ඇමරිකාවේ පාසැල් ගැන පෙර සටහන් වල ලියා තිබෙනවා. ඇමරිකාවේ පොදු පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිවෙකුගෙන් මුදල් අය කරන්නේ නැහැ. මම හිතන්නේ එය ලෝකයේ හැම රටකම වගේ සිදුවන දෙයක්. එහෙත්, අවශ්‍යනම් යමෙකුට තමන්ගේ දරුවන් මුදල් අය කරන පෞද්ගලික පාසැලකට යවන්න පුළුවන්. එසේ කළත් නොකළත් පොදු පාසැල් අධ්‍යාපන වියදම් සියල්ලන්ටම දරන්න වෙනවා. මේ වියදම් බොහෝ දුරට ආවරණය කර ගන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් අය කරන වරිපනම් බදු වලින්.
පොදු පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ට පාසැල් අධ්‍යාපනය මෙන්ම පාසැලට යාම සඳහා පාසැල් බස් රථද නොමිලේ ලැබෙන එක සාමාන්‍ය තත්ත්වයයි. ලංකාවේ පාසැල් කාලයට සාපේක්ෂව ඇමරිකාවේ දරුවෙකු දවසේ වැඩි පැය ගණනක් පාසැලේ ගත කරනවා. මේ කාලය තුළ දිවා ආහාර කාලය ගෙවෙනවා.
එක් පාඨක ප්‍රතිචාරයක සඳහන් කර තිබුණු පරිදි, ඇමරිකාවේ ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් දිවා ආහාරය වෙනුවෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ පාසැල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ සැපයෙන්නේ පවුලේ ආදායම් මට්ටම මත පදනම්වයි. ආදායම් සීමාව එම මට්ටම ඉක්මවන පවුල් වල දරුවන්ගේ දිවා ආහාර වෙනුවෙන් දෙමවුපියන් විසින් මුදල් ගෙවිය යුතුයි.
ආහාර නොමිලේ ලැබුණත්, මුදල් වලට ලැබුණත්, දරුවන් විසින් නියමිත කාලය තුළ පාසැලේ කැන්ටිම (කැෆටේරියාව) වෙත ගොස් ශිෂ්‍ය අංකය ඇතුළත් කර තමන්ට අවශ්‍ය ආහාර ඇණවුම් කර ලබා ගැනීමයි සිදු වෙන්නේ. මුදල් ගෙවිය යුතු දරුවන්ගේ බිල්පත් ඔවුන්ගේ පෙර ගෙවුම් ගිණුමකින් අඩු වෙනවා. මුදල් නොගෙවන අය වෙනුවෙන් කිසියම් අරමුදලකින් මුදල් ලැබෙනවා. එසේ ලැබෙන්නේ ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජය විසින් මේ වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන විය හැකියි.
දෙමවුපියන්ට තමන්ගේ දරුවන්ගේ ආහාර සඳහා මුදල් අය කෙරෙන පෙරගෙවුම් ගිණුමේ ශේෂය පරීක්ෂා කර එය අඩු වෙද්දී ගිණුමට මුදල් දමන්නට සිදු වෙනවා. ශේෂය යම් සීමාවක් දක්වා අඩු වූ විට ඒ ගැන දැනුම් දීමක්ද ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. යම් හෙයකින් ගිණුමේ මුදල් ඉවර වුනොත් මොකද වෙන්නේ?
ගිණුමේ මුදල් ඉවර වුනොත් දරුවන්ට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඔවුන්ට "ණයට" කෑම ලැබෙනවා. නමුත්, මේ විදිහට ණයට කෑම ගන්නා දරුවන්ට වෙනදා කෑම ගැනීමේදී ලැබෙන තේරීම් නැති වෙනවා. ඔවුන්ට ණයට ලැබෙන්නේ "පීනට් බටර් සහ ජෙලි සැන්ඩ්විච්" පමණයි. එසේ කරන්නේ තමන්ගේ පාසැල් ආහාර ගිණුමට මුදල් එකතු කරන මෙන් දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව මතක් කිරීමක් ලෙසයි. (මෙය ඇමරිකාවටම පොදු දෙයක් නෙමෙයි).
මෙහි ජෙලි කියා කියන්නේ ලංකාවේ ජෑම් කියන අර්ථයෙන්. රටකජු බටර් සහ ජෑම් තැවරූ පාන් පෙති ඇමරිකාවේ ගොඩක් ප්‍රචලිත ආහාරයක්. ඇමරිකාවේ වෙනත් බොහෝ ආහාර වර්ග වලද රටකජු බටර් අඩංගුයි.
මම ලංකාවෙන් පිටවන තුරු රටකජු බටර් ගැන දැනගෙන හිටියේ නැහැ. මුල් කාලයේදී ලංකාවට එන විට මම රටකජු බටර් බෝතල් කිහිපයක් අරගෙන ආවා. මුල් වරට රජකජු බටර් රස විඳි ගොඩක් අය මේ ආහාරයට රුචිකත්වයක් දැක්වූවා. එහෙත් පසුකාලීනව ලංකාවට එන විට රටකජු බටර් ලංකාවට අමුතු දෙයක් නෙමෙයි. ඒ වෙද්දී ගම් දනවු දක්වා ව්‍යාප්ත වී තිබුණු කීල්ස්, කාගීල්ස් වගේ සුපිරි වෙළඳසැල් වල රටකජු බටර් මෙන්ම, හේසල් නට් බටර් වැනි අනෙකුත් බටර් ආදේශකද දැකිය හැකි වුනා. මේවා ආනයනික නිෂ්පාදන විය යුතු බව මගේ අදහසයි.
අප කුඩා කාලයේ නිවසින් එළියට ගිය විට අපට අරන් දෙන්නට දෙමවුපියන්ට අද ලංකාවේ තිබෙන තරම් තේරීම් තිබුණේ නැහැ. බොහෝ විට අප ඉල්ලූ, අපට ලැබුණු, දෙයක් වුණේ රටකජු ගොට්ටක්. වෙරළු අච්චාරු, නෙල්ලි එහෙමත් ඔය විදිහට විකුණන්න තිබුණා.
රටකජු කාරයින් ලංගම බස් රථ වලට නැග රටකජු විකිණුවා. නගරයේ තැන් තැන් වල "රටකජු කාරයෝ" හිටියා. මේ විදිහට විකුණපු රජ කජු ගොට්ටට ආවේ කොහොමද කියන එක ගැන හොයන්න මට උනන්දුවක් තිබුණේ නැහැ. ගත්තා. පොතු ඇරියා. කෑවා. එච්චරයි. ඒ දවස් වල ජම්බෝ පීනට් එහෙම ලංකාවට ඇවිත් තිබුණේත් නැහැ.
මෑතකදී කෘෂිකර්ම ඇමතිවරයා විසින් කියා ඇති පරිදි ලංකාවේ වාර්ෂික රටකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ. මේ වන විට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 64,000කට වැඩියි. ඒ නිසා දැන් ලංකාවට රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට ලංකාව විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව, ලංකාව පසුගිය කාලයේ වුනත් ඒ තරම්ම රටකජු ආනයනය කරලා නැහැ. පහළින් තියෙන්නේ එම දත්ත අනුව ලංකාවේ රටකජු ආනයන.
2010 - මෙට්‍රික් ටොන් 659
2011 - මෙට්‍රික් ටොන් 682
2012 - මෙට්‍රික් ටොන් 401
2013 - මෙට්‍රික් ටොන් 128
2014 - මෙට්‍රික් ටොන් 239
2015 - මෙට්‍රික් ටොන් 312
2016 - මෙට්‍රික් ටොන් 253
2017 - මෙට්‍රික් ටොන් 419
2018 - දත්ත නැත
2019 - මෙට්‍රික් ටොන් 466
2020 - මෙට්‍රික් ටොන් 454
2021 - මෙට්‍රික් ටොන් 494
ඔය හැම වසරකදීම සුළු ප්‍රමාණයක් හෝ ලංකාවෙන් රටකජු අපනයනය කරලත් තිබෙනවා. 2021දීනම් මෙට්‍රික් ටොන් 21ක්.
මේ දත්ත නිවැරදිනම් සහ කෘෂිකර්ම අමාත්‍යංශය කියන විදිහට රටේ රජකජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වෙනවානම්, පහු ගිය කාලය පුරාම බොහෝ දුරට මේ ඉල්ලුම රට ඇතුළෙන්ම සම්පූර්ණ වෙලා තිබෙනවා. ආනයනය කළේ රටකජු බටර් වගේ දේවල් වෙන්න පුළුවන්. මුලදී ජම්බෝ පීනට් ආනයනය කර ඇතත්, දැන් ඒවාත් ලංකාවේ වවනවා.
මේ වෙද්දී නිෂ්පාදනය ඉල්ලුම වගේ දෙගුණයක් වෙලානම් ඒ කියන්නේ දේශීය ඉල්ලුම මෙන් දෙගුණයක් රටකජු රටේ නිෂ්පාදනය වෙලා. එහෙම වෙලානම්, ඒ කියන්නේ ඔය වගේ මට්ටමක නිෂ්පාදනයක් දිගටම වුනත් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක.
ලංකාවේ රටකජු වලට ලොකු අපනයන වෙළඳපොළක් නැහැ. එහෙම එකක් හදිසියේ හදාගන්න එකත් ප්‍රායෝගිකව ලේසි වැඩක් නෙමෙයි. ඔය තත්ත්වය යටතේ රජකජු මිල පහත වැටිලා ගොවීන් රටකජු අත ඇරියොත් ඒක අපරාදයක්.
රටකජු වලින් රටකජු බටර් හදන එක රොකට් සයන්ස් එකක් නෙමෙයි. 1930 පමණ වන තුරුම ඇමරිකාවේ රටකජු බටර් හදලා තියෙන්නේ බොහෝ දුරට ගෙවල් වලමයි. මේ වැඩේ සරල පියවර කිහිපයකින් කර ගන්න පුළුවන්.
පළමුව රටකජු බැද ගැනීම. දෙවනුව උණු වතුරේ දමා හෝ සුළු වෙලාවක් තම්බා පොතු ඇර ගැනීම. තෙවනුව අඹරා ගැනීම. ඉන් පසු අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක්, එළවළු තෙල් ටිකක් සහ අවශ්‍යනම් සීනි ටිකක් එකතු කිරීම. මේ එකතු කිරීම් අත්‍යාවශ්‍ය නැහැ. සමහර විට එළවළු තෙල් වලට ආදේශකයක් විදිහට පොල් තෙල් වුනත් හරියන්න පුළුවන්.
ඇමරිකාවේ සමහර වෙළඳසැල් වල තමන්ටම රජකජු බටර් හදාගත හැකි යන්ත්‍ර තිබෙනවා. සුලබ දෙයක්නම් නෙමෙයි. පැත්තක තිබෙන බැද, පොතු ඇර තිබෙන රටකජු යන්ත්‍රයට දමා අතින් කරකවා එයින් ඇඹරී එන රටකජු බටර් එකතු කර ගන්න එකයි කරන්නේ තියෙන්නේ. මේවා අත් යන්ත්‍ර. මේ වැඩේම කරන විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍ර ඩොලර් 60 වැනි මුදලකට ඇමසන් එකේ තිබෙනවා.
මම හිතන්නේ රටකජු බටර් හදන අත් යන්ත්‍රයක් ලංකාවේ ලියවන පට්ටලයක වුනත් හදාගන්න පුළුවන්. මේ වගේ පොඩි මහන්සියකින් හා අඩු වියදමකින් කළ හැකි අගය එකතු කිරීමකින් රජකජු ගොවියෙක්ට සැලකිය යුතු ලාබයක් උපයන්න පුළුවන්.
ලංකාවේ කිරි නිෂ්පාදන ඉල්ලුම දේශීය වශයෙන් සපුරා ගැනීම කාලයක ඉඳලා උත්සාහ කළත් හරි ගිහින් නැති ඉලක්කයක්. මේ වැඩේ හෙට අනිද්දා හරියන වැඩකුත් නෙමෙයි. රටකජු බටර් ඔය විදිහට හැදිලා වෙළඳපොළට එනවානම් එය සාමාන්‍ය බටර් වලට හොඳ ආදේශකයක්. ඇත්තටම කියනවානම් කරුණු ගණනාවක් නිසා වඩා හොඳ ආදේශකයක්.
ලංකාවේ සම්ප්‍රදායික ආහාර කියන්නේ බොහෝ විට කාබෝහයිඩ්රේට් ගුලි. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග වලට ප්‍රධානම හේතුව ඔය ආහාර වල සංයුතිය. රටකජු බටර් වල කැලරි ගණන ගොඩක් වැඩියි. වැඩිපුර තියෙන්නේ ලාංකික සම්ප්‍රදායික ආහාර වලින් අඩුවෙන් ලැබෙන මේද සහ ප්‍රෝටීන්. සාමාන්‍ය බටර් වල සංතෘප්ත මේද වලට සාපේක්ෂව මේවා (වැඩි වශයෙන්ම) අසංතෘප්ත මේද. මස්, මාළු වලට වගේ ආගමික හෝ සංස්කෘතික ප්‍රශ්නයකුත් නැහැ. තරමක ආයෝජනයක් කරලා සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවානම්, දේශීය වෙළඳපොළ ජයගෙන, සන්නාමයක් සහිත නිෂ්පාදනයක් විදිහට අපනයන කරන්න වුනත් බැරිකමක් නැහැ. ආර්ථික අර්බුද ඇති වන කාල කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න හොඳම කාල.
පසු සටහන: "රටකජු ගොවියන්ගේ එකමුතුව සහ රටකජු වෙළෙඳපොල" ෆේස්බුක් පිටුවේ ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මේ දවස් වල වියලි රටකජු කිලෝවක් සඳහා ගොවීන්ට ලැබෙන මුදල රුපියල් 360ක් පමණ හා අමු රටකජු කිලෝවක මිල රුපියල් 160ක් පමණ වන බවයි. කාගිල්ස් ෆුඩ්සිටිහි ග්‍රෑම් 510 පීනට් බටර් බෝතලයක් විකිණෙන්නේ රුපියල් 2,588ක මිලකටයි. මාසයකට පීනට් බටර් බෝතල් 50ක් පමණ හදා විකුණා ගත හැකි අයෙකුට ඇතැම් විට සාඩම්බර ආදායම් බදු ගෙවන්නෙක් විය හැකියි.