වෙබ් ලිපිනය:

Showing posts with label විණිමය අනුපාතය. Show all posts
Showing posts with label විණිමය අනුපාතය. Show all posts

Monday, April 20, 2026

විදේශ අංශයේ අනාගත අභියෝග


මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ, වසරේ අප්‍රේල් 19 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 828,845කට සීමා වී තිබෙනවා. පසු ගිය වසරේ එම කාලය තුළ සංචාරකයින් 841,103 දෙනෙකු රටට පැමිණ තිබුණා.

යුද තත්ත්වය ඇති වීමට පෙර, වසරේ පළමු මාස දෙකක කාලය තුළ, රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයේ පෙර වසරට සාපේක්ෂව 12.9%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. එහෙත් ඉන් පසු කාලය තුළ 21.8%ක අඩු වීමක් සිදු වී ඇති හෙයින් සමස්තයක් ලෙස මෙම අඩු වීම පෙනෙන්නට තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඩොලර් 954.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙම අගයෙහි පෙර වසරට සාපේක්ෂව 15.0%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මාර්තු මාසය පමණක් සලකද්දී සංචාරක කර්මාන්තයේ ඉපැයීම් වල, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, 36.8%ක අඩු වීමක් පෙන්නුම් කරනවා. මෙය ඩොලර් මිලියන 130.3ක අඩු වීමක්. 

මාර්තු මාසයේ ශ්‍රමික ප්‍රේෂණ, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව, ඩොලර් මිලියන 121.5කින් වැඩි වී තිබුණු නිසා මාර්තු මාසය තුළ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් අඩු වීමෙන් විදේශ අංශයට සිදු විය හැකිව තිබුණු හානිය යම් තරමකින් නිශේධනය වී තිබුණු අතර වසරේ පළමු කාර්තුව තුල සමස්තයක් ලෙස ශ්‍රමික ප්‍රේෂණ වල 26.5%ක වර්ධනයක් දැකිය හැකිව තිබුණා. ඉදිරි කාලයේදී යුද තත්ත්වය ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහිද යම් බලපෑමක් ඇති කළහොත් විදේශ අංශය මත පීඩනය තවත් ඉහළ යනවා.

මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැරීම මගින් විදේශ අංශයේ තුලනය පවත්වා ගනිමින් සිටිනවා. මේ වන විට (අප්‍රේල් 20) ඩොලරයක සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 320 සීමාව ඉක්මවා ඇති අතර මැදි මිල රුපියල් 316.44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද තත්ත්වය අවසන් වුවද සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා යම් කාලයක් ගත විය හැකියි.

මෙම අර්බුද තත්ත්වය තුළ, ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතව සිටීමේ වාසිය පැහැදිලිව දකින්නට පුළුවන්. පසුගිය සතිය තුළ මූල්‍ය අරමුදලේ වසන්ත සැසිවාර අවසන් වූ අතර, ඊට පෙර ශ්‍රී ලංකාවේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළ පස් වන හා හයවන විමර්ශන අවසන්ව පැවති බැවින්, ඉතා ඉක්මණින්ම මූල්‍ය අරමුදලේ හයවන හා හත්වන ණය වාරික දෙක එක වර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. 

හයවන ණය වාරිකය ලැබෙන්නට නියමිතව තිබුණේ පසු ගිය වසරේදී වුවත්, දිත්වා හානියෙන් පසුව ගන්නට සිදු වූ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් එම වාරිකය ලබා ගැනීම ප්‍රමාද වුනා. කෙසේ වුවද, හයවන සහ හත්වන වාරික එක වර ලබා ගැනීම සඳහා මේ වන විට නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගෙන අවසානයි. මෙම වාරික දෙකට අමතරව, මෙම වසර තුළම, මූල්‍ය අරමුදලේ අටවන වාරිකයද ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඉතා ඉක්මණින්ම ඩොලර් මිලියන 700ක පමණ මුදලක් සංචිත වලට එකතු වනු ඇති අතර, වසර අවසන් වන විට තවත් ඩොලර් මිලියන 350ක පමණ මුදලක් එකතු වීමට නියමිතව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් පසුව, 2023 මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය අනුව, 2026 සැප්තැම්බර් 1 දින අටවන වාරිකය ලැබිය යුතු අතර එය ලබා ගැනීම සඳහා ඊට පෙර හත් වන විමර්ශනය අවසන් විය යුතුයි. නවවන හා අවසන් වාරිකය ලැබෙන්නට නියමිතව තිබෙන්නේ 2027 මාර්තු 1 දිනයි. 

වැඩ සටහන ආරම්භයේදී ඉලක්ක කළ පරිදි, 2026 වසර අවසාන වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10,888 දක්වාත්, 2027 අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208 දක්වාත් ඉහළ යා යුතුව තිබුණා. පසු ගිය දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල විසින් යාවත්කාලීන කර තිබුණු ඇස්තමේන්තු අනුව, 2026 අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,884ක් වීමට නියමිතව තිබුණු අතර 2027 අවසානයේදී එම අගය ඩොලර් මිලියන 13,371ක්. 

යුද තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම වසර අවසානයේදී ඩොලර් මිලියන 8,884ක සංචිත ඉලක්කය කරා වුවද යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව, ඉදිරි වසර මුල මූල්‍ය අරමුදලේ වැඩ සටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුවද, රටේ විදේශ අංශය මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. මහ බැංකුව විසින් ජංගම ගිණුම ඉලක්ක ඉක්මවා සාර්ථකව කළමනාකරණය කර ගැනීමෙන් අනතුරුවද මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මුලින් අපේක්ෂා කළ පරිදි විදේශ ආයෝජන රටට පැමිණ නොතිබීමයි. 

අපේක්ෂිත තරමට ආයෝජන රටට නොපැමිණ තිබීම මගින් පෙන්නුම් කරන්නේ විදේශ ආයෝජකයින්ගේ පැත්තෙන් බලද්දී ආයෝජන සඳහා ප්‍රමාණවත් තරම් හිතකර වාතාවරණයක් තවමත් රටේ නොමැති බවයි. එමෙන්ම, මුල් සැලසුම පරිදි, 2027දී නැවතත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කළ හැකි වාතාවරණයක් ඇති වන බවක්ද දැනට පෙනෙන්නට නැහැ. මේ තත්ත්වය තුළ රටේ විදේශ අංශයේ අර්බුදයකට නැවතත් පාර කැපෙන බවක් අදහස් වන්නේ නැතත්, මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින ගිවිසුම අවසන් වෙද්දී නැවතත් අලුත් ගිවිසුමකට යන්නට අවශ්‍ය වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 

මැද පෙරදිග යුද තත්ත්වය වාසියකට හරවා ගනිමින් කොළඹ වරාය නගරයට සහ අනෙකුත් ප්‍රදේශ වලට ආයෝජන ආකර්ශනය කර ගත හැකිනම් මේ තත්ත්වයේ යම් වෙනසක් සිදු කර ගත හැකියි. යුද තත්ත්වයන් හමුවේ සාමය විකිණීම ලංකාව විසින් කාලයක් තිස්සේම සාර්ථකව සිදු කර ඇති රාජ්‍යතාන්ත්‍රික කාර්යයක්.

Wednesday, January 28, 2026

උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?


ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම ඉහළ යනවා. ඒ අතර, ඇමරිකන් ඩොලරයක මිල පහත යන අවස්ථාද තිබුණත්, දිගුකාලීනව හැම විටම මෙන් සිදු වෙන්නේ මිල ඉහළ යන එකයි. 

ඇමරිකන් ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. විවිධ සාධක ගණනාවක් මත ඉල්ලුම හා සැපයුම තීරණය වෙනවා. මෙහි ඒ සාධක එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිතුර මගින් දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. 

මේ විදිහට දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දිගින් දිගටම ඉහළ යාමට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන උද්ධමන මට්ටමට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඉලක්ක කිරීමයි. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක සාමාන්‍ය වාර්ෂික උද්ධමනයක් ඉලක්ක කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය පුරාම ඉලක්ක කර තිබෙන්නේ ඊට වඩා වැඩි උද්ධමන මට්ටමක්.

මෙහි කතා කරන්නේ උද්ධමන ඉලක්කය ගැන මිසක් සැබෑ උද්ධමනය ගැන නෙමෙයි. 2022 ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 2022 සැප්තැම්බර් මාසයේදී ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියා. නමුත් ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියේත්, ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියේත් අදාළ මහ බැංකු වලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. යමක් ඉලක්ක කළ පමණින් හැම විටම ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න බැහැ. 

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් කාලයක් තිස්සේම ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නයි. නමුත් ලංකාව දැනට ඉලක්ක කරන්නේ උද්ධමනය 5% මට්ටමේ තියා ගන්නයි. මේ විදිහට ඇමරිකාව ඉලක්ක කරන උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය දිගින් දිගටම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමට ඉඩ සලස්වනවා කියන එක. 

ඇමරිකාව 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ හිතාමතාම ඩොලරයක වටිනාකම වසරකට 2%කින් අඩු වීමට ඉඩ සලස්වනවා කියන එකයි. ඇමරිකාව වගේම එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝ කලාපය ඇතුළු තවත් රටවල් ගණනාවක්ම 2%ක උද්ධමනයක් ඉලක්ක කරන නිසා අදාළ මුදල් ඒකක වල වටිනාකමද වසරකට 2%කින් අඩු වෙනවා. නමුත් මේ විදිහට ඒ මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී ඊට සමානව ඇමරිකන් ඩොලරයේ වටිනාකමද අඩු වෙන නිසා දිගුකාලීනව ඒ මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්නේ නැහැ.  

මෙයින් අදහස් වෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව විණිමය අනුපාතය ස්ථාවරව තිබෙනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම අනුව දිනපතාම විණිමය අනුපාත විචලනය වෙනවා. නමුත් දීර්ඝ කාලයක් සැලකූ විට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1997 ජනවාරි 2 දින සහ 2026 ජනවාරි 2 දින වලදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා විවිධ මුදල් ඒකක වලින් ගෙවිය යුතු වූ මුදල සහ එම මුදල් ප්‍රමාණය වෙනස් වූ අනුපාතයයි. ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම වසර 29කට පෙර සඳහා කැනේඩියන් ඩොලර් 1.374ක් ගෙවන්න සිදු වී තිබෙනවා. කොයි තරම් උච්ඡාවචනයන් සිදු වුනත් වසර 29කට පසුව නැවතත් එම මිල ඒ මට්ට්මටමට පැමිණ තිබෙනවා. 

ඔය අතරවාරයේ කැනේඩියන් ඩොලරයක් ඇමරිකන් ඩොලරයකට වඩා වැඩියෙන් මිල වූ අවස්ථා තිබුණා. ඇමරිකන් ඩොලරයක් සඳහා දැන් මිලට වඩා වැඩියෙන් ගෙවිය යුතු වූ අවස්ථාත් තිබුණා. ඔය වගේ විචලනයන් සිදු වුනත්, රටවල් දෙකේ වෙළඳපොළවල් විවෘතව තිබීම, විණිමය වෙළඳපොළට මහ බැංකු මැදිහත් නොවීම සහ දිගුකාලීනව රටවල් දෙකම 2%ක උද්ධමනයක් ඉලක්ක කිරීම හේතුවෙන්, දිගුකාලීනව විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තිබෙනවා. 

ලෝකයේ ප්‍රධාන රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ තියාගන්න ඉලක්ක කරනවා. ඒ නිසා, ඒ රටවල මුදල් ඒකක වල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කෙටිකාලීනව විචලනය වුනත් දිගුකාලීනව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ඉහත වගුව දෙස බලද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව පසුගිය වසර 29ක කාලය තුළ යම් තරමකින් හෝ ශක්තිමත් වී තිබෙන්නේ චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල මුදල් ඒකක පමණයි. මේ රටවල් තුන අනෙක් රටවල් වලට වඩා වෙනස් වන විශේෂ කරුණ වන්නේ එම රටවල් තුනේම දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබීමයි. මේ ගැන පෙර ලිපි වල කතා කර තිබෙන නිසා මෙම ලිපියෙහි වැඩිපුර කතා කරන්නේ නැහැ. 

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගුකාලීනව අවප්‍රමාණය වී ඇති මුදල් ඒකක දෙස බැලුවත්, බොහොමයක් මුදල් ඒකක හා අදාළව එය සැලකිය යුතු තරමේ අවප්‍රමාණය වීමක් නෙමෙයි. වගුවේ මුදල් ඒකක අතරින් වැඩිපුරම අවප්‍රමාණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා රුපියලයි. ඉන් පසුව, දකුණු අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ මෙක්සිකෝවේ මුදල් ඒකක දකින්න පුළුවන්. 

දකුණු අප්‍රිකාව මෑතක් වන තුරුම ඉලක්ක කළේ 4.5%ක පමණ (3%-6% පරාසයේ) උද්ධමනයක්. මාස කිහිපයකට පෙර දකුණු අප්‍රිකාව මෙම ඉලක්කය 3% දක්වා (2%-4% පරාසය) අඩු කර තිබෙනවා. ඉන්දියාව ඉලක්ක කරන්නේ 4%ක (2%-6% පරාසය) උද්ධමනයක්. මෙක්සිකෝව ඉලක්ක කරන්නේ 3%ක (2%-4% පරාසය) උද්ධමනයක්. මේ රටවල් තුනේ පොදු සාධකයක් වන්නේ ඇමරිකාවේ උද්ධමනය වන 2% මට්ටම ඉක්මවන උද්ධමනයක් ඉලක්ක කිරීමයි. එම රටවල මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කාලයත් සමඟ දිගින් දිගටම අවප්‍රමාණය වන්නේ ඒ නිසා.

උද්ධමන ඉලක්කය 4.5%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයක මිල 3.51 ගුණයකින් ඉහළ යද්දී, උද්ධමන ඉලක්කය 4%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව එම මිල 2.51 ගුණයකින්ද, උද්ධමන ඉලක්කය 3%ක් වූ මෙක්සිකෝවේ මුදල් ඒකකයට සාපේක්ෂව 2.26 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 5.46 ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නේ ලංකාවේ උද්ධමන ඉලක්කය ඉහත හැම රටකටම වඩා ඉහළ මට්ටමක පැවති නිසයි. 

අලුතෙන් සම්මත කරගත් මහ බැංකු පණත අනුව, 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අත්සන් කළ ගිවිසුමක් මගින් මහ බැංකුවට 5%ක උද්ධමන ඉලක්කයක් ලබා දුන්නා. 2023 ඔක්තෝබර් 5 දින මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු ගැසට් කර තිබෙනවා. ගැසට් නිවේදනය අනුව අදාළ ගිවිසුම අවලංගු වන දිනයක් නැතත්, මහ බැංකුවේ අනෙකුත් ප්‍රකාශන අනුව මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙන්නේ වසර තුනක කාලයක් සඳහායි. ඒ අනුව, ඉදිරි කාලයේදී අදාළ ඉලක්කය නැවත විමර්ශනය කර රජය සහ මහ බැංකුව අතර අලුත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

ගිවිසුම අලුත් කරද්දී 5% උද්ධමන ඉලක්කය තවදුරටත් ඒ මට්ටමේම පවත්වා ගත යුතුද?

ක්ෂණිකව කළ හැකි දෙයක් නොවුනත්, ශ්‍රී ලංකාව විසින් දිගුකාලීනව උත්සාහ කළ යුත්තේ උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර එම ඉලක්කය පවත්වා ගෙන යාමයි. එසේ කළ හැකිනම්, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම දිගුකාලීනව ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ කළ හැකිනම්, ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව විණිමය අනුපාතය තව දුරටත් දිනපතා වෙනස් වනු ඇති නමුත්, දැන් මෙන් දිගුකාලීනව ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙන එකක් නැහැ. නමුත් ඒ තත්ත්වයට යන්නනම් උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර ගත යුතුයි.

හේතු ගණනාවක් නිසා ලංකාවේ උද්ධමන ඉලක්කය එකවරම 2% මට්ටම දක්වා අඩු කරන්න බැහැ. නමුත් ඉදිරි වසර තුනක කාලය සඳහා මෙම ඉලක්කය 4% මට්ටම දක්වා අඩු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. 

දැනට මහ බැංකුවට දී තිබෙන උද්ධමන ඉලක්කය 5% වන අතර එය 3%-7% පරාසය තුළ විචලනය විය හැකියි. මෙම පරාසය 2%-6% දක්වා පහතට ගන්න බැරිකමක් නැහැ. ඉන්දියාවේ උද්ධමන ඉලක්කය වන්නේද 2%-6% පරාසයම බැවින්, ලංකාවේ ඉලක්කය එම මට්ටම දක්වා අඩු කළහොත්, දිගුකාලීනව ඩොලරයක මිල තවදුරටත් (අඩු වේගයකින්) ඉහළ යනු ඇති නමුත් ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල අතර විණිමය අනුපාතය දිගුකාලීනව වෙනස් වෙන්නේ නැහැ. එහි වාසි ගණනාවක් තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2025 අවසාන කාර්තුව දක්වාම මහ බැංකුවට රජය විසින් ලබා දුන් ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වී නැහැ.

මෙහිදී සිදු වූයේ උද්ධමනය ඉලක්කය ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. ඒ නිසා, විරෝධයක් හෝ විවේචනයක් ආවේ නැහැ. එසේ වුවත්, මෙයින් පෙනෙන පළමු කරුණ වන්නේ මහ බැංකුවට උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම තවමත් අපහසු බවයි. දෙවන කරුණනම්, ලංකාවට දිගුකාලීනව උද්ධමනය 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි. එබැවින්, පළමු කරුණ මත පදනම්ව +/- 2% පරාසය එලෙසම තබා ගන්නා අතර ඉලක්කය 4% දක්වා අඩු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. 

ඉන්දියාව උද්ධමන ඉලක්කය සංශෝධනය කරන්නේ වසර පහකට වරකුයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ඉන්දියාව විසින් 2031 දක්වා වසර පහක කාලය සඳහා උද්ධමන ඉලක්කය තීරණය කිරීමට නියමිතයි. දැනට පළ වී ඇති අදහස් අනුව පෙනී යන්නේ ඉන්දියාව 4% ඉලක්කය වෙනස් නොකරනු ඇති බවයි. යම් හෙයකින් ඉන්දියාව එම ඉලක්කය අඩු කළහොත්, ඉදිරි සංශෝධනයකදී ලංකාවට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඉදිරි වසර තුන සඳහා වන ඉලක්කය 1%කින් අඩු කළ හැකිනම් දැනට එය ප්‍රමාණවත්. 

ඉදිරි වසරේ විශේෂ තත්ත්වයක් පැවතියත්, දැනට රජයේ ඉලක්කය වන්නේ දිගුකාලීනව ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීමයි. එයින් අදහස් වන්නේ දිගුකාලීනව බැංකු පද්ධතියෙන් රජයට ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වන බවයි. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය වර්ධනය ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතරම මුදල් සැපයුමේ වර්ධනය පාලනය කර ගැනීමේ හැකියාවක් සහ එමගින් අඩු උද්ධමනයක් ඉලක්ක කිරීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. මෙම තත්ත්වය තුළ 5%ක උද්ධමනයක් ඉලක්ක කිරීමෙන් වුවද, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමාව ඉක්මවා ඉහළ යන්න පුළුවන්. ඒ නිසා, දැනට තිබෙන 5% ඉලක්කයට වඩා 4% ඉලක්කය ගැලපෙනවා. ඒ වගේම, අවශ්‍යනම් උද්ධමනය 2% මට්ටම දක්වා අඩු මට්ටමක පවත්වා ගැනීමටද මහ බැංකුවට ඉඩ ලැබෙනවා.

ලංකාවේ උද්ධමනය කළමනාකරණය කිරීමේදී මහ බැංකුවට මුහුණ දෙන්නට වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඉන්ධන මිල, විදුලි ගාස්තු ආදිය වෙළඳපොළ තුළ තීරණය නොවීමයි. මෙම වෙළඳපොළවල් නිදහස් වීමේ ඉඩක් ළඟපාතක පෙනෙන්නට නොමැති පසුබිමක මේ සඳහා විකල්ප විසඳුමක් වන්නේ මිල ස්ථායිකරණ අරමුදල් පිහිටුවීමයි. එවැන්නක් සිදු විය යුත්තේ රජය පැත්තෙනුයි. පසුගිය කාලයේ මහ බැංකුවට උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේද මෙවැනි පාලිත මිල ගණන් වල සිදු වූ මහ බැංකුවේ පාලනයෙන් තොර වෙනස් වීමයි. පසුගිය කාලයේ එය සිදු වූයේ උද්ධමනය ඉලක්කයට වඩා අඩු වන ආකාරයකින් වුවද, එහි අනෙක් පැත්තද සිදු විය හැකියි.

ඉන්දියානු රුපියල වේගයෙන් ලෝකයේ ශක්තිමත් මුදල් ඒකකයක් බවට පත් වෙමින් තිබෙනවා. ආනයන අපනයන පැත්තෙන් වගේම ආයෝජන පැත්තෙන් බැලුවත් ලංකාවට ප්‍රායෝගිකව ප්‍රවේශ වීමට පහසු ඉන්දියාව ප්‍රධාන කලාපීය වෙළඳපොළ වෙතයි. විනිමය අනුපාතයේ ඒකමිතියක් තිබීම එය පහසු කරනවා පමණක් නොව කලාපයෙන් බාහිර පාර්ශ්වයන්ට ලංකාව ඉන්දියානු ආර්ථික කලාපයේම තවත් සංරචකයක් ලෙස දකින්නටද උදවු කරනවා. 

ඓතිහාසික විකාශනය අනුව, ලංකාවේ රුපියල සැලකිය හැක්කේ ඉන්දියානු රුපියලේ දරුවෙක් ලෙසයි. එහෙත්, ඉන්දියානු පෙකණි වැල කැපූ තැන් පටන් සිදු වී තිබෙන්නේ මේ දරුවා අයාලේ යාමයි. ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතා අනුව ලොකු පිළිගැනීමක් නොමැති මුදල් ඒකක වලට අනාගතයේදී අනිවාර්යයෙන්ම ප්‍රධාන මුදල් ඒකකයක් සමඟ යම් ආකාරයකින් ගැට ගැසෙන්නට සිදු වෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික පියවරක් වන්නේද ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කිරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තියන්න පුළුවන්.

Monday, January 12, 2026

Death of a Currency මුදල් ඒකකයක මරණය


ලොකු සද්දයක් එක්ක රුපියල් 310 සීමාවෙන් උඩට ගිය ඇමරිකන් ඩොලරයක මිල කිසිම සද්දයක් නැතිව නැවත 310 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (ජනවාරි 12) ඩොලරයක මැදි මිල රුපියල් 309.38යි. 

තවත් ටික දවසකින් ඩොලරයක මිල නැවත රුපියල් 310 සීමාවෙන් උඩට යන්න පුළුවන්. ඉල්ලුම සැපයුම අනුව දෛනිකව විණිමය අනුපාතයේ සිදුවන මෙවැනි විචලනයන්ට විණිමය අනුපාතය කඩා වැටීමක් කියලා කවුරුවත් කියන්නේ නැහැ.

මුදල් ඒකකයක් කඩා වැටෙනවා කියන්නේ කුමක්ද කියන එක ඉරානයේ රියාලය දෙස බලා සිටියොත් දැන් සජීවීව බලාගන්න පුළුවන්. මේ වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල ඉරාන රියාල් 1,429,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022දී ලංකාවේ රුපියලටත් මෙවැනි දෙයක් වීමේ ඉඩකඩක් තිබුණා. 





Thursday, January 8, 2026

රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද?


ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් මෙයින් අදහස් වෙන්නේ අදාළ මුදල් ඒකකය නිකුත් කරන රටින් පිටතද එම මුදල් වර්ගයට සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා කියන එකයි. දුර්වල මුදල් ඒකකයකට එවැනි ඉල්ලුමක් තිබෙන්නේ එම මුදල් ඒකකය නිකුත් කරන රට ඇතුළේ පමණයි. 

කිසියම් මුදල් ඒකකයක් ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ එම මුදල් ඒකකය සඳහා වන ඉල්ලුම සාපේක්ෂව ඉහළ යනවා කියන එකයි. මෙහිදී සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. ඒ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමට සාපේක්ෂව සහ වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂවයි.

ඕනෑම මුදල් ඒකකයකට එය නිකුත් කරන රට තුළ, භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව යම් හෝ ඉල්ලුමක් තිබෙනවා. එවැනි ඉල්ලුමක් නැති මට්ටමට මුදල් ඒකකයක් දුර්වල වුවහොත් ඒ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්ව යනවා. මුදල් ඒකකයක ශක්තිය මූලික වශයෙන්ම තීරණය කරන්නේ මෙම දේශීය ඉල්ලුමයි. අවසාන වශයෙන්, වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව මනින මුදලක බාහිර ඉල්ලුම තීරණය කරන්නේද මුලින් මේ අයුරින් රට තුළ මුදලක ශක්තිය ඉහළ යාමයි.

මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් පමණයි. ඒ හැර, මුදල් වලට එහිම වූ නෛසර්ගික වටිනාකමක් නැහැ. නමුත් භාණ්ඩ හා සේවා වලට නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. කිසියම් මුදල් ඒකකයක ශක්තිය වන්නේ එම මුදල් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා වල වටිනාකම නිසා ලැබෙන ශක්තියයි. 

ආදායම් ඉපදවීම කියා කියන්නේ, අවසාන වශයෙන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඇතැම් අය එසේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරනවා. තවත් සමහර අය තමන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. එසේ කරන්නේ වෙනත් අයගෙන් ණයට ගැනීම මගින්. මුදල් භාවිතයක් නැත්නම්, මෙසේ ඉතිරි කරන හා ණයට ගන්නා භාණ්ඩ හා සේවා අතර තුලනයක් තිබිය යුතුයි.

මුදල් භාවිතය තුළ, පරිභෝජනය කර ඉතිරි කරන්නන් විසින් තමන් සතු අතිරික්තය මුදල් බවට පරිවර්තනය කරනවා. එසේ කරන්නේ එම මුදල් වලටද භාණ්ඩ හා සේවා වලට මෙන් වටිනාකමක් ඇතැයි විශ්වාස කරමිනුයි. මේ විශ්වාසය වැඩි වන තරමට කිසියම් මුදලක් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් එම මුදල ශක්තිමත් වෙනවා. 

අනෙක් අතට, ණය ගන්නා අය කරන්නේ තමන් සතුව "නැති මුදල්" භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කිරීමයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස් නොවේනම්, රටක සියල්ලන්ටම ලබා ගත හැකි සමස්ත ණය ප්‍රමාණය සහ රටේ සියල්ලන්ගේම සමස්ත ඉතිරි කිරීම් ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම්, ණය ඉල්ලුම සහ ණය සැපයුම තුලනය වන්නේ නැහැ.

යම් හෙයකින් ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩිනම්, ඉතිරි කරන්නන්ට හෙට්ටු කර වැඩි පොලියක් ඉල්ලා සිටිය හැකි නිසා, පොලී අනුපාතික ඉහළ යනවා. ඒ විදිහටම, ණය ඉල්ලුම ණය සැපයුමට වඩා අඩුනම්, පොලී අනුපාතික පහළ යනවා. 

ලංකාවේ සමාජය කාලයක් තිස්සේම තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කරන්න හුරු වී සිටින සමාජයක්. ණය ගන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් අඩුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ණය ඉල්ලුම සහ සැපයුම තුලනය වීම සඳහා පොලී අනුපාතික සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතිය යුතු වීමයි. 

චීනයේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 43.4%ක්. දකුණු කොරියාවේ 34.0%ක්. සිංගප්පූරුවේ 57.9%ක්. දැන් දේශීය ඉතිරි කිරීම් අනුපාතය පහත වැටී තිබුණත්, 1970දී ජපානයේ ඉතිරි කිරීම් අනුපාතය 43.3%ක්. මේ රටවල් වේගයෙන් දියුණු වුණේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගෙන කාලයක් එසේ පවත්වා ගැනීම මගිනුයි. 

එහෙත් ලංකාවේ ඉතිරි කිරීම් අනුපාතය 24.3%ක් පමණයි. රටක ඉතිරි කිරීම් අනුපාතය අඩුනම්, ඒ හා ගැලපෙන පරිදි ස්වභාවික ලෙසම පොලී අනුපාතික ඉහළ යනවා. ආයෝජන සීමා වෙනවා. ඒ මගින්, විභව දළ දේශීය නිෂ්පාදිතයද සීමා වෙනවා. 

රටක මහ බැංකුවට මැදිහත් වී පොලී අනුපාතික පහත දමන්න පුළුවන්. එහි අරමුණ වන්නේ ආයෝජන දිරිමත් කර ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. එහෙත් පොලී අනුපාතික ඒ අයුරින් පහත දමද්දී ණය ඉල්ලුම රටේ ඉතිරි කිරීම් ඉක්මවා ඉහළ යනවා. පොලී අනුපාතික අඩු මට්ටමක තියාගන්නනම් මේ අඩුව පිරවෙන පරිදි මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයක් ඇති වෙනවා. 

ඇමරිකාවේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 17.1%ක් පමණයි. මෙය ඉතා අඩු මට්ටමක්. එහෙත් ඇමරිකාවේ පොලී අනුපාතික ලංකාවේ තරම් ඉහළ නැහැ. ඊට හේතුව විදේශිකයින්ගේ ඉතිරි කිරීම්ද ඇමරිකාවට පැමිණීමයි. ශක්තිමත් මුදල් ඒකක තිබෙන රටවලට මේ වාසිය තිබෙනවා. ඒ නිසා, එවැනි රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගන්නවා. නමුත් මෙවැනි විශේෂ වාසියක් නැති ලංකාව වැනි රටක් උද්ධමනය 5% වැනි වඩා ඉහළ මට්ටමක තබා ගැනීමට ඉලක්ක කළද, පොලී අනුපාතික ඇමරිකාවේ මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඉහළ පොලී අනුපාතික ආයෝජන සීමා කර එමගින් ආර්ථික වර්ධනයද සීමා කරනවා. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් මේ අහියෝගය ජයගෙන කෙටිකාලයක් තුළ වේගයෙන් දියුණු වුනේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තබා ගැනීම මගිනුයි.

විදේශ ණය ගැනීමත් මේ ප්‍රශ්නයට පිළියමක් වුවත්, එහිදී සිදු වන්නේ අනාගතය උගසට තබා පරිභෝජනය වැඩි කර ගැනීමක්. ඇමරිකාව විසින් විදේශිකයින්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමේදී සහ ලංකාව විසින් විදේශ ණය ගැනීමේදී සිදු වන්නේ එකම දෙයක් නෙමෙයි. පොලී අනුපාතික අඩු වීම, ආයෝජන ඉහළ යාම සහ එමගින් ආර්ථික වර්ධනය ඉහළ යාම හා අදාළව වෙනසක් නැති වුනත්, ඇමරිකාව ණය ගන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයෙන්. ඒ නිසා, ඇමරිකාවට මුදල් සැපයුම වැඩි කර පහසුවෙන්ම එම ණය ආපසු ගෙවන්න පුළුවන්. 

ලංකාවේ රුපියල ඇමරිකන් ඩොලරය මෙන් ශක්තිමත් මුදල් ඒකකයක් නොවන නිසා ලංකාවට ණය ගන්න වෙන්නේ වෙනත් රටක මුදල් ඒකකයකින්. ඒ මගින් පොලී අනුපාතික අඩු කරගෙන, ආයෝජන ඉහළ දමා, ආර්ථික වර්ධන වේගයද වැඩි කර ගත හැකි නමුත් මේ සියල්ල තාවකාලිකයි. ණය ආපසු ගෙවන්න සිදු වූ විට ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවෙනවා. ඒ නිසා, විදේශ ණය වල උදවුවෙන් පොලී අනුපාතික අඩු කරගෙන එමගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරගැනීම ලංකාව වැනි රටකට තිරසාර ක්‍රමෝපායක් නෙමෙයි. 

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව කිසියම් මුදල් ඒකකයක ශක්තිය තීරණය වන්නේ මුදල් ඒකකයක බාහිර ඉල්ලුම මතයි. ශ්‍රී ලංකා රුපියලේ බාහිර ඉල්ලුම ඉහළ යන්නේ රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා බාහිර ඉල්ලුම ඉහළ යන තරමටයි. එම ඉල්ලුම ඉහළ යන තරමට රුපියල ශක්තිමත් වෙනවා. එහෙත්, රට තුළ ආනයන ඉල්ලුම වැඩි වන තරමට රුපියල දුර්වල වෙනවා. 

ලංකාවෙන් පිටත ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ලංකාව තුළ ආනයන ඉල්ලුම වැඩියි. මෙවැනි වෙනසක් ඇති විට එය තුලනය වන්නේ රුපියලේ බාහිර අගය අඩු වීම හරහායි. ඩොලරයක රුපියල් මිල නිරන්තරයෙන් ඉහළ යාම මගින් මෙය පිළිබිඹු වෙනවා. ආනයන ඉල්ලුම වැඩි වෙද්දී, ඊට අනුරූපව රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ නොයන්නේනම්, විදේශ විණිමය ඉපැයීම් හා සමාන මට්ටමක් දක්වා ආනයන ඉල්ලුම අඩු වන තෙක් ඩොලරයක මිල ඉහළ යා යුතුයි. 

රටේ මුදල් සැපයුම ඉහළ යද්දී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙන්ම ආනයන ඉල්ලුමද ඉහළ යනවා. මෙහිදී දේශීය භාණ්ඩ හා සේවා සැපයුම ඊට අනුරූපව ඉහළ නොයාමේ ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ වල මිල ඉහළ යන නමුත් ආනයන වලට එවැනි සැපයුම් සීමාවක් නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ආනයන වඩා ලාබ වී ආනයන ඉල්ලුම තවත් වැඩි වීමයි. 

මේ ආකාරයෙන් රටේ මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වී, ආනයන ඉල්ලුමද වැඩි වී, ඩොලර් ඉල්ලුම ඉහළ ගිය විට අවසාන වශයෙන් ඩොලරයක මිලද ඉහළ යනවා. එමගින් ආනයන ඉල්ලුම නැවත පෙර පැවති මට්ටම දක්වා අඩු වෙනවා.

මෙහිදී රුපියල දුර්වල වන්නේ ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවේදී නෙමෙයි. මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන විට රුපියල දුර්වල වී අවසානයි. ඊට අනුරූප ලෙස ඩොලරයක මිලද ඉහළ නොගියහොත් සිදු වන්නේ දිගින් දිගටම ආනයන ඉහළ ගොස් රුපියල තව තවත් දුර්වල වීමයි. ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් එසේ රුපියල දිගින් දිගටම තව තවත් දුර්වල වීම වැළකෙනවා. 

මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන වී රුපියල දුර්වල වීමෙන් පසුව ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීමයි. එහෙත් මෙසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගැනීමට හෝ සීමා කිරීමටනම් මුලින්ම සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබිය යුතුයි. 

විදේශ සංචිත රැස් කරද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම අඩු වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. ඒ හරහා රුපියල දුර්වල වී ඩොලරය ශක්තිමත් වන බවක් පෙනෙනවා. නමුත් සංචිත ඉහළ යාම නිසා අනාගතයේදී රුපියල දුර්වල නොවී ශක්තිමත්ව තබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා, දිගුකාලීනව බලද්දී ඇත්තටම මෙහිදී සිදු වන්නේ රුපියල ශක්තිමත් වීමක් මිසක් දුර්වල වීමක් නෙමෙයි. 

ලංකාව දැන් ඉන්නේ දිගුකාලීනව රුපියල ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත එක්රැස් කරගත යුතුයි. මෙය කරන ආකාරය පිළිබඳ සැලසුමක් තිබෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරතුරේ ඩොලරයක මිලද ඉහළ යන්නේනම් එමගින් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමක් සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමාවීමක්. ඩොලර් ඉල්ලුම අඩු වීමක්. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක්.

සංචිත විකුනමින් හෝ විදේශ ණය ගනිමින් ඩොලරයක මිල පහතින් තියාගනිද්දී ඇත්තටම සිදු වන්නේ කිහිප ආකාරයකින්ම රුපියල දුර්වල වීමයි. එක පැත්තකින් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් රටින් යනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අනාගතයේ ණය ආපසු ගෙවීමේ අවදානම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගත හැකි සංචිත නොමැති වීමේ අවදානම ඉහළ යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ රුපියල දුර්වල වීමයි. 

සාරාංශයක් ලෙස, රුපියල ශක්තිමත් වීම කියා කියන්නේ ඩොලරයක මිල අඩු වීම නෙමෙයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීමයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීම නිසා ඩොලරයක මිල අඩු වේනම් එය හොඳ තත්ත්වයක්. ඩොලරයක මිල වැඩි වන අතර විදේශ අංශය ශක්තිමත් වේනම් එයද හොඳ තත්ත්වයක්. ඒ වගේම, රටේ විදේශ අංශය දුර්වල කරමින්, විදේශ ණය ගැනීම හා සංචිත විකිණීම මගින් ඩොලරයක මිල පහතින් තියා ගනිද්දී ඇත්තටම සිදු වන්නේ රුපියල දුර්වල වීමක් මිසක් ශක්තිමත් වීමක් නෙමෙයි.

Wednesday, January 7, 2026

ඩොලරයක මිල රුපියල් 310ක් වුනේ ඇයි?


අද (ජනවාරි 7) ඩොලරයක මැදි මිල කලකට පසු රුපියල් 310 සීමාව ඉක්මවා ගියා. රටේ නිල විදේශ සංචිත ඉහළ යද්දී මෙහෙම වෙන්නේ ඇයි කියලා කිහිප දෙනෙක්ම අහලා තිබුණා.

පළමුව, රටේ නිල විදේශ සංචිත ඉහළ යාම හෝ පහළ යාමත්, ඩොලරයක මිල ඉහළ යාම සහ පහළ යාමත් අතර සෘජු සම්බන්ධයක් නැහැ. බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මිල පහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා. 

සාමාන්‍යයෙන් මහ බැංකුව වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගන්නේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා වැඩි දවස් වලටයි. එවැනි දවස් වලට ඩොලරයක මිල පහළ යනවා. මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිල පහත වැටෙන එක සීමා වෙනවා. නමුත් යම් තරමකින් හෝ පහත වැටෙනවා. 

උදාහරණයක් විදිහට පසුගිය සිකුරාදා (ජනවාරි 2) ඩොලරයක මිල පෙර දවසට වඩා ශත 46කින් අඩු වී තිබෙනවා. ඇතැම් විට එදින මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගත්තා වෙන්න පුළුවන්. නමුත් අද (ජනවාරි 7) ඩොලරයක මිල ශත 17කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම සුළු වශයෙන් වැඩි වීම. මේ වගේ අවස්ථාවක ඩොලරයක මිල ඉහළ යනවා.

කිසියම් දවසක් ඇතුළත බැංකු පද්ධතිය ඇතුළේ විශාල ඩොලර් හිඟයක් ඇති වී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යමින් ඇති බව පෙනී ගියොත් මහ බැංකුව යම් ඩොලර් ප්‍රමාණයක් විකුණලා මිල ඉහළ යාම පාලනය කරනවා. එසේ කරද්දී සංචිත අඩු වෙනවා. නමුත් දවසක් ඇතුළත ඔය වගේ ශත ගණනකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන්නේ නැහැ. 

ආර්ථික අර්බුදයෙන් පසුව මහ බැංකුව ඉන්නේ විදේශ සංචිත වැඩි කරගැනීමේ දිගුකාලීන ඉලක්කයක. ඒ නිසා, පුළුවන් හැම වෙලාවකම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා නමුත් ඩොලර් විකුණන්නේ එසේ නොකරම බැරි දවස් වල පමණයි. ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි දවස් වල මහ බැංකුව විසින් අනිවාර්යයෙන්ම මෙන් ඩොලර් මිල දී ගන්නවා. නමුත් ශත කිහිපයකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව ඩොලර් විකුණන්නේ නැහැ. ඒ නිසා ඩොලරයක මිල එදිනෙදා ඉහළ වගේම පහළද යන නමුත් අවසාන වශයෙන් හෙමින් හෙමින් ඉහළ යනවා. 

ඩොලරයක මිල රුපියල් 310ක් වීම ගැන ගොඩක් අය ප්‍රශ්න කර තිබෙන්නේ මේ කරුණ මාධ්‍ය විසින් බර තබා වාර්තා කර තිබෙන නිසා. කරුණක් ලෙස ගත්තොත් මෙය නිවැරදියි. නමුත් මේ විදිහේ මාධ්‍ය වාර්තා දකින බොහෝ දෙනෙක් ඩොලරයක මිල රුපියල් 310 වුනේ කීයේ ඉඳලද කියන එක හොයා බලන්නේ නැහැ.

පසුගිය වසර අවසානයේ, දෙසැම්බර් 31 දින, ඩොලරයක මැදි මිල රුපියල් 309.99යි. ඊයේ (ජනවාරි 7) වන විට මෙය රුපියල් 310.02ක් වී තිබෙනවා. වසර තුළ, මේ දක්වා, ශත තුනක සුළු වැඩිවීමක්. දශම ගණන් බැලුවොත් ශත දෙකහමාරක වැඩි වීමක්. 

සතියක් ඇතුළත ඩොලරයක මිල ශත තුනකින් වැඩි වෙලා කියලා වාර්තා කළොත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. හැම දවසකම ඩොලරයක මිල යම් තරමකින් අඩු වැඩි වෙනවා. නමුත් ඩොලරයක මිල කාලයකට පසු රුපියල් 310 සීමාව පන්නලා කියලා වාර්තා කළාම එය ගොඩක් අයගේ අවධානයට ලක් වෙනවා. වැඩි වූ ශත තුනට ඊට වඩා වැඩි ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙනවා. නමුත් ඇත්තටම මෙහි කනස්සළු විය යුතු තරමේ දෙයක් නැහැ.

පසුගිය අවුරුද්දම සැලකුවොත් ඩොලරයක මිල 5.6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව උත්සාහ කරන්නේ දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. එයින් අදහස් වන්නේ දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන රට ඇතුළේ විකුණන අයට ලැබෙන නාමික ආදායමද වසරකට 5%කින් ඉහළ යනවා කියන එකයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන අපනයනය කරන හෝ වෙනත් විදිහකින් විදේශ විණිමය උපයන අයටත් ඒ හා සමාන ආදායම් වැඩිවීමක් වෙන්නනම් ඩොලරයක මිලද අවශ්‍ය පමණ ඉහළ යා යුතුයි.

Sunday, July 6, 2025

ඇමරිකන් ඩොලරයේ පල්ලම් බැසීම


විණිමය අනුපාතය කියා කියන්නේ මුදල් ඒකක දෙකක සාපේක්ෂ වටිනාකම් පෙන්නුම් කරන නිර්ණායකය. විණිමය අනුපාතයක හැම විටම දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම සහ රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම. 

ප්‍රායෝගිකව ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම දිහා බලන තරම් උනන්දුවකින් කවුරුවත් රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම ගැන හොයන්න වද වෙන්නේ නැහැ. රුපියල් වල වටිනාකම ගැන කතා කරද්දී අවිවාදිත ලෙසම ඩොලරය ඊට වඩා ගොඩක් වටිනා මුදල් ඒකකයක් ලෙස සලකලයි කටයුතු කෙරෙන්නේ. ඩොලරයට රුපියල මත විශාල බලපෑමක් කළ හැකි වුවත්, රුපියලට ඩොලරය මත බලපෑමක් කළ නොහැකි තරම්. ඒ නිසා, රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම මනින එකේ ඒ තරම් වැදගත්කමක් නැහැ.

මේ තර්කය හැම මුදල් ඒකකයකටම එක සේ බලපාන්නේ නැහැ. යුරෝ, පවුම්, යෙන් වගේ මුදල් ඒකක වලට ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු වටිනාකමක් තිබෙනවා. ඒ නිසා, එවැනි මුදල් ඒකක වලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම අඩු වී ඇත්නම් එය ඩොලරය දුර්වල වීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හයක කාලය ඇතුළත ඇමරිකන් ඩොලරය වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා. මෙම අවප්‍රමාණය වීම බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 10.7%ක්, යුරෝවට සාපේක්ෂව 14.4%ක් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 9.8%ක්. 

මෙම කාලය ඇතුළත ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 2.4%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙය ඒ තරම් විශාල අවප්‍රමාණය වීමක් නෙමෙයි. නමුත්, රුපියල මේ විදිහට 2.4%කින් අවප්‍රමාණය වී තිබෙන්නේ අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ මුදල් ඒකකයකට සාපේක්ෂවයි. ඒ නිසාම, එම මුදල් ඒකක වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී තිබෙනවා.

වසරේ පළමු මාස හය ඇතුලත ශ්‍රී ලංකා රුපියල බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 12.2%කින්, යුරෝවට සාපේක්ෂව 16.5%කින් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 11.7%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම කෙරෙහි ඇමරිකන් ඩොලරයේ වටිනාකම බලපෑම් කරන ආකාරයයි. 

ඇමරිකාවේ වත්මන් ආණ්ඩුව රටේ වෙළඳ ශේෂ හිඟය අඩු කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව මෙය කියවන කවුරුත් දන්නා කරුණක්. රටක එක දිගට වෙළඳ ශේෂ හිඟයක් පැවතීමටනම් එම රටට වෙනත් ආකාරයකින් විදේශ විණිමය ගලා ආ යුතුයි. එසේ වෙනත් ආකාර වලින් විදේශ විණිමය ගලා ඒම මුදල් ඒකකය ශක්තිමත් කරනවා.

ඉහත හේතුව නිසාම ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ උත්සාහය අනිවාර්යයෙන්ම ඩොලරය දුර්වල වීමකින් අවසන් විය යුතුයි. එහෙත් මෙහිදී සිදු වන්නේ ඇමරිකන් ඩොලරය "කඩා වැටීමක්" නෙමෙයි. ඕනෑවට වඩා ශක්තිමත්ව ඇති ඇමරිකන් ඩොලරය එය තිබිය යුතු නියම තැන ස්ථානගත වීමයි.

ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ප්‍රතිපත්ති තීරණ ගැනීම් තවමත් අවසන්ව නැහැ. ඒ නිසා, ඇමරිකන් ඩොලරය දුර්වල වීමේ ප්‍රවණතාවතාවද තවමත් අවසන්ව නැහැ. වසර අවසන් වෙද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක තවදුරටත් ශක්තිමත් වීමට නියමිතව ඇති බව පැහැදිලියි. 

කෙසේ වුවද, මේ අයුරින් ඇමරිකන් ඩොලරය දුර්වල වෙමින් තිබුණත්, තව දුරටත් අනෙකුත් මුදල් ඒකක වල වටිනාකම් ප්‍රකාශ කෙරෙන්නේ ඩොලරයට සාපේක්ෂව බැවින් ඩොලරය දුර්වල වීම නිරූපණය වන්නේ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක ශක්තිමත් වීමක් ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලර් වලින් ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍යයේ, ජපානයේ, යුරෝපීය සංගමයේ රටවල සහ අනෙකුත් බටහිර රටවල් ගණනාවක ඒක පුද්ගල ආදායම් මෙම වසර තුළ සැලකිය යුතු ලෙස ඉහළ යාමට නියමිතයි. අදාළ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ගැනද කියන්නට තිබෙන්නේ එයයි.

ඩොලරය දුර්වල වෙද්දී ඇමරිකන් අපනයන ලාබදායී වී ඇමරිකාවට කරන ආනයන මිල අධික වෙනවා. මෙහි ප්‍රතිඵලය ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය අඩු වීමයි. කෙසේ වුවද, චීන යුවාන මුදලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වී තිබෙන්නේ 1.9%කින් පමණක් වන අතර ඒ නිසාම චීන යුවාන මුදලට සාපේක්ෂව රුපියල දුර්වල වී තිබෙන්නේ 4.4%කින් පමණයි.

මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දෙන්නේ SDR මුදල් ඒකක වලින් වන අතර එම මුදල අනෙකුත් මුදල් වර්ග හා හුවමාරු කරගත හැකියි. එම මුදල් ඒකකයට සාපේක්ෂව ඩොලරය දුර්වල වීම නිසා (ඩොලරයට සාපේක්ෂව SDR මුදල් ඒකකය ශක්තිමත් වීම නිසා) මේ වන විට ලැබී තිබෙන SDR මිලියන 254ක මුදලේ ඩොලර් වටිනාකම ඩොලර් මිලියන 350 පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙර වාරිකද SDR වලින් සමාන මුදලක් වුවත් ඩොලර් වටිනාකම වූයේ ආසන්න වශයෙන් මිලියන 333ක පමණ මුදලක්. ඊළඟ වාරිකයේ ඩොලර් වටිනාකම මීටත් වඩා ඉහළ යා හැකියි. 

Tuesday, October 15, 2024

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි?


ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් 23 සිට ඊයේ (ඔක්තෝබර් 14) දක්වා කාලය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 304.88 සිට රුපියල් 292.89 දක්වා රුපියල් 11.99කින් පහත වැටී තිබෙනවා. මෙය සැලකිය යුතු තරමේ විචලනයක්. මේ පිළිබඳව මැසිවිලි නගන යම් පිරිසක්ද දැකිය හැකියි.

විණිමය අනුපාතය පාලනය කිරීම (හෝ නොකිරීම) මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, මේ අයුරින් ඩොලරයක මිල පහත වැටීම ආණ්ඩුව වෙනස් වීම නිසා සිදු වූ දෙයක් සේ සලකන්න බැහැ. යම් වක්‍ර බලපෑමක් පමණක් තිබිය හැකියි.

කෙටියෙන් කිවුවොත්, මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්තිය වන්නේ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීමයි. එහෙත්, ඒ අතරම, මහ බැංකුව විසින් හේතු දෙකක් මත වෙළඳපොළට මැදිහත්වීම් කරනවා. පළමු හේතුව සංචිත ගොඩ නගා ගැනීමයි. දෙවැන්න තාවකාලික විචලනයන් පාලනය කිරීමයි.

පහත තිබෙන්නේ පසුගිය මාස වලදී මහ බැංකුව විසින් වෙළඳපොළට මැදිහත්වීම් සිදු කර තිබුණු ආකාරයයි.

2024 මැයි 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 224.5

විකිණීම් - ඩොලර් මිලියන 32.0

2024 ජූනි 

මිල දී ගැනීම් - නැත 

විකිණීම් - ඩොලර් මිලියන 57.0

2024 ජූලි

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 121.0

විකිණීම් - නැත

2024 අගෝස්තු 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 148.5

විකිණීම් - නැත

2024 සැප්තැම්බර් 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 108.5

විකිණීම් - ඩොලර් මිලියන 12.5

මෙම මැදිහත්වීම් සමඟ විණිමය අනුපාතයේ හැසිරීම එකට ගත් විට අපට පෙනී යන්නේ (මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලන්න) මැයි මාසයේදී හා ජූනි මාසයේදී මහ බැංකුව විසින් ඩොලර් විකිණීමක් සිදු කර ඇතත්, එසේ කරද්දීම එම මාස වලදී ඩොලරයක මිල යම් තරමකින් හෝ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, කිසිදු විකිණීමක් කර නැති, වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම පමණක් සිදු කර ඇති, ජූලි හා අගෝස්තු මාස වලදී, එසේ කරද්දීම ඩොලරයක මිල පහත වැටී තිබෙනවා.

ඉහත නිරීක්ෂණ අනුව පෙනී යන්නේ මහ බැංකුව විසින් විචලනයන් සීමා කරනු හැර ඩොලරයක මිලෙහි දිශානතිය කෙරෙහි බලපෑම් කර නැති බවයි. 

සැප්තැම්බර් මාසය තුළ ඩොලරයක මිලෙහි සිදුව ඇති විචලනයන් දෙස බැලූ විට එම මාසය තුළ මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් විකිණීම තේරුම් ගත හැකියි. ජනාධිපතිවරණයට ආසන්න දෙසතියක කාලය තුළ ඩොලරයක මිලෙහි දිශානතියෙහි පැහැදිලි වෙනසක් දැක ගත හැකි අතර එම කාලය තුළ යම් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා. මෙය විණිමය ප්‍රවාහ වල සිදු වූ වෙනස් වීමක ප්‍රතිඵලයකට වඩා සමපේක්ෂණය නිසා සිදු වූ දෙයක් ලෙස සැලකිය හැකියි.

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී ආණ්ඩු මාරුවක් නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියට සිදු විය හැකිව තිබුණු බාධාවන් පිළිබඳ අවදානම ඉහළ ගියා. එහෙත්, ජනාධිපතිවරණය දිනය ආසන්නයේදීම අදාළ මූලික ගිවිසුම් අත්සන් කිරීමත්, ආණ්ඩු මාරුවෙන් පසුව ඉතා ඉක්මණින්ම අලුත් ආණ්ඩුව විසින් එම ගිවිසුම් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව සපථ කර සිටීමත් හේතුවෙන් මෙම අවදානම පහව ගියා.

ජනාධිපතිවරණයට ආසන්න දෙසතියක කාලය තුළ සිදු වූ ඉහත වෙනස හැරුණු විට, පසුගිය ජූලි මාසයේ සිටම දැකිය හැක්කේ ඩොලරයක මිල පහත යාමේ ප්‍රවණතාවයක්. එය එසේ සිදු වන්නේ දිගින් දිගටම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිල දී ගනිද්දීයි. මෙයින් පෙනී යන්නේ විණිමය ප්‍රවාහ වල දිගින් දිගටම පවතින වාසිදායක අසමතුලිතතාවයයි. එනම්, ඩොලර් ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම ඉහළ මට්ටමක පැවතීමයි. 

මෙම තත්ත්වය යටතේ, වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම වැනි විශේෂ වෙනසක් සිදු නොවුවහොත්, දිගින් දිගටම සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. එහෙත්, මහ බැංකුවට මැදිහත්වීම් කරමින් එසේ ඩොලරයක මිල පහත වැටෙන වේගය පාලනය කළ හැකියි. 

තාවකාලික විචලනයන් පාලනය කිරීම සඳහා කරන මැදිහත් වීම් දෙපැත්තටම සිදු විය යුතු මැදිහත් වීම් නිසා එමඟින් වෙළඳපොළේ ස්වභාවික නැඹුරුව කෙරෙහි බලපෑමක් සිදු විය නොහැකියි. එහෙත්, සංචිත ගොඩ නගා ගැනීම පිණිස කරන මැදිහත් වීම් නිසා ඩොලරයක මිල ඉහළ යනවා. එසේ නැත්නම්, පහළ යාම පාලනය වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවට වැඩි වැඩියෙන් සංචිත එකතු කර ගනිමින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමේ හැකියාවක් ඇති බවයි.

කෙසේ වුවත්, IMF වැඩ පිළිවෙළ අනුව මහ බැංකුව විසින් සංචිත ගොඩ නගා ගැනීම සිදු වන්නේ කලින් දැනුම් දී ඇති නිශ්චිත ඉලක්කගත මට්ටමක් දක්වා පමණයි. එසේ අවශ්‍ය සංචිත ඉලක්කය වෙත යාමට යටත්ව, ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීම කෙරෙහි බලපෑමක් නොකිරීම මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්තියයි. 

මෙම (2024) වසර අවසාන වන විට යා යුතු සංචිත ඉලක්කය ඩොලර් මිලියන 6,128ක් පමණයි. සැප්තැම්බර් අවසානය වන විට ඩොලර් මිලියන 5,992ක සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් එක්රැස් කරගෙන අවසානයි. ඒ නිසා, වසරේ ඉතිරි මාස තුන තුළ මහ බැංකුව විසින් එකතු කරගත යුතුව තිබෙන්නේ තවත් ඩොලර් මිලියන 136ක සංචිත ප්‍රමාණයක් පමණයි. සාමාන්‍ය අගයක් ලෙස මාසයකට ඩොලර් මිලියන 45ක් පමණ. 

පසුගිය සැප්තැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 33කින් පමණක් ඉහළ ගොස් තිබීම තේරුම් ගත යුත්තේ මෙම පසුබිම තුළයි. කෙටියෙන් කිවුවොත්, සංචිත මිල දී ගැනීම මගින් ඩොලරයක මිල පහත වැටීම නැවැත්වීම සිදු නොකළ යුතු සීමාවක් ආසන්නයට මේ වන විට මහ බැංකුව පැමිණ තිබෙනවා. 

කෙසේ වුවත්, මහ බැංකුවට අවශ්‍ය ඉලක්කය ඉක්මවා සංචිත වැඩි කර නොගනිමින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වෙනත් මාර්ගයක්ද තිබෙනවා. ඒ මිල දී ගන්නා ඩොලර් මහ බැංකුවේ ණය ගෙවීම පිණිස යෙදවීමයි. මෙහිදී ඩොලරයක මිල පහත වැටීම සීමා වන නමුත් සංචිත ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. 

පසුගිය (2024) ජූනි මාසය අවසාන වන විට මහ බැංකුව විසින් ගෙවිය යුතුව තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,547ක්. එයින් ඩොලර් මිලියන 2,001ක් ගෙවිය යුතුව තිබුණේ ඉන්දියාවටයි. ඒ වසරේ පළමු මාස හයක කාලය තුළ ඩොලර් මිලියන 450ක් ඉන්දියාවට ආපසු ගෙවීමෙන් පසුවයි. ජුනි මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 5,654ක නිල සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා.

මේ වන විට සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතරම ණය ප්‍රමාණයේද යම් අඩුවක් සිදුව ඇතැයි සිතන්නට පුළුවන්. පසුගිය මාසයේදී මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 96ක් මිල දී ගෙන ඇතත්, සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 33කින් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 63 හෝ ආසන්න ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා යෙදවූවා විය හැකියි. 

වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයක මිල පහත වැටීම සීමා කරමින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් සැලකිය යුතු තරමේ අවකාශයක් තිබෙනවා. එසේ ලබා ගන්නා ඩොලර් ණය ගෙවීම සඳහා යෙදවිය හැකි බැවින් සංචිත ඉලක්කය ඉක්මවා යාමේ ප්‍රශ්නයක් මතු වන්නේද නැහැ. එහෙත් මහ බැංකුව දැනට විණිමය වෙළඳපොළට බලපෑම් කරමින් සිටින්නේ එහි දිශානතියෙහි ලොකු වෙනසක් සිදු නොවන අයුරිනුයි. 

Tuesday, May 7, 2024

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!


මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තොරතුරු එළිදරවු වීමෙන් පසුව විණිමය වෙළඳපොළෙහි ඇති වූ කම්පනය ඉතා ඉක්මණින්ම සමනය වී ඇති බව දැකිය හැකියි. මේ හා අදාළව ඇති විය හැකි නරකම තත්ත්වය දැන් රහසක් නෙමෙයි. එම නරකම තත්ත්වය වුවද එතරම් නරක තත්ත්වයක් නෙමෙයි. 

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ ස්ථාවර වී ඇති අතර සංචාරක කර්මාන්තයේ ආදායම් වල සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකියි.  වාහන ආනයන සිදු නොවෙන පසුබිමක වුවද, ඉහත සඳහන් මාර්ග දෙක හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රවාහ වලට සාපේක්ෂව ආනයන ඉල්ලුම විශාල මට්ටමක නැහැ. එම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින්, රුපියල "ඕනෑවට වඩා" ශක්තිමත් වීම පාලනය කරමින් සිටිනවා. 

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ගැන වසර නවයක කාලයක් තිස්සේ අප මෙම වියුණුව හරහා පැහැදිලි කිරීම් හා විග්‍රහ කිරීම් සිදු කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධානම හේතුවක් වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොදී එය පාලනය කරන්නට යාම බවයි. 

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ගෙවුම් ශේෂ අර්බුද පැමිණෙන බව කීවත් වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රශ්නය වූයේ විණිමය අනුපාතය පාලනය කිරීම මගින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමයි. ලංකාවේ දිගින් දිගටම සිදු වූයේ එයයි. විණිමය අනුපාතය පාලනය කිරීම රුපියල දුර්වල මට්ටමක පවත්වා ගත්තේනම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැහැදිලි කළත්, අපේ බොහෝ පාඨකයින් වුවද අප කියූ දෙය තේරුම් ගත්තේ හෝ විශ්වාස කළේ නැහැ. පසුකාලීනව වුවත් බොහෝ දෙනෙකුට තිබුණේ මෙවැනි ප්‍රශ්නයක්.

"ආණ්ඩුව විසින් එක ඩොලරයක් හෝ උපයන්න කිසිම දෙයක් නොකර රුපියල ශක්තිමත් විය හැක්කේ කොහොමද?"

ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවා හෝ කර තිබේද, කළ යුතුද, වගේ දේවල් වඩා දේශපාලනික කරුණු. එසේ කර තිබීම හෝ නොතිබීම වගේම එසේ කළ යුතුද යන්න විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ ද්වීතියික කරුණු ලෙසයි. ඒ කිසිම දෙයක් සිදු නොවුනත්, ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැරිය විට වෙළඳපොළ විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා.

රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබාගත් විට හැමෝටම කෙසේ වෙතත් විණිමය වෙළඳපොළ හැසිරීම ගැන යම් අවබෝධයක් ඇති අයට මෙම තත්ත්වය කොයි වෙලාවක හෝ ආපසු හැරෙන බව පෙනෙනවා. එහි ප්‍රතිඵලය රටට එන විදේශ විණිමය ප්‍රවාහ සීමා වීම සහ රටෙන් යන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යාමයි. ඒ නිසා, රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එය වඩාත් දුර්වල වීමයි.

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ඉලක්ක අනුව මෙම වසර අවසාන වෙද්දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128ක් දක්වා ඉහළ නංවා ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 690ක් පමණයි. පසුගිය මාස දෙක තුළ පැවති තත්ත්වය දිගටම පැවතුණහොත් ජූනි මාසය අවසන් වන විට මේ ඉලක්කයට යා හැකියි. 

මැයි දිනයේදී නිවේදනය කෙරුණේ තේ කර්මාන්තයේ කම්කරුවන්ගේ අවම වැටුපෙහි වැඩි වීමක් සිදු කෙරෙන බවයි. මෙය සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීම දැනටමත් තේ නිෂ්පාදකයින්ගේ කණස්සල්ලට හේතු වී ඇති පසුබිමකයි. රුපියල තව දුරටත් විශාල ලෙස ශක්තිමත් වුවහොත් එය අපනයනකරුවන්ට දරා ගැනීමට අසීරු තත්ත්වයක් විය හැකියි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියර ආසන්නයට පැමිණ ඇත්නම් එය රටේ විදේශ අංශය හා අදාළ ලොකු තීරණ ක්ෂණිකව නොගෙන එතෙක් කල් මරන්නට සාධාරණ හේතුවක්. එය එසේ වුවත්, නොවුවත්, දැනට පවතින වර්ධනයන් තුළ වාහන ආනයනය සඳහා තරමක් කලින් දොර හරින්නට ඉඩකඩ විවෘත වී තිබෙනවා. මෙම අවස්ථාව මැතිවරණ අල්ලස් ලෙස වාහන ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවෙන් නොයොදවා, රටේ ආර්ථික ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන්නේනම් එයින් රජයේ බදු ආදායම්ද වර්ධනය කරගත හැකියි. 

පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. ඒ වගේම, ඒ හරහා ඉහළ යන ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ සමාජ ස්ථර දක්වා විහිදී එම සමාජ ස්ථර වල සිටින්නන් සවිබල ගන්වන්නක්. ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙන ලොරි, කුඩා ලොරි, වෑන් ආදියෙහිද එවැනි ආර්ථික බලපෑමක් තිබෙනවා. 

රටට ලොකු ආර්ථික බලපෑමක් නොමැතිව රටේ විණිමය සංචිත හින්දවීමට පමණක් දායක වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, මිල අධික වාහනයි. බදු රහිතව ආනයනය කරන්නට ඉඩ ලැබුණහොත් හානිය තවත් වැඩියි. 

Wednesday, April 17, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල


අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. 

ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය හැකි නරකම තත්ත්වය ලෙස සලකන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත්, අවම වශයෙන් මෙම අප්‍රේල් යෝජනාවෙන් ලංකාවට ලැබෙන වාසි ටික ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

ඒ වගේම, බැඳුම්කරහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජයේ යෝජනාව, බැඳුම්කරහිමියන්ගේ මාර්තු යෝජනාව හා ඔවුන්ගේ මෙම අප්‍රේල් යෝජනාව අතර පොදු කරුණු ගණනාවක් තිබෙනවා. දැනටමත් දෙපාර්ශ්වය එකඟ වී තිබෙන මෙම පොදු කරුණු ඉදිරියේදී වෙනස් වීමට ඉඩක් නැහැ. 

ඔය කොයි යෝජනාව අනුව වුනත්, 2028 වසර වන තුරු ලංකාව ණය ගෙවන්න පටන් ගන්නේ නැහැ. දැනට ගෙවා නැති පොලී කොටස වුවද ගෙවන්නේ කොටස් වශයෙනුයි. යෝජනා වෙනස් වන්නේ එයින් පසුව කාලය හා අදාළවයි. ඒ අනුව, මෙම අප්‍රේල් යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවට පොලී ගෙවීම සඳහා කොපමණ අමතර මුදලක් අවශ්‍ය වෙනවාද?

පසුගිය වසර අවසන් වන විට ගෙවා නොතිබුණු කූපන් පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 1,678ක්. මෙම මුදල ආපසු ගෙවන්නට යෝජනා වී තිබෙන්නේ පහත පරිදියි.

2024 - ඩොලර් මිලියන 336

2025 - ඩොලර් මිලියන 336

2026 - ඩොලර් මිලියන 336

2027 - ඩොලර් මිලියන 336

2028 - ඩොලර් මිලියන 336

ඉන් පසුව, 2029-2038 අතර කාලය තුළ ණය ආපසු ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 12,550ක් වන මුළු ණය ප්‍රමාණයෙන් 28%ක් කපා හැරෙන අතර ආපසු ගෙවන්නේ ඩොලර් මිලියන 9,036ක් පමණයි. ඒ පහත දැක්වෙන පරිදියි.

2029 - ඩොලර් මිලියන 650

2030 - ඩොලර් මිලියන 650

2031 - ඩොලර් මිලියන 900

2032 - ඩොලර් මිලියන 900

2033 - ඩොලර් මිලියන 900

2034 - ඩොලර් මිලියන 800

2035 - ඩොලර් මිලියන 800

2036 - ඩොලර් මිලියන 1250

2037 - ඩොලර් මිලියන 1093

2038 - ඩොලර් මිලියන 1093

කෙසේ වුවද, මෙම 28% ණය කප්පාදුව සිදු වන්නේ IMF එක විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2025-2027 කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 84.2 මට්ටමේ පැවතුනොත් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඊට වඩා වැඩි වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 7.3% දක්වා ක්‍රමයෙන් අඩු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉලක්ක අගයට වඩා අඩු වුවහොත් කප්පාදු කෙරෙන ප්‍රමාණය 54.7% දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. 

මෙම අවසන් කොටස පිළිබඳව තවමත් එකඟතාවයක් ඇති කරගෙන නැති නිසා ඒ ගැන කතා කතා කරන එක අපි පසුවට තබමු. නමුත්, එක දෙයක් දැනටමත් තීරණය වී අවසන්. ඒ, 2029 වසර දක්වා ණය ආපසු ගෙවීමක් සිදු නොකෙරෙන බවයි.

කෙසේ වුවත්, ඉහත සඳහන් ඩොලර් මිලියන 9,036ක ණය මුදල වෙනුවෙන් මෙන්ම හිඟ කූපන් පොලී ගෙවා අවසන් කරන තුරු ඒ වෙනුවෙන්ද වාර්ෂිකව ආසන්න වශයෙන් 4%ක පමණ පොලියක් ගෙවන්නට සිදු වෙනවා. එම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 400ක් පමණ. 2024 වසර සැලකුවහොත් ඩොලර් මිලියන 428ක පමණ මුදලක්. මෙම මුදලට ඉහත සඳහන් ඩොලර් මිලියන 336ක හිඟ කූපන් පොලී මුදල එකතු කළ විට මෙම වසර තුළ පොලී ගෙවීම සඳහා අමතර ඩොලර් මිලියන 764ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 දක්වා ඉදිරි වසර වලදීද මීට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා.

මීට අමතරව ඩොලර් මිලියන 10,810ක ද්විපාර්ශ්වීය ණය ඉතා ඉක්මණින් ප්‍රතිව්‍යුහගත කර අවසන් කෙරෙනු ඇති අතර දැනට තිබෙන තොරතුරු අනුව මෙම ණය ආපසු ගෙවන තුරු වාර්ෂිකව 2%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 216ක් අවශ්‍ය වෙනවා. චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන තිබෙන ඩොලර් මිලියන 2,191ක මුදල වෙනුවෙන් 4%ක වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකි අතර එසේ වුවහොත් ඒ සඳහා තවත් ඩොලර් මිලියන 88ක් පමණ අවශ්‍ය වෙනවා.

මේ සියල්ල එකතු කළ විට, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වූ විට, ණය ගෙවීම අරඹන්නට පෙර කාලය තුළ, වාර්ෂික පොලී ගෙවීම් ලෙස ඩොලර් මිලියන 1,068ක පමණ අමතර විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් මාසයකට ඩොලර් මිලියන 100කට කිට්ටුයි. 

මීට අමතරව මහ බැංකුවට සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. එහෙත්, වාහන ආනයන සිදු නොකරන්නේනම්, ඉහත පොලී වියදම් වලින් පසුවද දැනට පවතින තුලනය පවත්වා ගැනීම අසීරු නැහැ. නමුත් කලින් මෙන් විවෘත ලෙස වාහන ආනයනයට ඉඩ දිය හැකි තත්ත්වයක් තවමත් නැහැ. යම් තරමක විවෘත කිරීමක් සඳහා අවකාශ තිබෙනවා. 

කෙසේ වුවද, විණිමය වෙළඳපොළ හා අදාළව මතුවන තාවකාලික අමතර ප්‍රශ්නයක් තිබෙනවා. 

ඩොලර් මිලියන 12,550ක ස්වෛරිත්ව බැඳුම්කර වලින් ඩොලර් මිලියන 1,750ක පමණ ප්‍රමාණයක ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් විසිනුයි. බොහෝ දුරට මේ ආයෝජන කර තිබෙන්නේ බැංකු විසින්. දැන් තිබෙන තත්ත්වය තුළ, 2029 වසර දක්වා ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙනාවක් මෙන්ම එසේ ලැබෙන්නේද ලැබිය යුතුව තිබුණු මුදලින් 72%ක් පමණයි. ඒ කියන්නේ ඔවුන්ට ඩොලර් මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. ඊට අමතරව ඩොලර් ද්‍රවශීලතා ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට වෙනවා.

මෙම තත්ත්වය තුළ බැංකු විසින් ඉදිරි මාසයක හෝ දෙකක පමණ කාලය තුළ තමන්ගේ විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා ඩොලර් එකතු කරන්නට ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ නැවතත් ඩොලරයක මිල මත පීඩනයක් ඇති වීමයි. කෙසේ වුවද මෙය තාවකාලික තත්ත්වයක් වන අතර බැංකු විසින් ප්‍රමාණවත් විදේශ සංචිත එකතු කර ගැනීමෙන් පසුව ඩොලරයක මිල නැවතත් ස්ථාවර වීමට නියමිතයි.  

Saturday, July 15, 2023

ජූනි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම්


ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 77.5ක් මිල දී ගෙන ඩොලර් මිලියන 91.0ක් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5ක් විකුණලා. මේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් විකුණන්නේ මාස ගණනාවකට පසුවයි. 

පසුගිය අප්‍රේල් හා මැයි මාස වලදී මහ බැංකුව ඩොලර් විකිණුවේම නැහැ. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එක පමණයි කළේ. ඊට පෙර මාස තුනේදී යම් ඩොලර් ප්‍රමාණයක් විකිණුවත් ඒ ප්‍රමාණය මිල දී ගත් ප්‍රමාණයට වඩා අඩුයි. සුළුවෙන් වුවත්, ජූනි මාසයේදී මේ ප්‍රවණතාව වෙනස් වෙලා. ඒ වගේම, සුළුවෙන් වුනත් නිල සංචිත ප්‍රමාණයත් පහළ ගිහින්.

මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබුණා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබුණා. ජුනි අවසාන වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,659.43 දක්වා අඩු වෙලා. ඒ වගේම, සංචිත ප්‍රමාණයත් ඩොලර් මිලියන 3,491 සිට ඩොලර් මිලියන 3,468 දක්වා අඩු වෙලා.

විණිමය අනුපාතයේ තාවකාලික විචලනයන් සීමා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි මැදිහත් කිරීම් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී මහ බැංකුව මැදිහත් වෙලා විශාල වශයෙන් ඩොලර් මිල දී ගෙන එම පහත වැටීම සීමා කළා. දැන් මිල ඉහළ යද්දී ඒ විදිහට කලින් මිල දී ගත් ඩොලර් වලින් යම් ප්‍රමාණයක් විකුණන එකේ කිසිම වැරැද්දක් නැතත්, මහ බැංකුව විසින් ළඟා කර ගත යුතු විදේශ සංචිත ඉලක්කත් එක්ක මහ බැංකුවට ලොකුවට ඩොලර් විකුණන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල ඉහළ යන එක ලොකුවට පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. දිගින් දිගටම ඔය වැරැද්ද කරන්න ගිහින් අත විතරක් නෙමෙයි සරුවාංගෙම පුච්චගෙන ඒ ගින්නෙන් රටම ගිණි තියපු මහ බැංකුව විසින් නැවතත් එම පරණ වැරැද්දම කරන්න උත්සාහ කරන එකක් නැහැ. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ එහෙම කරන්න පුළුවන් අවකාශයකුත් නැහැ.

පසුගිය දෙසතියක කාලය තුළ ඩොලරයක මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලි ලෙසම දකින්න පුළුවන්. එම කාලය තුළ මහ බැංකුව විසින් සුළු වශයෙන් හෝ ඩොලර් විකිණුවා මිසක් මිල දී ගත්තා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ, බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා කියන එක. මේ හිඟයට කරුණු කීපයක් හේතු වෙන්න පුළුවන්.

පළමුව, ඩොලර් මිලියන 855ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 748ක්ම තිබෙන්නේ දේශීය බැංකු සතුව. දේශීය බැංකු වල විදේශ ශාඛා වලින් රජය විසින් ලබාගත් තවත් ඩොලර් ණය යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ණය වලින් 30%ක් නොලැබී යද්දී බැංකු වල ඩොලර් වත්කම්ද ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වල උදවුවෙන් බැංකු වල ශේෂ පත්‍ර වල මේ විදිහට විදේශ වත්කම් අඩු වෙන එක නොපෙන්වා ඉන්න පුළුවන් වුනත්, එහෙම කළා කියලා කවුරු හරි බැංකුවෙන් ඩොලර් ආපසු ඉල්ලුවාම මතු වන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. ඒ නිසා, අඩුව පුරවා ගන්න බැංකු වලට යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා.

මේ විදිහට කප්පාදුවට ලක්වෙන්නේ බැංකු වල දේශීය ණය පමණක් නෙමෙයි. බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ප්‍රමාණය ඉහත සංවර්ධන බැඳුම්කර ආයෝජන ප්‍රමාණය මෙන් දෙගුණයකට කිට්ටුයි. මේ ඩොලර් වලින් 30%කුත් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අඩුව පුරව ගන්නත් බැංකු වලට සංචිත හදා ගන්න වෙනවා. මේ වැඩේට කොපමණ කාලයක් යයිද කියලා මම හරියටම දන්නේ නැහැ. මාස කිහිපයක් වෙන්න පුළුවන්. කාලය කොපමණ වුනත් අඩුව පිරෙනකම් ඔය ඩොලර් ඉල්ලුම තිබෙනවා.

දෙවනුව, පසුගිය මාස කිහිපය තුළ ඩොලරයක මිල පහත යාම සහ ඉහළ පොලී අනුපාතික නිසා කෙටිකාලීන ආයෝජන විදිහට රටට ඩොලර් ගලා ආවා. දැන් මේ තත්ත්වයන් දෙකම කණපිට හැරිලා නිසා ඒ ආපු ඩොලර් ආපසු යන්න පටන් අරගෙන. ඩොලර් රටට එද්දී මහ බැංකුව විසින් එම ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කරගත් නිසා අවශ්‍ය වූ විටෙක ආපසු විකුණන එකේ ප්‍රශ්නයක් නැතත්, එහෙම කළොත් මහ බැංකුවේ සංචිත ඉලක්ක වලට යන්න අසීරු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගත් ඩොලර් ආපසු විකිණුවේ නැත්නම් ඒ ඩොලර් ටික අඩු වෙන්නේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන ඩොලර් වලින්.

තෙවනුව, තවමත් ආනයන පාලන ඉවත් වෙලා නැහැ. මේ තහනම් කොයි වෙලාවේ හෝ ඉවත් කරන්නම වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම ඉහළ ගිහින් ඩොලරයක මිල වැඩි වෙනවා. මේ වැඩේ කරලා ඉවරයක් කරන තුරු, ඔය දිහා බලාගෙන තීරණ ගන්න අය ඉන්න නිසා, ඩොලර් සැපයුම තරමක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා, මිල ඉහළ යන එකට බයේ ඔය වැඩේ ප්‍රමාද කරනවානම් ඒක මෝඩ වැඩක්. 

ආනයන සීමාවන් ඉවත් කළොත් මිල පොඩ්ඩක් ඉහළ ගිහින් ඊට පස්සේ අළුත් තැනක ස්ථාවර වෙයි. ඔය වැඩේ කරන එක කල් යද්දී ඔය මිල වැඩි වීම දිහා බලාගෙන ඩොලර් සැපයුම්කරුවෝ තමන්ගේ අර්පණයන් ඉහළ දමන එක වලක්වන්න බැහැ. ඒ නිසා, වැඩේ පරක්කු කළත් මිල තෙරපුමෙන් සැලකිය යුතු කොටසක් තිබෙනවා. වැඩේ කරලා අහවර කළානම් ඔය ප්‍රශ්නය ඉවරයි.

සමහර විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු හෝ ලෝක බැංකු සල්ලි ලැබෙන තුරු වැඩේ අදිනවා වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ හේතුවක් තියෙනවානම් පොඩ්ඩක් කල් දැම්මට කමක් නැහැ. නමුත් එහෙම කරන්නත් අවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ලෝක බැංකු සල්ලි සති දෙකකින් හෝ මාසයකින් එනවනම් ඒ එද්දී මිල පහත වැටෙන බව වෙළදපොළ සහභාගීවන්නෝ දන්නවා. ඒ නිසාම, ඊට කලින් වුනත් අර්පණයන් සිදු කරන්නේ ඒ ගැන සලකලා. ඒ නිසා, ඒ අනාගත මිල අඩු වීමේ බලපෑම කළින්ම එනවා. 

Wednesday, July 12, 2023

සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය

මැයි මාසයේදී ඩොලර් මිලියන 3,491ක් වූ නිල සංචිත ජූනි මාසයේදී වැඩි වී නැති අතර ඩොලර් මිලියන 3,468 දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා. විණිමය අනුපාතික වෙනස් වීම් නිසා මෙවැනි සුළු වෙනසක් සිදු විය හැකියි. මෙහි වෙනස ඩොලර් මිලියන 23ක් පමණක් වන අතර මාසය තුළ යුවාන් බිලියන 10ක ඩොලර් වටිනාකමෙහි අඩුවීමද ඩොලර් මිලියන 24ක් පමණ වෙනවා. 

මේ අනුව, මෙම වෙනසින් පිළිබිඹු වන්නේ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු ණයෙහි ඩොලර් වටිනාකම වෙනස් වීමයි. එක්කෝ ඊට අමතරව මහ බැංකුව විසින් මැදිහත් කිරීමක් කර නැහැ. එසේ නැතිව මිල දී ගත් කිසියම් ඩොලර් ප්‍රමාණයක් වීනම්, එම ප්‍රමාණය මහ බැංකුවේ ණයක් පියවීම සඳහා යොදා ගෙන තිබෙනවා.

මහ බැංකුව විසින් මාසය තුළ ශුද්ධ වශයෙන් මැදිහත් වීමක් කර නැත්නම් එයින් පෙනී යන්නේ මාසය තුළ ඩොලරයක මිල රුපියල් 13.31කින් පමණ ඉහළ යාම තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත සිදු වී ඇති බවයි. වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතු අතර සැප්තැම්බර් මාසයේදී බංග්ලා දේශයට ඩොලර් මිලියන 200ක මුදලක් ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 334ක මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, වසරේ දෙවන අර්ධය තුළ මහ බැංකුව විසින් අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 829ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගත යුතුයි. ලෝක බැංකුවෙන් ලැබෙන්නට නියමිත මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගත්තත් මෙම ඉලක්කයට යාම සඳහා මහ බැංකුවට විණිමය අනුපාතය මත සුළු හෝ උඩුකුරු තෙරපුමක් ඇති කරන්නට සිදු වෙනවා. බංග්ලාදේශ ණයට අමතරව මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ඉන්දියාවටද යම් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි.

නිල දත්ත ප්‍රකාශිතව නැතත් ජූනි මාසය අවසන් වෙද්දී රජය විසින් ආදායම් ඉලක්ක ලඟා කරගෙන නැති බව පැවසෙනවා. එම ඉලක්ක කරා යාම සඳහා මෙන්ම, අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවයන් අනුව ඉතා ඉක්මණින් ආනයන සීමා ඉවත් කළ යුතු වෙනවා. මෙහිදී ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තයේ ලැබීම් තව දුරටත් ඉහළ යා හැකි වුවත්, ඩොලර් සැපයුම වැඩි වනවාට වඩා වැඩියෙන් ඩොලර් ඉල්ලුම ඉහළ යාමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ඉදිරි කාලයේදී ඩොලරයක මිල යම් වේගයකින් ක්‍රමයෙන් ඉහළ යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි.

අරමුදලේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන 2027 දක්වා කාලය තුළ දිගටම සිදු වනු ඇත්තේද ඩොලරයක මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. අරමුදලේ ප්‍රධානම ඉලක්කයක් වන්නේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම විදේශ සංචිත ප්‍රමාණය ගොඩ නංවාගෙන ඉන් පසුව එම ප්‍රමාණය දිගටම පවත්වා ගෙන යාමයි. මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 14,208ක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා 

පසුගිය වසර අවසානයේදී ලංකාව සිටියේ 18% මට්ටමේ. 2011දී ලංකාව මෙම අවශ්‍ය අවම මට්ටමේ (101%) සිටියත් ඉන් පසුව ක්‍රමයෙන් මෙම ප්‍රතිශතය පහත වැටුණා. 2014 වන විට 63%යි. 2019 වන විට 46%යි. විණිමය අනුපාතය පාලනයෙන් ගිලිහෙන විට මෙම අගය 4% තෙක් පහත වැටිලා. මීට සාපේක්ෂව, පසුගිය වසර අවසානයේදී ඉන්දියාව සිටියේ 165% මට්ටමේ. ඉන්දියාව 1991දී උගත් පාඩම ඉන්පසුව කිසිවිටෙකත් අමතක කළේ නැහැ. 

දැනට ඩොලර් මිලියන 3,468 මට්ටමේ තිබෙන නිල සංචිත 2027 වසර අවසන් වන විට ඩොලර් මිලියන 14,208 දක්වා ඉහළ නංවා ගැනීම ලේසි, සිල්ලර වැඩක් නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ලැබෙන සහනය යොදා ගත යුතුව තිබෙන්නේ මෙම ඉලක්කයට යාම සඳහා උදවුවක් ලෙස මිස පෙර මෙන් විදේශ විණිමය ආදායම් ඉක්මවා ආනයන කිරීමට ප්‍රවේශ පත්‍රයක් විදිහට නෙමෙයි. 2027 වන විට ලංකාවේ අපනයන ආදායම් හා අනෙකුත් විදේශ විණිමය ලැබීම් ඉලක්කගත මට්ටම් වලට වර්ධනය කර ගත යුතුයි. එය සිදු වන ආකාරය තවමත් පැහැදිලි නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සියලු අවදානම් තවමත් දුරු වී නැහැ. යෝජිත වැඩ පිළිවෙලට පැරිස් සංසදය හා ඉන්දියාව එකඟ වනු ඇතත් චීනයේ එකඟතාවය ලබා ගැනීම ඒ තරම්ම පහසු වෙන එකක් නැහැ. වාණිජ ණය වලින් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කිරීමද තරමක් දුරස්ථ ඉලක්කයක්. ඒ නිසා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත සහනය ඉලක්කයට වඩා තරමක් අඩු විය හැකියි. යම් අවකාශයක් ඉතිරි කරගෙන තිබෙන නිසා එයින් සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක ලඟා කර ගත නොහැකි වන්නේ නැතත්, සංචිත ඉලක්ක කරා යාම වඩා අසීරු වෙන්න පුළුවන්. 

යෝජිත මහ බැංකු පණත සම්මත වීමෙන් පසුව උද්ධමනය ඉලක්ක මට්ටමෙහි පවත්වා ගැනීම මහ බැංකුවේ ප්‍රමුඛ ඉලක්කය බවට පත් වෙනවා. ඒ නිසා, මුදල් සැපයුම ප්‍රසාරණය වීමට ඉඩ දිය යුතු මට්ටමද සීමා වෙනවා. රටේ ඩොලර් ලැබීම් ක්‍රමයෙන් වර්ධනය වන්නේනම් විණිමය අනුපාතය මත විශාල පීඩනයක් ඇති වන එකක් නැහැ. එහෙත්, එසේ නොවන්නේනම් විණිමය අනුපාතය මත ඇති වන පීඩනය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුවට මෙවලමක් ලෙස පොලී අනුපාතික යොදා ගන්නට සිදු වෙනවා. මේ තත්ත්වය තුළ පොලී අනුපාතික පහළින් තබා ගැනීමද අසීරු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සඳහාද රටේ විදේශ ආදායම් වර්ධනය විය යුතුයි.

වෙබ් ලිපිනය: