Wednesday, December 9, 2015

ඉදිරිගාමීන් සහ පසුගාමීන්

පුද්ගලයින්ට හා සමාජ වලට අදාලව ඉදිරිගාමී හා පසුගාමී යන වදන් නිතර භාවිතා වේ. ඇතැම් විට මේ යෙදුම් සියල්ලන්ටම එකසේ එකඟ විය හැකි ඒවා නොවේ. ඉදිරිගාමීන් සහ පසුගාමීන් ලෙස කොටස් දෙකක් දැකිය හැකි වන්නේ සමාජයක් එක් සමතුලිතතාවක සිට වෙනත් සමතුලිතතාවක් දක්වා ගමන් කරන විටය. වෙනත් අයුරකින් කිවහොත්, සමාජය වෙනස් විය යුතු ආකාරය පිළිබඳව (ඇතැම් විට වෙනස් නොවිය යුතු බව එක් මතයක් විය හැකිය) අඩු වශයෙන් ප්‍රමුඛ මත දෙකක් ඇති විටෙකය. මේ මත අතරින් එකක් අවසානයේ ජයගනී. ඒ මතය මුලින් ඉදිරිපත් කළ හෝ ඒ වෙනුවෙන් පෙනී සිටි අය ඉදිරිගාමීන්ය. අනෙක් කොටසටද පසුව හෝ මේ අළුත් මතය පිළිගන්නට සිදුවේ. නැත්නම් "වඳ වී යන්නට" සිදු වේ. ඔවුහු පසුගාමීහුය.

යම් නිශ්චිත මොහොතක අප සිටිනා තැන සිට ආපසු හැරී බැලූ විට අපට දැන් සිටිනා තැනට පැමිණීමට උදවු වූ ඉදිරිගාමී මතය මෙන්ම එය නියෝජනය කළ ඉදිරිගාමීන්ද හඳුනාගැනීම අපහසු නැත. ප්‍රශ්නයක් මතුවන්නේ මේ මොහොතේ ඉදිරිගාමී මතය කුමක්දැයි හඳුනාගැනීමේදීය. සමාජයක් ඉදිරියට ගෙනයන මතය ඉදිරිගාමී මතයයි. එහෙත්, මේ 'ඉදිරිය' අද අපට හරියටම නොපෙනේ. ඒ නිසා අපේ දැනුම, අත්දැකීම් ආදිය ඇසුරෙන් අපට සමාජ ප්‍රගමනය සිදුවන ආකාරය ගැන හෝ සිදුවිය යුතු ආකාරය ගැන තීරණය කිරීමට සිදුවේ. මෙහිදී අප එකිනෙකා දකින අනාගතයන් බොහෝ විට එකම නොවේ.

දිගුකාලීනව සමාජයක් පරිණාමය වීමේදී වඳ නොවී ඉදිරියටම යා හැක්කේ ඉදිරිගාමීන්ටය. මේ අනුව, අද ජීවත්වන සියල්ලෝම යම් කාලයක ජීවත් වූ ඉදිරිගාමින්ගෙන් පැවතෙන්නෝය. පසුගාමීන්ගෙන් පැවතෙන්නෝ අප අතර නැත. මේ අයුරින්ම අනාගතය යනු අද ජීවත්වන ඉදිරිගාමීන්ගේ ලෝකයකි.

උදාහරණයක් ලෙස සම්මතයක් ලෙස දරුවන් බිහි නොකරන හෝ ඔවුන් ලොකු මහත් වන තුරු රැකවරණය නොසපයන සමාජයක් දරුවන් බිහිකර හොඳින් රැකබලාගන්නා සමාජයකට සාපේක්ෂව පසුගාමී සමාජයකි. කාලයත් සමඟ පළමු ආකාරයේ සමාජ ක්ෂය වී පසුව වඳ වී ගොස් දෙවැන්න ස්වභාවිකවම සම්මතය වේ. යම් මතයක් හෝ චර්යාවක් ඉදිරිගාමීදැයි හඳුනා ගත හැකි එක් නිර්ණායකයක් වන්නේ, විකල්පයකට සාපේක්ෂව, අදාළ මතයේ හෝ චර්යාවේ අනාගත පැවැත්මයි. අනාගත පැවැත්ම නිශ්චය කිරීමේදී අද අප සිටින තැනට පැමිණීමට උපකාරී වූ චර්යාවන් හඳුනාගැනීමෙන් යම් ඉඟියක් ලබා ගත හැකිය.

ආගම් බිහි වී ඇත්තේත්, ප්‍රචලිත වී ඇත්තේත් කිසියම් කාලයකදී  කිසියම් සමාජයකට මතු වූ ගැටළුවකට හෝ ගැටළු ගණනාවකට විසඳුම් ලෙසිනි. මේ ගැටළු වල ස්වභාවය වෙනස් වෙද්දී මුල් විසඳුම් තවදුරටත් ප්‍රමාණවත් හෝ ප්‍රයෝජනවත් නොවන විට ආගම් පරිණාමය වීම, අළුත් ආගම් හෝ නිකාය බිහිවීම මෙන්ම වෙනත් ආගමක් විසින් ප්‍රතිස්ථාපනය කරනු ලැබීම සිදුවී තිබේ. ආගම් මෙන්ම නීති, දඬුවම් ක්‍රම හා දේශපාලන ආකෘති බිහි වී ඇත්තේද මේ අයුරිනි.

පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ අතර ගැටුම මානව සංස්කෘතියේ ආරම්භයේ සිටම පැවති ප්‍රශ්නයකි. ඇතැම් විට පුද්ගල අභිලාශ හා පොදු අභිලාශ මැනවින් ගැලපේ. ඇතැම් විට එසේ නොවේ. ප්‍රාථමික සමාජයක ජීවත් වන යමෙකුට වෙනෙකෙකුට අයිති දෙයක් පරිභෝජනය කිරීම ස්වකීය සන්තුෂ්ඨිය වැඩි කරවන ක්‍රියාවකි. එහෙත්, වෙනත් අයෙකු තමා සතු දෙයක් එසේ පරිභෝජනය කිරීම කණගාටුවට කරුණකි. මේ අසමතුලිතතාවට විසඳුමක් ලෙස අන්සතු දේ ගැනීමට එරෙහිව නීති, දඬුවම් මෙන්ම ආගමික මත බිහිවිය. මේ විසඳුම් භාවිතයට ගන්නා සමාජයක් අනුන්ගේ දේ සොරා ගැනීම සම්මතය වූ සමාජයකට වඩා ඉදිරිගාමී එකක් වූ බැවින් සොරකමට එරෙහි නීති, දඬුවම් මෙන්ම ආගමික තහංචි මේ වන විට සම්මතයයි.

තමාගේ කණ්ඩායමේ සාමාජිකයින් සුළු කරුණකට වුවත් මරා දැමීම සම්මතය වූ සමාජයක් කාලයත් සමඟ ක්ෂය වී, වඳ වී යයි. එවැනි පසුගාමී චර්යාවන් වලක්වා ගත හැකි විසඳුමක් සොයාගත් සමාජයක් සාපේක්ෂව ඉදිරිගාමී සමාජයකි. මිනීමරුවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම මඟින් මිනීමැරුම් අධෛර්යමත් කිරීම වඩා හොඳ විකල්පයක් ගැන නොදන්නා ප්‍රාථමික සමාජයකට ඉදිරිගාමී පියවරකි. මරණින් මතු සිදුවන ලොකු අවාසියක් පෙන්වා මිනීමැරුම් පාලනය කිරීම වඩා හොඳ විකල්පයකි. එමෙන්ම, සමාජ විරෝධියෙකු සමාජයෙන් වෙන්කර තබාගැනීමේ පිරිවැය දරාගැනීම අපහසු, වෙනත් විසඳුමක් ගැනද නොදන්නා සමාජයකට මිනීමැරුමකට වඩා අඩු වරදක් කරන්නෙකු වුවද මරා දැමීම ඉදිරිගාමී පියවරකි.

වරදකරුවකු ගල් ගසා මරා දැමීම තිබුණු හොඳම විකල්පය වූ තැන සිට දැන් අප බොහෝ දුර පැමිණ තිබේ. ගල් ගසා හෝ දෙතිස් වධ දී මරා දමන තැන සිට 'මානුෂික ලෙස' මරා දමන තැනටත්, මරණ දඬුවම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන තැනටත් බොහෝ සමාජ මේ වන විට පරිණාමය වී තිබේ. ඇමරිකාවේ මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වන නමුත් එය ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙමින් යන පසුගාමී චර්යාවකි. කෙසේ වුවද මේ හා අදාලව ඇමරිකාව රටක් වශයෙන්ද  සිටින්නේ පසුගාමී තැනකය.

ඇමරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නිර්වින්දනය කිරීමෙන් අනතුරුව, පළමුව මාංශ පේශීන්ද දෙවනුව හදවතද අක්‍රිය වන අයුරින් විෂ එන්නත් කිරීම මඟිනි. ලංකාවේදී එල්ලා දැමීම නියම කෙරුනද අප දන්නා පරිදි කලක සිටම එල්ලුම් ගස ක්‍රියාත්මක නොවේ. එංගලන්තයේ එල්ලුම් ගස ප්‍රයෝජනයට ගන්නා ආකාරය මා පෙර පලකළ මේ ලිපියේ උඩින්ම ඇති ඡායාරූපයෙන් බලාගත හැකිය (ඡායාරූපය විශාල කර බලන්න). එය ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට අවශ්‍යනම් යායුතු තැන එම ලිපිය අවසානයේ තිබේ. මේ එය තිබිය යුතු නිසි තැනයි.

මේ අනුව, අතීතයේ සිට ආ ගමනේ රේඛීය දිගුවක් ලෙස අනාගතය දෙස බැළුවොත් මරණ දඬුවම යනු අනාගතයේදී ලෝකයෙන් තුරන් වීමට නියමිත පසුගාමී චර්යාවකි. කෙසේ වුවද, සමාජ ප්‍රගමනය සිදුවන්නේ හරියටම රේඛීයව නොවේ. ඇතැම් විට මේ මාර්ගයේ වංගු තිබේ. ඇතැම් සමාජ මේ වංගු කෙටි පාරවල් වලින් තරණය කරයි. තවත් විටක ආපසු ගොස් හැරී ඒමට සිදුවේ. එමෙන්ම, රවුමේ කැරකෙන වෙලාවල්ද තිබේ. මෙසේ වංගු ගන්නා, ආපසු යන හෝ රවුමේ කැරකෙන අවස්ථාවල ඉදිරිගාමියෙකු පසුගාමියෙකු ලෙසද පසුගාමියෙකු ඉදිරිගාමියෙකු ලෙසද පෙනිය හැකිය.

බොහෝ රටවල් බටහිර සංස්කෘතියෙන් බැහැරවීම ඉදිරිගාමී පියවරක් ලෙස සලකන කාලයක තුර්කිය කළේ බටහිර සංස්කෘතිය වැළඳ ගැනීමයි. කෙමල් අතතුර්ක් මේ පරිවර්තනයට නායකත්වය සැපයීය. දශක ගණනාවකට පසුව ලී ක්වාන් යූගේ නායකත්වය යටතේ සිංගප්පුරුවේ වූයේද එවැන්නකි. මේ පියවර ඉදිරිගාමී පියවරක් බව දැන් අපට පෙනේ. එහෙත්, යමෙක් මෙවැනි ප්‍රතිසංස්කරණ මුලින්ම ක්‍රියාත්මක කරන විට අවසන් ප්‍රතිපලය කවරෙක්දැයි ඉඳුරාම කිව නොහැකිය. සමාජ පරිණාමයේදී ඉතිරි වන්නේ ජයග්‍රාහකයින් පමණි. පරාජිතයින් ඉතිහාසයෙන් ඉවත් වේ. ඊළාම් අරගලය වෙනස් අයුරකින් නිමවීනම් වේලුපිල්ලේ ප්‍රභාකරන් අද ජාතියේ පියෙකි. මේ වන විට කිසියම් හෙයකින් ඉස්ලාම් රාජ්‍ය පාලනය ලෝකයේ ප්‍රධානම දේශපාලන ව්‍යුහය වී ලෝක ආර්ථිකය හා මාධ්‍ය හැසිරවීමේ බලය ඔවුන් අත සංකේන්ද්‍රනය වී තිබුණේනම් ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුලින්ම හඬ නැඟූ අය ඉදිරිගාමින් ලෙස බොහෝ දෙනෙකු දකිනු ඇත. අද ඉදිරිගාමියා කවරෙක්දැයි තීරණය කරන්නේ අනාගත ලෝකයේ දේශපාලන බලතුලනය විසිනි.

කෙමල් අතතුර්ක්ගේ තුර්කිය ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත් කළ එකම මුස්ලිම් රට නොවේ. අතතුර්ක්ගේ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන කාලයේම යාබද පිහිටි ඉරානයේ ඔටුනු පලන් රිසා ෂා විසින් 1924දී ඉරානයේද ඉස්ලාම් අතු ඉති කපා දැම්මේය. ඔහු විසින් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණද අතතුර්ක් ප්‍රතිසංස්කරණ වලට බොහෝ කිට්ටු ඒවාය. වෙනකක් තබා ප්‍රසිද්ධියේ මුස්ලිම් ආගමික උත්සව පැවැත්වීම මෙන්ම ගැහැණුන්ගේ හිජාබය පමණක් නොව පිරිමින්ට උඩුරැවුල හැර රැවුල වැවීම පවා තහනම් කෙරුණේය. ෂා රජ පරපුර බලයෙන් පහකෙරෙන තුරුම ඉරානයේ රාජ්‍ය පාලනය ආගමික නොවූ එකක් විය.

ඉහත තත්ත්වය උඩුයටිකුරු කෙරුණේ අයතොල්ලා කොමෙයිනි විසින් 1979දී ෂා පාලනය පෙරලා බලය පිහිටුවා ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් ඇරඹීමෙන් පසුවය. ඉරාන විප්ලවය ලෝක දේශපාලනයේ හැරුම් ලක්ෂ්‍යයකි. බටහිරකරණය වෙමින් හෝ සමාජවාදය වෙත යමින් තිබූ දේශපාලන ප්‍රවාහ දෙකට අමතරව තෙවැන්නක් තීරණාත්මක විකල්පයක් ලෙස මතු වුනේ ඉරාන විප්ලවයෙන් පසුවය.

තුර්කියේ අද සිදුවන්නේද ඉරාන විප්ලවයෙන් පසු ඇරඹුණු ආපසු ගමනයි. මෙය එහි ජනතාවගෙන් සැලකිය යුතු කොටසකගේ ආශීර්වාදය ඇතුව සිදුවන දෙයක් මිස එර්ඩොගන්ගේ තනි කැමැත්තෙන්ම සිදුවන දෙයක් නොවේ. එය මා කැමති වුවද අකමැති වුවද ලොව පුරා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවකි. ජනප්‍රියත්වය ගිලිහෙමින් තිබූ ඉස්ලාමීය දේශපාලනය නැවතත් ජනප්‍රිය වීමට හේතු වූ කරුණු මා මෙහි සාකච්ඡා කරන්නේ නැත. රටක ජනතාවකගෙන් බහුතරය කැමති පාලන ක්‍රමයක් තෝරාගැනීම ඔවුන්ගේ අයිතියකි. එහෙත්, මේ තෝරාගැනීමේ ඇති භයානකකම වන්නේ මේ මාර්ගය යොමුවී ඇත්තේ නැවත ආපසු පැමිණීම ඉතා අසීරු ගමනාන්තයක් වෙත වීමයි.

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතරින් කොටසක් තුළ මේ වන විට සිදුවන ඇතැම් වෙනස්කම් තේරුම් ගතයුත්තේ මේ ලෝක ප්‍රවණතාවන්ද හඳුනාගනිමිනි. ඒවාට සෙවිය යුත්තේ උපක්‍රමික විසඳුම් මිස හදිසි විසඳුම් නොවේ.

පහත වීඩියෝවේ ඡායාරූප එකතුවෙන් දැකගත හැක්කේ ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානයයි. තුර්කියනම් තවමත් මේ වගේ තිබේ.


52 comments:

  1. "පසුගාමීන්ගෙන් පැවතෙන්නෝ අප අතර නැත."
    ඒකනම් පිළිගන්න බෑ කොල්ලො.
    අපේ උන්ගෙන් වැඩි හරියකගෙ පරම්පරා ගානකම ඉන්නෙ පසුගාමින්.
    ඒ උනාට උන් කියන්නෙ උන් තමයි ඉදිරිගාමින් කියල

    ReplyDelete
    Replies
    1. වඳවෙලාම යන්න පරම්පරා ගාණක් යන නිසා එතකල් ඔය හීනෙ ඇතුලේ ඉන්න පුළුවන්නේ, ඇනෝ.

      Delete
  2. අර මර්වින්ගෙ කොලුවගෙ පොෂ් කෑල්ලත් ඉරානෙ නේද

    ReplyDelete
  3. ඉස්සර කිව්වේ ප්‍රගතිශීලීන් සහ ප්‍රතිගාමීන් කියලා

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් පුරුදු ඔය වචන දෙක තමයි. හැබැයි මේ වචන ඕනෑවට වැඩිය පාවිච්චි කරලා දැන් ඇහෙන කොටත් කැමැත්තක් ඇතිවන්නේ නැහැ.

      Delete
  4. ආගම තුලින් සමාජයට යහපතක් වෙලා තියෙනව. නමුත් ප්‍රශ්නෙ ආගම නිසා සමාජය එකතැන නතරවීම. දුරාතීත අරාබි ම්ලේච්ඡත්වය ඉස්ලාමය නිසා අදටත් ජීවමානයි. වෙනත් ආගම් වල නීති පද්ධති තිබුනනම් ඒවත් කාලානුරූපව වෙනස් කරන්න බැරි වෙනව. ඉස්ලාමය එකළ පැවති අරාබි සමාජයට ලොකු සේවයක් සැළසුවා. පොලී තහනම එකක්. ඒක ඕනම සමාජයකට ගැලපෙනව. ඒ වගේම ඔවුන්ගෙ මංගල ,අවමංගල චාරීත්‍රත් හරිම ප්‍රගතිශීලීයි. විවාහයට පෙළඹවීමක් කෙරෙනව.හොඳ සමාජ සංවිධානයක්.

    ආගම කියන්නෙ පහුරක්. ඒක් ගඟෙන් එගොඩ වෙන්න ප්‍රයෝජනවත්. ඒ විතරමයි ආගමෙන් තියන ප්‍රයෝජනය. කෙනෙක් හිතනවනම් දෙවිකෙනෙක් ලෝකෙ පාලනය කරනව කියල ඒ තරම් මුග්ධකමක් තවත් නෑ. එහෙම දෙවිකෙනෙක් සිටිනවනම් ඇයි මේ ම්ලේච්ඡ ගෝත්‍රම හොයාගෙන යන්නෙ.

    මම අවුරුදු 15 කින් 20 කින් පන්සල් ගිහින් නෑ. මට ඒකෙන් කිසිම අඩුවක් වෙලත් නෑ. පන්සල් යන අයට වඩා මම යහපත් ක්‍රියා කරනාව්. ඒ පොලී බලාගෙන නෙමෙයි. ආගම මිනිසාට අවශ්‍ය නෑ නමුත් මෝඩයන්ට හොද කෙවිටක් නිසා ප්‍රාථමික මිනිසුන් පාලනයට එය ප්‍රයෝජනවත්.

    තුර්කිය ගැන කතාකරනවනම් එර්ඩොගාන්ට ලොකු ආපසු හැරවීමක්නම් කරන්න බෑ. ඉරානයෙ වුනේ ආගමික විප්ලවයක්නෙ.ඉරානයෙත් තරුන පරපුරට මේ ආගම් පිස්සුව මහ විකාරයක් වෙලා. කොහොමත් සවුදිය ඇර වෙන කිසිම අරාබි රටක දරදඩු දේවල් අඩුයි.ඉරානයෙත් ඉදිරියෙදි වෙනසක් වෙයි.

    බටහිර තරුණ පරපුර අයි එස් එකට ආකර්ශනය වෙන්නෙ බටහිර විරෝධය නිසා.එය ඔවුන් සුළුජාතියක් වීම නිසා ඇතිවන එකක්. බටහිර දිව්‍යලෝකය අත හැර කැමැත්තෙන්ම සිරියන් අපායට යන්නෙ ඒකයි.

    ඇමරිකාව වගෙ ශිෂ්ට රටවල් මරන දඩුවම අඩු වේදනාවකින් දෙන්න හදන කොට එකපාරටම මැරෙන නිසා ලොකු ගල් ගන්න එපා කියනව ඉරාන දන්ඩ නීති සංග්‍රහයෙන්. 21 වැනි සියවසට නොගැලපෙන ම්ලේච්ඡයො. ප්‍රශ්නෙ තොයෙන්නෙ මේ ම්ලේච්ඡ දේවල් අද ශුද්ධ දේවල් වෙලා.ඒවට වැදගත්කමක් ලැබිල.

    කොහොමත් මට හිතෙනව අනාගතයෙදි ආගම් ලෝකෙන් තුරන් වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. http://www.salon.com/2014/06/12/atheism_explodes_in_saudi_arabia_where_just_talking_about_atheism_is_illegal_partner/

      https://newhumanist.org.uk/articles/4898/the-rise-of-arab-atheism

      http://dailycaller.com/2015/04/24/atheism-on-the-rise-in-the-arab-world/

      Delete
    2. බලන්න ඇස් ඇර බලන්න පුරුදුවුන සවුදි කෙනෙක්ගෙ සිතිවිලි
      “we are taught that all non-Muslims are going to hell. I had Jewish neighbours who were the kindest and sweetest couple and it made me wonder, why should they go to hell? And suddenly Islam started to crumble in my eyes.”

      Delete
    3. ස්තුතියි, මධ්‍යස්ථ. පසුව ඇවිත් වැඩි දෙයක් ලියන්නම්.

      Delete
    4. මධ්‍යස්ත, ඔබේ දීර්ඝ කමෙන්ටුවට ස්තුතියි!

      //පොලී තහනම එකක්. ඒක ඕනම සමාජයකට ගැලපෙනව.//
      මමනම් හිතන්නේ පොලිය කියන සංකල්පය හෝමෝ සේපියන්ස්ලා නිර්මාණය කරගත් ඉතාම වටිනා සංකල්පයක් කියලයි. මෙය විස්තර කරන්නනම් වෙනම ගොඩක් දිග විස්තරයක් ලියන්න ඕනෑ. ඇතැම් සමාජ වල පොලිය කියන සංකල්පයට තියෙන අකැමැත්ත වෙළඳාම, ලාභය වගේ සංකල්ප වලට තියෙන අකැමැත්ත වගේ දෙයක්. මේ සංකල්ප හරියට තේරුම් නොගෙන යකෙක් වගේ දැකලා බය වෙලා විරුද්ධ වෙනවා. මිල පාලනය යටතේ ඉල්ලුම් සහ සැපයුම් මූලධර්ම වෙනස් නොවෙනවා වගේම ෂරියා මූල්‍යකරණය යටතේ ඇත්තටම පොලිය නැති වෙන්නේ නැහැ. ඒත් නැහැ වගේ පේනවා. මෙතන තියෙන්නේ තනිකරම කොලේ වසා ගැසීමක්. හරියට අපේ අයවැය වගේ. අයවැයෙන් කරන්නෙත් සාක්කුවෙන් අරන් අතට දීලා, අතට දෙන එක සාක්කුවට දාගත්තහම ආපහු සාක්කුවෙන් ගන්න එකනේ. පොලිය කියන සංකල්පයට විරෝධයක් ඇති වුනහම ඒ විරෝධය මර්දනය කරලා පොලිය අයකර ගැනීමට යොදාගත හැකි අකාර්යක්ෂම ක්‍රමයක්.

      //කෙනෙක් හිතනවනම් දෙවිකෙනෙක් ලෝකෙ පාලනය කරනව කියල ඒ තරම් මුග්ධකමක් තවත් නෑ.// මෙහි ඇති ප්‍රශ්නය දෙවිකෙනෙක් ලෝකෙ පාලනය කරනව කියල හිතන අයට එසේ නොසිතන අය ගැනත් ඔය විදිහටම හිතෙන්න පුළුවන් වීමයි.

      //තුර්කිය ගැන කතාකරනවනම් එර්ඩොගාන්ට ලොකු ආපසු හැරවීමක්නම් කරන්න බෑ.// තනි පුද්ගලයෙක්ට සමාජයකට කරන්න පුළුවන් සීමිත බලපෑමක් පමණයි. රටක් වෙනස් වන්නේ කොහොමද කියන එක ඒ රටේ ජනතාව ඉන්න තැන අනුවයි බොහෝ දුරට තීරණය වන්නේ. සමාජය ඉන්නේ වෙනස් තැනකනම් දිගුකාලීනව පාලකයෙකුට ඊට එරෙහිව ක්‍රියා කළ නොහැකියි. ඒත් පාලකයෙක්ට යම් ප්‍රදේශයක ජනතාවට ලැබෙන තොරතුරු සීමා කළ හැකිනම් (අධ්‍යාපනය සීමා කිරීම, මාධ්‍ය වාරණය ආදිය මඟින්) සමාජයක් පටු මුල්ලක හිර කළ හැකියි.

      //බටහිර තරුණ පරපුර අයි එස් එකට ආකර්ශනය වෙන්නෙ බටහිර විරෝධය නිසා.එය ඔවුන් සුළුජාතියක් වීම නිසා ඇතිවන එකක්.// සුළු ජාතියක් වීම එක් හේතුවක්. තවත් හේතු තියෙනවා.

      //ඇමරිකාව වගෙ ශිෂ්ට රටවල් මරන දඩුවම අඩු වේදනාවකින් දෙන්න හදන කොට එකපාරටම මැරෙන නිසා ලොකු ගල් ගන්න එපා කියනව ඉරාන දන්ඩ නීති සංග්‍රහයෙන්.// මම හිතන්නේ රටවල් දෙකේ අරමුණුම වෙනස්. ඒ අනුවයි දඬුවමේ ස්වභාවය තීරණය වී තියෙන්නේ.

      පහල ලින්ක්ස් ගැන: රටක ජීවත් වන හැම පුද්ගලයෙක් ගැනම එක සේ හිතන්න බැහැ. සවුදිය වගේ රටකත්, කවර තත්ත්වයන් යටතේ වුනත්, මෙවැනි අයත් බිහිවෙනවා. ඒත් ඒ අය මම හිතන හැටියට තවමත් විශාල බලවේගයක් නෙමෙයි.

      Delete
    5. ගිනි පොලිය නිසා දැඩි පීඩනයකට පත් වූ අය මා දැක තිබෙනවා.

      //ඇමරිකාව වගෙ ශිෂ්ට රටවල් මරන දඩුවම අඩු වේදනාවකින් දෙන්න හදන කොට එකපාරටම මැරෙන නිසා ලොකු ගල් ගන්න එපා කියනව ඉරාන දන්ඩ නීති සංග්‍රහයෙන්.// මම හිතන්නේ රටවල් දෙකේ අරමුණුම වෙනස්. ඒ අනුවයි දඬුවමේ ස්වභාවය තීරණය වී තියෙන්නේ.////

      පැහැදිලි නැත.

      Delete
    6. //පැහැදිලි නැත.//
      ඉරාන දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් වර්ග පහක් තිබෙනවා. මෙයින් ඇතැම් වැරදි වලට දඬුවම් ලෙස ගල් ගසා මරණයට පත් කිරීම අයත් වන්නේ හද්/හුදුද් (حد/حدود) වර්ගයට. මේවා අයත් වන්නේ දෙවියන්ට එරෙහි වැරදි ලෙස. මෙතෙන්දී සංකල්පීය ලෙස සිදුවන්නේ ලෞකික සීමා පැන දෙවියන්ගේ වපසරියට ඇතුල්වීම. මෙවැනි වැරදි වලට දඬුවම වගේම දඬුවම ක්‍රියාත්මක කරන ආකාරයත් නිශ්චිතව සඳහන්ව ඇති නිසා වරදෙන් අගතියට පත් පාර්ශ්වයට, ෂරියා නීතිය අනුව කටයුතු කරන ලෞකික විනිශ්චය කරුවෙකුට හෝ පාලකයෙකුට තමන්ට අභිමත ලෙස දඬුවම ලිහිල් කිරීමේ හැකියාවක් නැහැ. මේ අනුව, මට තේරෙන හැටියට, මූලික ඉස්ලාම් සංකල්පයකට එරෙහි නොවෙමින් මෙවැනි දඬුවම් සංශෝධනය කිරීමේ හැකියාවක් පාලකයෙකුට නැහැ. මේ තමයි ආගම් නිසා සමාජයක සිදුවන 'හිරවීම'. මෙතැනදී බහුතර ජනතාවගේ සහ පාලකයාගේ අපේක්ෂාව ආගමේ කියා ඇති ආකාරයට කටයුතු කිරීමයි. මෙතැනදී දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ ලෞකික සමාජයෙන් බාහිරව ඇති උපරි ව්‍යුහයකින් ගෙන ඇතැයි සැලකෙන තීරණ වල ප්‍රකාශනයක් පමණයි. බලයේ ප්‍රභවය ලෙස සැලකෙන්නේ දෙවියන්. වෙනසක් කළ හැකි එකම ක්‍රමය ආගම සහ රාජ්‍යය වෙන්කිරීම පමණයි.

      ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ මේ වර්ගයේ දඬුවම් ක්‍රියාත්මක කළයුතු ආකාරය ගැන විස්තර කර ඇත්තේ හතරවන පරිච්ඡේදයේ. මේ එම පරිච්ඡේදයේ ඇති තවත් කරුණු කිහිපයක්.
      -98 වගන්තිය අනුව මේ වර්ගයේ දඬුවම් එකකට වඩා ලබා දිය යුතු විටක එක් දඬුවමක් මඟින් අනිත් දඬුවම වැලැක්විය නොයුතුයි. උදාහරණයක් ලෙස කසපහර 100ක් සහ මරණ දඬුවම නියම වී ඇත්නම් මරණ දඬුවම ලබා දිය යුත්තේ පළමුව කසපහර දීමෙන් පසුවයි.
      -104 වගන්තිය අනුව (ඔබ සටහන් කර ඇති පරිදි) '[ගල් ගසා මරණයට පත් කරන අවස්ථාවක] එක් ගල් පහරකින් හෝ දෙකකින් මරණයට පත් වන තරමට ගලක් විශාල නොවිය යුතු අතර ගලක් කියා හැඳින්විය නොහැකි තරම් කුඩා නොවිය යුතුය.'
      -දඬුවමට ලක්වන්නා ගැලවී පලාගියහොත් කටයුතු කළ යුතු ආකාරය 103 වගන්තියේ විස්තර වේ. දඬුවම ලබාදෙන්නේ වරද පිළිගැනීම මත පදනම්වනම් මෙසේ ගැලවී ගිය කෙනෙකු නැවත රැගෙන විත් දඬුවම ක්‍රියාත්මක කළ නොහැක. එහෙත්, බාහිර සාක්ෂි වලින් එය තහවුරු වී ඇත්නම් එසේ කළ යුතුය. කෙසේ වුවද 102 වගන්තිය අනුව දඬුවම ක්‍රියාත්මක කළ යුත්තේ පිරිමියෙකුනම් ඉන මට්ටම දක්වාත්, ගැහැණියකනම් තන මට්ටම දක්වාත් පොළොවේ වලලා බැවින් මෙසේ ගැලවී පලායාම පහසු නැත. ගැහැණියකට එය වඩා අපහසු කර තිබේ.

      ෂා වරුන්ගේ පාලනය යටතේ වසර 55ක් ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත්ව තිබුණු ඉරානයේ මේ වගන්ති අඩංගු දණ්ඩ නීති සංග්‍රහය බලාත්මක වන්නේ කොමෙයිනිගේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුවය. මේ විප්ලවවාදියා විසින් කළේ ඉරානයේ එවකට ජීවත් වූ විශාල පිරිසකට අවශ්‍ය වූ වෙනසකට නායකත්වය දීමයි. ඒ පිරිස රටේ එවකට රටේ බහුතරය වීදැයි මා හරියටම නොදන්නා නමුත් මා සිතන්නේ එසේ නොවිය හැකි බවයි. රටකට අවශ්‍ය නීති තමන්ගේ කැමැත්ත පරිදි සම්පාදනය කරගැනීම ඒ රටේ ජනතාවගේ කාර්යයකි. එහෙත්, එවැනි නීති ක්‍රියාත්මකව පවතින කලාපයකට රැකියාව සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා යන අය කරන්නේ තෝරා ගැනීමක් නිසා මේ කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත්ය. වැරදි සිදුවීමේ ඉඩකඩ ඇති සාමාන්‍ය මිනිසෙකු වන මමනම් මෙවැනි නීති පද්ධතියක් ක්‍රියාත්මක වන රටක ගුවන් තොටුපලක් පැය ගණනකට පරිහරණය කිරීමේදී වුවද පවා ඇල්වතුරත් බොන්නේ නිමලාය.

      ආරම්භයේදීම ආගම රාජ්‍ය පාලනයෙන් ඉවත්කර පිහිටවූ ඇමරිකා එක්සත් ජනපදයේ පාලකයින්ට (විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට) බලය ලැබෙන්නේ ජනතාවගෙනි. සියවස් එකහමාරකට පෙර ගෙටිස්බර්ග්හිදී ඒබ්‍රහම් ලින්කන් කිවූ පරිදි ඇමරිකානු රජය ජනතාව විසින් ජනතාව උදෙසා නඩත්තු කරන ජනතා රජයක් (Government of the people, by the people, for the people) මිස කිසියම් උපරි ව්‍යුහයක විධාන ක්‍රියාත්මක කරන ආයතනයක් නොවේ. (මේ වාක්‍ය ඛණ්ඩයේ ප්‍රභවය සියවස් ගණනක් පැරණි බයිබල් පරිවර්තනයක් වීම වෙනම කරුණකි.) එහෙත්, මැදපෙරදිග මෙන්ම ඇමරිකාවේදීත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අරමුණු වන්නේ කිසියම් පුද්ගලයෙකු අදාල වරද නැවත කිරීමෙන් සමාජයට වන හානිය අඩු කිරීම සහ/හෝ වෙනත් අය අදාළ වරද කිරීම අධෛර්ය කිරීම විය යුතුය. මෙයින් දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය අදාළ වන්නේ දෙවන අරමුණටය. මෙතැනදී මැදපෙරදිග සහ ඇමරිකාවේ වෙනස්කම් වලින් පෙනෙන්නේ වේදනාවක් නොදී නිකම්ම මරා දැමීම ඇමරිකානු සමාජය කම්පනය කරවීමට ප්‍රමාණවත් වුනත් අරාබි සමාජයට එය එතරම් ලොකු දෙයක් නොවන බවයි. එවැනි සමාජයකට දැනෙන්නේ හැකි තරම් වේදනා දී කුරිරු ලෙස මරණයට පත් කළහොත් පමණි. වෙනත් අයුරකින් කිවහොත් මෙය සමාජ දෙකක් අතර 'මරණයේ මිලේ' වෙනසයි.

      Delete
    7. //ගිනි පොලිය නිසා දැඩි පීඩනයකට පත් වූ අය මා දැක තිබෙනවා.//
      පොලිය කියන්නේ කෙනෙකු තමන්ගේ හැකියාවෙන් උපයාගත් දෙයක් වෙනත් කෙනෙකුට තාවකාලිකව ප්‍රයෝජනයට ගැනීමට දීමේදී ඒ සඳහා අයකරන මිලයි. මෙය නිවසක් කුලියට දීමේදී/ගැනීමේදී දෙදෙනෙකු එකඟ වන මුදල හා සමාන දෙයකි. වෙනත් අයෙකුගේ බලපෑමක් නැතිව දෙදෙනෙකු ස්වාධීනව ගනුදෙනුවකට එළඹීමේදී හැමවිටම දෙදෙනාටම වාසියක් සැලසේ. ඉතා ඉහළ පොලියකට යමෙකු ණය මුදලක් ගන්නවානම් එසේ ගන්නේද තමන්ගේ කැමැත්තෙනි. තමන් අදාල මුදල ආපසු ගෙවීමේ පදනම මත ලබාගැනීමෙන් ලැබෙන වාසිය එහි පොලිය නිසා ඇති අවාසිය ඉක්මවන බැවිනි. එය එසේනම් අදාල පුද්ගලයාට මේ ණය මුදල ලබා නොගෙන සිටිය හැකිය. පොලිය කෙතරම් ඉහළ වුවත් දෙදෙනාටම සිදුවන්නේ වාසියක්ය යන කරුණ වෙනස් නොවේ. නිදහස් වෙළඳපොළක ගිණි පොලී කියා දෙයක් නැත. ඇත්තේ අදාල ගණුදෙනුව සඳහා වන ඉල්ලුම හා සැපයුම මත තීරණය වන 'නියම' පොලියකි.

      යමෙකු සතුව පොලියට දිය හැකි මුදලක් තිබූ පමණින් එවැන්නෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ නැත. මේ මුදල ආයෝජනය කර ඔහුට හෝ ඇයට එය වර්ධනය කරගත හැකිය. ඉඩමක් මිලදීගෙන කෙසෙල් හිටෙවුවොත් වසරකින් දෙකකින් කෙසෙල් විකිණිය හැකිය. පසුව කෙසෙල් මෙන්ම ඉඩමත් විකුණා දමා තමන්ගේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබිය හැකිය. මේ පුද්ගලයා මුදල පොලියට දෙන්නේ එයින් ලැබෙන ආදායම කෙසෙල් හිටවා ලැබෙන ආදායමට වඩා වැඩි නිසාය. පොලියට දීමෙන් ලැබෙන මුළු මුදලම ඔහු හෝ ඇය ලබන වාසියක් නොවේ. සැබෑ වාසිය වන්නේ මෙසේ ලැබෙන මුදලින් කෙසෙල් වැවීමෙන් ලැබිය හැකිව තිබුණු ලාභය අඩු කළ විට වැඩිපුර ලැබී ඇති මුදලයි. එයට අමතරව පොලිය දීමේදී ඔහු/ඇය තමාගේ මුල් මුදල ආපසු නොලැබීමේ අවදානමද දරයි. ඒ අවදානම වෙනුවෙන්ද ඔහුට/ඇයට යම් වාසියක් ලැබිය යුතුය. නැත්නම්, කිසියම් වටිනා භාණ්ඩයක් ඇපයට තබා ගත යුතුය.

      කෙනෙකු අනුන් සතු මුදලක් පොලිය සමඟ ආපසු දීමේ පොරොන්දුව මත ලබා ගන්නේ ඔහුට හෝ ඇයට අදාල කාලය තුල ඒ මුදල වර්ධනය කර ගැනීමෙන් ලැබෙන වාසිය හෝ වෙනත් වාසියක් ගෙවන පොලියට වඩා වැඩි නිසාය. උදාහරණයක් ලෙස මේ මුදල ලබාගෙන කෙසෙල් වැවීමෙන් ලැබෙන ලාභය ණය සඳහා ගෙවිය යුතු පොලී මුදලට වඩා වැඩි නිසාය.

      නිදහස් වෙළඳපොළක මැගිලින් ජේමිස්ට පොලියට මුදල් දීම සිදුවේනම් එයින් පෙනෙන්නේ මැගිලින්ට කෙසෙල් වවනවාට වඩා මුදල් පොලියට දීම වාසිදායක බවයි. පොලී ආදායම රුපියල් 100ක්නම් සහ කෙසෙල් වැවීමෙන් මැගිලින්ට ලැබිය හැකි ලාභය රුපියල් 50ක්නම් තමන් විසින් කෙසෙල් නොවවා පොලියට දීම නිසා ඇයට රුපියල් 50ක වාසියක් සිදුවේ. එමෙන්ම, ආයෝජනය කිරීමට මුදල් නැති ජේමිස්ට කෙසෙල් වවා රුපියල් 150ක ලාභයක් ලැබිය හැකිනම් පොලිය වශයෙන් රුපියල් 100ක් ගෙවූ පසුද ඔහුට තවත් රුපියල් 50ක් ඉතිරි වේ. පොලී ගනුදෙනුවෙන් දෙදෙනාටම සිදුවන්නේ වාසියකි.

      දැන් රජය 'ගිණි පොලී' අයකිරීම පාලනය කර නියාමනයකට ලක්කරයි. මැගිලින්ට දැන් අයකළ හැකි උපරිම පොලිය රුපියල් 50කි. මේ වෙනුවෙන් තමන්ගේ ප්‍රාග්ධනය ආපසු නොලැබීමේ අවදානම ගන්නවාට වඩා කෙසෙල් වැවීම ඇයට වාසිදායකය. ඒ නිසා මැගිලින් කෙසෙල් වවයි. ජේමිස් නොවවයි. මැගිලින්ගේ වගේම ජේමිස්ගේ ආදායමත් රුපියල් 50කින් බැගින් අඩු වී ඇත. නියාමනය මඟින් අවසාන වශයෙන් කර ඇත්තේ මෙයයි.

      නිදහස් මූල්‍ය වෙළඳපොලක කාර්ය භාරය වන්නේ යම් වැඩක් වඩාත්ම කාර්යක්ෂම ලෙස කළ හැකි කෙනෙකුට ඒ සඳහා වන ඉඩ ප්‍රස්තා ප්‍රසස්ථ මට්ටම දක්වා පුළුල් කිරීමයි. මේ ප්‍රසස්ථ මට්ටම යනු සමස්ත ආර්ථිකයේ කාර්යක්ෂමතාව උපරිමයක් වන මට්ටමයි. මැගිලින් කෙසෙල් වවා රුපියල් 50ක ලාභයක් ලබද්දී ජේමිස්ට ඒ දෙයම කර රුපියල් 150ක් උපයා ගත හැකි වන්නේ ඔහු කෙසෙල් වැවීමේ කාර්යයට මැගිලින්ට වඩා දක්ෂ බැවිනි. එක් එක් පුද්ගලයාගේ දක්ෂතා වෙනස් නිසා මෙවැනි වෙනස්කම් ස්වභාවිකය. නිදහස් වෙළඳපොල ආර්ථිකයක් කියන්නේ මෙවැනි පුද්ගල වෙනස්කම් හඳුනාගන්නා ක්‍රමයකි. එයින් අවසාන වශයෙන් සියල්ලන්ටම සැලසෙන්නේ යහපතකි. පොලිය තහනම් කිරීම කියන්නේ "ඕනෑම සමාජයකට ගැලපෙන" ක්‍රමයක් නොව ඉතාම අකාර්යක්ෂම රෙගුලාසියකි. (ඊළඟ කමෙන්ටුව දක්වා දිගටම කියවන්න.)

      Delete
    8. දැන් මෙතැනදී පොලිය ලෙස රුපියල් 100ක් නොගෙවා 50ක් පමණක් ගෙවිය හැකිනම් ජේමිස් වඩා සතුටු වනු ඇත. තමා කෙසෙල් වවා උපයන රුපියල් 150න් 100ක්ම 'නිකම්ම' මැගිලින්ට දීමට සිදුවීම ගැන ජේමිස් කණගාටුවට පත් වී ආතතියටද පත් විය හැකිය. එහෙත්, එය මැගිලින්ගේ වරදක් නොවේ. මැගිලින් නොසිටියානම් ජේමිස්ට ඔය රුපියල් 50ත් නැත. මෙහිදී ජේමිස් ආතතියට පත්වන්නේ ඔහු ආර්ථික විද්‍යාව නොදන්නා නිසාය. නැත්නම් කවුරු හරි ලෝකය අතැඹුල සේ දන්නා කෙනෙක් ඔහුට මැගිලින් විසින් ඔහුගේ ශ්‍රමය සූරාකනබව කියා දී ඇති නිසාය. ජැක්සන් ඇන්තනී විසින් පාසැල්වල ප්‍රමාණවත් ලෙස ඉතිහාසය කියා නොදීමේ ප්‍රතිවිපාක ගැන එපා වන තුරු කතා කර ඇතත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දෙනෙකුට මූලික ආර්ථික විද්‍යා දැනුමක්වත් නොලැබීමේ ප්‍රතිවිපාක ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුවී නොතිබීම කණගාටුවට කරුණකි.

      කෙසේ වුවද සියල්ලන්ම ණය ගන්නේ ආයෝජනය සඳහා නොවේ. පරිභෝජනය සඳහාද බහුලව ණය ගැනේ. මෙහිදීද පුද්ගලයෙකු මෙවැනි තීරණයකට එළඹෙන්නේ යම් භාණ්ඩයක් අනාගතයේ පරිභෝජනය නොකර අද පරිභෝජනය කිරීමෙන් ලැබෙන වාසිය ගෙවන පොලියට සාපේක්ෂව වැඩි නිසාය.

      නිදහස් වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම ලෙස සම්පත් බෙදාහැරීම සඳහා යොදාගත හැකි ප්‍රසස්ථ මට්ටමට අනෙත් විකල්ප ක්‍රම වලට වඩා බොහෝ සේ ආසන්න ක්‍රමයක් වුවත් කිසියම් මොහොතක සමාජයක දේශපාලන අපේක්ෂාවන් කාර්යක්ෂමතාව අඩුකරවන්නක් විය හැකිය. ඇතැම් විට පාරිභෝගික කණ්ඩායම්ද, තවත් විටෙක නිෂ්පාදකයෝද පොදු සමාජයක තීරණ මත වැඩි බලපෑමක් කිරීමට සමත් වේ. භාණ්ඩයක මිල කෘතීම ලෙස පහත හෙළූ විට සමස්තයක් ලෙස කාර්යක්ෂමතා හානියක් වෙද්දී නිෂ්පාදකයින්ගේ වාසිය අඩුවී හෝ නැති වී වී ඔවුන්ගේ 'ආතතිය වැඩිවීමත්' ඇතැම් පාරිභෝගිකයින්ගේ වාසිය වැඩි වී ඔවුන්ගේ 'ආතතිය අඩුවීමත්' සිදුවිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින්ගෙන් කොටසකටද කලින් ලැබූ වාසියක් අහිමි වේ. මෙහිදී වාසියක් ලබන කණ්ඩායම බලපෑම් කණ්ඩායමක් ලෙස දේශපාලනිකව ප්‍රබලනම් එවැනි සමාජයක අවසන් තේරීම මෙවැනි කාර්යක්ෂමතාව අඩුකරවන්නක් විය හැකිය.



      Delete
  5. ...//ආගම් බිහි වී ඇත්තේත්, ප්‍රචලිත වී ඇත්තේත් කිසියම් කාලයකදී කිසියම් සමාජයකට මතු වූ ගැටළුවකට හෝ ගැටළු ගණනාවකට විසඳුම් ලෙසිනි//....

    ලෝකයේ පවතින සියලු ආගම් අධ්‍යනය කලාම දැකිය හැකි ලක්ෂණයක් තමයි ඒ ආගම්වල මුලාරම්භය සමග සර්වාත්මවාදි හා ස්වභාවවාදි සංකල්ප බැඳි පවතින බව.මේ ගැන එඩ්වර්ඩ් බී ටයිලර් පර්යේෂණයක් පවා සිදුකලා.බුදු සමයේ හැරුණුකොට අනිත් සියලු ආගම්වල පදනම නිර්මාණවාදි සංකල්පය.ඒ සඳහා සර්වාත්මවාදයත් ස්වභාවවාදයත් හේතු වෙලා තිබෙනවා.කොහොම උනත් මේ නිර්මාණවාදය පිළිගන්න ආගම් අතරින් මුස්ලිම් ආගමේ කියන්නේ පටුරාමුවක සීමාවුන පසුගාමීචින්තනයක් ඇතිකරන ආගමක්.ක්‍රිස්තියානියනම් විවිද අවස්ථාවල ප්‍රතිසංස්කරණ වලට ලක්වුනා.නමුත් මුස්ලිම්වරුන් කියන්නේ නිදහස් මනසකින් ලෝකය දකින පිරිසක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් කියන්නෙ බයිබලයෙ පරන ගිවිසුම. නව ගිසුම යටතෙ ක්‍රිස්තියානීන් ලොකු විප්ලවයක් කළා. යුදෙව් සමාජ සංශෝධකයන්ට මෙය ලේසි වුනේ නෑ. කිසිදා වරදක් නොකල කෙනෙක් පලමු ගල ගසන්න වගෙ දේවල් එන්නෙ ඒ එක්ක. වරෙක යේසුස් කියනව මෝසෙස් මේ වගෙ දරදඩු දේවල් උබලට කිව්වෙ උබලගෙ දරදඩුකම නිසාය කියල. එතනදිත් දෙවියගෙ කුරිරුකම සගවනව.
      යේසුටත් එහා ගිහින් පාවුල් තව දුරටහ් සංශෝධනය කරනව. පාවුල් ට ග්‍රීක් ආභාශය ලැබිලයි තිබුනෙ මේ වෙන කොට.

      ග්‍රීක්වරු එක එක ප්‍රශ්න අහනකොට ටික ටික යුදෙව් ම්ලේච්ඡ දේවල් ගිලිහුනා.
      යේසුගෙ ජීවිත පූජාවෙන් පසු ගල් ගැහිලි ,බෙලි කැපිලි ,අත පය කැපිලි තවදුරටත් අනවශ්‍ය බව සම්මත උනා. ඒක එහෙම නොවුනනම් අද මුලු ලෝකෙම එකම අමුසොහොනක්. ක්‍රිස්තියානිකාරයොත් ගල් ගහන්න බෙලි කපන්න ,අත පය කපන්න ගන්නව. වාසනාවට ඒක එහෙම වුනේ නෑ.

      අපි ආගම් ඇදහුවත් නැතත් අපේ චින්තනය සකස් වෙලා තියෙන්නෙ බෞද්ධ පසුබිමක. එතනදි මදුරුවෙක්වත් චේතනාන්විතව මරන්න බෑ. නමුත් මැදපෙරදිගදි වේදනාව වැඩි කරන්නට ලොකු ගල් අත හැර පොඩි ගල් හොයන ,අත පය කපන දෙයිය මහා කාරුණිකයි. කාරුණිකකම රටින් රටට සාපේක්ෂයි කියන එක ඒකෙන් පේන්නෙ.

      Delete
    2. ..//අපේ චින්තනය සකස් වෙලා තියෙන්නෙ බෞද්ධ පසුබිමක//..

      බුදුන් වහන්සේ "ද්වෙධාවිතක්ක" සූත්‍රයේදී දේශනා කරන්නෙත් ඔය කරුනමයි.ඒ සූත්‍රයේ අවසානයේ සදහන් වෙනවා මම නුඹලට මේ දේශනා කරන්නේ ජීවත්විය යුතු ක්‍රමයයි කියලා.උන්වහන්සේ පෙන්වන්නෙත් දෘෂ්ඨිවලින් බැහැරව චින්තනය,ආකල්ප ගොඩනාගගන්න කියලා."සතරසතිපට්ඨානය" ගැඹුරින් අධ්‍යයනය කලොත් තියෙන්නේ ඒ ගැනයි.ඇදහිලි පුදපූජා යාදිනි ප්‍රාර්ථනා තුලින් කිසිවක් නොලැබෙන බව "පඤ්ච ඉට්ඨධම්ම" සූත්‍රයේදි බුදුන් වහන්සේම දේශනා කරනවා.ඒ වගේම එවැනි දේ කිරිමෙන් චින්තනය මොට වෙනවා දෘෂ්ඨිගත වෙනවා.නමුත් අද බෞද්ධ සමාජය හැඩගැසි තියෙන්නෙ බුදුන් වහන්සේත් ප්‍රතික්ෂේප කරපු තැනකට.මේ යන්නේ ඉදිරියට නෙවෙයි පස්සට.ඒ කියන්නේ පසුගාමිත්වයට කියන එකනේ.අර පුරාණයේ නොදියුණූ යුගයේ පැවති ගෝත්‍රික අභිචාරවිදිම මොඩිෆයි කරලා මේ තියෙන්නේ.බුදුන් වහන්සේ "විමංසන"
      සූත්‍රයේදී කියනවා විවෘත මනසකින් සත්‍ය දකින්න උත්සහ කරන්න කියලා.ඒ වුනාට අද ඉන්න බෞද්ධයෝ විවෘතව හිතන්න පුරුදු වෙලා නෑ.අද ඉන්න සමහර තරුණයෝ පවා ඉන්නෙම හණමිටි අදහස්වල.ඉතින් කොහොමද ප්‍රගතිශිලීන්,ඉදිරිගාමින් වෙන්නේ.

      (මධ්‍යස්ථ එක් බිලොගයක ගුරුකම් සම්බන්ධ පෝස්ට් එකකට දැම්ම කොමන්ටුවක් මම බැලුවා.රිප්ලයි කරලා තිබෙන විදියෙන් වැටහුනා ඒ බිලොග් එකේ සංවාදයක් කරන්න බෑ කියන එක.මමත් ඒ ලිපිය බැලුවත් කිසිම අදහසක් පලනොකලේ ඒ නිසා)

      Delete
    3. ඔවු එතන සංවාදයක් කරන්න බෑ. අපි වෙන තැනක ඒ ගැන වෙන විදියකට කතා කරමු. ඌව සම්බන්ධ කර නොගෙන වෙනම ප්‍රස්තූතයක් හොයාගෙන. මිත්‍යාව ප්‍රවර්ධනය කරන්න නම් ඉඩ දෙන්න බෑ.

      Delete
    4. ඒ බ්ලොග් එකට ලින්ක් එකක් තියෙනවද? මෙතන දාන්න අකැමතිනම් පුළුවන්නනම් economatta@gmail.comට එවන්න.

      Delete
    5. //බුදු සමයේ හැරුණුකොට අනිත් සියලු ආගම්වල පදනම නිර්මාණවාදි සංකල්පය.//
      මෙය දළ වශයෙන් නිවැරදි වුනත් මෙය 'අනිත් සියලු ආගම්වල පදනම' පිලිබඳ සිංහල බෞද්ධ ආකල්පය. එය සිංහල බෞද්ධ නොවන වෙනත් බොහෝ අයත් සිතන ආකාරය නොවන බව එයින් අදහස් වෙන්නේ නැහැ. හැම ආගමකටම තමන්ගේ ආගම අනෙත් සියලුම ආගම් වලින් වෙනස්වන ආකාරය පෙන්වන්න වෙනවා. ඇත්තටම මෙය ආගම් වලට විතරක් නෙමෙයි, දේශපාලන පක්ෂ, දර්ශනවාද වැනි දේවලටත් පොදුයි. උදාහරණයක් ලෙස බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා සමයාන්තර ඥානය විෂයය උගන්වන විට මේ කතාවට ප්‍රමුඛතාවයක් දෙනවා. ඉලක්ක කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩය විකුණන්න මෙය හොඳ බෙදීමක්. දැන් ඔය විෂය නිර්දේශයේම බුද්ධ කාලීන දර්ශන ඉදිරිපත් කරන විට අපට හමුවෙනවා භෞතිකවාදියෝ, අඥයවාදියෝ ඇතුළු පුළුල් පරාසයක අය. මේ විදිහටම ක්‍රිස්තියානි/කතෝලික දේවධර්මය හදාරන අයට වෙනත් ආගම් උගන්වද්දී කරන්නේත් අදාල නිකාය අනිත් අයගෙන් වෙනස් වන මෙවැනි තැනකින් ඉරක් ඇඳීම. මෙහි ප්‍රතිපලයක් ලෙස යම් ආගමක් වෙනත් ආගමක් සමඟ සසඳන අයට "මගේ ආගම විශේෂයි. මෙය මා ස්වාධීනව අනිත් ආගම් සියල්ල ගැන දැනගෙන සැසඳූ පසුවත් මට පෙනෙන දෙයයි." කියා හිතෙනවා. එවිට අනිත් ආගම් අදහන අය අතාර්කික, පිස්සු හෝ මුග්ධ අය බව පෙනෙනවා. තමන්ගේ ආගම පමණක් වෙනස්ව පෙනෙනවා. මෙහිදී වෙන්නේ අපි අපේ ආගම වඩා නිවැරදි එකක් බව තහවුරු කිරීමට පරෙස්මෙන් තෝරාගත් නිර්ණායක වලින් අනිත් ආගම් දෙස බැලීම. ඒත් මේ නිර්ණායක වෙනත් ආගම් අදහන අයට එතරම් වැදගත් නැහැ. මේ ක්‍රමයෙන් කවදාවත් සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. ආගමෙන් ඉවත්වී දේශපාලනයට ආවොත් පහුගිය කාලේ බයි, ටොයි බෙදීමේදී වුනෙත් ඔය දේමයි. දළ වශයෙන් දෙගොල්ලොම දකින්නේ එකම දේ වුනත් මේ දකින දේ අගයන නිර්ණායක වෙනස්. ටොයියන්ගේ බහුතරයකයටත් උතුර මුදාගැනීම වටිනා ක්‍රියාවක්. එහෙත්, ඔවුන් ප්‍රධාන අපේක්ෂකයින් සැසඳීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කළේ වෙනත් නිර්නායක. උතුර මුදාගැනීම, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේ දේවල් වලට ඔවුන් දුන්නේ ප්‍රකාශනයේ නිදහස වගේ දේවල් වලට වඩා අඩු බරක්. ඒ වගේම බයියෝත් දූෂණයට කැමැත්තක් තිබුණු අය නෙමෙයි. එහෙත්, ඔවුන් එයට දුන්නේ අඩු බරක්. ඉතිං මේ දෙගොල්ලන්ගේ ගොඩක් සංවාද යන්නේ කොහෙද මල්ලේ පොල්. වෙනස් ආගම් බදා ගත් අය අතරත් තියෙන්නේ මෙවැනි තත්ත්වයක්. බුද්ධාගම වෙනත් ඇතැම් ආගම් වලට සාපේක්ෂව හිතන්න ඉඩහරින ආගමක් වුනත් මෙයත් ආගමක්. එහි ප්‍රශ්න කළ නොහැකි මූලික දේවල් තිබෙනවා. ඒ දේවල් ප්‍රශ්න කළොත් තවදුරටත් එය බුද්ධ ධර්මයම වෙන්නේ නැහැ. බුද්ධාගමේ පරිධියේ ඇති දේවල් ප්‍රශ්න කරන නවීන බෞද්ධයින් බොහෝ විට කරන්නෙත් මේ හරය බේරාගෙන අනිත් දේවල් පසුව එකතු කළ දේවල් හෝ අදට නොගැලපෙන දේවල් ලෙස බැහැර කිරීම. අනිත් ආගම් වල සිදුවන්නේත් මෙයයි. බටහිර රටවල බුද්ධ ධර්මය ප්‍රචාරණය කිරීමේදී හමුවන්නේ වෙනත් ආගමික පරිසරයක පුහුණු වුනු අය. ඒ අයට බුද්ධ ධර්මය හඳුන්වා දීමේදී උඩින් වැට ගසා ඇති කොටස ප්‍රමාණවත් ලෙස ආකර්ෂණීය ප්‍රවේශයක් නෙමෙයි. ඒ නිසා ඔය කතා ලේසියකයට කියවෙන්නේ නැහැ. ඇත්තටම නිර්මාණවාදී සංකල්පයත් (සංකල්පයක් ලෙස) පෙනෙන තරම් ගොන්පාර්ට් එකක් නෙමෙයි. මේවා ලියන්න ගියොත් කෙළවරක් නැහැ.

      Delete
    6. ලබාදුන් දෙයට ස්තුතියි, මනෝ! සමහර බ්ලොග් සහ ඒවාට ඇති ජනප්‍රියත්වය දැක්කහම මැදපෙරදිග කලාපයේ මිනිස්සු දියුණුයි කියලා හිතෙනවා.

      Delete
  6. සමාජ කාර්‍යභාරයක් ඉටු කිරීමට නොව රැකියාවක් ලෙස ගුරු වෘත්තියට බැඳෙන යුගයක, කටපාඩම් සහ වැමෑරීම් විභාගවලට සමාජයේ ඉහලට යන ඉණිමග හේත්තුකර ඇති යුගයක බිහිවන්නේ සිතිවිලි සහ පෞරුශයෙන් පසුගාමීන්ය. ඔවුන් තමන්ගේ ශක්තීන් ලෙස දකින්නේ ආගම, ජාතිය, පක්ෂය, කුලය, පවුල වැනි පිටදේවල් ගැන මිස සිතීමේ, නව විසඳුම් සෙවීමේ අවේනික ශක්තීන් නොවේ. තමන්ගේ දියුණුවෙන් යැපෙන්නගේ සහ රටේ දියුණුව සොයනවා වෙනුවට රටේ පිහිටෙන් තමන්ගේ දියුණුව සොයන සහ දියුණුව යනු මිල මුදල්, වතුපිටි හා යාන වාහන යන අර්ථකතනය කරන සමාජ බිහිවන්නේ මේ නිසාය යැයි උපකල්පනය කරමි. කෝටු කැබලි ටිකක් එකතු කර කූඩුවක් සදාගන්නා කුරුල්ලෙකුගේ සිතක ඇතැයි සිතිය හැකි සතුටවත් මොවුන්ට කිසිදා ලඟා කර ගත හැකිවේද යන්න සැක සහිතය.

    ReplyDelete
    Replies
    1. //සමාජ කාර්‍යභාරයක් ඉටු කිරීමට නොව රැකියාවක් ලෙස ගුරු වෘත්තියට බැඳෙන යුගයක//
      මේකෙනම් වරදක් නැහැ, ඉයන්. කවුරුත් කරන්නේ රැකියා තමයි. මෙතැන තියන ප්‍රශ්නය ගුරු වෘත්තිය ප්‍රධාන වශයෙන්ම රජයේ රැකියාවක් නිසා ඔවුන්ගේ පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවය නොසැලසෙන විට ඔවුන්ව ස්වභාවිකවම ශ්‍රම වෙළඳපොළෙන් ඉවත්කරවන යාන්ත්‍රණයක් නොමැති වීමයි. ඒ නිසා ඔවුන්ගේ පාරිභෝගිකයින් වන සිසුන් අසරණයි. අඩු වශයෙන් තමන්ගේ රැකියාව හරියට කරනවානම් එයම සමාජ සත්කාරයක්. ඇතැම් අඩුපාඩු වලට හේතුවනම් අධ්‍යාපනය සැලසුම්කර ඇති ආකාරයේ.

      Delete
  7. //
    උදාහරණයක් ලෙස සම්මතයක් ලෙස දරුවන් බිහි නොකරන හෝ ඔවුන් ලොකු මහත් වන තුරු රැකවරණය නොසපයන සමාජයක් දරුවන් බිහිකර හොඳින් රැකබලාගන්නා සමාජයකට සාපේක්ෂව පසුගාමී සමාජයකි. //

    එසේ දරුවන් බිහි නොකරන හෝ ඔවුන් ලොකු මහත් වන තුරු රැකවරණය නොසපයන උදවිය ගෙන් සැදි දේශපාලන පක්ශ ගැන මොනොවත් නිර්දේශ තිබේද?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++
      අලි වැටක්

      Delete
    2. සා රස සහ ඇනෝ බයි කමෙන්ට්ස් උනාට හාස්‍ය අතින් ඉහලයි :)

      Delete
    3. උඩ කමෙන්ට් වල හිරවෙලා හිටපු නිසා පහළට එන්න වෙලා ගියා. මේ අයගේ ජීව විද්‍යාත්මක ජානනම් කලකින් නැතිවෙලා යයි. හැබැයි මේ අය සංස්කෘතික දරුවෝනම් මහා ගොඩක් බිහිකරලා තියෙනවා නේද?

      Delete
    4. //හැබැයි මේ අය සංස්කෘතික දරුවෝනම් මහා ගොඩක් බිහිකරලා තියෙනවා නේද?//

      yes... they are not of the same genetic stock, but are influenced by the very same epigenetic factors!

      Delete
  8. ඉකොනෝ.. මට මේ සම්බන්ධයෙන් තියෙන්නෙ අමුතු විග්‍රහයක්.. විශේෂයෙන් ආගම් සම්බන්ධව... බුදු දාහම බිහිවෙන්නේ බොහොම සාමකාමී ගොවිතැන මූලික කරගත්ත පරිසරයක් ඇතුලේ... එතෙන්දි සත්ව හිංසනය ඝාතනය හෙළාදකිනවා. මොකද ඒ සම්බන්ධයෙන් කිසිම අවුලක් නෑ.. මස් කෑවේ නැති උනාට කන්න බොන්න ඕනෑතරම් ජාති තියනවා. හැබැයි ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආහම බිහිවන පරිසරය තුළ මස් මාංශ වලින් තොරව ජිවත් වෙන්න අමාරුයි... එඬේර පරිසරයක. මිනිස්සු රළුයි. ඒ නිසා ඒ අවට බිහිවන ආගම් වලින් ඒ දේවල් අනුමත වෙනවා... මුස්ලිම් ආගමේ එවන් ලක්ෂණ සාපේක්ෂව වැඩියි. මේ මගේ අදහසක් පමණයි..
    රළු මිනිසුන් ජිවත් වන පරිසරයක නීති රීතිත් රළු විය යුතුයි... නැතිනම් පාලනය කරගන්නට බැහැ. හොරකම් කළොත් අතක් කපා දැමීම වැනි දඬුවම් මාර්ගයෙන් මිසක් හොරකම අඩු වන්නේ නෑ . හැබැයි ඒ ඒකාල පරාසය තුල. නූතන සමාජය වෙනස්. ක්‍රිස්තියානි ආගමත් පල්ලියෙන් රට කරවන සමයේ ඒ විදියම තමයි... කුරුස යුද්ධ , මිනිසුන් ගිනිතබා මැරිම , ආගම ප්‍රචාරණයේ නාමයෙන් සිදුකල මහා ජන සංහාර ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට තියනවා.. හැබැයි කාලානුරූපව මිනිසාගේ සංවර්ධනයත් සමග ඒ දේවල් බොහොම අඩු උනා. මුස්ලිම් ආගමේ ඒ අයුරෙන් කාලානුරූපව සිදුවූ වෙනස්කම් අඩුයි මම දන්නා පරිද්දට. එඬේර යුගයේ මිනිසුන් පාලනය කිරීමට ආගම තුළින් දැමූ නීතිරීති ඒ අයුරෙන්ම නූතන යුගයේත් සමහර රටවල ක්‍රියාත්මක වනවා. බල්ලන් බළලුන් ගන්නට මිනිසුන් වැටි සිටි යුගවල නීති රෙගුලාසි දඬුවම් නූතන සමාජයට ආරෝපණය කරන්නට යාමේදී ගැටළු බෝමයි.. එඬේර සමාජයේ ගැහැණියකගේ මුහුණ සහ දෙපාවල පහල කොටස දුටුවත් ලිංගිකව උද්දීපනය වන පිරිසක් ඉන්නට ඇති. ශුෂ්ක පරිසරය සහ ඉහළ පරිසර උෂ්ණත්වය නිසාවට ලිංගික හැඟීම් අවදි වීම වැඩි ඇති (සීතලට එහෙම වෙනව කියල කට්ටිය හිතාගෙන හිටියට එහෙම වෙන්නෙ නෑ) . ඒ නිසා ගෑනියක් බේරගන්න බැරි තත්වයක් උදා වෙන්න ඇති. ඒ නිසාවට ගෑනුන්ව රෙදි වලින් ඔතන්න ආගමෙන් නියමයක් පණවන්න ඇති... හැබැයි වර්තමානය ඒකට ගැලපෙනවද?? අතපය කපන, ගල් ගහල මරණ කතන්දරත් ඒ විදියම තමයි.. වර්තමානයට ගැළපෙන්නේ නෑ.. මම විශ්වාස විදියට මිනිහෙක්ව එල්ලලා හො විදුලි පුටුවේ තියල හෝ මරණ එකත් ම්ලේච්චයි...

    ReplyDelete
    Replies
    1. //මට මේ සම්බන්ධයෙන් තියෙන්නෙ අමුතු විග්‍රහයක්//
      මගේ පිළිතුරනම්, සජ්ජා, ඔබේ විග්‍රහයේ මටනම් කිසිම අමුත්තක් නැති බවයි.

      Delete
  9. ඉරානේ තාමත් ඉස්ලාමීකරණයට ප්‍රතිරෝධයක් තියනව නේද?
    ඔවුන්ගේ ප්‍රෞඪ පර්සියානු සංස්කෘතික උරුමය ඉස්ලාම්කරණය මගින් නොදියුනු අරාබිකරණයක් වෙනවා කියල.
    ඒනිසාම වෙන්න ඇති ආගමික රාජ්‍යයක් වුනාට පස්සෙ වුණත් ගෑනු මූණ වැහුවෙ නැත්තෙ අරාබි ඇඳුම් ජනප්‍රිය නැත්තෙ හා සිනමාව හා අනිකුත් කලාවන් සෑහෙන්න උසස් තැනක තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉරානය කියන්නෙ අනාදිමත් කාලයක ඉතිහාසයක් තියන ශිෂ්ටාචාරයක්. ඔවුන්ට ඔවුන්ගෙම ආගමකුත් තිබුන. පස්සෙ අවාසනාවන්ත විදියට නොදියුණු අරාබිකරනයකට ලක්වුනා.
      සොරැස්ටර් ආගම අදහපු ජනයා ඉන්දියාවට පලා ආවා. ලංකාවට ආවෙත් පස්සෙ ඒ අයගෙන් කොටසක් තමයි. චොක්සිල අබාන්ස් ල එහෙමත් පර්සියන්.
      පර්සියාවෙ සියළුම සංස්කෘතික ලක්ෂන අරාබි කරනය වුනා. නමුත් සමහර අංග ඉතිරි වෙලා තියනවා.

      Delete
    2. ෂා වරුන් විසින් ආගම රාජ්‍යයෙන් වෙන් කර තිබුණු කාලයේත් ඉස්ලාමික මුලධර්මවාදය සැලකියයුතු බලවේගයක් ලෙස පැවතුනා. ඒ වගේම ඉස්ලාමීය විප්ලවයෙන් පසුව අනිත් පැත්තත් සම්පූර්ණයෙන් දුර්වල වුනේ නැහැ. ඒ නිසා මේ ප්‍රතිරෝධයත් දිගටම තිබුණා.

      Delete
  10. ඉරානයේ අධ්‍යාත්මික නායකයා වන අයෙතුල්ලා කුමෙයිනි ද එතකොට මේ නුතන මොංගල් ඉස්ලාම් හිජාබ් සංස්කෘතියේ මහා මොලකරු.. ඔක්කොටම කලින් මූට ගල් ගහල මරන්න එපයි..
    හපොයි ඔය ඉරාන් කාරයෝ අමු පිස්සෝ.. මට උමා ඔය ප්‍රොජෙක්ට් එකට ගිහින් එක දවසෙන් එපා උනා.. කොල්ලොන්ට පඩි දෙන්න විදියක් නැතුව උන් ස්ට්‍රයික් කරනකොට ප්‍රොජෙක්ට් මැනේජර් ඉස්සරහට ඇවිත් තමන්ගේ බෙල්ලට පිහියක් තියාගෙන කියනවා තව දවස් තුනකින් පඩි දුන්නේ නැති උනොත් උඹලා මගේ බෙල්ල කපපල්ලා කියල.. මට හීන් දාඩිය දැම්මා.. බුදු අම්මෝ එදා හවසම රෙසිග්නේෂන් දීලා මන් ආපහු කොළඹ ආවා.. :)

    ReplyDelete
    Replies
    1. පසුගිය සියවසේ මුල සිට තිබුණේ මුස්ලිම් ලෝකය බටහිරකරණය වන ප්‍රවණතාවක්. කොමෙයිනිගේ ඉස්ලාමික විප්ලවය මේ ප්‍රවණතාව අනිත් පැත්ත හැරවීම සංකේතවත් කරන තීරණාත්මක අවස්ථාවක්. එහෙත් මෙය පුද්ගලයෙක් වශයෙන් කොමෙයිනිගේ නායකත්වය නිසාම සිදුවූ දෙයකට වඩා රට ඇතුලේ පැවති තත්ත්වයන් වගේම රටෙන් පිටත ලෝක බලවතුන්ගේ අවශ්‍යතා අනුවත් සිදුවූ දෙයක්. ෂා වරුන්ගේ ඇමරිකන් හිතවත්කම් වලට සැලකිය යුතු අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණා. මේ විරුද්ධ කණ්ඩායම් අතර වෙනස් කොටස් දෙකක් හිටියා. එක් කොටසක් මූලධර්මවාදී ඉස්ලාම්වරුන්. මේ කණ්ඩායම් අතරින් කොමෙයිනිගේ කණ්ඩායම ප්‍රධානම කණ්ඩායමක්. ඔවුන්ට අවශ්‍ය වුනේ ඉස්ලාමීය රාජ්‍ය පාලනයක්. අනෙක් කොටස නිර්-ආගමික වාමාංශිකයින්. ෂා පාලනය විසින් තහනම් කර තිබූ ඉරාන මහජන ෆෙඩායි ගරිල්ලා සංවිධානය (OIPFG), ඉරාන කොමියුනිස්ට් (Tudeh) පක්ෂය වැනි කොටස් හිටියා. මේ කොටස් වලට සෝවියට් උදවු ලැබුණා. ඔවුන්ට අවශ්‍ය වුනේ ආගමික නොවන ඇමරිකන් විරෝධී වාමාංශික පාලනයක්. මේ අතර දූෂණ සහ මානව හිමිකම් චෝදනා මත රෙසා පාලවි (ෂා) ඇමරිකාවේ අප්‍රසාදයට ලක්ව සිටීම නිසා එක්තරා ආකාරයකින් ඔහු තනිවීමක් සිදුවුනා. ඉරාන විප්ලවයට ෂා විරෝධය මත මෙවැනි පුළුල් බලවේග රැසක් එක් වුණත් අවසාන වශයෙන් කොමෙයිනිගේ කණ්ඩායම මතුවුනා. වාමාංශික ගරිල්ලා කණ්ඩායම් ඉරාන විප්ලවයට විශාල ලෙස දායක වුනත් කොමෙයිනි විසින් බලය තහවුරු කරගැනීමෙන් පසු වාමාංශික කණ්ඩායම් මර්දනය කර දැම්මා.

      Delete
    2. උඩින් පල්ලෙන් දැන සිටි දේට වැඩ බොහෝ දේ නොදැන සිටි බව තේරුනා.. ස්තුතියි. :)

      Delete
  11. // හපොයි ඔය ඉරාන් කාරයෝ අමු පිස්සෝ.. //

    අහෝ කල්යාන මිතුරු තුමෝ...

    පර්සියානුවන් ලෝක ශිස්ටාචාරයේ ඉහලින් ම සිටි උදවිය!

    අරාබි නිසොල්ලාසයෙන් (One Thousand and One Nights) පටන්ගෙන් අද දක්වා ලාලිතව ඉදිරියට ගෙන එන පෙර්සියානු සාහිත්‍ය්ය ඔබට හමු වී නැති පාටයි!

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නෙ සරස ඒ කතාවම තමයි. ඉරාන් කාරයන් ගැන කල්‍යානගෙ විග්‍රහය වැරදියි. සාහිත්‍ය පමනක් නොවෙයි බොහෝ අංශවලින් ඔවුන් ඉදිරියෙන් සිටියා.
      පුද්ගලයෙකු පළ කරන අදහසකින්ම ඔහු ගැන හෝ ඔවුන් ගැන විනිශ්චයක් දීම ඉක්මන් වැඩියි.

      Delete
    2. හොඳම ආසන්න උදාහරණය මධ්‍යස්ථ මතධාරියාය. ඔහු සාමාන්‍ය පෙළ සමත් කාර්යාල කාර්ය සහායකයෙකි.සියල්ලන්ගේම බැනුම් අසමින් ෆයිල් එහෙ මෙහෙ ගෙන යන්නෙකි. බෙල් ශබ්දයට දඩි බිඩි ගා කොම්පියුටරයත් පෙරලගෙන නිළදරු කාමරයට දුවන්නෙකි. සියළු නිලධරයන්ගේ බත් බැලයෙකි. එහෙත් උහු ලියන දේවලින් එවැන්නක් පෙනේද

      Delete
    3. ඔවු, ඒක ඇත්ත. පර්සියානුවන් ඉතිහාසයේ සැලකිය යුතු කාලයක් ඉදිරියෙන්ම සිටි ජාතියක්. ඔවුන්ට ලංකාව සමඟත් සෑහෙන කලක සිට වෙළඳ සහ සංස්කෘතික සම්බන්ධතා තිබුණා.

      Delete
    4. //අරාබි නිසොල්ලාසයෙන් (One Thousand and One Nights) පටන්ගෙන් අද දක්වා ලාලිතව ඉදිරියට ගෙන එන පෙර්සියානු සාහිත්‍ය්ය ඔබට හමු වී නැති පාටයි!// ඇත්තටම ඔව්. ජිවිතේ මඟ හැරිච්ච තැන බොහොමයි.. එහෙම වෙන්න හේතුත් තිබුනා.. මන් ඔය සඳහන් කලේ මට ලබන්න උණු සිමිත් අත්දැකිමක මතකයක් පමණයි..

      උඩින් පල්ලෙන් දැන සිටි දේට වැඩ බොහෝ දේ නොදැන සිටි බව තේරුනා.. ස්තුතියි. :) x 2 ස්තුතියි හැමෝටම :)

      Delete
  12. මට වරක් ඩුබායිහි වෝටර් පාක් එකකදි සංචාරයක් ආපු ඉරාන ගැහැණියක් හමු වුනා .ඇය කීව්වෙ අපි ඉන්නෙ හිර ගේක හිරෙන් නිදහස් වෙන්නෙ මෙහෙම අවුරුද්දකට සැරයක් කියලයි.ඒ මිනිස්සු විඳින පීඩනය මට හොඳට තේරුනා.ඩුබායි වලට එන අරාබි කලාපයේ සංචාරකයන් වැඩි හරියක් එන්නෙ තමුන්ගේ රටවල විඳින්න වෙන සංස්කෘතික හා සමාජීය පිඩනයන්ගෙන් මිදෙන්න.හැබැයි අමතක කරන්න බෑ මේ කලාපේ රටවල සැලකිය යුතු පිරිසක් ඒ විදිහේ අන්තවාදී ජීවිත රටාවකට කැමති බවත්.ඒක ආගම විසින් කරනු ලැබූ බ්‍රේන් වොෂ් එක නිසා කියලයි මට හිතෙන්නෙ.බටහිරට පලු යන්න බනින මොන අයියත් හීනෙන් හරි බටහිර රටක ජීවිතේ ගෙවන්න හීන දකින එක හේතුවක් තමයි නිදහස් ජීවන රටාව.සල්ලි කෝටියක් තිබ්බත් මොටද ජීවත් වීමේ නිදහසක් නැත්නම්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි, ඇනෝ. මේක තමයි ඇත්ත තත්ත්වය. නිදහස් සමාජයක් මතවාදීව හිරවුණු සමාජයකට පරිවර්තනය කිරීම සිදු කළ හැකි තරම් පහසුවෙන් එහි අනිත් පැත්ත කිරීම අපහසු මේ 'බ්‍රේන් වොෂ්' වීමේ බලපෑම නිසයි.

      Delete
  13. අද "ඉදිරිගාමින්" පසු කාලෙක "පසුගාමින්" ලෙසත් "පසුගාමින්" "ඉදිරිගාමින්"ලෙසත් හඳුන්වනු ඇති.මොකද ඔය ඉදිරිගාමී,පසුගාමී ආකල්ප සාපේක්ෂව කලනුරුපිව වෙනස් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ "පෙරටුගාමින්" කුමන ස්ථරයේද දන්නේ නැහැනේ.

      Delete
    2. උඩින්ම තියෙන රූපයේ වගේ රවුම් මාර්ගයක පිටුපස පමණක් බැලුවොත් හැමෝම ඉන්නේ වෙනත් අයට වඩා ඉදිරියෙන්.

      Delete
  14. ඔය වීඩියෝව දැක්කාම හිතුනේ ඉරානෙ මොඩ් වුන වේගෙ වැඩියි කියලා. ඔයිට වඩා හිමින් මොඩ් වුනා නම් කුමේනිලාට ජනප්‍රිය වෙන්න ලැබෙන එකක් නෑ.
    අනිත් කරුන තුර්කිය වගේ නෙමෙයි ඉරානය ශියා මුස්ලිම් වරුන්ගේ මූලස්ථානය. එයාලට ජාතිය හා ආගම අතර ගැටුම අඩුයි.

    ReplyDelete
    Replies
    1. රිසා ෂා නිර්-ආගමික රාජ්‍ය පාලනය හඳුන්වා දුන්නේ 1924දී. ඉරාන විප්ලවය සිදුවුනේ 1979දී. වසර 55ක් කියන්නේ සෑහෙන කාලයක්. මට හිතෙන්නේ මෙතන වුනේ මේ 'මොඩ් වීම' හැම ස්ථරයකම එක ලෙස සිදුනොවීම නිසා මේ වෙනසට විරුද්ධ බලවේග ක්‍රමයෙන් ශක්තිමත් වුනා කියලයි.

      Delete
  15. ආගම් ලෝකෙන් තුරන් වුණ දාට මේ ලෝකෙ වඩාත් යහපත් වේවි යැයි හිතෙනවා. දැන් මේ මරාගන්න තරමක්, මරල දාන තරමක් ආගම් නිසානෙ.

    ReplyDelete
    Replies
    1. ආගම් වලින් ඉවත්වන ප්‍රවණතාවක් කාලයක්ම තිබුණා. දැන්නම් ඒක ලොකුවට පෙන්නේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.