වෙබ් ලිපිනය:

Thursday, May 28, 2020

සංඛ්‍යා තුළ සැඟවෙන ජීවිත හා කොරෝනා දේශපාලනය


ඊයේ ඇමරිකාවේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවූවා. ලෝකයේම මරණ ගණන මේ වෙද්දී 357,000 දක්වා ඉහළ ගිහින්. අපි කැමති වුනත් නැතත් මේ මරණ ගණන තව ගොඩක් ඉහළ යයි. මා සති ගණනාවකට පෙර කියූ පරිදිම බ්‍රසීලය හා රුසියාව ලැයිස්තුවේ උඩට ඇවිත් තිබෙනවා. ඉදිරි මාසය තුළ ඉන්දියාවත් ක්‍රමයෙන් ලැයිස්තුවේ ඉහළට එයි. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ලංකාවටත් අමාරු දවස් පැමිණෙනු ඇත්තේ තව පහු වෙලා.

කොරෝනා පැතිරුණු මුල් කාලයේ මිය ගියේ මිනිස්සු. තනි මරණයක් ගැන පවා විශාල අවධානයක් යොමු වුනා. එහෙත් මේ වෙද්දී මිනිස්සු සංඛ්‍යාලේඛණ බවට පත් වෙලා. ඉලක්කම් වලට ඒ ඉලක්කම් ඇතුළේ තිබෙන ජීවිත වැහිලා ගිහින්. මේ බව මතක් කිරීම සඳහා පසුගිය ඉරිදා නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පත තරමක් අමුතු මුල් පිටුවක් මුද්‍රණය කළා. පිටුව පිරෙන්නම තිබුනේ කොරෝනා නිසා මිය ඇමරිකානුවන්ගේ නම්, වයස්, ගම් පෙදෙස්, රැකියා ආදිය ඇතුළත් කෙටි විස්තරයක්.


කොරෝනා වැඩිපුරම පැතිරෙන්නේ නගර ආශ්‍රිතවයි. ගම්බද ප්‍රදේශ වලට වසංගතයේ බලපෑම අඩුයි. අනෙක් අතට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වැඩිපුර සිටින්නේත් නාගරික ප්‍රදේශ වල. ගම්බද පැති වල වැඩි සහයෝගය රිපබ්ලිකන් පක්ෂයටයි. ඒ නිසා, වෛරසය මිනිසුන් අතර භේද සලකන්නේ නැහැ වගේ කතා කිවුවත් ඇමරිකාවේදී වැඩිපුර හානියක් කරලා තියෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ටයි.

දැනට වෛරසය ආසාදනය වූ අයගෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ජයග්‍රහණය කළ ප්‍රදේශ (කවුන්ටි) වල ජීවත් වන පිරිස 27%ක් පමණයි. ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයින් රට වසා තබා ගැනීම වෙනුවෙනුත්, රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් රට විවෘත කර ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙනුත් වැඩි බර තබන්න මේ බෙදීමද හේතුවක්.

කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡාවට ඉඩ ලැබුණු වහාම නැවත එන්නම්!

6 comments:

  1. ඔබතුමා රිපබ්ලිකන් පක්ෂයටද සහය දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මගේ එවැනි බැඳීම් කිසිවක් නැහැ, ඇනෝ. කවුරු කළත් මා නිවැරදියි කියා හිතන දෙයකට සහයෝගය දෙනවා.

      Delete
  2. ' ලංකාවටත් අමාරු දවස් පැමිණෙනු ඇත්තේ තව පහු වෙලා.'

    මේ කාරණය පැහැදිලි කරන්න පුලුවන්ද ඉකොනෝ. මාස දෙකක් ඇඳිරි නිතිය දමා කොරෝනාව මර්ධනය කෙරු ලංකා රජය දැන් ක්‍රමයෙන් රට විවෘත කරමින් පවතින්නේ ඉදිරියට හානිය අවම නිසානි. එසේ නැතිව අමාරු දවස් ඉදිරියට එනවා නං රට විවෘත කරන්නේ නැහැනි. අප නම් සුදානම්ව සිටින්නේ ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණ ජන්දය කෙරෙහියි. සෞඛ්‍ය බලධාරීන් පවා කියනවනි ජන්දයක් පැවැත්වීමට පවා රට සුරක්ෂිතයි කියා. රටේ ජනමාධ්‍ය පවා වැඩිපුර කතා කරන්නේ ජන්දය ගැන මිසක් කොවිඩ් ගැන නෙමෙයි. එම නිසා ඔබ කියන දේ පැහැදිලි නැහැ අපට.

    -ලාංකිකයෙක්.

    ReplyDelete
    Replies
    1. එන්නතක් හොයා ගන්නා තුරු ලෝකයේ කිසිම රටක් සුරක්ෂිත නැහැ. ලංකාව කියලා වෙනසක් නැහැ. ලංකාව කොරෝනා පාලනය කිරීමේදී යම් සාර්ථකත්වයක් පෙන්වා තිබුණත් ඒ වෙනුවෙන් විශාල මිලක් ගෙවා තිබෙනවා. ඔය වගේ මිලක් ගෙවමින් පවා කොරෝනා සීමා කළ හැකි උපරිම සීමාව තමයි ඔය. ඒ හේතුව නිසාම කොරෝනා අවසන් වන තුරු රටේ අනෙක් හැම කටයුත්තක්ම නවත්වාගෙන සිටීම යෝග්‍ය දෙයක් කියා මම හිතන්නේ නැහැ. මගේ පෞද්ගලික අදහසනම් දැනට පවතින තත්ත්වයන් යටතේ වුවත් මැතිවරණය නොපැවැත්වීමේ හානිය වඩා විශාල බවයි.

      Delete
  3. කඹුරලා කඹුරලා
    හරි හම්බ කරලා
    සැවොම එකමුතුවෙලා
    රට සල්ලි එවලා
    අන්තිමට ලෙඩවෙලා
    "රට විරුවො" පිටරටින්
    සිය රටට පැමිණිලා

    අපිම දුන් ගරු නම්බු
    අපට අමතකවෙලා
    රට විරුවො නොවේ දැන්
    "කොරෝනා කාරයෝ"
    කුවෙට්වල සිට පැමිනි
    කොරෝනා කාරයෝ

    ReplyDelete
  4. මම හිතන්නේ කොරෝනා නිසා ලාංකිකයන් ගේ නිදන්ගත දේශපාලන පිලිකාව හොඳ වෙයි කියල.වෙදකම ලෙඩේට වඩා භයානකයි කියලත් පිලිගන්නවා. ඔබට මේ ගැන අදහසක් දෙන්න පුලුවන්ද? හැබැයි ඉතිං ව්‍යවස්ථා කුමන්ත්‍රණය දීත් මම එහෙම බලාගෙන හිටියා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: