වෙබ් ලිපිනය:

Sunday, January 31, 2021

ඉන්දියානු මෛත්‍රිය

පසුගිය වසර තුළදී කෝවිඩ් ව්‍යාප්තිය සිදු වූ ආකාරය සැලකුවොත්, වරින් වර ලෝකයේ ඇතැම් රටවල කෝවිඩ් පැතිරීම පාලනය වුනා. චීනය වැනි ඇතැම් රටවල් ඒ පාලනය දිගටම පවත්වා ගන්න සමත් වුනා. වෙනත් ඇතැම් රටවල් වලින් පාලනය ගිලිහුනා. කොහොම වුනත් සමස්තයක් ලෙස ලෝකයම සැලකුවහොත් දිගින් දිගටම සිදු වුනේ ලෝකයේ කොහෙන් හෝ දිනකට හමු වන ආසාදිතයින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි.


කවර ආකාරයකින් හෝ පසුගිය සති තුන ඇතුළත මේ ප්‍රවණතාවය ආපසු හැරී තිබෙනවා. ලෝකය පුරා කෝවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය ආරම්භ වී ව්‍යාප්ත වීම සිදු වුනේද මෙයට සමගාමීවයි. කෙසේ වුවත් මේ වනතුරුද එන්නත්කරණයේ රැකවරණය ලබා තිබෙන්නේ ලෝක ජනගහණයෙන් 1%කට ආසන්න පිරිසක් පමණක් නිසා මෙය තනිකරම එන්නතේ බලපෑමෙන් සිදු වූ දෙයක් ලෙස සලකන්න බැහැ.

වසංගතවේද ආකෘති අනුව, සාමාන්‍යයෙන් වසංගතයක් ආරම්භයේදී වේගයෙන් පැතිරී යම් උපරිම මට්ටමකට පැමිණීමෙන් පසුව ස්වභාවිකවම ක්‍රමයෙන් ක්ෂය වී යනවා. මෙසේ වසංගතය පැතිරීම ස්වභාවික ලෙසම මන්දගාමී වෙන්නේ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ළඟා වීමෙන් පසුවයි. එන්නතකින් කරන්නේ රෝගය ආසාදනය වීමෙන් "නරක ක්‍රමයට" සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන්නට පෙර වඩා හොඳ ක්‍රමයකට සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි. 

අලුත් රෝගයක් වූ කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගනිද්දී ඒ සඳහා එන්නතක් තිබුණේ නැහැ. ඒ නිසා, ලෝකයේ හැම රටකටම වගේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කරන්න සිදු වුනා. පොදු වශයෙන් මෙහිදී සිදු වුනේ සංචරණයට හා සමාජ සම්බන්ධතා වලට සීමා පැනවීමයි. එම උපක්‍රම තාවකාලිකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුනා. 

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවලද මෙවැනි සංචරණ සීමා හේතුවෙන් ආරම්භයේදී වසංගතයේ ව්‍යාප්තිය පාලනය වුවත්, එම සීමා ක්‍රමයෙන් ලිහිල් කරද්දී නැවතත් රෝග ව්‍යාප්තිය ඉහළ ගියා. 

වසර තුළ කාලගුණයේ විශාල වෙනස්කම් සිදුවන බොහෝ බටහිර රටවල එම කාලගුණ වෙනස්වීම් සමඟ මිනිස් හැසිරීම්ද විශාල ලෙස වෙනස් වෙනවා. මෙය රෝග ව්‍යාප්තිය කෙරෙහිද බලපානවා. ස්වභාවික තත්ත්වයන් තුළද ග්‍රීෂ්ම කාලය තුළ රෝග ව්‍යාප්තිය පාලනය වී, ශීත සෘතුව තුළ නැවතත් වඩා දරුණු ආකාරයකින් හිස එසැවිය හැකි බව ඇමරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල් විසින් වසංගතය ආරම්භයේදීම නිවැරදිව පුරෝකථනය කළා. 

පළමු රැල්ල ඕනෑවට වඩා පාලනය කිරීමෙන් ශීත සෘතුව තුළ පැමිණිය හැකිව තිබුණු දෙවන රැල්ල වඩා භයානක විය හැකි විය හැකි බව ආකෘති අනුව පෙනෙන්නට තිබුණා. ඒ වගේම ග්‍රීෂ්ම සෘතුව තුළ සංචරන සීමා ආදිය යම් තරමකින් ලිහිල් කළද විශාල හානියක් සිදු වන්නට ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා, ඇමරිකාවේ උපක්‍රමය වුනේ ග්‍රීෂ්ම කාලය තුළ සීමාවන් යම් තරමකින් ලිහිල් කර ශීත කාලය තුළ නැවතත් සංචරණ සීමා පිළිබඳව වඩා සැලකිලිමත් වීමයි. දැන් ආපසු හැරී බැලුවොත් සෘතු භේද පැහැදිලිව දැකිය හැකි බොහෝ රටවල රෝග ව්‍යාප්තියේ "රැළි දෙක" පැහැදිලිව දැක ගත හැකියි.  

සමකය ආසන්නයේ පිහිටි ඉන්දියාව වැනි රටකට සෘතු භේද බලපාන්නේ අඩුවෙන්. ඒ නිසා, ඉන්දියාව වැනි රටක රෝග ව්‍යාප්තිය තනි රැල්ලකින් අවසන් විය හැකිව තිබුණා. දැන් ආපසු හැරී බැලුවොත් පෙනෙන පරිදි ඉන්දියාවේ කෝවිඩ් වේගයෙන් ව්‍යාප්ත වී ඒ ව්‍යාප්ත වුනු වේගයෙන්ම අඩු වී ගොස් තිබෙනවා. දින තුනකට පෙර ඉන්දියානු සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්ධන් විසින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඉන්දියාව කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීමට සමත්ව සිටින බවයි. ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාද වන හර්ෂ් වර්ධන් වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්.


ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718කින් 146කින්ම පසුගිය සතිය තුළ කිසිදු කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ වන විට ඉන්දියාවේ සිටින කෝවිඩ් ආසාදිතයින්ගෙන් 78%ක්ම කේරළ, මහා රාෂ්ඨ, උත්තර ප්‍රදේශ්, කර්ණාටක හා බටහිර බෙංගාල ප්‍රාන්ත වලට සීමා වී තිබෙනවා. කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඉන්දියානුවන්ගෙන් 0.8%ක් පමණක් වුවත්, අහඹු රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ මෙම ප්‍රමාණය 28-32 ගුණයකින් වැඩි බවයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල මේ වන විටද සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

බිලියන 1.37ක ඉන්දියානු ජනගහණය එන්නත් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන අතරම කලාපයේ රටවලට එන්නත් මෛත්‍රිය පතුරවන්නටද ඉන්දියාවට හැකි වී තිබෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට කෝවිඩ් ව්‍යාප්තිය ස්වභාවික ලෙසම සෑහෙන තරමකින් පාලනය වී තිබීම නිසයි.

Friday, January 29, 2021

සාමූහික ප්‍රතිශක්තිය දැනටමත් ඇවිත්ද?


පසුගිය සති තුනක කාලය ඇතුළත ඇමරිකාවෙන් දෛනිකව හමුවන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණයේ සීඝ්‍ර අඩු වීමක් පැහැදිලිව දැක ගත හැකියි. පසුගිය වසර මුල ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව දෛනික ආසාදිතයින් ප්‍රමාණයේ මෙවැනි සීඝ්‍ර අඩු වීමක් දැකිය හැකි වී තිබෙන්නේ පළමු වරටයි. 

දෛනික මරණ ප්‍රමාණයේ ලොකු වෙනසක් තවමත් දැකිය නොහැකි වුනත් මරණ ප්‍රමාණයද අඩු වෙන්නට පටන් ගෙන ඇති බව යාන්තමින් පෙනෙනවා. සාමාන්‍යයෙන් මරණ ප්‍රමාණය අඩු හෝ වැඩි වන්නේ දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩු හෝ වැඩි වී සති තුනකට පමණ පසුවයි.

ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වීමට එන්නත්කරණය දායක වී ඇති බවට සැකයක් නැතත්, එය එකම හේතුව විය නොහැකියි. තවමත් එන්නත්කරණය කර තිබෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 8%ක් පමණයි. 

ජනගහණයෙන් 8%ක් එන්නත්කරණයට ලක්ව තිබෙද්දී ජනගහණයෙන් තවත් 8%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා. රට පුරා සිදු කර ඇති අහඹු ප්‍රතිදේහ පරීක්ෂා වල ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබෙන්නේ සැබෑ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගන්නා ආසාදිතයින් ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ විය හැකි බවයි. මේ අනුව, ඇමරිකානු ජනගහණයෙන් 32%කට පමණ මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබිය යුතුයි. එන්නත් ලබා ගෙන තිබෙන 8%ද එකතු කළොත් එයින් අදහස් වෙන්නේ මේ වන විට ඇමරිකාවේ ජනගහණයෙන් 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි.

ඇමරිකාව වැනි විශාල රටක සමස්තයක් ලෙස 40%කට පමණ පිරිසකට කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබෙන විට ඇතැම් ප්‍රදේශ වල මෙම ප්‍රතිශතය සාමූහික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය මට්ටමට ලඟා වී තිබිය හැකියි. ඒ අනුව, මේ වන විටද ඇමරිකාව සාමූහික ප්‍රතිශක්තිය කරා පිය නගමින් සිටිනවා වෙන්න පුළුවන්. 


එක්සත් රාජධානියේද මේ ආකාරයේම රටාවක් දැකිය හැකියි. මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන් 12.3%ක්  එන්නත්කරණය කර තිබෙන අතර ජනගහණයෙන් 5.5%ක් පමණ කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනා ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සැබෑ ආසාදිතයින් ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, මේ වන විට එක්සත් රාජධානියේ ජනගහණයෙන්ද 40%කට පමණ කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් ලැබී තිබිය යුතු බවයි පෙනෙන්නේ. පසුගිය තෙසතිය තුළ එක්සත් රාජධානියෙන් අළුතින් හඳුනා ගැනෙන දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩකින් පමණම අඩු වී තිබීම මේ කරුණ සනාථ කරනවා.

Thursday, January 28, 2021

නොපවතින සමාගම් සමඟ දීග කෑම

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කිරීම සඳහා අපට චක්‍රීය ප්‍රවාහ ආකෘතිය යොදා ගන්න පුළුවන්. එහි සරලම මට්ටමේ ආකෘතියෙන් අපි පටන් ගනිමු. මෙහිදී, අපේ පහසුව සඳහා රජයේ, විදේශ අංශයේ හා බැංකු වල කාර්ය භාරය අපි නොසලකා හරිනවා. අවශ්‍යනම් මේ ආකෘතිය වඩා සංකීර්ණ කර ගන්න පුළුවන්.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකක් තිබෙනවා. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර ඒකක විසින්. අවශ්‍යනම් සමාගම් කියා කියන්න පුළුවන්.  

සමාගම් කියා කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. දෙවියන් කියන සංකල්පය වගේම මිනිස්සු විසින් හදාගත් වියුක්ත සංකල්පයක්. හැබැයි මෙය ඉතාම ප්‍රයෝජනවත් සංකල්පයක්.

දෙවියන් පෙනෙන්න නැතත් සමාගම් පෙනෙන්න තිබෙන බව ඇතැම් අය කියන්න පුළුවන්. සමාගමක් පෙන්වන්න පුළුවන් කාටද? සමාගම් සතු වාහන, ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර ආදිය තිබෙනවා. බොහෝ මිනිසුන් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. එහෙත්, ඇත්තටම සමාගම් කියා "දෙයක්" නැහැ. අප එවැනි දෙයක් පවතින බව පොදුවේ පිළිගන්නවා පමණයි. දෙවියන් වගේම තමයි. 

දෙවියන් කියන දේ අහන මිනිස්සු වගේම අහන්නේ නැති මිනිස්සුත් සමාගම් කියන දේවල් අහනවා. දෙවියන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු වගේම දෙවියන් පිළි නොගන්න මිනිස්සුත් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. දෙවියන්ට පඬුරු දමන මිනිස්සු වගේම නොදමන මිනිස්සුත් සමාගම් වෙනුවෙන් මුදල් යොදවනවා. සමාගම් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගෙන් කොටසක් සමාගමේ අතිරික්තය ගණන් හදලා සමාගම වෙනුවෙන් ශ්‍රමය හෝ ප්‍රාග්ධනය යෙදවූ මිනිසුන් වෙත බෙදා දෙනවා. එය කරන්නේ සමාගම වෙනුවෙන් සමාගමේ භාරකරුවෙකු ලෙසයි. කපුවෙක් දෙවියන් වෙනුවෙන් වැඩ කරනවා වගේ.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සමාගම් හෝ සමාගම් නොවන වෙනත් ආකාර වල ව්‍යාපාර ඒකක හා ගෘහස්ථ ඒකක අතර අන්තර් ක්‍රියාවක් සිදු වෙනවා. මේ ව්‍යාපාර ඒකක කියන්නේ වියුක්ත අදහසක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. වියුක්ත අදහස වැඩ කරන හා ප්‍රයෝජනයක් තිබෙන වියුක්ත අදහසක්.

ව්‍යාපාර ඒකකයක් තුළ සිදු වන්නේ ගෘහස්ථ ඒකක වල තිබෙන ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය (K) ප්‍රයෝජනයට අරගෙන පරිභෝජනය කළ හැකි නිෂ්පාදිතයක් (Y) බවට පරිවර්තනය කරන එකයි.

K,L ➞ Y 

වෙනත් විදිහකින් කිවුවොත්, ව්‍යාපාර ඒකකයක් තුළදී වෙන්නේ K සහ L යොදා ගනිමින් අතිරික්ත වටිනාකමක් නිර්මාණය කරන එක. Y කියන්නේ එසේ නිර්මාණය කළ අතිරික්ත වටිනාකම. පෙර ලිපි වලින් විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් විස්තර කළේ මේ වැඩේ කරන්න උපයෝගී කර ගන්නා නිෂ්පාදන තාක්‍ෂණයේ ස්වභාවය ආකෘතිගත කළ හැකි එක් ආකාරයක්. එය වෙනත් ආකාර වලින්ද කළ හැකියි. 

ව්‍යාපාර ඒකකයක් තුළදී Y කියන අතිරික්ත වටිනාකම නිර්මාණය කිරීමේදී K සහ L යම් තරමකින් ක්ෂය වන නමුත් නිෂ්පාදන කාර්යයෙන් පසුවද K සහ L ඉතිරි වෙනවා. ඊට අමතරව අතිරික්තයක් ලෙස Y නිර්මාණය වෙනවා. එය පරිභෝජනය කළ හැකි දෙයක් වුවත් අතථ්‍ය පුද්ගලයෙකු වන සමාගමකට පරිභෝජනය කරන්න බැහැ. පරිභෝජනය කළ හැක්කේ ගෘහස්ථ ඒකක වල සිටින තථ්‍ය පුද්ගලයින්ටයි. සමාගම් වල නිපදවෙන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයනු ලැබූ අනුපාතය අනුව ගෘහස්ථ ඒකක වෙත බෙදා හැරෙනවා. ඒ වැටුප්, පාරිතෝෂික, වෙනත් ශ්‍රමික වරප්‍රසාද, ලාභාංශ, පොලී ගෙවීම් ආදිය ලෙසයි. මේ සියලු දේ ශ්‍රමයේ ප්‍රතිලාභ (w) හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ (r) ලෙස වර්ග කළ හැකියි. 

Y ➞ w,r

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සැලකුවොත් මේ බෙදීම සිදු වන්නේ (1-α):α අනුපාතයටයි. α කොටසක් ප්‍රාග්ධනය වෙනුවෙන් හා 1-α කොටසක් ශ්‍රමය වෙනුවෙන්. අනුභූතික දත්ත මත පදනම් වූ ඇස්තමේන්තු අනුව සාමාන්‍යයෙන් මේ බෙදීම ආසන්න ලෙස 2:1 බෙදීමක්.

ව්‍යාපාර ඒකක ඇතුළේ සිදුවන දේ අපි කලින් ලිපි දෙකේ කතා කළානේ. වැටුප් (w) හා පොලී (r) ගෙවීමේ පදනම මත තාවකාලිකව ගෘහස්ථ ඒකක වලින් ලබා ගන්න ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය උපයෝගී කරගෙන පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවා (Y) හදන එකනේ වෙන්නේ. වැටුප් (w) හා පොලී (r) ලෙස ඔය හදන භාණ්ඩ හා සේවා (Y) ඒ විදිහටම දෙන්න පුළුවන්කම තිබුණත් නූතන ධනවාදී ආර්ථිකයක එය ඒ විදිහටම වෙන්නේ නැහැ. රාජකාරි ක්‍රමය වගේ ක්‍රම තියෙද්දීනම් එහෙම වුනා. දැන් වෙන්නේ හදන භාණ්ඩ හා සේවා (Y) මුදල් කරලා මුදල් වලින්  වැටුප් (w) හා පොලී හෝ ලාභාංශ (r) ගෙවන එකයි. භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ ගෘහස්ථ ඒකක වලට. එය සිදු වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී. 

භාණ්ඩ හා සේවා වෙළඳපොළ චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සංකල්පීය ලෙස එක තැනක් සේ සැලකුවත්, මහ පොළොවේ බැලුවොත් තැන් තැන් වල විසිරී තිබෙන ව්‍යාපාරික ස්ථාන රාශියකුයි තියෙන්නේ. ගමේ පොළ, මාළු කඩේ, බාබර් සාප්පුව වගේ විවිධ තැන්. ඔය කොයි තැනක වුනත් වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් වලට පරිවර්තනය වෙන එකයි. ඒ මුදල් එකතු කර ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා එහි තිබෙන අතිරික්ත වටිනාකම වැටුප් (w) හා පොලී (r) ලෙස මුදල් වලින් ගෘහස්ථ ඒකක වලට ගෙවනවා. ඒ වගේම, මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගන්න එකත් කරනවා.

ව්‍යාපාර ඒකක විසින් මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගැනීම සිදු වන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොළේදී. මෙහිදී ගැනුම්කරු වෙන්නේ ව්‍යාපාර ඒකක. විකිණුම්කරු ගෘහස්ථ ඒකකයක්. භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා වෙළඳපොළේදී සිදුවන දෙයෙහි අනෙක් පැත්ත. ප්‍රාග්ධනය හුවමාරු වෙන එක කොටස් වෙළඳපොළක් වගේ තැනකදී සෘජුවම සිදු වෙනවා. බැංකු වැනි අතරමැදියන් හරහාත් සිදු වෙනවා. ශ්‍රමය අලෙවි වන නිශ්චිත තැනක් මහ පොළොවේ නැති වෙන්න පුළුවන්. පුවත්පත් වල රැකියා පුරප්පාඩු දැන්වීම්, සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් හරහා මේ ශ්‍රම වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා කියා කියන්න පුළුවන්.

ව්‍යාපාරික ඒකකයක් ඇතුළේ සිදුවන දේ අපි සෑහෙන තරම් දුරකට කතා කළානේ. ගෘහස්ථ ඒකක ඇතුළේ වෙන්නේ කුමක්ද? ආකෘතිය අනුව ගෘහස්ථ ඒකක ඇතුළේ භාණ්ඩ හා සේවා හදන්නේ නැහැ. ගෘහස්ථ ඒකක විසින් කරන්නේ මුදල් ගෙවා ව්‍යාපාරික ඒකක වලින් භාණ්ඩ හා සේවා මිල දී ගෙන පරිභෝජනය කරන එකයි. ගෘහස්ථ ඒකක වල නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන සාධක. ඒ කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය. ඒ වගේම, ව්‍යාපාරික ඒකක ඇතුළේ නිෂ්පාදන සාධක හදන්නේ නැහැනේ. ව්‍යාපාරික ඒකක විසින් කුලියට ගන්නේ ගෘහස්ථ ඒකක ඇතුළේ හදන ශ්‍රමය හා ප්‍රාග්ධනය.

ව්‍යාපාරික ඒකක වලින් ගෘහස්ථ ඒකක වලට කොපමණ මුදලක් සම්ප්‍රේෂණය වෙනවාද? වැටුප් හා වෙනත් ශ්‍රම ප්‍රතිලාභ ලෙස wL මුදලක් හා පොලී, ලාභාංශ ඇතුළු ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස rK මුදලක් කියා අපි කලින් ඉගෙන ගත්තනේ. යම් නිශ්චිත ගෘහස්ථ ඒකකයකට ඔය දෙකම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්, අන්තිමේදී කොයි විදිහට හෝ ලැබෙන්නේ මුදල් නිසා කොහොම ලැබුණත් වෙනසක් නැහැ. ඒ වගේම, wL + rK = Y කියලාත් අපි ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ අවසාන වශයෙන් නිෂ්පාදන අතිරික්තය සම්පූර්ණයෙන්ම යන්නේ ගෘහස්ථ ඒකක වලට. ඒ සල්ලි වලට වෙන්නේ කුමක්ද?

මේ සල්ලි වලින් කොටසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න වැය වෙනවා. ඉතිරි කොටස ප්‍රාග්ධනය ලෙස ඉතිරි වෙනවා.

Y = wL + rK = C + S

මෙහි C කියන්නේ පරිභෝජනය සඳහා වැය වන කොටස. S කියන්නේ ඉතිරි කිරීම්. මේ S කොටස ගෘහස්ථ ඒකකයක් සතු ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. එවිට ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා වගේම ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලබා ගත හැකි ආදායමද ඉහළ යනවා. 

අපි හිතමු කිසියම් අවස්ථාවක ගෘහස්ථ ඒකකයක් සතුව තිබෙන ප්‍රාග්ධන සංචිතය K0 හා ශ්‍රම සංචිතය L0 කියලා. මේ සංචිත වලින් වැඩක් ගත්තත් නැතත් කාලයත් එක්ක සංචිත ක්ෂය වෙනවා. ශ්‍රම සංචිතය අඩුනොවී තිබෙන මට්ටමේම පවත්වා ගන්න වුවත් දිගටම යම් වියදමක් දරන්න වෙනවා. යම් සම්පත් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ දේවල් වලට. වැඩියෙන් සම්පත් වැය කරලා ශ්‍රම සංචිතය වැඩි කර ගන්නත් පුළුවන්. හැබැයි වියදම් කළ පලියටම ශ්‍රම සංචිතය වැඩි වෙන්නේ නැහැ. මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ සමහර වියදම් නිසා ශ්‍රම සංචිතය අඩු වෙන්නත් පුළුවන්. 

ප්‍රාග්ධන සංචිතයත් ක්ෂය වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය ඉතිරි කිරීම් වලින් පිරෙවුවේ නැත්නම් සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඉතිරි කිරීම් වැඩිනම් සංචිතයත් ටිකෙන් ටික වර්ධනය වෙනවා.

යම් ගෘහස්ථ ඒකකයකට යම් ආරම්භක මොහොතක තිබෙන ප්‍රාග්ධන සංචිතයේ හා ශ්‍රම සංචිතයේ ප්‍රමාණයට වඩා අනාගතය තීරණය කරන්නේ ලැබෙන ආදායම වියදම් කරන්නේ කොහොමද කියන එකයි. K0=0 වුවත්, S ගොඩක් වැඩිනම් එන්න එන්නම K වැඩි වෙනවා. ආරම්භයේදී K0 ගොඩක් විශාල වුනත්, ක්ෂය වන ප්‍රමාණය තරම් ඉතිරි නොකළොත් ප්‍රාග්ධන සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඒ නිසා, දියුණු වූ ධනවාදයක් ඇත්නම් කෙනෙක් උපදින්නේ අත පය හතර පමණක් අරගෙනද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

Wednesday, January 27, 2021

ලාබ බෙදීම


කලින් ලිපිය බොහෝ දෙනෙක් කැමති ආකාරයේ ලිපියක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ ආකෘතියෙන්ම තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. එසේ නොකර, මාක්ස්වාදයේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තිබුණත් න්‍යායාත්මකව නිවැරදියි කියා හිතන අයට එම මතවාදය දරන අයද භක්තිවාදීන් පිරිසක් පමණක්ය කියන කාරණය පැහැදිලි කරන්න අසීරුයි. වැඩිකල් නොගොස් ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙන්නට නියමිත මතවාදී රික්තකය ඇතුළේ අඳුරේ අතපත ගාන්නට සිදුවන විශාල පිරිස අතරින් කිහිප දෙනෙක් හෝ පස්සේ දවසක හරි මේවා කියවයිනේ.

කලින් ලිපියෙන් අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුනා ගත්තනේ. එය එම ශ්‍රිතයේ මූලික මට්ටමේ ඉදිරිපත් කිරීමක්. එහි සීමාවන් තිබෙනවා. දැනට අපි මෙය ඕනෑවට වඩා සංකීර්ණ කර නොගෙන සිටිමු. මෙහිදී අපි කළේ ශ්‍රමය හා ප්‍රාග්ධනය කිසියම් ඵලදායී නිෂ්පාදිතයක් බවට පත් වීමේ ක්‍රියාවලිය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරන එකයි.

K,L ➞ Y 

Y = F(K,L) = AKαLß 

මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය. L කියන්නේ යෙදවූ ශ්‍රම බලකායේ ප්‍රමාණය. α කියන්නේ 0 හා 1 අතර නියතයක්. මෙතෙක් කතාව සමඟ මාක්ස්වාදියෙකුට වුවත් එකඟ වෙන්න අමාරු වෙන්න හේතුවක් නැහැ. ධනවාදය හා මාක්ස්වාදය තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ ඔය නිෂ්පාදිතය සාධාරණ ලෙස බෙදිය යුත්තේ කොහොමද කියන කාරණය සම්බන්ධවයි. මම දැනට මාක්ස්වාදී අදහස පැත්තකින් තියලා ධනවාදී අදහස පැහැදිලි කරන්නම්.

අපි පෙර ලිපියෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ගැනත් කතා කළානේ. මම මෙහි නැවත උපුටා දක්වන්නම්.

Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K  

Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

මේ එක් එක් පාර්ශ්වික අවකල සංගුණකයෙන් අදහස් වෙන්නේ කුමක්ද?

Y/K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

Y/L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

සාධාරණ ලෙස ලාභ බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදී අදහස කුමක්ද? මෙහි අප ලාභ කියන එකෙන් අදහස් කරන්නේ අතිරික්තය කියන එකයි. එහෙමත් නැත්නම් නිෂ්පාදනයේදී එකතු වූ අගය. එයත් ධනවාදීන්ට හා මාක්ස්වාදීන්ට එකඟ විය හැකි අදහසක්.

ධනවාදියෙකු හිතන විදිහට සාධාරණ බෙදීමක් යනු ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වැටුප් ලෙස ශ්‍රමිකයන්ටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලාභාංශ හෝ පොලී ලෙස ප්‍රාග්ධනයේ හිමිකරුවන්ටත් හිමි විය යුතු බවයි. ඒ ඇයි? 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ශ්‍රමිකයා විසින් ලබා දුන් ශ්‍රම දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ශ්‍රමිකයා විසින් එම අමතර ශ්‍රම දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ශ්‍රමිකයාටයි. 

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ප්‍රාග්ධන හිමියා විසින් ලබා දුන් ප්‍රාග්ධන දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ප්‍රාග්ධන හිමියා විසින් එම අමතර ප්‍රාග්ධන දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ප්‍රාග්ධන හිමියාටයි. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට මෙසේ ලියන්න පුළුවන්.

w = Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

r = Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K 

ශ්‍රම ඒකක L ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා වැටුප් ලෙස wL මුදලක් වැය වෙනවා. ප්‍රාග්ධන ඒකක K ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා ලාභාංශ හෝ පොලී අනුපාතික ලෙස rK මුදලක් වැය වෙනවා. සමස්තයක් ලෙස නිෂ්පාදන සාධක වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කරන්න වෙනවද?

wL = (1-α)Y/L. L = (1-α)Y

rK = αY/K. K = αY

wL + rK = (1-α)Y + αY = Y

අන්තිමේදී මුළු අතිරික්තයම ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට බෙදී ගිහින්. ඒ නිසා, ශ්‍රමිකයා හා ප්‍රාග්ධන හිමිකරු විසින් තමතමන්ගේ දායකත්වය වෙනුවෙන් ලැබිය යුතු නියම ප්‍රතිලාභ ලබා ගත්තට පස්සේ තවත් ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. 

හැබැයි මේ විදිහට අතිරික්තය බෙදී යාමෙන් පසු ශ්‍රමිකයාට ලැබෙන මුදල ශ්‍රමිකයාගේ පවුල නඩත්තු කරන්න හෝ හිතේ හැටියට විනෝද වෙන්න ප්‍රමාණවත් මුදලක් වන බවට මෙහි කිසිදු සහතිකයක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක තමන්ට ලැබුණු වැටුප ගැන ශ්‍රමිකයා සතුටු නොවෙන්න පුළුවන්. නමුත්, ශ්‍රමිකයාට ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් දෙන්න සිදු වුනොත්, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යනවා. 

සමාජවාදීන් බොහෝ වෙලාවට කරන්නේ හැම විටම ශ්‍රමිකයාගේ පැත්ත ගන්න එකයි. ප්‍රාග්ධන හිමියාට හෙට්ටු කිරීමේ බලය වැඩිනම් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ශ්‍රමිකයන්ගේ පැත්තෙන් ගන්නා සාමූහික ක්‍රියාමාර්ගයකින් ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න පුළුවන් වගේම එය සාධාරණයි. 

එහෙත්, ශ්‍රමිකයාට පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් වැටුපක් නොලැබීම වැනි කාරණා මත ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න තිබෙන අයිතිය වැළැක්වීමේ සාධාරණත්වයක් නැහැ වගේම ඒ මට්ටමට ගොස් ප්‍රාග්ධන හිමියා පීඩාවට පත් කිරීමෙන් වෙන්නේ රත්තරන් බිත්තර දාන හංස ධේනුවගේ බඩ පැලීම වැනි දෙයක්. 

තරඟකාරී නිදහස් වෙළඳපොලක මේ හෙට්ටු කිරීමේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් වෙනත් තැනක සේවයට ගොස් එය ලබාගත හැකියි. ඒ වගේම, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ  ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් තැනක ආයෝජනය කළ හැකියි. ඒ නිසා, සමතුලිතතාවය නැති වෙන්නේ නැහැ.

Tuesday, January 26, 2021

ශ්‍රමය, ප්‍රාග්ධනය හා ආර්ථික වර්ධනය


ආර්ථික සංවර්ධනය අතින් ලෝකයේ වෙනත් රටවල් එකින් එක ලංකාව පහු කරගෙන ඉදිරියට යාම ගැන, මේ කතාව අර්ධ සත්‍යයක් වුවත්, ලංකාවේ ජීවත්වන හෝ ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන ලංකාවෙන් පිට ජීවත් වන ගොඩක් අයට ලොකු කණස්සල්ලක් තිබෙනවා. කෙළින්ම නොකිවුවත්, මේ කවුරු වුනත් කතා කරන්නේ මේ වන විට සංවර්ධිත රටවල් ලෙස හඳුන්වන බටහිර රටවල් හා තවත් ඇතැම් රටවල් විසින් අත් කරගෙන තිබෙන ආකාරයේ සංවර්ධනයක් ගැනයි. බටහිර සංවර්ධනය කියන යෙදුම එක්ක කාට හෝ ප්‍රශ්න තිබෙනවානම් රටේ වැඩි කෙනෙකුට හිතේ හැටියට කාලා ඇඳලා හොඳ ගෙයක සතුටින් ජීවත් වෙන්න ලැබෙන ආකාරයේ සංවර්ධනයක් කියා අපි කියමු. 

ලංකාවේ කිසියම් ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ වලින් පටන් ගත්තොත්, එජාප හා දැන් එජාපයෙන් කැඩී ගොස් සිටින සජබෙ කොහොමටත් පෙනී සිටියේ ඔය ආකාරයේ සංවර්ධනයක් වෙනුවෙන්. රාජපක්ෂ කඳවුර හා හිතවතුන් ගත්තත් එහෙමයි. නලින් ද සිල්වා වගේ කෙනෙක් ගත්තත් තමන් බර කරත්තෙන් අනුරාධපුර යුගයට යන්න යෝජනා නොකරන බව පැහැදිලිව කියනවා. පොදුවේ ගත්තහම සමාජවාදීන්ගේ අවසන් ඉලක්කයත් ඕකම තමයි. මේ එක් එක් කණ්ඩායම වෙනස් වෙන්නේ ඔවුන්ගේ උපක්‍රම වලින් මිසක් අවසන් ඉලක්කය අනුව නෙමෙයි. වෙනස් වචන යොදාගත්තත්, කවුරු වුනත් කතා කරන්නේ වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීම ගැනයි.

මේ සංවර්ධන කතිකාවේදී ප්‍රාග්ධනය ගැන බොහෝ විට කතා වෙනවා. වේගවත් සංවර්ධනයක් අත් පත් කර ගැනීමේදී ප්‍රාග්ධනයේ භූමිකාව පිළිබඳව ඉහත කී කණ්ඩායම් අතර ලොකු එකඟතාවයක් නැතත්, කවුරුත් වගේ ප්‍රාග්ධනයේ භූමිකාව ඉතාම වැදගත් සේ සලකනවා. ඒ වගේම, ලංකාවට ඉදිරියට යන්න තිබෙන ලොකුම බාධාව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති බව කියලා සෑහෙන තරමේ එකඟත්වයක් තිබෙනවා. එකඟත්වයක් නැත්තේ අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක ගැනයි.

රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධනය අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? 

මේ ගැන මම පෙර කතා කර තිබුණත් බොහෝ විට එසේ කර තිබෙන්නේ විස්තරාත්මකව මිස ගණිත ආකෘති ඇසුරෙන් නෙමෙයි. දැන් මෙහි පළවන ලිපි කියවන අය අතර ගණිතය තරමක් ඉහළට ඉගෙන ගත් අය යම් ප්‍රමාණයක් ඉන්න නිසාත්, ඒ ඇතැම් අය ඉල්ලා තිබෙන නිසාත්, මේ පැහැදිලි කිරීම සඳහා අපි ගණිතමය ආකෘති යොදා ගනිමු. අපේ ඇතැම් නිත්‍ය පාඨකයින්ට මෙය බර වැඩි වෙයි. ඒ තරම් ගණන් ගන්න එපා. අවශ්‍ය නැත්නම් බර වැඩි කොටස් අත ඇරලා කියවන්න.

රටක ආර්ථිකය වර්ධනය වනවාද කියා මනින්න යොදා ගන්නා සම්මත නිර්ණායකය දළ දේශීය නිෂ්පාදිතය. දළ දේශීය නිෂ්පාදිතය මගින් මනින්නේ කිසියම් කාලයක් තුළ රටක නිපදවූ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඕනෑම භාණ්ඩයක් හදන්න යොදා ගන්නා නිෂ්පාදන සාධක සියල්ල අපට ශ්‍රමය හෝ ප්‍රාග්ධනය විදිහට අපට වර්ග කරන්න පුළුවන්. තක්කාලි වගේ ප්‍රාථමික කෘෂි නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන්න අපට ඉඩමක් අවශ්‍යයි. මිනිස් ශ්‍රමය අවශ්‍යයි. උදළු වගේ කෘෂි උපකරණ අවශ්‍යයි. පොහොර, රසායන වගේ දේවල් අපි දැනට අමතක කරමු. මෙහි මිනිස් ශ්‍රමය හැර ඉඩම්, කෘෂි උපකරණ ආදිය අපට ප්‍රාග්ධනය ලෙස සලකන්න පුළුවන්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක ලෙස හඳුන්වන්නේ නිෂ්පාදනය සිදු කර අවසන් වීමෙන් පසුවත් තව දුරටත් මේ දේවල් ඉතිරි වන නිසයි. තක්කාලි හිටවා අස්වැන්න ලැබුණාට පසුව ඉඩම වගේම කෘෂි උපකරණත් තව දුරටත් ඉතිරිව තිබෙනවා. ශ්‍රමය ලබා දුන් ශ්‍රමිකයාත් තව දුරටත් ඉන්නවා. ඉඩම හා කෘෂි උපකරණ නිෂ්පාදනය සඳහා නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ශ්‍රමිකයාගේ ශ්‍රමයත් නැවත නැවත නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්.  

නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඇතැම් ආදාන නිෂ්පාදන කාර්යයේදී ක්ෂය වී යනවා. මේවාට අපි කියන්නේ අමුද්‍රව්‍ය කියලා. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක අතර වෙනස මෙයයි. තක්කාලි සෝස් හදන්න තක්කාලි අවශ්‍යයි. සෝස් නිෂ්පාදනය කර අවසන් වූ පසු තක්කාලි තව දුරටත් තක්කාලි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. යෝගට් හැදූ පසු කිරි තවදුරටත් කිරි ලෙස ඉතිරි වෙන්නේ නැහැ. මේ වගේ නිෂ්පාදිතයකට අපට ද්වීතියික නිෂ්පාදිතයක් කියා කියන්න පුළුවන්. 

ද්වීතියික නිෂ්පාදිතයක් හදද්දී ඒ සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය අවශ්‍ය වනවා වගේම වෙනත් ප්‍රාථමික නිෂ්පාදිතද අවශ්‍ය වෙනවා. ප්‍රාථමික නිෂ්පාදිතයක පිරිවැය වන්නේ ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයයි. ද්වීතියික නිෂ්පාදිතයක පිරිවැයට ඒ සඳහා යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැය වගේම අමුද්‍රව්‍ය ලෙස යොදාගත් ප්‍රාථමික නිෂ්පාදිත නිපදවීමට යොදාගත් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ පිරිවැයද ඇතුළත්. අවසාන වශයෙන් ප්‍රාථමික වේවා, ද්වීතියක වේවා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය පමණයි. අපට මේ සම්බන්ධය මේ විදිහට ලියන්න පුළුවන්.

K,L ➞ Y 

Y = F(K,L)

මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධනය. L කියන්නේ යෙදවූ ශ්‍රමය. මෙහිදී ශ්‍රමය යන වචනය භාවිතා වෙන්නේ ශ්‍රමිකයින් ප්‍රමාණය වැනි අදහසකින් මිසක් සිදු කළ කාර්යයය කියන අදහසින් නෙමෙයි. F(.) කියා කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතය බවට පරිවර්තනය කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වරූපය. උදාහරණයක් විදිහට, K = 10, L = 20 නම් Y කීයද කියා තීරණය කරන සම්බන්ධතාවයේ ස්වභාවය. එම සම්බන්ධතාවය තීරණය වන්නේ පවතින තාක්ෂනය මතයි. එවැනි කවර හෝ සම්බන්ධතාවයක් තිබෙන බව මිස එය කුමක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ.

මේ දක්වා අපි බරපතල උපකල්පන කිසිවක් කරලා නැහැ. එහෙත්, මෙතනින් ඉදිරියට යාමේදී F(K,L) කියන සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳව කිසියම් ගණිතමය ආකෘතියක් යොදා ගැනීම විශ්ලේෂණය පහසු කරනවා. මේ සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා යොදා ගන්නා සරල ගණිතමය ශ්‍රිතයක් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වෙනවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

දැනට අපි මෙහි A නියතයක් ලෙස සලකමු. ඒ වගේම, α හා ß ද නියතයන්. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. (ඔබ මෙය කියවන්නේ මුල් ලිපිය නැවත පළ කර ඇති තැනකින්නම් සමීකරණ වල දර්ශක වන α හා ß නිවැරදිව පෙන්නුම් කරනවාද කියා පරීක්ෂා කර බලන්න.)

මේ ශ්‍රිතයේ භාවිතය උදාහරණයකින් පැහැදිලි කළොත්, ඇඟලුම් කම්හලක ශ්‍රමිකයන් ගණන L ලෙසත් යෙදවූ ප්‍රාග්ධනය K ලෙසත් සැලකුවොත්, වසරකදී නිපදවිය හැකි ඇඟලුම් ප්‍රමාණය වන Y මේ සම්බන්ධතාවය අනුව හොයා ගන්න පුළුවන්. ඒ සඳහා  A, α හා ß කියන අගයයන්ද දැන සිටිය යුතුයි. දැනට අපි මේ අගයයන් මොනවාද කියන එක ගැන වද නොවී ඕනෑම අගයක් වෙන්න ඉඩ තියමු. 

දැන් අපි ඉහත කී ඇඟලුම් කම්හල වැනිම තවත් ඇඟලුම් කම්හලක් විවෘත කළොත් ප්‍රතිඵලය කුමක්ද? ඒ කියන්නේ, අලුත් කම්හලේත් පළමු කම්හලේ සිටිනවාට සමාන සේවක පිරිසක්, මැෂින් ප්‍රමාණයක් ආදී වශයෙන් කිසිම වෙනසක් නැතුව. එහෙමනම්, අලුත් කම්හලෙන්ද මුල් කම්හලේ තරමටම ඇඟලුම් ප්‍රමාණයක් වසරකදී නිපදවන්න පුළුවන් විය යුතුයි. ඒ කියන්නේ, කම්හල් දෙකම සැලකුවහම K සහ L යන දෙකම දෙගුණ වී ඇති නිසා Yද දෙගුණ විය යුතුයි.

ඉහත ශ්‍රිතයට නැවත ආවොත්, K සහ L වෙනුවට 2K සහ 2L ආදේශ කළොත් ප්‍රතිඵලය 2Y විය යුතුයි. එහෙම වෙනවද? දැන් අපට පොඩ්ඩක් ගණිතයේ දර්ශක පිළිබඳ දැනුම උපයෝගී කර ගන්න වෙනවා. පාසැලේ පහළ පන්තියක දැනුමක්නේ.

A(2K)α(2L)ß = (2)α+ßAKαLß = (2)α+ß Y 

ඉහත ප්‍රතිඵලය අනුව පෙනෙන පරිදි,  K සහ L යන දෙකම දෙගුණ වූ විට Y වල අගය (2)α+ß ගුණයකින් වැඩි වෙනවා. 

මෙම අගය හරියටම දෙගුණයක් වෙන්නේ α+ß =1 වුනොත් පමණයි. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ඉහත උපකල්පනය සමඟ ගැලපෙන පරිදි α+ß =1 ලෙස සලකනවා. ඒ කියන්නේ, ශ්‍රමය හා ප්‍රාග්ධනය යන දෙකම කිසියම් නියත අනුපාතයකින් වෙනස් කළොත් නිෂ්පාදිතයද එම අනුපාතයෙන්ම ඉහළ යනවා. මේ අනුව අපට අවශ්‍යනම්, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය පහත ආකාරයෙන් ලියන්නත් පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

ඉහත ශ්‍රිතයේ පරාමිතියක් වන α අගය 0 හා 1 අතර ඕනෑම අගයක් විය හැකියි. සෘණ අගයක් හෝ 1ට වැඩි අගයක් විය නොහැකියි.

උදාහරණයක් විදිහට α = 0.3 කියා අපි හිතමු. K සහ L යන දෙකම දෙගුණ වුනොත් Y ද දෙගුණ වන බව අප දැනටමත් දන්නවා. එසේ නොවී K පමණක් දෙගුණ වුනොත් වෙන්නේ කුමක්ද?

Y = F(K,L) = A(2K)αL1-α  = (2)αY

α = 0.3 යන උපකල්පනය යටතේ (2)α = 1.23 නිසා, K දෙගුණ වෙද්දී, ඒ කියන්නේ 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 23%කින් පමණයි.

මේ විදිහටම අපට L පමණක් දෙගුණ වුනොත් ප්‍රතිඵලයත් හොයා ගන්න පුළුවන්.

Y = F(K,L) = AKα(2L)1-α  = (2)1-αY

α = 0.3 යන උපකල්පනය යටතේ 1- α = 0.7 යි. ඒ නිසා, (2)1-α = 1.62 වෙනවා. ඒ කියන්නේ L 100%කින් වැඩි වෙද්දී, Y වැඩි වෙන්නේ 62%කින් පමණයි.

මෙය එක් උදාහරණයක් වුවත්, මේ උදාහරණයෙන් රටක නිෂ්පාදිතය (Y) සඳහා ශ්‍රම බලකායේ (L) හා ප්‍රාග්ධන සංචිතයේ (K) බලපෑම පිළිබඳව කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් උපකල්පනය කෙරෙන වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කරනවා. 

1. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් K වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව α>0 වීමයි.
2. කොපමණ සුළු ප්‍රමාණයකින් වුවත් L වැඩි කළහොත් Y වැඩි වෙනවා. එයට හේතුව ß = 1-α > 0 වීමයි. එනම්, α < 1 වීමයි.
3. L සහ K දෙකම නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y ද එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. එයට හේතුව α+ß =1 වීමයි.
4. L හෝ K යන දෙකෙන් එකක් නිශ්චිත අනුපාතයකින් වැඩි කළොත් Y වැනි වන නමුත් එසේ වැඩි වන්නේ ඊට වඩා අඩු අනුපාතයකින්. එයට හේතුව 0< α <1 වීමයි. ඒ වගේම වැඩි කරන ප්‍රමාණය වැඩි වෙද්දී ලැබෙන ප්‍රතිලාභ එන්න එන්නම අඩු වෙනවා. 

මේ කරුණ පැහැදිලි කර ගැනීමට අපි α = 0.5 ලෙස ගනිමු. 

- 20.5 = 1.41 නිසා K=K සිට K=2K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = Y සිට Y = 1.41Y දක්වා වැඩි වෙනවා.  

- 30.5 = 1.73 නිසා K=2K සිට K=3K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.41Y සිට Y = 1.73Y දක්වා වැඩි වෙනවා. 

- 40.5 = 2 නිසා K=3K සිට K=4K දක්වා ප්‍රාග්ධනය වැඩි කළොත් නිෂ්පාදිතය Y = 1.73Y සිට Y = 2Y දක්වා වැඩි වෙනවා. 

පළමු අවස්ථාවේදී Y අගය 41%කින් වැඩි වූ නමුත් දෙවන අවස්ථාවේදී වැඩි වුනේ 173% - 141% = 32%කින් පමණයි. තෙවන අවස්ථාවේදී වැඩිවුණේ තවත් අඩුවෙන්. එනම්, 200% - 173% = 27%කින් පමණයි. නමුත්, අවස්ථා තුනේදීම අප යෙදවූ ප්‍රාග්ධනය සමානයි.

තවත් විදිහකින් කිවුවොත් Y දෙගුණ කරන්න K හතර ගුණයකින් වැඩි කළ යුතුයි. Y තුන් ගුණයක් කරන්න K නව ගුණයකින් වැඩි කළ යුතුයි. Y හතර ගුණයක් කරන්න K දහසය ගුණයකින් වැඩි කළ යුතුයි. ඒ කියන්නේ Y වැඩි වන තරමට ප්‍රාග්ධනය යොදවා Y තව දුරටත් වැඩි කරන එක එන්න එන්නම අමාරු වෙනවා. මේ කරුණ L වලටත් අදාළයි. 

ගණිතය ඇසුරෙන් තේරුම් ගන්න කැමති අයට ඉහත විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ඇසුරෙන්ද මේ කරුණ පෙන්වා දෙන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α 

Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K  

Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

එක් එක් නිෂ්පාදන සාධකය හා එම නිෂ්පාදන සාධක වල පාර්ශ්වීය අවකල සංගුණක අතර තියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා K හෝ L වැඩි කරන තරමට ලැබෙන ප්‍රතිලාභ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔහොම වැඩි වෙලා තව දුරටත් K හෝ L වැඩි කරලා Y ඉහළ දැමිය නොහැකි ස්ථායී තත්ත්වයකට එනවා. ඊට පස්සේ  K හෝ L වැඩි වුනා කියලා Y වැඩි වෙන්නේ නැහැ.

හැබැයි මතක තියා ගන්න මේ වැඩේ වෙන්නේ K හෝ L යන දෙකෙන් එකක් පමණක් වැඩි කළොත්. ඔය සාධක දෙකම එකම අනුපාතයෙන් කොයි තරම් වැඩි කළත්, Y එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. ගණිතය පැත්තකින් තිබ්බොත් මෙතැන කියැවෙන කතාව වෙන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය කියන සාධක දෙකටම නිසි අවධානය යොමු නොකර ඔය දෙකෙන් එකකට අනවශ්‍ය තරමේ වැඩි අවධානයක් යොමු කළ විට ආර්ථික වර්ධනය බාල වෙනවා එකයි. 

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නැති ශ්‍රමය වගේම ප්‍රමාණවත් ශ්‍රමයක් නැති ප්‍රාග්ධනයත් අකාර්යක්ෂමයි. ඒ නිසා, මේ දෙක අතර ප්‍රසස්ථ සමතුලනයක් හැම විටම පවත්වා ගන්න අවශ්‍යයි. රාජ්‍ය මැදිහත්වීම් නිසා බොහෝ විට වෙන්නේ මේ සමතුලනය නැති වෙන එකයි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසාත් ඔය වගේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඊට කලින් අපි වෙනත් උදාහරණයක් ගනිමු. මැද පෙරදිග වෙලා තිබෙන්නේ මෙහි අනෙක් පැත්ත. තෙල් නිධි නිසා කෙටි කාලයක් තුළ ප්‍රාග්ධන සංචිත ඉහළ ගියත් ඒ හා ගැලපිය හැකි මට්ටමට මිනිස් සම්පත් ඉහළ ගිහින් නැහැ. ඒ නිසා, ආර්ථික වර්ධනය කාර්යක්ෂම මට්ටමක පවත්වා ගන්නනම් මිනිස් ශ්‍රමය ආනයනය කරන්න වෙනවා. 

ලංකාවේ වෙලා තියෙන්නේ මෙහි අනෙක් පැත්ත. නිදහස් අධ්‍යාපන හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති තනිව ගත්තොත් සාධනීයයි. එහෙත්, මිනිස් සම්පත් වෙනුවෙන් ආයෝජන ඉහළ දමන හැම විටකම ප්‍රාග්ධන ආයෝජන සීමා වීමක් වෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ සිදු වන විට රටේ ශ්‍රම බලකායට සරිලන රැකියා නැතිව යනවා. මූලික ප්‍රශ්නය එලෙසම තියද්දී රජයේ රැකියා දුන්නා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා පමණයි. මේ වගේ තත්ත්වයක් යටතේ සංක්‍රමණය නොවැලැක්විය හැකි දෙයක්. සංක්‍රමණය වගේම විරැකියාව විසින්ද ලබාගත හැකිව තිබුණු ආර්ථික වර්ධනය සීමා කරනු ලබන නමුත් ගැටළුව පසුපස තිබෙන මූලික ප්‍රශ්නය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රසස්ථ සමතුලනය නැති කර දමනු ලැබ තිබීමයි. 

රාජ්‍ය මැදිහත්වීම් නිසා හෝ වෙනත් ස්වභාවික හේතුවක් නිසා ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සමතුලනය බිඳ වැටුණු පසුව කිසියම් ආකාරකින් එම සමතුලනය නැවත හැදෙනවා. ලංකාව ගත්තොත් රටේ ශ්‍රම බලකාය රටින් පිටතට විතැන් වීම හරහා L අඩු වී, සංක්‍රමනික ප්‍රේෂණ හරහා K වැඩි වෙනවා. ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ සංචරණයට බාධා නැත්නම් ප්‍රසස්ථ සමතුලනය මේ ක්‍රමයට හෝ ඇති වන තුරු මේ වැඩේ වෙනවා. අදට ඇති!

Saturday, January 23, 2021

දැනුම කුමක් අරභයාද?



අපේ වියුණුව ෆේස්බුක් සමාගම විසින් ස්පෑම් ගණයට දමා වාරණය කර තිබෙන්නේ ෆේස්බුක් පරිශීලකයින් විශාල පිරිසක් විසින් මෙහි අපහාසාත්මක දේ පළවන බව වාර්තා කිරීම මත පදනම්වයි. ෆේස්බුක් සමාගම පැත්තෙන් මෙම තීරණය ගත්තේ ඇල්ගොරිදමයක් විසින් විය හැකියි. බොහෝ විට මේ වාර්තා කිරීම් සංවිධානාත්මකව සිදු කෙරුණු දෙයක් විය හැකියි. එය කළේ කවුරු වුවත්, එයින් පෙනෙන්නේ අප ලියන දෙයින් සැලකිය යුතු බලපෑමක් වෙනවා කියන එකයි. අප විසින් අපේ වියුණුව හරහා බොරු සමාජගත කරන්නේ නැති නිසා, එසේ අප ලියන දෙයින් කාට හෝ රිදෙනවානම් ඒ කවර හෝ ආකාරයක බොරු සමාජගත කරන පිරිසකටයි. අප මෙහි බොරු යන වචනය භාවිතා කරන්නේ තමන්ට තහවුරු කළ නොහැකි හෝ නිවැරදි බව පෙන්වා දිය නොහැකි යන අදහසින්.

මෙසේ අපේ වියුණුවට පැමිණිය හැකි වෙබ් ලිපිනය වත්පොතේ වාරණය වී ඇතත්, අපේ වත්පොත් පිටු වාරණය වී නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඕනෑම ලිපියක් මුළුමනින්ම එහි පළ කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. භාවිතා කළ හැකි විකල්ප තාක්ෂනික උපක්‍රමද තිබෙනවා. එහෙත්, විශේෂ අවශ්‍යතාවයක් මතු නොවුවහොත් අප වත්පොත පෙර ආකාරයෙන් භාවිතා කිරීම කරා යොමු වන්නේ නැහැ. අපහාස කියන දේ සාපේක්ෂ නිසා, දැනට අප මෙය සැලසුම් සහගත වැඩක්ද යන්න හෙවීමට බර නොතබා "පාඨක මතයට" ගරු කරනවා.

මෙහි ලියන ලිපි හැම එකක්ම විශාල පිරිසක් කරා ගෙන යාම අපේ ඉලක්කයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ මෙහි ලියන දේ කියවනු දකින්නට අප කැමති සීමිත පිරිසක් වෙත මේ ලිපි යනු දකින්නයි. වත්පොත හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඇතැම් ලිපි විශාල පිරිසක් අතර ප්‍රචාරය වන්නට ඉඩ හැරීමේ අරමුණ වන්නේ පෙර කී කුලකයට අයත් සීමිත පිරිස් ආකර්ෂණය කර ගැනීමයි. මේ සීමිත පිරිස යනු අප සමඟ අදහස් අතින් එකඟ වන අය නෙමෙයි. එහෙත්, අප ලියන දේද ඇතුළු ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි නොගන්නා, තමන්ගේ මත නිවැරදි නොවන බව පෙනෙන විට ඒ බව පිළිගැනීමට සූදානම් අයයි. ඔවුන් එසේ කළ යුත්තේ ඔවුන් වෙනුවෙන්ම මිස මා වෙනුවෙන් නෙමෙයි. 

අවවාද නොතකා වැරදි පාරක යාමෙන් අමාරුවේ වැටෙන්නේ එසේ යන අය මිස අවවාද දෙන්නා නෙමෙයි. මේ බව දන්නා නිසා, මා හැම විටම උත්සාහ කරන්නේ මගේ ලෝකය වඩා නිරවුල් කර ගැනීමටයි. මේ වියුණුව හරහා මට ලැබෙන ලොකුම ප්‍රයෝජනය පෞද්ගලිකව මට ඉගෙන ගන්නට ඉඩ ලැබීමයි. ඇතැම් විට මා ඉගෙන ගන්නේ ප්‍රශ්න අසන අය නිසා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන හැම විටම මගේ අදහස් වඩා නිරවුල් වෙනවා. ඇතැම් විට මා ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය නිසා. මා නොදන්නා තොරතුරු වෙනත් අය විසින් ප්‍රතිචාර සේ ඉදිරිපත් කරන අවස්ථාද දුලබ නැහැ. 

පොදු වශයෙන් ගත් විට බොහෝ දෙනෙක් මා සමඟ එකඟ නොවන තැනක් වන්නේ "ඇමරිකන් ක්‍රමය" අගය කිරීමයි. ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් කියා කියන්න පුළුවන්. ඇමරිකානු ක්‍රමයේ මේ සාධක තුනම මා අගය කරනවා. ඇමරිකාව මේ තැනට පැමිණ තිබෙන්නේ මේ සාධක තුන නිසා. මේ තුනටම අද වෙද්දී ලෝක ආධිපත්‍යයක් තිබෙනවා. එය පරිණාමය තුළ වෙනත් විකල්ප සමඟ තරඟ කර උචිතතමයා ඉතිරිවීම හරහා සිදු වූ දෙයක්. ධනවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට හෝ බටහිර විද්‍යාවට මේ වන විට වඩා හොඳ විකල්ප නැහැ.

බටහිර විද්‍යාව ලෝකයේ තිබෙන එකම දැනුම් පද්ධතිය නොවූවත් එය ගොඩ නැගී තිබෙන්නේ වෙනත් දැනුම් පද්ධති වල ඇති සාධනීය අංග පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ආකාරයකින්. ධනවාදය තුළද මේ ලක්ෂණය තිබෙනවා. ආර්ථික සෞභාග්‍යය නොවන වෙනත් දෙයක් සමාජ අරමුණක් වීමෙන් පසුව එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවාදය විනාශ කළ යුතු වන්නේ නැහැ. ධනවාදයට අවශ්‍ය පරිදි වෙනස් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහසුවෙන් ඒකාධිපතිත්වයක් ඇති විය හැකි වුවත් ඒකාධිපතිත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ විශාල මිලක් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා, ඒකාධිපතිත්වයක් තුළ තිබෙන කවර හෝ සාධනීය අංගයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනීම තාර්කික තීරණයක් නෙමෙයි.

ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් වුවත් ප්ලේටෝනික අර්ථයකින් ඔය තුනෙන් එකක්වත් ඇමරිකාවේ නැහැ. ඒ වගේම, මේ තුනෙන් එකක්වත් ප්ලේටෝනික පරිපූර්ණත්වයන් නෙමෙයි. අපට ඇමරිකානු ක්‍රමය හෝ ඉහත කී ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව යන සංකල්ප විවේචනය කරන්නට අවශ්‍යනම් එය කරන එක අසීරු දෙයක් නෙමෙයි. එසේ කළහොත්, මෙය කියවන බොහෝ දෙනෙක් අප සමඟ එකඟ වෙයි. නමුත්, එවැනි කාර්යයකින් සිදු වන කිසිදු යහපතක් නැහැ. 

සිංහලෙන් ලියන මේ වියුණුවේ පළ වන ලිපි කියවන කිසිවෙකුට ඇමරිකානු ක්‍රමය දශමයකින් හෝ වෙනස් කරන්න බැහැ. එය කළ හැක්කේ ඇමරිකාවේ ජීවත්වන තරුණ පරපුරටයි. ඔවුන්ට කතා කරද්දී ඇමරිකානු ක්‍රමයේ වෙනස් විය යුතු තැන් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා ගැන මා කතා කරනවා. පරිණාමික ක්‍රියාවලිය තුළ ඇමරිකාවට වඩා ගවු ගණනක් පසුපසින් ඉන්න සමාජයක් මුලින් දැන ගත යුත්තේ ඇමරිකාව අද සිටින තැනට පැමිණි ආකාරය මිසක්, ඇමරිකාව අද අත්පත් කර ගෙන තිබෙන ප්‍රගතිය කඩා වැටිය හැක්කේ කොහොමද කියන එක නෙමෙයි.

ලෝකය ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. එය සිදුවන්නේ සීමිත පිරිසකගේ දායකත්වයෙන් මිසක් හැම දෙනෙකුගේම දායකත්වයෙන් නෙමෙයි. පරිණාමික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එහි බලයට මිස සාධාරණත්වයට  ප්‍රමුඛත්වය ලැබී නැහැ. ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. මෙහිදී අප ලෙස සඳහන් කළේ පොදුවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ භෞතික සිරුර හා ඔවුන් සිතන පතන ආකාරයයි. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්. 

ඇතැම් රටවල් සිටින්නේ රටවල් ලෙසින්ම මේ කණ්ඩායමෙන් බැහැරවයි. පරිණාමික ක්‍රියාවලියක් තුළ පරිසරයට උචිත පරිදි වෙනස් විය නොහැකි ජීවීන් ලෝකයෙන් අතුරුදහන්ව යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ආර්ථික ජාතිකවාද හා බද්ධ වී ඇති සංස්කෘතික ජාතිකවාද වලින් කෙරෙන්නේ අනුචිත සංස්කෘතික චර්යාවන් වැඩි සංස්කෘතීන් ඒවායේ ඇතැම් සාධනීය අංගද සමඟ මුළුමනින්ම මිහිමතින් තුරන්ව යාමට ඉඩ සැලැස්වීමයි.

මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන දන්නවා. කතා කරනවා. වසර පහමාරකට පෙර ඔහු ගැන මෙම වියුණුව හරහා සිංහල පාඨකයින්ට හඳුන්වා දෙද්දී සිංහලෙන් ලියවුනු කිසිදු ලියැවිල්ලක ඔහු ගැන කතා කර තිබුණු බවක් මා දන්නේ නැහැ.

හරාරිට අනුව මිනිසා අද සිටින තැනට පැමිණෙන්නට හේතු වී තිබෙන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර සිදු වුනු වාසිදායක ජාන විකෘතියක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වුනා. හරාරි විසින් චින්තන විප්ලවය සේ හඳුන්වන මේ සිදුවීමෙන් අනතුරුව අහම්බෙන් ජාන විකෘතියක් සිදු වන තුරු වසර දහස් ගණනක් බලා නොසිට පරිසරයට උචිත පරිදි සංස්කෘතික ලෙස පරිණාමය වන්නට මිනිස්සුන්ට හැකි වුනා. හරාරි විසින් ලියා තිබෙන හැම දෙයක්ම ශුද්ධ වූ ලියැවිලි ලෙස මා භාර ගන්නේ නැතත් මිනිස් දියුණුව හා වියුක්ත ලෙස සිතීමේ හැකියාව අතර සම්බන්ධය අපට නොසලකා හැරිය නොහැකි ඉතා වැදගත් සම්බන්ධයක්.

අප යමක් දන්නේ කොහොමද? මිනිස් මැෂිම ක්‍රියා කරන්නේ කොහොමද?

අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි. වියුක්ත ලෙස නොසිතා එවැන්නක් කෙසේවත් කළ නොහැකියි.

- සත්තු වත්තේ ඝනකම වීදුරුවකින් වෙන්ව සිටින වලහෙක් ක්ෂණිකව වීදුරුවේ අනික් පැත්තේ සිටින අප වෙත පැන්නොත් එක වරම අපි බිය වී පස්සට පනින්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී වලසා විසින් පහර දෙනු ලැබ එයින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. මේ උදාහරණය ලංකාවට ගැලපෙන්නේ නැත්නම් හදිසියේ වත්තේ දකින සර්පයෙක් ගැන හිතන්න.

- අහම්බෙන් විරුද්ධ ලිංගිකයෙකු දුටු විට ආකර්ශනයක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ දකින පුද්ගලයා සමඟ එකතු වී සරු ජනිතයෙකු බිහි කිරීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

- අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

ඇල්ගොරිදම් හරහා පැමිණෙන මේ තීරණ බොහෝ විට නිවැරදි නැහැ. වසර දස දහස් ගණනක දත්ත යොදාගෙන පරිණාමික ක්‍රියාවලිය විසින් සුසර කර තිබෙන මේ ඇල්ගොරිදම් අද පරිසරයට ගැලපෙන පරිදි යාවත්කාලීන වී නැහැ. පරිණාමික ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවලියක්. පරිණාමික ක්‍රියාවලිය තුළ සෑහෙන ප්‍රමාණයකට අනුචිත ඉතිරි වීම් වන අප සාර්ථක ලෙස මිහිමත ඉතිරි වී සිටින්නේ සංස්කෘතික පරිණාමය හරහා අපේ ජීවවිද්‍යාත්මක ඇල්ගොරිදම් වල වැරදි තීරණ නිවැරදි කර ගන්නට අප සමත්ව තිබෙන නිසයි. මෙයට උපකාරී වී තිබෙන්නේ මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමයි.

අපගේ ජාන හරහා අපට ලැබෙන මූලික මට්ටමේ දැනුමෙන් පසුව අපට ලැබෙන ඊළඟ මට්ටමේ දැනුම් වන්නේ අපේ පංචේන්ද්‍රියයන් හරහා ලබා ගන්නා අනුභූතික දැනුම්. අනුභූතික අත්දැකීම් දැනුම් බවට පත් වන්නේ එම අත්දැකීම් මතකයේ ගබඩා කර ගැනීම හරහායි. පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට මූලික මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේ අපේ ජාන වල ගබඩා වී තිබෙන අවුරුදු මිලියන ගණනක් පැරණි දැනුමයි. ඒ දැනුම ගස්වැල් වලට පවා තිබෙන දැනුමක්. එහෙත්, මෙසේ පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා ජානමය නොවන මතකයක ගබඩා කර තබා ගැනීම මිනිසුන්ට හා ඇතැම් සතුන්ට පමණක් කළ හැකි දෙයක්. සිතීමේ ක්‍රියාවලියේ මූලිකම අදියරක් සේ හැඳින්විය හැක්කේ මේ ආකාරයෙන් ගබඩා කර ගන්නා අනුභූතික අත්දැකීම් නැවත ස්මරණය කිරීම හා පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රයෝජනයට ගැනීමයි. 

මතකයේ ගබඩා කර ගත හැක්කේ එක් නිමේෂයක ලබන අනුභූතික අත්දැකීමක්. දඩයමේ යද්දී පළමු වරට හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම මතකයේ ගබඩා කර ගන්නා අයෙක් එම ගස පිළිබඳ අනුභූතික අත්දැකීමක් පංචේන්ද්‍රියයන් හරහා දෙවන වරට ලැබෙන විට වත්මන් නිමේෂය හා මතකයේ ගබඩා වී තිබෙන නිමේෂය අතර සාම්‍යයක් දකිනවා. ඒ සමඟ එම ගස පිළිබඳ අදහස වියුක්ත අදහසක් බවට පත් වෙනවා. මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්න වටය අවසානයේදී තිස්ස රජු විසින් තමන්ගේ දෑස් ඉදිරිපස පෙනෙන අඹ ගස පිළිබඳ වියුක්ත අදහසක් ඇති කර ගන්නේ මේ ආකාරයටයි. මේ මට්ටමේ බුද්ධියක් ඇතැම් සතුන්ටද තිබෙනවා. එය අනුභූතික අත්දැකීමක් ඉක්මවා යන දැනුමක්. එතරම් සංකීර්ණ නැති පරිගණක මෘදුකාංගයකටද මේ දෙයම කළ හැකියි. 

දඩයමේ යද්දී හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම කෙටි කාලයක් තුළ විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, මේ වියුක්ත සංකල්පය නිරූපණය වන චිත්තරූපයක් මවා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඇතැම් අනුභූතික අත්දැකීම් එලෙසම අත් විඳිය හැක්කේ එක් නිමේෂයකදී පමණයි. දුවන මුවෙක් හා තණ කණ මුවෙක් වගේ. ස්ථිතික චිත්තරූපයක් සේ වරකදී සිතින් මවා ගත හැක්කේ එක්කෝ දුවන මුවෙක්. නැත්නම් තණ කණ මුවෙක් වගේ. දුවන මුවෙක් හා තණ කන මුවෙක් එකම සතෙක් ලෙස දැකීම තුළ තිබෙන්නේ වියුක්ත දැනුමක්.

මුවා යන වියුක්ත සංකල්පය හැදෙන්නේ දුවන හෝ තණ කන, එකිනෙකාගෙන් වෙනස්ව හඳුනාගත හැකි මුවන් ගණනාවක් පිළිබඳ අනුභූතික අත්දැකීම් මත පදනම්වයි. ඒ මුවා, එක් නිමේෂයක හෝ අනුභූතික ලෙස දැකිය නොහැකි මනසේ පමණක් සිටින මුවෙක්. මෙවැනි වියුක්ත සංකල්පයක වටිනාකම වන්නේ එම වියුක්ත සංකල්පය ඇසුරෙන් කිසිදා නොදුටු මුවන් පිළිබඳවද පරිකල්පනය කරන්නට හැකි වීමයි. ඒ සමඟම, පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන අත්දැකීම් හා ඒ මත පදනම් වූ දැනුම් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසාට ලැබෙනවා. මේ මට්ටමට යාමද ඇතැම් සතුන්ට මෙන්ම, පරිගණකයටද කළ හැකි දෙයක්. 

බොහෝ වියුක්ත සංකල්ප සමඟ යම් ආකාරයක පරිපූර්ණත්වයක් සම්බන්ධ වී තිබෙනවා. මුවෙක්නම් කකුල් හතරක් තිබෙන සතෙක්. එහෙමනම්, කකුල් තුනකින් පැන පැන යන, කකුලක් අහිමි වූ මුවෙක් මුවෙක් නෙමෙයිද? 

කකුල් තුනේ මුවාත් මුවෙක් තමයි. ඒ මුවාට පරිපූර්ණ වියුක්ත මුවාට සාපේක්ෂව අඩුවක් තිබෙනවා. එහෙත්, ඒ මුවාත් මුවෙක්. එසේ වුනා කියා මුවා කියන සංකල්පය කකුල් තුනේ මුවෙක් ලෙස වෙනස් වන්නේ නැහැ. බොහෝ විට ඉන්ද්‍රියයන් හරහා නිරීක්ෂණය කළ හැක්කේ වියුක්ත සංකල්පයේ අසම්පූර්ණ ස්වරූපයක්. 


එතකොට කකුල් හයේ මුවෙක් දකින්න ලැබුණොත් ඒ ගැන කියන්න වෙන්නේ කුමක්ද? ගණිතය අනුවනම්, කකුල් හයේ මුවාගේ කිසිම අඩුවක් නැහැ. වැඩියෙනුත් කකුල් දෙකක් තිබෙනවා. නමුත්, සංකල්පීය ලෙස බැලුවොත් මේ වැඩිපුර කකුල් දෙක කියන්නෙත් අඩුවක්. එය අඩුවක් වන්නේ පරිපූර්ණත්වය අර්ථ දක්වා තිබෙන්නේ කකුල් හතරේ මුවෙක් ලෙස නිසයි. 

අවශ්‍යනම් කෙනෙකුට වියුක්ත මුවා කකුල් හයේ මුවෙක් විදිහට අර්ථ දක්වන්නත් පුළුවන්. එසේ අර්ථදැක්වීමෙන් පසුව, සියලුම කකුල් හතරේ මුවන් අඩුවක් ඇති මුවන් බවට පත් වෙනවා. අවශ්‍යනම් කකුල් අටේ මුවෙක් ගැන වුවත් මිනිහෙකුට පරිකල්පනය කරන්න පුළුවන්. කකුල් අටේ මුවෙක් කිසිම දිනක අනුභූතික අත්දැකීමක් ලෙස දැක නොතිබීම මෙයට බාධාවක් නෙමෙයි. ඒ අනුව, කකුල් හයේ මුවෙක් වුවත් අඩුවක් සහිත මුවෙක් බවට පත් වෙනවා. 

ඔය විදිහටම නයෙකුගේ පරිපූර්ණ ස්වරූපය පෙණ හතක් තිබෙන නයෙක් වෙන්න පුළුවන්. රජෙකුගේ පරිපූර්ණ ස්වරූපය හිස් දහයක් තිබෙන ස්වරූපයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පරිකල්පනය කරන්න අනුභූතික අත්දැකීම් අවශ්‍ය නැහැ. එකම ගහ හෝ එකම සතා දවසෙන් දවස වෙනස් වන ආකාරය අනුභූතික අත්දැකීමක් ලෙස අත්විඳින කෙනෙකුට අනුභූතික අත්දැකීමක්ව නැති ආකාරයකින් යමක් වෙනස් වීමේ හැකියාව ගැනද පරිකල්පනය කිරීමට පෙළඹුමක් ඇතිවීම හිතාගන්න අමාරු කරුණක් නෙමෙයි.

වියුක්ත දැනුම්, වියුක්ත සංකල්ප අවශ්‍ය ඇයි? වියුක්ත නොවන දැනුම් අවශ්‍ය වන හේතුවටම තමයි. කවර හෝ දැනුමක් අවශ්‍ය වන්නේ පැවැත්ම හා අදාළ අවිනිශ්චිතතා අවම කර ගැනීමටයි. එය ජීව විද්‍යාත්මක පෙළඹුමක්. දැනුම ලබා ගැනීමේ වෙනත් අරමුණක් නැහැ. අවිනිශ්චිතතා අවම කිරීම හරහා පැවැත්ම සහතික කළ හැකි ආකාරයේ වියුක්ත දැනුමකින් සමාජයකට ලොකු පිම්මක් පනින්න පුළුවන්.

වියුක්තව හිතන එක ඕනෑම කෙනෙකුට කළ හැකි වගේම, නිතරම කරන සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ වියුක්තව හිතන්නේ මොනවාද කියන එකයි. බොහෝ දෙනෙක්ට වියුක්තව හිතන්න පුළුවන් වුනත් වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් හිතන්න බැහැ. 

වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් ගැන හිතන්න බැරිකම එක් රටකට හෝ සංස්කෘතියකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව වැනි බටහිර රටක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. වියුක්ත ලෙස සිතා ඒ ඇසුරෙන් ප්‍රයෝජනවත් ආකාරයක අලුත් දැනුමක් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෝකය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සුළු පිරිසයි. එවැනි වැඩි දෙනෙකු සිටින රටවල් හා සමාජ වඩා වේගයෙන් දියුණු වෙනවා. 

Friday, January 22, 2021

වත්පොත ඉකොනොමැට්ටා තහනම් කරයි!

පෙරේදා (ජනවාරි 20) ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දුන්නා. අලුත් ජනාධිපතිවරයා වගේම ඔහුගේ දේශපාලන පක්ෂයත් පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති සේ දිවුරුම් දෙන දවසේම වත්පොත විසින් ඉකොනොමැට්ටාගේ බොජුන්හල අසාදුගත කර වත්පොත හරහා මෙහි පිවිසීම තහනම් කර තිබීම අපූරු අහම්බයක්.

ඇමරිකාවේ බලයේ සිටි ජනාධිපතිවරයාගේ සමාජ ජාලා ගිණුම් පවා තහනම් වූ පසුබිමක මේ වගේ දෙයක් වෙන එකේ ලොකු අමුත්තක් නැතත්, මෙය ඇමරිකාවේ පැත්තෙන් සිදු වූ දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඇමරිකාවේ නීතියට, සම්මත වලට හෝ පොදු සදාචාරයට එරෙහි දෙයක් මෙහි පළ කර නැහැ. කෙසේ වුවත්, සිදු වුනේ කුමක්ද කියා නිශ්චිතව කීමේ හෝ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැ.

මේ වන විට මෙම වියුණුවේ ලිපි 889ක් පළ කර තිබෙනවා. එම ලිපි වලින් අඩුම වශයෙන් අටසීයක්වත් වත්පොත හරහා බෙදාගෙන තිබෙනවා. ඇතැම් ලිපි දහස් ගණනක් විසින් නැවත පළ කර (ශෙයා කර) තිබෙනවා. මේ බෙදා ගැනීම් බොහොමයක් මට නොපෙනෙන නිසා හරියටම ගණනක් දන්නේ නැති වුවත්, මෙතෙක් ලියා ඇති ලිපි වත්පොතේ බෙදාගෙන ඇති තැන් ප්‍රමාණය දස දහස් ගණනක් විය යුතුයි. කාලයක් තිස්සේ සංසරණය වූ මේ පැරණි බෙදා හැරීම් හරහා දිනපතාම සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසුනා. වත්පොත විසින් මේ වෙද්දී පසුගිය වසර හය තුළ ඉකොනොමැට්ටා මෙන්ම වෙනත් අය විසින්ද වත්පොත හරහා ප්‍රචාරය කළ එම ලිපි සියල්ලම ඉවත් කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

අප කිසිම විටක මෙම වියුණුව හරහා හදිසියේ මතුවන වෙළඳ දැන්වීම් (පොප් අප් ඇඩ්ස්) පළ කර නැහැ. අඩු වශයෙන් සාමාන්‍යයෙන් බ්ලොගර් හරහා දැන්වීම් පළ කර මුදල් සෙවීමට ඉඩ සලසන ආකෘතිය හෝ ප්‍රයෝජනයට ගෙන නැහැ. කිසිදු ප්‍රසිද්ධ සන්නාමයක නම ව්‍යාජ ලෙස යොදාගෙනද නැහැ. ඒ වගේම, කෝවිඩ් හා අදාළ හෝ වෙනත් දේවල් හා අදාළ වැරදියයි සම්මත තොරතුරු ප්‍රචාරය කර නැහැ. ඇත්තටම අප විසින් දිගින් දිගටම කර තිබෙන්නේ නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු ප්‍රචාරය වෙද්දී ඒවාට එරෙහිව නිවැරදි තොරතුරු පළ කිරීමයි. වත්පොත විසින් අපගේ වියුණුව අසාදුගත කර ඇතත් වත්පොත් පිටු අවහිර කර නැති නිසා මෙය වත්පොත් පිටුව පිළිබඳ ප්‍රශ්නයක්ද විය නොහැකියි.

ඇතැම් දේවල් ලියන විට ඇතැම් කණ්ඩායම් වලට වැඩියෙන් රිදෙනවා. දොරවල් වසාගෙන හතර අතට නෙලන්නේ නැතිව, අප සමඟ එකඟ නොවන අයට තමන්ගේ අදහස්ද ප්‍රතිචාර සේ මෙහි පළ කරන්නට අප විසින් අවස්ථාව සලසා ඇතත් තමන් රැඳී සිටින්නේ බොරුවක් මත බව හොඳින්ම දන්නා සිටින අයට ඒ අවස්ථාවෙන් වැඩක් වෙන්නේ නැහැ. අප ලියන සමහර දේවල් වලින් එවැනි අයගේ ලෝක කඩා වැටී, පැවැත්මවල් බිඳ වැටෙන විට එය පිළිබිඹු වන්නේ මෙවැනි දේවල් වලින්. මීට පෙරද, ඇතැම් දේ ලියද්දී ආරම්භක ඉකොනොමැට්ටා ගිණුම ව්‍යාජ ගිණුමක් බව හදිසියේම වත්පොතට වාර්තා වුනා. එහෙත්, ඒ අවස්ථාවේදී එය ව්‍යාජ ගිණුමක් නොවන බව තහවුරු කරන්නට වත්පොත අප‍ට අවස්ථාව ලබා දුන්නා. මෙවර එවැනි අවස්ථාවක් හෝ අඩු වශයෙන් කරුණු දැක්වීමක් හෝ නැති නිසා "මැරුණට පස්සෙවත් මැරුණේ කොහොමද කියලා දන්නේ නැති" තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. 

මෙම වියුණුව ආරම්භ කළ දවසේ සිටම අප විසින් වියුණුව හා අදාළව අනුගමනය කළේද අප වියුණුව හරහා පෙනී සිටින මතවාදයට ගැලපෙන භාවිතාවක්. නිදහස් අදහස් වෙනුවෙන් පෙනී සිටින අප අප ලියන දෙයට එකඟ නොවීමේ පදනම මත කිසිදු අදහසක් වාරණය කර නැහැ. එමෙන්ම පාරිභෝගික ඉල්ලුම සපුරනු මිස අප කිසි විටෙකත් ඇඟේ ගසා බඩු විකුණා නැහැ. මේ වියුණුව ආරම්භ කළ දවසේ සිටම එය ප්‍රචාරය කළේ කෙසේ හෝ එය හොයා ගෙන කියවූ අයයි. ලේඛකයාගේ කිසිදු පෞද්ගලික මිතුරෙකුට හෝ මෙය කියවන ලෙස ඉල්ලා සිට නැතුවාක් මෙන්ම අඩු වශයෙන් මෙවැන්නක් ගැන කියා නැහැ.

අප වියුණුව පටන් ගත් කාලයද සිංහල වියුණු වල හොඳම කාලය නොවුනත් අදට වඩා සිංහල වියුණු ජනප්‍රියව තිබුණු කාලයක්. ඒ කාලයේ වැඩි දෙනෙක් වියුණු වලට පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර හරහා. ඇතැම් බ්ලොග් සින්ඩිකේටර විසින් අපගේ ඉල්ලීමක් නැතිවම මෙම වියුණුවද එකතු කර ගැනීම නිසා ඒ හරහා සැලකිය යුතු පාඨක පිරිසක් මෙහි පැමිණියා. එක් අවස්ථාවක එවැනි එක් බ්ලොග් සින්ඩිකේටරකින් මෙම වියුණුව ඉවත් කිරීම නිසා මෙහි පැමිණෙන්නන් යම් තරමකින් අඩු වුනා. ඉන් පසුව, බොහෝ දෙනෙක් මෙහි පැමිණියේ වත්පොත හරහා.

මේ වන තුරු අවම වශයෙන් පන්සීයක් වෙත වත්පොත හරහා මෙහි පළ වන දේ ගියා. ඒ සියලුම දෙනා තමන්ගේ කැමැත්තෙන් වත්පොත් පිටුව සමඟ එකතු වූ අයයි. වත්පොත් පිටුව සමඟ එක් වන මෙන් අප විසින් කිසිවෙකුට ආරාධනා කර නැහැ. ඒ වගේම, මේ පිටුව යොදා ගෙන තිබෙන්නේ වියුණුව වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් ලෙස පමණයි. ඉතා කලාතුරකින් හැර එහි වෙනත් දේ පළ කර නැහැ.

මෙයින් ඉදිරියට අපට වත්පොත හරහා මෙහි පළවන අලුත් ලිපි පිළිබඳව දැනුම් දීමේ හැකියාවක් නැහැ. වත්පොතට වංගු ගසන්නට පුළුවන් වුවත්, වත්පොත වුවත් එන්නේ ගේමටනම් අප කරන්නේ ලේන් අම්මා මුහුදට කළ දෙයයි. දැවැන්තයින් සේ පෙනෙන හැම දෙනෙක්ම වාගේ රැඳී සිටින්නේ ඔවුන් මත විශ්වාසය තබන ඒකීය මිනිසුන් මත. මේ ලිපිය මුළුමනින්ම වත්පොතේ පළ කෙරෙන නමුත් මෙයින් ඉදිරියට දිගින් දිගටම එවැන්නක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා, වියුණුව කියවන්න අවශ්‍යනම් ඔබට වරින් වර වියුණුවේ ලිපිනය භාවිතා කර සෘජුවම එහි පිවිසෙන්න වෙනවා. 

පසුගිය දින දෙක තුළ ස්වීඩනයේ සිට මෙම වියුණුවට පිවිසුම් හාරදහසකට වැඩි ප්‍රමාණයක් දැකිය හැකියි. එය අසාමාන්‍ය දෙයක්. මෙය කියවන අයගෙන් 40%ක් පමණ විදේශගත ලාංකිකයින් වුවත්, ස්වීඩනය පාඨකයින් සැලකිය යුතු පිරිසක් මෙහි පිවිසවන රටක් නෙමෙයි. ඒ වගේම, මේ පිවිසුම් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ මැකින්ටොෂ් පරිගණකයකින්. එයද සාමාන්‍ය දෙයක් නෙමෙයි. කුමක් හෝ අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව පැහැදිලියි.

අප ලියන දෙයින් යම් අයට රිදෙනවා විය හැකි වුවත් ඒ අයද අපේ පාඨකයින් බව අපට නොසලකා හරින්න බැහැ. අපේ පාඨකයින් යම් ප්‍රමාණයකට ඒ තරමටම රිදෙනවානම් අපට ඒ ගැනත් නොසලකා ඉන්න බැහැ. ඔවුන්ගේ කැමැත්ත වන්නේ මෙම ලිපි වත්පොත හරහා බෙදා හැරීම වැළැක්වීමනම්, වෙනත් පාඨකයින් විශාල පිරිසකට වත්පොත හරහා මෙම ලිපි බෙදාගන්නට අවශ්‍ය වන තුරු වැඩි පාඨක පිරිසකගේ අවශ්‍යතාවය එලෙසම සිදු වනු ඇති. මේ වියුණුවේ වෙබ් ලිපිනය වත්පොතේ පළ කරන්නට උත්සාහ කරන හැම විටකම වත්පොත විසින් එය වලක්වනවා. එහෙත් අවශ්‍ය අයෙකුට දිගටම ඉදිරියට ගොස් එයට තමන් එකඟ නොවන බව කියා සිටින්න පුළුවන්. 

ප්‍රමාණවත් පිරිසක් විරුද්ධ වුවහොත් වත්පොතේ තීරණය ඇතැම් විට වෙනස් විය හැකියි. එහෙත්, අප ඒ ගැන හරියටම දන්නේ නැහැ. මෙතෙක් වත්පොත හරහා මෙහි පැමිණි පාඨකයින්ට ඉදිරියේදී එම සේවය සලසන්නට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව! 


Wednesday, January 20, 2021

දන්න ගහ සහ හැදෙන ගහ


වියුක්තව හිතන්න පුළුවන්කම මිනිස්සුන්ට තිබෙන සුවිශේෂී හැකියාවක්. මේ හැකියාව මිනිස්සු සාමූහිකව කරන බොහෝ කටයුතු වලදී ප්‍රයෝජනවත් වෙනවා. වියුක්තව හිතන්න පුළුවන් මිනිස්සුන්ට පමණක්ද? සත්තුන්ට වියුක්තව හිතන්න බැරිද? සත්තුන්ට වියුක්තව තියා කොහොමටවත්ම හිතන්න බැරිද? ඒ ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු.

වියුක්තව හිතන එක සුළු පිරිසකට පමණක් තිබෙන සුවිශේෂී හැකියාවක් නෙමෙයි. මිනිස්සු කවුරුත් යම් යම් සීමා තුළ වියුක්තව හිතනවා. "ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න දෙයක් නෑ" කියා කියද්දී ඔය කියන්නේ මොන ගහක් ගැනද කියා කාට හරි කියන්න පුළුවන්ද? නැත්නම් හිතේ මවා ගන්න පුළුවන්ද?

ඔය ගහ කොස් ගහක්, පොල් ගහක්, කෙහෙල් ගහක් වගේ මොකක් හෝ ගහක් වෙන්න පුළුවන්. මෙහි ගහ කියා කියන්නේ ඔය ඕනෑම ගහක් හා අදාළ කර ගත හැකි වියුක්ත සංකල්පයකට. හැබැයි මේ ගහ නවහන්දි, මුවකීරිය, පතොක් වගේ ගහක් වෙන්න බැහැ. කොළ තියෙන ගහක් වෙන්න ඕනෑ. මෙහි කොළ කියා කියන්නේ විද්‍යාවට ඉගෙන ගන්න පත්‍ර නෙමෙයි. කොළය කියන්නේත්, පත්‍රය කියා කියන්නේත් වෙනස් සංකල්ප දෙකක්. දෙකම වියුක්ත සංකල්ප. කෙහෙල් කඳ කඳක් නොවන බවත්, ළූණු ගෙඩිය ගෙඩියක් නොවන බවත් මුලින්ම විද්‍යාවට ඉගෙන ගන්න කොට කාට වුනත් පොඩි තිගැස්මක් ඇති වෙන්නේ ඒ වෙද්දී "දැන ගෙන" සිටින දේවල් අභියෝගයට ලක් වෙන නිසයි.

එතකොට "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියද්දී කියන්නේත් ඔය ගහ ගැනමද? දන්න ගහ හා හැදෙන ගහ කියන ගස් දෙකම වියුක්ත සංකල්ප වුනත් මේ දෙක එකක්ම නෙමෙයි. දන්න ගහ කොළ තියෙන ඕනෑම ගහක් වෙන්න පුළුවන්. හැදෙන ගහ එහෙම වෙලා මදි. එය බීජයකින් පළවෙන ගහක් වෙන්න ඕනෑ. ගහ හැදෙන්න පටන් ගනිද්දී පෙති දෙක හැදෙන්නේ බීජය දෙපළු වෙලා. ඒ නිසා, කජු ගහක් හරි තෝර පරිප්පු ගහක් හරි හැදෙන ගහක්ද කියලා දෙපෙත්තෙන් කියන්න පුළුවන් වුනත්, පුවක් ගහක් හරි, කෙහෙල් ගහක් හරි ගැන දෙපෙත්ත බලලා ඔය අනාවැකිය කියන්න විදිහක් නැහැ.

"ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න දෙයක් නෑ" කියා කියන විට කාට හෝ ඔය ගහ වගේම කොළත් චිත්තරූප විදිහට හිතේ මවාගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතේ මවා ගන්න පුළුවන් වෙන්නේ පොල් ගහක්, කෙහෙල් ගහක් වගේ නිශ්චිත ගහක් මිසක් ගහ කියන වියුක්ත සංකල්පය නෙමෙයි. පොල් ගහ හෝ කෙහෙල් ගහ කියා කිවුවත් මේවත් වියුක්ත සංකල්ප.

පොල් ගහ කියන සංකල්පය මනසින් දැකිය හැකි වුවත් පංචේන්ද්‍රියයන්ගෙන් කිසිවකට ගෝචර වන දෙයක් නෙමෙයි. පංචේන්ද්‍රියයන්ට ගෝචර වන්නේ යම් නිශ්චිත පොල් ගහක් මිසක් පොල් ගහ කියන සංකල්පය නෙමෙයි. පොල් ගහ කියන සංකල්පය මනසේ පමණක් තිබෙන වියුක්ත අදහසක්. මේ දෙකේ වෙනස මවුබස සිංහල වූ අයෙකුට එතරම් පැහැදිලි නැත්තේ පොල් ගහ කියන වියුක්ත සංකල්පය හා ඇස ගැටෙන, අතින් ඇල්ලිය හැකි පොල් ගහ වෙන් කර හඳුන්වන්න සිංහල භාෂාවේ වෙනස් යෙදුම් නැති නිසයි. නමුත්, ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙකුටනම් මේ දෙක දෙකක්. එකක් "coconut tree". අනික "the coconut tree". එතකොට "a coconut tree" කියන්නේ මොකක්ද? ඒ අර "coconut tree" කියන වියුක්ත සංකල්පය සමඟ අපට ගැලපිය හැකි (මැච් කළ හැකි) නිශ්චිත "the coconut tree" එකක්. සමහර විට මේ "the coconut tree" එකත් මනසින්ම මවාගත්, පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන නිශ්චිත පොල් ගහක් වෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් දැකිය නොහැකි, කිසිවකු විසින් දෑසින් කිසිදා දැක නැති, නිල් පාට ගෙඩි හැදෙන, රතු පාට කොළ තිබෙන අමුතුම පොල් ගහක් වෙන්නත් පුළුවන්.

සමහර වියුක්ත සංකල්ප මිනිස්සු හදාගෙන තියෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වන කවර හෝ දේවල් කාණ්ඩයක් පොදුවේ සංකේතවත් කරන්න. පොල් ගහ, ගහ, බල්ලා, පූසා වගේ. මේ වගේ වියුක්ත සංකල්පයක් ගැන හිතන කොට ඒ වියුක්ත සංකල්පයෙන් නියෝජනය කළ හැකි නිශ්චිත සාමාජිකයෙකුගේ චිත්තරූපයක් කෙනෙකුගේ හිතේ මැවෙන්න පුළුවන්. ඒ මිසක්, වියුක්ත සංකල්පයේ චිත්තරූපයක් වෙනත් ආකාරයකින් හිතේ මවාගන්න පුළුවන්කමක් නැහැ. 

මේ විදිහටම සරල රේඛාව කියන වියුක්ත සංකල්පය හිතේ මවාගන්න බැරි වුනත්, නිශ්චිත සරල රේඛාවක් හිතේ මවාගන්න පුළුවන්. ඒ සඳහා අධිමානසික හැකියාවක් තිබිය යුතු නැහැ. එහෙත්, එය කළ හැක්කේ සරල රේඛාවක් කියන්නේ කුමක්ද කියන දැනුම ඇත්නම් පමණයි. ඒ දැනුම නිවැරදි දැනුමක් නොවෙන්න පුළුවන්. ඒ නිසා, ඒ නිවැරදි දැනුම නැති කෙනෙක් හිතෙන් මවා ගන්නා සරල රේඛාව සමහර විට සරල රේඛා ඛණ්ඩයක් වෙන්න පුළුවන්. 

කවදාවත් ලාමාවෙක් හෝ ලාමාවෙක්ගේ රූපයක් දැකලා නැති කෙනෙකුට වුනත් ලාමාවෙක්ගේ චිත්තරූපයක් හිතෙන් මවාගන්න පුළුවන් වුනත් ඒ චිත්තරූපය හා ඇත්ත ලාමාවෙක් එක වගේ වෙන්න එතරම් ඉඩක් නැහැ. මෙය කියවන සමහර අය ඉකොනොමැට්ටාගේ චිත්තරූපයක් හිතින් මවා ගන්නවා. ඒ චිත්තරූපය ඇත්ත ඉකොනොමැට්ටා වගේම වෙන්න අවශ්‍ය නැහැ. ඔය විදිහටම කෙනෙකුට අලි ඔලුවක් තිබෙන මිනිහෙක්ව හෝ ඉනෙන් පහළ මාළු සිරුරක් තිබෙන කාන්තාවක්ව හිතෙන් මවා ගන්න පුළුවන්. එහෙම අය කවදාවත් දැකලා තියෙන්න අවශ්‍ය නැහැ. සමහර වියුක්ත සංකල්ප වලින් නියෝජනය වන සාමාජිකයින්ද වියුක්ත සංකල්පම වෙන්න පුළුවන්. 

වියුක්ත සංකල්ප ගැන කතා කරද්දී අපට ප්ලේටෝව අමතක කරන්න බැහැ. ප්ලේටෝට අනුව අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වෙන්නේ කිසියම් පරිපූර්ණ ආකෘතියක අසම්පූර්ණ වර්ෂන්. දැන් මෙතැනින් කවුරු හරි ගියාද කියලා මම ඇහුවොත් මට ඔය ප්‍රශ්නයට "ඔව්. සුදු ලස්සන උස ගෑණු මනුස්සයෙක්!" වගේ උත්තරයක් ලැබෙන්න පුළුවන්. දැන් මෙහි සුදු, ලස්සන, උස, ගෑණු, මනුස්සයෙක්, කියන්නේ වියුක්ත සංකල්ප. සුදු කියා කිවුවත් සුදු ප්‍රභේද තිබෙනවා. ලස්සනත් එහෙමයි. ප්ලේටෝට අනුව මේ හැම සංකල්පයකම පරිපූර්ණ වර්ෂන් එකක් තිබෙනවා. මේවා හඳුන්වන්න ප්ලේටෝනික ආකෘති (forms) කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ සුදුනම් පූර්ණ සුදු පැහැය. එහි කිසිම අඩුවක් නැහැ. ලස්සනනම් උපරිම ලස්සන. බල්ලා කිවුවොත් මූලාකෘතික (prototype) බල්ලෙක්. මේ පරිපූර්ණ ප්ලේටෝනික ආකෘති අපට කවදාවත් මනසින් මිස පංචේන්ද්‍රියයන් හරහා ගෝචර කර ගන්න බැහැ. අපට පෙනෙන්නේ මේ ආකෘති වලින් හැදුනු දේවල්. ඒ ආකෘති හැදී තිබෙන්නේ වෙනත් ආකෘති වලින්. මුලටම ගියාම පරිපූර්ණම ආකෘතිය දෙවියන්.

ගණිතයේ අර්ථදක්වා තිබෙන බොහොමයක් දේ මේ ආකාරයේ පරිපූර්ණ ප්ලේටෝනික ආකෘති. ඒවා දැකිය හැක්කේ මනසින් පමණයි. යම් හෙයකින් අපි ඒවා ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කළත් අපට එය කළ හැක්කේ  ආසන්නව, අඩුපාඩු සහිතවයි. ගෝලයක් කියන්නේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍යයක සිට පෘෂ්ඨය මත ඕනෑම තැනකට සම දුරක් තිබෙන ත්‍රිමාන වස්තුවක්. අපි කොයි තරම් හොඳින් ගෝලයක් ප්‍රතිනිර්මාණය කරන්න හැදුවත් එහි සුළු හෝ අඩුපාඩුවක් ඇති වීම වලක්වන්න අසීරුයි. එවැනි අඩුපාඩුවක් නැති පරිපූර්ණ ප්ලේටෝනික ගෝලයක් වියුක්ත අදහසක් පමණක් වුවත් අපට එවැන්නක් චිත්තරූපයක් ලෙස මනසින් දකින්න බැරිකමක් නැහැ.

ගණිතයේදී පිරමිඩයක් අර්ථදක්වන්නේ කවර හෝ පාද ගණනක් ඇති බහුඅශ්‍රයක එක් එක් පාදය පාදයක් කරගත් ත්‍රිකෝණ වල එම පාදය මත නොපිහිටි මුළු සියල්ල එකම ලක්ෂයකට එකතු වී හැදෙන ත්‍රිමාන වස්තුවක් ලෙසයි. බහුඅශ්‍රය ත්‍රිකෝණයක් වූ විට පිරමිඩයට පැති හතරයි. බහුඅශ්‍රය චතුරශ්‍රයක් වූ විට පිරමිඩයට පැති පහයි. බහුඅශ්‍රය පංචාශ්‍රයක් වූ විට පිරමිඩයට පැති හයයි. බහුඅශ්‍රයේ පාද ගණන වැඩි වෙමින් යද්දී එය ටිකෙන් ටික රවුම් වී පිරමිඩය ටිකෙන් ටික කේතුවක් වගේ වෙනවා. පාද ගණන අනන්තයක් වූ විට එහි පාදම රවුමක් හෝ ඉලිප්සයක් වෙනවා. එවිට හැදෙන්නේ කේතුවක්. ඒ නිසා, කේතුවක් කියන්නේත් පිරමිඩයක්.

පිරමිඩය කියන වියුක්ත සංකල්පය අපට චිත්තරූපයක් ලෙස හිතේ මවා ගන්න බැහැ. එහෙත්, නිශ්චිත පාද ගණනක් තිබෙන බහුඅශ්‍රයක් මත ගොඩ නැගුණු නිශ්චිත පිරමිඩයක චිත්ත රූපයක් හිතෙන් මවාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ත්‍රිමාණ අවකාශයක තිබෙන වෙනත් බහුතලයක් (polyhedron) වුවත් අපට චිත්තරූපයක් ලෙස මනසින් මවා ගන්න අපහසු නැහැ. චතුරශ්‍ර හයකින් හැදුණු ඝනකයක් අපට මනසින් මවා ගන්න පුළුවන්. මෙහිදී අපි හිතින් මවා ගන්නේ අදාළ වියුක්ත සංකල්පය නිරූපණය කරන සංකේතයක් මිසක් වියුක්ත සංකල්පය නෙමෙයි. 

පංචේන්ද්‍රියයන්ගෙන් කිහිපයකට ගෝචර වන  ඝනකයක අසම්පූර්ණ ආකෘතියක් වැඩි අපහසුවක් නැතුව අපට හදා ගන්න පුළුවන්. එහෙත්, එක "පැත්තක්" ඝනකයක් වූ "පැති" අටක් තිබෙන චතුර්මාන tesseract එකක සංකේතයක් වුවත් ස්ථිතික චිත්තරූපයක් විදිහට හිතේ මවා ගන්න එක කළ නොහැකි දෙයක්. එහෙත්, එවැනි දේවල් ගැනත් අපට හිතන්න පුළුවන්. ස්ථිතික චිත්තරූපයක් මවා ගන්න නොහැකි වුවත් අවශ්‍යනම් ගතික චිත්තරූපයක් මවාගන්නත් පුළුවන්. පංචේන්ද්‍රියන්ට දැනෙන ඒ චිත්තරූපයේ අසම්පූර්ණ ආකෘතියක් හදන්නත් පුළුවන්.



Monday, January 18, 2021

සීයා හා දෙදාස් පන්සීයා


තව දවස් තුනකින් (ජනවාරි 21) කොළඹ සරසවියේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨ වල සියවස සැමරෙනවා. කොළඹ සරසවිය මමත් අවුරුදු හතර පහක් තිස්සේ ගාටපු තැනක්. එහෙත්, මගේ පළමු සම්බන්ධය තිබෙන්නේ පේරාදෙණිය සරසවිය සමඟයි. යම් හෙයකින් මට පේරාදෙණි යාමේ අවස්ථාව නොලැබුනානම් මා බොහෝ විට මුලින්ම යන්නේ කොළඹ සරසවියටයි. මුලින් පේරාදෙණි යන්න අවස්ථාව ලැබුණු නිසා කොළඹ යන්න වුනේ දෙවනුවයි. 

උසස් පෙළ කර සරසවි යාම ගැන හිතද්දී හැම විටම වගේ මගේ හිතේ මැවුණේ පේරාදෙණිය සරසවියයි. පේරාදෙණි ගොස් ඉගෙන ගැනීමේ සිහිනයටත් වඩා උඩින් තිබුණේ පේරාදෙණිය සරසවිය ආශ්‍රිතව වසර හතරක් ගත කිරීමේ සිහිනයයි. මොරටුව සරසවියට යන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යම් හෙයකින් මොරටු යන්න සිදු වීමේ අවදානම වලක්වා ගැනීම සඳහා මම සරසවි පාඨමාලා අයදුම් කරද්දී මොරටුවේ පාඨමාලා කිසිවක් සඳහා අයදුම් කළේම නැහැ. 

අයැදුම්පත්‍රයේ මගේ පළමු කැමැත්ත ලෙස මා සඳහන් කළේ, අපේක්ෂා කළ පරිදිම මට යන්නට අවස්ථාව ලැබුණු, පේරාදෙණි පාඨමාලාවයි. මගේ දෙවන හා තුන්වන මනාප ලැබී තිබුණේ කොළඹ සරසවියේ පීඨ දෙකක පාඨමාලා දෙකකටයි. කැමති පාඨමාලා දහයක් දක්වා සඳහන් කළ හැකිව තිබුණත්, මා ඉල්ලා සිටියේ ඉහත කී පාඨමාලා තුනෙන් එකක් පමණයි.

පේරාදෙණියේ ගත කළ කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියා කියන්න අසීරු වුනත් හොඳම කාලයක්. එම කාලය ගැන අදටත් සතුටු විය හැකියි. එහෙත් පේරාදෙණියෙන් මා ලබාගත් අධ්‍යාපනය පිළිබඳව මා සතුටු වනවා කියා කියන්න බැහැ. මට ලැබුණු කියා නොකියා මා ලබාගත් කියා කියන්නේ මෙහි යම් වරදක් ඇත්නම් එය බොහෝ දුරට මගේ පැත්තෙන් සිදු වූ වරදක් නිසා.

වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේදී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. ඒ වන විට අධ්‍යාපනයේ ඉලක්කය ලෙස මා හඳුනාගෙන තිබුණේ අදාළ විභාග සමත් වී ජීවිතය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර දක්වා ගමන් කිරීමයි. සරසවි ප්‍රවේශය දක්වාම මේ ඊළඟ පියවර වුනේ තවත් විභාගයක්. පාසැල් සිසුවකු ලෙස මා දැන සිටියේ අධ්‍යාපනය හරහා ජීවිතය සාර්ථක කර ගැනීමේ අවසන් හා පරමාදර්ශී ඉලක්කය වනුයේ, ඒ දින වල සිතා සිටි පරිදි ඉහළ ආදායමක් උපයන්නට ඉඩ සලසන, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකු වීම බවයි. 

සරසවි විභාග සමත් වීම අභියෝගයක් බව වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මා ද දැන ගත්තේ නවක වද සමයේදීයි. ඒ නිසා, පළමු වසර විභාගයට පෙර ප්‍රතිඵලය පිළිබඳ යම් බියක් නොතිබුණා නෙමෙයි. පළමු වසරේ පුනරීක්ෂණ විභාග අවස්ථාවක් තිබීම හේතුවෙන් මේ බය යම් තරමකින් තුනී වුවත්, ඉදිරි තෙවසර තුළ හදාරන අනු ක්ෂේත්‍රය මෙන්ම ඒ වන විට හිතාගෙන සිටි පරිදි ඉදිරි ජීවිත කාලය තුළම කරන්නට සිදුවන රැකියාවද තෝරා ගැනීමේ අවස්ථාව මේ විභාගයේ ප්‍රතිඵලය මත තීන්දු වන නිසා විභාගය යාන්තමින් සමත් වීම ඒ තරම්ම සතුටු විය හැකි දෙයක්ව තිබුණේ නැහැ. 

පළමු වසරේ විභාග ප්‍රතිඵලය ඒ තරම් නරක එකක් නොවුනාක් මෙන්ම එම ප්‍රතිඵලය මත කැමති ඕනෑම අනු ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ අවස්ථාවද හිමි වූ නිසා එක පැත්තකින් නරකක්ද සිදු වුනා. ඒ සරසවි විභාග වලට තිබුණු සුළු හෝ බය ඉවත්ව යාමයි. ලැබෙන උපාධිය අවසන් වශයෙන් තීරණය වුනේ අවසන් වසරේ විභාග ප්‍රතිඵලය මත නිසා දෙවන, තුන්වන වසර වල විභාග හොඳින් සමත් වුනා කියා අමුතුවෙන් ලබා ගත හැකි දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා, දෙවන තුන් වන වසර වලදී මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි.

ඔය හැම දෙයක්ම කරමින් පාඨමාලාවේ කෙළවරට පැමිණෙද්දී අවසන් විභාගය හැකි තරම් හොඳින් සමත් වීමේ උවමනාවක් ඇති වී තිබුණා. ලැබෙන උපාධි සාමාර්ථය කුමක්ද කියා තීරණය වුනේ අවසන් විභාගයේ ප්‍රතිඵලය මත වීම ඊට හේතුවයි. ඒ නිසා, මේ අවසන් විභාගයට පෙර විභාග සඳහා වැය කළාට වඩා වඩා කාලයක් වැය කරමින් සූදානම් වුනා. කෙසේ වුවත්, ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. අවසන් විභාගයේ ප්‍රතිඵල අනුව මා විභාගය සමත්ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත විභාගයට පෙනී සිටින්නට වසරක කාලයක් බලා ඉන්න සිදු වුනා. අවසන් විභාගයේ සියලුම විෂයයන් එක වර සමත් නොවුවහොත්, පුනරීක්ෂණ විභාගයක ප්‍රතිඵල කෙතරම් හොඳ වුවද කවර හෝ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැති නිසා එම අවස්ථාව ද ගිලිහී ගියා.

පාඨමාලාව හැදෑරුවේම විභාගය සමත් වීමේ අරමුණින් මිස ඉගෙන ගැනීමේ අරමුණින් නොවූ නිසා මේ අනපේක්ෂිත විභාග ප්‍රතිපලය විසින් මා තල්ලු කර දමනු ලැබුවේ ගොඩ එන්නට ඉතා අසීරු අගාධයකටයි. ගුරු රස්සාව හා ඊටත් පෙර කළ වෙනත් රස්සා වලින් ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් පේරාදෙණි යද්දී අතේ තිබුණා. ඒ නිසා, පේරාදෙණි සිටි කාලයේ යම් තරමකින් අත දිග හැර මුදල් වියදම් කළ හැකි වුනා. පාඨමාලාව අවසානයේදී රැකියාවක් ලැබෙන එක ගැන සැකයක් නොතිබුණු නිසා මුල සිටම සැලසුම් කළේ ඉතිරි කරගත් මේ සල්ලි වසර හතර තුළ ක්‍රමානුකූල ලෙස වියදම් කර දමමින් සරසවියේ ගත කරන කාලය වැඩිපුර දුක් නොවිඳ ගෙවන්නටයි. එය එසේම සිදු වුනා. දැන් වසර හතර අවසන් වෙද්දී උපාධියත් නැහැ. රැකියාවකුත් නැහැ. අතේ සතේත් නැහැ. 

පේරාදෙණියේ අවසන් විභාගය ලියා අවසන් කිරීමෙන් පසුව ගත වුනේ මගේ ජීවිතයේ අඳුරුම කාලයක්. මේ වසර මා ගත කළේ ඉතා දැඩි මානසික පීඩනයකින්. විභාගය අවසන් කළ වහාම, වෙනත් රැකියාවක් ලැබෙන තුරු, පීඨයේ විද්‍යාගාර උපදේශකයෙකු (ඉන්ටෙක්) ලෙස සේවය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමි වන නමුත් එම වසරේ පැවති තරඟය නිසා මට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ. එම වසරේ පැවති සුවිශේෂී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නිසා රැකියා වෙළඳපොළේ තිබුණේත් ඉතාම තරඟකාරී තත්ත්වයක්. මෙය පුනරීක්ෂණ විභාගයට ලියන තුරු මුහුණ දෙන්නට සිදුව තිබුණු තාවකාලික තත්ත්වයක් නිසා වෙනත් ස්ථිර රැකියාවකට අයදුම් කරන එකේත් තේරුමක් තිබුණේ නැහැ. 

එකවරම මා කිසිදු මූල්‍ය ප්‍රාග්ධනයක් අතේ නැති, වසර ගණනාවක් තිස්සේ එකතු කරගත් මානව ප්‍රාග්ධනයෙන්ද වහාම ගත හැකි කිසිම ප්‍රයෝජනයක් නැති, අතපය හතර පමණක් තිබෙන සාමාන්‍ය තරුණයෙකු වී සිටියා. කළ හැකිව තිබුණේ අත පය හතර ප්‍රයෝජනයට ගැනීම පමණයි. කැලෑ වී තිබුණු වත්ත එළි පෙහෙළි කර කෙසෙල් හිටෙවුවා. තවත් දේවල් ද වගා කළා. පසුව හතු හදන්නත් පටන් ගත්තා. ඔය දේවල් වලින් අතට මුදලක් ලැබෙන්න කිට්ටු වෙද්දී වසරක් ගෙවුනා. අපේක්ෂා කරමින් සිටි ආකාරයේ රැකියාවක්ද ලැබුණා. කොළඹ එන්න සිදු වුනා. 

පේරාදෙණියේ සිටි කාලය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු පෞද්ගලික ආයෝජනයක් ද කළ කාලයක් වුවත් මේ පාඨමාලාව වෙනුවෙන් පාඨමාලා ගාස්තුවක් අතින් ගෙවන්න සිදු වුනේ නැහැ. යම් හෙයකින් එසේ මුදලක් අතින් ගෙවන්න සිදු වුනානම් එම කාලය තුළ හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමු වන්නට මීට වඩා පෙළඹවීමක් ඇති වෙනවා.

පේරාදෙණි නොගියානම් මා බොහෝ විට දිගටම ගුරු රස්සාව කරනවා. එසේ කළානම් බොහෝ විට ඉතා ඉක්මණින් අමතර ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කරන්න ඉඩ තිබුණා. පෞද්ගලික උපකාරක පන්ති පවත්වා මුදල් සෙවීම මා වයස අවුරුදු එකොළහක කාලයේ සිට කළ දෙයක්. ගුරු රස්සාවෙන් හා පෞද්ගලික උපකාරක පන්ති කිරීමෙන් වසර හතරක් පුරා ඉපැයිය හැකිව තිබුණු, පේරාදෙණි යාම නිසා අහිමි වූ මුදලද අදාළ උපාධිය මිල දී ගැනීම වෙනුවෙන් දැරූ ආවස්ථික පිරිවැයක්. අධ්‍යාපනය වෙනුවෙන් මා සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.

කොළඹ සරසවියේ පීඨ දෙකක පශ්චාත් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන්ද මා පාඨමාලා ගාස්තු ලෙසම සැලකිය යුතු මුදලක් ගෙවුවා. ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කර උපයා ගත් මුදල් වලින් වැඩි කොටසක් වැය වුනේ මේ ආකාරයෙන් නැවත අධ්‍යාපනය වෙනුවෙන්ම ආයෝජනය කරන්නයි. ඔය වගේ රැකියාවන් කරමින් ඔය වයසේ සිටි වෙනත් බොහෝ දෙනෙකු සේ හැසිරුනානම් මෝටර් රථයක් මිල දී ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට වැය කළ හැකිව තිබුණු මුදලක්. 

මේ වසර හතර පහක පමණ කාලය තුළද පාඨමාලා ගාස්තු සේ ගෙවූ මුදල මා දැරූ සමස්ත පිරිවැය නෙමෙයි. මේ කාලය තුළ මා නීත්‍යානුකූල හා සාධාරණ ලෙස ඉතා ඉක්මණින් මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගෙන තිබුණා. එම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් පමණවත් සැලසුම් කළා. මේ වැඩේ කල් දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එසේ කළානම් වෙනත් අයෙකු විසින් මේ ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගනු ලබනවා. ඊට පෙර වැඩේට අත ගැසිය යුතුව තිබුණා. වැඩේ පටන් ගත්තානම් මුල් කාලයේ කළ යුතු කැපවීමත් එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යන්න වෙන්නේ නැහැ. මේ දෙගිඩියාව සමඟ මාස හයක් පමණ දෙපැත්තට වැනි වැනී සිටීමෙන් පසුව අන්තිමේදී වැඩේ අත අරින්න තීරණය කළා.

මේ කාලය තුළ මගේ මේ සැලසුම පිළිබඳව ඒ දවස් වල ලඟින් ඇසුරු කළ මිතුරෙකු සමඟ දිනපතාම වගේ සාකච්ඡා කළා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු, දක්ෂ හා මහන්සියෙන් කටයුතු කරන තරුණයෙකු වුවත් උසස් පෙළ කඩඉම පැන සරසවි යාමේ වරම ලබා නොතිබුණු නිසා ඒ වෙද්දී විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලොකුවට තිබුණේ නැහැ. මා වැඩේ අතඅරින බව ස්ථිර ලෙසම පැවසීමෙන් පසුව ඔහු වැඩේට අත ගැසුවා. ඒ වන විට ඔහුට එසේ කිරීම නිසා මට මෙන් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වන සේ මගෙන් ඉල්ලා සිටියත් මා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු සේ සම්බන්ධ වුනේ නැහැ. එහෙත්, මුල් කාලය තුළ දිගින් දිගටම ඔහුට අවශ්‍යව තිබුණු තාක්ෂනික සහාය ලබා දෙමින් හිර වූ හැම විටකම ගොඩ යන්නට උදවු කළා. ඔහු ඉතා ඉක්මනින් ලංකාවේ ප්‍රමුඛ ධනවතෙක් වුනා වගේම පසුව ඉගෙනීම වෙනුවෙන්ද දිගටම කාලය හා මුදල් වැය කර බටහිර රටක සරසවියකින් ආචාර්ය උපාධියක්ද ලබා ගත්තා.

මා මෙය ලිවුවේ කිසිදු පසුතැවිල්ලකින් නෙමෙයි. ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ. දැනුත් නැහැ. මගේ සරල කෙසේ වෙතත් එතරම් සංකීර්ණ නැති ජීවිතය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ලැබේනම් මට එය හොඳටම ඇති. පෙර කී ව්‍යාපාරික අවස්ථාව අත ඇරීම මගේ තේරීමක්. ඒ ගැන මා අදටත් සතුටු වෙනවා. කෙසේ වුවත්, එම ව්‍යාපාරය ආරම්භ කර ඉපැයිය හැකිව තිබුණු මුදලද මා අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්. 

ප්‍රථම උපාධියේදී මෙන් නොව මේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේදී මගේ ඉලක්කය වුනේ විභාග සමත් වී ලබා ගන්නා උපාධි සහතිකයම නෙමෙයි. උපාධිය ලබා ගැනීමද එක් ඉලක්කයක් වුවත්, පාඨමාලා සඳහා මුදල් ගෙවුවේ දැනුම හා අධ්‍යාපනය මිල දී ගැනීමටයි. කොළඹ විද්‍යා පීඨයෙන් හැදෑරූ පශ්චාත් උපාධි පාඨමාලාවේ වසර අවසාන විභාග හා ඒ දිනවලම හැදෑරූ නීති විද්‍යාල පාඨමාලාවේ විභාග සමපාත වීම නිසා එම පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීමේ අවස්ථාවද ගිලිහී ගියා. ඉන් පසුව මෙම පාඨමාලාව විද්‍යා පීඨයෙන් ඉවත් වී එහි ස්වරූපයම වෙනස් වීම නිසා අදාළ පශ්චාත් උපාධිය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැතත් උගත් දේ යම් තරමකින් හෝ ඉතිරි වුනා. අනෙක් පශ්චාත් උපාධියනම් ලබා ගත්තා.

කොළඹින් වගේම පේරාදෙණියෙන්ද ලැබුණේ බටහිර ආකෘතියේ අධ්‍යාපනයක්. මා කොළඹින් ලබා ගත් හා ලබා නොගත් පශ්චාත් උපාධි දෙකෙන් එකක්වත් පර්යේෂණ උපාධි නෙමෙයි. පර්යේෂණ උපාධියක් ලබා ගන්නා කෙනෙකු එය කරන්නේ උපදේශක වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ආචාර්ය උපාධියක්නම් උපදේශක මණ්ඩලයක් සිටිනවා. එහි ප්‍රධාන උපදේශකයෙකු හෝ ඇතැම් විට දෙදෙනෙකු සිටිනවා. මෙවැනි පර්යේෂණ උපාධියක සෘජු ගුරු ගෝල සම්බන්ධයක් තිබෙනවා. අදාළ වාර්තා තිබේනම් මේ ගුරු ගෝල සම්බන්ධතා පසුපසට හඹා යන්න පුළුවන්. 

ආචාර්ය උපාධි ලබා දීම ආරම්භ වුනේ යුරෝපයේ. මුලින්ම ආචාර්ය උපාධි ප්‍රදානය කළේ යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්. ඇමරිකාව හා එංගලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ආචාර්ය උපාධි ලබා දීමේ පුරුද්ද ඇති වුනේ පසුකාලීනවයි. එතෙක්, එංගලන්තයේ සරසවි වලින් ප්‍රදානය කළේ මාස්ටර්ස් උපාධි. මේ මාස්ටර්ස් උපාධි සම්ප්‍රදායේත් ගුරු ගෝල සම්බන්ධය තිබුණා. 

අධ්‍යාපනය ගුරු ගෝල සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තේ අද දැකිය හැකි සම්මත ආකාරයේ විශ්ව විද්‍යාල බිහිවී, එම විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ පර්යේෂණ උපාධි ප්‍රදානය කිරීම් සිදුවෙන්න පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ගුරු ගෝල සම්බන්ධතා වල අතීතය ඊට වඩා පැරණියි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ග්‍රීසියෙන් කියා කියන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. තරමක් විවාදිත කරුණක් වුවත් සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයෙක්. අද ලංකාවේ ලබා දෙන සරසවි අධ්‍යාපනයේ මුල් තිබෙන්නේත් පැරණි ග්‍රීසියේ කියා කිවුවොත් එහි වැරැද්දක් නැහැ. සොක්‍රටීස්ගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායකට මේ වෙද්දී වසර දෙදාස් පන්සීයකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා.

අධ්‍යාපනය තුළ ගුරු ගෝල සම්බන්ධතා දාම දැකිය හැක්කේ බටහිර සම්ප්‍රදාය තුළ පමණක් නෙමෙයි. වෙනත් හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ සංඝ ශාසනයයි. හොරෙන් සිවුරු පොරවා ගත් අයෙක් නොවේනම්, ලංකාවේ ඕනෑම බෞද්ධ භික්ෂුවකට ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ගුරු හාමුදුරුවන්ටත් ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. වාර්තා හොයා ගන්න පුළුවන් වුවත්, බැරි වුනත් ඔය දාමය ආරම්භ වන්නේ බුදු හාමුදුරුවන්ගෙන්. ඒ අතර, දාමයේ පුරුක් සියම, බුරුමය වගේ රටවල් වලට ගිහින් ආපහු ඇවිත් ඇති. මගධයේ සිට ලංකාවට ඇවිත් ඇති.

සංඝ ශාසනය ඇතුළේ වගේම වෙනත් ලෞකික කර්මාන්ත හා දැනුම් සම්ප්‍රේෂණය වෙලා තිබෙන්නේත් ගුරු ගෝල සම්බන්ධතා හරහා. උදාහරණ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදකම, රන් හා ලෝහ වැඩ පිළිබඳ දැනුම, නැටුම් වගේ ගොඩක් දේවල්. ගුරු ගෝල සම්බන්ධයක් කියන්නේ ගුරුවරයා උගන්වන දේ ඒ විදිහටම ගෝලයාට කියා දෙන එක නෙමෙයි. ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් හා ප්ලේටෝගේ ඉගැන්වීම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. අඛණ්ඩව පහළට යන්නේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ සම්ප්‍රදාය මිසක් වෙනස් නොවන දැනුමක් නෙමෙයි. එහෙත් ආගමික සම්ප්‍රදායන් ඇතුළේ දැනුම නොවෙනස්ව සම්ප්‍රේෂණය කරන එක අදාළ සම්ප්‍රදායේම මූලික ලක්ෂණයක්. එහිදී සම්ප්‍රේෂකයාගේ කාර්යය වන්නේ පවතින දැනුමට එරෙහිව යන අලුත් දැනුම් නිෂ්පාදනය කරන්නට උත්සාහ නොකර පවතින දැනුම ඇති සැටියෙන් සම්ප්‍රේෂණය කිරීමයි. බටහිර විද්‍යාත්මක සම්ප්‍රදාය මෙයින් වෙනස් වන්නේ පවතින දැනුමට අභියෝග කිරීම සම්ප්‍රදායේම කොටසක් වීම තුළයි.


Friday, January 15, 2021

අඹ ගසක් හා මේ අඹ ගස


මම මුලින්ම ශ්‍රමය වෙනුවෙන් මුදල් උපයන්න පටන් ගත්තේ හතරවන ශ්‍රේණියේ සිටියදී. ඒ කියන්නේ වයස අවුරුදු නවයක කාලයේදී. මෙය අර්ධකාලීන රැකියාවන් කර මුදල් සෙවීමක් කියා කියන්න පුළුවන්. වෙනත් අය වෙනුවෙන් කඩේ ගොස් ඒ වෙනුවෙන් කිසියම් මුදලක් ලබා ගැනීම සැලකුවොත්නම් මේ කාලය තවත් අවුරුදු දෙකක් පසුපසට ගෙන යන්න වෙනවා. කඩේ යාම කියා කිවුවේ එම වචනයෙන් කියැවෙන ප්‍රධාන දෙය මිසක් අද අර්ථයෙන් වෙනත් අයට විවිධ ආකාරයෙන් කඩේ යාම් නෙමෙයි. මේ විදිහට අවුරුදු හතක කාලයේදී සිට කඩේ යාම වෙනුවෙන් යම් මුදලක් ලබා ගැනීමත් ශ්‍රමය වෙනුවෙන් මුදල් ඉපැයීමක් කියා කිව හැකි වුවත්, මා මුලින්ම සඳහන් කළේ දවසකට පැය ගණනක් එක දිගට ඊට වඩා තරමක් "වෘත්තීය" වූ යම් කටයුත්තක යෙදී මුදල් ඉපැයීම ගැනයි.

පරිගණක භාවිතයක් නොතිබුණු ඔය කාලයේ ගණක යන්ත්‍ර (කැල්කියුලේටර) භාවිතාවද එතරම් ප්‍රචලිතව තිබුණේ නැහැ. සමහර විට ලංකාවේ ගණක යන්ත්‍ර භාවිතය වුවත් ටිකෙන් ටික ප්‍රචලිත වෙන්න ඇත්තේ හැත්තෑ හතෙන් පසුව වෙන්න ඇති. මේ වයසේදී මට පොඩි පහේ ගණනක් නිවැරදිව මනසින් හදන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් විදිහට ඉලක්කම් තුන හතරක ගණනක් ඉලක්කම් දෙකක ගණනකින් වැඩි කරමින් එකතුව හොයන එක වගේ පොඩි දෙයක්. සමහර විට මූලික මට්ටමේ ගණක යන්ත්‍රයක් තිබුණත් එයට වඩා ඉක්මණින් හා නිවැරදිව මනසින් පිළිතුර හොයා ගන්න පුළුවන්. ගණක යන්ත්‍රයට වරදින්නේ නැතත් ගණක යන්ත්‍රය භාවිතා කරන පුද්ගලයාට වරදින එක දුලබ දෙයක් නෙමෙයි. 

ඔය විදිහට මනසින් ගණන් හැදීමේ හැකියාව උපතින්ම ලැබුණු එකක් නෙමෙයි. ප්‍රගුණ කළ එකක්. එය පෙර භවයකින් හෝ අදෘශ්‍යමාන බලවේගයක උදවුවෙන් ලැබුණු දෙයක් කියා මම කවදාවත්ම විශ්වාස කළේ නැහැ. හැබැයි අඥේයවාදී ලෙස හිතා බැලුවොත් එවැනි සම්බන්ධයක් නොතිබුණු බව සහතික කර කියන්න පුළුවන්කමකුත් නැහැ. කොහොම හරි මේ හැකියාව අඩු වයසකදී අර්ධකාලීන රැකියාවක් කර යම් මුදලක් හොයා ගන්න උපකාරී වුනා. ඊටත් වඩා වැදගත් කරුණනම් ඔය හැකියාව එම අර්ධකාලීන රැකියාව තුළ දිගින් දිගටම භාවිතා කරද්දී අදාළ කුසලතාවය තව තවත් වර්ධනය වුනා. 

ඔය ආකාරයෙන්ම මම පෞද්ගලිකව මුහුණ දුන් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක් විදිහට දිගින් දිගටම ප්‍රයෝජනයට ගැනීම නිසා මගේ මතක තබා ගැනීමේ කුසලතාවයත් කුඩා කාලයේදී හොඳින් වර්ධනය වුනා. ඔය හැකියාවන් දෙකම පාසැලේ අධ්‍යයන කටයුතු කරද්දී උපකාරී වුනා. මා මුහුණ දුන් බොහෝ විභාග වලට දවසකට හෝ දෙකකට පෙර සූදානම් වීමෙන් පසුව හොඳ ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ, කලින් කාලයක් තිස්සේ හදාරා තිබුණු විෂයයක් විභාගයට පෙර දවසක් දෙකක් පුනරීක්ෂණය කළා කියන එක නෙමෙයි. සමහර වෙලාවට විෂයට අත ගැහුවේම විභාගයට දවසකට හෝ දෙකකට කලින්. 

ලංකාවේ ගොඩක් අය වගේම මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ විධිමත් අධ්‍යාපනයේ අරමුණ කිසියම් විභාගයක් සමත් වී අදාළ සහතිකය හෝ සුදුසුකම ලබා ගැනීම බවයි. ඒ නිසා, මට අවශ්‍ය නොවූ දේවල් හැදෑරීම සඳහා කාලය නාස්ති කරමින් එම දැනුම කාලයක් තිස්සේ ගබඩා කරගෙන තියා ගැනීමේ අරමුණක් මට තිබුණේ නැහැ. මම කළේ ධාරිත්‍රකයක් විද්‍යුත් ශක්තිය ගබඩා කරගෙන නැවත මුදා හරිනවා වගේ විභාගයට පෙර දිනයේ අවශ්‍ය දේවල් ගබඩා කරගෙන විභාගයෙන් පසුව විසර්ජනය කර දැමීමයි. අත්වැඩ, සරඹ, නැටුම්, සංගීතය වැනි කුසලතා මත පදනම් වූ විෂයයන් හැර අනෙක් විෂයයන්හිදී මේ උපක්‍රමය බොහෝ විට සාර්ථක වුනා.

සාමාන්‍ය පෙළ විභාගය මට මුල සිටම ලොකු අභියෝගයක් ලෙස පෙනුණේ නැහැ. මා උපකාරක පන්ති කිසිවකට ගියේ නැතුවාක් මෙන්ම ඇත්තටම කියනවානම් විෂයයන් වැඩි ප්‍රමාණයක් හා අදාළව පාසැලේ ගුරුවරුන්ගෙන්ද ඉගෙනගත් දෙයක් නැහැ. ඔවුන් බොහෝ විට කළේ පෙළ පොත් වල තිබෙන දෙයින් තෝරාගත් කොටසක් නැවත වමාරන එකයි. ඒ වමාරන දේ අභ්‍යාස පොතක පිටපත් කරගෙන නැවත කියවනවාට වඩා මුල් පෙළ පොතම කියවන එක වඩා කාර්යක්ෂම බව පහළ පන්ති වල සිටියදීම මට තේරී තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ලකුණු තීරණය කරන්නේ විෂය භාර ගුරුවරයා හෝ ගුරුවරිය නොවූ නිසා ඔවුන්ව බයිපාස් කර යාමේ වාසියක් මිස කිසිම පාඩුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් වාර විභාග වලදී ලකුණු දෙන්නේ ඔවුන් නිසා ඔවුන්ව අමනාප කර නොගෙන සිටින්නටද සිදු වුනා. ඒ වගේම, විභාග වලට වැඩක් තිබුණත් නැතත්, ඇතැම් ගුරුවරුන්ගෙන් පෙළ පොත් වල නැති මා කැමති ආකාරයේ දැනුම්ද ලැබුණා. මට සාපේක්ෂව හොඳ ගුරුවරු වුනේ ඒ අයයි. මේ සමහර ගුරුවරු පොදු සම්මතය අනුව හරියට උගන්නන්නේ නැති ගුරුවරු විදිහට සැලකුණු අය.

සාමාන්‍ය පෙළ විභාගයේ අනෙකුත් සියලුම විෂයයන් මට අභියෝගයක් නොවූවත් විශාල අභියෝගයක් වූ එක් විෂයයක් තිබුණා. ඒ ඉංග්‍රීසි භාෂා විෂයයයි. මොන තරම් උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂා විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක මට්ටමට යාම පහසුවෙන් කළ හැකි දෙයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. පෙළ පොත කියවා ඒ මට්ටමෙන් එහාට යන්න පුළුවන්කමක් නොතිබුණා වගේම, ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරියගෙන් ඊට වඩා ඉහළට යන්න උදවුවක් ලැබුණේත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ඉංග්‍රීසි භාෂා විෂය කියන්නේ මා සාමාන්‍ය පෙළ දක්වා උගත් විෂයයන් අතරින් මට බැරිම විෂයයයි. සම්මත පෙළ පොත් නොතිබුණු නිසා සාමාන්‍ය පෙළ විෂයයන්ට සාපේක්ෂව උසස්පෙළ විෂයයන්නම් හිතුවාට වඩා අමාරු වුනා. ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුම වැඩි කරගැනීම සඳහා මම අනවරත උත්සාහයක නිරත වුනා. තවමත් නිරත වෙනවා.

මෙහෙම හිටපු මට රජයේ පූර්ණකාලීන ඉංග්‍රීසි උපගුරු පත් වීමක් ලැබුණා. මෙය වයස අවුරුදු නවයක වයසේ සිට අර්ධකාලීන රැකියා කරමින් සිටි මා නිරත වූ පළමු පූර්ණකාලීන රැකියාව නොවූවත්, ඒ වන විටත් මා වයසින් මෙන්ම ශරීර ප්‍රමාණයෙන්ද එතරම් පරිණතව සිටියේ නැහැ. සේවයට වාර්තා කිරීම සඳහා පාසැලට ගිය පළමු දින මුල් ගුරුතුමිය, අනෙක් ගුරුවරු හා සිසුන් ඇතුළු හැම දෙනෙක්ම හිතුවේ මා පාසැලට අලුතෙන් ඇතුළු වීමට පැමිණි සිසුවෙකු බවයි. මට වඩා දෙතුන් වසරකින් පමණක් බාල වූ ඇතැම් සිසුන් පෙනුමෙන් මට වඩා මුහුකුරා ගොස් සිටියා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයක් තිස්සේ දැඩි උත්සාහයක් දරමින් සිටි මට ඉංග්‍රීසි භාෂාව හෝ ඉගැන්වීම පිළිබඳ කිසිදු පුහුණුවක් නොලබා ඉංග්‍රීසි උගන්වන්න සිදු වුනා. මා කළේ කණෙක් අන්ධයෙක්ට ඉගැන්වීමක් මිස අන්ධයෙක් කණෙක්ට ඉගැන්වීමක් නොවූ නිසා මගෙන් උගත් සිසුන් ගැන මට කණගාටුවක් නැහැ. අදටත් මා විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස උගන්වන විෂයයන් පිළිබඳව මා දන්නා දේට වඩා නොදන්නා දේ ඉතා විශාලයි. ඒ දේවල් මා තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. 

ඇමරිකාවට එන විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී ඉංග්‍රීසි ඉගැන්වූ කාලයේ තිබුණු දැනුමට වඩා ගොඩක් වැඩි වුනත් එම දැනුමත් ඉතා සීමිත දැනුමක්. දැන් කියලාත් මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඒ දැනුම ඇමරිකාවට ප්‍රමාණවත්. හැබැයි මම ලංකාවේ හිටියානම් බොහෝ විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවට ප්‍රමාණවත් වෙන එකක් නැහැ. ඇමරිකාවේදී ඉංග්‍රීසි වරදින එක ලංකාවේදී තරම් ප්‍රශ්නයක් නෙමෙයි.

ඉංග්‍රීසි භාෂාව භාවිතයේදී මට අල්ලා ගන්න ගොඩක්ම අමාරු වූ දෙයක් වුනේ "the" භාවිතයයි. "the" දැමිය යුත්තේ හෝ නොදැමිය යුත්තේ මොන තැන් වලද? දැන් ඉංග්‍රීසියෙන් ලියද්දී පුරුද්ද නිසා බොහෝ විට හරියන නමුත් තවමත් මෙය වරදින එක දුලබ දෙයක් නෙමෙයි. සිංහලෙන් "table" හා "the table" අතර වෙනසක් නැහැ. ඒ නිසා, සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන කෙනෙකුට කාලයක් පුහුණු නොවී හරියට "the" යොදන එක අභියෝගයක්. ඉංග්‍රීසි නොවන වෙනත් ඇතැම් භාෂා මවු භාෂාව වූ අයට මේ ප්‍රශ්නය නැහැ. මවු භාෂාව සිංහල වූ අයට මෙය ප්‍රශ්නයක්. ලංකාවේ ඉපදුනත් ඉංග්‍රීසියෙන් හිතන අයට මෙය ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. සමහර විට මා තරම් අදක්ෂ නැති වෙනත් අයටත් මෙය අල්ලා ගැනීම මට මෙන් ප්‍රශ්නයක් වී නැතුව ඇති.

මෙහි තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ සරල ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මෙය ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් "table" කියා කියන්නේ සිංහලෙන් "මේසය" කියන එක නෙමෙයි. මම මේ කියන්නේ උඩැක්කියක හැඩයක් තිබෙන ආසනයක් කෙනෙක් පුටුවක් සේ හඳුනා නොගන්නේයැයි නලින් ද සිල්වා මගේ ලෝකයේ කියපු දෙය නෙමෙයි. මම මගේ ලෝකය කියවා අවුරුදු තිස් ගණනක් වන නිසාත්, පොත දැන් මා ළඟ නැති නිසාත්, නලින් ද සිල්වා මෙය කිවුවේ මගේ ලෝකයේ කියන එක වැරදි වෙන්න පුළුවන්. ඒක ඒ තරම් වැදගත් කරුණක් නෙමෙයි.

ඉංග්‍රීසියෙන් "table" කියා කියන විට එයින් අදහස් වෙන්නේ වියුක්ත සංකල්පයක්. එහෙත්, සිංහලෙන් "මේසය" කියන එක සංයුක්ත අදහසක්. "මේසය" කියා කියන විට සිංහල බස මවුබස වූ අප බොහෝ විට එය තේරුම් ගන්නේ කිසියම් නිශ්චිත මේසයක් ලෙසයි. වෙනත් අයෙකුගේ හිතේ මැවෙන්නේ හෝ නොමැවෙන්නේ මොනවාද කියන එක මට දැනගන්න විදිහක් නැහැ. මට කරන්න පුළුවන් එය මගේ හිතේ මවා ගන්න පමණයි. මම හිතන විදිහට "මේසය" කියා කියන විට බොහෝ විට සිංහලයෙක්ගේ හිතේ මැවෙන්නේ නිශ්චිත මේසයක්. මේ නිශ්චිත මේසය ඉංග්‍රීසියෙන් "table" කියා හඳුන්වන්න බැහැ. එය "the table" විය යුතුයි.

මම මේ ඉදිරිපත් කරන අදහස සමහර විට මීට කලින් නලින් ද සිල්වා විසින් හෝ වෙනත් අයෙක් විසින් ඉදිරිපත් කර තිබෙන අදහසක් වෙන්න පුළුවන්. පහුගිය කාලයේ සිංහලෙන් ලියැවී තිබෙන බොහෝ දේ මා කියවා නැහැ. හැබැයි මේ ගැන වෙනත් කිසිවෙකු කතා කර තිබෙනු මම දැක නැහැ. වෙනත් කිසිවෙකු එවැන්නක් කියා තිබෙන බවක් කිසිවෙකු විසින් නොපෙන්වුවහොත් මෙය සලකන්න වෙන්නේ ඉකොනොමැට්ටාගේ අලුත් අදහසක් විදිහටයි. කැමති කෙනෙක්ට රෝයල්ටි ගෙවා හෝ නොගෙවා අදහස ප්‍රයෝජනයට ගත හැකියි. අප මීට පෙර ලියූ බොහෝ දේද වෙනත් අය මූලාශ්‍රය ගැන සඳහනක් පවා නැතිව භාවිතා කර තිබෙන නමුත් අප රෝයල්ටි ඉල්ලා නඩු දමා නැහැ. නැත්නම් මෝඩ අදහසක් බව පෙන්වා දිය හැකියි. කොහොමටත් අපි ලියන දේවල් හරියන්නේ ඉතාම කලාතුරකින්. ඒ හරියන්නෙත් බටහිර මැදිහත්වීමක් වුනොත් විතරයි. 

ඉංග්‍රීසියෙන් හිතන කෙනෙකුට සංයුක්ත අදහසක් හිතට එන්නේ "the table" ලෙස හැඳින්වුවොත් පමණයි. "table" ලෙස හැඳින්වුවොත් එන්නේ වියුක්ත අදහසක්. "table" කියා කියන්නේ ලෝකයේ කොහේවත් තිබෙන මේසයක් නෙමෙයි. එයින් අදහස් වන්නේ ලෝකයේ තිබෙන මේස ලෙස හඳුනාගන්නා සියලුම දේවල් වලට තිබෙන පොදු ගුණ සමුදායක්. මේ අදහස පහසුවෙන් සිංහලෙන් විස්තර කරන්න බැහැ. මේ අඩුපාඩුව නිවැරදිව හඳුනා නොගත්තොත් සිංහලයෙක්ට කවදාවත් ඉංග්‍රීසියෙන් "table" කියන අදහස ග්‍රහණය කර ගන්න බැහැ.

අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ වෙනත් විෂයයක් ඉගෙන ගන්න විදිහටයි. එහෙම නැති අයත් ඇති. මේසයට ඉංග්‍රීසියෙන් කියන්නේ "table" කියා අපි පොඩි කාලයේදීම ඉගෙන ගන්නවා. ටී-ඒ-බී-එල්-ඒ ටේබල් කියලා කටපාඩම් කරනවා. ඕක ටාබ්ලේ නොවී ටේබල් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතු වුනත්, ඒ ප්‍රශ්නයට විසඳුමක් කාගෙන්වත් නොලැබෙන හින්දා ඒක ඉංග්‍රීසි භාෂාවේ වැරැද්දක් කියලා හිත හදා ගන්නවා. එහෙම වැරදි නැති සිංහල භාෂාව ගැන ආඩම්බරයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඉතිං "table"නම් මේසයම තමයි. ඕක ඉස්සරහින් සමහර වෙලාවට සුද්දා "the" දාන්නේ ඇයි කියන එක අපට හිතා ගන්න බැහැ.

ඉංග්‍රීසියෙන් "table", "chair", "tree", "man" වගේ යෙදුම් යොදන්නේ වියුක්ත සංකල්ප විස්තර කරන්න. මේ වචන වල තේරුම සිංහලෙන් මේසය, පුටුව, ගහ, මිනිහා කියන එකම නෙමෙයි. ගහ කියා කියූ විට සිංහලයෙක් හිතා ගන්නේ නිශ්චිත ගහක් ගැන මිසක් සියලුම ගස් වල පොදු ගුණාංග වල එකතුවක් ගැන නෙමෙයි. ඉංග්‍රීසියෙන් "tree" කියා කියන්නේ මේ පොදු ගුණාංග ටිකට. ඒ පොදු ගුණාංග ටික චිත්තරූපයක් විදිහට හිතින් මවා ගන්න බැහැ. අපට පුළුවන්කම තියෙන්නේ ඔය පොදු ගුණාංග තිබෙන සියලුම සාමාජිකයින් අතරින් එක් සාමාජිකයෙක්ව හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව චිත්තරූප විදිහට හිතෙන් මවා ගන්නයි. ගණිතයේ භාෂාවෙන් කිවුවොත් "tree" කියන වියුක්ත අදහස සමඟ ආසන්න ලෙස සමපාත කළ හැකි සියලුම සාමාජිකයින් ඇතුළත් සර්වත්‍ර කුලකයේ එක් සාමාජිකයෙකු හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව හිතෙන් මවා ගන්න.

මේ විදිහට අපි හිතින් මවා ගන්නේ එක්කෝ අපි කවදා හෝ දැක තිබෙන එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. එහෙම නැත්නම් අපි කවදා හෝ දැක තිබෙන ගස් වල ලක්ෂණ ඇසුරෙන් හිතින් මවා ගන්න එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. ඒ කියන්නේ "tree" කියන වියුක්ත අදහස අපිට හිතෙන් මවා ගන්න පුළුවන් වෙන්නේ එක්කෝ "the tree" එකක් විදිහට. එහෙම නැත්නම් "a tree" එකක් විදිහට. දැන් මේ "a tree" කියන අදහස "ගහක්" ලෙස පහසුවෙන් සිංහලට පරිවර්තනය වන නිසා සිංහලයෙක්ට මේ අදහස තේරුම් ගන්න අමාරුවක් නැහැ. කොයි ගහද කියලා දන්නේ නැහැ. මොකක් හරි ගහක්. අර කියන්නේ නමනම් දන්නේ නැහැ. හැබැයි මනුස්සයෙක්.

අවුල තියෙන්නේ "the tree" සහ "tree" වෙන් කර ගන්න යන කොට. මිහිඳු හිමි තිස්ස රජුගෙන් "මේ ගස කුමක්ද?" කියා අසන විට ඒ අසන්නේ නිශ්චිත ගසක් ගැනයි. මිහිඳු හිමි මේ ප්‍රශ්නය ඇහුවේ මොන භාෂාවෙන්ද කියා මම නිශ්චිතව දන්නේ නැහැ. වත්මන් සිංහල භාෂාවෙන් වෙන්න බැහැ. කොහොමටවත්ම ඉංග්‍රීසි භාෂාවෙන්නම් වෙන්න බැහැ. මහින්දාගමනය සිදු වුනේ වත්මන් කාලයේදීනම් ඔය ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහන්න ඉඩ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම වුනානම් ප්‍රශ්නය මොන වගේ එකක් වෙයිද?

ආමන්ත්‍රණ කොටස ඉවත් කළොත්, සමහර විට "What is this tree?" වගේ එකක් වෙයි. මෙහි "tree" කියන එක වියුක්ත අදහසක්. සිංහල අදහස "ගස" කියන එක. ප්‍රශ්නය අහන කොටසම මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන. තිස්ස රජුගෙන් අහන්නේ ඒ නිශ්චිත සාමාජිකයා කවුද කියලයි.

තිස්ස රජු හෝ ඔහුගේ භාෂා පරිවර්තකයා ඔය ප්‍රශ්නයට ඉංග්‍රීසියෙන් මොන විදිහට පිළිතුරු දෙයිද? "This is a mango tree" විදිහට පරිවර්තනය කළොත් මෙහි "a" යෙදුමෙන් අවිනිශ්චිත බවක්, නොදැනුමක් අවධාරණය වෙනවා. සිංහලෙන් අපි "ක්" එකතු කරන්නේ මේ නොදැනුම හඟවන්න. "මෙය අඹ ගසක්."

මේ පිළිතුර නිශ්චිත පිළිතුරක් නෙමෙයි. එහෙත් එම පිළිතුරෙන් අවිනිශ්චිතතාවය අඩු කරනවා. හරියට කෝවිඩ් වලට එන්නතක් ලබා ගත්තහම වගේ. "ගස" කියන අදහස වගේම "අඹ ගස" කියන අදහසත් වියුක්ත අදහසක්. මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී තිස්ස රජු එම ගසම "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවා. ඒ හැර මේ නිශ්චිත ගස කුමක්ද කියන ප්‍රශ්නයට තිස්ස රජු විසින් පිළිතුරක් දෙන්නේ නැහැ. 

"හිමියනි, මේ ගස අපගේ දීර්ඝකාලීන කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේගේ පියාණන් වූ අශෝක රජුගේ රුක් රෝපණ සංකල්පය අනුව, මගේ විධානයෙන්, අමාත්‍ය සේනයන්ගේ මෙහෙයවීමෙන්, සිටුවර පරාක්‍රමයන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මගේ පියා වූ මුටසීව රජුගේ අතින් රෝපණය කරනු ලැබූ අඹ පැලයක්." වගේ පිළිතුරක් දුන්නානම් එසේ පිළිතුරු දෙන්නේ මේ ගස නිශ්චිතව හඳුනාගෙන. එහෙත්, තිස්ස රජුට මේ ගස තවත් එක් අඹ ගසක් මිස සුවිශේෂී නිශ්චිත අඹ ගසක් නෙමෙයි. තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැහැ. 

තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැතත් එය අඹ ගසක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවාට අමතරව "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙසද හඳුනා ගන්නවා. "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගත හැකි තවත් වියුක්ත අදහසක්. මේ උදාහරණයෙන් පැහැදිලි වන පරිදි, කිසියම් වියුක්ත අදහසක් සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නා දේ අතර වෙනත් වියුක්ත අදහස්ද තිබිය හැකියි. ඇතැම් විට වියුක්ත අදහස් පමණක්ම වුවත් තිබිය හැකියි.

යමෙකුට "ගස" හෝ "අඹ ගස" කියන වියුක්ත අදහස් චිත්තරූප ලෙස හිතේ මවාගන්න පුලුවන්ද? එය කළ නොහැකියි. අපට හිතෙන් මවා ගත හැක්කේ සැබෑවටම පවතින හෝ නොපවතින නිශ්චිත ගසක්. එහෙත් අවශ්‍යනම් අපට ගතික චිත්තරූපයක් හෝ චිත්තරූප කිහිපයක් හිතෙන් මවාගෙන මේ වියුක්ත අදහස් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට "ගස" කියන වියුක්ත අදහස සමඟ අප දැක තිබෙන අඹ ගසක් අපට මතක් වෙනවා. ඒ එක්කම මේ අඹ ගස ගතික ලෙස පොල් ගහක්, කොස් ගහක් ආදී වශයෙන් සෑම ක්ෂණයකදීම වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් විවිධ ගස් තිබෙන කැලෑවක චිත්තරූපයක්. අපි මේ ගස් සියල්ල දෙස සමස්තයක් ලෙස බලමින් "ගස" කියන වියුක්ත අදහස තේරුම් ගන්නවා. හැබැයි ඔය වගේ අනුමාන කරන්න වෙන්නේම චිත්තරූප ඇසුරෙන් අදහසක් තේරුම් ගන්න යනවානම් පමණයි. අපට "ගස" කියන වියුක්ත අදහස හිතේ මවාගන්න චිත්තරූපයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. උපතේ සිට කිසි දිනක ඇස් නොපෙනුණු අයත් ඉතා හොඳින් ලෝකය තේරුම් ගන්නවා. එවැනි අයෙකුගේ හිතේ ඇස් පෙනෙන අයෙකු දකින ආකාරයේ චිත්තරූප මැවෙන්න විදිහක් නැහැ. 

"මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනවා ද?"

"ඇත, ස්වාමීනි."

"ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..බොහෝ ඇත."

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

මෙහි අවසාන පියවර දක්වාම තිස්ස රජු විසින් කිසිම ගසක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ. තිස්ස රජු දන්නේ "ගස" හා "අඹ ගස" කියන වියුක්ත සංකල්ප ගැන පමණයි. ඒ ගස් කිසිවක් තිස්ස රජුගේ මනසේ මිස මහ පොළොවේ නැහැ (nowhere). නමුත්, අන්තිමට "ඇත ස්වාමීනි" කියා කියන්නේ මේ දැන් මේ මෙතැන (now,here) තිබෙන අඹ ගසක් ගැනයි. ඒ අඹ ගසත් ඇත්තටම තිබෙන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන්නම් ඔය මැද කොමාවේ වෙනසනේ. කොහොම වුනත් අනෙක් සියලුම ගස් වියුක්ත සංකල්ප පමණයි. ප්‍රශ්න වටය අවසානයේදී නිශ්චිත අඹ ගසක් දැන්, මෙතැන තිබෙන බව තිස්ස රජු දකිනවා. රහත් වී සිටි මිහිඳු හිමිටනම් එතැන අඹ ගසක් නැති බව පෙනෙන්න ඇති. 

මේ ප්‍රශ්න වටය අවසානයේදී තමන් විසින් මෙහි දකින අඹ ගස සැබෑවටම තිබෙන අඹ ගසක් සේ දකින්නට හෝ පෙනෙන්නට හේතු වෙන ක්‍රියාවලිය ගැන අදහසක් තිස්ස රජුට ඇති වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ. මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අසද්දී තිස්ස රජුට මෙහි දැන් තිබෙන නිශ්චිත අඹ ගස පිළිබඳව සුවිශේෂී වූ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා, එය ඔහුට තවත් එක් අඹ ගසක් පමණයි. අඹ ගසක් පෙර කවදාවත් දැක නොතිබුණානම් තිස්ස රජුට මේ ගස තවත් ගසක් පමණයි. එහෙම වුනානම් පිළිතුරු දෙන්න වෙන්නේ "නමක් ගමක්නම් දන්නේ නැහැ. හැබැයි ගහක්" කියලයි.

ගස වගේම අඹ ගසත් වියුක්ත සංකල්ප. ඒ වියුක්ත සංකල්ප වලට හේතුව දැනුමයි. අඹ ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඹ ගසක් හැදෙන්නේ නැහැ. ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඩු වශයෙන් ගසක් හෝ නැහැ. අඹ ගස හෝ ගස දකින්න උදවු වෙන්නේ දැනුමයි. එහෙත් දැන් මෙතැන තිබෙන නිශ්චිත අඹ ගසක් පිළිබඳව එවැනි දැනුමක් තිස්ස රජුට නැති නිසා එය ඔහු දෑසින් දැක්කත් එම අඹ ගස පිළිබඳ නිශ්චිත හෝ වියුක්ත සංකල්පයක් ඔහුගේ මනසේ නැහැ. ඒ නිසා, තිස්ස රජු මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන අවස්ථාවේදී එම අඹ ගස නිශ්චිත අඹ ගසක් ලෙස දකින්නේ නැහැ.

මෙහි දැන් තිබෙන අඹ ගස තිස්ස රජු මීට පෙර දැක හඳුනාගෙන නැහැ. ඒ නිසා, මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අහන විට තිස්ස රජුට එම අඹ ගස ගැන නිශ්චිත දැනුමක් නැහැ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ දැනුම උපයෝගී කරගෙන "ගස" කියන වියුක්ත අදහස ඇතුලේ තිබෙන අවිනිශ්චිතතාවය "අඹ ගස" දක්වා අඩු කිරීම පමණයි. සාමාන්‍යයෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මෙයයි. 

දැනුම වැඩි වැඩියෙන් ලබා ගනිද්දී අපට වඩා අවිනිශ්චිත දේ අඩුවෙන් අවිනිශ්චිත සේ පෙනෙන්නට ගන්නවා. ඒ සමඟම අපට වඩා හොඳින් ලෝකය තේරුම් ගැනීම සඳහා වඩ වඩා දැනුම ලබා ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. ඒ අනුව අප වැඩි වැඩියෙන් දැනුම සොයා යනවා. අප එකිනෙකා විසින් සොයා යන දැනුම වගේම දැනුම සොයා යන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. එහෙත් අපි කවුරුත් අපේම ක්‍රමයකට නිරන්තරයෙන් දැනුම සොයා යනවා. මෙය එක් ආකාරයක තණ්හාවක්.

මේ ක්‍රියාවලිය නවතින්නේ කොහොමද? යමෙක් යමක් නිශ්චිත සේ දැනගත් බව "දැනගත්" වහාම තවදුරටත් දැනුම සොයා යාමේ ලෝභය තුනී වී යනවා. සමස්තයක් ලෙස නෙමෙයි. යම් නිශ්චිත කරුණක් හා අදාළව. උදාහරණයක් විදිහට යම් කෙනෙකුට වියලි කැස්සක් හැදුනහම ඒ කෝවිඩ්ද කියා සැකයක් ඇති වෙනවා. මේ අවිනිශ්චිතතාවය විසින් දැනුම සොයා ගොස් අවිනිශ්චිතතාවය අඩු කර ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. මේ කාරණාවේදී දැනුම තිබෙන්නේ පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය. 

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකු විසින් තමන් නෙගටිව්ද පොසිටිව්ද කියා දැනගත් වහාම එම පුද්ගලයාට සාපේක්ෂව නොදැනුම නැති වී යනවා. දැන් තමන්ට කෝවිඩ් තිබෙන බව හෝ නොතිබෙන බව නිශ්චිතවම දන්නා නිසා තවදුරටත් අවිනිශ්චිත භාවයක් නැහැ. අවිනිශ්චිතතාවය අඩු කර ගැනීම සඳහා දැනුම සොයා යාමේ ලෝභයක් නැහැ. නමුත්, පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සැක කරන අයෙකුගේ අවිනිශ්චිතතාවය අඩු වනවා මිස නැති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනුම සොයා යාමේ ලෝභයත් අඩු වෙන්නේ නැහැ.

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකුගේ ලෝභය කෙළවර වන්නේ මෝහයකින්. තමන්ගේ නොදැනුම පිළිබඳ සැකය දුරු වූ වහාම දැනුම සොයා යාමේ ලෝභය අවසන් වී එය මෝහයක් බවට හැරෙනවා. වැඩිපුර සැක නොකරන කෙනෙක් ඉතා පහසුවෙන් හැම දෙයක්ම "දැන ගන්නවා". දිගින් දිගටම සැක කරන පුද්ගලයා දිගින් දිගටම දැනුම සොයා යනවා. යම් දැනුමක් නිශ්චිත දැනුමක් සේ හඳුනාගත් වහාම අදාළ කරුණ පිළිබඳව දැනුම සොයා යාමේ ලෝභය මෝහයක් බවට හැරෙනවා දැනුම කියන දෙයම සැක කරන්නට පෙළඹෙන තුරු දැනුම සොයා යාමේ ලෝභය අවසන් වන්නේ නැහැ.

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

පළමු ප්‍රශ්න වටය අවසන් වී, ලෝකය වටේ ගොස් ආපසු මුලින් පටන් ගත් අඹ ගස ළඟටම එන විට තිස්ස රජුට හමු වන්නේ කලින් දැන සිටි අඹ ගසක්. පළමු ප්‍රශ්නය අසද්දී එම අඹ ගස ගැන සුවිශේෂී දැනුමක් නොතිබුණත් දැන් එවැනි දැනුමක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවානම් පළමු ප්‍රශ්නය අහද්දී තිස්ස රජු ඉදිරියේ තිබුණේ "a mango tree" එකක් වුවත් දැන් එහි තිබෙන්නේ "the mango tree" එකක්. එම නිශ්චිත අඹ ගස පිළිබඳ සංකල්පයක් ඒ වෙද්දී තිස්ස රජුගේ මනසේ තිබෙනවා. අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන විට ඔහු දකින්නේ තමන්ගේ මනසේ තිබෙන නිශ්චිත අඹ ගසක්. තිස්ස රජුගේ මනසේ කලින් නොතිබුණු දැනුමක් වූ එම නිශ්චිත අඹ ගස පිළිබඳ දැනුම අලුත් සංකල්පයක් ලෙස ඔහුගේ මනසේ පැලපදියම් වීමෙන් පසුව ඔහුට එම දැනුම පිළිබඳව තවදුරටත් සැකයක් නැහැ. එය පරම සත්‍යයක්, ඇත්තටම පවතින දෙයක් බවට පත් වෙනවා. 

දෙවන ප්‍රශ්න වටයත් මේ විදිහටම යනවා. මුල් වටය නිශ්චිත අඹ ගහකින් අවසන් වුනා වගේම දෙවන වටය "මම" නම් වූ නිශ්චිත පුද්ගලයාගෙන් අවසන් වෙනවා. අර නිශ්චිත අඹ ගහ වගේම දැන් නිශ්චිත පුද්ගලයෙක් ඉන්නවා. නිශ්චිත අඹ ගහ ගැන දැනුමක් තිස්ස රජුට කලින් තිබුණේ නැතත්, මමනම් වූ පුද්ගලයා ගැන නිශ්චිත දැනුමක් තිස්ස රජුට මුල සිටම තිබෙනවා. පළමු වටයේ පළමු ප්‍රශ්නයට අනුරූප ප්‍රශ්නයක් දෙවන වටයේදී මිහිඳු හිමි විසින් අහන්නේ නැත්තේ ඒ නිසයි. පළමු වටයේදී මෙන් දෙවන වටයේදී තිස්ස රජු විසින් "මම"නම් වූ පුද්ගලයා පිළිබඳව අලුත් දැනුමක් සංස්කරණය කර ගන්නේ නැහැ. මමනම් වූ පුද්ගලයෙකු ඇත්තටම සිටින බව තිස්ස රජුගේ දැනුමක්. එහෙමනම් මේ දෙවන වටයේ තේරුම කුමක්ද?

මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන නලින් ද සිල්වාගේ ප්‍රචලිත ප්‍රවාදයක් තිබෙනවා. ඒ නිසා, නලින් ද සිල්වා ඉල්ලුවේ නැතත්, නලින් නැට්ටන් මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන කතා කිරීම වෙනුවෙන් රෝයල්ටි ඉල්ලන්න පුළුවන්. ධර්මසේන හිමි වෙනුවෙන් එහෙමත් ඉල්ලයිද දන්නේ නැහැ. මම කියන කතාව නලින් ද සිල්වාගේ කතාව නෙමෙයි. එයට විරුද්ධ කතාවකුත් නෙමෙයි. එයට සම්බන්ධයක් නැති වෙනම කතාවක්.

තමන් යමක් හරියටම දන්නවා කියන අදහස ඇතුළේ හැම විටම වගේ තිබෙන්නේ මුලාවක්. මම කියන පුද්ගලයා ඇත්තටම ඉන්න බව තිස්ස රජු දන්නවා. ඒ පිළිබඳව තිස්ස රජුට කිසිම සැකයක් නැහැ. එවැනි කෙනෙක් ඇත්තටම සිටිනවාද කියන එක ගැන තිස්ස රජු තුළ සැකයක් ඇති කරන්න මිහිඳු හිමිට අවශ්‍යයි. මම කියන අදහසම මුලාවක් බව පැහැදිලි කරන්න අවශ්‍යයි. එහෙත් එය පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මිහිඳු හිමි වඩා පහසු අඹ ගහෙන් පටන් ගන්නවා. පළමු ප්‍රශ්න වටය අවසන් වෙද්දී තිස්ස රජුගේ මනසේ නැති අඹ ගහක් ඇති අඹ ගහක් බවට පත් වෙනවා. මේ ගැන තිබෙන දැනුම එක්ක මම කියන පුද්ගලයා හැදුනේත් මේ විදිහටම වෙන්න බැරිද කියන සැකය මිහිඳු රජුට ඇති වෙන්න පුළුවන්. එවැන්නක් ඒ වෙලාවේම වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ.

සිංහල භාෂාව තුළ නිශ්චිත ගහක් හා ගහ කියන වියුක්ත අදහස වෙන් කර හඳුනාගත හැකි නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ වෙනස හඳුනාගන්න වෙන්නේ භාෂාව භාවිතා කිරීමෙනුයි. ගහ කියා කියන්නේ ඔය දෙකෙන් කුමක් හෝ වෙන්න පුළුවන්.

"ගහ කපන්නයි ආවේ" කියලා කවුරු හරි කියන කොට මේ කියන්නේ ටික දවසකට කලින් ඇවිත් කපලා දමන්න කියපු නිශ්චිත ගහක් ගැන බව අහන කෙනා බොහෝ විට දන්නවා. දන්නේ නැත්නම් "මොන ගහද?" කියලා අහයි. එහෙම අහන්නේත් මේ අහන්නේ කුමක් හෝ නිශ්චිත ගහක් ගැන බව දන්නා නිසා. එසේ වුවත්, "ගහ දන්න කෙනාට කොළ කඩා පාන්න එපා" කිවුවහම කවුරුවත් "මොන ගහද?" කියලා අහන්නේ නැහැ. මේ කියන්නේ ගහ කියන වියුක්ත සංකල්පය ගැන මිසක් නිශ්චිත ගහක් ගැන නොවන බව අහන පුද්ගලයා දන්නවා.

සමහර වෙලාවට වචන භාවිතය එකම වෙන්නත් පුළුවන්. කවුරු හරි "මනුස්සයා අන්තිම භයානක සතෙක්!" කියා කිවුවොත් ඒ කියන්නේ කවුරු හරි නිශ්චිත මනුස්සයෙක් ගැන වෙන්න පුළුවන් වගේම මනුස්සයා කියන වියුක්ත අදහස ගැන වෙන්නත් පුළුවන්. මේ ප්‍රකාශය කරන්නේ ධර්ම දේශනාවකට හරි වෙනත් දේශනාවකට හරි සවන් දුන්නට පස්සේනම් ඔය කියන්නේ "මනුස්සයා" කියන වියුක්ත අදහස ගැන වෙන්න පුළුවන්. එහෙත්, මේ ප්‍රකාශය කරන්නේ කවුරු හරි මනුස්සයෙක් ගෙදර ඇවිත් ආපහු ගියාට පස්සේනම් ඔය කියන්නේ ඒ මනුස්සයා ගැනයි. 

ඉංග්‍රීසි භාෂාවේ මේ පැටලිල්ල නැහැ. එක්කෝ "man". නැත්නම් "the man". භාෂාවේ ඔය අවුල නැති නිසා ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක් වියුක්ත සංකල්ප හා සංයුක්ත නිරීක්ෂණ පටලවා ගන්නේ අඩුවෙන්. සිංහලයින්ට වියුක්තව හිතන්න අමාරු වෙන්න පොදුවේ ආගමට හෝ සංස්කෘතියට වඩා භාෂාවේ මේ අවුල බලපානවා. 


වෙබ් ලිපිනය: