පසුගිය 2026 ජූලි මාසය අවසන් වී තිබෙන්නේද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමිනුයි. එම හිඟය ඩොලර් මිලියන 142.0ක්. එම මාසය එක දිගටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිවුවන මාසයයි. මේ වන විට වසරේ පළමු මාස හතක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, ඩොලර් මිලියන 387.4ක ජංගම ගිණුම් හිඟයක් වාර්තාවී තිබෙනවා.
ජූලි මාසය ඇතුළත භාණ්ඩ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 2,251.0ක් වැය වී ඇති අතර අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 1,233.4ක් පමණයි. ඒ අනුව, එම මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 1,017.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස, වසරේ පළමු මාස හතේම වෙළඳ හිඟය ඩොලර් මිලියන 6,506.7ක්. පසුගිය වසරේ පළමු මාස හතක කාලයේ පැවති වෙළඳ හිඟය ඩොලර් මිලියන 3,850.1ක් පමණයි.
වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ පළමු මාස හතේ ඉන්ධන ආනයන වියදම පෙර වසරේ එම මාස හතට සාපේක්ෂව ඩොලර් මිලියන 1,357කින් පමණ (59.9%කින්) ඉහළ යාමයි. වාහන ආනයන වෙනුවෙන් පෙර වසරේ පළමු මාස හතට සාපේක්ෂව ඩොලර් මිලියන 827ක අමතර මුදලක් වැය වී තිබීම අනෙක් ප්‍රධාන හේතුවයි. කෙසේ වුවද, පළමු මාස හතේ අපනයන ආදායම් වර්ධනය 4.4%කට සීමා වී තිබියදී, ඉන්ධන හා වාහන ආනයන වියදම් හැර අනෙකුත් භාණ්ඩ ආනයන සඳහා වැය කර තිබෙන විදේශ විණිමය ප්‍රමාණයද එමෙන් දෙගුණය ඉක්මවන 9.4%ක වේගයකින් වර්ධනය වී තිබෙනවා.
වෙළඳ ගිණුමේ සමස්ත චිත්‍රය දෙස බලද්දී පෙනී යන්නේ රට තුළ රුපියල් සංසරණය ඉහළ යාමට සාපේක්ෂව ඩොලරයක මිල ඉහළ නොයාම නිසා ආනයන නැවතත් ක්‍රමක්‍රමයෙන් "ලාබ වෙමින්" ඇති ආකාරයයි.
වෙළඳ හිඟය ඉහත අයුරින් ඉහළ යද්දී සංචාරක ආදායම් වල කැපී පෙනෙන අඩුවීමක්ද දැකිය හැකියි. පසුගිය වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම වූ ඩොලර් මිලියන 2,031.1ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,796.7ක් පමණයි.
සමස්තයක් ලෙස, පළමු මාස හතේ සේවා ගිණුමේ අතිරික්තය පෙර වසරේ පැවති ඩොලර් මිලියන 2,375.8 මට්ටමේ සිට ඩොලර් මිලියන 1,842.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අඩු වීමට සංචාරක ආදායම් අඩු වීමටත් වඩා වැඩියෙන් දායක වී තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් විදේශ සංචාර සඳහා වැය කර ඇති මුදල විශාල ලෙස ඉහළ යාමයි. පසුගිය වසරේ ඩොලර් මිලියන 427.1ක් වූ එම මුදල මෙම වසරේ පළමු මාස හතක කාලය තුළ ඩොලර් මිලියන 737.5 දක්වා, 72.7%කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අයුරින් විදේශ සංචාර සඳහා වියදම් විශාල ලෙස ඉහළ යාම මගින් නිරූපණය වන්නේ රටේ මධ්‍යම පාන්තිකයින්ගේ බැහැර කළ හැකි ආදායම (disposable income) කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති ආකාරයයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණීම, අර්බුදයෙන් පසු පැවති තත්ත්වයට සාපේක්ෂව පොලී අනුපාතික අඩු මට්ටමක පැවතීම නිසා පොලී වියදම් සීමා වීම, ආදායම් බදු සීමා ඉහළ දැමීම නිසා සිදු වූ ඉතිරිය හා ඩොලරයක මිල පාලනය වී තිබීම බැහැර කළ හැකි ආදායම ඉහළ යාමට හේතු සේ සැලකිය හැකියි.
වෙළඳ ගිණුමේ සහ සේවා ගිණුමේ දැකිය හැකි ඉහත පෙන්වා දුන් අහිතකර ප්‍රවණතා හමුවේ රටේ විදේශ අංශය මේ මට්ටමෙන් ස්ථාවරව පැවතීමට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති විගමණික ප්‍රේෂණයි. පෙර වසරේ පළමු මාස හතේ රටට ලැබුණු ඩොලර් මිලියන 4,435.2ක මුදලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතක කාලය තුළ ඩොලර් මිලියන 5,382.4ක මුදලක් රටට ලැබී තිබෙනවා. මෙම වසර තුළ ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවන වාර්තාගත විගමණික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබිය හැකියි. එසේ වුවද, රටේ අපනයන නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍යනම් කළ යුත්තේ විගමණික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල සීමා වීමට ඉඩ හැරීම නොව ඩොලරයක මිල අවශ්‍ය පමණ වේගයකින් ඉහළ යාමට ඉඩ සලසමින් විදේශ සංචිත තර කර ගැනීමයි. උද්ධමනය පාලනය කළ යුතු වුවත්, එය කළ යුත්තේ රුපියල් සැපයුම සීමා කිරීම මගින් මිස ඩොලරයක මිල අඩු මට්ටමක තබා ගැනීම මගින් නෙමෙයි.
පසු ගිය ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 142.0ක හිඟයක් තිබියදීම ඩොලර් මිලියන 348.6ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ජංගම ගිණුමේ හිඟයක් පැවතියද ප්‍රාග්ධන ගිණුම හරහා රටට විදේශ විණිමය පැමිණ ඇති ආකාරයයි. ජූලි මාසය තුළ වාර්තාගත ඩොලර් මිලියන 137.5ක විදේශ විණිමය ප්‍රමාණයක් රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ හරහා රටට පැමිණ තිබෙනවා.
රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් මට්ටමක ඇති පසුබිමක කෙටිකාලීන කල් පිරීම් සහිත රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමේ අවදානමක් නොමැති තරම්. එවැනි තත්ත්වයක් තුළ මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ දැමීමක් සිදු කළ විට සුරැකුම්පත් ආයෝජන වල ප්‍රතිලාභද සැලකිය යුතු ලෙස ඉහළ යන නමුත් විදේශිකයින්ට මෙම වාසිය එලෙසම ලැබෙන්නේ විණිමය අනුපාතය ස්ථාවරව පවතින්නේනම් පමණයි. ඒ නිසා මේ ආයෝජන විදේශිකයින් විසින් විණිමය අනුපාතිකය මත ඔට්ටු දැමීමක් ලෙසද සැලකිය හැකියි. එවැනි අරමුදල් ක්ෂණිකව ඉවත් කර ගනු ලැබීමේ අවදානමක්ද තිබෙනවා. එබැවින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ ජංගම ගිණුම හරහා රටට ලබා ගත හැකි මුදල් ප්‍රවාහයි.
පෙබරවාරි මාසය අවසානයේදී මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වූයේ ඉතාම අනපේක්ෂිත ලෙසයි. එය ලොව පුරාම මූල්‍ය වෙළඳපොළ හා ඉන්ධන ඇතුළු අනෙකුත් වෙළඳපොළ තුළ කම්පන තත්ත්වයක් ඇති කළා. මේ වන විට එම කම්පනය වෙළඳපොළ විසින් අවශෝෂණය කරගෙන අවසානයි. ඒ නිසා එම යුද්ධය අවසන් වන දිනය කුමක්ද යන්න තව දුරටත් විශාල වෙළඳපොළ බලපෑමක් සිදු කළ හැකි සාධකයක් නෙමෙයි. යුද්ධය පටන් ගත්තේත්, එහි අවසානය තීරණය කරන්නේත් ඇමරිකාව විසින් නිසා ඇමරිකන් ආර්ථිකයට විශාල බලපෑමක් සිදු විය හැකි මට්ටමකට ලෝක ඉන්ධන මිල තව දුරටත් ඉහළ යාමේ විශාල ඉඩකඩක් නැහැ. එමෙන්ම යුද්ධය අවසන් වුවද ඉන්ධන මිල ක්ෂණිකව පහත වැටෙන්නේද නැහැ.
ඉහත තත්ත්වයන් තුළ ලංකාවේ ඉන්ධන ආනයන පිරිවැය වසරේ ඉතිරි කාලය තුළ විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් නැහැ. ජූලි මාසය තුළදී තරම්ම නැතත්, අගෝස්තු මාසය තුළද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ සැලකිය යුතු මට්ටමක විදේශ ආයෝජන සිදුව තිබෙනවා. නමුත් මේ තත්ත්වය තාවකාලික තත්ත්වයක් පමණක් වනවා මෙන්ම මෙසේ පැමිණෙන අරමුදල් කිසියම් මොහොතකදී විණිමය අනුපාතය මත සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් ආපසු යා හැකියි. එවැනි තත්ත්වයක් යටතේ විණිමය අනුපාතය ආරක්ෂා කර ගැනීම පිණිස මහ බැංකුවට සංචිත වැය කරන්නට සිදු විය හැකියි.
ලංකාවේ ජංගම ගිණුම් ශේෂය 1978 සිට එක දිගටම පැවතුණේ හිඟයක් ලෙසයි. එහෙත් පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, 2023, 2024 සහ 2025 වසර වලදී ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වුනා. දැන් නැවතත්, මෙම වසරේ පළමු මාස හතක කාලය අවසානයේදී හිඟ තත්ත්වයක් දැකිය හැකිව තිබෙනවා. ඉතිරි මාස පහක කාලය තුළ මෙම හිඟය අතිරික්තයක් බවට පත් කර ගැනීම තරමක අභියෝගයක්. වසර අවසන් වන විට රටේ විදේශ සංචිත කොපමණ මට්ටමක පවතීද යන්නද මේ මත තීරණය වෙනවා.
ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන්නේ ශුද්ධ වශයෙන් රටේ විදේශ බැරකම් කීයකින් හෝ අඩු වෙනවා කියන එකයි. ජංගම ගිණුමේ හිඟයක් කියන්නේ රටේ ශුද්ධ විදේශ බැරකම් තවත් ඉහළ යනවා කියන එකයි. රටේ දිගුකාලීන ඉලක්කය විය යුත්තේ හුදෙක් විදේශ සංචිත වැඩි කර ගැනීම නොව ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගැනීමයි. විදේශ සංචිත වැඩි කරගත යුත්තේ එම දිගුකාලීන ඉලක්කය හා අනුරූප වන ආකාරයටයි. අතීතයේ ඇතැම් වකවානු වල මෙන් විදේශ බැරකම් වඩා වැඩියෙන් වැඩි කරගන්නා අතරද විදේශ සංචිත වැඩි කර ගත හැකි වුවත් එය දිගුකාලීනව යහපත් තත්ත්වයක් නෙමෙයි.