වෙබ් ලිපිනය:

Thursday, May 14, 2020

නාස්තිය අඩු කිරීමේ දේශපාලනය කුමක්ද?


නාස්තිය අඩු කිරීම ගැන කතා කරන කෙනෙක් පළමුව තමන් විසින් නාස්තිය ලෙස හඳුන්වන සංකල්පය නිරවුල් කර ගත යුතුයි. දෙවනුව නාස්තිය අඩු කළ යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත යුතුයි.

පුද්ගලයෙක්ට සාපේක්ෂව ගත්තොත් ඒ පුද්ගලයාගේ කිසියම් තීරණයක් හෝ පුරුද්දක් නිසා ඔහුටම (හෝ ඇයටම) අවාසියක් වෙනවානම් එය නාස්තියක්. මේ මූලධර්මය අනුව නිවසේ වතුර කරාමයක් හරියට නොවැසීම නිසා වතුර කාන්දු වෙනවානම් සහ ඒ හේතුව නිසා වතුර බිල ඉහළ යනවානම් එය නාස්තියක්. අනවශ්‍ය විදුලි බල්බයක් එක දිගටම දැල්වෙනවානම් එය නාස්තියක්. නමුත්, දිනපතා මිදුලේ මල් පැල වලට වතුර දමන එක හෝ වෙසක් පෝය දවසේ රෑ එළිවන තුරු විදුලි බුබුළු වැලක් දල්වා තිබීම නාස්තියක් නෙමෙයි. ඒ දේවල් වෙනුවෙන් මිලක් ගෙවන්න සිදු වුනත් ඒ හේතුව නිසා ලැබෙන සතුට මිල ගෙවන පුද්ගලයාට ඊට වඩා වටිනවා.

මට පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ. එය අසල්වැසියාගේ තේරීමක්. නමුත්, රජය විසින් පවත්වන සැණකෙලියක විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් දැල්වෙනවානම් මට එය ප්‍රශ්න කළ හැකියි. ඒ එහි පිරිවැය සෘජුව හෝ වක්‍රව මටත් ගෙවන්න සිදු වෙන නිසයි.

සාමාන්‍යයෙන් සම්පත් නාස්තිය අඩු කරන විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එහෙත්, සම්පත් නාස්තිය අඩු කළ හැකි ප්‍රසස්ථ සීමාවක් තිබෙනවා. නාස්තිය ශුන්‍ය කිරීම හැමවිටම ප්‍රසස්ථම දෙය නෙමෙයි.

නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වූ විට කාර්යක්ෂමතාවය ප්‍රශස්ත මට්ටමකට එනවා. එසේ නොවන තත්ත්වයක් හැම විටම අකාර්යක්ෂමයි. ලාබ සෙවීමේ තරඟයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන සාධක වඩාත්ම ඵලදායී තැනට යොමු වෙනවා. එයට විකල්පය වන්නේ කිසිවෙකු විසින් එය සැලසුම් කිරීමයි. එහි අවාසි දෙකක් තිබෙනවා. පළමුවැන්න මේ සැලසුම නිවැරදි වනු ඇති බවට සහතිකයක් නැහැ. දෙවැන්න සැලසුම්කරු වෙනුවෙන් අනෙක් අයට කිසියම් පිරිවැයක් දරන්න සිදු වීමයි. නිදහස් වෙළඳපොළ මේ ප්‍රශ්න දෙකම විසඳනවා.

සංවෘත ආර්ථිකයකට සාපේක්ෂව විවෘත ආර්ථිකයක් හැම විටම වඩා කාර්යක්ෂමයි. පසුගිය 2019 වසරේදී ලංකාව සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 201.2ක්ද, කිරි නිෂ්පාදිත වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 311.9ක්ද වැය කර තිබෙනවා. තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1,346.4ක ආදායමක් උපයා තිබෙනවා.

අපි හිතමු මේ අපනයන වියදම අඩු කරගන්න අපි ඉඩම් කොටසක තේ ගලවලා තණකොල වවලා හරක් හැදුවා කියලා. තවත් ඉඩම් කොටසක උක් හා බීට් හිටවනවා. උඩරටනම් බීට්. පහතරටනම් උක්. ඊට පස්සේ ඔය උක් වලින් හා බීට් වලින් සීනි හදනවා. හරක්ගෙන් කිරි ගන්නවා. තේ වගාවේ ඉන්න කම්කරුවන් ටිකත් ඔය කර්මාන්ත දෙකට යොදවනවා. උසනම් උක් වවන්න. මිටිනම් බීට් වවන්න. උස මනින්න ආවේ නැත්නම් හරක් බලන්න. ඔහොම කරලා සමහර විට සීනි හා කිරි ආනයනය කරන්න යන වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. හැබැයි තේ අපනයන ආදායම අඩුවීම නිසා සිදුවෙන පාඩුව බොහෝ විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.

රටේ වගා කළ හැකි ඉඩම් හැම එකක්ම සමාන නැහැ. සමහර ඉඩම් උක් වලට යෝග්‍යයි. සමහර ඉඩම් බීට් වලට යෝග්‍යයි. සමහර ඉඩම් ඔය දෙකටම යෝග්‍යයි. දැන් අපිට මේ ඉඩම් වල උක් හෝ බීට් වවන්න අවශ්‍යනම් අපි ඉඩම් තෝරා ගන්නේ කොහොමද? හරියටම සැලසුම් කරන්න පුළුවන් කාටද? ඒ සැලසුම්කරුට ඒ වෙනුවෙන් කීයක් ගෙවන්න ඕනෑද?

ධනවාදය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඔය ප්‍රශ්නයට විසඳුම් හොයන්න අවශ්‍ය නැහැ. ඉඩමේ උක් වවලා අස්වැන්න අඩුකමින් පාඩු වෙන කොට මිනිස්සු උක් වෙනුවට බීට් දානවා. බීට් වලින් පාඩු වෙනකොට උක් දානවා. දෙකම වැවෙන ඉඩමක වඩා ලාබ ලැබිය හැකි දේ වවනවා. ඉඩම් ටික අන්තිමේදී ප්‍රසස්ථ ලෙස බෙදී ගිහින්.

ශ්‍රමය වුනත් එහෙමයි. බීට් වගාවට අත් ගුණයක් නැති, ආසාවකුත් නැති මනුස්සයා වගාවෙන් පාඩු වෙනකොට ඉඩම විකුණලා උක් වවන්න පුළුවන් ඉඩමක් ගන්නවා. උක් එක්ක ඔට්ටු අල්ලලා එපා වෙච්ච මනුස්සයා බීට් වවන්න යනවා. අන්තිමේදී කිසියම් වැඩක් කරන්න වඩා කැමති හා දක්ෂ පුද්ගලයා ඒ වැඩේට යොමු වෙනවා.

ප්‍රාග්ධනය තිබෙන මනුස්සයා උක් වලින් ලාබනම් උක් වලට ආයෝජනය කරනවා. වැඩේ පාඩුනම් බීට් වලට ආයෝජනය කරනවා. අන්තිමේදී ප්‍රාග්ධනය යොමු වෙන්නේ වඩාත්ම ප්‍රතිලාභ ලැබිය හැකි තැනටයි.

හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ අසාර්ථක වන අයට තරඟයෙන් හැලෙන්න ඉඩ ඇරියොත් පමණයි. පාඩු වෙවී බීට් වවන ගොවියාව අනුන්ගේ වියදමෙන් ආරක්ෂා කරන්න ගියොත් ඒ ගොවියා කවදාවත් ඉඩම අත ඇරලා බීට් වලට වඩා ගැලපෙන ඉඩමකට යන්නේ නැහැ. බීට් වෙනුවට උක් වවන්නේ නැහැ.

නිදහස් වෙළඳපොළ තරඟය තුළ අසාර්ථක වෙන කෙනෙකුට තාවකාලිකව රැකියාවක් නැති, ආදායම් නැති නරක කාලයක් තියෙන්න පුළුවන්. ඒ වගේ කාලයක එවැන්නෙකු වෙනුවෙන් කෙටිකාලීනව කිසියම් සුබසාධනයක් කළාට කමක් නැහැ. නමුත්, එය එවැන්නෙකු විසින් වරක් අසාර්ථක වූ දෙයම දිගටම කරන්නට යොමු කරවන ආකාරයේ සුබසාධනයක් නොවිය යුතුයි. එසේ කිරීමෙන් ඔහුට හෝ ඇයට දිගුකාලීනව වෙන්නේ අයහපතක්.

ගොවියෙකු අක්කරයකින් වී කිලෝ දෙදාහක අස්වැන්නක් ලබා ගැනීමෙන් පසුව එයින් සීයක් මොන විදිහකින් හෝ නාස්ති වුනොත් ඒ නාස්තිය ගොඩක් අයට පේනවා. නමුත්, වැරදි ඉඩමක වැරදි ගොවියා වී වගා කිරීම නිසා අස්වැන්න කිලෝ සීයකින් අඩු වෙන එක ගොඩක් අයට පේන්නේ නැහැ. නිදහස් වෙළඳපොළකින් කරන්නේ කවදාවත්ම අස්වනු සේ නොනිපදවුණු, ඒ නිසා කිසිවෙකුට නොපෙනුණු, වී කිලෝ ගණනක් නාස්ති වී යාම නවත්වන එකයි.

නාස්තිය අඩු කිරීමේ දේශපාලනයක් කවදාවත් නිදහස් වෙළඳපොළට හෝ ජාත්‍යන්තර වෙළඳාමට එරෙහි දේශපාලනයක් වෙන්න බැහැ. නිදහස් වෙළඳපොළට එරෙහි වීම කියන්නේම අති විශාල සම්පත් නාස්තියක්.

26 comments:

  1. මා පසුගිය දවසක බලපු ඩොකියුමන්ටරියක දැක්කා අමරිකාවේ මිලියන 2.3ක සිරකරුවන් සිරගෙවල ඉන්නවා. එය ලෝක මට්ටමින් ගතහොත් චීනය ඉන්දියාව වැනි රටවලටත් වඩා වැඩි අගයක්. අමරිකානු අපරාධ මර්ධන සමස්ථ ක්‍රමවේදය මගින් මිලියන 323ක් වනඅමරිකානු ජනගහනයෙන් මිලියන 2.3ක් වෙන්කරලා තියෙනවා.. මේක ලිපියේ කියන සෙටප් එකට අදාල නොවැනත් මේකත් එක්තරා විදිහක නාස්තියක් නේද? යම් යම් සමාගම් වලට සිරකරුවන්ගේ ශ්‍රමය යොදවලා එයින්යම් මුදලක් ලැබෙනවා තමයි. ඒත් දිගුකාලිනව බැලුවාම එන්න එන්නම සිරකරුවන් වැඩිකරගන තියෙන අමරිකානු නීති පද්ධතිය විසින් මහජනතාවගේ බදු මුදල් නාස්තියක්කරලා තියෙනවා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. මේක ධනවාදය හෝ වෙළඳපොල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ආර්ථික විද්‍යාව මිනිස් චර්යාවන් විස්තර කරන විද්‍යාවක් නිසා මේ වගේ දෙයක් ගැන වුවත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. සෞඛ්‍ය හේතුවක් නැත්නම් ඇමරිකාවේ සිරකරුවන් අනිවාර්යයෙන් වැඩ කළ යුතුයි. තිබෙන අවදානම අනුව ඇතැම් අය එළියට ගිහින් වැඩ කරනවා. ගොඩක් අය ඇතුළෙම වැඩ කරනවා. ඒ අයට ගෙවන්නේ ඉතා සුළු (නාමික) වැටුපක්. ඒ නිසා වියදම් වලින් යම් කොටසක් ආවරණය වෙනවා. නමුත් ඔබ කියන පරිදි බදු මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. ඒ මිල රටේනීතිය හා සාමය රැකී තිබීම වෙනුවෙන් මිනිස්සු කැමැත්තෙන් ගෙවන රක්ෂණ වාරිකයක් වගේ දෙයක්. මගේ ගේ අවට හොරු ඉන්නවනම් මම ඒ ගැන බයෙන් ඉන්න ඕනෑ. ඒ නිසා ඒ අවදානම අඩු කරගන්න cctv වගේ දේවල් වෙනුවෙන් මම මිලක් ගෙවනවා. මේ මිලත් ඒ වගේ එකක්. ගෙවන මිලට හරියන්න මගේ වටපිටාවේ ජීවිත හා දේපොළ අවදානම අඩු වෙනවා. පොලීසිය හා ආරක්ෂක හමුදා වෙනුවෙන් වැය කරන බදු මුදල්ද මෙවැනි වියදමක්. රටේ නීතියෙන් එම රටේ මිනිස්සු බහුතරයකගේ කැමැත්ත පිළිබිඹු වෙනවානම් මෙහි ඇති වැරැද්දක් නැහැ. නමුත්, ටික දෙනෙක් විසින් හිතුමතේට නීති හදාගෙන (හෝ නීති අර්ථදක්වා ගෙන) වැඩි දෙනෙකුගේ අකමැත්ත තිබියදී මිනිස්සුන්ව විශාල ලෙස හිරේ දානවනම් මෙය ප්‍රශ්නයක්. ඇමරිකාවේ ඕනෑම කෙනෙකුට නීති හදන්න (මුල පුරන්න) පුළුවන් බවත්, තිබෙන නීති අවලංගු කරන්න හෝ වෙනස් කරන්න පුළුවන් බවත්, නීතිය හා සාමය රකින අධිකරණ හා පොලිස් නිලධාරීන් මහජන ඡන්දයෙන් පත් වන බවත් ඔබ දන්නවා ඇති කියා හිතනවා. ඒ නිසා නීතිය හා නීතිය ක්‍රියාත්මක වීම ජනතාවගෙන් බාහිරව ටික දෙනෙකුගේ උවමනා එපාකම් අනුව සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි.

      Delete
    2. ඉකොනෝ,
      'පොළොන්නරුවේ වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවත් වෙති'

      සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති.

      මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල් විකිණීමෙන් ඉවත්වී ඇතිබව කියති.

      සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවැතීම මෙයට හේතුව හේතුව බව එම සිල්ලර වෙළෙඳුන් සහ සමූපකාර සමිති ප‍්‍රධානීහු පෙන්වා දෙති.උදාහරණයක් ලෙස නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 94ක් 95ක් බවත් ලොකු,පොඩි කිසිම සහල් මෝලකින් ඒ මිලට හැර තමන්ට සහල් අලෙවි නොකරන බව ඒ වෙළෙඳුන් ප‍්‍රකාශ කළහ. එවැනි මිලකට සහල් මිලදීගෙන රජයේ පාලන මිලට සිල්ලරට සහල් අලෙවි කිරීමට හැකියාවක් නොමැති නිසා මේ තීරණයට එළඹි බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

      මේ හේතුවෙන් අද(17) පොලොන්නරුවේ ඇඳිරි නීතිය යටතේ විවෘත කරතැබීමට අවසර තිබෙන සිල්ලර වෙළඳසැල්වල පවා රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට නොතිබූ බව පාරිභෝගිික ජනතාව පැවැසූහ.
      -ලංකාදීප-

      මේ වගේ අර්බුධ වලදී රජය මොකක්ද කරන්න ඕනි ඉකොනෝ යෝජනා කරන විදියට. රජය පාලන මිලක් පනවන්නේ නැතිව හිටියොත්, වෙළදපලට නිදහසේ හැසිරෙන්න ඉඩ දුන්නොත් මොකක් වෙයිද? බත් කියන්නේ රටේ අතිබහුතර දෙනාගේ ප්‍රධාන ආහාරය නිසා. අත්‍යවශ්‍යම දෙයක්නි. ඉකොනෝ ගොඩක් වෙලාවට යෝජනා කරන්නේ වෙළදපලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන එක හොදයි කියලා නේද? එතකොට ලංකාවේ හාල් වෙළදපලට එහෙම නිදහසේ මිල තීරණය කරන්න ඉඩ දුන්නොත් මොකක් වෙයිද? මිල ඉහල යයිද? ජනතාවට මොන වගේ හොදක් වෙයිද? කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව. සෘජුව සහ වක්‍රව.(සාමානයෙන් සිල්ලර වෙළදාමේදී සහල් වලින් ලාබයක් ඇත්තෙම නැති තරං වෙළෙන්දාට. සහල් කිලෝ එකක් රුපියල් 90 ක් නම් ඕක එයාට හම්බෙන්නෙත් 89 ට වගේ තමයි. සමහර වෙලාවට සත පනහයි ලාබෙ කිලෝ එකකින්. යටකරන මුදල්, ගබඩා කිරීම, සහල් අලෙවි කරන බෑග්ඒකට යන මුදල, සහල් වල බර අඩුවීම වගේ එව්වා බලදිදී කිසිම ලාබයක් නැහැ. ඒත් හාල් විකුනන්නේ ඒක අත්‍යවශ්‍ය නිසා සහ හාල් ගන්නට එන මනුස්සයා තවත් දේවල් මිලට ගන්නා නිසා.)

      Delete
    3. පාලන මිල ඉල්ලුම හා සැපයුම සමතුලනය වන මිලට වඩා වැඩිනම් පාලන මිලෙන් වෙළඳපොළට බලපෑමක් සිදුවෙන්නේ නැහැ. පාලන මිල ඊට වඩා අඩුනම් සහල් හිඟයක් ඇති විය යුතුයි. එවැනි සහල් හිඟයක් පෙනෙන්න නැත්නම් එයින් පෙනෙන්නේ සිල්ලර අදියරේදී මේ වන විට පාලන මිලේ සැලකිය යුතු බලපෑමක් නැති බවයි.

      වෙළඳපොළ යාන්ත්‍රනය ඉතා සංකීර්ණයි. සහල් කියා අපි පොදුවේ කිවුවත් හාල් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. රතු කැකුළු සම්බා වැනි නිශ්චිත හාල් වර්ගයක් ගත්තත් එහි විවිධ ප්‍රභේද තිබෙනවා. ඒ වගේම නිෂ්පාදකයා (හා සැපයුම් දාමය) අනුව ගුණාත්මක භාවය වෙනස් වෙනවා. එක් එක් පාරිභෝගිකයාගේ හාල් රුචිකත්වයන් වෙනස්. ඒ නිසා, වෙළඳපොළ විසින් විසඳන්නේ විචල්‍යයන් අති විශාල ප්‍රමාණයක් තිබෙන ඉතා සංකීර්ණ සමීකරණයක්. මේ සමීකරණයේ විචල්‍ය සියල්ල නිරීක්ෂණය කරන එක කිසිවෙකුට කරන්න බැරි දෙයක්. වෙළඳපොළ යාන්ත්‍රනය තුළ විවිධ හාල් මිලවල් විශාල ප්‍රමාණයක් මිස හාල් මිල කියා කිව හැකි තනි අගයක් නැහැ.

      වෙළඳපොළට මැදිහත්වන ආණ්ඩුවට කළ හැක්කේ සහල් වලට තනි පාලන මිලක් හෝ රතු කැකුළු, සම්බා ආදී ලෙස මිලවල් හතරක් පහක් නියම කරන එක පමණයි. අපි හිතමු රතු කැකුළු වලට නිශ්චිත පාලන මිලක් දැම්මා කියා. දැන් මේ මිල ගුණාත්මක භාවය අඩු රතු කැකුළු කිලෝවක සමතුලිත මිලට වඩා වැඩි වුවත්, ගුණාත්මක භාවය වැඩි රතු කැකුළු කිලෝවක සමතුලිත මිලට වඩා අඩුනම් ගුණාත්මක භාවය අඩු රතු කැකුළු පමණක් වෙළඳපොළට එනවා. එවැනි හාල් තොග ප්‍රමාණවත් තරමක් ගබඩා වල තිබේනම් රටේ හාල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. නමුත්, ගුණාත්මක භාවය වැඩි රතු කැකුළු වෙළඳපොළට එන්නේ නැහැ. තොග තිබෙන අයට බාල තත්ත්වයේ සහල් තොග වඩා පහසුවෙන් විකුණගන්න අවස්ථාවක් සැලසෙනවා.

      මේ වෙලාවේ ලංකාවේ සහල් ඉල්ලුම විශේෂයෙන් ඉහළ ගිහින් නැහැ. සැපයුම විශේෂයෙන් අඩු වී ඇති බවකුත් මම දන්නේ නැහැ. ඒ නිසා පාලන මිල නොතිබුණත් විශාල මිල ඉහළ යාමක් සිදු වෙයි කියා මම හිතන්නේ නැහැ.

      Delete
  2. හොඳ ලිපියක්... ඇත්තටම ඉකොනොමැට්ටා මේ වගේම තවත් පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ වූ ජනවර්ග අතරේ පවතින බල අරගලය (බලය හිමි සුදු ඇන්ග්ලෝ/ යුදෙව් ජනවර්ගය සහ හිස්පැනික්, ඇෆ්රිකන් ඇමරිකානුවන්, ආසියානු, ඉන්දියන් මහාද්වීපික ආදී වශයෙන්) විවිධ ජනවර්ග අතර සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික බල අරගලයේ ස්වභාවය ගැන තවදුරටත් විස්තර කරනවානම් හොඳයි.

    ලංකාවේ සාපේක්ෂ වශයෙන් බලය හිමි බව පෙනෙන සිංහල වර්ගවාදීන් සමග ආර්ථික දේශපාලනික බලය හිමි අනෙක් ජනවර්ග අතරේ සෑහෙන බල අරගලයන් පවතිනවා. ඇමරිකාව තුල තරම් උග්‍ර ලෙස සහ සූක්ෂම ලෙස නැතත් ලංකාවේ ද කලකට පෙර යුද්ධයක් සහ තවත් ගැටුම් හරහා මේ අරගල හිරිකිත ලෙස ලෝකයට නිරාවරණය වීම නිසා එය වඩාත් පැහැදිලියි.

    ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබනවිට විවිධ උපක්‍රම යොදා ගෙන අධ්‍යාපන මට්ටමෙන් ඉහල තැන හිටිය අතිශය බහුතරය දමිළ නම් ජනවර්ගයක් නියෝජනය කළ පිරිසක්. ඒකාලේ යම් පිරිසක් මතයක් සමාජ ගතකර තිබුනා සිංහලයෝ මෝඩයි, යාපනේ දෙමළ ජනතාව මාර බුද්ධිමත් කියලා. දැන් වෙනකොට නම් ඒ මතය බොරුවෙලා ඉවරයි.
    තව කාලෙක ඒ වගේම පිරිසක් සමාජ ගත කිරීමට කටයුතු කළේ ලෝකයේ කවමදාවත් ගරිල්ලා යුද්ධයක් දිනන්න බෑ කියලා. ඒකත් බොරුවුනා.

    ලංකාවේදී නම් මෑතක සිට සුළුතර ජාතිකවාදීන්ගේ සැකකටයුතු ආර්ථික ක්‍රියාකාරකම් ගැන බහුතර ජාතිකවාදීන් මහත් සේ විමසිල්ලෙන් බලා සිටිමින් ඊට විරුද්ධව තරගකාරී ලෙස ප්‍රචාරණය සහ ආර්ථික උපක්‍රම භාවිතා කරන බව දක්නට ලැබේ.

    මෙතනදී ලංකාවේ සිංහල ජාතිකවාදීන් රාජ්‍ය බලය යොදාගෙන කරන්න කටයුතු 2ක් ගැන තවදුරටත් සැලසුම් කරන බව පේනවා. ඒ;

    1 ද්විත්ව පුරවැසිකම අහෝසි කිරීම හරහා විදෙස්ගගත දමිළයන් ගේ ආර්ථික බලපෑම් පාලනය කරන එක

    2 චීනය සමඟ සම්බන්ධකම් වැඩිකර ගැනීම හරහා එදා ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යය බලය නිසා දමිළ වර්ගවාදීන්ට වාසි වුනා වගේ චීන අධිරාජ්‍යවාදයෙන් සිංහල ජාතිවාදී බලවේගවලට වාසි ගන්න උත්සාහ කරන එක.

    ලංකාවේ නම් ලිබරල් ජාතිවාදයකට යාමේදී දමිළ ජනවර්ගයට අවාසිවෙන කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන්.

    එදා ලංකාවේ කොටි සංවිධානයට එකතුවුනු මුදල් ප්‍රමාණය කිසිසේත්ම ලිබරල් දමිළ ජාතිවාදයක් වෙනුවෙන් එකතුකරගන්න ලැබෙන එකක් නෑ. අනිත් කාරණය තමයි ඒගොල්ලෝ යුද්ධකලේ තනිකරම දමිළ ඩයස්පෝරා සල්ලි වලින්ම නෙමෙයි. වෙනත් ආධාරත් ලැබුනා.

    ලංකාවේ දෙමළ ජාතිවාදය කේන්ද්‍රවුනේ දෙමළ උගත් මධ්‍යම පන්තිය මත. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නිසා වැඩියෙන්ම වාසි ලැබුවේ ඔවුන් එම පන්තියට උදාහරණයක් හැටියට රතන්ජීවන් හූල් දක්වන්න පුළුවන්) හැබැයි ව්‍යාපාරික/ ව්‍යවසායකයන් වූ දමිළ ධනවත් පිරිසගේ දමිළ ජාතිවාදය අඩුයි, සිංහල ධනවත් පිරිසට සාපේක්ෂව.

    ලිබරල් ජාතිවාදයකදී වැඩිය සාර්ථක වන්නේ මුස්ලිම්, යුදෙව්, ශීක් වගේ ගෝත්‍රවාදී ආගම් අදහන අයට. ලංකාවේ දමිළ ජාතිකයන්ගෙන් බහුතරය හින්දු වීම දමිළ ලිබරල් ජාතිකවාදයේදී බරවා කකුලක් වෙන්න පුළුවන්. මේ වැඩේදී දමිළ ජනයා අතර හින්දු ක්‍රිස්තියානි බෙදීම වැඩි වෙන්නත් පුළුවන්. (ඇත්තටම දමිළ ජනයා බහුතරය ක්‍රිස්තියානි උනානම් මේ වෙනකොට නැගෙනහිර ටිමෝරය වගේ වෙනමම දෙමළ රටක් හදා ගන්නත් ඉඩකඩ තිබුනා).

    කොටි සංවිධානය නිසා දෙමළ පමණක් දන්නා "දමිළ බයියන්ට" තැනක් ලැබුනා. ලිබරල් ජාති වාදයකදී මේ බයියන්ව විසිකරලා, දමිළ ටොයියෝ සෙට් එකක් එකතු කර ගන්න වෙනවා. එතකොට "දෙමළ බයියන්" කලකිරෙනවා, හරියටම රාජපක්ෂ බැතිමතුන් වෙලා ඉන්න සිංහල බයියන්ට වුණා වගේ...

    ReplyDelete
  3. Economatta, Can u explain little more on production of necessities by an open economic environment taking global picture. For example, Farmers in US produce just what they can produce with maximum profit. May be an African nation striving to produce same product but unable to produce at required quantities. In such case, Socialist see Capitalism as inequitable distribution of resources. In resource utilization how does capitalist system make efficiency. Thank you.

    ReplyDelete
    Replies
    1. Very simply, in market economies, the distribution of factors of production is at an almost optimum level and therefore the level of resource utilization is almost at the potential maximum level. (Think about the concepts of Uber and AirBNB) This optimum allocation is usually not the equal distribution of factors of production. From an efficiency point of view, equal distribution of factors of production always lead to under-utilization of resources. Therefore, a policy to distribute factors of production more equally (land for example) is inefficient. In a market economy, resources ultimately move automatically to the hands of those who are most efficient in utilizing those resources. That does not mean that those who were inefficient would be left out in misery forever. Often, someone who is less efficient at one thing is more efficient at something else. Specialization ensures that everyone will end up doing what they like most and/or what they are most skilled. That leads to efficiency and those who were inefficient in what they were doing at the beginning also will end up having a better life ultimately. So, through capitalism you can never achieve the goal of equal distribution of resources, either the factors of production or final consumption goods. But, what is the point if the living conditions of those who will be in the bottom layer also is better compared to the alternative scenario?

      Delete
    2. If you compare countries, one of the main reasons for inequitable distribution across countries is differences in economic policies. The countries which do not embrace the concept of capitalism continue to live with misery, while others accumulate wealth. Of course, there are other reasons too.

      Delete
  4. මෙහෙම දෙයක් තියෙනවා, වෙළඳපොල යාන්ත්‍රණය තුලින්ම කාරයක්ෂම තත්වයට පත්වෙනකොට ආපසු හරවන්න බැරි තරමේ හානියක් වෙලා තියෙන්න පුළුවන්.
    අපි හිතමු කුඹුරු ඉඩම් වලට කැමති දෙයක් කරන්න අවසර දුන්නා කියලා.
    එතකොට අරාබි ආධාර ලබන මුස්ලිම් සංවිධාන මහා පරිමානෙන් ඉඩම් මිලදීගෙන ගොඩ කරලා බේබි ෆාම් දාන්න පටන් ගත්තොත්,
    අරාබි සල්ලි ඉවරවුන දවසට වැඩේ නවතියි. ඒත් එතකොට සිංහල ජාතියට වෙන්න තියෙන පාඩුව වෙලා ඉවරයි.

    මේ වගේ ප්‍රශ්ණ වලට විසඳුම නිදහස් වෙළඳපොල ජාතික සීමාව තුල පවත්වා ගැනීම.
    ඉස්සර ඔ්ක කෙරුනේ තාක්ෂණය දියුණු නැති නිසා මිනිස්සු බාහිර ලෝකයෙන් හුදෙකලා වීම නිසා. දැන් කරන්න වෙන්නේ නීති වලින්.

    ReplyDelete
  5. "පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ"
    ලංකාවේ සැළකිය යුතු පිරිසක් ගෙවල්වල අනවශ්‍ය විදිහට විදුලි බුබුලු දැල්වීමෙන් සිදුවන නාස්තිය දරන්න වෙන්නෙ රටේ හැමෝටමයි නේද?
    එක් එක් වගා සදහා ඒ ඒ ඉඩම් යෝග්‍ය බව ඇත්ත. නමුත් ගොඩක් වෙලාවට පාඩු සිද්ද වෙන්නෙ නොදැනුවත්කම හින්දා. එහෙම වෙලාවට මැදිහත් වීමක් කරන්න තමයි කෘෂිකර්ම අමාත්‍යංශය තියෙන්නෙ.(ඔවුන් එහෙම කරන්නෙ නැහැ අවශ්‍ය තරමට.) උඩරට තේ ඉඩම් ගලවලා හරක් හෝ උක් හිටවනව වෙනුවට වියලි කලාපයේ මුඩු ඉඩම් ඔඑනෙ තරම් තියෙනවා භාවිතා නොකරන. ඉඩම් කළමනාකරණය සහ නිසි දැනුම භාවිතා කිරීමෙන් ආනයන අඩු කරලා අපනයන වැඩි කරගන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ සැළකිය යුතු පිරිසක් ගෙවල්වල අනවශ්‍ය විදිහට විදුලි බුබුලු දැල්වීමෙන් සිදුවන නාස්තිය දරන්න වෙන්නෙ රටේ හැමෝටමයි නේද?//

      විදුලි බිල රටේ හැමෝගෙම මුදලින් සුබසාධනය කරනවානම් එහෙම වෙන්න පුළුවන්. එසේ නොකර එහි නියම මිල අය කරනවානම් වෙන අයට පාඩුවක් වෙන්නේ නැහැ.

      //නමුත් ගොඩක් වෙලාවට පාඩු සිද්ද වෙන්නෙ නොදැනුවත්කම හින්දා.//

      වෙළඳපොල යාන්ත්‍රනය කාර්යක්ෂමනම් ඔය ප්‍රශ්නය පිටින් කෙනෙක් ඇවිත් විසඳන්න අවශ්‍ය නැහැ. පාඩු බව තේරෙන කොට එක්කෝ දැනුවත් වීම සඳහා (කාලය හෝ මුදල් හෝ මොනවා හරි දෙයක්) ආයෝජනය කරලා පාඩුව නැති කර ගන්නවා. එසේ නොකළොත්, නොදැනුවත් කෙනා වෙනුවට වඩා දැනුවත් කෙනෙක් ආදේශ වෙනවා. පාඩු ලබමින් අකාර්යක්ෂම ක්‍රමවේදය සමඟ දිගටම රැඳී ඉන්න වෙළඳපොළ ඉඩ දෙන්නේ නැහැ.

      රටේ තිබෙන හැම බිම් අඟලක්ම පිළිබඳව හා මිනිසුන්ගේ හැකියාවන් පිළිබඳව දත්ත එකතු කරලා එක් එක් ඉඩම වඩාත්ම සුදුසුම කවර බෝගයටද කියලාත්, එක් එක් ඉඩම වගා කරන්න වඩාත්ම සුදුසුම පුද්ගලයා කවුද කියලාත් හොයලා ඔවුන්ව අවශ්‍ය තැනට යොමු කරන සැලසුමකට විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍යයි. එසේ කලත් කාලයෙන් කාලයට සිදුවන වෙනස්කම් එක්ක හොඳම සැලසුම කියන එක වෙනස් වෙනවා. ඒ නිසා, මේ වැඩේ කරන්න විශාල සම්පත් නාස්තියක් කරන්න වෙනවා. ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවකයින් ප්‍රමාණය ලංකාවේ මුළු වී අස්වැන්න වගේ දෙගුණයක් හදන්න දායක වෙන ඇමරිකාවේ වී ගොවියන් ගණනට වඩා වැඩියි. පුද්ගලයින් ලෙස ඒ අයගේ අඩුපාඩු ඇති. නමුත්, ප්‍රධානම හේතුව එය නෙමෙයි. මේ ක්‍රමය ක්‍රමයක් විදිහටම අකාර්යක්ෂම වීමයි.

      Delete
    2. දිනුක/ ඉකොනොමැට්ටා

      කාර්යක්ෂම ලෙස ජාතික නිෂ්පාදනය වැඩි කරන අතරම සුබසාධන කටයුතු ඉතා සාර්ථකව සහ විශාල ලෙස වැඩි කරමින් ජනදුක නිවන බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා

      ඔබ දන්නවාද 1994 ලංකාවේ ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට 23%යි. එනම් රටේ සමස්ත ධන නිෂ්පාදනයෙන් 23%ක් භාණ්ඩාගාරයට. රාජපක්ෂ කල්ලිය නිසා 2014 වන විට ආණ්ඩුවේ ආදායම 11.5% දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. ඒ වගේම අලුත්ම රාජපක්ෂලාගේ ආණ්ඩුවත් තම ආදායම වැඩිකර ගන්න හදපු සැලසුම මොකක්ද? ඒක තමයි 11.5% වෙච්ච ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩිකරන්න සැලසුම් කරළා. ඒක කළේ කොහොමද විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙමින්. කාබන් බද්ද ගහනවා, කාබන් පරීක්ෂා කරන්න යනකොට බද්දක් ගන්නවා. විවාහ ගාස්තු වැඩි කළා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කළා. එතන රෙජිස්ටාර් ගාස්තු වැඩි කළා. ව්‍යාපාරවලින් ගන්න ආදායම් බදු ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකළා. ඇයි ඒ? ආර්ථිකයක් පළල් වෙන්නේ නැත්නම්, ඉදිරියට යන්නේ නැත්නම්, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. එකතැන පල්වෙනවා. සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය සංවර්ධනය නොවී ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න යාමේදී මොකද වෙන්නේ. විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙනවා. අධික බදු පීඩනයකට අද ජනතාව පත්කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100ක රීලෝඞ් එකක් ගත්තොත් 60ක් තියෙන්නේ බදු. පෙට්‍රල් ලීටරයක් 138කට ගන්නා විට රුපියල් 75කට වඩා තිබෙන්නේ බදු. දැන් මොකද සිද්ධවෙලා තියෙන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවන්න සිදුවෙලා. ඒක ජනතාවට බරක්, ව්‍යාපාරිකයන්ට බරක්; රාජ්‍ය සේවකයන්ට බරක්; ඒක පෞද්ගලික අංශයේ රැකියාව කරන සේවකයාට බරක්. අපි කියන්නේ බදු මුළුමනින්ම ඉවත් කරනවා කියන එක නොවෙයි.

      Delete
    3. ලංකාවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තිබෙන සාධාරණ බදු නිර්ණායකය කුමක්ද? ඍජු බදු 80%ක් වෙන්න ඕන. වක්‍ර බදු 20%ක් වෙන්න ඕනෑ. වක්‍ර බදු කියන්නේ සියලු පුරවැසියන්ට ගහන බදු. වැට් කියන්නෙ වක්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එකකට රුපියල් 15/-ක බද්දක් තියෙනවා නම්, ගමේ අහිංසක ගොවියා ගිහිල්ලා සීනි කිලෝ එකක් ගන්න විට රුපියල් 15/-ක බද්දක් ගහලා. ටි්‍රලියනපතියා සීනි කිලෝ එකක් ගන්නත් රුපියල් 15යි බද්ද. ඒ තමයි වක්‍ර බදුවල හැටි. ආදායමේ විෂමතාවය. ආදායම් බෙදීයාම ගැන කිසිදු භේදයකින් තොරව ධනවත් දුප්පත් හැම දෙනාටම ඒ බද්ද වදිනවා. ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා.

      ජවිපෙ අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර. ඊළඟ පියවර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම. අද රාජ්‍ය ව්‍යවසායයන් විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව පියවා ගන්න හදන්නේ ජනතාව මත බදුබර පටවලා. ‘එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ. ඒක පවරා ගන්නේ ව්‍යාපාරයක් හැටියට නොවෙයි. ගුවන් සේවය දියුණු කරන සැලැස්මක් හදලා නොවෙයි.

      මහින්ද රාජපක්ෂ වතාවක් එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් ෂීට් ඉල්ලුවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි ෂීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බෑ කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා.
      මහින්ද රාජපක්ෂට ඒකට හොඳටම කේන්ති ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප්‍රධාන නිලධාරියාව මාරුකරන්න කියලා. ‘එමිරේට්ස්’ ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි, ටිකට් වෙන්කරලා තිබෙන ගුවන් යානයක එකපාරම ටිකට් වෙන්කරන්න බැහැ. එහෙම කළොත් ගුවන් සමාගමට නඩු පැවරෙනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. ඊට පස්සේ ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවෙන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි එයාව යවන්නේ නැහැ. ඕන නම් එමිරේට්ස් ආයතනය ගන්න කියලා. ඒ නිසා එයාර් ලංකා එක පවරා ගත්තේ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව නොවයි. වෙළඳ දැක්මක් ඇතිව නොවෙයි. සංවර්ධන ඉලක්කයක් සහිතව නොවෙයි. දැන් සිද්ධවෙලා තියෙන්නේ මොකක් ද?

      දැන් ඒකේ 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2016 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි. අපේ රටේ ඉස්පිරිතාල ආසන්න වශයෙන් 650යි තියෙන්නේ. මේ සෑම ඉස්පිරිතාලයකටම කෝටි 25 ගාණේ දෙන්න පුළුවන් ධනය. මේ ධනය නාස්ති කරේ. ඒ නාස්ති කරන ධනය එකතු කර ගන්නේ කොහොමද? ජනතාවට බදු ගහල. අන්න බදු වැඩිවීමට එක හේතුවක්. විදුලි බලමණ්ඩලයේ පාඩුව කෝටි 2,900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10,400යි. ජලසම්පාදනයේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1,024යි.
      සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඞ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩු දුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒකතමයි සිද්ධ වෙන්නේ. ජනතාවට හොඳ ජීවිතයක් ගතකළ හැකි වන්නේ, ආදායමට සරිලන බද්දක් වැදීමෙන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබීමෙන්. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමෙන්. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන්.

      Delete
    4. ජවිපෙ අපි මේ වංචාව - දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා ජනතා බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා.
      අද අපේ රටේ ආදායම් බදු ෆයිල් තිබෙන්නෙ දෙලක්ෂ හැත්තෑදහසයි. හැම අයවැය ලේඛනයකින්ම මේ දෙලක්ෂ හැත්තෑදහස පට්ටා ගහන්න තමයි හදන්නේ. මේ ෆයිල් ප්‍රමාණය වැඩිකර ගන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් දිරිගන්වලා ඔවුන්ගේ ප්‍රමාණය වැඩිකරන්න ඕනෑ. මල්වගාවෙන්, අන්නාසි වගාවෙන් මැණික් වෙළඳාමෙන්, කුරුඳු වගාවෙන්. අපි කුරුඳු පටවනවා වෙනුවට කර්මාන්තයක් හැටියට සංවර්ධනය කරලා විශාල විදේශ වෙළඳපොළ කොටසකට අලෙවිකරලා විශාල ආදායමක් රටට ගේන්න පුළුවන් ක්ෂේත්‍ර. මේ ක්ෂේත්‍රවලට නව ආයෝජනයන් කැඳවන්න ඕනෑ.
      අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාවක් දෙනවා, අපේ සමාජවාදී පාලනයක් යටතේ ඔබලාගෙ ව්‍යාපාර කටයුතු කරන්න. අපි නව ව්‍යාපාර වෙනුවට රජයේ ආයතන වලින් ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඒවාට අදාළව රැකියා නිර්මාණය වෙනවා. රටේ ජාතික ධනය වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙනවා. අන්න එතනට බද්දක් ගහනවා. බද්දක් අයකර ගැනීමට අසීරු අන්දමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් රජයේ රැකියාවක් කරන්නට යොමු කරන්න පුළුවන්.

      ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා.

      Delete
    5. "සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඞ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩු දුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒකතමයි සිද්ධ වෙන්නේ."

      දැන් මේ ජවිපෙ විසින්ම හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්නේ. දැන් මේකට ජවිපෙ ඉදිරිපත් කරන විසඳුම මේක වෙන්න ඇතිනේ.

      "ජවිපෙ අපි මේ වංචාව - දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා ජනතා බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා."

      මේ තවත් උපුටා ගැනීම්.

      " එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ."

      "දැන් ඒකේ 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2016 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි."

      දැන් සරලවම ඔබ කියන්නේ පෞද්ගලික අංශය ලාබ ලබනවා, රාජ්‍ය අංශය පාඩු ලබනවා කියන එකයි. එහෙමනම් ඇයි පෞද්ගලික අංශයට ඔය වැඩේ කර ගන්න ඇරලා රාජ්‍ය අංශය අයින් වෙන්නේ නැත්තේ? ඇයි සතොස තවත් කාගිල්ස් එකක් කරලා (පෞද්ගලික සමාගමක් කරලා), උපයන ලාබය මත බදු අය කරගෙන අවශ්‍ය පිරිස් සුබසාධනය කරන්න බැරි?

      ජවිපෙ ඒ වෙනුවට යෝජනා කරන්නේ අපේ කට්ටිය ලාබ අරන් පෙන්වයි කියන එකයි. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත්, රජය ඔය වැඩෙන් අයින් වෙලා පෞද්ගලික අංශයට වැඩේ භාර දෙනවා කියලා කිවුවොත්නම් අනිවාර්යයෙන්ම ලාබ තියෙන බව පැහැදිලියි. එතකොට නාස්තිය දූෂණය ගැන හොයන්න අඩු වශයෙන් උවමනාවක් හෝ නැහැ.

      පෞද්ගලික ආයතනයක් ලාබ හොයන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන්. සතොස කළමනාකරණය කරන්න දමන ජවිපෙ හිතවතා හෝ සාමාජිකයා ඒක කරන්නේ ඇයි? අපි කියමු රට වෙනුවෙන් හෝ පක්ෂය වෙනුවෙන් කියලා. එහෙම කරන අය ඉන්නවනේ. හැබැයි අවංකකම හා උවමනාව තිබුණටම මදි. වැඩේට දක්ෂ වෙන්නත් ඕනෑ. ලාබ හොයන්න දක්ෂ අය ජවිපෙ ඇතුළේ ඉන්නවද? එහෙම ඉන්නවනම් පක්ෂය විසින් පොඩියට හරි කාගිල්ස් වගේ සුපර් මාර්කට් එකක් පටන් ගත්තොත් නරකද? හොයන ලාබ තමන්ට එපානම් සමාජ සත්කාරයක් වෙනුවෙන් හෝ පක්ෂය වෙනුවෙන් යොදවන්න පුළුවන්. එහෙම ලාබ හොයලා පෙන්නුවොත් මේ කතාවට යම් වටිනාකමක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔහේ කියනවට කියන දෙයක් මිසක් විශ්වාසනීය ලෙස වෙනත් අයට ඒත්තු ගැන්විය හැකි කතාවක් නෙමෙයි.

      "ඒ හරහා ජනතා බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා."

      ජවිපෙට එවැනි විශ්වාසයක් ඇති. නමුත්, වෙනත් අයට ජවිපෙ පිළිබදව එවැනි විශ්වාසයක් ඇති කරගන්න විශේෂ හේතුවක් නැහැ. රාජ්‍ය අංශය බිස්නස් කරන එකෙන් ඉවත් වෙලා පෞද්ගලික අංශයට වැඩේ භාර දුන්නහම ප්‍රශ්නය විසඳෙන බව විශ්වාස කරන්නනම් ඔය උඩ කමෙන්ට් වල තිබෙන කරුණු ටික වුවත් ප්‍රමාණවත්.

      Delete
    6. ජවිපෙ වගේ පක්ෂ පෞද්ගලීකරණයට එරෙහිව මරාගෙන මැරෙන්න හේතුව මේකයි. රාජ්‍ය අංශය ව්‍යාපාර කරන තුරු බොහෝ විට නාස්තිය දූෂණය තිබෙනවා. බොහෝ විට ලාබ වෙනුවට පාඩු සිදු වෙනවා. ඒ නිසා, ජවිපෙට හිඟන්නාගේ තුවාලේ වගේ හැමදාම සටන් පාඨයක් තියෙනවා. නමුත්, පෞද්ගලීකරණය කළ විට ඔය නාස්ති දූෂණ පේන්න නැහැ. බදු මුදලින් පියවන පාඩු නැහැ. තුවාලේ සනීපයි. ඒ නිසා ජවිපෙට එල්ලෙන්න සටන් පාඨයකුත් නැහැ.

      Delete
  6. නාස්තිය හා දුෂණය යනු ධනවාදී අමන ගෝත්‍රික ආර්ථික ක්‍රමයෙන් ඉවත් කිරීමට නොහැකි අනිවාර්යයෙන්ම ධනවාදය හා බැඳුනු ප්‍රධාන හේතුකාරක දෙකක්. මේ දේවල් සමාජවාදී ක්‍රමවේදයක් නැත්නම් කිසිම විදිහකින් පාලනය කරන්න බෑ.

    මේ බලන්න නාස්තිය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල තියෙන මනා විවරණයක්...

    https://www.facebook.com/anurakumara/videos/1094934847366166/

    මේ වීඩියෝ එක තුල ලංකාවේ සැබෑ නාස්තිය ගැන මනාව පැහැදිලි කිරීමක් කරල තියෙනවා.

    ReplyDelete
  7. ඉකොනොමැට්ලටා දන්නවා ඇතිනේ ලංකාවේ ජනතාවගේ කරපිට පටවා තිබෙන දේශපාලකයන්ගේ බරපතල බර නිසා සිදු වූ මහත් විනාශය. මේක අඩුකරන හැටි දන්නේ ජවිපෙ සමාජවාදී ජාතික ජන බලවේගය පමණකි.

    අපි අද ලෝකයේ රටවල් දියුණු කළ ගොඩක් නායකයො ගැන කතා කරනවා. ඒ සෑම නායකයෙක්ම රටක් දියුණු කරන්න පටන් ගත්තේ තමන්ම සමාජයට ආදර්ශ ලබා දීලා.
    එහෙම නැතුව රටක් දියුණු කරන්න බැහැ.
    ඒ අනුව අපි මේ රට ගොඩනැඟීමේ පළමු ආදර්ශය විදිහට ජනාධිපතිවරයාගේ නාස්තිය අඩු කිරීමටත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කරන මුදල් යළි ජනතාවට ලබා දෙන්නත් තීන්දු කර තිබෙනවා.

    ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාට රට පුරා මාලිගා. කොළඹ මාලිගාවක් තිබෙනවා. නුවරඑළියේ, නුවර, අනුරාධපුරයේ, කන්කසන්තුරේ, ඇඹිලිපිටියේ හැම තැනම හතර වටේ ජනාධිපති මාලිගා තියෙනවා. සමහර මාලිගාවල අවුරුද්දට එක රැයක් ජනාධිපතිවරයා ඉඳලා නැහැ. නමුත් අක්කර හත අටක ඉඩමක විශාල ගොඩනැඟිල්ලක් හදලා, සීයක දෙසීයක කාර්ය මණ්ඩලයක් දාගෙන, මුර කරන්න පොලිසියේ විශාල පිරිසක් දාලා ජනතාවගේ මුදල් නිකරුණේ කාබාසිනියා කරනවා. ඒ නිසා ජවිපෙ ජනතාවට පොරොන්දුවක් දෙනවා අපි මේ ලංකාව හතර වටේ තියෙන ජනාධිපති මාලිගා සියල්ල ජනතා අයිතියට පත් කරලා ඒවා කෞතුකාගාර, සංස්කෘතික කේන්ද්‍ර, සංචාරක බංගලා බවට පත් කරලා රටට ආදායම් උපයන ස්ථාන බවට පත් කරනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් සීයට අනූවකට වැඩි ප්‍රමාණයක් අපි කප්පාදු කරනවා.

    දැන් ඔබ මගෙන් අහයි මන්ත්‍රීවරුන්ගේ නාස්තිකාර වියදම්වලට මොකද වෙන්නේ කියලා. ජවිපේ අපි ඒවාත් කපනවා.
    මන්ත්‍රීවරයෙකුට යන්න එන්න තැනක් නැත්නම්, වෙනත් ආදායමක් නැත්නම්, ජීවත් වෙන්න විදිහක් නැත්නම් සමාජ ආරක්‍ෂණ අරමුදලින් පොඩි මාසික ගෙවීමක් කරන්න පුළුවනි; හරියට පිං පඩියක් වගේ.

    ඇයි ඊට වැඩිය දෙයක් මන්ත්‍රීවරු නඩත්තු කිරීම සඳහා ලංකාවේ මහ ජනතාවට දරන්න බෑ. දැන් තියෙන ප්‍රධාන පක්ෂවලට ඡන්දෙ දෙන්න කවුරු හරි පුරවැසියෙක් කල්පනා කරමින් ඉන්නවා නම් මම ඔවුන්ගෙන් අහනවා මේ පරිවර්තනය අපේ රටට ඕනෑද නැද්ද කියලා.
    අන්න ඒ පරිවර්තනය කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ.

    ඒ නිසා ලබන මහ මැතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කියලා ජවිපෙ විසින් ඉල්ලා සිටිනවා. ජවිපෙ ජාතික ජන බලවේගය රට සහ ජනතාව වෙනුවෙන් රටට අවශ්‍ය ඒ පරිවර්තන කරනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාව තුල පුරවැසියන් හැම දෙනාම නීතියට යටින් සිටිය යුතුයි. ජාතික ජන බලවේගයේ නායකත්වය දරන අනුර කුමාර දිසානායක සහෝදරයා විස්තර කරල තියෙනවා නීති ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අනෙකුත් හැම ක්ෂේත්‍රයකම අද ප්‍රශ්න ඕනෑ තරම් මතු වෙලා තියෙනවා. ඒවත් හිතන තරම් සරල ප්‍රශ්න නෙමෙයි. විශාල ඛේදවාචකයන්. අපි හිතනවා ඒ ඛේදවාචකයන්ගෙන් ඒ ඒ ක්ෂේත්‍රයන් මුදවා ගැනීමත් අපේ මැදිහත්වීමේම කොටසක් කියලා. අපිට ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විවාද තියෙන්න පුළුවන්. අපිට රාජ්‍ය අංශයේ පවත්වාගෙන යන්නෙ මොනවද කියන එක ගැන විවාද තියෙන්න පුළුවන්.

      ඒත් කාටවත් විවාද නොතිබිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි නීතියේ විධානයේ ආධිපත්‍යය. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය අද තියෙන්නෙ කොතැනද? ඒක අද තියෙන්නෙ ධනවත්, සහ බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවෙන, දුප්පත්, දුබල අයට නීතිය හොඳින්ම ක්‍රියාත්මක වෙන තැනක. ඒ නිසා අපේ රට ගොඩ නගනවානම් ධනවත්ද, බලවත් ද, දුප්පත්ද, දුබලද කියන එක නොසලකා නීතිය ක්‍රියාත්මක වෙන තත්වයක් ඇති කරන්න ඕනෑ. රටේ හැම දෙනාම නීතියට යටින් සිටිය යුතුයි. ඒත් ඉතිහාසය පුරාම නීතියට යටින් සිටින පිරිසක් වගේම නීතියට උඩින් සිටින පිරිසකුත් හිටියා. පසුගිය කාලයේ මේ රටේ සිදු වුණු ආන්දෝලනාත්මක සිදුවීම් හැම එකක්ම දිහා බැලුවම ඒක තේරුම් ගන්න පුළුවන්. යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ආයතනවලින් හෝ නඩු ගොනු කරන ආයතනවලින් හෝ ඒවා විභාගයට ලක් කරන ආයතනවලින් ගැලවීමට හැකි තත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ ස්ථාන තුනේම දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැරි තත්වයට දේශපාලන බලපෑම්වලට නතු වෙලා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්නනම් මේ ආයතන තුනම විධිමත් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි.

      Delete
    2. දෙවෙනි එක තමයි වංචාව, දූෂණය සහ නාස්තිය නතර කිරීම නැත්නම් අවම කිරීම. මම මේ කතා කරන්නෙ පොලිසියෙ මහත්තය පාරෙ ඉන්න කොට ගන්න රුපියල් පන්සීය ගැන නෙමෙයි. ලිපිකරු මහත්තය ගෙදර එනකොට අරගෙන එන හාෆ්ෂීට් දෙක ගැන නෙමෙයි. මම ඒක සාධාරණීකරණය කරනව නෙමෙයි. ඒත් ඔවුන්ගේ වැටුපෙන් විශාල පංගුවක් ණයවලට කැපෙනවා. ඔවුන්ට ජීවත් වෙන්නවත් ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. කෙනෙක්ට නිල ඇඳුමක් ඇඳගෙන, තරු පටි ගහගෙන රුපියල් පන්සීයක් ඉල්ලන එක ලේසි වැඩක් නෙමෙයි. ආණ්ඩුවෙ කාර්යාලයකින් වැඩක් කරල දෙන්න රුපියල් දෙසීයක් ඉල්ලන එක ලිපිකරු මහත්තයෙක්ට ලේසි වැඩක් නෙමෙයි. ඒත් ඔවුන් ඒක කරන්නෙ ජීවත් වෙන්න බැරි නිසා. හැබැයි ඉහළින් වෙන වංචා සිද්ධ වෙන්නෙ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි. රාජපක්ෂල හොරකම් කරන්නෙ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි. ඒ වගේම දේශපාලකයන් නඩත්තු කරන්නත්, ජනාධිපතිවරුන්ගේ සිට මැති ඇමතිවරුන් විශ්‍රාම ගිය පසු ඔවුන් නඩත්තුව සඳහාත් කරන වියදම්. අති විශාල නාස්තියක් ඒක. ඒ නිසා අපේ රට ගොඩනගන්නනම් වංචාව සහ දූෂණයත් හොරකම සහ නාස්තියත් නතර කරන්න ඕනෑ.

      තුන් වැනි එක තමයි, මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. රටක ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන දෙකක් තියනවා. එකක් තමයි අභ්‍යන්තරව ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අභ්‍යන්තරව ඇති විය හැකි ගැටුම් සහ කෝලහාල තත්වයන් හේතුවෙන් මෙවැනි තත්වයන් ඇති වෙනවා. දෙවෙනි එක තමයි විදේශීය ආක්‍රමණයන් නිසා රටට එල්ල විය හැකි තර්ජන. ඒ අතුරින් මෑත කාලීනව පේන්න තියෙන දේ තමයි, ඇමරිකන් එක්සත් ජනපදය වගේ අධිරාජ්‍යවාදීන් විසින් විදේශීය සන්නද්ධ හමුදා තර්ජනයක් එල්ල විය හැකි තත්වයක් නැහැ කියන එක. ඒ නිසා අපි මුහුණ දීල තියෙන්නෙ අභ්‍යන්තරික තර්ජනයක් පිළිබඳ අවදානමක් විතරයි. අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයත් මොන මට්ටමේද තියෙන්නෙ? එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙන කාලෙ ඔවුන් සංවිධානය වූ සන්නද්ධ හමුදාවක් හැටියට කටයුතු කළා. ඔවුන් රජයේ හමුදා එක්ක මුහුණට මුහුණ සටන් කළා. ඒක අභ්‍යන්තර ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබුණා. ඒත් නැවතත් මේ මෑත යුගයේ එවැනි සන්නද්ධ කණ්ඩායමක තර්ජනයක් ඇති වෙයි කියල හිතන්න බැහැ. කවුරුහරි හිතනවනම් උතුරේ නැවත එවැනි හමුදාවක් ගොඩනැගෙයි කියලා, ඒක හිතළුවක් විතරයි. උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට නෙමෙයි. ඒ අම්ම තාත්තටත් තියෙන්නෙ දකුණෙ අම්ම තාත්තට තියෙන බලාපොරොත්තුමයි. දරුවන්ට උගන්වන්න, ඔවුන් හොඳ රැකියාවක් කරනවා බලන්න, ඔවුන් හොඳ ජීවිතයක් ගෙවනවා දකින්න තමයි ඔවුන්ටත් ඕනෑ. ඒත් දකුණෙ මිනිස්සුන් තුළ ප්‍රශ්නයක් හදනව, උතුරෙ අම්ම තාත්ත දරුවො හදන්නෙ යුද්දෙට කියලා. ඒක බොරුවක්. දකුණෙ යුද්දෙකට තියන වුවමනාවවත් දැන් උතුරෙ ජනතාවට නැහැ. එහෙනම් දැන් කොතැනද අපේ ආරක්ෂාවට තර්ජනයක් තියෙන්නෙ?

      විශේෂයෙන් අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පස්සෙ මාර්ග බාධක යෙදුනෙ ඉස්කෝල ළඟ නැත්නම් රෝහල් ළඟ. සිංහල, මුස්ලිම් ගම්මාන වෙන් වෙන සීමාවන්වල. එහෙනම් දැන් තියෙන තර්ජනය මොකක්ද? මේ රටේ ජන කොට්ඨාස අතර ඉන්න අන්තවාදී කණ්ඩායම්වලින් එක් ජන කොට්ඨාශයක් විසින් තවත් ජන කොට්ඨාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි කියන තර්ජනය. එතැන තමයි අද ආරක්ෂාවේ තර්ජනය ස්ථානගත වෙලා තියෙන්නෙ. මේ ආරක්ෂාවට මොනවද තියෙන විසඳුම්? ගම්මාන ජාතිකත්වයන් අනුව බෙදල වෙන් කරලා, ඒ ගම්මාන වෙන් වෙන තැන්වලදි ජනතාව පරීක්ෂාවට ලක් කරලා, සන්නද්ධ හමුදාව සහ සන්නද්ධ රථ දවස පුරාම පාරෙ ගමන් කරලා ඇති කරන්න හදන ආරක්ෂාව. හැබැයි ඒක ආරක්ෂාවද? ඒකෙන් කියන්නෙ රට අනාරක්ෂිතයි කියන එක නෙමෙයිද? අපි ආරක්ෂාව කියන්නෙ ඒකට නෙමෙයි. මේ ජන කොට්ඨාසයන් ඇතුළෙ කිසිදු අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න, ඔවුන්ට අන්තවාදී කටයුතුවල නියැලෙන්න ඉඩ කඩ නොදෙන එක තමයි, ආරක්ෂාවේ තර්ජනය නැති කරන්න තියෙන පළමු ක්‍රියාමාර්ගය. ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ. ඒත් පසුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයේ මුදල්වලින් එක විට සිංහල බෞද්ධ සහ වෙනත් අන්තවාදී කණ්ඩායම් පෝෂණය කළා. ඇත්ත විසඳුම වෙනුවට ගැටුම් වර්ධනය කරලා, ඒ ගැටුම් පෙන්වා බලය පවත්වාගැනීමට හෝ බලය ලබා ගැනීමට කටයුතු කිරීම තමයි මේ අය කළේ.
      ඒක නිසා, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමත්, වංචාව, දූෂණය, හොරකම සහ නාස්තිය නතර කිරීමත්, මහජන ආරක්ෂාව තහවුරු කර ජාතික සමගිය ගොඩනැගීමත් තමයි මේ මොහොතේ රට ගොඩනගන්න නම් සිදු කළ යුතු මූලිකම කටයුතු වෙන්නෙ. ඒ පදනම් මත ගොඩනැගෙන ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද, අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති මොනවද, විදෙස් ප්‍රතිපත්ති මොනවද වගේ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්.

      අපි බලාපොරොත්තු වෙන්නේ බලපෑම් නිසා නඩුව පැරදුනා කියන්න බැරි අධිකරණයක්

      අපේක්ෂාවේ අපේක්ෂාව ජාතික ජන බලවේගය

      Delete
    3. මේ ඇනෝ කමෙන්ට් ටිකට මම කමෙන්ට් වලට සාපේක්ෂව තරමක් කෙටි එහෙත් අවශ්‍ය පමණ දිගු පිළිතුරක් දෙන්නම්. "අපේක්ෂාවේ අපේක්ෂාව ජාතික ජන බලවේගය" නමින් ජවිපෙ සේ හැඟෙන පරිදි කමෙන්ට් කර තිබෙන නිසා කවුරු හෝ ජවිපෙ හිතවතෙක් කමෙන්ට් එක දැම්මා යන පදනමිනුයි මම පිළිතුරු ලියන්නේ. ඇතැම් විට අප ලවා ජවිපෙ විවේචනය කරවීමේ අරමුණින් ජවිපෙ විරෝධීන් විසින් කමෙන්ට් දමනවා. රාජපක්ෂලාව විවේචනය කරවීමේ අරමුණින් රාජපක්ෂ විරෝධීන් කමෙන්ට් දමනවා. එජාප විවේචනය කරවීමේ අරමුණින් එජාප විරෝධීන් කමෙන්ට් දමනවා. මෙය එවැන්නක් නෙමෙයි කියා මම හිතනවා.

      ජවිපෙ විවේචනය කරන්න ඕනෑ තරම් කරුණු තිබුණත් හේතු දෙකක් නිසා මම එය කරන්නේ කරන්නම අවශ්‍ය වූ විට පමණයි. පළමු හේතුව, ජවිපෙ මේ වන විට 3%ක ජන සහයෝගයක් පමණක් ඇති පාලන බලයක් නැති දේශපාලන පක්ෂයක් වීම. ජවිපෙට වඩා විශාල දේශපාලන බලයක් තිබුණානම් මම ඔයිට වඩා විවේචන කරනවා. දෙවන හේතුව ජවිපෙ වෙනස් වෙන්න උත්සාහ කරමින් සිටින බවක් පෙනෙන්නට තිබීම හා මට සාපේක්ෂව එය හොඳ අතට සිදු වන වෙනස්වීමක් වීම.

      මේ ලිපියේ ඇති කරුණු සෘජුව ජවිපෙ දේශපාලනය සමඟ ගැටෙන්න පුළුවන්. නමුත්, ඒකට මට කරන්න දෙයක් නැහැ. කරුණු මත පදනම්ව නිවැරදි දේ ලියනවා මිසක් ලියන දෙයින් කිසියම් කණ්ඩායමකට වාසියක් වෙනවද අවාසියක් වෙනවද කියන එක ගැන මම එතරම් වද වෙන්නේ නැහැ. මේ ලිපිය ජවිපෙ දේශපාලනය විවේචනය කිරීමේ අරමුණින් ලියපු එකක් නෙමෙයි. මේ ලිපිය ඇතුළු මෙහි ලියන දේවල් සියල්ල සංවාදයට විවෘතයි. ඇතැම් අවස්ථා වල පට්ටපල් බොරු ප්‍රචාරය වන විට කිසියම් දේශපාලන පක්ෂයකට වාසියක් වෙනවා හෝ අවාසියක් වෙනවා කියා අපට ඇත්ත පෙන්වා නොදී ඉන්න අමාරුයි.

      අපි දැන් කෙළින්ම ජවිපෙ ගැන කතා කරමුකෝ.

      ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ඔවුන් විශ්වාස කරන නිවැරදි දේශපාලන මතය ප්‍රචාරය කරන්න තිබෙන අයිතිය වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ වගේම, ජවිපෙ ප්‍රතිපත්ති දෙස එකින් එක තනි තනිව බලනවා මිසක් ජවිපෙ ප්‍රතිපත්ති කියන පදනමින් මම බලන්නේ නැහැ. අනෙක් දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති වලටත් මේ කතාව අදාළයි. ඔය කාගෙන්වත් මට සෘජු වාසියක් හෝ කරදරයක් නැහැ. එසේ වුවත්, ජවිපෙ ප්‍රතිපත්ති එක්ක මට මූලික මට්ටමේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා පැකේජ් එකක් ලෙස ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙන් මට කොහොමටත් පෙනී සිටින්න බැහැ.

      ජවිපෙ කියන පක්ෂය මාක්ස්වාදය මත පදනම්ව හදපු පක්ෂයක්. ජවිපෙ තවමත් තම පක්ෂය හඳුන්වා ගන්නේ මාක්ස්වාදී, සමාජවාදී පක්ෂයක් ලෙසයි. මාක්ස්වාදය සමඟ මට තිබෙන ප්‍රශ්න ඉතාම මූලික මට්ටමේ ප්‍රශ්න. මතවාදී ලෙස ගත්තොත් ජවිපෙ කියන්නේ අඩුම වශයෙන් අවුරුදු පණහක් තිස්සේ යාවත්කාලීන නොවූ පක්ෂයක්. ඒ අතින් පැරණි, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හා ජවිපෙ අතර කිසිම වෙනසක් නැහැ. ලංකාවේ වාමාංශික පක්ෂ අතරින් මතවාදී ලෙස යාවත්කාලීන වී සිටින පක්ෂයක් කියා කිව හැක්කේ ජන බලයක් නැති පෙරටුගාමී පක්ෂයට පමණයි (ජවිපෙන් කැඩී ගිය පෙසපෙ නෙමෙයි).

      මෙයින් අදහස් වන්නේ මෑතකදී ජවිපෙ මතවාදයේ හා ක්‍රියාකාරිත්වයේ වෙනසක් වී නැති බව නෙමෙයි. වෙනසක් වී සහ වෙමින් තිබෙනවා. නමුත්, ඒ වෙනසත් වසර පණහකට පමණ පෙර තිබුණු ලෝකය මත පදනම් වූ වෙනසක්.

      ඉතිහාසය පුරාම මාක්ස්වාදී සමාජවාදී පක්ෂ බලයට පත් වී තිබෙන්නේත්, බලයේ සිට ඇත්තෙත් මහජන කැමැත්ත මත පදනම්ව නෙමෙයි. රෝහණ විජේවීර ජවිපෙ කියන පක්ෂය හැදුවේම අවි බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගන්නයි. ඒ වැඩේට අවශ්‍ය වුනේ කටවහගෙන කියන දේ කරන පසුගාමී මිනිස්සු මිසක් බුද්ධිමය සංවාදයක් කළ හැකි මිනිස්සු නෙමෙයි. අතරින් පතර එහෙම අය එකතු වීම ව්‍යතිරේඛ මිසක් සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

      අවම වශයෙන් 2012 පමණ වන තුරු (පෙසපෙ කඩා ගෙන යන තුරු) ජවිපෙ එළියට කවර මූණක් පෙන්නුවත් ඇතුළෙන් තිබුණේ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හදපු මුල් පක්ෂය කියන එක බැහැර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පෞද්ගලිකව මම කවදාවත් ජවිපෙ සාමාජිකයෙක්ව සිට නැතත් ජවිපෙ ක්‍රියාකාරිත්වය ගැන සමහර වෙලාවට මෙහි ප්‍රතිචාර දමන වාටියේ එල්ලිලා සිටින අය නොදන්නා දේවල් ගොඩක් මම දන්නවා. මගේ පෞද්ගලික එතික්ස් මත මේ වගේ තැනක නොලියන දේවල් වගේම ජීවිතේටවත් සමීපතම අයෙකුට පවා නොකියන දේවලුත් මට තියෙනවා.

      Delete
    4. ලංකාවේ මිනිස්සුන්ට දේශපාලන විකල්ප හිඟයක් කාලයක් තිස්සේ තිබුණා. දැනටත් තිබෙනවා. මේ ඉල්ලුම නිසා කාලයක් විශාල පිරිසක් ජවිපෙ වටා එකතු වුණා. නමුත්, පක්ෂයක් විදිහට ජවිපෙ ඒ රැල්ල නිවැරදිව විග්‍රහ කරගත්තේ නැහැ. මිනිස්සු හිටියේ ජවිපෙට වඩා ගොඩක් ඉස්සරහින්. ජවිපෙ කළ යුතුව තිබුණේ පක්ෂයක් විදිහට වෙනස් වෙන එකයි. එහෙත්, ජවිපෙ පුංචි ඔළු වලට මේ රැල්ල ලොකු වැඩි වුණා. ජවිපෙට අවිඥානිකව අවශ්‍ය වෙලා තිබුණේ තමන්ට ඔරොත්තු දෙන තරමට පක්ෂය පුංචි කර ගන්න එකයි. අන්තිමේදී ඒ වැඩේ සිදු වුනා.

      දැන් ජවිපෙ තමන්ට වැරදුනු තැන තේරුම් අරන් ඉන්නවා. නමුත්, ප්‍රශ්නය දැන් ජවිපෙ එක්ක ඉන්නේ පාක්ෂිකයෝ පමණයි. ඒ අය බහුතරයක් මුලින්ම විජේවීර විසින් ඉලක්ක කළ කටවහගෙන කියන දේ කරන පසුගාමී මිනිස්සු මිසක් බුද්ධිමය සංවාදයක් කළ හැකි මිනිස්සු නෙමෙයි. අඩු වශයෙන් හරියකට මාක්ස්වාදයවත් දන්න අය නෙමෙයි. ඒ කොටස පෙසපෙ එක්ක ගැලවිලා ගිහින්. ජවිපෙට යම් පාක්ෂිකයින් පිරිසක් ඉන්නවා. 3% කියන්නෙත් සාපේක්ෂව සැලකිය යුතු පිරිසක්.

      දැන් ජවිපෙට තිබෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ දේශපාලනය තුළ ජවිපෙ විසින් පිරවිය හැකි මතවාදී රික්තකය කුමක්ද කියන එකයි. එජාප හා ශ්‍රීලනිප (හෝ පොහොට්ටුව) ධනවාදී පක්ෂ ලෙස හඳුන්වමින් ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ විසින් දිගටම එම පක්ෂ වලට විරුද්ධ දේශපාලනයක යෙදී සිට ඇති නිසා ජවිපෙට නාමිකව හෝ ධනවාදයට විරුද්ධ වෙන්නම වෙනවා. අවිගත් විප්ලව දේශපාලනය තවදුරටත් ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි. ඒ වගේම ජවිපෙ ඇතුළු ලංකාවේ පැරණි දේශපාලන පක්ෂ වල අර්ථයෙන් සමාජවාදය කියන එකත් අවලංගු වී ඇති මතවාදයක්. ඔය තත්ත්වයන් විසින් ජවිපෙ "හොරු අල්ලන" පක්ෂයක් බවට පත් වී තිබෙනවා.

      සටන් පාඨයක් ලෙස "හොරු ඇල්ලීම" එහෙමත් නැත්නම් නාස්තිය දූෂණය අඩු කිරීම ජනප්‍රියයි. නමුත්, මිනිස්සු නාස්තිය දූෂණය අඩු කිරීම සඳහා පමණක් අළුත් පිරිසක් බලයට පත් කර ගන්න සූදානම් නැහැ. මගේ මේ ලිපියේ කියන දෙය හරියට තේරුම් ගත්තොත් ඒ ඇයි කියන එක තේරෙන්න ඕනෑ. විශාල රාජ්‍ය අංශයක් තිබෙන තුරු හොරුන් පාලකයින් වී සිටීමට සාපේක්ෂව අවංක පිරිසක් පාලකයින් වී සිටීම කාර්යක්ෂමයි. නමුත්, රාජ්‍ය අංශය කුඩා කර පෞද්ගලික අංශයට ඉඩ දීම ඊට වඩා කාර්යක්ෂමයි.

      මගේ කුඹුරේ වැඩ කරන එක ගොවියෙක් වී කිලෝ දාහක අස්වැන්නක් අරගෙන කිසිම වංචාවක් නොකර, කිසිම නාස්තියක්ද නොකර අන්තිම වී ඇටේ දක්වා එකතු කර වී කිලෝ දාහම මට දෙනවා. තවත් ගොවියෙක් වී කිලෝ දෙදාහක අස්වැන්නක් අරගෙන දෙසීයක් නාස්ති කර, තුන් සීයක් හොරකම් කර එක්දාස් පන්සීයක් මට දෙනවා. දැන් ඔබ දෙවැන්නා හොරකම් කරන බව මට පෙන්නා දුන්නාට වැඩක් නැහැ. හොරකම හා නාස්තිය නැත්නම් මට වී කිලෝ දෙදාහක් ලැබෙනවා. ඒ නිසා හොරකමට හා නාස්තියට කවුරු හෝ විරුද්ධ වීම මට ආකර්ශනීයයි. හැබැයි එහෙම කියලා මම දෙවන ගොවියා අයින් කරලා පළමු ගොවියාට කුඹුරු බාර දෙන්නේ නැහැ. වී කිලෝ දාහක් ගන්නවාට වඩා හොරා මට දෙන කිලෝ එක්දාස් පන්සීය ගන්න එක ලාබයි. ජවිපෙ නාස්තිය දූෂණය ගැන කතා කරද්දී සහයට ඩැනීලා කොච්චර හිටියත් මැතිවරණ වලදී ඡන්ද නොලැබෙන්නේ ඒකයි.

      ජවිපෙ දේශපාලන මතවාදයේ මූලික කරුණු වලට එකඟ නොවුනත් ජාතික ජන බලවේගයේ ගොඩක් සාධනීය දේවල් තිබුණා. නමුත්, ජවිපෙ ඉතිහාසයත් එක්ක මේ කියන දේවල් ඇත්තටම කරන බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වීමේ ප්‍රශ්නයක් ජවිපෙට තිබෙනවා. ජවිපෙ කියන්නෙම එළියට එක මූණක් පෙන්වමින් පාක්ෂිකයාට වෙනත් මූණක් පෙන්වපු පක්ෂයක්. මේ වෙද්දී ඇතැම් විට ජවිපෙ උඩ තට්ටුව ඇත්තටම වෙනස් වෙලා ඇති. හැබැයි පාක්ෂිකයානම් හිටපු තැනමයි. එක උදාහරණයක් ගත්තොත්, ජවිපෙ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමලිංගිකයන්ගේ අයිතීන් ගැන කතා කරනවා. ජවිපෙ පහළ තට්ටුව ෆේස්බුක් එකෙයි, අපේ බ්ලොග් කමෙන්ට් වලයි පොන්නයෝ ගැනයි සමනල්ලු ගැනයි අපහාසාත්මකව කතා කරනවා.

      ජවිපෙට පාක්ෂිකයා අතාරින්න බැහැ. එහෙම කළොත් එතැන පක්ෂයක් නැහැ. නමුත්, රටේ මිනිස්සු හා ජවිපෙ පාක්ෂිකයා අතර පරතරය ඉතා විශාලයි. රටේ මිනිස්සු ඉන්නේ ජවිපෙ පාක්ෂිකයාට වඩා ඉදිරියෙන්. ජවිපෙට ඔය ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න අවශ්‍යනම් පළමුවෙන්ම කළ යුත්තේ ජවිපෙ විසින් රටට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හොඳින් අවබෝධ කරගෙන අවංකවම පිළිගන්නා හා ගිරවු මෙන් නැතුව ඒ වෙනුවෙන් අවබෝධයක් ඇතුව කතා කළ හැකි තැනට පළමුව තමන්ගේ පාක්ෂිකයින් වෙනස් කර ගැනීමයි.

      Delete
  8. ඉකොනෝ,තාර්කික ලෙස නිරවුල් කර ගත යුතු බොහෝ කරුණු ඔබගේ මේ ලිපියේ ඇතැයි මට පෙනෙනවා. Comment කොටන්න බොහෝ දෙනෙක් හිටියත් එයට පිලිතුරු දෙන්න ඉන්නේ ඔබ විතරක් නිසා හෙමිහිට යමු, ගමන.

    ඔබ 3 වැනි ඡේදායේ ලියනවා.. //මට පාඩුවක් වෙන්නේ නැත්නම්, මගේ අසල්වැසියා වෙසක් දවසේ හෝ අවුරුද්ද පුරාම ඔහුගේ හෝ ඇයගේ නිවස වටේම විදුලි බුබුළු දැල්වීම නාස්තියක් කියා මට කියන්න බැහැ. එය අසල්වැසියාගේ තේරීමක්// කියලා. දැන් මේකට තව එකතු කරන්න පුලුවන් මෙහෙම දේවල්.
    1.මට පාඩුවක් නැත්නම් මගේ අසල්වැසියාට පුලුවන් මඟුල් ගෙදරක ගිහින් තියෙන කෑම ඔක්කෝම බෙදා ගන්න.
    2. මට පාඩුවක් නැත්නම් මගේ අසල්වවැසියාට පුලවන් මඟුල් ගෙදර තියෙන සියලු මත්පැන් බොන්න.
    3. මට පාඩුවක් නැත්නම් මගේ අසල්වැසියාට පුලුවන් ගඟේ තියෙන ඔක්කෝම වතුර අරගෙන ගොවිතැන් කරන්න..
    මේ විදියට ලැයිස්තුව තාර්කිකව දිගහරින්න පුලුවන් බව ඔබට වැටහෙනවා. මෙහි පොදුුු සාධකය තමයි මට පාඩු වෙන්නේ නැත්නම් කියලා කියන කෑල්ල.


    ඒ වාගේම ඕනේනම් රටකට කියන්න පුලුවන් ' අපට පාඩු වෙන්නේ නැත්නම්..න්‍යාෂ්ඨික පිපිිරවීම් පොලොව යට, මුහුදේ, අහසේ, වුනත් පුපුරවන්න පුලුවන් කියලා. අපට පාඩු වෙන්නේ නැත්නම් අපි යවන රොකට්වල කෑලි නිව්යෝර්ක් නගරයට වුනත් කඩා වැටෙන එක අපට කමක් නැහැ..." කියලා වාගේ දෙයක්. මට හැඟෙන්නේ මේක මහා ආත්මාර්ථකාමී අදහසක් කියලා.

    ***
    විදුලි බලයම උදාහරණයක් ලෙසට ගනිමු. විදුලිබලාගාරවල බල ශක්තිය උත්පාදනය කරන්නේ වියදම වැඩිවන අනුපිලිවෙලට. රටේ මිනිස්සු ටික නත්තලටයි, වෙසක්කෙකටයි පැය 24 ම විදුලිබලය පාවිච්චි කලොත් ඉහත තර්කයට අනුව ( මම බිල ගෙවනවා නම්, මම වයර් ඇදලා තියෙන්නේ මගේ CEB මීටරය හරහා නම් උඹට ඇති අමාරුව මොකක්ද? ) මොකද වෙන්නේ?

    රටේ විදුලිය ජනනය වෙන්නේ එක COMMUNITY එකකට විතරක් නොවෙයි; මුුුලු රටටමයි. විදුලිය සීමිත සම්පතක් විතරක් නොවෙයි ඉල්ලුමට වඩා දෙන්නත් බැහැ ඉල්ලුමට වඩා අඩුවෙන් දෙන්නත් බැහැ frequency factor එක නිසා. විදුලිය පාරිභෝජනය වැඩිවෙනකොට අඩු පිරිවැයේ විදුලිය සිට වැඩි පිරිවැයේ විදුලියට ගිහින් පසුව hydro power station වල වතුරවලින් පවා විදුලිය හදන්න වෙනවා. අසල්වැයිසා බිල ගෙවන නිසා, අපට පාඩු නොවෙනත් නිසා නොකඩවා විදුලිය දිය යුතුමයි කියන ලිබරල් තර්කයේම සමාජය හිටියොත් මොකද වෙන්නේ? ගොවිතැනට, පානීය ජල අවශ්‍යතාවයට සහ ජෛව ගෝලයේ සමතුලිතතාවය සඳහා තියෙන ජලයත් අරගෙන විදුලිය දෙන්නයි සිද්ධ වෙන්නේ. මෙතැනට externalities අදාල වෙන්න පුලුවන්.නමුත් ඒකෙන් මේ සදාචාරාත්මක ගැටලුව විසඳෙයි ද? නිදසුනක් ලෙසට තාප බලාගාරවලට ඉන්ධන ආනයනය කරන්න සියලු දෙනාගෙන්ම බදු මුදල් එකතු කලාට අන්තිමට බැලුවාම වැඩිපුර විදුලිය පාවිච්චි කරලාා තියෙන්නේ මට වඩා මගේ නත්තල්- වෙසක් අසල්වැසියෝ. ඒ වාගේම මට වෙන හානිය බදුවලින් අඩු කලත් පරිසරයට සිදුවන හානිය අඩු කරන්නේ කොහොමද?

    ආහාර නාස්තිය සම්බන්ධව ඔබ ඉදාිරිපත් කල තර්කයටත් මෙය අදාල කර ගන්න පුලුවන්. ඇමරිකාවේ /කැනඩාවේ restaurant එකක පිටිපස්සේ ඇති වීසි කරන කෑම bin එකක බර බලන්න. අපිට මේවාට සල්ලි ගෙවලා තියෙන නිසා compost හදන්න යවන එකේ උඹට ඇති ප්‍රශ්නය මොකක්ද කියලා resturant manager ඇහුවාට ඒ ප්‍රශ්නය සදාචාරාත්මක නැහැ නේද කියලා පොරටම තේරෙන්නේ නැහැ නේද?

    ඛණිජ තෙල් සම්පත ගොඩට ගෙනෙන horizontal drilling/ fracing ගැන කතා කලොත් මට පාඩු නොවනවා නම්...කියන තර්කය අන්තත සදාචාර විරෝධී දෙයක් වන බවයි මට පෙන්නේ.

    මම කාරෙකක් සල්ලි දීලා ගත්තාට, රක්ෂණය කරන්නේ මගේ සල්ලිවලින් වුනාට, මම ⁣gas fill කරන්නේ මගේ සල්ලිවලින් වුුුුනත් මට පදවාගෙන යන්න වෙන්නේ පොදු පාරක. Accident එකක් වුනොත් this is my car, my gas..and this is my accident කියලා පොලිස් කාරයාට කිව හැකිද?

    නමුත් අවම සම්පත් මඟින් මහා විශාල needs රාශියක් fulfil කරගන්න ගිහින් ඇනගෙන ඉන්නකොටත් අපි කියන්න හදන්නේ අර ඉහත උත්තරය නේද කියලා මට හිතෙනවා.

    CP-C

    ReplyDelete
    Replies
    1. මගුල් ගෙදර උදාහරණය ගත්තොත්, මෙතැන ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක ඔබ කියන මගුල් ගෙදර කෑම, මත්පැන් වල පිරිවැය දරන පුද්ගලයා සහ කෑම, මත්පැන් සියල්ල බෙදා ගන්නා පුද්ගලයා. මම පැත්තක ඉන්න මගුල් ගෙදරට ආරාධනාවක් නොලැබූ කෙනෙක්නම් මෙය (බොහෝ විට) මට අදාළ කරුණක් නෙමෙයි. ඔය වගේ ඇණයක් වෙන කෙනෙක් ඉන්නවානම් ඒ පුද්ගලයාව ඉවත් කිරීමේ හෝ පාලනය කිරීමේ අයිතිය තියෙන්නේ තනිකරම පිරිවැය දරන පුද්ගලයාටයි. ඔහු හෝ ඇය වෙනුවෙන් ඒ වැඩේ නියෝජිතයෙක් විසින් කළත් ප්‍රශ්නයක් නැහැ. නමුත්, පිරිවැය දරන කෙනා එය ප්‍රශ්නයක් නෙමෙයි කියා හිතනවානම් මට මැදිහත් වෙන්න අයිතියක් නැහැ.

      කවුරු හෝ කෙනෙක් වරක් ඔය වගේ ඇණයක් වුනහම ඒ පුද්ගලයාට නැවත ආරාධනා ලැබෙන්නේ නැහැ. වෙළඳපොළ විසින් ඒ පුද්ගලයාව ඉවත් කරනවා.

      මගුල් ගෙදර ගිය අනෙක් අයටත් මේ පුද්ගලයා ඇණයක් වුනත් මගුල් ගෙදර තමන්ගේ නොවන නිසා කරන්න දෙයක් නැහැ. ගෙදර අයිතිකාරයා කිසිවක් කරන්නේ නැත්නම් ඉන් පසුව ඒ පුද්ගලයාගේ මගුල් ආරාධනා පිළි නොගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. එහිදී වෙළඳපොල විසින් මගුල් ගෙදර අයිතිකරයාව ප්‍රතික්ෂේප වෙනවා.

      ඕකේම තරමක් වෙනත් වර්ෂන් එකක් විධිහට මිතුරන් පිරිසක් සෙට් වෙන එක ගැන කතා කරන්න පුළුවන්. මේක මගුල් ගෙදරින් වෙනස් වෙන්නේ පිරිවැය හවුලේ බෙදා ගන්න නිසා. එක්කෙනෙක් පිස්සුවෙන් වගේ බයිට් ටික කනවා. නැත්නම් ඇසිපිය හෙළද්දී බෝතලේ නමනවා. මේ චර්යාව අනෙක් අයට ඇණයක්නම් දිගුකාලීනව ඔය පුද්ගලයා හෙමිහිට කණ්ඩායමෙන් හැලෙන එක වලක්වන්න බැහැ. නමුත්, අනෙක් අයට මිත්‍රත්වය හෝ වෙනත් හේතුවක් නිසා මේ චර්යාව දිගින් දිගටම ඉවසන්න පුළුවන්නම් පැත්තක ඉන්න මට ඕකට මැදිහත් වෙන්න බැහැ. ඒක ඒ අයගේ කණ්ඩායම ඇතුළේ ප්‍රශ්නයක්.

      ගඟේ උදාහරණයේදී ප්‍රශ්නයට හේතුව වතුර නොමිලේ ගන්න පුළුවන්කම තිබීමයි. වතුර වලට මිලක් අය කරනවානම් ඔය පුද්ගලයා ගන්නේ තමන්ට අවශ්‍ය වතුර ප්‍රමාණය පමණයි. අවශ්‍ය මට්ටමට මිල වැඩි කළ විට ඒ මිල ගෙවන්න සූදානම් සියල්ලන්ටම අවශ්‍ය ප්‍රමාණයට වතුර ලැබෙනවා. ඒ නිසා මෙය වෙළඳපොළක් නැති වීම නිසා ඇතිවන ප්‍රශ්නයක්.

      //ඒ වාගේම ඕනේනම් රටකට කියන්න පුලුවන් ' අපට පාඩු වෙන්නේ නැත්නම්..න්‍යාෂ්ඨික පිපිිරවීම් පොලොව යට, මුහුදේ, අහසේ, වුනත් පුපුරවන්න පුලුවන් කියලා.//
      මේ හැම අවස්ථාවකම පැත්තක ඉන්න මටත් හානියක් වෙනවා. එසේ නැත්නම් හානියක් වීමේ අවදානම ඉහළ යනවා. ඒ නිසා අපට පාඩු වෙන්නේ නැත්නම් කියන කතාව අදාළ නැහැ.

      //අපට පාඩු වෙන්නේ නැත්නම් අපි යවන රොකට්වල කෑලි නිව්යෝර්ක් නගරයට වුනත් කඩා වැටෙන එක අපට කමක් නැහැ..."//
      රොකට් එකක කෑල්ලක් හරියටම නිව්යෝර්ක් නගරයටම වැටෙන බව ස්ථිරනම් එය ඒ නගරයේ අයගේ ප්‍රශ්නයක්. එය ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. නමුත්, ඇත්තටම ප්‍රශ්නය එහෙම හරියටම කියන්න බැරි වීමයි. රොකට් කෑලි ඕනෑම තැනකට වැටෙන්න පුළුවන් නිසා එය මගේ ප්‍රශ්නයක්ද වෙනවා.

      අපි මීට වඩා අපට සමීප මීතොටමුල්ල කුණු කන්ද වගේ එකක් ගනිමුකෝ. දැන් මෙය කිරිබත්ගොඩ ඉන්න මගේ ප්‍රශ්නයක් නෙමෙයි. කුණු කන්ද අසල ඉන්න අයට එය ප්‍රශ්නයක් නෙමෙයිනම් මට මෙයට මැදිහත් වෙන්න බැහැ. ඔවුන් එහි අනතුර ගැන නොදැනුවත්නම් මට ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන්. එයින් පසුවත් ඔවුන් එය ප්‍රශ්නයක් කියා නොහිතනවානම් මට කරන්න දෙයක් නැහැ. මොකද මීතොටමුල්ලේ ඉන්නෙත් දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෝ මිසක් පොඩි ළමයි නෙමෙයි. නමුත්, ඔවුන්ට එය ප්‍රශ්නයක්නම් ඔවුන් අසරණනම් සහකම්පනය මත ඔවුන්ට කළ හැකි උදවුවක් කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් යටතේ තමන්ගේ ප්‍රශ්නයක් නොවුනත්, තමන් කැමතිනම් නිව්යෝර්ක් නගරයට රොකට් කෑලි වැටෙන එක ගැන මැදිහත්වීමේ වැරැද්දක් නැහැ. මීතොටමුල්ලේ මිනිස්සු කුණු කන්දේ අවදානම ගැන හොඳින් දැනුවත්නම්, ඒ අවදානමට සරිලන මුදලක් ලබාගෙන අවදානම දරන්න ඔවුන් කැමැත්තෙන් ඉන්නවානම් එතැනින් එහාට මම එයට ඇඟිලි ගහන්න යන එක නිවැරදි නැහැ.

      දෙවන කොටස ගැන පසුව පිළිතුරු ලියන්නම්.

      Delete
    2. විදුලිය හා අදාළව ඔබ පෙන්වා දෙන තත්ත්වය තනිකරම ලංකාවේ සමාජවාදයේ ප්‍රශ්නයක්.

      1. විදුලිබල ක්ෂේත්‍රය තනිකරම රාජ්‍ය ඒකාධිකාරයක්. තරඟයක් නැති නිසා අකාර්යක්ෂමතාවය නැති කරන යාන්ත්‍රණයක් නැහැ. අසූ ගණන් වල මුලදී විදුලි සංදේශ ක්ෂේත්‍රයත් ඔය වගේ. ඒ දවස් වල දුරකථනයක් ඉතාම සීමිත සම්පතක්. අකාර්යක්ෂමතාවය නිසා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබනවා. පාඩු ලබන නිසා අළුත් ආයෝජන වලට යන්න බැහැ. අළුත් ආයෝජන වලට යන්න බැරි නිසා සැපයුම ඉහළ යන්නේ නැහැ. ඒ නිසා හැමදාම විදුලිය අරපිරිමැස්මෙන් පාව්චිචි කරන්න වෙලා තියෙනවා. ඔය ඒකාධිකාරය නැති වුන දවසක ඉල්ලුමට සරිලන සැපයුමක් ජනනය වෙයි. ඒකකයක මිලත් අඩු වෙයි. ඔය ප්‍රශ්නය නැති වෙයි.

      2. මේ ඒකාධිකාරය යටතේ වුවත් ලංකාවේ විදුලි බිල් අය කරන ක්‍රමය විශාල වෙළඳපොළ විකෘතියක්. මේ ක්‍රමය දාස් කැපිටාල් ක්‍රමය. නිදහස් වෙළදපොළ මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල මිසක් නිෂ්පාදන පිරිවැය මත පදනම් වන මිලක් නෙමෙයි. බොහෝ භාණ්ඩ හා සේවා වල සැපයුම ඉහළ යන විට ඒකක පිරිවැය ඉහළ යනවා. එය විදුලිබල නිෂ්පාදනයට අනන්‍ය දෙයක් නෙමෙයි. නිදහස් වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන ආන්තික මිල. අපි කියමු ඉල්ලුම ඒකක 100යි කියලා. පළමු ඒකක 10 හදන්න ඒකකයකට රුපියල් 2 බැගිනුත්, ඊළඟ ඒකක 50ට රුපියල් 5 බැගිනුත්, එතැනින් එහාට ඒකකයකට රුපියල් 10 බැගිනුත් වියදම් වෙනවා කියලා. දැන් සමතුලිත මිල වෙන්නේ රුපියල් 10. දැනට පිරිවැය අනුව ඒකක මිල ඉහළ යන ක්‍රමය විශාල විකෘතියක්. ඕනෑම ව්‍යවසායක් උත්සාහ කරන්නේ වැඩියෙන් විකුණන්න. ඒ නිසා වැඩියෙන් ගන්න කෙනාට අඩු මිලක් ලබා දෙන එකයි සාමාන්‍ය තත්ත්වය. විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ට කියන්නේ අනේ අපෙන් බඩු ගන්න එපා කියලයි. හරිනම් කරන්න ඕනෑ වැඩියෙන් පරිභෝජනය කරන කාර්මික පාරිභෝගිකයින්ට අඩු මිලක් දෙන එකයි.

      Delete
    3. සදාචාරය ගැන මම ඔබ සමඟ තර්ක කරන්න යන්නේ නැහැ. සදාචාරය කියන එක පුද්ගලයෙකුට සාපේක්ෂ දෙයක්. මත්පැන් පානය කෙනකුට සදාචාර විරෝධී දෙයක්. තව කෙනකුට සාමාන්‍ය දෙයක්. ආහාර නාස්තිය ගැන හා ඛනිජතෙල් සම්බන්ධ ඔබ දකින ආකාරයේ සදාචාර ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ.

      //මම කාරෙකක් සල්ලි දීලා ගත්තාට, රක්ෂණය කරන්නේ මගේ සල්ලිවලින් වුනාට, මම ⁣gas fill කරන්නේ මගේ සල්ලිවලින් වුුුුනත් මට පදවාගෙන යන්න වෙන්නේ පොදු පාරක.//

      පාරේ උදාහරණය ගැන කතා කරන්නම්. පොදු පාරක් කියන එකෙන් අදහස් වෙන්නේ පාර හදන එකේ වියදම දරන්නේ කාර් එකේ යන කෙනා නොවන බවනේ. ඉතිං ඒක තමයි වැරැද්ද. පාර හදන්න ගිය වියදම පාර ප්‍රයෝජනයට ගන්න අයගෙන් අය කර නොගෙන පැත්තක ඉන්න කෙනෙක්ගෙන් අය කර ගන්න එකයි මට අනුව සදාචාර විරෝධී. මෙයට එක විසඳුමක් ටොල් ක්‍රමය. අනෙක් ක්‍රමය ඇමරිකාවේ ඉන්ධන බද්ද. ඇමරිකාවේ තෙල් විකුණන කොට අය කරන බද්ද කෙළින්ම යන්නේ මාර්ග සංවර්ධන අරමුදලට. පාරවල් හදන්නේ ඒ සල්ලි වලින්. ඒ නිසා my car, my gas වගේම my road කියලත් කියන්න පුළුවන්. මේ කියන්නේ මම කැමති විදිහට පාරේ වාහන එළවන්න පුළුවන් කියන එක නෙමෙයි. මොකද මට තෙවන පාර්ශ්වයකට හානි සිදුවන පරිදි කටයුතු කරන්න බැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: