වෙබ් ලිපිනය:

Sunday, October 17, 2021

ලංකාව ගැන අයිඑම්එෆ් එක හිතන දේ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරි කාලය පිළිබඳ ඔවුන්ගේ පුරෝකථන ඇතුළත් අර්ධ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව පදනම් වන්නේ 2021 සැප්තැම්බර් 27 දින දක්වා ඔවුන් වෙත වාර්තා වී තිබුණු සංඛ්‍යාලේඛණ මතයි.

අදාළ වාර්තාව අනුව 2020 වසරේදී 3.1%කින් හැකිළුණු ලෝක ආර්ථිකය මේ වසරේදී 5.9%කින්ද, 2023 වසරේදී 4.9%කින්ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබෙනවා. 2020 වසරේදී 3.4%කින් හැකිළුණු ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය මේ වසරේදී 6.0%කින්ද, 2023 වසරේදී 5.2%කින්ද වර්ධනය වීමට නියමිතයි. 2020දී 6.3%කින් හැකිළුණු යුරෝ කලාපය මේ වසරේදී 5.0%කින් හා ඉදිරි වසරේදී 4.3%කින්ද,  9.9%කින් හැකිළුණු එක්සත් රාජධානිය මේ වසරේදී 6.8%කින් හා ඉදිරි වසරේදී 5.0%කින්ද ප්‍රසාරණය වීමට නියමිතයි. 

සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී, 7.3%කින් හැකිළුණු ඉන්දියාවේ ආර්ථිකය 9.5% හා 8.5% අනුපාත වලින් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනවා. 

ලංකාවේ ආර්ථිකය 2020 වසරේදී 3.6%කින් හැකිළුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මේ වසරේදී ආර්ථිකය 3.6%කින් වර්ධනය වී නැවත ලංකාව 2019 සිටි තැනට පැමිණෙනවා. ඉන් පසු 2022 වසරේදී 3.3%කින් ප්‍රසාරණය වෙනවා. මේ අනුව, 2020-2022 තෙවසර තුළ අපේක්ෂිත සාමාන්‍ය වර්ධන වේගය 1.1%ක්. ඉතා අඩු වර්ධන වේගයක් වුවත්, කලාපයේ අනෙකුත් රටවල් පිළිබඳ පුරෝකථන සමඟ සැසඳූ විට මෙය අසාමාන්‍ය නරක තත්ත්වයක් නෙමෙයි.

පසුගිය වසරේ, මේ වසරේ හා ඉදිරි වසරේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය චීනයේ 5.3%ක්, ඉන්දියාවේ 3.6%ක් හා බංගලි දේශයේ 4.9%ක් වුවත්, නේපාලයේ 1.4%ක්, මැලේසියාවේ 1.3%ක්, තායිලන්තයේ -0.2%ක් හා මාල දිවයිනේ 0.0%ක් පමණයි. මියන්මාරයේ එය -4.9%ක්.

ආර්ථික වර්ධනය අඩාල වුවත් ඉදිරි තෙවසර තුළ ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර නැහැ. අදාළ පුරෝකථන අනුව 2021 හා 2022 වසර වල ලංකාවේ උද්ධමනය 6.0 හා 6.5 මට්ටම් වල පැවතීමට නියමිතයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන හැම විටම නිවැරදි නැහැ. එහෙත්, මේ පුරෝකථන තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරය පිළිබිඹු වෙනවා. ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක් මේ පුරෝකථන තුළින් ගම්‍ය වෙනවා.

23 comments:

  1. මම හිතන්නේ ලංකාවේ ආර්ථිකය ගැන නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැරදිලා, වෙන රටවල් ගැන හරි ඇති ඒත් ඔවුන් ලංකාවේ ආර්ථිකය ගැන නම් ඉතාමත්ම වැරදි තොරතුරු මත පදනම්ව මේ තොරතුරු පවසන බව පේනවා, //ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගැනීම පිණිස, ආර්ථික වර්ධන ඉලක්ක පසෙක ලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ රජය හා මහ බැංකුව යොමු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාස කරන බවක්// මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව මට 100000% ක් ෂුවර්, ලංකාවේ ආණ්ඩුව තවත් සූදු කෙළිනවා කබරරාල කබ්බා ගේ අති පණ්ඩිත වැඩ නිසා මතකයි නේද හෙජින් සූදුව ග්‍රික බැඳුම්කර මගඩිය වගේ විගඩම්? ඒ විතරක් නෙමෙයි තවත් බරපතල ලෙස අධික ලෙස විදේශ ණය ගැනීම නිසා ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරන එක ගැන මූල්‍ය අරමුදලේ ඉන්න ගෝත තකතීරු ගොන් මෝඩ මීහරක් වහන්සේලාට පේන්නේ නැත්තේ ඇස් පොට්ට වෙලා ද මන්දා, අදත් ලංකාවේ මාධ්‍ය වලින් දැක ගැනීමට පුළුවන් වුණා ලංකාවට ඉන්ධන මිලට ගැනීමට තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කරපු බවත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම ණය මුදල ලබා ගන්නා බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති අද කියුවා.

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගලත් තහවුරු කළා.

    අද දෙරණේ වාර්තාව අනුව ලංකාවේ එක මාසෙකට ඉන්ධන වියදම ඩොලර් මිලියන 350ක් විතර නිසා මෙම මුදලින් මාස එකහමාරකට පමණ ඉන්ධන මිලදී ගැනීමට හැකි බව කියන්නේ, මේක ඇත්තද? ඒ මොන කතන්දර කියූවත් මේ ණය නිසා ලංකාවේ විදේශ ණය බර තවත් බරපතල ලෙස වැඩි වෙලා ඉතාමත් ඉක්මනින් විශාල අනතුරක් වෙලා ආර්ථික බිඳ වැටීමක් වෙන එක නම් හොඳටම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ දවස්වල ඉතාමත්ම බරපතල විදිහට දැඩි අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින විදේශ විනිමය හිඟකම (ඩොලර් හිඟය) නිසා ලංකාවේ කේන්ද්‍රීය ප්‍රධානතම විදුලි බල ශක්ති ජනනකරු වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අගුරු මිලට ගැනිමේදීද ඉතා දැඩි ලෙස බලපා ඇති බව ජේ එස් එස් ජාතික විදුලිබල සේවක වෘත්තීය සංගමයේ සභාපති පැහැදිලි කළා.

      ඒ ලක්විජේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගන්නා ලංකා ගල් අඟුරු සමාගම ජාත්‍යන්තරව කැඳවූ අවසාන ටෙන්ඩර් දෙක සඳහා සැපයුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් වී නැති නිසා තමයි.

      ගල් අගුරු ගෙන්නන සුපුරුදු ක්‍රමය වන ණයවර ලිපි හරහා ගණුදෙනු කිරීම වෙනුවට ගල් අඟුරු මිලදී ගැනීම් සඳහා කලින් ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලා සිටීම නිසා ගැටළුව හට ගෙන ඇති බව පැහැදිලිය.

      මේ දවස්වල ගෝලීය ගල් අඟුරු මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම ගැටළුව වඩාත් සංකීර්ණ වී ඇති අතර ලංකාවේ අධික ලෙස විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසා කලින් අත්පිට මුදලට මුදල් ගෙවා ගල් අගුරු මිලදී ගැනීම සමාගමට කල කිසිම විදිහකින් කළ නොහැකි තත්ත්වයක්.

      ලංකාවේ රජය මේ දක්වා දිගටම පෙර පැවති සියලුම ණයවර ලිපි නිසි ලෙස සපුරා තිබුණත් ලංකාවේ පවතින ඉතාමත් අවදානම් සහගත බංකොලොත් වන්නට ඉතාමත් ආසන්න වන ආර්ථික තත්ත්වය අනුව මෙය ඉක්මනට වෙනස් වේ යැයි බියෙන් සැපයුම්කරුවන් ලංසු තැබීමෙන් වැළකී ඇති බව වාර්තා කරල තියෙන්නෙ.

      ඉල්ලුම්කරුවන් නැති විම මත ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 බැගින් වන ටෙන්ඩර දෙකක් සැප්තැම්බර් 30 දා සහ පසුගිය සිකුරාදා කියන දවස් දෙකේදීම වසා දමා ඇති අතර ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේදී පැමිණිය යුතු ගල් අගුරු මෙට්‍රික් ටොන් 300,000 ක හිඟයක් දැන් පවතී.

      මේ ගැන සුපුරුදු පරිදි ආණ්ඩුවේ බලධාරීන් සදහන් කරන්නේ ලක්විජය බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තොග ඇති බවත් ගල් අඟුරු අවසන් වේ යැයි බියක් නැති බවත්.

      මේ වනවිට ලෝකයේ දෙවන විශාලතම ගල් අඟුරු අපනයනකරුවකු වන ඉන්දුනීසියාවේ අපනයන අඩු වීම මත ශ්‍රී ලංකාව ගල් අගුරු මිලට ගැනීමට දකුණු අප්‍රිකාව කරා යොමු විය යුතුව ඇතත් මෙය වඩාත් මිල අධික කටයුත්තකි. Australia is the biggest coal exporter in the world with over 40% share in global coal exports. Indonesia is second but exports less than 17% of the world supply.

      ශ‍්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම කොටස සපුරන්නේ ලංකාවේ ප්‍රධානතම විදුලි බල ශක්තිය උත්පාදනය කරන නොරොච්චෝල ලක්විජේ ගල් අගුරු බලාගාරයයි. මෙය කඩා බිඳ වැටීම යනු ලංකාවේ ජනයාට කළුවරේ සිටීමට සිදුවීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බව. ගල් අඟුරුත් නෑ, ඩීසලුත් නෑ එතකොට විදුලියත් නෑ. කරුවලේ ඉමු. හැබැයි ජනගහණය වැඩිවෙයි.

      Delete
  2. ඉකොනො දන්නව ඇතිනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ලාංකික සිනමා නිර්මාණකරුවකු වූ ලක්පති විජේසේකර අධ්‍යක්ෂණය ලද හොලිවුඩ් චිත්‍රපටයක් වූ ''ෆ්‍රී බයි නූන්'' (Free by noon) කියලා චිත්‍රපටයක් මේ දවස්වල ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරගත වෙන බව?

    ලොස් ඇන්ජලීස් නගරයේ ග්ලේන්ඩේල් වල ලයෙම්ලේ සිනමාශාලාවේදී තිරගත වන බව කියන මේ ෆිල්ම් එක හාස්‍යෝත්පාදක ඉංග්‍රීසි චිත්‍රපටක් වන අතර ජෝන් අයිසන්, රේචල් වොං, ජස්ටින් හෑඊරොන්, මෙලිසා හොවෙල් වැනි යම් තරමකට ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පීන් මෙහි චරිත නිරූපණය කරනව වගේම මේක මේ මාසේ 21 දක්වා ලොස් ඇන්ජලීස් වල පෙන්නල ඊට පස්සෙ නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටාස් වැනි නගරවලද ප්‍රදර්ශනය කරවීමට නිෂ්පාදකයෝ සූදානම් කියලා ආරංචියක් ආවා. චන්ද්‍රන් රත්නම් ලටත් වඩා ඉදිරියට ගිහින් ඇති ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයකු හොලිවුඩයේ තනියම අධ්‍යක්ෂණය කළ ප්‍රථම නිර්මාණය විය හැකි මෙම චිත්‍රපටය සදහා තවත් ලාංකිකයින් තිදෙනකු දායකත්වය ලබා දීමද විශේෂත්වයක්. ඒ අනුව ෆ්‍රී බයි නූන් චිත්‍රපටයේ සම නිෂ්පාදනයෙන් විදර්ශි වගආරච්චි ද, විධායක නිෂ්පාදනයෙන් ලාල් තිලකරත්න ද, සංස්කරණයෙන් ලහිරු විජේසේකර ද දායක වෙලා තියෙනවා. මේක ගැන ඔබේ අදහස් මොනවා ද ඉකොනො?

    ReplyDelete
  3. මම හිතනවා ලංකාව නැවතත් ඇමෙරිකා එකසත් ජනපදය දෙසට තල්ලු වෙමින් යනව කියල. මේ පුරෝකතනයත් ඒ හා සම්බන්ධ විය හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. දේශපාලනික ලෙස ගත්තොත් ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලට ලංකාව චීනය පැත්තට යනකොට පොඩ්ඩක් රිද්දන්න මිසක් මැරෙන්න වැටෙන්න ගහන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යනම් එය සුළු වැඩක්.

      Delete
  4. චීන රට අපිත් සමග ඉන්නා නිසා ලංකාවට වින කටින්න බලං ඉන්නා ඇමරිකාව දැන් අපිට ඕනි නැහැ. කොහොමත් දැන් ලෝකේ බලවතා චීනය තමයි. ඇමරිකාවත් චීනයට සෑහෙන්න ණයයි කියනවනේ.

    ReplyDelete
    Replies
    1. දැන් ගෝලීය දේශපාලනය ටිකක් වෙනස් වෙලා තියෙනවා, චීනය ලංකාවට වඩා භූ දේශපාලනික සහ යුධමය වශයෙන් වඩාත් වැදගත් ඇෆ්ගනිස්ථානය ඇමරිකානු ආධිපත්‍යයෙන් මුදවා ගෙන පකිස්ථානය සමග මධ්‍යම ආසියානු සිල්ක් රෝඩ් ව්‍යාපෘතිය හරහා යුරෝපා වෙළඳ පොළට ගොඩ බිමින් සම්බන්ධ වීම වේගවත් කරන්න පටන් ගත්තා, දැන් හම්බන්තොට සහ පෝට් සිටි අඩංගු බෙල්ට් ව්‍යාපෘතිය ටිකක් හෝල්ඩ් කරල තියෙන්නෙ. චීනය රුසියානු උතුරු මුහුද හරහා යුරෝපයටත් අලුත් මුහුදු මාර්ගයක් හදන්න යනවා, මේක සාර්ථක වුණොත් බෙල්ට් එක සහ ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂා වලට කෙළවිලා යයි, ඒ අතරේ ඇමරිකන් එක්සත් ජනපදය ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට අත ගහල තියෙන්නේ මේ දවස් වල, චීනය ලංකාවේ ගහපු පය ටිකක් බුරුල් කරයි තාවකාලිකව. බලමු හරියටම මොකද වෙන්නේ කියලා ඉස්සරහට.

      මේ වගේම ලංකාව ඇමෙරිකාවෙන් මිලට ගත් "ෆයිසර්" එන්නත් මාත්‍රා 608,000 ක් අද උදේ ලංකාවේ කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආ බව අද මාධ්‍ය වාර්තා වල මම දැක්කා.

      මේ නිසා ලංකාව ඇනවුම් කරපු " ෆයිසර්" එන්නත් මාත්‍රා 50 ලක්ෂයක ප්‍රමාණය අතුරින්, මේ වනවිට ලක්ෂ 10 ක් විතර ලංකාවට ලැබී ඇති බව ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක කියනවා.

      ඉතිරි එන්නත් ලක්ෂ 40 ක තොගයේ පළමු එන්නත් තොගය ගෙනැවිත් ඇති බවත්, සෙසු එන්නත් මාත්‍රා නොවැම්බර් මාසය අවසන් වීමට කලින් අනිවාර්යයෙන්ම ලංකාවට ලැබීමට නියමිත බවත් ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කළා.

      Delete
  5. ලෝකය පෙරළෙයි - කාලෙ ගෙවී යයි.....

    ReplyDelete
  6. මේ අවුරුද්දෙ අපිට‍ upper middle income රටක් වෙන්න පුලුවන් වෙයිද

    ReplyDelete
  7. 2021 වසර අවසාන වීමට කලින් ‍ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අනිවාර්යයෙන්ම කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද උදේ පාන්දරම පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

    බංකොලොත් වූ විට ලංකාවට කිසිම භාන්ඩයක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

    ලෝකයේ නරකම රට ලෙස ශ්‍රී ලංකාව කඩා වැටී බංකොලොත් වී ඇත්තේ මෙම ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය හේතුවෙන් බවද ඔහු කියා සිටී.

    ලෝකයේ කඩාගෙන වැටෙන රටවල් අතර ලංකාව පළමු වන තැනට පත්ව ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ ඔහුට පුද්ගලිකව පවසා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

    මීට අමතරව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක පැවසුවේ කාබනික පොහොර වලින් ගොවිතැන් කිරීම අසාර්ථක බව ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගත යුතු බව ද ඒ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ජනතාවට වැඳ ඔවුන්ගෙන් සමාව ගත යුතු බවද පැවසූ චම්පික රණවක කාබනික පොහොරෙ භාවිතා කර 1%ක් ගොවිතැන් කර පෙන්වන්නැයි ජනාධිපතිවරයාටත් කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බවත් පැවසීය.

    චම්පික රණවක තවදුරටත් විස්තර කළේ මේ ආකාරයට කටයුතු කිරීම මත රට සාගතයක් කරා යාම පමණක් නොව ඉතා බරපතළ කැරළිකාරී තත්ත්වයක් මෙන්ම දැවැන්ත සමාජ පිපිරුමක් ඇති වීමේ අතිවිශාල ඉඩකඩක් මේ වන විටත් නිර්මාණය වී ඇති බවයි. මේ නිසා ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරිලා වගේ නේද? ආණ්ඩු විරෝධී කැරැල්ලක් ඇති වේවි ද 1988 කාලේ වගේ?

    මේ තත්ත්වය යටතේ සාමාන්‍ය ජනතාවට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?

    ReplyDelete
  8. //සංකෝචනය නොවුනත්, 2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථිකය 2021 හා 2021 වසර වලදී 8.0% හා 5.6% අනුපාත වලින් ඉහළ යද්දී//

    "ආර්තිකය සංකෝචනය" වෙනවා කියන්නේ සහ "පහත වැටෙනවා" කියන්නේ වෙනස් කාරණා දෙකක් ද??

    ReplyDelete
    Replies
    1. පහත වැටෙනවා කියන එකෙන් (මේ අවස්ථාවේදී) අදහස් කළේ ආර්ථික වර්ධනය පහත වැටීම. ඇත්තටම මේ වාක්‍යය ලිවිය යුතුව තිබුණේ "2020 වසරේදී 2.3% දක්වා පහත වැටුණු චීනයේ ආර්ථික වර්ධන වේගය" ලෙසයි. වාක්‍යය ලියා ඇති ආකාරයෙන් ඔබ ඇසූ ප්‍රශ්නය මතු වෙනවා. වර්ධන වේගය අඩු වුනත් ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වෙනවා. සංකෝචනය වීම යන්නෙන් අදහස් කළේ වර්ධන වේගය සෘණ පැත්තටම යන එක.

      Delete
    2. "Recession is when your neighbor loses his job. Depression is when you lose yours. And recovery is when Jimmy Carter loses his"

      -Ronald Reagan

      Delete
  9. ඉකොනො,

    මේකේ අන්තර් භාණ්ඩ (intermediate goods) වලට වියදම් වූ ඩොලර් බිලියන 7.9 ක් කියනවා නේ 2021 ජන-අගෝ කාල සීමාවේදී? නමුත් මේක 2019 වසරේ වියදම් කරලා තියෙන ඩොලර් බිලියන 7.3 ට වඩා මිලියන 600 ක් විතර වැඩි වෙලා තියෙන්නේ කොහොමද? ඉන්ධන ආනයන වියදම් 2019 ට කිට්ටු වෙලා තියෙන්නෙ ඒත් ඊළඟ මාස කීපයේ මේක තව දුරටත් වැඩි වේවී. මේකේ එළවලු, සමහර ආහාර පාන ආනයනය සෑහෙන වැඩි වෙලා තියෙන්නෙ. ඒ වගේම ලංකාවට මෙයින් අපනයන වලට හානි නොවන පරිදි අඩු කර ගත හැකි ආනයන මොනවද?

    https://economynext.com/sri-lanka-imports-top-three-year-high-by-sept-2021-amid-money-printing-87202/#modal-one

    ඒ වගේම ආණ්ඩුව හැමදාම කයිය ගහන සේවා අපනයන (IT & freelancers etc.), සංචාරක ව්‍යාපාරය, මේ දවස්වල හිටු කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෝලින් ගහලා කොරියාවට, මැද පෙරදිගට පටවන විදේශ ශ්‍රමිකයන් ගේ රෙමිටන්ස්, එතකොට විදේශීය ආයෝජන වගේ දේවල් ඇරුණාම ලංකාවට පිට රටවල් වලින් ලැබෙන දේකුත් නැහැ නේද? ඒ නිසා අපනයන වැඩි කර ගන්න ඔබේ අදහස් හා යෝජනා මොනවද? දැන් චීනය ලංකාව ගැන බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් අත් හරින බව පේන නිසා ලංකාවට විදේශීය ආයෝජන ලබාගැනීමට අවශ්‍ය වෙනත් රටවල් මොනවද? ආසියානු සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික වර්ධනය සමග ලංකාවේ ආර්ථිකය සම්බන්ධ කළ හැකි වෙයිද? ඒ වගේම ලංකාවේ සම්ප්‍රදායික අපනයන වෙළඳ පොළවල් වන ඇමරිකන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෙළඳ පොළ එකතැන පල්වෙන එක සහ බංගලාදේශය, වියට්නාමය, අප්‍රිකා වැනි වෙනත් තරගකාරීත්වය සමග එයත් තව ඉදිරියට වසර කීපයක් තුළ නැතිවීමට ඇති අවදානම (මේ දවස්වලත් කටුනායක වගේ පැතිවල කම්හල් බංගලාදේශය, අප්‍රිකා රටවලට ශිෆ්ට් වෙන නිසා) ගැන ඇති රිස්ක් එක නිසා අප බංගලාදේශය, වියට්නාමය, මියන්මාරය, කාම්බෝජය වගේ චීන වෙළඳ පොළේ හයි ලෙවෙල් බ්රැන්ඩඩ් ප්‍රඩක්ට්ස් මාකට් එකට දැන්වත් හරියට ප්‍රඩක්ට්ස් මාකටින් කරමින් ලෝන්ච් කළ යුතු බවත් චීනයේ වේගයෙන් වැඩි වන ධනවත් ඉහළ සහ මධ්‍යම ආදායම් සහිත වෙළඳ පොළ නිසි පරිදි ටාගට් කළ යුතු නේද? ඒ වගේම ඉන්දියාවේ ද ධනවත් ජනයාට අවශ්‍ය හයි කොලිටි ෆැෂන් ඩිසයින්, ඇඩ්වටයිසින්, සේවා වගේ ක්ෂේත්‍රවලත් දැන්වත් දැඩිව එරට සිටින සමාගම් වල උග්‍ර තරගකාරීත්වය සමග කෙසේ හෝ තරග කර හොම්බ දාගත යුතුමයි. පෝට් සිටි, හම්බන්තොට පිරිපහදුව, කර්මාන්ත පුරය වගේ දේවල් ගැන දැන් ලොකු බලාපොරොත්තු තියාගෙන වැඩක් නෑ. පෝට් සිටි එකත් නිකන් එන්ටටේන්මන්ට් සීන් එකක් කරන්න වෙයි. චීනය නැති නිසා ඉන්දීය මාකට් එක ටිකක් වත් අල්ලගන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ. තව දෙයක් ලංකාවේ මේ දවස් වල පාස්පෝට් ඉල්ලුම සෑහෙන වැඩි නිසා දවසකට 5000 ක් විතර ඇප්ලයි කරනවා, ගත වූ දින 10 තුල පමණක් පුද්ගලයන් දොළොස් දහස් දෙනෙකු ඉක්මවා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තියෙනවා. මේක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?

    ReplyDelete
  10. ඉකෝන්,

    ඔබ හිතන විදියට මේ වැඩපිළිවෙල සාර්ථකව නිම කරන්න පුළුවන් වේවිද 2024 වෙනකොට? අනිත් පැත්තෙන් චීනයේ ඩොලර් බිලියන දහයකට වඩා වැඩි අති නවීන චිප් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට TSMC එක පරද්දන්න හැකියාව තියේද සමහරු කියන විදිහට?

    https://youtu.be/GU87SH5e0eI

    එතකොට මේ වැඩපිළිවෙල ගැන හිතන්නේ මොකද?

    https://youtu.be/_z4iVqd-Tkk

    චීනයේ මේ සැලැස්ම ඇත්තටම කරන්න පුළුවන් ද දැන් තියෙන අලුත්ම ලෝක ආර්ථිකයේ සහ ගෝලීය ආර්ථික දේශපාලනික තත්ත්වය සමග?

    ReplyDelete
  11. ආර්තිකයෙන් එලියේ තියෙන මාර්තෘකාවක් යටතේ යමක් ලියනවා නම්, ක්‍රිකට් මැච් එක්ක දිනන සම්බාවිතාව , සැරින් සැරෙට වෙනස් වන ක්‍රමය ගැන පැහැදිලි කීරීමක් කරන්න පුලුවන් ද ? මොකද මැච් එක්ක පලවෙනි පන්දුව යවන්න ඉස්සෙලා ඉඳලම ,කණ්ඩායම් දෙක දින්න පුලුවන් සම්භාවිතාවය පෙන්නනවා නේ. හැකි නම් පමණක් !!

    ReplyDelete
  12. අයි.එම්.එෆ් පුරෝකථන
    අපේ රටට හරියාවිද?
    සැප්තැම්බර් පහුකරලා
    ඊළඟ මාසෙට එනකොට
    අපමණදේ වෙනස් වෙලා

    ReplyDelete
  13. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  14. උද්දමනය හා අදිඋද්දමනය එකම හේතු නිසාද ඇතිවෙන්නෙ? (Hyper-inflation)

    ReplyDelete
    Replies
    1. දෙකටම හේතුව මුදල් සැපයුම මුදල් සඳහා වන ඉල්ලුම ඉක්මවා ඉහළ යාම. සාමාන්‍ය උද්ධමනයක් පවත්වා ගැනීමදෙකටම හේතුව මුදල් සැපයුම මුදල් සඳහා වන ඉල්ලුම ඉක්මවා ඉහළ යාම. සාමාන්‍ය උද්ධමනයක් පවත්වා ගැනීම බොහෝ විට සැලසුම් සහගතව කරන දෙයක්. අධි උද්ධමනය ඇති වන්නේ පාලනය ගිලිහුණු විට. සාදයකදී මත්පැන් ටිකක් තොල ගෑම දුර දිග ගොස් වෘත්තීය බේබද්දෙක් වුනාම වෙන වැඩේ වගේ වෙනසක්.

      Delete
    2. පාලනය නැති වෙන්නෙ මහ බැන්කුව සහ රුපියල ගැන විශවාසය නැති උනාමද? නතිනම් ඉල්ලුමට ඉතා වැඩි උනාමද?

      Delete
    3. හැම විටකම මෙය සිදු වී තිබෙන්නේ රජයේ අයවැය හිඟය පියවීමට මහ බැංකුව සම්මාදම් වීම නිසා. සල්ලි අච්චු ගහන කොට උද්ධමනය වැඩි වෙනවා. උද්ධමනය වැඩි වෙන විට එයට අනුරූපව පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. පොලී අනුපාතික වැඩි වෙද්දී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා. එවිට තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැවතත් උද්ධමනය වැඩි වෙනවා. ඔය චක්‍රයට අහුවුනාම ගැලවීමක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: