වෙබ් ලිපිනය:

Friday, November 14, 2025

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විටද ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් මිලියන දෙකකට වඩා අඩු ප්‍රමාණයක් (1,972,957ක්). ඉදිරි සතිය තුළ (නොවැම්බර් 17 හෝ ආසන්න දිනක) මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක ඉක්මවා යා හැකියි. එහෙත් ඉන් පසුව වසර අවසන් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සති හයක පමණ කාලයක් පමණක් බැවින් වසර අවසන් වෙද්දී අපේක්ෂා කළ හැක්කේ වැඩිම වුනොත් සංචාරකයින් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් 3,000,000ක් (මිලියන තුනක්) ඉලක්ක කර තිබුණු අතර එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් 2,676,596 දෙනෙකු රටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණා. එමෙන්ම නරකම තත්ත්වයන් යටතේ වුවද සංචාරකයින් 2,415,000 දෙනෙකුගේ පැමිණීම සිදු වනු ඇති බව ඇස්තමේන්තු කර තිබුණා. දැනට පෙනෙන පරිදි ඇත්තම තත්ත්වය වසර මුලදී ඉලක්ක කර තිබෙන නරකම තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සලකා තිබෙන්නේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 3.5%ක් වනු ඇති වුවද, ඉදිරි 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1%ක් දක්වා අඩු වනු ඇති බවයි. රටේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට වඩා වැඩි කර ගැනීමේ උත්සාහය තුළ දැනට වැඩිම බරක් තබා තිබෙන්නේ සංචාරක කර්මාන්තය මත බැවින් සංචාරක පැමිණීම ඉලක්ක මට්ටමට වඩා බොහෝ අඩු වීම අවධානය යොමු විය යුතු කරුණක්.

ඔක්තෝබර් මාසය අවසන් වන විට රටට පැමිණ සිටි සංචාරකයින් ප්‍රමාණය 1,890,687ක් ලෙස වාර්තා වන අතර මෙම ගණන 2018 පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 1,885,045ට වඩා යාන්තමින්  (0.3%කින්) වැඩියි. කෙසේ වුවත්, 2018 පළමු මාස දහයක කාලය තුල සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 3,495.9ක් ලැබී තිබුණද, ඩොලරයක මූර්ත අගය 22.5%කින් අඩු වී ඇති තත්ත්වයක් තුළ පවා, මෙම වසරේ පළමු මාස දහය තුළ උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 2,659.0ක් පමණයි. මෙය, 2018 වසරට සාපේක්ෂව, සංචාරක ඉපැයීම් වල 23.9%ක නාමික අඩු වීමක් වන අතර මූර්ත පදනමින් 41.0%ක අඩු වීමක්. ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ මූර්ත ආදායමයි. 

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නරකම තත්ත්වයක් යටතේ පළමු මාස දහයක කාලය ඇතුළත සංචාරකයින් 1,942,909ක්ද, සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරකයින් 2,137,227ක්ද, හොඳ තත්ත්වයක් තුළ සංචාරකයින් 2,395,462ක්ද පැමිණෙනු ඇති බව ඇස්තමේන්තු කර තිබුනත්, ඇත්තටම පැමිණ ඇති ගණන නරකම තත්ත්වයටත්  වඩා 2.7%කින්ද, සාමාන්‍ය තත්ත්වයට වඩා 11.5%කින්ද, ශුභවාදී තත්ත්වයට වඩා 21.1%කින්ද අඩුයි. පැමිණෙන සංචාරකයින් විසින් වැය කර ඇති සාමාන්‍ය මුදල විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන් මෙහි අවාසිය වඩා විශාල වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාම වෙනම විශේෂ බද්දක් අය කරනවා. එය සංචාරක හෝටල්, සංචාරක නියෝජිත ආයතන, සංචාරක වෙළඳසැල් වැනි ආයතන වල පිරිවැටුමෙන් 1%ක් දක්වා වන බද්දක්. එම බදු මුදල් වලට සාධාරණයක් ඉටු වන්නේ රජය මැදිහත්ව සිදු කරන ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් කර්මාන්තයේ ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වන්නේනම් පමණයි.



No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: