වෙබ් ලිපිනය:

Sunday, January 31, 2021

ඉන්දියානු මෛත්‍රිය

පසුගිය වසර තුළදී කෝවිඩ් ව්‍යාප්තිය සිදු වූ ආකාරය සැලකුවොත්, වරින් වර ලෝකයේ ඇතැම් රටවල කෝවිඩ් පැතිරීම පාලනය වුනා. චීනය වැනි ඇතැම් රටවල් ඒ පාලනය දිගටම පවත්වා ගන්න සමත් වුනා. වෙනත් ඇතැම් රටවල් වලින් පාලනය ගිලිහුනා. කොහොම වුනත් සමස්තයක් ලෙස ලෝකයම සැලකුවහොත් දිගින් දිගටම සිදු වුනේ ලෝකයේ කොහෙන් හෝ දිනකට හමු වන ආසාදිතයින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි.


කවර ආකාරයකින් හෝ පසුගිය සති තුන ඇතුළත මේ ප්‍රවණතාවය ආපසු හැරී තිබෙනවා. ලෝකය පුරා කෝවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය ආරම්භ වී ව්‍යාප්ත වීම සිදු වුනේද මෙයට සමගාමීවයි. කෙසේ වුවත් මේ වනතුරුද එන්නත්කරණයේ රැකවරණය ලබා තිබෙන්නේ ලෝක ජනගහණයෙන් 1%කට ආසන්න පිරිසක් පමණක් නිසා මෙය තනිකරම එන්නතේ බලපෑමෙන් සිදු වූ දෙයක් ලෙස සලකන්න බැහැ.

වසංගතවේද ආකෘති අනුව, සාමාන්‍යයෙන් වසංගතයක් ආරම්භයේදී වේගයෙන් පැතිරී යම් උපරිම මට්ටමකට පැමිණීමෙන් පසුව ස්වභාවිකවම ක්‍රමයෙන් ක්ෂය වී යනවා. මෙසේ වසංගතය පැතිරීම ස්වභාවික ලෙසම මන්දගාමී වෙන්නේ සාමූහික ප්‍රතිශක්ති මට්ටමට ළඟා වීමෙන් පසුවයි. එන්නතකින් කරන්නේ රෝගය ආසාදනය වීමෙන් "නරක ක්‍රමයට" සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන්නට පෙර වඩා හොඳ ක්‍රමයකට සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි. 

අලුත් රෝගයක් වූ කෝවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගනිද්දී ඒ සඳහා එන්නතක් තිබුණේ නැහැ. ඒ නිසා, ලෝකයේ හැම රටකටම වගේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කරන්න සිදු වුනා. පොදු වශයෙන් මෙහිදී සිදු වුනේ සංචරණයට හා සමාජ සම්බන්ධතා වලට සීමා පැනවීමයි. එම උපක්‍රම තාවකාලිකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වුනා. 

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවලද මෙවැනි සංචරණ සීමා හේතුවෙන් ආරම්භයේදී වසංගතයේ ව්‍යාප්තිය පාලනය වුවත්, එම සීමා ක්‍රමයෙන් ලිහිල් කරද්දී නැවතත් රෝග ව්‍යාප්තිය ඉහළ ගියා. 

වසර තුළ කාලගුණයේ විශාල වෙනස්කම් සිදුවන බොහෝ බටහිර රටවල එම කාලගුණ වෙනස්වීම් සමඟ මිනිස් හැසිරීම්ද විශාල ලෙස වෙනස් වෙනවා. මෙය රෝග ව්‍යාප්තිය කෙරෙහිද බලපානවා. ස්වභාවික තත්ත්වයන් තුළද ග්‍රීෂ්ම කාලය තුළ රෝග ව්‍යාප්තිය පාලනය වී, ශීත සෘතුව තුළ නැවතත් වඩා දරුණු ආකාරයකින් හිස එසැවිය හැකි බව ඇමරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල් විසින් වසංගතය ආරම්භයේදීම නිවැරදිව පුරෝකථනය කළා. 

පළමු රැල්ල ඕනෑවට වඩා පාලනය කිරීමෙන් ශීත සෘතුව තුළ පැමිණිය හැකිව තිබුණු දෙවන රැල්ල වඩා භයානක විය හැකි විය හැකි බව ආකෘති අනුව පෙනෙන්නට තිබුණා. ඒ වගේම ග්‍රීෂ්ම සෘතුව තුළ සංචරන සීමා ආදිය යම් තරමකින් ලිහිල් කළද විශාල හානියක් සිදු වන්නට ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා, ඇමරිකාවේ උපක්‍රමය වුනේ ග්‍රීෂ්ම කාලය තුළ සීමාවන් යම් තරමකින් ලිහිල් කර ශීත කාලය තුළ නැවතත් සංචරණ සීමා පිළිබඳව වඩා සැලකිලිමත් වීමයි. දැන් ආපසු හැරී බැලුවොත් සෘතු භේද පැහැදිලිව දැකිය හැකි බොහෝ රටවල රෝග ව්‍යාප්තියේ "රැළි දෙක" පැහැදිලිව දැක ගත හැකියි.  

සමකය ආසන්නයේ පිහිටි ඉන්දියාව වැනි රටකට සෘතු භේද බලපාන්නේ අඩුවෙන්. ඒ නිසා, ඉන්දියාව වැනි රටක රෝග ව්‍යාප්තිය තනි රැල්ලකින් අවසන් විය හැකිව තිබුණා. දැන් ආපසු හැරී බැලුවොත් පෙනෙන පරිදි ඉන්දියාවේ කෝවිඩ් වේගයෙන් ව්‍යාප්ත වී ඒ ව්‍යාප්ත වුනු වේගයෙන්ම අඩු වී ගොස් තිබෙනවා. දින තුනකට පෙර ඉන්දියානු සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්ධන් විසින් ප්‍රකාශ කර සිටියේ මේ වන විට ඉන්දියාව කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීමට සමත්ව සිටින බවයි. ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාද වන හර්ෂ් වර්ධන් වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්.


ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718කින් 146කින්ම පසුගිය සතිය තුළ කිසිදු කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ වන විට ඉන්දියාවේ සිටින කෝවිඩ් ආසාදිතයින්ගෙන් 78%ක්ම කේරළ, මහා රාෂ්ඨ, උත්තර ප්‍රදේශ්, කර්ණාටක හා බටහිර බෙංගාල ප්‍රාන්ත වලට සීමා වී තිබෙනවා. කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඉන්දියානුවන්ගෙන් 0.8%ක් පමණක් වුවත්, අහඹු රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ මෙම ප්‍රමාණය 28-32 ගුණයකින් වැඩි බවයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල මේ වන විටද සාමූහික ප්‍රතිශක්තිය ඇති වී තිබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

බිලියන 1.37ක ඉන්දියානු ජනගහණය එන්නත් කිරීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන අතරම කලාපයේ රටවලට එන්නත් මෛත්‍රිය පතුරවන්නටද ඉන්දියාවට හැකි වී තිබෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට කෝවිඩ් ව්‍යාප්තිය ස්වභාවික ලෙසම සෑහෙන තරමකින් පාලනය වී තිබීම නිසයි.

4 comments:

  1. ධම්මික පැණි ගෙන රසකර බිව් කුමරී
    ඒ පැණි බීලත් කොවිඩ් හැදුන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    එන්නත හැර පැණි පලක් නොවේ නැගනී

    ReplyDelete
  2. Game stop gana liyanda puluwanda?

    ReplyDelete
  3. මයික් පොම්පියෝFebruary 1, 2021 at 2:31 AM

    "මෛත්‍රිය" !

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන අසාර්ථක මිනිසා ලංකා රාජ්‍යයේ රවටසියන් සතු වටිනාම සම්පත් ගැන කතා කරන විලාසය බලන්න. ඔහුට අනුව ඒවා ඔය කොහොම කොහොම ඔය හරි කාට කාට හරි හිතෙන හැටියට ඔහේ දීලා දාලා ඒ වෙලාවට ප්‍රශ්න විසඳලා දාන එක හරි සිම්පල්. ඒ තමයි ඔහුගේ මනසේ ප්‍රමාණය. අනික රාජ්‍ය සම්පත් ගොබ්බ විදියට පෞද්ගලීකරණය කරන තමයි එජාප කඳවුරේ නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තිය. එජාපයට සම්බන්ධ වෙන්නේත් එහෙම හිතන අය. ඔවුන්ට නැහැ මේ රාජ්‍යය පිළිබඳව තුන්කල් දැක්මක්. ඔවුන්ට නැහැ මේ රාජ්‍යයේ සමාජ ආර්ථික පදනම පිළිබඳව සමාජ-සංස්කෘතික අවබෝධයක්. ඔවුන්ට නැහැ රට ගැන ආදරයක්. ඔවුන්ට නැහැ දේශානුරාගයක්. ඔවුන්ගේ සමස්ත ජීවන චින්තනය සහ චර්යාව පදනම් වන්නේ එකම එක දෙයක් මත පමණයි. ඒ තමයි සල්ලි. ඔවුන් හැම දෙයක්ම දකින්නේ මනින්නේ සල්ලි මතයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. ඒ තමයි එජාප පාක්ෂිකයා. ඒ තමයි ලංකාවේ දේශපාලන දකුණ. ඇත්තටම මේ වගේ හාල්පාරුවෝ හින්දා වෙන්න ඇති ලංකාවේ නිදහස් වෙළඳ පොළ ක්‍රමයට විරෝධී සහ සමාජවාදී මෝඩ වාමාංශික මතවාද වලට මේ තරම් බරක් ලැබිලා තියෙන්නේ. ලංකාවේ ධනවාදී බුද්ධිමතුන් මදිකම ලොකු ප්‍රශ්නයක් නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: