Thursday, October 29, 2015

යුද අපරාධවලට වගකිව යුත්තේ කවුද?

ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිවුහෙවන්හි ක්ෂණික ආහාර විකුණන අවන්හලක පැයකට ඩොලරයක් වූ අවම වැටුපට සේවය කළ කොනර් දවසේ වැඩ නිමාකර අසල වූ සුපිරි වෙළඳසැලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගෙන ආපසු යද්දී එහි දැන්වීම් පුවරුවක වූ නිවේදනයක් ඔහුගේ ඇස ගැසුණේය.

"මතකය පිළිබඳ පරීක්ෂණයක් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. පැයක කාලය වෙනුවෙන් ගෙවීම ඩොලර් හතරයි."

නැවතී සම්පුර්ණයෙන් කියවීමට තරම් මේ දැන්වීම කොනර්ට ආකර්ෂණීය වීම පුදුමයක් නොවේ. එහි ඇති විස්තර අනුව, යේල් විශ්ව විද්‍යාලය මඟින් කරන මේ පර්යේෂණය සඳහා වයස 20-50 අතර, පාසැල් හෝ විශ්ව විද්‍යාල සිසුන් නොවන, පිරිමින් පන්සියයකගේ සේවය අවශ්‍යව තිබේ. තමන්ට පහසු පරිදි පැයක කාලයක් මේ පරීක්ෂණය සඳහා යෙදවීම වෙනුවෙන් ඩොලර් හතරක ගාස්තුවකට අමතරව ප්‍රවාහන ගාස්තු ලෙස තවත් ශත පණහක් ලබා ගත හැකිය.


(Photo credit: https://en.wikipedia.org/wiki/Milgram_experiment)
දැන්වීම් පුවරුවෙන් කූපනයක් ඉරා ගත් කොනර් සාක්කුවෙන් පෑනක් ගෙන අදාල විස්තර පුරවා ළඟපාතක වූ තැපැල් පෙට්ටියකට දැමීමට දෙවරක් හිතුවේ නැත.

***

සතියකට පමණ පසු හවස් වරුවක වැඩ ඇරී ගෙදර පැමිණ ටික වේලාවකින් කොනර්ගේ දුරකතනය නාද විය. ඇමතුම යේල් විශ්ව විද්‍යාලයෙනි. කෙටි සාකච්ඡාවකින් අනතුරුව ඊළඟ බ්‍රහස්පතින්දා හවස හතරට පරීක්ෂණය සඳහා කොනර්ට කාලය වෙන් කෙරිණි.

රෝස්ටරයකට අනුව වැඩ කළ කොනර්ට බ්‍රහස්පතින්දාව විවේක දිනයකි. ඒ නිසා අදාල දවසේදී ප්‍රමාද වීමට ඔහුට කිසිදු හේතුවක් නොවීය. යේල් විශ්ව විද්‍යාලයේ නියමිත ගොඩනැගිල්ල සොයාගත් ඔහුට පිළිගැනීමේ නිලධාරිනිය විසින් දැනුම් දුන්නේ කැඳවීමක් කරන තුරු අසල වූ ආලින්දයක අසුන් ගන්නා ලෙසයි.

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටැන්ලි. ඔබත් මම හිතන්නේ පරීක්ෂණය සඳහා සහභාගී වීමට පැමිණි කෙනෙක්?"

ආලින්දයේ අසුන්ගෙන සිටි මැදිවිය ඉක්මවූ පුද්ගලයා පෙනුමෙන් මෙන්ම කතාවෙන්ද මිත්‍රශීලීය.

"ශුභ සන්ධ්‍යාවක්! මම කොනර්. මම හිතන්නේ මේ මහාචාර්ය මිල්ග්‍රම් වෙන්න ඇති?"

"අපොයි නෑ. මම ස්ටැන්ලි ගෝල්ටන්. පළමු නම එක වුනත් මම ස්ටැන්ලි මිල්ග්‍රම් වගේ මහාචාර්යවරයෙක්නම් නෙමෙයි. මම ඇවිල්ලා රථාචාර්යවරයෙක්. නිකම් කාර් බස් නෙමෙයි. ට්‍රක්. හැබැයි පොඩි හාට් කේස් එකක් ඇවිත් දැන් මාස දෙක තුනක ඉඳලා ඒකත් නවත්තලා ගෙදර ඉන්නේ. නිකං ඉන්න එකේ හිතුවා ඩොලර් හතරක් අතාරින්නෙ මොකටද කියලා."

"සතුටුයි අඳුනගන්න ලැබීම ගැන. අද මගේ ඕෆ් ඩේ එක. ඉතින් මාත් හිතුවා නිකන් ඉන්න එකේ ඇවිල්ල බලන්න."

***

"ශුභ සන්ධ්‍යාවක්! මම ස්ටීව්. මහාචාර්ය මිල්ග්‍රම්ගේ සහායකයෙක්. අපි යමු ඇතුලට."

"මේ පර්යේෂණය මතකය ගැන පර්යේෂණයක් බව අපි මුලින්ම කිවුවනේ. මේ සඳහා අපට ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු අවශ්‍යයි. අපි කුසපත් ඇදලා ගුරුවරයාව සහ ගෝලයාව තෝරාගනිමු. මේ තොප්පියේ තියෙන තුණ්ඩු කෑලි දෙකෙන් කැමති එකක් ගන්න."

කොනර් තුණ්ඩුවක් තෝරාගත්තේය. ස්ටැන්ලි ඉතිරි තුණ්ඩුව අතට ගෙන දිගහැර බලන්නට විය.

"මම ශිෂ්‍යයා" ස්ටැන්ලි කියද්දී කොනර් ඔහු අත වූ තුණ්ඩු කෑල්ලට ඇස යොමු කළේය.

"හරි, මගේ තුණ්ඩුවේ තියෙන්නේ ගුරුවරයා කියා."

"ශිෂ්‍යයා මේ දකුණු පැත්තේ කාමරේට යන්න. ගුරුවරයා මාත් එක්ක වම් පැත්තේ කාමරයට එන්න."


***

"දැන් ඔබ ගුරුවරයනේ. ඔබේ ශිෂ්‍යයා අල්ලපු කාමරේ ඉන්නවා. මේ ඉයර්ෆෝන් දාගත්තහම ඔබට ඔහු සමඟ කතා කළ හැකියි. මේ කඩදාසියේ වචන ලැයිස්තුවක් තියෙනවා. ඔබට තියෙන්නේ ඒ වචන වල තේරුම ඔබේ ශිෂ්‍යයාට ඉගැන්වීමයි. මේ සඳහා ඔබට විනාඩි පහළොවක් තියෙනවා."

ලැයිස්තුවේ ඇත්තේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන බර වචනයි. ඒවායේ තේරුම්ද සටහන් කර ඇති නිසා වැඩේ එතරම් අමාරුවක් නැත. පැයකට හෝ ගුරුවරයෙකු වන්නට ඇත්නම් කාටද ආඩම්බර?

කොනර් කාමරය සිසාරා ඇස් යැවුවේය. ඔහු ඉදිරිපිට ඇති මේසයේ විවිධාකාර ස්විච් කිහිපයක් සවිකර තිබේ. ඒ පිළිබඳව ඔහුට යම් කුතුහලයක් ඇති නොවුනා නොවේ.

"කැම්පස් එකක්නේ. ඔය වගේ තැන්වල මේ වගේ එක එක ගැජට් ඇති. මඤ්ඤොක්කා ගන්න ආවනම් වත්තේ හතර මායින් හොයන්නේ මොකටද? හතරයි පණහ අරගෙන ගෙදර යනව මිසක්!"


***

"දැන් උගන්වන්න තියෙන කාලය ඉවරයි. ඊළඟට තියෙන්නේ ඉගෙනීම පරීක්ෂා කිරීමයි. මේ වචන වල තේරුම දැන් එකින් එක ඔබේ ශිෂ්‍යයාගෙන් අහන්න. වැරැද්දුවොත් මේ ස්විච් එක ඔබන්න. එවිට ඔහුට පොඩි විදුලි සැරයක් වදිනවා"

"විදුලි සැරයක්?"

"ඔවු, ඔබේ ශිෂ්‍යයාව වයරයකට සම්බන්ධ කරලයි තියෙන්නේ. ඔබ මේ ස්විච්චය එබුවහම ඔහුට වෝල්ට් පහළොවක විදුලි සැරයක් වදිනවා."

"ඒක වේදනාකාරී දෙයක්නේ..."

"පොඩ්ඩක් රිදෙනවා තමයි. ඒත් ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. ඕනෑනම් ඔබත් මේ ගැජට් එක අතට දාගෙන බලන්න."

කොනර් පිළිතුරක් දීමටත් පෙරම මහාචාර්යවරයාගේ සහකරු ස්ටීව් ඔහුගේ අතට යම් උපකරණයක් සම්බන්ධ කර "වෝල්ට් 15" ලෙස සඳහන් ස්විච්චය එබුවේය. කොනර්ගේ අත දිගේ විදුලිය ගලා යද්දී ක්ෂණික කම්පනයක් ඇති වුණත් එය දරා ගැනීමට අපහසු වුණේ නැත.

"ලොකු අමාරුවක්නම් නෑ තමයි. ඒත් පොඩ්ඩක් රිදෙනවා. දැන් මොකක්ද මේ වැඩේ තේරුම?"

"මේක තමයි අපේ පරීක්ෂනය."


 

(Photo credit: http://www.simplypsychology.org/milgram.html)


ස්ටීව් පිළිතුරු දුන්නේ කොනර්ගේ අතට සම්බන්ධ කර තිබුණු උපකරණය ගලවන අතරේය. කොනර් මේසයේ පසෙක වූ යතුරු පුවරුව දෙසට නෙත් යොමු කළේය. එහි ස්විච් තිහක් තිබේ. පළමුවැන්නේ 15V ලෙස සඳහන්ව ඇත. ස්ටීව් ක්‍රියාත්මක කළේ ඒ ස්විච්චයයි. ඉතිරි ස්විච්ච වල වෝල්ටීයතාව 30V, 45V ආදී වශයෙන් වෝල්ට් 450 දක්වා ක්‍රමයෙන් වැඩිවේ.

"දැන් මේ අනිත් ස්විච්චුත් ඔබන්න වෙනවද?"

"සමහර විට ඕනෑ වෙන එකක් නැහැ. පළමුවෙනි පාරට වැරැද්දුවහම වෝල්ට් 15යි. වරද්දන පාරක් ගානේ ෂොක් එකේ වෝල්ටීයතාව පහළොවකින් වැඩි කරන්න ඕනෑ."

"හාරසිය පනහට යනකං?"

"ගුරුවරයා හරියට උගන්නලනම්, ශිෂ්‍යයා හරියට ඉගෙනගෙනනම් විදුලිසැර ඕනෑ නොවෙන්නත් පුළුවන්."

කොනර්ට කිසියම් වරදකාරී හැඟීමක් ඇතිවේ.

"ඒත් මේ ප්‍රශ්න අමාරු ප්‍රශ්න නෙමෙයිනේ. වැඩිම වුනොත් එකක් දෙකක් වරද්දයි."

***

ස්ටැන්ලි බලාපොරොත්තු වූ තරම් දක්ෂ ශිෂ්‍යයෙකු නොවන බව කොනර්ට අවබෝධ වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ වන විට ලබා දෙන විදුලි සැරයේ වෝල්ටීයතාව අනූව දක්වා වැඩි කර ඇත.

"මේ යකා පුදුම හරකෙක්නේ. මෙච්චර ලේසි ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බැරිනම් මූට කරන්ට් වද්දල මදි."

කොනර් තමන් පෙළන වරදකාරී හැඟීමෙන් මිදෙන්නට හේතුවක් සොයයි.

"යකෝ මේ මනුස්සයට හාට් කේස් එකකුත් තිබුණ කිවුව නේද? හදිස්සියෙවත් මොනව හරි වුනොත් මටත් බඩු."

ඒ සමඟම ඔහුට සිහිවෙයි. කොනර් ස්ටීව්ගේ මුහුණ දෙසට නෙත් යොමු කළේය.

"මේ කරන්ට් වැඩේ කරන්නම ඕනෑද? දැන් අනූවයි."

"කරගෙන යන්න."

ස්ටීව් පිළිතුරු දෙන්නේ ඔළුව හරවා බලන්නේවත් නැතුවය.

"බලමු මේ යකා දැන්වත් හරියට උත්තර දෙයිද කියලා."

ස්ටැන්ලි දෙන පිළිතුරු අතර හරි ඒවාට වඩා වැඩිපුර තියෙන්නේ වැරදි ඒවාය. දැන් වෝල්ටීයතාවය එකසිය හැටපහකි.

"මේ වැඩෙන් මේ මනුස්සයට මොනවා හරි වෙයිද?"

කොනර් නැවතත් ස්ටීව් විමසීය.

"මේ පරීක්ෂණය සාර්ථක කරගන්නනම් ඔබ මෙය දිගටම කරගෙන යා යුතුයි. ටිකක් රිදෙන එකේ අමාරුව විතරයි. මේ වැඩෙන් කිසිම ස්ථිර හානියක් වෙන්නෙ නැහැ."

කොනර් නැවතත් ප්‍රශ්න අසන්නට පටන්ගත්තේය. වෝල්ටීයතාව මේවනවිට දෙසිය හතළිහ දක්වා ඉහළ නැංවීමට සිදුවී තිබේ. දැන් විදුලි සැරයක් ලබා දෙන විට ස්ටැන්ලි කෑගසන හඬ බිත්තිය පසාරු කරගෙන කොනර්ගේ දෙසවනට පිවිසේ. වෝල්ටීයතාව වැඩි කරද්දී ස්ටැන්ලි කෑගසන හඬේ තීව්‍රතාවයද වැඩිවේ.

"මේ මනුස්සයට දැන්නම් හොඳටම අමාරුයි වගේ. මේ වැඩේ දිගටම කරන්න ඕනෑද?"

"ඔබ මෙය දිගටම කරගෙන යාම අනිවාර්ය අවශ්‍යතාවක්!"

වෝල්ටීයතාව දැන් හාරසිය විස්සේය. ස්ටැන්ලි කෑගසනවාට අමතරව වේගයෙන් බිත්තියට ගසයි. ඔහුට මේ වදයෙන් ගැලවෙන්නට අවශ්‍ය බව ඉතා පැහැදිලිය.

"දැන්නම් මට මේ වැඩේ නවත්තන්නමයි හිතෙන්නේ."

"ඔබට මෙතන තෝරාගැනීමක් නැහැ. වැඩේ දිගටම කරගෙන යන්නම වෙනවා."

කොනර්ට පරීක්ෂණය නැවැත්වීමට අවසරයක් ලැබෙන්නේ උපරිම වෝල්ටීයතාව වන හාරසිය පණහේ  සීමාවට ලඟා වීමෙන් පසුවය.

***

ඉහත විස්තර කෙරුණේ මහාචාර්ය ස්ටැන්ලි මිල්ග්‍රම් විසින් සිදුකළ සමාජ විද්‍යා පර්යේෂණයකි. මෙය සිදු කළේ අද ඊයේ නොවේ. අඩ සියවසකටත් පෙර, 1961 ග්‍රීස්ම සෘතුවේදීය.

මේ කතාවේ ස්ටැන්ලි ගෝල්ටන් ඇත්තටම කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දැක්වූවෙකු නොවේ. මේ පරීක්ෂණයේදී ඔහු කරන්නේ රඟපෑමකි. ඒ අනුව, ඇත්තටම පර්යේෂණයට මුහුණ දෙන්නේ කොනර් පමණි.

බොරුවට කරන කුසපත් ඇදීමෙන් හැමවිටම ගුරුවරයා වෙන්නේ කොනර් මෙන් දැන්වීමට ප්‍රතිචාර දක්වමින් පරීක්ෂනයට සම්බන්ධ වූ අයෙකි. තුණ්ඩු කෑලි දෙකේම ලියා ඇත්තේ ගුරුවරයා යනුවෙනි. රඟපෑමක් කරන සහායකයා ඔහුට ලැබී ඇති උපදෙස් අනුව තමන්ට ලැබුනේ ශිෂ්‍ය අවස්ථාව බව බොරුවට කියයි.

ස්ටැන්ලි ගෝල්ටන්ට ඇත්තටම වදින විදුලියක් නැත. ඔහුගේ කෑගැසීම්ද රඟපෑම්ය. වැරදි පිළිතුරු දෙන්නේත් සැලසුම්සහගතවය. එමෙන්ම ඔහුට ඇති හාට් කේස් එකක්ද නැත.

***

මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වුනේ විධානයකට යටත් වන පුද්ගලයෙකු අකැමැත්තෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් කිරීමට ඇති ඉඩකඩ ගැන හැදෑරීමයි. යෙරුසලමේදී ඇඩොල්ෆ් අයිච්මාන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කෙරුණේ මේ කාලයේදීය.

(Photo credit: http://www.jpost.com/National-News/ON-THIS-DAY-Nazi-war-criminal-Adolf-Eichmann-executed-by-Israel-354942)


අයිච්මාන් යනු හිට්ලර්ගේ විධාන අනුව දෙවන ලෝක යුද සමයේදී යුදෙව්වන් මිලියන හයක් පමණ ඝාතනය කිරීමට මුල්වූ පුද්ගලයෙකි. ඔස්ට්‍රියාව හරහා ආර්ජන්ටිනාවට පැනගත් අයිච්මාන් 1960 වන තුරු එහි රහසිගතව ජීවත් වූ නමුත් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ උකුසු ඇසින් ගැලවෙන්නට ඔහුට නොහැකි විය.

***

"අයිච්මාන් ඇත්තටම මේ සමූහ ඝාතනයට වරදකරුද? එසේ නැත්නම් ඔහු කළේ ඉහළින් නිකුත් වූ අණ පිලිපැදීමක් පමණක්ද?"

මේ පැනය අදාල කාලයේදී පුළුල් ලෙස විවාදයට ලක්වූවකි. ආචාර ධාර්මික හේතු මත පසුකාලීනව බොහෝ විවේචනයන්ට ලක් වූ නමුත් සමාජ විද්‍යා විද්‍යාගාර පරීක්ෂණ සම්බන්ධ පූර්වාදර්ශයක් සැපයූ, ඉහත විස්තර කළ මිල්ග්‍රම් පරීක්ෂනය මඟින් සෙවූයේ මේ පැනයට විසඳුමකි.

සරසවි සිසුන් යොදාගෙන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිපල අනුව පෙනී ගිය පරිදි, පරීක්ෂණය ආරම්භයේදී අපේක්ෂා කළේ 'ගුරුවරු' බොහෝ දෙනෙකු මේ 'කරන්ට් වැද්දීම' අතරමඟ නවත්වනු ඇති බවයි. සමීක්ෂණයට මුහුණ දුන් සිසුන් සියල්ලෝම වාගේ සිතුවෝ කලාතුරකින් කෙනෙකු මිස යමෙකු වෝල්ට් තුන්සීය නොඉක්මවනු ඇති බවයි.

සැලසුම් කළ ආකාරය අනුව, යමෙකු පරීක්ෂණය නැවැත්වීමට අවශ්‍ය බව පැවසූ විට ඉහත විස්තර කළ පරිදි සිවුවරක් එය දිගටම කරගෙන යන දෙස ඔවුන්ට දන්වනු ලැබීය. පස්වන වරටත් ඉල්ලීමක් නොකළේනම් සහ වාචික නියෝග නොසලකමින් පරීක්ෂණය මඟ නැවැත්වූයේ නැත්නම්, උපරිම වෝල්ටීයතාව ලබා දෙන තුරු පරීක්ෂණය දිගටම පැවැත්වුනේය.

පරීක්ෂණයට මුහුණ දුන් 'ගුරුවරු' හතළිහකගෙන් විසිහයදෙනෙකුම (65%) අකමැත්තෙන් වුවද තමන්ගේ ශිෂ්‍යයන්ට උපරිම වෝල්ටීයතාව වන වෝල්ට් 450 ලබා දීමට පසුබට වූයේ නැත.

වරින්වර නැවත සිදුකෙරුණු මිල්ග්‍රම් පරීක්ෂනයේ ප්‍රතිඵල අනුව මේ මිනිසුන්ගේ ස්වභාවයයි!

***

මිල්ග්‍රම් පරීක්ෂණය සිදුකර මේ වනවිට අඩ සියවසක් ගත වී ඇත. හෝමෝ සේපියන්ස්ලා පරිණාමය වෙති. මේ කාලය තුල මිනිසුන්ගේ හැසිරීම වෙනස් වී ඇත්තේ කෙසේද?

සැන්ට ක්ලේරා සරසවියේ ජෙරී බර්ගර් විසින් 2009 වසරේදී ආචාර ධාර්මික හේතු මත සිදුකළ සංශෝධන සහිතව මිල්ග්‍රම් පරීක්ෂණය නැවත සිදු කරමින් නිරීක්ෂණය කළේ මිනිසුන්ගේ හැසිරීම පිලිබඳ මිල්ග්‍රම්ගේ නිරීක්ෂණ අදටත් වලංගු බවයි. එමෙන්ම, ඇමරිකාවෙන් පිටත ආසියා, අප්‍රිකා, යුරෝපා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප වලද මිල්ග්‍රම් ආකෘතියේ පරීක්ෂණ සිදුකර ඇති අතර නිරීක්ෂණ වල විශාල වෙනස්කම් නැත.

මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!

***
මිල්ග්‍රම් පරීක්ෂනයට මුහුණ දුන් පුද්ගලයින්ට වාචික නියෝග ලබා දෙනු මිස වෙනත් බලපෑම් කිසිවක් කෙරුණේ නැත. මේ නියෝග ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන්ට අහිමි විය හැකිව තිබුණේ ඩොලර් හතරක දීමනාව පමණි.

බොහෝ තැන්වලදී පොඩ්ඩන්ට ලොක්කන්ගේ නියෝග පිළිපැදීමට වෙන්නේ මීට වඩා දැඩි පීඩනයකට මුහුණ දෙමින් බව මා විශේෂයෙන් කිව යුතු නැත.

(කොනර්, ස්ටීව් සහ ස්ටැන්ලි ගෝල්ටන් මනඃකල්පිත චරිතයන්ය.)

20 comments:

  1. //මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්ය පරිදි ක්රියා කරන රුකඩයෝය!//

    යම්තාක් දුරකට නේ?

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණයේ ප්‍රතිපල අනුවනම් 65%ක් පමණ ප්‍රශ්න කිරීමකින් තොරව වැඩේ දිගටම කරනවා, පොකු. ඉතිරි අයත් යම් තාක් දුරට හෝ එය කරනවා. ඇතැම් රටවල මේ සංඛ්‍යාව 93% තරම්.

      Delete
  2. මේ දවස්වල උණුසුම් වෙලා තියන පොලිස්, හමුදා වගේම ගුරුවරුන්ගේ හැසිරීම් අපුරුවට විස්තර වෙනවා, මේ ගමන්ම මිල්ග්‍රම් ගේ හිරගෙදර පර්යේෂණය ගැනත් ලියමුද?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ සිම්බාඩෝගේ පරීක්ෂණය ගැන වෙන්න ඇති. එයත් ඉතා වැදගත් පරීක්ෂණයක් තමයි. ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ ලිපියක් පළකර තිබෙනවා, හැබැයි ඉංග්‍රීසි බසින්.

      Delete
  3. ඇත්ත තමා........ //මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්ය පරිදි ක්රියා කරන රුකඩයෝය!//

    ReplyDelete
    Replies
    1. මේ ආකෘතියෙන් බැහැර වීමට විශාල ධෛර්යයක් අවශ්‍යයි.

      Delete
  4. ඉතාම රසවත්ව මිල්ග්‍රම්ගෙ පරීක්ෂනය ගැන දක්වා තිබෙනවා. ඇත්තටම මිනිස් සොබාවය ගැන මේ හෙළිදරව්ව ඉතාම වටිනවා.

    /මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!//

    මසුරන් කියමන .මෙහිදී කෝනර් හැසිරුන විදියට තමයි බහුතරයක් හැසිරෙන්නෙ. ක්‍රියා පටිපාටිය එක්ක ඉදිරියට යනකොට අනෙකාගෙ වේදනාව අමතක වෙනව. එසේම ඒ වේදනාව දිය යුතුයැයි සිතන්න පෙළඹෙනවා. හමුදාවල පොලීසිවල අයගෙ මානසිකත්වය අපූරුවට තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ මෑතකාලීන ලිපි වල කියන්න තිබුණු හැමදෙයක්ම වගේ කියවිලා තිබුණු නිසා මම කිසිවක් එකතු කළේ නැහැ.

      Delete
  5. හැමෝටම මිලක් තියෙනවා. ඒ ගානට ලන්සුවක් ආවාම විකිණෙනවා...!!!

    ReplyDelete
    Replies
    1. ඒක තව කමක් නෑ රසික. සමහර අය විකිණෙන්නේ ගාණවත් හරියට නොගෙන.

      Delete
  6. මෙහෙත් කරලා බලන්න වටිනවා. ඒ ප්‍රතිඵලය රජයට පෙන්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක කරලා බලන්න පුළුවන් පරීක්ෂනයක්.

      Delete
  7. එල ද බ්‍රා
    මම මේක මට, මගේ රාඡකාරියට, මගේ ලොක්කන්ට ආදේශ කරලා හිතලා බැලුවා.
    නිගමනය නම් අහන්න එපා

    ReplyDelete
    Replies
    1. ඇඟලුම් ක්ෂේත්‍රයේ වගේම වෙනත් ශ්‍රම-මූලික නිෂ්පාදන ක්ෂේත්‍ර වල වැඩ පරීක්ෂකවරුන් සහ නිෂ්පාදන කළමනාකරුවන් මුහුණ දෙන තත්ත්වයනුත් මෙයට යම් තරමකින් සමානයි.

      Delete
  8. Stanley Milgram's Obedience Experiment, Philip Zimbardo‘s Stanford Prison study demonstrated how average people could be turned in to evildoers. We ought to understand the power of social situations that can work as catalysts for ordinary people to rise above others and then perform cruel acts. From Stanford Prison study to Abu Ghraib prison, Guantanamo Bay detention camp, Hammond to the K -Point we see the situational dynamics, deindividuation, dehumanization, anonymity, diffusion of responsibility etc played as crucial roles. These experiments and factual situations showed that human psyche is not totally pure or evil. Perhaps good and evil are part of the human condition.

    The Psychologist Albert Bandura once said "Our ability to selectively engage and disengage our moral standards helps explain how people can be barbarically cruel in one moment and compassionate the next.". Indeed man is capable of committing atrocities and derives satisfaction. Contrary to that man is capable of love and care. But our past experiences in Nanking, Guernica, Gulags, Auschwitz- Birkenau, Buchenwald, My Lai, Killing Fields in Cambodia, Rwanda, Abu Ghraib prison etc indicate the destructive and torturous dynamism inside the Homo sapiens.

    ReplyDelete
  9. බොහොම ස්තූතියි ඉකෝන්ස්...අපූරු පර්යේෂණයක් ගැන අපූරු ලිපියක්.

    නියෝග පිළිපැදීම මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ආදිම කාලෙ ඉඳල එන පුරුද්දක්.ඒ කාලෙ සමහරවිට ඒ නියෝගවල යුක්තියුක්ත බව ගැන ප්‍රශ්ණ කිරීමට තරම් දැනුමක් අනුගාමිකයින්ට නැතිවෙන්න ඇති. ඒත් එහෙම ප්‍රශ්ණ කරන්න සහ නියෝග ප්‍රතික්ෂේප කරන්න තරම විචාර බුද්ධියක් සහිත වුනත් හෝමෝ සේපියන්ස්ලා තවම කරන්නෙ පරණ විදිහටමයි.

    ReplyDelete
    Replies
    1. //නියෝග පිළිපැදීම මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ආදිම කාලෙ ඉඳල එන පුරුද්දක්.// ඔව් රවී. සමහර විට ඈත කාලයේදී කණ්ඩායමේ නායකයා කියන දෙය ප්‍රශ්න නොකර ඉටුකළ අයට එසේ නොකළ අයට වඩා පරිණාමික වාසියක් තියෙන්න ඇති. (තාමත් එහෙමනේ!)

      Delete
  10. හැබැයි නීති විරෝධී නියෝග පිළි නොපැද ඉන්නත් පුළුවන් නේද?

    මනම්පේරි නඩු තීන්දුවෙන් පවා කියා තිබෙනවා නේද ඉහළ නිලධාරියෙක් විසින් උවත් ලබා දෙන්නේ නීති විරෝධී නියෝගයක් නම් ඒ නියෝගය ලබන්නාට එය ක්‍රියාත්මක නොකර සිටින්න පුළුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දෙන පරිදිම නීති විරෝධී නියෝග පිළි නොපැද ඉන්න පුළුවන් තමයි, මනෝජ්. නමුත්, මේ පරීක්ෂණයේ ප්‍රතිපල වලින් පෙනෙන පරිදි ප්‍රායෝගිකව බොහෝවිට මිනිස්සු කරන්නේ නිහඬව කියන දේ කරගෙන සිටීමයි. බොහෝ දෙනෙක් දැඩි ආතති තත්ත්වයන් යටතේත්, විරෝධයක් නොපා තමන් අකමැති දේවල් කරන එක මිනිස් ස්වභාවයේ කොටසක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.