වෙබ් ලිපිනය:

Sunday, February 7, 2021

දෙවියෝ මොන වගේද?


මම කවදාවත් කොරෝනා වෛරස් එකක් දැකලා නැහැ. ඒ නිසා, මට කොරෝනා වෛරස් එකක් චිත්ත රූපයක් විදිහට හිතේ මවා ගන්න අමාරුයි. ඒ වුනත්, විවිධ මාධ්‍ය වල දැකිය හැකි ආකාරයේ කොරෝනා වෛරස් එකක රූපයක් හෝ කෘතීම ලෙස වර්ණ ගැන්වූ ඡායාරූපයක් චිත්ත රූපයක් විදිහට හිතේ මවාගන්න එකනම් අමාරු වැඩක් නෙමෙයි. 

මම තවමත් හදිසියේ හෝ ගෙයින් එළියට යනවානම් යන්නේ මුව වැසුම් දමාගෙන. ගෙදර ඇවිත් මුව වැසුම ඉවත් කරන්නේ ගොඩක් පරිස්සමින්. අත් වල හා වෙනත් තැන් වල රැඳී තිබිය හැකි කොරෝනා වෛරස් විනාශ කරන්න මම විෂබීජ නාශක භාවිතා කරනවා. සබන් ගා අත් සෝදනවා. මේ එකක්වත් කරන්නේ කොරෝනා වෛරස් පෙනිලා නෙමෙයි. කොරෝනා වෛරස් වල චිත්තරූප හිතේ මවාගෙනත් නෙමෙයි. එහෙත්, කොරෝනා වෛරස් තිබිය හැකි බව හිතා ගෙන. විය හැකියාවක් ලෙස ඒ වගේ දෙයක් ගැන හිතන්න අමාරු නැහැ.

කොරෝනා වෛරස් එකක් කවදාවත් දැකලා නැති වීම මට ප්‍රශ්නයක් නෙමෙයි. කොරෝනා වෛරස් ඇස් දෙකෙන් දකින්න අවශ්‍යනම් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයක් උපකාරයෙන් එය කළ හැකි බවට මට විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා පුහුණුවක් අවශ්‍යනම් ඒ පුහුණුව ලබා ගැනීම අසීරු නොවනු ඇති බවටද මට විශ්වාසයක් තිබෙනවා. කොරෝනා වෛරස් ගැන මම දන්නේ වෙනත් අය කියා හෝ ලියා ඇති දේවල් පමණක් වුනත් ඒ දේවල් ගැන මට විශාල සැකයක් නැහැ. යම් කරුණු පිළිබඳව සැක තිබුණත් සමස්තයක් ලෙස විශාල විශ්වාසයක් තිබෙනවා.

මිනිස් ඇස් වලට නොපෙනෙන දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් මම කවදාවත් දැකලා නැහැ. වෙනත් අයුරකින් එවැන්නන් සිටින බවක් දැනිලත් නැහැ. එහෙම සංකල්පික ජීවීන් පිළිබද විවිධ කතානම් කුඩා කාලයේ ඉඳලම අහල තියෙනවා. හැබැයි මේ කතා මට කියලා තිබෙන වැඩි දෙනෙක් ඒ කතා වෙනත් අයගෙන් අහපු අයයි. ඊට වඩා වැඩි දුරකට ගිය අය වරින් වර හමු වී තිබුණත් එවැන්නන් කියන දේ ඇත්ත බවට කවදාවත් විශ්වාසයක් ඇති වී නැහැ. සහතික කර කියන්න බැරි වුනත්. බොරු බව හිතන්න උදවු වෙන කරුණුනම් එවැනි හැම විටකම වගේ හමු වී තිබෙනවා. 

දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්ප වල තිබෙන සංකල්පික ලක්ෂණ අනුවම මම මහන්සි වුනා කියා දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ දැක ගන්න හෝ වෙනත් අයුරකින් හඳුනාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් පැහැදිලි ක්‍රමයක් නැහැ. ඒ නිසා කිසියම් අහම්බයක් වුනොත් මිසක් අනාගතයේදී වුවත් වියුක්ත අදහසක් ලෙස මිසක් ප්‍රත්‍යක්ෂයෙන් මට දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ හඳුනා ගන්න පුළුවන් වෙයි කියා හිතීමේ හැකියාවක් නැහැ. මේ කියන ආකාරයේ දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ මිනිස්සු හදාගත් වියුක්ත සංකල්ප ලෙස මිස ඊට වඩා අමුතු දේවල් ලෙස මට හිතාගන්න අමාරුයි. ඒ නිසා, මේ කියන ජීවීන් ඇත්තටම ඉන්නවාද නැද්ද කියන එකේ මට කිසිම වෙනසක් නැහැ.

මා හැදී වැදුණු බෞද්ධ ආගමික පසුබිම නිසා ඔය ආකාරයේ ජීවීන් ගැන මට කුඩා කළ සිට අහන්න ලැබී තිබෙන කතා ගොඩක් ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා වල තිබෙන කතා වලට බොහෝ දුරට සමානයි. මේ සූත්‍ර දේශනා වල විවිධ දෙවිවරු, දේවතාවියෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ඉන්නවා, එම තොරතුරු ඇසුරෙන් මට දෙවි කෙනෙක් කියන සංකල්පය හිතෙන් මවාගන්න පුළුවන්. හැබැයි චිත්ත රූපයක් විදිහට නෙමෙයි. අවශ්‍යනම් දෙවි කෙනෙකුගේ පිළිමයක් හෝ චිත්‍රයක් හිතෙන් මවාගන්න පුළුවන්.

සූත්‍ර දේශනා වල හමු වන දෙවිවරු මොන වගේ පිරිසක්ද?

මේ ප්‍රශ්නයට ගොඩක් විස්තරාත්මක පිළිතුරක් ලියන්න පුළුවන්. දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් ගැන ත්‍රිපිටකයේ හා අටුවා වල සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙනවා. මේවා ගැන එකිනෙක අරගෙන කතා කරන එක ලොකු කාලයක් ගත වන වැඩක්. කොහොම වුනත්, තොරතුරු විදිහට ගත්තොත් බොහෝ තැන් වල තිබෙන්නේ එකම වගේ තොරතුරු. 

රාත්‍රී කාලයේ අවට ආලෝකමත් කරගෙන එන දෙවි කෙනෙක් බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහලා යන එක වගේ විස්තර විවිධ තැන් වල තිබුනත් ඒ එන දෙවියා හෝ දෙවියා පැමිණි තැන ගැන වැඩි විස්තරයක් නැහැ. දැන් මාධ්‍ය වල අපරාධයක් වාර්තා කරන කොට අපරාධකරුගේ බිරිඳගේ අනියම් පෙම්වතාගේ මවගේ ජාතිය වගේ දේවල් විස්තර කරන වෙලාවල් තිබුණත් විය යුතු පරිදිම සූත්‍ර දේශනා වල දෙවියන් අහපු ප්‍රශ්නය හා ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ගැන මිසක් දෙවියන්ගේ ජාතකේ ගැන විස්තර කරලා නැහැ. ඒ වගේ වැඩි විස්තරයක් තියෙන්නේ ප්‍රස්තුතයට අදාළ වන තැන් වල පමණයි. කියන්න හදන මූලික කරුණ ගැන හදාරනවා වෙනුවට ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන්න මහන්සි වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ මේ වගේ තැන් වල තිබෙන තොරතුරු.

ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන කෙනෙකුට විමානවත්ථුපාලියේ එන සෙරිස්සක විමාන කථාව හොඳ මූලාශ්‍රයක්. මෙහි විස්තර වෙන්නේ මිනිස් කණ්ඩායමකට දෙවිවරුන් පිරිසක් හමු වන අවස්ථාවක්. මේ හමුවීම හා අදාළව හොඳ විස්තරයක් සෙරිස්සක විමාන කථාවේ තිබෙනවා. ඒ කතාව ඇසුරෙන් අපට දෙවිවරු කියන්නේ මොන වගේ පිරිසක්ද කියා තේරුම් ගන්න පුළුවන්. මේ විමසීම කරද්දී දෙවියන් කියා පිරිසක් ඇත්තමට ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විමසීම හරහා එවැනි පිරිසක් සිටින බව හෝ නොසිටින බව තහවුරු වෙන්නේ නැහැ. නමුත්, ඇත්තටම සිටින හෝ නොසිටින දෙවිවරු ගැන ථෙරවාද බෞද්ධ දැනුම මොන වගේ එකක්ද කියා අපට මේ හරහා විමසා අවබෝධ කර ගත හැකියි.

දැන් මේ කතාව අනුව අංග හා මගධ දේශ වල වැසියන් වූ පිරිසක් ගැල් සාත්තුවකින් පාඨලීපුත්‍ර නගරයේ සිට සින්ධු හා සෞවීර රාජධානි බලා වෙළඳාම පිණිස ගමන් අරඹනවා. සැතපුම් එක් දහස් පන්සීයක පමණ දුරක්. මෝටර් රථයකින් එක දිගට ගමන් කළොත් අද වුවත් මේ ගමනට පැය තිස් තුනක් පමණ යනවා. ගැල් සාත්තුවේ මැදි වියේ අය වගේම දරුවන් හා මහල්ලනුත් ඉන්නවා. එය ඒ දවස් වල සාමාන්‍ය තත්ත්වය වෙන්න ඇති. බෞද්ධ භික්ෂූන් පවා ගැල් සාත්තු එක්ක ගමන් කළ අවස්ථා තිබෙනවානේ. දැන් කෝච්චියක ගමනක් යනවා වගේ.


ගැල් සාත්තුව බඩු පිරවූ ගැල් දහසක එකක්. විශාල පිරිසක් මේ වගේ දිගු ගමනක් යද්දී සහායක සේවා සපයන අයත් ගෙනියන්න වෙනවනේ. සම්භව නම් වූ කරණවෑමියාද මේ අයුරින් මේ ගැල් සාත්තුවේ යන්නන්ගේ කොණ්ඩා රැවුළු කපමින් ගැල් සාත්තුව සමඟ ගමන් කරනවා. 

ගැල් සාත්තුව කාන්තාර ප්‍රදේශයකට ලඟා වෙනවා. විස්තරයේ හැටියට මේ කියන්නේ සින්ධු සෞවීර දේශ වලට කිට්ටු වෙද්දී හමු වන දැන් තාර් කාන්තාර ප්‍රදේශය ලෙස හඳුන්වන පැත්ත කියා හිතන්න පුළුවන්. මේ ප්‍රදේශයේ උෂ්ණය ඉතා අධික නිසා ගැල් සාත්තුව දිවා කාලයේ එක තැනක නැවතී විවේක ගනිමින් රාත්‍රී කාලය තුළ ගමනේ යෙදෙනවා. මෙසේ ගමන් කරද්දී මග වැරදී අතරමං වෙනවා. දේව විමානයක් හමු වෙන්නේ ඔය විදිහට අතරමං වෙලා සිටින අවස්ථාවක.

මේ දේව විමානය තිබෙන්නේ මහරි කැලෑවක් මැද. ඇතැම් තැන් වල සඳහන්ව තිබෙන විදිහට මහරි කියන්නේ මාර වර්ගයේ ගසක්. කකුසඳ බුදුන් බුදු වී තිබෙන්නේත් මහරි ගසකට පිට දීලා. මාරද කියා මම හරියටම දන්නේ නැති නිසා අපි මහරි කියලම කියමු. පාලි භාෂාවෙන් සේරිස්සක කියන්නේ මහරි කියන අර්ථයෙන්. මහරි ගස් මැද පිහිටි මේ දෙවු විමන හඳුන්වා තිබෙන්නේ සේරිස්සක විමානය ලෙසින්. එහි වසන දේව පුත්‍රයා සේරිස්සක දේව පුත්‍රයා ලෙස හැඳින්වෙනවා. මේ සේරිස්සක දේව පුත්‍රයාගේ අතීත කතා හා සේරිස්සක දේව විමානයේ අතීත කතා ගොඩක් තියෙනවා. ඒවායේ වැඩි විස්තර අපි පැත්තකින් තියමු. 

සේරිස්සක විමානයට සේරිස්සක දේව පුත්‍රයා ඇවිත් වැඩි කලක් නැහැ. මිනිස් වර්ෂ වලින් සීයක් පමණ. මේ දේව පුත්‍රයා බුද්ධ කාලයේ ප්‍රාදේශීය රජෙක් ලෙස ජීවත්ව සිට ඇති අයෙක්. සේරිස්සක විමානයේ කලින් සිටි දේව පුත්‍රයා චුත වෙලා මිනිස් ලොවට ගියාට පස්සේ තමයි මේ දෙවුවිමන ඔහුට හිමි වී තියෙන්නේ. මුලින්ම ඇවිත් තිබෙන්නේ හිස් විමානයකට. පස්සේ තවත් පිරිස් එහි ඇවිත් තිබෙනවා. තවත් පිරිස් කිවුවට මිනිස් ලෝකයේ රජෙක්ව සිටිද්දී හිටපු පිරිවර. දැන් ඒ අය මේ දේව පුත්‍රයාගේ පිරිවර ලෙස ඉන්නවා.

සේරිස්සක දේව පුත්‍රයා නිකම් ඉන්න දේවතාවෙක් නෙමෙයි. ඔහු වෙසමුණි දෙවියන් වෙනුවෙන් දේවකාරියක් කරනවා. ඒ මේ කාන්තර ප්‍රදේශයේ යද්දී ජලය නැති කමෙන් හා උෂ්ණයෙන් පීඩාවට පත් වන අයට පිහිට වන එක සහ මේ ප්‍රදේශයේ සැරිසරන අමනුෂ්‍යයින්ගෙන් ආරක්ෂාව සැපයීම. විමානයේ ඉන්න අනෙක් පරිවාර දෙවිවරුන්ට ඉතිං කොහොමටත් එක එක වැඩ තියෙනවනේ. 

වෙසමුණිගේ අණ පරිදි පීඩාවට පත් වන අයට උදවු කරනවා කිවුවට සේරිස්සක දේව පුත්‍රයා කාන්තාරයේ ගමන් කරද්දී අමාරුවේ වැටෙන හැමෝටම උදවු කරන්නේ නැහැ. මේ ගැල් කණ්ඩායමට උදවු කරන්නේ ඒ සමඟ ගමන් කළ, තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වූ, සම්භව නම් වූ කරණවෑමියා නිසා. ඔහු නොහිටින්න මේ දෙව්-මිනිස් හමුව සිදු වන්නේ නැහැ. 

වෙසමුණි දෙවි කියන්නේ හතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙක්. පහළම දේව ලෝකය වන චතුර් මහා රාජිකය පාලනය කරන්නේ මේ හතර වරම් දෙවිවරු. සේරිස්සක දේව පුත්‍රයා වගේ පොළොව ආශ්‍රිතව ඉන්න භූමාටු දෙවිවරු චතුර් මහා රාජිකයේ ඉපදුනු අය. දැන් ඔය තාර් කාන්තාර ප්‍රදේශයේ මහරි ගස් ගොඩක් මැද්දේ තමයි චතුර් මහා රාජිකයේ කොටසක් වන සේරිස්සක විමානය තියෙන්නේ.

දිව්‍ය පුත්‍රයා රස්සාව කරමින් වුවත් දෙවු සැප වළඳමින් ඔය මහරි කැලෑවට වෙලා හිටියට ගැල් කණ්ඩායම රස්සාව කරමින් ලෝකේ හතර වටේ කරක් ගහනවනේ. ඉතිං සේරිස්සක දේව පුත්‍රයා මේ ගැල්කරුවන්ගෙන් රටේ ලෝකේ විස්තර අහනවා.

"දැන් ඕගොල්ලෝ සල්ලි හොයන්න මූදෙන් එතෙර, එතකොට මේ වගේ කාන්තාර ප්‍රදේශ වල, කණු සිටුවා වේවැල් බැඳ හදා ඇති පාලම් උඩින්, පර්වත සහිත මාර්ග වල, ගංගා වල වගේ හැම තැනකම යනවනේ. ඉතිං ඔය එක එක රට රාජ්ජ වල යද්දී දැකල තියෙන විශේෂ දේවල් මොනවද?"

දේව පුත්‍රයා ඔය ප්‍රශ්නය ඇහුවේ බොරුවට නෙමෙයිනම් ඒ කියන්නේ මේ දේව පුත්‍රයා තමන්ගේ වාස භවනයෙන් පිට රටේ ලෝකේ සිද්ධ වන දේවල් දැන ගන්නේ මිනිස්සු ඒ දේවල් දැන ගන්න විදිහටමයි.

"අපි ඔය ගිය කිසිම තැනක ඔබ මේ විඳින සැප සම්පත් තරම් සැප සම්පත් විඳින කෙනෙක්නම් දැකල නැහැ!"

ගැල් කාරයෝ ඔහොම කියන්නේ ඇත්තටමද නැත්නම් දේව පුත්‍රයාව මුරුංගා ඇත්තේ තියන්නද කියලා අපි දන්නේ නැහැ.

දැන් මේ කියන සැප සම්පත් මොනවාද? ඒවා වැඩි හරියක්ම දේව විමානය හා සම්බන්ධ දේවල්.

පලිඟු, කණක වෛරෝඩි, දියමන්ති, රතු මැණික් ආදියෙන් හැදූ රැස් විහිදෙන රියන් සියයක් පමණ උස කුළුණු මත මේ ප්‍රාසාදය හදා තිබෙනවා. සුදු නෙළුම්, රතු නෙලුම් ආදී බොහෝ මල් වලින් ගැවසුණු නිර්මල සිහිල් ජලයෙන් පිරුණාවූ පොකුණු ආකාශයෙහි (නිවසේ උඩු මහලේ?) ගලා බසිනවා. නිතර නොයෙක් ඵල පල්ලවයෙන් සැදුම්ලත් දිව්‍යවෘක්ෂ වලින් හාත්පස සුවඳ හමනවා. සත්රුවනින් නිමියාවූ දහසක් පමණ බිත්ති කණු තරප්පු ආදියෙන් හෙබියාවූ ස්වර්ණමය වේදිකාවෙන් යුක්තවූ මත්තෙහි රන්පටින් වසනලද්දාවූ දඹ රනින් මනා කොට ඔප නගනලද මේ විමානය දවසක් තිස්සේ බැළුවත් හිතේ හැටියට බලා නිම කරන්න බැහැ.

මේ රන්මාලිගාව ඇතුළෙහි කඩා කෑයුතු බුදිය යුතු නොයෙක් දිව්‍ය භෝජන සාදා තිබෙනවා. දක්ෂ වූ ගාන්ධර්වයන් විසින් වයන මිහිඟුබෙර පනාබෙර ආදී පංච තූර්ය නාද හැම විටම ඇසෙනවා. නොයෙක් දිව්‍යපුත්‍රයන් විසින් ස්තුති ගී කියමින් නමස්කාර කරනවා.

වෙසමුණි රජු ඔහුගේ නොයෙක් මලින් සැදුනාවූ නලිනී නම් පොකුණෙහි ක්‍රීඩා කරන අයුරින්ම සේරිස්සක දේව පුත්‍රයාටත් නොයෙක් දෙවඟනන් පිරිවරා මේ දෙව් විමනෙහි ක්‍රීඩා කරමින් හිතා ගත නොහැකි තරම් සතුටු වෙමින් දෙව් සැප විඳින්න පුළුවන්.

හිතා ගන්න බැරි තරම් කිවුවත් මේ දෙවු සැප අතර මිනිස්සුන්ට හිතා ගන්න බැරි දෙවු සැප නැහැ. බොහොමයක් දෙවු සැප මිනිස්සුන්ට පහසුවෙන් හිතා ගන්න පුළුවන්, එහෙත් බොහෝ මිනිසුන්ට ළඟා කර ගන්න අසීරු සැප. 

හිතේ හැටියට කෑම බීම. සංගීතය. සේවකයෝ. කාන්තාවෝ. රන් රිදී මැණික් වගේ නෛසර්ගික ප්‍රයෝජනයක් ලොකුවට නැති දුර්ලභ නිසාම වටිනාකමක් ලැබී තිබෙන දේවල්. ලොකු ගෙයක්. වැඩි මහන්සියක් නැතුව කළ හැකි රස්සාවක්. බුදුන්ගේ කාලයේ ජීවත් වූ මිනිහෙකුට හිතා ගන්න පුළුවන් වූ ලොකුම සැප. තමන්ට අවශ්‍ය පමණ සමාජයෙන් අරගෙන තමන්ට හැකි පමණ සමාජයට දීලා සතුටෙන් කාලය ගෙවන එකයි කරන්න තියෙන්නේ. 

අනෙක් ගොඩක් කතාත් ආකෘතිය අනුව මේ කතාවට වඩා ගොඩක් වෙනස් නැහැ, දෙව්ලොව ඉපදෙන ගොඩක් අය ඉපදෙන්නේ විමානයක් ආශ්‍රිතව. විමානයක් කියන්නේ ලොකු ගෙයක්. මාලිගාවක්. අලුත්ම එකක් හෝ කලින් වෙනත් දෙවියෙක් ඉඳලා හිස් වූ එකක්. රන් රිදී මුතු මැණික් හිතේ හැටියට. වෙනත් බොහෝ දේවලුත් හිතන කොටම පහළ වෙනවා. හැබැයි පංති රහිත සමාජයක්නම් නැහැ. පරිවාර දෙවියෝ ප්‍රධාන දෙවියාව සතුටු කරන්න ඕනෑ. කාන්තාවෝනම් ඉපදෙන්නේම දෙවි කෙනෙකුගේ දෙවඟනක් විදිහට. 

දෙව්ලොව ඉපදෙන කාටත් ලැබෙන එක දෙයක් තිබෙනවා. ඒ ආලෝකය විහිදෙන, දිලිසෙන සමක්. ඒකෙත් අඩුවැඩිකම් තිබෙනවා. හැබැයි පොදුවේ හැම දෙවි කෙනෙකුටම වගේ මේ ආලෝකමත් පැහැය තිබෙනවා. 

දෙවිවරු කියා පිරිසක් ඇත්තටම හිටියත් නැතත් වියුක්ත ලෙස දෙවිවරු ගැන හිතන්න පුළුවන් වීමෙන් මිනිස්සුන්ට සිදු වූ යහපතක් තිබෙනවා. මේ බොහෝ දෙවු සැප මිනිස් ලෝකයේදීම ලැබිය හැකි ආකාර මිනිස්සු හොයා ගෙන තිබෙනවා. තව දුරටත් හොයා ගනිමින් සිටිනවා. දෙවු සැප වැනි සැප ලබන මිනිස්සු ඉන්නේ සීමිත ප්‍රමාණයක් වුවත් ඒ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. 

9 comments:

  1. හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා ඒත් ඉතින් කවුරු හරි සාමාන්‍යයෙන් "සැප"ක් ලබනව නම් ඒක බෞද්ධ සංකල්ප වලට අනුව පැහැදිලිව තම තමන්ගේ සිත තුළ පහන් හැගීමකින් කෙළවර වන්නා වූ සැපක්ම විය යුතුයි. අවසානයේ දුකකින් කෙළවර වන්නා වූ සැපක් වේ නම් එය සැපයක් නොව දුක් ගංගාවක ආරම්භයක් කියලා කියන්නේ. සසර පුරා ලෝභයෙන්ද, ද්වේශයෙන්ද, මෝහයෙන්ද ඉවත්ව කුළුණු ගුණය (කරුණා ගුණය) මෙත් සිත තුළ පතුරාගත් අයට ලැබෙන ලැබෙන ආත්ම භාවයන් සිත් සැප දෙන ආකාරයට හේතුප්‍රත්‍ය වන බැවින් යමෙකු ගිහිව හෝ පැවිදිව සිටියත් තමන් චිත්ත සන්තානය ප්‍රභාෂ්වර කරගැනීමට අත්‍යාවශ්‍යයි.

    සාමාන්‍යයෙන් බෞද්ධ සංකල්ප වලට අනුව පැහැදිලිව ගිහියෙකුගේ ලෞකික සැප තීරණය වන ආකාර 4ක් තියෙනවා.

    ඒ අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ සහ අනවජ්ජ සුඛ යන හතර වර්ග වලින්.

    අත්ථි සුඛ :-
    තමන්ට සම්පත් තිබීමයි. යමෙක් තමන්ගේ දෑත, දෙපය, සිත වෙහෙසා යම් ධනයක් හිමිකර ගනීද ඔහු විසින් විටින් විට තමන්ගේ සිත තුළ අව්‍යාජ හැගීමකින් සතුටු වෙයි. මා හට ධනයක්, වස්තුවක් තිබේ. මා විසින් කා හටවත් පීඩාවක්, හිංසාවක් නොකොට මා විසින් මාගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් ධනයක් ඇත. එබැවින් මා හට එය සතුටකි. එය මට ම උරුමවූවක්. එබැවින් මා හට එය “සැපයකි” සිතමින් ම හේ සතුටු වෙයි. මේ අත්ථි සුඛය.

    භෝග සුඛ :-
    ඒ වගේම තමන් උපයාගත් ධනය තමන් යොදවන යහපත් ආයෝජනයන් ගැන සතුටු වෙයි. මා මගේ දහඩිය මහන්සියෙන් උපයා ගත් ධනයම වර්ධනය පිණිස යහපත් කර්මාන්තයක යෙදවූවා. එය හානි වීමට විනාශ වීමට හේතුවක් නැත. ඒ ගැන ඔහු නිතර නිතර සතුටු වෙයි. මා අනුභව කරන බත් පිඩ මට වාසනාවකි. මා මගේ ධනයෙන් කරන පින පවා මා හට පූර්ණ අ‍යිතියක් තිබේ. තමන් විසින් යහපත්ව උපයා ගත් මුදලින් තම දූ දරුවන් පෝෂණය කරයි. අනුන්ගෙන් මුලා කර හරි හම්බ කරගත් දෙයක් නොවන බව දකිමින් තම දරුවන් තමන් උපැයූ දේ භුක්ති විදින බව දකිමින් හේ සතුටු වෙයි. දන් පින් කරන මොහොතක් මොහොතක් පාසා තම්න් තම මහන්සියෙන් ලබා ගත් කාර්යය ඒ පින් මට ම අයිතිය යනුවෙන් සිතමින් සතුටු වෙයි. එය භෝග සුඛයයි.

    අණන සුඛ :-
    ලොව වැඩි දෙනෙකු ධනයෙන් හෝ භෝග සම්පතකින් හෝ ශ්‍රමයෙන් හෝ ණය වෙයි. යම් කෙනෙක් තව කෙනෙකුට ඒ කොයි ආකාරයක හෝ විශාලව, කුඩාව හෝ ණයක් නැත්නම් ඔහු නිදහසේ නිදයි. නිදහසේ ජීවත් වෙයි. එසේ සතුටින් සිටින ඔහු මම මළත් මට කම් නැත. මා කාටවත් ම ණය නැත යයි සතුටින්ම සිටී. එය අණන සුඛයයි.

    අනවජ්ජ සුඛ :-
    යම් අයෙකු සිතින්, කයින්, වචනයෙන් කරන ක්‍රියාවන් උතුම් ක්‍රියාවන් කර ගනිමින් ජීවත් වෙයිද ඔහුගේ තිදොරින් සිදු කරන ක්‍රියාවන් සම්බන්ධව කා හටවත් දෝෂාරෝපණය කළ නොහැකි තරම් පිරිසිදු යහපත් ක්‍රියාවන් නම් ඔහුට එය සැපයකි. මා විසින් සිදු කරන හැම ක්‍රියාවක්ම මටත් අන් අයටත් යහපතම හිත සුව පිණිසම වේ යැයි සිතමින් සතුටු වෙයි. ඒ වගේම යම් අයෙක්ට සෑහෙන්න ධනය තිබුනත්, ණය නැතිව සිටියත්, තමන් විසින් හරි හම්බ කරගත්තත් සිතින්, කයින්, වචනයෙන් සිදු වන ක්‍රියාකාරකම් තමාටත් අන් අයටත් යහපත් නොවන්නේ නම් ඔහුට සැපක් නැත. මේ අනවජ්ජ සුඛයයි.

    මුදල් හා දේපළ වෙනත් විවිධ සම්පත් කොතරම් දුරට තියෙනවා උනාට බෞද්ධ සංකල්ප වලට අනුව පැහැදිලිව ඉහත සඳහන් කරුණු සම්පූර්ණ කරගෙන පමණක් පූර්ණ වශයෙන් ලෞකික සැප විඳින්න හැකිවන බව මගේ හැඟීමයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඔබගෙ තේරුම් ගැනීම අනුව?

    ReplyDelete
    Replies
    1. බුද්ධ ධර්මය හා ආර්ථික විද්‍යාව සංසන්දනය කිරීම තේරුමක් නැති වැඩක්. ඒ තේරුමක් නැති වැඩේ කරමින් ආර්ථික විද්‍යාව අනුව මේ දේවල් අර්ථදැක්වුවොත් මෙහෙමයි.

      අත්ථි සුඛ = වත්කම් (assets)

      වත්කම් වැඩි වන තරමට උපයෝගීතාවය (මෙහි සුඛය යනු utility ලෙස සැලකිය හැකියි) වැඩි වෙයි.

      භෝග සුඛ = වත්කම් ආයෝජනය කර ලබන ප්‍රතිලාභ (return on investment)

      වත්කම් ආයෝජනය කර ලබන ප්‍රතිලාභ වැඩි වන තරමට උපයෝගීතාවය වැඩි වෙයි.

      අණන සුඛ = ශුද්ධ වත්කම් (net assets)

      වත්කම් වැඩි වන තරමට උපයෝගීතාවය වැඩි වන නමුත් බැරකම් වැඩි වන විට උපයෝගීතාවය අඩු වෙයි. ශුද්ධ වත්කම් යනු මේ දෙක අතර වෙනසයි. වත්කම් වලට වඩා බැරකම් වැඩි වූ විට, එනම් ශුද්ධ වත්කම් සෘණ වූ විට, එය ප්‍රති-උපයෝගීතාවයක් (disutility) බවට පත් වෙයි. ශුද්ධ වත්කම් වැඩි වන තරමට උපයෝගීතාවය වැඩි වෙයි.

      අනවජ්ජ සුඛ = වත්කම් වලට කිසිදු සම්බන්ධයක් නැතිවද උපයෝගීතාවය ඉහළ යයි. බොහෝ දෙනෙක් ජනහිතකාමයේ යෙදෙන්නේ (philanthropy) එයින් තමන්ගේ වත්කම් අඩු වුවද උපයෝගීතාවය වැඩි වන නිසා. මුදල් අරමුණු නොකර ශ්‍රමය ලබා දෙන්නේද මේ අරමුණින්.

      ධනවාදය විසින් කරන්නේ පුද්ගලයින්ගේ උපයෝගීතාවය උපරිමයක් කරන විසඳුමක් ලබා දීම මිස වත්කම් හෝ ධනය උපරිමයක් කරන විසඳුමක් ලබා දීම නෙමෙයි. ධනය හෝ වත්කම් නිසා සතුටු වන අයෙකුට මෙය ධනය හෝ වත්කම් එකතු කර ගැනීමක් විය හැකි වුවත් එසේ නොවන අයෙකුට එය වෙනත් දෙයක් විය හැකියි.

      Delete
    2. මේ කමෙන්ට් එක වගේම ඉකොන්ගෙ උත්තරයත් හොඳ දැනුමක් ලබාදෙනවා අපිට.
      මෙතන ඉකොන් philanthropy කියලා කියන්නෙ altruismමද, නැත්නම් CSR?. නමුත් ඇයි මෙතන 'උපයෝගීතාවය වැඩි වන නිසා' කියන්නෙ. එතනදි වැඩි වෙන්නෙ prestige/reputation එහෙමත් නැත්නම් legitimacy නෙවෙයිද.

      Delete
    3. //මෙතන ඉකොන් philanthropy කියලා කියන්නෙ altruismමද, නැත්නම් CSR?. නමුත් ඇයි මෙතන 'උපයෝගීතාවය වැඩි වන නිසා' කියන්නෙ. එතනදි වැඩි වෙන්නෙ prestige/reputation එහෙමත් නැත්නම් legitimacy නෙවෙයිද.//

      හොඳ ප්‍රශ්නයක් තමයි. හිතලා බැලුවොත් වඩා නිවැරදි යෙදුම philanthropy motivated by altruism කියා කියන්න පුළුවන්. philanthropy based on prestige/reputation වුනොත් එහි තිබෙන්නේ strategic behavior එකක් කියා කියන්නත් පුළුවන්. CSR දමන්න පුළුවන් ඒ ගොඩට. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත්, philanthropy motivated by altruism වලට වඩා වෙනස් එකක්. පුද්ගලයෙකුට මිසක් සමාගමකට utility එකක් නැහැ. ඒ නිසා සමාගමක් විසින් කරන මෙවැනි දෙයක අවසාන ඉලක්කය වක්‍රව හෝ ලාබ වැඩි කර ගැනීමම තමයි.

      Delete
  2. ආසාවෙන් කියෙව්වා. වෙනදා වගේම සරුයි!
    ඉකොනෝ, අපට බහුමානයන් දැනෙන්නේ- පෙනෙන්නේ නැහැ නේද? චතුර්මාන පංචමාන දේවල්; සත්ත්වයන් එහෙම. දෙවියන් ඉන්නේ එහෙම තැනක විය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. අනාගතයේ මැරුණ කෙනෙක් අතීතයේ ඉපදෙන්න පුළුවන් නේද?
      අන්න එහෙම වෙලාවට අනාගතය දිව්‍ය ලෝකය හැටියටත් අතීතය අපාය හැටියටත් අර්ථ දැක්වුවා විය හැකියි.
      :)

      Delete
  3. ඉකොනො ඔබ දෙවියන් සහ දෙව්ලොව සැප සම්පත් ගැන සඳහන් කළ නිසා මටත් ඔටෝමාන් (තුර්කි) ඉස්ලාමීය පාලන සමයේදී එහි දක්නට වූ "පුරුදු හා ආචාර විධි" කිහිපයක් ගැන මතක් වුනා. ඒවායින් සමහරක් විශේෂයෙන් තුර්කියේ සමහර ප්‍රදේශවල තවමත් ප්‍රචලිතයි. මට මතක හැටියට මෙන්න මේ වගේ;

    ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් නිවසක කවුළුව ඉදිරිපිට කහ මලක් තිබුනේ නම්, එයින් අදහස් කළේ: "නිවසේ රෝගියෙකු සිටී, කරුණාකර නිෂ්ශබ්දවන්න" යන්නයි.

    ඒ වගේම කවුළුව ඉදිරිපිට රතු මලක් තිබුනේ නම්, එයින් අදහස් කළේ: "විවාහ වන වයසේ පසුවන ගැහැණු ළමයෙක් නිවසේ සිටී, කරුණාකර ඔබ නිවස ඉදිරිපිටින් යන විට කතා කරන දේ ගැන සැලකිලිමත් වන්න" යන්නයි.

    යම් හෙයකින් අමුත්තෙක් නිවසට පැමිණි විට ජලය සහ තුර්කි කෝපි පිරිනැමේ. ඒ ආගන්තුකයාට බඩගිනි නම්, ඔහු / ඇය පළමුව ජලය පානය කරනු ඇත, එබැවින් ඒ විනිශ්චය කිරීමෙන් ඔහු / ඇය වෙනුවෙන් ආහාර වේලක් පිළියෙළ කරනු ලැබේ, ඔහු / ඇය කුසගින්නේ නොසිටින්නේ නම්, ඔහු / ඇය මුලින්ම තුර්කි කෝපි පානය කරනු ඇත.

    එම අධිරාජ්‍යය තුළ බාල අය වැඩිහිටි අය පසු කරගෙන ඉදිරියට ඇවිදින්නේ නැත. තරුණයින් වැඩිහිටියන් පසුකර යන්නේ වැඩිහිටියන්:
    ''පුතා පසු කරන්න, මම සෙමින් ඇවිදින්නෙමි'' යැයි පැවසුවහොත් පමණි.

    ඒ වගේම අරබි අකුරු වලින් "යා මාලිකාල් මුල්ක්" යැයි නිවසේ බිත්ති මත ලියා ඇත. එහි තේරුම: "මට හිමි කිසිවක් නොමැත, සැබෑ හිමිකරු අල්ලාහ් ය" යන්නයි.

    එකල ඒ නිවසක දොරට තට්ටු කිරීමේ වළලු දෙකක් විය. එකක් විශාල වලල්ලක් වූ අතර අනෙක කුඩා එකක් විය. ලොකු වලල්ල අධික ශබ්දයක් නැඟූ අතර කුඩා වලල්ල වඩා මෘදු ශබ්දයක් නැඟීය. ඉතින් ආගන්තුකයා පුරුෂයෙකු නම්, ඔහු ලොකු වලල්ල පාවිච්චි කරන අතර දොර ඇරීමටද පුරුෂයෙකු පැමිණේ.
    ආගන්තුකයා කාන්තාවක් නම්, ඇය කුඩා වලල්ල භාවිතා කරයි, එබැවින් කාන්තාවක්ම දොර විවෘත කරනු ඇත.

    එමෙන්ම එකල්හි පක්ෂීන් වෙනුවෙන් වූ පදනමක් ඇති කෙරුණ අතරම සංක්‍රමණික කුරුල්ලෙකුට හානියක් සිදුවුවහොත්, එම පදනම අදාළ පක්ෂියාව බලා ගනු ලබන අතර ශීත කාලය පැමිණෙන විට, කුරුල්ලන්ට හිම මත ආහාර තබනු ඇත. මන්දයත්, භූමිය හිමෙන් පිරී ඇති විට කුරුල්ලන්ට ආහාර සොයාගත නොහැකි බැවිනි.

    එම අධිරාජ්‍යය තුළ කිසිවෙකු සිටගෙන ආහාර අනුභව කරන්නේ නැත. පළමුව, අත් සෝදා, පසුව සියලු දෙනා එකට කෑම කන ස්ථානයේ වාඩි වී සිටිති. පළමුව එතැන වයස්ගතම තැනැත්තා අනුභවය පටන් ගනී, ඉන්පසු අනෙක් අය අනුභව කරයි.
    මේ වගේම මතක් කිරීමක් ලෙස, අනුභවයට පෙර, වැඩිහිටි තැනැත්තා මෙසේ කියනු ඇත: "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" (මහා කාරුණික පරම දයාබර අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් ආරම්භ කරමි) එමෙන්ම ආහාර ගැනීමෙන් පසු, සෑම කෙනෙකුම සූරා ෆාතිහා කියවනු ඇත.

    ඒ කාලයේ යම් අසල්වැසියෙකු මිය ගියහොත්, සතියක් හෝ දින දහයක්, අසල්වාසීන් ඔවුන් වෙනුවෙන් ආහාර පිසීම සහ එම කාළයේදී කිසිදු අසල්වැසියෙකු විනෝදයෙන් හෝ ශබ්ද නඟමින් නොසිටියහ. මේ ආකාරයෙන්, ඔවුන් ඔවුන්ගේ වේදනාව බෙදා ගත්හ.

    ඒ වගේම ඉකෝන් හිතන්නේ මොකද්ද ලංකාවේ කොවිඩ් මළ සිරුරු අනිවාර්යයෙන්ම ආදාහනය කරන එක ගැන? අල් කුර්ආනය සහ හදීස් තුළ පැහැදිලිව කියා ඇත්තේ මළ සිරුරු භූමිදානය කිරීමට පමණි. ආදාහනය පිලිබඳව කිසිවක් සඳහන් නොවේ. පස් වලින් මවනු ලැබූ මිනිසා පසෙන්ම පෝෂණය වී පසුව ඔහු මියගිය පසු පසටම අයත්විය යුතුය. කොරෝනාවට වඩා දරුණු වසංගත පුරාතන අතීතයේ පැමිණ මිනිසුන් ලක්ෂ ගණනින් මියගොස් ඇත. ඒ හා සසඳන කල කොරෝනාව එතරම් මාරාන්තික නොවේ. නමුත් (ජඩ) මාධ්‍ය මගින් මිනිසුන්ව අනවශ්‍ය ලෙස භීතියට පත්කරනු ලැබ මේ සිරිත්විරිත් කඩ කිරීමට බල කරවනු ලැබූ හෙයින් ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරිලා කියල තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
  4. හේතු නැතිව සය දිශාව
    වඳින පුදන බමුණු පුතෙක්
    වෙතට පැමිණි බුදු හිමියෝ
    හේතු ඇතිව වන්දනාව
    කරන ක්‍රමය කියා දුන්හ

    මාපියවරු මගෙ ගුරුවරු
    සැනසුම දෙන අඹු දරුවෝ
    නෑසියයෝ හිත මිතුරෝ
    අතහිත දෙන සේවකයෝ

    තොපට දියුණුවට අතදෙන
    මොවුන්ය තොපගේ දෙවිවරු


    ReplyDelete
  5. Black Lives MatterFebruary 9, 2021 at 8:15 PM

    මට නම් දෙවියන් සහ කොරෝනා දෙකම එකයි. දෙකම මම දැනට දැකලා නෑ. අත්විඳලත් නෑ ඒවායින් ඇති පල මෙව්වායි කියලා කියනවා, පල පේනවා හැබැයි ඉතිං ඒ දෙයියොද, කොරෝනද දන්නෑ.... අපි පිලි හෝ නොපිලි ගන්නවා.

    දෙයියො බලන්න නං හිත ඒකාග්‍ර කරගෙන සියුම් දෑ නිරීක්ෂණය කලහැකි හැකියාවක් ලබාගන්න කියනවා.
    කොරෝනා බලන්න නං ඉගෙනගෙන, ලැබ්කෝට් දාගෙන, අන්වීක්ෂයක් අරං කොරෝනා වෛරසය ලොකු කරගන්න කියනවා.

    එකම දේ ක්‍රම දෙකකින් කරනවාද මන්දා අප්පා. වියුක්තව දෙවිවරු ගැන හිතුවත් කොරෝනා ගැන හිතුවත් ගොඩනගන්නෙ සංසාරයක්මයි. බෞද්ධයා දේව සැප කියන "සංසාරය" පතනවුන් නොව සියලු ප්‍රපංච බිම තබමින් නිර්වාණය පතන කට්ටියක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: