Monday, October 26, 2015

අපේ ස්ට්‍රෝබෙරි සහ අපි කැමති චෙරි


කුඩා කල කිරි රසට පුරුදු වුනත් චෙරි රස නොවිඳි මා චෙරි රසයයි සිතා මුලින්ම වින්දේ තරුණ වයසේදී ඇස ගැටුණු ගැටෝ කේක් ගෙඩියක රැඳුනු සීනි පෙඟවූ  චෙරි ගෙඩියක රසය විය යුතුය. මේ රස පළමු වරම සිත පැහැරගත් බව නොකිවමනාය. බාහිර ආටෝප වලින් ස්වභාවික රසය යටපත් කර තිබුණු මෙවැනි චෙරි ගෙඩි වල රසට හුරු වී සිටි මට මුල්වරට රස විඳි නැවුම් චෙරි ගෙඩිය දැනවුයේ ප්‍රසන්න හැඟීමක් නොවේ. කෘතීම චෙරි රසය සැබෑ රසය ලෙස හඳුනාගෙන සිටි මට ස්වභාවික චෙරි රසය දැනුනේ කෘතීම බෙහෙත් රසක් ලෙසිනි. මෙය පොදු අත්දැකීමක් බව පෙර ලිපියේ කමෙන්ටු කියවූ විට පෙනේ.

(Photo credit: https://www.pinterest.com/pin/206321226650240658/)


දැනටත් මගේ ප්‍රියතම පලතුරු ලැයිස්තුවේ ස්ට්‍රෝබෙරි සහ චෙරි වලට ඇති තැන අඹ සහ රඹුටන් වලට වඩා බොහෝ පහළ තැනකි. මේ මගේ සංස්කෘතියේ බලපෑමද?

මගේ කුඩා කාලයේ පලතුරු සිහින වල අඹ, රඹුටන්, මැන්ගුස් ආදිය මිස චෙරි හෝ ස්ට්‍රෝබෙරි තිබුනේ නැත. ලෝකයට විවෘත නොවූ වෙළඳපොලක ළමා කාලය ගෙවන දරුවෙකුගේ පලතුරු සිහින වල ලෝකයේ අනෙත් පස වැවෙන පලතුරකට ලොකු ඉඩක් ඉතිරි නොවේ. ළමා කාලයේදී ඇස ගැටුණු අඹ, රඹුටන්, මැන්ගුස් අපේ පලතුරු වෙන්නේත් පසුව හඳුනා ගන්නා චෙරි සහ ස්ට්‍රෝබෙරි අපේ නොවන රට පලතුරු වෙන්නේත් ඒ නිසාය.

චෙරි කෙසේ වෙතත් ස්ට්‍රෝබෙරි දැන්නම් නුවරඑළියේ වගා කෙරේ. එහෙත්, තවමත් ස්ට්‍රෝබෙරි අඹ, රඹුටන්, මැන්ගුස් මෙන් අපේ පලතුරක් නොවේ. ස්ට්‍රෝබෙරි අපේ පලතුරක් වන්නට තවත් කාලයක් ගතවනු ඇත.

මා ළමා කාලය ගෙවූ බොහෝ ප්‍රදේශ වල උඩරට එළවලු වැවුනේ නැත. මේ ප්‍රදේශ වල මට වඩා පරම්පරා දෙකක් ඉහලින් සිටි ඇතැම් වැඩිහිටියෝ එළවළු ලෙස හැඳින්වුවෝ බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, ඉන්නල ආදියයි. ලීක්ස්, බීට්, අර්තාපල්, ගෝවා ආදී 'ඉංගිරිසි එළවළු' මේ සාමාන්‍ය එළවළු වලින් වෙන්කර හඳුනා ගැනුණේය. තවත් අය මේවා 'කොටු එළවලු' සහ 'කඩ එළවළු' ලෙස වෙන්ව හැඳින්වූහ. ගහ දන්නා කෙනාට කොළ කඩා පාන්නට අවශ්‍ය නැතත්, ගහ නොදන්නා කෙනාට කොළ, අල හෝ ගෙඩි දුටු විට දැනෙන්නේ ආගන්තුක හැඟීමකි.

ධර්මසේන හිමියන් විසින් අඹ ඉල්ලූ විට දෙල් දෙන්නන් ගැනත්, බිඩලු එකිනෙක ගලවා ලූ පසු හරයක් ඉතිරි නොවන කෙසෙල් ගස් ගැනත් සටහන් කළත් රඹුටන්, මැන්ගුස් හෝ දුරියන් ගැන කතා නොකරන්නේ දඹදෙණි යුගයේදී චෙරි සහ ස්ට්‍රෝබෙරි මෙන්ම මේ පළතුරුද අපට ආගන්තුක වූ බැවිනි. දෙමුහුන් පලතුරක් වන දැනට ප්‍රචලිත ස්ට්‍රෝබෙරිනම් උපත ලබා ඇත්තේම දහඅට වන සියවසේදීය.

මැලේසියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිත පෙදෙස් නිජබිම් කරගත් රඹුටන්, මැන්ගුස් හා දුරියන් ලංකාවට පැමිණෙන්නේ පෘතුගීසි සහ ලන්දේසි යුගයන්හිදීය. මල්වාන බලකොටුව අවට මුලින්ම රඹුටන් වැවෙන්නේ ඒ නිසාය. අප තවමත් භාවිතා කරන මේ පළතුරු වල නම් මැලේ වචනයි. කෙස් සහ කටු සඳහා භාවිතා වන මැලේ වචන වලින් රඹුටන් සහ දුරියන් වල නම් සැදී තිබේ.



(Photo credit: http://stamps-gallery.blogspot.com/2015/02/fruits-of-malaysia-definitives-stamps.html)

ප්‍රංශයේදී උපත ලැබූවත් ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය අතින් මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. දෙවැනි විශාලතම ස්ට්‍රෝබෙරි නිෂ්පාදකයා තුර්කියයි. ඇමරිකා එක්සත් ජනපදයේ මුළු ස්ට්‍රෝබෙරි නිෂ්පාදයෙන් සියයට අනූවකටත් වඩා සිදුවන්නේ කැලිෆොර්නියා ප්‍රාන්තයේය. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිපදවේ. ඇපල්, මිදි සහ දොඩම් හැරුණු විට ඇමරිකාව තුල නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින පලතුර ස්ට්‍රෝබෙරිය.

යම් රටක සුලභව ඇති, කුඩා කල සිටම සංස්කෘතිකව සමීප පලතුරක් එසේ නොවන පලතුරකට වඩා ජනප්‍රිය වීම තේරුම් ගැනීමට අපහසු නැත. එසේ වුවත්, ඇමරිකාවේ පාරිභෝගිකයින් අතර ජනප්‍රියම පලතුර ඇපල්, මිදි, දොඩම් හෝ ස්ට්‍රෝබෙරි නොවේ. ප්‍රධාන වශයෙන්ම ආනයනික පලතුරක් වන කෙසෙල්ය. වසරකට ඇපල් රාත්තල් දහසයක් කන ඇමරිකානුවෙකු කෙසෙල් රාත්තල් විසිපහක් කයි. මේ ඇම්බුන් කෙසෙල් ගෙඩි සියයක පමණ ප්‍රමාණයකි. මේ පලතුරු ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ දකුණු ඇමරිකානු රටවල්ය. ලෝක කෙසෙල් වෙළඳපලෙන් සියයට අසූවක්ම එන්නේ දකුණු ඇමරිකානු රටවලිනි. මේ අපනයන වලින් 27%ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයටත් තවත් 27%ක් යුරෝපයටත් යැවේ.

ආසියාතික රටවල් අතරින් විශාලතම කෙසෙල් අපනයනකරු පිලිපීනයයි. ලෝකයේ ලොකුම කෙසෙල් නිෂ්පාදකයා වන ඉන්දියාව මෙන්ම දෙවැන්නා වන චීනයත් සිය මුළු නිෂ්පාදනයම පාහේ යොදා ගන්නේ දේශීය පරිභෝජනය සඳහාය.

පලතුරු සඳහා වන පුද්ගල රුචිකත්වයට සංස්කෘතික සාධක වලින් යම් බලපෑමක් ඇතිවුණත් එය සංස්කෘතික සාධක ඉක්මවූ දෙයකි. මානව පරිණාමය සිදුවූ දීර්ඝ කාලය තුල බොහෝ විට ක්ෂණික ශක්තිය සැපයූ ප්‍රධාන ආහාර විශේෂය වූයේ කවර හෝ පලතුරකි. මෙවැනි 'ෆාස්ට් ෆුඩ්' හැමවිටම ලැබුනේ නැත. ඉදුණු පලතුරු වල ඇති පැණිරසයට හෝමෝ සේපියන්ස්ලාගේ ඇති කැමැත්ත දැන් අපේ විනාශයට හේතුවක් වී ඇතත් ආහාර හිඟයන්ට මුහුණ දෙමින් ගතකල අපේ දීර්ඝ අතීතය තුල පැණිරසයට ඇති කැමැත්ත මඟින් ඉටුවුණේ සාධනීය කාර්යයකි.




කිසිදින රඹුටන් හෝ මැන්ගුස් ගෙඩියක් ඇස නොදුටු දරුවෙකු මේ පලතුරු රස විඳින මුල්දිනයේම ඒවාට පෙම් බඳින බව මගේ පෞද්ගලික අත්දැකීමයි. එහෙත්, නිතර ඇස ගැටුණේ වුවද චෙරි හෝ ස්ට්‍රෝබෙරි වලට ස්වභාවිකව ඇතිවන්නේ මෙයට වඩා අඩු කැමැත්තකි. කුඩා ළමුන්ගේ උපන්දින සාද වැනි අවස්ථා සඳහා චොකලට් තවරා (උණුකළ චොකලට් බඳුනක ගිල්ලවා නිවෙන්නට හැර) ස්ට්‍රෝබෙරි පිළිගන්වන්නට වෙන්නේ පුද්ගල කැමැත්ත අගයන සමාජයක වුවද මේ පුද්ගල නිර්වචනය තුලට ඇතුලත්වන්නේ යම් කඩඉමක් දක්වා පරිණත වුනු හෝමෝ සේපියන්ස්ලා පමණක් බව පෙන්වා දෙමිනි.

ඇමරිකානුවන් අතර ජනප්‍රියම පලතුර කෙසෙල් වන්නේ ස්වභාවිකවම හෝමෝ සේපියන්ස්ලාගේ විවිධත්වයට ඇති කැමැත්තත්, යම් සීමාවන් යටතේ වුවත් ඇමරිකානු පලතුරු වෙළඳපොල ලෝකයට විවෘතව තිබීමත් හේතුවෙනි. ඇමරිකානුවකුගේ පලතුරු පරිභෝජනය තුල ආනයනික පලතුරු වල සංයුතිය පසුගිය වසර විසිපහ තුල සියයට දහයක සිට සියයට තිස්පහක් පමණ දක්වා වර්ධනය වී තිබේ. කෙසේවුවද, ඇමරිකාවට පලතුරු අපනයනය කිරීම සඳහා වෙනත් රටක අපනයනකරුවෙකු දැනටත් නියාමන බාධක වලට මුහුණ දිය යුතුය.

ඇතැම් නුපුරුදු කෑමක් මුල්වර රස විඳින විට එහි රසයට ලොකු කැමැත්තක් ඇති නොවුනත් ඒ රසයට පුරුදු වූ විට කැමැත්තක් මෙන්ම ඇබ්බැහියක්ද ඇති විය හැකිය. අපි නරක අඹයක් හොඳ අඹයකින් වෙන්කර හඳුනාගන්නේ කුඩා කළ සිට විශාල රස පරාසයක අඹ කා ඇති පලපුරුද්දෙනි.

ගැටෝ කේක් ගෙඩියක ඇති කෘතීම රස එක්කළ චෙරි වල රසට පුරුදු වුනු බොහෝ දෙනෙකුගේ මොළ පළමුවරට රසවිඳින ස්වභාවික චෙරි ගෙඩියක් ආදරයෙන් පිළිගන්නේ නැත. මොළය අපේක්ෂා කරන්නේ මේ දැන් අතේ ඇති චෙරි ගෙඩියේ නොදන්නා රසයනම් එය කවරක් වුවද එහි රසයක් මිස හොඳක් හෝ නරකක් නැත. එහෙත්, අතේ ඇති චෙරි ගෙඩියෙන් මොළය අපේක්ෂා කරන්නේ කලකට පෙර රසවිඳි ගැටෝ කේක් ගෙඩියක තිබුණු චෙරි ගෙඩියේ රසයනම් (වඩාත් නිවැරදිව එහි තිබුනායැයි ඔබ සිතා සිටින රසයනම්) අතේ ඇති චෙරි ගෙඩියෙන් යමෙකුට අවසාන වශයෙන් ලැබෙන්නේ අතෘප්තිය පමණි.

අතීතයේදී හමුවූ, රස විඳි හෝ නොවිඳි ගැටෝ චෙරිගෙඩි අමතක කර අතේ ඇති චෙරි ගෙඩියට අවධානය යොමුකිරීමටද පුහුණුවක් අවශ්‍යයය.

32 comments:

  1. පලපුරුදු ඇනෝවෙක් හැටියට මාගේ අවවාදය....
    ඉඳල හිටල හරි ගැටෝ චෙරි ගෙඩියක් හොයන් කෑවනම් ඔය පුරස්නෙ නෑ..... හොයා ගන්නම බැරිනම් කඩෙන් ගන්න...

    අතේ තියෙන ගෙඩිය චෙරි නෙමෙයිම කියලා හිතෙනව නම් එව්වා ස්ට්‍රෝබෙරි කියලා හිතන් කන්න පුළුවන්... එක දිගට ස්ට්‍රෝබෙරි(චෙරි ) කන්න එපා වෙනවනම් ඩාර්ක් චොකලට් ඩිප් සිස්ටම් එක ට්‍රයි කරලා බලන්න.....

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන ඇනෝ.++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඇනෝගේ පළපුරුද්දට මගේ උපහාරය! අගය කිරීමක් වශයෙන් ඇස් දෙක පියාගෙන කන්න වේලුනු චෙරි ගෙඩියක්!

      Delete
  2. ස්ට්‍රෝබෙරි නම් මගේ ප්‍රියතම කෑමක් . එහන විස්තරයට ස්තුතියි , ඔය පින්තුරේ කොහෙන්ද හොයාගත්තේ මරු ස්ට්‍රෝබෙරි ගෙඩිය

    ReplyDelete
    Replies
    1. පින්තූරය යට ලින්ක් එක තියෙනවා. (නැතත් ඔය වගේ ස්ට්‍රෝබෙරි හොයාගන්න අමාරු නැහැ)

      Delete
  3. පින්තූරේ තියෙන ඉස්ට්‍රෝබෙරිවලට නම් කානතාවෝ මාර මනාපයි නේ.. ඒ වගේම තමයි බනානත්..

    දැ ඉට්ටෝබෙරි පුඩ් සිටියේ තියෙනවා.. පොඩ්ඩක් ගාන වැඩියි.. ඒත් දැන් ගොඩක් උන් කනවා.. කොළඹත් ෆ්‍රෙෂ් ඉට්ටෝබෙරි, ඉට්ටෝබෙරී ජූස්, ඉට්ටෝබෙරි මිලික් සේක්, අයිස්කිරින් තියෙන තැන් තියෙනවා.. ඒ ඉතරක් නෙමෙයි මැට්ටෝ ගිරීන් ඇපලුත් වවනවා... බඩු දැන් ලාබයි..

    ReplyDelete
    Replies
    1. හය්යෝ ලංකාවේ ඉස්ට්‍රෝෙබෙරි, නුවර මී කිරි වගේමයි. ඔව්ව රස නෑ කියන්න පුංච් කාලේ කතන්දර පොත් නොකියවපු පොඩිත්තෙක් වෙන්න ඕන.

      Delete
    2. ග්‍රීන් හවුස් එවා නෙමෙයි දැ ඉට්ටෝබෙරි වවන හොවියෝ ඕන තරම් ඉන්නවා නුවර එළිය පැත්තේ. මැක්වුඩ්ස් ලබු කැලේ ටී සෙන්ටර් එකට කලින් ප්ලේස් එකක් තියෙනවා ගිහින් බලන්න.

      Delete
    3. ඔය ලබුකැලේ හරියේ පාරේ එළවලු විකුණන තැනක දැන් අවුරුදු පහළොවකට පමණ කලිනුත් ස්ට්‍රෝබෙරි විකුනන්න තිබුණා. ගොඩක් නෙමෙයි. පෙට්ටි පහ හයක්. එතකොට ගාණත් මට මතකයි (140යි). මම එදා තිබුණු ටික ඔක්කොම ගත්තා. ග්‍රීන් ඇපල් ගැනනම් වැඩි දෙයක් දැනගෙන හිටියේ නැහැ.

      Delete
  4. ස්ට්‍රෝබෙරි සමඟ Whipped cream

    ReplyDelete
  5. මමත් නුවර එලි ගිය දවසක එහේ ෆාම් එකක වගා කරන ඒවා කියලා කන්න දුන්නා...මට නම් අල්ලලා ගියේ නෑ..
    දැන්නම් ලිපි ඉස්සර තරම් බර නෑ..ටිකක් සරලයි..ඒක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩගේ කකුල් කඩන්න ඕනෑ වුනාම නැවතත් බර කරනවා. නියුට්‍රල් යන කොට පැට්‍රල් ඉතුරු වුනත් බර ගියර් ටිකක් සේෆ් වැඩියි. :)

      Delete
  6. මම චෙරි පටලවගෙන..ඒ වගා කරන්නෙ ස්ට්‍රෝබෙරිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත්. චෙරි ලංකාවේ වවන බවක් මම දන්නේ නැහැ.

      Delete
  7. හොඳ විස්තර ටිකක්. මම කැමති චෙරි වලට.

    ' Cherry picking ' වලටත් කැමතී. :D

    ReplyDelete
    Replies
    1. :) wild strawberry picking ගිහින් නැතිද?

      Delete
    2. Cherry picking කෙටිකාලීනව වියදම් අධික ක්‍රමෝපායයක් වුවත් එහි දිගුකාලීන වාසි බොහෝවිට මේ කෙටිකාලීන වියදම් සාධාරණීකරනය කරයි.

      Delete
  8. මට කීමට ඇත්තේ-

    1. නුවරඑලියේ දැන් නොව මීට වසර හතලිහකට පමණ පෙර ද ස්ට්‍රෝබෙරි වගාව තිබී ඇත.
    2. ඇමරිකාවේ පමණක් නොව ලංකාවේ ද වැඩියෙන් ම කන පළතුර කෙසෙල් යැයි සිතමි.
    http://chartsbin.com/view/32713

    ReplyDelete
    Replies
    1. 1. එසේ විය හැකිය. වසර විස්සකට පමණ පෙර කාර්ගිල්ස් සමාගම මඟින් යම් ව්‍යාපෘතියක් දියත් කළ බව මගේ මතකයයි. මෙය ව්‍යාපාරික මට්ටමින් නුවරඑළියේ ස්ට්‍රෝබෙරි වැවීමට දැරූ පළමු උත්සාහය නොවිය හැකිය. ගෙවතු අවට සුළු පරිමාණයෙන් ස්ට්‍රෝබෙරි වැවීමනම් ඉංග්‍රීසින්ගේ කාලයේද කර තිබේ.
      2. ලංකාවේ පලතුරු පරිභෝජනය පිලිබඳ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාවක් වසර අටකට පමණ පෙර මට ලැබී තිබේ. මගේ මතකය අනුව ලංකාවේ වැඩියෙන්ම ආහාරයට ගන්නා පලතුර කෙසෙල්ය. වැඩි තොරතුරක් මතක නැත. ඔබ ඉදිරිපත් කළ පුරුකේ මුල් ප්‍රභවය වීමට බොහෝ දුරට ඉඩ ඇති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත වල ලංකාවේ දත්ත ඇතුලත්ව නැත. මා දන්නේ මහජන මුදල් වැයකර මේ තොරතුරු එකතු කරන බව පමණි.

      Delete
  9. නුවරඑළියේ හරිතාගාර තුළ වවන ස්ට්‍රෝබෙරි වලට ඉතා අධික ලෙස රසායනික පොහොර සහ කෘමිනාශක යොදනවා. නමුත් රාගල පැත්තේ ගෙවතුවල ඇපල්, පෙයාස්, ස්ට්‍රෝබෙරි වවනවා. ස්ට්‍රෝබෙරි ඉතා කුඩා ගෙඩි ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලොක්කා ෆාම් ටිකක් දැකලා නෑ...

      Delete
    2. වසර විස්සකට පමණ පෙරත් මා නුවරඑළියේ වැවූ සාමාන්‍ය ප්‍රමාණයේ ස්ට්‍රෝබෙරි මිලදී ගෙන තිබෙනවා.

      Delete
  10. මංනං ස්ටෝබෙරි වලට ආසා නෑ. මහ අමුතු රහක් එන්නේ. පින්තූරෙනං ලස්සන ස්ටෝබෙරි ගෙඩියක්.............

    ReplyDelete
    Replies
    1. මමත් ස්ට්‍රෝබෙරි වලට පොදුවේ ආස නැහැ. සමහර වෙලාවට හොඳ ඒවා හම්බවෙනවා. කාල බලල ගන්න එක කෝකටත් හොඳයි.

      Delete
  11. මගෙත් ඩ්‍රීම් එකක් කමයි නැචූරල් ස්ට්‍රෝෙබරි ස්වීට් ක්‍රීම් වල ඩිප් කරලා, එත් ලංකාවේ විකුණන ග්‍රීන් හවුස් වල වවන ඒවානම් හද්ද ජරාවක්.
    රස අඳුනා ගැනීමත් හරිම සංකීරණ සෙන්ටිමෙන්ටල් දෙයක්, දිවේ රසාංකුරත්, මින්ස්සු ගේ හිත් ආගම් මත වාද වලින් මුලා වෙනවා වගේ පුංචි කාලේ කතාන්දර වලින් මුලා වෙනවදෝ කොහෙද, නැත්නම් ඇයි මේ ග්‍රීන් හවුස් ජරාව රස නෑ කියන එක ගොඩක් අයට තේරුම් නොයන්නේ.
    කොහොම උනත් මට තියනවා වෙරි සෙන්ටිමෙන්ටල් කැලෑ ස්ට්‍රෝෙබරි ස්ටොරියක්, ඒ ස්ටෝබෙරි වලට වඩා රස ඒවා ජීවිතේටව රස විදින්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. නුවරඑලිය ආශ්‍රිත ප්‍රදේශ වල අඩුවශයෙන් සමාගම් තුනකින්වත් හරිතාගාර තුල වවන ස්ට්‍රෝබෙරි ස්වභාවික පරිසරයේ වවන ස්ට්‍රෝබෙරි වලට වඩා රසයෙන් විශාල ලෙස වෙනස් නැති බවයි මගේ අදහස. ස්වභාවිකව පරිසරයේ වවන ස්ට්‍රෝබෙරිත් ඇතැම් විට මිහිරි වුවත් ඇතැම් විට තරමක් ඇඹුල්. අඹ, රඹුටන් වගේම තමයි.

      Delete
  12. ලංකාවෙන් පළතුරු මොනවත් අපනයනය කරන්නෙ නැද්ද ඉකොනො
    ආනයනය කරන එක නං කරනව ඇති...
    හොද විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. ලංකාව පසුගිය වසර තුලදී රුපියල් බිලියන 6.2ක පලතුරු ආනයනය කර තිබෙනවා, මහේෂ්. කලක සිටම සකස් කළ පලතුරු අපනයනය කරන සමාගම් කිහිපයක් ගැන මා දන්නා නමුත් මේ ප්‍රමාණය ඉතා සුළු බවයි මගේ අදහස.

      Delete
  13. ලංකාව පසුගිය වසර තුලදී රුපියල් බිලියන 6.2ක පලතුරු ආනයනය කර තිබෙනවා

    වසර පුරාවටම පළතුරු හට ගන්න රටකට ගිය කල

    ReplyDelete
  14. මම මුලින්ම ස්ට්‍රෝබෙරි රස ඩෙල්ටා ටොපි කෑවා (පැකැට් කල ටොපි)
    ඉන්පසු ස්ට්‍රෝබෙරි රස පුහුල් ජෑම් කෑවා.
    ඇත්ත ස්ට්‍රෝබෙරි කෑවෙ ඊටත් පස්සෙ.
    කෑවට පස්සෙ අපරාදෙ කියලා හිතුනා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.