වෙබ් ලිපිනය:

Monday, February 1, 2021

පැවැත්ම සඳහා සටන


කෝවිඩ් හදන වෛරසය ඉතා ඉක්මණින් පරිණාමය වෙනවාද? ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවාද? මේ වෛරසය එසේ ඉතා ඉක්මණින් පරිණාමය වනවානම්, ඉතා ඉක්මණින් අලුත් ප්‍රභේද හදනවානම් එන්නත් වලින් වැඩක් නැතුව යයිද?

කෝවිඩ් හදන වෛරසය ලෙස හැඳින්වුවේ sars-cov-2 ලෙස නම් කර තිබෙන වෛරසයයි. අපි පහසුවට කෝවිඩ් වෛරසය කියලම කියමු. බ්ලොග් ලිපියක් මිසක් පර්යේෂණ පත්‍රිකාවක් නෙමෙයිනේ. 

දැන් මේ කෝවිඩ් වෛරසය කියා කියන්නේ කුමක්ද? මේකත් වියුක්ත අදහසක්. මේසය, පුටුව, හරකා, බල්ලා වැනි අදහසකින්. කෝවිඩ් වෛරස සියල්ල එකිනෙකට සමාන නැහැ. අපි කෝවිඩ් වෛරසය ලෙස හඳුන්වන්නේ එකිනෙකට වෙනස් වුවත් ගොඩක් වෙනස් නැති වෛරස් විශාල ප්‍රමාණයක පොදු ලක්ෂණ ටිකකට. මිනිසා ලෙස පොදුවේ හැඳින්වුවත් මිනිස්සු එකිනෙකාට සමාන නැහැ වගේ.

එතකොට කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ කුමක්ද? කෝවිඩ් ප්‍රභේදයක් කියා කියන්නේ ඔය කෝවිඩ් වෛරසය ලෙස පොදුවේ හඳුන්වන වෛරස සියල්ල අතරින් එකිනෙකට වඩා සමාන කෝවිඩ් වෛරස ටිකකට. දැන් ඔය මිනිස්සුත් කොකේසියන්, මොන්ගෝලියන් හා නීග්‍රෝ කියලා වර්ග කරන්නේ. සුදු කොකේසියානුවෙක් හා කහ සම තිබෙන මොන්ගෝලියානුවෙක් එකවරම වෙන් කරලා අඳුනගන්න එක ඒ තරම් අමාරු නැහැනේ. හැබැයි සමහර වෙලාවට හරියටම ඔය ගොඩකට දමන්න බැරි වැට උඩ මිනිස්සුත් අපිට හමු වෙනවා. වෛරස් වලට වුනත් ඔය කතාව පොදුයි. 

කෝවිඩ් වෛරස් එකිනෙකෙන් වෙනස් වෙන්නේත් මිනිස්සු උපතින් එකිනෙකාගෙන් වෙනස් වන හේතුවටම වුවත් මෙහි වෙනස්කමක්ද තිබෙනවා. වෛරසයක් මිනිස් ජෙනෝමය තරම් සංකීර්ණ ව්‍යුහයක් නෙමෙයි. ඒ වගේම, වෛරසයක්, විශේෂයෙන්ම කෝවිඩ් වෛරසය වැනි වෛරසයක්, පිටපත් හදන්නේ මිනිස් පිටපත් හදන තරම් සංකීර්ණ ක්‍රමයකට නෙමෙයි.

මිනිස් දරුවෙක් එම දරුවාගේ දෙමවුපියන්ගෙන් වගේම ඒ දෙදෙනාගෙන් බිහිවන සම-නිවුන් නොවන වෙනත් දරුවන්ගෙන්ද වෙනස් අලුත්ම පිටපතක් වෙන්නේ මවගෙන් හා පියාගෙන් ලැබෙන ජාන කට්ටල අහඹු ලෙස මිශ්‍ර විය හැකි ආකාර විශාල ප්‍රමාණයක් තිබෙන නිසා. හැබැයි මොන විදිහට මිශ්‍ර වුනත් බොහෝ විට දරුවන්ට ලැබෙන්නේ මවගේ හා පියාගේ ලක්ෂණ වල කලවමක්. එහෙම නැතුව මවට හෝ පියාට (හෝ ඔවුන්ගේ පරම්පරා වල ඉහළින් සිටි අයට) නැති අලුත්ම ලක්ෂණයක් දරුවෙකුට ලැබෙන්න විදිහක් නැද්ද?

මේ වගේ දෙයක් වෙන්නේ කලාතුරකින්. එවැනි අලුත් ලක්ෂණයක් ඇති වන්නේ පිටපත් හැදීමේදී සිදු වන වැරදි, එහෙමත් නැත්නම් විකෘති නිසා. බොහෝ විකෘති වලින් වෙන්නේ අලුත් ජනිතයෙකුගේ පැවැත්මට බාධා කරන එක වුවත් අහම්බෙන් සිදුවන සමහර විකෘති වඩා හිතකරයි. ඒ වගේ විකෘති වේගයෙන් පැතිරී කලකට පසුව සාමාන්‍ය තත්ත්වය බවට පත් වෙනවා. 

අපි හිතමු 99%ක්ම මැරෙන කිසියම් වෛරස් රෝගයක් වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා කියලා. දැන් මේ රෝගයෙන් ලෝක ජනගහණයෙන් 99%ක්ම මැරෙනවා. බේරෙන්නේ 1%ක් පමණයි. ඒ 1%ට රෝගය හැදී ප්‍රතිකාර නිසා හෝ වෙනත් හේතුවක් නිසා පසුව සුව වෙනවා. ඔය අතරේ කිසියම් ජාන විකෘතියක් නිසා මේ රෝගය හැදෙන්නේ නැති එක් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ හෝ ඇයගේ දරුවන්ගෙන් 50%කට මේ ජානය සම්ප්‍රේෂණය වනවා කියා හිතමු. ඒ අයගේ දරුවන්ටත් ඒ විදිහටම ජානය සම්ප්‍රේෂණය වෙනවා. පරම්පරා ගණනක් යද්දී මේ ජානය තිබෙන දහසක පමණ පිරිසක් ඉන්නවා.

දැන් නැවතත් අර වෛරසය පැතිරෙනවා. කලින් පාර රෝගය හැදී ඉතුරු වුනු 1%ක පිරිසගෙන් පැවත එන අයගෙන් 99%ක් මැරෙනවා. 1%ක් පමණක් ඉතිරි වෙනවා. අර ආරක්ෂක ජානය තිබෙන අයට පමණක් රෝගය හැදෙන්නේම නැහැ. මේ පිරිස විශේෂ පිරිසක් බව අනිත් අයට පෙනෙනවා. ඒ නිසා, ඒ අයට සහකරුවන් හොයා ගන්න වඩා පහසු වෙනවා. අනෙක් අයට වඩා වැඩියෙන් ඒ අය දරුවන් බිහි කරනවා. තව පරම්පරා ගණනකට පසුව තුන් වන වරටත් වසංගතය ආවොත්, ඒ වෙද්දී ජනගහණයෙන් විශාල පිරිසකට මේ ආරක්ෂාකාරී ජානය තිබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වුනොත් ආරක්ෂාකාරී ජානය තිබෙන අය පමණක් ලෝකයේ ඉතුරු වෙලා අනෙක් අය වඳ වෙලාම යනවා. හැබැයි ඔය වගේ වැඩක් වෙන්න විශාල කාලයක් යනවා.

මිනිහෙක්ට තමන්ගේ පිටපතක් හදන්න අවුරුදු විසිපහක් පමණ යනවා. පිටපත් කිරීමේ වැරදි නිසා හිතකර විකෘතියක් හැදෙන්නේ පිටපත් දහස් ගණනක් පිටපත් වෙද්දී. ඒ නිසා, මිනිසාගේ පැවැත්මට වඩා හිතකර විකෘතියක් හැදෙන්න අවුරුදු දසදහස් ගණනක් යනවා. නමුත්, වෛරසයකට පැය දහයක පමණ කාලයකදී පිටපත් දහසක් පමණ හදන්න පුළුවන්. ඒ වගේම, වෛරස් වල (විශේෂයෙන්ම කෝවිඩ් වෛරස් වැනි RNA වෛරස් වල) පිටපත් කිරීමේ දෝෂ පරීක්ෂා කළ හැකි හොඳ යාන්ත්‍රනයක් නැති නිසා විකෘති ඇති වීමේ සම්භාවිතාව වැඩියි. දැන් සිදුවනවා වගේ ලෝකය පුරා වේගයෙන් වෛරසය ව්‍යාප්ත වන කාලයක ඉතා ඉක්මණින් විකෘති බිහි විය හැකියි. 

විකෘතියක් බිහි වුනු පලියටම එය පෙනෙන තරමේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ විකෘතියට යම් පරිණාමික වාසියක් ඇත්නම් පමණයි. අළුතෙන් බිහි වී තිබෙන කෝවිඩ් ප්‍රභේද වේගයෙන් පැතිරෙන්නේ ඇයි?

කෝවිඩ් ප්‍රභේද හැමදාම අලුතෙන් බිහිවෙනවා ඇති. නමුත්, පරිණාමික වාසියක් නැත්නම් ඒවා ගොඩක් වෙලාවට ටික කාලයකින් "වඳ වී" යනවා. ඒ නිසා, බොහෝ විට "හෙමින් පැතිරෙන" කෝවිඩ් ප්‍රභේද අලුතෙන් බිහි නොවෙන්න පුළුවන්. මොකද එවැනි විකෘතියකට පරිණාමික වාසියක් නැහැ. නමුත්, අහම්බෙන් ඇති වූ විකෘතියක් නිසා වේගයෙන් පැතිරෙන කෝවිඩ් ප්‍රභේදයකට හැම විටම විශේෂ පරිණාමික වාසියක් තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රභේදයක් බිහි වූ විට කෙටි කාලයකදී අනෙක් ප්‍රභේද වඳ වී එම ප්‍රභේදය පමණක් ඉතිරි විය හැකියි. 

ඕනෑම ජීවයක් වගේම වෛරස් එකක් වැනි ආසන්න ජීවයක් හැමවිටම ක්‍රියාත්මක වන්නේ පැවැත්ම කියන සාධකය අරමුණු කරගෙනයි. මිනිස්සුන්ගේ සාධාරණත්වය, සහජීවනය වගේ කතා සියල්ල හැම විටම මේ පැවැත්ම කියන සාධකයට යටයි. උදාහරණයක් විදිහට මිනිස්සු පරිසරය ගැන, අනෙක් ජීවීන් ගැන වගේම අනෙක් මිනිස්සු ගැනත් හිතන්නේ එසේ හිතීමෙන් තමන්ගේම පැවැත්ම තහවුරු වන නිසා මිසක් වෙන කෙහෙම්මලකට නෙමෙයි. තමන්ගේ පැවැත්ම අනතුරේ හෙලාගෙන වෙන දෙයක් හෝ කෙනෙක් ගැන හිතමින් කරන කිසිම කටයුත්තකට පරිණාමික පැවැත්මක් නැහැ. වෛරස් ප්‍රශ්නයක් වෙනකොට වෛරස් මරන්න වෙනවා. ඔටුවෝ ප්‍රශ්නයක් වෙන කොට ඔටුවෝ මරන්න වෙනවා.

වෙනස් වන තත්ත්වයන්ට අනුරූපව ක්ෂණිකව වෙනස් වී තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේදී වෛරසයකට තිබෙන වාසිය මිනිස්සුන්ට නැහැ. තමන්ට ජීවවිද්‍යාත්මකව පරිණාමය වී වෛරසයක් සමඟ තරඟ කළ නොහැකි වුවත්, කවර හෝ වාසිදායක ජාන විකෘතියක් නිසා වියුක්තව හිතන්න පුළුවන්කම ලැබීමෙන් පසු මිනිස්සුන්ට තවදුරටත් තමන්ව වෙනස් කරගන්න අහඹු ජාන විකෘතියක් සිදු වන තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ. එන්නත් හදාගෙන අපේ ප්‍රතිශක්තිය වැඩි කරගෙන වෛරස් එක්ක තරඟ කරන්න අපට පුළුවන්. හැබැයි එහෙමයි කියලා වෛරස් වැඩේ අතාරින්නෙත් නැහැ.

කෝවිඩ් වෛරසයකට අවශ්‍ය වන්නේත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න මිසක් මිනිස්සුන්ව ලෙඩ කරන්න හෝ මරන්න නෙමෙයි. කෝවිඩ් වෛරසයක් එහෙම කරන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. මේක හිතලා කරන දෙයක් නෙමෙයි. නමුත්, පරිණාමය හරහා වෙන්නේ ඒකයි.

මිනිස්සුන්ට අවශ්‍යත් ඕකම තමයි. කෝවිඩ් වෛරස් විනාශ කරන්න මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මිනිස්සු කෝවිඩ් වෛරස් විනාශ කරන්නේ හෝ අලුතෙන් බිහිවීම වළක්වන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නයි.

ඔය විදිහට ජීවී විශේෂ දෙයක් තමන්ගේ පැවැත්මවල් තහවුරු කර ගන්න කරන සටනක් එම ජීවී විශේෂ දෙකෙන් එකක් වඳ වී අවසන් විය හැකි වුවත්, බොහෝ විට වෙන්නේ අදාළ ජීවී විශේෂ දෙකටම තමන්ගේ පැවැත්මවල් තහවුරු කරගත හැකි සහජීවනයකින් සටන කෙළවර වන එකයි. මේ වෙලාවේ සිදු විය හැක්කේත් එයයි.

මිනිස්සු කෝවිඩ් ප්‍රශ්නය ජයගෙන තමන්ගේ පැවැත්මට තිබෙන තර්ජනය ඉවත් කර ගනියි. කෝවිඩ් වෛරසයත් ඒ වැඩේම කරයි. කෝවිඩ් මිනිස්සුන්ට මරණය කැඳවන්නේ නැති සාමාන්‍ය ලෙඩක් විදිහට දිගටම පවතියි.

5 comments:

  1. බුරුමයට මිලිටරි පාලනයක්! නලින් ද සිල්වා තානාපතිතුමාට ඒ අත්දැකීම විඳින්නට වාසනාව!!

    ReplyDelete
  2. අලුත් ප්‍රභේද ගැන කියවෙන කතාව තමා ඒවා එතරම් මාරාන්තික නෑ කියන එක. කෝවිඩ්ම ඒකට එරෙහිව ප්‍රතිශක්තියක් පතුරවනවා වගේ වැඩක් ද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අපි නිකමට හිතමු ආසාදනය වන අයගෙන් 99%ක්ම මැරෙන කෝවිඩ් ප්‍රභේදයක් හැදුනා කියලා. හැදෙන මිනිස්සු වැඩි දෙනෙක්ට ගොඩක් අමාරු වෙන නිසා ආසාදනය වූ වහාම අනෙක් මිනිස්සුන්ගෙන් වෙන් වීමක් වෙනවා. පසුව වැඩි දෙනෙක් මැරිලා යනවා. ඒ එක්කම මැරුණු කෙනාගේ සිරුරේ තිබෙන වෛරස් සංචිතයත් නැති වෙලා යනවා. ඔය වැඩේ දිගටම වෙද්දී මිනිස්සුන්ට වගේම වෛරසයටත් පැවැත්මක් නැති වෙලා යනවා. කොහොම වුනත් අලුත් ප්‍රභේද වඩා මාරාන්තික නැති බව මිසක් අඩුවෙන් මාරාන්තික බව තහවුරු වී නැහැ.

      Delete
  3. ඉකෝන් පැවැත්ම සඳහා සටන ගැන කියන විට මතකයට නැගෙන්නේ මේ දවස්වල ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් (මේ අයව හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා) තමයි. මෙම කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් කතාවෙන කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝර්න් අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. ඒ වගේම ඔබ දන්නවාද කාලයක පටන් ලංකාවට භයානක කථා මාතෘකාවක් වී ඇති මේ බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය ගෝඨ ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක ‍රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම කිලී මහරාජා, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.

    මෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහණය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන ‍රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

    රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්‍රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්‍රමරත්නය.

    ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.

    සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්‍ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි. ජවිපෙ ජාතික බලවේගයේ හරිනි, නිරූපා, කැටිපේ, සරෝජා පෝල්රාජ් ඇතුලු බොහෝ දෙනෙක් මෙන්ම අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, ලාල් කාන්ත ඇතුළු බොහෝ අය රහසින් බෝන් අගේන් දහමේ අනුගාමිකයන් වේ.

    ඒ වගේම සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස ආගමික අරමුණකින් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්‌තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුණක් පමණි. මේ වගේම මොවුන්ගේ ග්‍රහණයට නතු වූ රාජ පක්ස පවුල් ගස මෙන්ම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ. ඇමරිකානු රටේ තත්වයත් මේ වගේමද?

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ඇත්තටම ලංකාව වගේ රටක ජීවත් වෙනවා නම් කවදාවත් දේශීය පුද්ගලික ව්‍යවසාය සහ ආයෝජන බිල්ලෙක් වගේ දකින්න එපා මොකද ලංකාව නැති බංගස්ථාන වෙන්න ඒ මානසිකත්වයක් එක හේතුවක්.

    ලංකාවේ රජයේ ආයතන කිසිවක් රජය භාරයේ තිබුනා කියලා රටටවත් අපිටවත් වෙන හොදක් නෑ වෙන්නේ රටට පාඩුවක් සහ අපේ බදු මුදල් වියදම් කරන්න, දූෂණය වෙන්න එක ආයතනයක් එක්වීමක් පමණයි.

    ආර්ථිකය සංවර්ධිත ගොඩක් රටවල දේශීය ආර්ථිකයෙන් මහා පරිමාණ කොටසක් රාජ්‍ය ව්‍යවසායකයට නෑ. ඒ මහා ආර්ථිකයන් මෙහෙයවන්නේ පුද්ගලික ව්‍යවසාය ඒ කියන්නේ කෝටි දෙකක ජනතාවක් තියාගෙන ලක්ෂ පහලොවක රාජ්‍ය සේවයක් තියාගෙන නලවන්නේ ලංකාවේ විතරයි.

    මම හිතන්නේ ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි, දූෂිතයි. දිනකට ඔවුන් නාස්ති කරන ඔවුන්ගේ සහ අනුන්ගේ වටිනා කාලය මිනිස් පැය ලක්ෂ ගණනක්. අනික පාඩු ලබන රාජ්‍ය ආයතනයක් පුද්ගලීකරණය කරනවාට ඒ ආයතනයේ සේවක පිරිස විරුද්ධ වෙන්නේ ඔවුන්ට නැති වෙන පෙන්ෂන් එක සහ වරප්‍රසාද නිසා මිසෙක රටට ඇති ආදරයට නෙවෙයි.

    ඔය සේරම දේවල් හින්දා රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න, සේවයක් සපයා ගන්න උත්සාහ කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ නායක ආචාර්ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලීකරණ වැඩපිළිවෙල කොච්චර කාලෝචිතද කියලා හිතේවි..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: