Sunday, October 4, 2015

අක්බාර් කෑම වේලට බලපෑ උද්ධමනය සහ හිල්ඩා සල්ලි


පසුගිය ලිපියට කිහිප දෙනෙකු විසින් දක්වා ඇති ප්‍රතිචාර කියවාගෙන යන කෙනෙකුට පේරාදෙණියේ අක්බාර් කැන්ටිම ඇතුළු අනෙකුත් කැන්ටින් වල කෑම වේලක මිලත්, අඩුවක මිලත් දශක දෙකක පමණ කාලයක් තුල සිවු ගුණයකින් වැඩි වී ඇති ආකාරය පෙනී යයි. බොහෝ භාණ්ඩ වල මිල කාලයත් සමඟ මෙසේ වැඩිවන්නේ උද්ධමනය නිසාය.

උද්ධමනය ලෙස හඳුන්වන්නේ රටේ සියළුම භාණ්ඩ හා සේවා වල මිල මට්ටමේ සිදුවන සාමාන්‍ය වැඩිවීමකි. කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩයක මිල වැඩි වීම උද්ධමනය ලෙස සැලකෙන්නේ නැත. කෙසේ වුවද, අක්බාර් කෑම වේලේ හෝ හෝටලයක සාමාන්‍ය කෑම වේලක මිල වැඩි වන්නේ බොහෝ දුරටම උද්ධමනයේ බලපෑම අනුවය.

මෙවැනි පිසූ කෑම වේලක් සැකසීම සඳහා යන පිරිවැයට හාල්, එළවළු, මස්, මාළු, තුනපහ, පොල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල වෙනස්වීම් වලින් බලපෑමක් වේ. එමෙන්ම, විදුලි ගාස්තු, ප්‍රවාහන වියදම් ආදියේ බලපෑමද මෙයට එකතුවේ. ඊට අමතරව සේවක වැටුප් වල සිදුවන වෙනස්කම්ද මේ පිරිවැයට බලපෑමක් කරයි. මේ අනුව, පිසූ කෑම වේලක් යනු හාල් කිලෝවක්, පොල් ගෙඩියක් වැනි එක් භාණ්ඩයක්ම නොවේ. ඒ නිසා, සාමාන්‍ය පවුලක මාසික වියදමෙන් වැඩි ප්‍රමාණයක් ආහාර සහ බිල්පත් ගෙවීම් සඳහා වැය කරන ලංකාව වැනි රටක පිසූ කෑම වේලක මිල යනු සෑහෙන දුරකට උද්ධමනය මැනිය හැකි නිර්ණායකයකි. සරසවි කැන්ටින් වල කෑම වේලක මිල කිසියම් නියාමනයකට ලක් කර තිබුණද, රටේ උද්ධමනයේ බලපෑම නිසා සිදුවන නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් මේ මිල නිදහස් නැති බව පැහැදිලිය.

උද්ධමනය නරක දෙයක් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම නිසාම නොවේ. එහි ඇති වෙනත් වක්‍ර බලපෑම් නිසාය. උද්ධමනයේ හානි බොහෝ ඇතත් සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වන විට වැටුප් වැඩිවී, ආදායමද වැඩි වන නිසා භාණ්ඩ වල මිල වැඩි වීම සෘජු ලෙසම ප්‍රශ්නයක් වන්නේ නැත. භාණ්ඩ වල මිල වැඩිවන විට භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතනයන්හි ආදායම්ද සමානුපාතිකව වැඩි වී වෙළඳපොළ බලවේග අනුව වැටුප්ද වැඩි වේ. කෙසේ වුවද, බොහෝ දෙනෙකු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන වල වැඩ කරන නිසා ලංකාවේදීනම් මේ වැටුප් වැඩිවීමේ ක්‍රියාවලිය ස්වභාවිකවම සිදුවන්නේ නැත.

අධ්‍යාපනය ලබන කාල සීමාව තුලදී, ලංකාවේ සරසවි සිසුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් යැපෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාවෙනි. තවත් සුළු පිරිසකට ශිෂ්‍යාධාර හෝ වෙනත් ශිෂ්‍යත්ව හිමි වේ. මෙවැනි කටයුත්තක් සඳහා ලංකාවේ පවුලක ආදායම මැනීමේ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතා නිසා මවුපිය දෙදෙනාම ගුරු වෘත්තීය වැනි වැටුප් ලබන සාමාන්‍ය රැකියා කරත්නම් සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට බොහෝ විට මේ ශිෂ්‍යත්ව හිමි නොවේ. එහෙත්, මවුපියන් සුළු ව්‍යාපාරිකයින්, ඉඩම්හිමි වැවිලි කරුවන් හෝ වෙනත් වැටුප් නොවන ආදායම් ලබන්නන්නම් ආදායම අඩුවෙන් පෙන්වා ශිෂ්‍යත්වයක් ලබා ගත හැකිය. උසස්පෙළ ලකුණු අනුව ආදායම නොසලකා කුසලතා ශිෂ්‍යත්ව යම් ප්‍රමාණයක් ද ලබා දේ.

මා සරසවියේ සිටි කාලය තුළ අක්බාර් කෑම වේලක මිල මෙන්ම මහපොළ ශිෂ්‍යත්ව වාරිකයද වරින් වර වැඩි වුණේය. මෙය මුලින්ම රුපියල් තුන්සිය පණහක් විය. පසුව, පන්සීය සහ හයසිය පණහ දක්වාත් අවසානයේදී රුපියල් දහස දක්වාත් වැඩිවිය. කුසලතා ශිෂ්‍යත්වයකට සාමාන්‍ය ශිෂ්‍යත්වයකට වඩා රුපියල් පණහක් වැනි මුදලක් වැඩිපුර හිමිවූ අතර ශිෂ්‍යාධාර වාරිකයක් මහපොළ ශිෂ්‍යත්ව වාරිකයකට වඩා තරමක් අඩුය.

මේ අවසාන වැඩිවීම අවස්ථාව අනුව ඉබේටම මෙන් ගැනුණු ක්ෂණික තීරණයකි. මහපොළ ශිෂ්‍යත්වලාභීන්ට පළමු වාරිකය සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ උත්සවාකාරයෙනි. මෙය සිදුවන්නේ මහපොළ සංවත්සර ප්‍රදර්ශනයකට සමගාමීවය. මහපොළ නිර්මාතෘ වූ ලලිත් ඇතුලත්මුදලි ඇතුළු කණ්ඩායමක් ප්‍රේමදාස රජයට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාව දක්වා මේ උත්සව වල මුල්තැනක් හිමි වුනේ ඇතුලත්මුදලි මහතාටය. දෝෂාභියෝග සමයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මේ සිද්ධියට අදාළ මහපොළ සංවත්සර වේදිකාවට ඇතුලත්මුදලි මහතා ගොඩවන විට විශාල ලෙස එක් රැස්වී සිටි සරසවි සිසුන් ඇතුළු ජනකායෙන් නැඟුනේ දීර්ඝ, උත්කර්ෂවත් අත්පොළසන් නාදයකි. ඒ වන විටත් ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි, සරසවි සිසුන්ගේ ප්‍රසාදය කොහොමටත් දිනා නොසිටි රාජ්‍ය නායකයාට මෙවැනි පිළිගැනීමක් නොලැබීම මදිකමක් වූවා විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ක්ෂණික තීරණයකින් මහපොළ වාරිකයේ මේ අනපේක්ෂිත වැඩිවීම සිදුවිය. (මේ අවස්ථාවට මා පෞද්ගලිකව සහභාගී වූයේ නැත. මේ එයට සහභාගී වූ මිතුරන්ගෙන් දැනගත් කරුණුය.)

රුපියල් දහසක් යනු ඒ කාලයේදී වුවද චැලියකට පෙට්‍රල් ගසා නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශාල මුදලක් නොවීය. සරසවි සිසුන්ගේ සටන් පාඨ වල රජයෙන් ඉල්ලා තිබුණේ මීට වඩා වැඩි වාරික මුදලකි. කෙසේ වුවද, මේ මුදලින් අමාරුවෙන් වුවත් වියදම් පිරිමසාගැනීමේ හැකියාවක් නොතිබුණා නොවේ.

පසුගිය සටහනේ ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු 'අක්බාර් මුදල් ඒකක'  කලින් කලට සරසවියේ විවිධ ආපනශාලා වලින් නිකුත් විය. මා සිටි කාලයේ මේ වැඩේ ලොකුවටම සිදුවුණේ හිල්ඩා ඔබේසේකර ශාලාවේය. හිල්ඩා ශාලාව පිහිටා ඇත්තේ ගඟෙන් එගොඩ ගලහ පාර අයිනේය. ඉංජිනේරු පීඨයට ආසන්නව පිහිටි එම පීඨයේ සිසුන් වැඩිපුර නවාතැන් ගත් අක්බාර් ශාලාව හෝ වෛද්‍ය පීඨය ආසන්නව පිහිටි වෛද්‍ය සිසුන් වැඩිපුර නවාතැන්ගත් මාර්ස් ශාලාවෙන් වෙනස්ව, හිල්ඩා ශාලාවේ බොහෝ විට පේරාදෙණි සරසවියේ සෑම පීඨයකම සිසුන්ගේ මිශ්‍රණයකි. හිල්ඩා ශාලාවට ආසන්නව කිසිදු අධ්‍යයන පීඨයක් පිහිටා නැති නිසා අක්බාර් ශාලාවේ මෙන් ලොකු දිවා ආහාර පෝලිමක් හිල්ඩා ශාලාවේ නැත. එහි නේවාසික සිසුන් බොහෝවිට හිල්ඩා ආපනශාලාවෙන් ලබා ගත්තේ උදේ සහ රාත්‍රී ආහාරයි. දිවා ආහාරය සඳහා තරමක ලොකු පෝලිමක් පැවතියේනම් ඒ සති අන්තයේදී හෝ විභාග කාලයේදීය.

මේ කාලයේදී මහපොළ වාරිකයක් රුපියල් පන්සීයක් හෝ හයසිය පණහකි. 'පොළ ගත්' දවසට බොහෝ සිසුන් අතේ සීයේ පටි කැරකේ. මේ සීයේ නෝට්ටුවක් දී කෑම ගත් පසු හිල්ඩා මුදලාලිගෙන් ඉතුරු නොලැබේ. ඒ වෙනුවට ලැබෙන සීල් එකක් ගසා ඇති කාඩ්බෝඩ් කෑල්ලේ උඩින්ම රුපියල් සීයක් සටහන් කර ඇති අතර දෙවන පේලියේ ලබා ගත් කෑම වල මිල සටහන් කර ඇත. දෙවන වරට කෑම ගැනීමේදී අදාල මුදලද මේ කාඩ් පතේ සටහන් වේ. අඩුවක් ගත්තොත් අඩුවේ මිලද සටහන් වේ. කාඩ්පත පහළට මෙසේ ගණන් සටහන් වී පේලි දහයක් දොළහක් එක් වූ විට හිල්ඩා මුදලාලි ගණන් එකතු කර ඉතිරිය ලංකාවේ වලංගු මහ බැංකුව මඟින් නිකුත් කර ඇති මුදලින් ආපසු දෙයි. මේ වන විට බොහෝ විට ඉතිරිය රුපියල් විස්සක තිහක පමණ හෝ ඊටත් අඩු මුදලකි.

හිල්ඩා නෝට්ටු මුලින්ම නිකුත් කරන විට සිසුන් මේවා භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක් මෙන් පිළිවෙලක් නොතිබුණු මේ කාඩ්බෝඩ් කෑල්ල කොහේ හෝ හලා ගත්තොත් රුපියල් සීයට බඩුය. අමතක වීමෙන් මේ හිල්ඩා නෝට්ටුවේ තීරුවක් ඉරා හොට් ප්ලේටයකට අල්ලා සිගරැට් දැල්වූ අවස්ථා තිබුණේය. කලිසම් හෝදද්දී සාක්කුවේ තිබී පෙඟී ගිය අවස්ථා තිබුණේය. කලිසම් සාක්කුවේ අමතක වී හිල්ඩා ගිණුමේ ශේෂය දියවී යාම මටද වරක් සිදුවී ඇති පාඩුවකි.

හිල්ඩා කැන්ටිමෙන් කෑවේ එම ශාලාවේ නේවාසිකව සිටි සිසුන් පමණක් නොවේ. ඇතැම් විට, හිල්ඩා ශාලාව ඉදිරිපස ගලහ පාරේ අනිත් පැත්තේ ඇති ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසික සිසුහු වෙනසක් සඳහා ජේපී කන්ද බැස හිල්ඩා ශාලාවට පැමිණියහ. බොහෝවිට විභාග කාලය මුස්ලිම් වරුන්ගේ රාමසාන් කාලය සමඟ සම්පාත වේ. හිල්ඩා ශාලාවේ සිටි මුස්ලිම් සිසුන් වෙනුවෙන් නෝම්බි ඇල්ලීමට පෙර කුස පුරවාගැනීමට පාන්දර පහට විශේෂ ආහාර වේලක් සකස් විය. මේ ආහාර වේලක් විකිණුවේ සාමාන්‍ය ආහාරවේලක් විකුණන මිලට වඩා සිවුගුණයකටත් වඩා වැඩි මිලකටය. අධ්‍යයන නිවාඩු සමයේ දවල් වන තුරු නිදාගෙන, හවස් වරුවේ රස්තියාදුවක් ගසා ඇඳිරි වැටෙද්දී 'බොගට සෙට් වී' පාන්දර වන තුරුම අදිමින් නිශාචර මාසයක් ගෙවමින් සිටි අපිද ඇතැම් දිනවල විට නිදාගැනීමට පෙර මේ කෑම වේල භුක්ති විදීමට හිල්ඩා ශාලාවට බසින මාකස් ප්‍රනාන්දු හා  ජේම්ස් පීරිස් ශාලාවල නේවාසික මුස්ලිම් සිසුන්ට එකතු වුනෙමු.

හිල්ඩාවෙන් මෙසේ අතරින් පතර කෑම වේලක් ගන්නා ළඟ පාත පිහිටි අනෙකුත් ශාලා වල නේවාසික සිසුන්ට මෙන්ම, සාමාන්‍යයෙන් එහි නොපැමිණෙන නමුත් කවර හෝ කාර්යයකට පැමිණි අක්බාර්, මාර්ස් වැනි දුරින් පිහිටි ශාලාවක වසන සිසුවෙකුට හිල්ඩා නෝට්ටු වාතයක් වූ බව කිවයුතු නැත. මේ නෝට්ටු මුදල් කර ගැනීමට නැවත හිල්ඩා ශාලාවටම පැමිණිය යුතුය.

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබේ. මහ බැංකුවෙන් නිකුත් කරන නෝට්ටු වල මෙන් එළියකට ඇල්ලු විට පෙනෙන්නට නොතිබුණත් වැඩි කලක් නොගොස් හිල්ඩා නෝට්ටු වල ඇති රිදී රේඛා හොයා ගැනීමට නොහැකි තරමේ නිර්මාණශීලිත්වයේ අඩුවක් සරසවි සිසුන්ට තිබුණේ නැත. ඒ නිසා ටික දවසක් යද්දී හිල්ඩා නෝට්ටු සිසුන්ට ලාභ උපදවන මඟක් බවට පත් විය. මුදලාලි නෝට්ටුවේ ගණන් එකතු කරන්නේ එහි පහළ දක්වා ගණන් ලියවී ඇති බව පෙනුණු විටය. අඩුකෑමට ගෙවීම වැනි සුළු මුදල් අතින් ගෙවා ලොකු වියදම් හිල්ඩා නෝට්ටුවට බැර කළ විට පේලි හත අටකින් රුපියල් සීය පැන්නිය හැකිය. දෙදෙනෙකුගේ කෑම සඳහා එකවර මුදල් ගෙවූ විට එහි ලකුණු වන්නේ එක් සටහනක් පමණි. මෙවැනි විටක ගිණුමේ බැර එකතුව රුපියල් සීයට වඩා වැඩි වුවත් මුදලාලිට එය ක්ලික් වන්නේ නැත. හිල්ඩා නෝට්ටුව පැත්තකට විසිකර දැමූ විට රුපියල් කිහිපයක් ලාබය. අනෙක් ක්‍රමය වූයේ මේ කාඩ්බෝඩ් නෝට්ටුවේ යටින් ගණන් සඳහන් කොටස්ද සමඟ කුඩා තීරුවක් කතුරකින් කැපීමයි. එවිට ඉතුරු ලැබෙන්නේ කපා දැමූ තීරුවේ ඇති මුදල් සැලකිල්ලට නොගනිමිනි. කෙසේ වුවද, මගේ අදහස පරිදි මෙවැනි දේ ඇතැම් විට ඇතැම් සිසුන් කළ දේ මිස බහුලව සිදුවූ දේවල් නොවේ.

හිල්ඩා මුදල් වලට සීමිත හුවමාරු වටිනාකමක් තිබුණේය. ඇතැම් විටෙක සිසුවෙකු තවෙකෙකුට "මචං, අදනං කන්නවත් සල්ලි නෑ. රුපියල් පණහක් තියෙනවනං දියං. හෙට පොළ ගත්තහම දෙන්නං." කියූ විට "සල්ලිනං මගෙ අතෙත් නෑ මචං. ඉඳා, මේකෙන් කාපන්. මටත් එනකොට පොල් රොටී දෙකක් අරන් වරෙන්" කියා තමන්ගේ හිල්ඩා නෝට්ටුව දීමත්, හිල්ඩා සිසුවෙකු දුරින් පිහිටි ශාලාවක නේවාසිකව සිටි මිතුරෙකු හමුවීමට ගිය විට "මචං, මට හිල්ඩා එකෙන් සීයක ඉතුරු ගන්න තියෙනවා. ඒ පැත්තේ යන්න වෙලාවකුත් නෑ" කියා හිල්ඩා නෝට්ටුවක් දික්කළ විට අතේ ඇති මුදලින් ඔහුට ගණන් බේරා හිල්ඩා නෝට්ටුව ලබා ගැනීම වැනි දේද සිදුවිය හැකිව තිබුණු දේවල්ය.

පේරාදෙණියේ කැන්ටින් මුදලාලිලා අතර වර්ග දෙකක් සිටිති. එක කොටසක් සිස්ටම් එක අල්ලා ගත් අයයි. දෙවන කොටස සිස්ටම් එක නොදන්නා ආවා-ගියෝ මාදිලියේ අයයි. පේරාදෙණිය වැනි නේවාසික සරසවියක වාසය කරන විට උත්තර ධ්‍රැවය ඇත්තේ ගලහ හන්දියේ බවත් දක්ෂිණ ධ්‍රැවය ඇත්තේ රාමනාදන් හන්දියේ බවත් සිතීම පටු චින්තනයක්ම නොවේ. මේ සංවෘත පද්ධතිය ඇතුළත බොහෝ අවශ්‍යතා පිටත සම්බන්ධයකින් තොරව පහසුවෙන් ඉටු වේ. සිසුවෙකුගේ ෆැන්ටසිය බිඳ දැමූ විට ඇති වන වේදනාව බත් හැන්දක් හෝ මස් කෑල්ලක් අඩුවූ විට දැනෙන වේදනාවට වඩා වැඩි බව සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා දනිති. ඔවුන් දිගින් දිගටම කැන්ටින් කිරීමේ රහස එයයි.

කෑම පිඟානේ මොන අඩුපාඩු තිබුණත් මුදල් ගෙවා මිලදීගෙන, යාන්තම් අතගා කටක් දෙකක් ගිල දමා, ඉතිරිය සද්ද බද්ද නැතිව කුණු බක්කියට හලා බඩගින්නේ දවස ගෙවන සිසුහුද සිටිති. ඒ වගේම සුළු අඩුපාඩුවකට වුවත් ලොකුවටම සද්ද දාන සිසුහුද සිටිති. සිස්ටම් එක අල්ලාගත් මුදලාලිලා මේ සිසු කාණ්ඩ අත්දැකීමෙන් හෝ 'ඉවෙන්' හඳුනා ගනිති. මෙසේ නිතරම 'අදින' සිසුවෙකු පෝලිමේ එද්දී ඇතැම් විටෙක කෑම නිකුත් කරන සේවකයා 'මේ පිඟානට අඩුවෙන් බත් වැටිලා තියෙන්නේ. තව හැන්දක් දාල එවන්න' කියා බත් බෙදන සේවකයාට පිඟාන ආපසු යවන්නේ එවැනි සිසුවෙකු වචනයක් හෝ පැවසීමට පෙරය. යම් හෙයකින් වචන හුවමාරුවක් සිදුවුවහොත් තවත් සිසුන් වහා එකතු වන බවත්, කෑම ගෙන ඉක්මණින් ඊළඟ දේශනයට යාමට බලාගෙන පෝලිමේ නොඉවසිල්ලෙන් සිටින සිසුන් ආවේගශීලී වන බවත් මේ සේවකයා පළපුරුද්දෙන්ම දනී. එමෙන්ම, දිගු කාලයක් කැන්ටින් කිරීමටනම් කුණුහරුප වලට ඇතුළු විය නොහැකි ස්වභාවික පෙරණයක් උපතින් කන් වල පිහිටා තිබිය යුතුය. සිස්ටම් එක අල්ලා ගත් මුදලාලිලාට උපතින්ම මේ ජානය පිහිටා තිබුණේය.

සිස්ටම් එක නොදන්නා කැන්ටින් මුදලාලිලා ලොකුවට පටන් ගනිති. මේ අය දෙන කෑම වල තත්ත්වය ආරම්භයේදී ඉහළ මට්ටමක පවතී. මා පෙර කී හිල්ඩා නෝට්ටු නිතුත් කළේද එවැනි මුදලාලි කෙනෙකි. කෙසේ වුවද, මෙවැනි මුදලාලිලා සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වඩා කැන්ටින් නොකරති. ඔවුන්ට හිටිවනම දමා ගසා ඉවත්වීම අපහසු කරුණක් නොවන්නේ කැන්ටින් කිරීමට ගන්නා ලොකු භාජන වැනි බොහෝ උපාංග සරසවිය සතු ඒවා වීම නිසාය. මෙසේ දමා ගසා ගිය විට ඔවුන්ට අහිමි වන තැන්පතු මුදල විශාල එකක් නොවේ.

"මචං, අන්න හිල්ඩා එකේ කැන්ටින් කාරයා අකුලාගෙන යන්න සෙට් වෙනවා. උඹේ සල්ලි ගන්න තියෙනවනං ඉක්මණට පලයං." කියා සගයකු දැනුම් දුන් විට වහාම ක්‍රියාත්මක වූ සිසුන්ට ඔවුන්ගේ හිල්ඩා නෝට්ටු නැවත මුදල් කරගත හැකි වුවත් ඇතැම් අය එහි යන විට ප්‍රමාද වැඩිය. හිල්ඩා නෝට්ටු භාවිතා කිරීමෙන් ඇතැම් සිසුන් වරින් වර යම් ලාභ ලැබුවත් අවසාන වශයෙන් ශුද්ධ ලාභයක් ලබන්නට ඇත්තේ කැන්ටින්කරුවාය.

මා සිටි කාලයේ ඇත්තටම ඉතිරි දීමට නැති අවස්ථා වලදී අනිත් කැන්ටින්කරුවන්ද මෙවැනි නෝට්ටු නිකුත් කළත් ඒවා හැකි පළමු අවස්ථාවේදීම මුදල් කර දීමට ඔවුහු වගබලාගත්හ. මෙය පුරුද්දකට කළේ මාස කිහිපයක් හිල්ඩා කැන්ටිම කළ ආවා-ගියෝ මුදලාලි කෙනෙක් පමණි.

හිල්ඩා නෝට්ටු ව්‍යාප්ත කිරීමට කැන්ටින්කරුට හැකි වුණේ සරසවි සිසුන් මේ සීල් ගැසූ කාඩ්බෝඩ් කෑලි වල හුවමාරු වටිනාකම ගැන විශ්වාසය තැබූ නිසාය. නිකම්ම නිකම් කඩදාසි කෑලි වන ෆියට් මුදල් හෙවත් ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම රඳා පවතින්නේ ඒ පිළිබඳව සමාජයේ ඇති විශ්වාසය මතය. ඒ හැරුණු විට මේ මුදල් වල නෛසර්ගික වටිනාකමක් නැත. මහ බැංකුවෙන් නිකුත් කරන මෙවැනි කඩදාසි කෑලි වල හිල්ඩා මුදලාලිගේ සීල් එක වෙනුවට මහ බැංකු අධිපතිගේත්, මුදල් ඇමතිගේත් අත්සන් තිබේ. ඒවා වඩා හොඳ කඩදාසිවල ආකර්ශනීය නිමාවකින් මුද්‍රණය කර තිබේ. ඒ හැරුණු විට ඒවාත් හිල්ඩා නෝට්ටු වගේම කඩදාසි කෑලිය. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලට වුවද මේ කතාව එලෙසින්ම අදාලය.

හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. ලෝකයේ ඇතැම් රටවල මහ බැංකු මඟින් නිකුත් කළ මුදල් වලටද මේ සන්තෑසියම සිදු වූ අවස්ථා තිබේ. හිල්ඩා මුදලාලි දිගටම කැන්ටිම කරගෙන සිටියේනම්, රුපියල් සීයක් හිල්ඩා මුදලාලිට දී ලබාගන්නා හිල්ඩා නෝට්ටුවක් මාසයකට පසු ආපසු ඉදිරිපත් කළ විට නැවත රුපියල් සීයක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණේය. එහෙත්, මාසයකට පෙර ඇමරිකානු ඩොලර් තිස්හතක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවට දී ලබාගත හැකිව තිබුණු රුපියල් පන්දාහේ නෝට්ටුවක් දැන් ආපසු ඉදිරිපත් කළහොත් ආපසු ලැබෙන්නේ මුලින් දුන් ඩොලර් ගණනට වඩා ඩොලර් දෙකක් පමණ අඩුවෙනි.

(Photo credit: www.serendib.btoptions.lk)

22 comments:

  1. හිල්ඩා මුදලාලි කැන්ටිම අතහැර ගියපසු සිසුන් අත ඉතිරිව තිබුණු හිල්ඩා නෝට්ටු වල හුවමාරු වටිනාකම ශුන්‍ය වී නිකම්ම නිකම් කඩදාසි කෑලි බවට පත් විය. }හිල්ඩා මුදලාලි ලලිත් කොතලාවලගේ ගුරුවරයා ද ?

    ReplyDelete
    Replies
    1. ගුරුවරු ගෝලයෝ හොයන්න බැරි තරමටම ඔය වැඩේ කරන අය ඉන්නවා.

      Delete
  2. යකෝ බලාගෙන ගියාම හිල්ඩා නෝට්ටු මහ බැංකු ඒවට වැඩිය හොඳයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය සල්ලි කොළ කොයි එකෙත් වටිනාකම තියෙන්නේ ඒවා ගැන මිනිස්සුන්ගේ තිබෙන විශ්වාසය මතයි.

      Delete
  3. අක්බාර් නරියා මුදලාලිත් ඔය බිස්නස් එක කළා!

    ReplyDelete
    Replies
    1. හිල්ඩා මුදලාලි වැඩේ අල්ලගන්න ඇත්තේ නරියා මුදලාලි වගේ පරණ කෙනෙක්ගෙන්. පේන විදිහට කට්ටිය ඔය වැඩේ වරින්වර නැවත නැවතත් කරල තියෙනවා.

      Delete
  4. Replies
    1. විජේවර්ධන සිද්ධිය ගැන අපි අහල තිබුණු කතාව දෙවෙනි එලිසබෙත් රැජින ලංකාවට ආපු වෙලාවේ පුංචි කෝච්චියේ යද්දී ඔය ප්‍රදර්ශනේ පැවැත්වුණා කියන එකයි. බලාගෙන ගියාම ඒක අර්බන් ලෙජන්ඩ් එකක් වගේ.

      Delete
  5. හරිම රසවත්! කලින් ලිපියත් (මේ බ්ලොග් එකත්) අදයි දකින්න ලැබුනෙ.

    ReplyDelete
    Replies
    1. කැම්පස් කෑම වගේ තමයි. අමාරුවෙන් කන්න පුළුවන්. :)

      Delete
  6. අක්බාර් කැන්ටිමේ ඉකොනොම්ක්ස්

    ReplyDelete
    Replies
    1. අක්බාර් කෑම වල අඩුවට ඉකොනොමික්ස්!

      Delete
  7. මටත් හිතුනේ අර පව්ලූෂාට හිතුණු එකමයි. :P

    ReplyDelete
    Replies
    1. හැමතැනම ඉකොනොමික්ස් තියෙනවා, පොඩ්ඩි. පොලිටික්ස් වගේ තමයි.

      Delete
  8. ඇවිත් කියෙව්වා ගියා..

    ReplyDelete
  9. මාස දෙක තුනේ ආව ගියා මුදලාලි ඕක සාර්ථකව කරා කියන්නේ මිනිහත් හෙන ඉකොනොමැට්ටෙක් වෙන්න ඕනි කැම්පස් නොගියත්.. :)

    ReplyDelete
    Replies
    1. ඉකොනොමික්ස් කාගෙත් ඇඟේම තියෙනවා, කමි. ඕකට කැම්පස් යන්න ඕනෑ නෑ. සමහර අයට වැඩියෙන් පිහිටලා තියෙනවා.

      Delete
  10. හිල්ඩා මුදලාලිගේ මුදල් අක්බාර් එකේවත් වලංගු නෑනේ. තුන්වෙනි අවුරුද්දේ JP එකේ හිටපු අපි සතියකට දවසක් හරි කන්න ආවා හිල්ඩා එකට. ඒ වුනත් හිල්ඩා මුදලාලිගේ මුදල් නොට්ටුනම් ප්‍රතික්ෂේප කළා. ඒක වදයක්. අමතක වෙලා තිබ්බ ගොඩක් කරුණු මැට්ටා විසින් රසවත්ව සිහිපත් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කියනවනම් කොයිතරම් කතා තියෙනවද?

      Delete
  11. විශ්ව විද්‍යාල සිසුන්ගේ පෝෂණ මට්ටම ගැන අද දක්වා කිසිම සමීක්‍ෂණයක් කර නැහැ නේද? ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් මන්දපෝෂණයට ලක්ව සිටිනවා ඇතැයි සිතේ. මෙය ඉතා බරපතළ සහ දැඩි ප්‍රමුඛත්වයකින් විසඳිය යුතු ගැටලුවකි.

    ReplyDelete
    Replies
    1. කවුරුත් සමීක්ෂණයක් කරලා නැති නිසා මට නෑ කියන්න බැහැ, විචාරක. මේ වගේම, සමහර විට මීටත් වඩා, විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සරසවි සිසුන්ගේ මානසික ප්‍රශ්න. අපේ කාලය ඇතුලත සිසුන් කීපදෙනෙක්ම සියදිවි නසාගත්තා. මෙවැනි දෙයකට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නවක වදය සමඟ සම්බන්ධ වූ විට පමණයි. විදේශ විශ්ව විද්‍යාල වලනම් කවුන්සලින් සර්විසස් බහුලව භාවිතා වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.