ණය සේවාකරණය කියා කියන්නේ කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු ණය හා පොලී ප්‍රමාණය. කිසියම් කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු විදේශ ණය හා පොලී ප්‍රමාණය විදේශ ණය සේවාකරණය ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් සලකා බලන්නේ වසරක කාලයක්.
සාමාන්‍ය කරුණක් ලෙස ණය ප්‍රමාණය ඉහළ යද්දී ණය සේවාකරණයද ඉහළ යනවා. ඊට අමතරව, පොලී අනුපාතික සහ ණය ආපසු ගෙවීම සඳහා එකඟ වී ඇති කාලය වැනි කරුණුද ණය සේවාකරණය කෙරෙහි බලපානවා.
ලංකාවේ විදේශ ණය ලෙස බලද්දී, 2006-2014 කාලය විශාල ලෙස විදේශ ණය ඉහළ ගිය කාලයක්. එම කාලය තුළ රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 11 පමණ සිට ඩොලර් බිලියන 43 පමණ දක්වා ඉහළ ගියා. මේ ගැන පෙර ලිපියක කතා කළා.
ඉහත ලිපියෙන් පෙන්වා දෙන්න උත්සාහ කළ ප්‍රධාන කරුණ ණය ගැනීමේ වැරැද්ද නෙමෙයි. ණය ගන්න පුලුවන්නම් සහ එසේ ගන්නා ණය වලින් එම ණය හා පොලිය ආපසු ගෙවිය හැකි ආදායමක් ජනනය වේනම් ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ණය වලින් කළේ මොනවද ඒ කළ දේවල් වලින් වැඩක් වුනාද නැද්ද වගේ දේවල් අප පෙන්වා දුන් ප්‍රධාන කරුණෙන් බැහැර දේවල්.
අප විසින් පෙන්වා දුන් ප්‍රධාන කරුණ වැරදි විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ණය ගොඩ ගැහුනා කියන එකයි. ඒ වගේම ඒ විදිහට ණය ගොඩ ගැහීම රටේ විදේශ අංශයේ විශාල අර්බුදයකට පාර කැපුවා කියන එකයි. මේ ණය සියල්ලම ගත්තේ රජය විසින් නෙමෙයි. එහෙත්, ණය ගත්තේ කවුරු වුනත්, ගත්ත ණය හා පොලිය ආපසු ගෙවන්න වෙන්නේ කවුරු හෝ විසින් උපයා රටට එන විදේශ විණිමය වලින්. ණය සේවාකරණය සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත රටේ නැත්නම් රටේ විදේශ අංශය අර්බුදයකට යනවා.
මේ සමඟ පළ කරන වගුවෙහි ඉදිරිපත් කර තිබෙන්නේ 2012 සිට 2015 දක්වා එක් එක් වර්ෂයේදී රටේ විදේශ ණය සේවාකරණය. මූලාශ්‍රය මහ බැංකුව.
රටේ විදේශ ණය ප්‍රමාණය කෙටි කාලයක් තුළ විශාල ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට 2015 පමණ වන විට රටේ විදේශ ණය සේවාකරණය ඉතාම අවදානම් මට්ටමකට ඉහළ ගිහින් තිබුණා. 2012 තත්ත්වයට සාපේක්ෂව, 2015 වන විට විදේශ ණය සේවාකරණය දෙගුණයකින් පමණ වැඩි වෙලා.
ඩොලරයක මිල පහළින් තියාගෙන රුපියල් සැපයුම ඉහළ දමද්දී එක පැත්තකින් රටේ රුපියල් සංසරණය ඉහළ යනවා. රටේ මිනිස්සු අතේ වැඩියෙන් රුපියල් ගැවසෙන්න ගන්නවා. අනෙක් පැත්තෙන් ඒ රුපියල් වැය කර අඩු මිලකට ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා අඩු රුපියල් ප්‍රමාණයකින් වැඩි ආනයන ප්‍රමාණයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2005දී ඩොලර් බිලියන 2.5ක් වූ වෙළඳ හිඟය 2011 වන විට ඩොලර් බිලියන 9.7 දක්වා ඉහළ ගියා. 2014 වන විට තරමක් අඩු වුනත්, ඩොලර් බිලියන 8.3 මට්ටමේ තිබුණා.
එක දිගට වසර දහයක පමණ කාලයක් ආනයන මත පදනම් වූ ඔය වගේ පරිභෝජන රටාවකට මිනිසුන්ව හැඩ ගැස්වුවාට පස්සේ ඒ පුරුද්ද පහසුවෙන් අත ඇරෙන්නේ නැහැ. මිනිස්සු ණය වෙලා හෝ තමන් පුරුදු වූ පරිභෝජන රටාව පවත්වා ගන්නවා. ආනයන වෙනුවෙන් මිනිස්සු ණය වෙද්දී රටත් ණය වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්නනම් ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යවන්න වෙනවා. එය දේශපාලනිකව කිසිම ආණ්ඩුවකට කරන්න අමාරු දෙයක්.
දේශපාලනිකව ආණ්ඩුවකට කරන්න අමාරු දෙයක් වුනත් ඩොලරයක මිල ඔය විදිහට දිගටම පහළින් තියා ගැනීම කළ නොහැකි දෙයක්. කවුරුවත් කලේ නැත්නම් අවශ්‍ය නිවැරදි වීම යම් වෙලාවක වෙළඳපොළ යාන්ත්‍රනය හරහාම වෙනවා. ආර්ථිකය කඩා වැටීම හරහා සිදු වුනේ ඔන්න ඔය දේ.
ආර්ථිකය කඩා වැටිලා ඩොලරයක මිල එකවර විශාල ලෙස ඉහළ ගිහින් මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව අහිමි වුනාම පරිභෝජනය නිකම්ම සීමා වෙනවා. කවුරුවත් කරන්න අකැමැති වූ දේ නිකම්ම වෙනවා. ඒ හරහා වෙළඳපොළ අසමතුලිතතාවය තුලනය වෙනවා.
ගොඩක් අයගේ විවේචනයට ලක් වුන යහපාලන කාලය කියන්නේ රටේ විදේශ ණය සේවාකරණය ඉතාම ඉහළ මට්ටමක තිබුණු අවුරුදු පහක්. 2015-2019 කාලය ඇතුළත විදේශ ණය හා පොලිය ලෙස ඩොලර් මිලියන 25,422ක් ගෙවා තිබෙනවා. මේ ඒ කාලයේ ගත්ත ණය නෙමෙයි.
මේ ණය ගෙවුවේ ණය වෙලාම තමයි. ඊට අමතරවත් ඔය කාලයේ විදේශ ණය අරගෙන තිබෙනවා. අවුරුදු පණහක් තිස්සේ (එක් වසරකදී හැර) ජංගම ගිණුම් හිඟයක් නඩත්තු කරපු රටක ආර්ථිකය අවුරුදු දෙක තුනකින් විදේශ ආදායම් උපයා ණය ගෙවිය හැකි රටක් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ ජංගම ගිණුම් හිඟය යම් තරමකින් හෝ පාලනය කර ගැනීම පමණයි. විදේශ ණය සේවාකරණය සඳහා අනිවාර්යයෙන්ම විදේශ ණය ගන්න වෙනවා. නැත්නම් වෙන්නේ ණය පැහැර හරින්නයි.
විදේශ ණය සේවාකරණය ඔය වගේ මට්ටමකට පැමිණි විට එය බාහිර පාර්ශ්ව වලට පේන්න ගන්නවා. එය ණය ශ්‍රේණිගත කිරීම් කෙරෙහි බලපානවා. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම නැවත ණය ලබා ගන්න බාධාවක්. ඔය වගේ තත්ත්වයක් යටතේ ගෙවිය යුතු ණය හා පොලිය පැහැර නොහැර, ජාත්‍යන්තර වෙළඳපොලෙන් ණය ලබාගෙන ආපසු ගෙවන්න පුළුවන් වුනා කියන එකම වුනත් යම් ආකාරයක ජයග්‍රහණයක්.
යහපාලන ආණ්ඩුව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගැනීම දෙස බැලිය යුත්තේ ඔය පසුබිම තුළයි. එම ණය ලබා නොගත්තේනම් තිබුණු විකල්පය කුමක්ද?
ණය පැහැර හැරීම කියන්නේ විකල්පයක් නෙමෙයි. වෙන කරන්නම දෙයක් නැති වීමෙන් පසුව මිස කිසිම රජයක් හෝ වෙනත් ආයතනයක් ඒ තැනට වැටෙන්නේ නැහැ. කළ හැකිව තිබුණු එක් දෙයක් වූයේ මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගැනීම. ඒ වැඩේ කොහොමටත් කළා. තවත් දෙයක් වුනේ ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ අරින එක. ඒකත් සෑහෙන දුරකට කළා. උදාහරණයක් විදිහට 2018දී පමණක් ඩොලරයක මිල 19.2%කින් ඉහළ ගියා.
ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා නොගෙන සිටීමේ හැකියාවක් කොහොමටත් තිබුණේ නැතත් තරමක් අඩුවෙන් ණය ගන්න බැරිකමක් තිබුණේ නැහැ. නමුත් එහෙම කරන්නනම් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, ඩොලරයක මිල තවත් ඉහළ යන්න දීම, උද්ධමනය වඩා ඉහළ යන්න දීම, ආර්ථික වර්ධනය තවත් අඩු වෙන්න ඉඩ හැරීම වගේ දේවල් කරන්න වෙනවා. ඔය කාලයේ මේ හැම දෙයක්ම යම් තරමකින් කළා. නමුත් යම් සීමාවකින් එහාට ගියේ නැහැ. ඒ සීමාව ප්‍රායෝගික සීමාවක්. දැන් ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගැනීම විවේචනය කරන අයම ඔය කාලයේ බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, ඩොලරයක මිල ඉහළ යාම, ආර්ථික වර්ධනය සීමා වීම වැනි දේවල් ගැනත් විවේචනාත්මකව කතා කරනවා. නමුත් ඔය හැම දෙයක්ම ඔය මට්ටමෙන් හෝ නැවතුනේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ලබා ගත් නිසා.
යහපාලන කාලයේ සිට 2020-2021 කාලයට ආවොත්, ඒ කාලය තුළත් සැලකිය යුතු ණය සේවාකරණයක් කළ යුතු වුනා වගේම විශාල බාහිර කම්පනයකට රටට මුහුණ දෙන්න සිදු වුනා. ඒවා එකක්වත් බොරු නෙමෙයි. නමුත් මූල්‍ය අරමුදල වෙත නොයාම, විණිමය අනුපාතය හිර කරගෙන සිටීම වැනි ප්‍රතිපත්ති වැරදි කළේ නැත්නම්, අමාරුවෙන් වුවත්, තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබුනා. ඔය වගේ කම්පන අවස්ථාවකදී විදේශ ණය ගෙවන්න සංචිත යොදා ගන්න එකේ වැරැද්දක් නැහැ. නමුත් විණිමය අනුපාතය ආරක්ෂා කිරීම සඳහා සංචිත නාස්ති කිරීම මූලික මට්ටමේ වැරැද්දක්.
අර්බුදයෙන් පසුව, 2022 හා 2023 වසර වල ණය සේවාකරණය අඩු වී තිබෙන්නේ ඇත්තටම ණය සේවාකරණය අඩු මට්ටමක තිබුණු නිසා නෙමෙයි. ණය පැහැර හැරපු නිසා. ණය පැහැර හැරීමෙන් පසුවද බහුපාර්ශ්වීය ණය ඇතුළු ඇතැම් විදේශ ණය දිගටම ගෙවුවා. ඔය අවස්ථාව වන විට ණය පැහැර නොහැර කරන්න වෙනත් දෙයක් ඉතුරු වී තිබුණු බවක් අපට පෙනෙන්නේ නැහැ.
අවසාන වශයෙන් 2025 වර්ෂය වෙත ආවොත්, එම වර්ෂය තුළ ඩොලර් බිලියන 5 ඉක්මවන විදේශ ණය සේවාකරණයක් සිදු කර තිබෙනවා. මේ වර්ෂයේ ණය සේවාකරණය සමහර විට මීටත් වඩා වැඩි ඇති. මීට සාපේක්ෂව, 2027න් හෝ 2028න් පසුව ණය සේවාකරණය එකවර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කළේ එය එසේ නොවන පරිදි ණය සේවාකරණය දරාගත හැකි සීමාවක් දක්වා අඩු කර ගැනීමයි. ඒ නිසා ඉදිරි වසර වලදී ණය ගෙවීම අර්බුදයකට යන තරමේ විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් එසේ ණය ගෙවන අතරම විදේශ සංචිතද ගොඩ නගා ගැනීමනම් සුළුපටු නොවන අභියෝගයක්.

No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.