අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ "අනුර කුමාර දිසානායකගේ නව ලිබරල් අයවැය (AKD’s neo-liberal Budget)" විදිහටයි. ඔහු මේ නාමකරණය කරන්නේ ප්‍රශංසාත්මක අර්ථයකින්.
ඉකොනොමැට්ටා විසින් කවදාවත් තමන්ව නව ලිබරල්වාදියෙක් ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දෙවන පෙළ නායකයෙක් විසින් මැතිවරණ වලට පෙර ඉකොනොමැට්ටාව ඒ විදිහට හඳුන්වලා තිබෙනවා. ඔහු එසේ හැඳින්වූවේ නිශේධනීය අර්ථයකින්. ඔහු ඇතුළු මේ ආණ්ඩුවේ තවත් අය මැතිවරණ වලට පෙර පෙනී සිටියේ නව ලිබරල්වාදයට එරෙහිව පෙනී සිටින අභීත සෙන්පතියන් පිරිසක් විදිහටයි. එවැනි අය අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථදැක්වීමට එතරම් කැමති වෙන එකක් නැහැ.
නව ලිබරල්වාදය කියන වචනය ලංකාව ඇතුළේ දිගින් දිගටම භාවිතා කළේ නව ලිබරල්වාදයට එරෙහිව සටන් කරන්නන් සේ පෙනී සිටි වාමාංශිකයින් විසින්. ඒ හැර කවුරුවත් තමන්ව නව ලිබරල්වාදියෙකු ලෙස හඳුන්වා ගත්තේ නැහැ. නමුත් මේ වෙද්දී නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින යම් පිරිසක් ලංකාව ඇතුළේ ඉන්නවා. හේතුව තනිකරම ප්‍රතිවිරුද්ධ එකක් වුනත්, අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථ දැක්වීමට ඔවුන්ද එතරම් කැමති වෙන එකක් නැහැ.
අයවැය පිළිබඳ මේ නාමකරණය මම කරපු එකක් නෙමෙයි. මට අවධාරණය කරන්න අවශ්‍ය කරුණ වන්නේ අදාළ ලියුම්කරු විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් ලෙස හඳුන්වා දී තිබෙන්නේ ඇයි කියන කරුණයි. ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් සේ නාමකරණය කර තිබෙන්නේ අයවැය මගින් රජයේ වියදම් සීමා කර අයවැය තුලනය කර ගැනීමේ දිශාවට ගමන් කර තිබීම යන කරුණ මත පදනම්වයි.
මෙම අයවැය මගින් ඉදිරි වසරේ රජයේ පොලී නොවන වර්තන වියදම් දදේනියෙන් 8.9%කට සීමා කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම්ද ඇතුළුව පොලී ගෙවීම් හැර රජයේ මුළු වියදම දදේනියෙන් 12.9%කට සීමා කර තිබෙනවා. කෙසේ වුවත්, පොලී වියදම දදේනියෙන් 7.6%ක් තරම් ඉහළ බැවින් අවසාන වශයෙන් දදේනියෙන් 5.1%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවා.
විජේවර්ධන ලිපිය තුළද අවධානය යොමු කර ඇති කරුණක් වන්නේ, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාම ඉතා යහපත් ප්‍රවණතාවයක් වුවද, හිඟ අයවැයක් යනු තුලිත අයවැයක් නොවන බවයි. ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය මේ වන විට අවශ්‍ය නිවැරදි දිශාවට ගමන් කරමින් ඇතත්, අයවැය තුලනය කර ගැනීම තවමත් දුරස්ථ ඉලක්කයක්. එමෙන්ම, විජේවර්ධන ලිපියෙහිද පෙන්වා දී ඇති පරිදි, මේ අයවැයෙහි ආර්ථික අර්බුදයෙන් පසුව ක්‍රියාත්මක වූ මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ මිස අමුතු, අලුත් දෙයක් නැහැ. පොඩි පොඩි දේවල් වල වෙනස්කම් නැතුවා නෙමෙයි. නමුත් මූලික ආකෘතිය මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළම තමයි.
මේ වැඩපිළිවෙළ තුළ ඉදිරියට ගියහොත්, නැවත තෙල් පෝලිම් ඇති වෙන එකක් නැහැ. ඇතැම් අය හිතාගෙන ඉන්න විදිහට 2028දී ණය ගෙවා ගන්න බැරි වීමේ ප්‍රශ්නයක් ඇති වෙන එකකුත් නැහැ. නමුත් ජනාධිපති දිසානායකගේ කතාවෙහි කියැවුණු 7% ආර්ථික වර්ධන ඉලක්කයනම් මැතිවරණ වලට පෙර කියපු ඔය විදිහේ වෙනත් කතා වලම දිගුවක් පමණයි.
මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ දිගුකාලීනව 3.1%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කරමිනුයි. අරමුදල විසින් තවමත් ඒ ඉලක්කය හෝ ඔවුන්ගේ ඇස්තමේන්තු වෙනස් කර නැහැ. පෙර වසරේ සහ මේ වසරේ වාර්තා වූ ඊට වඩා ඉහළ වර්ධන වේගය ස්ථායීකරණ වැඩපිළිවෙළ අපේක්ෂා කළාට වඩා වේගයෙන් එහි ඉලක්ක කරා යාම නිසා ඇති වූ තාවකාලික තත්ත්වයක් පමණයි. එම වැඩ පිළිවෙළෙහි උදවුවෙන් දිගුකාලීනව ලඟා කර ගත හැක්කේ 3.1%ක ආර්ථික වර්ධනයක් බව සති කිහිපයකට පෙරද මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර තිබුණා.
මේ ස්ථායීකරණ වැඩපිළිවෙළ ආරම්භ වුනේ අලුත් ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව නෙමෙයි. ආණ්ඩුව බලය ගන්නා අවස්ථාව වන විට වැඩ පිළිවෙල වසර දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කර අවසන්ව තිබුණා වගේම අමාරු මූලික වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා තිබුණා. නමුත් ඒ සියල්ල සිදු වුනේ හරියකට ජනමතයක් නැතිවයි. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජනමතය සකස් කර දීමයි.
ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව ආදායම් වැඩි කර ගැනීම සඳහා අමාරු තීරණ ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී ආදායම් වැඩි වී සහ වැඩි වෙමින් තිබුණා. අනෙක් පැත්තෙන් පුළුවන් තරමින් වියදම්ද සීමා කරලයි තිබුණේ. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දෙය කලින් ක්‍රියාත්මකව පැවති වැඩ පිළිවෙළ ඒ මාර්ගයේම තවත් ඉදිරියට ගෙන යාමයි. මේ වෙද්දී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් සංචිතයක් රජය විසින් හදාගෙන තියෙන්නෙත් ඔය ක්‍රමයටයි.
මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය වියදම් සීමා කිරීමක් සිදු වී නොමැති බව පහත ඉදිරිපත් කර තිබෙන පොලී නොවන වර්තන වියදම් ප්‍රතිශත (දදේනි අනුපාත ලෙස) දෙස බැලූ විට පැහැදිලිව පේනවා.
2020 - 10.0%
2021 - 9.6%
2022 - 8.1%
2023 - 8.2%
2024 - 8.9%
2025 - 9.0%
2026 - 8.9%
දැඩි ලෙස වියදම් සීමා කිරීමක් ඇත්තටම සිදු වුනේ 2022 හා 2023 වසර වලදීයි. එම වසර වලදී අයවැය තුලනය කළේ, සමහර අය කියන විදිහට, වියදම් අඩු නොකර බදු වැඩි කිරීම මගින් පමණක් නෙමෙයි. බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ වියදම් ප්‍රායෝගිකව සීමා කළ හැකි උපරිම සීමාව දක්වාම සීමා කිරීමෙන් පසුවත් බදු වැඩි නොකර අයවැය තුලනය ස්ථායී කර ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා. මේ සංඛ්‍යාලේඛණත් එක්ක 2026 අයවැය පිළිබඳ නව ලිබරල් අර්ථකතනය ගැන නැවත සිතිය යුතුයි.
මේ වසරේ රාජ්‍යමූල්‍ය තුලනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඊට හේතුව කලකට පසු වාහන ආනයන සඳහා ඉඩ ලැබීම හේතුවෙන් රජයේ බදු ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ යාමයි. එය තාවකාලික පාරිතෝෂිකයක් පමණයි. කෙසේ වුවත්, එම පාරිතෝෂිකය අහිමි වීමෙන් පසුවත්, ඉදිරි වසර තුළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ අවම ඉලක්ක වලට යාන්තමින් හෝ යන්න පුළුවන්. ඒ, අවශ්‍ය බදු වැඩි කිරීම් කලින්ම කර ඇති නිසා.
මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය ගැන කියන්න තියෙන කතාවත් මීට කිට්ටු කතාවක්. මේ වෙද්දී (2025 ජූනි) මේ රුපියල් සංචිතය බිලියන 1,079.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා හොඳ තත්ත්වයක් නමුත් මෙය තනිකරම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව එකතු කරගත් සංචිතයක් නෙමෙයි. 2024 ජූනි වන විටත්, රුපියල් බිලියන 646.7ක සංචිතයක් එකතු කර ගෙන තිබුණා. වසරකට පසුව එම සංචිතයට තවත් රුපියල් බිලියන 433.0ක් එකතු වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය ගන්න කොට (2022 ජූනි) මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 230.3ක හිඟයක් තිබුණා. දෙවසරකට පසුව එය රුපියල් බිලියන 646.7ක අතිරික්තයක් වුනා කියා කියන්නේ රුපියල් බිලියන 877.0ක වැඩි වීමක්.
ඒ එක්කම තව දුරටත් මතක් කළ යුත්තේ මේ වැඩේ රනිල් බලය ගැනීමෙන් පසුව අලුතෙන් පටන් ගත් වැඩක් නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා වෙන්න කලින්ම, මහින්ද සිරිවර්ධනව භාණ්ඩාගාර ලේකම් ලෙස පත් කළ මොහොතේ පටන්ම, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හොඳ පැත්තට හැරුණා. 2022 වසර ආරම්භයේදී මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 831.6ක හිඟයක් තිබුණා. මාස හයකට පසුව රනිල් බලය ගන්නා විටත් එම හිඟය රුපියල් බිලියන 230.3 දක්වා අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 601.3ක එකතුවක්.
අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ පුද්ගල කාර්ය සාධනය නොව වැඩ පිළිවෙළ බවයි. වැඩ පිළිවෙළ නිවැරදි එකක්නම් එය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ප්‍රතිඵල ලැබෙනවා. මෙයින් රාජ්‍ය නායකත්වයේ කාර්ය භාරය අවතක්සේරු කරන්න අදහස් කරන්නේ නැහැ. රනිල් මේ වැඩ පිළිවෙලට නායකත්වය දුන්නා. වැඩ පිළිවෙලක් හරියට ක්‍රියාත්මක වෙන්න දේශපාලන නායකත්වය අවශ්‍යයි. දැන් අනුරත් ඒ අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා. වැඩ පිළිවෙළ, වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අදාළව, ප්‍රතිඵල පෙන්වනවා.
රුපියල් සංචිතය වෙත නැවත පැමිණියහොත්, මේ රුපියල් සංචිතය එකතු වෙන්නේ රජයේ වියදමට වඩා ආදායම් වැඩි නිසා නෙමෙයි. තවමත් විශාල අයවැය හිඟයක් තියෙනවා. රුපියල් සංචිතයේ තියෙන්නෙත් ණයට ගන්න සල්ලි. පසුගිය කාලයේ දිගින් දිගටම මුදල් ගිණුම ශක්තිමත් කර ගත්තේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ලබා ගැනීම මගිනුයි. මෙහි තිබෙන වාසිය වනුයේ අවාසිදායක තත්ත්වයන් යටතේ ණය නොගෙන යම් කාලයක් රජයේ කටයුතු කර ගෙන යා හැකි වීමයි. දැනට එකතු වී තිබෙන මුදලින් අලුතෙන් ණය නොගෙන වුවත් මාස තුනක පමණ කාලයක් ඇදගෙන යන්න පුළුවන්.
කොහොම වුනත්, අර්බුදය කාලයේ කළ යුතුම වැඩක් වූ මේ වැඩේ මේ විදිහටම දිගටම කරගෙන යන එකේ තේරුමක් නැහැ. හදිසියකදී ප්‍රයෝජනයට ගන්න රුපියල් ට්‍රිලියනයක පමණ සංචිතයක් හොඳටම ඇති. දැන් කළ යුත්තේ මෙයින් එහාට පියවරක් තියන එකයි. ඒ පියවර කුමක්ද?
යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් ගැන හිතනවානම් දැන් කළ යුත්තේ විවිධ වියදම් වෙනුවෙන් වෙන වෙනම අරමුදල් හදලා ඒ අරමුදල් වලින් අදාළ වියදම් සිදු කෙරෙන යාන්ත්‍රණයක් හදන එකයි. දැනට එකතු වී තිබෙන සහ තව දුරටත් වර්ධනය කර ගැනීමේ විභවයක් තිබෙන රුපියල් සංචිතයේ උදවුවෙන් ඒ වැඩේ පටන් ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට මේ සංචිතයෙන් යම් රුපියල් ප්‍රමාණයක් දමලා මාර්ග සංවර්ධනය හා නඩත්තුව වෙනුවෙන් වෙනම අරමුදලක් හදන්න පුළුවන්. ඉන් පසුව, කිසියම් නිශ්චිත බදු ආදායමක්, උදාහරණයක් විදිහට, වාහන ආනයනය කිරීමේදී අය කරන බදු වලින් යම් ප්‍රතිශතයක්, කෙළින්ම ඒ අරමුදලට බැර වෙන විදිහට නීතියක් හදන්න පුළුවන්. එවිට එම බදු ආදායමෙන් හා අරමුදල ආයෝජනය කර ලැබෙන ප්‍රතිලාභ වලින් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගෙන යන්න පුළුවන්. වාර්ෂිකව අයවැයෙන් අමුතුවෙන් මුදල් වෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම බදු ආදායම් අඩු වෙන අවුරුද්දකදී වුනත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගන්න බැරි වෙන්නේ නැහැ.
ඔය විදිහට බදු ආදායම් හා වියදම් ගැලපුවාට පස්සේ ආණ්ඩුවට අභිමත විදිහට බදු ආදායම් වැය කිරීමේ හැකියාව සීමා වෙනවා. බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදල් වලට සිදු වෙන දේ පැහැදිලිව පේනවා. හිඟ මුදල් ගිණුමක් තියාගෙන මේ වගේ දෙයක් ගැන හිතන්න බැරි වුනත්, රුපියල් සංචිතයක් ගොඩ නැගී තිබෙන මේ වෙලාවේ මේ සඳහා මුල් පියවර තියන්න පුළුවන්.
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදම් වල සැලකිය යුතු කොටසක්. නමුත් ඇත්තටම විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදමක්ම නෙමෙයි. එයත් එක්තරා ආකාරයක පරන ණය ගෙවීමක්. හරිම ක්‍රමය විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් නොකර වෙනම අරමුදලකින් විශ්‍රාම වැටුප් ගෙවන එකයි. නමුත් ලංකාවේ රජය විසින් එවැනි අරමුදලක් හදලා නැහැ. අරමුදලට සල්ලි දැමිය යුත්තේ රජයේ සේවකයින් සේවය කරන කාලයේදීයි. මේ වගේ දේවල් කොයි වෙලාවක හෝ නිවැරදි විය යුතුයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.