පාඨකයෙකු විසින් ඉතාම වැදගත් සහ වලංගු ප්‍රශ්නයක් අසා තිබුනා.
"විදේශ සංචිත ගොඩනැගීමට තිබුණු එකම විකල්පය තවදුරටත් විදේශ ණය ගැනීමද?
විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම, අපනයන වර්ධනය කිරීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවට තිබුණු වගකීම මෙතැනදී අමතක කළ හැකිද?"
ආණ්ඩුවක වගකීම කියන දේ ආණ්ඩුවක් සහ ඒ ආණ්ඩුව බලයට පත් කර ගත් ඡන්දදායකයින්ගේ අපේක්ෂාවන් පිළිබඳ ප්‍රශ්නයක්. ලියුම්කරු මේ ආණ්ඩුව බලයට පත් කර ගත් ඡන්දදායකයෙකු නොවන බැවින් මේ ප්රශ්නය යොමු විය යුත්තේ එවැන්නන් වෙතයි.
බාහිර නිරීක්ෂකයින් වූ අප දුටු පරිදි විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයන වර්ධනය කර ගැනීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සහ විදේශ විණිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කර ගැනීම වැනි දේ සම්බන්ධව මේ ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම ජනතාවට විවිධ පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු ඒ විදිහට ඉටු වී ඇති බවක් අපට පෙනෙන්නේ නැහැ. නමුත් විදේශ සංචිත කියන නිශ්චිත කාරණය හා අදාළව ප්රශ්නය තිබෙන්නේ හෝ නොතිබෙන්නේ මේ කරුණු තුළම නෙමෙයි.
විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයන වර්ධනය කර ගැනීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කර ගැනීම වැනි දේ රටේ ආර්ථිකයේ පැත්තෙන් ඉතාම සාධනීය දේවල්. නමුත් ඔය කිසිම දෙයක් සිදු වූ පමණින් රටේ නිල විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.
රටේ නිල විදේශ සංචිත ඉහළ යන්නනම් මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගත යුතුයි. ඒ වගේම, ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයන වර්ධනය කර ගැනීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සහ විදේශ විනිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කර ගැනීම වැනි කිසිවක් සිදු නොවුනත්, මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගතහොත් රටේ නිල විදේශ විණිමය සංචිත ඉහළ යනවා.
අනෙක් අතට විදේශ ණය ලබාගත් පමණින් රටේ නිල විදේශ සංචිත ඉහළ යන්නේත් නැහැ. එම විදේශ ණය සෘජුවම මහ බැංකුව විසින් ලබා ගතහොත්නම් නිල විදේශ සංචිත ඉහළ යනවා. රජය විසින් විදේශ ණය ලබා ගැනීමෙන් පසුව එසේ ලැබුණු විදේශ විණිමය මහ බැංකුවට විකිණුවහොත් නිල විදේශ සංචිත ඉහළ යනවා. එසේ නොකර පැරණි ණය ආපසු ගෙවීම සඳහා හෝ වෙනත් ආයෝජනයක් වෙනුවෙන් එම විදේශ විණිමය යෙදවුවහොත් නිල විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.
සාමාන්‍යයෙන් මහ බැංකුව විදේශ විණිමය මිල දී ගන්නේ රටේ බැංකු පද්ධතියෙන්. මහ බැංකුව සතු නිල විදේශ සංචිතයට අමතරව වාණිජ බැංකු සතුවද විදේශ සංචිත තිබෙනවා. මේ කොටස් දෙකේ එකතුව රටේ සමස්ත විදේශ සංචිතය සේ සලකන්න පුළුවන්. අවම වශයෙන් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරන මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල සමස්ත විදේශ සංචිත ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ මේ කොටස් දෙකේ එකතුව. මේ කොටස් දෙකට අමතරව බැංකු පද්ධතියෙන් පිටත, සමාගම් හා පුද්ගලයින් සතුවද විදේශ සංචිත යම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ කොටස ගැන අප මේ ලිපියේ කතා කරන්නේ නැහැ.
අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ හෝ වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන විදේශ විණිමය සාමාන්‍යයෙන් සෘජුව මහ බැංකුවට ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ කිසියම් වාණිජ බැංකුවකටයි. අනෙක් අතට ආනයන කිරීම් ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා විදේශ විණිමය අවශ්‍ය අය විදේශ විණිමය මිල දී ගැනීම සඳහා යන්නෙත් වාණිජ බැංකුවට මිසක් මහ බැංකුවට නෙමෙයි. විදේශ විණිමය මිල දී ගැනීම සහ විකිණීම වාණිජ බැංකු වල ව්‍යාපාරික කාර්යයේ කොටසක්. මේ සඳහා වාණිජ බැංකුවකට විදේශ විණිමය සංචිතයක් නඩත්තු කරන්න සිදු වෙනවා.
කිසියම් වාණිජ බැංකුවක් සතුව ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා විදේශ විණිමය එකතු වී තිබේනම් එවැනි බැංකුවක් විසින් තමන් සතු අමතර විදේශ විණිමය වෙනත් වාණිජ බැංකුවකට හෝ මහ බැංකුවට විකුණනවා. විදේශ විණිමය හිඟයක් ඇත්නම් වෙනත් වාණිජ බැංකුවකින් හෝ මහ බැංකුවෙන් විදේශ විණිමය මිල දී ගන්නවා. ගනුදෙනුව සිදු කරන්නේ කා සමඟද යන්න තීරණය වෙන්නේ ලැබෙන මිල මතයි.
වාණිජ බැංකු අතර ඩොලරයක් ගනුදෙනු වන මිලට වඩා තරමක් වැඩි මිලක් ගෙවීම මගින් මහ බැංකුවට බැංකු පද්ධතියෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. මෙහිදී ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙනවා. ඒ වගේම තරමක් අඩු මිලකට ඩොලර් විකිණීම මගින් බැංකු පද්ධතිය තුළ ඩොලරයක මිල ඉහළ යාම පාලනය කරන්න පුළුවන්. මේ වෙනුවෙන් සංචිත වැය කරන්න සිදු වෙනවා.
ඩොලරයක මිල ඉහළ යාම ගැන කිසිසේත්ම හිතන්නේ නැත්නම්, මහ බැංකුවට ඕනෑම අවස්ථාවක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුව වෙළඳපොලෙන් ඩොලර් ඉවත් කර ගනිද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම සීමා වී මිල ඉහළ යනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම සීමා වෙනවා. ආනයන ආදියද සීමා වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මහ බැංකුව ඒ විදිහට විණිමය අනුපාතය නොතකමින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නේ නැහැ. මහ බැංකුව විසින් බොහෝ විට කරනු දැකිය හැක්කේ සංචිත කළමනාකරණය සහ විණිමය අනුපාතය කළමනාකරණය යන දෙකම එකවර කරන එකයි.
මෙතෙක් පැහැදිලි කළ පරිදි, රටේ නිල සංචිත වැඩි වෙන්නේ මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීම නිසායි. නමුත් ඒ මිල දී ගන්නා විදේශ විණිමය බැංකු පද්ධතිය තුළට එන්නේ අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ, ආයෝජන ආදී ක්‍රම වලින් නිසා එවැනි විදේශ විණිමය ප්‍රවාහ වර්ධනය වේනම් මහ බැංකුවට විණිමය අනුපාතය මත වැඩි පීඩනයක් නොයොදවා විදේශ විණිමය මිල දී ගන්න පුළුවන් වෙනවා. ඒ පදනම මත, අපගෙන් අසා තිබෙන ප්රශ්නය වලංගු ප්‍රශ්නයක්.
විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම, අපනයන වර්ධනය කර ගැනීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සහ විදේශ විණිමය උපයාගැනීමේ නව මාර්ග නිර්මාණය කර ගැනීම වැනි දේවල් හරහා රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය එන තරමට මහ බැංකුවට විණිමය අනුපාතයද කළමනාකරණය කර ගනිමින් විදේශ සංචිත වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඔය දේවල් සිදු වෙන්නේ නැත්නම්, විදේශ සංචිතද වැඩි කරගන්නා අතර ඩොලරයක මිල පහළින් තියාගන්න පුළුවන් වෙන්නේ විදේශ ණය වල උදවුවෙනුයි.
මේ අනුව, නිල විදේශ සංචිත ඉහළ යන්නේ මහ බැංකුවේ මැදිහත්වීම් මත වුවත්, මහ බැංකුව මැදිහත් වී එසේ මිල දී ගන්නා විදේශ විණිමය රටට පැමිණ තිබෙන්නේ විදේශ ණය ලෙස හෝ ඉහත ක්‍රම වලින් වෙන්න පුළුවන්. එකම ක්‍රමය විදේශ ණය විය යුතු නැහැ. නමුත් ලංකාවේ මෑත ඉතිහාසය දෙස බැලුවොත්, 2023 දක්වාම, ප්‍රායෝගිකව මේ එකම ක්‍රමය වී තිබෙන්නේ විදේශ ණය ගැනීමයි.
දැන් මේ සමඟ පළ කර තිබෙන වගුව වෙත යන්න. මෙය 2001 වර්ෂයෙන් පටන් ගත්තේ තෝරා බේරාගෙන නෙමෙයි. ලංකාව පාවෙන විදේශ විණිමය ක්‍රමයක් වෙත මාරු වුනේ 2001 වර්ෂයේදී. එම වර්ෂයේ සිට මේ දක්වා වර්ෂ වලදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණ දෙවන තීරුවේත්, සමස්ත විදේශ සංචිත තෙවන තීරුවේත් පෙන්වා තිබෙනවා. රතු පැහැයෙන් පෙන්වා තිබෙන්නේ විදේශ සංචිත පහත වැටුණු වර්ෂයන්. අනෙකුත් වසර වලදී විදේශ සංචිත ඉහළ ගොස් තිබෙනවා. බොහෝ වර්ෂ වලදී සමස්ත සංචිත ඉහළ හෝ පහළ යද්දී නිල සංචිතද ඒ ආකාරයෙන්ම වෙනස් වී තිබෙනවා.
ඉහත වගුවෙහි, 2023 වර්ෂයට පෙර විදේශ සංචිත ඉහළ ගිය ඕනෑම වර්ෂයක් සැලකුවහොත්, අදාළ වර්ෂය තුළ විදේශ සංචිත ඉහළ යාම ඉක්මවා විදේශ ණය ඉහළ ගොස් ඇති බව දකින්න පුළුවන්. එසේ නොවූ වර්ෂයක් ඇත්නම් ඒ 2005 වර්ෂය පමණයි. ඒ, එම වර්ෂයේදී රටට ගලා ආ සුනාමි ආධාර නිසා.
මේ තත්ත්වයේ පැහැදිලි, සාධනීය පරිවර්තනයක් 2024 සහ 2025 වර්ෂ වලදී දකින්න පුළුවන්. පළමුව, 2023, 2024 සහ 2025 යන එක් එක් වර්ෂ වලදී රටේ නිල විදේශ සංචිත මෙන්ම සමස්ත විදේශ සංචිතද ඉහළ ගොස් තිබෙනවා. මේ වර්ෂ කිසිවක් විදේශ සංචිත අඩු වූ වර්ෂ නෙමෙයි. ඒ වගේම, එසේ විදේශ සංචිත ඉහළ ගිය පෙර වර්ෂ වලදී මෙන් නොව, මෙම වර්ෂ වලදී රටේ විදේශ ණය එම ප්‍රමාණ ඉක්මවා ඉහළ ගොස් නැහැ. 2023 පමණ සිට රටේ විදේශ ණය ඩොලර් බිලියන 55 ආසන්න මට්ටමක ස්ථාවරව ඇති අතර එසේ විදේශ ණය ස්ථාවරව තිබියදීම රටේ විදේශ සංචිත ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙය ඉතා පැහැදිලි ප්‍රතිපත්ති හැරවුමක්.
වගුවෙහි මෙම 2026 වර්ෂය හා අදාළ දත්ත තිබෙන්නේ ජූනි මාසයේ අවසානය දක්වා පමණයි. වසරේ පළමු මාස හය තුල රටේ නිල විදේශ සංචිත වල යම් අඩු වීමක් දකින්න පුළුවන්. නමුත් මේ වන විට, එනම් ඔක්තෝබර් මාසය වන විට, රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මෙම වර්ෂයද නිල විදේශ සංචිත ඉහළ ගිය වසරක් ලෙස සටහන් වීමට නියමිතයි.
වසරේ පළමු මාස හයක කාලය තුළ නිල විදේශ සංචිත වල යම් අඩුවක් සිදු වුවද, රටේ සමස්ත විදේශ සංචිත එම කාලය තුළද ඉහළ ගොස් තිබෙනවා. 2026 ජූනි මාසය අවසානයේ වාර්තා වී ඇති සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 12,602ක් වන අතර මෙය ඉතිහාසයේ ඉහළම අගය විය හැකියි.
ඉහත පැහැදිලි කිරීම් වලින් මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන විදේශ සංචිතය ප්‍රමාණවත් බව අදහස් කෙරෙන්නේ නැහැ වගේම නැවත වරක් මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය බැහැර කෙරෙන්නේ නැහැ. නමුත් එය එසේ වන්නේ ලංකාවේ ආර්ථික ඉතිහාසය තුළ පැවති දිගුකාලීන ප්‍රශ්නයකින් ගොඩ යාම සඳහා තවත් කාලයක් අවශ්‍ය වන බැවින් මිස මේ වන විට රටේ ආර්ථිකය එම ඉතිහාසයට සාපේක්ෂව නරක තැනක තිබෙන නිසා නෙමෙයි.
අමතර කරුණක් ලෙස, වැරදි විග්රහ කිරීම් වලට හේතු විය හැකි නිසා, වගුවෙහි දත්ත පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් කළ යුතුයි. ඉහත වගුවේ දත්ත අනුව, 2020 වර්ෂයේදී විදේශ ණය වල සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කරනවා. මෙය මෙසේ පෙනෙන්නේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නිසා මිස එම වර්ෂයේදී ඇත්තටම ණය අඩු වූ නිසා නෙමෙයි.
මෙම වගුව පිළියෙළ කිරීම සඳහා යොදාගත් මහ බැංකු සංඛ්‍යාලේඛණ වල ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ලෙස සලකා තිබෙන්නේ එම ණය වල තත්කාලීන වෙළඳපොළ වටිනාකමයි. 2019 අවසානයේදී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 14,806ක් වූ අතර, 2020 අවසාන වන විට ඩොලර් මිලියන 7,712 දක්වා ඩොලර් බිලියන හත ඉක්මවා පහත වැටුණා. නමුත් එම වසර තුළ ඇත්තටම ආපසු ගෙවුවේ ඩොලර් බිලියනයක් පමණයි. ඉතිරි අඩු වීමට හේතුව ණය පැහැර හැරීමේ අවදානම හමුවේ වෙළඳපොළ වටිනාකම අඩු වීමයි. මෙම වෙනස සඳහා ගැලපීමක් කළහොත් 2020 අවසානයේ රටේ විදේශ ණය ප්‍රමාණය 2019 අවසානයේ පැවති ප්‍රමාණයට වඩා වැඩියි.
ඉහත හේතුව නිසා 2021 හා 2022 වසර වලදීද ණය ප්‍රමාණ පෙන්වන්නේ නියම ප්‍රමාණයට වඩා අඩුවෙනුයි. 2022 වර්ෂය අවසන් වන විට ගෙවිය යුතුව තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණයේ මුහුණත අගය ඩොලර් මිලියන 12,550ක් වුවත්, සංඛ්‍යාලේඛණ වල පෙන්වන්නේ වෙළඳපොළ වටිනාකම වූ ඩොලර් මිලියන 4,035 පමණයි. ඉන් පසු වර්ෂ වලදී වෙළදපොළ වටිනාකම නැවත ඉහළ යද්දී, ඇත්තටම ණය ඉහළ යාමක් සිදු නොවුණත්, සංඛ්‍යාලේඛණ වල ණය ඉහළ යාමක් සිදු වුනා. මූලාශ්‍රයේ ඇති සංඛ්‍යාලේඛණ එලෙසම ඉදිරිපත් කිරීම වඩා සුදුසු බැවින් අප මෙහි එම සංඛ්‍යාලේඛණ නැවත සකස් කර නැහැ.

No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.