වෙබ් ලිපිනය:

Showing posts with label සෘජු විදේශ ආයෝජන. Show all posts
Showing posts with label සෘජු විදේශ ආයෝජන. Show all posts

Friday, March 29, 2024

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!


පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. 

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. 

ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි. 

මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?

පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.

විදේශ විණිමය ලැබීම්:

භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911

සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416

ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989

ආදායම් එකතුව = 23,779


විදේශ විණිමය ගෙවීම්:

භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811

සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012

ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027

විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371

වියදම් එකතුව = 22,221


රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559


මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ. 

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්. 

මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. 

පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?

ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.

රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා. 

වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා. 

Monday, December 19, 2022

ලංකාවට ඇත්තටම ආයෝජන එනවද?


බදු වැඩි කිරීමේ අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන අය කියන දෙයක් තමයි මේ වැඩෙන් රටට එන විදේශ ආයෝජන නැති විය හැකියි කියන එක. මේ කතාව ටිකක් දුරට ඩොලරයේ මිල ඉහළ යද්දී රජයේ ණය ඉහළ යනවා කියන කතාවට සමානයි.

කලින් නැවත නැවත පැහැදිලි කර දී තිබෙන දෙවන කතාව තවත් වරක් කෙටියෙන් මතක් කරන්නම්. ඩොලර් ණයට අරගෙන, ඒ ණය ආපසු ගෙවද්දී ඩොලරයක මිල වැඩි වෙලානම් ඒ හේතුව නිසා රජයට රුපියල් වලින් වැඩි වියදමක් යනවා. කතාව ඇත්ත. 

ඉහත තර්කයේ ප්‍රශ්නය තියෙන්නේ තර්කය ඇතුළේ නෙමෙයි. තර්කයට පිටින්. කතාව ඇත්ත වුනත් රජයට ඔය පාඩුව වෙන්නේ ගත්ත විදේශ ණය ආපහු ගෙවද්දී. නමුත් ලංකාවේ රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ආපහු ගෙවලාම නැහැ. ගෙවන්නෙත් නැහැ. හැමදාම වගේ කළේ ගෙවන ණයට වඩා අලුතෙන් විදේශ ණය ගන්න එක. ඔහොම විදේශ ණය අරගෙන රුපියල් කරද්දී ඩොලරයේ මිල ඉහළින් තියෙන තරමට රජයට වාසියි. පාඩු වෙන්නේ ඩොලරයේ මිල අඩු වෙද්දී.

විදේශ ආයෝජන ගැන කතාවත් ඔය වගේම එකක්. වැඩියෙන් බදු ගෙවද්දී රටට එන ආයෝජන අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ රටට ආයෝජන එනවානම්. මෑතකාලීනව දිගින් දිගටම වෙලා තියෙන්නේ ආයෝජකයින් විසින් රජය ණයට ගන්න සල්ලිත් රටින් ගෙනියන එක. 

විදේශ ණය අරගෙන රටට වෙලා තියෙන අවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඒ ගැන කවුරුත් වගේ දන්නවා. ණය විදිහට රටට එන විදේශ ප්‍රාග්ධනය ගැන බයෙන් සැකෙන් බලන ගොඩක් අය කොටස් හිමිකම් විදිහට රටට එන සෘජු විදේශ ආයෝජන වගේ දේවල් වල කිසිම අවුලක් දකින්නේ නැහැ. නමුත් ඇත්තටම ණය හෝ කොටස් භේදයක් නැතිව ලංකාව විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්න ආකෘතියේම අවුලක් තියෙනවා.

රටකට විදේශ ආයෝජන එන එකේ වාසි ගණනාවක් තියෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ඒ වාසි අමතක කරලා, කරන්නන් වාලේ ආයෝජකයෝ ගෙන්න ගනිද්දී වෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. 

ලංකාව කාලයක් තිස්සෙම කරලා තියෙන්නේ බදු සහන දීලා ආයෝජකයින් ආකර්ශනය කර ගන්න එක. ආයෝජකයින් රටට එන එකෙන් රජයට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීම මගිනුයි. බදු ආදායම වැඩි වෙන්නේ නැත්නම්, කොහොම හරි ආයෝජකයෝ ගෙන්න ගත්තා කියලා ඒ ගෙන්න ගත්ත එකෙන් වැඩක් නැහැ.

රටේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදෙනවානම් බදු සහන නැතත් ආයෝජකයෝ එනවා. ඒ එන්නේ දිගුකාලීන වාසි බලාගෙන. එහෙම එන ආයෝජකයෝ තමන්ගේ ලාබ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය කරනවා මිසක් රටෙන් අරන් යන්න හදිසි වෙන්නේ නැහැ.

රටේ ඒ ආකාරයේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදීම සඳහා කළ යුතු මූලික දේවල් සිදු නොකර බදු සහන දීලා ආයෝජකයෝ ගෙන්නුවහම රටට එන්නේ පුළුවන් තරම් ඉක්මනින් රටට ගෙනාපු මුදල වගේ කිහිප ගුණයක් රටින් අරන් යන්න බලාගෙන එන ආයෝජකයෝ. අන්තිමට වෙන්නේ රටට ගේන ඩොලර් ටික වගේ කිහිප ගුණයක් රටින් එළියට යන එක. අන්තිමට රජයට බදුත් නැහැ. රටට විදේශ විණිමයත් නැහැ.

පහත සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම මේ කරුණ පැහැදිලි වෙයි.

වර්ෂය- 2016

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 949

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 500

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 450

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 260

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 240


වර්ෂය- 2017

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 934

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 431

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 503

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 32

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 399


වර්ෂය- 2018

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 783

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 558

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 225

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 238

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 320


වර්ෂය- 2019

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 863

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 599

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 264

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 120

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 474


වර්ෂය- 2020

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 636

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 445

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 191

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 211

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 234


වර්ෂය- 2021

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 647

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 357

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 290

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 317

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 40

Tuesday, September 11, 2018

ශ්‍රමික ප්‍රේෂණ, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය



දිගින් දිගටම විදේශ ණය ගනිමින් අයවැය පරතරය පියැවීම හා එයින් රටේ ආනයන අපනයන පරතරයට සිදුවන බලපෑම ගැන පෙර ලිපියෙන් පෙන්වා දුන්නා. එහි පෙන්වා දුන් පරිදි, රටට හා රටෙන් පිටතට විදේශ විණිමය සම්ප්‍රේෂණය වන එකම යාන්ත්‍රනය ආනයන හා අපනයන පමණක්නම්, විදේශ විණිමය වෙළඳපොළට මහ බැංකුවේ මැදිහත්වීමකුත් නැත්නම්, දිගුකාලීනව රටේ ආනයන හා අපනයන අතර පරතරයක් තියෙන්න විදිහක් නැහැ. නමුත්, කිසියම් වෙනත් ක්‍රමයකින් රටට වාර්ෂිකව විදේශ විණිමය ගලා එනවනම් එසේ පැමිණෙන විදේශ විණිමය ප්‍රමාණයට සමාන ආනයන අපනයන පරතරයක් ඇතිවෙන එකත් වලක්වන්න බැහැ.

මේ විදිහට වෙනත් ආකාර වලින් රටට පැමිණෙන විදේශ විණිමය කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්.
1. ශ්‍රමික ප්‍රේෂණ
2. සෘජු විදේශ ආයෝජන
3. විදේශ ණය

ඔය ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය රටට ආවත්, මහ බැංකුවේ මැදිහත්වීමක් සිදු නොවුනොත්, අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුපියල වඩා ශක්තිමත් වීම (ඩොලරයේ මිල අඩුවීම/ අවශ්‍ය තරම් වැඩි නොවීම) හා ඒ හේතු කරගෙන ආනයන වලට වඩා අපනයන වැඩි වී වෙළඳ හිඟයක් ඇතිවීම හා අවසාන වශයෙන් විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතවීමයි. කවර ආකාරයෙන් ඩොලර් රට ඇතුළට ආවත් ඒ ඩොලර් අපනයන වෙනුවෙන් නැවත ආපසු රටින් එළියට යනවා. ඒ හැම විටකම දේශීය කර්මාන්ත යම් ප්‍රමාණයක් බිඳ වැටෙනවා. ඒ නිසා, (මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව) දේශීය නිෂ්පාදන වලට තැනක් දීමත් රුපියල ශක්තිමත්ව තබා ගැනීමත් කියන ඉලක්ක දෙකම එකවර හඹා යන්න බැහැ. දොන්නම් දොන් සිමන්නම් සිමන්.

ඉහත කී ක්‍රම තුනෙන් කොයි විදිහට විදේශ විණිමය ආවත් දේශීය අපනයන අඩුවෙලා ආනයන ඉහළ යනවා. නමුත්, ඒ හේතුව නිසාම ඔය තුනේ බලපෑම් සමානයි කියන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ ඉතිරි ආකාර දෙක තරම් හානිකර නැහැ. එයට හේතුව ශ්‍රමික ප්‍රේෂණ ආවා කියා පසුකාලීනව විදේශ විණිමය ආපසු යාමක් සිදු නොවන නිසා. ශ්‍රමික ප්‍රේෂණ හේතුවෙනුත් වෙළඳ හිඟයක් ඇති වුනත් එය හානිකරයි කියා කියන්න බැහැ. නමුත්, සෘජු විදේශ ආයෝජන හා විදේශ ණය ලබා ගන්නවා කියන්නේ අනාගතයේ විදේශ විණිමය රටින් පිටවන යාන්ත්‍රණයන් කැඳවා ගැනීමක්.

මෑතකාලීනව ලංකාවේ ආණ්ඩු වල ආර්ථික ප්‍රතිපත්ති වල සෘජු විදේශ ආයෝජන කැඳවා ගැනීමේ අපේක්ෂාව කැපී පෙනෙනවා. ඒ කටයුත්තේදී ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම අසාර්ථක වීම වෙනම කරුණක්. නමුත්, සෘජු විදේශ ආයෝජන කියන්නේ ඔය හිතන තරම් වාසිදායක දෙයක් නෙමෙයි. කවුරු හෝ සෘජු විදේශ ආයෝජන ලෙස ප්‍රාග්ධනය ලංකාවට ගේනවනම් එසේ ගේන්නේ සැලකිය යුතු ප්‍රතිලාභයක් සමඟ මේ ප්‍රාග්ධනය නැවත ආපසු රටෙන් පිටතට රැගෙන යාමේ අරමුණිනුයි. ඒ නිසා, බොහෝ විට සිදුවෙන්නේ සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන විදේශ විණිමයට වඩා වැඩි විදේශ විණිමයක් පසුකාලීනව රටින් පිටතට යාමයි. එය නොවන අවස්ථාත් තියෙනවා. නමුත්, එය තීරණය වන්නේ සංස්කෘතික සාධක මතයි.

උදාහරණයක් සේ ගත්තොත් දහනවවන සියවසේදී එංගලන්තයේ සිට ලංකාවට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා ආවා. මේවා  සෘජු විදේශ ආයෝජන සේ සැලකිය හැකියි. ලංකාවේ වැවිලි ආර්ථිකය දියුණු කෙරුණේ හා මහාමාර්ග සංවර්ධනය සිදුවුණේ මේ ප්‍රාග්ධනය යොදා ගනිමිනුයි. මේ විදිහටම ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ වත්මන් සංවර්ධිත රටවලටත් ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වගේ වත්මන් අඩු-ආදායම් රටවලටත් එංගලන්තයේ සිට ප්‍රාග්ධනය ගලා ආවා.

ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ රටවලට ප්‍රාග්ධනය අරගෙන ආපු සුද්දෝ ඒ රටවලම පැලපදියම් වුණා. ඒ නිසා, ඔවුන් රැගෙන ආ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ඒ රටවල් වලින් පිටතට ගෙනියන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඒ ප්‍රාග්ධනය වගේම ප්‍රාග්ධනයේ ප්‍රතිලාභත් ඒ රටවල් වලම නැවත ආයෝජනය කෙරුණා. නමුත්, ඉන්දියාව, පකිස්ථානය, බංගලි දේශය වැනි රටවල් වලට පැමිණි සුද්දෝ ඒ විදිහට පැලපදියම් වුණේ නැහැ. ඉන්දියාවට හා ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාලයේදී හා නිදහස ලැබීමෙන් පසුව මේ සුද්දෝ බොහෝ දෙනෙක් ආපසු ගියේ ඔවුන්ට රැගෙන යා හැකි තරම් ප්‍රාග්ධනයත් අරගෙනයි.

ලංකාවේ ආණ්ඩු විසින් මේ ඇතැම් පෞද්ගලික දේපොළ "ජනසතු කිරීම" හරහා එය යම් තරමකින් වැලැක්වුවත් එයින් බොහෝ විට වුණේ එසේ ජනසතු කළ දේවල් ඒවායේ මුල් අයිතිකරුවන්ට හෝ පසු අයිතිකරුවන්ට ප්‍රතිලාභ ලබා නොදෙන සුදු අලින් බවට පත් වීම විතරයි. එයට අමතරව ලංකාවට සෘජු විදෙස් විණිමය රැගෙන එන්න ඉඩ තිබුණු අයට නරක පණිවුඩයකුත් ඒ හරහා සම්ප්‍රේෂණය වුණා.

අඩු වශයෙන් දහනවවන සියවසේ මුල් කාලයේදී සුද්දෝ ඔවුන්ගේ එංගලන්තයේ දේපොළ විකුණා ඒ මුදල් ලංකාව ඇතුළු වෙනත් රටවල ආයෝජනය කළේ ඒ රටවල් දාලා ආපහු යන්න හිතාගෙනම නෙමෙයි. ඒ වුනත්, දහනවවන සියවසේ අන්තිම කාලය වෙද්දී තමන්ට දිගුකාලීනව පැලපදියම් වීමට සුදුසු හා නුසුදුසු රටවල් ගැන ඔවුන්ට අවබෝධ වුණා. ඉන් පසුව, තමන්ට දිගුකාලීනව පැලපදියම් වී සිටීමේ ශක්‍යතාවයක් නොතිබුණු රටවලදී ඔවුන් කළේ තමන්ගේ ආයෝජන වල ප්‍රතිලාභ ඒ රටවලම නැවත ආයෝජනය කරනවා වෙනුවට හැකි තරම් රටින් පිටතට ගෙනියන එකයි.

දැන් වෙන්නෙත් ඔය ටිකම තමයි. ලංකාවේ සෘජු විදෙස් ආයෝජන කරන කවුරු වුනත් දැන් එසේ කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනය හා ඒ මත ලැබෙන ප්‍රතිලාභ නැවත ආපසු ගෙනයාමේ බලාපොරොත්තුවෙනුයි. මේ විදිහට වාර්ෂිකව රටෙන් පිටතට යන මුදල දැනටත් විශාල මුදලක්. තව තවත් විදේශ ආයෝජන එනවා කියන්නේ අනාගතයේදී විදේශ විණිමය ලංකාවෙන් පිටතට යන මාර්ග තවතවත් විවෘත වෙනවා කියන එකයි. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන දිරිමත් කරනවා කියන්නේ බොහොම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්.

රටට වාසියක් ලැබෙන්නනම් දිරිමත් කළ යුත්තේ මොන විදිහේ සෘජු විදෙස් ආයෝජනද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු. දැනට කියන්න තියෙන්නේ මොන විදිහකින් හෝ සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම වාසිදායක දෙයක් නොවන බව පමණයි.

කෙටිකාලීනව කරන්න අපහසු වුවත් විදේශ ආයෝජන සමඟ මෙහි එන විදේශිකයින් ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන, ඔවුන්ව ලාංකිකයින් කරගෙන මෙහි රඳවා ගත හැකිනම් පෙර කී හානිය සිදුවන්නේ නැහැ. දහනවවන සියවසේදී සෘජු විදෙස් ආයෝජන රැගෙන මෙහි පැමිණි චෙට්ටි, පාර්සි වගේ ඉන්දියානු ධනවතුන් විශාල පිරිසක් ලංකාවේ පැලපදියම් වුණා. ඊටත් පසුව, චීන විප්ලවය වෙලාවේ පැනල ආපු චීන්නු දැන් සිංහලයන් වී සිටිනවා. මේ අය පැමිණියේ එක්කෝ ප්‍රාග්ධනය, එසේ නැත්නම් වෘත්තීය කුසලතාවන්, බොහෝ විට ඔය දෙකම අරගෙනයි. නමුත්, දැන් මෙය මේ ආකාරයෙන් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන වලින් වාසියක් සැලසෙන්නේ ඒ හේතුවෙන් තාක්ෂනය කාන්දුවීම හා රැකියා ජනනය වීම සිදුවන තරමට පමණයි. ප්‍රාග්ධනය පැත්තෙන් බැලුවොත් බොහෝ විට සිදුවෙන්නේ හානියක්.

විදේශ ණය වුවත් හැම විටම හානිකරයි කියා කියන්න බැහැ. ණය යොදාගැනෙන්නේ අනාගතයේදී විදේශ විණිමය ජනනය වෙන ව්‍යාපෘතියක් වෙනුවෙන්නම් ණය හා පොලිය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත්, ප්‍රායෝගිකව එය සිදු නොවන තරම්. ලංකාවට මෙතෙක් ලබාගත් විදේශ ණය නිසා සිදු වී තිබෙන්නේ පිටතට ගලා යන විදේශ විණිමය ප්‍රවාහ වැඩි වැඩියෙන් බිහිවීම පමණයි.

සෘජු විදේශ ආයෝජන හෝ විදේශ ණය ලෙස විදේශ විණිමය රට ඇතුළට පැමිණෙද්දී සිදුවන රුපියල අධිප්‍රමාණය වීම, ආනයන පරිමාව වැඩි වීම, අපනයන පරිමාව පහළ යාම ආදී දුර්විපාක විදේශ විණිමය ප්‍රතිපත්තිය හරහා පාලනය කරගන්න බැරිකමක් නැහැ. කරන්න තියෙන්නේ මේ විදිහට පැමිණෙන විදේශ විණිමය මහ බැංකුව විසින් මිල දී ගන්න එකයි. එසේ කිරීමේදී රටේ මුදල් සැපයුම ඉහළ නොයන පරිදි රජයේ හෝ මහ බැංකුවේ බැඳුම්කර විකිණීමෙන් එළියට දමන රුපියල් ටික ආපසු එකතු කරගත්තොත් උද්ධමනය ප්‍රශ්නයක් වෙන එකත් සීමා කරගන්න පුළුවන්.

ශ්‍රමික ප්‍රේෂණ හැර වෙනත් ක්‍රමවලින් රටට එන අමතර විදේශ විණිමය මහ බැංකුව විසින් එකතු කරගෙන සංචිත වැඩි කරගන්නවානම් ආනයන වෙනුවෙන් වැය කරන්න අමතර ඩොලර් වෙළඳපොළේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා, ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ අපනයන ආදායම හා ශ්‍රමික ප්‍රේෂණ පමණයි. හැබැයි මෙය කරන අතරම ඩොලරයේ අගය පහළින් තියා ගන්න බැහැ. අපනයන අඩු කරන යාන්ත්‍රනය වන්නේම ඩොලරයේ අගය ඉහළ යන්නට ඉඩ සැලසීම නිසා එය කරන්නම වෙනවා.

මේ විදිහට සෘජු විදෙස් ආයෝජන හෝ විදේශ ණය ලෙස ලැබෙන විදේශ විණිමය මහ බැංකුව විසින් අඛන්ඩව විදෙස් සංචිත වලට එකතු කරගත්තානම් රටේ අපනයන තරඟකාරීත්වය මේ තරමටම දුර්වල වෙන්නේ නැහැ. ඒ වගේම, ණය ආපසු ගෙවන්න ඩොලර් නැතුව පස්ස කැඩිච්ච කඩියෝ වගේ දඟලන්න වෙන්නෙත් නැහැ.

කොහොම වුනත් ඔය වැඩේ කාලයක් තිස්සෙම ඔයාකාරයට වුණේ නැහැනේ. ඒ නිසා, දැන් තත්ත්වය ගොඩක් සංකීර්ණයි. පහුගිය කාලය තිස්සේ ගත්ත විදේශ ණය වල වාරික හා පොලිය ලෙස වගේම සිදු කෙරුණු විදේශ ආයෝජන වල ප්‍රතිලාභ වෙනුවෙනුත් වාර්ෂිකව විශාල විදේශ විණිමය ප්‍රමාණයක් රටින් පිටතට යාමට නියමිතව තිබුණත් ඒ වෙනුවෙන් වැය කළ හැකි තරමේ සංචිත මහ බැංකුව සතුව නැහැ. වාර්ෂිකව මේ විදිහට අවශ්‍ය වෙන මුදල ඩොලර් බිලියන හත අටක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස වාර්ෂිකව ලැබෙන මුදලට ආසන්නව සමාන මුදලක්.

දැන් වැඩේ ගොඩදාන්නනම් අවුරුද්දකට ඩොලර් බිලියන හත අටක් මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික මිලදී ගෙන ණය වාරික හා පොලිය වෙනුවෙන් යෙදෙවුවොත් අවුරුදු කිහිපයකට පස්සේ නැවතත් ආනයන අපනයන පරතරය නැති වෙලා යයි. එහෙම කරන්න පටන් ගැනීමේදී ඩොලර් එකේ අගය කොහේ නවතීද කියා කියන්න බැහැ. නමුත් රුපියල අවශ්‍ය පමණට අවප්‍රමාණය වීමෙන් පසුව එය නිසි තැන ස්ථාවර වෙයි. එයින් පස්සේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැහැ.

මහ බැංකුව හා රජය දැනටත් කරමින් ඉන්නේ වෙළඳපොළෙන් ඩොලර් එකතු නොකර රටෙන් පිටතට ආපසු යන්න නියමිත විදේශ විණිමය ප්‍රමාණයට ගැලපෙන්න අලුත් විදේශ ණය ගන්න එකයි. එසේ කරන්නේ ඩොලරයේ අගය වේගයෙන් ඉහළයාම වලක්වා ගන්නයි. මෙයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එය තව තවත් උග්‍ර වෙමින් අනාගතයට තල්ලු වීම පමණයි වෙන්නේ.

එකවර කරන්න අපහසු වුවත්, සෑම වසරකම ඩොලරය සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න හරිමින් වෙළඳපොළෙන් හැකි තරම් ඩොලර් එකතු කරගන්න එකයි කළ යුත්තේ. එසේ නොකළොත් කවදාවත් ගොඩයාමක් නැහැ. තුවාල සනීප වෙන්නනම් බෙහෙත් දාන්න කලින් හොඳට සුද්ද කරන්න වෙනවා. සුද්ද කරන කොට රිදෙන එක වලක්වන්න අමාරුයි.

(Image: https://www.readme.lk/sri-lanka-innovation/ originally Sunday Times)

වෙබ් ලිපිනය: