වෙබ් ලිපිනය:

Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

55 comments:

  1. නොතේරුම්කමට අහන්නේ ආයුබොවන්, බැයිද ඔය ලැයිස්තුව අනිත් පැත්ත හැරෙව්වාම්වත් අපේ රට උඩටම ගන්ඩ... අපි උඩින්ම මිසක් යටින් ඉඳලා පුරුදු නැති 'දිගම ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියක්' නෙව?

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳ අදහසක්! එහෙම කළොත් උඩම පහට හෝ දහයට එනවා.

      Delete
  2. කරඬුව හිසමත තබාගෙන
    පොටෝ එක ගැහුවත්
    කැබිනට් ඇමති බලතල සහිතවූ
    මහ බැංකු අධිපතිකම් කලත්
    කබ්රාල් කවුදැයි
    දන්නවා Moody's

    ReplyDelete
  3. බන්කොලොත් වෙන්නෙ මොන ශ්‍රේනියට වැටුනමද?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමට නම්, බංකොලොත් වෙන්නේ ණය නොගෙව්වොත්. ආණ්ඩුව මොන ක්‍රමයකින් හරි ඊලග නය ටික ගෙවා දමයි. ඊට පස්සේ රටේ මිනිස්සුන්ටත් නොතේරෙන්න රජයේ දේපල ටිකක් විකුණලා ගේමක් ගහයි.

      Delete
    2. තව ශ්‍රේණි තුනක් තිබේ. Caa3, Ca & C. ණය ගෙවා ගන්න බැරි වුණාම C (බංකොලොත්). C වලින් පස්සේ එකක් නැහැ. ඊට පස්සේ තමයි රාජපක්ෂලාට හොඳටම ලැබෙන්න පටන් ගන්නේ. විහිළුවට නෙවෙයි කියන්නේ. හිතලා බලන්න.

      Delete
    3. උඩ ප්‍රතිචාර දෙකම නිවැරදියි. බංකොලොත් ලෙස සැලකෙන්නේ ණය ගෙවීම පැහැර හැරීමක් සිදු වූ විට. මූඩිස් ශ්‍රේණිගත කිරීම් අනුව C මට්ටම මෙසේ බංකොලොත් වීමෙන් පසු වැටෙන අවසාන මට්ටමයි. දැනට ඊට ඉහළින් තව කට්ට දෙකක් (Caa3 හා Ca) තිබෙනවා. හැබැයි දැන් ලංකාව සිටින Caa2 මට්ටමේ හා පහළ කට්ට වල සිටින්නේ රටවල් කිහිපයක් පමණයි.

      Delete
  4. කබ්රාල් කයිවාරු ගහන එක නවතියිද? බැසිල් අය-වැයෙන් මිලියන ගණන් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දෙන්න යන්නේ අච්චු ගැසූ මුදල් ද?

    ReplyDelete
    Replies
    1. රජයේ වියදම් වැඩි කරනවානම් බොහෝ විට එය කරන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. අනෙක් විකල්පය වන දේශීය ණය ගැනීම කරනවානම් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. එසේ කළොත්, එයින්ද රජයේ වියදම් ඉහළ යනවා.

      Delete
    2. ජපානය පොලිය ඉහලයන්න නොදෙන්නෙ මේ හේතුව නිසා මහිතෙ. නමුත් එහෙම කරන්නෙ කොහොමද?

      Delete
    3. ජපානයේත් අයවැය හිඟයක් තිබුණත්, රටේ පෞද්ගලික ඉතිරි කිරීම් එම හිඟයට වඩා වැඩියි. ඒ නිසා, ජපානයේ අතිරික්ත ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජනය කරන්න වෙන්නේ රටෙන් පිටත. අනෙක් අතට ජපානයේ උද්ධමනය 0%ට ආසන්නයි. අනෙක් ඉහළ ආදායම් රටවල උද්ධමනය අඩු වශයෙන් 2% පමණ වෙනවා. ඒ නිසා, වෙන රටක 2.1%ක පොලියක් සමාන වෙන්නේ ජපානයේ 0.1% පොලියකට. උද්ධමනය වෙනස අනුව යෙන් එක අධිප්‍රමාණය විය යුතු වුවත් ජපානය එසේ වෙන්න නොදී යෙන් එක පහළින් තියා ගන්නවා (විදේශ සංචිත පවත්වා ගනිමින්). මේ ප්‍රතිපත්තිය නිසා යෙන් එක සුළු වශයෙන් හෝ අවප්‍රමාණය වෙන එකයි වෙන්නේ. ඒ නිසා, ජපානයේ 0.1% පොලියට සමාන වෙන්න වෙනත් රටක 2.1% ලැබුණත් මදි. අවදානමක් නැති (අවදානම ඉතාම අඩු) ආයෝජන සඳහා වෙනත් රටවල 2.1% පොලියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ජපාන රජයට 0.1% පොලියට ණය දුන්නත් පාඩුවක් නැහැ. එවැනි අඩු පොලියකට ණය ගත හැකි නිසා සල්ලි අච්චු ගහන්න අවශ්‍ය නැහැ. ඒ නිසා උද්ධමනය වැඩි වෙන්නෙත් නැහැ.

      Delete
    4. ජපානයෙ මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් කියන්නම්.
      කෝවිඩ් ඉවර වෙනවත් එක්කම වෙනත් රටවල පොකී අනුපාතය ඉහල දාල කෝවිඩ් එග්සිට් ස්ට්‍රැටර්ජි එකකට යනව නේද? මම හිතන්නෙ රජයෙන් කෝවිඩ් නිසා වියදම් කරපු සල්ලි ආපහු ඇදගන්න කරන වැඩක්.
      ජපානෙට මේ දේ කරගන්න බැරුව ඉන්නෙ. කරපු ගමන් රජයෙ වියදම ඉහල ගිහින් බන්කොලොත් වෙනනිසා.
      දැනටත් රජයේ ආදායම බිලියන600 විතර, ඒකෙන් බිලියන 30ක් විතර පොලී ගෙවන්න යන්නෙ.
      මේ තත්වෙ බලපුවාම ජපානෙයි ලන්කාවෙයි ලොකු වෙනසක් නෑ වගේ පේන්නෙ. 80 ගනන් වල හදපු කෘතිම බබ්ල් එකෙන් ගැලවෙන්න බැරිත්ත්වයක් තියෙන්නෙ. ලන්කාවෙ මරාගෙ බබ්ල් එක වගෙමයි කියල මටනම් හිතෙන්නෙ.

      Delete
    5. පොලී වියදම් බිලියන 300ක් වෙන්න ඕන
      රජයේ මුලු වියදම ට්‍රිලියන් එකක් වගෙ

      Delete
    6. ඔබ මේ ගැන සඳහන් කළ නිසා ජපානයේ රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛණ ගැන සොයා බලන්න උනන්දුවක් ඇති වුනා. 2021 අයවැයෙහි වියදම් යෙන් බිලියන 91,376.7ක්. ඩොලර් බිලියන 801ක් පමණ. ආදායම යෙන් බිලියන 63,012.7ක්. ඩොලර් බිලියන 552ක් පමණ. පොලී වියදම යෙන් ට්‍රිලියන 8,525.8ක් හෙවත් මුළු වියදමෙන් 8.8%ක් පමණයි. මෙයට සාපේක්ෂව ලංකාවේ පොලී වියදම ආදායමෙන් 72%ක් පමණ. මුළු වියදමෙන් 48%ක් පමණ. ඒ නිසා, ජපානයේ තත්ත්වය ලංකාවට කිසිසේත්ම සමාන නැහැ. ඊට අමතරව 2021 සැප්තැම්බර් මාසයේදීත් ජපානයේ උද්ධමනය 0.2%ක් පමණයි. ඒ නිසා, පොලී අනුපාතික වැඩි කරන්න බැරි වීමේ ප්‍රශ්නයක් කෙසේවත් මතු වෙන්නේ නැහැ. පොලී අනුපාතික වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ උද්ධමනය පාලනය කිරීමට. ජපානයේ ප්‍රශ්නය පොලී අනුපාතික අඩු කරන්න බැරි වීම. මොකද දැනටම ශුන්‍ය මට්ටමට අඩු කරලා නිසා.

      Delete
    7. ඉකොනො මේක මම කියපු කතාවක් නෙමෙයි.
      පහුගිය සතියෙ ජපන් ආර්තික විශෙශඟ්යින් ටීවී එකේ කල විග්‍රහයක්. පොලී වියදම නොවේ නම් පොලී සහ ණය වාරික සියල්ලෙම වියදම විය යුතුයි.
      ඔවුන් කිව්වෙනම් පොලී අනුපාත ඉහල දාපු ගමන් රජය බන්කොලොත් වෙනව කියල. ජපානයේ ණය දදෙනි වලින් 259% වගේ. මේක අබෙනොමික්ස් නිසා පහුගිය අවුරුදු 7දි විතර විශාල ලෙස වැඩි වෙලා තියෙනව.
      මම තව විස්තර ටිකක් හොයන්න ඕන.

      Delete
    8. පොලී සහ ණය වාරික එකතු කළොත් මුළු වියදමෙන් 24%ක් පමණ වෙනවා. ලංකාවේ පොලී සහ ණය වාරික එකතු කළොත් අනිවාර්යෙයන්ම 100%ට වැඩියි. රාජ්‍ය ණය ගොඩක් වැඩි නිසා යම් හෙයකින් ජපානයට පොලී අනුපාතික වැඩි කරන්න වුනොත් ප්‍රශ්නයක් වෙන එක ඇත්ත. නමුත් මම හිතන විදිහට දැනට එවැනි අවශ්‍යතාවයක් ඇති වී නැහැ.

      Delete
  5. මෙහෙමයි ඉකොනොමැට්ටා, මෙතනදි ලංකාවේ පවතින බරපතල අර්බුදකාරී තත්වය ලංකාව රැගෙන යමින් තිබෙන්නේ කොතැනටද කියා හිතා ගන්නත් අමාරුයි, මොකද පවතින උග්‍ර වසංගත තත්වය පහව ගිය පසුවත් රට වෙලාගෙන තිබෙන සමාජ-දේසපාලන හා ඊටත් වඩා භයානක ආර්ථික අරබුදයෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් නැති කමේ බරපතල ඉශූ එකක් ඉදිරියේ තිබෙන බව පැහැදිලිව පේනවා, ඉතින් මේ නිසා එම තත්වය තුළ සමාජ-දේසපාලන ක්‍රමයේ හා ආර්ථිකයේ ඇති වී තිබෙන බිද වැටීම උපරිම තත්වයකට පත්වී රට අසමත්, බන්කොලොත් හා අරාජක තත්වයකට පත්වීමේ බරපතල දැඩි අවදානමක් පවතින අතර ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ අර්බුදය ලංකාවේ පාලකයින් දිගින් දිගට නිවරදි කිරීමකින් තොරව පවත්වාගෙන ගිය අවස්ථාවාදී, ජනප්‍රියවාදී (සමාජවදී/ සුබසාධනවාදී), හිංසාකාරි, කොල්ල කාරි, ප්‍රජාතන්ත්‍ර විරෝධී මුග්ධ ප්‍රතිපත්ති නිසා ඇතිවී තිබෙන සුවිශේෂ අර්බුදයක් බව පැහැදිලියි, එනිසා මෙවැනි තත්වයකට රටක් පත්වන්නේ ඉතාමත් කලාතුරකින් නමුත් එවැනි තත්වයකට රටක් පත් විය හැක්කේ එක දිගට දශක ගණනාවක දිගු කාලයක් මුග්ධ භාවය රජකල රටක පමණක් බව මගේ නිරීක්ෂ්ණයයි, මේ වන විට ලන්කා රටේ ඇතිවී තිබෙන මහා විනාශයට වග කිවයුතු හයි ප්‍රොෆයිල් දේශපාලකයන් තුළ වත් තවමත් පසු තැවිල්ලක් පවා ඇතිවී තිබෙන බව පෙනෙන්නේ නැහැ. මේ දිනවල අපට දැක ගත හැකි විශේෂ සිදුවීම් ගණනාවක් තිබේ. එයින් වැදගත් එකක් - දෙකක් ගැන කතා කළොත් රටේ තැනින් - තැනින් ගොවි උද්ඝෝෂණ මතු වෙයි. රසායනික පොහොර ඉල්ලමින් කෙරෙන උද්ඝෝෂණ වැඩි අතරම දේශපාලන පක්ෂ වල මූල්‍ය අනුග්‍රහය යටතේ මේවාට සහභාගී වන ගොවියෝ මහ කන්නය ගැන නොසලකා කාලය කා දමන අතර තව ගොවි පිරිසක් කාබනික පොහොර නිෂ්පාදනය කර ගෙන ඒ ගැන විස්වාසයෙන් වගාව ආරම්භ කර කරගෙන යති. තව පැත්තක ගුරු - විදුහල්පතිවරු වැටුප් වැඩිවීම් ඉල්ලමින් දැඩි විරෝධතාවල නිරත වෙති. මේ මාසයේම් ගුරුවරුන් වැඩි හරියකගේ මුළු රාජකාරි කාලයම පාහේ විරෝධතාවට ගෙවී ගිය නමුත් ටියුෂන් ගුරුවරු හරි අපූරුවට තමන්ගේ ව්‍යාපාරය කර ගෙන යති. කවුරු හරි ද? කවුරු නිවැරැදි ද? යන්න ජනතාව නිශ්චය කරන්නේ නම් වඩා වැදගත්.

    කාබනික/ රසායනික පොහොර ගැටලුව ගැන හෝ ගොවි විරෝධතා ගැන හෝ තනි මතයක් ආණ්ඩුවේ සාමාජිකයන් අතර ද නැත. එක පක්ෂයක මන්ත්‍රීවරයකු එකක් කියන අතර, තව පක්ෂයක මන්ත්‍රීවරයකු තව එකක් කියන බව පෙනෙයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන්නේ නම්, එය මහා මෝඩකමක් බව මගේ අදහසයි. ආණ්ඩුව තීරන ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරද්දී ඒ ප්‍රතිපත්ති හා සැලැසුම් විවේචනය කිරීමේ අයිතියක් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ට නැහැ, ඔවුන් ඒවා විවේචනය කළ යුත්තේ ක්‍රියාවට නැඟීමට පෙර සහ පාර්ලිමේන්තුව තුලයි, නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ සිට විවේචන කළ හැකියි.

    ඔය වගේම ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ තත්ත්වය ඊටත් වඩා නරකයි. රජයේ වැදගත් තනතුරු දරන සමහර උසස් නිලධාරීහු කිසිදු වගකීමක් නැතුව රජයේ සංවර්ධන වැඩසටහන් විවේචනය කරති. ඒවා කඩාකප්පල් වන තැනට වැඩ කරති. සමහරු රජයේ වැඩසටහන් මඟ හරිති. මේවා පසුගිය යහපාලන රජය කාලයේද යම් තරමකින් සිදු වූ අතර දැන් තවත් වැඩියි. ඇත්තටම මහජන ඡන්දයෙන් පත් කරගත් රජයක් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන යම් වැඩසටහනක් පටන් ගත් පසුව රාජ්‍ය නිලධරයා රජයේ සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා නිල වශයෙන් බැඳී සිටී. ජනතා මුදලින් වැටුප් හා වෙනත් පහසුකම් ද, අවශ්‍ය බලය ද දී ඇත්තේ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහාය. කිසිදු නිලධරයකුට එම වගකීම පැහැර හරින්නට පුළුවන්කමක් නැත. නිලධරයකුට පෞද්ගලික දේශපාලනයක් තිබිය හැකි වුව, එම දේශපාලනයට අනුව රාජකාරි කටයුතු කිරීමේ කිසිදු අවකාශයක් නැත. එසේ නම් කල යුත්තේ තනතුරින් ඉල්ලා අස්වීමයි. නමුත් මේ වංක නිලධාරීන්ගේ පසුබෑම හා වැඩ නොකිරීම නිසා ලංකාවේ සංවර්ධන වැඩසටහන් බොහොමයක් මන්දගාමී වී ඇත.

    ReplyDelete
    Replies
    1. මේ අතරම අයි. බී. ආර්. ඩී. (ලෝක) බැංකුවේ සභාපතිවරයා මෑතදී නිකුත් කළ වාර්තාවකින් ඉදිරි වසර කිහිපය තුළ මතු විය හැකි ලෝක ආර්ථික අර්බුදය ගැන කරුණු දක්වා තිබුණා ඉකොන් දකින්න ඇති, එම වාර්තාවට අනුව ලෝකයේ සංවර්ධනය වසර දහයකින් පමණ පසුපසට යන තත්ත්වයක් කොවිඩ් අර්බුදය නිසා ගොඩනැඟී ඇත. බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. විරැකියාව වර්ධනය වනු ඇත. ව්‍යාපාර හා සමාගම් බොහොමයක් බංකොලොත් වනු ඇත. මෙබඳු වාර්තා නිකුත් වන්නේ බිය වීමට හෝ කම්පා වීමට නොව අනාගතය සඳහා පෙර සූදානමක් ඇති කිරීමේ අරමුණින්. ඒ වාර්තාවේ දැක්වෙන පසුබෑම හා අර්බුදය ලංකාව වැනි දුබල ආර්ථික ඇති පහළ මැදි ආදායම් රටවල වැඩි බලපෑමක් සිදු කරාවි වගේ.

      පහු ගිය වසර එක හමාර දෙස ආපසු හැරී බැලුව හොත්, ලංකාවේ විපක්ෂය කොවිඩ් මර්දන වැඩසටහන් දිගට - හරහට විවේචනය කළ අතර රට අරින විට වහන්නට කීවේය. රට වහන විට අරින්නට කීවේය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අසාර්ථක කිරීමට කළ හැකි සෑම දෙයක්ම කළේය. අවසන් ලෙස එන්නත ගැන මිථ්‍යා මත සමාජය වෙත ගෙන ගියේය. එහෙත් ආණ්ඩුව පසුබැස්සේ නැති අතර කොවිඩ් මර්දනය දිගටම කරගෙන ගියේය. අද එහි ප්‍රතිඵල දකින්න ලැබේ. දෛනික ආසාධිතයන්ගේ ගණන සාපේක්ෂව අඩු වී දැන් ටිකක ටික රට විවර කිරීමත් සමග වැඩි වීමක් මෙන්වයී. නමුත් දෛනික මරණ ගණන විශාල ලෙස අඩුයි. ඔක්සිජන් අවශ්‍යතා අඩුයි. රෝහල් තදබදය අඩුයි. මේ වන විට විපක්ෂය රට අරින්න කියන්නේ නැත. වහන්න කියන්නේ ද නැත. වැඩසටහනේ සාර්ථකත්වය ඉදිරියේ ඔවුන් පරාජයට පත් වී ඇත.

      මේ නිසා පේන හැටියට අපට කොවිඩ් පරාජය කළ හැකි අතර ආර්ථික සටන ජය ගැනීම වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවිය යුතුයි, ජනතාවගේ විශ්වාසය හා කැප වීම මෙහිදී ඉතාම වැදගත්. නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ වගකීම් ද මෙහි දී අතිශය වැදගත්. ඔවුන් ස්වකීය වගකීම් වටහා ගෙන ක්‍රියා කළ යුතුව තිබේ. අවශ්‍ය වන්නේ ජනතාව කුලප්පු කරන නිලධාරීන් නොවේ/ ඡන්දය ගැන පමණක් බලා ගෙන කයිවාරු ගහන දේශපාලකයන් ද නොවේ. අර්බුදය ජය ගත හැකි අවංක පුද්ගලයන්ට සටන් පෙරමුණ භාර දිය යුතුය. සාමූහික ප්‍රයත්නයකින් තොරව පොදු සටන් ජය ගත නොහැකිය. පොදු සටන් යනු ආත්මාර්ථකාමීව අර්බුදකාරී තත්වයක් තුළ පව කෙසේ හෝ හොඳින් බැරිනම් නරකින් තමන්ගේ වැටුප වැඩි කිරීම සඳහා ගෙන යන විරෝධතා නොවන බව ද අප වටහා ගත යුතුයි.

      ලංකාව මෙතෙක් පාලනය කල විවිධාකාර දේශපාලකයන් සමග මටට පුද්ගලීක කෝන්තරයක් නැතත් ලංකාව දැන් තිබෙන අවසනාවන්ත හා කාලකන්නි තත්වයට ඇද දැමීමට වගකිව යුත්තන්ට එම තත්වයෙන් ලංකාව මුදා ගැනීමේ හැකියාවක් තිබෙන බවක් විස්වාස කර්න්නත් අමාරුයි. ඒ නිසා මම හිතන්නේ මෙම ඓතිහාසික මොහොතේ එම අයිතිය තිබෙන්නේ රටේ පුර වැසියන්ට හෙවත් මනජනයාට කියලයි, එනිසා මහජනයා විසින් තෝරා පත්කර ගත් ආණ්ඩුවක් බලයේ සිටියදී වුවද එයට ලංකාව ගලවා ගැනීම සදහා කළ හැකි ඵලදායි කාර්ය භාරයක් නැතිනම් ලංකාව ගලවා ගැනීම සදහා ක්‍රියාකාරී මැදිහත් වීමක් සදහා මහ ජනයාට නැති නම් රටේ පුරවැසියන්ට නීතියට, ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර නීතියට අනුකූල බලයක් හෝ හිමි කමක් තිබේද යන්න සලකා බැලීය යුතු බවයි.

      Delete
    2. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලන ක්‍රම නිර්මාණය කර ඇත්තේ සමුහාණ්ඩු හෝ ජනරජ සංකල්පය පදනම් කරගෙන බැවින් එහිදී රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය ලබා දී තිබෙන්නේ ජනතාවටයි. (ලංකාවේ ආණ්ඩු ක්‍රමයට කල හැකි විවේචන තීබියදී 1978 ව්‍යවස්ථාව ගොඩනගා තිබෙන්නේ සමූහාණ්ඩු හෝ ජනරජ සංකල්ප පදනම් කරගෙන බැවින් එම ව්‍යවස්ථාව දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ලෙස හදුවන්නේත් ඒකයී)

      ලංකාවේ වත්මන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය අනුව "ශ්‍රී ලාංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් හළ නොහැක්කේය. පරමාධිපතත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජන්ද බලයද ඇතුලත් වන්නේය."

      මෙතනදී එම විෂයේදී 4වන වගන්තියෙන් කියවෙන දේද ඉතාමත් වැදගත්‍;

      "(අ) උප වගන්තිය අනුව " ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රී වරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණය කදී ජනතාව විසින්ද"

      (ආ) උප වගන්තිය අනුව " රටේ ආරක්ෂාව ඇතුලු ජනතාවග්ගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින්ද"

      ( ඇ) උප වගන්තිය අනුව" ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටූවන ලද අධිකරණ, විනිශ්චය අධිකාරි සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින්" ද ක්‍රියාත්මක කල යුත්තේය."

      මෙසේ සලකද්දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ලැබී තිබෙනුයේ "ජනතාවගේ "ව්‍යවස්ථා දායක බලයයි. ජනාධිපතිට ලැබී තිබෙනුයේද ජනතාවගේ "විධායක බලයයි. අධිකරනයට ලැබී තිබෙනුයේද "ජනතාවගෙ "අධිකරණ බලයයි.

      ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය අහිමි කල නොහැකි නමුත් ජනාධිපතිට ලැබී තිබෙන විධායක බලය, පාර්ලිමේන්තුවට ලැබී තිබෙන ව්‍යවස්ථාදායක බලය හෝ අධිකරණයට ලැබී තිබෙන අධිකරණ බලය ඒවාට අහිමි කළ නොහැකි බලයන් ලෙස ව්‍යවස්ථාවේ සදහන් වන්නේ නැහැ.

      කෙසේ හෝ දැනට මහජනයාගේ ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය දරන ව්‍යවස්ථාදායකය , විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනම තිබෙනු යේ සමාජ ක්‍රමය හා ආර්ථිකය මෙන් උපරිම තත්වයකට ගරා හැලුණු, ජරාජීර්ණ වී බිද වැටෙමින් තිබෙන තත්වයක බැවින් එය ලංකාවේ අර්බුදයට ආවේනික විශේෂ ලක්ෂනයක් ලෙසද සැලකිය හැකිය. මෙම ආයතන තුන (විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය) ලංකාවේ මේ අර්බුදයට වැඩියෙන්ම වග කිවයුතු ආයතන තුන ලෙස ද සැලකිය හැකි අතරම ඒවා දැන හෝ නොදැන රඟපා තිබෙනුයේ අසාර්ථක අකාර්යක්ෂම හා වග කීමෙන් තොර භූමිකාවක් නිසාම මේ අර්බුදයෙන් ලංකාව ගලවා ගැනීමේ හැකියාවක්ද එම ආයතන තුනට තිබිය නොහැකි බවත් සිතේ.

      මෙන්න මේ කාරණා හින්දාම ලංකාව ගලවා ගැනීමේ නායකත්ව ගත යුත්තේ රාජ්‍යයේ පරමාධිපත්‍යයේ නියම හිමිකරුවන් වන ජනතාව වෙනවා, ඒ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් එම හිමිකම තිබෙන්නේ ජනතාවට නිසයි.

      නමුත් ප්‍රායෝගිකව මෙය කළ හැක්කේ කෙසේද?

      Delete
    3. //නමුත් ප්‍රායෝගිකව මෙය කළ හැක්කේ කෙසේද?//

      ප්‍රායෝගිකව ජනතාව අතට බලය ගත හැකි ක්‍රම තිබෙනවා. මේ ක්‍රම සෑහෙන තරමකින් දේශපාලනිකයි. ඒ නිසා, යම් අදියරකදී ගැටුමක් ඇති වීමේ අවදානම තිබෙනවා. එසේ නොවන්නටනම් උපක්‍රමික විය යුතුයි. මූලික පියවර වන්නේ ජනතාව එකිනෙකා අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම. අල්ලපු ගෙදර මනුස්සයා කවුද කියා දන්නේ නැතුව ජනතාව අතට බලය ගන්න බැහැ. මුදල් හරහා පවත්වා ගෙන යන රජයේ ඒකාධිකාරිය කැඩූ විට රජය බල රහිත වෙනවා. හැබැයි එය කරන්න කලින් බහුතර ජනතාව රජය මත පරායත්ත වීමෙන් වැළකෙන්න ඕනෑ.

      Delete
  6. මේ දිනවල ලංකවේ සමාජ ජාල වල පැතිරෙන කතාවක්;

    //මේවනවිට ලංකාව සිම්බාබේ වෙනිසියුලා තත්වයට පත්වී හමාරයි. දැන් කිරීමට ඇත්තේ බංකොලොත් රටක් කියා ප්‍රකාස කිරීම පමනයි. මෙහි ඇති භයානක කම බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ .මේවගේ අති භයානක අවදියකදී තමයි ලෝකයෙ ආර්තික වසයෙන් ශක්තිමත් රටවල් පවා නොකරන රටට කිසිසේත් ඔරොත්තු නොදෙන ඉතා මිළ අධික ඇමරිකානු පයිශර් එන්නත ලෝකයට ණයවෙලා රටේ සියලුම දෙනාට බලහත් කාරයෙන් දෙන්නේ. මේ එන්නත්කරණයට යන මුදල හම්බන්තොට වරායට වැයකල මුදලටත් වැඩියි .ඔවුෂඩ ආනයනයේදී 50% කට වැඩි මුදලක් කොමිස්. මේක යන යකා කොරහ බිදගෙන යනවා වගේ වැඩක් .මේ තක්කඩි දේශපාලුවන්ගේ අභිප්‍රාය අන්තිම මොහොතේ පුලුවන් තරම් හොරා කන්ඩ //

    ෆයිසර් එන්නත් මේ කියන තරම් මිළ අධිකද? මම හිතන්නේ ඩොලර් 40 ක් විතර එකක්, පණහක් වුණොත් රටටම ෆයිසර් ගහන්න ගියොත් ඩොලර් බිලියනයක් විතර වියදම් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ආණ්ඩුවේ ඉලක්කය රටම එන්නත්කරණය කරලා සංචාරක කර්මාන්තය හරහා වියදම් වූ ඩොලර් ටික හොයා ගන්න එක.

      Delete
  7. ආර්තිකය කඩන් වැටුනොත් රටක, නැවත යතා තත්වයට පත් කරන්නම බැරිද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම පුළුවන්. බොහෝ විට තිබුනාටත් වඩා හොඳ තැනකට යා හැකියි. ලෝකයේ ඕනෑ තරම් එවැනි උදාහරණ තිබෙනවා. ජර්මනිය හා ජපානය හොඳම උදාහරණ. කඩා වැටීමෙන් පාඩමක් ඉගෙන ගෙන පරණ වැරදි නැවත නොකිරීම පමණයි කළ යුත්තේ. හැබැයි ඔය වැඩේට ආර්ථිකය කඩා වැටෙනකල්ම බලා ඉන්න අවශ්‍ය නැහැ.

      Delete
  8. ඉකොනො,

    ලංකාවේ ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හරහා පෙන්වා දුන්නා, මේ කතාව ඇත්ත ද?

    ඔහුම පවසන පරිදි ලංකාවේ බහුතරයක් දෙනා අන්ත දූෂිත බවට පිළිගත් ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, මහින්ද යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවත් කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

    ගම්මන්පිල මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින්.

    ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

    ඇමරිකානු පුරවැසි ලංකාවේ බලවත් දේශපාලකයින් විසින් එළඹි මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළා මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ඔය ටෙන්ඩර් කතාව ගැන මහින්ද පතිරණ පැහැදිලි කිරීමක් කර තිබෙනවා දැක්කා. මම එය අනුමත කරනවා කියන එක නෙමෙයි. එහෙත් යම් පදනමක් තිබෙන කතාවක්.

      අදාළ ගිවිසුම දැක නැති නිසා ඒ ගැන අමතර යමක් කිව නොහැකියි. නහය ලඟටම හිර වී කොහෙන් හෝ ඩොලර් හොයන්න පිස්සුවෙන් වගේ දඟලද්දී හැම පැත්තක් ගැනම සොයා බැලීමේ හැකියාව අහිමි වෙනවා. ඒ නිසා ගිවිසුමේ අවාසිදායක කොන්දේසි තිබුනොත් එය පුදුමයක් නෙමෙයි. වැඩි විස්තරයක් නොදන්නා දෙයක් නිසා අදහස් පළ කිරීමේ හැකියාවක් නැහැ.

      Delete
  9. ඉකොනොමැට්ටා,

    2021 නොවැම්බර් වෙනකොට ලංකාවේ ජනතාව අත්දකින ඇත්ත උද්ධමන අගය මහ්බැංකු වාර්තාවල පවසන 5.2% කියල හිතන්න අමාරුයි නේද? අවම වශයෙන් සී.බී.එස්.එල්. ආහාර ද්‍රව්‍ය වල උද්. සියයට 11 ක් නොව සියයට 20 සිට 25 අතර විය හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ තක්සේරුවයි.

    දැන්ට පවතින අර්බුදය නිසාම මේ අවුරුදු දෙකේදී කිසිවකුගේ වැටුප් හෝ ආදායම් වැඩිවී නැහැ, Sars Cov-2 වසංගතය නිසා ඇතැමුන්ගේ ආදායම් අහිමිවී ඇති අතරම තවත් පිරිසකගේ වැටුප් හා දීමනා අර්ධ වශයෙන් කපා තිබේ. ලංකාවේ ස්ථාවර වැටුප් හා ආදායම් ඇත්තේ රජයේ සේවකයන්ට පමණයි. ඔවුන් තව තවත් වැටුප් වර්ධක ඉල්ලා අරගල කරන අතරේ පෞද්ගලික අංශයේ වැටුප් හා ආදායම් කප්පාදු කිරීම් මහා පරිමාණයෙන් සිදුවී තිබේ. වැරැදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා උද්ධමනය ඉහළ ගොස් ජනතාවගේ ජීවන වියදම හා ජීවන බර වැඩිවූ අතර කෘෂිකර්මාන්තය සේම වැවිලි කර්මාන්තයද අති විශාල අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින්නේ රසායනික පොහොර තහනම් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා

    ලංකාවට විශාලම වී අස්වැන්න ලැබෙන මාස් කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමේ කාලය දැන් එළඹ ඇතත් වගා ආරම්භ කිරීමට පෙර ලැබිය යුතු පොහොර නැති නිසා බහුතර ගොවියෝ කුඹුරට බැසීමට පෙර කාබනික පොහොර නිපදවීමට කුකුළ් පොහොර එළු පොහොට සහ වෙනත් අපද්‍රව්‍ය සමග මේ දවස් වල ඔට්ටු වෙති, මෙය දුප්පත් ගොවියා අන්ත දුගියකු කරන රාජ්‍ය ප්‍රතිපත්තියකි. ගොවියා එතැනට ඇද වැටෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා. ගොවියා වැටෙන්නේ ඔහුගේ කර්මාන්තය බිඳ වට්ටන රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස හාල් ආනයනය කිරීමට සිදුවනු ඇති අතර හාල් වෙළෙඳපොළ හසුරුවන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව ආණ්ඩුවම කියනව ඒ එක් හාල් ව්‍යාපාරිකයෙක් වන සිරිපාල ගම්ලත් ආණ්ඩුවේම ඇමැතිවරයෙක්, තව ඩඩ්ලි සිරිසේන මෛත්‍රීගේ මල්ලි.

    මෙහෙම ගිහින් 2021 යල් කන්නයේ අස්වැන්න වෙළෙඳපොළට එද්දී ගොවියාට තම වී කිලෝවක් රුපියල් 70 කට පමණ අලෙවි කරගැනීමට හැකි වෙයි, නමුත් වෙළෙඳ පොළේ වී මිල එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව කළේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ අමන කටයුත්තකි. ඒ වී සඳහා උපරිම මිලක් නියම කිරීමය. ලංකා ඉතිහාසයේ කිසිදාක වීවලට උපරිම මිලක් පනවා නැත. මෙතෙක් පනවා තිබෙන්නේ මිලදී ගතයුතු අවම මිලකි. එසේ අවම මිලක් පනවන්නේ ඒ මිලට අඩුවෙන් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීමටය. එහි අරමුණ ගොවියාට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීම වුණත් වර්තමාන ආණ්ඩුව පැනවූ නීතියෙන් කිව්වේ වී කිලෝවක් රුපියල් 52 කට වැඩි මුදලක් ගෙවා මිලදී නොගත යුතු බවය. රුපියල් 70 කට විකුණන වී කිලෝවක් රුපියල් 52 කට වැඩියෙන් විකිණීම තහනම් කළේ හාල් මිල පාලනය කිරීමටලු. පාරිභෝගිකයන්ට හාල් අඩු මිලකට සැපයීමටලු. එහෙත් මාසයක් ගතවෙන්නටත් පෙර රජය අසමත් වෙයි. වී හා හාල් මිල පාලනය කළ ගැසට් නිවේදන ඇකුළා ගනියි. දැන් වී මිලදී ගන්නා මිලත් හාල් විකුණන මිලත් තීරණය කරන්නේ හාල් නිෂ්පාදකයන්, නොතිබූ බලයක් ඔවුනට හිමිකර දුන්නේ වැරැදි ප්‍රතිපත්ති මත ක්‍රියා කළ ආණ්ඩුව.

    මේ විදියට ආණ්ඩුවේ අමන තීරණයෙන් පළමුව ගොවියාටත් දෙවනුව පාරිභෝගිකයාටත් සිදුවූයේ අසාධාරණයකි. අයුක්තියකි. ගොවියාට වැඩි මිලකට වී විකුණා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කළ ආණ්ඩුව පාරිභෝගිකයාට සහනදායි මිලකට හාල් මිලදී ගැනීමට තිබූ අවස්ථාවද නැති කළේ අසාධාරණය හා අයුක්ති සහගත වාසි හා ලාබ අත්කර ගැනීමට හැකියාව ලැබුණ මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි වන ලෙස, සියල්ල එලෙස වූයේ රජයේ වැරැදි ප්‍රතිපත්ති නිසා. ඒ උදාහරණයෙන් පැහැදිලි වන්නේ රජය මහජනයාගේ සුබසිද්ධිය නොව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන/ පෙනී සිටින බව.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උද්ධමනයට බලපාන අනෙක් දේ අසීමාන්තික මුදල් අච්චු ගැසීම, 2020 අගෝස්තු මාසයේදී මහ බැංකුව රජයට ලබාදුන් ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,835ක්, 2021 අගෝස්තු වෙද්දී එය (මහ බැංකුව රජයට දුන් ණය) රුපියල් බිලියන5,682 දක්වා ඉහළ නැඟ තිබේ. පසුගිය සතියේ පමණක් රුපියල් බිලියන 11 ක් ණය ලෙස මහ බැංකුවෙන් රජයට ලබාදී තිබේ. එසේ ණය දෙන්නේ මුදල් අච්චු ගැසීමෙනි. රජයට දෙන මේ මුදල් වැටුප් ගෙවීමට, මහා මාර්ග තැනීමට, ‘‘ජොගින් පාත්’’ ඉදිකිරීම වැනි විවිධ වියදම් සඳහා රජය වැය කරයි.

      ලංකා රජය එසේ වැය කරන මුදල් ද යන්නේ දුප්පත් මිනිසුන් අතට නොව එක්තරා හෝ තෝරාගත් පිරිසක් අතට බව සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි, මේක ඇත්තද? බැංකු මගින් ණය දුන්නත් එසේ ණය ගන්නේද යම් හැකියාවක් තිබෙන මිනිසුන් මිස දුප්පතුන් නොවේ. සරලව කිවහොත් මහ බැංකුව අච්චු ගසන මුදල් එකතු වන්නේද එක්තරා කණ්ඩායමක් අත බවත් ඒ අය ඒ මුදල්වලින් අතීතයේදී නම් මිලදී ගත්තේ වාහන හා ඉඩම් වූ නමුත් දැන් ඔවුන් මිලදී ගන්නවා ඇත්තේ ඩොලර්. එසේ මිලදී ගන්නා ඩොලර්ද සඟවාගෙන සිටින කල එය විනිමය අවප්‍රමාණය වීමටද හේතු වෙයි. අසීමාන්තික ලෙස රුපියල් අච්චු ගැසීම නිසා දැන් රටේ රුපියල් වැඩිවී තිබේ. අපට හිඟ ඩොලර්ය. ඒ නිසා ඩොලරයක් මිලදී ගැනීමට දිය හැකි රුපියල් ප්‍රමාණය ඉහළ යාමෙන් රුපියල් වැඩි නිසා රුපියල්වල වටිනාකමක් නැත. රුපියල් ළඟ තබා ගැනීම අවාසි නිසා ඩොලර් මිලදී ගැනීමට පෙළඹෙයි. මා මේ කියන්නේ දුප්පතුන් ගැන නොව රුපියල් වැඩියෙන් තියෙන මිනිසුන් ගැනය.

      මේ නිසා මීට විසඳුමක් ලෙස විනිමය අනුපාත ස්ථායිකරණය සඳහා දිගුකාලීන වැඩපිළිවෙළකට යා යුතුය. ඒ සඳහා විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සමීප ආර්ථික විශේෂඥය්න් යෝජනා කරන හොඳම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඔවුන් කියන්නේ මූල්‍ය අරමුදලෙන් ඉතා අඩු පොලියකට දිගුකාලයකින් ගෙවිය හැකි ඩොලර් ණයක් ගත හැකි බවත් මූල්‍ය අරමුදල ඉතා දුප්පත් රටවලට ණය දෙන්නේ සියයට බින්දුවේ පොලියකට බවත්. එහෙත් අප වැනි රටකට සියයට දෙකක පොලියකට ණය ගත හැකි වෙනු ඇතැයි මට හිතෙනවා, කෙසේ වෙතත් දේශීය මුදල් එනම් රුපියල් ප්‍රමාණය වැඩි කිරීම රුපියල බාල්දු වීමට හෙවත් රුපියලේ වටිනාකම අවප්‍රමාණ වීමට ඍජුවම හේතුවන් කතාව විපක්ෂයේ චෝදනාවක්, මේක ඇත්තද?

      මෙහෙම රජයෙන් අසීමාන්තික ලෙස රුපියල් ප්‍රමාණය වැඩි කිරීම හෙවත් මුදල් අච්චු ගැසීම නිසා විදේශ විනිමය එනම් ඩොලර් මිලදී ගැනීමට ඉහළ උනන්දුවක් ඇති කරවයි. එසේ වන්නේ ඩොලර්වල වටිනාකම ඉහළ යන බැවිනි. ඩොලරයකට රුපියල් 201 ක් පමණක් ගෙවිය යුතු බව මහ බැංකුව කියතත් නිල නොවන වෙළෙඳ පොළෙන් ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 230 කට වැඩි ගණනක් ගෙවීමට කැමැති අයද සිටින තාක් රුපියල් අඩුවෙන් තිබුණොත් එසේ ඉල්ලන්නේ නැති නිසා බැංකුවලින් රුපියල්වලින් ණය ගත් අය විදේශ විනිමය ගනුදෙනුවල නිරත වෙති. ඩොලර් රැස් කරති. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ ලාබය මුල්කරගෙනය. එවැනි පිරිස් අතට ඩොලර් පත්වූ විට ඒ ඩොලර් ආර්ථිකයට හෙවත් වෙළෙඳපොළට නොපැමිණෙයි. විදෙස් රටවල රැකියා කරන අයද වෙනදා මෙන් මුදල් නොඑවති. එසේම අපනයනකරුවෝද තමන්ගේ සම්පූර්ණ ආදායම ලංකාවට රැගෙන නොඑති.

      සාමන්‍යයෙන් මුදල් හම්බ කරන සියල්ලෝම පාහේ ආර්ථික මිනිස්සු, නිසා කව්රුත් පුංචි වාසියක් ගැන වුවත් ලොකුවට සිතද්දී පවතින මේ තත්ත්වය නිසා විනිමය අනුපාත ස්ථාවර කරන්නට මහ බැංකුවට ප්‍රමාණවත් තරම් සංචිත නැත. ඒ නිසා කොයි වේලාවක හෝ ඇතිවන්නේ මහා කඩා වැටීමකි. කවුරු කවුරුත් එසේ ඩොලර් සඟවා ගෙන සිටීමට හේතුව ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමය. එයද රජයේ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. ලංකාවේ සියලු අර්බුදවල නිර්මාතෘවරයා හෙවත් නිමැවුම්කරුවා ආණ්ඩුව.

      Delete
    2. මේ වගේම් ඉකොනොමැට්ට ඇඩ්‍රස් නොකළ ඉතාමත් වැදගත් සාධකයක් තමයි, උද්ධමනයට බලපා තිබෙන අනෙක් ප්‍රධාන සාධකය, බැංකු පොලී අනුපාත අඩු කිරීම. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වී මාසයක් පමණ ගිය තැන සියයට 11 ක පමණ තිබූ පොලි අනුපාතය සියයට පහ හය දක්වා අඩු කළේ. දියුණු රටවල පොලී අනුපාත අඩුයි. සිංගප්පූරුවේ පොලී අනුපාතය සියයට එකකි. ජපානයේ නම් පොලියක් ඇත්තේම නැත. ඒ රටවල බැංකුවල තිබෙන්නේ ආයෝජන අරමුදල්ය. ඒත් ඉතුරුම් හැටියට බැංකුවල සල්ලි තිබුණත් ඒ රටවල ආයෝජන අවස්ථා අඩුයි.

      හැබැයි ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර ඉතා විශාලයි. එමගින් ලබාගත හැකි ලාබ අනුපාතයද ඉතා ඉහළයි. ඒ නිසා ලංකාවට පොලී අනුපාත අඩු කිරීමට තිබෙන හැකියාව අඩුයි, ආයෝජන අවස්ථා වැඩි නිසා. එහෙත් ආයෝජනයට රටෙහි තිබෙන අරමුදල් ප්‍රමාණය අඩු නිසා ආයෝජන අවස්ථා කොපමණ තිබුණත් ඒවායේ ආයෝජනය කිරීමට මුදල් නොමැත. එවිට තිබෙන අරමුදල් ප්‍රමාණයට ඉහළ ඉල්ලුමක් ඇති වෙයි. ඒ නිසා ඊට වැඩි පොලියක් ගෙවීමට වුවද කැමැති අය සිටිති. ලංකාවේ පොලී අනුපාත සියයට එකොළහක් දොළහක් තිබුණේ ඒ නිසා.

      අනෙක් පැත්තෙන් ලංකාවේ බැංකු තබාගන්නා ලාබ අනුපාතයද ඉහළ අතර ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පොලී අනුපාත අඩු කිරීමට පෙර ලංකාවේ බැංකු ජනතාවගේ ඉතුරුම්වලට සියයට අටක නවයක පොලියක් දී ජනාතව ලබාගන්නා ණයවලට සියයට 16 සිට 17 අතර පොලියක් අය කළ බැවින් ඒ අනුව බැංකුවල ලාබ අනුපාතය සියයට පහකටත් වැඩිය. අදටත් පවතින්නේ ඒ තත්ත්වය, දැන් ඉතුරුම්වලට සියයට තුනක හතරක පොලියක් දුන්නත් බැංකුවලින් දෙන ණය සඳහා සියයට දහයක එකොළහක පොලියක් අය කරයි. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පොලී අනුපාත අඩු කළේ බැංකුවල ලාබ අනුපාතය අඩු නොකර බැවින් බැංකුවල ලාබය එලෙසම තියාගෙන බැංකුවලට ඔවුන්ගේ ගනුදෙනු සඳහා මුදල් රැස්කර දෙන ඉතුරුම්කරුවාගේ ලාබය හෙවත් ඔහුට ගෙවන පොලිය කපා හැරියේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්, තැන්පතු පොලී අනුපාතය අඩු කළ නිසා දැන් බැංකුවලට රැස්වන මුදල් ප්‍රමාණය අඩු බැවින් අරමුදල් අඩු වෙලාවක පොලී අනුපාත අඩු කළ විට බොහෝ දෙනා ණය ගැනීමට උත්සාහ කරද්දී පොලී අනුපාත අඩු නිසා ජනතාවද මුදල් ඉතිරි නොකරයි. පොලිය අඩු නිසා මීට පෙර ටික ටික හෝ ඉතුරු කළ අයත් දැන් ඉතිරි නොකරති. ඒ නිසා අරමුදල් හිඟයක් නිර්මාණය වෙයි. ණය සඳහා ඉල්ලුම වැඩි වුවත් සැපයුම අඩුවෙයි. ඒ ණය දීමට ප්‍රමාණවත් තරමින් මුදල් නොමැති නිසා. එවිට මහ බැංකුව මුදල් මුද්‍රණය කර බැංකුවලට දෙන්නේ පොලී අනුපාත අඩු මට්ටමේම තියාගෙන ණය දීමට.

      මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කෘත්‍රිම ලෙස තීරණය කළ පහළ පොලී අනුපාත පවත්වාගෙන යාමට ලංකාව අසීමිත ලෙස මුදල් මුද්‍රණය කරන බව. මූල්‍ය අරමුදල කියන කතාව සත්‍යය, මහ බැංකුව සල්ලි අච්චු ගසා ආර්ථිකයට පොම්ප කිරීම නිසා "ලංකා ආර්ථිකයේ පවතින්නේ ස්වභාවික තත්ත්වයක් නොව විකෘති තත්ත්වයකි" කියන්නේ කෘත්‍රිම ලෙස තීරණය කළ පොලී අනුපාත පවත්වාගෙන යාමට දිගට හරහට මුදල් මුද්‍රණය කරන නිසා. එය එක් වැරැදි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට තවත් වැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමකි. අවසාන විග්‍රහයේදී අනාවරණය වන්නේ සියලු ප්‍රතිපත්ති වැරැදි/කෘත්‍රිම/ විකෘති බව.

      Delete
    3. ලංකාවේ පවතින උද්ධමන අර්බුදයට පිළියම් කරන එක ගැන සාකච්ඡා කළොත් පළමුව රුපියල ස්ථායිකරණය කළ යුතු නමුත් එය කළ යුත්තේ කෘත්‍රිමව නොව ස්වාභාවික හා හේතු යුක්ත පරිසරයක. විදේශ විනිමය වෙළෙඳපොළෙහි ලංකාවේ රුපියල පිළිබඳ විශ්වසනීයත්වය දැන් බිඳ වැටී අවසන් නිසා ඩොලර් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය ඉක්මණින් අවසන් කර ආණ්ඩුව දැන් කරන පැලැස්තර ඇලවීම (ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, චීනයෙන් කෙටි කාලීන ණය ගැනීමෙන් පැලැස්තර ඇලවීම්) නවතා විනිමය අනුපාත ස්ථායිකරණය සඳහා දිගුකාලීන වැඩපිළිවෙළකට යා යුතු අතර රනිල් මේ ගැන කියන්නේ ඒ සඳහා තිබෙන හොඳම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවත් මූල්‍ය අරමුදලෙන් ඉතා අඩු පොලියකට දිගුකාලයකින් ගෙවිය හැකි ඩොලර් ණයක් ගත හැකි බවත් මූල්‍ය අරමුදල ඉතා දුප්පත් රටවලට ණය දෙන්නේ සියයට බින්දුවේ පොලියකට බවත් (එහෙත් අප වැනි රටකට සියයට දෙකක පොලියකට ණය ගත හැකි වේවි කියා හිතන්න පුළුවන්), අවුරුදු දහයකින් පමණ ගෙවීම් ආරම්භ කළ හැකි ණයක් මූල්‍ය අරමුදලෙන් ගත හැකි බවත්. මේ කියන දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙයි ද?

      කෙසේ වෙතත්එමගින් රුපියල ස්ථායි කරගතහොත් දැනට හංගාගෙන සිටින ඩොලර්ද එළියට එන නිසා ලංකාවේ විනිමය සංචිත ඉහළ යාම මගින් මුදල් අච්චු ගැසීමද නවතා ගත හැකි වෙයිද?

      එසේම දැනට ආණ්ඩුව උත්සාහ කරන ලංකාවට හිතවත් රාජ්‍යයන් සමඟ ඍජුව ගනුදෙනු කර, සාකච්ඡා කර ඒ ඒ රටවල වෙළෙඳපොළට අපේ භාණ්ඩ යැවීමේ ක්‍රමවේද සකසා ගත හැකි වෙයිද? එසේම ඒ රටවලින් මූල්‍යමය, ද්‍රව්‍යමය හෝ තාක්‍ෂණිකමය වශයෙන් ආධාර ලබාගත හැකි බවත් එය මැති ඇමැතිවරුන්ගේ, විදේශ අමාත්‍යංශයේ සහ තානාපති කාර්යාලවල වගකීමක් බවත් ජනපති පැවසුවා.

      ලංකාවේ ඉතුරුම් පොලී අනුපාත යම් තරමකින් ඉහළ නැංවීමද පිළියමක් විය හැකියි නේද? එමෙන්ම බැංකු හා මූල්‍ය ආයතනවල ලාබ අනුපාතය යම් ප්‍රමාණයකින් අඩුකරගත හැකි නම් එයද සහනයක්. දැනට සියයට පහක හයක තිබෙන ඔවුන්ගේ ලාබ අනුපාතය සියයට තුනක් කරගත හැකි නම් එමගින් ආර්ථිකයට ලොකු වාසියක් ගත හැකි වෙයි වුවමනාවක් තිබෙනවා නම් රජයටම එය කළ හැකි නිසා එමගින්ද මුදල් මුද්‍රණය අවම කරගත හැකි වේවි, එසේම රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බැවින් එහිදී ඇතැම් කටයුතු සම්බන්ධයෙන් රජය මැදිහත් නොවී පැත්තකට වී සිටිය යුතු අතර ගොවීන්ට ඇතිවී තිබෙන අවිනිශ්චිතතාව වහාම දූරීභූත කර දැනට කරගෙන යන අපනයන කර්මාන්ත වන තේ, එළවළු වගාවලට අවශ්‍ය දිරිගැන්වීම් තව වැඩි කළ යුතුයි. දැනට ක්‍රියාත්මක ආනයන අඩු කෙරෙන අපනයන වැඩි කෙරෙන නිෂ්පාදන කර්මාන්ත දියුණු තියුණු කිරීමද තවත් හොඳ පිළියමක් නමුත් නිවැරැදි ප්‍රතිපත්ති මත තාර්කික පදනමක් මත පිහිටා ස්ථාවර, යහපත් අරමුණකින් යුතුව මිල පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර නිවැරැදි මුදල් ප්‍රතිපත්තියක් සහ රාජ්‍ය අය-වැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය කොන්දේසියක්. කෘත්‍රිමව ඇති කළ අඩු පොලී ප්‍රතිපත්තිය පවත්වාගෙන යාමට මුදල් මුද්‍රණය කර පොම්ප කිරීමේ ප්‍රතිපත්තියටද තිත තැබිය යුතුමයි, ලංකාවේ මීළඟ අයවැය කෙසේ සකස් විය යුතුද කියා කෙටි පෝස්ට් එකක් දමා අයවැයෙන් පසුව එය ගැනත් ගැඹුරින් සාකච්ඡා කරමු.

      Delete
    4. //ලංකා රජය එසේ වැය කරන මුදල් ද යන්නේ දුප්පත් මිනිසුන් අතට නොව එක්තරා හෝ තෝරාගත් පිරිසක් අතට බව සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි, මේක ඇත්තද? බැංකු මගින් ණය දුන්නත් එසේ ණය ගන්නේද යම් හැකියාවක් තිබෙන මිනිසුන් මිස දුප්පතුන් නොවේ. සරලව කිවහොත් මහ බැංකුව අච්චු ගසන මුදල් එකතු වන්නේද එක්තරා කණ්ඩායමක් අත බවත් ඒ අය ඒ මුදල්වලින් අතීතයේදී නම් මිලදී ගත්තේ වාහන හා ඉඩම් වූ නමුත් දැන් ඔවුන් මිලදී ගන්නවා ඇත්තේ ඩොලර්.//

      ආර්ථිකය ප්‍රසාරණය නොවෙද්දී කොටස් වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වෙන්නේ කොහොමද කියන එක ගැන හිතුවේ නැද්ද?

      Delete
    5. ලංකාවේ බැන්කු පොලී අනුපාත වැඩි කර මහජන මුදල් තැම්පතු ලෙස ආකර්ෂණය කර ගැනීමෙන් අරමුදල් රැස්කර රජයට දේශීය ණය ගැනීමෙන් විදේශ විනිමය අර්බුදය පාලනය කර ගැනීමට හැකි වේවිද?

      බැංකු පොළී මත විත් හොල්ඩින් ටැක්ස් එකක් ගසා රජයේ ආදායම් වැඩි කර ගන්නත් පුළුවන් වෙයි, ස්ථිර තැම්පතු වලට 10% ක් වත් ගෙවනවා නම් ණය පොළී 15% - 18% වගේ වෙනවා නම් මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි ලෙහෙසියෙන්ම.

      Delete
    6. අපි නිකමට හිතමු ස්ථිර තැන්පතු පොලිය 10% හා ණය පොලිය 15%-18% වෙන්න ඉඩ අරිනවා කියලා. ඒ කියන්නේ දැන් මට්ටම මෙන් දෙගුණයක්නේ. මෙය කිරීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකත්, රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපතිකත් දෙගුණ කරන්න වෙනවා. එහිදී 10%ක පමණ WHT ආදායමක් ලබා ගත්තත්, රජයේ වියදම් තවත් රුපියල් ට්‍රිලියනයකින්වත් ඉහළ යනවා. එයට අනුරූපව අයවැය හිඟය ඉහළ යනවා. ඊට පස්සේ ඒ අඩුව පුරවන්නත් සල්ලි හොයන්න වෙනවා.

      Delete
  10. මේ කතාව ඇත්ත ද ඉකොනො?

    https://www.facebook.com/386739541473448/posts/2019165494897503/

    ReplyDelete
    Replies
    1. මහ බැංකු අධිපතිට කැබිනට් බලතල ලබා දීමද? ඔවු එවැන්නක් වුනා නේද?

      Delete
  11. ඉකොනොමැට්ටා මේ පොඩි වීඩියෝ ක්ලිප් එකේ කියන දේ සත්‍යතාවයක් තියෙනවද?

    https://m.facebook.com/story.php?story_fbid=608223483935213&id=104604170963816

    ReplyDelete
  12. /ආර්ථිකය ප්‍රසාරණය නොවෙද්දී කොටස් වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වෙන්නේ කොහොමද කියන එක ගැන හිතුවේ නැද්ද?//


    ඇත්තටම ඉකොනො මේ ගැන වැඩිදුර පැහැදිලි කරන්න බැරිද? ජාවරමක් යන බව පැහැදිලි නමුත් මොකක්ද හරියටම වෙන්නෙ කියන එක පැහැදිලි නෑ

    ReplyDelete
    Replies
    1. මේ ගැන ආණ්ඩුවේ අදහස ගැන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙක් ද වූ වත්මන් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා 'අද දෙරණ බිග් ෆෝකස්' එකේදී පැවසුවේ කොටස් වෙළෙඳපොළ ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි තැනක් මෙන්ම අවදානම් සහගත ආයෝජනයක් ද බවත්, වර්තමානයේ කොටස් වෙළෙඳපොළ තුල දක්නට ඇත්තේ බුල් රන් තත්ත්වයක් බවත්, එහිදී මේ පිළිබඳ දැනුමක් නැති අය පවා ආයෝජනයට පෙළඹීමෙන් රැල්ලක් ඇතිවිය හැකි බවත්. ආචාර්ය නාලක ගොඩහේවා මෙහිදී පළ කළ කී පොයින්ට්;

      01. කාලෙකට කලින් මම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ 2012 - 2014 කාලය තුළ කොටස් වෙළෙඳපොළේ සියයට 350 ක පමණ වර්ධනයක් ඇති වුණා. 2014 දෙසැම්බර් වෙනකොට සමස්ත මිල දර්ශකය ඒකක 7,200 මට්ටමට ඇවිල්ලා තිබුණා. අපිට සම්මානයක් ලැබිලා තිබුණා, ආසියාවේ තිරසාරම කොටස් වෙළෙඳපොළ කියලා. ඒ වෙලාවේ ඒක සිදුවුණේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව. ඊට පස්සේ ඉතුරු අවුරුදු පහේ කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්වුණා. ඉහළ ගිය මිල දර්ශකය කඩා වැටිලා කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මට මතක හැටියට ඩොලර් බිලියන 25 සිට 15 දක්වා කඩා වැටුණා. ඒ කියන්නේ කොටස්වල වෙළෙඳපළේ අගය කඩා වැටුණා.

      02. දැන් කොටස් වෙළෙඳපොළ ගැන දැනුමක් තිබෙන අය තිබෙන අවස්ථාව දැකලා තියෙනවා. මේ අඩුවෙච්ච මිලෙන් ප්‍රයෝජනයක් ගන්න. එතකොට කොටස් වෙළෙඳපොළට ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජනය කරන්න පටන් ගත්තාම තව දෙයක් සිද්ධ වෙනවා. කොටස් වෙළෙඳපොළේ නිරායාසයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි සමහර අය ඇවිල්ලා මුදල් උපයනවා දැක්කාම පිටිපස්සෙන් එනවා රැල්ලක්. ඒ කියන්නේ කොටස් වෙළෙඳපොළ ගැන ලොකු දැනුමක් නැති අයත් ඇවිල්ලා ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකව ලෝකේ හැම රටකම සිදුවෙනවා. ඒක තමයි බුල් රන් කියලා කියන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ බුල් රන් එකක්. ආයෝජකයෝ ආවා අවස්ථාවක් දැකලා, ඒ අය පස්සෙන් තවත් අය ආවා. දැන් මේක රැල්ලකට යන්න පටන් අරන් තියෙනවා. මේකේ යම්කිසි වෙලාවක බුබුලක් හැදෙනවා. මම හිතන්නේ තාම ඒ බුබුල හැදිලා නැතුව ඇති. දිගටම මේක ගියොත් බුබුලක් ඇතිවෙනවා.

      03. හැබැයි එක හොඳ දෙයක් සිද්ධ වෙමින් පවතිනවා. කොටස් වෙළෙඳපොළට අලුතෙන් සමාගම් එකතු වෙනවා. අලුතෙන් ලැයිස්තුගත වෙනවා. එතකොට මේ ප්‍රශ්නය යම් දුරකට සමනය වෙනවා. මොකද මේ ආයෝජනවලට බෙදී යන්න අවස්ථාවක් ලැබෙන නිසා. මම විශේෂයෙන්ම කොටස් වෙලෙඳපොළේ ආයෝජනය කරන තරුණ තරුණියන්ට කියනවා මේ රැල්ලට අහුවෙලා, කවුරු හරි කරන දේ විතරක් බලාගෙන කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න එපා. කොටස් වෙළෙඳපොළ කියන්නේ හොඳ ආදායමක් ලබන්න පුළුවන්, හොඳ ප්‍රතිලාභ ලබන්න පුළුවන් තැනක් වගේම අවදානම් සහගත ආයෝජනයක්. දැන් රැල්ලක් තියෙනවා. බුබුලක් හැදිලා නැහැ. ඒ කියන්නේ මේක පිම්බිලා වටිනාකම ඉක්මවා ගියාම පුපුරනවා.

      මීට සමගාමීව අගමැතිගේ කැබිනට් පත්‍රිකාවට අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපොළකට අදාළව ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට සෙලෙන්දිවා සමාගමට හැකියාව සහිතව ආයෝජන හඳුනාගනිමින් ඒ සඳහා පහසුකම් සැලසීම, යම් වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම, නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වාණිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකර ගැනීම, පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය සැහැල්ලු කිරීම, වෙළෙඳපොළ මිල ගණන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සදහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම, සමාගමට අදාළ සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම, කියන දේවල් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් හෝල්ඩින් එස්පීවී සමාගමක් පවතී. එස්.පී.වී. (ස්පෙෂල් පර්පෝස් වෙහිකල් එකක්) කියන්නේ ආයෝජන කටයුතුවලදී අදාළ නිශ්චිත ආයෝජන කාර්යය සදහාම ආරම්භ කරන සමාගමක්.

      Delete
    2. මෙතෙන්දී නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් එස්පීවී යටතේ ඇති තවත් එස්පීවී එකක් බවට පත්කළ යුතුයි. ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම එස්පීවී එක යටතේයි. කැබිනට් පේපර් එකෙන් එස්පීවී තුනක් දැනට ප්‍රකාශයට පත්කර තිබේ.

      කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර්, නිශ්චල දේපොළ සංවර්ධන පහසුකම් සැලසීම සහ රජයට අයත් සත්කාරක අංශය මේ එස්පීවී තුනයි.

      ඒ යටතේ කොළඹ නගරයේ හා ඉන් පිටත පිහිටි ඉතා වටිනා දේපොළ රැසක් සඳහා ආයෝජකයින්ට ලබාදීමට යෝජිතයි.

      *කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යපෘතියට අයිති දේපළ

      *අක්කර 1.57 ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ට් ඔරියන්ටල් හෝටලය හා යෝක් ගොඩනැගිල්ල.
      *අක්කර 0.75 ක භූමි ප්‍රමාණයක පිහිකි ගෆූර් ගොඩනැගිල්ල.
      *අක්කර 1.5 ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල.
      *අක්කර 0.81 ක් භූමි ප්‍රමාණයක පිහිටි මහ තැපැල් කාර්යාලය.

      මේ සියලු දේපළ කොළඹ කොටුව අවට පිහිටා තිබේ.

      නිශ්චල දේපොළ සංවර්ධනය යටතේ ඇති දේපළ .

      *කොළඹ නෙලුම් කුළුණ ආසන්නයේ අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල.

      *අක්කර 5 ක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය.

      රජයට අයත් සත්කාරක අංශය ලෙස හදුන්වන දේපළ

      *හිල්ටන් කලම්බු ඇන්ඩ් ස්පෝට් සෙන්ටර්.
      *ග්රෑන්ඩ් හයට් කලම්බු.

      මේ සියලුම දේපළ සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති එස්පීවී තුනක් මගින් ආයෝජකයින් වෙත පවරාදීම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

      එහිදී ආදළ ව්‍යපෘතිවල දැනට කොටස් හිමියන් සදහා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක්ද අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති අතර කොටස් වෙළඳපොළ හරහා ද ව්‍යපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමුකර තිබේ.

      Delete
    3. //ඇත්තටම ඉකොනො මේ ගැන වැඩිදුර පැහැදිලි කරන්න බැරිද? ජාවරමක් යන බව පැහැදිලි නමුත් මොකක්ද හරියටම වෙන්නෙ කියන එක පැහැදිලි නෑ//

      ජාවාරම් වෙනවා ඇති. ඔය උඩ සඳහන් කර තිබෙන හේතුත් බලපානවා ඇති. මම අදහස් කළේ ඒ දෙකම නෙමෙයි. උඩ කියන බුල්රන් එකක් ඇති වෙන්නත් කොහෙන් හෝ සල්ලි එන්න ඕනෑ. රටේ මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ සල්ලි දුප්පත් මිනිස්සු අතට ගොස් නැහැ. (එක පැත්තකින් එහෙම නොගිය එක හොඳයි. එසේ ගියානම් උද්ධමනය මීට වඩා ගොඩක් වැඩි වෙලා). එතකොට ඒ සල්ලි කොහේට හෝ යා යුතුයි. ඒ සල්ලි කොටස් වෙළඳපොළට එනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ලංකාවේ කොටස් වෙළඳපොළ තවමත් මූර්ත ආයෝජන සඳහා ප්‍රාග්ධනය හොයන මෙවලමක් නෙමෙයි. ඒ නිසා කොටස් වෙළඳපොළ ඉහළ ගියා කියලා එයට සමානුපාතිකව රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යන්නේ නැහැ. කොටස් වල නාමික අගය ඉහළ යන එක පමණයි සිදු වෙන්නේ.

      Delete
    4. ලංකාවේ වාහන මිල ඉහල යාම නිසා උද්දමනය වැඩිවන වේගය අඩුවුනා වෙන්න පුලුවන් නේද?

      Delete
    5. මම දන්නා තරමින් වාහන ලංකාවේ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ පැසට ඇතුළත් නැහැ. ඉහත කරුණ නිවැරදිනම්, වාහන මිල ඉහළ යාමේ බලපෑම උද්ධමනය තුළ නිරූපනය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් වාහන මිල ඉහළ යාම නිසා ඇත්තටම උද්ධමනය වැඩි වුනත් එසේ වැඩි වන කොටස සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නේ නැහැ.

      Delete
    6. ඒ කියන්නෙ කොටස් වෙලඳපොල ඉහල යෑමකට වඩා කොටස් වෙලඳපොල උද්දමනයක් වගේ දෙයක්ද වෙන්නෙ?

      Delete
    7. වාහනයක් පරිභෝජන භාණ්ඩයක්. සමාගම් කොටස් පරිභෝජන භාණ්ඩ නෙමෙයි. ඒ නිසා කොටස් වලට ඉහත ප්‍රකාශය අදාළ නැහැ.

      Delete
  13. ඉකොනොමැට්ටා,

    මේ ගැන වැඩිදුර පැහැදිලි කරන්න බැරිද?

    Carl Icahn said Monday that U.S. markets could see major challenges over the long term in the face of excessive money supply and rising inflation.“In the long run we are certainly going to hit the wall,” Icahn said. “I really think there will be a crisis the way we are going, the way we are printing money, the way we are going into inflation.”

    The Federal Reserve and Congress have unleased trillions of dollars in stimulus to rescue the economy from the Covid-19 pandemic. Icahn was adamant about not making a market timing call, but he believes one day over the long term the markets will pay the price for these policies.

    Source:

    https://www.cnbc.com/2021/10/18/carl-icahn-says-the-market-over-the-long-run-will-certainly-hit-the-wall-because-of-money-printing.html

    Could you please elaborate this?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවත් වසංගතය හේතුවකට ගෙන විශාල සල්ලි අච්චු ගැසීමක් කළා. මෙහි අහිතකර ප්‍රතිඵල ඇති වන්නේ අනාගතයේදී. ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඒ ගැන පැහැදිලි අදහසක් තිබෙන නිසා අවශ්‍ය අවස්ථා වලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන හානිය වලකයි කියා මම හිතනවා.

      Delete
  14. මේ ඔක්කොම දේවල් එක්ක ලංකාවේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් විදියට මේ දේවල් වලින් ගොඩ එන්න හරි, ඊලගට එන්න පුලුවන් ප්‍රශ්න ගැන හරි ගන්න පුලුවන් සාධනීය ක්‍රියාමාර්ග වගේ දේවල් මොනව හරි තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හොඳ පිළිතුරක් නොවුනත්, පෞද්ගලික යහපත සලකනවානම් තමන් පිළිබඳ විශ්වාසය තිබෙන සාමාන්‍ය තනි පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කළ හැකි දෙය රට හැර යන එකයි. එසේ නැතිව රටේ හැමෝගෙම සාමූහික අනාගතය ගැන හිතනවානම්, මේ තත්ත්වයට හේතු වූ කරුණු නිවැරදිව තේරුම් ගැන හැකි තරම් තවත් අයව දැනුවත් කිරීම කළ හැකියි. රටේ වෙනසක් වෙන්නේ මිනිස්සු වැඩි දෙනෙක් වෙනස් වුනොත් පමණයි.

      Delete
    2. ඉකොනොමැට්ටා,

      //පෞද්ගලික යහපත සලකනවානම් තමන් පිළිබඳ විශ්වාසය තිබෙන සාමාන්‍ය තනි පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කළ හැකි දෙය රට හැර යන එකයි. එසේ නැතිව රටේ හැමෝගෙම සාමූහික අනාගතය ගැන හිතනවානම්, මේ තත්ත්වයට හේතු වූ කරුණු නිවැරදිව තේරුම් ගැන හැකි තරම් තවත් අයව දැනුවත් කිරීම කළ හැකියි. රටේ වෙනසක් වෙන්නේ මිනිස්සු වැඩි දෙනෙක් වෙනස් වුනොත් පමණයි.//

      රට හැර යන එක හොඳම ඔප්ශන් එක නෙවෙයි නේද? මොකද අපට තවත් බලාපොරොත්තුවක් තියෙනවා, වර්තමාන දූෂිත ආණ්ඩුව ගැන ජනතාව ඉතාමත්ම බරපතළ සහ දැඩි ලෙස කලකිරී සිටියද එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු පක්ෂයක් බලයට ගෙන ඒමේ රැල්ලක් රටේ නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ඊට හේතුව 2015 දී එවන් බලාපොරොත්තුවකින් ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තු එම ආණ්ඩු විසින් කඩ කිරීම නිසා බවද පවසමින්.

      ඒ නිසා යළි රණසිංහ ප්‍රේමදාස යුගයක් හෝ සේනානායක යුගයක් යයි පවසමින් එය වෙනස් කළ නොහැකි බවද මන්ත්‍රීවරයාගේ අදහසයි.

      මේ නිසාම රට දියුණුවට නව යුගයක් ඇති කිරීම සඳහා නව පරම්පරාවකට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

      එනිසා උද්ඝෝෂණ පෙළපාලි හෝ බිම් මට්ටමේ සංවිධාන වැඩි කිරීම මගින් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවද ඒ සඳහා ඊට වඩා ඉතාමත්ම පුළුල්ව සිතා බලා බලය ලබාගත් පසු පාලනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සහිත වඩාත් ශක්තිමත් වැඩ පිළිවෙලක් සහිතව ඉදිරිපත් කළ යුතු දේශපාලන කැම්පේන් එකක් ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේ, මේ ගැන මොකද හිතන්නේ?

      කොහොම හරි චම්පික 2024 රටේ ජනපති කරගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න සියල්ලම පාහේ විසඳගන්න පුළුවන් වෙයි.

      Delete
  15. ඔබතුමා The big short film එක බලලා තියෙනවනවා නම්එකේ සිද්ධියත් මේ වගේ අවස්ථාවකට සමානද?
    (මම film එක ගැන අහලා තියෙනවා විතරයි)

    ReplyDelete
    Replies
    1. මම බලලා නැහැ. මම චිත්‍රපට බැලීමට වැඩි කාලයක් යොදවන අයෙක් නෙමෙයි.

      Delete
    2. @ නවීන් සංදීප කුමාර,

      අපි ඡන්දෙ නොදුන්නත් සංදීප කුමාරලා පෙනී සිටි/ ඡන්දය දුන් සහ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකළ පොදුජන පෙරමුණ ගැන කතා කරනවා නම්, රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට ලංකාවේ වර්තමාන තත්වය ගැන පැහැදිලි තක්සේරුවක් නදීරලාගේ පොදු ජන පෙරමුණු (පොහොට්ටූ) පක්ෂයට තියෙන්න ඕන. 2019 ජනාධිපතිවරණයේදි ලබපු ජයග්‍රහණයත්, පාර්ලිමේන්තුවේ ලබපු ජයග්‍රහණයත් ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමඟ සංසන්දනය කරන්න බෑ. උතුරු නැගෙනහිර කල්ලිවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම ජාතිවාදීන්ගේ/ අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න සිද්ද වෙලා තිබුණා. නමුත් එබඳු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරෙක් බිහි කරන්න ඔබලාට පුලුවන් වුණා, නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔබලාට දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕන කියල, ඒ ජාතීන් ළං කරගන්න පුළුවන් නම් ඒක තමයි නවීන්ලාගේ පොදුජන පෙරමුණට කරන්න පුළුවන් හොඳම කාර්යය. ඒ හැමෝගෙම සහය වගේම් දකුණේ එජාප/ සජබ සහ ජවිපේ සහායත් ලබා ගැනීමෙන් සහයෝගයෙන් පමනයි ප්‍රශ්න සැබෑවටම විසඳීමට අවකාශ විවර වෙන්නේ.

      අනිත් පැත්තෙන් ඒ වගේම කාරණයක් තමයි අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල ආත්මාර්ථකාමී උවමනාවලට යට නොවන තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබන්න පො.පෙ.ට පුලුවන් උනා. වසර 70 කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුලුවන් වීමත් නිසා මතක තියාගන්න ඒක ඓතිහාසික ජයග්‍රහණයක් ඒ වාගේ ජයග්‍රහණයක් ලබා දීලා රට පුරාම අති බහුතර ජනතාව/ ජාතිය ඉල්ලපු දේ ඔබලා ඉතාමත්ම දැඩිලෙස හොඳින්ම තේරුම් ගන්න ඕන කියන දෙය, හරිද?

      අපට හොඳින් මතකයි ඔබලා ජයග්‍රහණය කල මුල් දිනවල ලංකාව පුරා තරුණ තරුණියෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතිව චිත්‍ර ඇන්දේ, තමන්ගේ අතේ වියදමෙන් තීන්ත අරගෙන කාණුවල බැහැගෙන, බස් නැවතුම් පොළවල් රජයේ කාර්යාලවල තාප්ප, පාසල් තාප්ප මේ හැමතැනම මහ රෑ චිත්‍ර ඇන්දා. කාගෙවත් ඇරයුමක් තිබු‍ණේ නෑ. කාගෙවත් ඇණවුමක් තිබුණේ නෑ.

      ඒ හැමෝම වගේ රට පුරාම හිටපු රටට දැඩිව ආදරය කරන රට ගොඩ ගන්න විශාල උවමනාවක් තිබ්බ නන්නාදුනන තරුණයෝ. ඒ අය තමන්ගේ නම් වත් කොහෙවත් සටහන් කළේ නෑ. නමුත් නවීන් අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. 2020 මැද හරියේ ඉඳන් පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි, ඒ පණිවුඩය තේරුම් ගන්න ඕන නැද්ද කියලා ඔබලාම නැවතත හිතල බලන්න කියල මම යෝජනා කරනවා.

      ඇත්තටම ඒ තරුණ පිරිස කෝ අද? කොහේද ගියේ? අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න කියල විතරයි අපි ඉල්ලන්නේ. ආණ්ඩු බලය ගන්නා තුරු ඉතාම ඉවසීමෙන් කැපවීමෙන් දේශපාලනය කරපු අය ආණ්ඩු බලය ගත්තාට පස්සේ දේශපාලන කටයුතුවලින් ඈත් වෙලා හුදෙකලාව වැඩ කරල හරියනවද? හැබැයි ජනපති ඇතුළු පිරිස මේ වෙනකොට ආණ්ඩු බලය ගත්තාට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලෙ වෙන් කරන්න පටන් අරන් තියෙනවා. අද ලංකාවට වෙලා තියෙන්නෙ ඒකයි. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන්ම නෙවෙයි නවීන්. මේක හරියට දේශපාලනය ගැන නොදන්න ජනපතිට කියලා දෙන එක ඔබලාගේ ප්‍රධානතම වගකීමක්.

      Delete
    3. ඒ වගේම රටක ජනාධිපති ඇතුලු ආණ්ඩු පක්ෂයේ විධායක නියෝජනය කරන පාලක පිරිස ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකදී ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියට කරනවා වාගේම ජනතාව අතර නිතර ගැවසෙමින් ජනමතයටත් කන් දෙමින් එය අවශ්‍ය පරිදි රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පරිදි හසුරුවාගනඉමින් දේශපාලනයක් කරන්නත් ඕන. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින් රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ ඔබගේ පක්ෂයේ ලොක්කෝ දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසා. මේ දක්වා රට පුරා පවතින ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ ආණ්ඩුව බැහැලා වැඩ නොකළ නිසා. ඒ ජනතාවගේ හඬ පාලක පක්ෂය තේරුම් ගන්න ඕන. ඒ හඬ ඇහෙන්න ඕන, හැබැයි වෙනස් තීරනයක් ගන්නවා නම් ඒක ගන්න ඕන මහජන සහයෝගය කැමැත්ත සහිතව රටේ සැබෑ ප්‍රශ්නය ගැන ජනතාව දැනුවත් කරමින්. මිනිස්සුන්ට පැහැදිලිව කිව්වොත් මිනිස්සු අහන්නේ නැත්තේ නැහැ, මම ලංකාවේ හිටපු 2005 -06 කාලේ රජයෙන් ගෙන ගිය වගා සංග්‍රාම වැඩපිළිවෙලට, එතකොට යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමට දකුනේ ජනයාගෙන් මහත් සහායක් ලැබුණා, කෝ අද එවන් සහායක්? ඒ නිසා දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න වෙනත් අවස්ථාවාදී බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා තව අවුරුදු තුනක් වත් රට පාලනය කිරීමට නියමිත පොදුජන පෙරමුණ මේ රටේ නිසි ලෙස පාලන බලය තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනමයි.

      ඒ වගේම තමයි පාලකයන් ඉතාමත් තදින් තේරුම් ගත යුතුදේ තමයි කිසිසේත්ම රජයේ බලධාරීන්, නිලධාරීන් ආණ්ඩුව වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා කිසිසේත්ම බලා නොසිටිය යුතුයි, ඔවුන් එසේ කරන්නේ කුමටද? සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබලා ඇතුලු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ අතේ. කම්හලේ, වැඩබිමේ, ගොවිබිමේ නුඹලාගේ පක්ෂයේ බලය තහවුරු කර ගන්න ඕන, ඔහොම උකටලීව ඉඳලා හරියන්නේ නෑ, මිනිස්සුන්ට තෙරෙන්න සරලව සහ විවෘතව රටේ සැබෑ ප්‍රශ්න මේවායි, ඒ නිසා අපට කරන්න වෙලා තියෙන්නේ මේවායි කියල ජනයා දැනුවත් කරමින් ඊට විසඳුම් ලෙස රජයෙන් කරන්න හදන දේ කිව යුතුයි, එතකොට මහජන සහය ලබාගන්නත් පුළුවන්, නැතුව මෙහෙම හුදකලා තීරණ අරන් ඒව හොඳින් හරි නරකින් හරි ක්‍රියාත්මක කරන්න ගිහින් නිකම් අනාගන්න එපා කියල තමයි මට කියන්න තියෙන්නේ, බොහොම ස්තූතියි.

      Delete
  16. මෙම downgrade එකට ISB secondary market එකේ ප්‍රතිචාරයක් පෙනෙන්නට නැත්තේ ඇයි?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: