධන විකිණුවා වගේ.

වැඩේ පත්තු වුනේ සුද්දා ඉතුරු කරලා ගිය සංචිත ටික ඉවර වුනාට පස්සේ. හැබැයි ඊට පස්සෙත් ආදායම ඉක්මවා වියදම් කරන පුරුද්ද නැවතුනේ නැහැ. 1965දී IMF ගිහින් පටන් ගත්ත සෙල්ලම දිගින් දිගටම සිදු වුනා. දිගින් දිගටම ණය ගනිමින් අයවැය හිඟය නඩත්තු කෙරුණා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියෙවුවත් ඊට හරියන තරමට රුපියල අවප්‍රමාණය කළේ නැහැ. ඒ නිසාම, ක්‍රය ශක්ති සාම්‍යය නඩත්තු වුනේ නැහැ. 

ලංකාව නමට හරි විණිමය අනුපාතය පා කළේ 2001 අවුරුද්දේදී. එතෙක් තිබුණේ කිසියම් ආකාරයක පාලිත විණිමය අනුපාත ක්‍රමයක්. ඔය ක්‍රමයට දිගටම යන්න බැරි වෙලා 2001දී නිල වශයෙන් රුපියල පා කළත් ඒ පා කිරිල්ල කවදාවත්ම හරියට සිදු වුනේ නැහැ. හැමදාමත් රුපියලට පාවෙන්න ලැබුණේ රජයට හා මහ බැංකුවට අවශ්‍ය තරමට පමණයි.

පහළින් තියෙන්නේ 2001දී රුපියලේ මිලෙන් ක්‍රය ශක්ති සාම්‍යය නිරූපණය වුනා කියන උපකල්පනය මත, ඉන් පසුව සිදු වුන දේ. ඇත්තටම 2001දීත් ක්‍රය ශක්ති සාම්‍යය තිබුණේ නැහැ. නමුත් අපි එතැන් සිට සිදු වූ දේ දිහා බලමු.


විණිමය අනුපාතය පා කළ 2001 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඉඳලා 2022 ඔක්තෝබර් මාසය දක්වා ගත වූ මාස 250ක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය 7.12 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ ඇයි කියා කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ රජය වගේම ඇමරිකාවේ රජයත් ආදායම ඉක්මවා වියදම් කරමින් සල්ලි අච්චු ගහන නිසා ඇමරිකාවෙත් ඔය වැඩේ වෙලා තිබෙනවා. හැබැයි ලංකාවේ තරමට නෙමෙයි. ඔය මාස 250 තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය වැඩි වෙලා තියෙන්නේ 68.6%කින් පමණයි. 

ලංකාවේ අයවැය හිඟය නිසා මේ විදිහට ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙද්දී ඒ බාල්දු වීම විණිමය අනුපාතයෙන් නිරූපණය විය යුතුයි. ඒ වැඩේ හරියට වුනානම් තිබිය යුතු වූ විණිමය අනුපාතය තමයි වගුවේ තියෙන්නේ. ඇත්තටම තිබුණු විණිමය අනුපාතයත් තියෙනවා. 

වෙනස ගොඩක්ම වැඩි සිවිල් යුද්ධය, ඉවර වීමෙන් පසු, 2010 හා 2011 වගේ අවුරුදු වලදී. ඒ කාලයේ ඩොලරයක මිල තිබිය යුතු මිලෙන් 58%ක් වගේ. ඒ කියන්නේ ආනයන වලට 42%ක වට්ටමක් දුන්නා වගේ වැඩක්. 

රටේ මිනිස්සු වැඩියෙන් ආනයන පරිභෝජනය කළා කියා බනින, දුක් වෙන ගොඩක් අය ඉන්නවා. නමුත්, 42%ක වට්ටමකට බඩු ලැබෙද්දී නොගන්නේ කවුද? විශාල ආනයන අපනයන පරතරයක් හැදුනේ ඔය හේතුව නිසා. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 195ක් වෙද්දී , ඇත්ත මිල තිබුණේ රුපියල් 113 වගේ මට්ටමක. ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 219ක් වෙද්දී ඇත්ත මිල තිබුණේ 131 වගේ මට්ටමක. ඒ කියන්නේ, රුපියල් ලක්ෂ 22ක් විය යුතු වාහනයක් ලංකාවට එන්නේ රුපියල් ලක්ෂ 13ට. රජය වාහන වලට විශාල තීරු බද්දක් අය කළ නිසා ඔය වාසිය ලැබුනේ වාහන බලපත්‍ර තිබුණු දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට පමණක් වුනත් අනෙක් ගොඩක් ආනයනික බඩු මිල දී ගනිද්දී හැමෝටම ඔය වට්ටම ලැබුණා.

මගේ ගණන් හැදීම් අනුව 2022 ඔක්තෝබර් අවසාන වෙද්දී ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ක් පමණ. ඔය ගණන් හැදීම කරලා තියෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිවැරදියි කියා උපකල්පනය කරලා. එය ගණන් හදා තිබෙන ක්‍රමය නිවැරදි සේ සැලකුවත්, ඩොලරයක මිල රුපියල් 393 වුනානම් පාරිභෝගික මිල දර්ශකය දැන් තියෙන මට්ටමේ තියෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම ක්‍රය ශක්ති සාම්‍ය මිල රුපියල් 393ට වඩා වැඩි විය යුතුයි. සමහර විට රුපියල් 450ක් පමණ. 

මෙයින් අදහස් කරන්නේ රුපියල පා කළොත් ඩොලරයක මිල ඔය මට්ටමට යනවා කියන එක නෙමෙයි. නමුත්, ඔය වගේ මට්ටමකදී බොහෝ විට ආනයන ඉල්ලුම හා ණය නොවන ඩොලර් සැපයුම සමාන වෙන්න පුළුවන්. හැබැයි පහුගිය කාලය පුරාම ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා නොගනිමින්, ඩොලරයක මිල පහළින් තියා ගැනීම සඳහා යෙදවූ විදේශ ණය හා ඒ ණය වල පොලිය ගෙවන්න ඩොලර් නැති වීමේ ප්‍රශ්නය තව දුරටත් ඉතිරි වෙනවා. ඒ නිසා, ණය ගෙවන්න ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්න ගියොත් ඩොලරයක මිල ඔය වගේ තැනක නවතින්නේ නැහැ.

මේ ඔක්කොම වෙන්නේ රුපියල පා කළොත්නේ. මම හිතන්නේ IMF වැඩ පිළිවෙළ තුළ තියෙන්නෙත්, මහ බැංකුව බලාපොරොත්තු වෙන්නෙත්, තව යම් ණය ප්‍රමාණයක් අරගෙන රුපියල පා කරන්න මිසක් හදිසියේ පා කරන්න නෙමෙයි. විණිමය අනුපාතය තිබිය යුතු තැන ගැන හිතද්දී ඔය කණ්ඩායම් දෙකම අනිවාර්යයෙන්ම මම ලිපියේ විස්තර කරපු ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය සලකා බලනවා. වැඩ පිළිවෙළ දැනටම හදලා තියෙන්නේ ඕක සලකා බලලා.

හැබැයි එයින් අදහස් වන්නේ වැඩ පිළිවෙළේ ඇස්තමේන්තුව මගේ ඇස්තමේන්තුවම කියන එක නෙමෙයි. මගේ ඉහත ඇස්තමේන්තුව අනුවනම් ඩොලරයක මිල තව ටිකක් ඉහළ යා යුතුයි. හැබැයි මම ගණන් හැදුවා වගේ 2001 සිට පටන් නොගෙන 2004 වගේ තැනකින් පටන් අරගෙන සැසඳීමක් කළොත් දැන් තිබෙන රුපියල් 360 මට්ටමත් ඕනෑවට වඩා වැඩි මට්ටමක් ලෙස පෙනෙන්න පුළුවන්. මහ බැංකු අධිපතිගේ කතා වලින් පෙනෙන්නේ ඔහුගේ අදහස එවැන්නක් බවයි. ඇතැම් විට මේ අදහස සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී සිටිනවා වෙන්න පුළුවන්. 

කතාව එවැන්නක්නම්, එයින් කියැවෙන්නේ ඩොලරයක මිල දැන් තිබෙන රුපියල් 360 මට්ටමේ තියා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් හොයා ගෙන මිස රුපියල පා නොකෙරෙනු ඇති බවයි. එය කිරීමේ ශක්‍යතාවය ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?

ඩොලර් එක දැන් තියෙන මට්ටමේ තියෙන්නේ පාලිත තත්ත්වයක් යටතේ කියලා කවුරුත් වගේ දන්නවා. ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න ඇරිය යුතු බව IMF එකේත් නිර්දේශයක්. ඒ විදිහට ඩොලරය නැවත පා කළහම කීයට යයිද කියන එක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම පුළුවන්නම්, මම ඒ ගැන සටහනක් නොදා ඉන්නේ නැහැ. මේ වැඩේ මූලධාර්මික ලෙසම කළ නොහැකි වැඩක්. මොකද එහෙම පුළුවන්නම්, එයින් අදහස් වන්නේ ඩොලරයට වෙළඳපොළෙන් ස්වායත්ත කිසියම් ආකාරයක වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක. 

ඩොලරයක මිල පමණක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක වටිනාකම සම්බන්ධ ධනවාදී අදහස භාණ්ඩයකට හෝ සේවාවකට එවැනි වාස්තවික (objective) වටිනාකමක් නැහැ කියන එක. භාණ්ඩයකට ඒ මත යෙදවූ ශ්‍රමය මත පදනම් වන විශ්වීය (universal), වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක මාක්ස්වාදී අදහසක්. මාක්ස්වාදයේ එන සූරාකෑම කියන කතාව ප්‍රබන්ධ කර තියෙන්නේ ඔය උපකල්පනය මත පදනම්වයි.

ධනවාදී ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම කියන්නේ ආත්මීය (subjective) කරුණක්. එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. රජයට හෝ වෙනත් පුද්ගලයෙක්ට කවදාවත් ඒක හරියටම දැන ගන්න බැහැ. වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වන්නේම මේ හේතුව නිසා. ගනුදෙනු හරහා භාණ්ඩයකට අඩු ආත්මීය වටිනාකමක් දෙන අය අතේ තිබෙන භාණ්ඩ එම භාණ්ඩයටම වැඩි ආත්මීය වටිනාකමක් දෙන අය අතට යනවා. මේ හරහා අගය එකතු වීමක් (value addition) සිදු වෙනවා. ගනුදෙනු වැඩි වන තරමට භාණ්ඩය මත අගය එකතු වීම වැඩියි. 

"වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?


කාගෙවත් ඇස නොගැටෙන 

ඇති නිසා හැමතැනම අපමණව 

ගස් යට වැටී කුණුවන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


දහදියෙන් පෙඟී ගිය 

අත් මිටක මොලවාන 

උතුරනා සෙනෙහසින් අපමණව 

ඔබට දෙන්නට 

සඟවාගෙන ආ වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


නැති නිසා ඔබ ආවේ 

සොවින් පිරි හදවතින් අපමණව 

වීසි කළ ලාච්චුව මුල්ලකට 

කුණු වී දිරා යන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?"


උඩින් තියෙන ජනක විජයකුලසූරියගේ කවියේ භාණ්ඩයක වටිනාකම පිළිබඳ ධනවාදී අදහස ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, ලාච්චුව මුල්ලේ කුණු වී දිරා යන වෙරළු ගෙඩියටත් ආත්මීය වටිනාමක් තිබෙනවා. නමුත් එය විශ්වීය වටිනාකමක් නෙමෙයි. වටිනාකම තියෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාටම වුනත්, ඒ වෙරළු ගෙඩියේ තිබෙන ආත්මීය වටිනාකම සර්වකාලීන වටිනාකමක් නෙමෙයි. කාලයත් එක්ක වටිනාකම් වෙනස් වෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් භාණ්ඩයකට දෙන ආත්මීය වටිනාකම අපිට හරියටම දැන ගන්න බැරි වුනත්, ඒ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි එය කළ හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. මෙය ඩොලරයක මිලටත් අදාළයි.

කවුරු හෝ කෙනෙක් රුපියල් 360කට ඩොලරයක් මිල දී ගන්නවානම් එයින් අදහස් වෙන්නේ එම පුද්ගලයා ඩොලරයට දෙන ආත්මීය වටිනාකම අවම වශයෙන් රුපියල් 360ක් බවයි. එය ඊට වඩා වැඩි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, එය විකුණන පුද්ගලයා ඩොලරයකට දෙන උපරිම ආත්මීය වටිනාකම රුපියල් 360යි. එය ඊට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

දැන් එතකොට ඩොලරයක මිල කියා කියන්නේ කුමක්ද? 

ඕනෑම භාණ්ඩයක, මේ උදාහරණයේදීනම් ඩොලරයක, වෙළඳපොළ මිල කියන්නේ සමස්තයක් ලෙස අදාළ භාණ්ඩයට වැඩිම සමුච්ඡිත ආත්මීය වටිනාකමක් ලබා දෙන මිලයි. ඒ ඇයි?

වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. අපි හිතමු ඩොලරයක ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 400ක් කියලා. එයින් කියැවෙන්නේ කුමක්ද? 

ඩොලරයකට රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් දෙන ඕනෑම කෙනෙකුට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ගෙවන්නේ තමන්ට සාපේක්ෂ ඩොලරයක ආත්මීය වටිනාකමට වඩා අඩු මිලක්. අනෙක් අතට තමන් අතේ තිබෙන ඩොලරයක රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් නොදකින ඕනෑම කෙනෙකුට තමන්ගේ ආත්මීය වටිනාකමට වඩා වැඩි මිලකට ඩොලරයක් විකුණන්න පුළුවන්. මේ වැඩෙන් වෙන්නේ ඩොලර් විකුණන වගේම මිල දී ගන්නා හැම කෙනෙක්ම අතිරික්ත තෘප්තියක් ලබන එක. අතිරික්ත ආත්මීය වටිනාකමක් එකතු කර ගන්න එක.

දැන් ඔය මිල රුපියල් 400 නොවී රුපියල් 360 මට්ටමේ හිර කර ගෙන ඉඳිද්දී වෙන්නේ කුමක්ද? ඩොලරයට රුපියල් 360ක ආත්මීය වටිනාකමක් නොදෙන අය තමන්ගේ ඩොලර් විකුණනවා. ඒ අයට වගේම ඒ ඩොලර් මිල දී ගන්න අයටත් කලින් වගේම වාසියක් වෙනවා. නමුත් රුපියල් 360ක් ගෙවා ඩොලර් මිල දී ගන්න අවශ්‍ය සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය අතෘප්තිමත්. ඒ ඇතැම් අය ඩොලරයකට රුපියල් 400ක් වුවත් ගෙවන්න කැමතියි.  ඒ වගේම, ඩොලර් එකකට රුපියල් 380ක ආත්මීය වටිනාකමක් දෙන කෙනෙකුට එය රුපියල් 360 බැගින් විකුණන්න අවශ්‍ය නැහැ. නමුත් මිල රුපියල් 400 වුනොත් තමන් අතේ තිබෙන ඩොලරය විකුණා රුපියල් 20ක වාසියක් ලබන්න පුළුවන්. මිල පාලනය නිසා ඒ වාසිය නැති වෙනවා. 

වටිනාකම් වල තිබෙන ආත්මීය ස්වරූපය නිසාම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන වෙළඳපොළ මිල හරියටම දැනගන්න පුළුවන් එකම ක්‍රමය නිදහස් ගනුදෙනු වලට ඉඩ හරින එකයි. එහෙම නොකර ඒ මිල කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කරන්න හදනවා කියන එකම රජය විසින් ව්‍යවසායකයින් පුහුණු කරනවා වගේ විරුද්ධාභාෂයක්.

කොහොම වුනත් විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීම පැහැදිලි කරන ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය වගේ මූලධර්ම තිබෙනවා. ඒ ඇසුරෙන් විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි සටහනක කියවමු.



Wednesday, November 16, 2022

රුපියල ශක්තිමත් වෙලාද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට දෙන්න පුළුවන් තාක්ෂනික පිළිතුර "ඔව්. රුපියල ශක්තිමත් වෙලා!".

එහෙමනම්, ඔය ගැන තිබෙන විවේචනයට පදනමක් නැද්ද? තිබෙනවා. ඉතාම පැහැදිලි පදනමක් තිබෙනවා. ඒ වගේම, රුපියල ශක්තිමත් වෙලා කියන ප්‍රකාශය තාක්ෂනිකව නිවැරදි බව පෙන්විය හැකි වුනත්, එය සිදු වී තිබෙන සන්දර්භය තුළ, ඒ ගැන පාරම්බාන එක විහිළුවක්. 

මේ ප්‍රකාශය විවේචනය කරන අය කියන්නේ මේ වගේ දෙයක්. රුපියල දැන් තිබෙන මට්ටමේ රඳවා ගෙන ඉන්නේ කෘතීම ලෙස. රුපියල ඔය කියන විදිහට ශක්තිමත් වෙලානම් පෙග් එක අත අරින්න. කොහේ නවතියිද කියලා ඊට පස්සේ බලා ගන්න පුළුවන්.

ඔය කතාව සහතික ඇත්ත වගේම ගොඩක් දෙනෙක්ට පැහැදිලි කරුණක්. මහ බැංකුවේ පාලනය නැත්නම් ඩොලරයක මිල කීයක් වෙයිද කියන එක කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ තත්ත්වය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. එසේ තිබියදී රුපියල ශක්තිමත් වෙලා කියා මම කියන්නේ ඇයි කියලා මම පසුව පැහැදිලි කරන්නම්. හැබැයි ඔය අයවැය කතාව ලියා දුන් කෙනා රනිල් ලවා කියවන්නේ මම කියන්න යන දෙයම කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට ඒ කියන්නේ ඉහත සඳහන් විවේචකයා කියන දෙයම තමයි. ඒ නිසා අදාළ විවේචනය සාධාරණ විවේචනයක්.

මේක අපි සරල උදාහරණයක් එක්ක විමසා බලමු.

මුහුදේ පාවෙන, බර පටවපු, හිල් හැදුණු බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුවේ හිල් වහන්න කාටවත් උවමනාවක් නැහැ. හිල් වලින් වතුර ඇවිත් බෝට්ටුව ගිලෙන එකට විසඳුම විදිහට හැමදාම කරන්නේ වතුර ඉහින එක. ඒ අතර බෝට්ටුවට තව තව බර පටවන එකත් කරනවා.

ඔහොම පාවෙවී තියෙන බෝට්ටුවට පිරෙන වතුර ඉහ ගන්න බැරුව බෝට්ටුව ගිලෙන්න යනකොට උදවු ගන්න IMF යනවා. IMF එකෙන් ඇවිත් වතුර මෝටරයක් අරන් ඇවිත් ටික දවසක් වතුර ඉහගන්න උදවු කරනවා. ඒ අතර, හිල් වහගන්න සහ බර පටවන එක අඩු කරන්නත් උපදෙස් දෙනවා. IMF එක වතුර ඉහළ දීලා යනකම් ඔය ටික කරනවා. ඊට පස්සේ ආයෙම හිල් වහන එක මතක නැති වෙනවා. බර පටවන එකත් සීමාවක් නැතුව කෙරෙනවා.

මේ සැරේ IMF යන්නේ නැතුව වෙන වෙන විසඳුම් හොයලා අන්තිමට IMF ගියේ බෝට්ටුව ගිලුනටත් පස්සෙනේ. දැන් IMF එක මෝටරේ ගෙනාවා කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා බෝට්ටුව ගොඩ ගන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුම පටන් ගන්න කොටත් බෝට්ටුව අඩි දහයක් පහළොවක් මුහුද යට. හැබැයි මුහුදු පතුළේ නෙමෙයි. මුහුදු පතුළ අඩි දාස් ගාණක් ගැඹුරුයි. 

අලුත් මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් ආවාට පස්සේ මුලින්ම කළ හැකිව තිබුණු දෙය කොක්කක් එක්ක කඹයක් දමලා බෝට්ටුව සම්බන්ධ කර ගන්න එක. ඒ වැඩේ පොඩි කාලයකින් සිදු වුනා. ඊට පස්සේ ඔය කඹේ ගොඩ තියෙන කණුවක ගැට ගහලා බෝට්ටුව තව තවත් යටට යන එක නවත්වන එක. මොකද බෝට්ටුව පාලනයක් නැතුව ගිලෙනවා කියන්නේ කවදාවත් ගොඩ ගන්න බැරි ගැඹුරු මුහුදු පතුලක් දක්වාම ඒක යනවා කියන එකයි. ඔය විදිහට බෝට්ටුව ගැට ගහලා තවත් ගිලෙන එක නවත්වා ගන්න තවත් මාස දෙක තුනක් ගියා. දැන් බෝට්ටුව තවත් ගිලෙන්නේ නැහැ. හැබැයි තවමත් අඩි ගාණක් වතුර යට.

කඹේ තියෙන නිසා බෝට්ටුව ගොඩට අදින්න බැරිද? මේක කරන්න අමාරු වගේම අවදානම් වැඩක්. කොක්ක ගැලවෙන්න පුළුවන්. කඹේ කැඩෙන්න පුළුවන්. ගොඩට ඇද්දේ නැතත් ඔය දේවල් වෙන්න පුළුවන්. නමුත් ගොඩට අදින්න යද්දී අවදානම වැඩියි. බෝට්ටුව ගොඩට අදින්න කලින් එයට පටවා තිබෙන බරෙන් කොටසක් අඩු කළ යුතුයි. අඩු අවදානමකින් බෝට්ටුව ගොඩ ගන්න වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට බර අඩු කළොත් පමණයි. ඒ වැඩේ සිදු විය යුත්තේ රජය පැත්තෙන්. 

බෝට්ටුව ගිලුනේ බෝට්ටුවේ හිල් නිසා. අනිවාර්යයෙන්ම ඒ හිල් වැසිය යුතුයි. හැබැයි හිල් වහන්නත් බෝට්ටුව ගොඩ අරගෙන ඉන්න ඕනෑ. බෝට්ටුව ගොඩ ගන්න එක අමතක කරලා හිල් වහන එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම බෝට්ටුව මුහුද යට තියෙද්දී ඒකට නිදහසේ පාවෙන්න ඉඩ දීමේ වැදගත්කම ගැන කතා කරලත් වැඩක් නැහැ. මේ වෙලාවේ කඹේ කැපුවොත් වෙන දේ ඉතාම පැහැදිලියි.

මම කිවුවනේ තාක්ෂණික ලෙස බැලුවොත් රුපියල ශක්තිමත් වෙලා කියලා. ඒ කියන්නේ, බෝට්ටුව දැන් තියෙන්නේ කලින් තිබුණාට වඩා අඟල් කීපයක් උඩින්. හැබැයි අඩි දහයක් පහළොවක් මුහුදේ ගිලිලා තියෙන බෝට්ටුවක් කඹයක් දමලා අඟලක් දෙකක් උඩට ඇද්දා කියන්නේ අගය කළ යුතු දෙයක් වුනත් ජයග්‍රහණය සැමරිය යුතු දෙයක් නෙමෙයි. බෝට්ටුව ගොඩට ගන්න එක තවමත් දුරස්ථ කරුණක්. ඕනෑම වෙලාවක කඹේ කැඩෙන්න පුළුවන්. කොක්ක ගැලවෙන්න පුළුවන්. සතුටු විය හැකි එකම දේ බෝට්ටුව ගොඩ ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ලොකුවට නොවුණත් එහි ප්රතිඵල පේනවා. ඒ අතර බර අඩු කරන්න මුහුදට දමන්න වෙන බෝට්ටුවේ තිබෙන දේවල් ගැන කෑගහන අයත් ඉන්නවා. 

පසුගිය සැප්තැම්බර් මාසයට ආවොත් අපනයන ආදායම ඩොලර් මිලියන 1,079ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,284ක්. වෙනස ඩොලර් මිලියන 206ක හිඟයක්. නමුත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් මිලියන 359ක් ලැබී තිබෙනවා. අනෙකුත් ලැබීම් හා ගෙවීම් සියල්ල එකතු කළ විට ඩොලර් මිලියන 108ක ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙනවා. මෙවැන්නක් සිදු වන්නේ විශාල කාලයකට පසුව. 

ඉතා පැහැදිලිවම මෙය ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. රටේ දැඩි ආනයන පාලනයක් ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන්නට ඔය ඩොලර් මිලියන 110 ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි එවැනි දැඩි පාලිත තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් සුළු ප්‍රමාණයක් ඉතිරි වෙන්නේ කාලයකට පසුවයි.

2022 ජනවාරි හා පෙබරවාරි මාස වල ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-1697)

2022 මාර්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-572)

2022 අප්‍රේල් ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-300)

2022 මැයි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-26)

2022 ජූනි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-219)

2022 ජූලි ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-172)

2022 අගෝස්තු ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-49)

2022 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ගෙවුම් ශේෂය - ඩොලර් මිලියන (-3035)

2022 සැප්තැම්බර් මාසයේ ගෙවුම් ශේෂ අතිරික්තයෙන් පසුව වසරේ ගෙවුම් ශේෂ හිඟය  ඩොලර් මිලියන (-3035) සිට  ඩොලර් මිලියන (-2927) දක්වා අඩු වී තිබෙනවා. තාක්ෂනික ලෙස බැලුවොත් මෙය රුපියල ශක්තිමත් වීමක් වුනත්, නහයට වඩා උඩින් අඩි දහයක් වතුර පිරී තියෙද්දී එය අඩි නවයක් වුනා වගේ වැඩක් පමණයි.

රුපියලේ බාහිර වටිනාකම ගැන කතා කරද්දී වැදගත්ම දෙය මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයයි. පහළින් තිබෙන්නේ පසු ගිය කාලයේ මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී ගිය ආකාරය.

2020 ජූලි - රුපියල් බිලියන 785.2

2020 අගෝස්තු - රුපියල් බිලියන 822.4

2020 සැප්තැම්බර් - රුපියල් බිලියන 758.6

2020 ඔක්තෝබර් - රුපියල් බිලියන 574.2

2020 නොවැම්බර් - රුපියල් බිලියන 540.1

2020 දෙසැම්බර් - රුපියල් බිලියන 526.8

2021 ජනවාරි - රුපියල් බිලියන 393.9

2021 පෙබරවාරි - රුපියල් බිලියන 341

2021 මාර්තු - රුපියල් බිලියන 342.9

2021 අප්‍රේල් - රුපියල් බිලියන 349.1

2021 මැයි - රුපියල් බිලියන 306.6

2021 ජූනි - රුපියල් බිලියන 10.3

2021 ජූනි මාසය අවසන් වෙද්දී මහ බැංකුවට කෘතීම ක්‍රමයකින් මිස ස්වභාවික ලෙස ඩොලරයක මිල ස්ථාවර කර ගැනීමේ හැකියාව නැතිව යනවා. ඒ මහ බැංකුවේම විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා යාම නිසයි. ඒ කියන්නේ නහය වතුරෙන් යට. 

2021 ජූලි - රුපියල් බිලියන (-83.9)

2021 අගෝස්තු - රුපියල් බිලියන (-158.7)

2021 සැප්තැම්බර් - රුපියල් බිලියන (-252.6)

2021 නොවැම්බර් - රුපියල් බිලියන (-386.0)

2021 දෙසැම්බර් - රුපියල් බිලියන (-662.7)

2022 ජනවාරි - රුපියල් බිලියන (-734.2)

2022 පෙබරවාරි - රුපියල් බිලියන (-1,203.4)

2022 මාර්තු - රුපියල් බිලියන (-1462.2)

2022 අප්‍රේල් - රුපියල් බිලියන (-1546.5)

2022 මැයි - රුපියල් බිලියන (-1612.7)

2022 ජූනි - රුපියල් බිලියන (-1546.5)

2022 ජූලි - රුපියල් බිලියන (-1686.2)

2022 ජූලි මාසය දක්වාම මේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. එහෙත් ඉන්පසුව තත්ත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා.

2022 අගෝස්තු - රුපියල් බිලියන (-1614.9)

2022 සැප්තැම්බර් - රුපියල් බිලියන (-1590.8)

කෙසේ වුවත් තවමත් මහ බැංකුව සතුව ඇත්තේ සෘණ ශුද්ධ විදේශ වත්කම්. ඒ කියන්නේ මහ බැංකුවේම බැරකම් පියවන්නට මහ බැංකුවට තවත් ඩොලර් බිලියන 4.4ක් පමණ අවශ්‍යයි. රුපියල තිරසාර ලෙස ශක්තිමත් කිරීමට තවත් ඩොලර් බිලියන කිහිපයක් අවශ්‍යයි. මාසයකට ඩොලර් මිලියන 100 බැගින් ඉතිරි කරගෙන එවැනි ඉලක්කයකට යන එක ප්‍රායෝගික වැඩක් නෙමෙයි. දිගුකාලීන විසඳුම කුමක් වුවත් රුපියල හා ඒ මගින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගන්නටනම් ඩොලර් බිලියන කිහිපයක විදේශ ණය හෝ වෙනත් ලැබීම් රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

Tuesday, November 15, 2022

අයවැය 2023


මේ වන විට ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. මෙය සුවිශේෂී අයවැයක්. අයවැය එසේ සුවිශේෂී වන්නේ එහි අරුම පුදුම දේවල් තිබෙන නිසා නෙමෙයි. අයවැය ඉදිරිපත් කෙරෙන අවස්ථාව වන විට රට වැටී තිබෙන තත්ත්වය හා ඒ සඳහා රාජ්‍ය අයවැයේ දායකත්වය නිසා.

මම අයවැය කතාවේ සඳහන් දිගුකාලීන ඉලක්ක ගැනනම් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්න වචන නාස්ති කරන එකත් අපරාදයක්. මේ වගේ ලස්සන ඉලක්ක මීට පෙර අයවැය කතා වලත් තිබුණා. නමුත් ඒවා ඉලක්ක වුනා පමණයි. 

එසේ වුවත්, අයවැය කතාවේ ඇමුණුමෙහි තිබෙන කෙටිකාලීන ඉලක්ක ඉතාම වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙස මේ ඉලක්ක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම, එම සංඛ්‍යා මත පදනම්ව, ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි අනාගතය ගැන විමසා බැලීමට ප්‍රවේශ වෙන්න පුළුවන්.

අයවැය කතාව සමඟ ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2094ක්. නමුත් මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙහිම තිබෙන විස්තරාත්මක ආදායම් හා වියදම් ඇස්තමේන්තු අනුව මෙම මුදල රුපියල් බිලියන 2446ක්. මේ ගණන් අතර වෙනස කජු ඇට කොස් ඇට වෙනසක් නෙමෙයි. ඉතා ඉක්මණින් අයවැය ඇස්තමේන්තු වල ගණන් හිලවු ඔය වගේ ලොකු ගණන් වලින් වෙනස් වෙන එක අරුමයකුත් නෙමෙයි. දැනට අපි අයවැය කතාවේ ඇමුණුමේ තිබෙන ගණන් නිවැරදි ගණන් ලෙස සලකමු. 

දැන් මේක 2023 අයවැයනේ. ඒ නිසා, අපි 2022 පැත්තකින් තියලා කෙළින්ම 2023ට යමු. 2023 අය හා වැය මෙහෙමයි.

ආදායම - රුපියල් බිලියන 3,415යි 

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 3,626යි 

ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 211යි 

පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි 

මුළු අයවැය හිඟය - රුපියල් බිලියන 2,404යි  

ආදායම් වැඩි කර ගන්න යන ක්‍රම වල යෝග්‍යතාව හා ශක්‍යතාවය, වියදම් වෙන් කර ඇති ආකාරයේ යෝග්‍යතාව වගේ දේවල් මම මේ සටහනේ කතා කරන්න යන්නේ නැහැ. දැනට තාවකාලික උපකල්පනය ආදායම් හා වියදම් ඔය විදිහටම සිදු වෙනවා කියන එකයි. එහෙම වෙනවානම් ප්‍රාථමික හිඟය අඩු කර ගන්න රජය විසින් සෑහෙන වැඩ කොටසක් කරලා. 

හැබැයි ඉහත තත්ත්වය යටතේ වුනත්, පොලී වියදම පමණක් රුපියල් බිලියන 2,193ක් නිසා, රුපියල් බිලියන 2,404ක අයවැය හිඟයක් තිබෙනවා. දැන් ඔය අඩුව පුරවන්න අලුතෙන් ණය ගන්න ඕනෑ.

ඊට අමතරව කලින් අරන් තියෙන, වසර තුළ ගෙවිය යුතු, ණයත් ගෙවන්න වෙනවා. ඒ සඳහා යන වියදම් ඉහත වියදම් ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. ඒ වියදම් එකතු කළොත් මුළු වියදම රුපියල් බිලියන 7,879ක්. ඒ කියන්නේ, වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 4,979ක්. 

සමහර අය ගණන් හදලා නැත්නම් විගණනය කරලා පෙන්වා දෙනවනේ රටේ ණය වැඩි වෙන තරමට වත්කම් හැදිලා නැති බව. ඔව්. ණය වැඩි වෙන තරමට වත්කම් වැඩි වෙලා නැහැ. ඉදිරියේදී වුනත්, තවත් විශාල කාලයක් යන තුරු එහෙම වෙන එකකුත් නැහැ. ඒ ඇයි කියලා ඉහත ගණන් දිහා බැලුවහම පෙනෙයි.

හැම දෙයක්ම සැලසුම් කර ඇති විදිහට වුනොත්, (කවදාවත් එහෙම නොවෙන එක වෙනම දෙයක්) ලබන වසරේ රජයට රුපියල් බිලියන 4,979ක් අලුතෙන් ණය ගන්න වෙනවා. නමුත් තියෙන ණය වල වාරික හා පොලිය ගෙවුවට පස්සේ එයින් ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 211ක් පමණයි. ඒ කියන්නේ වත්කම් හැදෙනවානම් උපරිම වශයෙන් හැදෙන්න පුළුවන් ඔය ප්‍රමාණය. 

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ණය වැඩි වුනේ ප්‍රධාන වශයෙන්ම ඔය හේතුව නිසා. ඊටත් පෙර රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැඩි වුනු ණය වලින් සැලකිය යුතු කොටසක් වැඩි වුනෙත් ඔය ක්‍රමයට. හැම ආණ්ඩුවක් යටතේම එන්න එන්නම උග්‍ර වුනා වුනත්, ලංකාවේ ණය ප්‍රශ්නය කියන්නේ අද ඊයෙක හැදුනු ප්‍රශ්නයක් නෙමෙයි. දරා ගත නොහැකි සුබසාධන වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආදිය නිසා නිදහස ලබපු කාලයේ සිටම පවතින ප්‍රශ්නයක්. දැන් මේ ණය චක්‍රයෙන් එහෙම ලේසියකට ගැලවෙන්න බැහැ. 

ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් ප්‍රශ්නය ලබන වසරේ ඔය රුපියල් බිලියන 4,979 ණයට ගන්නේ කොහොමද කියන එක. මේ කතා කරන්නේ ණය වලින් කොටසක් ගෙවීම පැහැර හැරියට පස්සේ තත්ත්වය ගැන කියලත් අමතක කරන්න එපා. ඒ ණය තිබුණානම් ඔය ගණන තවත් වැඩි වෙනවා. 

රුපියල් බිලියන 1000ක් විදේශ ණය ගන්න සැලසුම් කර තිබෙනවා. ඉතුරු ටික දේශීය ණය. ඒ කියන්නේ රුපියල් බිලියන 3,979ක් විය යුතුයිනේ. රුපියල් බිලියන 1000ක් කියන්නේ ඩොලර් කීයක්ද කියන එක තීරණය වෙන්නේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ තියෙන විණිමය අනුපාතය මත. එය කීයක්ද කියා අප දන්නේ නැහැ. දැන් තිබෙන රුපියල් 360ම සේ සැලකුවොත්, මෙම මුදල ඩොලර් බිලියන 2.78ක්. ඔය වගේ මුදලක් ලබන වසරේ රජයට ණයට ගන්න පුළුවන් වෙයිද? 

මේ කතා කරන්නේ රජයේ අයවැය හිඟය පියවන්න ගත යුතු ණය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන්නේ රජයට නෙමෙයි. මහ බැංකුවට. මහ බැංකුවට වසර තුළ ගෙවිය යුතු මහ බැංකුවේම ණය වෙනම තියෙනවා. පවතින තත්ත්වය විශේෂ තත්ත්වයක් සේ සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ණය රජයේ අයවැය හිඟය පියවීමට යොදා ගන්න ඉඩ දෙන කතාවකුත් මහ බැංකු අධිපතිවරයා විසින් ටික කලකට පෙර කියා තිබුණා. එහෙම ලැබුණත් වසර තුළ ඩොලර් මිලියන 750ක් වගේ ගණනක්නේ ලැබෙනවා ඇත්තේ. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 2ක පමණ විදේශ ණය ගන්න වෙනවා. අයවැය හදලා තියෙන්නේ එහෙම පුළුවන් වෙයි කියා උපකල්පනය කරලා. 

විදේශ ණය ඔය ප්‍රමාණය හොයා ගත්තත්, දැනටම අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණයට අමතරව තවත් රුපියල් බිලියන 1,880ක ණය 2023 වසර තුළ දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා. ඒ කියන්නේ 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු දේශීය ණය ගෙවන්න ගන්න වෙන ණයත් එක්ක ඔය ගණන දෙගුණයක් පමණ වී සතියකට රුපියල් බිලියන 80ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා කියන එකයි. ඔය වැඩේ කරන්නනම් පොලී අනුපාතික ලබන වසරේදීත් ඉහළ මට්ටමක තියා ගන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩු වෙයි. ලොකුවට අඩුවෙන්න හේතුවක් පෙනෙන්න නැහැ. බලාපොරොත්තු පරිදි විදේශ ණය ගන්න බැරි වුනොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. 

හැම දෙයක්ම හොඳම විදිහට වුනොත්, ආර්ථිකයේ තුවාල ටිකෙන් ටික සනීප වෙයි. හැබැයි කාලයක් යයි. හදිස්සියෙන් විශාල වෙනසක් වෙන්නේනම් නැහැ. 

වෙබ් ලිපිනය: