Thursday, September 22, 2016

ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා

"මගේ හුදෙකලා වාසස්ථානය පිහිටියේ නගරයෙන් බැහැරවය. මෙය කුලියට ගෙන වාසයට පැමිණීමෙන් පසුව මම වැසිකිළිය පිහිටි තැන සොයා බැළුවෙමි. එය පෙනෙන තැනක නැත. ඇත්තටම එය තිබුණේ නාන කාමරය තිබෙන අහලකවත් නොවේ. නිවස පිටුපසය. මම විමතියෙන් එය පිරික්සා බැළුවෙමි. එය මැද විවරයක් සහිත ලී පෙට්ටියකි. මා කුඩා කාලයේදී, චිලියේ ගම්බද පෙදෙසකදී මෙයට තරමක් සමාන දෙයක් භාවිතා කෙරුණු බව මට සිහි විය. එහෙත්, අපේ වැසිකිළි මෙසේ හදා තිබුණේ ගැඹුරු ලිඳකට හෝ ගලා යන ජලය ඇති තැනකට ඉහළිනි. මෙහි ඒ වෙනුවට තිබුණේ ලී පෙට්ටියේ සිදුර යටින් තබා තිබුණු සරල, ලෝහ බාල්දියකි.

සෑම උදෑසනකම මේ බාල්දිය පිරිසිදුව තිබුණේය. එහෙත්, එහි අඩංගු වූ දේ අතුරුදහන් වූ ආකාරය මට තේරුම් ගත නොහැකි විය. එක් උදෑසනක මම වෙනදාට වඩා කලින් අවදි වුනෙමි. මෙතෙක් කල් සිදුව ඇති පුදුම සහගත දෙය එදින මට දැකගත හැකි විය.

අඳුරු පිළිමයක් මෙන් නිවස පිටුපසට පිය නඟමින් සිටියේ මෙතෙක් මා ලංකාවේදී දැක සිටි රූමත්ම ලඳයි. ඇය පරයා කුලයේ දෙමළ කතකි. ඈ ඉතා බාල වර්ගයේ රත් හා රන් පැහැ සාරියකින් සැරසී සිටියාය. නිරාවරණය වූ දෙවළලුකර බර ලෝහයකින් තැනූ වළලු පැළඳ සිටියාය. ඇගේ නාසය දෙපස කුඩා රත් පැහැ යමක් දිස්නය දෙමින් තිබුණේය. මේවා නොවටිනා සාමාන්‍ය වීදුරු කැබලි වන්නට ඇති වුවත්, ඇගේ රුවින් ඔප වැටුණු මේ වීදුරු කැබලි මට පෙනුණේ අගනා රතු කැට ලෙසිනි.

ඈ ගරු ගාම්භීර ලෙස වැසිකිළිය වෙත පිය මැන්නේ මා දෙස හොරැහින් හෝ නොබලමිනි. මා පසෙක සිටින බැව් තඹයකට මායිම් නොකරමිනි. අප්‍රසන්න මළ බාල්දිය හිස මත තබා ගත් ඈ දෙවඟනක ලෙස සෙමින් පා සොලවමින් අතුරුදහන් වූවාය.

ඇගේ දසුනින් මා කෙතරම් වශී වූවාද යත්, ඇගේ රැකියාව කෙතරම් පහත් එකක් වුවත්, මට ඈ මගේ සිතින් බැහැර කිරීම අපහසු විය. ලජ්ජාශීලී කැලෑ සතෙකු බඳු වූ ඈ අයිති වූයේ වෙනත් පැවැත්මකටය. වෙනත් ලොවකටය. මා ඇයට කතා කරන්නට උත්සාහ කළෙමි. එය නිෂ්ඵල කටයුත්තක් විය. ඇතැම් විට මා ඈ එන මඟ කිසියම් පළතුරක් හෝ සේද රෙද්දක් වැනි තිළිණයක් තබා බලා සිටියෙමි. ඈ නොදුටු සේ ඒවා පසු කර ගියාය. ඇගේ අඳුරු පැහැ පියකරු රුව විසින් ඈ නිරතව සිටි අගෞරවනීය කාර්යය කිසිවකු නොතකන රැජිනියක විසින් අභිමානයෙන් සිදුකරන වතාවතක් බවට පෙරළා තිබුණේය.

එක් උදෑසනක, මෙහි කෙළවරක් දකින්නට මම තීරණය කළෙමි. මම එක්වනම ඇගේ මැණික්කටුව දැඩිව අල්ලාගෙන ඇගේ දෑස් වෙත සෘජු බැල්මක් හෙළුවෙමි. මගේ මුව ගොළුව තිබුණේය. මුවෙහි මන්දහාසයකුදු නොමැතිව, මට ඇවැසි පරිදි ඇවැසි තැනකට ඇදගෙන යන්නට ඉඩ හැර නිසොල්මන්ව සිටි ඈ තවත් මොහොතකින් මගේ සයනය මත නිරුවත්ව සිටියාය. ඇගේ සිහින් ඉණ, පිරුණු නිතඹ හා සිනාසෙන තිසර තුඩු විසින් සිහි ගැන්වූයේ වසර දහස් ගණනක් පැරැණි දකුණු ඉන්දියානු පිළිමයෙකි. එය මිනිසකු පිළිමයක් සමඟ එක් වීමක් විය. මුළු කාලය තුළම ඈ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් දෑස් පුළුල්ව විවර කරගෙන සිටියාය. ඈ මට කළ අවමන වැරදි නැත. මම මේ කටයුත්ත නැවත නොකළෙමි."

උඩින් ඇත්තේ නොබෙල් ත්‍යාගලාභියෙකුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ කොටසක පරිවර්තනයකි. මේ කොටස කියවීමෙන් පසු මෙහි සිදුවී ඇත්තේ ඉතා පහත් මට්ටමේ ස්ත්‍රී දූෂණයක් බව මටනම් පැහැදිලිව පෙනේ. මෙහිදී අදාළ ස්ත්‍රිය හා මේ පුද්ගලයා අතර ඇති දැවැන්ත සමාජ පරතරය ස්ත්‍රී දූෂකයා විසින් නිර්දය ලෙස සිය වාසිය පිණිස යොදා ගනී. ඒ සඳහා ඔහු පෙළඹවෙන හේතු මෙහි පැහැදිලිව ලියැවී තිබේ. මෙහිදී අදාළ කාන්තාව විසින් වචනයකින් තබා බැල්මකින් හෝ අනුබල දීමක් නොකරයි. ස්ත්‍රී දූෂකයා සිය කාර්යය කලක් තිස්සේ සැලසුම් කරන්නේ සතෙකුව උගුලකට හසු කර ගැනීමට තතනන දඩයක්කරුවෙකු ලෙසිනි. එහෙත්, ඈ උගුල වෙත පියමං නොකරයි. අන්තිමේදී ස්ත්‍රී දූෂකයා ව්‍යාඝ්‍රයෙකු සේ සිය ගොදුර වෙත කඩා පනී. ඔහුගේ සයනයේදීද ඈ පිළිමයක් සේ දෑස් අයාගෙන නිසොල්මනේ සිටිනු මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි.

මේ ස්ත්‍රී දූෂකයා වනාහී 1971 වසරේදී සාහිත්‍ය
සඳහා නොබෙල් ත්‍යාගය දිනූ, පැබ්ලෝ නෙරුඩා යන ආරුඪ නමින් කාව්‍යකරණයේ යෙදුනු, රිකාඩෝ එලීසර් නෙෆ්ටලී රීස් බැසෝල්ටෝ (Ricardo Eliécer Neftalí Reyes Basoalto) නම් වූ චිලියානුවාය. පැබ්ලෝ නෙරුඩා ලෙස බොහෝ දෙනෙකු හඳුනන මේ පුද්ගලයා චිලී රාජ්‍යයේ සෙනෙට් සභිකයෙකු ලෙසද කටයුතු කර ඇති ප්‍රසිද්ධ කොමියුනිස්ට්වාදියෙකි. 1970දී චිලියේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා ලැබූවෙකි. චිලී රාජ්‍යය නියෝජනය කරමින් රටවල් ගණනාවකම කටයුතු කර ඇති රාජ්‍යතාන්ත්‍රිකයෙකි. ඔහු ඉහත ඔහු විසින්ම වාර්තා කර ඇති ස්ත්‍රී දූෂණය සිදු කරන්නේ එසේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.

මේ සිදුවීම ගැන මා මුලින්ම දැනගත්තේ අනූව දශකයේ මුල හෝ අසූව දශකයේ අග රාවය හෝ යුක්තිය කලාපයක පළවූ ලිපියක් මඟිනි. මගේ මතකය පරිදි එහි මේ සිදුවීමට ලබා දී තිබුණේ වෙනස් අර්ථකථනයකි. එම ලිපියට අනුව, මානව දයාවෙන් පිරිපුන් මහා කවියෙකු හා කොමියුනිස්ට්වාදියෙකු වූ නෙරුඩාගේ සන්තානයේ සිය මළ බාල්දිය දිනපතා ඉවත් කිරීමෙහි යෙදුණු මේ අඩු කුල කාන්තාව කෙරෙහි ඇතිවන මානුෂික හැඟීම කෙළවර වන්නේ දෙදෙනා අතර ඇතිවන ලිංගික සම්බන්ධතා
කිනි. ඉන්පසුව ගතවුණු වසර විසිපහක පමණ කාලය තුළ මගේ මතකයේ කොනක රැඳී තිබුණු මේ සිදුවීම ගැන වැඩි යමක් හිතන්නට ඉඩකඩක් විවර වුනේ නැත. සතියකට පමණ පෙර නැවතත් මේ ගැන හිතන්නට මා යොමු වුණේ ඇනෝ කෙනෙකු විසින් කළ මතක් කර දීමක් හේතුවෙනි. (එම ඇනෝට ඉකොනොමැට්ටාගේ ස්තුතිය හිමි වේ.)

නෙරුඩාගේ චරිතාපදානය කියවන විට ඔහුගේ ජීවිතයේ මෙවැනි අඳුරු පැති තවත් ඕනෑ තරම් හමුවේ. කාන්තාවන් ඇසුරු කිරීම ඔහුගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක්ව පැවතී ඇති බව පෙනේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සෙල්ලම් බඩු වී සිටින කාන්තාවන් ගැන අනුකම්පාවෙන් කතා කරන නෙරුඩාගේ ඒ අනුකම්පාව අවසන් වන්නේ එවැනි කාන්තාවන් සමඟ යහන්ගත වීමෙනි. ඔහු හමුවීමට දුරු රට සිට පැමිණෙන පැරණි පෙම්වතියක් බලාපොරොත්තු කඩ කරගෙන ආපසු නැව්  නඟින්නට පෙර නෙරුඩාගේ පාවහන් යුවලෙහි මුහුණ පිසිමින් හඬා වැටෙද්දීත් ඔහුගේ මානුෂික හදවත මෙලෙක් නොවේ. ඈ මුහුණෙහි තැවරුණු සපත්තු පොලිෂ් සමඟම රටින් පිටවේ.

නෙරුඩාගේ චරිතයේ මේ කිසිදු දුර්ගුණයක් හේතුවෙන් ඔහුගේ කවීත්වය බාල වෙන්නේ නැත. එමෙන්ම, ඔහුගේ පෞද්ගලික දේශපාලන අදහස් හා ඔහුගේ චරිත ලක්ෂණ අතර සෘජු සම්බන්ධයක්ද නැත. වැරැද්ද ඇත්තේ නෙරුඩා වැනි කිසියම් අංශයකින් හෝ අංශ කිහිපයකින් සුවිශේෂතා දක්වන පුද්ගලයින් පරමාදර්ශී චරිත ලෙස සැලකීමෙහිය. වීරයින් නඩත්තු කිරීම එතරම් හොඳ දෙයක් නොවේ.

නෙරුඩා මියගොස් හෙටට (සැප්තැම්බර් 23) වසර 43කි.


(Image: www.theodysseyonline.com)

67 comments:

  1. අන්තිම ඡේදය මාගේ සිත ගනී!

    ReplyDelete
  2. හොඳ වෙලාවට ඕකා මැරුනේ. නැත්නම් මරා ඕකව මෙහෙ ගෙන්නගෙන ටියුෂන් ගන්නවා. සම්මානෙකුත් දෙනවා

    ReplyDelete
  3. අහල තිබුනේ නැති කතාවක්. ස්තුතියි. නෙරූඩ ලංකාව ගැන තව මොනවත් කියල තියෙනවද කියල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලංකාව ගැන තවත් කියපුවා තියෙනවා. මම පසුගිය මාස කිහිපය තුළ ෆාහියන්, ක්වේරෝස් සිට නෙරුඩා වැනි අය දක්වා විදේශිකයින් වරින් වර ලියපුවා ගොඩක් හොයාගෙන කියෙවුවා. රසවත් තොරතුරු ගොඩක් තියෙනවා.

      Delete
  4. ගොඩක් වෙලාවට කලාකරුවන් වෙනස් ජාතියක් කියලා අහලා තියෙනවා. :D

    අද ඉකොනොමැට් ගෙන් වෙනස් විදියක ලිපියක්. කොහොමටත් කිසිම කෙනෙක් වීරයන් විදියට සැලකිය යුතු නෑ. අපි හැමෝගෙම ඇතුලේ වීරයින් ජීවත් වෙන නිසා. මට නම් හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවනම් එහෙම මහ ලොකු වෙනසක් නැහැ. එහෙම හදාගත් කතාවක් තියෙනවා.

      Delete
  5. මේ කතාව ප්‍රසිද්ධ එකක්. මං හිතන්නේ නේරූඩාට දාව උපන් දියණියක් ගැන ප්‍රබන්ධයක් පවා ලියවී තියෙනවා.

    නෙරූඩා කොළඹ දී ගිය ඩිනර් එකක සිටි සුද්දන් ලංකාවේ සංස්කෘතිය ගැන කියන කතා දැක්කාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික. තිස්ස දේවේන්ද්‍රගේ ප්‍රබන්ධය ඓතිහාසික සන්දර්භය තුළ හොඳින් ස්ථානගත කරල තියෙනවා.

      Delete
  6. මේ වැවැසිකිලියකට මාත් ගොස් තියෙනවා කෑගල්ලේ දී, 1975 දී පමණ.

    මේවා පිරිසිදු කරන්න බ්‍රිතාන්‍යය පාලකයින් ඉන්දියාවෙන් පිරිස් ගෙනා බවයි කියවෙන්නේ. සක්කිලි යැයි නම් කෙරුණේ ඒ කම්කරු පිරිස් විය යුතුයි.

    ගමකින් කොළඹට පැමිණ මේ අසූචි ගොන් කරත්තවලින් ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් කළ අයෙකු ගේ ජීවිතය ගැන ලියවුණු සිංහල නවකතාවක් ද මා කියවා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාමර හයක බාල්ඳි කක්කුස්සියක් මහර බන්ධනාගාර භුමියේ 1990ත් පාවිච්චි නොකලට හොදින් තිබුනා , අවුරුදු 100කට වඩා වයසයි මයේ හිතේ

      Delete
    2. නෙරුඩා විසින් ලියා ඇති පරිදි මේ කාන්තාව අයත් වන්නේ පරයාර් කුලයට. තමිල්නාඩු කුල ධුරාවලිය තුළ මේ අය මුලින්ම බෙරවායන් වුවත් පසුව ගහණය වැඩි වන විට මිනී ඉවත් කිරීම හා අශුචි ඉවත් කිරීම වැනි කටයුතු කිරීම දක්වා පහත් කෙරී තිබෙනවා. සක්කිලියර් කුලයේ ආරම්භය ආන්ද්‍රා ප්‍රදේශය. තමිල්නාඩුවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ කාර්යය වෙන්නෙත් අශුචි ඉවත් කිරීමයි. ඉංග්‍රීසින් විසින් ලංකාවට ගෙනා කම්කරුවන් අතර මේ කුල දෙකටම අයත් අය ඉන්න ඇති. වැඩිපුර හිටියේ සක්කිලියර් කුලයේ අය නිසා ලොකු වෙනසක් නැති පරයාර් කුලයේ අයවත් ඇතැම් විට සක්කිලියර් ලෙසම හැඳින්වෙන්න ඇති. නැතත් අපහාසාත්මක අර්ථයකින් 'සක්කිලියා' කියන වචනය වගේම 'පරයා' කියන වචනයත් භාවිතා වෙනවනේ.

      Delete
  7. නෙරූඩා වැල්ලවත්තේදී දෙමල වැසිකිලි ශුද්ද කරන්නියක් සමග එක්වූ අවස්ථාවක් , මෙයට ඇයගේ කැමැත්තත් තිබී තිබෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මට මේ පොත කියවන්න ඕනෑ වුනේ මෙය පැහැදිලි කර ගැනීමටයි. මෙහි එවැනි කැමැත්තක හෝඩුවාවක්වත් නැහැ. තනිකරම බලය පාවිච්චි කිරීමක් පමණයි.

      Delete
  8. මේක හරිම සංකීර්න අවස්තාවක්.
    ඉකෝන්ගේ අවසන් ඡේදයට මම කැමතියි

    මම ඒක කියන්නේ මෙහෙමයි
    කිසිම ප්‍රතග්ජන පුද්ගලයෙකු තුල ප්‍රමාදර්ශී චරිතයක් ජීවත් වෙන්නේ නැහැ.
    සැබෑ ලෙසම පරමාදර්ශී චරිතයක් වීමට නම් කෙලෙස් නැසුවෙකු විය යුතුයි.

    අනාගාමී වූවෙකු තුල පවා කාම රාග පවතින බවනේ දහමේ කියන්නේ. තවත් මොනවද?

    ReplyDelete
    Replies
    1. පුද්ගලයින්ගේ ඇදහීම් මට්ටමේ විශ්වාස ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. ඔබ බුද්ධ ධර්මය ගැන විවෘතව බලන කෙනෙක් ලෙස පෙනෙන නිසා කෙටියෙන් අදහසක් දක්වන්නම්. ඔබ කියන පරිදි කෙලෙස් නැසුවකු වුවත් පරමාදර්ශී චරිතයක් කරගත යුත්තේ දුකින් මිදීම වැනි අරමුණක් සඳහා නේද? [අවසානයේදීනම් ඇත්තටම එයත් බාධාවක්.] එහෙම නැතුව හඳට යන හැටි හරි, සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන හැටි හරි දැනගන්න එවැනි කෙනෙක් ළඟට යායුතු නැහැ නේද? හැබැයි, බුද්ධ කාලයේත් මිනිස්සු එවැනි දේට උපදෙස් ගන්න ගියා. යුද්ධ කරන්න කලින් පවා උපදෙස් ගන්න ගියානේ. මෙහෙම මිනිස්සු ආවහම ඒ අයටත් පිළිතුරක් දෙන්න වෙනවා. හැබැයි මටනම් මේ දේවල් එතරම් වැදගත් නැහැ. බුද්ධ ධර්මයේ මා දකින හරය ද්‍රව්‍යවාදයක් නොවන අනාත්මවාදයයි. එය හින්දු විශ්වාස වලින් කැඩෙන්නේ එතැනින්.

      Delete
  9. මෙය කියවා තිබුණත් මේ මානයෙන් සිතා තිබුණේ නැහැ .පිළිමයක් හා එක් වීමකට සම කරන නිසා අකමැත්තක් තිබුණා වගේ හිතෙනවා .කෙසේ වුවත් ඇය අයත් සමාජ පැලැන්තියට අනුව අනිවාර්ය යටත්වීම කළයුතුව තිබුනා විය හැකියි . ඇත්ත .කිසිවකු පරමාදර්ශී නැහැ .ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන එසේ සිතීම මනුෂ්‍ය දුර්වලකමක් . ඇත්තටම අප තුලත් තිබෙන.

    ReplyDelete
    Replies
    1. //කෙසේ වුවත් ඇය අයත් සමාජ පැලැන්තියට අනුව අනිවාර්ය යටත්වීම කළයුතුව තිබුනා විය හැකියි . //
      දෙදෙනා අතර සමාජ ධුරාවලියේ පරතරය හොඳටම වැඩි වූ විට ප්‍රතිරෝධයක් දැක්වීම වුවත් කළ නොහැකි දෙයක්.

      Delete
  10. ඒ ඇනෝ මමය. දිගු කමෙන්ටුවක් පසුව ලියමි. මා ගැන සිහිපත් කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පලයන් බොරු නොකියා, ඒක ලිව්වෙ මම.
      මේ ඇවිල්ල ෆේක් ඇනෝ කෙනෙක්.

      Delete
    2. සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය

      Delete
    3. // කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ //

      හිටහන් කෝ... තට්ට ශරුලොක් හෝම්ස් ට කියලා ඇනෝ ලා ගේ IP ඇඩ්ඩස් එකයි හෝටලේ ඇඩ්ඩස් එකයි හොයාගෙන අපිත් ගේට් ක්‍රැශ් කොරනකම්!

      Delete
    4. AnonymousSeptember 23, 2016 at 1:43 AM

      ඇනෝ, මට 'කවුරුත් දන්න' පරණ කතාවක් මතක් වුණා.

      ස්ථානය: පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ
      පළමුවැන්නා: මට ඔයාව කොහේදී හරි හම්බ වෙලා තියෙනව වගෙ මතකයි.
      දෙවැන්නා: මටත් එහෙම පොඩි මතකයක් තියෙනව. ඔයා නේද පහුගිය මාර්තු මාසේ දවසක අනුරාධපුරේ බස්ටෑන්ඩෙකේදී හම්බ වෙලා කතා කළේ?
      පළමුවැන්නා: නෑ වෙන්ඩ බෑ. මම උපන්තේකට අනුරාධපුරේ ගිහින් නෑ.
      දෙවැන්නා: ඒත් මං හිතුවා. මාත් කවදාවත් අනුරාධපුරේ ගිහිං නෑ.
      පළමුවැන්නා: එහෙනං ඒ අනුරාධපුරේදී හම්බවෙලා කතා කරන්න ඇත්තේ වෙන දෙන්නෙක් වෙන්න ඇති!
      දෙවැන්නා: මාත් හිතන්නේ.

      Delete
    5. ඕකේ නව පිටපත මෙහෙම වෙයිද මන්දා...

      ස්ථානය: නොදන්නා නගරයක නොදන්නා ස්ථානයක්
      දිනය: තව මාසයකින්
      පළමු ඇනෝ: මට ඔයාව කොහේදී හරි හම්බ වෙලා තියෙනව වගෙ මතකයි.
      දෙවැනි ඇනෝ: මටත් එහෙම පොඩි මතකයක් තියෙනව. ඔයා පහුගිය මාසේ විසිපස් වෙනිදා ඇනෝලගේ සුහද හමුව වෙලාවේ මාත් එක්ක කතා කළා නේද?
      පළමු ඇනෝ: නෑ වෙන්ඩ බෑ. මම උපන්තේකට ඇනෝ කමෙන්ට් දාල නෑ.
      දෙවැන්නා: ඒත් මං හිතුවා. මාත් කවදාවත් ඇනෝ කමෙන්ට් දාල නෑ. ඔතන ඇතුළට ගත්තයි කියන්නේ ඇනෝලව විතරමයිනේ...
      පළමු ඇනෝ: එහෙනං ඒ සුහද හමුවේදි හම්බවෙලා කතා කරන්න ඇත්තේ වෙන ඇනෝල දෙන්නෙක් වෙන්න ඇති!
      දෙවැනි ඇනෝ: මාත් හිතන්නේ.

      Delete
  11. ඒක ප්‍රසිද්ධ කරුණක්.. හැබැයි අපි නං කියන්නේ නෙරුඩා ලංකාවට ගෞරවයක් කියලයි. නැද්ද මං අහන්නේ.. හැක්.. සමාර දේවල් බලයෙන් වෙන්නත් පුලුවන්.. බලයෙන් වෙන්නත් පුලුවන්. කෝම උනත් අන්තිමට කාන්තාව තමා අසරණ වෙන්නේ..

    ReplyDelete
  12. Anonymous September 22, 2016 at 11:51 PM

    අනුන්ගෙ ළමයින්ට උප්පැන්න දෙන්න ගිහින් නිකං කිච නොවී හිටපන්. මම පොරොන්දු වුනා වගේ දිග සටහනක් ලිව්වා. පුලුවන්නම් උඹත් තියපන්.

    ඉකොන්,
    මම නෙරුඩා ගැන නෙමෙයි ලංකාව ගැන ලියන්නම්.
    එක වතාවක් සුගතපාල ද සිල්වා කිව්වා "ලංකාවේ කලාකාරයො කියන්නෙ බඩුකාරයො ටිකකටය කියල". බැලුවම ඒ කතාව බොහෝ දුරට ඇත්ත. ලංකාවෙ සිවි(ව)ල් සමාජය ගත්තත් ඔහොමම තමයි. තමන්ගෙ වල්කම් වහගන්න මතුකරන පුහු තර්ක තමයි "ඉවසියයුතු මානුෂික සම්බන්ධතා", "අධි සංවේදී මනස", "සම්මත කුටුම්භය ප්‍රතික්ෂේප කිරීම", "ලිංගිකත්වය පිලිබඳ නව ලිබරල් ආකල්ප", "කලාකාරයන්ට ආවේනික උප සංස්කෘතිය" වගේ මනෝවිකාර. ඒ මනෝවිකාර මත පදනම් වෙලා ඒවා සාධාරණීකරණය කරන අනුගාමික පිරිසකුත් ඉන්නවනේ.

    අර ඔය කුලකයේ ඩබ්ලිව් ජයසිරි කිව්වෙ හවසක ශ්‍රී මහා බෝධිය යට හීනි අඩියක් ගහන්න ආසයි කියල. හැබැයි වාසනාවට ජයසිරිට ඔය වැඩේ දවටගහ පල්ලිය ඇතුලෙදි , කොච්චිකඩේ පල්ලිය ඇතුලෙදි, නල්ලූර් කෝවිල ඇතුලේ කරන්න හිතෙන්නේ නැහැ. තමන් අයිති මහා සංස්කෘතියට අවමාන කරන එකත් ඔය කුලකයේ ලක්ෂණයක්. මහා සංස්කෘතිය සර්ව සම්පුර්ණ නැහැ . නමුත් තමන් අයිති කුලකය ආරක්ෂා කරගන්නනම් ජයසිරිලට ඒ දේ කරන්න වෙනව.

    දැන් බලමු ධර්මසිරි බණ්ඩාරනායක. විවාහයෙන් පිට දරුවන් තැනුව කෙනෙක්. නාට්‍ය උළෙලේදී දුම්කල සමාගමේ අනුග්‍රහයෙන් ලැබෙන සම්මානෙ බාල ප්‍රසිද්ධිය සඳහා ප්‍රතික්ෂේප කරල ආබ්දීන්ගේ කළු සල්ලි සුදු කරන්න බවදුක , බව කර්ම කරනවා. ද්විත්ව චරිතයක්.

    නමුත් ජයසිරිලගේ ධර්මසිරිලගේ නිර්මාණ එයාලගෙ විෂම පැවතුම්පු සහිත පුද්ගලික ජීවිතේ නිසා බාල වෙන්නේ නැහැ.නමුත් අවාසනාවන්ත ප්‍රවනතාවය තමයි මේ විෂම පැවතුම් උත්කර්ෂයට නැගීම තුලින් කලාවට අලුතින් එකතුවෙන සැලකියයුතු පිරිසක් මේ පාරේ යාම. අන්තිමට හම රැලිවටුනම, අතපය වලංගු නැති උනාම ආණ්ඩුවට බනිනව සලකන්නෙ නෑ කියළ. නමුත් පුළුවන් කාලේ රටේ ඉන්න ගෑනුන්ටයි අරක්කු වලටයි වියදම් කරල සල්ලි නාස්තිකරගෙන ආණ්ඩුව මගින් අපේ බදු මුදලින් නඩත්තුවෙන්න හදනවා.

    මම නව කලාකරුවන්ට කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහව අධ්‍යයනය කරන්න කියල. ලිව්ව වගේම හොඳට කෑව බිව්ව. ළමයින්ට ඉගැන්නුවා. හොඳ ව්‍යවසායකයෙක්. දැන් බලන්න සන්නස්ගල හොඳ ව්‍යවසායකයෙක්. නමුත්"ඉවසියයුතු මානුෂික සම්බන්ධතා", "අධි සංවේදී මනස", "සම්මත කුටුම්භය ප්‍රතික්ෂේප කිරීම", "ලිංගිකත්වය පිලිබඳ නව ලිබරල් ආකල්ප", "කලාකාරයන්ට ආවේනික උප සංස්කෘතිය" වගේ මනෝවිකාර බණ කියල ශ්‍රාවක පිරිසක් හදා ගන්නවා. මේ බණ පිළිපැද්දොත් අපායෙම තමයි මෙලොවදීම.

    නමුත් සන්නස්ගල තමන්ගෙ දරුවන්ට ඔය බණ කියන්නෙ නෑනේ. මම අන්තිමට පොඩි සඳහනක් කරන්නනම් ලෙනින් ගැන.

    රුසියානු විප්ලවයෙන් පස්සෙ සමාජය තුළ කතාවක් ඇතිවුනා ලිංගික අවශ්‍යතා කොහොම සපුරා ගත්තත් කමක් නෑ කියල. ලෙනින් ඇහුවෙ මෙච්චරයි.

    “සහෝදරවරු වතුර පිපාසය හැදුනම තට්ටු ගණන් කුණු බැඳිච්ච වීදුරුවකින් වතුර බොනවද? එහෙම නැත්නම් පාර අයිනේ කුණු කාණුවට බැහැල කට තියල වතුර බොනවද?”

    ReplyDelete
    Replies
    1. ලස්සනයි. නියමයි ස්තුතියි

      Delete
    2. මගේ අදහස නම් මම හරි යැයි හිතන දේ අනික් එකා හරි යැයි නොසිතන විටදී ඔහුගේ ඇද හෙවීම පලක් නැති දෙයක් ලෙසයි. එමනිසා කලා කරුවන්, නලාකරුවන්, ඇතුළු සමාජයයේ ඉන්න හැමෝම මට වඩා වෙනස් සහ එකිනෙකාට වෙනස් කියල හිතාගෙන නැවතුනාම එකක් ඒක ඇත්ත අනික ද්වේශයක් නැති නිසා හිතටත් සනීපයි.

      Delete
    3. "...සමාජයයේ ඉන්න හැමෝම මට වඩා වෙනස් සහ එකිනෙකාට වෙනස් කියල හිතාගෙන නැවතුනාම එකක් ඒක ඇත්ත අනික ද්වේශයක් නැති නිසා හිතටත් සනීපයි..."

      අනේද කියන්නේ, මෙච්චර සේවක කරපු මහිදට බැන බැන, වැඩ බැරි රනිල්ට කඩේයන එකක් කියන කතා!

      Delete
    4. ස්තුතියි, ඇනෝ දීර්ඝ කමෙන්ටුවට. වැදගත්ම කොටස මේ ටිකයි.

      //ජයසිරිලගේ ධර්මසිරිලගේ නිර්මාණ එයාලගෙ විෂම පැවතුම්පු සහිත පුද්ගලික ජීවිතේ නිසා බාල වෙන්නේ නැහැ.නමුත් අවාසනාවන්ත ප්‍රවනතාවය තමයි මේ විෂම පැවතුම් උත්කර්ෂයට නැගීම තුලින් කලාවට අලුතින් එකතුවෙන සැලකියයුතු පිරිසක් මේ පාරේ යාම. අන්තිමට හම රැලිවටුනම, අතපය වලංගු නැති උනාම ආණ්ඩුවට බනිනව සලකන්නෙ නෑ කියළ. නමුත් පුළුවන් කාලේ රටේ ඉන්න ගෑනුන්ටයි අරක්කු වලටයි වියදම් කරල සල්ලි නාස්තිකරගෙන ආණ්ඩුව මගින් අපේ බදු මුදලින් නඩත්තුවෙන්න හදනවා.//

      මේ කලාකරුවන්ගේ නිර්මාණ හෝ එම කලාකරුවන් අගයන රසිකයින් ඒ අයට (වැරදි පාරේ ගිහින් ඇනගත්තට පස්සේ වුණත්) සලකන එකේ කිසිම වැරැද්දක් නැහැ. එය ඒ රසිකයන්ගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඒත් ඒ වැඩේටම රජය මැදිහත් වුනාම වෙන්නේ එහෙම කිසිම උවමනාවක් නැති ගොඩක් අයගේ සල්ලි බලෙන් අරගෙන මේ අය වෙනුවෙන් වියදම් කිරීමක්. එය නිවැරදි නැහැ.

      Delete
  13. තමන්ගේ අධිකාරී බලය අයුතු ලෙස යොදා ගත්තෙක්.පරමාදර්ශී චරිත විදියට හඳුන්වන අය තුලත් කොයි තරම් නුහුගුණ ඇතිද?

    "චිලී රාජ්‍යය" එක්ක අපේ තානාපති සම්බන්ධකම් තවමත් තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. තානාපති සම්බන්ධතා තියෙනවා. ඒත් එය සිදුවන්නේ බ්‍රසීලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා.

      Delete
  14. බලං ගියාම සාරුවා සුනිල් දේශපාලන හයිය අරගෙන ස්ත්‍රී දූෂණයයි
    නෙරුඩා රාජ්‍යතාන්ත්‍රික බලය පාවිච්චි කරලා කරපු ස්ත්‍රී දූෂණයයි එකයි නෙවැ..

    හත්තිලව්වට ගහපු කළාබරේ ..

    ReplyDelete
    Replies
    1. වෙනස තියෙන්නේ ඕවා ලේබල් කරන ආකාරයේ. මිනිස්සු හොඳ හා නරක දකින්නේ තමන්ට සාපේක්ෂව. එහි වරදක් නැහැ. ඒත් සමහර අය හොඳ හා නරක ලේබල් කරන්නේ එසේ තමන්ටම පෙනෙන ලෙසටවත් නෙමෙයි.

      Delete
  15. සිංහලට පරිවර්තනය වෙච්ච නෙරුදා ගේ පොත් මොනවාද ?

    ReplyDelete
    Replies
    1. රත්නසේකර කියල ලේඩි කෙනෙක් ලියල තියනව මං හිතන්නෙ

      Delete
    2. http://malmakaranda.blogspot.com/2012/02/poetry-by-pablo-neruda.html

      Delete

    3. උඩින් දීපු බ්ලොග් එකේ තියෙන මෙන්න මේ ලින්ක් එක නං වටිනවා..

      http://www.poemhunter.com/

      Delete
    4. නෙරූඩාගේ ඔය කතාව තිස්ස අබේසේකර අයාලේ ගිය සිතක සටහන් පොතේ ලියල තියෙනවා. හැබැයි තිස්ස දුෂණ කතාවක් නං කියල නෑ.

      Delete
    5. තිස්ස අබේසේකර මේ ගැන කියා තිබෙන දේ කියවන්න ඉඩක් තිබුණානම් හොඳයි. ගොඩක් අයට නෙරුඩාගේ ස්ත්‍රී දූෂණ ගැන කතා කිරීම සාරුවා සුනිල්ගේ ස්ත්‍රී දූෂණ ගැන කතා කරන තරම් පහසුවෙන් කරන්න බැහැ.

      Delete
  16. Replies
    1. There is a difference between seduction and rape

      Delete
    2. Pra,

      Between seduction and rape there is something called "forced seduction". I think what Neruda did.

      Delete
    3. Correction : I think that's what Neruda did.

      Delete
    4. මට වඩා ඔබට (ප්‍රාජේට) ප්‍රවීණතාවයක් ඇති විෂය ක්ෂේත්‍රයන්ට අදාළව කතා කරනවානම්, "rape" කියන වචනයේ තේරුම කාලයෙන් කාලයට තැනින් තැනට වෙනස් වන නිසා මෙය "seduction" හෝ "forced seduction" බව කෙනෙක්ට කියන්න පුළුවන්. පැරණි ලතින් තේරුම හෝ ග්‍රීක සාහිත්‍යයේ සිදුවීම් අනුව බැළුවොත්නම් "rape" කියන එක යන්නේ පැහැරගෙන යාම, මාංශ පේශීන්ගේ හෝ ආයුධ වල බලය පෙන්වා බිය ගැන්වීම වැනි කරුණු එක්කයි. වත්මන් තේරුම වුනත් තැනින් තැනට වෙනස් වෙනවා. මේ වෙනස බොහෝ විට තියෙන්නේ "without consent" කියන එක අර්ථ දක්වන විදිහ අනුව. කමල් අද්දරආරච්චි නඩුවේදී අදාළ තරුණිය ඇඳ උඩ පොර බදපු බව සහ එසේ පොර බැදීමේදී වරක් ඇඳෙන් වැටුණු බව වැනි කතා කියන්න වුණේ එවකට පැවති නීතිමය තත්ත්වය නිසානේ. දැනට ලෝකයේ බොහෝ තැන්වල මේ අර්ථ දැක්වීම වඩා පුළුල් කෙරෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස ඊයේ අනුමත වුනු ජර්මන් පණත සැලකිය හැකියි. ඇමරිකාවේදීනම් කෙළින්ම වාචිකව කැමැත්ත ප්‍රකාශ කර නැත්නම් එය "date rape" එකක් ලෙස අර්ථ දක්වෙන්න පුළුවන්. මෙවැනි නීති කාන්තාවන්ගේ (මෙන්ම අගතියට පත්වන පිරිමින්ගේ හා වෙනත් ලිංගිකයන්ගේත්)තත්ත්වය ඉතා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා. ලංකාවේත් 1998දී සංශෝධිත ද.නී.ස. 363 වගන්තිය අවසානයේ මෙසේ තියෙනවා.

      Explanation-
      [i] Penetration is sufficient to constitute the sexual intercourse necessary to the offense of rape;
      [ii] Evidence of resistance such as physical injuries to the body is not essential to prove that sexual intercourse took place without consent.

      නෙරුඩාගේ සිදුවීමේදීනම් පැරණි අර්ථකථනය අනුව වුවත් දූෂණයක් සිදුවී ඇති බව තර්ක කිරීමට සාධක තියෙනවා. මේ ගැන ජිජැක්ගේ විශ්ලේෂණය මම නැවත සටහන් කරන්නේ නැහැ.

      Delete
  17. ඇන්ටන් චෙකොෆ් මට මතක විදිහට 19 වන ශත වර්ෂයෙ අවසාන කාලෙ ලංකාවට ඇවිල්ල තියනව.ඇවිල්ල නැවතිල තියෙන්නෙ කොටුවෙ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ. චෙකොෆ් හිටපු ඒ කාමරයෙ එඊ බව සඳහන් කරල සමරු ඵලකයක් පවා තියෙනව. අවම වශයෙන් 1990 වගෙ වෙනකොටනම් එහෙම එකක් තිබුන. මගෙ ඥාතියෙකුගෙ විවාහ මංගල්‍යයට ඒ හෝටලයට ගිය වෙලාවෙ මම ඒ කාමරේ බලන්න ගියා.

    කොළඹ නගරයේ සවස් කාලයකදි තනිවම ඇවිදිමින් කල සංචාරයකදි හමුවූ රූමත් ළඳක් පිළිබඳව සඳහනක් එක්කො චෙකොෆ්ගෙ කෙටිකතාවක හෝ ඔහුගැන ලියවුනු චරිතාපදානයක් මම කියෙව්ව කියල මට මතකයි. බොහෝවිට ඔහු පවසන අන්දමට ඒ නගර ශෝභිනියක් විය හැකියි. ඒ ගැන වැඩි විස්තරයක් සොයාගන්නට උත්සාහ කලත් සාර්ථක වූයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනි දැන් මැරිලා ගොඩක්කල් ගිහිල්ල ඇතිබන්. උඹට චාන්ස් නැහැ!

      Delete
    2. //චෙකොෆ් හිටපු ඒ කාමරයෙ එඊ බව සඳහන් කරල සමරු ඵලකයක් පවා තියෙනව. අවම වශයෙන් 1990 වගෙ වෙනකොටනම් එහෙම එකක් තිබුන.//
      2004 පමණ කාලයේත් තිබුණා.

      Delete
    3. ඒ හෝටලයේ Anton Chekhov suite එක සහ Jose Rizal suite එක තාමත් තියෙනවා මගේ හිතේ.

      Delete
  18. මේවා ලෝක දේශපාලන ඉතිහාසයේ වැදගත් සටහන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් කරන හොඳ හා නරක දෙකොටසටම ලෝක ඉතිහාසයේ වැඩි තැනක් හිමි වෙනවා.

      Delete
  19. යටත් විජිත වල කාන්තාවන් තමන්ට ඕනෑ වෙලාවක පරිහරණය කරන්න පුළුවන් කියලා හිතන් හිටපු සුදු මහත්තුරු කොච්චර ඉන්න ඇත්ද ? ඒක ඔවුන්ගේ පරම අයිතියක් කියලා භුක්තියට සවි කරගෙන...අඩුම ගානේ ඒවා දූෂණයන් කියලා අර්තදැක්වෙන්නවත් නැතුව ඇති.. මේක කියෙව්වම, නෙරුඩගෙත් එවැනි හැඟීමක් තිබුනා කියලා මට හිතෙන්නේ....

    මොනවා වුනත් මිනිස්සුන්ට සම්මාන දෙන්න කලින් උන්ගේ අතීතයත් පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. /////මොනවා වුනත් මිනිස්සුන්ට සම්මාන දෙන්න කලින් උන්ගේ අතීතයත් පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි.///////////

      සෙන්නා...මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සම්මාණ දෙන්න ඕන මොකාගේ හරි නිර්මාණයකටද.....නැත්නම් උගේ අතීතයටද... උඹ කියන්නේ පෙර වැරදි ඇත්නම් සම්මානවලට නුසුදුසුයි කියලද? එහෙම නැත්නම් උඹ කියනදේ මට තේරුනේ නැද්ද?

      Delete
  20. මේකත් නොදැන හිටි කතාවක්. නෙරූඩා සහ කවි ගැන අහලා තිබ්බා. නමුත් කිසිම කවියක් කියවපු බවක් මතක න.
    ස්තූතියි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.